Tag: featured

  • මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට  ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.    

    භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන 198.2 ක ‘මුදල් අච්චු ගසා‘ ඇත. ශ්‍රී ලංකාව සෙමින් නමුත් ස්තීරවම දැවැන්ත මුල්‍ය අර්බුදයක් ගරා ගමන් කරමින් සිටින නමුත් රජය මෙන්ම විපක්ෂය ද ‘රටේ මුල්‍ය අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

  • ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

    ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

    ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ­ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ.

    මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දැනට ආයෝජන අවස්ථා බහුල ව පවතින  ධීවර සහ ඖෂධ ආදී ක්ෂේත්‍ර සේම ආයෝජන ආකර්ෂණය ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර කඩිනමින් හඳුනා ගැනීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම ­­මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරේ. එසේ හඳුනා ගැනෙන ක්ෂේත්‍රයන් පිළිබඳව දේශීය සහ විදේශීය ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ක්‍රමවත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම මෙමගින් අපේක්ෂිත ය.

    ආයෝජකයන්ට වඩාත් කාර්යක්ෂමව සිය සේවාවන් ඉටු කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධීකරණ වැඩපිළි‍වෙළක් සකස් කරමින් ඔවුන් වෙත පහසුකම් සැපයීම පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු සහ ආයෝජන ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් සහභාගී වූහ. 

  • ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම එන්නත් තොගයෙන් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින් 490,000 කට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද පැවසීය.

  • කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

    මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

    ‘‘ මේ වන විට මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. එය වෙන්දේසියේ විකිණීමට ප්‍රථම එහි වටිනාකම තක්සේරු කරගත යුතුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. රටේ විදේශ විනිමය ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක්. මෙම මැණික අලෙවියෙන් 10%ක් රජයට හිමිවෙනවා‘‘

    රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ළිදක් කපමින් සිටියදී හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වන අතර එය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකෙනවා.

  • ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි.

    “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල් ගත වීමේ වැඩි අවදානමක් ඇති බවට රටවල් දෙකක දත්ත අපට පෙන්වා දෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ මාරාන්තික අනුපාතයකට පරිවර්තනය වන බව අප දැක නැහැ, ”ඇය ට්විටර් වෙබ් අඩවියේ පළ කළ කෙටි වීඩියෝ පටයක සඳහන් කර තිබෙනවා.

    විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පැවසුවේ මෙම ප්‍රභේදයේ හඳුනාගෙන ඇති සමහර විකෘති වෛරසය සෛලයට වඩාත් පහසුවෙන් ඇලී සිටීමට ඉඩ දී ඇති බවත් එම නිසා එය මිනිසුන්ට පහසුවෙන් ආසාදනය කළ හැකි බවත්ය.

    කෙසේ වෙතත්, මේ දිනවල වෛරසය අඛණ්ඩව වෙනස් වන බවත්, එම නිසා එය වඩාත් දරුණු වන වෙනස්කම් සිදුවිය හැකි බවටත් ඇය අනතුරු ඇඟවූවාය. 

    “අපි කනස්සල්ලට පත්වන්නේ වෙනස්කම් ගැනයි‘ ඇය පැවසුවාය.

    “එය සංසරණය වන තරමට එය වෙනස් වේ. ඩෙල්ටා ප්‍රභේදය අප ගැන කතා කිරීම ඔබට ඇසෙන අවසාන ප්‍රභේදය නොවේ. අපව ආරක්ෂාකාරීව තබා ගැනීමට අපට මෙවලම් තිබේ, ”ඇය පැවසුවාය.

  • විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

    ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යන රටවල් රැසක්ම  පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  සමග  පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.

    අද  දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.විදේශ රැකියා සඳහා රැකියා  බලපත්‍ර  ලැබූ  සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත  ලබා ගත හැක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

    www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

    අද මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ  සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා  යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා ද ජූඩ් ප්‍රනාන්දු මහතාද   එක්වූහ .මෙම එන්නත් ලබාදීමේ කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

  • පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

    පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.   

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු පළමු සතිය තුළදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, රජයේ ගිණුම් කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව කෝපා කමිටුව විසින් අගෝස්තු 03 වැනිදා විමර්ශනයට ලක් කරනු ඇත.

    එයට අමතරව අගෝස්තු 03 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද රැස්වනු ඇත.

    ලබන අගෝස්තු 04 වැනිදා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇති අතර, එදිනම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සූදානම් කොට ඇති බව මහ ලේකම් දසනායක මහතා තවදුරටත් සඳහන් කළේය.

