Tag: featured

  • ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න – මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන්

    ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න – මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන්

    දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන්) බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 10 කුත් තෙවැනි දිනයේ බිඳ වැටුණු කඩුලු 13 ට අයත් විය. ඒ අතරින් කඩුලු 6 කම  හිමිකරුවා බවට පත්වූයේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමය. තම මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත දවාගත් කඩුලු 6 අතරට ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලුද ඇතුළත් විය. ප්‍රවීන්ගේ එම දක්ෂතාවය වසර 40 කට ආසන්න ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් භෞතීස්මයකදී පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙසින් සටහන් විය.

    “මම තරගයට එනකොට හිතුවේ කොහොමද ඩොට්ස් බෝල් (නිලකුණු පන්දු) දාලා එයාලට ප්‍රෙෂර් එක දෙන්නේ කියලා. ඒක මට කරන්න පුලුවන් වුණු නිසා විකට් 6 ක් ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි රෙකෝඩ් එකකට යන්න පුලුවන් වෙච්ච එක ගැන” යැයි සිය වාර්තාගත පන්දු යැවීම පිළිබඳව ප්‍රවීන් ජයවික්‍රම සඳහන් කර සිටියේය.

    තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී සිය පන්දු යැවීම ගැන වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා, “ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න. මම ගොඩක් ආසාවෙන් හිටියේ එයාගේ විකට් එක ගන්න. ඒ වගේම මුෂ්ෆිකර් රහීම්වත්. ඒ දෙන්නවම දවා ගැනීමට හැකියාව ලැබීම ගැන මට ගොඩක් සතුටුයි” යනුවෙනි.

    මෙතෙක් පැවැති සෑම ඉනිමකදීම අර්ධ ශතක 3 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටින ටමීම් මෙම තරගයේ ලද ලකුණු 92 ක් සමඟ අවස්ථා ද්විත්වයකදී ලකුණු 90 සීමාවට පැමිණීමට සමත්වූවේය. ප්‍රහාරාත්මක වේගය 75% කට වඩා පවත්වා ගැනීමට සමත්ව සිටි ටමීම්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා වූ උපක්‍රමය ලෙසින් ප්‍රවීන් භාවිතා කරන ලද්දේ කඩුල්ල වටා යමින් පන්දු යැවීම විය. වමත් පිතිකරුවන් පන්දුවට පහර දෙද්දී එතෙක් වේලා විනිසුරුකරු පසුකරමින් පන්දු යැවූ ජයවික්‍රම, කඩුල්ල වටා යමින් යොමු කරන ලද දෙවැනි පන්දුවේදීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව පැවැති ටමීම්ගේ කඩුල්ල දවා ගත්තේය.

    “මම ඊට කළින් එයාට දැම්මේ ඕවර් ද විකට් ගිහිං. එයා එතකොට පහරවල් වලට යන්න ට්‍රයි කළේ නෑ. ඉතිං කැප්ටනුයි සීනියර් ප්ලෙයර්ස්ලා ටිකයි මට කතා කරලා කිව්වා චේන්ජ් එකක් කරලා බලන්න මල්ලී කියලා. ඊට පස්සේ තමයි මම විකට් එක වටෙන් ගිහිල්ලා බෝල් කළේ. දෙවැනි බෝලෙන්ම ටමීම්ගේ කඩුල්ල ලබා ගන්න හැකියාව ලැබුණා”යි ටමීම් දවා ගැනීම වෙනුවෙන් පිටිය තුළ වූ උපක්‍රමය පිළිබඳව ප්‍රවීන් අදහස් දැක්වූවේය.

    ටෙස්ට් තරගයට පෙර පළමු පෙළ තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රවීන්ට ටෙස්ට් තරගයේදී පන්දු යැවීම පීඩනයක් ගෙන දුන්නේද යන්න ද මෙහිදී මාධ්‍ය වේදීන් විමසා සිටියේය. “ඔව්. බංග්ලාදේශය වුණත් එයාලා ගොඩක් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහලා තියෙන කට්ටිය. ඒක නිසා පීඩනයක් තිබ්බා. ඒත් සීනියර්ස්ලා ඇවිල්ලා කතා කරලා මට කිව්වා, මල්ලී බය වෙන්න එපා. ගැහුවට කමක් නෑ. ඔයා ඔයාගේ දේ කරන්න. එයාලා පහරවල් ගැහුවට ඔයා වෙනස් කරන්න එපා. ඔයාගේ විදියට කරන්න කියලා. ඩොට් බෝල්ස් දාගෙන ඉන්න එතකොට විකට් එයි කියලා කිව්වා. කිව්ව විදියටම මම කළා” යි ප්‍රවීන් පවසා සිටියේය.

