Covid 19 – World Hot News Review: ඉතාලිය චීනයටත් වඩා මරණ වාර්තා කරයි

Covid 19 – World Hot News Review: ඉතාලිය චීනයටත් වඩා මරණ වාර්තා කරයි
Spread the love

තරුණයින්ටත් කොරෝනා අත වනයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බවත් එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද (21) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකදීයි.

සිංගප්පූරුවෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් ප්‍රථම මරණ වාර්තා වෙයි

මේ අතර සිංගප්පූරුවෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ප්‍රථම නව කොරෝනා වෛරස මරණ වාර්තා වුණා.

සිංගප්පූරු රජයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියන්නේ සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් හා 65 වියැති ඉන්දුනීසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔවුන් දෙදෙනාම ප්‍රාදේශීය රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි එරට වාර්තා කියන්නේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත ප්‍රථම මරණ දෙක වාර්තා වී ඇති බව සෞඛ්‍ය හා වැළැක්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.

මිය ගොස් ඇති එක් අයෙක් යුරෝපයේ සිට එරටට පැමිණි 78 හැවිරිදි සෞදි ජාතිකයෙකු වන අතර, දෙවැනි තැනැත්තා හෘද රෝග හා වකුගඩු ආබාධයෙන් පෙළුණු 58 හැවිරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ආසියාතිකයෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කියන්නේ.

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියටත් කොරෝනා

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සහ දකුණු කැරොලිනා හිටපු ආණ්ඩුකාර ඩේවිඩ් බීස්ලි David Beasley කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඩේවිඩ් බීස්ලේ පැවසුවේ තමන් හා සමීපව වැඩ කළ පුද්ගලයන් හඳුනා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවයි.

“මේ වන විට මගේ රෝග ලක්ෂණ සාපේක්ෂව සැහැල්ලුයි. මගේ පවුලට සමීප වීමට ලැබීම මට වාසනාවකි. මට විශිෂ්ට වෛද්‍ය ආධාර ලබා ගත හැකියි‘

කැනඩාවේ සංචාරයෙන් පසු තමාට අසනීපයක් දැනෙන්නට පටන් ගත් බවත් දින පහක් තිස්සේ තම එක්සත් ජනපද නිවසේ ස්වයං නිරෝධායනයක යෙදී සිටින බවත් බීස්ලි පැවසීය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම බීස්ලි සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් සොයා ගෙන ඇති අතර ඔහු ආසාදනය පිළිබඳව නොදැන සිටියේය.

කොරෝනා මරණ සංඛ්‍යාව 11,576ක් දක්වා ඉහළට

අද දිනය (21) වන විට ලොව පුරා රටවල් 186ක කොරෝනා වෛරස ආසාදිතයින් 278,838ක් වාර්තා වූ අතර අසාදිතයින් 11,576ක් මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඉතාලිය විසාලාවක් වෙන හැඩ: මරණ සංඛ්‍යාව 4032ක්

මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාව වන 4032ක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී තිබෙනවා. එය නව කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව බවයි වාර්තා කියන්නේ.

ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වීම පිළිබදව ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙන අතර ඉතාලියේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3654දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන් වෙනවා.

ඩොලර් ට්‍රිලියනය ගැන රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ මත දෙකක

කොරෝනා වයිරසයෙන් බැටකන ඇමෙරිකානු ජනතාවට සහන සැලැසීම සඳහා යෝජනා වූ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රිපබ්ලිකන් පක්ෂයට හා ඩිමොක්‍රටික් පක්ෂයට නොහැකි වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය පවසනවා.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම සඳහා කාලසීමාවක් ද නම් කර තිබූ නමුත් මූල්‍ය සහන බෙදා දෙන්නේ කෙසේද ? එය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා අර්බුදය හටගෙන තිබෙනවා. මේ අනුව අද පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ප‍්‍රංශ පුවත් වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1326 දක්වා ඉහළට

ඉතාලියේ තත්ත්වය මේ ආකාරයෙන් අධි අවධානම් තත්ත්වයක් කරා ගමන් කරද්දී අසල්වැසි ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය පැය 24 ඇතුළත පමණක් නව මරණ 324ක් වාර්තා වී ඇති බවත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 24,926ක් බවයි. එය පසුගිය 20 වැනිදාට වඩා 4946ක වැඩිවීමක් බවයි එරට සෞඛ්‍ය අංශ කියන්නේ.

ජර්මනියේ කොරෝනා ආසාදිතයින් 47ක් මරුට

ඉතාලිය සහ ස්පාඤ්ඤ මේ ආකාරයෙන් අධි අවදානම් තත්ත්වයක් කරා ගමන් කරන විට බටහිර යුරෝපීය ප‍්‍රබලමත රාජ්‍යයක් වන ජර්මනිය ද ක‍්‍රමයෙන් අවදානම් තත්ත්වයක් කරා ගමන් කරමින් සිටිනවා. ඒ අනුව ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 47 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර එය පසුගිය සිකුරාදා (20) පවැැතියේ වනවිට 31ක අගයකයි. ඒ අනුව පසුගිය පැය 24 තුළ ජර්මනියේ කොරෝනා මරණ සංඛ්‍යාවට 16 දෙනකු එකතු වී තිබෙනවා.

මේ අතර ජර්මන් සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ පසුගිය පැය 24 ඇතුළත අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයින් 2705 දෙනකු හමුවී ඇති බවයි. ඒ අනුව ජර්මනියේ නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 16,662 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ ඇතුළු වෙරළ තීර කිහිපයක් ජන ශුන්‍ය කෙරේ

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට දැඩි පියවර ගනිමින් සිටින ඕස්ට්‍රේලියාව ජනප‍්‍රිය වෙරළ තීරයක් වන බොන්ඩි වෙරළේ Bondi beach රැඳී සිටි පුද්ගලයින් ඉවත් කර එම ස්ථානය ජන ශුන්‍ය කිරීමට එරට බලධාරින් පියවර ගත්තා.

පසුගිය දා පවැති අධික උෂ්ණත්වය හේතුවෙන් විශාල පිරිසක් ඊයේ (20* බොන්ඩි වෙරළට පැමිණ සිටි නමුත් මේ තත්ත්වය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වුණා. ඔවුන් සදහන් කළේ මෙවැනි අධික ජන ඒකරාශීවීම් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජය පනවා ඇති සීමා කිරීම් අභියෝගයට ලක්වන බවයි.

ඒ අනුව වෙරළට අද දිනයේත් විශාල පිරිසක් බොන්ඩි වෙරළට එක්රැස් වීම හේතුවෙන් එය ජන ශුන්‍ය කිරීමට එරට ආරක්ෂක අංශ කඩිනම් පියවර ගත්තා. මීට සමගාමීව සිඩ්නි නගරයේ තවත් ප්‍රසිද්ධ වෙරළ කිහිපයක්ම මෙසේ ජන ශුන්‍ය කලාප බවට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව අද (සෙනසුරාදා) වන විට 1068 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන් අතුරින් 10 දෙනෙක් ඇමරිකානු ජාතිකයින් බවයි වාර්තා වන්නේ.