    අගෝස්තු 05 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන අතර අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද එදින රැස්වේ. එයට අමතරව එදිනම ධීවර කටයතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වනු ඇත. එදිනම කාර්මික සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර සමූපකාර සංවර්ධන දේපාර්තමේන්තුව කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.

    අගෝස්තු 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව කැඳවා ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

  • Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කළේය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලාංකිකයින් එක්රොක් කිරීම සඳහා ‘නිල ඔල්වසරන් ගීතය’ දියත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

    ‘නිල ඔල්වරසන් ගීතය’ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔලිම්පික් රිදී පදක්ම් ජයග්‍රාහිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය, ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆාසිල් හුසේන් මහතා සහ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. ICL Brands හි සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති බජිරාදන්, එම සමාගමේ විධායක නිලධාරී රාකේෂ් කොස්ලා, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් කනෝජියා යන මහත්ම මහත්මීන්ද විශේෂ අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ. සහ නිල ඔල්වරසන් ගීතය දියත් කිරීම සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවීව විකාශය කරමින් සන්නිවේදන ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවත්වෙන කාලසීමාව පුරාවට ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත.

    මෙම අවස්ථාවට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊවා හි කාර්යභාරය අගය කරමින් මෙසේ පැවසුවාය “ICL Brands වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට ඉදිරිපත් වනු දැකීම මට විශාල සතුටක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ ක්‍රීඩිකාවක් වශයෙන් මෙහි වටිනාකම මා හොඳින් දන්නවා”

    (චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, සුසන්තිකා ජයසිංහ, දුශාන් වාස්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී, නිලූ ජයතිලක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ෆසීල් හුසේන් මහත්ම මහත්මීන් නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී.)

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය “සන්නාමයක් වශයෙන් ඊවා ක්‍රියාත්මක වන්නේ ‘විශ්වාසයෙන් පෙරමුණට’ යන තේමාව සමඟයි. එනිසා උත්සාහය, ධෛර්යය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීම වැනි වටිනාකම් ඊවා සන්නාමය නිතරම ප්‍රවර්ධනය කරන ගුණාංගයන්. අපි හිතන විදියට අද ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම, සාමාජිකාවක්ම මේ ගුණාංගවලට හොඳම උදාරහණයි. ඔවුන් තමන්ගේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමට වෙනුවෙන් අතිමහත් කැප කිරීමක් කරමින්, දැවැන්ත චිත්ත ධෛර්යයක් ඇතිව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් හට අපේ ගෞරවය ලැබිය යුතුයි. එනිසා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගන්වන අතරම සන්නාමයක් වශයෙන් අපි විශ්වාස කරන වටිනාකම් රැසක් ප්‍රවර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆසීල් හුසේන් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ‘නිල දිරිගැන්වීමේ සහකරු’ වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මම ඊවා වෙත ස්තූතිවන්ත වෙනවා. ටෝකියෝවට ගොස් සිටින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා ලෝකය ඉදිරියේ හිසින් දරා සිටින්නේ අපේ රටේ ගෞරවයයි. එනිසා ඔවුන් වෙත අපේ ආදරය, ගෞරවය සහ දිරිගැන්වීම නොඅඩුව ලැබිය යුතුයි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් එය අපේ යුතුකමක්. එනිසා මා සිය`ඵ සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ දිරිගැන්වීමේ වැඩසටහන හා සම්බන්ධ වී, අපේ ඔලිම්පික් කණ්ඩායමට සවියක් වීමට කටයුතු කරන ලෙසයි”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය “මෙවර ටෝකියෝ හි පැවත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අතකින් සුවිශේෂයි. ඒ කණ්ඩායමේ සාමාජිකයින් 9 දෙනාගෙන් 5 ක්ම ක්‍රීඩිකාවන් වන නිසා. මෙය සිය`ඵ ශ්‍රී ලාංකික කාන්තාවන් ආඩම්බර විය යුතු කාරණයක් බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සන්නාමයක් වන ඊවා ඔලිම්පික් කණ්ඩායමේ නිල දිරිගැන්වීමේ සහකරු බවට පත්වීමත් ඒ ආකාරයෙන් සුවිශේෂී සිදුවීමක්. ඊවා විසින් මේ වෙනුවෙන් දරන වෑයම වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම කාන්තාවන් ඇතුඵ සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට මේ දිරිගැන්වීමේ වෑයමට දායක වන ලෙස ආරාධනා කරනවා”

    නිල ඔල්වරසන් ගීතය ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන අතර එහි පිටපත් දෙකක් හඳුන්වා දී ඇත. ‘ඇය වෙනුවෙන් ඊවා’ තේමාව සහිත ඔල්වරසන් ගීතය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ‘ඔබ වෙනුවෙන් අපි’ තේමාව සමඟ එන ගීතය සමස්ත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි. මෙම ඔල්වරසන් ගීතය කේන්ද්‍ර කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා ආදරණීය ශ්‍රී ලාංකිකයන් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රචාරණ මාධ්‍ය ගණනාවක් ඔස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ #wecan සහ #defybarriers භාවිතා කරමින් දිරිගන්වන්නන් හට මේ වෑයමට දායක විය හැකිය.