    වයස අවුරුදු 7 ක් 8 ක් වන වයසේ සිටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිහින දැකි ප්‍රවීන් සිය ක්‍රිකට් දිවියට අවතීර්ණ වූ ආකාරයද මෙහිදී අනාවරණය කර සිටියේය. “පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රිකට් තරග නරඹනවා. අවුරුදු 7 ක 8 ක කාලේ ඉඳන් අම්මට කියනවලු, මම නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා කියලා. එතකොට මම ක්‍රිකට් ගහන්න පටන් අරන් වත් නෑ. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 10 දී. කලුතර සිරිකුරුස විදුහලෙන්. අවුරුදු 16 දී  මම මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට ඇතුළත් වෙනවා. එතැන ඉඳන් තමයි ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ” යි විසි දෙවැනි විය පසුකරමින් සිටින ප්‍රවීන් පවසයි.

    පළමු දින 2 පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ පල්ලකැලේ තණතීරුව තෙවැනිදවස වන විට පන්දු යවන්නන්ට සහයෝගයක් ලබා දෙන බවක් පෙන්නුම් කර සිටින අතර ප්‍රවීන්ගේ අදහස වන්නේ එය සිව්වැනි සහ පස්වැනි දින වන විට තවත් වැඩිවිය හැකි බවයි.

    “විකට් එක ගත්තොත් අද පොඩ්ඩක් දඟ පන්දු යවන්නන්ට පොඩ්ඩක් සහයෝගය තිබුණා. පළවැනි දවස් දෙක ගත්තහම පන්දු යවන්නන්ට සහයෝගය තිබුණේ නෑ. අද ගත්තොත් එහෙම ගොඩක් හොඳයි දකියලා තමයි කියන්න තියෙන්නේ ඊළඟ දවස් දෙකත් මෙහෙම වෙයි කියලා මම හිතනවා” යි පවසන ප්‍රවීන්, පිට පිටම දෙවැනි වතාවටත් බංග්ලාදේශ පිලට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දීම සඳහා වූ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් (242) ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් නැවතත් පන්දුවට පහර දීමට තම කණ්ඩායම තීරණය කිරීම සුභදායී කරුණක් බවයි.

    “පෞද්ගලිකව මම විශ්වාස කරනවා අපි නැවතත් පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය ඉතා හොඳයි කියලා. මොකද පස්සට යන්න යන්න තව විකට් එක කැපෙන්න බලයි. ඉතිං අපි පුලුවන් තරම් ලකුණු ගහලා එයාලට ලොකු ටාගට් එකක් දුන්නහම එයාලට ඒක ප්‍රෙෂර් එකක්. ඒ ටාගට් එක ගැහුවේ නැත්නම් මැච් එක අපේ පැත්තට එනවා” යැයි ප්‍රවීන් පැවැසීය.

    Text by sl cricket

  • ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි !

    ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි !

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් ඉලක්ක ගත අරමුණ කරා යෑමට අයහපත් කාලගුණය හරස් විය.

    පළමු දිනයේදී ලකුණු 291 ක් රැස් කළ ශ්‍රී ලංකා පිලට පන්දුවාර 65 කට සීමාවුණු අද දිනයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. ආරම්භයේ සිටම වළාකුළු වලින් බරව තිබූ කාලගුණ තත්ත්වය ප්‍රයෝජනයට ගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඒ අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූහ.

    දිනයේ සමස්ථයක් ගත් විට බංග්ලාදේශ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව වෙත දැඩි පීඩනයක් එල්ල වුණු නමුත් ඒ අතරින් සාර්ථක වුණු නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිනය අවසන් වන තෙක්ම කඩුලු ආරක්ෂා කරගැනීමට සමතව සිටිති.

    ප්‍රවේගකාරී පිතිහරඹයක  නියැළුණු දික්වැල්ල පන්දු 64 කදී ලකුණු 64 ක් ලබා සිටින්නේ තම 18 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කියමිනි. 45 වැනි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් සිටින දික්වැල්ල තවමත් ශතකක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින බැවින් මෙතෙක් සිහිනයක්ව පවතින එම හීනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මෙම ඉනිම ඔහුට හොඳ අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ.

    කිසිදු අසීරුවකින් තොරව ලකුණු රැස් කළ දික්වැල්ල ඔහුගේ සුපුරුදු ස්වීප්, ස්ලොග් සීවීප්, කට් පහර සහ ඩ්‍රයිව් පහර එල්ල කරමින් මුහුණ දුන් 48 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. හතරේ පහර 7 ක් ඇතුළත් ඇතුළත්ව රමේෂ් මෙන්ඩිස් එක්ව ගොඩනංවන ලද මෙම සම්බන්ධතාවය, බංග්ලාදේශ නායක මොමිනුල් හක්ගේ නළලත රැළි ගන්වන ලද සම්බන්ධතාවයක් වූවාට නොඅනුමානය. තරගය නිමා කරන විට දික්වැල්ලට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 22 ක් ලබා සිටියේය.

