Tag: featured

  • ‘එන්නත් දෙකම ලබා ගත් අය හරහා’ වසංගතය දරුණු ලෙස පැතිරෙනවා ?

    ‘එන්නත් දෙකම ලබා ගත් අය හරහා’ වසංගතය දරුණු ලෙස පැතිරෙනවා ?

    ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා.

    ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු අඟවයි.

    එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

    එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.

    “නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා” යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

    දවසකට මරණ 200, 300 ක්?

    සීග්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි.

    වහා සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බවත් තවදුරටත් වසංගතය පිළිබඳ බොරු සහතික ලබා නොදිය යුතු බවත් සතියකට පෙර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

    “හැබැයි අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්.”

    මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි ඉදිරි සති දෙක තුළ මරණ අඩු කිරීමට නම්:

    පැමිණෙන සියලුම රෝගීන් රෝහල්වලට ඇතුලත් කර ගැනීම සහ නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම මෙන්ම රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබා දීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදු විය යුතුය.

    “මහාචාර්ය චන්න ජයසුමන කී ආකාරයටම අපිට තිබෙන බරපතලම ගැටලුව වෙන්නේ ඉන්දියාවේ වුණා වගේ ඔක්සිජන් ප්‍රමාණය මදි වුණු ගමන් අපි වෙනදා බේරගන්න ලෙඩ්ඩු මැරෙන්න තිබෙන අවදානම වැඩි වීම.”

    “ඒ දේ නවත්ත ගන්න නම් අපි ආපසු මුලට යා යුතුයි. රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න අවශ්‍යයි.”

    “රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

    “ආර්ථිකය ද? ජීවිතය ද?”

    Covid deaths

    ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

    කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

    “ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.”

    “අද සති දෙකක් වැහුවත්, තව සති දෙකකින් සති දෙකක් වැහුවත් ආර්ථිකයට එන බලපෑම එකයි. හැබැයි අද සති දෙකක් වැසීම සහ තව සති දෙකකින් රට වැසීම හරහා අපිට නැති වෙන ජීවිත ප්‍රමාණය දෙතුන් දාහක් වෙන්න පුළුවන්, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.”

    “අපිට රට එකපාරක් ඇරලා, ආපහු වහන්න උනොත් මේක අපේ ෆේලියර් එකක්, මේක අපේ වැරද්දක් වෙනවා වගේ හැඟීමක් නිසා අවශ්‍ය දේ නොකරන ගතියක් පේනවා.”

    “අපිට යම් තීරණයක් ගන්න වෙනවා, ඊට පස්සේ තවත් තීරණයක් ගන්න වෙනවා කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. මේක තමයි ගෝලීය වසංගතයක යතාර්ථය.”

    මහාචාර්ය සුනෙත් අගම්පොඩි වෙත BBC සිංහල සේවය යොමු කළ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරැ පහත දැක්වේ.

    Suneth Agampodi
    ඡායාරූප ශීර්ෂ වැකිය,මහාචාර්ය සුනෙත් අගම්පොඩි

    ලංකාව අද සිටින තැන?

    වසංගතය ආරම්භයේ සිට මේ දක්වා පැවති භයානකම කාලයට දැන් අප මුහුණ දී සිටිනවා.

    මේ අද පවතින භයානකම තත්ත්වය, හෙට මීට වඩා භයානක තත්ත්වයක් වෙනවා. අනිද්දා ඊටත් වඩා භයානක තත්ත්වයක් වෙනවා.

    මෙතෙක් සෑම රටකම පැවති භායනකම තත්ත්ව දක්නට ලැබුනේ ඩෙල්ටා ප්‍රභේදය එම රටවලට ඇතුළු වී එය පැතිර ගිය පසුවයි.

    අසල්වැසි ඉන්දියාවේ, ඇමරිකාවේ, යුරෝපා රටවල අපට එම තත්ත්වය දැකිය හැකි වුණා.

    මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි?

    මේ මොහොත වන විටත් අප ඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් එසේත් නොමැති නම් ලංකාවේ අප්‍රේල්, මැයි, ජුනි මාසවල සිදු වූ දේවලින් පාඩමක් ඉගනගෙන නැති ස්වභාවයක් තමයි දක්නට තිබෙන්නේ.

    අපි මේ ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම අභියස නෙමෙයි. මම දකින විදිහට දැන් එහි කඩා වැටීම ආරම්භ වෙලා තිබෙනවා.

    වසංගතයකදි අපි යමක ධාරිතාව ඉක්මවා ගිය පසු පියවර ගන්න පටන් ගත්තොත් අපිට දැකිය හැකිවන මරණ සංඛ්‍යාව සහ අප පත්වෙන තත්ත්වය ඉතාම භයානකයි.

    අපට මේ මොහොතේ කළ හැක්කේ කුමක්ද?

    අපිට කළ හැකි සියල්ල හෙට උදේ වන විට සිදු කළත් මේ පවතින තත්ත්වය අනුව මරණ ක්‍රමයෙන් වැඩි වෙනවා. අපට පාලනය කරන්න බැරි වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. දැනට එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ 15% කට පමණයි. ඒ නිසා දැන් පවතින වසංගත තත්ත්වය ඉදිරි මාස දෙක තුන තෙක් පාලනය කිරීම අපට කිසිසේත් කරන්න බැහැ.

    එන්නත්කරණය වේගවත් කිරීම පමණක් සෑහේද?

    දැන් එන්නත්කරණය ඉතාම වේගයෙන් කරගෙන යනවා. එය ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතිනවා. හැබැයි එය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට ද කියන දේ ගැන බරපතල ගැටළුවක් පවතිනවා. මරණ නවත්ත ගන්න නම් ඒ අවදානම වැඩිපුරම තිබෙන්නේ කාටද කියන දේ අපි අඳුර ගත යුතුයි. ඒ කියන්නේ වැඩිමහල් සහ වෙනත් රෝග තත්ත්වයන් සහිත අයට තමයි අවදානම වැඩි.

    සයිනොෆාම් පළමු මාත්‍රාව දුන්නට කිසිම ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාවත් දීලා සති දෙකක්වත් ගත වෙන්න ඕනි ආරක්ෂාවක් ලැබෙන්න. ඇස්ට්‍රාසෙනෙකා හෝ ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත්වල පළමු මාත්‍රාවෙන්ම යම් ආරක්ෂාවක් ලැබෙනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලත් පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා.

    අපි මේ භයානක අවස්ථාවේ කළ යුතු දේ වන්නේ, මේ අධි අවදානම් කාණ්ඩවලට අයත් මහළු, සංකූලතා සහ ලෙඩරෝග තිබෙන අයට පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙන එන්නතක් ලබා දීම සහ අනෙක් අයට සයිනොෆාම් එන්නත ලබා දීම. එමගින් යම් තාක් දුරකට මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම කරන්න පුළුවන්. ඒ පළවෙනි දේ. දෙවෙනි කාරණය සංචරණ සීමා.

    අපි මරණයට පත් වෙන සංඛ්‍යාව අඩු කරන්න කෙතරම් උත්සාහ කළත්, රෝහල් සේවා කෙතරම් වැඩි දියුණු කළත් අපි එතනදී කරන්නේ කරාමයක් ඇරලා වතුර ඉහිනවා වගේ වැඩක්. කරාමය වහන්න දේවල් කරන්නේ නැතිනම් මේ දේ කරගන්න අමාරුයි. කරාමය වහනවා කියන්නේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට කළ යුතු දේවල්.

    පැතිරීම වළක්වා ගන්නේ කොහොමද?

    ඒ සඳහා කළ යුතු දේවල් අලුත් දේවල් නෙවෙයි. වසංගතය ආරම්භයේ පටන් අපි දන්නවා, අංක එක: මේක කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන රෝගයක්. පැතිරීම නවත්වන්න නම් පළමු කාරණය, අපි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුයි. තනි තනි පුද්ගලයන්ට වගේම ප්‍රතිපත්ති සැකසීම කියන දේ හරහාත් මේ දේ කළ හැකියි. 20%-30% අතර සංඛ්‍යාවකින් පහළ බැස තිබුණු සංචරණය ආපසු 90% ට පමණ ළං වුණා. මිනිස්සු සංචරණය කරන තාක් අපිට මේ රෝගය පැතිර යාම වළක්වා ගන්න බැහැ.

    රෝගය පැතිර යාම වළක්වා ගන්නේ නැතුව මේ අවස්ථාවේ මරණ අඩු කර ගන්න හොඳටම අමාරුයි. මොකද රෝගීන්ට රෝහල්වලට ඇතුලත් වෙන්න බැරි ස්වභාවයක් දැන් තිබෙන්නේ. සංචරණ සීමා ඉවත් කළ යුතුව තිබුණා, මොකද අඩු ආදායම් ලබන රටක් හැටියට හැමදාම අපිට රට වහගෙන ඉන්න බැහැ. නමුත් මේ තත්ත්වය එන බව අප කිව්වත් ඒ වෙලාවේ සංචරණ සීමා ඇති කළේ නැහැ. ඒ වෙනුවට මේ සතියේ මුල වෙනකොට සියලුම රජයේ සේවකයන්ට සේවයට එන්න කියන දේ තමයි අපේ ප්‍රතිපත්තිමය තීන්දුව වුණේ.

    මංගල උත්සව සහ වෙනත් උත්සව ඇතුළු සියලුම ඒකරාශීවීම්වලට ඉඩ හැරීම තුළින් රෝගයේ පැතිර යාමට ඉතා බරපතල තත්ත්වයක් ඇති කළා. ඒ නිසා මිනිස්සුන්ගේ සංචරණය සහ මිනිසුන් ඒකරාශී වීම අනිවාර්යයෙන් නතර කළ යුතුමයි.

    අනෙක් කාරණය තමයි අපිට තිබෙන ප්‍රශ්න ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා. හැබැයි මේ රටේ ලක්ෂ පනහක් හැටක ජනතාවක් විශ්වාස කරන්නේ අපි කවුරුත් කියන එක නෙමෙයි තමන්ගේ දේශපාලන නායකයන් කියන දේ.

    දේශපාලන නායකත්වය සහ රජය පැහැදිලිවම මිනිස්සුන්ට කියන්න ඕනි, “අපි ඉන්න තත්ත්වය මේකයි. එන්නත් ලබා ගත් අයත් ඇතුළුව හැම කෙනාගෙම ජීවිතය අනතුරේ තිබෙනවා. අන්න ඒ නිසා අපි මේ දේ කළ යුතුයි” කියන පණිවිඩය දිය යුතුයි. එහෙම නැතුව බොරුවට අපි කිව්වොත් “නෑ, අපි මේක පාලනය කරනවා” කියලා, ඉන් මිනිස්සුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවෙනවා.

    මෙතනදී සමහර කෙනෙක් කියනවා “බොරුවට බය ඇති කරන්න එපා” කියලා. හැබැයි මේ වෙලාවේ අපි බිය ඇති කළේ නැතිනම් මිනිස්සුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරන්න අමාරුයි. ඒ තත්ත්වය ඉතිහාසය පුරා වෙනත් රටවලත් ගෝලීය වසංගත යනකොට දැක තිබෙන දෙයක්. ඒ හැරුණු කොට ඊට එහා ගිහින් රෝහල්වල අපිට ලොකු වෙනසක් කළ යුතු වෙනවා.

    ප්‍රජා සෞඛ්‍ය සේවා හරහා නතර කර ගත හැකිව තිබුණු දේ දැන් සම්පූර්ණයෙන් ගිලිහිලා රෝහල් වෙත ගිහින්. රෝහල්වල පිරිස් බලය ගැන යළි සිතා බැලීම අවශ්‍යයි. අපි මොන වාට්ටුවලට ද වැඩිපුර වෛද්‍ය සේවාවන් ලබා දෙන්නේ, වෙනත් වාට්ටුවල ඉන්න හෙදියන්, වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය කොරෝනා රෝගීන් සඳහා යොමු කරන්නේ කොහොමද කියන දේවල්.

    සෘජු තීරණ ගන්න ඕනි. දැඩි තීරණ ගන්න ඕනි. එහෙම නැතුව මේක කරන්න අමාරුයි. මිනිස්සු ඒ දේවල්වලට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් නොකොළොත් රෝහල් වෙත එන මිනිස්සු මරණයෙන් ගලවා ගැනීම අමාරු වෙනවා.

    එන්නත්කරණය සහ සංචරණ සීමා හැරුණු කොට වසංගත රෝග පාලනයේදී ජනතාවට තොරතුරු ලබා දීම කෙතරම් වැදගත්ද?

    වසංගත රෝග පාලනයකදී තොරතුරු, දත්ත කියන දේ අංක එක. ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ.

    මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්. මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම වගේ තමයි සිටියේ. නමුත් මේ ගෝලීය වසංගතයේ මීළඟට එන රැල්ලේදී අපට ලොකු මරණ ප්‍රමාණයක් සිදු වෙනවා කියන දේට අපේ සූදානමක් තිබුණේ නැහැ.

    මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ. මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්‍රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ. දැනට වුණත් අපි සියලුම දෙනා දැක්කා සමහර මරණ තහවුරු කිරීම් සිදු වුණේ සති හතරක් පහක් පහු වෙලා.

    මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉදිරියේ අපගේ සූදානම කෙබඳු විය යුතුද?

    පාලකයන්, ජනතාව සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ කතා කරන්නේ ගෝලීය වසංගතයක් ගැන. අපි යුද්ධයක් එක පාරට ගහලා දිනනවා වගේ, එන්නත් ටික එක පාර ගහලා හෝ රැල්ලක් පාලනය කරලා මේක ඉවරයි කියලා අපිට අත පිස දාගන්න බැහැ.

    අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු දෙයක් තමයි මේ ගෝලීය වසංගතය එක්ක අපිට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව.

    එතකොට මේක කෙටි කාලීන සටනනක් නෙමෙයි, දිගු කාලීන සටනකට යන කොට මානසිකව අපි ඒ සඳහා සුදානම් විය යුතුයි. මේක අපි කිසිදාක අත්විඳපු නැති දෙයක්. ඒත් අපිට මේ තත්ත්වෙන් තව මාස 6 ක්, මාස 8 ක් හෝ අවුරුද්දක් යන්න වෙනවා.

    “ලබන මාසේ එන්නත් ටික ගහලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන්” කියලා මානසික රැවටීමක හිටියොත් වෙන්නේ ආපහු රැල්ලක් එනකොට අපි විශාල මානසික බිඳ වැටීමකට ලක් වෙනවා.

    ආපහු ලොක්ඩවුන් එකක් එනකොට, සංචරණ සීමා පැනවෙන කොට මානසික ආතතියක් එනවා. මිනිස්සුන්ට ඇත්ත කීම සහ වටහා දීම වැදගත් වෙන්නේ මේ නිසයි.

    “මේක ඇති වෙමින්, නැති වෙමින් යන දෙයක්. තව ඉස්සරහටත් මේක එන්න පුළුවන්” කියන දේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි. අපි ඒක පසුබෑමක් විදිහට දකින්න හොඳ නැහැ. රටක් වහනවා, කඩ ටික වහනවා, ආපහු අරින්න වෙනවා… මේක වසංගතයක ස්වභාවය. මිනිස්සුන්ට අන්න ඒ පණිවිඩය පැහැදිලිවම දෙන්න ඕනි.

    ඒ වගේම දිගින් දිගටම ගෙවල්වලට වෙලා සිරවී සිටීම, මරණ බිය ඇති වීම සහ ආර්ථික ප්‍රශ්න හරහා ලොකු මානසික ආතතියක් දැනෙන්න පුළුවන්. ඇත්තටම අපිට වසංගතයේ මානසික ගැටළු නිරාකරණය කිරීම සඳහා අපිට තවමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි – සැකසුම – සුනෙත් පෙරේරා

    ශීර්ෂ පාඨය සංශෝධනය කර ඇත.

  • ජීවිතයේ සැබෑ අරත දැන්වත් වටහා ගනිමුද ?

    ජීවිතයේ සැබෑ අරත දැන්වත් වටහා ගනිමුද ?

    අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක.

    ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා.

    ඊට පස්සේ අපේ අසල්වැසියා ඉන්දියාව. අපි කළ කී දේ අපි කවුරුත් දන්නවා. ඉන්දියාව ‘විසාලාව‘ ලෙස හදුන්වන්න අපි කවුරුත් කැමැති වුණා.

    දැන් පිළිගන්න අකමැති වුණත් අපේ වාරය පැමිණ තිබෙනවා. දවසකට 100ක් පමණ මිය යමින් තිබෙනවා. රෝහල් පද්ධති පිරී ඉතිරි ගිහින්. මරණ බිය දැනෙමින් තිබෙනවා.

    මේ අති සංවේදී ඡායාරූප දෙස බලන්න තරම් ධෛර්යයක් ඔබට තිබේ නම් ඔබ ඇත්තටම වෙනස් මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ. අනෙකාට ආදරය කරන, තමනුත් කවදා හරි මැරෙන බව දන්න මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ.

    පහත දැක්වෙන ඡායාරූප පසුගිය දිනවල කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂ විද්‍යා ආයතනය වෙත ගෙන එන ලද මළ සිරුරු. ඒවායේ කොවිඩ් ආසාදිතයින්ගේ ද යන්න ගැනයි මේ සොයා බලන්නේ. මේ අතර ඔබේ මගේ ඥාතියා, මිතුරා … අස්වැසියා වගේම කිසිම දාක නොදන්න නොහදුනන අයත් සිටිය හැකියි. ඒත් මේ ඡායාරූප අපට කියා දෙන පාඩම නම් කිසිමදාක අමතක කළ නොහැකියි .

    අගෝස්තු 08 වැනි දින ඩේලි මිරර් වෙබ් අඩවියට  කිත්සිරි ද මෙල් විසින් ගත් සංවේදී ඡායාරූප පෙළක්

  • කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

    කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

    ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ”

    දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි.

    සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති.

    ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වන කාන්තා පිටුවල ද මේ පිළිබඳ දීර්ඝ සංවාද නිරන්තරයෙන් දක්නට ලැබේ.

    “බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්න එක ගැන මට නම් හිතන්නවත් බැහැ. ඒක මට අත්‍යවශ්‍ය දෙයක්. අනික එහෙම ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලෙනවා කියලා මම අහලා තියෙනවා. එකේ හරි වැරැද්ද මම දන්නේ නැහැ. හැබැයි බ්‍රා එක මගේ ඇඟේ කොටසක්,” මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක පැවසුවාය.

    වසංගත කාලය තුළ සතියේ වැඩි කාලයක් නිවසට වී සිටීම හේතුවෙන් තනපටය ඇඳීම අවම කළ බොහෝ පිරිසක් ද සිටිති.

    “බ්‍රා එක කියන්නේ පුදුම අපහසු ඇඳුමක්. ගෙදර ඉන්නකොට ඇයි ඇඟ ඔය තරම් තද කරගෙන ඉන්නේ. ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රා එක ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලා වැටෙනවා කියන එක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ,” ගල්කිස්ස දිවි ගෙවන කාන්තාවක පැවසුවාය.

    මේ මාතෘකාව සම්බන්ධයෙන් කාන්තාවන් අතර ඇත්තේ පරස්පර අදහස්ය.

    Sri Lanka: Pros & Cons of wearing bra
    “පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ”

    කෙසේනමුත්, තනපටය ඇඳීම හෝ නොඇඳීම නිසා පියයුරුවලට බලපෑම් එල්ල වන බවට තවමත් කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති අතර, එය පෞද්ගලික තෝරා ගැනීමක් බව ලොව පුරා විශේෂඥයෝ පවසති.

    “මෙය එක් එක් කාන්තාවගේ කැමැත්ත. වැදගත්ම දේ තමයි පිරිසිදුව සිටිමින් නිතරම තමන්ට පහසු යට ඇඳුම් ඇඳීම” යැයි පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    ‘බ්‍රා’ ඉතිහාසය

    ‘බ්‍රෙසියර්’ යන නෝමන්-ප්‍රංශ වචනයෙන් මුලින් හැඳින්වූයේ දරුවන්ගේ බැනියම් නමුත්, පසුව එය බ්‍රා ලෙස කෙටි වී කාන්තාවන්ගේ තනපටය නැතිනම් තිසරපටය හඳුන්වන නම බවට පත් විය.

    තනපටය මුලින්ම කරළියට පැමිණියේ 20 වන සියවස ආරම්භයේදී නමුත් විලාසිතා ලෝකය තුළ කාන්තාවකගේ ශරීරයේ හැඩය ලබා දෙන ‘උපකරණයක්’ ලෙස මෙය දිගු කලක් තිස්සේ භාවිත කර තිබේ.

    වර්තමාන ඇඳුමේ ආරම්භය 1893 දක්වා විහිදෙන අතර, “පියයුරු ආධාරකයක්” සඳහා නිව්යෝර්ක්හි පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගෙන තිබේ.

    1904 දී ‘බ්‍රෙසියර්’ ඇමරිකානු වෙළෙඳපොළට ඇතුළු වූ නමුත් වචනය බ්‍රා ලෙස කෙටි කිරීමේ ප්‍රවණතාව ඇරඹුනේ 1930 වසර වලදීය.

    එංගලන්තයේ එම් ඇන්ඩ් එස් සමාගම 1926 දී සිය පළමු තනපටය නැතිනම් බ්‍රා එක විකුණූ අතර, මේ වන විට වසරකට මිලියන 20 කට වඩා අලෙවි කරනු ලබයි.

    ඩොලර් මිලියන 12.5ක් වන ලොව මිල අධිකම තිසරපටය ‘වික්ටෝරියා සීක්‍රට්’ සමාගම 2001 දී නිර්මාණය කරන ලද අතර එය ‘හෙවන්ලි ස්ටාර් බ්‍රා’ ලෙස හැඳින්වේ. මෙය නිමවා තිබෙන මැණික් 1,200 සහ කැරට් 90 දියමන්තිය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.

    බ්‍රා සහ පියයුරු ගැන වෛද්‍ය මතය

    තනපට ඇඳීම පෞද්ගලික මතයක් වුව ද විශාල පියයුරු පිහිටා ඇති කාන්තාවක් ගැලපෙන තනපටයක් ඇඳීමෙන් ශරීරයේ කොඳු ප්‍රදේශයට ඇතිවන පීඩාව අවම කර ගත හැකි බව වෛද්‍යවරු පවසති.

    Sri Lanka: Pros & Cons of wearing bra
    තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න”

    “සෑම කෙනෙකුගේම පියයුරු වෙනස්. සමහර අයට කුඩා පියයුරුත් තවත් අයට විශාල පියයුරුත් පිහිටනවා. ඒවා තද හෝ මෘදු වෙන්න පුළුවන්. තමන්ගේ පියයුරුවල පිහිටීම අනුව කෙනෙකුට බ්‍රා එකක් අඳිනවාද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන්. පියයුරු එල්ලා වැටීමක් සිදුවන්නේ හෝමෝනවල බලපෑම් සහ වයස් ගත වීම වැනි කාරණා හේතුවෙන්,” වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පැවසීය.

    “පියයුරු සෑදී තිබෙන්නේ මේදය, ග්‍රන්ථි, රුධිර නාල සහ සංවේදක ස්නායුවලින්. මේවා සම සහ මාංශ පේශීන් මගින් රඳවා තබා ගන්නවා. පියයුරු ලොකු වෙන්නේ මේදය වැඩි වීමෙන්. ගැහැණු දරුවෙක් වැඩිවියට පත් වීමත් සමග පියයුරු වැඩෙන්නේ. එය සාමාන්‍යයෙන් සිදු වන්නේ වයස 12-16ත් අතර.”

    “පියයුරු සම්බන්ධයෙන් වැදගත්ම දේ තමයි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අවදානයෙන් සිටීම. කාන්තාවන්ට විතරක් නෙමෙයි පියයුරු පිළිකා පිරිමි අයටත් වැළඳෙනවා. පියයුරුවල එන යම් ගැටිත්තක්, තෙල් ගෙඩියක්, රිදීමක් ගැන අවදානය යොමු කරලා ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි,” යැයි වෛද්‍යවරිය පැවසීය.

    එමෙන්ම, ශරීරයට තද තනපට ඇඳීම නොසුදුසු අතර තමන්ට පහසු, ගැලපෙන ප්‍රමාණයේ තනපටයක් තෝරා ගැනීම අත්‍යවශය බව ද වෛද්‍යවරිය පැවසුවාය.

    “තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න. පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ. ඒ වගේම යට ඇඳුම් දිනපතා සෝදා පිරිසිදුව තබා ගැනීම වැදගත්.”

    Sri Lanka: Pros & Cons of wearing bra
    ඡායාරූප ශීර්ෂ වැකිය,බ්‍රා වර්ග

    වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයේ ‘Breast Research Australia’ වැඩසටහනේ සම අධ්‍යක්ෂ හා භෞතචිකිත්සකවරියක් වන වෛද්‍ය ඩෙයිද්රේ මක් ඝී පවසන පරිදි,

    “මම හිතන විදිහට තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබෙනවා. නමුත් ඔබට සැලකිය යුතු තරමේ විශාල පියයුරු තිබේ නම් එම ප්‍රමාණයට හරියන තරමේ ආධාරකයක් නැති විට, ශරීරයේ විවිධ ඉරියව්වලදී බෙල්ල සහ පසුපස ප්‍රදේශවලට බලපෑම් එල්ල වෙනවා.”

    “ආධාරකයක් නැතිව කාන්තාවන් ව්‍යායාමවල යෙදීමෙන් පියයුරු චලනය වෙනවා. ක්‍රීඩාවේ දී ආධාරක තනපට ඇඳීමෙන් පියයුරුවල වේදනාව අඩු කරන අතරම බෙල්ලේ හා පිටුපස වේදනාව ඇතිවීම වළක්වනවා.”

    බ්‍රා එපා!

    ග්ලෝරියා ස්ටීනම්, රිහානා, කෙන්ඩල් ජෙනර් සහ කේට් මොස්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ලොව ප්‍රසිද්ධ කාන්තාවන් තනපටය නොමැතිව සිටීමේ ‘නිදහස’ ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා කිරීම සහ එය නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවලට යාමත් සමගම බොහෝ කාලයක් පෞද්ගලික සංවාදයක් පමණක් වූ මෙම කරුණ නැවතත් ප්‍රසිද්ධියේ කතා බහට ලක් වී තිබේ.

    “මට බ්‍රා එකක් අඳිනවා කියන්නේ එපා වෙන දෙයක්. නිපල්ස් වහගන්න විතරක් පියයුරුවලට අලවන කප්ස් දෙකක් දාගෙන මම ඕනෑම ගමනක් යනවා. මගේ ශරීරය අයිති මට. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ පියයුරු මහත් වුණාට, දැන් ආයෙත් ඒවා අවුරුදු 16දී වගේම තියෙනවා. ඉතින් ඇයි මම අපහසු ඇඳුමක් එක්ක දුක් විඳින්නේ?,” කොළඹ දිවිගෙවන කාන්තාවක පැවසීය.

    Kendall Jenner
    සැහැල්ලු තනපටයක් ඇඟලා ගෙන ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණි කෙන්ඩල් ජෙනර්

    කෙසේනමුත්, මේ අතර නින්දට යන විට පවා තනපටය අඳින කාන්තාවෝ ද සිටිති.

    “මම මේ කල්පනා කරන්නේ බ්‍රා එක නැති අය කොහොම ඉන්නවා ද කියලා. මට ගෙදරට විතරක් නෙමෙයි, නින්දට යද්දිත් බ්‍රා එක ඕනේ. නැත්තම් මට හරි අපහසුවක් දැනෙනවා. මම පුෂ් අප්ස් වගේ තද ඒවා ගෙදරට අඳින්නේ නැහැ. හැබැයි පහසු එකක් අඳිනවා. නිපල්ස් එළියට පෙනීම සහ ඇවිදිනකොට පියයුරු සෙලවීම මටනම් ලැජ්ජාවක්,” තවත් කාන්තාවක සිය අදහස් දක්වමින් පැවසුවාය.

    බ්‍රා හා සම්බන්ධ උද්ඝෝෂණ

    මීට වසර පනහකට පෙර, නිව් ජර්සි හි පැවති ‘මිස් ඇමරිකා’ රූපලාවණ්‍ය තරඟාවලියට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැතිවිණි. උස සපත්තු, ශරීරයට තද ඇඳුම් ඇතුළු කාන්තාවන්ට පීඩා කරන දේවල් සංකේතාත්මකව ඉවත දැමීම මෙහි අරමුණ විය.

    එහි දී කාන්තාවන් පිරිසක් තනපට, ලිප්ස්ටික් සහ උස සපත්තු කුණු කූඩයකට සංකේතාත්මකව විසි කිරීමට ක්‍රියා කළ අතර, මෙය “නිදහස් කුණු කූඩය” ලෙස නම් කළහ.

    මෙහි දී කුණු කූඩයේ තිබෙන දේ ගිනි තැබුවේ නැතත්, විරෝධතාකරුවන් ලොව ප්‍රසිද්ධ වූයේ “බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්” ලෙසිනි.

    එය ලොව පුරා සිරස්තල බවට පත් කරමින්, විරෝධතාකරුවන්ට ලෝක ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි විය.

    2019 වසරේ දී ස්විට්සර්ලන්තයේ කාන්තාවන් දහස් ගණනක් සියලු සේවාවලින් බැහැරව, සාධාරණ වැටුප්, සමානාත්මතාව මෙන්ම ලිංගික අඩන්තේට්ටම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා තනපට ගිනි තබමින්, රථවාහන ධාවනයට බාධා පමුණුවමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.

    Bra burning feminist
    “බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්”

    ඔක්තෝබර් 13 වෙනිදා තනපටින් තොර දිනය ලෙස හැඳින්වීම ඇරඹුණේ පියයුරු පිළිකා පිළිබඳ ලොව පුරා අවබෝධය නැංවීමේ පියවරක් ලෙසිනි.

    නමුත් පිලිපීනයේ කාන්තාවන් විසින් 2018 වසරේ අදාළ දිනය වෙන්කරනු ලැබුවේ පුළුල් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවක් ඉල්ලීම සඳහාය.

    “තනපටින් තොර දිනයෙන් “කාන්තාවාදය මෙන්ම කාන්තාවන් ලෙස අප කවුදැයි යන්න ස්ථිරව ප්‍රකාශ කෙරෙනවා. කාන්තාවන් වහල් බවක රඳවා ඇත්තේ කෙසේද යන්න තනපටින් සංකේතවත් කෙරෙනවා” යැයි ජනමාධ්‍යවේදිනියක වන වැනේසා අල්මේදා සඳහන් කළාය.

    පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ තනපුඩු නිරාවරණය කිරීමේදී අනුගමනය කෙරෙන දෙබිඩි පිළිවෙත් පෙන්වා දෙමින් මෑත වසරවලදී ක්‍රියාකාරීහු තවත් පියවරක් ඉදිරියට ගියහ.

    කාන්තා පියයුරු සාපරාධී හා වාරණය කිරීමට එරෙහි තරුණ කාන්තාවන් පිරිසක් නිව් යෝර්ක් නගරයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයක් පසුබිම්කරගත් ‘Free the Nipple’ (තනපුඩුව නිදහස් කරනු) නම් වූ වාර්තාමය වැඩසටහන නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ 2014 දෙසැම්බර් මාසයේදී නිකුත් කළේය.

    මෙය “Free the Nipple” (තනපුඩුව නිදහස් කරනු) නම් වූ ව්‍යාපාරය ගෝලීය සංසිද්ධියක් වීමේ මුලාරම්භය විය.

    #NoBra

    මේ අතර, දකුණු කොරියාවේ කාන්තාවන්, සිය ඇඳුම්වලට යටින් තනපට නොඅඳින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමේ ව්‍යාපාරයක් 2019 අග භාගයේ දී සිදු විය.

    #NoBra නම්වූ හෑෂ් ටැගයෙන් යුතු එම පළකිරීම් සිදු වූ අතර, එය කාන්තා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත් විය.

    දකුණු කොරියානු නිළියක මෙන්ම ගායිකාවකද වන සුල්ලි (Sulli), මිලියන ගණනක ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තනපට රහිත තමන්ගේ ඡායාරූප පළකිරීමෙන් අනතුරුව එම අදහස පැතිරීම ආරම්භ විය.

    Sri Lanka: Pros & Cons of wearing bra

    තනපටවලින් තොරවීම පිළිබඳ ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනෙකුට ඇය ‘සංකේතයක්’ වන අතර, තනපට ඇඟලීම හෝ එසේ නොකිරීම “පෞද්ගලික නිදහස” ට අදාළ කාරණයක් යන පණිවිඩය ඉන් දුන්නාය.

    මෙම ව්‍යාපාරයෙන්, කාන්තා සිරුර සම්බන්ධයෙන් ලෝකයේ පවතින තහංචි ගැන ඉහළ අවධානයක් යොමු විය.

    එමෙන්ම, මීට එක්වූ කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ලෝකයේ බොහෝ කොටස් තවමත් සංස්කෘතික අපේක්ෂා මත පදනම්ව පවතින බවය.

    එසේවුවත්, දකුණු කොරියාවේ සිටින බොහෝ කාන්තාවන්ට නම් මෙය “පෞද්ගලික නිදහස” පිළිබඳ මූලික කරුණක් බවට පත් විය.

    දැහැමි රණවීර විසින් බී.බී.සී සන්දේශයට සම්පාදිත ලිපියකි

  • කොවිඩ් මරණ 5000 පනී

    කොවිඩ් මරණ 5000 පනී

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

    කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

    කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය‍

    සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි.

    “කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ මව්කිරි තුළින් දරුවන්ට යා හැකියි, ”ඇය පැවසුවාය.

  • තත්ත්වය භයානකයි ! ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවට කියයි

    තත්ත්වය භයානකයි ! ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවට කියයි

    අධි සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යන හෙයින් හැකි ඉක්මනින් තමන්ට හිමි කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස රජය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    අද (07) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් හා භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙසයි.

    වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු පහත දැක්වෙන උපදෙස් මෙම මාධ්‍ය නිවේදනය මගින් යළි අවධාරණය කර ඇත.

    1. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැර වන්න.
    2. මංගල උත්සව, අවමංගල්‍ය උත්සව සහ මිනිසුන් විශාල වශයෙන් එකතු වන උත්සව වලට සහභාගී නොවීම හැකිතාක් සීමා කරන්න.
    3. පොදු ස්ථාන නැරඹීමට සහ එළිමහනේ සංචාරය කිරීමේදී සැම විටම මුඛ ආවරණයක් පළඳින්න.
    4. වාතාශ්‍රය නොමැති කාමර, ශාලා, විදුලි සෝපාන සහ වාහන සඳහා විශාල වශයෙන් එකතු වීමෙන් වළකින්න.
    5. නිතරම සබන් යොදා අත් හොඳින් සෝදන්න.
    6. අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී මීටර් දෙකක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්න.
    7. ඔබට නිදන්ගත රෝග තිබේ නම් රැකියාවට නොයන්න.
  • නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    කොවිඩ්-19 ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් සඳහා නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

    මාර්ගෝපදේශයන්ට අනුව, නිවාස පදනම් කරගත් සත්කාර සහ ආයතනික සෞඛ්‍ය සේවා අවශ්‍ය වෛරස් ආසාදිත පුද්ගලයින් පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය අදාළ ප්‍රදේශයට වගකිව යුතුය.

    නිවසේ සිට රැකවරණය සඳහා සුදුසුකම් ලබන රෝගීන්;

    • වයස අවුරුදු 02 – 65 අතර විය යුතුය
    • ඔවුන් සනීපාරක්‍ෂක පහසුකම් සහ ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක හුදෙකලා විය යුතුය
    • රෝගීන්ට අධික තරබාරුව (BMI> 30), දියවැඩියාව, අධි රුධිර පීඩනය, නිදන්ගත හෘදය/පෙනහළු/වකුගඩු රෝග හෝ වෙනත් රෝගී තත්වයන් වැනි පාලනය නොකළ රෝග නොතිබිය යුතුය.
    • නිවසේදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හෝ රැකවරණ ආධාරකයක් තිබිය යුතුය
    • නිසි සන්නිවේදන පහසුකම් සහ සන්නිවේදන හැකියාව තිබිය යුතුය (රෝගියා හෝ භාරකරු)
    • දැනුවත් එකඟතාවක් ලබා දිය යුතුව තිබුණි
    • ගැබිනි මවකගේ නම් ගර්භණී කාලය සති 24 ට අඩු විය යුතුය.

    තවද, නිවසේ නිරෝධායනය කළ රෝගියෙකු අසනීප වූ දින 14 දී නිදහස් කළ හැකිය. රෝග ලක්‍ෂණ පවතී නම් රෝග ලක්‍ෂණ නිරාකරණය වන තුරු රෝගියා නිරීක්ෂණය කෙරේ.

  • දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බවයි වාර්තා වන්නේ.

    මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද වන අතර මියගිය අය අතර පිරිමි අය 54 දෙනෙක් සහ කාන්තාවෝ 44 දෙනෙක් වෙති.

    ඊයේ සිදු වූ මරණ 98ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි

    ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි

    හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් බයිසිකල්, ත්‍රීවීල්, කාර්වල පටවාගෙන පාරිභෝගිකයෝ හන්දියක් හන්දියක් ගානේ යමින් සිටින බවත්, ගෑස් හිඟය දිනෙන් දිනම උත්සන්න වන අතරම ගෑස් අර්බුදය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙ.ටො. 1600 කි.  ඒයින් ලාෆ්ස් මෙ.ටො. 350 ක් බෙදාහරින්නේ ලාෆ්ස් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබනෙ ගෑස් මෙ.ටො. 25 පමණක් දැනට සමාගම නිකුත් කරයි.  

    2015 – 2019 වකවානුවේ ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 32 ක් ද, ලාෆ්ස් සමාගම සිලින්ඩර ලක්ෂ 8 ක් ලෙස ලක්ෂ 40 ක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත. 2020 – 2021 සමයේ තවත් සිලින්ඩර මිලියන 1.2 ක් අලෙවි කර ඇත. මෙරට පවුල් ලක්ෂ 55 කි. ගෑස් සිලින්ඩර මිලියන 11.5 කි. එයින් මිලියන 2.9 ක ට දැන් ගෑස් නැත.

    ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නොමැතිවීම, ආනයන මිල හා අලෙවි මිල අතර පරතරය හේතුවෙන් ලාෆ්ස් ආයතනය දැන් විකුණනු ලබන්නේ සපුගස්කන්දෙන් ලැබෙන ගෑස් පමණී. ලිට්රෝ සමාගම වසරේ මුල් මාස 3 තුල රු. බිලියන 3.8 ක් පාඩු ලැබීය.  මේ මාසයේ ලිට්රෝ පාඩුව රු. බිලියන 1.6 ක් පමණ විය හැකිය.  2021 වසරේ ලිට්රෝ සමාගම රු. බිලියන 16 ඉක්මවන පාඩුවක් ලබනු ඇත.

    අන්ත දිළින්දන් ඇතුළු මිලියන 22 ක ජනතාවගේ බදු මුදලින් රටේ ජනගහනයෙන් 1/5 කට රජට අඩු මිලට ගෑස් සපයයි.  ශ්‍රී ලංකන් ආකාරයේ දැවැන්ත පාඩු ලබන රාජ්‍ය අයතනයක් ඒමගින් බිහිවෙමින් ඇත. එහි ප්‍රතිඑලය ලෙස රටේ ආර්ථික හා බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටීය හැකිය. 

    ලක්ෂ 29 ක් වන පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය වහා ඇරඹිය යුතුව ඇත.

  • මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා

    මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා

    කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල උත්සව සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

    නව තීරණය අනුව,

    • ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
    • උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම්  උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
    • අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී. 
    • සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ. රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
  • SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා

    SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නමවන පාර්ලිමේන්තුවට  අදාළව මෙතෙක් සභාගත කර ඇති වාර්තා ද්වය සම්බන්ධව දෙදින විවාදයක්   පැවැත්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට යෝජනා කිරිමට පසුගියදා (04) මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී  ඒකමතිකව එකඟත්වය පළ විණි.

    2021 අප්‍රේල් 06 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ආයෝජනය කර පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකි. මෙම දෙවැනි විශේෂ වාර්තාව විවාදයට ගැනීමෙන් , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) ආයතනයේ වර්තමාන තත්ත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙහි  සහ රට අභ්‍යන්තරයෙහි පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ  විමර්ශනයක් ඇසුරෙන් සැකසුණු  උක්ත වාර්තාව  මඟින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහිත ආයතනයක් ලෙස පිළිගැනීමට හා එම ආයතනය කිසිදු අමාත්‍යංශ විෂය පථයක් යටතට නොගැණෙන පරිදි 2017.05.24 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩලය තීරණය නැවත සමාලෝචනය කිරීමටද එම ආයතනයට අදාළ සෙසු අමාත්‍ය මණ්ඩල සන්දේශයන්හි ඇතුළත් කරුණු සලකා බැලීමටත් ඉන් අනතුරුව ස්ලිට් ආයතනය අමාත්‍යාංශයක් යටතට පවරා ගැනීමටත් පියවර ගැනීමට නිර්දේශ කර තිබේ .

    තවද මහපොළ අරමුදලෙහි  ව්‍යාපෘතියක් ලෙස එම  අරමුදලෙන් ප්‍රාග්ධනය ලෙස මිලියන 500 ක මුදලක් යොදවා, අරමුදලට අයත් මාලඹේ  පිහිටි ඉඩමක ඇරඹුණු  අදාළ ආයතනය මේ වන විට අරමුදලෙහි පාලනයෙන් සහ ආරම්භ කරන ලද මූලික අරමුණෙන් බැහැරව වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශව විසින් කටයුතු කර ඇති බවට එමඟින් නිරීක්ෂිතය.  එම තත්ත්වය වෙනස් කර නැවතත් ආයතනය අරමුදලට පවරාගෙන සාධාරණ ගාස්තු ගෙවීමකට යටත් ව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාවක් ලබාදීමට ද  පාර්ලිමේන්තුවට සභාගත කර ඇති මෙම  වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

    එසේම විධිමත් අධිකාරි බලයකින් තොරව, 2015.05.12 දින අත්සන් කළ ගිවිසුමක් මඟින් ස්ලිට් ආයතනය පිළිබඳව රජයට තිබු අයිතිය හා  එහි පාලනය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධව අදාළ සියලු පාර්ශවයන්ට  එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගැනීමටත් පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ .

    ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු  සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන බව ද, රජයේ මුදල් ආයෝජනය කර ආරම්භ කෙරෙන ඕනෑම ආයතනයක්  පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැදවීමට ඇති නෛතික හැකියාවත් මෙහිදී කාරක සභා සාමාජිකයින්ගේ දැඩි  අවධානයට ලක්විය.

    අද පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම සඳහා ගරු  අමාත්‍ය සරත් වීරසේකර  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර ,එරාන් වික්‍රමරත්න ,ආචාර්ය හර්ෂ ද සිල්වා, නලින් බණ්ඩාර සහ ශ‍ානක්කියන් රාසමානික්කම් යන මහත්වරුන් ද විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ද සහභාගි වූහ .

  • සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි

    සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි

    දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඒ අනුව, සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු,  අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමට පියවර ගැනීමටත් අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමටත් අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මාර්ගෝපදේශ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුලු  සියළුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත.

    පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් (Call Center – 1390)  හරහා රෝගීන් කළමණාකරණ කටයුතු (PHIMS – Patient Home Isolation and Management System) සිදු කරනු ලැබේ. මෙමගින් රෝගියාට පහසුවෙන් තම නිවසේ සිට  දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය (Call – Center and the Medical Care Team) යටතේ ප්‍රතිකාර ලබාගත හැක. යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබද තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල්ගත කිරිමට පියවර ගනු ලබන අතර, මෙම ක්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුල ධාරිතාවය පිළිබද ගැටළු සහගත තත්ත්වයන් අවම වනු ඇත.

    පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගන්නා ලද්දේ නම් ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය. නිවෙස් තුල රඳවන රෝගීන් කළමණාකරණය කළ යුතු ආකාරය ද මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත. අනතුරුව පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ. ඒ අනුව එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වේ.

    දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ.  රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ.

    එම අධීක්ෂණ කටයුතු වල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබන අතර, ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත. දින 14 කින් පසු රෝගියා මුදා හැරීමෙන් පසු රෝගීන් අධීක්ෂණ කටයුතු එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අඛණ්ඩව සිදු කිරීමට ද පියවර ගෙන ඇත.

  • කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘

    කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘

    කොවිඩ් වසංගතය නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරු පවසති.

    මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකරීම් වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

    මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස “ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වීම හා එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද” යන මැයෙන් අද (06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  වෛද්‍යවරු මේ අදහස් පල කළහ. ප්‍රවෘත්ති සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇත. මෙහිදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිළ ගණන් අඩු කිරීම, රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට ක්‍රමවේදයක් සකස් කර තිබීම, රෝගීන් හඳුනාගතහොත් ඒ පරිසරය පරීක්ෂාවට ලක්කිරීම ඊට අයත්ය. මේ සඳහා පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමේදී පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෙසු කාර්ය මණ්ඩල ඒකාබද්ධව ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කිරීම රෝග ව්‍යාප්තිය පාලනයට කිරීමට මනා පිටුවහලක් වේ. තමන්ගේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් මෙම වැඩපිළිවෙලට දායක වීමට මහජනතාවට විශේෂ වගකීමක් තිබේ.

    කොවිඩ් සහ ඩෙංගු යන රෝග දෙකම වෛරසයකින් බෝවන අතර රෝග දෙකෙහිම රෝග ලක්ෂණ සමාන බැවින් උණ ගැනීමක් වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නිසි ප්‍රතිකාර ගත යුතුයි.  PCR පරීක්ෂණය සහ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමෙන් රෝගය හඳුනා ගත හැකිවන අතර රුධිර පරීක්ෂාව තව දුරටත් තහවුරු කර ගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැක.

    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එම්. අර්නෝල්ඩ්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි, ද සොයිසා කාන්තා රෝහලේ කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන යන මහත්ම මහත්මීහූ මේ සාකච්ඡාවට සහභාගී වූහ.

  • ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !

    ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !

    කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

    කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරිණ. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

    වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර තිබේ. තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම්ය. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

    ගත වූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දෙයි.

    කොවිඩ් මර්දන මෙහෙයුම් කාර්යයන්හි නිරත බොහෝ දෙනෙක් දේශීය ඖෂධ දෛනිකව ලබාගනිති. එය ප්‍රතිශක්තීකරණයට බෙහෙවින් ඉවහල් වී තිබේ. එන්නත ලබාගත්ත ද දේශීය ඖෂධ දෛනිකව ලබාගැනීම හා ධූමායනය රෝගය වැළදීම අවම කිරීමට ඉවහල් වනු ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

  • පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට යයි

    පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට යයි

    පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.

    ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

    ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී අවධාරණය කළේය. ඊට අදාළ වැටලීම් ඉහළ නංවන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    වර්තමානයේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ භාවිත කරන මුව ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් සමාජය තුල පාරිසරික ගැටලු රැසක් උද්ගතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    මුව ආවරණ නිසි පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදී ඇති බවත්, එය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය සභාවට දැන්වීය.

    මුව ආවරණ බැහැර කිරීමේදී ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව කාරක සභාවේ සභාපතිවරයාද මෙහිදී කීවේය.

    මෙම කාරණයේදී පළාත් පාලන ආයතන වෙත විශාල වගකීමක් පැවරෙන බව පරිසර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    ගන්නොරුව ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් හෝටලයක් ඉදිකර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු මෙය ඉදිකර ඇති බවත්, මේ හේතුවෙන් පරිසර ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බංඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සම්බන්ධව අදාළ ආයතන නිසි ක්‍රියාමාර්ග නොගෙනීම බරපතළ ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.

    මේ පිළිබඳව විශේෂ සාකච්ජාවක් කඩිනමින් පැවැත්විය යුතු බවත්,එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම යෝග්‍ය බවත් කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.

    මහවැලි ගඟ දෙපස අනවසර ඉදිකිරීම් රැසක් පවතින බවත්, ඒවා ඉවත් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් වසන්ත යාපා බංඩාර මන්ත්‍රීවරයා කාරක සභාවේදී පැවසීය. බොහෝ විට දීර්ඝ සති අන්තවල අනවසර ඉදිකිරීම් සිදු කරන බවත්, ඒවා නැවැත්වීමට පළාත් පාලන ආයතන වලට පවතින නෛතික ප්‍රතිපාදන අවම බවත් ඔහු කීවේය.

    පරිසර පනත සංශෝධනය කිරීමේදී මෙවැනි කාරණා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    මිනිස් ක්‍රියාකාරකම් නිසා මහවැලි ගඟ ආශ්‍රිතව දූපත් නිර්මාණය වීම හේතුවෙන් සිදුවන හානිය සුළුපටු නොවන බවද වසන්ත යාපා බංඩාර මන්ත්‍රීවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    රටපුරා පවතින ගංගා 103 ක් සං‍රක්ෂණය කිරීමට “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන යටතේ විශේෂ වැඩසටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ වන විටත් ක්‍රියාත්මකබව පැවසූ කාරක සභාවේ සභාපති මහින්ද අමරවීර මහතා ගංගාවල රක්ෂිතය ලකුණු නොකිරීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බවද කීවේය. ඒ අනුව කැලණි ගඟේ රක්ෂිතය ලකුණු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    දිවයිනේ සෑම ප්‍රධාන නගරයක්ම ආවරණය වන පරිදි පරිසර විගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

    මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගුණතිලක රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ,කිංස් නෙල්සන්,වීරසුමන වීරසිංහ,උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුද, රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

  • කොළඹ ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිකරයි

    කොළඹ ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිකරයි

    කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර වෙත ලැබුණු PCR පරික්ෂණ විශ්ලේශණය කිරීමෙන් ලබාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.