Tag: featured

  • e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

    e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online)  පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

    විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

    රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

    ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත් තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

    අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහි දී හෙළිවිය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

    සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා, ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන් වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

    ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e – තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත් මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල  විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

    අදාළ කටයුත්තේ දී ඉගෙනුම්  අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

  • කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති

    මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති ද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී බලවේග වල කසකරුවන් යළිත් දේශපාලන අඩව්වකට සූදානම් වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවයි.

    උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) සිංහල රාවය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ මාධ්‍ය හමුව සදහා සිංහල රාවය පක්ෂයේ මහා ලේකම් ශාලික පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණව සිටින ජනතාවට සහනයක් දීමට රජය අපොහොසත් වීම සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද සදහන් කළහ,

    ‘‘මීට අවුරුද්දකට දෙකකට පමණ පෙර අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී කතා කළ කාරණාවලට හාත්පසින්ම වෙනසක් කාරණා දැන් අපිට කතා කිරීමට සිදුවෙලා තිබෙනවා. එදා අපි රනිල් – මෛත්‍රී – මංගල හවුල රටට කරමින් සිටි විනාශය ගැන ජනතාව දැනුවත් කළා. ඔවුන්ව අවධි කළ. රාජ්‍ය බලයට, මර්දනයට අභියෝග කරමින් අපි, සිංහල ජාතික ව්‍යාපාරය ලෙස අපේ අභීත භික්ෂූන් වහන්සේලා, තරුණ පිරිස සිංහල බෞද්ධයින් දැනුවත් කළා. අවධි කළා.

    එහිදී අපි පටු පුද්ගලික ලාභ බලාපොරොත්තු වුණේ නැහැ. තනතුරු – වරදාන බලාපොරොත්තු වුණේ නැහැ. ගජමිතුරන් පිනවන්න කොන්ත්‍රාත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ එකම අපේක්ෂාව, අරමුණ වුණේ යහපාලන ආණ්ඩුව සහ ඒකට ආවඩන සුළුජන පක්ෂ රටට, සිංහල බෞද්ධයින්ට, සිංහල බෞද්ධ උරුමයට කරමින් තිබූ විනාශයට එරෙහිව ජනතාව අවධි කරවීම, ඔවුන්ව සංවිධානය කරවීම. අවසානයේ රටට, ජනතාවට, එහි සම්පත්වලට ආදරය කරන, ඒවා රැකගත හැකි නායකත්වයක් බලයට ගෙන ඒම.

    මේ ව්‍යායාමය පාවඩ මතින් ගිය ගමන් වුණේ නැහැ. මර්දනය, පොලිස් කූඩුව, නිමක් නැති අවලාද හා අපවාද මතයි අපේ භික්ෂූන් වහන්සේලා, ගිහි ක්‍රියාකාරීන් ඒ ගමන ගියේ. එහි ප්‍රතිඵල තමයි අවසානයේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී නෙළා ගත්තේ. ඒ සතුටට තමයි එදා අපේ තරුණයෝ රටේ තාප්ප පුරා චිත්‍ර ඇන්දේ. රට පුරා පැළ හිටෙව්වේ.

    ඒත් කනගාටුවට වඩා වේදනාවට, පශ්චාත්තාපයට කරුණ වන්නේ අපිට ඒ සතුටට බුක්ති විදින්න ලැබුණේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු කාලයක්. පරණ දේශපාලන ක්‍රමය යළිත් පණ ගහලා ආවා. කුමන්ත්‍රණකරුවෝ, අවස්ථාවාදියෝ, ජාති ආගම් භ්‍රෂ්ඨයෝ මුල්පුටු අල්ල ගත්තා. අවසානයේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් දෙවපු කිරි කළයට මේ කොල්ලකාර කල්ලිය ගොම තලියක් ම දැම්මා. දැන් අපි දැක්ක සිහින, අපේ තරුණයෝ දැක්ක සිහින විනාශ වෙලා ඉවරයි. ඒවාට ආයේත් පණ දෙන එක පහසු නැහැ.

