Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි
Spread the love

කොරෝනාවෛරසයට එරෙහිව ප්‍රතිදේහ පවතීදැයි හඳුනා ගැනීම සඳහා චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල භාවිත කිරීම නතර කරන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ සංවිධානය එරට බලධාරීන්ට දැනුම් දී ඇත.

එම සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ චීන පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ය.

ඉන්දියාව පුරා කොරෝනාවෛරස් පරීක්ෂණ ශීඝ්‍රයෙන් සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න තොගයක් චීනයෙන් ආනයනය කර ඇත.

එම පරීක්ෂණ කට්ටල හරියාකාරව ක්‍රියා නොකරන බවට ඉන්දීය ප්‍රාන්ත කිහිපයකින් ම පැමිණිලි ලැබී තිබේ.

මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව තවත් රටවල් කිහිපයකින් ම පැමිණිලි ඉදිරිපත් වූ නමුත් එම පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය පිළිබඳව නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාවේ සිදුවන්නේ කුමක්ද?

යටත් පිරිසෙයින් ඉන්දීය ප්‍රාන්ත තුනක් මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව සිය අසතුට ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ උතුරු කලාපයේ පිහිටි රාජස්තාන් ප්‍රාන්තය මෙම කට්ටල භාවිත කිරීම සපුරා ප්‍රතික්ෂේප කර ඇත.

එම ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ මෙම පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යභාවය 5%කට පමණක් සීමා වී පැවතුණු බවය.

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ද මෙම කට්ටල යොදා ගනිමින් පරීක්ෂා කළ බවත් එහිදී ඔවුනට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බවට ප්‍රතිඵල ලැබුණු බවත් ඔවුහු තවදුරටත් පැවසුහ.

මෙම හේතුව නිසා, චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල හොඳින් පරීක්ෂා කර බලන තුරු ඒවා භාවිත කිරීම දින දෙකකට නවතා දමන ලෙස දැනුම් දීමට ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) පෙළඹී තිබේ.

කෙසේ නමුත්, කොරෝනාවෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මූලික සහ ප්‍රධාන ක්‍රමවේදය ලෙස මෙවැනි ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම පිළිබඳව තමන් කල්තියා අනතුරු ඇඟවීම් කර තිබුණු බව ද එම කවුන්සිලය පැවසීය.

මෙම පරීක්ෂණ කට්ටල ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

මෙහි පවතින්නේ ඉතා සරල ක්‍රමවේදයකි. මෙම පරීක්ෂණය පදනම් වී ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සිරුර තුළ තැනුණු ප්‍රතිදේහ, රුධිර සාම්පලයක පවතීදැයි හඳුනා ගැනීම මතය.

කාන්තාවක් ගැබ් ගෙන ඇත්දැයි නිශ්චය කිරීම සඳහා භාවිත කෙරෙන “ඔව්/නැත” (“yes/no”) යන ප්‍රතිඵලය සඳහන් කෙරෙන සරල පරීක්ෂාවකට මෙය බොහෝ දුරට සමානය.

මෙම පරීක්ෂාවෙන් අදහස් වන්නේ අදාළ පුද්ගලයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඊට එරෙහිව සිය සිරුර තුළ ප්‍රතිශක්තිය වාර්ධනය වී ඇත්දැයි හඳුනා ගැනීමය.

මෙම පරීක්ෂණ කට්ටලය නිසා ලෝකය නැවත යතා තත්වයට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ රටවල් අපේක්ෂා කළහ.

එහෙයින්, මෙවැනි පරීක්ෂණ කට්ටල තම රට තුළ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන අතරතුර චීනයෙන් ඒවා විශාල ප්‍රමාණයක් ඇනවුම් කිරීමට ලොව පුරා රටවල් බොහොමයක් පියවර ගත්තේය.

කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකම මේ වනවිට එම පරීක්ෂණ කට්ටල පිළිබඳව ප්‍රශ්න මතුවී තිබේ.

අනෙක් රටවල් මුහුණ දුන් ප්‍රශ්න මොනවාද?

ඇමරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ “සැක සහිත ප්‍රමිතියකින්” යුත් පරීක්ෂණ කට්ටල ඇමරිකානු වෙළඳපොළ වෙත ගලා විත් ඇති බවය.

එම පරීක්ෂණ කට්ටල භාවිත කරමින්, අදාල ප්‍රතිදේහ නොමැති පුද්ගලයන් මත කෙරුණු පරීක්ෂණ වලදී පවා ඔවුන් සතුව ප්‍රතිදේහය පවතින බවට ප්‍රතිඵල ලැබී ඇති බව එම පුවත්පත වාර්තා කර තිබුණි.

මෙම පරීක්ෂන කට්ටල සතු සංවේදීතාවය පහල මට්ටමක පවතින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයෝ පැවසුහ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් මාධ්‍යයට ප්‍රකාශ කළේ එම කට්ටල “එතරම් හොඳ මට්ටමක නොමැති” බවය.

මේ අනුව පෙනී යන්නේ, සංකීර්ණ සහ වැඩි කාලයක් ගතවන නමුදු දැනට පවතින එකම විශ්වාසනීය ක්‍රමය වන්නේ රසායනාගාර පරීක්ෂාව බවය.

Full text by bbc sandesaya