Tag: featured

  • පොහොර ආනයනයට යන මිලියන 80,000 ‘ගොවියාට දෙනවා‘ – ජනපතිගෙන් ගොවීන්ට සහතිකයක්

    පොහොර ආනයනයට යන මිලියන 80,000 ‘ගොවියාට දෙනවා‘ – ජනපතිගෙන් ගොවීන්ට සහතිකයක්

    කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

    පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.

    අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් මේ බව පැවසූහ. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ. 

    මෙය හදිසියේ ගත් තීරණයක් නොව; තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරති. එහෙත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ  නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. වැඩපිළි‍වෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරති. එහෙත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවේ.

    පසුගිය වසර පහ තුළ වගා කටයුතු බොහෝ දුරට අඩපණ කෙරිණ. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමයි. වී කිලෝවකට රුපියල් 30ක්ව පැවති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීම ගොවි ජනතාව දිරිමත් කිරීමට ගත් පියවරකි. පසුව ගොවීන්ට තම වී අස්වනු කිලෝව රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකි විය. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් වී සහල් මිල පාලනය කරනු ලැබිණ.

    බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000)මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වේ. ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇත.

    ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සහතික විය.

    පසුගිය ආණ්ඩුව සමයේ ඇණහිටි “ගොවි රක්ෂණය” අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම” අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබිණ.

    “ගොවි විශ්‍රාම වැටුප” ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු කර ඇති බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා අනාවරණය කළේය. වී ගබඩා 105ක් අලුතින් ඉදිකිරීමට, ගොවි බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට සහ කෘෂිකර්ම දත්ත පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අලුත්ගමගේ මහතා පැවසීය.

    වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමේදී, මෙතෙක් ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමාවී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100ක් දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කටයුතු සඳහා සෘජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුළුල් කිරීමටත් තීරණය කෙරිණ.            

    රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන් ද සිල්වා, සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • අවුරුදු 27ක් ගත වුණත් ‘සමෘද්ධියෙන්‘ රටට ලැබුණ සමෘද්ධියක් නෑ – අගමැති මහින්ද

    අවුරුදු 27ක් ගත වුණත් ‘සමෘද්ධියෙන්‘ රටට ලැබුණ සමෘද්ධියක් නෑ – අගමැති මහින්ද

    දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    ඒ අනුව නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සංදිලිපායි පිරාන්පට්රු තල තෙල් නිෂ්පාදන ගම්මානය “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස නම් කරමින් ඊට අදාළ සමරු ඩිජිටල් පුවරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී නිරාවරණය විය.

    කුරුණෑගල ගනේවත්ත කුඹුක්ගැටේ ගම්මානයේ සහ ගම්පහ මීරිගම කීනදෙණිය ගම්මානයේ ඉදිවූ  “සෞභාග්‍යා සෙනෙහසේ නවාතැන” නිවාස මෙම උත්සවයට සමඟාමීව එම නිවෙස් හිමියන්ට ප්‍රදානය කෙරිණි.

    ජනතාවට කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබාදීම සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය  අද (01) සිට ලබන 07 වැනිදා දක්වා සෞභාග්‍යා – සමෘද්ධි සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

    “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි, අපේ රටේ සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීම ගැන අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.  මේ වගේ ගෝලීය වසංගතයක් හමුවේදීත් මේ ජනතාව වෙනුවෙන් රජයක් ලෙස යුතුකම් ඉටුකරන්නෙ කොහොමද කියලා අපි කල්පනා කළා.

    දීමනා දීලා මේ ජනතාව ඉන්න තැනම හැමදාම තියන එක වෙනස් කරන්නයි. අපට උවමනා වුණේ.

    ඒ වෙනුවෙන් තවත් ඉදිරි  පියවරක් තබන්න “සෞභාග්‍යා සමෘද්ධි සතිය”ට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මිත්‍රවරුනි, 1994 දි ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරයට දැන් අවුරුදු 27ක්. එදා සමෘද්ධිය ඇරඹුනේ අපේ රටේ දිළිදු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්න. හැබැයි එදා අපේක්ෂා කළ ප්‍රතිඵල තවමත් අපට ලැබුණද කියලා අපි ගැඹුරින් සොයලා බලන්න ඕනි.

    එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට ඒ තුළින් ආධාර ලබපු  අය අදටත් ඒ විධියටම අධාර ලබනවා නම් අපේ ඒ අපේක්ෂා ඉටුවෙලා නැහැ කියන එකයි  ඒ තුළින් කියැවෙන්නේ කියලයි මම විශ්වාස කරන්නේ.

    මිත්‍රවරුනි, සමෘද්ධිය ලබාදුන් පමණින් කවුරුත් පොහොසත් වන්නේ නැහැ. ඒ අයට ආදායම් මාර්ගයක් සකසලා දීලා ඔවුන්ට නිසි මග පෙන්වලා දෙන්න උවමනායි.එදා මහින්ද චින්තනයෙන් සහ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් අපි ඒ බව වඩා හොඳින් තේරුම් අරගෙන සමෘද්ධි ව්‍යාපාරයම ශක්තිමත් කරන්න පියවර ගත්තා.

    සමෘද්ධිලාභී  පවුල්වල තරුණ තරුණියන්  වෘත්තීය පුහුණු වැඩ සටහන් සඳහා යොමු කරලා ඒ අයව  නිපුණතා සපිරි ශ්‍රම බලකායක් බවට පත්කළා. ඒ තුළින් බොහෝ ව්‍යවසායකයන් බිහිකරන්න අපට හැකිවුණා කියලා අපි විශ්වාස කරනවා.

    ඒ විතරක් නෙමෙයි ඒ අයව  රජයේ සහ පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි  විදේශ රටවල රැකියා සඳහාත් යොමු කරන්න අපට පුළුවන් කම ලැබුණා. ඒ නිසා බොහෝ පිරිසක් තව දුරටත් ආධාර හෝ දීමනා මත යැපෙන තත්ත්වයෙන් මුදා ගන්න අපට හැකිවුණා. 

    මිත්‍රවරුනි, අපි සමෘද්ධිය මත නැවතිලා හිටියෙ නැහැ. අදත් අප විශ්වාස කරන්නෙ එතැනින් ඉදිරියට යන්න ඕනි කියලා. සෞභාග්‍යයේ දැක්මෙ ඵලදායී පුරවැසියෙකු වගේම සතුටින් ජීවත්වන පවුලක් කියන සංකල්පය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මේ ඔස්සේ අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් ඇතිකරලා ගම්මාන වශයෙනුත් එම ජනතාව සමෘද්ධිමත් කිරීමයි අපේ අරමුණ වන්නේ.

    හැබැයි ඔබ තමුන්නාන්සෙලා දන්නවා, ආපස්සට හැරිලා බැලුවම පහුගිය ආණ්ඩු කාලයේ මේ අඩු ආදායම්ලාභි ජනතාව නගා සිටුවීම ගැන හැරිලාවත් බැලුවෙ නැහැ. සමෘද්ධිය දුන්නත්, ඒ සමෘද්ධියත් එයාලගෙ පක්ෂෙ අයට විතරයි කියලා මේ දැවැන්ත ව්‍යාපාරය ඉතාමත් ලඝු තැනකට ගෙනා බව ඔබට මතක ඇති.

    මිත්‍රවරුනි, ඒ අයගෙ දේශපාලන උපක්‍රමවල ලියැවිලා තිබුණෙ ජනතාව නගා සිටුවීම නෙමෙයි ඒ අය ඒ තැන්වලම තියලා දේශපාලන වාසියක් ගන්න. අපි කවදාවත් ඒ තැනට වැටුණෙ නැති බව අද සතුටින් කියන්න කැමතියි.

    මට මතකයි ඡන්ද පැරදුණාම සමහරු මට ඇවිත් කියනවා. කටුමැටි බිත්ති ගෙවල් ගඩොලින් බැඳුනම, බයිසිකලයක්වත් නැතිව තිබුණ ගෙදරට ත්‍රී රෝද රථයක්, හරි වාහනයක් ගත්තම සර් අපි ඡන්ද පරදිනවා කියලා. මම එදත් කිව්වෙ කමක් නෑ ජනතාව හිටපු තැනින් පියවරක් ඉස්සරහට තියලා නම්, ඒකෙන් කියන්නෙ මේ රට තවත් පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් කියලා.

    මිත්‍රවරුනි, සමෘද්ධිය වෙනුවෙන් අපි වසරකට රුපියල් මිලියන 50000 ක් වැය කරනවා. අපේ රජය දැනටමත් සමෘද්ධි පවුල් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අලුතින් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

    ඒ අනුව ගෘහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවන්නත් අද ආරම්භ කරන මෙම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට හැකිවෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    ශෙහාන් සේමසිංහ අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්ව විධියට දිවයින පුරා ගම්මාන 500ක් නිෂ්පාදන ගම්මාන ලෙස හඳුනගෙන අපි සංවර්ධනය කරනවා. ඒ සඳහා සමෘද්ධිලාභීන් විතරක් නෙමෙයි අඩු ආදායම්ලාභීන් සහ නිෂ්පාදන කාර්යයට දායකවන හැමෝමත් එක්කරගන්නවා කියලයි ඇමතිතුමා කිව්වේ.

    ඔබ දන්නවා වසංගත තත්ත්වය හමුවේ මුළු ලෝකයම විවිධ දුෂ්කරතාවලට මුහුණපානවා. රටක් විධියට අපටත් ඒ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත්ව ඉදිරියට ගෙනියන්න අපට අද හැකිවෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මා මෙහි දී මතක් කරන්න ඕනි.

    දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙනයාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි  වැඩකරන බව ජනතාවට සිහිපත් කරන්න කැමතියි.

    අද ඇරඹෙන මේ වැඩසටහන තුළත් ග්‍රාමීය ප්‍රජාව සෘජුවම රටේ  නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග නිර්මාණය වනවිට ඒ හා සමානව ඔවුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ යනවා.

    අද මේ නිවාස ලැබු ජනතාව ගත්තත් ඔවුන්ට හෙට ඉඳන් පටන් ගන්න තියෙන්නෙ අලුත් ජීවිතයක්. අලුත් බලාපොරොත්තුවකින් වැඩ කරන්න ඔවුන්ට පුළුවන්. ඒ සඳහා මේ අමාත්‍යාංශය කරන මග පෙන්වීම  අපි ඉතාමත් අගය කළ යුතුයි.

    අපේ විරුද්ධ පක්ෂය නම් කැමතියි අපි කොවිඩ් කියලා මොකුත්ම නොකර ඉන්නවා නම්. මොකද කොවිඩ් නැතිවත් මොකුත් නොකර හිටපු අය, මේ කාලේ හිටියනම් කොහොමද කියලා බලාගන්න තිබුණා. ජනතාවට මේවා හංගන්න පුළුවන් කාරණා නෙමෙයි. එයාලත් මේවා අහනවා.

    ඒ නිසා දුෂ්කරතා මැද අපි වැඩකළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු.

    අද මේ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කැපවන රාජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු නිලධාරින් ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය ඇතුළු ආයතනවල නිලධාරින් හා සේවක මහත්ම මහත්මීනුත්  මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

    ඔබ සැමට සුබ අනාගතයක්!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.

    සෞග්‍යා දැක්ම තුළ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා අපිට ලබා දීපු  වගකීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීම යටතේ අපි මේ නිෂ්පාදන ගම්මාන  සංකල්පය සංවිධාන කළා.

    මේකේ මුලික අරමුණ වන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි අපේ රටේ යම් හැකියාවන් තියන ඒ වගේම උනන්දුව කැපවීම තියන ඒ වගේම දක්ෂතා තියන කුඩා ව්‍යාපාර කරන්න පුළුවන් වෙනත් ආදායම් මාර්ග සකස් කරගන්න පුළුවන් කණ්ඩායම් හදුනාගෙන මේ ගම්මාන සංකල්පය තුළට ඇතුළත් කරලා ඔවුන්ව  ආදායම් උත්පාදනය කරන කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමයි.

    අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කරලා මේ රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා කියන ප්‍රතිඥාව මේ මොහොතේ  දී ලබාදෙනවා. 

    අපි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටත් අලුත් මුහුණුවරක් ලබාදුන්නා මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දි.ඒකේ අලුතින් පටන්ගත්තු ව්‍යාපෘතියක් තමයි සමෘද්ධි නිවාස ලොතරැයිය හරහා ක්‍රියාත්මක වන නිවාස  වැඩසටහන.

    ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා  2020 අවුරුද්ද සඳහා ඔබතුමාගේ වැඩසටහන අනුවත්   2021 අවුරුද්ද සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වැඩසටහන සමගත් ක්‍රියාත්මක වෙලා අඩු ආදායම් ලාභීන් සහ ඉතාම දුෂ්කර පරිසරයක ජීවත්වන කණ්ඩායම් වලට නිවාස  1000 ක් සකස්කර දෙන්න. ඒ අනුව අපි  2020 ආරම්භ කරපු නිවාස අද ඔබතුමා අතින්  විවෘත කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු අපි සකස් කරල තියෙනවා.

    ගරු අගමැතිතුමනි, රටේ කොවිඩ් අර්බුදය හමුවේ අපේ අමාත්‍යාංශය ඒ වගේම අපේ අමාත්‍යාංශයට අදාල දෙපාර්තමේන්තු  කිසිවක් නිදහසට කාරණයක් හැටියට කොවිඩ් වසංගත තත්ත්වය භාවිතා කළේ නැහැ. අපි සැළසුම් කළ විදිහටම අපේ වැඩකටයුතු සිදුවුනා.