    අදාළ සම්බන්ධතාවය අතරතුරදී රමේෂ් මෙන්ඩිස් විසින් අවස්ථාවක් ලබා දුන් නමුත් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් එය අතහැර දැමුවේය. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී නජ්මුල් විසින් අත හරින ලද දෙවැනි උඩ පන්දුව බවට එය පත්විය. මීට පෙර ලකුණු 28 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ලබා දුන් උඩ පන්දුවද නජ්මුල් අතින් ගිලිහී ගිය අතර එහි භයානක ප්‍රතිඵලය වූයේ දිමුත් සිය 12 වැනි ටෙස්ට් ශතකය (118) වාර්තා කර ගැනීමය. අත හැරි උඩ පන්දු දෙකම ටස්කින් අහමඩ්ගේ පන්දුවලට ලබා දුන් උඩ පන්දු වීමද විශේෂත්වයකි.

    පළමු සැසියේ පරිදිම දෙවැනි සැසියේදීත් තරගයේ පාලනය බංග්ලාදේශ පන්දු යවන්නන් සතු කරගැනීමට සමත්වීම නිසා පළමු දිනයේ තරම් ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්ව සිටිති. ඒ අනුව දිනය ආරම්භයේ සිට තේ පානය දක්වා වූ දෙවැනි දිනයේ යවන ලද පන්දුවාර 56 දී ශ්‍රී ලංකාව රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 134 කි.

    ඒ අතරතුරදී තම තුන්වැනි කඩුල්ල වශයෙන් ටස්කින් අහමඩ් පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින්. පිට ඉන්නට මඳක් ඈතින් පතිත වුණු පන්දුව දෝලනයක් සහිතව ඇදී පැතුම්ගේ පිට ඉන්න සොයා ගියේ නොසිතූ තරම් ඉපිලීමකින් තොරවය. ඒ වන විටත් ඕෂද සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායකත්වයක් ලබා දුන් පැතුම් ලකුණු 30 ක් ලබා සිටියේය.

    එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද ප්‍රනාන්දුද ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් සිය කඩුල්ල අහිමි කර ගත්තේ පැතුම් දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්කාසු වීමට මත්තෙනි. මෙහෙදි හසන්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර අත් ආවරණ වලත් පසුව පිත්තේත් වැදී කඩුලු රැකි ලිටන් දාස්ගේ ඈත් අත සිර වන විට ඕෂද ලකුණු 81 ක් ලබා සිටියේය. පන්ද 221 කින් සමන්විත වුණු ඕෂදගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත්විය.

    පළමු සැසියේදී දවා ගත් කඩුලු 3 ට අමතරව දිවා ආහාරය වන තෙක් ක්‍රියාත්මක පන්දුවාර 26 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අවස්ථාව උදා කර දුන්නේ ලකුණු 43 ක් පමණි. ඉන් දිනයේ යවන ලද පළමු පන්දුවාර 14 තුළදීම ප්‍රතිවාදී පන්දු යවන්නෝ ලබා දුන්නේ ලකුණු 22 ක් පමණි.  ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම පිළිබඳව දොසක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැගිය නොහැක්කේ පළමු සැසියේදී බංග්ලාදේශ පන්දු යවන්ගේ දෙපසටම වූ දෝලනය සමඟ ඉතාම නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම මතය.

    බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් පළමු සැසියේ මූලිකයා වූවේය. පළමු කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කරන විට පෙර දිනයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ඔහු රැස් කරගැනීමට සමත්ව සිටියේ ලකුණු 09 ක් පමණි. පුරා පැය හතහමාරකට අධික කාලයක් (මිනිත්තු 445 ක්) පුරා කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් විය. පන්දු 298 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

    අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඉඩ ලබා දුන්නේ නැත. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී පන්දුව උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ලිටන් දාස් වෙත ඇදී ගියද ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීමේ වාසනාව මැතිව්ස්ට උදාවිය. එවන් වාසනාවක් මැතිව්ස් සතු වුවත් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ පිලට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. මන්ද යත් ඊට පන්දු 12 කට පසු ටස්කින්ගේ පන්දුවකටම මැතිව්ස් ලිටන් දාස් අතට උඩ පන්දුවක් ලබා දුන් බැවිනි.

    පළමු තරගයේදී ශතකයක් ලද ධනංජය ද සිල්වාව තයිජුල් ඉස්ලාම් විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි නජ්මුල් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 02 කට සීමා විය.

    හෙට තරගයේ තෙවැනි දිනයයි.

