Tag: featured

  • ‘කිරි හරක් ණයට අරං බාබිකිව් දැම්ම‘ – ලංකාවේ ඩොලර් ණය අර්බුදය සරලව

    ‘කිරි හරක් ණයට අරං බාබිකිව් දැම්ම‘ – ලංකාවේ ඩොලර් ණය අර්බුදය සරලව

    2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන විශ්වාසයක් ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය.  එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය ජූලි මාසයට සුරක්ෂිතය.

    ආණ්ඩුව විදේශයන්ට ඩොලර් බිලියන 35.1 ක් ණය බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.  ඊට අමතරව ලංකා සමාගම්, ද විදේශ බැංකුවලට ණය ය.  2018 දී ඩොලර් බිලියන 88 ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 දී බිලියන 81 ට අඩු විය. රටේ ණය වැඩි වන අතර නිෂ්පාදනය/ආදායම අඩු වේ. එදා ශ්‍රිසිය යුරෝ බිලියන 1.6 ක ණයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගෙවන්නට තිබුණි. නියමිත දිනට ණය ගෙවීමට නොහැකි විය. දින 20 කින් ග්‍රීසිය ණය ගෙවා අවසන් කරන විට ඔවුන්ට බංකොළොත් ලේබලය ඇලවී තිබුණි. රටවල් දෙකේම කතාව එකය.

    විදේශ බැංකුවලින් වාණිජ්‍යමය පදනමින් ණය ලබා ගෙන අපි  ආර්ථික වාසියක් නැති මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය, ශ්‍රවනාගාර, ක්‍රිකට් පිට්ටනි, නෙළුම් කුළුණුවල වැනි තැන් වල ආයෝජනය කළේය. අපේ ණය බරෙන් 47% ක් විවෘත වෙළෙඳපොළෙන් ගත්ත ණය යි.

    ‘ග්‍රීසිය ණය වෙලා කිරි හරකෙක් අරං, බාබාකිව් දැම්මා‘ ආර්ථික විශේෂඥයින් කියති. ලංකාව ‘ණය අරං බල බලා ඉන්නට නෙළුම් කුළුණක් හයි කර ගත්තේය‘.  

    රටේ මුළු ණය බරෙන් 13%ක් ආසියානු සංවර්ධන බැංකුවට ය. චීනයට 10%ක්, ජපානයට 10% ක්, ලෝක බැංකුවට 9% ක් ගෙවිය යුතුය. ඉන්දියාවට 2% කි. දැන් අපිට වැඩිපුරම ණය දෙන්නේ චීනය යි. ලබන වසරේ දී අපි  ආසියානු සංවර්ධන බැංකුවට වඩා චීනයට ණය වනු ඇත.  

    අද ලංකාවේ අද මුල්‍ය සංචිත ඩොලර් බිලියන 3.5 කි. ආනයන සඳහා යන්තම් මාස දෙක හමාරකට ප්‍රමාණවත් ය. එයිනුත් මිලියන 500 ක් රත්‍රං සංචිත ය. ජූලි 30 දිනට ණය ලෙස ඩොලර් මිලියන 106.56 ක් ගෙවිය යුතුය. බල නහරය කැපූ මිනිසෙකුගේ සිරුරෙන් රුධිරය ගලා යන්නා සේ ඩොලර් සංචිතය වියැකී යමින් ඇත.

    ශ්‍රී ලංක මහ බැංකුව රට ඇතුලෙන් රු. බිලියන 922 ක් ණය ලබා ගෙන ඇත. 2020 දී අච්චු ගැසූ රු. බිලියන 266 ක් බැංකු පද්ධතියේ තිබිය දී, 2021 ජනවාරි – මැයි තවත් රු. බිලියන 131 ක් අච්චු ගසා ඇත.

    සල්ලි අච්චු ගැසුවාට පොල් ගෙඩි, හාල්, පාන්  අච්චු ගසන්නට බැරිය. සල්ලි කොළ – කාසි ඇතත්, ඉල්ලුමට බඩු නැත. රටේ බඩු මිල බලා සිටිය දී ඉහළ යමින් තිබේ.   කඩවල ටයර්, බාත්රූම් කට්ටල, ක්‍රීම්, පවුඩර්, චොකලට්, වාහන, විදුලි උපකරණ නැත. ආනයන සීමා කර ඇත. නමුත් 2020 මැයි මාසයට වඩා පසුගිය මාසයේ ඩොලර් මිලියන 1053 ක් බඩු ගේන්නට වැයවී ඇත. ඒ පොහොර තහනම් කොට, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සීමා කර තිබිය දී ය. ගෑස් ආනයනයට ණයවර ලිපි විවෘත කළ නොහැකි පසුබිමකය. ලබන මාසයට ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීම ප්‍රශ්ණයකි.

    2020 පොහොර ආනයනයට අවශ්‍ය වූවේ ඩොලර් මිලියන 250 ක් පමණී. කිරි (පිටි හා ආශ්‍රිත දෑ) සඳහා ඩොලර් මිලියන 333 ක් වැය කර ඇත.  කාබනික ආහාර ප්‍රෝඩාව රටට ආහාර නැති කළේය. දැන් කිරි ආනයනය නැවැත්වීමට කාලය පැමිණ ඇත. ගෑස් මිල ඉහළ දැම්මේ ගෑස් නැති වූ විටය.

    රටේ ආනයන වියදමෙන් 15% ක් හෙවත් ඩොලර් මිලියන 2750 ක් ඉන්ධන ආයනයන සඳහා අවශ්‍ය වේ.  ඩීසල්, පෙට්‍රල් ගේන්න මුදල් නැති නම් ඉන්ධන සීමා කිරීමට සිදු වේ. සලාක ක්‍රමය පෝලිම් ක්‍රමය ඇතිවන්නේය. එවැනි තත්වයක් මතු වන්නේ නම් රටේ විදුලි අර්බුදයක් නොවැලැක්විය හැකි වනු ඇත. කර්මාන්ත ශාලා නිෂ්පාදන අඩපණ වන්නේය.

    මෙවැනි අර්බුදවලට 2012 හා 2015 ග්‍රීසය, 1998 රුසියාව, 2000 කෙන්යාව හා සිම්බාබ්වේ, 2020 ආජන්ටිනාව, 2017 වෙනිසියුලාව මුහුණ දුන්නේය.

    මේ සතිය සුරක්ෂිතය. නමුත් කළු සල්ලි හෝ සුදු සල්ලි ලෙස ඩොලර් කන්දරාවක් රටට නොලැබේ නම් අප සිටින්නේ එවැනි බිඳ වැටීමක පාමුල ය.

    රජිත් කීර්ති තෙන්නකෝන් 

  • පොහොර නැති නිසා නිෂ්පාදන තත්වය බාලයි – උඩරට තේ විනාශයි

    පොහොර නැති නිසා නිෂ්පාදන තත්වය බාලයි – උඩරට තේ විනාශයි

    අපනයන තේ මිල ජූලි තුන් වන සතියේ තවදුරටත් පහත වැටී ඇත. ‘සිලෝන් ටී‘ තත්වයෙන් බාලවීම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. කර්මාන්ත ශාලා වෙත දෛනිකව ලැබෙන දළු ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ජූලි 19 හා 20 තේ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ කිලෝ මිලියන 6.8 ක් පමණී.  පෙර සතියේ තේ අලෙවිය කිලෝ මිලියන 7.1 ක් විය.

    පසුගිය සතියේ පහත රට තේ කිලෝවක් සඳහා රු. 630.10 ක සාමාන්‍ය මිලක් ලැබී ඇත. එය පසුගිය සතියට වඩා 7.7% මිල ඉහල යාමකි. රසායන ද්‍රව්‍ය හිඟයෙන් දැඩිව බැට කන උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රු. 545.47 කි.  එය පසුගිය සතියටත් වඩා රු. 20 – 30 අතර අඩුවකි. ඌව තේ මිල ස්ථාවර මට්ටමක පැවතිනි.

    වාර්ෂිකව පොහොර ගෙන්වීමට ඩොලර් මිලියන 250 ක් වැය වන අතර, කිරි (පිටි) ඇතුළු නිෂ්පාදන ගෙන්වීමට ඩොලර් මිලියන 333 ක් වැය වේ. ඩොලර් හිඟය නිසා රජය පොහොර ගෙන්වීම තහනම් කළ නමුත් කිරි පිටි ගෙන්වීම සීමා කළේ නැත.

    ‘කාබනික තේ නිෂ්පාදනය කරමු‘ යැයි දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන නමුත් සතිපතා තේ මිලත්, නිෂ්පාදනයත් පහත වැටෙමින් ඇත. තේ නිෂ්පාදනයේ සිව්වන විශාලතම පංගුව ලංකාවට හිමිය.  චීනය, ඉන්දියාව හා කෙන්යාවට අපට ඉදිරියෙනි. 

    තේ අපනයනයෙන් ලංකාවට වසරකට ඩොලර් මිලියන 712 ක් උපයන විට ඉන්දියාව ඩොලර් මිලියන 692 ක් ඉපැයීය.  තවදුරටත් ලංකා තේ තත්වය හා නිෂ්පාදනය පහත වැටෙන්නේ නම්, ඉන්දියාව තේ වෙළෙදාමේ දී අප පසුකර යනු ඇත.

    වැරදි ප්‍රතිපත්තිමය තීරණයක් වසර 150 ක් ගොඩ නැගු ‘සිලෝන් තේ‘ සන්නාමය විනාශ කරනමින් සිටී.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව

    මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා.

    සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (26) ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවා.

    ‘‘මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට අමතක වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්‍ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්‍ෂයක් වටා සන්ධානගත වූ පක්‍ෂයක් බව අමතක කිරීම නිසා මිස වෙනත් කරුණක් නිසා නොවෙයි.

    අතීත සන්ධාන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයේ පක්‍ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්‍ෂයේ ඉන්නවා. ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්‍ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.” යැයි ද සාගර කාරියවසම් මහතා පැවසුවේය.

    මේ අතර ශ්‍රීලනිපය ජ්‍යෙෂ්ඨයෙකු අප සමග පැවසුවේ ජනපතිවරයා සමග අද (26) පැවැති සාකච්ඡාව අපේක්ෂා කළ ආකාරයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බවයි.

  • සාපෙළ සහ පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්

    සාපෙළ සහ පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්

    සැප්තැම්බර් පළමු සතිය තුළ දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

    අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට පෙර අමාත්‍යාංශය විසින් COVID-19 එන්නත දෙවන මාත්‍රාව අගෝස්තු මස අග වන විට ගුරුවරුන් සඳහා ලබා දීමට අපේක්ෂා කරන බවයි.

    නිශ්චිත සැලැස්මක් අනුව හා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය යටතේ පාසල් නැවත විවෘත කරන බව පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා සැප්තැම්බර් පළමු සතිය තුළ පාසල් නැවත විවෘත කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ පූර්ණ සහාය ඉල්ලා සිටි බව ද පැවසුවා.

    මෙහිදී 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ගැන කරුණු සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අ.පො.ස. 2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි 21 දක්වා කල් දමා ඇති බවයි.

    සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් රටේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විභාගය කල් දැමීමට අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ඔහු පැවසුවා.

  • ගෑස්වලට තවත් ගැසට් දෙකක් ගහලා

    ගෑස්වලට තවත් ගැසට් දෙකක් ගහලා

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් සහ බර සඳහන් කළ යුතු ආකාරය ගැන සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා.

    10 (1) (a) of the CAA Act, No. 09 of 2003 පනත මගින් පාරිභෝගික සේවා අධිකාරියට පවරා ඇති බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසනායකගේ නියෝගයෙනි.

    ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

    අනෙක් ගැසට් නිවේදනය මගින් නිවේදනය කර ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය බවයි. ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.

    ඒ අනුව LP ගෑස් අඩංගු ලීටර් 18ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වෙනවා.

    කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

  • ‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘

    ‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘

    ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    ඩෙල්ටා ව්‍යාප්තිය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ බස්නාහිර පළාත, උතුරු, දකුණු හා නැගෙනහිර පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති අවස්ථාවකදී මෙවැනි සිද්ධීන් රටේ සෑම දිස්ත්‍රික්කයකම සොයාගත හැකි බවයි.

    සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 68 ක් හඳුනාගෙන ඇති අතර ප්‍රජාව තුළ හඳුනා නොගත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බව ද ඔහු පැවසීය.

    “ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ වඩාත්ම ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර අපේ රටේ ඒ සඳහා ව්‍යතිරේකයක් නොවේ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

    කෙසේ වෙතත්, වෛද්‍ය හේරත් අවධාරණය කළේ, “ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා අප අසාමාන්‍ය පියවර අනුගමනය කළ යුතු නැහැ. මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම, නිතිපතා අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි දැඩි පොදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට ඊට ප්‍රමාණවත්. රට තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එමගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙනවා. ඒනිසා කිසිදු පැකිලීමකින් තොරව එන්නත ලබා ගන්නා ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

  • ‘ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණ දෙන්න රට තුළ කිසිම සූදානමක් නෑ‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ

    ‘ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණ දෙන්න රට තුළ කිසිම සූදානමක් නෑ‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ

    කොවිඩ් වසංගතයේ අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

    විශේසඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ බව පැවසූවේ අද (24) කොළඹදී පැවති ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවේදීයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අබේසිංහ මහතා මෙසේ ද සදහන් කළා.