    අතිගරු ජනාධිපතිතුමා , ගරු අග්‍රාමාත්‍යතුමා අපිට භාරදීපු වගකීම ඉටුකරන්න  අපේ අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ සියලු නිලධාරීන් අපිත් එක්ක ඒකාබද්ධව කටයුතු කළා. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමා විසින් ක්‍රියාත්මක කරන ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා අපි ඒකාබද්ධව කටයුතු කරලා ඒ ව්‍යාවසායකයන් නිර්මාණය කිරීමේ වැඩසටහනට අමාත්‍යංශයක් ලෙස අපි සම්බන්ධ වෙන්න අවශ්‍ය කටයුතු කරල තියෙනවා යැයි රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී රත්නායක, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ,කාංචන විජේසේකර,අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී තිලකසිරි මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • චීනයට බලපෑම් කළොත් ‘හිස ගසා දමනවා‘ – චීන ජනපති ෂී ජින් පිං ‘බටහිරට දැඩිව අනතුරු අඟවයි‘

    චීනයට බලපෑම් කළොත් ‘හිස ගසා දමනවා‘ – චීන ජනපති ෂී ජින් පිං ‘බටහිරට දැඩිව අනතුරු අඟවයි‘

    විදේශ බලවතුන් රටට හිරිහැර කිරීමට හෝ බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ හිස ගසා දමන බවට (get their heads bashed) චීනයේ ජනාධිපති ෂී ජින් පිං අනතුරු අඟවා තිබේ. චීන කොමියුනිට්ස් පක්ෂයේ 100 වැනි ශත සංවත්සරය වෙනුවෙන් අද (01) පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    එක්සත් ජනපදය වෙත යොමු වී ඇති පරිදි පුළුල් ලෙස දක්නට ලැබෙන අදහස් දැක්වීමේදී බීජිනය “විශුද්ධ දේශනා sanctimonious preaching” කිරීමට ඉඩ නොදෙන බව ද ජනපතිවරයා වැඩි දුරටත් පැවසීය.

    චීනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ හොංකොං හි මර්දනය සම්බන්ධයෙන් විවේචනවලට මුහුණ දෙන අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වෙත් චීනයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

    වෙළඳාම, ඔත්තු බැලීම සහ වසංගතය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා මෑත කාලයේ දී නරක අතට හැරී තිබේ. තායිවානයේ ප්‍රශ්නය ද ආතතියේ ප්‍රධාන ප්‍රභවයකි. ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය ස්වෛරී රාජ්‍යයක් ලෙස බටහිර රටවල් විසින් සලකන අතර බීජිනය කියන්නේ තායිවානය චීනයෙන් කැඩී ගිය පළාතක් බවයි.

    චීනය තායිවානය සමඟ එක්සත් වීම සඳහා නොසැලෙන කැපවීමක් පවත්වාගෙන යන බව ද චීන ජනපතිවරයා පැවසීය.

    “චීන ජනතාවගේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ඇති අධිෂ්ඨානය, කැමැත්ත සහ හැකියාව කිසිවෙකු අවතක්සේරු නොකළ යුතුය,” ඔහු පැවසීය.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි ආරම්භක සංවත්සරය සැමරීම සඳහා 2021 ජූලි 1 වන දින චීනයේ බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රයේ දී චීන මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) ගුවන් හමුදාව ගුවන් යානයක් සාදමින් සිටියි.
    100 වන සංවත්සරය නිමිත්තෙන් හමුදා ගුවන් යානා නිර්මාණය වෙමින් පවතී

    අද (01) උදෑසන පැවැති 100 වැනි සංවත්සර සැමරුමට හමුදා ජෙට් යානා සංදර්ශන, කාලතුවක්කු ආචාර සහ දේශප්‍රේමී ගීත වාදන ඇතුළත් විය.

    බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රයට කොමියුනිට්ස් පක්ෂයේ නායකයින් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුඛ ආවරණ පැළඳ සිටියේ නැත.

    බීජිංහි වීදිවල සිටින ජනයා ඡායාරූප ගනිමින් ටියානන්මෙන් චතුරශ්‍රයට පියාසර කරන ගුවන් යානා වල රැළි ගසයි
    බීජිංහි වීදිවල මිනිසුන් ටියානන්මෙන් චතුරශ්‍රයට පියාසර කරන ගුවන් යානා දෙස බලා සිටිති

    චීන ජනපතිගේ පණිවිඩයේ කැපී පෙනෙන දේ කුමක්ද?

    පැයක් පමණ කතා කළ චීන ජනපතිවරයා නූතන චීනයේ පක්ෂයේ කාර්යභාරය යළිත් අවධාරණය කරමින් කියා සිටියේ ‘එය රටේ සංවර්ධනයට කේන්ද්‍රීය වී ඇති බවත් එය ජනතාවගෙන් වෙන් කිරීමට දරන උත්සාහයන් අසාර්ථක වනු ඇති බවත් ය‘

    “චීනය බේරා ගත හැක්කේ සමාජවාදයට පමණක් වන අතර චීනය සංවර්ධනය කළ හැක්කේ චීන ලක්ෂණ සහිත සමාජවාදයට පමණි” ඔහු පැවසීය.

    “චීනයට හිරිහැර කිරීමට, පීඩා කිරීමට හෝ යටත් කර ගැනීමට අපි කිසිවෙකුට ඉඩ නොදෙමු” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

    “එසේ කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව බිලියන 1.4කට අධික චීන ජනතාව නැගී සිටිනු ඇති අතර චීන මහා ප්‍රකාරය වන් ඒ දැවැන්ත බලය අවසානයේ සතුරාගේ හිස ගසා දමනු ඇත‘‘

    2021 ජූලි 1 වන දින බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රයේ දී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීමට පෙර සිසුන් චීන කොඩි ඔසවයි.
    ටියානන්මෙන් චතුරශ්‍රයේ පැවති උත්සවවලට විශාල ජනකායක් පැමිණියහ

    එක්සත් ජනපදය සිය වර්ධනය මැඩපැවැත්වීමට උත්සාහ කරන බවට චීනය පුන පුනා චෝදනා කර ඇති අතර මෙම අදහස් එක්සත් ජනපදය ඉලක්ක කරගෙන කළ ඒවා බව විශ්වාස කෙරේ.

    හොංකොං සහ මැකාවෝ යන කලාපවල “ඉහළ ස්වයං පාලනයක්” පවතින බව ජනපතිවරයා පැවසූ අතර, ඔවුන් “එක් රටක්, පද්ධති දෙකක්” යන මූලධර්ම නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කළේය.

    ජනපතිගේ කතාව විශ්ලේෂණය

    මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගෙන් පසු නූතන චීනයේ බලවත්ම නායකයා වන ෂී ජින්පින්, ලා අළු පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර එය කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ විසින් ටියැන්මන් චතුරශ්‍රයේ එක් පැත්තක් අලංකාර කරන සුප්‍රසිද්ධ ආලේඛ්‍ය චිත්‍රයට සමාන විය.

    ජනපතිවරයා තම ජනතාව විසින් නිර්මාණය කරන ලද “නව ලෝකය” ගැන ප්‍රශංසා කළේය.

    ඔහු පැවසූ දෙය නම් ‘මෙය පක්ෂය නොමැතිව බිහිවිය නොහැකි ලෝකයක්‘ බවයි.

    චීන කොමියුනිස්ට් පක්ෂ උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් වී ඇත්තේ පක්ෂය, රාජ්‍ය යාන්ත්‍රණය හා චීන ජාතිය පිළිබඳ අවබෝධය එකට එක් කිරීමට පියවර ගැනීමයි. ඕනෑම සාර්ථකත්වයක්, ප්‍රගතියක්, දියුණුවක් ඔවුන් විසින් කොමියුනිට්ස් පක්ෂයට ආරෝපණය කර ඇත.

    උත්සවය අවසානයේ පණිවුඩය පැහැදිලිව පෙනෙන බවට සහතික කර ගැනීම සඳහා පැමිණ සියලු සියලු දෙනා “කොමියුනිස්ට් පක්ෂයක් නොමැතිව නව චීනයක් නැත” යන ගීතය ගායනා කළහ.

    මෙම සංවත්සරය සඳහා චීනය සූදානම් වූයේ කෙසේද?

    1921 දී ආරම්භ කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂය Chinese Communist Party (CCP) බලයට පැමිණියේ මීට වසර 72 කට පෙර දීර්ඝ සිවිල් යුද්ධයකින් පසුව ය. එම කාලය තුළ රට විශාල වෙනස්කම් වලට භාජනය වී ඇත. නමුත් මෙම සන්ධිස්ථාන සමහරක් ප්‍රචාරක මෙහෙයුමේ කැපී පෙනෙන ලෙස අතුරුදහන් විය.

    පසුගිය සඳුදා බීජිං හි බර්ඩ්ස් නෙස්ට් ක්‍රීඩාංගනයේදී ද ‘මහා පා ගමන‘ නමින් කලා ප්‍රසංගයක් වේදිකා ගත කරන ලද අතර එයට චීන ඉතිහාසය යළි ප්‍රතිනිර්මාණය කරන ආකෘති ඇතුළත්ව තිබිණි.

    එහෙත් සංස්කෘතික විප්ලවය, 1989 ටියානන්මෙන් චතුරශ්‍රයේ විරෝධතා සහ හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා මෙම ප්‍රසංගය තුළ දැකගත නොහැකි වූ බව ප්‍රංශ පුවත් සේවය පැවසීය.

    චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස 2021 ජුනි 28 වන දින බීජිං හි කුරුළු කූඩුව ජාතික ක්‍රීඩාංගණයේදී සංස්කෘතික ප්‍රසංගයක් අතරතුර නර්තන ශිල්පීන් නටති.
    මහා පා ගමන මගින් පක්ෂ ඉතිහාසය ඉස්මතු කර පෙන්වන නමුත් සමහර පරිච්ඡේදයන් මඟ හැරී ඇත
    චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක 100 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස 2021 ජුනි 28 වන දින බීජිං හි කුරුළු කූඩුව ජාතික ක්‍රීඩාංගනයේදී හෙදියන් ලෙස සැරසී සිටින රංගන ශිල්පීන් සංස්කෘතික කාර්ය සාධනයකට සහභාගී වේ.

    සඳුදා ප්‍රදර්ශනයේ කොටසක් චීනය කොවිඩ් -19 පරාජය කළ ආකාරය වෙනුවෙන් කැප විය

    පසුගිය අප්‍රේල් මාසයේ සිට චීන සිනමා ශාලාවලට අවම වශයෙන් සතියකට දෙවරක්වත් “රතු චිත්‍රපට” නමින් ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියෝග කරන ලදී.

    “රතු සංචාරක ව්‍යාපාරය” ද ජනප්‍රිය වී ඇති අතර, Ctrip වැනි සංචාරක සමාගම් “රතු වන්දනාකරුවන්” සඳහා අද්විතීය මාර්ග 100 ක් දියත් කරයි.

    2021 ජුනි 17 වන දින චීනයේ ෂැංහයි හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේ අනුස්මරණය තුළ අමුත්තන් ගමන් කරති.
    චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේ අනුස්මරණය වැනි ෂැංහයි හි සංචාරකයින් “රතු සංචාරක” ස්ථාන වෙත පැමිණ ඇත.

    එහෙත් සියල්ලන්ම ප්‍රචාරය ගැන සතුටු වූයේ නැත.

    “දැන් මම රාත්‍රියේ රූපවාහිනිය සක්‍රිය කරන විට, ස්ථාන දුසිම් ගණනක් විප්ලවීය යුද්ධ ගැන නාට්‍ය විකාශනය කරනවා” යැයි බීජිංහි පදිංචිකරුවෙක් බීබීසී චීන වාර්තාකරුට පැවසීය.

    බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කර්මාන්තකරුවන් හා ව්‍යාපාරික ප්‍රජාවෙන් ‘අගමැති මහින්ද කළ‘ සුපිරි ඉල්ලීම

    කර්මාන්තකරුවන් හා ව්‍යාපාරික ප්‍රජාවෙන් ‘අගමැති මහින්ද කළ‘ සුපිරි ඉල්ලීම

    සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.

    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී අග්‍රාමාත්‍යවරයාට සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේය. 

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

  • මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘හෙට සිට ඉවතට‘

    මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘හෙට සිට ඉවතට‘

    කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    කෙසේවෙතත් ජූලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට මෙරටටපැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

    කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ඊයේ (29) තීරණය කළේය.

    තහනම ඉවත් කිරීමේ නව කොන්දේසි අනුව,

    • ඉහත සදහන් රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතු අතර අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ඇතුළුකර ගැනීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.
    • එම පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ කිව්.ආර් සහ බාර් (QR/Bar ) කේත එහි සඳහන් විය යුතුය.
    • ගුවන් මගීන් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතු අතර ගුවන් මගීන් ඉදිරිපත් කරන ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගත යුතුය.
    • පිළිගත් සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කොට පැමිණෙන මගීන්ට මෙරට ඒමට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණකි.
  • දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    පැමිණිල්ලක් සිදුකිරිමට නෙළුව පොලීසියට ගිය බාලවස්කාර දැරියක් එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු විසින් සිප ගැනිමේ සිදුවීමක් වාර්තා වේ.

    සිප ගැනීම සිදුකළ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

    නෙළුව ඉහළ ගිගුම්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් සිය මව සමග ඊයේ (29) නෙළුව පොලීසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් සිදුකිරීමටය.

    විමර්ශන සඳහා තමාට සහ දියණියට ඊයේ රාත්‍රිය වන තෙක් පොලීසියේ රැඳි සිටින ලෙසට නිලධාරින් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් එහි රැඳී සිට තිබේ.

    කෙසේවෙතත් අද (30) උදෑසන සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු ඔවුන් සිටි කාමරයට පැමිණ සිය දියණිය සිපගත් බව මව පවසයි.

    “පොඩ්ඩක් දොර අරින්න කිව්වා. මම දොර ලොක් කරලා යතුර තියාගෙන හිටියේ. මම දොර ඇරලා ලයිට් එක දැම්මා. එපා එපා ලයිට් දාන්න එපා කිව්වා. මම ලයිට් එක ටිකක් වෙලා තියාගෙන ඉදලා නිවලා දැම්මා. දරුවගේ ඔලුව අතගෑවා දෙපාරක්. හා අඬනවා ද? කියලා ඇහුවා. අහලා ගියා. ගියාට පස්සේ දොර ලොක් කරේ නෑ මට කෝල් එකක් ආවා මහත්තයාගෙන්. ඇවිල්ලා කිව්වා කෝල් එක ගන්න එහා පැත්තට යන්න කිව්වා. මම ගියේ නෑ වීදුරුව ළඟ හිටියා. ටක් ගාලා මේ මිනිහා දරුවා ළඟට ගියා. ඔලුව අතගෑවා. මූණ ඉම්බා. මම එක පාරට කෑ ගැහුවා උඹ මොකද්ද ඔය කරන්නේ කියලා.“

    දැරියගේ පියා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, කාන්තා පොලිස් නිලධාරියෙක් නොමැතිව තම දරුවා නවතා ගත්තේ කුමන පදනමකින් ද යන්න ය.

    “නීතිය රකින මේ වගේ ආයතනවල නීතිය රකින්නේ මෙහෙම ද? පොලීසියෙන් වැඩක් තියෙනවා ද මෙහෙම.“

    මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර දෙමාපියන්ට හොර රහසේ එම තරුණයා හමුවීමට ගොස් තිබේ.

    එම අවස්ථාවේ දී අදාළ තරුණයා දැරිය ව දූෂණය කර ඇති අතර ඔහු විසින් දැරියගේ වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    එම වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් අදාළ තරුණයා දැරියව සිව් වතාවක් පමණ නැවත නැවත ගෙන්වා ගෙන ඇතැයි ද පැවසේ. 

    අදාළ සිදුවීම දෙමාපියන් විසින් දැනගැනීමත් සමඟ එම තරුණයා අල්ලා පොලීසියට භාර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මව සමඟ ඊයේ දිනයේ දී නෙළුව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි.

    උපුටා ගැනීම: අද දෙරණ

  • නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‘ආයතන ප්‍රධානීන්ගෙන්‘ විශේෂ ඉල්ලීමක් කරයි

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‘ආයතන ප්‍රධානීන්ගෙන්‘ විශේෂ ඉල්ලීමක් කරයි

    උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    ‘‘උණ රෝගයෙන් පෙළෙන සේවකයින් රාජකාරීයට කැදවීම මගින් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකියි. ඒ වගේම තමයි මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වැළකී සිටිය යුතුයි. කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බව අපි මේ වන විට පැහැදිලිව හදුනා ගෙන තිබෙනවා‘

  • පාන් ගෙඩියක් රු.10කින් ඉහළට ?

    පාන් ගෙඩියක් රු.10කින් ඉහළට ?

    තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

    ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරු වන සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති ඇති බවත් එම නිසා මෙම තීන්දුව ගත් බවත් ජයවර්ධන මහතා සදහන් කළේය.

    ‘‘ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදු වුණා. නමුත් ඒ අවස්ථාවේ පාන් මිල ඉහළ දැමීමක් සිදු වුණේ නැහැ. නමුත් තිරිඟු පිටි මිල රුපියල් 18කින් ඉහළ දැමීම නිසා අපට මේ තීන්දුව ගැනීමට සිදු වෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

  • කොවිඩ් ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

    කොවිඩ් ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

    කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී.

    නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

    ඊට පවතින සූදානම පිළිබඳව, ප්‍රාන්ත ආණ්ඩුවලින් අධිකරණය විමසා ඇත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ සති 12ත් 16ත් අතර කාලයක් ඇතුළත තුන්වැනි රැල්ල ආරම්භ විය හැකි බවකි.

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගැන බොහෝ දෙනාගේ අවධානය මතු වී තිබේ. දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයයි. දැනට භාවිත වෙමින් පවතින එන්නත් මගින් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පරාජය කළ නොහැකි විය හැකි බවට ඇතැම්හු සැක පළ කරති.

    ඩෙල්ටා ප්ලස් යනු මෑතකදී ඉන්දියාවෙන් පළමුවරට සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ අලුත්ම වෛරස් ප්‍රභේදයයි. ඉන්දියාවේ දෙවෙන රැල්ලට වගකිව යුත්තේ එම ඩෙල්ටා ප්‍රභේදයයි.

    කෙසේ නමුත් මෙකී තුන්වන රැල්ල පිළිබඳව පවතින බිය කෙතරම් යථාර්ථවාදී ද?

    කොවිඩ් රැල්ලකට පසුව තවත් රැල්ලක් හට ගැනීම අපේක්ෂා කළ හැකි දෙයකි. නමුත් එය කෙතරම් දරුණු වේද යන්න තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක කීපයක් ම පවතී.

    කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද

    ඉන්දියාවෙන් දිනකට වාර්තාවන ආසාදිතයන් ගණන දල වශයෙන් 50,000ක මට්ටමට පහළ බැස ඇත. පසුගිය මැයි මාසයේ දී ආසාදිතයන් 400,000ක් වැනි ඉහළ ප්‍රමාණයක් දිනකට වාර්තා විය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් නීති රීති ය.

    මැතිවරණ රැළි, ආගමික උත්සව සහ වෙළෙඳපොළ කඩ සාප්පු ජනාකීර්ණ වීම නිසා දෙවන රැල්ල ඇති වූ බවට දෝෂාරෝපණ එල්ල විය.

    ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.

    EPA

    කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය.

    පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය.

    නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය.

    කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය “අවමානයට පාත්‍ර වූ” බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි.

    කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම ආරම්භයේ පටන් ම බරපතල ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි.

    මෙවැනි වැරදි ප්‍රතිපත්ති තීරණ, දුර්වල නිරීක්ෂණ සහ කල්තියා කරන ලද අනතුරු ඇඟවීම් නොතකා හැරීම පිළිබඳව චෝදනා පවතී. මෙම වැරදි නැවත සිදුවන්නේ නම් තුන්වන රැල්ල කඩිනම් වීම වලක්වාලිය නොහැකි බව විශේෂඥ මතයයි.

    ප්‍රජා ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රකාන්ත් ලහාරියා පවසන්නේ ඉන්දියාව මේවන විට ඉතා තීරණාත්මක තැනකට පැමිණ ඇති බවයි. තුන්වන රැල්ලේ ඉරණම ප්‍රධාන වශයෙන් ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව ඔහු පැවසීය.

    රටේ ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම ඉතා වැදගත් බව ඔහු පිළිගනී. නමුත්, “රට විවෘත කිරීම සඳහා අප ඉක්මන් වන්නේ නම් සහ ජනතාව කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඉන් සිදුවන්නේ වෛරසය නැවත වේගයෙන් ව්‍යාප්ත වීම සඳහා උදව්වීමක්” බව ඔහු අවධාරණය කරයි.

    “කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද සහ නීති ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. යම්කිසි වෙළෙඳපොළක් හෝ ව්‍යාපාරයක් ඒ නීති කඩ කරන්නේ නම් දඬුවම් නියම කළ යුතුයි.”

    අලුත් ප්‍රභේද තර්ජනයක් වේවිද?

    දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය
    ,දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය

    ඉන්දියාවේ දෙවන රැල්ල දරුණු වීමට වැඩි වශයෙන් බලපෑවේ ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම වෛරසය තවදුරටත් ජනතාව අතර මහා පරිමාණයෙන් ව්‍යාප්තවීමට ඉඩහළහොත් එවැනි තවත් අලුත් ප්‍රභේද මතුවනු ඇති බව විශේෂඥ මතයයි.

    ‘ඩෙල්ටා ප්ලස්’ ලෙස නම් කර ඇති නව වෛරස් ප්‍රභේදය පිළිබඳව “දැඩි අවධානයක්” යොමු වී ඇති බව ඉන්දීය රජය නිවේදනය කළේය. නමුත් එමගින් තුන්වැනි රැල්ලක් හටගන්නා බවට සහතික කිරීම සඳහා තවමත් විද්‍යාත්මක සාධක නොමැත. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය “සති කීපයක් ඇතුළත වෙනස් විය හැකි” බව විශේෂඥයෝ පවසති.

    වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පවසන්නේ වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තුරා අලුත් ප්‍රභේදවලින් ඇතිවන තර්ජනය දිගටම පවතින බවය.

    “භයානක වෛරස් ප්‍රභේද කල්තියා හඳුනාගැනීමටත් ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් පවතින ක්‍රමවේද තව තවත් වැඩිදියුණු කිරීමට අප පියවර ගත යුතුයි.”

    ජුනි මාසය දක්වා ඉන්දියාව වරින්වර ලබා ගෙන ඇති වෛරස් නියැදි (සාම්පල) ප්‍රමාණය 30,000ක් පමණ වේ. නමුත් විශේෂඥයන් පවසන්නේ මීට වඩා ප්‍රමාණයක් ලබා ගත යුතුව පවතින බවය.

    දැනට පවතින එන්නත්, මේ වනතෙක් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේද සඳහා පමණක් ඵලදායී වන බවක් පෙනෙන්නට ඇති බවත් අලුතින් බිහි වන ප්‍රභේද සඳහා එම එන්නත් වැඩ කරයි ද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් නොමැති බවත් වෛද්‍ය ඒ ෆතාවුදීන් පැවසීය. ඔහු කොවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි.

    එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19
    ,එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19

    එමෙන්ම, එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ද කොවිඩ් වැළඳුණු අය එමටය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථා හමුවන්නේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා සිටි උදවිය අතරය.

    කෙසේ නමුත් දෙවන වතාවට කොවිඩ් 19 වැළඳුණු උදවියට එතරම් බරපතල රෝග ලක්ෂණ මතුවී නොමැති බවට සාධක පළවිය.

    දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය.

    “ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුණා.” වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

    දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ.

    නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය.

    නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත.

    වෛද්‍ය ෆතාවුදීන් ගේ මතය නම් ඉන්දියාවේ තුන්වැනි රැල්ලක් ඇතිවීම නොවැලක්විය හැකි බවය. නමුත්, “නව වෛරස් ප්‍රභේද ගැන ඇස ගසාගෙන සිටියහොත් සහ ආරක්‍ෂිත ක්‍රමවේද තදින් ක්‍රියාත්මක කළහොත් තුන්වැනි රැල්ල පමා කරගැනීමට හා දරුණු මට්ටමකට පත් වීම වලක්වා ගැනීමට හැකිවනු ඇති” බව ඔහු පවසයි.

    “අපි ඒ දේවල් කළේ නැත්නම්, තුන්වැනි රැල්ල අපට හිතා ගන්නවත් බැරි තරමේ වේගයකින් අප අතරට ඒවි.”

    ප්‍රතිශක්තිය ප්‍රමාණවත් ද?

    BBC

    තුන්වැනි රැල්ලේ ප්‍රතිඵලය තීරණය වන තවත් සාධකයක් වන්නේ ඉන්දියාවේ සමස්ත ජනගහනය සතුව පවතින කොවිඩ් ප්‍රතිශක්තිය කෙතරම් ද යන්නයි. මෙම ප්‍රතිශක්තිය එන්නත් මගින් සහ කොවිඩ් වැළඳීම මගින් ඇතිවේ.

    ජුනි මාසයේ 9 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේ දිනකට එන්නත් මාත්‍රා මිලියන 3.25ක් බැගින් දල වශයෙන් ලබා දී තිබේ.

    නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට මේ වසර නිමා වන විට එය ලබා දී නිමකිරීමට නම් දිනකට මාත්‍රා මිලියන 8.5කට වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු වේ.

    මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලැබී ඇත්තේ ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 4%කට පමණි. පළමු මාත්‍රාව 18%කට ලැබී තිබේ.

    එන්නත් වැඩසටහන වේගවත් නොකළහොත් ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව අනතුරට පත්විය හැකිබව විශේෂඥ වෛද්‍ය ලහාරියා පැවසීය.

    ඉන්දියාව මේ වන විට එන්නත් වර්ග තුනක් භාවිත කර තිබේ. කොවිශීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් V එම එන්නත් වර්ග තුනයි.

    ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. එහි නිල සංඛ්‍යා ලේඛනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 300,000කට අධික ය. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.

    ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩ නැගී ඇති ප්‍රමාණය නිශ්චය කරගැනීම සඳහා ඉන්දියාවේ කෙතරම් ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී තිබේදැයි සොයා ගැනීම ඉතා අපහසුය.

    පිටිසර පලාත්වල ගම්මාන පමණක් නොව නාගරික ජනතාව අතර පවා බොහෝ දෙනෙකුට වෛද්‍ය පරීක්ෂණ ලබා ගැනීමට අවස්ථාවක් නොතිබුණු හෙයින් සත්‍ය වශයෙන් ම රෝගය මේ වන විට වැළඳී ඇති පිරිස ගැන නිසි වාර්තා නොමැත. කොවිඩ් මරණ පවා වාර්තා වූයේ අඩුවෙනි.

    Reuters
    ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ”

    වෛද්‍ය ලහාරියා ගේ විශ්වාසය නම් ජනගහනයෙන් 55%කට හෝ 60%කට මේ වන විට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී ඇති බවය.

    අශෝක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෞතම් මේනන් ගේ ඇස්තමේන්තුව අනුව මෙම ප්‍රතිශතය තවත් ඉහළය. ඔහු පවසන්නේ ජනගහනයෙන් 60-70% ක් පමණ මේ වන විට කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිය ලබා ඇති බව තමන් විශ්වාස කරන බවය. එබැවින් දෙවැනි රැල්ල වැනි අතිශය දරුණු මට්ටමක රැල්ලක් යළි ඇති නොවනු ඇති බව ඔහුගේ මතයයි.

    නමුත් ඉන් සතුටට පත් නොවිය යුතු බවට ඔහු අනතුරු අඟවයි.

    “ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දැනටමත් ප්‍රතිශක්තිය ලැබී තිබුණත් එවැන්නක් නොලැබූ පිරිස අඩු තරමින් 20-30%ක් වත් සමාජයේ ඉන්නවා. මේ අය අතර වයෝවෘද්ධ උදවිය වගේම ප්‍රතිශක්තිය දුර්වල උදවියත් ඉන්නවා. ඒ නිසා ආසාදිතයන් වැඩි වීමක් ඇතිවූ වහාම එය ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා අප පරීක්ෂාකාරීව සිටිය යුතුයි.” ඔහු පැවසීය.

    රෝගයට ගොදුරු විය හැකි සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉන්දියාව තුළ සිටීමත් කොරෝනාවෛරසයේ දරුණු ප්‍රභේද ඇතිවෙමින් පැවතීමත් නිසා මෙම තත්ත්වය සුළුකොට නොතැකිය යුතු බව විශේෂඥයෝ ඒකමතිකව පිළිගනිති.

    “ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ. එය පමා කිරීම සහ එහි බලපෑම සීමා කර ගැනීම තියෙන්නේ අපේ අතේමයි.” වෛද්‍ය ෆාතාහුදීන් පැවසීය.

    “අවුරුද්දක් තිස්සේ මේ රෝගයත් එක්ක යුද්ධයක් කරන සෞඛ්‍ය සේවකයන් ගැනත් පොඩ්ඩක් හිතන්න. අපිට හරිම මහන්සියි. කරුණාකරලා ඔබේ ආරක්‍ෂකයා පහතට දමා සලකන්න එපා. තුන්වැනි රැල්ලකට අපිව ඔරොත්තු දේවිද කියල මටනම් හිතා ගන්න බැහැ.” වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

    මාධ්‍ය ආයතනයක් ලෙස මේ අවස්ථාවේ අපගේ මූලිකම අරමුණක් වන්නේ කොවිඩ් වසංගතය ගැන මෙරට ජනතාව, අප පාඨකයින් නිවැරදිව – සමබරව සහ නිරවුල්ව දැනුවත් කිරීමයි. ඒ සදහා වඩාත් විශ්වාසදායක ප්‍රවෘත්ති වෙත අප ප්‍ර වේශ වන අතර ප්‍රකාශන හිමිකමට ගරුකරමින්, මූලාශ්‍ර උපුටා දක්වමින් අදාළ උපුටා ගැනීම් කරමු. මෙම ලිපිය ද ජූනි 29 වැනි දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි. ප්‍රධාන සංස්කාරක

  • තිස්සමහාරාම වැව හැරීම ගැන ‘සුපිරි’ හෙළිදරව්වක් !

    තිස්සමහාරාම වැව හැරීම ගැන ‘සුපිරි’ හෙළිදරව්වක් !

    වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති වූ පාරිසරික බලපෑම් ඉතා කෙටි කලකින් හානිපූරණය වේ. මේ නිසා වැව යනු අවිවාදයෙන් ම තිරසර සංවර්ධනයට ඇති හොඳ ම උදාහරණය ලෙස පෙන්වා දිය හැකි ය.

    වසර දහස් ගණනක් ස්වභාවීකරණයට ලක් වූ සුවිශේෂී ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන, කෘෂි ආර්ථිකයක් ගොඩනංවන වැව් කිසිදු සැලැසුමකින් තොර ව ජල ගබඩාවක් ලෙස සැකසීමට ගැඹුරු කිරීම සඳහා හෑරීම ඉතා ම හානි කර ය. නමුත් වර්තමානයේ මේ තත්ත්වයට ගොදුරු ව ඇත්තේ තිස්ස වැව හෙවත් තිස්සමහාරාම වැව යි. යන්ත්‍ර සූත්‍ර භාවිතා කර වැවෙහි පස් හා රොන්මඩ කැනීම සහ වැලි නිස්සාරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය එක් ව නීති විරෝධී ව චීන සමාගමකට පවරා තිබේ. මෙම කැනීම් මගින් බලාපොරොත්තු වන්නේ වැවේ ජල ධාරිතාව වැඩි කර, විශාල ජල ප්‍රමාණයක් රදවා ගැනීමයි. නමුත් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ වන්නේ හම්බන්තොට මහ නගර සංවර්ධනය යටතේ චීන සමාගම් ගණනාවක් විසින් ක්‍රියාත්මක කරන මාගම්පුර වරාය ඇතුළු ව්‍යාපෘතිවලට හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අක්කර 15,000 ක චීන කර්මාන්තපුරයට ජලය ලබා ගැනීමට ය.

    මේ ව්‍යාපෘතිය හේතුවෙන් තිස්සමහාරාම වැවෙන් වාරි ජලය සපයන කුඹුරු අක්කර 3115 ක පමණ වී ගොවිතැනේ නිරත විශාල ගොවි ජනතාවක් අවතැන් වීමට නියමිත ය. මීට අමතර ව වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල් 200 කට වැඩි ප්‍රමාණයක් දැඩි බලපෑමට ලක් වනු ඇත. නමුත් මේ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති බාධකයන් වන ගොවීන් හා මිරිදිය ධීවරයන් මේ තුළින් පහසුවෙන් ඉවත් කිරීමට හැකි වීම නිසා ය.

    වැවක් යනු හුදු ජල ගබඩාවක් පමණක් නොවේ. වැව මගින් විශාල ප්‍රදේශයක භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම සිදු කරයි. ඒ මගින් වැවේ ජලය ලබා ගෙන සිදු කරන කෘෂි කර්මාන්තයට අමතර ව වැවෙන් පවත්වාගෙන යන ඉහළ භූගත ජල මට්ටම මගින් කෘෂිකර්මාන්තයට හා ජෛව සුරක්ෂිතතාවයට ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතී.

    වීරවිල – තිස්සඅභයභූමියේජෛවපද්ධතියවැනසීම

    දීර්ඝ කාලයක් ස්වභාවීකරණය වූ වැවක මිරිදිය ජලජ ජීවීන්ගේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින අතර එම ජීවීන් බෝවන පරිසර පද්ධති බොහොමයක් නිර්මාණය වේ. එපමණක් නොව ඒ මත දේශීය හා සංක්‍රමණික ජලජ පක්ෂි විශේෂ හා උරග විශේෂ බොහොමයක් යැපෙති. වැව් ආශ්‍රිත ව පිහිටි විශාල වෘක්ෂ බොහෝ දේශීය ජලජ පක්ෂීන්ගේ බෝවීමේ ප්‍රදේශ වේ. තිස්සමහාරාම වැවේ ද මේ තත්ත්වය ඉතා හොඳින් දැක ගත හැකි වේ. මෙම වැව දේශීය නේවාසික පක්ෂි විශේෂවලින් ගහන සුවිශේෂී තෙත් බිමකි. මෙරට කුඩා ම නේවාසික ජලජ පක්ෂියා වන ගෙඹි සේරා (Little Grebe) ගේ සිට අළු පැස්තුඩුවා (Spot – billed Pelican), හංසකාවා (Indian Darter), දියකාවා (Indian Shag), පුංචි දියකාවා (Little Cormorant), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා (Purple Heron), ලතුවැකියා (Painted Stork), විවර තුඩුවා (Open bill Stork), බළල් සේරා (Pheasant – tailed Jacana) වැනි විශේෂ බොහොමයක් තිස්සමහාරාම වැව නිවහන කර ගෙන ජීවත් වේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන සිදු කරන වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීම හේතුවෙන් මත්ස්‍යයින්, මිරිදිය ඉස්සන්, මිරිදිය කකූළුවන් හා මිරිදිය බෙල්ලන් බෝවන ජලජ පරිසර පද්ධති සියල්ල මුළුමනින් ම විනාශ වී යන අතර ඒ මත යැපෙන ජලජ පක්ෂීන් ද කෙටි කලකින් විනාශයට ලක් වේ.

    මිරිදිය ජෛව පද්ධතියක් ලෙස තිස්සමහාරාම වැවේ සුවිශේෂත්වය හේතුවෙන් 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත නීති ගත වීමෙන් පසු ව පළමුවෙන් ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශයක් ලෙස මෙම වැව ආශ්‍රිත ප්‍රදේශය සැලැකේ. තිස්සමහාරාම වැව ඇතුළු ව ඒ වටා පිහිටි වීරවිල වැව, පන්නෙගමුව වැව හා දෙඹර වැව අයත් වන අක්කර 10290 ක් වන සමස්ත ප්‍රදේශය වීරවිල – තිස්ස අභය භූමිය ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තියට අනුව 1938 මැයි මස 27 වන දින අංක 8370 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම වැව ඇතුළු භූමි ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

    ආර්. එල්. බ්‍රෝහියර් ගේ වාර්තාවලට අනුව ක්‍රිස්තු පූර්ව 307 දී රුහුණු රාජධානියේ රජ කළ මහානාග රජු විසින් කිරිදි ඔය නිම්නයේ වාරි පද්ධතිය සකස් කර ඇති අතර ඔහු විසින් තිස්ස වැව කරවන ලද බවට සඳහන් වේ. ඉන් පසු ව 1871 වසරේ දී මෙම වැව ප්‍රතිසංස්කරණය කර කුඹුරු අක්කර 3115 කට යල හා මහ දෙකන්නයේ වාරි ජලය සැපයීම සුරක්ෂිත කොට තිබේ. නමුත් වත්මන් පාලකයින් මහානාග රජු විසින් රටවැසියන් වෙනුවෙන් ගොඩනැංවූ හා අප රට යටත් කර ගෙන සිටි ඉංග්‍රිසීන් විසින් රටේ සහල් නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කර මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සුරක්ෂිත කළ තිස්ස වැව චීන සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවගෙන් අහිමි කිරීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. 

    තිස්සමහාරාම වැව මෙරට වැව් අතර මධ්‍යම ප්‍රමාණයේ වැවකි. කිලෝමීටර 1.2 ක් දිග වැව් බැම්මක් සහිත මෙහි මතුපිට උපරිම ජල පැතිරුම් භූමි ප්‍රමාණය අක්කර 704 ක් (හෙක්ටයාර 285 ක්) පමණ වේ. වැවේ උපරිම ගැඹුර මීටර 4.7 ක් පමණ වන අතර උපරිම ජල ධාරිතාවය ඝන මීටර මිලියන 3.9 ක් පමණ වේ. කිරිදි ඔය නිම්නයේ පිහිටි තිස්සමහාරාම වැවට කිරිදි ඔය වාරි ව්‍යාපාරය යටතේ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය සැපයේ. මීට අමතර ව බිංකෙමහෙළ හා බෙරලියහෙළ කඳුවැටි මෙම වැවෙහි ජල පෝෂක ප්‍රදේශ වේ.

    අමාත්මණ්ඩලඅනුමැතියලබානොගැනීම

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තිස්සමහාරාම වැවෙහි පස් හා රොන්මඩ කැනීම් කටයුතු සඳහා කිසිදු අනුමැතියක් හෝ අධ්‍යයනයක් හෝ සිදු කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව සියලු ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන නොමැත. එසේ නමුත් 2021 මැයි මස 10 වන දින කැබිනට් මණ්ඩලය විසින් මහවැලි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට හා ඒ මත පදනම් ව රෙන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් වෙත පැවරීමට වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහෙත් තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීමට සහ එමගින් වැලි නිස්සාරණය කිරීමට මෙන්ම එම වැලි අලෙවි කිරීමට චීන සමාගම වෙත පැවරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් හෝ ලබා ගෙන නොමැති වීමෙන් පෙනී යන්නේ චීන සමාගම්වල සියලු ඉල්ලීම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නීති රීති හා අණ පනත් ඇතුළු සියල්ල මෙන් ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ය. චීන සමාගම් සමග සිදු කරන බොහෝ ව්‍යාපෘති මේ ආකාරයෙන් නීති විරෝධී ව, නිවැරදි සැලැසුමකට අනුව සිදු නොවීම විශාල ගැටළුවකි.

    ආණ්ඩුක්රමව්යවස්ථාවඋල්ලංඝනයකිරීම

    තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම හා වැලි නිස්සාරණය කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය පිළිබඳ ව සඳහන් කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් වීරවිල – තිස්ස අභය භූමිය හා එහි ජෛව ප්‍රජාව වනසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් නීති විරෝධීව සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාස්කම් හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පවා උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාත්මක වීමේ ස්වභාව යයි.

    වනජීවීආඥාපනතඋල්ලංඝනයකිරීම

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත වීරවිල – තිස්ස අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන කැනීම් කටයුතු, වනජීවී වාසස්ථාන විනාශ කිරීම ඇතුළු ඔනෑ ම ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ආඥාපනතේ 67ආ1 උප වගන්තියට අනුව අභය භුමියක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥේය වරදක් සිදු කරන අතර එම වැරදි සඳහා ඇප දිය නොහැකි වේ. මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ පාලනය වන අභය භූමික පිහිටි තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කර වැලි නිස්සාරණය කර විකිණීම සඳහා චීන සමාගමකට අවස්ථාව ලබා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට කිසිදු නෛතික හැකියාවක් නොමැත. මෙය මෙම ආයතන මගින් සිදු කළ නීතිය අතික්‍රමණය කිරීමකි.

    ජාතිකපාරිසරිකපනතඋල්ලංඝනයකිරීම

    චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සැපයීමට සහ 2011-2030 හා 2018-2050 ජාතික භෞතික සැලැසුම්වලට අනුව ඉදිකෙරෙන හම්බන්තොට මහ නගරය සඳහා ජලය සැපයීමට ගොවි ජනතාව, මිරිදිය ධීවරයින් හා විශාල මිරිදිය ජෛව ප්‍රජාවක් අවතැන් කර තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීමට කිසිදු ආයතනයකට හැකියාවක් නොමැත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හෝ ඒ සඳහා වෙනත් සමාගමකට පැවරීම සිදු කළ හැකි වන්නේ ජාතික පාරිසරික පනතට අනුව ය. මෙම පනත උල්ලංඝනය කරමින් මෙරට නීතියේ ආධිපත්‍යය අහිමි කිරීමට කටයුතු කිරීමේ කිසිදු හැකියාවක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට නොමැත.

    1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට ප්‍රථමයෙන් හා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ අර්ථ නිරූපිත හෝ එම පනතේ 71 වන වගන්තියට යටතේ ප්‍රකාශිත පොදු වැවක ඉහළ පිටාර මට්ටමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ එම වැව තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය.

    ජාතික පාරිසරික පනතේ 33(ආ) වගන්තිය යටතේ දැක්වෙන අර්ථ නිරූපනවලට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියකින් බලාපොරොත්තු වන්නේ යෝජිත ව්‍යාපෘතියෙන් වැළැක්විය හැකි හා වැළැක්විය නොහැකි හානි කර පාරිසරික බලපෑම් හඳුනා ගැනීම සහ හානි අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමයි. නමුත් තිස්සමහාරාම වැවේ යාන්ත්‍රික පස් හා රොන්මඩ කැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් නිවැරදි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර නොමැති බැවින් එම ව්‍යාපෘතියෙන් සිදු වන හානි කර බලපෑම් හඳුනා ගැනීමට හෝ එම හානි කර බලපෑම් අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමට හෝ ඉවත් කරන රොන්මඩ බැහැර කිරීමේ ක්‍රමවේදය හඳුනා ගැනීමට හෝ නොහැකි වී ඇත. මේ නිසා ව්‍යාපෘතිය චීන සමාගමට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමෙන් විශාල හානි කර තත්ත්වයන් ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වනු ඇත.

    2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන 2006 අංක 01 දරන වැලි සහ මැණික් සඳහා ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව වැවක් තුළ හෝ වැවක උපරිම ජල මට්ටම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත වැලි ලබා ගැනීමට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම තහනම් වේ. තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම මගින් වැලි නිස්සාරණය කිරීම සිදු කරන බැවින් මෙම නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් චීන සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී හෝ ජාතික පාරිසරික නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ඒ අනුව මෙම හානි කර හා නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ බලය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ පාරිසරික විනාශයන් හමුවේ මුණිවත රැකීම හෝ සාධාරණීකරනය කිරීමට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරයට ම මෙම අවස්ථාවේ දී ද කටයුතු කිරීමෙන් සිදු වන්නේ දැවැන්ත විනාශයක් මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ හේතුවෙන් ඉදිරියේ දී මෙරට වැව් පද්ධතිය හා ගොවි ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීම සිදු වනු ඇත.

    පුරාවස්තුආඥාපනතඋල්ලංඝනයකිරීම

    මෙරට ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව පුරා විද්‍යාත්මක ව ද විශාල වටිනාකමක් සහිත ය. මෙරට වැව් තාක්ෂණයේ විකාශනය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී ප්‍රධාන වැදගත්කමක් උසුලයි. එහි සෑම අංගයක් ම ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.

    2008 ඔක්තොම්බර් 20 වන දින අංක 1572/4 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2006 ජාතික පුරා විද්‍යා ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ උරුමය ශ්‍රී ලාංකීය ජනතාවගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමක් වන අතර එය ආරක්ෂා කිරීම හා කළමනාකරණය කිරීම රටේ මානව සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලැකේ. එපමණක් නොව ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය නොකළ හැකි සම්පතක් ලෙස ද සැලැකේ. එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව මේ ආකාරයෙන් යාන්ත්‍රික කැනීම්වලට ලක් නොකළ යුතු ය.

    සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 43අ සහ 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තොම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීතිමය ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය චීන සමාගම් වෙත තිස්සමහාරාම වැව යාන්ත්‍රික කැනීම් කටයුතු සඳහා ලබා දී ඇත.

    නීතිවිරෝධීහාහානිකරක්රියාඅඛණ්ඩසිදුකිරීම

    වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය කාලය තුළ මේ ආකාරයෙන් අණ පනත් උල්ලංඝනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් අවස්ථා බොහොමයකි. මෙම අණ පනත් මගින් සිදු කරන්නේ රට තුළ තිරසර ස්වාභාවික සම්පත් භාවිතාවක් ඇති කිරීම හා තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නෛතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ය. නමුත් මෙම අණ පනත් උල්ලංඝනය කිරීමෙන් සිදු වන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරට ද ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමකි.

    වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් තුළ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් වැලි, මැටි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී. ඉන් පසුව රජයේ වනාන්තර ඉඩම්වලට ආරක්ෂාව ලබා දී තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කරන ලදී. ඉන් අනතුරු ව රක්ෂිත ප්‍රදේශ අනවසරින් බුක්තිවිදින පුද්ගලයන්ට ඉඩම් බුක්තිය ලබා දීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛයක් හා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරින. ඒ සඳහා බලපෑම් කළ පසු එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සිදු කෙරින. මීට අමතර ව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිංහරාජ රක්ෂිතය තුළින් ලංකාගම දක්වා මාර්ගයක් සංවර්ධනය කළ අතර එය නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක නොකිරීම නිසා වර්ෂාවත් සමග කෙටි කලකින් විනාශයට ලක් වීම නිසා නැවත සකස් කිරීමට සිදු විය. සිංහරාජ අඩවියේ මාණික්කවත්ත ප්‍රධාන අලි මංකඩේ හෝටල් ඉදි කිරීමට අවස්ථාව ලබා දීම පමණක් නොව රඹකැන්ඔය වනාන්තර හා තෘණ භූමි පද්ධතිය මෙන් ම කන්දකාඩුව වනාන්තර හා විල්ලු පද්ධතියේ අක්කර දහස් ගණනක් නීති විරෝධී ව සමාගම්වලට ලබා දීම සිදු කෙරින. එපමණක් නොව ආනවිලුන්දාව අභය භූමිය, දහයියාගල අභය භූමිය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු රක්ෂිත ප්‍රදේශ විශාල ගණනක් එළිපෙහෙලි කරමින් විවිධ භාවිතාවන්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. මේ හේතුවෙන් සිදු වූ හානිය නැවත කිසිදු දිනක හානිපූරණය කළ නොහැකි ය.

    මේ නිසා තිස්සමහාරාම වැවේ නීති විරෝධී කැනීම් වලට එරෙහි විය යුතු වන්නේ වනජීවී රක්ෂිත හා වනජීවී වාසස්ථාන විනාශ කරමින් කුඹුරු අක්කර දහස් ගණනකට වාරි ජලය සපයමින් ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් කරවන, ධීවර පවුල් විශාල ප්‍රමාණයක් යැපෙන සුවිශේෂී වැවක් විනාශ කරමින් වැරදි පූර්වාදර්ශ ලබා දීමට ය. එසේ නොමැති ව චීන සමාගමක් කැනීම් කිරීම හෝ හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී කැනීම් කටයුතු සිදු කිරීමට නොවිය යුතු ය. මෙවැනි පුවත් මැවීමෙන් අවසානයේ සිදු වන්නේ දැවැන්ත විනාශයක් ඇති කරන හානි කර ව්‍යාපෘතියක සැබෑ ස්වරූපය ජනතාවට අවබෝධ කිරීමට ඇති අවස්ථාව අහුරා දැමීමකි. මෙය නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැති වුවහොත් හමුදා ඇඳුමට සමාන ඇඳුමට විසදුම් ලැබුණු විට මෙම නීති විරෝධී හා හානි කර ව්‍යාපෘතිය වෙනත් බොහෝ මෙවන් අවස්ථාවල දී සිදු වූ ආකාරයෙන් ම නීත්‍යානුකූල ව්‍යාපෘතියක් යැයි සමාජය තීන්දු කරනු ඇත. එවන් තත්ත්වයක් ඇති නොවීමට මෙම නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහිව සෑම පුරවැසියෙක් ම කටයුතු කළ යුතු ය.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වැය කරලා

    කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වැය කරලා

    කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශයට අයත් සියලුම ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු කළේය.

    භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් මෙහි දී “අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා” මැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කරන ලදි.

    “රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී එස්.ආර් ආටිගල මහතා සමාජ ආර්ථික බලපෑම් ඇතිකරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේය‍.

    මෙම අසීරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් වූ  බව පෙන්වා දුන් එස්.ආර් ආටිගල මහතා පිරිසිදු අය-වැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් බව සිහිපත් කළේය.

    මුදල් අමාත්‍යංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව එස්.ආර් ආටිගල මහතා පවසයි.

    පොලී අනුපාත අඩුකරමින් ද ණය සහන ලබා දෙමින් ද උද්ධමනය සියයට 4 සිට සියයට 6 දක්වා පවත්වාගෙන යාමට හැකිවූ බවත් පසුගිය මැයි මාසයේ එය සියයට 6.1ක් හෝ 6.2 දක්වා ඉහළ ගිය ද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු යොදමින් ඇතිබව එස්.ආර් ආටිගල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    විමධ්‍යගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000ක් බව ද මෙහි දී හෙළිදරව් විය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වනවිට සිවු වතාවක් ප්‍රදානය කර ඇති බව ප්‍රකාශ කළේය.

    නිෂ්පාදන ගම්මාන 500ක් ඇතිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද නීල් බණ්ඩාර හපුහින්න මහතා පෙන්වා දුන්නේය.

    මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළේය.

    විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී ආර්.එම්.පී රත්නායක මහතා  2022 ජනවාරි මාසය වනවිට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කරන බවට විශ්වාසය පළ කළේය.

    2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටියේය.

    විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළ ද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකිවී ඇතැයි ද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් මහතා මෙහි දී අවධාරණය කළේය.

    මුදල් අමාත්‍යංශයේ ස්ථාන රැසකට විසිරී තිබෙන ආයතන ජනතාවගේ පහසුව වෙනුවෙන් එකම ගොඩනැගිල්ලකට ගෙන ඒම ගැන සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී මුදල් අමාත්‍යංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

  • ගැබිනි කතුන් ‘මාළු ආහාරයට ගැනීම‘ ගැන සුපිරි හෙළිදරව්වක්

    ගැබිනි කතුන් ‘මාළු ආහාරයට ගැනීම‘ ගැන සුපිරි හෙළිදරව්වක්

    මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි.

    අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත.

    නමුත් ශාක පදනම් කරගත් විකල්පයන් ඉහළ යාම, මුහුදු ආහාරවල තිරසාරභාවය සහ කාබන් විමෝචනය පිළිබඳ වැඩි වැඩියෙන් සැලකිලිමත් වීම හේතුවෙන් අපට තව දුරටත් මාළු ආහාරයට ගැනීම අවශ්‍ය දැයි ප්‍රශ්න කිරීම ආරම්භ වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවලට අනුව, 1974 සිට ජීව විද්‍යාත්මක තිරසාර මට්ටම්වල සිටින මත්ස්‍ය ගහණය 90%සිට 66% දක්වා අඩු වී තිබේ.

    මේ අතර, රසදිය හා අනෙකුත් දූෂක කාරණා ගැන සැලකිලිමත් වන සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශය වන්නේ ගැබිනි හෝ මව්කිරි දෙන කාන්තාවන්ට, සමහර විශේෂවල මාළු පරිභෝජනය සීමා කරන ලෙසයි.

    මාළු ආහාරයට ගැනීමෙන් වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබේද? නැතහොත් සෞඛ්‍ය අවධානම උග්‍ර වේද ?

    බර ලෝහ Heavy metal

    මෑත දශකවලදී, මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි.

    polychlorinated biphenyls (PCBs) එක් කරුණකි . 1980 දශකය වන විට ඒවා තහනම් කරනු ලැබුවද, මෙම කාර්මික රසායනික ද්‍රව්‍ය ලොව පුරා විශාල වශයෙන් භාවිතා කරන ලද අතර තවමත් අපේ පසෙහි හා අපගේ ජලයේ රැඳී පවතී.

    එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිට මොළය දක්වා සෑම දෙයකටම අහිතකර සෞඛ්‍යමය බලපෑම් රාශියක් සමග සම්බන්ධ වී ඇති අතර කිරි නිෂ්පාදනවල සිට පානීය ජලය දක්වා සෑම දෙයකම PCBs පවතින අතර ඉහළම මට්ටම් මාළුවල දක්නට ලැබේ. මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි (ණය: ගෙටි රූප)

    මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි

    එංගලන්තයේ හර්ට්ෆර්ඩ්ෂයර් හි රොතම්ස්ටෙඩ් රිසර්ච් Rothamsted Research in Hertfordshire හි විද්‍යා අධ්‍යක්ෂ ජොනතන් නේපියර් පවසන්නේ මාළු වලින් ඔබ PCB පානය කිරීම සීමා කිරීම සඳහා වන විසඳුම ප්‍රතිවිරුද්ධ විය හැකි බවයි.

    “විෂ සහිත සංයෝග සමුච්චය වීමේ ගැටලුව සෘජු මිනිස් පරිභෝජනය සඳහා හසු වන වන සතුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ඇත,” ඔහු පවසයි. 

    මිනිසුන් විසින් වගා කරන මසුන් (farmed fish) පෝෂණය කරන සාගරයෙන් ලබාගත් අමුද්‍රව්‍ය පිරිසිදු කිරීම හෝ විෂ ඉවත් කිරීම සඳහා පියවර ගැනීම නිසා වගා කරන මසුන් බොහෝ විට සාගර හෝ මිරිදිය මසුන්ට වඩා ආරක්ෂිත වේ.

    කෙසේ වෙතත් එය සැවිටම එසේ නොවන අතර පී.සී.බී අන්තර්ගතය ද කාලානුරූපව උච්චාවචනය වේ. ඒවා සාමාන්‍යයෙන් අපේ සෞඛ්‍යයට හා පරිසරයට වඩා හොඳ යැයි සලකන අතර, මහා පරිමාණ ජලජීවී වගාවට තමන්ගේම ගැටලු ඇත.  එනම් සාගර අපද්‍රව්‍ය වලින් දූෂණය කිරීම සහ වන සතුන් තුළට පැතිර යා හැකි රෝග සඳහා බෝවන ස්ථාන බවට පත්වීම ආදියයි.

    ගර්භණී හා මව්කිරි දෙන කාන්තාවන් පීසීබී මෙන්ම ඩයොක්සින් වැනි දූෂක ද්‍රව්‍යද සතියකට කොටස් දෙකකට සීමා කිරීමට මාළු විශේෂ සීමා කරන ලෙස එක්සත් රාජධානියෙ ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කර ඇත. මෙම මසුන් අතර සැමන් සහ සාඩින් වැනි තෙල් සහිත මාළු මෙන්ම කකුළුවන් හා sea bass ඇතුළු තෙල් රහිත මසුන් ද ඇතුළත් ය. ස්ප්‍රැට් වැනි තෙල් සහිත මාළු වලට PCB ලෙස හඳුන්වන විෂ ද්‍රව්‍ය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින්, ගර්භනී කාන්තාවන්ට සතියකට කොටස් දෙකකට වඩා නොතිබිය යුතුය (ණය: ගෙටි රූප)

    ස්ප්‍රැට් වැනි තෙල් සහිත මාළු වලට PCB ලෙස හඳුන්වන විෂ ද්‍රව්‍ය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින්, ගර්භනී කාන්තාවන් සතියකට ග්‍රැම් 140කට වඩා ඒවා ආහාරයට නොගත යුතුය.

    තවත් කනස්සල්ලට හේතුවක් නම් රසදියයි. රසදිය වැදමහ හරහා ගොස් දරුවන්ගේ වර්ධනයට බලපාන ගැටලු ඇති කරයි. රසදිය ශරීරගත වීම සහ පිළිකා, දියවැඩියාව සහ හෘද රෝග අතර සම්බන්ධතා රාශියක් ඇත. 

    එළවළු වැනි වෙනත් ආහාර වලින් රසදිය සොයා ගත හැකි වුවද, එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සහභාගීවන්නන්ගේ රසදිය පරිභෝජනයෙන් 78% ක්ම පැමිණියේ මාළු හා මුහුදු ආහාර වලින් බවයි.

    මාළු වල රසදිය මට්ටම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියට අනුව (FDA) ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවතින අතර ගර්භණී කාන්තාවන් හැලිබුට් සහ ටූනා ඇතුළු ජනප්‍රිය මාළු ආහාරයට ගැනීම සතියකට එක් දිනක් දක්වා සීමා කරන ලෙස නිර්දේශ කරයි.

    නමුත් මාළු වල බැර ලෝහ සමුච්චය වීම පිළිබඳ කනස්සල්ල අධික වී ඇති බව නේපියර් පවසයි. අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක් ජීවත් විය හැකි swordfish වැනි දීර්ඝ කාලයක් ජීවත් වන විශේෂයන් සම්බන්ධයෙන් එය ගැටළුවක් පමණක් බව ඔහු පවසයි. 

    swordfish වල රසදිය සාන්ද්‍රණය 0.995 PPM වන අතර සාමාන්‍ය යෙන් අවුරුදු හතරක් හෝ පහක් ජීවත් වන සැමන් මත්ස්‍යයින්ගේ එම අගය 0.014 ක් පමණ වේ. 

    එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂණ ඒජන්සිය දැනට කියා සිටින්නේ ගර්භනී කාන්තාවන් සඳහා සතියකට එක් ආහාරයක් අනුභව කරන්නේ නම් එක් වේලක් සඳහා ඉහළම රසදිය සාන්ද්‍රණය 0.46 PPM බවයි.

    නමුත් පෘථිවිය උණුසුම් වන විට සාගරයේ ඇති රසදිය මට්ටම ඉහළ යා හැකි බවට සාධක ඇති බැවින් ගැටළුව තවත් උග්‍ර වේ. ආක්ටික් හිම තට්ටු දියවන විට, ශීත කළ භූමියේ සිරවී ඇති රසදිය ජල මාර්ගවලට මුදා හරින බව  පර්යේෂණවලින් හෙළි වී තිබේ .

    රසදිය කුඩා අවදානමක් වන අතර, නේපියර් පවසන්නේ මාළු වලින් ලබා ගැනීමට තවත් බොහෝ දේ ඇති බවයි – විශේෂයෙන් සමුද්‍ර ඔමේගා 3 marine omega 3 මේ අතර ප්‍රධාන වේ.

    මේද අම්ල Fatty acids

    සැමන්, ටූනා, සාඩින් සහ මැකරල් ඇතුළු තෙල් සහිත මාළු පාරිභෝජනය හෘදරෝග ඇතිවීමේ අවධානම අඩු කරයි. එහි සාගර ඔමේගා 3, මේද අම්ල අයිකොසපෙන්ටෙනොයික් අම්ලය  fatty acids eicosapentaenoic acid (EPA)  සහ ඩොකොසහෙක්සෙනොයික් අම්ලය docosahexaenoic acid (DHA) බහුලව අන්තර්ගත වේ.

    හණ ඇට සහ walnuts වැනි සමහර ශාක පදනම් කරගත් ප්‍රභවයන් ඔමේගා 3 වලින් පොහොසත් වේ. ALA. 2014 අධ්‍යයනයකින් නිගමනය වී ඇත්තේ ශාක පදනම් කරගත් ඔමේගා 3 හි හෘද සෞඛ්‍ය ප්‍රතිලාභ EPA සහ DHA සමඟ සැසඳිය හැකි නමුත් එය උපස්ථ කිරීමට තවමත් පර්යේෂණ සිදු වී නොමැති බවයි. කෙසේ වෙතත්, ඔබට ඇල්ගී අතිරේකවල සහ ආහාරයට ගත හැකි මුහුදු පැලෑටි වල EPA සහ DHA යන දෙකම සොයාගත හැකිය .

    EPA සහ DHA යන දෙවර්ගයම මිනිස් පරිවෘත්තීය ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, නමුත් අපට ඒවා අපගේ ශරීර තුළ ඉතා effectively ලදායී ලෙස සාදා ගත නොහැක, එබැවින් ඒවා අපගේ ආහාරයේ කොටසක් ලෙස තබා ගැනීම සැබවින්ම වැදගත් වේ – ජොනතන් නේපියර්

    “ඊපීඒ සහ ඩීඑච්ඒ යන දෙවර්ගයම මිනිස් පරිවෘත්තීය ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නමුත් අපට ඒවා අපගේ ශරීර තුළ ඉතා ඵලදායී ලෙස සාදා ගත නොහැක. එබැවින් ඒවා අපගේ ආහාරයේ කොටසක් ලෙස තබා ගැනීම ඇත්තෙන්ම වැදගත් වේ” යැයි නේපියර් පවසයි.

    අපගේ මොළයේ, දෘෂ්ටි විතානයේ සහ වෙනත් විශේෂිත පටක වල DHA බහුල වේ. EPA සමඟින් ශරීරයේ ඇතිවන දැවිල්ල සමග සටන් කිරීමට එය උපකාරී වන අතර එය හෘද රෝග, පිළිකා සහ දියවැඩියාව ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වේ.

    “සමුද්‍ර ඔමේගා 3 සෞඛ්‍යයට ඇති කරන බලපෑම දෙස බලන ජනගහන දත්ත ස්ථාවර හා ශක්තිමත් වන අතර, ඊපීඒ සහ ඩීඑච්ඒ වැඩි වශයෙන් ආහාරයට ගන්නා පුද්ගලයින්ට පොදු රෝග, විශේෂයෙන් හෘද රෝග හා ඒවායින් මිය යාමේ අවදානම අඩු බව පෙන්නුම් කරයි” එංගලන්තයේ සදම්ටන් විශ්ව විද්‍යාලයේ මානව සංවර්ධන හා සෞඛ්‍ය අංශ ප්‍රධානී පිලිප් කැල්ඩර්.

    ඔමේගා 3 ලබා ගන්නා අතරතුර රසදිය නිරාවරණය වීමෙන් ඇති විය හැකි හානිය වළක්වා ගත හැකි එක් ක්‍රමයක් නම් මාළු තෙල් අතිරේක ලබා ගැනීමයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙනුවෙන් මෑතකදී කරන ලද පර්යේෂණයකින් ඔමේගා -3 අතිරේක සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳව සොයා බැලූ විට තෙල් සහිත මාළු අනුභව කිරීමට සමාන බලපෑමක් නොමැති බව සොයා ගන්නා ලදී.මාළු තෙල් අතිරේකයන්ගෙන් ඔබට ඔමේගා 3 ලබා ගත හැකි වුවද, ඒවා තෙල් සහිත මාළු ආහාරයට ගැනීම තරම් effective ලදායී නොවේ (ණය: ගෙටි රූප)

    මාළු තෙල් අතිරේකයන්ගෙන් ඔබට ඔමේගා 3 ලබා ගත හැකි වුවද, ඒවා තෙල් සහිත මාළු ආහාරයට ගැනීම තරම් ඵලදායී නොවේ

    “අපගේ ශරීර විශේෂිත පෝෂ්‍ය පදාර්ථයක හෝ අමුද්‍රව්‍යයක තනි පෙත්තකට වඩා සම්පූර්ණ ආහාර පරිවෘත්තීය කිරීමට අනුගත වේ” යනුවෙන් නේපියර් පවසයි.

    “අපගේ සොයාගැනීම් මඟින් කිරීටක හෘද රෝගවලින් මිය යාමේ අවදානම අඩු කිරීමේ දී ඉතා සුළු වාසිදායක බලපෑමක් ඇති කරයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයන පර්යේෂකයෙකු වන ලී හූපර් පවසයි.

    නමුත් හූපර් වැනි ජනගහන අධ්‍යයනයන්හි ගැටලුවක් තිබේ. සාඩින් වැනි සමහර තෙල් සහිත මාළු සාපේක්ෂව මිල අධික නොවන අතර මාළු සාමාන්‍ය යෙන් මිල අධික ආහාර වේලක් සමග සම්බන්ධ වේ. සමාජ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය ප්‍රතිඵල කෙරෙහි බලපාන බව බොහෝ දෙනා පිළිගෙන ඇත. එබැවින් වැඩියෙන් මාළු අනුභව කරන පවුල්වලට ඉහළ ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තිබිය හැකිය.

    සාමාන්‍යයෙන් පර්යේෂකයන් එවැනි ව්‍යාකූල සාධක සැලකිල්ලට ගනු ඇතැයි කැල්ඩර් පවසයි. නමුත් අධ්‍යයනයේ ප්‍රතිඵල මඟ හැරිය හැකි සෑම දෙයක් ගැනම ඔවුන් නොසිතනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අධ්‍යයන 79 ක සමාලෝචනයක් වන අතර, ඒ සෑම එකක්ම සහභාගිවන්නන්ගේ සමාජ ආර්ථික තත්ත්වය සඳහා ඔවුන් පාලනය කළ ආකාරය අනුව වෙනස් වනු ඇත.මාළු සාමාන්‍යයෙන් වඩා මිල අධික ආහාර වේලක් සමඟ සම්බන්ධ වේ - එසේනම් වැඩි මාළු අනුභව කරන අය වැඩි ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න විය හැකිද?  (ණය: ගෙටි රූප)

    මාළු සාමාන්‍යයෙන් වඩා මිල අධික ආහාර වේලක් සමඟ සම්බන්ධ වේ. එසේනම් මාළු වැඩියෙන් අනුභව කරන අය වැඩි ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න විය හැකිද? 

    නමුත් අහඹු ලෙස කණ්ඩායමකට පුද්ගලයින් අනුයුක්ත කර ඇති අතර ඔමේගා -3 අතිරේක ගැනීම වැනි මැදිහත්වීමක් මනිනු ලබන මැදිහත්වීමේ පරීක්ෂණ, ගැටළු ද ඇත. නිදසුනක් ලෙස, ඊපීඒ සහ ඩීඑච්ඒ ඌනතාවයේ ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් විශ්ලේෂණය කිරීම දුෂ්කර ය, කැල්ඩර් පවසයි.

    මීට අමතරව, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ මාළු සෑම කෙනෙකුගේම සෞඛ්‍යයට විවිධ මට්ටම්වලට බලපෑම් කළ හැකි බවයි. මෙම වෙනස පුද්ගලයෙකුගේ සමස්ත ආහාර රටාව හා ජීවන රටාව දක්වා පහළ විය හැකි බව කැල්ඩර් පවසයි, නමුත් ජානමය වෙනස්කම් ද ඊට හේතු විය හැකිය.

    මසුන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනස් වීමට තවත් හේතුවක් වන්නේ මාළු ඇති කරන ආකාරයයි.

    සමුද්‍ර පරිසර පද්ධති ඔමේගා -3 වලින් පිරී ඇත: කුඩා මසුන් සමුද්‍ර ප්ලවාංග අනුභව කරන අතර විශාල මාළු ඔවුන් ආහාරයට ගනී. මේ ආකාරයට මුළු ආහාර දාමය ඔමේගා -3 හරහා මිනිසුන්ට ගමන් කරයි. නමුත් මාළු ගොවිපොළවල වගා කරන මසුන් සඳහා මෙම ආහාරදාම පද්ධතිය වෙනස් වේ.

    “මාළු ගොවිපලක, එය කූඩුවක මසුන් දහස් ගණනක් පමණයි. මාළු ගොවියා දෙන දේ ඔවුන් කනවා, ”නේපියර් පවසයි.

    ගොවිතැන් කරන මසුන්ට සාමාන්‍යයෙන් කුඩා මත්ස්‍ය විශේෂ පෝෂණය වේ. කෙසේවෙතත්, සාගරයේ හෝ වෙනත් ස්වභාවික පරිසර පද්ධතියක වැඩෙන මාළු විවිධාකාර කුඩා මාළු අනුභව කරනු ඇත. 

    ගෝලීය ජලජීවී වගාව අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළත්  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව, මාළු තෙල් සඳහා වැඩි වන ඉල්ලුම යනු ගොවිතැන් කරන මසුන්ට ලබා දෙන මාළු ආහාරයේ අඩංගු තෙල් අඩුවීමයි. එයින් අදහස් වන්නේ අපි පරිභෝජනය කරන මාළු වල ඔමේගා -3 ප්‍රමාණයද අඩුවෙමින් පැවතීමයි.මාළු තෙල් අතිරේක සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු අප ගන්නා මාළු වල ඔමේගා 3 මට්ටම පහත වැටීමයි (ණය: ගෙටි රූප)

    මාළු තෙල් අතිරේක සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු අප ගන්නා මාළු වල ඔමේගා 3 මට්ටම පහත වැටීමයි

    “සෑම වසරකම සාගරයෙන් පිටතට එන සීමිත ඔමේගා මාළු තෙල් වර්ග තිබේ. ‘අපට ලැබී ඇත්තේ එපමණයි,” ඔහු පවසයි. 

    “ජලජීවී වගාව පුළුල් වන නමුත් මිනිසුන්ගේ ආහාර වේලට ඇතුළත් කළ යුතු වැදගත්ම ආදානය වන මාළු තෙල් සම්පූර්ණයෙන්ම ස්ථිතික නම්, ඔබ මසුන්ට කොපමණ ප්‍රමාණයක් පෝෂණය කළ යුතුද යන්න තනුක කරයි.”

    ගොවිපොළ මගින් වගා කරන ලද සැමන් මසුන් තුළ ඊපීඒ සහ ඩී.එච්.ඒ මට්ටම දශකයක් තුළ අඩකින් අඩු වී ඇති බව 2016 දී කරන ලද පර්යේෂණයකින් හෙළි විය. ගොවිතැන් කළ සැමන් මත්ස්‍යයින් තුළ සාගරයේ ජීවත් වන සැමන් මසුන්ට වඩා ඔමේගා -3 තවමත් ඇති බව නේපියර් පවසයි.

    ‘‘සැමන් මත්ස්‍යයා අත්ලාන්තික් සාගරය හරහා ඉදිරියට පීනයි. ඔහු කෙට්ටු සතෙක්. ඔහු පරිභෝජනය කරන සෑම දෙයක්ම දහනය කරන නිසා ඔහු තුළ මේදය ඉතිරි නොවේ, ”ඔහු පවසයි.

    Brain food

    ඔමේගා -3 හැරුණු විට මාළු වල ‘සෙලීනියම්‘ ඇතුළු වෙනත් ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ ඇති අතර සෛල හානිවලින් හා ආසාදනවලින් ආරක්ෂා කරයි. නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියකට සහාය වන  අයඩින් සහ ප්‍රෝටීන් ඒ තුළ අන්තර්ගතය.

    මාළු දිගු කලක් තිස්සේ ‘මොළයේ ආහාර Brain food ලෙස වර්ණනා කර ඇත. මෑත අධ්‍යයනයකින් ඇඟවෙන්නේ මෙය එහි ඔමේගා -3 අන්තර්ගතයට ස්තූතිවන්ත නොවන බවයි. (අධ්‍යයනවලින් ඔමේගා -3 හා මන්දගාමී සංජානන පරිහානිය අතර සම්බන්ධයක් සොයාගෙන ඇත)

    පර්යේෂකයෝ සොයා ගත් පරිදි බේක් කරන ලද හෝ broiled fish ආහාරයට ගැනීම මොළයේ පරිමාවන් සමඟ සම්බන්ධ වේ.

    වැඩිදියුණු කළ සෞඛ්‍යය හා රෝග සමඟ අපගේ මොළයේ පරිමාව වෙනස් වේ. 

    70 දශකයේ අග භාගයේ සිටි 163 දෙනෙකුගේ මාළු ආහාර ගැනීමේ පුරුදු සහ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාව පර්යේෂකයන් සාමාන්‍යයෙන් සසඳා බැලීය. කිසිදු මාළු වර්ගයක් ආහාරයට නොගත් සහභාගිවන්නන් හා සසඳන විට, සතිපතා මාළු අනුභව කළ අයට විශාල මොළයේ පරිමාවක් ඇති බව ඔවුන් සොයා ගත්හ. (වැඩි වශයෙන් ඔවුන්ගේ ඉදිරිපස කොටසේ) ඔවුන්ගේ තාවකාලික මතකය සඳහා එය ඉතා වැදගත් වේ. (ඉගෙනීම සහ සංජානනය)

    මාළු හා මොළය අතර ඇති සම්බන්ධය ප්‍රති-ගිනි අවුලුවන බලපෑමක් ඇති මත්ස්‍යයන් දක්වා අඩු විය හැකි බව රාජි පවසයි, මන්ද දැවිල්ල අඩු කිරීමට මොළය ප්‍රතිචාර දක්වන විට එය ක්‍රියාවලියේ මොළයේ සෛල වලට බලපෑම් කළ හැකි බැවිනි.

    “මෙයින් අදහස් කරන්නේ ඔබට මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර ඇල්සයිමර් රෝගය ද වළක්වා ගත හැකිය” යනුවෙන් රාජි පවසයි. 

    ඩිමෙන්ශියාවට මොළය හැකි තරම් ඔරොත්තු දීමේ හැකියාව සඳහා, ඔබ වයස විසි ගණන්වල හෝ තිස් ගණන්වල පසුවන විට අවම වශයෙන් සතියකට වරක්වත් මාළු ආහාරයට ගැනීම ආරම්භ කිරීමට රාජි උපදෙස් දෙයි.

    මාළු සහ මුහුදු ආහාර සෞඛ්‍ය සම්පන්න වීමට එක් හේතුවක් වන්නේ ඒවා අපගේ ආහාර වේලෙහි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර ආදේශ කිරීමයි (ණය: ගෙටි රූප)

    මාළු සහ මුහුදු ආහාර සෞඛ්‍ය සම්පන්න වීමට එක් හේතුවක් වන්නේ ඒවා අපගේ ආහාර වේලෙහි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර ආදේශ කිරීමයි

    තවමත්, මාළු අනුභව නොකරන පුද්ගලයින්ට ප්‍රධාන සෞඛ්‍ය අඩුපාඩුකම් යෝජනා කරන ශක්තිමත් පර්යේෂණ නොමැති හෙයින්, කැල්ඩර් පවසන්නේ සමස්ත මිනිස් සෞඛ්‍යයට මාළු අත්‍යවශ්‍ය යැයි නිශ්චිතව පැවසීම දුෂ්කර බවයි. කෙසේ වෙතත්, ඔමේගා -3 සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර රෝග අවදානම අඩු කරන බව පැහැදිලිය.

    නමුත් මාළු කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව සොයා බැලීම බොහෝ කලකට පසු වැදගත් කරුණකි. 

    “මාළු තිරසාර ආහාර ප්‍රභවයක් නොවන බැවින්, පර්යේෂණයන් දැන් මාළු පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් වෙනුවට ඇල්ගී වගා කිරීම සහ ඔමේගා -3 තෙල් අස්වැන්න නෙළා ගැනීම වැනි විසඳුම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත” යනුවෙන් කැල්ඩර් පවසයි.

    ලබා ගත හැකි වඩාත්ම තිරසාර මත්ස්‍ය විශේෂ තෝරා ගැනීමෙන් පුද්ගලයන්ට උපකාර කළ හැකිය. සමුද්‍රීය සංරක්ෂණ සමිතිය වැනි මාර්ගෝපදේශකයින් පෙන්වන්නේ විශේෂ 133 න් 50ක්ම තිරසාර, “හොඳ” තේරීම් ලෙස ලැයිස්තුගත කර ඇති බවයි. වාසනාවකට මෙන්, ගොවිතැන් කරන ලද සැමන්, ඉස්සන්, කෝඩ්, මැකරල් වැනි ජනප්‍රිය ප්‍රියතමයන්. බෙල්ලන් සහ ගොවිතැන් කරන ලද හැලිබුට් ද මේ අතර සිටී.

    2020 දෙසැම්බර් 13 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    සැර වෛරසය‘ නැතහොත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘ සැලකෙන්නේ මේ වන විට ගෝලීය වශයෙන් පැතිරෙන කොවිඩ් වෛරස් ප්‍ර භේද අතර බිහිසුණුම වෛරසය ලෙසයි. මේ වන විට ලංකාවෙන් ද ස්ථාන කිහිපයකින් ඩෙල්ටා ආසාදිතයින් කිහිප දෙනකු හමුවී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය අද (29) ප්‍රකාශ කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් තවත් සති 10කින් ඩෙල්ටා ප්‍ර භේදය ලංකාවේ වසංගතයේ කේන්ද්‍රය විය හැකි බවයි.

    මේ තත්ත්වය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍ර භේදය සහ එහි රෝග ලක්ෂණ ඇතුළු වැදගත් කරුණු ගැන ඔබව නිසි පරිදි දැනුවත් කිරීමට අපි තීරණය කළා. මේ ඒ ගැන…

    හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

    එක්සත් රාජධානියේ ‘Zoe’ කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු තරුණ තරුණියන්ට “අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්” දැනිය හැකි බවය.

    ඔවුන්ට එතරම් අසනීප තත්ත්වයක් නොදැනෙන නමුත්, ඔවුන්ගෙන් රෝගය බෝ වීමෙන් අන් අය අවදානමට ලක් විය හැකිය.

    තමන්ට කොවිඩ් වැළදී ඇතැයි සිතෙන ඕනෑම අයෙකු පරීක්ෂණයක් සිදු කළ යුතුය.

    යම් පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වන්නේ:

    • කැස්ස
    • උණ
    • ගඳ සුවඳ හෝ රසය නැතිවීම

    නමුත් මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ දැන් මෙම ලක්ෂණ වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවය. කොවිඩ් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති ජංගම දුරකථන යෙදුමකට දහස් සංඛ්‍යාත පුද්ගලයින් ඇතුළත් කළ දත්ත පදනම් කරගෙන Zoe කණ්ඩායම මෙම නිරීක්ෂණ සිදුකර ඇත.

    “මැයි මස ආරම්භයේ සිට, අපි යෙදුම් භාවිත කරන්නන් අතර වැඩියෙන් ඇති රෝග ලක්ෂණ දෙස බලා සිටියා. ඒවා පෙර ඒවාට සමාන වුණේ නැහැ,” ඔහු පැවසීය.

    මෙම වෙනසට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරී යාම හා බැඳී ඇති බව පෙනේ. එය ප්‍රථම වරට වාර්තා වූයේ ඉන්දියාවෙනි. මේ වන විට එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.

    මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ උණ රෝග ලක්ෂණය බහුලව පවතින නමුත් ගඳ සුවඳ නැතිවීම තවදුරටත් පළමු රෝග ලක්ෂණ 10 තුළ දක්නට නොලැබෙන බවය.

    ‘අමුතු’ හැඟීම

    “මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා,” ඔහු පවසයි.

    “යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒත් සාදවලට පිටත්ව යනවා. එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්.

    “අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.

    “මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි.

    “එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න.”

    මාංශ පේශි කැක්කුම

    ඒ හා සමානව, ඇල්ෆා නැත්නම් එක්සත් රාජධානියේ ප්‍රභේදය එරට ප්‍රමුඛ වූ විට, එංගලන්තයේ මිලියනයකට අධික පිරිසක් යොදාගෙන ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් කළ ‘ප්‍රතික්‍රියා අධ්‍යයනය’ මගින් කොවිඩ් හා සම්බන්ධ අතිරේක රෝග ලක්ෂණ රාශියක් සොයා ගෙන තිබිණි.

    වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව සීතල, ආහාර රුචිය නැතිවීම, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැනි ලක්ෂණ ද බහුලව වාර්තා වී තිබිණි.

    එක්සත් රාජධානි රජයේ උපදෙස් අනුව කොවිඩ් රෝගයේ වැදගත්ම රෝග ලක්ෂණ වන්නේ:

    • අලුතෙන් වැළඳුණු දිගටම පවතින කැස්ස
    • ඉහළ ශරීර උෂ්ණත්වය
    • ගඳ සුවඳ හෝ රසය නැතිවීම හෝ වෙනස් වීම

    “කොවිඩ් -19 හා සම්බන්ධ තවත් රෝග ලක්ෂණ කීපයක් තිබේ,” ඔවුහු පවසති.

    “මෙම අනෙකුත් රෝග ලක්ෂණවලට තවත් හේතුවක් තිබිය හැකි අතර ඒවා කොවිඩ් -19 පරීක්ෂණයක් වෙත යොමු වීම සඳහා තනි හේතුවක් නොවේ.

    “ඔබ ඔබේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

    බී.බී.සී ඇසුරිනි

  • පළමු එක්දින තරගයෙන් එංගලන්තයට පහසු ජයක්

    පළමු එක්දින තරගයෙන් එංගලන්තයට පහසු ජයක්

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද (29) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුළු 05ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 වෙත ළගාවීමට නොහැකි වූ අතර පන්දුවාර 42.3කදී ලකුණු 185කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුළු දැවී ගියා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34.5කදී කඩුළු 05කට ලකුණු 189ක් වාර්තා කරමින් තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 81කට ලකුණු 73ක් සහ වනිදු හසරංග පන්දු 65කට ලකුනු 54ක් වාර්තා කළා.

    එංගලන්තය වෙනුවෙන් ජෝ රූට්ස් පන්දු 89කට ලකුණු 79ක් වාර්තා කළ අතර දුෂ්මන්ත චාමර ලකුණු 50කට කඩුළු 03ක් වාර්තා කළා

  • කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

    කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

    ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය. ‘රටේ සෞඛ්‍යමය අවදානම කිසිසේම පහව ගොස් නැහැ. ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙනවා. මේ තත්වය නිසා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එසේ කටයුතු නොකළහොත් ලොකු අවදානමක් මතුවිය හැකියි. කොරෝනාවලින් වැඩියෙන්ම මිය යන්නේ 60ට වැඩි අයයි. ඒ පිරිස්වලට එන්නත් එන්නත්කරණයේදි වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ නිසා‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.

    මේ අතර බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා ලොකු කොරෝනා අවදානමක් මතුවී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

  • ‘මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න රාජපක්ෂ පවුලට බැහැ‘ – ජවිපෙ නායක අනුර කුමාර

    ‘මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න රාජපක්ෂ පවුලට බැහැ‘ – ජවිපෙ නායක අනුර කුමාර

    “ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද?” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.

    බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේද කීවේය,

    “කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත්වුණු ආණ්ඩුව සහ නායකයා බවට මේ ආණ්ඩුවත් ගෝඨාභය ජනාධිපතිවරයාත් පත්ව සිටිනවා. තමන් මුහුණ දෙන පීඩනයන්ට එරෙහිව, තමන් මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ සමාජ කණ්ඩායම් මැදිහත්වීම් කරනවා. නමුත් ආණ්ඩුව විටෙක පොලීසිය යොදා ගනිමින්, තව විටෙක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින්, තව විටෙක මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම්වලට මර්දනය දියත් කර තිබෙනවා.

    පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විවිධ කරුණු ලියන කියන අය හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම් සිදුකළා. ආණ්ඩුවට විරුද්ධව ජනතාවගේ පැත්තෙන් යමක් ලියන්න හෝ ප්‍රකාශ කරන්න ඉඩ නොදී බියගැන්වීමට උත්සාහ කරනවා. පසුගිය කාලය පුරා ආණ්ඩුව මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. අනික් පැත්තෙන් උද්ඝෝෂණවලට පොලීසිය යොදවා පහරදීම් සිදුකරනවා. මෝදර ප්‍රදේශයේ පැවති සාධාරණ ධීවර උද්ඝෝෂණයකට පහර දුන්නා. පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් ජනතාවගේ එකම ජීවනෝපාය ධීවරයන්ට අහිමිවුණා. ඒ වගේම තෙල් මිල ඉහළ ගිහින් පීඩාවකට පත්ව සිටිනවා. ඒ උද්ඝෝෂණයේදී පුද්ගලයන් පැහර ගෙන යන්නත් පොලිසිය යොදවා ප්‍රහාරය එල්ල කරන්නත් ක්‍රියා කළා. අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට හා පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව ශිෂ්‍යයන් ගෙනගිය සාමකාමී උද්ඝෝෂණට පොලීසිය යොදවා මර්දනය දියත් කළා. ඒ වගේම විවිධ කරුණු ඉදිරිපත් කරන සමාජ ක්‍රියාකාරිකයින්ගේ නිවෙස්වලට රාත්‍රියේ පොලීසිය යොදවා පැහැරගැනීම් කළ අයුරු අපි දැක්කා. ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ වංචා-දූෂණ හා අපරාධ හෙළිකරව් කරන බොහෝ පිරිස් හඹාගෙන ගොස් මර්දනය කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩුව යෙදී සිටිනවා.

    එහි උච්ඡතම අවස්ථාවක් 27වැනිදා මහියංගන රිදීමාලියද්දේදී සිදුකළා. උඩ සිට පහළට ඉන්න ආණ්ඩුවේ දේශපාලකයන් සියලු දෙනා මහජනයාගේ දේපොළ නාස්ති කිරීම හා හොරකම් කිරීම මහජන ධනය විනාශ කිරීම සිදුකරනවා. එවැනි උදාහරණයක් රිදීමාලියද්ද මාර්ගයක් ඉදිකිරීමේදී සිදුකර තිබෙනවා. ග්‍රාමීය මාර්ග ලක්‍ෂයක් ඉදිකිරීමේ වැඩසටහන අනුව ඉදිකළ මාර්ගයක් මේක. මේවාට යොදවන්නේ මහජනයාගේ බදු මුදල්. ඒ නිසා ඒ මුදල් යොදවන ආකාරය පිළිබඳව ජනතාව විමසිලිමත්වීම අතිශය වැදගත්. ඒ ගම්වාසීන් කිව්වේ පාර ප්‍රමිතියෙන් තොරව ඉදිකර මුදල් යටිමඩි ගසා අනාරක්‍ෂිත තත්වයට මාර්ගය ඉදිකර ඇති බවයි. ඒ පාරේ පැති බැම්මක් වෙනුවට හිස් බැරල් කිහිපයක් හිටවා තිබෙනවා. මේ නිසා මුළු පාරම කඩාගෙන වැටෙනවා. පැති බැම්මට වෙන්කළ මුදල් යටිමඩි ගහගෙන හිස් බැරල් ගෙනල්ලා තියලා. මහජනයා පාරට බැහැලා කිව්වේ “ජීවිත අනතුරේ – පැති බැම්ම ඉදි කරනු” කියලා. පස්සර පාරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුදායි තත්වයක තිබීමෙන් බස් රථයක් ප්‍රපාතයට පෙරළී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවුණා. මේ තිබෙන්නේ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. ගම්වාසීන් පාරට බැහැලා උද්ඝෝෂණය කළේ ඒ නිසයි. මෙවැනි උද්ඝෝෂණවල වැරැද්දක් පේන්නේ හොරෙකුට විතරයි.

    මහියංගන ආසනයේ අපේ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී බලගල්ල සහෝදරයා ඒ පැති බැම්ම බලන්න ගියා. එතෙන්ට මැර කණ්ඩායම් පැනලා පා පහර එල්ල කරමින් වාහනයකට හේත්තුකර තර්ජනය කරමින් ක්‍රියාකළ ආකාරය ඔබ දකින්න ඇති. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මැර කණ්ඩායමක් ඇවිත් හිටියා. රැකියා ලක්‍ෂය යටතේ බඳවා ගත් තරුණයන් සහ ප්‍රාදේශීය සභාපතිවරයා එක්ක මැර ක්‍රියාවල යෙදෙන කණ්ඩායමක් එතැන හිටියා. ප්‍රාදේශීය සභාවේ වාහනවල මේ මැර කණ්ඩායම් ආවා. ගම්වාසීන්ට ප්‍රහාරයක් එල්ල කළේ මේ කණ්ඩායමයි. ගම්වල අහිංසක පුරවැසියන් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවේ ඔවුන්ට පහර දෙනවා. මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නැද්ද? උඩ ඉඳලා පහළටම මැරකම්වලින්, ත්‍රාඩකම්වලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතන කණ්ඩායමක් මේක. ගෝඨාභය රාජපක්‍ෂගේ මානසිකත්වය ක්‍රියා කරන්නේ ජනතාව බිය වද්දලා, රාජ්‍ය සේවකයන් බිය වද්දලා, මහ බැංකු නිලධාරීන් බිය වද්දලා රට පාලනය කිරීම. ජනාධිපතිවරයාගේ ආදර්ශය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

    මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ සභාපතිවරු ගොඩක් අය ප්‍රදේශයේ මැර කණ්ඩායම්වල නියෝජිතයෝ. ප්‍රාදේශීය ජාවාරම්කරුවන්. වැලි ගොඩ දැමීම, ගස් කැපීම, ඇතුළු සියලුම නීතිවිරෝධී වැඩවලට නායකත්වය දෙන්නේ මොවුන්. මේ සභාපතිවරයා කොන්ත්‍රාත්කරුවෙක්.

    කොන්ත්‍රාත්කරුවා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති. අපේ රටේ දේශපාලනයේ විශාලතම ඛේදවාචකය මේ තුළින් පෙනෙනවා. මැරයන් අපරාධකරුවන්, වංචනිකයන් ජනතා නියෝජිත ආයතනවල ඉහළම පුටුවල ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපේ බලගල්ල සහෝදරයා රිදීමාලියද්ද පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. ගම්වාසීනුත් පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට දහ දෙනෙක් පමණ අත්අඩංගුවට ගත්තත් මැරයන්ගේ නායකයා අත්අඩංගුවට ගෙන නැහැ. මේකත් එක නාටකයක්. සමාජ විරෝධයක් මතු වුණාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියෙන් ඇප ලබාගෙන රතිඤ්ඤා පත්තු කරලා ගෙදර යනවා. එවැනි සංස්කෘතියකුත් අපේ රටේ නිර්මාණය වෙමන් තිබෙනවා. මේ මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා බල කරමින් අද දිනයේ රිදීමාලියැද්ද ප්‍රාදේශය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවා.

    ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද? තමන්ගේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මැර කණ්ඩායම් එක්ක ගම්වලට පැන පහර දෙන එක ගෝඨාභය රාජපක්‍ෂගේ විනයද? ඔවුන්ගේ බලය තිබෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දරන අතර ඉහළ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දරනවා. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව මොකක්ද කියලා ගෝඨාභය රාජපක්‍ෂ රටට කියන්න. ගම්වැසියන්ට පහර දීම ගෝඨාභය රාජපක්‍ෂ අනුමත නොකනවා නම් පොලීසිය හරහා නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මේ මැරයන්ට විරුද්ධව දේශපාලන තීන්දුවකුත් ගතයුතු වෙනවා. එක නීතියක් තිබෙන රටක්, වාක්‍ය විතරක් වෙන්න බැහැ. ඒවාට පණ දෙන්න නම් මේ සභාපතිවරයා ඇතුළු මැරයන් පිළිබඳව දේශපාලන පක්‍ෂයක් හැටියට ගන්නා තීන්දුව මොකක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරිපත්වූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂ. ඒ පක්‍ෂයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයෙක් වුණු මැරයෙක් දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. ඔහු සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව රටට පැහැදිලි කරන්න ඕනෑ.

    අපි ජනතාවට කියන්නේ සාධාරණ උද්ඝෝෂණවලට, සාධාරණ හඬනැගීම්වලට එරෙහිව මැරයන් යොදවන ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම බලපෑම් කරන්න අපි සූදානම්. ක්‍රමානුකූලව වර්ධනය වෙමින් එන මර්දනකාරී මේ වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේත් මාධ්‍යවේදීන් හැටියට ඔබේත් මේ රටේ පුරවැසියන්ගේත් විශාල වගකීමක් බව අපි අවධාරණය කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

    “කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක මූලිකත්වය සෞඛ්‍ය අංශවලට දෙන්න ඕනෑ. නමුත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ කැඳවා පසුගිය දවසක ගෝරනාඩුවක් කළා. වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා වාර්තා හංගන බවට චෝදනා කර වෙනත් තනතුරකට දැම්මා. නිවැරදි ආකාරයට මේ තොරතුරු එකතු කරගන්නවත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට බැරිනම් පහුගිය කාලයේ මොකක්ද කරලා තියෙන්නේ? පී.සී.ආර්. අඩු කරලා ආසාධිතයන් හංගන එකනම් කාර්ය සාධක බලකාය කරලා තියෙන්නේ ඒ බලකාය කටයුතු කරන්නේ දේශපාලන වුවමනාවන් අනුව. මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය විතරක් නෙවෙයි ඩෙල්ඩා ප්ලස් එකත් ලංකාවට ඇවිත් කියලා අනතුරු ඇඟවීම් තියෙනවා. එහෙම නම් පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කළ යුතුයි. නමුත් මීට දවස් තුනකට කලින් පී.සී.ආර්. ප්‍රමාණය 14,000කට අඩුකර තිබුණා. පී.සී.ආර්. පරීක්‍ෂණ අඩුකර ආසාධිතයන් අඩුබව පෙන්වනවා. නමුත් කළ යුත්තේ පී.සී.ආර්. වැඩිකරලා අපේ රටේ කොතරම් ව්‍යාප්ත වෙනවාද කියන එක තේරුම් ගෙන ක්‍රියා කිරීමයි. සෞඛ්‍ය විශේෂඥයන් මුල්කරගත් කාර්යසාධක බළකායක් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ වසංගත විශේෂඥයන්ට සිදුවී තිබෙන්නේ ආණ්ඩුව ගන්න දේශපාලන ක්‍රියාමාර්ගවලට අනුව දත්ත හසුරුවන එකයි. ඒ නිසා කාර්යසාධක බළකාය වගකීම් විරහිත එකක් බවට පත්වී තිබෙනවා.

    සිනොවැක්ස් එන්නත මිලදී ගැනීමේදී චීන පුද්ගලික සමාගමක් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා. ලංකාවේ පුද්ගලික සමාගම රජයේ හෝ රජයට සම්බන්ධ එකක් විය යුතු බව. එන්නත් ලක්‍ෂ 130ක් මිලදී ගන්නා අතර ලක්‍ෂ 30ක් සඳහා අත්තිකාරම් ගෙවා ඉතිරි ලක්‍ෂ 100 එල්.සී. ඕපන් කර මිලදී ගන්නත් ඕනෑ. ඊළඟ කොන්දේසිය එන්නතක මිල ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි යන්න. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් මිලදී ගන්නා මේ රටේ ජනතාවට ලබාදෙන එන්නතක මිල කීයද කියලා දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. එන්නතේ මිල හෙළිකිරීමෙන් මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම ගැන කොන්දේසියක් පනවනවා නම් ඒක බරපතළ තත්වයක්. සිනෝෆාම් එන්නත ගෙන්වීමේදී බංගලිදේශයට ඩොලර් 10කට පමණ දී තිබුණු එන්නතක් අපි ගත්තේ ඩොලර් 15කට පමණ. වෙනත් රටවල්වලට වෙනත් මිල ගණන්වලට ලබාදී තිබුණා. ඒ නිසා එන්නතක මිල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. වසංගතය මොන තරම් බරපතළ වුණත් මේ ගනුදෙනුවල තිබෙන පාරදෘෂ්‍යභාවය අහුරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.”

    ජවිපෙ නායක අනුර දිසානායක…

    “මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න මහින්ද රාජපක්‍ෂට බැහැ, එය කළ හැකි වන්නේ ගෝඨාභය රාජපක්‍ෂට කියලා මීට පෙර ප්‍රචාරය කළා. ඒ අවස්ථාවේ ගෝඨාභයට මහින්ද වැඩ කරන්න නොදෙන බවටත් කසුකුසුවක් ප්‍රචාරය කර තිබුණා. දැන් කියන්නේ රටේ අනාගතය බැසිල් රාජපක්‍ෂට නිර්මාණය කරන්න පුළුවන් කියලයි. ඒ කියනකොටම ගෝඨාභය මුළුමනින්ම අසාර්ථක බව කියවෙනවා. අගමැතිවරයාත් අසාර්ථක බව කියවෙනවා. ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් නොතේරෙන බව කියවෙනවා. ඒ නිසා මෙය ගොඩ ගන්න බැසිල් රාජපක්‍ෂ ගේන්න ඕනෑ බව කියනවා. ටික දවසක් ගියාම බැසිල් රාජපක්‍ෂත් කියයි වෙන රාජපක්‍ෂ දරුවෙක් මේ ක ගොඩගන්න ගේන්න ඕන කියලා. මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ පාලනයේ අසාර්ථකකමත් පාලකයන්ගේ අසාර්ථකකමත් තනි තනි පුද්ගලයන්ට පටවා මැජික්කාරයෙක් වගේ ගොඩගන්න පුළුවන් කියලා කියන්නයි. මේ ආණ්ඩුවේ මේ වෙනකං බැසිල් රාජපක්‍ෂ වගකිව යුතු වැඩ කොටසක් ඉටු කළා. ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් ප්‍රධානම මෙහෙයුම් කළේ බැසිල් රාජපක්‍ෂ. 2020 අප්‍රේල් මාසයේ ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා හැටියට බැසිල් රාජපක්‍ෂ පත්කළා. ඒ වගේම අත්‍යාවශ්‍ය මහජන සේවාවන් කොවිඩ් වසංගය හමුවේ මෙහෙයවීමේ සම්බන්ධීකරණ සහ පසු විපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. හැබැයි කොවිඩ් වසංගය උත්සන්න වෙනකොටම රටෙත් නැතිව ගියා. හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. අද ගොවි ජනතාව රට පුරාම පාරට බැහැලා පොහොර නැතුව. බැසිල් රාජපක්‍ෂ අමුතු ජීවියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ සිට ප්‍රධානම මෙහෙයුම්කරුවක් විදිහට සිටියා. ඔහු මේ දක්වා ගෝඨාභය වගේම අසමත් වී සිටිනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මහින්ද, බැසිල්, ගෝඨාභය ත්‍රිත්වයම අසමත්. චමල් රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, නිපුන රණවක කියන පවුලම අසාර්ථකයි. ඔවුන් අනුගමනය කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය, ආණ්ඩුකරණ ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ මැදිහත්වීමත් අසාර්ථකයි. ඒ නිසා අසාර්ථක මැදිහත්වීම්වල සාර්ථකත්වය ලබාගන්න බැසිල් රාජපක්‍ෂ පත්කළ යුතුයි කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් යනවා. මේ අර්බුදය නිර්මාණය කරන්නන් සහ තීව්‍ර කරන්නන් මේ හැම දෙනාමයි.

    ඒ වගේම මෙවැනි පවුලක් අතට මුළු බලයක් දෙන්න ඕනැද කියලා පුරවැසියන් කල්පනා කළ යුතුයි. අර්බුදයේ නිමවුම්කරුවන්ගෙන් වගේම එය තීව්‍ර කරන්නන්ගෙන් විසඳුම් ලබාගන්න පුළුවන්ද කියලා කල්පනා කරන ලෙස අපේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”