    Text by sl cricket

  • නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

    නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

    වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි. ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නි‍ර්දේශ කර ඇති බැවින් ඔවුන්ට එන්නත ලබාදීම සුදුසු බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

  • ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් පමණයි

    ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් පමණයි

    ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

    එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එමෙන්ම විපක්ෂය කළ යෝජනාවකට අනුව කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන මැයි 04 වනදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටද එහිදී තීරණය වූ බව දසනායක මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව පැවැත්වෙන දින දෙකේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොවෙන බවද මහලේකම්වරයා පැවසීය.

    මැයි 04 වනදා පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද, සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදන 04 ක්, වැට් බදු සම්බන්ධව පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ද පක්ෂ නායකයින් එකඟ වූහ.

    ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට දිවා ආහාරය සඳහා සභාව කල්තැබීමකින් තොරව ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ඉල්ලා සිටි රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙන බව මහලේකම්වරයා පැවසීය.

    එමෙන්ම මැයි 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තුව දිවා විවේකය සදහා කල් තැබීමකින් තොරව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගනු ලබන බවද දසනායක මහතා කීවේය.

    මෙම රැස්වීමට සභානායක සහ  විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර සහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, ගයන්ත කරුණාතිලක, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද  සහභාගී වූහ.

  • එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමුද ?

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමුද ?

    ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

    මෙරට කෘෂි කර්මාන්තය තුළ එළවළු සහ පලතුරු නිෂ්පාදනයට සුවිශේෂ ස්ථානයක් හිමිවන අතර ජනතාවගේ පාරිභෝජන රටාවන් තුළ ද ඒ සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ගොවිජනතාවට තමන් නිෂ්පාදනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් උපරිම වටිනාකමක් ලබා ගැනීමට සහ ජනතාවට තමන් පාරිභෝජනය කරන එළවළු සහ පලතුරුවලින් උපරිම පෝෂණයක් ලබා ගැනීමට හැකියාව පවතී ද යන්නයි. 

    සෞඛ්‍යාරක්ෂිත ජීවන පැවැත්මක් සඳහා පුද්ගලයෙක් දෛනිකව එළවළු සහ පලතුරු වර්ග 5කින් ග්රෑම් 400ක් ආහාරයට එක්කර ගතයුතු බව පෝෂණවේදීන් නිර්දේශ කොට තිබෙන බැවින් ඒවායෙහි ගුණාත්මක හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීම ද වැදගත්වේ.

    එපමණක් නොව අපනයන වෙළෙඳපළ සඳහා  ද එළවළු සහ පලතුරු වගා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින හෙයින් ඒවායේ ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම එම අංශයේ සංවර්ධනය සඳහා පිටුවහලක් වනු ඇත.

    මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු වන ‘ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතභාවය’ (Food safety) යනු ආහාර වගා කිරීමේ, නිපදවීමේ, සකස් කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්වා විවිධ අවස්ථාවල දී ආහාර දූෂණය වීම වැළැක්වීම සහතික කිරීමයි. ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතතාවයෙහි වැදගත්කම වර්තමානයේ ඉස්මතු වෙමින් පවතී.

    සෞඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන්

    එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

    නිෂ්පාදනයේ දී විශේෂයෙන් ගොවිපොළහි දී පොහොර භාවිතයෙන් ද අපිරිසිදු ජලය භාවිතයෙන් ද එළවළු හා පලතුරු අපිරිසුදු විය හැකිය. තව ද කෘමිනාශක, පළිබෝධනාශක ආදිය නිසාද , ඒවායේ පවතින ආසනික්, ඊයම්, කැඩ්මියම් සහ ක්‍රෝමියම් වැනි ජලයේ පවතින අපිරිසුදු ද්‍රව්‍ය වැනි බැරලෝහ නිසාද ආහාර අපිරිසිදු වීම සිදුවේ. එළවළු හා පලතුරු වල පසු අස්වනු හානිය හා නෙලන ලද අස්වැන්නෙහි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් ඒවායෙහි ගුණාත්මකභාවය පිරිහීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු වී ඇති කාරණයක් වේ.

    මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත.

    කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි.

    අපද්‍රව්‍ය අඩංගුව තිබීමේ අවදානම

    පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

    යහපත් කෘෂිකාර්මික පිළිවෙත්

    ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

    මේ සඳහා යහපත් ප්‍රවේශයක් ලෙස 2015 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ”යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” (Good Agricultural Practice/GAP) වැඩසටහන හඳුන්වා දෙන ලදී.

    මෙහිදී පොහොර භාවිතය, වල්නාශක හා පළිබෝධනාශක භාවිතය, අස්වනු නෙළීම, වර්ගීකරණය, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය, සැකසීම, අගය එකතු කළ නිෂ්පාදන සැකසීම, ලේබල් කිරීම, බෙදා හැරීම හා ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලැබේ.

    ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශාක නිරෝධායන මධ්‍යස්ථානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී ඇත.

    ගැටලු සහ විසදුම්

    මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැත. ආහාරවල  ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි. ඒවා අතර,

    1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
    2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
    3. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
    4. තොග සහ සිල්ලර වෙළෙඳපොළවල අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
    5. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
    6. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
    7. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
    8. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.
    රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිණී – අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය.

    Sharing is caring!

  • ‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්

    ‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්

    අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමුව තිබේ.

    කොවිඩ් මර්දනය සදහා දැනට යොදා ඇති ශක්‍යතාව වැඩිකිරීම මූලික අරමුණ කරගෙන ඒ සදහා අවශ්‍ය පූර්ව සැලසුමක් සකස් කිරීමට අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය විශේෂඥයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡා කරන ලදි.

    නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බැවින් ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සදහා කටයුතු කිරීමත්, අදාල සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීමට අවධානය යොමුවූ අතර කොවිඩ් වෙනුවෙන් වෙනවූ රෝහල් සදහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම සදහා සාකච්ඡා විය.

    ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා High Flow machines සවිකිරීම කෙරෙහි ද අවධානය යොමුවිය. 

    ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහිද සාකච්ඡා වූ අතර ඒ සදහා වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම කෙරෙහි අවධානය යොමුවිය.

    රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන්ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට සාකච්ඡා වූ අතර ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවිය. දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇති බව සදහන් වූ අතර ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.  

    කොවිඩ් මර්දනයේදී පැනනගින වාහන අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස්කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදි. විශේෂයෙන් කොරෝනා මර්දනයේදී සුවසැරිය කාර්ය භාරය පිළිබදවද සාකච්ඡාවූ අතර ග්‍රාමීය ප්‍රදේශවල සුවසැරිය ගිලන්රථ සේවාව ඉටුකිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම කෙරෙහි සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

  • විස්මිත ගුණ දෙන ‘මී පැණි‘ ගැන සුපිරි හෙළිදරව්ව !

    විස්මිත ගුණ දෙන ‘මී පැණි‘ ගැන සුපිරි හෙළිදරව්ව !

    මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි.

    මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය පිළිබදය. එයට හේතුව මී පැණි යනු සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි දෙයක් වීමය. මී පැණි මඟින් සම නිරෝගී සෞඛ්‍යයට ගෙන එයි. ඔබට නිවසේ සිට වුව ද මී පැණි ප්‍රතිකාරය මගින් සමේ රෝග රැසක් සුවකර ගත හැකි අතර සම සදහා තවත් විස්මිත ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය.

    මී පැණි ස්වභාවික හියුමන්ට් ය

    මී පැණිවල ස්වභාවික මොයිස්චරයිසින් (සමේ තෙතමනය ආරක්ෂා කරන) ගුණ ඇති අතර එම නිසා එය සම රැකවරණය සදහා පහසුවෙන් භාවිත කළ හැකිය. මී පැණි සම මත ආලේප කළ පසු, සමේ ඉහළ ස්ථර මෘදු කිරීමට සහ සමට ගැඹුරට විනිවිද යාමට උපකාරී වේ.

    ඉඟිය: මී පැණි මිනිත්තු කිහිපයක් තබා ගැනීමෙන් පසු සෑම විටම සෝදා හරින්න.

    මී පැණි යනු සත්ත්ව ආහාර වලින් තොර සමක් අමුද්‍රව්‍යයකි

    ඔබ දන්නා පරිදි මී පැණි ලෝකයේ තිබෙන වටිනාම ස්වභාවික ආහාරයක් සහ ඔසුවකි. එමනිසා, ඔබ සත්ත්ව තෙල් සහ ආහාර වලින් තොර සම රැකවරණයකට යොමු වීමට කැමති නම්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍යය ඔබට හොඳ තේරීමක් නොවනු ඇත.

    ඉඟිය: මල්වල පරාග අසාත්මිකතා ඇති අය මී පැණි වලින් ඈත්ව සිටිය යුතුය.

    කුරුලෑ, සමේ රෝග සහ දද මී පැණි සමඟ ප්‍රතිකාර කළ හැකිය

    මී පැණි තුළ ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත. මෙම ගුණාංග සමෙන් අතිරික්ත තෙල් ඉවත් කිරීම සහ කැටි ගැසුණු සිදුරු ඉවත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එබැවින් කුරුලෑ සහ කළු ලප ඇතිවීම වැලැක්වීමට මී පැණි කදිම විසදුමකි.

    කාබනික මී පැණි නිරෝගී බැක්ටීරියා අඩංගු වන අතර එය රතු පැහැයට හා දැවිල්ලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. දද සහ සමේ රෝග යනු කඩාවැටීම් වලට සමාන සමේ තත්වයන් වන අතර, ඉදිමුණු සම ​​සහ රතු පැහැය විවිධ වර්ගයේ කැළැල් ඇති වේ. පැච් පරීක්‍ෂණයක් මීට පෙර සිදු කළ යුතු වුවද මී පැණි එවැනි තත්වයන් සමනය කිරීමට උපකාරී වේ.

    ඉඟිය: කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා හොඳ තේරීමක් වන පැණි කැළැල් සුව කිරීමටද උපකාරී වේ.

    මී පැණි සමඟ සම පැහැපත් කරන්න

    මී පැණිවල සමේ දීප්තිමත් කිරීමේ ගුණ ඇති අතර භාවිතයෙන් පසු මුහුණට නිරෝගී මොයිස්චරයිස් දිලිසීමක් ලබා දෙයි. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා මී පැණි හොඳම ඔසුවක් වේ. මී පැණිවල මොයිස්චරයිසින් ගුණ ඇති අතර එමඟින් සමට සජලීය බවක් දැනේ. එමෙන්ම එය ඇලෙන සුළු හා තෙල් සහිත නොවීම ද විශේෂ ගුණයකි. 

    ඉඟිය: ඔබේ කම්මුල්, නළල සහ නිකට මත මී පැණි ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා මෘදුව සෝදා හරින්න.

    මී පැණි සමඟ කැළැල් මැකී යන්න

    මී පැණි ස්වභාවික විෂබීජ නාශක ගුණ ඇති අතර එය තුවාල සුව කිරීමට සහ කැළැල් මැකී යාමට උපකාරී වේ. ලප කැලල් මත මී පැණි ආලේප කිරීම මගින් කැළැල් එකවර මැකී යාමට ඉඩ සලසයි. මී පැණි කුරුලෑ කැළැල් මැකීමට මෙන්ම පිලිස්සුම් තුවාල සහ ගැඹුරු කැපීම් වලට ද හොඳය.

    ඉඟිය: කුරුලෑ කැළැල් මැඩපැවැත්වීම සඳහා පැණි ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න.

    සම සමබර කරන මී පැණි සමඟ ෆේස් පැක්

    මේ සඳහා මී පැණි, කහ සහ කිරි මිශ්‍ර කරන්න. බඳුනකට මී පැණි තේ හැන්දක්, කිරි තේ හැඳි දෙකක් සහ කහ හැන්දක් එක් කරන්න. මෙම සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ඔබේ මුහුණට ආලේප කරන්න. මිනිත්තු 15 ක් තබා ඉන්පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

    ඟිය: තෙල් සහිත සමක් ඇත්නම් කඩල පිටි තේ හැන්දක් එක් කරන්න.

    සම පැහැපත් කරන මී පැණි ඇසුරුම්

    මී පැණි සමඟ තක්කාලි යුෂ සම පැහැපත් කිරීමට, රැළි ලකුණු අඩු කිරීමට සහ ලප සහ කැළැල් ඉවත් කිරීමට භාවිතා කරන්න. නැවුම් තක්කාලි යුෂ තේ හැන්දක් මී පැණි සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ රවුම් චලිතයකින් ආලේප කර මිනිත්තු 15 ක් තබන්න. පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. හොඳම ප්‍රතිඵල බැලීමට සතියකට දෙවරක් භාවිතා කරන්න.

    මී පැණි වයසට යාමේ සලකුණු

    මී පැණි වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක සහ එය ස්වාභාවික හියුමෙක්ටන්ට් එකක් වීම වයස්ගත වීමේ සලකුණු ඉවත් කිරීමට උපකාරී වේ. මුහුණේ රැළි සහ සිහින් රේඛා පෙනුම පාලනය කිරීමට මී පැණි උපකාරී වේ. නිරෝගීව සිටීමට, ප්‍රමාණවත් තෙතමනය, ප්‍රතිඔක්සිකාරක, සම අලුත්වැඩියා කිරීමට සහ කැළැල් මැකීයාම සමගින් එමඟින් සමට නිසි පෝෂණය ලබා දෙයි. සියල්ලට ම අමතරව එය සම රැකවරණය ශක්තිමත් කරයි, එබැවින් වයසට යාමේ සලකුණු ප්‍රමාද කරයි. තරුණ පෙනුම රැකදෙයි.

    ඉඟිය: දීප්තිමත් තරුණ සම සඳහා සෑම සතියකම මී පැණි මුහුණු ආවරණයක් තෝරා ගන්න.

    මී පැණි අව් රශ්මියට ප්‍රතිකාර කිරීම

    ඔබේ සම දවස පුරා හිරු එළියේ සිටීම කෙරෙහි අයහපත් ලෙස ප්‍රතිචාර දක්වන්නේ නම් මී පැණි ගලවා ගත හැකිය. අව්වේ පිළිස්සීම සිදුවන්නේ හිරු එළියේ වැඩි කාලයක් ගත කිරීම නිසාය.  එවැනි තත්වයක් තුළ ඔබේ සම සිසිල් කර ප්‍රතිකාර කිරීම සඳහා, පැණි මිශ්‍රණයක් කෝමාරිකා ජෙල් කොටස් දෙකක් සමඟ බලපෑමට ලක්වූ ප්‍රදේශයට යොදන්න. මිශ්‍රණයේ අතුල්ලන්න එපා. අදාළ ස්ථානය මත මෘදුව ආලේප කිරීම පමණක් කරන්න.

    ඉඟිය: අව් රශ්මියෙන් පසු ඔබේ සමේ පෙනුම වැඩි දියුණු කිරීමට මී පැණි උපකාරී වේ.

    මී පැණි සිදුරු පිරිසිදු කර බ්ලැක් හෙඩ්ස් ඉවත් කරයි

    මී පැණි බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට උපකාරී වන අතර සමේ pH සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි කුරුලෑ නිසා ඇතිවන සමේ සිදුරු පිරිසිදු කිරීමේ කාරකයක් ලෙස භාවිතා කළ හැකිය . මී පැණි තුළ ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර මොයිස්චරයිසින් ගුණ ඇති බැවින් සමට ගැඹුරට විනිවිද යාමටත්, සමේ ස්ථර මෘදු කිරීමටත්, බ්ලැක් හෙඩ්ස් ඇති කරන අපිරිසිදු ඇතුළු සිදුරු වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමටත් එය උපකාරී වේ. සම මත මී පැණි ඇතිවීමෙන් පසු ඇතිවන බලපෑම වන්නේ සජලනය හා දීප්තියයි. 

    ඉඟිය: ස්වභාවික මී පැණි හැන්දක් පොල්තෙල් හැඳි දෙකක් මිශ්‍ර කර වියළි සම පිරිසිදු කිරීම සඳහා මිශ්‍රණය යොදන්න. මෘදු ලෙස සම්බාහනය කර සීතල වතුරෙන් මෙයට පිළියමකි.

    නිතර අසනු ලබන ප්‍රශ්න

    ප්‍රශ්නය – අලංකාර සම සඳහා මී පැණි පානය කළ හැකිද?

    නැත. වඩාත් ප්‍රතිඵල දායක වන්නේ මී පැණි මගින් සිදුකරන ප්‍රතිකාරයයි.

    ප්‍රශ්නය – මී පැණි දිනපතා සම මත භාවිතා කිරීම ආරක්ෂිතද?

    පිළිතුර – ස්වාභාවික හෝ නිවසේ සාදන ලද සියලුම සම ආරක්ෂණ අමුද්‍රව්‍ය භාවිතා කිරීම නුවණට හුරුය. ඔබේ සමේ දීප්තිය  හා මොයිස්චරයිසින් කිරීමෙන්  දිනපතා මී පැණි භාවිතා කිරීමෙන් ඔබට ප්‍රයෝජන ගත හැකිය. නව අමුද්‍රව්‍ය අත්හදා බැලීමට පෙර සෑම විටම පරීක්ෂණයක් කරන්න. දෛනික භාවිතය සමේ කරදර ඇති කරයි නම්, එයට විවේකයක් ලබා දී ඔබේ භාවිතය අවම කරන්න. 

    ප්‍රශ්නය – හිසකෙස් මත මී පැණි භාවිතා කළ හැකිද?

    පිළිතුර – මී පැණි බ්ලීච් කිරීමේ ගුණ ඇති බව කියනු ලැබේ, එබැවින් මී පැණි වැඩි කාලයක් හිසකෙස් මත තැබීම සුදුසු නොවේ. මුහුණ මත ගල්වන මී පැණි පවා විනාඩි 15කට පසු පිරිසිදු ජලයෙන් හොදින් සේදා හරින්න.

    Text by femina – text by – Thushavi

  • රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ‘ලෝකයේ පළමු රට බවට’ ලංකාව පත් කරනවා

    රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ‘ලෝකයේ පළමු රට බවට’ ලංකාව පත් කරනවා

    ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

    රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    “නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව විය.

    එය යතාර්ථයක් බවට පත්කිරිමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.

    ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇල දොල ජලය දූෂනය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණදෙන අභියෝගක් බවට පත්වී ඇත.

    වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසඳුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවින් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේනම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බවට  ජනාධිපතිවරයා සහතික වෙයි.

    විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක් සහිත පිරිසක් වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වේ. රට සහ පරිසරය පිළිබඳ හැගීම ඒ හා සමානය. වැඩසටහනට අකමැත්තක් දක්වන හෝ වෙනස්ව හිතන පිරිසට ආරම්භයේ දීම ඉවත්වීමට බාධාවක් නැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඝෘජුව මැදිහත්වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදි විෂයයක් බැවින්  විරෝධතා පැමිණිය හැකිය. ආගමික නායකයන්,  ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළගාවිය හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    ගොවියාට පහසුවන ආකාරයෙන් කාබනික පොහොර වෙළෙඳපොළ සුලබ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,  ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. වියාලේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක, අනූප පැස්කුවෙල්, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, පර්යේෂකයෝ, කාබනික පොහොර නිෂ්පාදකයෝ, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid Hot: ආසාදිතයින් ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’

    Covid Hot: ආසාදිතයින් ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’

    අද (28) දින කොවිඩ්-19 ආසාදිතයින් 1451 දෙනකු හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එය මෙතෙක් ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මේ අනුව පසුගිය කාලය තුළ ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යව 104,938ක් බවට පත් වෙනවා.

    මේ අතර කොවිඩ්-19 වසංගතය පිට පළාත්වලට පැතිරීම සීමා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද (28) සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරන බවත් සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බවත් ඔහු සදහන් කළා.

    මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන ස්ථාන වන්නේ, කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යන ස්ථානයි.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185 දෙනකු දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි වාර්තා වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතික නිසා එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

  • ‘වසවිසෙන් තොර රටක් බිහි කරන්න’ ජනපතිගෙන් දැඩි තීන්දු රැසක්

    ‘වසවිසෙන් තොර රටක් බිහි කරන්න’ ජනපතිගෙන් දැඩි තීන්දු රැසක්

    වස විසෙන් තොර රටක් බිහි කිරීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

  • ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ

    ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව
    ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය
    අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

    ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස
    ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ
    කෙරුණි. එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා  සෞඛ්‍ය අංශ
    නිලධාරීන්ට එන්නත්කරණය සිදු කරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ
    කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ඩාර්ලිපාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ නිව් බසාර්
    මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත්
    සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
    එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න
    සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පරීක්ෂණ කටයුතු සදහා
    රුධිර සාම්පල ලබාගැනිම සිදු කරන බව ද පැවැසීය.

    සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල
    ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 429 කට
    අද දින එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව කොළඹ මහනගර සභාවේ දිශා අංක
    01, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා පැවැසීය. එම ස්ථානයේ එන්නත්
    ලබාදීමේ වැඩසටහන අද දින (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදු කිරීමට නියමිත
    බවත් ඒ මහතා පැවැසීය.

    ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සදහා ලබාදීමට එන්නත් මාත්‍රා
    ලක්ෂ 03 ක් වෙන්කොට ඇත. ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ
    සාමාජිකයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ
    මධ්‍යම එන්නත් ගබඩාව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ
    දෙවන මාත්‍රා එන්නත බෙදාහැරිමට සියළු කටයුතු යොදා ඇත.

  • ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

    ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

    ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය

    චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

    (ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් , ශාමික වක්වැල්ල , රොෂාන් බොතේජු රොෂාන් බොතේජු – ජනාධිපති මාධ්‍ය අංශය)

  • Covid-19 Toaday Hot: ලංකාවෙන් ආසාදිතයින් 1096ක් !

    Covid-19 Toaday Hot: ලංකාවෙන් ආසාදිතයින් 1096ක් !

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම අද (27) වාර්තා වුණා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,472ක් බවට පත් වුණා.

    මේ අතර වර්තමානයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් කොළඹින් පිටතින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍ර භේදය තරුණයින් වෙත වඩාත් අනතුරුදායක බවයි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කොළඹින් බැහැර ජනතාව මුහුණු ආවරණ පැළදීමට යම් මැලිකමක් දක්වන බවයි.

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් නෑ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් නෑ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය.

    ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් අදාළ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද ඉල්ලීමක් කළේය.

  • පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ –  කැබිනට් අනුමැතිය හිමිවෙයි

    පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ – කැබිනට් අනුමැතිය හිමිවෙයි

    පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා.

    මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා පැවසුවේ, සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බවයි.

    මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

  • රජයේ සේවකයින් වැඩට යා යුතු සතියට දින 02යි – මාසයට දින 08යි – අලුත්ම චක්‍ර ලේඛය මෙන්න !

    රජයේ සේවකයින් වැඩට යා යුතු සතියට දින 02යි – මාසයට දින 08යි – අලුත්ම චක්‍ර ලේඛය මෙන්න !

    රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් අද (27) චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

    කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගත් බවයි එහි සදහන් වන්නේ.

    ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට මසකට උපරිම දින අටක් පමණක් සේවය වාර්තා කිරීමට අවස්ථාව හිමිවන අතර එහිදී ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබෙන අතර නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වෙනවා.

    එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වෙනවා.

    සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු අතර යම් නිලධාරියකු නිරෝධායනයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්.