    අපි තාමත් කියන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා සහ මේ රටට – ජාතියට ආදරය කරන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා නිවැරදි වෙන්න. තමන්ට වැරදුණ තැන විමසා බලන්න. අපි බෞද්ධයෝ විදිහට දන්නවා වැපුරුව දේම තමයි කපා ගන්න වෙන්න. හේතුව තමයි ඵලයට මූලික වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැති තුමනි, වැරදුණේ කොතැනද ? කොහොමද කියලා යහපත් සිහියෙන් විමසා බලන්න. අපිට තේරෙනවා මේ ආණ්ඩුවට වැරදුණේ කොහොමද ? කොතැනද ? කියලා. ඒ නිසාම තමයි අපි මේ තාමත් කෑ ගහන්නේ. වද විදින්නේ. මොකද ළමයත් එක්ක කොරහේ වතුර විසි කරන්න අපිට වුවමනාවක් නැහැ. අපි එහෙම කළොත් මොකද වෙන්නේ කියලා අපි හොදාකාරවම දන්නවා.

    දේශපාලන අවස්ථාවාදීන්, ජාති භ්‍රෂ්ඨයෝ, දේශද්‍රෝහීන්, නරි ආයොත් බැල්ලම හෙළනවා. ඒ කල්ලියේ නායකයා, කසකරුවා දැන් පාර්ලිමේන්තුවට එන්න ඇගිලි ගණනිවා. අපිට පේනවා අලුත් රෙදි ඇදගෙන, කසකාරයෝ, ගිනි බෝලකාරයෝ සූදානම් කරගෙන ඇතැමුන් ආයෙත් අඩව්වක් අල්ලන්න කල්යල් බලනවා. මේක කිසිසේත්ම යහපත් දෙයක් හෝ රටට, ආගමට වැඩදායි දෙයක් නෙමෙයි. එදා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අතුගාලා දැම්ම පක්ෂ, නායකයින් ආයෙත් දේශපාලන කරළියට, දියවන්නාවට ඒම කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මැරණ බලවේග වලට පණ දෙන්න බැරි වුණත් මේ ආගමන හරහා භූතයින්, කුම්භාණ්ඩයින් සතුටු වෙන්න පුළුවන්. උන් යළිත් හොල්මන් කරන්න පුළුවන්.

    ඒ නිසයි අපි කියන්නේ කොවිඩ් බොරදියේ මාළු බාන්න මේ අවස්ථාවාදීන්ට, දේශ ද්‍රෝහීන්ඨ. බෞද්ධ විරෝධීන්ට අබමල් රේණුවකවත් අවස්ථාවක් දෙන්න එපා. ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාවට දුන්න ඒ පොරොන්දු ඉටු කරන්න. ඔවුන් හමුවේ තැබූ න්‍යාය පත්‍රය පෙරට ගන්න. වසවිස නැති ගොවිතැන විතරක් නෙමෙයි තවත් ආකර්ෂණීය, ජාතික වශයෙන් අති සංවේදී පොරොන්දු ක්‍රියාත්මක කරන්න.

    මහ බැංකු හොරුන්ට වගේම පාක්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සිය ගණනක් ඝාතනය කළ, මුළු රටක් විනාශ කළ අපරාධකාරයෝ තාමත් යහතින් ජීවත් වෙනවා. රාජ්‍ය සම්පත් විනාශ කළ ද්‍රෝහීන් තාමත් යහතින් ඉන්නවා. වසවිස නැති ගොවිතැන කොන්දේසි විරහිතව ඉදිරියට ගෙනාවා වාගේ ඒ පොරොන්දුත් කොන්දේසි විරහිතව ඉටු කරන්න. එහෙම වුණොත් විතරයි අපිට ජාතික ව්‍යාපාරය විදිහට සතුටු වෙන්න පුළුවන්.එදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ 69 ලක්ෂයට, මහ මැතිවරණයේදී 3/2ක් දුන්න ජනතාවට සතුටු වෙන්න පුළුවන්.

    ඒ නිසා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්නේ 69 ලක්ෂය තෘප්තිමත් කරන්න, ඔවුන් තුළ බලාපොරොත්තු දල්වන්න මහ ලොකු දෙයක් කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන අවංකම සහ ධෛර්යය පමණයි.

    සතොසෙන් රටටම කන්න දෙන්න පුළුවන් යැයි කියන වෙළෙද ඇමතිවරයෙක් සිටීම ජනතාවගේ අවාසනාවක් – ශාලික පෙරේරා, මහ ලේකම් සිංහල රාවය.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය නම් ගහෙන් වැටී කොන්ද කඩාගෙන සිටින ජනතාවට ව්‍යාපාරික මාෆියාව නම් ගොනාගෙන් ද ඇනුම් කෑමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

    කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍යව පවතින පාසල් අධ්‍යාපනය රැක ගැනීමට ආණ්ඩුවට කිසිම විධිමත් සැලසුමක් ඇති බවක් නොපෙනෙන බව කී ශාලික පෙරේරා මහතා සතොස මගින් රටකට කන්න දිය හැකි යැයි සිතන වෙළෙද ඇමැතිවරයෙක් සිටීම ජාතියේම අවාසනාවක් යැයි ද කීවේය.

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අහස උසට යද්දී ගෑස් සමාගම් විසින් සිදුකරන සූරාකෑම නවතා දමනු වෙනුවට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැසීම විකාරයකට වඩා වේදනාවට කරුණක් බව ද ඔහු කීවේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ශාලික පෙරේරා මහතා, ‘මේ වෙන කොට මේ රටේ සමස්ත ජනතාව ගැටළු ගණනාවකින් පීඩා විදිනවා. එකක් කුස්සියේ ගින්න. ලිපේ ගින්දර නිවා ගන්නේ නැතිව මොනවා හරි උයා පිහාගෙන කන්නේ කොහොමද කියලා තමයි අද මේ රටේ බහුතරයක් ජනතාව හිතන්නේ.

    අනික තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන දෙමාපියන්ගේ හිතේ අවිලෙන ගින්න. පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඇනහිටලා තිබෙනවා. මුළු අධ්‍යාපනයේම බර ටියුෂන් ගුරුවරුන්ට භාර දීලා අධ්‍යාපන අමාත්‍යාංශය අත පිසදාගෙන තිබෙනවා. අපි උපකාරක පන්ති ගුරුවරුන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවය සහ කැපවීම අපි කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ.

    අපි චෝදනා කරන්නේ උපකාරක පන්ති වගේම, සූම් තාක්ෂණය වැනි අන්තර්ජාල පහසුකම් පදනම් කරගත් ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අසීමිත කැප කිරීමක් කරන ගුරුවරුන් සූරාකන අන්තර්ජාල, නැති නම් ඩේටා මාෆියාව ගැනයි.

    අපි හොදාකාරවම දන්නවා එදා වේල කන්න කුලියක් කරන පුද්ගලයාගේ දරුවාගේ සිට ඉහළම ධනපතියා දක්වා මේ ඩේටා මිලදී ගන්නේ පසුගිය කාලේ තිබුණ මිලටමයි. ඒ කියන්නේ ඔවුන් මේ ඩේටා මිලදී ගන්නේ කිසිසේත් සැබෑ මිලකට නොවෙයි. අදාළ සමාගම් විසින් දැවැන්ත ලාභයක් මත විකුණන ඩේටා තමයි මේ මිලදී ගන්නේ. ඔවුන් මේ ඩේටාවලින් අති දැවැන්ත ආදායමක්, ලාභයක් උපනවා. ඇතැම් ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් 100%ක්ම විජාතික ඒවා. ඔවුන් මේ ලාභය තමන්ගේ රටට ගෙන යනවා.

    පොල් ගෙඩිය කඩදන දුප්පතාගේ සිට රාජ්‍ය සේවකයා, සුළු නිෂ්පාදකයා දක්වා ලක්ෂ 45ක දරුවෝ, රාජ්‍ය ගුරුවරු හා ටියුෂන් ගුරුවරු දස දහස් ගණනක් මේ අන්තර්ජාල ඩේටා මාෆියාවේ පහසු ගොදුරු බවට පත්වෙලා ඉන්නවා.

    අපි රජයට අවධාරණය කරන්නේ දැන් මාස 15ක් තිස්සේ මේ ඩේටා මාෆියාව ජයටම ක්‍රියාත්මක වෙනවා. අද සෑම පවුලකම වාගේ සහල් ගන්න වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මේ ඩේටාවලට වැය කරනවා. මේක සැබවින්ම සුරාකෑමක්. මේ සූරාකෑමට ආණ්ඩුව වහාම වැට බැදිය යුතුයි. අපි සහන දෙන්න කියලා කියන්නේ නැහැ. අපි පැහැදිලිවම කියන්නේ කොමිෂමක් මගින් බැරි නම් විශේෂඥ මණ්ඩලයක් මගින් හෝ සොයා බලා මේ ඩේටා මාෆියාවට තිත තියලා මේ අසීමිත සූරාකෑම නතර කරන්න. අපේ ජාතික ධනය ට්‍රිලියන ගණනින් විදේශ සමාගම්වලට පුදකරන මේ මාෆියාවට තිත තියන්න.

