Covid-19 Global Hot Review: ලොව පුරා උණුසුම් සුපිරි පුවත් විමසුම

Covid-19 Global Hot Review: ලොව පුරා උණුසුම් සුපිරි පුවත් විමසුම
Spread the love

මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. පහත දැක්වෙන්නේ අද වන විට ලොව කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්ය.

චීනය

ෂිංජියෑන්ග් පළාත තුළ කොරෝනා වෛරසය පැතිර යාමත් සමග චීනය යළි මුළු නගරයක්ම පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

මේ දක්වා, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද රෝගීන් 138 දෙනෙකු හමුවීමත් සමග කෂ්ගර් ප්‍රදේශයේ මිලියන 4.7 ක් පමණ පරීක්ෂණ සඳහා යොමු කරවා ඇත.

වෛරස් රෝගීන් සංඛ්‍යාව පහළ දමා ගැනීම අතින් චීනය විශාල සාර්ථකත්වයක් දිනා ගෙන තිබුණ ද තවදුරටත් එරටින් කුඩා පොකුරු හමුවෙමින් පවතී.

චීනයේ සුළුතර උයිගර් මුස්ලිම් ජනයා වැඩි වශයෙන්ම වෙසෙන්නේ ෂිංජියෑන්ග් පළාත තුළය. බීජිං පාලනය විසින් ඔවුන් පීඩාවට ලක් කරනු ලැබ ඇතැයි මානව හිමිකම් සංවිධාන පවසති.

කෂ්ගර් ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කෙරෙන පරීක්ෂණ වාර්තාවක් නොමැති පුද්ගලයන්ට නගරයෙන් බැහැර යාමට අවසරයක් නොමැත.

කෂ්ගර් ප්‍රදේශයෙන් හමු වූ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද පළමු රෝගියා ඒ තදාසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකි.

චීන රජයේ මාධ්‍ය පවසන පරිදි ඇයට කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ “දිනපතා කෙරෙන පරීක්ෂණ” මගිනි. දින දහයකට පසු චීන භූමියෙන් හමු වූ පළමු වෛරස් රෝගියා ඇයයි.

සෙනසුරාදා පුළුල් මට්ටමෙන් දියත් කෙරුණු පරීක්ෂණ මගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද තවත් ආසාදිතයන් 137 දෙනෙකු හඳුනා ගනු ලැබිණි.

මිනිත්තු 12 න් ප්‍රතිඵල දෙන පරීක්ෂණයක්

Nasal swab
සිය පාරිභෝගිකයන්ට හිතට සහනයක් ළඟා කර දීම සිය අරමුණ බව ‘බූට්ස්’ සමාගම පවසයි

මිනිත්තු 12 වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා දිය හැකි කෝවිඩ් පරීක්ෂණයක් එක්සත් රාජධානියේ ‘බූට්ස්’ නමැති ඖෂධ අලෙවිසැල් ජාලය මගින් හඳුන්වා දීමට නියමිතය.

නාසයෙන් ලබා ගන්නා සාම්පල මගින් කෙරෙන එම පරීක්ෂණයට පවුම් 120 ක් (රුපියල් 25,000 ආසන්න මුදලක්) අය කෙරෙන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන්ට තෝරාගත් ඖෂධ අලෙවිසැල් ඔස්සේ එය ලබා ගැනීමට හැකි වනු ඇත.

සිය පාරිභෝගිකයන්ට හිතට සහනයක් ළඟා කර දීම සිය අරමුණ බව ‘බූට්ස්’ සමාගම පවසයි.

සාමාන්‍ය ක්‍රමවේදය නම්, එක්සත් රාජධානියේ වෙසෙන ඕනෑම අයෙකු තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇතැයි හැඟෙන්නේ නම් නිවසේ රැඳී සිටිය යුතු අතර එරට ජාතික සෞඛ්‍ය සේවය (NHS) අමතා කෝවිඩ් පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කර ගත යුතුය.

ඉහත කී පර්යේෂණය මගින් නිවැරදිව රෝගීන් හඳුනා ගත හැකි බව පෙන්නුම් කෙරෙන අතර අනෙකුත් ඕනෑම කෝවිඩ් පරීක්ෂණයකදී මෙන්ම වැරදි ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාවක් ද පවතී.

ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය

People wear protective masks in the streets of Madrid, Spain, 28 July 2020
මේ වසර ආරම්භයේ කොරෝනා වෛරස් වසංගත පළමු රැල්ලෙන් බරපතල ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤය එවක රට තුළ දැඩි ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය

ස්පාඤ්ඤය විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර කෝවිඩ්-19 ආසාදිතයන් එකවර ඉහළ යාම පාලනය කිරීමේ උත්සහයක් වශයෙන් එහි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවනු ලැබ ඇත.

ඉරිදා සිට බලාත්මක කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රී 11:00 සිට උදෑසන 06:00 දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සන්චෙස් පැවසීය.

නවතම සීමා යටතේ ස්පාඤ්ඤ වැසියන්ට රටේ පළාත් අතර සංචාර තහනම් කිරීමට බලධාරීන්ට ඉඩ ලැබේ.

මූලික වශයෙන් දින 15 ක කාලයකට බලාත්මක කෙරුණු ඇඳිරි නීතිය මාස හයක් දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා සඳහන් කළේය.

මේ වසර ආරම්භයේ කොරෝනා වෛරස් වසංගත පළමු රැල්ලෙන් බරපතල ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤය එවක රට තුළ දැඩි ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ස්පාඤ්ඤය ද මේ වන විට කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලට මුහුණ දී තිබේ.

ඉතාලිය තුළ ද ඉරිදා නව සීමා නිවේදනය කරනු ලැබිණි. කෝවිඩ්-19 ආසාදිතයන්ගේ ඒකාකාරී වර්ධනය හමුවේ එරට සෞඛ්‍ය සේවයට පීඩනයක් එල්ල වී ඇති බව ඉතාලි ආණ්ඩුව පැවසීය.

මේ අතර ප්‍රංශයෙන් දිනක් තුළ හඳුනා ගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා විය. ඉරිදා එරටින් අලුතින් රෝගීන් 52,010 හඳුනා ගැනුණු අතර සෙනසුරාදා වාර්තා වී තිබුණු රෝගීන් සංඛ්‍යාව 45,000 කි.

නත්තල් සීයාවරුන්ට ‘කණගාටුදායක’ පුවතක්

Santa Claus waves from his flotat during the annual Macy's Thanksgiving Day Parade in New York City, November 28, 2019

නත්තල් සීයා ලෙස වෙස් ගන්නා ශිල්පීන්ට කල් තියා කොරෝනා වෛරස් එන්නතක් ලබා දීම සඳහා වූ සැලසුම ඇමරිකාව විසින් අවලංගු කරනු ලැබ තිබේ. අදාළ එන්නත මහජනයා අතර ප්‍රවර්ධනය කිරීම සඳහා එම ශිල්පීන්ගේ සහාය ලබා ගැනීම සැලසුමේ අරමුණ වී තිබිණි.

නත්තල් සීයාගේ බිරිඳ සහ ‘අඟුටු මිට්ටන්’ ලෙස වෙස් ගන්නා ශිල්පිනියන්ට ද එන්නත ලබා ගැනීමේ හැකියාව තිබිණි.

එන්නත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීම සඳහා වන ආණ්ඩුවේ ප්‍රචාරක වැඩසටහනක කොටසක් වශයෙන් නත්තල් සීයාට ලෙස වෙස් ගන්නා ශිල්පීන් ද ඊට ඇතුළත් කර තිබිණි. ප්‍රචාරක වැඩසටහන සඳහා වෙන් කෙරුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි.

නමුත් එම ප්‍රචාරණ ව්‍යාපාරය අත්හැර දමා ඇති බව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ.

‘සැබෑ රැවුලක් සහිත නත්තල් සීයාවරුන්ගේ සහෝදරත්වය’ නමැති සමාජයේ සභාපතිවරයා කියා සිටියේ එය “අතිශය කලකිරීමට පත් කරවන” පුවතක් බවය.

Text by – bbc sandesaya