  • ‘සාකච්ඡා අසාර්ථකයි  ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

    ‘සාකච්ඡා අසාර්ථකයි ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

    ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා.

    අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරන්නේ එහිදී මෙම ගැටළු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හෝ තමන් වෙත ලබා දීමට ඔවුන් මැලි වූ බවයි.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් කල් මරණ ආණ්ඩුවට මෙම ගැටළු විසඳා දරුවන්ගේ අධ්‍යාපනය කඩිනම් කරගැනීම සඳහා ආණ්ඩුවට බල කරන්නැයි ඔහු දෙමවිපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියා.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි.

  • සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනියි

    සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනියි

    රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.

    ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතුකළද එම විවෘක විරෝධතාවය මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කළා.

    ඉන්පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ බවත් එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

    එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥ අජිත් පතිරණ සඳහන් කළා.

    මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළා.

  • මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් ‘දකින සිහිනයක් ගැන සුපිරි හෙළිදරව්ව‘

    මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් ‘දකින සිහිනයක් ගැන සුපිරි හෙළිදරව්ව‘

    ‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘.  ඒවා මෙසේය.

    1.    ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක පහසුකම් ණයක් (අතමාරුවක්) ලබා ගැනීම.

    ඉන්දීය රජය මෙයට පෙර ඩොලර් මිලියන 400 ක අතමාරුවක් ලංකාවට ලබා දී තිබුණි. ණය නියමිත දින ට පියවනු ලැබීය.  සාක් සහයෝගිතා වැඩසටහන යටතේ ඉන්දියා ලබා දෙන මෙම පහසුකම පියවා මාස හයකින් නැවත අයඳුම් කළ හැක.  පසුගිය අස්ථාවේ දී ඉන්දියාව මෙම අතමාරුව ‘කෙටි කාලීන සහනයක් පමණක් බවත් රජය ‘අන්තර් ජාතික මුල්‍ය අරමුදල‘ සමඟ දිගු කාලීන ණය වැඩපිළිවෙලකට යා යුතු බවත් ප්‍රකාශ කළේය.  මෙම අතමාරුව ලැබෙන්නේ නැත. ලැබුණත් මාස 3- 6කින් පියවිය යුතුය. රටේ ඩොලර් හිඟයට එය දිගු කාලීන විසඳුමක් වන්නේ නැත.

    2.    බංගලිදේශයෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 250 ක අතමාරුව

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 2021 ජූනි අවසන් සතියේ බංගලිදේශ අගමැතිවරිය විසින් ඩොලර් මිලියන 250 ක ණය එකතාවක් පළ කර ඇත. ජාත්‍යන්තර ආයතන ලංකාවට ණය ලබාදීමේ අවදානම පිළිබඳ වාර්තා පළවීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමසීම් සඳහා දැන් බංගලිදේශයේ නිලධාරීන් පිළිතුරු සැපයීම හෝ සිදු කරන්නේ නැත. මුලික එකඟතාවයෙන් මාසයක් ගත වී ඇති නමුත් තවම මුලික ලේඛන හෝ සකස් කර නැත.  මෙම  මුදල නොලැබීමට ඇති විභවය ද විශාලය.

    3.    චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට යෝජිත ඩොලර් මිලියන 300 ක ණය මුදල මෙරටට ලැබීමට හැකියාවක් ඇත.  (ලංකාවේ මුළු විදේශ ණය ඩෙලර් බිලියන 35. 1 කි.  ඉන් 10% දැනට චීනයටය.)

    4.    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ Special Drawing Rights පහසුකම් සුදුසුකම් ඇති සෑම රාජ්‍යයකට ලබා ගත හැකිය. නමුත් එ් මුදල් ඩොලර්, යුරෝ, යෙන්, යුවාන් ආදී මුදල් ඒකක රැසක් කොටස් වශයෙන් ලැබෙන්නකි.  සාමාන්‍ය තත්වය යටතේ ඇමරිකානු ෆෙඩරල් සංචිතය වෙනත් රටවල මුදල් ඒකකය SDR  මුදල් ඩොලර් බවට පරිවර්තනය වන්නේ නැත. එබැවින් ඩොලර් හිඟයට එයින් ලැබෙන ප්‍රාණය සීමිත විය හැකිය. නමුත් රටක් වශයෙන් බලාපොරොත්තු සහගත කරුණ මෙම මුදල් අනිවාර්යෙන්ම රටට ලැබීම ය.