    අනෙක් කාරණය ලිපේ ගින්දර ගැනයි. කල දුටු කල වළ ඉහගන්න ව්‍යාපාරික මාෆියාවක් මේ මොහොත් ජනතාවගේ සමස්ත ආදායමම සූරා ගෙන කනවා. ජංගම වෙළෙදුන් මේ අවස්ථාවේ සේවයක් ලබා දෙන බව ඇත්ත. එහෙත් ඔවුන් අසීමිත සූරාකෑමට නිරත වෙනවා. ඔවුන් විකුණන ගස්ලබු කිලෝවක් රුපියල් 100යි ! එළවළු මිල 300%කින් වැඩියි. මේක පැහැදිලිවම සූරාකෑමක්.

    අපි රජයෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම මේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ වගේම විපතට පත්ව සිටින ජනතාවක් මේ ආකාරයෙන් සූරාගෙන කන්න එපා කියලා. මොකද අපි හැමෝම මේ අසීරු කාලේ ජීවත් වෙන්නේ හරිම අසීරුවෙන්. රාජ්‍ය සේවකයාගේ පවා අතිකාල දීමනා අහිමි වෙලා. ඔවුන් ගන්න පුළුවන් සියලුම ණය අරගෙන තියෙන්නේ. ඔවුන් බහුතරයක් ජීවත් වුණේ අතිකාල වලින්. නැතිනම් වෙනත් ස්වයං රැකියා ආදියෙන්. ඒ නිසා අපි හැමෝම අද ජාතියක් ලෙස, රටක් ලෙස අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ තව කෙනෙකු සූරාගෙන කෑම කිසිසේත් යහපත් දෙයක්, බෞද්ධයින් ලෙස ආගමානුකූල දෙයක් නොවෙයි.

    ඒ වගේම අපි රජයට යමක් මතක් කළ යුතුයි. ඒ තමයි ජනතාවගේ ජීවන වියදම අද අහස උසට නැගලා. වගාකරුන්ට එළවළු විකුණ ගන්න බැරිව ලතවෙන කොට පාරිභෝගිකයා ඒකට අහස උසට මිලක් ගෙවනවා. මොන තරම් පම්පෝරි ගැහුවත් සහල් මිල අඩු වෙලා නැහැ. පොල් මිල එලොව පොල් පේනවා. පසුගිය සුනාමි පළමු රැල්ලේදී ජනාධිපතිවරයා පරිස්සු ගැන බොහොම දුක් වුණ. දැන් පරිප්පු කිලෝවක් රුපියල් 250යි, සීනි කිලෝවක් 117ක්යි. අල කිලෝවක් රුපියල් 250යි ! හැම භාණ්ඩයකම මිල 35%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම විශාල වශයෙන් පහළ ගිහින් තිබෙනවා. ඇතැමුන්ට කිසිම ආදායමක් නැහැ.

    මේ තත්ත්වයට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතුයි. රුපියල් 5000ක් බෙදාදීම මේකට පිළියමක් නෙමෙයි. ඒක හරියට අතීසාරයට අමුඩ ගහනවා වාගේ වැඩක්. මේ 5000 කඩේට අරන් ගියම හකුරු වාගේ දියවෙනවා.

    මේ අවස්ථාවේ වෙළෙද ඇමතිවරයා ගැනත් යමක් කිව යුතුයි. ඔහු ගැන දවසක් කිව්වත්, පොතක් ලිව්වත් පාඩුවක් නැහැ. ඒ තරම් නල්ලමලේ වෙළෙද ඇමැතිවරයෙක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ලිදේ ඉන්න මැඩියාගේ ලොකේ ලිද වාගේ වෙළෙද ඇමැතිවරයාගේ ලෝකේ, කොකටත් තෛලය බවට සතොස පත්වෙලා තිබෙනවා. මේ හාස්‍යජනක තත්ත්වයක් වුණත් ඇස් රතුවෙන විහිළුවක්. ඇමැතිවරයාගේ හැම බඩුවක්ම අඩුවට තියෙන්නේ සතොසේ ! ඒත් සතොසට රටකට කන්න බොන්න දෙන්න පුළුවන්ද ? බැහැ. අඩුගානේ සතොසට ගමකට කන්න දෙන්න බැහැ. ඇත්ත ඒකයි. ලංකාවේ සිල්ලර වෙළෙදාමෙන් 01%ක් වත් සතොස හරහා සිදුවෙන්නේ නැහැ. ඒ නිසා බඩුමිල අහස උසට නැගීමට සතොස කිසිසේත්ම විකල්පයක් හෝ උත්තරයක් නොවෙයි. ඒක බන්දුල ගුණවර්ධන මහත්තයාගේ සහ එහි සේවකයින්ගේ රස්සාව පමණයි.

    ඒ නිසා අපි වෙළෙද ඇමැතිවරයාට කියනවා කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැහුවා වාගේ වැඩ දැන්වත් නතර කරන්න. ඔබ නිසා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු වුණ හානිය ගැන අපට අමතක නැහැ. ඔබ ආණ්ඩු අපකීර්තියට, ජනතාවගේ පිළිකුළට පත් කිරීමට උපන් හපන් සුදුසුකමක් ඇති ඇමැතිවරයෙක්.

    69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව මහත් විස්වාසයෙන් බිහිකළ ආණ්ඩුවක් ජනතාව අතර අපකීර්තියට පත්කරන වැඩ නොකරන්න කියලා අපි බන්දුල ගුණවර්ධන මහත්තයාට කියනවා. මොකද මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජාතික ව්‍යාපාරය සුවිශාල වැඩ කොටසක් කළා. කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව අති විශාල පිරිසක් දැවැන්ත කැප කිරීමක් කළා. හිරේ විලංගුවේ වැටුණා. රස්සා – ආදායම් මාර්ග නැති කර ගත්තා. ඒ නිසා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම, ඒක වැරදි පාරේ යන කොට නිසිමගට ගැනීමේ වගකීමක් වගේම වගවීමකුත් ජාතික ව්‍යාපාරය ලෙස අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව පිස්සු නටන සියලුම දේශපාලනඥයින්ට කියනවා රනිල් – මංගල හවුලට ලැබුණ උරුමය ගැන යළි යළි සිහිපත් කරන්න කියලා‘

  • ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ‘ලංකා ආර්ථිකයේ’ අවසන් හුස්ම පොදත් ඉවරයි !

    ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ‘ලංකා ආර්ථිකයේ’ අවසන් හුස්ම පොදත් ඉවරයි !

    Inbox

    ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

    මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය ඉවත් කිරීම සලකා බැලීමේ යෝජනාව පත්විය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම නිර්දේශ කරන්නේ නම් ශ්‍රී ලංකා ආර්ථිකයට එය මරු පහරක් වනු ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ සිවිල් නිදහස සීමාවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ රට තුල ක්‍රියාත්මක සිවිල් හා බලපෑම් කණ්ඩායම් මේ වන විටත දක්වමින් ඇත්තේ අඩු උනන්දුවයි.  සුළු ජාතික කණ්ඩායම් වෙත මෙන්ම තමන්හා කටයුතු කළ දේශපාලනඥයින්, වෘත්තිකයින්ට, ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳ ද පාර්ලිමේන්තු විපක්ෂය හඬක් නගවන්නේ නැත. 

    එසේ තිබිය දී යුරෝපා සංගමය පහත සිය අවධානය යොමු කර ඇති කරුණු වන්නේ,  

    1.      මානව හිමිකම් සම්බන්ධයේ ලංකා රජය පොරොන්දු ඉටු නොකිරීම

    2.      ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහීම

    3.      ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු අණ පනත් දේශපාලන/සිවිල් ක්‍රියාකාරීන්ට විරුද්ධව පාවිච්චි කිරීම  යන කරුණු ය.

    යුරෝපා සංගමයේ ජීඑස්පී සහනයෙන් වැඩිම වාසියක් ලබන රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව වේ.  2020 වසරේ ලංකාවේ අපනයනයන්ගෙන් 22.4% සිදු කර ඇත්තේ යුරෝපා සංගමයට ය.  (පසුගිය වර ලංකාවට ජීඑස්පී සහනය අහිමි කිරීමට පෙර එය 35% ක් විය) චීනයට පසු ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා යුරෝපා සංගමය වන නමුත් යුරෝපා සංගමයේ 69 වන වෙළෙඳ සහකරුවා ලංකාවයි.  යුරෝපය ලංකාවේන් භාණ්ඩ 27 ක් ආනයනය කරන අතර ඇඟළුම් ඒ අතර ප්‍රධානය.  යුරෝ මිලියන 2083 ක් යුරෝපා වෙළදාමෙන් පසුගිය වසරේ ලැබුණි.

    යුරෝපය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය අප රටට වාසිදායක ලෙස පවතින අතර, දැන් ක්‍රියාත්මක ආනයන සීමා කිරීම් පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිතයින් අවස්ථා ගණනාවක දී රජයට අනතුරු හඟවා තිබුණි. 

    යුරෝපය වෙත ලංකා අපනයන අඛණ්ඩව වැඩිවන අතර නමුත් 2008 දී යුරෝපය ජීඑස්පී සහනය නවතා දැමීමත් සමඟම ලංකාවට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු විය. ලංකාවට යුරෝපයේ වූ ඇඟළුම් වෙළෙඳපොල බංගලිදේශය විසින් ආක්‍රමණය කළ අතර හයිඩ්‍රාමනි ඇතුළු ලංකාවේ සමාගම් බංගලිදේශය වෙත සිය කර්මාන්ත රැගෙන ගියේය. එය බංගලිදේශයේ ඇඟළුම් ආදායම ඉහළ නැංවීමට හේතු වූ අතර, ලංකාවට එරටින් ණය ආධාර ලබාගැනීමට සිදුව තිබේ.  

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑම සිදු වෙමින් පවත්නා මොහොතක ‘‘යුරෝපා කොමිසම විසින් ජීඑස්පී ප්ලස් සහන ලංකාවට ලබාදීම පිළිබඳ ඇගයීමක්‘‘ සිදු කරනු ඇත.  එහි දී ලංකාවේ මානව හිමිකම්, කම්කරු නීති ආරක්ෂා කිරීම, කම්කරුවන් සදහා ලබාදෙන පහසුකම් පිළිබඳ දැඩි විමර්ශනයක් සිදු කරනු ඇත.

    මෙයට පෙර ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා සහ ජීඑස්පී සහන ඇතුළු බලපෑම් එල්ලවන විට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයට එවකට පැවති රජයන් දැඩි චෝදනා එල්ල කිරීම විශේෂත්වයකි.  සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ බලපෑම් කණ්ඩායම් වෙත වෛර සහගත චෝදනා එල්ල විය. එසේ නමුත්, වත්මන් විපක්ෂය මානව හිමිකම් සම්බන්ධයෙන් ද, සමාජ ක්‍රියාකාරීන් මර්ධනය සම්බන්ධයෙන් ද දැඩි නිහඬතාවයක් අනුගමනය කරමින් සිටී. ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිඳව විපක්ෂයට වඩා උනන්දුවක් දක්වන බව මෙම යෝජනාව අනුව පැහැදිලි ය. ජීඑස්පී සහන ඉවත් නොකිරීම සඳහා ‘යුරෝපා කොමිසම‘ එකඟ කරවා ගැනීමට ශ්‍රී ලංකා රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. 

    හුදු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා දේශීය ආදායම් අහිමිකර ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම,   පොහොර ආනයනය නතර කිරීම වැනි ජයප්‍රිය සටන්පාඨවලට මුවා වී  දේශීය කෘෂි නිෂ්පාදන අහිමිකර ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති ලංකා ආර්ථිකයට ජීඑස්පී අහිමිවීම මාරාන්තික ප්‍රහාරයක් වනු ඇත්තේය.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • නව මරණ 62ක් – කොවිඩ් ආසාදිත මරණ 2073 දක්වා ඉහළට

    නව මරණ 62ක් – කොවිඩ් ආසාදිත මරණ 2073 දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 62ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ සමග කොවිඩ් ආසාදනයෙන්ම මෙරට මියගිය සමස්ත පිරිස 2073ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම නිල මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    covid-death-jun-11

  • පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.

    ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී ඇති අතර දැනට දිස්ත්‍රික් මට්ටමෙන් මධ්‍යම හා කුඩා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් ව නිසි පරිදි නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාතික අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා භාවිත කිරීමට වැඩපිළිවලක් සකසා ඇත. එකී වැඩපිළිවෙල යටතේ ඔවුන් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කරනු ලැබේ.

    ඒ අනුව 2021.06.11 දින සිට 2021.06.30 දින දක්වා දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල  වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදකයින් හමුවීමට කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා සූදානමින් සිටින අතර එම අවස්ථාවන් සඳහා අමාත්‍යංශ නිලධාරීන්ද සහභාගී වනු ඇත.

    එකී වැඩපිළිවෙලෙහි පළමු අදියර ලෙසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික් කාබනික පොහොර නිෂ්පාදයින් සමග සැසිය අද උදෑසන පැවැත්විණි. මේ සඳහා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොශාන් ගුණතිලක, බස්නාහිර පළාත් කමිටු සභාපති ප්‍රියන්ත උදුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ ඇතුලු පිරිසක් සහභාගී විය.

  • ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.

    මාධ්_ය-නිවේදනය-බලශක්ති-අමාත්_යංශය

    ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවේදීය.

    මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව කී ඇමැතිවරයා මිල සංශෝධනය නුදුරේදීම සිදුවන බව කීවේය.

    ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සාධාරණීකරණය කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නැහැ. නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ.

    වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි 300ක් වැය වෙනවා. පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවට පත්ව තිබෙනවා‘‘

    ඉන්ධන මිල සංශෝධනය රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම පැවසුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයනයේදී විශාල මිලක් ගෙවීමට සිදුව ඇති බවයි. වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස පහළම අගයක තිබූ බව සදහන් කළ ඔවුන් කියා සිටියේ ඒ අවස්ථාවේ එකී මිල වාසිය ජනතාවට ලබාදීමට රජය පියවර නොගත් බවයි.

    ‘ඒ අවස්ථාවේ රජය කිව්වේ අදාළ මිල වාසිය ගිනුමකට බැර කර මිල ඉහළ යන අවස්ථාවක එම සහනය ජනතාවට ලබා දෙන බවයි. ඒත් අපි හොදාකාරවම දන්නවා ආණ්ඩුවට එවැනි ගිනුමක් තිබුණේ නැහැ. ඒ වාසිය ජනතාවට දුන්නෙත් නැහැ.‘

    මේ සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණයෙන් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථව අඛණ්ඩව පාඩු ලබන්නේ ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දුන් නිසා නොවන බවයි.

    ‘‘ජනතාව ණයට ඉන්ධන ගත්තේ නැහැ. මේ පාඩුව ලබන්නේ ආණ්ඩුවේම ආයතන, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආදියට ඉන්ධන විකුණලා. ඒ අලාභය ජනතාව පිටින් දාන එක වැරදියි. කළමනාකරණ නොහැකියාව, නාස්තිය හා දූෂණය නිසයි තෙල් සංස්ථාව පාඩු ලබන්නේ‘ යැයි ඔහු සදහන් කළේය.

  • ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

    රට පමණක් නොව තමන් ද අනතුරේ දමමින් සිටින මෙම ශ්‍රමිකයන් වහාම මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් සභාපතිවරයා අදාළ ශ්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින්ගෙන් ද ඉල්ලා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා, ‘‘දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය විසින් මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා සිටියා.

    මේ වන විටත් 2000කට අධික ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසක් අනවසරයෙන් සිය රටේ රැදි සිටිමින් රැකියාවල නිරත වෙන බවයි දකුණු කොරියානු රජය කියන්නේ. මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වී, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නීති විරෝධි අන්දමින් රැදි සිටින අයයි. ඔවුන් නීති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුළ, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව දකුණු කොරියානු රජය විසින් දන්වා තිබෙනවා. දකුණු කොරියානු රජයේ මෙම තීරණය දැනට දකුණු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද බලපානවා. මේ නිසා රටට ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවදානමක් පැන නැගී තිබෙනවා.

    නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කළ අයට සහ අදාළ ශ්‍රමිකයාට ද එරෙහිව වහාම නඩු පැවරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනනේ තමන් පමණක් නොව රටත් අනතුරේ නොදා වහාම ලංකාවට පැමිණෙන්න.

    ඒ වගේම මම ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් පවුල්වලින් ද ඉල්ලන්නේ මේ අනීතික කටයුත්ත කරන ඔබේ පවුලේ සාමාජිකයාව වහාම මවුබිමට ගෙන්න ගන්න. එසේ නොවුණහොත් ඔබ රටට මහත් විනාශයක් කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් දහස් ගණනකගේ ජීවිත අදුරු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා‘‘

  • ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.  

    චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

    වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.

    රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.

    ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

    ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

    ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන්  වගබලා ගත යුතුයැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව සිහිපත් කළේය.

    ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතනවල පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඊයේ (10) සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා.

    යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 705 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් 628 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබෙනවා. යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

    2017 වසරේදී යුරෝපා කොමිසම විසින්  ශ්‍රී ලංකාවට යළි ලබා දුන්  ජී.එස්.පී.ප්ලස් බදු සහනය  හා  එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව  යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වෙනවා.

    ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ සදහන් කර තිබෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව සිය යෝජනාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා

    ශ්‍රී ලංකාවේ තෙවන ප්‍රධාන අපනයනකරුවා වන යුරෝපා සංගමය විසින් යළිත් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අත්හිටුවීමට ක්‍රියා කළහොත් එමගින් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික හා සමාජයීය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයින් කියනවා.

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ අත්හිටුවන ලැබූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු 2017 වසරේදී යළි ලබා දුන්නා.

  • Covid-10 Local Hot: සංචරණ සීමා යළි දීර්ඝ කරයි

    Covid-10 Local Hot: සංචරණ සීමා යළි දීර්ඝ කරයි

    දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ද එම තීරණය වෙනස් කර දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙහිදී ලබාදී ඇති සහන ගැන අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

  • Covid-19 Local hot: මරණ ගණන ඉලක්කම් තුනක් වෙයි

    Covid-19 Local hot: මරණ ගණන ඉලක්කම් තුනක් වෙයි

    මෙරට වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (11) වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙසේ මියගොස් ඇති පිරිස 101ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි විවේචනයක් පවතින අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනවලට දැඩි අවුල් සහගත බවක් පෙනී යනවා. කෙසේ වෙතත් රජය විසින් අද (11) දින නිකුත් කළ කොවිඩ්-19 ආසාදිත මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව අප ඔබට ඉදිරිපත් කරනවා.

    covid-death-jun-10

  • සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

    සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

    කොවිඩ්- 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බවත් වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

    අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් කීවේය.

    මේ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සදහා හෙට (11) සාකච්ඡාවක් පැවැත්වෙන බව ද කී යුද හමුදාපතිවරයා සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද පැවසුවේය .

  • ලංකාවේ කොවිඩ් වසංගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක්

    ලංකාවේ කොවිඩ් වසංගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක්

    ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව සැර වෛරස් ප්‍රභේදයේ නව සොයා ගැනීම් ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවයි.

    ‘‘ අපට පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවක් පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමාවලින් ප්‍රතිඵල ලැබෙන බවයි‘

    මෙහිදී නව සැර වෛරසය ගැන කරුණු හෙළිකළ ජීවන්දර මහතා, ‘‘ අප විසින් සිදුකරනු ලබන නව පරීක්ෂණවලින් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමුවුණා. ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමුවී ඇත්තේ සමාජයෙන් නොවෙයි. ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් .ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ. මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමුවුණා. ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි‘

  • Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

    Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

    වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය.

    කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව ද මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව ද නවීන් සොයිසා මහතා වැඩි දුරටත් කීවේය.

    කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය හෙළිකරමින් ඔහු මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘ රටේ ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බවත් එය ඉන්දියාවට වඩා එක හමාරන් බවත් අපි අමතක නොකළ යුතුයි.

    ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනයකට 1.91ක් බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49යි. කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වෙනවා.

    රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් අපිට දැකගත නොහැකියි. මේ වන විට දැඩිව සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මක දැයි අපට ගැටලුවක්. සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයි. ඒ වගේම තමයි වසංගතයේ භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීමයි‘‘

    එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් නොගැනීම අපට පුදුමයක්. ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි අපට සැකයක් තිබෙනවා‘‘ යැයි ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

  • ‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය‘ තහවුරු කරයි

    ‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය‘ තහවුරු කරයි

    මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ්-19 මරණය අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකු බවයි එම වාර්තාව කියන්නේ. මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදායි.