Tag: featured

  • කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ  3(6),  30(3),  55(2) සහ 58(1),  3(5), 3(7), 6(1) (ආ), 30(3) , 71(1) සහ 74 (අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය“) යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

    එමෙන්ම පනත කෙටුම්පතේ 30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයිකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව වේ.

    මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් සඳහා පාර්ලිමේනතුවේ විශේෂ බහුතරයිකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව පනත් කෙටුම්පතේ 3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3)  (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්  සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුය.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව යයි.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලුවේය.

    ඒ අනුව අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

    අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලීය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙම දිගු ඔස්සේ ඔබට පරිශීලනය කළ හැකිය.https://www.scribd.com/embeds/508293531/content

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා.

    එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට ප්‍රාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

    මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

    මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ඉදිරියේ විභාග වුණා.

  • විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

    විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 24 සඳුදා සහ 25 අඟහරුවාදා දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

  • රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්

    රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්

    රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

  • කොළඹ වරාය නගර  පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

    කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. 

    එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය. එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

  • චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්වියට සයිබර් ප්‍රහාරයක් – අවදානම තවදුරටත්

    චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්වියට සයිබර් ප්‍රහාරයක් – අවදානම තවදුරටත්

    චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් අද උදෑසන (18) සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. අද උදෑසන සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට ප්‍රථම අනතුරු ඇගවීමක් සිදුකරන ලදී.

    පසුගිය වසර දෙකේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මෙවරත් සයිබර් ප්‍රහාරයකට ලක්වීම ශ්‍රී ලංකා රජය සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය විදහා දැක්වෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි කනගාටුවට පත්වෙමු.

    මෙම සයිබර් ප්‍රහාරය සිදුකල Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායම විසින් ඉදිරි දින කිහිපයේදීත් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

  • ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්

    ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්

    “ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලූ විට වැඩිපුර දැකිය හැකි වන්නේ වාසි බවත් ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,” යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කරයි.

    අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා, ‘‘කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් පස් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළ යා හැකි බවයි අපි විශ්වාස කරන්නේ. ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම‘‘

    මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද (17) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

    “ගර්භනී මවුවරුන්ට එන්නත් කිරීමට සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි‘‘ විශේෂ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා කියා සිටියේය.

  • ‘ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා’

    ‘ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා’

    ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා යැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයට චෝදනා කරයි.

    ජාතික විද්වත් සංවිධානය අද (17) බත්තරමුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අබේසිංහ මහතා මේ බව අවධාරණය කරනු ලැබීය. ජාතික විද්වත් සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්දන අබේරත්න, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම මාධ්‍ය හමුවට එක්වී සිටිය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, ‘‘කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳවත් මේ වනවිට සමාජයට විශේෂයෙන් බලපාන කරුණු කිහිපයක් පිළිබඳවත් ජාතික විද්වත් සංවිධානය හැටියට අපි දරන අදහස් මා මෙහිදී පැහැදිලි කරන්නම්. ගෝලීය වසංගතය පසුගිය මාස 16ක විතර කාලයකදී පැතිරී යනවා. අපේ රටත් මාස 14ක විතර පැතිරී යමින් තිඛෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ මාස 2ක පමණ සිට වේගවත් වෙමින් තිඛෙනවා. ඉන්දියාව මේ ව්‍යසනයෙන් ඉතාම බරපතළ තත්වයකට පත්වෙනවා දැක දැකත් අපේ රටෙ කළ යුතුව තිබූ සූදානම් කිරීම් සිදු නොකර මේ වනවිට රට බරපතළ අනතුරකට ඇද දාලා තියෙන්නේ. වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් මූලිකව බැලූවාම අදාල තීන්දු-තීරණ ගැනීම ඉතාමත් බරපතළ ලෙස ප්‍රමාදයි. අනික් පැත්තෙන් වසංගතය පාලනය කිරීමේ මූලික වගකීම කා සතුද? මේ වගකීම ගන්නේ කවුද? කියන එක ගැන කිසිම පැහැදිලිකමක් නැහැ. විවිධ අමාත්‍යවරු, විවිධ නිලධාරීන් විවිධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවල ඒකමතියක් පෙන්නේ නැහැ.

    මෙය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා සම්පූර්ණ වගකීම රට තුළ තිඛෙන්නේ සෞඛය අමාත්‍යාංශයට. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වගකිව යුතු නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයායි. කවුරු තීරණ ගත්තත් අවසන් බලධාරියා වෙන්නේ ඔහු බව සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා බව අපි මතක් කළ යුතුයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසංගතයට මුහුණ දීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මැතිවරණයෙන් පරාජය වුණා. බ්‍රසීලයේ ජනාධිපතිටත් සාපරාධී ඝාතන චෝදනා මේ වසංගතය සම්බන්ධයෙන් එල්ල වී තිඛෙනවා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයාට, බ්‍රිතාන්‍යයේ ලන්සට් සඟරාවෙන් කෙලින්ම චෝදනා කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ තීන්දු-තීරණ ගැනීම තීරණාත්මකයි. අපේ රටේ මහජන සෞඛ්‍ය සහ රෝග වැළැක්වීම පිළිබඳව වසංගතවේදය පිළිබඳව ඉතිහාසයේ කීර්තිනාමයක් තිබුණු රටක්. අවම වියදමකින් මහජන සේවාවක් හැටියට සෞඛ්‍යය පවත්වාගෙන ගිය රටක්. මේ වසංගතය පාලනය කිරීමේ විශේෂ වගකීමක් අපි සියලූම දෙනාට මේ වෙලාවේ තියෙනවා.

    අපේ රටේ ඉතිහාසයේදී මේ වගේ වසංගතයන් පාලනය කළේ “වසංගත රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවකින්”. ඒ උපදේශක කමිටුවේ මෙහෙයවීම මත සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා කටයුතු කළා. මේ වෙලාවේ ඒ කමිටුව අකර්මණ්‍ය කරලා හෝ අකර්මණ්‍ය වෙලා. ඒ නිසා තව දුරටත් ඒ කමිටුව කෙරෙහි විශ්වාසය තියන්න බැරිවෙනවා. මේ ගොලීය අභියෝගයේ බැරෑරුම්කම ආණ්ඩුව තවමත් තේරුම් අරගෙන නැහැ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පැනවූවා, විශේෂඥ අවබෝධයක් සහිත කණ්ඩායමක් මගින් වසංගතය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගත යුතු බවට. ඒ අනුව නවදිල්ලිය ඒ වෙනකොට ලොක්ඩවුන් කරලා. සිංගප්පූරුව මාසයක් රට ලොක්ඩවුන් කරලා. මේ වෙලාවේ අපේ කලාපය තුළ බී.11 ප්‍රභේදය සහ බී.167 කියන ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටට ඉතාමත් තීරණාත්මකයි. මේ වෙනකොට දෛනිකව 2,000කට වැඩි ආසාධිතයින් සහ මරණ 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනකට පී.සී.ආර්. පරීක‍ෂණ 25,000කට සීමා වෙලා නිසා ආසාධිතයින් වැඩිවීම සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. පී.සී.ආර්. කරන ප්‍රමාණයට සාපේක‍ෂව ආසාධිතයින් හඳුනාගන්නා ප්‍රමාණයේ ප්‍රතිශතය විතරයි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ.