    5.     ඩොලර් මිලියන ට200 ක මුදලක් ලංකාවේ ෆොක්සි ආයතන (බැංකු) හරහා මහ බැංකුවට ලබා ගැනීම.  

    දේශීය විදේශ විනිමය විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට ඇමතිවරයා යෝජනා කරයි.  නමුත්, රටේ  ණයවර ලිපි විවෘත කරන්නට ඩොලර් නැත. එසේ තිබිය දී වෙළෙඳපොලේ ඇති ඩොලර් මහ බැංකුව ලබා ගන්නේ නම්, උද්ධමනය රොකට් ගත වනු ඇත.

    6.    දේශීය බැංකුවවල ඇති පවතින ඩොලර් මිලියන 300 ක ISB

    හැටන් නැෂනල්, කොමෂල්, සම්පත්, මහජන හා ලංකා බැංකු පහ සතුව ඩොලර් මිලියන 300 ක අයි.එස්.බී. ප්‍රමාණයක් ඇතැයි උපකල්පනය කෙරේ.   රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් මහ බැංකුවට ගත හැකිය. නමුත් සම්පත්, එච්එන්බී, කොමර්ෂල් බැංකුවල ඩොලර් ආයෝජනය එම බැංකු කළමනාකරණයේ තීරණයක් මිස ආණ්ඩුවේ  වැඩක් නොවේ.

    ග්‍රීසිය CCC  ශ්‍රේණිගත තත්වයේ සිටිය දී, එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලංකා මුදල්  ‘ග්‍රීක බැදුම්කර ආයෝජන‘ සිදු කළේය.  මේ අදහස ක්‍රියාත්මක වන්නට නම් අජිත් නිවාඩ් කබ්රාල් පන්නයේ නිලධාරීන් උක්ත බැංකු කළමනාකරණය කළ යුතුය.   

    7.    හිල්ටන් හෝටලය ඇතුළු විකුණා දැමීමට නියමිත ආයතන රැසකි.  ඒවා විකුණා දමා ඩොලර් මිලියන 400 ක් සොයා ගැනිමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මේ සම්පත් විකුණා ඩොලර් ලබා ගැනීමේ උත්සාහය දැන් වසර  7 ක් පුරා අසාර්ථක වී ඇත.  ඉදිරි මාස 3 තුල එය ඉටුවී භාණ්ඩාගාරය පිරේවා යැයි ‘දෙවියන්ට පඬුරු බැඳීම‘ අගතියක් වන දෙයක් නම් නොවේ.

    ඉහත යථාර්ථයන් හා ගැලපීමේ දී මාස තුනක් තුල ඩොලර් බිලියන  2.65 ක කබ්රාල් සිහිනය ‘අගෝස්තු ගිම්හානයට පෙනෙන‘ සිහිනයකි. මෙතරම් මුදලක් ලැබෙන බව ස්ථිර නම් පෙහොර, ඖෂධ, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේ ගෙන්වන්නට ආණ්ඩුව විනිමය නිදහස් නොකරන්නේ ඇයි ද? යන්න පැහැදිලි කිරීම ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ගේ වගකීමකි.

    චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300  ලැබීමට ඉඩ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මිලියන 800  නම් ලැබෙන බව ස්ථිර ය.  එහි එකතුව ඩොලර් බිලියන 1.2 ක් මිස බිලියන 2.65 ක් නම් නොවේ.

    චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම ඇත්තක් නොවේ.  මේ පහසුකම යටතේ චීනයෙන් (චීන යුවාන් මුදලින්) භාණ්ඩ ගැනීමට හැකියාව ඇත. නමුත් එමගින් ඩොලර් ගණුදෙනු කළ නොහැකි කොන්දේසියක් වේ.  මේ කොන්දේසිය ඉවත් කර ගැනීමට මහ බැංකුව උත්සහ කළේය.  සියළු රාජ්‍ය පිළිවෙත් නොතකා මහ බැංකු අධිපති, තානාපති කාර්යාලයට ගොස් චීන තානාපති හමුවී ද ඇත. (මහ බැංකු අධිපතිවරුන් සාමාන්‍යයෙන් තානාපතිවරු හමුවීමට යන්නේ නැත. මහ  බැංකු අධිපතිවරයාගේ ආරාධයක් පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යවහාරය යි) මේ හමුවේ දී, චීන තානාපතිවරයා උක්ත ණය මුදල සම්බන්ධ ඉහතින් දැක්වූ කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර තිබුණි. මහ බැංකු අධිපති එය නිලධාරීන්ට සන්නිවේදනය කොට තිබුණි.

    හම්බන්තොට වරාය, කොළඹ පෝට් සිටි ගිවිසුම අත්සන් ගැනීමට ආසන්නයේ දී පමණක් ණය දුන් බව ද අපට නම් අමතක නැත. චීන ණය සමඟ එන ගණුදෙණුව කුමක්ද යන්න අවදියෙන් සිටීම විප්ක්ෂයේ ද, සිවිල් ක්‍රියාකාරීකයින්ගේ ද වගකීමකි.

    මාස 3 සහ මාස 6 කාලයට රාජ්‍යයන් හා ජාත්‍යන්තර ආයතනයන් ගෙන් ලැබෙන අතමාරු ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පැහැදිලි හා නිරවුල්ව පවසන්නේ ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගන්නට සුදානම් නැති බවයි.

    මාස 3 කින් ඩොලර් බිලියන 2.6 ක කතාව දවල් හීනයකි. ප්‍රශ්නය ඇත්තේ ‘අගෝස්තු ගිම්හානයේ සිහින‘ සැප්තෑම්බර් මහ වැස්සට සේ දී යාම ය.

    රජිත් කීර්ති තෙන්කෝන්

  • ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අගමැති කියයි

    ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අගමැති කියයි

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තිය සංගම්වෙත අද දින දැනුම් දුන්නේය.

    වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතිය ද මෙතෙක් සාධාරණ විසදුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථීක අර්බුධය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහි දී ඉල්ලා සිටියහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී මෙසේ සඳහන් කළේය.

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමඟ රටේ ආර්ථීකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබද තීරණයකට එළැඹිය යුතුයැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    සමාජ මාධ්‍ය තුළ විවිධ පත්‍රිකා සංසරණය වන බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ වැටුප් විෂමතාව සම්බන්ධව සුබෝධනී වාර්තාවට වෘත්තීය සමිති එකගතාව පළ කරන බවත් එහි අන්තර්ගතය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළහ.

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මන්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාවද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

    ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමේ අරමුණ අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බල නොපාන පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව අවම කිරීම බවත් මේ වන විටත් ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇතිබවත්, ඒ පිළිබඳව මාස කිහිපයක් අධ්‍යයනය කර සකස් කළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය ආණ්ඩු පහක කාලයක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම පිළිබඳව මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ස්තුතිය පළ කළහ.

  • චීනයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක තවත් පරිත්‍යාගයක්

    චීනයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක තවත් පරිත්‍යාගයක්

    චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය.

    චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එන්නත් නිල වශයෙන් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. මෙම එන්නත්වලට අමතරව සිලින්ජර තොගයක් ද පරිත්‍යාග කර තිබේ.

    මෙම එන්නත් උතුරු – නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30ට වැඩි ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිණ. මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී භාවිත එන්නත්වලින් 72%ක් සයිනොෆාම් වේ.

    පසුගිය මාර්තු 31 වන දින සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක්, මැයි 26 වන දින ලක්ෂ 5ක් සහ අද දින ලද මාත්‍රා ලක්ෂ 16ත් සමග සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිතුමා සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි සඳහන් කළේය. එම නිසා චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

  • ලංකාවේ පිරිමින්ගේ මාරයා ‘මුඛ පිළිකා’ගැන ඔබ දැන ගත යුතු සියල්ල

    ලංකාවේ පිරිමින්ගේ මාරයා ‘මුඛ පිළිකා’ගැන ඔබ දැන ගත යුතු සියල්ල

    අද (27) දිනට යෙදෙන හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙනි

    ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි වන තත්වයක් ඇති බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි.

    ඊට අමතරව ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය හේතුවෙන් මරමුවට පත් වන පිරිසෙන් වැඩිම සංඛ්‍යාව මුඛයේ පිළිකා හේතුවෙන් මිය යන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ වැඩි දුරටත් කියා සිටියේ.

    මුඛ පිළිකා හට ගැනීමට බළපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇති බව පැවසූ වෛද්‍ය හේමන්ත අමරසිංහ කියා සිටියේ පළමු හේතුව ලෙස ග්‍රාමීය සහ වතුකරයේ ජනතාව බුලත් කැමේ පුරුද්දට ඇබ්බැහි වී තිබීම පෙන්වා දිය හැකි බවයි.

    බුලත් හැපීමේ දී දුම්කොළ නොමැතිව බුලත්විට සැපුවත් මුඛ පිළිකාවලට ගොදුරු වීමේ ඉඩක් පවතීදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වෛද්‍යවරයා කියා සිටියේ දුම්කොළ ශරීරයට අහිතකර බවට කාලයක් මුළුල්ලේ මිනිසුන් අතර දැනුවත් භාවය වර්ධනය වී තිබෙන නිසා 15% ක පමණ ප්‍රතිශතයක් දුම්කොළ රහිතව බුලත් විට කෑමට පුරුදු වී සිටින නමුත් පුවක් සැපීම දුම්කොළ වැනිම පිළිකා කාරකයක් වන බවයි.

    පුවක් ප්‍රධාන පිළිකා කාරකයක්

    බොහෝ විට මිශ්‍රණය කළ පුවක්, පැකට්ටු වශයෙන් විකිණීමට ඇති අතර බාබුල්, මාවා හාන්ස් යන නම් වලින් මෙම මත් පුවක් නිෂ්පාදන වෙළඳපොළ තුළ ප්‍රචලිතව පවතින බවයි ඔහු පවසන්නේ.

    මින් හාන්ස් නම් වර්ගයට දුම් කොළ, හුණු සහ තවත් සිරුරට අහිතකර රසකාරක එක් කර ඇති අතර එහි බුලත් අන්තර්ගත නොවේ.

    ශ්‍රී ලංකාව තුල මුඛ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීමට හේතු

    මහළු වයසේ පසුවන බොහෝ රෝගීන්ට මුඛ පිළිකා වැළඳීමේ හේතුව බුලත්විට සැපීම වුවත් මේ වන විට විශාල වශයෙන් තරුණ පිරිස් මෙවැනි පුවක් පැකට් ආහාරයට ගැනීමෙන් මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත අමරසිංහ කියා සිටියේ.

    ඊට අමතරව මුඛ පිළිකා වලට හේතු වන මත්පැන්, දුම්වැටි සහ බුලත්විට යන සියල්ලම භාවිතා කරන පුද්ගලයන් ඉතා අඩු වයසින් මුඛ පිළිකා වලට ගොදුරුවන බව පෙන්වා දුන් වෛද්‍යවරයා පවසන්නේ ඔවුන්ගේ ශරීරයේ පිළිකාව ඉතා සීග්‍රයෙන් පැතිරයාමේ ඉඩකඩ ඉහළ බවයි.

    පූර්ව පිළිකා රෝග ලක්ෂණ

    බුලත් විට ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ කම්බුලේ ඇතුළු පැත්තේ සහ බීඩි, සිගරැට් පානය කරන්නන්ගේ මුඛයෙ කෙරවත් පිළිකා ඇතිවන අතර ලංකාවේ තවමත් වැඩියෙන්ම වාර්තා වන්නේ කම්බුල ඇතුළු පැත්තේ පිළිකා බවයි වෛද්‍ය හේමන්ත අමරසිංහ පෙන්වා දෙන්නේ.

    ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඊට අමතරව උගුරේ සහ දිව ආශ්‍රිතවත් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිකා වාර්තා වෙමින් පවතින බවයි.

    මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම රෝහල් වෙත පැමිණෙන්නේ පිළිකාවේ අවසාන අධියර දෙකේදී පමණක් බව පවසන වෛද්‍යවරයා කියා සිටියේ මෙය දැනට පවතින විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි.

    “අවසාන අවස්ථා දෙකේදී තමයි ඔවුන් අප වෙත එන්නේ, මේක ප්‍රධාන ගැට‍ළුවක්! මේ රෝගීන්ට කරන ප්‍රතිකාර බොහෝ සංකීර්ණයි, සමහර විට ශල්‍යකර්ම විතරක් මදි. රේඩියෝ තෙරපි, කීමෝ තෙරපි වැනි සියලුම අංශයේ ප්‍රතිකාර ලබා දුන්නත් අන්තිමට ජීවත් වන කාලය බොහොම අඩුයි.” වෛද්‍ය සමරසිංහ විස්තර කළේය.

    මුල් අවධියේ හඳුනා ගැනීම වැදගත්

    මුඛ පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගත හැක්කේ කෙසේදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මුඛ පිළිකාවක් එන්න කළින් සුදු හා රතු ලප එක්ක පූර්ව පිළිකා තත්ව කටේ මතු වෙනවා. උදාහරණයකට බුලත් විට කන කෙනෙක් නම් කටේ බුලත් විට තියා ගෙන ඉන්න තැන, මෙම ලප ඇති වෙනවා. පළමුව සුදු පාටට මතුවන ලපය, පසුව රතු වෙලා, තුවාලයක් වෙලා පිළිකාව බවට පරිවර්තනය වෙනවා.” වෛද්‍ය හේමන්ත සමරසිංහ රෝග ලක්ෂණ පැහැදිලි කළේය.

    පූර්ව පිළිකා අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් පහසුවෙන් සුව කළ හැකි බැවින් මුල් අවධියේදීම පිළිකාව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

    පුවක් වලින් ඇති වන පිළිකා තත්වය ඉතා භයානක බව පවසන ඔහු කියා සිටියේ ලෝකයේ මෙම පිළිකාවට ගොදුරු වූ ලාබාලතම රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි.

    ‘නිසි නීතියක් නැහැ’

    වයස අවුරුදු දෙකහමාරක දරුවකු සිය නිවසේ බිම වැටී ඇති පුවක් කැබළි ආහාරයට ගැනීමෙන් මෙලෙස පිළිකාවට ගොදුරු වූ බව පවසන වෛද්‍යවරයා, ශ්‍රී ලංකාවේ පුවක් සැපීමෙන් ඇති වන පිළිකා ප්‍රමාණය දිනෙන් දින විශාල වශයෙන් ඉහළ යමින් තිබෙන බවයි කියා සිටියේ.

    බුලත් විට කෑමට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට ඉන් මිදීමට සහය ලබා ගත හැකි ඒ වෙනුවෙන් වෙන්වූ සහන මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ නොමැති බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත සමරසිංහ කියා සිටියේ දුම් කොළ ,පුවක්, පුවක් පැකට්, බාබුල්, බීඩා, මාවා හා පන්පරා යන නම් වලින් විකුණන නිෂ්පාදන වලින් මිනිසුන් මුදවා ගැනීමට ඉදිරියේ දී උපදේශන මධ්‍යස්ථාන ඇති කළ යුතු බවයි.

    විශේෂයෙන්ම බාබුල් සහ බීඩා තහනම් කෙරෙන හෝ පාලනය කෙරෙන නිසි නීතියක් ලංකාව තුළ නැති බැවින් එවැනි මත් පුවක් නිෂ්පාදනය සහ අලෙවිය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න නීති සැකසීමට සහයෝගය ලබා දෙමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත සමරසිංහ අවසන් වශයෙන් කියා සිටියේ.

    Text by bbc sandesaya

  • ශ්‍රී ලංකාවේ ‘මුඛ පිළිකා රෝගීන්‘ 900% ගුණයකින් ඉහළට

    ශ්‍රී ලංකාවේ ‘මුඛ පිළිකා රෝගීන්‘ 900% ගුණයකින් ඉහළට

    හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය අද

    ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා රෝගීන් 9 ගුණයකින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරයි. පුවක් භාවිතය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.

    ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙන ආකාරයට අනාදිමත් කාලයක සිට දකුණු ගිනිකොනදිග ආසියාව සහ පැසිපික් කලාපවල පුවක් භාවිතා කර ඇත. ලෝකය පුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්‍නන් මිලියන 600ක් පමණ ජීවත්වේ.

    2004 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බවට ප්‍රකාශයට පත්කර ඇත. පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් මුඛ පටක ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස්වීමකට භාජනය වන අතර එය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා ලෙස හැඳින්වේ.

    දුම්කොල සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වර්ෂ 2006 අංක 27 දරණ පනතට අනුව සියලුම දුම්කොල නිෂ්පාදන අඩංගු පුවක් නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම්කර ඇත.

    සියලුම සපන පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකාකාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීමෙන් වළකින ලෙසත් පුවත් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කර ඇත්නම් හෝ දැනටමත් භාවිතා කරන්නේනම්  නොපමාව වෛද්‍යවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන අතර  කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට එය  අයත් වේ. 2019 වර්ෂයේදී නව මුඛ පිළීකා රෝගීන් 2700 ක් පමණ වාර්තාවී ඇත. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත  මරණ 2-3 ක් පමණ සිදු වන අතර මෙය මරණ අනුපාතිකය වැඩි පිළිකා වර්ගයක් ලෙස හැඳින්විය හැකිය. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ ( III හා IV අවධිවල)  පසු වන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙයි.

    මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කිරීම මඟින් රෝගය උත්සන්න වීම වලක්වාගත හැකිය. පසු අවධිවලදී මුඛ පටකවල වෙනස්වීම් යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා ජීවිත කාලය පුරාම ආහාර අනුභවය, ගිලීම සහ කථනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සීමා වේ. මුඛය තුළ පවත්නා දැවිල්ල, මිරිස් සහිත ආහාර ගැනීමට අපහසුවීම, මුඛ ශ්ලේෂමලයේ දැක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය සහ තොල්වල දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය මුඛ පිළිකාවක මූලික රෝග ලක්ෂණ වේ.

    මෙවැනි ලක්ෂණ ඇතිවුහොත් ඕනෑම දන්ත  ශල්‍යාගාරයින් කලින් හඳුනාගැනීම සිදුකර ගැනීමට හැකියාව ලැබේ. මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර මූලික රෝහල් දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල් සහ ශික්ෂණ රෝහලවල ස්ථාපිත මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය ඒකක මඟින් ලබාගත හැකි බව ද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

  • පැල්මඩුල්ලේ ළිඳකින් මතු වූ කෝටි 2000ක වාසනාව !

    පැල්මඩුල්ලේ ළිඳකින් මතු වූ කෝටි 2000ක වාසනාව !

    ලොව විශාලතම ආරනූල් (star sapphire) පොකුර නිවසක පිටුපස මිදුලේ තිබී අහම්බයෙන් හමු වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.

    වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් මෙම මැණික් පාෂාණයේ වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

    ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පුද්ගලික පතලකින් මීට මාස අටකට පමණ පෙර හමුවී ඇතැයි කී සභාපතිවරයා එහි හිමිකම පතල් හිමිකරු සතු බව ද ප්‍රකාශ කළේය.

    ආරනූල් යනු ලොව වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් බව කී සභාපතිවරයා මෙම මැණික් සමූහයේ සියයට 99.9ක්ම ආරනූල් වර්ගයේ මැණික්ගල් බව ද කීවේය

    විශේෂඥයන් පවසන්නේ ලා නිල් පැහැයෙන් යුත් මෙම ගල ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන සියයක් හෙවත් ලංකා මුදලින් රුපියල් කෝටි 2000ක් පමණ වන බවයි.

    මෙම පොකුරේ බර කිලෝග්‍රෑම් 510 ක් හෝ කැරට් මිලියන 2.5 ක් පමණ වන අතර එය “සෙරන්ඩිපිටි සෆායා (Serendipity Sapphire)” ලෙස නම් කර තිබේ.

    World's largest star sapphire cluster

    “ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගල් කීපයක් තියෙනවා කියලා අපට දැන්වූවා. පස්සේ අපිට මෙම දැවැන්ත ගල් වර්ගය හම්බුණා,” යැයි මෙහි හිමිකරු ගමගේ මහතා පැවසූ අතර ආරක්ෂක හේතූන් මත සම්පූර්ණ නම හෝ ස්ථානය ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

    තුන්වෙනි පරම්පරාවේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ගමගේ මෙම සොයා ගැනීම පිළිබඳ බලධාරීන් දැනුවත් කළ නමුත්, එය විශ්ලේෂණය කර සහතික කිරීමට පෙර මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසරකට වැඩි කාලයක් ගත වී තිබිණි.

    පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී පොකුරෙන් සමහර ගල් වැටී ඇති අතර ඒවා උසස් තත්ත්වයේ ආරනූල් මැණික් ලෙස තහවුරු වූ බව ඔහු පැවසීය.

    “මම මීට කලින් මේ තරම් විශාල පොකුරක් දැකලා නැහැ. මෙය මීට වසර මිලියන 400 කට පමණ කලින් හැදෙන්න ඇත්තේ,” යැයි සුප්‍රසිද්ධ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය ගාමිණී සොයිසා මහතා පැවසීය.

    මෙහි පිටත දියමන්ති (ක්‍රිස්ටල්) හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, බැලූබැල්මට එය සුදු පැහයට හුරු වුවත් කොරන්ඩම් විශේෂයට අයත් මැණකක් බවත් ලෙවුඩ මැණික් පිළිස්සීමේ සහ අපනයනය කිරීමේ විශේෂඥයෙක් ද වන පුන්සිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ පොකුරේ ඉහළ කැරට් අගයක් තිබුණද, එහි ඇති සියලුම ගල් උසස් තත්වයේ නොවිය හැකි බවය.

    මෙම සොයා ගැනීම සිදු වූයේ, වසංගතය නිසා පැන වූ සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පාඩු ලබමින් තිබෙන සමයක දීය.

    කර්මාන්තයේ නියුතු පිරිස බලාපොරොත්තු වන්නේ “සෙරන්ඩිපිටි ස්ටෝන්” ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ විශේෂඥයන්ගේ අවධානය දිනා ගැනීමය.

    “මෙය විශේෂ ආරනූල් පොකුරක්. ඒ වගේම බොහෝ විට ලෝකයේ විශාලතම පොකුර වෙන්න පුළුවන්. ප්‍රමාණය සහ එහි වටිනාකම අනුව එය පුද්ගලික එකතුකරන්නන්ගේ හෝ කෞතුකාගාරවල ආකර්ෂණය දිනා ගනී යැයි අපි සිතනවා,” ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.