Tag: featured

  • Covid-19 Local News: මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ගණන 48ක්; නව ආසාදිතයින් 3398ක්

    Covid-19 Local News: මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ගණන 48ක්; නව ආසාදිතයින් 3398ක්

    අද (04) දින කොවිඩ්-19 ආසාදිතයින් 3398 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 199,242ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.

    ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

  • අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන

    අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.

    ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නැයි  අග්‍රාමාත්‍යතුමා මෙහි දී මුදල්  අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

    දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබේ. වැසි ජලයෙන් පහත්බිම් යට වීම, ගංවතුර හා නායයෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරින්ට දැනුම් දුන්නේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරු ද එක්ව සිටියහ.

  • ‘ආහාර මිල‘ 39.7%කින් ඉහළට – එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි

    ‘ආහාර මිල‘ 39.7%කින් ඉහළට – එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි

    එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව දශකයකට පසුව ආහාර සදහා වන ඉහළම මිල ගණන් පසුගිය මැයි මාසයේ දී වාර්තා වී තිබේ. වාර්ෂික පදනමින් ආහාර මිල පසුගිය මැයි මාසයේදී 39.7% කින් ඉහළ ගොස් ඇති අතර එය 2010 ඔක්තෝම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මිල ඉහළ යාම බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසන්නේ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආහාර මිල දර්ශකය ලොව පුරා ධාන්‍ය වර්ග, තෙල් බීජ, කිරි නිෂ්පාදන, මස් සහ සීනි ඇතුළු ආහාර පරාසයක මිල ගණන් නිරීක්ෂණය කරයි. එළවළු තෙල්, ධාන්‍ය හා සීනිවල ඉහළ යන පිරිවැය හේතුවෙන් දර්ශකයේ සියලුම කොටස් ඉහළ ගිය බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසන්නේ.

    එක්සත් ජාතීන් විසින් ගෝලීය ආහාර පිරිවැයේ පුළුල් දර්ශකයක් සකස් කරන අතර එය පසුගිය මාස 12 පුරා අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන අතර වසංගතය තුළ නිෂ්පාදනය, ශ්‍රමය සහ ප්‍රවාහනයට ඇති බාධා හේතුවෙන් සැපයුම්කරුවන්ට බලපෑම් එල්ල වීම මේ සදහා ප්‍රබල ලෙස හේතු වී තිබේ.

    වැඩිවන පිරිවැය සමහර රටවල ඉල්ලුම අලුත් කිරීම සහ අඩු නිෂ්පාදනයේ පසුබෑමකි. සංචරණය සීමා කිරීම හේතුවෙන් වෙළඳපල සහ සැපයුම් කඩාකප්පල් වීම දේශීය හිඟයන් සහ ඉහළ මිල ගණන් ඇති කර තිබේ.

    ආර්ථිකයන් අගුලු දැමීමෙන් ඉවත් වන විට ඉහළ ඉල්ලුම සහ අඩු නිෂ්පාදනය උද්ධමනය ඉහළ යාමට හේතු වනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි.

    කෙසේ වෙතත් සමහර කර්මාන්තවල ශක්තිමත් ප්‍රකෘතියක් දැකිය හැකිය. FAO පුරෝකථනය කරන්නේ මේ වසරේ ගෝලීය ධාන්‍ය නිෂ්පාදනය ඉහළ යාමක් වාර්තා කරන අතර එය ඉහළ මිල පීඩනය ලිහිල් කිරීමට උපකාරී වනු ඇති බවයි.

  • කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. 

    ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදී සිටින හා එම කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන දේශීය ව්යසවසායකයන්ව දිරි ගැන්වීමේ අරමුණින් යුතුව “සශ්‍රීක” නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ඊයේ දින( 2021.06.03) ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. කාබනික පොහොර නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වසර 10 ක් හා රුපියල් මිලියන 200 ක් දක්වා මෙම ණය පහසුකම් ලබාගත හැක.

    ශ්‍රී ලාංකික ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී සුරක්ෂිත රටක් ගොඩ නැගීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ජනාධිපතිතුමන් ගත් තීරණය අද නොව හෙට දිනය ගැන සිතා ගත් තීරණයක් බැවින් ජාතික වගකීමක් සේ සිතා අප සියලුම දෙනා මේ මොහොතේ එක්ව කටයුතු කළයුතු බව කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහ රජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.රණසිංහ මහතා, ලංකා බැංකු සභාපති නීතීඥ කාංචන රත්වත්තේ මහතා , ලංකා බැංකු ප්‍රධාන කළමණාකරු සුගත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

  • අවසාන කාලය පැමිණි විට පාලකයින් සාංඝීක දේපොළවලට බැල්ම හෙළනවා- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

    අවසාන කාලය පැමිණි විට පාලකයින් සාංඝීක දේපොළවලට බැල්ම හෙළනවා- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

    ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති.

    උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද  ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් රජයට පවරාගෙන වාහන අංගණයක් ගොඩනැගීමට ගත් පියවර සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කම්පනයටත් අපේක්ෂාභංගත්වයටත් පත් වූ බවයි.

    එම සැලකුම හකුළා ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසුව ද අනතුර පහව ගොස් නැති බවත් කොළඹ පමණක් නොව නාගරික ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට අලුත් අනතුරක් නිර්මාණය වී ඇති බවත් අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.

    උන් වහන්සේ මේ බව පැවසුවේ අද (04) සිංහල රාවය පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මේ සදහා සිංහල රාවය පක්ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    මෙහිදී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමයෝ මෙසේද පැවසූහ.

    ‘‘අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී පමණක් නොවෙයි ඊට පෙරත් බලයේ සිටි පාලකයෝ තමන්ගේ ව්‍යාපාරික මිතුරන් සහ අවස්ථාවාදී නිලධාරීන් සමග කල්ලී ගැසී සාංඝීක දේපොළවලට බැල්ම හෙළන ආකාරය. ඒත් ඒ සියලු දෙනාගේම අවසානය කවුරුත් විශ්වාස නොකළ ආකාරයට අවසාන වුණා. අතැමුන් දේශපාලනයෙන් චුලවෙලා ගියා. නන්නත්තාර වුණා. මහජන බලයෙන් පිරිහෙන, බලයට පත්වීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි පාලයෝ අවසානයේ යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ සාංඝික දේපොළ පවා කොල්ල කාලා තමන්ගේ ගජ මිතුරන් පිනවීමට පියවර ගන්නා නිර්ලජ්ජිත ඉතිහාසයක් අපට තිබෙනවා.

    ඒත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, 99%ක් සිංහල බෞද්ධයින් සහ බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් බලයට පත් කළ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් යටතේ අපි මෙවැනි පියවරක් කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ අන්‍යාගමිකයින්, අවස්ථාවාදී දේශපලනඥයින් විසින් විනාශ කරන ලද, කොල්ලකන ලද සිංහල බෞද්ධ උරුමය යළි තහවුරු කරන, සුරක්ෂිත කරන පාලනයක්. ඒකයි සිංහල බෞද්ධයින් ලෙස, ජාතික ව්‍යාපාරය ලෙස අපේ උතුම්ම, එකම අරමුණ වුණේ. අපිට කලු සල්ලි සුදු කරන්න, රාජ්‍ය දේපොළ කොල්ල කන්න, තනතුරු තාන්නමාන්න ගන්න, වරප්‍රසාද ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපේ එකම අරමුණ වුණේ සිංහල ජාතික ව්‍යාපාරය දිවිහිමියෙන් රැකගත් සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමයි. එය සුරක්ෂිත කර දියුණු කර අනාගත පරපුරට උරුම කිරීමයි. ඒත් දැන් අපේ ඒ අපේක්ෂාව විනාශ වෙමින් තිබෙනවා.

    දැන් ආණ්ඩුවට පවසන්න පුළුවන් අපි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම අත්පත් කර ගැනීමට ගත් තීරණය ඉවත්කර ගත්තා කියලා. ඒත් ඒක වුණේ ආණ්ඩුවේ අවංක කම නිසා නොවෙයි. සමාජමාධ්‍ය සහ ජාතික ව්‍යාපාරය කළ දැඩි බලපෑම නිසයි. ඒ නිසා අපි ආණ්ඩුවට, විශේෂයෙන් ආණ්ඩුවේ රැකවරණය ලබමින් සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්න මාන බලන සියලුම දෙනාට දැඩි අනතුරු ඇගයීමක් කරනවා. සිංහල බෞද්ධ උරුමයට අති තියන්න ආවොත්, සාංඝීක දේපොළවලට කෑදරකම් කළොත් ඒක බලයේ රස බලන අවසාන මොහොත බව සිතා ගන්න කියලා.

    පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් සිංහල බෞද්ධයින් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නේ ව්‍යපාරික මාෆියාව පිනවන්න නොවන බව අපි අවධාරණය කරනවා. අපි ඉල්ලන්නේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන, මේ රටේ සිංහල බෞද්ධයින් වඩාත් උනන්දුවෙන් සිටින පොරොන්දු ඉටුකරන්න කියලා. ඒවා ඉටුකරන්න ප්‍රමුඛතාව දෙන්න කියලා. එසේ නොකර, කොළඹ වරාය නගරය වාගේ ජනතා ද්‍රෝහී ව්‍යාපෘති ඉදිරියට ගෙනාවොත් එදා යහපාලන ආණ්ඩුවට, රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණමට වඩා නරක ඉරණමකට වත්මන් පාලකයින්ට මුහුණදීමට සිදුවෙන බව පැහැදිලියි‘‘

    නෞකා අනතුරට සම්බන්ධ සියලු දෙනාට කොන්දේසි විරහිතව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ශාලික පෙරේරා, මහ ලේකම්, සිංහල රාවය

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව සිය වගකීම පමණක් නොව වගවීම පවා ඉටු නොකරන රට විනාශයට පත්කරමින් සිටිනු දැකීමට ජාතික ව්‍යාපාරයට දැන් සිදුව තිබෙන බවයි.

    ශාලික පෙරේරා මහතා මෙසේද කීවේය,

    ‘‘අපේ නායක හාමුදුරුවෝ අවධාරණය කළා වාගේ සිංහල බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීම වෙනුවට වත්මන් පාලනය එය අහිමි කිරීමට සැලසුම් කිරීම ගැන මේ රජය බලයට පත් කිරීමට සියලු කැප කිරීම් කළ ජාතික ව්‍යාපාරයේ තරුණ නියෝජනය ලෙස අපි බලවත් කණස්සල්ලට පත්ව සිටිනවා. අපි හිතන්නේ ශ්‍රී බෞද්ධාලෝක විහාරය හරයා ප්‍රකාශයට පත් වුණේ මේ අපේක්ෂාභංගත්වය කියලයි.

    මෙහිදී අපි ඉතාම වැදගත් කරුණක් ගැන, මුළු ලෝකයේම පරිසරවේදීන්, පරිසරයට ආදරය කරන මිනිසුන් දැඩිව සැලකිල්මත් වන කරුණක් ගැන සිංහල රාවය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න කැමතියි. ඒ තමයි කොළඹ වරාය පෙනි පෙනී මුහුදුබත් වුණ විස ද්‍රව්‍ය පිරවූ නෞකාව  ගැන.

    මේ වන විට මේ නෞකාවට රටට ඇතුළු වීමට ඉඩ දුන්නේ කවුද ? කාගේ නියෝගයකට ද යන්න නොවිසදුණු අභිරහසක් වෙලා තිබෙනවා. ඒ වගේම නැව විනාශ වෙන බව පෙනි පෙනී, එසේ වුවහොත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව දැන දැනගත් නිසි පියවර නොගත්තේ ඇයි කියන එක අද පොදු ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා.

    මීට පෙර ඉතිහාසය පුරාම සිදු වුණ ආකාරයට අද මේ වගකීම භාර ගන්න ඇමැතිවරයෙක්, ආයතන ප්‍රධානියෙක් නැහැ. ඒකියන්නේ මේ සියලු දෙනා, රටත් – ජනතාවත්, ඔවුන් ජීවත්වන පරිසරයත් ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වෙමින් මහජන ඡන්දයෙන් බලයට පත් වුණ ඇමැතිවරුන් වගේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්, ජනතා මුදලින් වැටුප් ලබන නිලධාරීන් පවා තමන්ගේ වගකීම හා වගවීම පැහැර හැරලා කසාය බීපු ගොළුවන් සේ ඉන්නවා. නැතිනම් කිතුලට නැග්ග මිනිහා වාගේ කතා කියනවා. හිතට එන එන හිතළු කියනවා.

    ඒත් මේ කිසිවකින් ජනතාවට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. සිදු වුණ පරිසර විනාශය සමහන් වන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒසේ නොවුණහොත් ජනතාව තමන්ගේ බලය ක්‍රියාත්මක කළ විට අගතියට පත්වන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවයි.

    අපි එසේ කියන්නේ පසුගිය යහපාන ආණ්ඩුවට සිදු වුණ දේ ගැන හිතලයි. විල්පත්තුව වනසන විට ඒක ගැන අබමල් රේණුවක තැකීම් නොකළ යහපාලන ආණ්ඩුවට ජනතාව දුන් දඩුවම ගැන වත්මන් ආණ්ඩුවේ පාලකයින් දන්නවා. ඒ නිසා අපි කියන්නේ, අවධාරණය කරන්නේ විස ද්‍රව්‍ය රැගත් නෞකාවට ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීමට අවසර අනුබල දුන් සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව නීතිය හමුවට ගේන්න. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න.

    අපි දක්කා පසුගිය කාලේ ලංකාවට කුණු කන්ටේනර් සිය ගණනක් ගෙනවා. ඒත් ඒක ගෙනාව කිසිවෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහින් තිස් ගණනක් මැරුණා. ඒකට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මහ බැංකු බැදුම්කර සිද්ධියට, පාස්කු ප්‍රහාරයට, සීනි බදු වංචාවට සම්බන්ධ වුණ කිසිම කෙනෙකුට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

    අද ජනතාවට බයක් තිබෙනවා ඉන්දියානු සාගර කලාපයේ සිදු වූ දැවැන්තම පරිසර විනාශයට වගකිව යුතු කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වන එකක් නැහැ කියලා. ඒකට හේතුව ජනතාව අතීතියෙන් පාඩම් ඉගෙන ගෙන තිබීමයි. අපි කියන්නේ අපිට, ජාතික ව්‍යාපාරයට කැකිල්ලේ තීන්දු අවශ්‍ය නැහැ, අපිට අවශ්‍ය ‘එක රටක් – එක නීතියක්‘ ක්‍රියාත්මක වනු දැකීමටයි. ඒක තමයි මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා බලයට පත් කිරීමට හේතු වුණ ප්‍රධාන ඉල්ලීම. අපි කියන්නේ විස නෞකා අනතුරට සම්බන්ධ සියලු දෙනාට තනතුරු ආදිය බලන්නේ නැතිව නිසි දඩුවම් දෙන්න කියලයි. ඒක තමයි ජාතික ව්‍යාපාරය ලෙස අපි රජයෙන් කරන ප්‍රධාන ඉල්ලීම‘‘

    ‘ආණ්ඩුවේ ප්‍රබලයින්, නිලධාරීන් කියනවා නෞකාවෙන් සිදු වුණ පරිසර විනාශයට වන්දි ගන්න පුළුවන් කියලා. මේ ප්‍රකාශවලින්ම පේනවා ඔවුන් මොනතරම් නරුමයෝද, වගකීම් පැහැර හරින්නන්ද කියලා. එසේ නම් අපි අහනවා පසුගිය කාලේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී අනතුරට පත් වුණ නිව් ඩයමන්ඩ් නැවෙන් ලංකාවට වන්දි කීයක් ලැබුණ ද කියලා.

    සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියන්නේ නිවු ඩයමනඩ් නෞකාවේ සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙරටට ලැබී ඇත්තේ රුපියල් මිලියන 454ක් පමණක් බවයි. එම මුදල ලැබී ඇත්තේ ගින්න නිවීම සඳහා ලංකාව දරන ලද වියදම් ආවරණය කරගැනීම සඳහා පමණක් බවයි ඔහු කියන්නේ.

    එසේ නම් දැන් තත්ත්වය පැහැදිලියි. මේ කලාපයේ ධීවරයින්ට, මාළු ව්‍යාපාරිකයින් සිදු වුණ විනාශයට වන්දි ලැබෙන්නේ නැහැ. ධීවරයින්ට ලැබුණත් ඒවායේ කුලියට රස්සාව කළ, මාළු විකුණපු මිනිස්සුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. මේ විනාශය නිසා මාළු හිගයක් නිර්මාණය වුණ විට එහි මිල ඉහළ යාම නිස පාරිභෝගිකයින්ට සිදුවන හානියට වන්දි ලැබෙන්නේ නැහැ.

    අපි පැහැදිලිව කියනවා මේ පූර්වාදර්ශ දැන් නතර කළ යුතුයි. මුහුද රකින්න, පරිසරය රකින්න කියලා රාජ්‍ය වැටුප් ලබන, වරප්‍රසාද ලබන නිලධාරීන් දහස් ගණනක් ඉන්නවා. ඔවුන්ට මේ කිසිම දේකින් අබමල් රේණුවකවත් අගතියක් නැහැ. මාසේ පඩිය, වාහන දීමනාව ලැබෙනවා. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ වගකීමවත්, වගවීමවත් ඉටුකරන්නේ නැහැ. අවසානයේ සියලුම වන්දි සහ හානි ගෙවීමට සිදුවන්නේ ජනතාවටයි. මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් සිංහල රාවය පෙරට එනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගකීම් විරහිතභාවයට තිත තියන්න කියලා. ඒ වගේම අපි මේ මොහොතේ විපක්ෂයට අනතුරු ඇගයීමක් කරන්න කැමැතියි. බොරදියේ මාළු බාන්න සූදානම් වෙන්න එපා. ඔබලාගේ අතීතය අමතක කරන්න තරම් ජනතාව මෝඩ නැහැ‘‘ යැයි ද ශාලික පෙරේරා මහතා කීවේය.

  • ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

    ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

    ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වූ බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා  දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

  • ඇස්ට්‍රාසෙනිකා ආනයනයට අවසර ඉල්ලූ දේශීය සමාගම් ගැන රාජ්‍ය ඇමැති චන්න කළ සුපිරි හෙළිදරව්ව !

    ඇස්ට්‍රාසෙනිකා ආනයනයට අවසර ඉල්ලූ දේශීය සමාගම් ගැන රාජ්‍ය ඇමැති චන්න කළ සුපිරි හෙළිදරව්ව !

    මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත්  මෙතෙක් ඔවුන්ගෙන්  සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

    අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

    මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘‘ මෙවැනි තත්ත්වයක් තිබුණත් අපි එම එන්නත්  ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැහැ. කොවිඩ් දෙවැනි රැල්ල හරහා ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා  එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබා ගැනීම කළ නොහැකි බව අපි තේරුම් ගත යුතුයි. මීට මුහුණ දීමට ඇති හොදම විකල්පය තමයි අපි එන්නත් නිෂ්පාදනය කිරීම. ඊට අවශ්‍ය මූලික පියවර අපි ගෙන තිබෙනවා.

    ඒවගේම තමයි මේ වන විට කොරෝනා  එන්නත්  සඳහා ලෝකය පුරා කළු කඩ වෙළඳ  පොළක් නිර්මාණය වී තිබෙනවා. අපි එයින් ද ප්‍රවේශම් විය යුතුයි. අස්ට්‍රාසෙනිකා එන්නත්  ඩුබායි , අබුඩාබි සාජා , කැනඩාව , ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුව ද තිබෙනවා. එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික  සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් අදාළ එන්නත් ආනයනය කරන   මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි  දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම්  ඉන් එහාට කටයුතු කරන්නේ නැහැ. එන්නත් ගෙන්වීමේදී  ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම  රජයක් ලෙස අපේ වගකීමයි. මොකද විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු ලැබී තිබෙනවා‘‘

  • Nature TTL 2021: ජයග්‍රාහී ඡායාරූප මෙන්න !

    Nature TTL 2021: ජයග්‍රාහී ඡායාරූප මෙන්න !

    කැනේඩියානු ඡායාරූප ශිල්පී තෝමස් විජයන් විසින් ගන්නා ලද ඉහළ පින්තූරය The World is Going Upside Down ලෙස හැඳින්වේ. ඩොලර් 1,500 ක ඉහළම ත්‍යාගය දිනා ගැනීම සඳහා එය ලොව පුරා ඡායාරූප 8,000 ක් පරාජය කළේය.

    “තෝමස්ගේ ඡායාරූපය සැබවින්ම අද්විතීය වන අතර වහාම විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනා ගත්තා‘‘ යනුවෙන් Nature TTL  හි නිර්මාතෘ විල් නිකල්ස් පැවසීය.

    “අද්විතීය ඉදිරි දර්ශනය සහ සංයුතිය යන්නෙන් අදහස් වන්නේ ඔබ බලා සිටින්නේ හරියටම කුමක්දැයි සොයා ගැනීමට ඔබ වහාම උත්සාහ කරන බවයි.”

    විජයන් බෝර්නියෝ හිදී මෙම ඡායාරූපය ග්‍රහණය කරගෙන ඇත.

    “මෙම ඡායාරූපය මට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන්නේ දැනට ඔරංඔටන් ගහනය භයානක අනුපාතයකින් අඩු වෙමින් පවතින නිසයි” ඔහු පැවසීය.

    පාම් තෙල් වගාව සඳහා බෝර්නියෝහි වසර 1000 කට වඩා පැරණි වනාන්තර වේගයෙන් විනාශ කරනු ලැබේ.

    “මිනිසුන් වශයෙන් අපට පාම් තෙල්වලට ආදේශ කිරීම සඳහා විකල්ප තේරීම් රාශියක් තිබෙනවා. නමුත් ඔරංඔටන්වරුන්ට තම නිවස අහිමි වීම හැර වෙනත් විකල්ප නොමැත.” විජයන් පවසයි.

     Animal Behaviour category සත්ත්ව චර්යා කාණ්ඩයේ පළමු ස්ථානය විජයන්ගේ මෙම සුවිශේෂ ඡායාරූපය විසින් දිනා ගත්තේය.

    ඡායාරූප ශිල්පීන්ගේ විස්තර සහිතව වෙනත් කාණ්ඩ වලින් ජයග්‍රාහී පින්තූර මෙන්න.

    සත්ව චර්යාව, දෙවන ස්ථානය: Fish Caught by Surprise / ජොහාන් වැන්ඩ්‍රග්

    කිඹුලෙක් තම හකු විවෘත කරන්නේ මැද අහසේ මසුන් දෂ්ට කිරීමටය

    දකුණු අප්‍රිකාවේ ජලාශයකදී මෙම ඡායාරූපය ගෙන ඇත. කිඹුලෙකු මසුන් දඩයම් කරනු අපූරු විලාසය මෙහි දැක්වේ.

    කැමරා උගුල් ජයග්‍රාහකයා: ජෝන් ෆෝම්ස්ටන් / Camera Traps winner: Silhouetted Wood Mouse, by John Formstone

    රාත්‍රියේදී කුඩා මූසිකයක සිල්වට් එකක්

    භූ දර්ශන ජයග්‍රාහකයා: ජේ රූඩ් – ගසක ජීවිතය / Landscapes winner: Tree of Life, by Jay Roode

    වියළී ගිය ගංගා යහනක් සහ ගසක් පිළිබඳ ගුවන් දසුනක්

    අවුරුදු දහස් ගණනක් තිස්සේ කිසිවක් සිදු නොවූ බව පෙනෙන [නැමීබියාවේ] මෙම නිම්නය සැබවින්ම විස්මිතය. ඒ මත දැකිය හැකි එකම ජීවය ලෙස පෙනෙන පුරාණ ඔටුවන්ගේ කටු ගසක (camel thorn tree) සෙවණැල්ල, සාචාබ් ගඟේ සියුම් ලුහුබැඳීම්වලට කළු පැහැති අතක් මෙන් විහිදේ. 

    කුඩා ලෝක ජයග්‍රාහකයා: ජේම්ස් ගිෆර්ඩ් / Small World winner: Dance of the Termites, by James Gifford

    පියාඹන ටර්මයිට් වල නොපැහැදිලි ඡායාරූපයක්

    මෙම කෘමීන් රංචුව දුටු විට මට වැටහී ගියේ ඔවුන්ව නිසි පරිදි ග්‍රහණය කරගත හැක්කේ ෂටරයේ වේගය මන්දගාමී කිරීමෙන් බවයි. මම එසේ කළෙමි. අවසානයේ මට අවශ්‍ය ඡායාරූපය හමුවිය.

    රාත්‍රි අහස කාණ්ඩයේ ජයග්‍රාහකයා – අයිවන් පෙවන්ටි / The Night Sky winner: The Eye, by Ivan Pedretti

    ඉහළින් තරු පිරුණු අහසක් සහිත වෙරළ තීරයක්

    නෝර්වේහි උත්තක්ලෙව් වෙරළ තීරයේ දී මෙම පාෂාණ ඇස හමුවිය. උත්තරාර්ධ ගෝලයේ සුන්දර වර්ණාවලියට එරෙහිව ඡායාරූපය නාභිගත කර ඇත.

    දිය යට- ග්‍රාන්ට් තෝමස් / Underwater winner: Manta Space Ship, by Grant Thomas

    මැන්ටා කිරණ මාළුවෙක් මුඛය විවර කරයි

    මාලදිවයින යනු රාත්‍රී කාලයේදී ඔබට මෙම තේජවත් සතුන් සමඟ කිමිදිය හැකි ලොව එකම ස්ථානයකි.

    නාගරික වනජීවී ජයග්‍රාහකයා: පියාපත් සහිත පවුලේ සාමාජිකයන්, කල්ලෝල් මුකර්ජි / Urban Wildlife winner: Winged Family Members, by Kallol Mukherjee

    අාර් ඒන් ගිල දමන්නේ සාප්පු පාලකයෙකුට ඉහළින් ය

    හිමාල කඳුවැටියේ මෙම සාප්පුව තුළම මෙම barn swallows යුවළ ජීවත් වේ. ඔවුන් ධනයේ හා වාසනාවේ දේවතාවියගේ සංකේතයක් ලෙස සැලකේ. එසේ ම ඔවුන් සාමයේ සහ සමෘද්ධියේ පෙර නිමිත්ත ලෙස සලකනු ලැබේ. එබැවින් මිනිසුන් මෙම කුල්ලන්ගේ සියලු කරදර සතුටින් විදදරා ගනී.

    කැලෑ ඡායාරූප අංශය – නිදි හිම වලසා, ඩෙනිස් ස්ටොග්ස්ඩිල් Wild Portraits winner: Sleepy Polar Bear, by Dennis Stogsdill

    හිම වලසෙකු අයිස් මත නිදා ගනී

    නෝර්වේහි ස්වෝල්බාර්ඩ්හිදී අපි මෙම හිම වලසා දෙස බලා සිටියෙමු. මෘදු දහවල් අහස “නිදි වලසෙකු” සඳහා පරිපූර්ණ පසුබිමක් නිර්මාණය කළේය.

    16 න් පහළ ජයග්‍රාහකයා: තෝමස් ඊස්ටර් / Under-16 winner: Spoilt for Choice, by Thomas Easterbrook

    තරු මැසිවිලි නැඟීම

    මෙම ඡායාරූපය ගනු ලැබුවේ මෙම පක්ෂීන්ගේ නිමක් නැති ඝෝෂාව ගැන අප මැසිවිලි නඟමින් සිටියදී ය. නමුත් එය සුන්දර ඡායාරූපයක් වීම ගැන මම සතුටු වෙමි.

    ඡායාරූප – බී.බී.සී – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඩයනා කුමරියගේ ‘මංගල ඇඳුම’ කෙන්සිංටන් මාළිගාවේ ප්‍රදර්ශනය කෙරේ

    ඩයනා කුමරියගේ ‘මංගල ඇඳුම’ කෙන්සිංටන් මාළිගාවේ ප්‍රදර්ශනය කෙරේ

    මීට වසර 40 කට පෙර වේල්ස් කුමරිය වන ඩයනා සිය විවාහ දිනයේදී පැළඳ සිටි ඇඳුම කෙන්සිංටන් මාලිගයේදී ප්‍රදර්ශනය කර තිබේ.

    ඩයනා කුමරියගේ 60 වැනි ඡන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මෙම ඇදුම් ලබාදී ඇත.

    ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 ජූලි විවාහ මංගල්‍යය සඳහා මෙම ඇදුම නිර්මාණය කරන ලදී.

    මෙම ගවුමේ අඩි 25ක් දිග වේලයක් ඇත. මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයින් පැවසුවේ මෙම මංගල ඇදුම ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ මංගල ඇදුම බවයි. මෙම ඇඳුම මේරි රැජිනට අයත් පෞරාණික කැරික්මැක්‍රොස් ලේස් පැනල් වලින් ආවරණය කර ඇත. 1980 දශකයේ මුල් භාගයේ විලාසිතාවන්ට සරිලන සේ එය නිර්මාණය කර ඇත.

    ඇඳුමේ සම්පූර්ණ දිග ඡායාරූපය
    චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ විවාහය
    චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යය ලොව පුරා මිලියන ගණනක් දෙනා දැක තිබේ

    රාජකීය සේවාදායකයකු සඳහා ඇඳුමක් නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමු කරන මෙම ප්‍රදර්ශනය රැජින, මාග්‍රට් කුමරිය සහ රැජිනගේ මවගේ ඇඳුම් ඇඳගත් නිර්මාණකරුවන් කෙරෙහි අවධානය යොමු කරයි.

    බී.බී.සී ඇසුරිණි

  • ICC ලෝක කුසලාන සුපර් ලීග්: ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය දක්වා පල්ලම් බහී

    ICC ලෝක කුසලාන සුපර් ලීග්: ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය දක්වා පල්ලම් බහී

    අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් (ICC Men’s Cricket World Cup Super League)-ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය වන 13 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

    ඊයේ (02) නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. තරග 05ක් පරාජයට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව -0.245ක් වෙනවා.

    බංග්ලාදේශය සමග පැවැති එක්දින තරග දෙකක් පරාජයට පත්වී තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද කොදෙව් එක්දින තරගාවලියේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 2ක් අඩු කිරීමට පියවර ගත්තා.

    ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය බංග්ලාදේශය විසින් ද දෙවැනි ස්ථානය එංගලනත්ය විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානය විසින් ද හිමිකර ගෙන තිබෙනවා.

    12 වැනි ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන අතර ඉන්දියාව 06 වැනි ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 04 වැනි ස්ථානයේත් පසුවෙනවා.

  • කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනයට සහ මෙරටදී නිපදවීමට පියවර

    කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනයට සහ මෙරටදී නිපදවීමට පියවර

    • නිකුත් කෙරෙන කාබනික පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම
      පස පරීක්ෂාවෙන් අනතුරුව…
    • දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ…
    • ගොවීන් දැනුවත් කිරීමට උපදෙස් මාලාවක්…
    • මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කෙරේ.

    පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

    ඊයේ (02) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.

    පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ආයතනවලට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකිය. එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය ද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කරගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අභියෝග පැමිණිය හැකිය. එහෙත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතුය. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව පැවසූහ. කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේ ද එවැනිම මතයකි. එය ජයගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා  ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්, යම් අඩුවක් සිදු වුව හොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමට ද තීරණය කෙරිණ.

    පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිල වශයෙන් භාරදීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • නාමල්ගේ ගොඩ තවත් ලොකුවෙයි !

    නාමල්ගේ ගොඩ තවත් ලොකුවෙයි !

    ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.

  • X-PRESS PEARL පරිසර ව්‍යසනය ගැන සංවේදී කතා

    X-PRESS PEARL පරිසර ව්‍යසනය ගැන සංවේදී කතා

    රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බවත් මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

    නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව ද ඇමැතිවරයා කීවේය

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පරිසර ඇමැතිවරයා මෙසේද කීවේය, X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධ තීරණ ගණනාවක් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනා. ගිනිබත් වු නෞකාවට අදාළව කෙතරම් වන්දියක් ලැබුණත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකියි. ඒ වගේම නෞකාව ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    තෙල් කාන්දුවක් සිදුවුවහොත් අපට දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවෙනවා. ඒනිසා විනාශ වූ මෙම නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජය අවධානය යොමු කරලා තිබෙනවා‘‘යැයි ද පරිසර ඇමතිවරයා පැවසුවේය.

    මේක ලංකාවට පමණක් නොව ඉන්දියානු සාගර කලාපයටහ තර්ජනයක් – පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා

    මේ අතර පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ නෞකාව විනාශ වීම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ඉන්දියානු සාගර කලාපයටම බලපාන කරුණක් බවට පත්වනු ඇති බවයි.

    ‘‘මේ නෞකාව ගිලීමත් සමග දැන් ඉතාමත් ම ප්‍රබල පරිසර ගැටලුවලට ලංකාවට මුහුණ දෙන්න වෙනවා මොකද ඒකට හේතුව අන්තරාදායි අපද්‍රව්‍ය හෝ අන්තරාදායි ද්‍රව්‍ය මෙතන තියෙනවා. ඒවගේම අපි දන්නවා නයිට්‍රික් අම්ලය තියෙන කන්ටේනර් රාශියක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් පෙලට්ස් රාශියක් මුහුදේ යටට යනවා. මේක ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් මොකද ඒකට හේතුව අපිට අපේ රටේ මුහුදේ විශාල වශයෙන් පරිසරයට හානිකරන්න පුළුවන් ද්‍රව්‍ය රාශියක් ම තියෙනවා. මේ ද්‍රව්‍ය කාලයත් එක්ක මේ කන්ටෙනර්ස් දිරන නිසා ඒවා ජලයට එකතු වෙනවා මේ එකතුවෙනවා කියන්නේ අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ අපේ ධීවර කර්මාන්ත විනාශ වෙනවා විතරක් නෙමෙයි මේ අපේ ඒ ප්‍රදේශයේ මුහුද විතරක් නෙමෙයි මේ තුළින් අපේ මේ කලාපයටම හානියක් වෙනවා.”

    ඇය තවදුරත් පැවසුවේ ප්ලාස්ටික් කැට (plastic pellets) මෙන්ම රසායනික ද්‍රව්‍ය කලපු ප්‍රදේශයට ගලායාමෙන් කුඩා මත්ස්‍යයින් මෙන්ම ඉස්සන් හා ඉතා සංවේදී පරිසර පද්ධතියම අනතුරට ලක්වන බවය.

    “ඒ වගේම භයානකම දේ තමයි මේ අන්තරාකාරී ද්‍රව්‍ය කුමක්ද කියන එක තවම පැහැදිලි කරලා නෑ. ඒ නිසා දැන් රජය වගකීමක් ගන්න ඕන ජනතාවට කියන්න කුමන ද්‍රව්‍ය ද මේ කන්ටිනේර්ස් වල තියෙන්නේ? කවුද මේ රෙස්කිව් එකට අපේ රටට සහභාගී වෙන්නේ ? ඒ වගේම මේ නැව අයිති සමාගම කුමක්ද කරන්න යන්නේ කියලා.”

    “මෙකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලම හානියක්. මොකද මේකේ කවදා හෝ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේත් දරුවන්ට. මම දකිනවා මේක අපේ ලංකාවට කරපු, අපේ මුහුදට කරපු, අපේ ධීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරැද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැනත්.” ඇය පැවසුවාය.

    ඊයේ (02) කොළඹ කොළඹ අගරදගුරු නිවසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ නැව් අනතුරින් සිදුවන හානිය ඉතාමත් බරපතල බැවින් වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටි බවයි. එසේ ඉවතට ගෙන යා නොහැකිනම් නැවේ තෙල් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත්, මතුවී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් ඉදිරිපත් වී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසුවේය.

    a dead fish from ship fire

    මෙම අනතුර සහ එහි පරිසර අවදානම ගැන සිය අදහස් දක්වමින් ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේ නැවේ ප්‍රවාහනය කළ බොහෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වන නර්ඩල්ස් නමින් හැඳින්වෙන ප්ලාස්ටික් පෙති මෙට්‍රික් ටොන් 78 ක් තිබී ඇති බවත් අනතුරේදී සාගරයට මුසු වූ එම ප්ලාස්ටික් පෙති කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරවලට දැනටමත් ගොඩගසා ඇති බවත්ය.

    “මෙම ප්ලාස්ටි පෙති කැලණිය හා මීගමුව වැනි කලපු හා ගංගා පද්ධතිවලට සහ වරාය නගරයට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ සුළඟින් සහ ධාරා වලින් – මුහුදු වෙරළ මතුපිට රැඳී සිටින අතර ඒවා ජෛව හායනයට ලක් නොවන බැවින් සාගර පරිසරයේ සදහටම පවතිනවා”

    එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව වෙතින් ප්ලාස්ටික් පෙති බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක්වී ඇති බැවින් ඒවායෙහි මාර්ගය පුරෝකථනය කළ විට ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කරනු ඇති බව පැහැදිලියි. ඒ වගේමෙ දූෂණ කාරක කාබනික සහ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක් රැස් වීම නිසා යම් මුහුදු ප්‍රදේශවල ජීව පද්ධතියේ අසමතුලිතතා ඇති වන අතර ඇල්ගී වර්ග ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් මුහුදු පත්ලේ සහ ගල්පරවල සිටින ජීවීන් මිය යෑමට ඉඩ තිබෙනවා‘‘ යැයි ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේය..

  • අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

  • කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    ජූනි මස 02 වැනි දිනට අදාළව කොවිඩ්-19 මරණ පිළිබද නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) රාත්‍රී 22.30ට නිකුත් කළා. එම නිවේදනය අනුව මැයි 17 වැනි දින සිට ජූනි 01 දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී ඇති අතර ජූනි 02 වැනිදා එක් මරණයක් හෝ වාර්තා වී නැහැ.

    මෙදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ විශේෂත්වයක් දැකගත හැකියි. ඒ ගැන පහත නිල නිවේදනය මගින් ඔබට ම අදහසක් ලබා ගත හැකියි.

    covid-death-jun-2

    මේ අතර පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු ඇමැති මහචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (02) පැවසුවේ ‘කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා කරන ප්‍රමාණයට වඩා වැඩි බවයි.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පැවසූයේ මාධ්‍යවේදී චතුර දිසානායක සමඟ සිදුකළ Q5 with CHATHURA වැඩසටහනට එක්වෙමිනුයි. එහිදී මාධ්‍යවේදී චතුර දිසානායක මහාචාර්යවරයාගෙන් “පසුගිය දවස්වල අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ වාර්තාවන මරණවලට වඩා මරණ සිදුවෙනවා කියලා… මේ මරණ වාර්තා නිවැරදි නැහැ කියලා… ඒක ඇත්තක්ද?” යැයි විමසුවා.

    චතුරගේ එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ සදහන් කළා, “ඒකේ ඇත්තක් තියෙනවා. හේතු කිහිපයක් උඩ. එකක් රෝගීන් සංඛ්‍යාව ඉදිරිපත්කරන ඒ ගාන නියම මැනීමක් නෙමෙයි. PCR පරීක්ෂණ පැවැත්වීමේ මදි කම එක පැත්තකින් තියෙනවා. අනික් පැත්තෙන් රෝගීන් සෑහෙන්න පිරිසක් රෝහල්ගතවෙන්නෙත් නැහැ. මරණ සම්බන්ධවත් සමහර අය ගෙවල්වල රැඳී ඉඳලා ඉස්පිරිතාලවලට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් විවිධ හේතූන් නිසා මැරෙන්න පුළුවන් කොවිඩ් වෛරසය බෝවෙලා තියෙන්නත් පුළුවන්. මැරුණේ කොවිඩ් 19න් වුනාට ඒවා සඳහන් කරන්නේ කොවිඩ් මරණ හැටියට නෙවෙයි.

    කනගාටුයි කියන්න, හරියට මදිකමක් වාගේ කලින් තිබුන තත්වයෙන් වෙනස් වෙලා මේක වැඩිවේගන යාම දකින්නේ. අපිට කරන්න තියෙන්නේ ඇත්ත තත්වෙ මොකද්ද කියලා දැනගෙන ඒකට උපරිම ලෙස ක්‍රියාකාරීමයි.” යනුවෙනි.

  • ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා.

    මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියනවා.

    එම මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන වාර්තාවලට අනුව පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149 දෙනකු වූ අතර මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් මැයි 31 වනදා වනවිට 330 දක්වාත් වර්ධනය වී තිබෙනවා.