    දවසකට එක ආසාධිතයෙක් හඳුනාගන්නකොට ඔහුගේ පවුලේ සහ සමීපතමයන් අනිවාර්යයෙන්ම අඩුම තරමෙන් දෙදෙනෙකුවත් ඉන්න ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 6,000ක් ඉන්න තැනක හඳුනාගන්නේ 2,000ක් වගේ සංඛ්‍යාවක් පමණයි. මේ අයගෙනුත් 80%ක් රෝග ලක‍ෂණ නොපෙන්වන ආසාධිතයෝ. 15%කට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5%කට රෝහල්ගත වෙන්න සිදුවෙනවා. ඒ වගේම 1%ක්වත් අඩුම තරමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න වෙනවා. මේ දැඩිසත්කාර ඒකක අවශ්‍යතාවය සැලකූවත් දිනකට 60ක් විතර වෙනවා. මේ එක් අයෙක් අඩුම තරමින් දින 10ක්වත් රෝහල් තුළ රැකබලාගන්න වෙනවා. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නෙ බරපතළ තත්වයක්. රෝහල්වලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා වෙලා. ඒ නිසා අපි හැමෝටම බලපාන තීරණාත්මක තත්වයකට රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ නිවැරදි පියවර නොගත්තොත් බරපතළ ඛේදවාචකයකට පත්වෙනවා.

    අපිට තියෙන එක බලාපොරොත්තුවක් වන්නේ එන්නත්කරණය මගින් රෝගය පාලනය කර ගැනීමයි. වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට අවුරුදු 30කට අධික කාලයක් රාජකාරී කර, අවුරුදු 38ක් මහජන සෞඛ්‍ය සේවයේ යෙදී සිට ලබාගත් අත්දැකීම් අනුව අපි එන්නත් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අද ඇතිවෙලා තිඛෙනවා. එන්නත් කරන්නේ වසංගතය අවම කර ගන්නද, රෝගීන් අවම කර ගන්නද? එහෙම නැත්නම් වෛරසය තුරන් කරන්නද කියලා කිසි දෙයක් පැහැදිලි නැහැ. රජයේ තීන්දු-තීරණ ගන්නා අය විශේෂඥ කරුණු දැක්වීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපිටත් මේක තේරුම් ගන්න බැහැ. මේ වෙනකොට තියෙන එන්නත් 100%ක් සාර්ථකභාවය ඔප්පු කළ ඒවා නෙවෙයි. එන්නත් වාර දෙක ලබාගත්ත රටවල නැවත ආසාධනය වී මියගිය තත්වයන් වාර්තා වෙනවා. සියලූ ප්‍රශ්න විසඳන එන්නත් අපිට නැහැ. අලූත් එන්නත් සඳහා පර්යේෂණ යුරෝපයේ සිදුකරනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොටත් අපිට ප්‍රමාණවත් එන්නත් ලබාගන්න වෙන්නේ නැහැ. ධනවත් රටවල් එක්ක තරඟකරලා එන්නත් ලබාගන්න හැකියාවක් අපේ රටට නැහැ. එන්නත්වලින් අප කළ යුත්තේ මරණ සංඛ්‍යාව අවම කිරීම සහ සංකූලතා ඇතිවීම අවම කිරීමයි. අපිට ඒ වැනි ඉලක්කයක් පේන්නේ නැහැ.

    රෝගයට වැඩි වශයෙන් නිරාවරණය වන අය එන්නත්වල ප්‍රමුඛතාවය ගත යුතුයි. ඒ වගේම අපනයන ආදායම උපයා දෙන ක්ෂේත්‍රවල අයටත් ප්‍රමුඛතාවය දිය යුතුයි. රට ආර්ථීක වශයෙනුත් සමාජයීය වශයෙනුත් රැකගන්න හැකි වෙන්නේ එහෙම කළොත් විතරයි. ලැබී තිබෙන සුළු එන්නත් ප්‍රමාණය නිසි පරිදි කලමණනාකරණය කරගත යුතුයි. රට තුළ සංචරණ සීමා පනවා ඉක්මනින් පාලනය කරගත යුතුයි. වෛරසයට නිරාවරණය වුණු පුද්ගලයින් සංචරණයේදීම වළක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවලට ඉඩ තියාගෙන සංචරණ සීමා සිදුකළ යුතුයි. වෛද්‍ය වෘත්තිකයින් සහ සෞඛ්‍ය අංශයේ සියලූම දෙනා රජයට යෝජනා කරන්නේ සංචරණ සීමාව තුළින් ක්‍රමිකව වසංගතය පාලනය කරන්නයි. නමුත් මෙතෙක් වගේම පමා වෙලා තීන්දු ගත්තොත් රට බරපතළ ඛේදවාචකයට ගොදුරු වෙනවා. අපි සියලූ දෙනාම මේ තීරණාත්මක මොහොතේදී සාමූහිකව කටයුතු කරමින් පෙළගැසෙන්න ඕනෑ. ජාතික විද්වත් සංවිධානය ඒ බව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව විශාලා නුවරක් බවට පත්වීමට ඉඩ නොදී බේරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හැකි සියලූ දෙනාම නිවෙස්වල රැඳී සිටිමින් තමන්ගෙත් අන් අයගේත් ආරක‍ෂා තහුවරු කරගන්න ඕනෑ.

  • මැයි 21-25 දිනවල යළිත් දවස පුරා සංචරණ සීමා

    මැයි 21-25 දිනවල යළිත් දවස පුරා සංචරණ සීමා

    මැයි 21 වන සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 වන අගහරුවාදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා අද (17) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    නැවත මැයි 25 වන අගහරුවාදා රාත්‍රි 11.00 සිට මැයි 28 සිකුරාදා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    ප්_රවෘත්ති-නිවේදනය-475

  • “වෙලේ සුදා” පොලිසිය සමඟ ෂූටින් නොයා බේරුණාද..?

    “වෙලේ සුදා” පොලිසිය සමඟ ෂූටින් නොයා බේරුණාද..?

    මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.

    හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින තම පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව වන ආර්.ජී. මාලනී මහත්මිය විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවනු ලැබීය.

    පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය.

    පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී ඇත.

    පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

    පසුගිය මැයි 11/12 දිනවලදී අපරාධකරුවන් බව කියන ඌරුජුවා සහ කොස්ගොඩ තාරක නම් පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාරයෙන් පිටත රැගෙන යාමේදී ඝාතනය කිරීම ගැන පොලිසියට බරපතළ විවේචනයක් එල්ල වූ අතර මැයි 13 වැනි දින මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඝාතන දැඩිව හෙළා දැක්කේය.

    මීට පෙර අවස්ථා ගණනාවකදී ම අපරාධපරුවන් කිහිප දෙනකුම මේ ආකාරයෙන් විමර්ශන සදහා පිටත රැගෙන යාමේදී ඝාතනයට ලක්විය.

  • කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට

    කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට

    වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව  ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කරන ලදී. යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවේ දී මෙම තීරණය කරන ගන්නා ලදී.

    දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීමට තීරණය විය. මෙහි දී වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට කාර්ය මණ්ඩල යොමු කිරීමට තීරණය කරන ලදී.

    එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දුන් අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ වලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදු කිරීමට කටයුතු කරන ලෙසට ද මෙම කමිටුවේ දී තීරණය විය.

  • ‘කොවිඩ් ආසාදිත නම් එන්නත්කරණය නිෂ්ඵලයි’

    ‘කොවිඩ් ආසාදිත නම් එන්නත්කරණය නිෂ්ඵලයි’

    කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.

    කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා එය නිෂ්ඵල දෙයක් බවට පතවෙනවා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම එය සුදුසුත් නැහැ”

    මෙහිදී කොවිඩ් ආසාදිත, නමුත් සුළු රෝග ලක්ෂණ ඇති ආසාදිතයින් ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමක් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, “කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්.”

    මේ අතර ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ‘අද දෙරණ‘ සමග වැදගත් හෙළිකිරීමක් කර තිබෙනවා. මෙහිදී විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සේනානායක මහතා පෙන්වා දෙන්නේ අධිබර ගැබිණි මව්වරුන්, ස්ථූල කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇති විය හැකි බවයි.

    ‘‘අධිබර කාණ්ඩයේ පිරිමි අයට වුණත් කොවිඩ් ආසාදනය වුණොත් තියෙන සංකූලතා වැඩි වෙනවා. උග්‍ර අතට හැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා‘‘ යැයි මහාචාර්යවරයා අවධාරණය කරනවා.

  • ගමේ වැව ‘විදුලි බලාගාරයක්’ කරගන්න නොහැකි ද ?

    ගමේ වැව ‘විදුලි බලාගාරයක්’ කරගන්න නොහැකි ද ?

    වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ.

    චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

    වර්තමාන ලෝකය මුහුණ දෙන අභියෝග අතරින් ප්‍රධානතම අභියෝගයන් ලෙස බලශක්ති අර්බුදය හැඳින්විය හැකිය. රටක බලශක්ති ඉල්ලුම සපුරාලීම – සම්පත් සීමිත, සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික ශක්තිය අඩු රටවල් සඳහා ඉතා අසීරු මෙන් ම විශාල වියදමක් දැරිය යුතු කටයුත්තක් බවට පත්ව තිබේ.

    එසේම ගෝලීය බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කරනු ලබන මූලික ප්‍රභවය වන ඛනිජ තෙල් දහනය හේතුවෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහලයාම සහ ඒ ආශ්‍රිත පාරිසරික ගැටලු හේතුවෙන් ඛනිජ තෙල් වලින් බැහැරව විකල්ප බලශක්ති උත්පාදන ප්‍රභවයන් වෙත යොමු වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

    සූර්ය පැනල සඳහා කිසියම් වියදමක් දැරීමට සිදු වුවුද භාවිතය සමඟ ක්ෂය නොවීම, (පුනර්ජනනීය ප්‍රභවයක් වීම) භාවිතයේ දී පරිසරයට හානි සිදු නොවීම, නඩත්තු වියදම හැරුනු කොට බලශක්ති නිෂ්පාදනය සඳහා භාවිතාවන අමුද්‍රව්‍ය සඳහා කිසිදු වියදමක් සිදු නොවීම හේතුවෙන් සූර්ය ශක්තිය මගින් විදුලි බලය නිශ්පාදනය  ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.

    පාවෙන සූර්ය බලාගාර යනු මොනවාද?

    සූර්යාගේ ආලෝක ශක්තිය මගින් විදුලි බලය නිශ්පාදනය කලහැකි සූර්ය කෝෂ නැතහොත් සූර්ය පැනල භාවිතා කිරීමේ නවතම ක්‍රමයක් ලෙස පාවෙන සූර්ය පැනල පදිධති හඳුන්වා දිය හැක. වහලය මත හෝ විවෘත බිමක ස්ථාවරව සවිකිරීම වෙනුවට  ජල පෘෂ්ඨක් මත පාවෙමින් පවතින පරිදි සකස් කර ඇති සූර්ය කෝෂ/පැනල පද්ධති- පාවෙන සූර්ය බලාගාර ලෙස හඳුන්වයි. වහලය මත හෝ භූමියන ස්ථාවරව සවිකිරීමේ ක්‍රමයට සාපේක්ෂව මෙම ක්‍රමය මඟින් ලබා ගත හැකි වාසි හේතුවෙන්ම පාවෙන සූර්ය බලාගාර බොහෝ වේගයෙන් ලෝකය පුරා ප්‍රචලිත වෙමින් පවතී.

    දැනට පවතින තාක්ෂණයට අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා වැයවන වියදම භූමිය මත ස්ථාපනය කරන බලාගාරයට වැයවෙන වියදමට වඩා සුළු වශයෙන් ඉහළ අගයක් ගත්ත ද පසුගිය දශකයක කාලය තුළදී මෙම වියදම 30%කින් පමණ අඩු වී ඇති අතර ඉදිරි කාලයේදී එය තවදුරටත් අඩුවන බවට පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.

    පාවෙන මාදිලියේ සූර්ය බලාගාර මඟින් ඇති වාසි

    ඉඩම් සඳහා තරඟයක් ඇති නොවීමත්, සෙවන මඟින් සිදු වන බලපෑම අල්ප වීමත්, ඉහල ධාරිතාවක් කාර්යකෂමව නිෂ්පාදනය කිරීමේ හැකියාවත් පාවෙන මාදිලියේ සූර්ය බලාගාර මගින් ලබාගත හැකි ප්‍රධාන වාසි ලෙස දැක්විය හැක. එසේම, මෙම ජල ප්‍රෘෂඨය මතින් සිදුවන වාෂ්පීභවනය අඩු වීම සහ ඇල්ගී වර්ධනය සීමා වීම තුළින් ජලය නාස්තිය වීම අවම වීම සහ සුපෝෂණය වැනි තත්ත්වයන් ඇතිවීමට ඇති අවස්ථාවන් අවම වේ.  ඒ අනුව පාවෙන සූර්ය බලාගාර විදුලි ජනනය සඳහා වන පරිසර හිතකාමී සහ තිරසාර විකල්පයක් ලෙසත්, අතිරේක ආදායමක් ලබාගතහැකි  ආයෝජන අවස්ථාවක් ලෙසත්, සමස්ථ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ක්‍රමයක් ලෙසත් හඳුනාගත හැකිය.

    එසේම ආවරණය නොවූ ජල පෘෂ්ඨයකින් සිදු වන වාෂ්පීභානයට සාපේක්ෂව පාවෙන සූර්ය පැනල මගින් ආවරණය වී ඇති ජල පෘෂඨයකින් ජලය ඉවත්වීම 70%කින් පමණ අඩු වන බවත් ජල ප්‍රභවය මඟින් ඇති කරන සිසිල් බව හේතුවෙන් සූර්ය කෝෂ තුළ විදුලිය නිෂ්පාදනය 6%ක් පමණ අගයකින් ඉහළ යන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

    පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය

    සංඛ්‍යාව අතින් ඉහළම පාවෙන සූර්ය බලාගාර ප්‍රමාණයක් වාර්ථා වන්නේ ජපානයෙන් වුවද ධාරිතාවය අතින් ඉහළම පාවෙන සූර්ය බලාගාරයට හිමිකම් කියන චීනය මෙම ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයා ලෙස සැලකේ. චීනය හා ජපානයට අමතරව තායිවානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, සිංගප්පූරුව, ඉතාලිය හා නෙදර්ලන්තය වැනි රටවල් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම අතින් ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වේ. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා කෘත්‍රීම පොකුණු, කෘෂිකාර්මික ජලාශ, අපජලය රැස් කරන ජලාශ, අත්හැර දමන ලද පතල් ආශ්‍රිත ජලාශ ආදී ජල ප්‍රභව රැසක් භාවිතා කරයි. දකුණු ආසියාතික කලාපයේ පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ප්‍රමුඛයා ලෙස ඉන්දියාව හැඳින්විය හැකි අතර සාපේක්ෂව කුඩා පරිමාණයේ නමුත්, විවිධ කාර්යයන් සඳහා ඉදි කරන ලද ජලාශ කිහිපයක් භාවිතා කරමින් පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමට ඉන්දියාව මේ වනවිට සමත්ව ඇත.

    ශ්‍රී ලංකාවට මේ සඳහා ඇති අවස්ථාව

    සූර්ය බල සංග්‍රාමයේ  හතරවන අදියර යටතේ  මෙගා වොට් 400ක ධාරිතාවක් ලබාගතහැකි පරිදි පාවෙන සූර්ය බලාගාර හතරක් ඉදිකිරීමට යෝජනා කර ඇති අතර ඉන් පළමුවැන්න ලෙස මෙගා වොට් 100ක  පාවෙන සූර්ය බලාගාරයක් මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු සූර්ය බල ආයතනය (Canadian Solar Institute) අතර අවබෝධතා ගිවිසුමක් 2019 අප්‍රේල් මාසයේ දී අත්සන් තැබිණ. නමුත් ගිවිසුම් අත්සන් කිරීම හැරුණු කොට ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුනු බවක් හෝ එහි මූලික අදියරේ වැඩකටයුතු කඩිනමින් සිදු වන බවක් හෝ පෙනෙන්නට නොමැති වීම කණගාටුවට කරුණකි.

    නමුත් සතුටු විය හැකි කරුණක් නම්, මීට මාස කීපයකට ඉහතදී යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොචිචි මණ්ඩපයට අයත් වපසරිය තුළ කුඩා පරිමාණයේ පාවෙන සූර්ය කෝෂ පද්ධතියක් ඉදිකර අවසන් වූ අතර එය ලංකාවේ ඉදිවූ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය ලෙස ඉතිහාසයට එක් විය.

    බහුකාර්යය ජලාශ, මහා වාරි සහ මධ්‍ය වාරි ජලාශ, නාගරික වැව් ආදිය හැරුණු කොට පාවෙන සූර්ය පැනල පද්ධති සඳහා භාවිතා කළ හැකි තවත් ජලාශ කාණඩයක්  ශ්‍රී ලංකාව සතුවේ. ඒ අන් කිසිවක් නොව ග්‍රාමීය වැව් පද්ධතියයි.  සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 14000ක් පමණ වන මෙවැනි වැව්වලින් ඇතැම් වැව් ගොවිතැන සඳහා දියවර සපයන අතර ඇතැම් වැව්  ගොවිතැන් සඳහා ජලය ලබා දීමක් සිදු නොකල ද ග්‍රාමීය ප්‍රජාවගේ දෛනික ජල අවශ්‍යතාවන් සපුරාලයි. මෙම ග්‍රාමීය වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම කෙතරම් යෝග්‍ය ද සහ එමඟින් ග්‍රාමීය ප්‍රජාවට සහ රටේ සමස්ත ආර්ථිකයට සැපයිය හැකි දායකත්වය කෙබඳුද යන්න විමසා බැලිම මෙම ලිපියේ මූලික අරමුණයි.

    මෙසේ ලබාගන්නා විදුලිය භාවිතා කර වැවට ඉහලින් ඇති මෙතෙක් වැවෙන් ජලය ලබා ගත නොහැකි වු ඉඩම් සදහා ජලය පොම්ප කර ලබා දීම සදහා යොදා ගැනිමේ අවස්ථාවක් ද පවතී. එම සේවාව වෙනුවෙන් අදාල ගෙවීන්ගෙන් යම් මුදලක් අයකර එය වැවේ හෝ ගමේ සංවර්ධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ද හැකිය

    ග්‍රාමීය වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට ඇති හැකියාව සහ එමගින් ලබාගත හැකි වාසි

    ගොවිතැන් සඳහා ජලය ලබාගන්නා වැව් බොහොමයක් ගොවි සංවිධාන යටතේ පාලනය සහ නඩත්තු වේ. එබැවින මෙවැනි කුඩා වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම එම වැව් හා සම්බන්ධ ගොවි සංවිධාන වලට විශාල වාසි අත්කර දියහැකි අවස්ථාවකි.

    ග්‍රාමීය වැව් පද්ධතිය තුළ විශාල විවිධත්වයක් පවති. එබැවින් පළමුවෙන්ම – වැවේ වර්ගප්‍රමාණය, ගැඹුර, වැවේ පැරණි බව, ජලය පිරී පවතින කාලය, වැවෙහි භාවිතයන්, වැවට පිවිසීමට ඇති පහසුව සහ විදුලි සැපයුම් පද්ධතියකට ඇති දුර ආදී කරුණු සැලකිල්ලට ගනිමින් වැව් විවිධ කාණ්ඩ යටතට වර්ගකර ඒ ඒ වැව් තුළ  පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට ඇති විභවය හඳුනා ගැනීම වැදගත් වේ. 

    ඇතැම් වැව් වල  වසර පුරා ජලය පිරී පවතින නමුත් ඇතැම් වැව් වර්ෂාව අඩු කාලයේ දී සිඳී යයි. එසේ සිඳී ගිය පසු (හරකුන් තණ උලාකෑම වැනි භාවිතයක් හැරෙන්නට) වෙනත් විශේෂ කටයුත්තක් සඳහා වැව් භූමිය භාවිතා කිරීමක් සිදු නොවේ. මේ නිසා පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් විශේෂ අහිතකර බලපෑමක් ග්‍රාමීය ප්‍රජාවන්ට ඇති නොවේ. එසේම සූර්ය පැනල මගින් ආවරණය වන ප්‍රමාණය වැවේ වර්ගප්‍රමාණයෙන් 10%-30% පමණ හෝ ඇතැම් විට ඊටත් අඩු වන නිසා සූර්ය පැනල මගින් ධීවර කටයුතු වලට සිදුවිය හැකි බාධාව ද අවම වේ.

    වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ. බොහෝ ගම්මාන සතුව ප්‍රජා ශාලාවක් හෝ ගමේ පොදු කටයුතු සඳහා පිරිසකට රැස්විය හැකි ස්ථානයක් පැවතිය ද එවැනි ඇතැම් ශලාවන්ට විදුලිය පහසුකම් නොමැත. එවැනි අවස්ථාවක ගමේ වැව මත පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකර අදාළ ශාලාව සඳහා විදුලිය සපයා ගත හැකිය.

    එසේම ඉන් නිපදවෙන අතිරික්ත විදුලිය ජාතික විදුලි සැපයුමට විකිණිම මගින් ආදායමක් උපයා ගැනීමට ද ගොවි සංවිධානයට අවස්ථාව උදා වේ. එම ආදායම ඉහතින් සඳහන් කල මධ්‍යස්ථාවනට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සංවර්ධන අවශ්‍යතාවයන් සදහා භාවිතා කල හැක. විශේෂයෙන්ම මෙම ආදායම නිශ්චිත අදාදයමක් නිසාවෙන් ගොවිතැන් වලින් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ආදායම් අහිමිව යන අවස්ථාවන්හිදි ගොවි සංවිධානයන් හි ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා විශාල සහයෝගයක් වනු ඇත.

    මෙසේ ලබාගන්නා විදුලිය භාවිතා කර වැවට ඉහලින් ඇති මෙතෙක් වැවෙන් ජලය ලබා ගත නොහැකි වු ඉඩම් සදහා ජලය පොම්ප කර ලබා දීම සදහා යොදා ගැනිමේ අවස්ථාවක් ද පවතී. එම සේවාව වෙනුවෙන් අදාල ගෙවීන්ගෙන් යම් මුදලක් අයකර එය වැවේ හෝ ගමේ සංවර්ධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ද හැකිය. එසේම ගමේ විදුලි බලය නොමැති සිමිත ගෘහ ඒකක ගණනකට අඩු පිරිවැයකින් විදුලිය ලබා දිය හැකි ප්‍රජා විදුලි සැපයුම් පද්ධතියක් පවත්වාගෙන යාමට ද මෙවැනි පාවෙන බලාගාර යොදා ගත හැක. ඉන්දියාව වැනි රටවල එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වෙමින පවතී. එමෙන්ම වැව අවට පිහිටා ඇති ගොවි බිම් සදහා විසිරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි වැඩිදියුණුකළ ජල සැපයුම් ක්‍රම භාවිතා කිරීම සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියාත්මක වන ජල මෝටර් යොදා ගැනීම සඳහා ද අවස්ථාවක් පවති.

    පුණර්ජණනීය බලශක්ති නිශ්පාදනය මගින් රටේ ප්‍රධාන විදුලි සැපයුමට දායකත්වයක් සපයන බැවින් අංශ කීපයක් හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවැනි ව්‍යාපෘති ඉවහල් වේ.  එනම් ඛනිජ තෙල් ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි වීම, පරිසර දූෂණය අඩු වීම, ජල විදුලිය සඳහා පවතින ඉල්ලුම අඩු වීම සහ, වාෂ්පීභවනය අඩුවීම මගින් ජල හානිය අවම වී එසේ ඉතිරි වන ජලය වෙනත් අවශ්‍යතා යොදා හැකි වීම මෙම ක්‍රමය මගින් ලබා ගතහැකි අතිරේක වාසි වේ.

    ස්ථිර සහ අඛණ්ඩව ආදායමක් ලබා ගතහැකි වීමත්, පුණර්ජණනීය ප්‍රභවයන් භාවිතා කිරීම නිසා කාබන් ඩයොක්සයිඩි විමෝචනය අඩු කිරීමට දායකතත්වයක් සැපයීමත් නිසා පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දෙස් විදෙස් – පුද්ගලික අංශයේ ආයෝජකයන් මහත් කැමැත්තක් දක්වනු ඇත.  එබැවින් අවශ්‍ය නම් ගොවි සංවිධානවලට තම ගමේ වැව මෙවැනි ව්‍යාපෘති ඉදිකිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත පෞද්ගලික අංශයේ ආයෝජකයින් හට ලබා දිය හැකිය.  එවිට අදාල ව්‍යාපෘතිය සඳහා ගොවි සංවිධානයට කිසිදු මුදලක් වැය කිරීමට සිදු නොවන අතර වැව ලබා දීම වෙනුවෙන් මාස්පතා ලැබෙන ආදායම තම සංවිධානයේ සංවර්ධන අවශ්‍යතා සඳහා යොදා ගත හැකිය. 

    කාබන් ඩයොක්සයිඩි විමෝචනය ඉහළ යාම සහ ඒ නිසා ඇතිවන දේශගුණික විපර්යාස හේතුවෙන් මුලු ලෝකයම පීඩා විඳින මෙවන් වකවානුවක, කාබන් ඩයොක්සයිඩි විමෝචනය අවම කිරීමට ආයක වන මෙවැනි ව්‍යාපෘති ඉතා වටිනා අවස්ථාවන් රැසක් උදා කර දෙයි.  පැරිස් සම්මුතිය මඟින් අපේක්ෂිත, කාබන් ඩයොක්සයිඩි විමෝචනය අවම කිරීම සඳහා අප රටට පැවරී ඇති ඉලක්කය වෙත ලඟා වීම සඳහා ද මෙවැනි ව්‍යාපෘති  මඟින් සැපයිය හැකි දායකත්වය අති මහත්ය. 

    කෙසේ නමුත් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ඇතිවිය හැකි දීර්ඝ කාලීන බලපෑම් පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති වීම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දියහැකි අවදානමකි. ඒ හැරුණුකොට ග්‍රාමීය වැව් ආශ්‍රිතව මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේ දී වැදගත් විය හැකි නමුත් මේවනවිට අප සතුව නොමැති ඇතැම් තොරතුරු/කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත්ය. 

    ග්‍රාමීය සහ ගොවිජන පර්යේෂණ සම්බන්ධයේන් ක්‍රියාත්මක වන  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය, ග්‍රාමීය වැව් ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර කිරීමේ දී වැදගත් විය හැකි තොරතුරු සපයා ගැනීමේ අරමුණින් පර්යේෂණ අධ්‍යයනයක් ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටී.  උදාහරණයක් ලෙස ලංකාව පුරා විසිරී ඇති වැව් ජාලයෙන් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය වැව් මොනවාද යන්න මූලිකව හඳුනා ගැනීම වැදගත් වේ.  ඒ අනුව අදාල ප්‍රදේශයට සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය, වැව වටා ඇති ගස් මඟින් සෙවන නොවී පවතිව වර්ග ප්‍රමාණය ජලයේ ගැඹුර සහ වැවේ වයස යන කරුණු මත පදනම්ව සූර්යාලෝකය මඟින් ආලෝකය නිපදවීමේ විභවතාවයක් සහිත වැව් හඳුනා ගැනීමට අවශ්‍ය වනු ඇත.  එමෙන්ම මෙවැනි ව්‍යාපෘතීන් සඳහා  ගොවීන්, ගොවි සංවිධාන, සහ පොදුවේ ග්‍රාමීය ප්‍රජාව දක්වන කැමැත්ත සහ මේ සම්බන්ධව ඔවුන්ගේ අදහස් මොනවා ද? යන්න ද හඳුනා ගත යුතුව ඇත. 

    තව ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමේ එහි අයිතිය, ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ  පවත්වාගෙන යාම කවුරුන් විසින් කෙසේ සිදු කළයුතු ද යන කාරණා  සැලකිල්ලට ගනිමින් මෙවැනි ව්‍යාපෘති සදහා භාවිතා කළ හැකි ක්‍රියාකාරීත්ව මොඩලයන් හදුනා ගැනීම ද  වැදගත් අවශ්‍යතාවයකි. 

    අවශ්‍ය පසුබිම් තොරතුරු සපයාගෙන ග්‍රාමීය වැව් ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිනම් එමඟින් ගොවි සහ ග්‍රාමීය ප්‍රජාවන්ටත්, පොදුවේ රටේ ආර්ථිකයටත් කිනම් ආකාරයේ  යහපත් බලපෑමක් සිදු වේ දැයි වටහා ගැනීමට හැකිවනු ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය ඉහළනැංවීමේ ප්‍රයත්නයට ද මෙවැනි නියමු ව්‍යාපෘතියක් මගින් අලගු සැපයෙනු ඇත. 

    චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ටත් නිවාඩු ඕනෑ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල ඉල්ලීමක්

    පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ටත් නිවාඩු ඕනෑ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල ඉල්ලීමක්

    කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම හමුවේ නිර්මාණය වෙමින් පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන්ගේ සුබසාධනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන 05ක් විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

    පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී නැති බවයි එම සංවිධාන පෙන්වා දී ඇත්තේ.

    ඩාබිඳු සාමූහිකය, ශ්‍රමාභිමානි කේන්ද්‍රය, ජනකලන සමාජ අසපුව, සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයයන සංවිධාන මෙම ලිපියට අස්සන් කර තිබෙනවා.

    එම ලිපියේ මෙසේ ද සදහන් වෙනවා. ‘‘සති 28ට වැඩි ගැබිණි මවුවරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අහිතකර තත්ත්වයකට යන බව විශේෂඥවරුන් පෙන්වා දී ඇත. රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවීමට රජය ගත් තීරණය ඉතා වැදගත්ය. එසේම පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නැවැත්විය හැකි නම් එය ඉතා අගනා තීරණයක් වනු ඇත.

    ඇතැම් ආයතන ගැබිණි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇති අතර නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩ කඩක් නොමැති වීම සමහර ගැබිණි මවුවරුන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයකි. එමෙන්ම බොහෝ ආයතන මේ වනවිට සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිණි මවුවරුන් අවදානම් තත්ත්වයේ පසුවන බව පෙන්වාදීමට අප කැමැත්තෙමු‘ යැයි ද එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

  • ජනපතිගේ ගැසට් රිවස් කළාට ‘පෝට්සිටි පනත’ නම් රිවස් කරන්න බැහැ – ටිල්වින් සිල්වා

    ජනපතිගේ ගැසට් රිවස් කළාට ‘පෝට්සිටි පනත’ නම් රිවස් කරන්න බැහැ – ටිල්වින් සිල්වා

    ‘මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, මේකට විරුද්ධ වෙන්න කියලා”

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළකරමින් අද (16) දින එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළකරනු ලැබීය.

    එම මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය….

    ” කොරෝනා පිළිබඳව අපි හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන වෙලාවක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත සම්මත කරගන්න උත්සාහ කරනවා. මේ පනත ඉදිරිපත් කළ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිත්, තවත් සංවිධාන ගණනාවක් සහ පුද්ගලයන් මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව කථානායකතුමාට එවලා තියෙන්නේ. 18වැනිදා කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙනවා. 19 සහ 20 දෙදින තුළ මේ පිළිබඳව විවාදයක් පවත්වා සම්මත කරගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුවට මේ ගැන කොච්චර හදිසියක් තියෙනවාද කියනවා නම් අධිකරණයේ තීන්දුව ලැබෙන්නත් කලින් දින දා ගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කළා. ජනතාව තුළ සංවාදයකට ලක්වෙන්න කලින් මේක සම්මත කරගන්න දැනුත් උත්සාහ කරන්නේ.

    පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ඉතා පැහැදිළිව මේ සම්බන්ධයෙන් සමාජය තුළ සාකච්ඡාවට ඉඩ ලබාදෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් 2/3 බලය පාවිච්චි කරලා ඒ ඉල්ලීම පැත්තකට දාලා සම්මත කරගන්න සූදානම් වෙනවා. පෝට් සිටි පනත කලබලයේ සම්මත කරගන්න ආණ්ඩුවට තියෙන තදියම මොකක්ද කියලා බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපේ රටේ ස්වෛරීත්වය ගැන, ස්වාධීනත්වය ගැන ගැටළු තියෙන මේ වගේ විශේෂ පනතක් සම්මත කර ගැනීමේදී ජනතාවගේ අදහස් දක්වන්න අවස්ථාවක් තියෙන්න ඕනෑ. නමුත් මේ මොහොතේදී ජන හමු තියන්න, සම්මන්ත්‍රණ තියන්න, පත්‍රිකාවක් බෙදන්න, සහ ජනමතයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. ජනතාව බියට පත්වෙලා ඉන්නේ. එළියට බහින්නැතිව කොරෝනා සම්බන්ධයෙන් බයෙන් ඉන්න වෙලාවක සමහර දිස්ත්‍රික්කවලට ගං වතුරකුත් ඇවිල්ල තියෙන තත්වයක් තුළ ආණ්ඩුව බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා.

    මේ පනත නිවැරදි එකක් නම් ජනතාව තුළ සංවාදයක් වෙනුවෙන් ඉඩකඩ ලබාදීම ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය. පක්‍ෂ, විපක්‍ෂ අදහස් දැක්වීමෙන් ජනතාවට අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. මේ සම්බන්ධ අධිකරණ තීන්දුව තුළ මේ පනතේ වගන්ති කිහිපයක් හෝ සරල බහුතරයෙන් සම්මත කරගන්න බැරි වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ මොකක් වුණත් අධිකරණයේදී මේ පනත සම්බන්ධයෙන් විභාග වෙන්නේ ආර්ථික හානි, සංස්කෘතික හානි, ජාත්‍යන්තර බල අරගලය සහ අහිතකර වෙනත් කරුණු ගැන නෙවෙයි. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක විතරයි බලන්නේ. අධිකරණය තුළ සාකච්ඡා වෙන්නේ නැති කාරණයක් මූලික වශයෙන්ම තීයෙනවා. ඒ තමයි අපේ රටේ ආර්ථිකයට, ස්වාධීනත්වයට, සංස්කෘතියට, අනාගත ආරක්‍ෂාවට බලපාන ආකාරය ගැන සංවාදය ඇතිවෙන්න ඕනෑ සමාජය තුළ. ඒකට ඉඩකඩ තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඉතාම තක්කඩි විදිහට ඒ අවස්ථාව අහිමි කරලා කටයුතු කරනවා. මේකට ඉඩ දෙන්න එපා කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.
    අපේ රටට අලුතින් එකතු කළ භූමියේ පාලනය සම්බන්ධයෙන් මේ පනත සම්මත වුණාට පස්සේ ආපහු හරවන්න බැහැ. මේක බරපතළ තීන්දුවක්. මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, මේකට විරුද්ධ වෙන්න කියලා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා දිනවන්න කටයුතු කළ පිරිසක් දේශප්‍රේමයේ පේටන්ට් අයිතිය තියාගෙන ඉන්නවා. මේ අයට දැන් අවස්ථාව ඇවිල්ල තියෙනා තමන් ඇත්ත දේශප්‍රේමීන් නම් රටට හානිකරන මේ පනතට විරුද්ධව අත උස්සන්න කියලා අපි අභියෝග කරනවා. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇත්ත දේශප්‍රේමීන් කියලා, ඇත්ත අධිරාජ්‍ය විරෝධීන් කියලා පෙන්වන ලෙස අපි බල කරනවා.

    ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධ වෙන්නේ කරුණු කිහිපයක් නිසා. මේ පනත විසින් අපේ රටේ ස්වෛරීත්වයට හානි කරනවා. මේ වෙනුවෙන් විශේෂ පාලනයක් පිහිටුවන්න යනවා. ඒක චීනෙට අයිති වෙනවා. අනෙක් පැත්තෙන් කළු සල්ලි සුදු කරන ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙනවා. මේ පනතෙන් පත් කරන කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් නම් කරන සාමාජිකයන් ඇතුළත් වෙනවා. මේ පනතේ අවසානයේ ඉතා පැහැදිළිව “කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ අදාළ නොවන පනත් 07ක්” දක්වා තිබෙනවා. රටේ අනෙක් ප්‍රදේශවලට බල පවත්වන පනත් 07ක් මේ තුළ මුලුමනින්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ කොටසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ පනත් අතර නාගරික සංවර්ධන අධීකාරී පනත, මහනගර සභා පනත, නගර සහ ග්‍රාම නිර්මාණ පනත, වගේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, ඇතුළු පනත් 07ක් සම්පූර්ණයෙන්ම බලපැවැත්වෙන්නේ නැහැ. ඊට අමතරව තවත් පනත් 17ක් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට නම් කර තිබෙනවා. දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, සුරා බදු පනත. මුදල් පනත් දෙකක්, රේගු ආඥා පනත වගේ පනත් මෙන්ම කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනතත් ඉවත් කරන්න හෝ සංශෝධනය කරන්න යෝජනා කර තිබෙනවා.

    මේ අනුව අපේ රටෙන් වෙන් වෙච්ච වෙනම රටක් හදන බව අපි කියන්නේ ඒකයි. එක රටක්, එක නීතියක් කියපු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා රටවල් දෙකක් නීති දෙකක් හදන්න මේ පනත සම්මත කරගන්නවා. මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්වෙනවා. මේ කලාපයේ චීනයට එරෙහිව ඇමරිකාව, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ ජපානය ක්‍රියාත්මක වෙනවා. ඔවුන් අතර චීනයට එරෙහි අප්‍රකාශිත යුද්ධයක් තියෙනවා. ඒකට අපේ රට ගොදුරු වුණාම මේ පනත මගින් අනවශ්‍ය ලෙස බරපතළ ගැටළුවකට අනාගතයේ ඇද දැමීමට සැරසෙනවා. නොබැඳි පිළිවෙත අනුගමනය කරනවා වෙනුවට අනාගතයේ විසඳා ගන්න බැරි ගැටළුවලට මැදි කරනවා. අපේ රට ණයට කන රටක් හැටියට බිලියන 15,000කට වැඩිය ණය වෙලා තියෙනවා. කොච්චර ණය ගන්නවාද කියනවා නම් කොරෝනා වසංගතය පාලනය කරන වැක්සීන් එක ගෙන්වා ගන්න සල්ලි නැතිව ඩොලර් මිලියන 80.5ක් ලෝක බැංකුවෙන් ගන්න අත්සන් කරලා තියෙනවා. දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් පහුගිය සතියේ ගත්තා. පුංචි ගණන්වල සිට ලොකු ගණන් දක්වා ණය ගන්න රටක් ලෝක බල අරගලයේ එක් පාර්ශ්වකරුවෙකු වන චීනයට වැඩි ඉඩක් ලබාදීමෙන් අනාගතයේ මහත් ව්‍යසනයක් ඇති වෙනවා.

    ආණ්ඩුවේ උපායමාර්ගවල වැරැද්ද නිසා වගේම කොරෝනා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ විශේෂඥයන් ලබාදෙන උපදෙස් නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා දැන් තුන්වැනි රැල්ලක් ඇතිවී තිබෙනවා. බැසිලර් රාජපක්‍ෂ මහත්තයාම කිව්වේ යුකේ්්‍රන් සංචාරකයන් ගෙනාවේ ඔවුන්ගෙන් කොරෝනා බෝ වෙනවාද කියලා අත්හදා බලන්න කියලා. ඒ නිසා මේ වෙනකොට ලෝකයේ තිබෙන කොරෝනා ප්‍රභේදවලින් බ්‍රසීල ප්‍රභේදය හැර අනෙක් ප්‍රභේද සියල්ලම රට තුළට ගෙන්වාගෙන තියෙනවා. රට තුළ භයානක අන්දමේ ආසාධිතයන් වැඩිවෙනවා. ගම්පහ රෝහලේ ස්වසන ආබාධවලට ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන් යොමුකළ පරීක්‍ෂණවලින් 80%කටම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වුණා. රෝගීන්ට ඉන්න හිටින්න නැති වෙලා. හැබැයි ආණ්ඩුව තවමත් රෝගීන් අඩුකර ගන්නවා වෙනුවට රෝගීන්ට ඉන්න තැන් හදන එක ගැන කතා කරනවා. එක වෙලාවක හමුදාපතිවරයා “අපි කිසි කෙනෙකුට පාරේ මැරෙන්න දෙන්නෑ හැම දෙනාටම ඇඳන් හදලා දෙනවා” කියලා කීවා. මෙතැන තියෙන්නේ ඇඳන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි පැහැදිළි කළා. මේ රෝගය නිසා දැඩි සත්කාර ඒකකවලට ඒ විශේෂිත ඇඳන් ඕනෑ වෙලා තියෙනවා. අනෙක් ඇඳන්වලින් වැඩක් වෙන්නේ නැහැ.

    රාජ්‍ය ඇමතිනි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පහුගිය දවසක තත්වය බරපතළ නිසා දානපතියෝ ආධාර කරන්න කියලා ඉල්ලීමක් කළා. දැන් දානපතියන්ගෙන් ආධාර ඉල්ලන අතර කොවිඩ් අරමුදලට මොකද වුණේ කියලා ප්‍රශ්නය තියෙනවා. මේ ගොල්ලන්ට අරමුදල් කියන්නෙ ඉතාම බරපතළ දෙයක්. සුනාමි අරමුදලෙන් ගසා කෑවා. දැන් කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැහැ. රාජ්‍ය ඇමතිවරියට දානපතියන්ගෙන් උදව් ඉල්ලන්න වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් නාස්තියත් විශාල වශයෙන් සිදු කරනවා. නාමල් රාජපක්‍ෂ මහත්තයා රට තුළ ජිම් 500ක් හදාගෙන යනවා. මේ වෙලාවේ ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ මොනවාද කියලාවත් හිතන්නේ නැහැ. දැන් ආණ්ඩුව කියන්නේ බරපතළ රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැති ආසාධිතයන් ගෙදර ඉන්න කියලා. හමුදා කඳවුරු, හෝටල්, අරගන්නවා කී කතා ඔක්කොම පැත්තක දාලා. බරපතල රෝග ලක්‍ෂණ නැත්නම් ගෙදර ඉන්න කියන තත්වයට පත් වෙලා. ගෙදර රෝගියෙක් ඉන්නකොට අනෙක් අය ආරක්‍ෂා වෙන්න ඕනෑ. කෑම බීම ලැබෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ. මේ කිසිවක් නැතිනිසා බරපතල අවුලක් කෙරෙනන්නේ. කොරෝනා පාලනය කිරීම මුලුමනින්ම අසමත් වුණු ආණ්ඩුවක් මේ විපත අස්සේ ආණ්ඩුවේ පටු දේවල් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා.

    පෝට් සිටි පනත සම්මත කරගන්නේ එහෙම. ඊට අමතරව ජොන් කොතලාවල විශ්වවිද්‍යාල පනත කියලා පනතකුත් ගේන්න යනවා. අධ්‍යාපනය විකිණීමට හොර පාරෙන් මේවත් කරගෙන යනවා. අනෙක් පැත්තෙන් අත් අඩංගුවේ ඉන්න අපරාධ සම්බන්ධ සැකකරුවෝ ඝාතනය කරනවා. පොලීසියේ රඳවාගෙන හිටි සැකකරුවන් දෙන්නෙක් පිට පිටම ඝාතනය කළා. සැකකරුවන් පොලීසිය භාරේ ඉන්නවා කියන්නේ ඔවුන්ගේ වගකීම තියෙන්නේ රජයට. ඔවුන්ව ඝාතනය කර ටෙලිනාට්‍ය පිටපත වගේ ආයුධ පෙන්වන්න ගියා කියන එකෙන් පොලීසියත් හෑල්ලුවට ලක්කරනවා. එහෙම නම් ආණ්ඩුව අර බොරු කතන්දරය නොකියා ආණ්ඩුව කරන දේ කෙලින් කියන්න ඕනෑ. මේ බරපතලකම සමහර ජනතාවට තේරෙන්නේ නැහැ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ කියන ස්ථාවරයේ අපිත් ඉන්නවා. දඬුවම් දෙන්න ඕනෑ අධිකරණ ක්‍රියාවලියක් තුළින්. හැබැයි ඒ ක්‍රියාවලියට පිටින් පොලීසියෙන් වෙඩි තියලා මරණවා නම් එතැන සැඟවීමට යමක් තියෙනවා. ඔවුන්ගෙන් හෙළිදරව් වෙලා තියෙන දේවල් සමාජයට එන එක වළක්වන්න වෙඩි තියලා මරණවා කියලා අපි විශ්වාස කරනවා. මේ බොහෝ දෙනා දේශපාලන නායකයින්ගේ අතකොළු. මේ අය තමන් දන්න දේවල් වමාරනකොට ආණ්ඩුවේ නායකයින්ගේ කැරැට්ටුව බේරගන්න සාක්‍ෂි මරා දැමීමක් සිදුකරනවා.

    මේ ආණ්ඩුව කරමින් ඉන්නේ තමන්ට විරුද්ධ අපරාධකරුවන් මරණ එක. තමන්ට පක්‍ෂ අය ආරක්‍ෂා කරනවා. අධිකරණ නියෝග මත නඩු අහලා දඬුවම් නියම කළ අය පවා ආණ්ඩුවට පක්‍ෂයි නම් නිදහස් කරගන්නවා. පහුගිය කාලයේ අධිකරණයේ දඬුවම් කළ අයට සමාව දුන් හැටි අපි දැක්කා. ඒ වගේම අධිකරණයේ නඩු අහමින් සිටි අයගේ නඩු ඉල්ලා අස්කර ගත්තා. ළමුන් 11දෙනෙක් පැහැරගෙන ඝාතනය කිරීමේ චෝදනා තිබුණු අය එළියට දැම්මා. අපරාධ කළ අය ආණ්ඩුවේ නම් මේ විදිහට නිදහස් කර ගන්නවා. මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනෑ. අපි ඉන්නේ අපරාධකරුවන්ගේ පැත්තේ නෙවෙයි. ඒ අයට දඬුවම් කරන්න ඕනෑ වගේම ඒ අය පිටිපස්සේ ඉන්න අයටත් දඬුවම් කරන්න ඕනෑ. ආණ්ඩුවට විරුද්ධ ඕනෑ කෙනෙක් ආයුද පෙන්වන්න ගිහිල්ලා ඝාතනය කරන්න පුළුවන් බව මතක තියා ගන්න. කොරා්නාවලට බියෙන් ජනතාව ඉන්න අතරේ මේ වගේ කටයුතු ආණ්ඩුව සිදුකරමින් ඉන්නවා.

    පෝට් සිටි පනත ගේන්නේ මේ වගේ පසුබිමක් තුළ. මේ භූමිය අපිට අයිති නැති චීනයට අයිති රාජ්‍යයක් බවට පත්වෙනවා. ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙනවා. කලාපීය බල අරගලයේ ගොදුරක් බවටත් පත් කෙරෙනවා. මේ බරපතළ හාණි වළක්වා ගන්න එක රටේ පුරවැසියන්ගේ වගකීමක්. ඒ වෙනුවෙන් ජනතාවගේ ජනමතය ප්‍රකාශ කරන්න තිබෙන මාර්ග සියල්ලක්ම ඇහිරිලා තියෙන වෙලාවක ආණ්ඩුව තක්කඩි විදිහට මේ පනත සම්මත කරගන්න යනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ තක්කඩි වැඩේ කරන්න එපා කියලා. අපි ජනතාවට අවධාරණය කරනවා මේ පනතට එරෙහි වෙන්න කියලා. ආණ්ඩුව මේ වැඩේ නවත්වන්නේ නැත්නම් ආණ්ඩුව පරාජය කිරීම දක්වා යන සාමූහික ක්‍රියාවලියකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආණ්ඩුව මේ කරමින් යන්නේ අපේ මාතෘභූමියට කරන්න පුළුවන් ලොකුම අපරාධය. ඒනිසා පෝට් සිටි පනත සම්මත කිරීම වළක්වන්න කියලා නැවතත් පාර්ලිමේන්තුවේ ඉන්න සැබෑ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

    වීඩියෝව නැරඹීම මෙතැනින්…. https://youtu.be/vAm6aNSKQxw

  • ‘ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් සපයා ගන්න උපකාර කරන්න’ – දානපතීන්ට ආයාචනයක්

    ‘ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් සපයා ගන්න උපකාර කරන්න’ – දානපතීන්ට ආයාචනයක්

    කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය පුළුල් කර ගැනීමට සුළු හෝ ආධාරයක් කරන ලෙස කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙරට දානපතියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කොරෝනා-19 රෝගීන් හඳුනාගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ ආයාචනය කළාය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය, “අපි පුරෝකථනය කරලා තිබුණා නව වෛරසයත් එක්ක අපේ මරණ සංඛ්‍යාව හා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි කියලා. දැන් අපි මේ නව වෛරසයත් එක්ක ගත කරන හතර වන සතිය. මේ තත්ත්වය තුළ දැන් අපේ රෝහල් පද්ධතියට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්සිජන් සපයා ගන්න. ඒවගේම ICU ධාරිතාවය තව වැඩිකරද්දී වෙන්ටිලේටර්ස්වල අවශ්‍යතාවය තියෙනවා, උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. එනිසා අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන්, දානපතීන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ සදහා හැකි සෑම ආකාරයකින්ම අපට උපකාර කරන්න කියලා. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රදේශවල ඒ රෝහල් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ ගන්න පුංචි හෝ ආධාරයක් කරලා ඒ සේවාව ශක්තිමත් කරගන්න අපට සහයෝගයක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා”