Category: සුපිරි Walks

  • දකුණෙන් කැපූ දෙකම ඌවට දීලා

    දකුණෙන් කැපූ දෙකම ඌවට දීලා

    මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා.

    මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත් බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවයි.

    ඒ අනුවල ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 සිට 9 දක්වාද මාතර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 සිට 7 දක්වා ද අඩු වී ඇතැයි ද බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව 5 සිට 6 දක්වාද ඉහළ යන බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේ.

  • හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට – අවවාදාත්මක නිවේදනයක්

    හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට – අවවාදාත්මක නිවේදනයක්

    දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අධික උණුසුම පවතින අවස්ථාවලදී විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය වී මස්පිඬු පෙරලීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    ඉහත ප‍්‍රදේශවල ජනතාව ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැ ඇඳුම් භාවිතය ආදිය අනුගමනය කළ යුතු බවත්, විශේෂයෙන් කුඩා ළමුන් තනිව වාහන තුළ තබායාමෙන් වැළකිය යුතු බවත් එම නිවේදනයේ සදහන් වේ.

  • පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන මැකොගෙන් ඉගි

    පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන මැකොගෙන් ඉගි

    තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය ව්‍යවස්ථාවේ පවරා තිබෙන්නේ ජනාධිපතිවරයාට බවත්, එහෙත් වෙනත් ඡන්ද විමසීම්වලදී මැතිවණ කොමිෂමට දිනය තීරණය කළ හැකි බවත් අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවේය.

  • කොරෝනා වෛරසය පැතිරීම පාලනයට තීන්දු තීරණ රැසක්

    කොරෝනා වෛරසය පැතිරීම පාලනයට තීන්දු තීරණ රැසක්

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්විය.

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනි. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

    විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විද්ශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුනි. විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කරන ලදි.

    එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කරන ලදි. එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.

    එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය කරන ලදි.

    මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කරන ලදි.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කරන ලදි.

    මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

    කොරෝනා වෛසරය පැතිරීම පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැක් වූ අදහස් පහත පරිදි වේ.

    ලෝකයේ බොහෝ රටවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් ගියත් ලංකාවේ අපිට හැකිවුණා පසුගිය කාලයේ දී අප ගත් ක්‍රියාමාර්ග අනුව රට තුල වෛරසය පැතිරිම වැළැක්වීමටත්, විදේශ රටකින් පැමිණි  වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව සුවපත් කරලා චීනයට බාරදිමටත්. මෙම වෛරසය නැවැත යම් කිසි තර්ජනයකට ලක්වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා මෙය ජාත්‍යන්තර මට්ටමේ උවදුරක් බවට. එයට ප්‍රධාන හේතුව ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල් වල නැවැත මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම. දකුණු කොරියාවේ සිටින අපේ දරුවන් ඇතුලු පිරිස් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. එම නිසා නැවැත එම වෛරසය රට තුලට ඇතුලුවීම වැළැක්වීම, පැතිරීම වැළැක්වීම සදහා  විශාල සුදානම් වීමක් සිදු කරන්න සිදු වෙලා තිබෙනවා. පසුගිය කාලය තුල ගත් පියවර තවදුරටත් ස්ථාපිත කරමින් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ සදහා ඊයේ ජාතික ක්‍රියාකාරි කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුනා. චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් පියවරයන්ට වඩා  දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. මොකද දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් වන නිසා. යම් කිසි රෝගී තත්ත්වයකින් එම පිරිස් ලංකාවට පැමිණියොත් කටයුතු කළ යුතු ආකාරය ගැන ද සාකච්ඡා කළා. ඒ අනුව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. අපි වගකිව යුතු රජයක් විදිහට ලෝකයේ මොන රටක මේ රෝගය පැතිරී ගියත්, එම රටවල සිටින පිරිස් ලංකාවට පැමිණියත් රට තුල එම වෛරසය පැතිරිම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගනු ලබනවා.

    මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඉදිරි කැබිනට් රැස්වීමේ දී ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ඇතුලු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අවධාරණය කරන ලදි.

  • ළමා මන්දපෝෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සාකච්ඡා

    ළමා මන්දපෝෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සාකච්ඡා

    ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.

    වසර 2030 වන විට ළමා මන්දපෝෂණය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ සහ ලෝක බැංකුවේ හදිසි ඉල්ලීමට සවන් දීමට තම කාලය කැපකිරීම පිළිබඳ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය සිය ස්තූතිය පළ කළාය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ළමා අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, ලෝක බැංකුව, ජපානය චීනය සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ අද ජනාධිපතිතුමා හමු වූහ.

    වර්තමාන කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් ජනතාව සාම්ප්‍රදායික ආහාරවලින් ඈත්ව ක්ෂණික, කෙටි ආහාර රටාවකට යොමුව තිබේ. අධික ලෙස සීනි අඩංගු, පෝෂණ කොටස් අඩු වූ මේ ආහාර රටාව තුළ ළමා මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතී. ළමා මන්දපෝෂණය අඩු කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන තිබුණද ඒවා කෙතරම් ඵලදායී ද යන්න ප්‍රශ්නාර්ථයක් බව ලෝක බැංකු නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයට මුලික හේතුවක් වන දිළිඳුබව පිටුදැකීම අත්‍යාවශ්‍ය සාධකයක් බවයි “අපගේ ආර්ථික ව්‍යාපෘති පදනම්ව ඇත්තේ ජනතා කේන්ද්‍රීය ආර්ථික මොඩලයක් මතයි. දිළිදු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අපේ අභිප්‍රායයි. ඒ සඳහා අප මේ වන විටත් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.  දිළිඳු පවුල්වල සාමාජිකයන්ට රැකියා ලක්ෂයක් ලබාදීම, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති පරිදි දිළිදු පවුල් සඳහා සහනාධාර ලබාදීම ඇතුළු වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බව” රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ළමයෙකු පරිපූර්ණ ලෙස වැඩීමේ දී ඔහු ජීවත්වන පරිසරයේ ඇති වටිනාකම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය. “පෙර පැවති අප රජය සමයේ පැල්පත්වාසීන් නව නිවාසවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍යයි” ජනාධිපතිතුමා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 1/3 ක් පමණ නිරතව සිටින්නේ කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත රැකියාවලයි. මේ අංශය දියුණු කිරීමට නියෝජිතයන්ගේ සහය ඉල්ලා සිටි ජනාධිපතිතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාව, ආහාර සුරක්ෂිතතාව මෙන්ම දිළිදු ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට හැකිවීමෙන් දරුවන්ට මනා පෝෂනයක් සැලසීමේ අවස්ථාව හිමිවන බව ද පෙන්වා දුන්නේය.

    දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සලකා බැලීමේ දියුණු කළ යුතු තවත් ක්ෂේත්‍ර ලෙස ධීවර සහ දියර කිරි කර්මාන්තය පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට සහය වන ලෙස නියෝජිත පිරිසගෙන්  ඉල්ලා සිටියේය.  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ශ්‍රී ලංකාව විශාල පිරිවැයක් දරයි. ගුණාත්මක ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම වැනි ගැටළුවලට මේ වන විට අප මූහුණ දී සිටිනවා. ග්‍රාමීය  සෞඛ්‍ය සේවාවන්හි තත්ත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද  ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

  • සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් වැළැක්වීමට සැලසුම්

    සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් වැළැක්වීමට සැලසුම්

    සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (26) පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව කැදවා තිබුණේ ඇමති මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මාතර දිස්ත්‍රික්  ලේකම්වරයා විසිනි. වැලිගම සංචාරක කලාපය ආශ්‍රිත ව සිදුකෙරෙන අපචාර හා නීති විරෝධි ක්‍රියා වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබුණි. වැලිගම සංචාරක කලාපයේ අක්‍රමිකතා රැසක් සිදුවන බවටත්, මේ නිසා දෙස් විදෙස් සංචාරකයන් මෙන් ම ප්‍රදේශවාසීන් ද බරපතළ පීඩාවකට පත් ව සිටින බවත් මෙහි දී අනාවරණය විය.

    රැස්වීමට සහභාගී වු හෝටල් හිමියන් සදහන් කළේ වැලිගම සංචාරක කලාපයේ සංචාරක හෝටල් හා ලැගුම්හල් 416 ක් පිහිටා තිබුණත් ලියාපදිංචි කර තිබුණේ 16 ක් පමණක් බවයි. එමෙන් ම මුහුදේ කිමිදීම, තල්මසුන් නැරඹීම වැනි කටයුතු වලදී ද විවිධ අක්‍රමිකතා සිදුවන බව ඔවුහු පෙන්වා දුන්හ.

    ඇතැම් සංචාරකයන් සංචාරක වීසා මත දිවයිනට පැමිණ නීති විරෝධි ලෙස මෙරට රැදී සිටින බවත් ඔවුන් විවිධ නීති විරෝධි ක්‍රියාවලීන් සදහා යොමු වී ඇති බවත්, මෙහි දී අනාවරණය විය. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටි අවධීයේ දී එම ප්‍රදේශවල ලියාපදිංචි නොවු සංචාරක නිකේතන වලට එක් දීනක දී පැයක් තුළ මත්පැන් විකිණිමේ අවසරපත්‍ර 24 ක් ලබා දී තිබුණ බවත් මෙහි දී අනාවරණය විය.

    පසුගිය රජය සමයේ වැලිගම සංචාරක කලාපයේ පවතින අපචාර හා නීති විරෝධි ක්‍රියා වැළැක්වීම සාකච්ඡා ගණනාවක් තිබුණ ද පැවති රජය කළේ මෙම අපචාර හා නීතිවිරෝධි ක්‍රියා තවත් වැඩි වන ආකාරයෙන් කටයුතු කිරීම පමණක් බව ද ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රදේශයේ මත්කුඩු, මත් ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ සංචාරක කර්මාන්තයේ ඇති අපචාර හා නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීම සදහා රජයේ අවධානය යොමු වී ඇති බවයි. ඒ අනුව සංචාරක පොලීසියේ කටයුතු වඩාත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. දැනට පවතින නිළ ඇදුම වෙනස් කර ඒ වෙනුවට නව නිළ ඇදුමක් හදුක්වා දීමට නියමිතයි. සංචාරක කළාප ආශ්‍රිත ව වෙන ම සංචාරක පොලීසියක් ස්ථාපනය කෙරේ. ඒ සදහා අවශ්‍ය නිළධාරීන් ද බදවා ගැනීමට අපේක්ෂිතයි. එහි දී විවිධ භාෂා හැකියාව ඇති පොලිස් නිළධාරීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය. නව පොලිස් ස්ථාන පිහිටුවීමට කඩිනමින් පියවර ගන්නා බව ද මෙහිදී ඇමතිවරයා කීවේය.

    දැනට භාවිතා වන ඌබර්, පික් මී වැනි අන්තර්ජාල යෙදවුම් (App) වෙනුවට නව යෙදවුමක් හදුන්වා දීමට ද රජයේ අවධානය යොමු වී තිබේ. සංචාරක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මෙම යෙදවුම හරහා මෙරටට පැමිණෙන සංචාරකයෙකුට නවාතැන් පහසුකම්, කුලී රථ සේවා ඇතුළු සිය සංචාරයට අදාළ සියපු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

    ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට සංචාරකයින් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවයි. 2025 වන විට රුපියල් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම අරමුණයි. ඒ වෙනුවෙන් රජය කැප වී සිටින බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය.

  • සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට සහන කාලයක්

    සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට සහන කාලයක්

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව  සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම මෙම සහනය සැලසුණු අතර සහන ලබා දී තිබු කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් 2020 ජනවාරි 01 වෙනි දා සිට සමාන වාරික මගින් සංචාරක බද්ධ වසරක් තුළ ආපසු ගෙවිය යුතු විය. එහෙත් මෙම සංචාරක ආයතන වලට අදාළ බදු ගෙවීම සදහා නැවත සහන කාලයක් ලබා දෙන ලෙස එම හිමිකරුවන් කළ ඉල්ලීම සලකා මෙම තීරණයට එළඹි බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මෙරට සංචාරක පැමිණීම් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් ව නොමැත. පසුගිය කාලයේ සංචාරක පැමිණීම් යථා තත්ත්වයට පැමිණෙමින් තිබුණ ද කොරෝනා  වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක පැමිණීම් වල අඩුවක් දක්නට ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එය ද මෙම සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහනය දීර්ඝ කිරීමට හේතු වී තිබේ.

  • සංචාරක ව්‍යාපාරයට කලු පැල්ලම් එක්කරන්න එපා – ඇමැති ප‍්‍රසන්නගෙන් අවවාද

    සංචාරක ව්‍යාපාරයට කලු පැල්ලම් එක්කරන්න එපා – ඇමැති ප‍්‍රසන්නගෙන් අවවාද

    සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඊට අදාළ ව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසයි.

    දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුලත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත. මෙම දර්ශන වලට අදාල සිද්ධීන් පිළිබද ව සොයා බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.

    දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් පික්මී, ඌබර් වැනි ජාත්‍යන්තර යෙදවුම් හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කරයි. පහුගිය දිනවල සමාජජාලා වල විකාශය වූ බහුතරය එවැනි සිද්ධීන්ය. අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙලෙස අශෝභන ලෙස හැසිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන බවත් ඇමතිවරයාගේ අදහසයි.

    මේ නිසා දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බව ඇමතිවරයා කියයි. දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබේ. දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරයා අවධාරණය කරයි.

  • ධීවරයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති අවධාරණය කරයි

    ධීවරයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති අවධාරණය කරයි

    ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මේ උපදෙස් දුන්නේය.

    අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

    අපනයන සමාගම් මිලදී  ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ. තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඕව්හු  පෙන්වා දුන්හ.

    කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිවරයා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, සනත් නිශාන්ත පෙරේරා, කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරු,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක සහ  යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.

  • අලුත් පක්ෂය ගොඩනැගූ හේතුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    අලුත් පක්ෂය ගොඩනැගූ හේතුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බවයි.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චම්පික රණවක මහතා කියා සිටියේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

    සමගි ජන බලවේගයට ඉදිරි දින කිහිපයේදී තවත් පක්‍ෂ සහ පුද්ගලයන් එක්වීමට නියමිත බවද රණවක මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

  • ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගැනීමට දුරකථන අංක

    ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගැනීමට දුරකථන අංක

    කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි. 

    රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ.

    ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට වැඩි පිරිසක් ඉතාලියේ වාසය කරනු ලැබේ.  ඉන් 60%ක්ම වෙසෙන්නේ ලොම්බාඩ් කලාපයේ ය.  දූත මණ්ඩල මේ වන විට රෝම සහ මිලාන් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි. ශ්‍රී ලංකා විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ සියලු දෙනා මේ සම්බන්ධව එක් වී සිටියි.  

    ඉතාලියේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසත් අදාළ නීති රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුව සියලු පියවර ගන්නා ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.  තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකතන ඇමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකය. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබේ.

    එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය. සිසිර සෙනෙවිරත්න විදේශ කටයුතු සම්බන්ධීකාරක – (0039) 3499351745 ප්‍රියා නාගරාජා – තුන්වන ලේකම් (0039) 3403581603 නිමාලි ජයමහ – කළමනාකාර සහකාර (0039) 3483027997 මිලාන් හි කොන්සල් කාර්යාලය – සදමාලි දිසානායක (0039) 3888016268

  • පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක්

    පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක්

    පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • ගුවන් නියමු ඉල්ලුමට ප‍්‍රසන්නගෙන් සැපයුම නියමෙට

    ගුවන් නියමු ඉල්ලුමට ප‍්‍රසන්නගෙන් සැපයුම නියමෙට

    මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට යයි. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02ක පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02 පිහිටුවීම සදහා අවශ්‍ය විශාල ගුවන් යානා නැවතුම් අංගන පහසුකම් රත්මලාන ගුවන් තොටුපළ සතුය. එමෙන්ම මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා අවශ්‍ය ඉඩම් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ සතු ව තිබේ. ආරම්භ කිරීමට අපේක්ෂිත නව පුහුණු ආයතන 02 සදහා ඩුබායි, තායිලන්තය, මියන්මාරය වැනි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ද පවතී.

    මෙම වැඩ සටහන් මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්, සුදුසුකම් හා කුසලතා සහිතව බිහිවන ආධුනික ගුවන් නියමුවන් ගුණාත්මකභාවය හේතුවෙන් රටේ ප්‍රමිතිය ඉහළ යනු ඇති බවත් එමගින්  ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රතිරූපය ද වැඩි දියුණු වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. 2036 වන විට ගුවන් සේවා කර්මාන්තයට මිලියන 2.1 ක අතිරේක ගුවන් නියමුවන්, නඩත්තු කාර්ය මණ්ඩල, ගුවන් යානා කුටි කාර්ය මණ්ඩල, ගුවන් ගමන් පාලකවරුන් හා වෙනත් කම්කරුවන් අවශ්‍ය වේ. මෙම පිරිස සදහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ආසියා පැසිෆික් කලාපයෙනි. එය ආසන්න වශයෙන්  තනතුරු 817,000 ක් පමණ වනු ඇතැයි ගුවන් සේවා ක්ෂේත්‍ර යේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

    මීට අදාළව එක්සත් ජාතික එමීර් රාජ්‍ය යේ ඇල්ෆා ඒවියේෂන් ඇකඩමිය මෙරට ආයෝජනය සදහා කැමැත්ත පළ කර ඇති බවත් ඒ සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම එකගතාවය පළ කර ඇති බවත් ඇමතිවරයා කියා සිටී. ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකීය ගුවන් සේවා කර්මාන්තය හා වෙළදපොල තුළ දැනුම හුවමාරු කිරීමේ ප්‍ර වේශයක් හදුන්වා දීම සදහා මෙම නව ව්‍යාපාරය ඉවහල් වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

  • පාන් මිල අඩු කෙරේ

    පාන් මිල අඩු කෙරේ

    හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

  • UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

    සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා,

    “මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

    මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.

    අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා.  ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”

    මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි  විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමන් වූ හව්හරණක් නොමැතිව අනාතවී සිටින  බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයින්ට ජයග්‍රාහී එකමුතුවකට ආරාධනා කරන බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

  • නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට යුද්ධ හමුදා පොලිසියේ සහය

    නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට යුද්ධ හමුදා පොලිසියේ සහය

    වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වූ නව පියවරක් යටතේ කොළඹ නගරයට රථවාහන පිවිසෙන/පිටවෙන ස්ථානවලට දැන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යොදවා ඇත.

    මෙම ව්‍යාපෘතිය, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් අනුගමනය කරමින් සඳුදා (24) දින උදෑසන සිට දියත් කරන ලදී. ඉන් මාර්ග තදබදය නිසාවෙන් කාලය නිකරුණේ විනාශ වී යෑම අවම කිරීමත් ඒ තුළින් ජාතික ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    නගර සීමාව පුරා බොහෝ ජනාකීර්ණ ස්ථාන ආවරණය වන පරිදි සතියේ දින හතේම උදේ 6.00 ත් 10.00 ත් සවස 4.00 ත් 7.00 ත් අතර කාලය තුළ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යෙදවීම නාගරික රථවාහන පොලිස් නිලධාරීන්ට රථවාහන තදබදය අවම කරගැනීමට සහයෝගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මීට අමතරව, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා ජංගම මෝටර් රථ සහ යතුරුපැදි පහක් දිගින් දිගටම මාර්ග තදබදය නිරීක්‍ෂණය කිරීම, සන්නිවේදන සම්බන්ධතා සහ එම කාලය තුළ සුපරීක්‍ෂාකාරීව සිටීම අවශ්‍ය නම් විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් සිදු කරනු ලබයි.