    “අවුරුදු එකහමාරක් ගිහිල්ලත් අපිට මේ වගේ ව්‍යසන තත්වයකට මුහුණදෙන්න අපේ රෝහල්ටික සූදානම් කරගන්න බැරි වුණා. මම වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැරටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට අපි හිතනවා මේ වෙලාවේ ඉතාමත්ම තීරණාත්මක සාධකය මරණ අවම කර ගැනීම කියලා. ඒ නිසා කිසිසේත්ම අපේ රටේ ජනතාව ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ කියල තමයි අපි හිතන්නේ.

    දැන් ආර්ථිකය පිළිබඳව විශේෂඥ දැනුම තියෙන ඇමතිවරු ඇවිල්ලා ආර්ථිකයේ තියෙන මේ බරපතලභාවය පිළිගනිමින් ඉන්නවා. මම හිතනවා ඒ වගේම අපිට සෞඛ්‍ය ඇමතිවරු තුන්දෙනෙක් ඉන්නවා. දැන් ජනතාවත් එක්ක සාකච්ඡාවකට එන්න ඕනි, මේ තත්වයේ බරපතල කම, ඒ එක්කම වේගයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ව්‍යාප්ත වෙන්න පුළුවන් බව. දැන් ඊයේ (23) 1700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. කාලයක් සිටම මරණ 50ක් වාර්තා වෙනවා දිනකට. ඒ නිසා මේ පෙන්නුම් කරන්නේ, මේ කලාපයේත් මේ ලෝකයේත් මේ තුන්වෙනි රැල්ල ව්‍යාප්ත වෙන ආකාරය.

    දැන් අපි රටවල් ගත්තොත් ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය, නේපාලය, ඉනිදුනීසියාව මේ සියලු රටවල්වල අප්‍රේල් මාසයේ සිට මේ රැල්ල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වනවිට ඉන්දුනීසියාවත් මියන්මාරයත් ඉතාමත් බරපතල තත්වයක තියෙනවා. අපි දන්නවා මේ වනවිට ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පද්ධතීන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ආසන්න වෙමින් තියෙනවා. ඉතිං ඒක අපි නොදැක නිසි ක්‍රියාමාර්ග නොගෙන හිටියොත් අපිටත් විශාල බරපතල අර්බුදයකට මුහුණදෙන්න සිදුවෙනවා.

    දැන් ඉන්දියාවේ තුන්වෙනි රැල්ල අඩු වුනාට. අපි දන්නවා ඉන්දියාවෙත් සාමාන්‍යයෙන් දවසකට රෝගීන් හතලිස් දෙදාහක් විතර දවසකට වාර්තාවෙනවා. ඒ එක්කම ඉන්දුනීසියාවේ ඊයේ වාර්තා වුනා 50,000ක්. 1,500ක් මියගියා ඊයේ. ඒකනිසා මේක බරපතල තත්වයක් බව ආණ්ඩුව නොසලකා හරිමින් ඉන්නවා කියල තමයි අපිට තේරෙන්නේ. මොකද මේ හා සමානම හැසිරීමක් අප්‍රේල් මැදභාගේ අපි ආණ්ඩුවේ දැක්කා. ඒ නිසා අප්‍රේල් මාසේ අගත්, මැයි, ජුනි මාසවලත් අපේ රටේ වසංගත තත්වය උග්‍රවුනා. මරණ සංඛ්‍යාව වැඩි වුනා. රෝගීන් වාර්තාවීම වැඩි වුනා. ඉතිං ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ආණ්ඩුව මේ කොවිඩ් අර්බුදය පිළිබඳව නොසලකා හැරීමෙන් අපිට බරපතල ව්‍යසනයකට ඉදිරියේදී මුහුණදෙන්න වෙනවා කියලා.

    විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය ගැන මාධ්‍ය දැන් වාර්තා කරමින් ඉන්නවා මේක පැතිරෙනවා කියලා. දැන් මේ ඩෙල්යා ප්‍රභෙදය නිසා තමයි තායිලන්තයත් මියන්මාරයත් ඉන්දුනීසියාවත් සෞඛ්‍ය පද්ධතීන් බිඳවැටෙන්න තරමටම බරපතල අර්බුදයකට මුහුණදීල තියෙන්නේ. ඉතිං මේකෙන් පාඩම් ඉගෙනගෙන අපි ක්‍රියාත්මක නොවුනොත් අපිටත් මේ අර්බුදයට මුහුණදෙන්න වෙනවා.

    අපි දන්නවා මේ වනවිටත් අපේ ජාතික රෝහල් පද්ධතියේ රෝහල්වල ධාරිතාව අර මැයි මාසේ මුල වගේ ඉක්මවා යමින් තියෙනවා. ඉතිං ඒ නිසා ඒ තත්වය නිර්මාණය වෙමින් තියෙන්නේ. අපි දන්නවා මේ වනවිට කොළඹ සමහර පෞද්ගලික රෝහල් කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම නවත්තලා තියෙනවා. රජයේ රෝහල්වලත් දැඩිසත්කාර ඒකක යම් ප්‍රමාණයකට ධාරිතාවය ඉක්මවා යමින් තියෙනවා. ඉතිං මේ අර්බුදය අනික් රටවල්වලට වගේම අපිටත් මුහුණදෙන්න වෙනවා. ලෝකයේ චීනය විතරයි මේ වනවිට මේ රැල්ලට සාර්ථකය මුහුණදෙමින් ඉන්නේ. දැන් මේ ලෝකය පුරාම නිර්මාණය වෙමින් තියෙන තත්වය නොසලකා හරින්න, විශේෂයෙන්ම තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වගේ රටවල් ඉතාමත්ම හොඳින් පාලනය කරගෙන තිබුණ අප්‍රේල් දක්වා. නමුත් ඒ රටවල්වලටත් දැන් මේ තුන්වෙනි රැල්ල පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා.

    ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් බරපතල ව්‍යසනයකට අපිට මුහුණදෙන්න වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා, ආණ්ඩුව වහාම මැදිහත් වී නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි කියලා. මේ වසංගතය දැන් මේ පැතිරෙන ආකාරය ගැන හොඳින් සොයා බලලා මේ පැතිරීම සීමා කරන්න ඕනි. දැන් මේ සංචරණ සීමාවන්, විවිධ සෙනඟ ගැවසීම් ලිහිල් කරා පසුගිය දවස්වල. සංගීත සංදර්ශන උත්සව ශාලා ඇතුළේ පවත්වන්න ඉඩදෙනවා. ආගමික උත්සව පවත්වන්න ඉඩ දෙනවා. මං හිතනවා මේ නිසා බරපතල තත්වයක් ඉදිරි කාලසීමාව තුළ අපේ රටේ නිර්මාණය වෙනවා. ඒ නිසා මේ විදිහට අපි කරන නොසලකා හැරීම් නිසා අපිටත් තායිලන්තය, මියන්මාරය ඉන්දුනීසියාව වගේ බරපතල ව්‍යසනයකට ගොදුරුවෙන්න ඉඩ තියෙනවා,”

  • ‘ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග‘ රෝහල් පද්ධතිය බරපතළ අර්බුදයක

    ‘ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග‘ රෝහල් පද්ධතිය බරපතළ අර්බුදයක

    ලෝකය පුරා කොවිඩ් වසංගතයේ බරපතළ තත්ත්වයක් ඇති කළ ‘සැර වෛරස් ප්‍රභේදයක්‘ වශයෙන් සැලකෙන ඉන්දියානු වෛරසය හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් ඊ පුවත්පත ඊයේ වාර්තා කළා.

    එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වුණේ ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට උත්සාහ කළ ද මුලික රෝහල්ද තම උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

    රෝහල් තුළ ඔක්සිජන් අවශ්‍යතාවය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වේවිද යන සැකය පවතින බවද එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළා.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද ඉන් රෝහල් ධාරිතාවට බලපෑමක් එල්ල වී නොමැති බවයි.

    ‘‘ මේ දක්වා මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ 66 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ මහනගර සභාව ආශ්‍රිත සෞඛ්‍ය බලප්‍රදේශයෙන් වාර්තාවී තිබෙන්නේ. දැනට අපිට රෝහල් ධාරිතාවය ගැන ප්‍රශ්නයක් නැහැ. රෝගීන්ගේ සුළු වැඩිවීමක් තියෙනවා ඇත්තටම. නමුත් අපිට දැනට ඇඳන් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. 66 දෙනා ඇරෙන්න අනිත් අයගේ තියෙන්නේ කලින් තිබ්බ බ්‍රිතාන්‍ය ප්‍රභේදයම තමයි‘ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැහැදිලි කරමින් සදහන් කළා

  • ‘අවුරුදු 16න් පසු ලිංගික සම්බන්ධතා පුළුවන් – ඒත් විවාහා වෙන්න බෑ‘

    ‘අවුරුදු 16න් පසු ලිංගික සම්බන්ධතා පුළුවන් – ඒත් විවාහා වෙන්න බෑ‘

    ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක.

    යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙති.

    විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල නව යෞවනයේ පසුවන දියණියක් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම සැලකෙන්නේ සමාජයීය අපවාදයකට ලක් වන්නක් ලෙසය.

    වයස අවුරුදු 16 ඉක්මවූ නව යෞවන වියේ පසුවන පෙම්වතුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද බොහෝ විට අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියකි.

    ප්‍රසිද්ධ ස්ථානයක පෙම් කළ “වරදට” ඉහත කී වයස් සීමාවේ පසුවන පෙම්වතුන් “රංචු පිටින්” අත්අඩංගුවට පත්වන අවස්ථා ද ඇතැම්විට වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත.

    නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක.

    එවැනි අවස්ථාවකට මුහුණ දුන් තරුණියකට සමාජයීය වශයෙන් සහ මානසික වශයෙන් මුහුණ දීමට සිදුවන පීඩා අපමණය. ඇතැම් විට එය ජීවිත හානි කර ගැනීමෙන් පවා කෙලවර විය හැකිය.

    ඉහත කී ආකාරයේ සමාජයීය ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා පොලිසිය කළ යුත්තේ යෞවන වියේ පසුවන පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම නොව ඉහත කී නීතිමය පසුබිම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න පවසයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න
    නීතිවේදිනී ධනුෂිකා අබේරත්න

    “නීතිය යටතේ එය වරදක් වෙන්නේ දෙදෙනෙක් ‘අශෝභන ආකාරයෙන්’ ඒ ස්ථානයේ හැසිරෙනවා නම් පමණයි. නමුත් එතනත් ප්‍රශ්නයක් තිබෙනවා ‘අශෝභන’ කියන්නේ මොකක්ද කියන නිර්වචනය සම්බන්ධයෙන්,” යනුවෙන් ඇය කියා සිටියාය.

    පෙම්වතුන්ට එළිමහනේ අදහස් හුවමාරු කරගැනීමට ඇති නිදහස “අහුරා දැමීමේ ප්‍රතිඵලය කාමරයකින් අවසන් විය හැකි” බැවින් පවතින නීතිමය තත්ත්වය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ දැනුවත් කිරීම තරුණ පරපුරේ ඉදිරි ගමනට අතිශය වැදගත්වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

    “පවුලේ අය මේ ගැන දරුවන් එක්ක කතා කළ යුතුයි. පොලිසිය, පාසල සහ සමාජ සේවකයන් අතින් මේ දැනුවත් වීමයි සිදු විය යුත්තේ.”

    එසේ දැනුවත් නොකරන අවස්ථාවක යෞවන වියේ පසුවන තරුණ තරුණියන්ට ඉහත කී ආකාරයේ සමාජීය සහ මානසික ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න කියා සිටියාය.

    “මොකද ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන වචනය ඇහුන ගමන් ඒක දකින්නේ ලිංගික අපරාධයක් විදිහට.

    “ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු දාසය වශයෙන් දක්වලා තියෙන්නෙ ඒ වයසෙදි ලිංගිකව මුහුකුරා (sexual maturity) ගොස් තිබෙනවා කියන පිළිගැනීම නිසා. ඊට වැඩි වයස් සීමාවක් පැනවීමෙන් එය නිරර්ථක නීතියක් විය හැකියි. නමුත් ලංකාවේ පවතින විශම සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේ වයසෙ සෑම දරුවෙකුටම එවැනි තීරණයක් ගන්න දැනීමක් තිබේද යන්න ප්‍රශ්නයක්. මොකද දරුවන්ට ප්‍රමාණවත් නෛතික හෝ ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා.

    “අවුරුදු 16 පස්සේ ලිංගිකව එක්වෙලා 18 වන තුරු විවාහ වීමට නොහැකි බැවින් ගැහැණු ළමුන් විශාල පිරිසක් ගැටලුවලට මුහුණ දෙනවා. මොකද දෙන්නෙක් ලිංගිකව එක්වුවත් ඇය නීත්‍යනුකූලව බිරිඳ වශයෙන් පිළිගැනෙන්නේ නැහැ. ඒ නිසා බිරිඳකට නීතියෙන් හිමි වෙන අයිතිවාසිකම් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම සුජාතභාවය කියන කාරණයත් එක්ක, ලැබෙන දරුවටත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන්.

    “මේ නිසයි දැනුවත් කිරීම අවශ්‍ය.

    මේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අවුරුදු 16 ට වැඩි (ලිංගික කැමැත්ත දිය හැකි) නමුත් අවුරුදු 18 ට අඩු (විවාහ විය නොහැකි) වයස් සීමාවේ පසුවන ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව සමාජීය ගැටලුවක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    “අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා,” ආචාර්ය අනූෂා එදිරිසිංහ විස්තර කළාය.

    “එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,”

    ඉහත කී වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දුන්නාය.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි – අන්තර්ගතයට හානියක් නොවන ලෙස ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක

  • ශ්‍රී ලංකාවේ ලිංගික අල්ලස් : ‘මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා‘

    ශ්‍රී ලංකාවේ ලිංගික අල්ලස් : ‘මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා‘

    “ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.”

    “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”

    “ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.”

    මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ට ‘ඉහළ පුටුවල’ සිටින සමහර පුද්ගලයන්ගෙන් ලැබුණු කෙටි පණිවිඩ කීපයකි.

    උසස් අධ්‍යාපනය හෝ රැකියාවක් සඳහා නිර්දේශ කර ලිපියක් ලබා ගැනීමේ සිට ආයතනයක් තුළ උසස් වීමක්, වැටුප් වැඩි වීමක් දක්වා ලිංගික අල්ලස් ලබා දීමට විවිධ ප්‍රධානීන්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් කාන්තාවන් කීපදෙනෙකු සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ.

    ‘තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස්..’

    අප ඇය දුල්මිණී ලෙසින් හඳුන්වමු. ඉහළ අධ්‍යාපනයක් ලැබූ දුල්මිණි කොළඹ පිහිටි කාර්යාලයක රැකියාවකට බැඳුණේ ආධුනික පුහුණුවීම් සඳහාය. සය මසක පුහුණු කාලය අවසන් වූ පසු එම රැකියාව ස්ථීර කරගැනීම පිණිස ඇයට කාර්යාල ප්‍රධානියාගෙන් නිර්දේශ ලිපියක් අවශ්‍යය.

    Sex Bribes in Sri lanka

    “පුහුණු කාලය ඉවර වෙන්න ලං වෙනකොට ලියුම ගැන ඔෆිස් එකේ මගේ බොස්ට මතක් කළා. ඒක වෙලාවට දෙන්නම් කියලා ඒ මොහොතේ කිව්වා. හැබැයි දවස් දෙකකට පස්සේ මට එක දිගට වැඩ වගයක් දීලා රෑ වෙනකම් ඔෆිස් එකේ තියාගත්තා.

    “ගැහැණු සම්බන්ධයෙන් සර්ගේ ක්‍රියාකලාපය ගැන නම් මට සෑහෙන දේවල් ඇහිලා තිබුණා. ඒත් මට ඒ වෙනකම් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා`රෑ ඔෆිස් එකේ හැමෝම යනකම් මට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඒක ඉවර කරන්න මට බල කරපු නිසා මැදදී දාලා යන්න බැරි වුණා.

    “ඔක්කොම යනකම් ඉඳලා සර් මට කතා කළා. වැඩ ඉවර වෙලා ඔෆිස් පාටියකට යන්න තියෙනවා කියලා ගෙදරට කියන්න, අද රෑ එයා එක්ක ගත කරන්න කියලා සර් කිව්වා. එහෙම කළොත් මගේ ලියුම හොඳටම ලියලා දෙන්නම් කිව්වා.

    “මම දුප්පත් පවුලක කොළඹින් පිට ජීවත් වුණ කෙනෙක්. මට මේ වගේ තැනක ස්ථීර රස්සාවක් ලේසියෙන් ගන්න බැහැ. සර් හැදුවේ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මම එවෙලේම ඔෆිස් එකෙන් එළියට දුවගෙන ගියා. ලැජ්ජාව නිසා මේ ගැන පොලිසියටවත්, ගෙදරටවත් කිව්වේ නැහැ.

    “නමුත් එදා ඇති වුණ අප්‍රසන්න හැඟීම, අර මනුස්සයාගේ තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස් දැකලා ඇති වුණ බය මගේ ඔළුවට තදින් කා වැදුනා. මට අපේ වගේ ජීවිත ගැන ඇති වෙලා තියෙන්නේ කලකිරීමක්,” දුල්මිණී තවදුරටත් පැවසුවාය.

    ‘ප්‍රසිද්ධ රහසක්’

    ලිංගික අල්ලස් ඉල්ලීම ‘ප්‍රසිද්ධ රහසක්’ වන නමුත්, එවැනි සිදුවීමකට පසු කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක් වන බව මෙම කාන්තාවන් සියලුදෙනා පැවසූ පොදු කතාවයි.

    Sex Bribes in Sri lanka

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් කොපමණ ප්‍රමාණයකට මෙවැනි බලපෑම් එල්ල වන්නේ ද ගැන නිශ්චිත තොරතුරු නොමැත. කෙසේනමුත්, සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය (CEJ) නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ට එල්ලවන ලිංගික අල්ලස් බලපෑම් ගැන 2020 මැයි මස අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය වසරේ දී වාර්තා කීපයක් නිකුත් කර තිබිණි.

    කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගතය නිසා මේ සියල්ල තාවකාලිකව ඇන හිට ඇත.

    “මෙවැනි සිද්ධි ගැන තොරතුරු එකතු කිරීම අසීරු කටයුත්තක් වී තිබෙනවා. මෙයින් ලැබෙන අපකීර්තිය හා කම්පනය නිසා කාන්තාවන් මේ දේවල් හෙළි කරන්නේ කරන්නේ ඉතා අපහසුවෙන්. විවිධ පොදු සේවාවන් ලබා ගැනීමේ දී ලිංගික අල්ලස් දීමට සිදු වූ බව පිළිගැනීම දුෂ්කර දෙයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙයයි,” සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ශ්‍යාමලා ගෝමස් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටළුව සම්බන්ධයෙන් 2020 මැයි මස නිකුත් කළ වාර්තාවකට කරැණු දක්වමින් පවසා තිබේ.

    ලිංගික අල්ලස් ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ බලතල සහිත පුද්ගලයන්ය. එවැනි ඉල්ලීමකට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග අදාළ පුද්ගලයන් ‘පළි ගැනීමේ’ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව සමහර කාන්තාවෝ පැවසූහ.

    අපි ඇය නවෝද්‍යා නමින් හඳුන්වමු. රැකියාවේ ගැටළුවලට මුහුණ දීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය නිර්දේශ කිසිවක් ඇයට නොලැබුණේ ලිංගික අල්ලසක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

    “රජයේ ආයතනයක රැකියාව කරන මට එහි ප්‍රධානියෙක් අහගෙන ඉන්න බැරි තරමේ ලිංගික දේවල් දිගින් දිගටම කියන්න ගත්තා. ඊට පස්සේ එයත් එක්ක ලිංගිකව එක්වෙන්න කියලා මට යෝජනා කළා. මේ දේවල් ඉවසන්න බැරි තැන මගේ පවුලේ අය ඇවිත් මේ ගැන අදාළ පුද්ගලයා එක්ක කතා කළා.

    “නමුත් ඊට පස්සේ තමයි මට සෑහෙන විඳවන්න වුණේ. මේ ලිංගික අල්ලස ඉල්ලපු පුද්ගලයා සෑහෙන බලයක් තියෙන කෙනෙක්. එයා ඒ බලය පාවිච්චි කරලා මම වැඩ කළ තැන සෑහෙන ප්‍රශ්න ඇති කළා. මම ගණිකාවක් කියලා කට කතා පැතුරුවා.

    “මට උසස් අධ්‍යාපනයට අවශ්‍ය නිර්දේශ ලබා නොදුන්නා විතරක් නෙමෙයි, වෙනත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබුණු ශිෂ්‍යත්වය පවා නතර කෙරෙව්වා. වැඩ කරන තැන අනෙක් අයව මට එරෙහිව එයා යොදා ගත්තා. හැබැයි මම මේ ගැන රැකියා ස්ථානයට වගේම කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කළා.

    “රැකියා ස්ථානයේ දිගින් දිගටම පැමිණිලි විභාග කළත්, ඒවායේදී මගෙන් ප්‍රශ්න ඇහුවේ මම වැරදිකාරයා විදිහට. තවත් ගැහැණු ළමයින්ට එයා මේ විදිහට කරදර කළත් බලයට තියෙන බයට ඒ කිසි කෙනෙක් එයාට විරුද්ධව යන්නේ නැහැ.

    “නමුත් පිටත දී දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙනවා.

    “මගෙන් වුණ වැරැද්ද තමයි ලිංගික අල්ලස ඉල්ලපු වෙලාවෙම පොලිසියට පැමිණිලි නොකරපු එක. කාන්තා හා ළමා කාර්යංශයත් මට ඒ බව කිව්වා.

    “මේ සිද්ධීන් නිසා මම දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඒක මගේ ශාරීරික සෞඛ්‍යයටත් තදින් බලපාලා තියෙනවා. හැබැයි මම සටන අත්හරින්නේ නැහැ. වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ,” නවෝද්‍යා තවදුරටත් පැවසුවාය.

    නීතිය අපැහැදිලි ද?

    මුදල් අල්ලස් හා වෙනත් ආකාරයේ දූෂණ මෙන්ම ලිංගික අල්ලස් ද දෛනික ගනුදෙනුවල දී සිදුවන අපරාධයක් ලෙස හැඳින්විය හැකි නමුත් නීතියේ නොපැහැදිලි අර්ථ නිරූපණය හේතුවෙන් මෙය සාකච්ඡාවට බඳුන් වන්නේ කලාතුරකිනි.

    Sex Bribes in Sri lanka

    මෙවැනි සිද්ධීන් නීතියට වාර්තා වී ඇත්තේ ද ඉතා අවම ප්‍රමාණයකි. 2010 සිට 2019 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට වාර්තා වී ඇත්තේ මෙවැනි සිද්ධීන් 13 ක් පමණි.

    සිය අයිතිවාසිකම් සහ මෙම වරදෙහි නීතිමය තත්වය ගැන අවබෝධය අල්ප බව මෙවැනි සිද්ධීන්වලට මුහුණ දුන් කාන්තාවන් පළ කළ අදහස් අනුව පෙනී යයි.

    අල්ලස් පනතේ ලිංගික අල්ලස් ගැන සෘජුව සඳහන් කර නොමැති වුව ද එය අල්ලස් වරදක් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ හැකිය. මුදල්, ණය, තෑගි වැනි දේවලින් අල්ලස් ලබා ගැනීම වරදක් ලෙස පැහැදිලිව සඳහන් කර ඇතත්, නීතියෙන් ‘අල්ලස’ අර්ථ දැක්වීම ලිංගික ස්වභාවයක් දක්වා විහිදුවා නොමැත.

    කෙසේනමුත්, අල්ලස් පනතට ලිංගික අල්ලස් වරද ඇතුළත් කිරීමට මෑත වසරවලදී යෝජනා ඉදිරිපත් වී තිබිණි.

    සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය ද (CEJ) මේ වෙනුවෙන් යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව පිළිගෙන 2019 අල්ලස් හා දූෂණයට එරෙහිව සටන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මට එකතු කර ඇත.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ලිංගිකත්වය පදනම්ව සිදු කරන ඕනෑම ආකාරයක වෙනස්කමක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වයි.

    කෙසේනමුත්, ලිංගික අල්ලස් වරදක් ලෙස නීතියට පැහැදිළිව ඇතුළත් කර, වින්දිතයන්ට එම යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට මෙවැනි සංවේදී සිද්ධීන් හැසිරවීමට නිලධාරීන් පුහුණු කිරීම ද සිදු විය යුතු බව නීතීඥ ප්‍රියංකා ලක්මාලි බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “නීතියේ අපැහැදිලි බව වගේම, මේ වගේ සිද්ධියක් නීතිය ඉදිරියට ගෙන ආවාම එතනදී වින්දිතයන්ට ලැබෙන ප්‍රතිචාර ගැන බොහොම දුක හිතෙන කතා අපි දන්නවා. මේ තියෙන සිස්ටම් එක අනුව හැම පැත්තෙන්ම තැලෙන්නේ වින්දිතයන්. ඉතින් බොහෝ අය නීතිය ඉදිරියට මේ දේවල් ගේන්නේ නැහැ. නිහඬව සෑහෙන විඳවනවා.”

    1954 යන කෙටි දුරකථන අංකයට ඇමතීමෙන් හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

    Sex Bribes in Sri lanka

    ‘සියල්ලන් ඉස්සරහ නිරුවත් වෙනවා වගේ හැඟීමක්’

    “මමත් මේ වගේ සිද්ධියකට මුහුණ දුන් කෙනෙක්. ඒ හිරිහැර වුණේ මගේ බොස්ගෙන්. මම මේකට ඔෆිස් එක ඇතුළේ ඉඳන් සටන් කරන්න ගිහින් වුණේ රස්සාව නැති වුණ එක විතරයි. ඇත්තටම මම ඉල්ලා අස් වුණා.

    “නීතිය ඉදිරියට ගිය නැති එක මගේ වරදක්. හැබැයි දරුවෝ ඉන්න මම මේ වගේ දෙයකට නීතිය ඉදිරියට යනවා කියන්නේ සියල්ලන් ඉස්සරහ නිරුවත් වෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව සංවේදී ප්‍රශ්නයක් අහගෙන ඒකෙ රහස්‍ය බව රැකගන්න තරම් අපේ නීති පද්ධතිය, මාධ්‍ය ඇතුළු කිසිදෙයක් දියුණු වෙලා නැති වීම,” රාධිකා නම් තවත් කාන්තාවක පැවසීය.

    උපකාර කළ හැකි වෙනත් ආයතන තිබේ ද?

    කාන්තා හිංසන, ලිංගික අඩන්තේට්ටම්, ළමා අපචාර සහ ගෘහස්ථ හිංසනවලට ලක් වූවන්ට උපකාර කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් තිබේ.

    • කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට සහන සැපයීමට 1938 නම් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
    • ‘කාන්තා පිහිට (WIN)’ නම් රාජ්‍ය නොවන සංවිධානය කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත් කරන අතර, නොමිලේ නීති උපදෙස් සහ සේවා ලබා දීමට ද කටයුතු කරයි. මෙම සංවිධානය 011 4718585 නම් ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.
    • නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම මුල්‍යමය හැකියාව නොමැති පුද්ගලයන් සඳහා නීති ආධාර කොමිසම මගින් නොමිලේ නීති උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය: 011 2433618.
    • මානසික සෞඛ්‍ය ආයතනය අංගොඩ ක්ෂණික දුරකතන අංකය 1926
    • ශ්‍රී ලංකා පොලිසිය ක්ෂණික දුරකතන අංකය 119
    Sex Bribes in Sri lanka

    ඉහත සඳහන් සිද්ධීන්වලට මුහුණ දුන් කාන්තාවන්ගේ රහස්‍යභාවය සුරැකීම පිණිස ඔවුන්ගේ නම් වෙනස්කර තිබේ.

    දැහැමි රණවීර විසින් ජූලි 22 වැනි දින බී.බී.සී සන්දේශය වෙත සම්පාදිත ලිපියකි. ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • රටේ උවමනාව සාධාරණ සමාජයක්

    රටේ උවමනාව සාධාරණ සමාජයක්

    පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය,  විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට  එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ  ප්‍රමුඛතාවය තෝරාගත නොහැකි වීමය.  

    හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගින් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ,  පොහොර හිඟයෙන් පා`ථ වූ ගොවිබිම්වලට  රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව  ආදි බොහෝ අනුවේදනීය සිද්ධින් එක් දවසක් තුළ වාර්තාවන නිසාය.

    43 කණ්ඩායම වෙනුවෙන් කතා කළ පාඨලී චම්පික එහිදී කීවේ,  ආණ්ඩුවට පමණක් නොව, විපක්‍ෂයට පවා ජනතාව දොස් නගන බවය. පාඨලී පවත්නා තත්වය මැනවින්  තේරුම් ගෙන ඇත.  එහි විලෝමය විපක්‍ෂ කාර්ය භාරය අසාර්ථක බවය. සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය මූලිකවූ මේ පෙළගැස්ම කොතරම් ප්‍රබලවීද යත්  ජනධිපති ගෝඨාභයට තමන් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා බව කියන්නට සිදුවිය.

    අනෙක් හාස්‍ය ජනක ප්‍රතික්‍රියාව, රනිල් මංගල දෙදෙනාත් තවත් බලවේගයක් සැලසුම් කරන බවය. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා, අධිකරණයට භාර දෙන තෙක් රනිල් වෙන කිසිදු ව්‍යාපාරයකට සුදුසු විය හැකිද? එසේ කියන්නේ බැඳුම්කර නඩුවේ එක් විත්තිකරුවෙකු රනිගේ කැබිනට් සගයෙකු නිසාය. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කිරීම සිරිසේන කළ යුතුවේ. එසේ කියන්නේ ජනාධිපති වාර්තාවේ නිර්දේශ අනුවය.

    රටම  බිඳ වැටී ගම් දනව් මළ ගෙයක්වී ඇති මේ නිමේෂයෙහි විපක්‍ෂයේ වගවීම  බිංදුවය.  ආණ්ඩු විරෝධයට රාජපක්‍ෂලා  කොඩිඩ් වසංගතයට මුවා වී මුහුණ දෙති.  සිවිල් පාලනය සිර කොට, ජනාධිපති ගෝඨාභය යාමට සැලසුම් කළ ගමනට ආණ්ඩුවේ බහුතරයත් විරුද්ධය.  බැසිල් පැමිණීමෙන් පෑ හැකි අමුතු ප්‍රාතිහාර්යක් නැත. බැසිල් පැමිණියේ ආණ්ඩුවේ අසාර්ථකත්වය තදින් දැනුණ නිසාය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර ලවා පොලිස් මර්ධනය ගැන සරත් වීරසේකරට යම් ප්‍රමාණයක තරවට්ටුවක් කරවීය. සාගර කාරියවසම් ලවා දල්වා,  විසි කළ  ගුණ්ඩුව ගෝඨාභයට මිස, ගම්මන්පිල එල්ල කළ එකක්  නොවේ. මේ නිරූපනය වෙන්නේ ආණ්ඩුවේ බෙදිල්ල සහ කැළඹීම මිස නව ආර්ථීක ක්‍රමෝපායන් නොවේ. රාජපක්‍ෂලාට ඉවසිය නොහැකි මේ දේශපාලන බඩරිදිල්ල 2014ට පෙර නම් අයියා මළෝ  එකතුව දරා ගත්හ. වර්තමානයේ  රාජපක්‍ෂ පැටවුන්  මේ බඩේ ගායෙන් නගන කෙඳිරියට  උන්ගේ අම්මලාත් ගෝරි අදිනු පෙනේ.

    වැලේ වැල් නැතිව සිටි ආණ්ඩුව සිටින්නේ ජනාධිපති සටන ගැන නොව, සැඟවී පන බේරා ගන්නා නිමේෂයකය.  ඊළඟ පාරත් එන්නේ මම යනුවෙන් ගිය සඳදා ගෝඨා කීවේ  රාජපක්‍ෂ පැටවුන්ට ඇහෙන්නටය.  සරත් වීරසේකර වැනි පිස්සන්ගේ රංගනය හරහා වැටෙන අඹ කොට්ට ලේන් කොට්ට අහුලා ගැනීමට තම සරම් කඩම`ථ අල්ලන තරමටවත් විපක්‍ෂය ශක්තිමත් නැත.

    ආණ්ඩුවේ අනාගැනිල්ල නිවැරදිව තේරුම් නොගෙන විශ්වාසය භංගය හරහා විපක්‍ෂය කළ සරම ඇල්ලීමෙන්  ආණ්ඩුව තම අර්බුදය තුනෙන් දෙකෙන් වසා ගත්හ. කුඩා අවදියේ කුඩා එවුන් මුහුණ දුන් ආකාරයට විපක්‍ෂයේත් සරම් කැඩී බිම හැළිණ.  මේ කරන්නේ විහි`ථවක් නොවේ. රට වැටෙන ප්‍රමාණය, රටේ ප්‍රශ්න ගොඩ ගැසෙන ප්‍රමාණය උකහා ගැනීමට, කළමනාකරණය කිරීමට තැන තැන විසිරී සිටින වර්තමාන  විපක්‍ෂය අසමත් බව සිහි කිරීමය.   සාධාරණ සමජයක් පෙළ ගැසෙන්නේ ඒ නිමේෂයෙහිය. ඊට එරෙහිව  රනිල් මංගලගේ  කස්තිරම පුහුණු කරන්නේද රාජපක්‍ෂලා බවට ප්‍රාදේශීය සභා පෙරළි සාක්ෂි දරති. සජිත්ලා විශ්වාස භංගය හරහා ආණ්ඩුව කොඩිය ඉස්සූ බව මරික්කාර්ලා නොදනිති.  බැසිල්ගේ  සැලැස්ම  පළාත් සභා ඡන්දය දිනා ජනතාව තමන් සමග බවත් ජාත්‍යන්තර ප්‍රජාවට දැන්වීමට සහ බෙදුණ විපක්‍ෂයේ වාසිය ගෙන රනිල් වික්‍රමසිංහ 2024 පොදු අපේක්‍ෂකයා කිරීමටය.

    එක දිගට, රනිල් කළ ජනතාවාදි වැඩ ඉහළින් තක්සේරු වන මොහොතක, රනිල් උස්සා තැබීමට බැසිල්ට පිස්සුදැයි ඇසිය හැකිය.  රනිල් කළ හොඳ සියල්ල ඇමති ලෙස කාගේ හෝ පාලන කාලයට අයත්ය. තරුණ සේවා සභාව යනු 1967 අංක 11 දරණ පනතේ දිගුවකි.  කරු ජයසුරිය හෝ පොන්සේකා 2015 ජනාධිපති වුණා නම්, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ සෙල්ලම් දාන්නේ නැත.   සිරිසේනට රනිල් මෙහෙයවීමේ හයියක් නොතිබිණ. විධායක ජනාධිපති වී පළමු රාත්‍රියේම ගෝඨාභය හමුවන තරමට කොඳු ඇටය බිඳුණ සිරිසේන, පාස්කු ප්‍රහාරය නොදැන සිටියා නොවේ. විශ්වාස භංගයේදී සිරිසේන කළ කතාවෙන් ඔහු සිටින්නේ කාට මුවාවීදැයි තේරුම්ගත හැකිය. තිලක් මාරපන වජිර අබේවර්ධන දෙදෙනාම ඇවන්ගාර්ඩ් සමාගම වෙනුවෙන් යහ පාලන ආණ්ඩුව කඩේ යැවූහ. රනිල්ගේ නායකත්වයේ  බුද්ධිමහිමයේ දිල පළල එසේය. මානවම්ම ගැන දන්නේදැයි ඇසූ විට, ආන්න රනිල් කියා සමහරු චූන් වූහ. එහෙත් පස්දුන් කෝරළයට නම ලැබුණ හැටි කියන්නට ගොස් රනිල්ගේ යට ඇඳුම් තෙමී ගිය හැටි රටටු දනිති. ඉතිහාස දැනුම කෙසේ වෙතත් රනිල්ගේ දේශපාලන ඉතිහාසය එහෙමය.

    රනිල් කළ සාර්ථක වැඩ පිළිබඳ ඔහු බුහුමන් ලැබුවාට පව් නැත. එය හරියටම 2005 මහින්ද ජනාධිපති කරවීමට ප්‍රභාකරන් කළ උදව් වාගේය. අදත් මහින්දලා තුනෙන් දෙක හදා ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කරුවන්ගේ උදව්වෙනි. දමිළ මුස්ලිම් කණ්ඩායම් ලවා බලය තහවුරු කර ගත්තාට සිංහල බෞද්ධ නාමයෙන් වාසි ගන්නා රාජපක්‍ෂලා දන ගැස්වීමට රනිල් පින් කරලාම නැත. රනිල් යනු මැතිවරණයක් අතර, එක් දිනකින් බිම දමා මහ පොළොවට සමතලා කළ  හැකි පඬරැලකි. පෙරේත පාදයෙන් හෝ දිනුවොත් රාජපක්‍ෂලාට ආරක්‍ෂාවකි. බැසිල්,  රනිල් ගේන්න ගේම් ගහන්නේ ඒ නිසාය.

    සාධාරණ සමාජයක් ව්‍යාපාරය ඒකරාශී කළ හමුව තීරණාත්මක වන්නේ මේ හේතු කාරණා අනුවය. කරු ජයසූරිය නායකයා නොවේ.  එහි කැඳවන්නා පමණකි. කිසිවෙකු කලබල විය යුතු නැත. ඒ කියන්නේ 2024 පොදු අපේක්‍ෂකත්වය සැබෙවින්ම විවෘත බවය. කාට කාටත් වෙන්වූ මහා කාර්ය භාරයක් ඇත. කරු ජයසුරිය කැඳවූ මේ සංධානය පොදුවේ  තේරුම් ගත යුතු යමක් ඇත. රට වැටී ඇති මේ ප්‍රපාතයට, උද්ගතව පවත්නා ගැට`ථවලට හේතුව කොවිඩ් වසංගතය නොවේ. වියත් මග  නොවේ. රාජපක්‍ෂ පවුලද නොවේ. මේවා  ඉදිමුම් පිප්පුම් රුදා මිස රෝග නිධානය  නොවේ. ආධාර මානසිකත්වයෙන් පිස්සු වට්ටා ඡන්ද කඩා ගැනීමේ ප්‍රවනතාව පරාජය කරන තෙක් මේ රට ගොඩගත නොහැකිය. සජිත් ප්‍රේමදාස, මේ විපක්‍ෂ එකමුතුවට එකඟව පැමිණීම හේතු දෙකක් නිසා වැදගත්වේ. පළමුවැන්න මෙතෙක් දෙකට බෙදී සිටි එජාපය සහ සජබය එක තැනකදී හමුවීමය. දෙවැන්න සහනාධාර මානසිකත්වය රජයේ මුදලින් දහස් ගණනින් පූජ්‍යස්ථාන තනමින් සිය ගොඩ ලොකු කර ගන්නා රටට ඔරෙත්තු නොදෙන රාපපක්‍ෂ ක්‍රමයෙන් බැහැරව  අ`ථතින් හිතන්නට අවස්ථාවක් උදාවීමය.

