Google ඔස්සේ ‘තමන්ම ගබ්සා කරගැනීම ගැන සොයා බැලීම්’ දෙගුණය ඉක්මවලා

Google ඔස්සේ ‘තමන්ම ගබ්සා කරගැනීම ගැන සොයා බැලීම්’ දෙගුණය ඉක්මවලා
Spread the love

පසුගිය දශකය තුළ ලොව පුරා ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ගබ්සාව පිළිබඳ කරන ලද සොයා බැලීම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ගූගල් සෙවුම් සම්බන්ධයෙන් බීබීසී සේවය කළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ.

විශේෂයෙන් ගබ්සා කිරීම් පිළිබඳ දැඩි නීති පවතින රටවල, ගබ්සා ඖෂධ සම්බන්ධයෙන් කරන ගූගල් සෙවීම් ඉතා ඉහළ අගයක් ගන්නා බව විශ්ලේෂණයේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, නීතිමය බාධාවන්ගෙන් මිදීම පිණිස තාක්ෂණය භාවිත කිරීමට පෙළඹෙන කාන්තාවන්, ගබ්සා පෙති අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන, අදාල වෛද්‍ය උපදෙස් වට්ස්-ඇප් සමාජ මාධ්‍යය මගින් හුවමාරු කරගැනීමට යොමු වී තිබේ.

ගබ්සාවේ මෙම නූතන ස්වරූපය ‘ගබ්සාව ඔබම කරගන්න’ නැතහොත් “DIY abortion” යනුවෙන් විග්‍රහ කෙරේ.

ශ්‍රී ලංකාවේ ද දිනකට සිදුවන නීති විරෝධී ගබ්සා ප්‍රමාණය 650 ඉක්මවන බව 2016 වසරේදී අනාවරණය විය.

ලංකාවේ දිනකට නීතිවිරෝධී ගබ්සා 650ක්!

ගබ්සාව සම්බන්ධයෙන් දැඩි නීති රීති පවතින රටවල, මවගේ ජීවිතයට තර්ජනයක්වන අවස්ථාවලදී හැර ගබ්සාව මුළුමනින්ම තහනම් කර ඇත.

එවැනි තහනමක් නොමැති රටවල් සමග සසඳන විට, ගබ්සාව තහනම් රටවල මයිසොප්‍රොස්ටොල් (Misoprostol) නම් ගබ්සා පෙති පිළිබඳ කරන ලද ගූගල් සෙවුම් දස ගුණයකින් වැඩි බව විශ්ලේෂණයෙන් පෙනී ගොස් තිබේ.

සැත්කමක් කිරීම හෝ ඖෂධ ලබාදීම වශයෙන් ගබ්සාව සිදුකරන ප්‍රධාන ක්‍රම දෙකකි.

BBC

ඖෂධ ලබාදීම මගින් ගබ්සාව සිදුකරන්නේ මයිසොප්‍රොස්ටොල් සහ මයිෆ්ප්‍රිස්ටොන් (Mifeprostone) යන ඖෂධ දෙකෙහි සම්මිශ්‍රණයක් ලබාදීමෙනි.

මෙම ඖෂධ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට සෙවුම් කරන, ගබ්සාව තහනම් කළ රටවල පුද්ගලයන් සෞඛ්‍ය පිළිබඳ අවදානමට අමතරව නීතිය උල්ලංඝණය කරමින් දැඩි දඬුවම් විඳීමේ අවදානම ද ගනී.

ගූගල් දත්තවලට අනුව මෙම ඖෂධ දෙවර්ගය සෙවූ රටවල් අතර ඉහළින්ම සිටින්නේ ඝානාව සහ නයිජීරියාවය.

ගූගල් සෙවුම් ඉහළම අගයක් සහිත රටවල් 25 අතුරින් රටවල් 11 ක් අප්‍රිකානු රටවල් වන අතර 14 ක් ලතින් ඇමෙරිකානු රටවල්ය.

BBC

ගූගල් දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම සෙවුම් වඩා අධික ලෙස කරන රටවල් පෙන්නුම් කරන අතරම, සමාන වචන යුගල භාවිත කිරීම මගින් අදාල කරුණ පිළිබඳව සීමිත කාල රාමුවක් තුළ කොපමණ වාරයක් සෙවුම් සිදුකළේ ද යන්නත් අනාවරණයවේ.

බීබීසී සේවය කළ විශ්ලේෂණයට අනුව සියළුම රටවලින් ගූගල් සෙවුමේ වැඩියෙන්ම භාවිත කරන ලද වචන වන්නේ “ගබ්සා පෙති” යන්නය.

“ගබ්සාවක් කරගන්නේ කෙසේද?” යන්න ලොව පුරා රටවලින් තුනෙන් දෙකකට වඩා අසන ලද පොදු ප්‍රශ්නය වේ.

ඊට අමතරව, “මයිසොප්‍රොස්ටොල් භාවිත කරන්නේ කෙසේද?”, “මයිසොප්‍රොස්ටොල් මිල”, “මයිසොප්‍රොස්ටොල් මිලදී ගැනීමට” සහ “මයිසොප්‍රොස්ටොල් මාත්‍රාව” පොදුවේ සොයන ලද කරුණු වේ.

BBC

මේ අතර සමහරුන් පෙතිවලින් ඔබ්බට ගොස් තමන්ටම ගබ්සාව කරගැනීම සඳහා අවශ්‍ය විකල්ප ක්‍රමවේද සොයා බලන ලද බව ද මෙම ගවේෂණයේදී අනාවරණය විය.

විශ්ලේෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව ලොව රටවලින් අඩක් “ගබ්සාව සඳහා ගෘහ ප්‍රතිකර්ම” පිළිබඳව සොයා ඇත.

ලොව පුරා වසරකට මිලියන 25 ක් තරම් අවදානම් සහගත ගබ්සා සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එය වසරක සමස්ත ගබ්සා ප්‍රමාණයෙන් 45% ක් ප්‍රතිශතයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉහත “ගබ්සාව සඳහා ගෘහ ප්‍රතිකර්ම” එකදු ක්‍රමවේදයක් හෝ සෞඛ්‍යාරක්ෂිත නොවේ.

Text by – bbc