    රටේ  විශ්‍රාමිකයන් හය ලක්‍ෂ හැට දහස් පන්සීයකි. රජයේ සෙවකයන් දහනව ලක්‍ෂයකි. සමෘධිලාභින් විසි ලක්‍ෂයකි. මේ සංඛ්‍යා ලේඛන පසුගිය ජූනි 23 දන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. එකතුව හතලිස් පන් ලක්‍ෂ හැට දහසකි. දෙකෝටි විසි ලක්‍ෂයක් වන ජනගහනයෙන් හතරෙන් එකක් මාසිකව රජයේ වැය බරෙන් ජීවත් වන්නෝ වෙති. එහෙව් රටක ඍජු බදු අඩුකර අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් ආදායම් ඉපයීම ගැන නව සංධානය කල්පනා කළ යුතුවේ. රටේ බලය ඇල්ලීම පිණිස සුභ සාධනය උගුල 1953 හර්තාලය හරහා මුලින්ම පාවිච්චි කළේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාට හිමිවේ. ඒ හරහා , ආණ්ඩුව දන ගස්වා අගමැති ඩඩ්ලි ගෙදර යැවීය.  එහෙත් 56 පෙරළිය හර්තාලයේ ප්‍රතිපලය නොවේ. නැවත ඇන්.ඇම්.ද එක්ව තුනෙන් දෙකක් දිනාගත් 1970 මැතිවරණයේ ආකර්ශණීය පොරොන්දුව ජනතා බඩගින්නට හඳෙන් හාල් ගෙන ඒමය.  1970-77 කාලයේ  ජනතාව බස් නැවතුම්පොළවල සාගින්නේ මිය ගියහ.  1977ට පසුව, ජේ.ආර්. හාල් පොත් ක්‍රමය ඉවත් කිරිමෙන් යම් පෙරළියක් විය. එහෙත් ආර්.ප්‍රේමදාස ජන සවිය පෙන්වා ජනාධිපති විය. බැසිල් රාජපක්‍ෂ ඒ ජනසවිය, සමෘධිය නමින් බෞතිස්ම කොට පවත්වා ගෙන යති. වර්තමානයේ විසි ලක්‍ෂයක් සමෘධි පවුල් යනු අසූ ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයකට වැඩි දෙයක් නොවේ.  ඊට වැය කිරීමට ණය ගැනිමෙන් පිට උපායක් නැත. ශ්‍රී ලංකාව දිනෙන් දින හිඟමනට වැටෙන හේතුව නව සංධාන පුරෝගාමීන් තේරුම් ගත යුතුවේ.  

    2024දීත්  බ්‍රෙස්ලට් දෙන්න කතා කරයි නම් රස්සා දෙන්න කතා කරයි නම් අපට මේ වලෙන් ගොඩ ඒමක් නැත.  සත්‍ය ලෙසම පෙරමුණක් ලෙස සංධානයක් ලෙස පවත්නා සැබෑව රටට අවබෝධ කර දීමට ව්‍යාපරයක් උවමනාවේ. එය පුද්ගලවාදි නොවේ. වාසි හානි දෙකම ව්‍යාපාරයකට මිස, පුද්ගලයෙකුට ආරෝපනය නොවේ. සාධාරණ සමාජ ව්‍යාපාරය යනු පනස් නව වසරකට පසුව, රටේ යහ පාලනය ඇති කළ මහා ශක්තිය වේ. සමහර සමෘධිලාභි ගම්වල වසර විසි තිස් ගණනක් පැරණි වැල් පාලම් දිරාපත්ව එල්ලී ඇති බව මාධ්‍ය වාර්තා කරති.  සමෘධිය සඳහා සුදුසු පවුල් තේරීමට,  උත්සාහ කරන ග්‍රාම නිලධාරින්  ප්‍රාදේශීය සභා කාරයන්ගෙන් පහර කා රෝහල් ගත කළ වාර්තා බොහෝය. බුලත් විටි තිහකට සරිලන මුදලක් සමෘධි නමින් බෙදා දී ජනතාව ගොනාට ඇන්දවීම, ගමේ පොදු පහසුකම්  වැඩි කරනවාට වඩා වාසි දායක බව තේරුම් ගත් දේශපාලනය පරාජය කිරීමේ වගකීම නව සංධානය භාරගත යුතුවේ.  දිය කඩිති තරණය කිරීමට දෙවතාවක්  සපත්තු මේස් ගලවන ගම්බද පාසල් දරුවන් වැල්  පාලමක් හදනවාද සමෘධිය දෙනවාද තීරණය කරන තැනකට රටේ දේශපාලනය වෙනස් විය යුතුවේ.  දරුවන් අනාගතය දරුවන් නම් සංවාදය ආරම්භ කළ යුත්තේ ඔවුන් සමගය. ඒ දරුවන් දෙමාපියන් දැනුවත් කරනු ඇත. ටැබ් දීමට සැලසුම් කරන විට, දරුවන් වඳවේ යයි කියා මාපියන් මුලාකොට ඡන්ද ලබාගත් දේශපාලනඥයන් අද බලයේ සිටිති.  ටැබ් ලැබුණා නම් නොමිලේ වයිෆයි ලැබුණා නම් ඔවුන්ට කොරෝනා වසංගතය අනාගත පරපුරට අභියෝගයක් වන්නේ නැත.

    අපට සමෘධිය එපා වැව හදා දෙන්න කී ගම්වැසියන් මේ රටේ ජීවත් වෙති. මේ කසිප්පු මුදලාලිලා ප්‍රාදේශීය සභාවල බලය ඇල්ලීමට  සමෘධිය පාවිච්චි කරති. කොළඹ විපක්‍ෂයේ සගයන් බලය ලැබුණත් ඒ ක්‍රම වේදයම පාවිච්චි කරති. වෙනස් කළ යුත්තේ මෙය බව නව  සංධානය තේරුම්ගත යුතුවේ. කුඩා දැරියන් 200ක් අපයෝජනය කොට පාටි දැමූ අකුරැස්සේ සාරුව සුනිල් මෙන්ම, පළාතක් බිය වැද්දූ නූරියේ අතකොටාත් රාජපක්‍ෂලා නියෝජනය කළ  ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙති. නවගත්තේගම ගුරුවරිය දන ගැස්වූ එකාත් රාජපක්‍ෂ නිර්මාණයකි. සාරුව සුනිල් සහ අතකොටා යන දෙදෙනාම උ`ථ ගෙදරය. අදත් ඒ පුරුද්දට අපයෝජනයට කුඩා දැරියන් විකිණෙති. ඒවා  මාධ්‍ය උත්කර්ෂයෙන් වාර්තා කරමින් ජනතා මානසිකත්වය විකෘති කරති. 2005දී ආරම්භවූ කාඩ රාජපක්‍ෂ සංස්කෘතියට 2015දී සාධාරණ සමාජයක් ව්‍යාපාරය තැබූ අඩය රනිල් සිරිසේන දෙදෙනා එක්ව බුරුල්  කළහ. මාදු`ථවාවේ ගරුතර හාමුදුරුවන් වහන්සේ නිස්සරණාධ්‍යාසයෙන් ආරම්භ කළ ඒ සමාජ මෙහෙවර  අවසන් කිරීමේ  වගකීම යහපාලනයෙන් සුරක්‍ෂිත රටේ බහුතර ජනතාව සතු ඓතිහාසික කාර්යභාරයකි.

    2012දී මාදු`ථවාවේ සෝබිත හිමියන් සාධාරණ සමාජයක් ව්‍යාපාරය  තුළ සිල්ලර දේශපාලන පොරොන්දු තිබුණේම නැත. ඍජු තේමාව යහ පාලනය විය.  මහින්ද පරම්පරාවට එකක් කරගත් ජනාධිපති ධුර කාලය යළි දෙවතාවකට සීමා කළේ යහ පාලනය විසිනි. යහ පාලනය යනු සෝල්බරි ව්‍යවස්ථාවෙක් ජනතාව අත් විඳි අයිතිවාසිකමකි. මිහිරකි. ඒ අයිතිවාසිකම රැකීමට 1970න් මෙපිට කිසිදු දේශපානඥයෙකු ක්‍රියා කළේ නැත. එදා ජේ.ආර්. වර්ජකයන් ගෙදර යැවීය. අද උද්ඝෝෂකයන් නිරෝධායනය  කරවති. ආර්. ප්‍රේමදාස, රිචඩ් සොයිසා මරා මුහුදට විසි කළේද ආණඩුවේ වියදමිනි. මාංචු දැමූ සැක කරුවන් පොලිසියෙන් වෙඩි කන්නේ  88-89 කාලයේ ජිනීවා ගිය දේශපාලුවන් භාර ගත් රටෙහිය. මේ ඓතිහාසික බිඳ වැටීම මාදු`ථවාවේ හාමුදුරුවන් වහන්සේ යථාවත් කළහ. ඒ හරහා බලයට පත්  සිරිසේන රනිල් දෙදෙනාටම ඒ තේමාව  අමතක විය. තනතුරු ලබා මාසයක් ගෙවීමට පෙර, එකෙක් මල්ලීට රස්සාවක් දීමෙන්ද, අනෙකා සිංගප්පුරු චාලි කෙනෙකු ගෙන්වීමෙන්ද  සකල ජයග්‍රහණය කෙළෙසූහ. යහ පාලන කාලයේ  සජිත් තනි නොකළා කියන්නේද ඒ සිරිසේනමය.

    රාජපක්‍ෂලා 2010දී පොන්සේකාට දුන් දසවද නතර කිරීමට, මහා සංඝායා වහන්සේටවත් නොහැකි විය. සෝබිත හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධිය යහ පාලනය ලෙස විග්‍රහ කළහ. රාජපක්‍ෂ පවුල  නැවතත් රට  එතැනට තල්ලු කරමින් සිටිති. බැසිල් පාර්ලිමේන්තු ආ දවසේ හන්දි ගානේ රැස් කකා කිරිබත් පිසූ රතිඤ්ඤා පත්තු  කළ කිසිවෙකුට නිරෝධායන නීති නැත. අධිකරණයෙන් ඇප දුන් ආණ්ඩු විරෝධි  උද්ඝෝෂයන් නිරෝධායනයට යැවූහ. එකිනෙකට පරස්පර මේ සිද්ධි දෙකම දේශපාලනික නොවේ. රටවැසියාගේ අයිතිය සම්බන්ධ කාරණාවකි. 2012 සිට 2015 තෙක් සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරයට කිසිදු දේශපාලනයක් තිබුණේ නැත. මුල්ම සභාව රැස්වූ දවසේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට, කරු ජයසුරියත් සරත් පොන්සේකාත්, වාසුදේවත් හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් පැමිණි සිටියහ. විශිෂ්ඨ විදේශ සේවා නිලධාරි ජයන්ත ධනපාලත්, සුදු කොඩි නඩුවේ තීන්දුව විසම්මතික කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පී.බි.වරාවැවත් පැමිණ සිටියහ. පැමිණ සිටි දේශපාලනඥයන් කීවේ තමන් පැමිණීයේ පුරවැසියන් හැටියට බවය. හෙවත් තම දේශපාලන පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. ඒ ගොඩනැගුණේ සමාජ ක්‍රියාකාරිත්වයකි.  එයින් වසර නවයකට පසුව, ජූලි මාසයේම (2021-07-17) දිනයක සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය, (ජනතා විමුක්ති පෙරමුණ හැර) සකල බලවේගයන් රැස් කරවූහ. ජවිපෙය 2015 සටනේදී  පවා පොදු වේදිකාවට හෝ ගොඩ වුණේ නැත. ගිය සෙනසුරාදා  එහි  මුලසුන දැරූ කෙනෙක් නැත. එහි ඉස්මතුවුණේ නායකත්වයක් නොවේ. සමාජ බලවේගයකි. සක්‍රිය දේශපාලනයෙන් සමුගත් කරු ජයසුරිය කැඳවුම්කරු විය. කැඳවීම සමග නිකුත් කළ පණිවිඩය විවෘත සංදේශයකි.

    2012ට වඩා 2021 වෙනස්ය. අතර කාලය වසර නවයකි. කතා කළ යුත්තේ අ`ථත් පරම්පරාවකටය. අ`ථත් ආකාරයකටය. එකතැන පල්වූ අර`ථ බැස්ස නායකයන්ට මේ අභියෝගයට මුහුණ දිය හැකිද? ප්‍රශ්නය අභියෝගය වන්නේ එයයි. ලංකා පාර්ලිමේන්තුවේ මුල් වරට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරිමේ අදහස පළ කළ කරු ජයසුරිය යහ පාලන කාලයේ එය පළ ගැන්වීය. සිරිසේන යහ පාලනය තුළට මහින්ද රාජපක්‍ෂ කැඳවා කළ කුමන්ත්‍රණය පාර්ලිමේන්වේ පරාජය කිරිමට හැත්තෑ අට  හැවිරිදි කරු ජයසුරිය ක්‍රියා කළ ආකාරයගිය සෙනසුරාදා මනෝ ගනේෂන් ලෝබ නැතිව සිහිපත් කළේය. 2024 තෙක් මේ  සමගිය බැඳගෙන යාමේ වගකීම මාදු`ථවේ සෝබිත හිමියන් වෙනුවෙන් කරු ජයදුරිය දැරිය යුතුවේ. මේ සංධානය ගැන ඇසූ පමණින් ගෝඨා කීවේ ආයෙත් මං එනවා කියාය. රනිල් මංගලත් සංධානයක් ගැන කතා කරති. මිසටර් ක්ලීන් මිස්ටර් බීන් කොට, 2005 ප්‍රභාකරන්ට පගා දී මහින්ද සමග එක්ව රනිල් විනාශ කළ මංගල, මේ හදන්නේ චන්ද්‍රිකාත් කුමාර වෙල්ගමත් එකට බැඳ රනිල්ට විකිණීමට නොවේද?

    2015දී රටේ ස්ථාපනය කළ යහ පාලනය අදත් රට තුළ සක්‍රිය වෙමින් පවතී. ෂානි අබේසේකරලා නිර්දෝෂී විය. නිරෝධායනය කළ නායකයන් මුදා හරින තෙක් කළ උද්ඝෝෂණවලට පොලිසිය ළං වුණේ නැත. අධිකරණය පිළිබඳ ජනතාව විශ්වාස කරන්නේ ඒ නිසාය. 20 වෙනි සංශෝධනය ගෙනාවාට රාජපක්‍ෂලාට පරණ සෙල්ලම් දමන්ට නොහැකි බව තහවුරු වී හමාරය. සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ යහ පාලන තේමාවේ රැඳී සිය සටන කරත් නම්, ඒ අභ්‍යාසය 2024ට පාදමක් වනු ඇත. ඒ දෙපිරිමට ඊට කැමති නොවනු ඇත. එජාපයත් සජබයත් අද එක් වේ නම් හෙට පනස් ලක්‍ෂයක මිනිස් පවුරකි. ඒ ජයග්‍රහණ යහ පාලන සංකල්ප පාවා දුන් රනිල්ලා  සිරිසේනලා නන්නත්තාර වෙලාය. ආයෙත් දේශපාලන පෙරළියකට සාධාරණ සමාජයක් අවශ්‍ය ඒ නිසාය.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

    අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

    අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය ඉන්දියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී වසර 9 කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.

    ශ්‍රී ලංකාව අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව මව්බිමේදී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ හරියටම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදී පැවැති තරගය වේ. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව පැවැති එම තරගයේ තරගයේ වීරයා ලෙසින් තිසර පෙරේරා සම්මාන දිනා ගත්තේය.

    කණ්ඩායම සතු නවකයින්ගේ ශක්තිය උරගා බැලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුට එක්දින වරම් හිමිකර දෙමින් අද තරගයට අවතීර්ණ වුණු ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 227 ක ඉලක්කය (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 48 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

    හඹා යෑමේදී පෙරමුණ ගත් අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 98 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරමුණ ගෙන කටයුතු කළේය.එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද අවිෂ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය. අවිෂ්කට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා දුන්නේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවුණු භානුක පන්දු 56 කදී ලකුණු 65 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

    එම සම්බන්ධතාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 3 කට ලකුණු 194 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසු වුවත් හර්දික් පාණ්ඩ්‍යා විසින් චරිත් අසලංකව ලකුණු 24 කට දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල තරමක් පසුබැස්මක් පෙන්නුම් කළේය. එය තම වාසියට හරවා ගත් මංගල තරගයට ක්‍රීඩා කළ රාහුල් චහර්, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් ශානකවද, ඉනිමේ විශ්වාසනීයම පිතිකරුවා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් සත්කාරකයින්ට කිසියමක් පීඩනයක් එල්ල කළේය.

    එහෙත් රමේෂ් මෙන්ඩිස්ට එක්වුණු පසු පෙළ පිතිකරු අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළහ. මෙම හඹා යෑමේදී ඉන්දීය කණ්ඩායමේ පන්දු රකිනන් අතින් දිස් වුණු දුර්වල පන්දු රැකීමත් උඩ පන්දු 3 ක් අත හැර දැමීමත් ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය. එමෙන්ම අතිරේක ලකුණු ලබා දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට වඩා ගවු ගාණක් ඉදිරියෙන් සිටි අතර එය සංසන්දනාත්මක බැලීමේදී ශ්‍රී ලංකාව ලකුණු 10 ක් ලබා දෙද්දී ඉන්දීය පිල අතින් ලකුණු 30 ක් ලබා දී තිබිණ.

    පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගනිමින්ද ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් ලෙසින් සාර්ථක කඩුලු සම්බන්ධතාවයක් පවත්වමින් පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම ඔවුන් එක් කළහ. එහෙයින් 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.

    මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමාව ඇරැඹි මෙම ඉනිමේදී  ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවාගත්හ.

    සංජු සැම්සන්ව දවා ගත් ජයවික්‍රම, ඉන්දීය පිල අසීරුතාවයට ඇද දැමීමේ ප්‍රධාන දැළ එළීය. ඉන් නොනැවතුණු ඔහු කණ්ඩායම සතු ප්‍රධානතම පිතිකරුවන් යුගලයක් වන මනීෂ් පාන්ඩේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුලුද දවා ගත්තේය. මනීෂ් පාණ්ඩේගේ කඩුල්ල දැවී යෑමත් සමඟ ඉන්දීය ඉනිමට කණකොකා හැඬීම ඇරැඹිණ. පාන්ඩේ දැවී යෑමට ප්‍රථම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ නමුත් ඉතිරි සියල්ලන්ටම රැස් කරගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි.

    ජයවික්‍රමට නොදැවෙනි පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ලද දවා ගනු ලැබුවේ සියලු වාසීන් ශ්‍රී ලංකාව වෙත හරවා දෙමිනි. අනතුරුව ක්‍රිෂ්නප්පා ගෞතම් සහ නිතීෂ් රානාවද දවා ගත් අකිල පන්දු වාර 10 දී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූවේය. මංගල තරගයේදී පන්දුවාර 10 ම සම්පූර්ණ කළ වමත් දඟ පන්දු යවන්නා ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 3 ක් ලෙසින් සිය මංගල පන්දු යැවීම සටහන් කරගත්තේය.

    ඊට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ යාදව් කඩුල්ල මුවා කර වරදට හසුව දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ඒ සඳහා වැඩි කාලයක් ගතවිය. තමා දැවී ගිය පිතිකරුවකු ලෙස සිතා යාදව් ක්‍රීඩාගාරය වෙත යමින් සිටි අතර තෙවැනි විනිසුරු එය දැවී නොයෑමක් ලෙස සටහන් කිරීම නිසා නැවතත් පන්දුවට පහර දීමේ වාසනාව ඔහුට උදාවිය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් කෙතරම් හොඳින් පාලනය කළේද කිවහොත් යවන ලද පන්දු වලින් 140 ක්ම නිලකුණු පන්දු ලෙසින් යවනු ලැබීය. 78 වතාවක් එක් ලකුණ බැගින්ද, 12 වතාවක් ලකුණු දෙක බැගින්ද එක් වතාවක් ලකුණු 3 බැගින්ද රැස් කරගත් ඉන්දීය ඉනිම, හයේ පහරකින් සහ හතරේ පහර 26 ක් පමණක් ඇතුළත්ව තිබිණ.

    අද තරගයේදී වූ සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දීය එකම පිතිකරුවකුට හෝ ලකුණු 50 සීමාව ඉක්මවා ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ කඩ ලබා නොදීමය. ඉන්දියාව වෙනුවෙන් ප්‍රිතිව් ෂෝ (49), සංජු සැම්සන් (46) සහ සූර්යකුමාර් යාදව් (40)  පමණක් ලකුණු 40 සීමාව ඉක්මවා ලබා ගනිද්දී සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට දැඩි වෙහෙසක් ගත්හ.

    තරගාවලියේ වීරයා සම්මානයන ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් විසින් දිනා ගනු ලැබීය. දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මෙම ඉරිදා (25 වැනිදා) ප.ව. 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැවැත්වෙනු ඇත.

  • මිත්‍යාව හා විද්‍යාව අතර වෙනස කුමක්ද ?

    මිත්‍යාව හා විද්‍යාව අතර වෙනස කුමක්ද ?

    විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා .

    විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව සංකීර්ණ වන්නේ මේ වචන දෙකෙන් එක් එක් අය අදහස් කරන්නේ වෙනස් වෙනස් සංකල්පයන් නිසයි. ඒ ඒ සංකල්පයන්ට අනුව විද්‍යාව යන්න කුමක්ද, මිත්‍යාව යන්න කුමක් දැයි එක් එක් අය වෙන වෙන දේ හඳුන්වා දෙනවා. එනිසා අයෙක් මිත්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් විද්‍යාව යයිද, අයෙක් විද්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් මිත්‍යාව යයිද පවසනවා. එමනිසා මේ මාතෘකාව ආරම්භයේදීම මෙම වචන ගැන මා දෙන විග්‍රහය කියන්නම්.

    සයන්ස් යනු විද්‍යාවද?

    විද්‍යාව යන වචනයෙහි අරුත විග්‍රහ කිරීමෙහිදි මුලික ගැටලුවක් මතුවෙනවා. අද සිංහල බසින් පොදුවේ “විද්‍යාව” යයි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් “සයන්ස්” යන අරුත දෙන වචනයයි. සයන්ස් යනු යමක් අවබෝධ කරගැනීමේ ක්‍රමවේදයක්. “සයන්ස්” යන ක්‍රමවේදය ඇතිවුයේ බටහිරයි. එය හා බැඳුනු “සයෙන්ටිෆික් මෙතඩ්” නම් වචනයක් තිබෙනවා. මෙය සයන්ස් වල සඳහන් යමක සත්‍ය අසත්‍ය භාවය මැන ගැනීමේ ක්‍රම වේදයයි. මෙයට අපි සිංහල බසින් විද්‍යාත්මක ක්‍රමය කියා කියනවා. මෙහිදී පළමුව යම් උපකල්පනයක් කෙරනවා. ඉන්පසු එම උපකල්පනය සත්‍යය දැයි සෙවීමට පර්යේෂණයන් සිදුකොට නිරීක්ෂණයන් කරනවා. ඉන් පසු ලැබුණු තොරතුරු විග්‍රහයක් කෙරෙනවා. එම විග්‍රහය අනුව මුලින් ඇතිවූ මතය හෝ උපකල්පනය සත්‍යය හෝ අසත්‍යයි සොයා බලනවා. ඉන්පසුව නිගමනයන්ට එනවා. මෙම නිගමනය තුලින් බොහෝවිට අලුත් උපකල්පනයක් කරනවා. නැවත විද්‍යාත්මක ක්‍රමය ඇරඹෙනවා.මෙය නොනැවතෙන ක්‍රියාවලියක්.

    විවිධාකාර විද්‍යාවන් තිබෙනවා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,මානව විද්‍යාව,වාග් විද්‍යාව,පුරා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී සිය ගණන් විද්‍යා තිබෙනවා. මෙම විද්‍යාවන් බටහිරට පමණක් සීමාවුවන් නොවේ. දැන් ආයුර්වේදයටද විද්‍යාව යන වචනය යොදනවා. අප පුරාණ පෙරදිග විද්‍යාවන් ගැන කියනවා. චීනයට ආවේනික විද්‍යාවක් තිබුන බව සඳහන් කරනවා. පොදුවේ මේ විද්‍යාවන්හි ඇති ලක්ෂණයන් මොනවාද?

    මේ සියලු විද්‍යාවන්ගේ පළමු ලක්ෂණය නම් මේවායේ පංචේන්ද්‍රියන් (ඇස,කණ ,නාසය,සම,දිව) ඇසුරෙන් නිරීක්ෂණය කරන “දෙයක්” තිබෙනවා. මේ දේ වලට අපි භෞතික දේ හෝ ප්‍රපංචයන් යැයි පවසනවා. ඇතැම්විට මෙම නිරීක්ෂණයන් සිදු කිරීමට උපකරණ පාවිච්චි කරනවා. පංචේන්ද්‍රියන්ට කෙලින්ම හසු නොවන දේ පංචේන්ද්‍රියන්ට හසු කර ගැනීම තමයි මේ උපකරණ වලින් කරන්නේ. මෙවන් උපකරණ තැනීමත් නවීන විද්‍යාවන්හි කාර්යයක්. ඇතැම්විට වෙනස් වෙනස් උපකරණ වලින්,වෙනස් වෙනස් පුද්ගලයන් කරන නිරීක්ෂණයන්හි වෙනස්කම් තිබිය හැකියි. නමුත් හැමවිටම විද්‍යාවේ යම් නිගමනයක් කෙරෙන්නේ නිරීක්ෂණයන් ඇසුරෙනුයි.ඊළඟට මෙම නිරීක්ෂණයන් ගැන විමසා බැලීමක් කෙරෙනවා. මෙම විමසා බැලීම සඳහා යම් අයෙකුට හෝ යම් පිරිසකට බුද්ධියක්,නුවණක් සහ පෙර ඇති දැනුමක් අවශ්‍යවෙනවා. මෙම විමසා බැලීමටද විවිධ ක්‍රමවේදයන් යොදනවා. ගණනය කිරීම්, සංඛ්‍යාන ක්‍රමවේද, පරිගණක පමණක් නොව විමසා බලන කරුණ පිළිබඳව මේ දක්වා ඇති දැනුමද මෙම විමසා බැලීමේදී වැදගත් වනවා. පෙර ඇති අත්දැකීම්, නිරීක්ෂණයන් මෙම විමසා බැලීමට ප්‍රයෝජනවත් විය හැකියි.මෙම විමසා බැලීමට කෙටිකලක් හෝ දිගු කලක් ගතවිය හැකියි. මෙම විමසා බැලීමෙන් අනතුරුව යම් නිගමනයන්ට, මතයන්ට එනවා.

    දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි වැනි “කලා ධාරාවේ” විද්‍යාවන්හි දීද නිරීක්ෂණයන් කෙරෙනවා. එහිදී නිරීක්ෂණය කෙරෙන දේ මනුෂ්‍ය සමාජයයි. මෙම කලා ධාරාවේ විද්‍යාවන් හිදී නිගමනයන්ට පැමිණීමේදී නිරීක්ශණ සිදුකලත්, විමසා බැලීම හා විග්‍රහය එයට වඩා ප්‍රධාන තැනක් ගන්නවා.

    මේ විද්‍යාවන් හිදී එළඹෙන නිගමනය බොහෝවිට සෙමෙන් වන්නක් විය හැකි නමුත් ඇතැම්විට මෙම නිගමනය සියලු කරුණු මත පදනම්ව හදිසියේ යමෙකුගේ මනස තුල ඇතිවන්නක් විය හැකියි. මෙම ක්‍රියාවලිය ඇරඹෙන මුලික උපකල්පනය හෝ එළඹෙන නිගමන හදිසියේ ඇතිවුවහොත් එය අදෘශමාන බලවේගයන් විසින් ඇති කරන්නේ යැයි සමහරු වැරදි ලෙස සිතනවා. එනමුත් උපකල්පනය, පරීක්ෂණය, නිරීක්ෂණය, විග්‍රහය සහ නිගමනය යන ක්‍රියාවලිය යමක් තුල සිදුවන්නේ නම් එය විද්‍යාත්මක ක්‍රමයයි. “සයන්ස්” නමින් හැඳින්වෙන ක්‍රියාවලියේදී දැනුම ඇතිවන්නේ මෙම විද්‍යාත්මක ක්‍රමය තුලයි.

    පංචේන්ද්‍රියන් මත පදනම්ව පමණක් විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුවන්නේ යැයි විශ්වාස කිරීම “එම්පිරිසම්” ලෙස හදුන්වනවා. මුලින් යම් මතයක් ඇතිකර ගෙන එය තර්කානුකුලව විග්‍රහ කිරීම “රැශනලිසම්” ලෙස හදුන්වනවා.මෙහිදී සංකල්පය ඇතිවන්නේ මනසිනුයි. රැශනලිස්ම් වලදී පළමු නිරීක්ෂණය කෙරෙන්නේ මනසිනුයි.මනසින් කෙරෙන එම නිරීක්ෂණය උපකල්පනයක් බවට පත්වෙනවා. මා සිතන අකාරයට මෙහිදී මනස සයවෙනි ඉන්ද්‍රිය ලෙස ක්‍රියා කරනවා. ඉන් පසුව කරුණ විග්‍රහ කෙරෙනවා. ඉන් පසු නිගමනයන්ට එනවා. එවැන් අවස්ථාවක පවා පෙර දැනුම මත පදනම්ව එම මතයට එළඹි අයුරු අන් අයට වටහා ගත හැක. එසේම මෙම මතය නිසැකවම සත්‍යදැයි සොයාගැනීමට විද්‍යාත්මක ක්‍රමයට භාජනය කලයුතුයි. මෙම “එම්පිරිසම්” හා “රැශනලිසම්” ලෙස හදුන්වනවා දෙන වචන දෙකට හරියටම ගැලපෙන සිංහල වචන නැහැ. නමුත් මේ ක්‍රම දෙකම විද්‍යාව (සයන්ස් ) විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

    මෙම විද්‍යාත්මක (සයන්ටෆික්) ක්‍රමවේදයේ ඇති අනෙක් වැදගත් ලක්ෂණය නම් එය අන් අයට වටහා ගැනීමට, ඇතැම් විට තමන්ම සිදුකර බැලීමට ඇති හැකියාවයි. නිගමනයට එළඹී ක්‍රියාව අතීතයේ සිදුවූවක් නම් එය නැවත සිදුකර බැලීමේ හැකියාවක් නැහැ. මෙවැනි අවස්ථාවක දී වැදගත් වන්නේ පිළිගත හැකි සාක්ෂියි. මෙම සාක්ෂිද පංචේන්ද්‍රියන්ට ගෝචර වන ඒවායි. පුරාවිද්‍යාව හා ඉතිහාසය මෙවන් විද්‍යාවන්ට උදාහරණයි. කෙසේ නමුත් මෙම සාක්ෂිද දෙදෙනෙකුට හෝ වැඩි පිරිසකට නිරීක්ෂණය කල හැකියි.

    සයන්ස් සහ විද්‍යාව අතර ඇති වෙනස කුමක්ද?

    මීළඟට අප පෙරදිග භාෂාවන්හි විද්‍යාව යන වචනය යෙදී ඇති අයුරුත්, අද අප විද්‍යාව(සයන්ස්) යන්න භාවිතා කරන සංකල්පයත් අතර වෙනස වටහා ගත යුතුයි ඉන්දු ආර්ය භාෂාවන්හි විද්‍යාව හෝ “විජ්ජා” යන්නෙන් සත්‍යය හා සත්‍ය අවබෝධයද අදහස් වෙනවා. බොහෝවිට මෙයින් අදහස් වන්නේ පරම සත්‍යයද වියහැකියි පෙරදිග ආගම හෝ දර්ශනයන්ට අනුව මෙම විද්‍යාව යමෙකුගේ සිත තුල පහල වන්නක්.මෙම විද්‍යාව අවබෝධකර ගැනීමදී අද පවතින විද්‍යාත්මක ක්‍රමය භාවිතා නොවේ. එසේම මෙම විද්‍යාවේදී අවබෝධකර ගන්නා “දෙය” භෞතික දේ නොවේ. නිර්වාණය, කර්මය, පුනුරුත්පත්තිය, බ්‍රහ්මන්, ආත්මන් මෙවන් විද්‍යා යන වචනයෙන් හඳුන්වන සංකල්පයන්. සයන්ස් වලදී එක් විටක විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන්නේ එක් ප්‍රශ්නයකටයි. එනමුත් පෙරදිග විද්‍යාව යන සංකල්පයෙන් එයට වඩා පුළුල් පරාසයක දේ ගැන කෙරෙන විග්‍රහයක් තිබෙනවා.

    ඊළඟට මතුවන ප්‍රශ්නය මේ කියන දැනට අප විද්‍යාවන් ලෙස හදුන්වන එනම් සයන්ස්වල නිගමනයන් අවසාන,පරම සත්‍යයද යන්නයි. විද්‍යාව (සයන්ස්) ගැන හොදින් දන්නා කිසිදු විද්‍යාඥයෙක් එසේ කියන්නේ නැහැ. එසේ සිතන්නේ නැහැ. එසේ සිතනවානම් නැවත නැවත පරීක්ෂණයන් සිදු කරන්නේ කුමටද? ඔවුන් යම් කරුණක් ගැන අවසාන,පරම සත්‍යය සොයා ගත්තේ යයි කියා ඉදිරි පර්යේෂණයන් නවත්වනු ඇත. තමන් යම් කරුණක් ගැන පරම සත්‍යය සොයාගත්තේ යයි කියන්නේ මොන විද්‍යාඥයාද? එසේ පවසන්නෙක් අනෙක් විද්‍යාඥයන් විසින් සලකනු ඇත්තේ උන්මත්තකයෙකු ලෙසිනි. විද්‍යාත්මක ක්‍රමය තුලින් අප සොයන්නේ එය ක්‍රියාත්මක කිරීම තුලින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලබාගත හැකිද යන්නයි. සැබෑ විද්‍යාඥයන් තමන්ට එම ප්‍රතිපලය ලබා ගත නොහැකි වුයේ නම් ඒ බව පවසනවා.

    පෙරදිග ආගම් හා දර්ශනයන්හිදී යමකු තුල විද්‍යාව ඇතිවුයේයයි පවසන විට සත්‍යය පසක් කරගෙන අවසන්. බුදුදහමේ පැවසෙන විජ්ජා යන වචනයේ අරුතත් සයන්ස් යන වචනයේ එකක් නොවේ යැයි ඔබ‍ට තේරුම් යන්නට ඇති. මෙම අරුත් පටලැවිල්ල හඳුනා නොගෙන බුදුදහමේ විද්‍යාව මෙන් නොව අනෙක් විද්‍යාවන් සදාතනික නොවන බවත්, විටින්විට මතයන් වෙනස් කරන බවත්, එමනිසා ප්‍රවාදයන් බවත්, පවසන අය සිටිනවා.

    මතයන් වෙනස් කිරීම එම සයන්ස් නම් විද්‍යාවන්ගේ ස්වභාවයයි. ඒ මත වෙනස් කෙරෙන්නේ අලුතින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව,අලුත් දැනුම ලබා ගෙන, ඒ අලුත් දැනුම අවබෝධ කරගෙන, ඒ පිළිබඳව තම බුද්ධිය මෙහෙයවා ගෙනය. මෙම ක්‍රමවේදයේ කිසිම ගුප්ත ස්වභාවයක් නොමැත. තමන් සොයාගත් දේ සදාතනික සත්‍යයක් නොවීම ගැන සැබෑ විද්‍යාඥයන් මනා අවබෝධයකින් සිටී. සයන්ස් යන විද්‍යාව මිනිසුන්ට සහ ලොවට බලපාන විවිධ දේ ගැන සැමදා සොයමින් සිටියි. මෙම සොයාගැනීම් බොහෝ විට ලොවට හිතකර වන අතර ඇතැම්විට අහිතකර වේ. පරමාණු බෝම්බය මෙයට උදාහරනයක්. එනමුත් බොහෝ සොයාගැනීම් ලොවට හිතකරයි. විද්‍යාවේ මෙම අලුත්වන ස්වභාවය සහ හොඳ නරක දෙකම ඇති ස්වභාවය ගැන බුද්ධියක් ඇති සියලු දෙනා අවබෝධයෙන් සිටියි.මෙම ස්වභාවය සයන්ස් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එය එසේ නොවේයැයි කිසිවෙකුට කිව නොහැකියි. එම අවබෝධය නැත්තේ කරුණු සහ වචන පටලවා ගත් අයටයි. මෙම පටලැවිල්ල ලිහීමට නම් අප සයන්ස් වලට විද්‍යාව යැයි නොකියා වෙනත් වචනයක් සොයා ගත යුතුයි.

    පෙරදිග පැවති විද්‍යාවන්ගෙන් අද ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්පයකි. එයින් ආයුර්වේදය අදටත් ජීවමානව පවතින විද්‍යාවකි. චීන වෛද්‍ය ක්‍රමයද එවැන්නකි මේවායේ රෝගීන්ට ප්‍රතිකාර කෙරන්නේ රෝග ලක්ෂණ නිරීක්ෂනයෙනි. බෙහෙත් තෝරන්නේද ඖෂධ වල ලක්ෂණයන් ගැන කල නිරීක්ෂණයන් ගෙනි. ආයුර්වේදයද අප විද්‍යාවක් ලෙස හදුන්වන්නේ මේ නිසාය. මෙම ක්‍රමයන් අන් අයට ඉගැන්විය හැකිය. අන් අයටද අනුගමනය කර ප්‍රතිඵල අත්කර ගත හැකිය.මෙහි කිසිදු ගුප්ත ස්වභාවයක් නැත.

    මිත්‍යාව යනු කුමක්ද?

    මීළඟට අප මිත්‍යාව දෙසට හැරෙමු. “මිත්” යන බටහිර වචනයත් මිත්‍යාව යන වචනයත් අතර වෙනසක් තිබේ. ඉන්දු ආර්ය භාෂාවල මිත්‍යා, මිච්චා යන වචනයෙන් අසත්‍යයන් පමණක් නොව සෑම ආකාරයක වැරදි ක්‍රියාවන් අදහසවේ. මිච්චා ආජිව යනු වැරදි දිවි පැවැත්මයි. මෙතැනදී එම වචනයෙන් යමක් සත්‍යය හෝ අසත්‍යදැයි අදහස් නොවේ. ඉංග්‍රීසි බසින් මිත් යන්නෙන් අසත්‍යය පමණක් නොව වැරදි විශ්වාස, දේවකතා ආදියද හැදින්වේ. මෙම වචන වල අරුත් වෙනසද බොහෝ පැටලවිලි වලට මග පාදා තිබේ. මෙම ප්‍රශ්නය සම්බන්ධව ඇති අවුල් ලිහා ගැනීමට නම් පළමුව වචන අතර ඇති අවුල් ලිහාගත යුතුවේ.

    ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි සියලු දේ මිත්‍යාවන් යයි පවසන අය බොහෝය.මම එම මතය ප්‍රතික්ෂේප කරනවා. එය ඇත්තක් නම් පංචේන්ද්‍රියන් ඇසුරින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි, මැනිය නොහැකි, තවත් අයෙකුට ඒ අයුරින්ම වටහා ගත නොහැකි දෙදෙනක් අතර ඇතිවන ආදරයද මිත්‍යාවක් . ආදරය, ගෞරවය, කෝපය වැනි දේ අපගේ මනස තුල සිදුවන සංසිද්ධීන්ය.අප තුල හා සමාජය තුල ඇති විශ්වාසයන් ද එවැනිය. ආගමික සංකල්ප, මානසික අවස්ථා, විශ්වාසයන් හා ඇදහිලි ඇත්තේ අප මනස තුලයි. ඒවා අන් අයට නිරීක්ෂනය කල නොහැකි අතර නිරීක්ෂණය කල හැක්කේ විශ්වාස මත පදනම්වූ වතාවත් පමණයි. අන් අයට ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකිවූ පමණින් මෙවැනි දේ මිත්‍යා ගණයට අයත් වනවා නම් ආදරය යන සංකල්පයත් මිත්‍යාවක්. එය එසේ වන්නේ නැහැ.මානසික සංකල්පයන් වන ආගමික විශ්වාසයන් මත පදනම්වූ ආගමික පුද පූජා හා වතාවත් වලට මිත්‍යා ක්‍රියා යැයි පවසන්නේ නම් මානසික සංකල්පයක් වන ආදරය මත පදනම්ව තෑග්ගක් දීමත් මිත්‍යා ක්‍රියාවක්. එය එසේ නොවන බව පැහැදිලියි.

    විශ්වාසයන් අතර පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට හිතකර,අහිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන් හා ඇදහිලි තිබෙනවා. මිනිසකු මරාදමුවහොත් අපාගත වේ යැයි යන විශ්වාසය යහපත් විශ්වාසයක්. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍ය බව විද්‍යාවෙන් (සයන්ස් ) මගින් තහවුරු කල නොහැකියි. එසේ කිරිමට යාම උමතු ක්‍රියාවක්. එහෙත් එම විශ්වාසය සමාජයේ මිනීමැරුම් අඩු කරයි. යහපත් විශ්වාසයන් ගැන උදාහරණ දහස් ගණනකි.ඇතැම් විශ්වාසයන්ගේ ප්‍රතිපල ඍජුව නොපෙනේ. තම වෙළඳසැලට දිනපතා කහවතුර ඉසුවහොත් වෙළඳාම වැඩිවේ යයි යන විශ්වාසය එවැන්නක්. එයින් වෙළඳ මහතාට ආත්ම ශක්තියක් ලැබෙයි. එම ක්‍රියාවෙන් කිසිවෙකුට හානියක් සිදු නොවේ. එසේම ඇතැම් විශ්වාසයන් පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට අහිතකර වේ. තමන් අදහන ආගම හැරුණු කොට අන් ආගම් අදහන්නන් අදහන්නන් මරා දැමුවහොත් දෙව්ලොව යාහැකි යයි යන විශ්වාසය එබන්දකි.මෙවන් අයහපත් විශ්වාසයන් ගැනද උදාහරණ දහස් ගණනකි. ඇතැම් විට හිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන්ද අයහපත් ප්‍රතිපල ලබාදෙන අවස්ථා තිබේ. ඒ බොහෝවිට යම් විශ්වාසයකට ඇබ්බැහිවී ඒ සඳහාම කාලය මරමින් ගත කිරීම නිසාය. ධනය ඒවාට වියදම් කිරීම නිසාය.

    මිත්‍යාවන් ඇති වන්නේ කෙසේද ?

    මේ මානසික සංකල්පයන්, විශ්වාසයන් හා ඇදහිලි මිත්‍යාවන් බවට පත් වන්නේ කුමන විටද? මෙය කිහිප අයුරකින් සිදුවිය හකියි. පලමුව ඇදහිලි හා විශ්වාසයන් ඇසුරින් මැනිය හැකි, නිරීක්ෂණය කල හැකි භෞතික සංසිද්ධියක් වුයේ හෝ වන්නේ යයි, එය අදහන්නන් පවසන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවක “විද්‍යාව” එනම් සයන්ස් ඉදිරියට පැමිණ එහි ක්‍රමවේදයන් යොදා එම සංසිද්ධිය වුයේ හෝ වන්නේ යයි කීම සත්‍යයක්ද, අසත්‍යයක්ද යැයි පවසනු ඇත. අසත්‍යයන් වන එවැන් සංසිද්ධීන් මිත්‍යාවන් ලෙස සැමවිටම හැදින්වේ. A ට වඩා B ට යමෙක් ආදරෙයි කිවහොත් එය මැනිය නොහැකි නිසා අසත්‍යයක් හෝ මිත්‍යාවක් යැයි කියන්නා උන්මත්තකයෙකි. එනමුත් එම ආදරයේ වෙනස ශරීරයේ ඇති එන්ඩොෆින් ප්‍රමාණයෙන් මැනිය හැකියැයි කිවහොත් විද්‍යාව ඉදිරියට පැමිණ එම උපකල්පනය හරි හෝ වැරදි යැයි පවසනු ඇත.

    යමක් වැරදි යයි සයන්ටිෆික් ක්‍රමය මගින් සොයාගත් පසුවද තම මතය අතනොහරින්නා මිත්‍යා මතයක එල්බ සිටින්නේ යැයි අපි පවසමු. අයුරින්ම විද්‍යාව මගින් නිරීක්ෂණය කොට, විග්‍රහ කොට නිගමනයන්ට එළඹුණු කරුණු පසකට දමා විශ්වාසයන් මත පමණක් පදනම්ව ක්‍රියා කිරීම මිත්‍යා ගනයට වැවෙනවා. පෘතුවිය වටා සුර්යයා බ්‍රමණය වේ යැයි පැවසීම එවැනි දෙයක්. එසේම යම් ක්‍රියාමාර්ගයක් තුලින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබී නැතිවිටදී එය ලැබී ඇතැයි පැවසීමද, එවන් විශ්වාසයක එලබගෙන සිටීමද මිත්‍යාවක්. එපමණක් නොව එය අසත්‍යයක් බවටද පත් වනවා.එසේම යම් ක්‍රියාවක් තුලින් අප බලාපොරොත්තුවන ප්‍රතිපලය ලබාගත නොහැකියැයි සක්සුදක් සේ පෙනෙන විටදී එහි නිවැරදි භාවය ගැන විශ්වාසයක් තිබීමද, මිත්‍යාවක් වනවා.

    අවසාන වශයෙන් යමක් සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් යෙදිය හැකි විටදී එසේ නොයොදා නොපෙනන දේ පසුපස යාමද මිත්‍යවක්. උදාහරනයක් ලෙස යම් දේශපාලන තීරණයකට එළඹීමට ප්‍රථම දේශපාලන විද්‍යාව පමණක් නොව ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විවිධ විද්‍යා එක්කොට විද්‍යාත්මක විග්‍රහයක් කල යුතුයි. ඇතැමුන්ට මෙම විවිධ දේ එක්ව විග්‍රහ කිරීමේ ශක්තිය මැනවින් පිහිටා තිබෙනවා. මේ සියල්ල පසෙක තබා ගුප්ත විද්‍යා උපදෙස් අනුව දේශපාලන තීරණ ගැණීම මිත්‍යාවට අනුව කටයුතු කිරීමක්. එය අවිද්‍යාත්මකයි. වඩාත් නිවැරදිව පවසන්නේනම් එවැන්නක් “සයන්ටිෆික්” නොවේ.

    විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    (සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් කරන ලද දේශණයක් ඇසුරින් සකස් කරණ ලද්දේ සුජීව සෙනරත් විසිනි)

  • සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත්, 43 සේනාංකයේ නියෝජිතයින් කීපදෙනෙකුත් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව අද (23) දින පැවති සාකච්ඡාවකදී චම්පික රණවක මහතා මේ බව පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසූයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමත්, මුදලට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් දියත් කිරීම හරහා, විශ්වවිද්‍යාල ප්‍රථිපාදන කොමිශන් සභාවත් 1978  විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන පනතත් අභිබවායන මිලිටරි අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීමටත් ඔවුන් විරුද්ධ වන බවය.

    මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ 1988 දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් එවකට පැවති ජේ .ආර්  ජයවර්ධන ආණ්ඩුව සමග සාකච්ඡා කළ නියෝජිතයකු වශයෙන්, විශේෂිත විශ්වවිද්‍යාලයක් වශයෙන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඉහළට නංවා, ආරක්ෂක අංශවලට බැඳුණු කැඩෙට් නිලධාරීන් රජයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ග්‍රහනය කිරීම වෙනුවට ඔවුන්ට විශේෂිත විශ්ව විද්‍යාලයක් නිර්මාණය කිරීමට එකඟ වූ බවයි. නමුත්, යෝජිත පණත හරහා, ආරක්ෂක අංශ වල අයවලුන්ට අමතරව සිවිල් පුද්ගලයින්හට මුදලට අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථාව ඇති කර තිබීම හරහා තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශේෂිත විශ්ව විද්‍යාලයක් නොවනු ඇති බව රණවක මහතා පැවසීය.

    ‘‘මේ හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරවීමයි. එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බව‘‘ ද චම්පික රණවක මහතා පැවසීය.

  • අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ‘අලුත් ප්‍රතිපත්තියක්’ වහාම ඕනෑ

    අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ‘අලුත් ප්‍රතිපත්තියක්’ වහාම ඕනෑ

    වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ  දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත.

    පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට අදාළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ මීට අදාළ  නිර්දේශයන් ඉදිරිපත් කොට ඇත.

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය 2020 දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  2019 වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

    මේ අනුව මෙතෙක් කාලයක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්තිය අතහැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව තම වාර්තාව මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට  නිර්දේශ කර ඇත.

    විදුලි වැටක් ඉදිකොට අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටු කිරීමට ලක්වන්නේ අහිංසක ගැහැණු සතුන් හා අලි පැටවුන්  පමණක් බවත් වාර්තාවේ සදහන්වේ. එසේම  මිනිසුන්ට හා ගම්බිම්වලට හානි කිරීමට වග කිව යුතු වන්නේ විශාල පිරිමි සතුන් බව අනාවරණය වී ඇති බවද මෙහි වැඩිදුරටත් සදහන් වේ.

    ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු වසර 7 කට වැඩි කාලයක් මුළුල්ලේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් මෙතෙක්  පැවති ගැටුම් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදම ඉතා අඩු මට්ටමක පවතින බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට මෙම වාර්තාව ඉදිරිපත් කරමින් පවසා සිටියේ රජය විශාල වශයෙන් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කොට අලි මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද මෙම ගැටුම වැඩිවීමක් මිස අඩුවීමක් සිදුව නැති බවයි. එබැවින් රජයට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වන මෙම පැරණි  ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවත් කෝපා කමිටු  සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බවත් අලි රක්ෂිත ඉදිකිරීම සදහා එම ඉඩම් ලබා ගැනීමේදී මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතවල එකගතාව නිසි පරිදි ලබා ගැනීම ද වැදගත් බවත් වාර්තාවේ පෙන්වා දී තිබේ.

    තවද අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා යොදා ගන්නා  අලි වැට, අලි අගල් වැනි උපක්‍රම ඉදි කිරීමේදී හා පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා යුධ  හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධානවල සහ ගම්වාසීන්ගේ ඒකාබද්ධ සහය අවශ්‍ය බැවින් මෙම සියලු ආයතන සහ පුද්ගලයන්ගේ මනා සම්බන්ධීකරණ ද අතිශය වැදගත් බව මෙම වාර්තාව මගින් කාරක සභාව අවධාරණය කොට ඇත.

  • චීන – රුසියානු එන්නත් ගැහුවොත් ‘විදේශ රැකියාවලට‘ ගිහින් හමාරයි

    චීන – රුසියානු එන්නත් ගැහුවොත් ‘විදේශ රැකියාවලට‘ ගිහින් හමාරයි

    වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

    ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය. සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස්, යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

    මෙම සෑම රටක් ම පිළිගන්නා කොවිඩ්  මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර්  එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලු දෙනාට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  බලධාරීන්  මෙහි දී සිය  එකඟ පළ කළේය.ඒ අනුවඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයකදී මෙම සියලුම දෙනාට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත්  නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට  අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ.

    එසේම මෙම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට මෙම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ.