Tag: featured

  • චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

    චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

    පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

    ඔබට මවක සිටී. ඔබ ඇයට  පවසන්නේ “අම්මා”  කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය.

    හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව පෙන්වා මේ කවුදැයි ඔබෙන් අසයි. එවිට ඔබ “ඒ මගේ අම්මා” යැයි පවසනු ඇත. ඉන්පසු ඔහු ඔබේ සොහොයුරාගෙන්ද ඒ කවුදැයි අසයි. ඔහුද ” මේ අපේ අම්මා”  යැයි පවසනු ඇත.

    ස්ථිර වශයෙන්ම මේ ඔබේ මව යයි ඔබ පවසන්නේ කෙසේදැයි නලින්වාදී අමුත්තා ඉන්පසු ප්‍රශ්ණ කරයි. මේ ප්‍රශ්නයෙන් ඔබ මවිතයට පත්වනු ඇත. ඔහුට ඔබ පැවසූ දෙය සනාථ කිරීමට ඇති සාක්ෂි ගැන සිතන ඔබ, ඔබගේ උප්පැන්න සහතිකය පෙන්වා එහි ඇය මාගේ මව යැයි නීත්‍යානූකූලව ලියාපදිංචි කර ඇති බව පවසනු  ඇත.

    උප්පැන්න සහතිකය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වාදුන් දෙයක් නිසා එය ගැන විශ්වාසය කල නොහැකි බව නලින් වාදියා ඔබට පවසනු ඇත. මෙයින් විමතියට පත්වන ඔබ, ඇය කුඩා කළ මව්කිරී දී ඇති බව මතක ඇති බවත්, ඇය ඔබට කෑම කැවූ බව මතක බවත්, ඔබ මෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව යැයි පවසන බවත් කියනු ඇත.

    ඉන්පසු ඔබ තවදුරටත් මවිතයට පත්කරමින් එම අමුත්තා ඔබ ඉදිරියේ සිටින තැනැත්තිය ඔබ දෙදෙනාගේ මව යැයි හැඳින්වීම ප්‍රවාදයක් බව පවසයි.

    තවදුරටත්, ඔහු ඇය ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද, නොවෙමින් වීමටද ඉඩ ඇති බව පවසයි. ඒ එසේ වන්නේ ඇය කුඩා කළ මව්කිරී දී ඇති මතකය, ඇය ඔබට කෑම කැවූ බව මතකය, ඔබමෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව බව පැවසීම සම්මුති මිස සැබෑ සත්‍යයන් නොවන නිසා බව ඔහු පවසනු ඇත. ඒවා සාපේක්ෂ සත්‍යයන්  බවත් ඇත්ත වශයෙන්ම ඔබගේ මව ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද,නොවෙමින් වීමටද ඇත්තේ යම් ඉඩකඩක් පමණක් බවත්, ඔහු ඔබට පවසනු ඇත. ඒ එසේ වන්නේ ඔබ ඇය ඔබගේ මව ලෙස හඳුනාගැනීමට භාවිතාකල ක්‍රමයන් සැබෑ සත්‍යයන් නොවන නිසා යි නලින්වාදියා පවසනු ඇත.

    නලීන්වාදයේ ඇති චතුස්කෝටික තර්කයේ හරය මෙයයි. තේරුම් ගැනීමට අපහසු මෙම අප්‍රබංශ තර්කයේ පදනමද එයයි. ඔබ මෙය පවසන ඔබේ නිවසට ආ මේ තැනැත්තා උන්මත්තකයකු ලෙස නොසලකන්නේද? මෙම මනස්ගාත චතුස්කෝටික තර්කය තොරතෝංචියක් නැතිව එය නැවත නැවත කිවහොත් ඔබ සහ ඔබේ සොහොයුරා ඒ නලින්වාදියාට කුමක් කරනු ඇත්ද? ඔහු නිවසින් පන්නන්නේ නැද්ද? 

    පන්නා දැමූ නලින්වාදියා එතැනින් නොනැවතී නිවසින් එළියට පැන ඔබ ඔබේ මව යයි පවසන තැනැත්තා ඇත්ත වශයෙන්ම “මගේ අම්මා”  බව පවසනු ඇත. මේ නලීන්වාදීන්ගේ අනෙක් තර්ක ක්‍රමයයි. එම තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබේ මවට මව යයි කියා හඳුන්වන සත්‍යයක් වීමේ හැකියාව තරමටම ඔහු ඔබේ මවට මව යයි කීමේ සත්‍යතාවයටද  හැකියාවක් තිබේ . ඔබේ මව, ඔබේ මව වීමට මෙන්ම ඔහුගේ මව වීමටද හැකියාවක් ඇත්තේ ඇය ඔබේ මව වීමට මෙන්ම, ඔහුගේ මව වීමටද හැකි බව සනාථ කරන ක්‍රමවේදයන්ගේ විශ්වාසනීයත්වයක් නොමැති නිසාය. ඇය ඔබේ මව වීමත්, ඔහුගේ මව වීමත්  යන සංකල්පයන් දෙකම එකවිට සත්‍යයන් විය හැකි අතර, එය එසේ වන්නේ ඔබ ඔබේ මව යයි ඔබ හඳුනාගත් ක්‍රමවේදයන් වන උප්පැන්න සහතිකය, කිරි බීම, මව ඔබට කැවීම, ඔබගේ සොහොයුරා හා අසල්වාසීන් ඒ ඔබේ මව යයි පැවසීම සාපේක්ෂ සත්‍යයන් වන නිසාය. සම්මුතීන් පමණක් වන නිසාය. ඇතැම් විට ප්‍රවාද විය හැකි නිසාය.

    අප ඔබට තේරෙන භාෂාවෙන් මෙම තර්කන ක්‍රම ඉදිරිපත් කලෙමු. මෙම තර්කන ක්‍රම දෙක නලින් වාදයේ පදනමයි. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ පොත් වල නැවත නැවත, පුන පුනා, විවිධ අයුරින්, පවසන්නේ මෙම තර්කන ක්‍රම දෙකය.

    මෙය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ක්ෂුද්‍ර අංශු  වල හැසිරීම විස්තර කිරීමට භාවිතා කෙරණ ක්‍රමයකි. නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ මුලික ප්‍රකාශනය වන “මගේ ලෝකය” පොතෙහි . “බුදුන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල මේ චතුස්කෝටික තර්කය යොදාගෙන ඇති බැවින් බෞද්ධයන්ට ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි යෙදන තර්කය නුහුරු දෙයක් විය නොහැකිය” යැයි  සඳහන් කරයි.

    එසේ මෙම තර්ක ක්‍රමය බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි වංචනික ලෙස පවසමින්, ඔහු ඔහුගේ මතයට බෞද්ධයන් ආකර්ෂණය කරගනියි. ඉන්පසුව ක්ෂුද්‍ර අංශු වල චලනය විස්තර කරන මෙම තර්ක ක්‍රමය සංකීර්ණ  ගැටළු විග්‍රහ කිරීමට ඔහු පාවිච්චි කරයි. නලින්වාදීන් ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය,සමාජීය, විද්‍යාත්මක,වෛද්‍ය විද්‍යාත්මක,  හා සංස්කෘතික හා හැසිරීම් රටාවන් විස්තර කිරීමට තැත් කරයි. මෙම තැත නලින්වාදීන්ගේ ළදරු මානසිකත්වය හෙළිකරන විගඩමකි. මෙය කුඩා ළමයෙකු කුරුම්බැට්ටි මැසිමකින් කලිසමක් මැසීමට තැත් කිරීමකට සමානය. 

    ඔහු පවසන තර්කන ක්‍රමය, ඔහු ඉදිරිපත් කරන විලාශය හා ලියා ඇති භාෂාවෙහි වියවුල් බව නිසා බොහෝ දෙනෙකුට නොතේරෙයි. එනිසා එම තර්කය නොතේරෙන අය මෙය සොයාගත් උතුමා මහා ප්‍රාඥයෙක් යැයි සිතයි. එසේම එය බුදුන් වන්හන්සේ පවසා ඇතැයි නලින් ද සිල්වා නම් සිංහල බෞද්ධ පඬිතුමා දේශනා කරන නිසා “සැදැහැවත්” බෞද්ධයන් එය සාධුකාර දී පිළිගනී. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බව දන්නා උගතුන් “මෙවන් පිස්සන්ට පිළිතුරු දී කාලය නාස්ති කල යුතු නැත” යි සිතා නිහඬව සිටී. එමනිසා දශක තුනකට අධික කාලයක් මෙම මනස්ගාත තර්ක ක්‍රමයේ එල්ලී සිටීමට රටක් නොමග යැවීමට ඔහුට හැකි විය.  

    මෙම තර්ක ක්‍රමය බුද්ධ වචනයේ හෝ ත්‍රිපිටකයේ කොතැනක සඳහන්වී ඇත්දැයි නොකීමට තරම් නලින් මැතිතුමා කපටි, තම අනුගාමිකයන්ද නොමඟ යවන වංචනික දාර්ශනිකයෙක් වේ. බුදුරජණන් වහන්සේගේ සමයෙහි අබෞද්ධයන් අතර පැවති මෙම චතුස්කෝටික තර්ක ක්‍රමය උන්වහන්සේ ත්‍රිපිටකයේ කොතනැකවත් අනුදැන නොමැත. එපමණක් නොව සූත්‍ර දේශනා කිහිපයකම බුදුරජාණන් වහන්සේ මෙම තර්ක ක්‍රමය එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත.

    සංයුක්ත නිකායේ, සලායතන වග්ගයේ, අව්‍යාකත සංයුත්තයේ, ඛේම සූත්‍රය, අනුරාධ සුත්‍රය, උපගත සූත්‍රය, සමුදය සුත්‍රය, පේම සුත්‍රය මේ පිළිබඳව උදාහරණ කිහිපයකි. ඉන් එකක් වන ඛේම සූත්‍රයහි  බුදුරජාණන් වහන්සේ චතුස්කෝටික තර්කය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි.  “එහෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමටද නුසුදුසුයි.

    “මෙසේ කියමින් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කල මෙම ප්‍රශ්න ඇසීමේ කලාව, නලින් ද සිල්වා මැතිතුමා උන්වහන්සේ පැවසුවේයැයි සඳහන් කරයි. මෙම තර්ක ක්‍රමයට වරක් ප්‍රශ්න ඇසුවේ බුදුසසුනෙහි ප්‍රධාන දායකයෙකු වූ කොසොල් රජතුමායි. තවත් වරක පරිබ්‍රාජකයන් සමූහයකි. ඒ හැරුනුකොට රහතන් වහන්සේලා අතර ඇතිවූ සාකච්ඡාවකදී එය මතුවිය.

    මේ සියලු අවස්ථාවලදී මෙම තර්කය ප්‍රතික්ක්‍ෂේප වී ඇත. මෙම තර්ක ක්‍රමය ත්‍රිපිටකයේ හෝ බුද්ධ භාෂිතයේ පිළිගෙන නොමැති බව අප දැන සිටියෙමු. එනමුත් අප ඒ බව මෙම ලිපිය ලිවීමට පෙර, ත්‍රිපිටකය හා බුදුවදන ගැන පිළිබඳව හසල දැනුමක් හා සුදුසුකම් ඇති ගිහි, පැවිදි උගතුන් රැසක ගෙන් සැකහැර දැනගතිමු.

    බුදුරජානන්වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කල මෙම නලින්වාදී තර්ක ක්‍රමයේ භයානක කම කුමක්ද? මෙම ක්‍රමය අනුව අම්මා හඳුනා ගැනීමට නොහැකිව ඔබ හා ඔබේ සොයුරා වල්මත් වන්නා සේම, ඔබේ අම්මා ඔබේ අම්මාද, නලින් වාදියාගේ අම්මාද යන්න සොයා ගත නොහැකිව මනස අවුල් කර ගනියි. චතුස්කෝටික තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබගේ මව යයි පවසන තැනැත්තිය මව නොවිය හැකි නිසා, ඇතැම්විට ඇය වෙනයම් අචේතනික වස්තුවක් වීමටද ඉඩ ඇති නිසා ඇය විනාශ කිරීමද පාපයක් නොවනු ඇත. එය ආනන්තරිය පාපකර්මයකට නොනැගෙනු ඇත. එනිසා බුදුදහමට අනුව මෙය අතිශයින්ම භයානක තර්ක ක්‍රමයකි. 

    මේ අයුරින් පිළිගත් යම් සත්‍යයක් අසත්‍යයක් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටේ. සත්‍යය දැනගැනීමේ ක්‍රමවේදයන්  අසත්‍යයන් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය දැනගැනීමට ක්‍රමයක් නොමැතිව සමාජය නන්නත්තාර වේ. එසේම එකම කරුණක් අරඹයා සත්‍යයන් කිහිපයක් පැවතිය හැකි යැයි පැවසීමද මහා ව්‍යසනයකට මුල පුරයි. එය එසේ වන්නේ යම් කරුණක් ගැන පෘතුල දැනුමක් ඇති, උගත්කමක් ඇති, පුහුණුවක් ඇති කෙනකු පවසන දේ හා  සමානවම දැනුමක් නැති, පුහුණුවක් නැති, උගත්කමක් නැති කෙනකු පවසන දෙයද සත්‍යය විය හැකි බවට විශ්වාස කිරීමයි.

    ඹෟෂධ විශ්ලේෂකයන් සොයාගන්නා ඖෂධයක් හා වඩු මහතකු සොයාගන්නා ඖෂධයක් අතර වෙනසක් නොමැති බවට  නලින්වාදීන්  තර්ක කරන්නේ මේ පදනමේ සිටයි. මුළු මහත් සමාජයක්  මෙම තර්කයේ එල්ලී ගතවිට සත්‍යයෙන් අසත්‍යය තෝරාගැනීමට නොහැකිව එම සමාජය පසුගාමී වෙයි.

    නලින්වාදී මෙම මතය අද ලංකාවේ ප්‍රචලිතවී, සමාජයේ වැදගත් කොටසක්  සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමට නොහැකිව, මනස අවුල්කරගෙන ඇත. එවන් මතවාදයක් මුල්බැසගත් සමාජය ඔල්මොරෙන්දම් මානසිකතත්වක්  හිස දරා ඉබාගාතේ යන පිරිසක් බවට පත්වේ. අද ලංකාවට වී ඇත්තේ මෙම ප්‍රශ්ණයයි. 

    දැන් යන්තම් තුන් සූත්‍රය දන්නා අය, පටිච්ච සමුප්පාද විවරණය ගැන ග්‍රන්ථ ප්‍රකාශ කිරීමට පසුබට නොවේ. පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් විෂයයන් ගැන දැනුම් ලබා නොමැති අය ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රයන් ගැන පඬිවදන් පවසයි. කිසිදු සාක්ෂියක් මත පදනම් නොවී, නව මත පහල වෙයි.

    මේ අයට දැනුම හදිසියේ පහල වෙයි. විශ්වාස කල නොහැකි විවිධ සිද්ධීන් සිදුවේ. කිසිදු දැනුමක් පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් ලබා නැති නුගතුන්, විවිධ දේ ගැන පොත් ලියයි. සම්මුඛ සාකච්ඡා පවත්වයි.වොයිස්කට් දෙයි. මිනිසුන් මේ සියල්ලම කියවයි, බලයි. සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමේ මිනුම් දඬු හා සාක්ෂි විශ්වාශ කල නොහැකි යැයි නලින්වාදීන් පවසන නිසා මේ සියල්ලන්ම නිවැරදි විය හැකි යැයි මිනිසුන් සිතයි. විවිධ මත පළකරන්නන් ගෙන් කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න සොයා ගැනීමට නොහැකිව ඔවුන් අතරමං වෙයි. අවසානයේදී  වැඩියෙන්ම ඝෝෂා කරන්නා නිවැරදි යැයි මිනිසුන් තීරණය කරයි. මේ නලින්වාදය විසින් අවුල් කරන ලද සමාජයක ලක්ෂණයි. 

    අද නලින් ද සිල්වා මැතිතුමා පසුපස යන හිතවත් අනුගාමිකයන් ඇත්තේ අතලොස්සකි. එනමුත් දශක තුනක් තිස්සේ එතුමා “ජාතික චින්තනය” යයි නම්කොට ශ්‍රී ලාංකික සමාජය තුලට  එකතු කරන ලද හලාහල විස  මේ වන විට ලාංකික සමාජ දේහය තුල නිධන්ගත වී  තිබේ. වෛද්‍ය වරුන් වන අප රෝගීන්ගේ සිරුරෙන් විස ඉවත් කිරීම ගැන යම් පුහුණුවක් ලබා ඇතිමුත්, සමාජයකින් විස ඉවත් කිරීමට පුහුණුවී නැත. එනිසා බුදුදහමට හා සැබෑ ජාතික චින්තනයට මුවාවී, කරන ලද මෙම ප්‍රෝඩාව ලාංකික සමාජයට, විශේෂයෙන්ම බෞද්ධයන්ට ඒත්තු ගන්වා විස ඉවත් කිරීම ඔබගේත් යුතු කමයි. නලින්වාදීන්, ත්‍රිපිඨකය, බුද්ධ භාෂිතය විකෘති කර ඇතිවා පමණක් නොව එය හෑල්ලුවටද  ලක් කොට ඇත. මෙය සංඝයා වහන්සේලාගේ  හා සැබෑ බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

    ක්ෂුද්‍ර අංශු චතුෂ්කෝටික ක්‍රමයට චලනය වුවත්,නැතත් අපට ප්‍රශ්නයක් නැත. අපට ඇති පළමු ප්‍රශ්නය එය බුදුවදනක් යැයි මුසා බස් පැවසීමයි. දෙවනුව ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය, විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජීය හා සංස්කෘතික සංසිද්ධීන් විග්‍රහ කිරීමට තැත් කිරීමයි. නලින්වාදී රොත්තට අප යෝජනා කරන්නේ සමාජය නොමග නොයවා නැවත පරීක්ෂණාගාරයට ගොස්, දොරගුළුලා ගෙන, ක්ෂුද්‍ර අංශුවල චලනය දෙස බලමින් කල් මරන ලෙසයි.මෙම පරීක්ෂණාගාරය තුල පැලෙන කෙස් ඉවත් කිරීමට විශේෂ පවිත්‍රතා සේවයක් යෙදවීමට සිදුවනු නියතය.

    පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

    (අප නලින්වාදයේ අක්මුල් සිඳ බිඳ දැමීමට ලියන මෙම ලිපි පෙළ ලිපි දහයකට සීමා කරන්නෙමු. මෙම ලිපි කියවන ඔබ අප ඉස්මතු කරණ කරුණු වල හරය වටහා ගෙන නලින්වාදයේ සලකුණක් හෝ දුටු තැන එයට නොබියවමතවාදීව පහර දීමට නොපැකිලෙන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට ලාංකික සමාජය රැගෙන යාමට අදිටන් කර ඇති අපඅපගේ ඊළඟ පියවරෙන් ඔබ හමුවට එන්නෙමු )

    • විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
    • විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
    • විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර
  • Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිර යන්නේ කෙසේද ? සම්පූර්ණ කතාව

    Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිර යන්නේ කෙසේද ? සම්පූර්ණ කතාව

    කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ.

    ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු වන බව එමානුවෙල් මැක්‍රොන් පැවසීය.

    සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසේ සිට කිලෝමීටර 10කට වැඩි දුරක් ගමන් කිරීම තහනම් කෙරෙනු ඇත.

    මේ වන විට ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල 5,000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබති.

    ප්‍රංශයේ මේ වන විට කොරෝනාවෛරස රෝගීන් මිලියන 4.6 කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 95,495 ක් වාර්තා වී තිබේ.

    Coronavirus third wave

    ඉන්දියාව

    මෙම වසර මුලදී පුද්ගලයන්ට එන්නත ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ ගණන තියුණු ලෙස පහත වැටී තිබිණි. එය දිනකට ආසාදිතයන් 15,000 ට අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටිණි.

    එහෙත් පරීක්ෂණ සිදු කිරීමේ දුර්වලතා සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිනොපැදීම හේතුවෙන් මාර්තු මාසයේදී රෝගීන් ගණන යළිත් ඉහළ යාමට පටන් ගත්තේය.

    බදාදා දිනයේදී (මාර්තු 31) ඉන්දියාව තුළ නව රෝගීන් 72,019 ක් සහ මරණ 457 ක් වාර්තා වී තිබේ.

    වසංගතය ආරම්භ වූ දා සිට ඉන්දියාවේ රෝගීන් මිලියන 11.7 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 160,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වේ තිබේ. එය එක්සත් ජනපදයෙන් පසු ලොව තුන්වෙනි වැඩිම කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටයි.

    ඉතාලිය

    රෝමය සහ මිලාන් ඇතුළු ඉතාලියේ අඩකට වඩා ප්‍රදේශයක වෙළෙඳසල්, ආපනශාලා සහ පාසල් නැවත වරක් වසා දැමේ.

    රැකියාව, සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතු හැරෙන්නට සියලුදෙනා නිවසේ රැඳී සිටිය යුතුය.

    Coronavirus third wave

    පාස්කු කාලය ඇතුළත (අප්‍රේල් 3-5) දින තුනක් පුරා මුළු රටම වසා දැමෙනු ඇත.

    යුරෝපා සංගම් රටවලින් පැමිණෙන පිරිස හෝ එම කලාපය තුළ සංචාරවලින් පසු ආපසු පැමිණෙන පුද්ගලයින් සඳහා අනිවාර්ය දින පහක නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 6 දක්වා ක්‍රියාත්මක වේ

    ඔස්ට්‍රේලියාව

    ඔස්ට්‍රේලියානු නගරයක් වන බ්‍රිස්බේන්හි කොරෝනාවෛරස රෝගියෙක් වාර්තා වීමත් සමග දින තුනක කාලයක් වසා දමා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 1) දින නැවතත් විවෘත කර තිබේ.

    මිලියන දෙකක් පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්තයේ අගනුවරින් මේ වන විට ආසාදිතයන් 16 ක් වාර්තා වී තිබේ.

    නව ආසාදන අඩුවීමෙන් හැඟවෙන්නේ පාස්කු නිවාඩු සති අන්තය සඳහා නියමිත වේලාවට අගුලු ලෑම (lockdown ) ඉවත් කිරීමට ඉඩ තිබීම යැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඇනස්ටේෂියා පලස්චුක් පැවසීය.

    Coronavirus third wave

    කෙසේනමුත්, ගොඩනැගිලි තුළ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සමහර සීමාවන් තවමත් ක්‍රියාත්මක වේ.

    නිවසක රැස් විය හැකි පුද්ගලයන් ගණන 30 දෙනෙකුට සීමා කර ඇති අතර, සියලුදෙනා සිය ටිකට් පත් ද සමග අසුන් ගෙන සිටින්නේ නම් දේවස්ථානයේ ආගමික කටයුතු සම්පූර්ණයෙන් සිදු කළ හැකිය.

    ජර්මනිය

    ජර්මනිය තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන සීමාවන් අප්‍රේල් 18 දක්වා දීර්ඝ කර තිබේ.

    කෙසේ වෙතත්, අප්‍රේල් මස ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රට පුරා ව්‍යාප්ත අගුලු ලෑමේ (lockdown) සැලසුමට පුළුල් ලෙස විවේචනය එල්ල වීමත් සමග, එය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

    ජර්මානු චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් කියා සිටියේ එවැනි කෙටි දැනුම්දීමකින් අතිරේක සීමා හඳුන්වා දීමට උත්සාහ කිරීම “වැරදීමක්” බවය.

    කෙසේනමුත්, දින හතක කාලයක් තුළ 100,000 කට නව රෝගීන් 100 ක් ඉක්මවා ආසාදිතයන් සිටින ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ලිහිල් කිරීම නතර කර තිබේ.

    වෙළෙඳසල් සහ පොදු ප්‍රවාහනයේදී එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ශල්‍ය මුහුණු ආවරණ හෝ FFP2 වර්ගයේ විශේෂ මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

    Coronavirus third wave

    ඩෙන්මාර්කය

    ඩෙන්මාර්ක රජය වයස අවුරුදු 15 ට වැඩි සෑම කෙනෙකුටම “කොරෝනා බලපත්‍රයක්” ලබා දීමට යෝජනා කර තිබේ.

    ජංගම දුරකථනයෙන් සහ කඩදාසිවලින් ලබා ගත හැකි මෙම බලපත්‍රයේ පසුගිය පැය 72 තුළ කොරෝනාවෛරස පරීක්ෂණයෙන් ‘නෙගටිව්’ ප්‍රතිඵල ලැබී ඇත්ද, කලින් ආසාදනය වී ඇත්ද යන්න හෝ එන්නත ලබා ගෙන ඇත්තේ ද යන්න සඳහන් වේ.

    එරට සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන බැවින්, කොණ්ඩා මෝස්තර දමන ස්ථානයට, අවන්හලකට හෝ වෙනත් ස්ථානයකට යෑමේ දී මෙම බලපත්‍රයේ සඳහන් දත්ත අවශ්‍ය වේ.

    තත්ත්වය හොඳ අතට හැරෙන්නේ නම්, කුඩා සාප්පු අප්‍රේල් 13 සිට විවෘත කරන අතර අප්‍රේල් 21 සිට විශාල සාප්පු මධ්‍යස්ථාන, කැෆේ සහ ආපනශාලාවල එළිමහනේ ආහාර ගැනීමට අවසර දෙනු ලැබේ. සිනමා ශාලා මෙන්ම ආපනශාලා ඇතුළත සිට ආහාර ගැනීම මැයි 6 වෙනි දින නැවත ආරම්භ කළ හැකිය.

    චෙක් ජනරජය

    යුරෝපා සංගමයට අයත් චෙක් ජනරජය කොරෝනාවෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටකි. ඒ හේතුවෙන් එරට ජන ජීවිතයට පැනවූ සීමා තවදුරටත් දැඩි කර තිබේ.

    නව ක්‍රියාමාර්ග අතරට කුඩා ළමුන් හා ආබාධිත පුද්ගලයින් සඳහා වූ පාසල් වැසීම, දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම් කිරීම සහ විවෘතව පවතින කර්මාන්තශාලා සහ සමාගම්වල සේවකයින් සඳහා අනිවාර්ය කොරෝනාවෛරස පරීක්ෂණ පැවැත්වීම ඇතුළත් වේ.

    Coronavirus third wave

    ස්පාඤ්ඤය

    පළාත් අතර ගමන් කිරීම අප්‍රේල් 9 දක්වා තහනම්ය.

    රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය නම් අදාළ ප්‍රදේශවල රාත්‍රී 10 සිට එය බලපැවැත්විය හැකිය.

    විවෘත ස්ථානවල උපරිම වශයෙන් හය දෙනෙකු සහ සංවෘත ප්‍රදේශවල සිව් දෙනෙකුට හමු විය හැකි අතර, පෞද්ගලික නිවාසවල හමුවීමට අවසර නොමැත.

    වයස අවුරුදු 6 ට වැඩි ඕනෑම පුද්ගලයෙක් ගෘහස්ථ හා එළිමහන් පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

    බෙල්ජියම

    පාස්කු සමය ඇතුළත බෙල්ජියම සති හතරක කාලයක් වසා දමා තිබේ.

    ප්‍රාථමික හා ද්විතීයික පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ද අප්‍රේල් 19 දක්වා වසා ඇත.

    අත්‍යවශ්‍ය නොවන සාප්පු විවෘතව ඇති නමුත් පෙර වෙන් කරවා ගත් වෙලාවක දී පමණක් අදාළ සේවාවන් ලබා ගත හැකිය. කොණ්ඩා මෝස්තර දමන ස්ථාන, රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වසා ඇත.

    අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇත.

    Coronavirus third wave

    පෘතුගාලය

    පෘතුගාලයේ නගර අතර ගමන් කිරීම අප්‍රේල් 5 දක්වා තහනම් කර තිබේ.

    ඇතැම් ව්‍යාපාර සහ ප්‍රාථමික පාසල් නැවත විවෘත කරමින් මාර්තු 15 සිට පෘතුගාලය ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීමට පටන් ගත්තේය.

    නෙදර්ලන්තය

    අගුලු ලෑමේ (ලොක්ඩවුන් -lockdown) නීති අප්‍රේල් 20 දක්වා දීර්ඝ කර ඇත.

    ඇඳිරි නීතිය ද දීර්ඝ කර තිබෙන නමුත් මාර්තු 31 සිට එය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට උදෑසන 4.30 දක්වාය.

    මැයි මස මැද වන තුරු විදේශයන්හි නිවාඩු වෙන් නොකරන ලෙස රජය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Text by – bbc

  • මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි

    මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි

    මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31)  මියගිය බවත් උදර ප්‍ර දේශයට දැඩි ලෙස තුවාල සිදුවීම මරණයට හේතුව බවත වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසීය. 

    මියගිය කොටියා දිගින් අඩි 08ක් පමණ වන හොදින් වැඩුණ වයස අවුරුදු 10 ක්  පමණ වන පිරිමි සතෙකු වන බව ද ප්‍රසාද් මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ තාරක ප්‍රසාද් මහතා ‘‘බෝපත්තලාව මැණික්පාළම ආශ්‍රිත රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට මෙම කොටියා හසුවීමෙන් පසු ඌ මන්ද සවිකර තිබූ මුගුරද කඩාගෙන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබෙනවා. පසුව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් පැමිණ කොටියා නිර්වින්දනය කර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය කාලය තුළ මේ ආකාරයෙන් කොටි ගණනාවක් දඩයක්කාරයින් අතින් ඝාතනය වී තිබෙනවා. මෙය බරපතළ තත්ත්වයක්‘

  • උද්ධමනය ඉහළට

    උද්ධමනය ඉහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය.

    2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේය.

    2021 මාර්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.18ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා හේතු විය. තවද, 2021 මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට – 0.49ක් සහ සියයට 0.31ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, අමු මිරිස්, නැවුම් මත්ස්‍ය සහ කහ කුඩු මිල ගණන් පහළ ගියේය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මාර්තු මාසයේ දී වාර්තා විය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 2.6හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ද සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

  • මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

    මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

    මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ.

    යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර එය වෙනස්කරන ලද ‘නයිකි එයාර් මැක්ස් 97’ පාවහන් භාවිත කර නිපදවා තිබේ.

    MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් (Lil Nas X) සමග එක්ව සඳුදා (මාර්තු 29) පාවහන් යුගල 666 ක් නිකුත් කළ අතර ඒවා මිනිත්තුවකට අඩු කාලයකදී අලෙවි වූ බව පවසයි.

    මෙහිදී සිය වෙළෙඳ ලකුණ උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට නයිකි සමාගම චෝදනා කරයි.

    ලිල් නාස් එක්ස්ගේ නවතම ගීතය වන මොන්ටෙරෝ (Montero) පසුගිය සිකුරාදා (මාර්තු 26) යූ ටියුබ් හි එළිදැක්වීමට සමගාමීව මෙම කළු සහ රතු පැහැති පාවහන් සඳුදා (මාර්තු 29) “මුදා හැරීමට” MSCHF ක්‍රියා කළේය.

    රැප් ගායකයා මෙම පාවහන් යුගලක් පැළඳගෙන ස්වර්ගයේ සිට නිරයට රිටකින් පහළට ලිස්සා යන අයුරු මියුසික් වීඩියෝවෙහි නිරූපණය කරනු දැකගත හැකිය.

    සපත්තුවේ සටහන් ‘ලූක් 10: 18’ බයිබලයේ සඳහන් වැකියකි. “ඉතින් ඔහු ඔවුන්ට කිව්වා, ‘ස්වර්ගයෙන් ආ අකුණක් මෙන් සාතන් වැටුණ බව මම දුටුවා කියා,” එහි සඳහන් වේ.

    සෑම සාතන් පාවහන් යුගලකම, නයිකි නිර්මාණවලට විශේෂිත වායු බුබුළු සහ ‘කුෂන්’ සහිත පතුලට රතු තීන්ත ඝන සෙන්ටිමීටර 60 ක් සහ මිනිස් රුධිර බිංදුවක් අඩංගු වේ. ඊට එම රුධිරය පරිත්‍යාග කර තිබෙන්නේ කලා සමූහයේ සාමාජිකයින් විසිනි.

    මෙම විශේෂ සාතන් පාවහන් සඳහා අවසර දී හෝ අනුමත කර නොමැති බව ක්‍රීඩා සපත්තු දැවැන්තයෙකු වන නයිකි සමාගම නිව්යෝර්ක් හි නැගෙනහිර දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කළ නඩුවක සඳහන් කර ඇත.

    MSCHF මෙම පාවහන් අලෙවිකිරීම නවත්වන ලෙසත් එහි සුප්‍රසිද්ධ ‘ස්වෝෂ්’ (නයිකි) මෝස්තර සලකුණ භාවිත කිරීම වලක්වන ලෙසත් නයිකි සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටියි.

    “MSCHF සහ එහි අනවසර සාතන් සපත්තු නිසා ව්‍යාකූලත්වයක් සහ බාල කිරීමකට හේතු වන අතර MSCHF හි නිෂ්පාදන සහ නයිකි අතර වැරදි සම්බන්ධතාවක් ඇති කරනවා” යැයි නයිකි සමාගම සිය නඩුවෙහි සඳහන් කර ඇත.

    “ඇත්ත වශයෙන්ම, දැනටමත් වෙළෙඳපොල තුළ සැලකිය යුතු ව්‍යාකූලත්වයක් සහ බාලවීමක් සිදුව ඇති බවට සාක්ෂි තිබෙනවා. MSCHF හි සාතන් සපත්තු එළිදැක්වීමට ප්‍රතිචාර වශයෙන්, නයිකි සමාගම මෙම නිෂ්පාදනයට අවසර දී හෝ අනුමත කර ඇති බවට ඇති වැරදි මතයක් සමග, නයිකි වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීමක් දකින්න පුළුවන්.”

    සමාජ මාධ්‍ය ජාලවල පාවහන් සඳහා ජනප්‍රිය (influencer) @Saint පසුගිය සිකුරාදා මෙම සාතන් සපත්තු කුට්ටම එළිදැක්වීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩක් නිකුත් කළ බව අදාළ නඩුවේ සඳහන් වේ. එමෙන්ම, සති අන්තයේ දී සමාජ මාධ්‍යවල සහ එක්සත් ජනපදයේ මාධ්‍යවල ද මෙම පාවහන් යුගල ගැන ප්‍රචාරය විය.

    දකුණු ඩැකෝටාහි ආණ්ඩුකාර ක්‍රිස්ටි නොයෙම් වැනි ඇතැම් ගතානුගතිකයින් මෙන්ම ඇතැම් ආගමික අනුගාමිකයෝ, මෙම මතභේදාත්මක පාවහන් නිර්මාණය සම්බන්ධයෙන් සිය අමනාපය පළ කර තිබූ අතර, ලිල් නාස් එක්ස් සහ MSCHF ට්විටර් ඔස්සේ විවේචනය කළහ.

    ලිල් නාස් එක්ස් ට්විටර් ඔස්සේ ආණ්ඩුකාරවරියට සහ අනෙකුත් විවේචකයින්ට ප්‍රතිචාර දක්වා තිබුණු අතර, සඳුදා දින (මාර්තු 29) නයිකි නඩුව පිළිබඳ පුවතට ප්‍රතිචාර වශයෙන් ‘මීම්ස්’ කීපයක් පළ කර තිබිණි.

    Text by – bbc

  • මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපති බොල්සොනාරෝට දඩ

    මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපති බොල්සොනාරෝට දඩ

    දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි.

    නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි.

    එම පුවත දිග හැරෙන්නේ මෙසේය. මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ අධිකරණයකින් නියෝග කර ඇත්තේ එරට ජනාධිපති ජායිර් බොල්සොනාරෝ වෙතය.

    ඔහුට එම නියෝගය නිකුත් වූයේ, අදාළ මාධ්‍යවේදිනියගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ වරදට ය.

    තමන් පිළිබඳ සෘණාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා පැට්‍රිෂියා කැම්පෝස් මෙලෝ නමැති මාධ්‍යවේදිනිය එක්තරා සම්පත්දායකයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති බව අඟවමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ ප්‍රකාශයක් කර තිබුණි.

    අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ප්‍රකාශය මගින් මාධ්‍යවේදිනියගේ ගෞරවයට හානිවී ඇති බවය.

    “අගනා දිනයක්”

    ඊට වන්දි වශයෙන් බ්‍රසීල මුදලින් (රියල්) 20,000ක් (ඇමරිකානු ඩොලර් 3,500ක්) මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කර තිබේ. මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතී.

    බ්‍රසීලයේ සම්මානලාභී මාධ්‍යවේදිනියක වන පැට්‍රිෂියා මෙලෝ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විනිසුරුවරයා ලබා දී ඇති තීන්දුව “ස්ත්‍රීන් වන අප සියලු දෙනාගේම ජයග්‍රහණයක්” බවය.

    මෙය මාධ්‍යවේදිනියන්ට මෙන්ම බ්‍රසීලයේ වෘත්තීමය මාධ්‍යකරණයට “අගනා දිනයක්” බව The Journalists Against Harassment කණ්ඩායම පැවසීය.

    2019 ජනවාරි මාසයේදී බලයට පත් වූ බොල්සොනාරෝ, දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකි. තමන්ගේ පාලනය විවේචනයට ලක් කරන මාධ්‍යවේදීන් වෙත එදිරිවාදිකම් සිදු කරන ඉතිහාසයක් ඔහු සතුය.

    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඉහත කී මාධ්‍යවේදිනිය නීතිය ඉදිරියට ගියේ 2020 වසරේ පෙබරවාරියේදී ය.

    එම නඩු වාර්තාවේ සඳහන් වන්නේ ජනාධිපති බොල්නාසොනාරෝ විසින් “ලිංගික ඇනුම්පද” කියමින් මෙම මාධ්‍යවේදිනියට අපහාස කරනු ලැබ ඇති බවය.

    2018 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බොල්සොනාරෝ ට සහයෝගය දැක්වූ එක්තරා වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳව මෙම මාධ්‍යවේදිනිය පර්යේෂණාත්මක ලිපි පෙළක් ලිව්වාය.

    ජනපති පුතු

    පසුගිය ජනවාරියේ දී මෙම මාධ්‍යවේදිනිය මෙවැනිම වූ තවත් නඩු විභාගයකින් ජය ලැබුවාය. එම නඩුව ගොනු කර තිබුණේ ජනාධිපති බොල්සොනාරෝ ගේ පුත්‍රයාට එරෙහිවය. ඔහු බ්‍රසීලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

    පසුගිය වසරේ මැයි මාසයේ යූටියුබ් ඔස්සේ පළ කර තිබුණු වීඩියෝවක ඔහු අඟවා තිබුණේ, තම පියාට එරෙහිව තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මාධ්‍යවේදිනිය විසින් එක්තරා පුද්ගලයෙකු ලිංගිකව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරනු ලැබ ඇති බවය.

    එම ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ ගෞරවයට කරන ලද ප්‍රහාරයක් බව විනිසුරුවරයා පැවසීය.

    ඊට වන්දි වශයෙන් රියල් 30,000ක් එම මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනපති පුතුට අධිකරණය නියෝග කළේය.

    Text by – bbc

  • ශ්‍රී ලංකාව කඩුළු 08කට තවත් ලකුණු 104 ක් පිටුපසින්

    ශ්‍රී ලංකාව කඩුළු 08කට තවත් ලකුණු 104 ක් පිටුපසින්

    වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සත්කාරකයින්ට වඩා ලකුණු 104 ක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ කඩුලු 2 ක් පමණි.

    ශ්‍රී ලංකාව සතු එකම සැනසිල්ල වන්නේ පෙර තරගයේදී ශතක ලාභියා වුණු පැතුම් නිස්සංක කඩුල්ලේ රැඳී සිටීමයි. එහෙත් කණස්සල්ලට හේතුවන කරුණ වන්නේ ඔහු සමඟ පන්දුවට පහර දීමට සිටින්නේ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු පමණක් වීමයි. වඩා ඉවසිලි වන්ත වුණු පැතුම් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ තමන්ගේ තෙවැනි ටෙස්ට් ඉනිමට වන අතර එහිදී ඔයු පළමු අර්ධ ශතකයට ලකුණක් පසු පසින් සිටින්නේය.

    ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින පැතුම්ගේ ලකුණු 49 ඉනිම සඳහා ඔහු පන්දු 119 කට මුහුණ දී සිටින අතර ඒ සඳහා හතරේ පහර 4 ක් පමණක් එල්ල කර තිබුණි. පැතුම්ගේ ඉනිමට අභියෝග කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් අසමත් වුවත් සමස්ථ දිනය ගත් විට ඔවුන්ගේ පන්දු යැවීමේ දක්ෂතා කැපී පෙනුණි.

    ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී  දිනයේ වැඩි වේලාවෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් දවා ගැනීම වෙනුවෙන් අටවල ලද උගුල් වලට ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතාමත් සූක්ෂම සහ නිවැරදි එල්ලයකට පන්දු යවනු දක්නට ලැබිණ.

    ඒ සඳහා වුණු හොඳම උදාහරණය වූයේ චන්දිමාල්ගේ දවා ගැනීමය. පා ඉන්න ප්‍රදේශයට ආසන්නයෙන්, ලෙග් සයිඩ් කළාපයේ සහ ඩීප් ස්කෙවයාර් ලෙග් යන කළාප වල පන්දු රකින්නන් රැඳවූ ෂෙල්ඩන් ගේබ්‍රියල් චන්දිමාල්ට කෙටි පන්දු වැළක් යොමු කළේය. අටවන ලද උගුල පිළිබඳව හොඳ අවබෝධයක් චන්දිමාල් සතුව පැවැතියද දිගින් දිගටම එල්ල කරන ලද කෙටි පන්දු හේතුවෙන් ඔහුගේ සංයමය බිඳී ගියේ ඔහුටත් නොදැනීමය. පපුව ප්‍රදේශයට එවන ලද කෙටි පන්දුවට හුක් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ස්ක්‍යෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක පන්දු රකින්නෙකු වූ හේඩ්න් වෝල්ස් විසින් සුරැකිව රැක ගනිද්දී චන්දිමාල්ගේ ඉනිම ලකුණු 44 කදී නිමාවට පත් විය.

    එපමණක් නොව පන්දු 186 ක් පුරා ඉනිමේ වාර්තා වුණු චන්දිමාල් – ධනංජය අතර වුණු වඩාත් ඵලදායීම සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 75 දී නිමාවට පත්විය. එම දැවී යෑමට ප්‍රථම චන්දිමාල් දවා ගැනීම වෙනුවෙන් තවත් අවස්ථාවක් ලබා දුන් නමුත් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි රකීම් කෝන්වෝල් අතින් එය ගිලිහී ගියේය. ග්‍රේබ්‍රියල් එවන ලද කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී එම උඩ පන්දුව ඇදි යන විට චන්දිමාල් ලකුණු 34 ක් ලබා සිටියේය.

    ශ්‍රී ලංකා ඉනිමේ අවාසනාවන්තදායකම සිදුවීම වූයේ ධනංජය ද සිල්වාගේ දැවී යෑමයි. ජර්මේන් බ්ලැක්වුඩුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු ජොයෙල් විල්සන් එය දැවී යෑමක් ලෙසින් සටහන් කළේය. පිට ඉන්නට පිටතින් පතිතව තියුණු ලෙස දඟ කැවෙමින් ආ පන්දුවට ප්‍රධාන විනිසුරුවරයා ලබා දුන් තීරණයට හිස නමමින් ධනංජය කිසිත් නොදොඩා පිටියෙන් ඉවත් විය. එහෙත් පුණරූපවණවලදී ලබා දෙනු ලබන බෝල් ට්‍රැකිං (Ball Tracking) හෙවත් පන්දුවේ ගමන් මඟ හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණයේදී එම පන්දුව කඩුල්ලේ නොවැදී යන පන්දුවක් ලෙසින් සටහන් විය. ජොයල් විල්සන් විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරු දක්වා එම රැගෙන යෑමට ධනංජය උනන්දු වූයේ නම් තව දුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව ඔහුට නියතයෙන්ම හිමිවනු ඇත.

    ධනංජයගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කණ්ඩායමේ නම් දැරූ අවසන් පිතිකරුවා වන නිරෝෂන් දික්වැල්ලද ලකුණු 20 කට දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසීරුතාවයට ඇද දමමිනි. ජේසන් හෝල්ඩර් විසින් යොමු කරන ලද පන්දුවට කඩුලු රකින්නා උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු ප්‍රතික්ෂේප කළේය. ශරීරයත් පිත්තත් අතරින් පන්දුව දික්වැල්ලගේ ශරීරය පසු කර යද්දී ශබ්ද 2 ක් ඇසීම මත කඩුලු රකින ජොෂුවා ද සිල්වා යෝජනා කර සිටියේ එය තෙවැනි විනිසුරු වෙත යොමු කළ යුතු බවයි. එසැනින් එය තෙවැනි විනිසුරු දක්වා යොමු කිරීමට නායකයා තීරණය කළ අතර පුණරූපණවලට අනුව එය ශරීරයේ වැදීමට ප්‍රථම පිත්තේ ඇතුල් දාරයේ වැදී ගිය උඩ පන්දුවක් ලෙසින් දිස් විය. දික්වැල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 203 ක් ලෙසින් සටහන් විය. පන්දු යවන්නන් අතරින් රකීම් කෝන්වෝල් පමණක් කඩුල්ලක් දවා ගැනීමට අසමත් වද්දී පන්දු යැවූ සෙසි පන්දු යවන්නන් 6 දෙනා කඩුලු දවා ගැනීමට සමත්වූහ. ඒ අතරින් අල්සාරි ජෝසප් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවා ගෙන පන්දු යැවීමෙන් කැපී පෙනුණහ. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

  • රාජ්‍ය නිලධාරීන්ගේ සහායෙන් AURA LANKA HERBALES රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

    රාජ්‍ය නිලධාරීන්ගේ සහායෙන් AURA LANKA HERBALES රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

    රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ.

    දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 කට අයත් වගා බිම් ගිවිසුම් මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

    මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන මෙම සමාගම 2018 ජූලි මස 26 වන දින 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව අංක PV 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

    මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස චන්දික විරන්ජිත් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප‍්‍රථම රාජාංගනය ප‍්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර අලූත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නිදහන් ලබා ගැනීමට ගොස් අත්අඩංගුවට පත් ව මීගමුව බන්ධනාගාර ගත කර තිබේ. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.

    ඔහු විසින් අද වන විට කිසිදු රාජ්‍ය ආයතනයකින්, නීත්‍යානුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොර ව යාය 18 ගම්මානයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් යැයි සඳහන් කරමින් ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරමින් සිටී.

    සමාගමෙන් ගම්මානයට සිදු කරන හානිය

    ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් නැතහොත් රුපියල් මිලියන 74000 ක ආයෝජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් අද වන විට ගොවි ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන බිම් සැකසීම සිදු කරයි. විශේෂයෙන් ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් ආශ්‍රිත ව කලා ඔය හරස් කර අලූතින් ඇළ මාර්ගයක් සකස් කර මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීමට ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. ඇළ මාර්ග සැකසීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ වනාන්තර ඉවත් කර පස් කපා ඇති අතර ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රීට් හා ගල් අතුරා සකස් කර තිබේ. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දන අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කරයි. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත.

    අවුරා ලංකා සමාගම මගින් ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංඟාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළ හොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත.

    යාය 18 ගම්මානය ආශ්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප‍්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිත කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත‍්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප‍්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලූතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලූ සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප‍්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත.

    අවුරා ලංකා සමාගම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප‍්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

    මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා බිම් හා ඊට සමගාමී ව කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ශක්‍යතා ඇගයීමක් මත පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය යටතේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉඩම් නිදහස් කර ගැනීම සිදු කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් ප‍්‍රදේශයේ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත කිසිදු අනුමැතියකින් තොර ව ජනතාවගේ ඉඩම් හා රජයේ ඉඩම් අත්පත් කර ගෙන මෙම සමාගම විසින් සියලූ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.

    ව්‍යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම

    කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත් මෙය ඒක බෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලූ බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග‍්‍ර වන අතර එසේ සේදී යන පස් තට්ටු වැව් හා ගංගා, ඇළ, දොළවල තැම්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප‍්‍රදේශයේ වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය සීමා වී එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂි කර්මාන්තය බිඳ වැටීමට ලක් වේ.

    නියං සමය පවතින කාලවල දී විවෘත වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප‍්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය ශීඝ්‍රයෙන් අඩු වී යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ප‍්‍රදේශවල ජනතාවට උග‍්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස ශීඝ්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප‍්‍රධාන ගැටලුවක් බවට පත් වනු ඇත.

    මේ නිසා කෝමාරිකා වගාව මිශ‍්‍ර බෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටලු බොහොමයක් උද්ගත වනු ඇත.

    මීට අමතර ව මෙම ව්‍යාපෘතිය යටතේ කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති අතර සමහර ඉදිකිරීම් මේ වන විට සිදු කරමින් පවතී. ඒ සියලූ ඉදිකිරීම් සඳහා යොදා ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උදු, තල, බඩඉරිගු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි බෝග වර්ග හා වී වගාව සිදු කළ බිමි ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් අවුරා ලංකා සමාගමෙන් අහිමි කිරීමෙන් එම ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙඳපොළ මත යැපීමට සිදු වනු ඇත. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප‍්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

    නීති විරෝධී ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන්ගේ සහය

    අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය රංජිත් චන්ද්‍රසේන, රාජාංගන ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිනී යන මහත්වරුන්ගේ සහයෝගය යටතේ හා රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් පී. ජී. සුනිල් අබේකෝන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකරු කේ. ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ  සහ රාජාංගනය යාය 11 පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව සිදු කරමින් පවතී.

    රුවන්වැලිසෑය මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා තාබුගල මහතා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද වාර්තා වේ.

    ව්‍යාපෘතියෙන් උල්ලංඝනය කරන අණ පනත්

    මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ  ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප‍්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රි‍යාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

    පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම යන සියලූ ක්‍රියාවලීන් සිදු කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලූ අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටලුවට කරුණකි.

    ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන බව ය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලූ ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • රුපියල මස්තබාල්දු වෙයිද ?

    රුපියල මස්තබාල්දු වෙයිද ?

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි.

    රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා මෝටර් රථ ආනයනය ද දැඩිව පාලනය කර තිබියදී රුපියල මේ ආකාරයෙන් පහත වැටීම ශ්‍රී ලංකාවට ආනයනය කරන අන්තර් භාණ්ඩ (ඛනිජ තෙල් ආදි) කෙරෙහි දැඩිව අහිතකර බලපෑම් සිදුකරනු ඇති බවයි.

    ආනයනය සීමා වුව ද අපනයන හා සංක්‍රාම ආදායම් ප්‍රමාණවත් නොවීම, සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තව දුරටත් අකර්මන්‍ය තත්ත්වයේ තිබීම මේ බිද වැටීමට ඍජු හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ අතර අප සමග අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයෙකු කියා සිටියේ මේ වසර අවසාන වන විට රුපියල තව දුරටත් අවප්‍රමාණය වී බරපතළ ගැටලු ඇති කළ හැකි බවයි.

  • චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

    චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

    චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

    ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

    චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම  “සිනොෆාම්” කොවිඩ් මර්ධන  එන්නත නිෂ්පාදනය කර තිබේ.

    එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31)    පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා විය.

    ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරේ. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට  සැලසුම් කර ඇත.

    මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

    එන්නත් ලක්ෂ 06 භාරදීමට අදාළ ලියකියවිලිවලට චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අත්සන් තැබූහ.

  • බ්‍රසීල ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

    බ්‍රසීල ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

    ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති කිරීමට ගත් උත්සාහයට විරෝධයක් ලෙස සැලකේ.

    කොවිඩ් -19 ට දැක්වූ ඍණාත්මක ප්‍රතිචාරය නිසා ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස අඩුවී තිබේ.

    මේ වන විට බ්‍රසීලයේ පුද්ගලයින් 314,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව මිලියන 12.5 කට වඩා වැඩිය. ඊයේ (29) දිනයේදී පුද්ගලයින් 3250ක් පමණ කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

    මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීලයේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති නිරෝධායන ක්‍රියාමාර්ගවලට නිරන්තරයෙන් විරුද්ධ වී ඇති අතර, ආර්ථිකයට සිදුවන හානිය කොරොන වයිරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි තර්ක කරයි.

    ඔහුගේ විදේශ හා ආරක්ෂක ඇමතිවරුන් දෙදෙනාම ඉවත් වීමෙන් පසු සඳුදා ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය නැවත සකස් කිරීමට සිදුවිය.

    බොල්සොනාරෝට මෙය කෙතරම් බරපතලද?

    ජනාධිපතිවරයා සමඟ ඇති වූ මතභේදයක් සම්බන්ධයෙන් හමුදා, නාවික සහ ගුවන් හමුදාවේ ප්‍රධානීන් එකට නැගී සිටි පළමු අවස්ථාව බ්‍රසීල ඉතිහාසයේ වාර්තා වේ.

    ජෙනරාල් එඩ්සන් ලීල් පුජොල්, ඇඩ්ම් ඉල්ක්ස් බාබෝසා සහ ලුතිනන් බ්‍රිගේට් ඇන්ටෝනියෝ කාලෝස් බර්මියුඩෙස් යන තිදෙනා අඟහරුවාදා ඉල්ලා අස්විය.

    ආරක්ෂක අමාත්‍ය ප්‍රනාන්දු අසිවෙඩෝ ඊ සිල්වා කැබිනට් සංශෝධනයක් සඳහා ඉක්මන් පියවරක් අනුගමනය කළේය. ත්‍රිවිධ හමුදාවට පක්ෂපාතී වීම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමති බොල්සොනාරෝ මහතා සමඟ ගැටුමක් ඇති කර ගත් අතර ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට පෞද්ගලිකව සහාය දෙනවාට වඩා ව්‍යවස්ථාව තහවුරු කිරීම සඳහා යොමු කළ යුතු බවයි.

    බීබීසීයේ ලතින් ඇමරිකානු වාර්තාකරු විල් ග්‍රාන්ට් පවසන්නේ බොල්සැනාරෝ මහතා 2019 ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ විශාලතම දේශපාලන අර්බුදයට මුහුණ දී සිටින බවයි.

    කොරෝනා වයිරස් වසංගතය පිළිබඳ ඔහුගේ වැරදි කළමනාකරණය සමඟ එක්ව, අපගේ වාර්තාකරු තවදුරටත් පවසන්නේ, නායකයා මත පීඩනය මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    බ්‍රසීලය විශාල වශයෙන් රට පුරා සිය එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමඟ පොරබදමින් සිටී. මෙතෙක් එය භාවිතා කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ චීනයේ කොරෝනාවැක් යන දෙකටම ජබ් දෙකක් අවශ්‍ය වේ.

    ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත භාවිතය බ්‍රසීලය විසින් අනුමත කර ඇති අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සහ රුසියානු නිෂ්පාදිත ස්පුට්නික් වී ජබ් යන තනි මාත්‍රාව සඳහා ඇණවුම් ලබා දී ඇත.

    මේ මස මුලදී බ්‍රසීලයේ දිනපතා කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව 3,000 ක් පසු කළ අතර රෝහල් කඩා වැටීමට ආසන්නව තල්ලු වූ අතර රට ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බවට බියක් ඇති කළේය.

  • SL v West: පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

    SL v West: පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

    පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත් මන්දගාමී දිනයක් බවට පත්වූ අතර දිනය තුළ යවන ලද පන්දුවාර 86 දී දෙපිළේම පිතිකරුවෝ රැස් කිරීමට සමත්වූයේ ලකුණු 203 ක් පමණි.

    සමස්ථ දිනය තුළදී කඩුලු 6 ක් දැවී යද්දී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය ලෙසින් 2.36 ක් සටහන් වේ.කෙසේ වෙතත් ලකුණු 77 කදී පළමු පිතිකරුවන් තිදෙනා දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළි දිනේෂ් චන්දිමාල් පන්දු 80 කදී ලකුණු 34 ක්ද ධනංජය ද සිල්වා පන්දු 95 කට මුහුණ දෙමින් ලකුණු 23 ක්ද ලබා තරගයේ තෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියහ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනා අතර වාර්තා වුණු නොබිඳුණු කඩුලු සම්බන්ධතාවය ලකුණු 59 කි.

    ඉනිම ආරම්භයේදී ඉතාමත් සංසුන්ව පන්දුවට පහර දුන් ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකත්වයට පත් වූ පළමු පිතිකරුවා විය. වෙනදාට වඩා තරමක් වේගයෙන් පන්දුවට පහර දුන් තිරිමාන්න තේ පානයට පෙර සිය අර්ධ ශතකය සපුරා ගගත්තේය. මෙය ඔහු අඛණ්ඩව ඉනිම 3 කදී රැස් කරන ලද තෙවැනි අර්ධ ශතකය මෙන්ම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

    පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිට පිතිකරණයට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම සඳහා දිමුත් කරුණාරත්න දැඩි උත්සාහයක නිරත වූ නමුත් අල්සාරි ජෝසප් හමුවේ ඔහු පරාජයට පත්විය. එල්ල කරන ලද පහර ස්ලිප් සහ ගලී ස්ථාන අතරින් ගලා ගියත් නමුත් දකුණතට පැන තනි අතට එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට න්කෘමා බෝනර් සමත්වූවේය. ගලී ස්ථානයේ සිට ගුවනට මුසු වෙමින් රැක ගත් එම උඩ පන්දුව දිනය තුළ පමණක් නොව සමස්ථ තරගයේදී මෙතෙක් වාර්තා වුණු දක්ෂතම උඩ පන්දු රැකීම බවට පත්විය.

    ඕෂද ප්‍රනාන්දු ද ලකුණු අතරට පිවිසීමට දැඩි උත්සාහයක් නිරත වූ නමුත්, කයිල් මේයර්ස්ගේ පන්දු යැවීම ඔහුගේ හරහට හිටියේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඕෂද දැවී යන විට පන්දු 71 කදී ලකුණු 18 ක් ලබා සිටියේය. රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් තිරිමාන්නද තම ඉනිම ලකුණු 55 කදී නවතා ගත්තේය. පන්දු 106 කින් සමන්විත වුණු තිරිමාන්නගේ ඉනිම සඳහා හතරේ පහර 6 ක් එල්ල කර තිබිණ.

    දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ. දුෂ්මන්ත චමීර විසින් කොදෙව් කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගන්නා විට බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 354 ක් ලෙසින් සටහන්ව තිබිණ.

    නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැත්වයිට් අද දිනයේදී සිය 9 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගනිමින් තම ඉනිම ලකුණු 126 ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔහුට අමතරව රකීම් කෝන්වෝල් ද අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය.

    පන්දුවාර 6 ක් පමණක් පරණ වී තිබූ දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කළින්ම කොදෙව් පළමු ඉනිම නවතා දමනු ඇතැයි අපේක්ෂිත වුවත්, දිවා ආහාරය වන තෙක්ම තරගය රැගෙන ගියේය. පළමු ටෙස්ට් තරගයේ පරිදිම වැඩිම හානියක් සිදුකරන ලද්දේ රකීම් කෝන්වෝල් විසිනි.

    නායකයාට මනා සහයෝගයක් ලබා දුන් කොදෙව් දැවැන්තයා සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ විශ්ව ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 92 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගනිමිනි. මෙය කෝන්වෝල් විසින් පිට පිට ඉනිම දෙකකදී රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

    ශ්‍රී ලංකාවේ අවාසනාවටත් කොදෙව් පිලේ වාසනාවටත් හිටි කෝන්වෝල් – බ්‍රැත්වයිට්ගේ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එම ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාවය (103) බවට පත්වූවා පමණක් නොව ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදුකරන ලද සම්බන්ධතාවයක් ලෙසින් සටහන් විය. මෙම සම්බන්ධතාවයේදී වැඩිම හානියක් සිදුකළ කෝන්වෝල් එම කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 103 න් 73 කම හිමිකරුවා බවට පත්වූවේය.

    සුරංග ලක්මාල්ගේ සිව්වැනි කඩුල්ල ලෙසින් කෝන්වෙල් දැවී යද්දී පිටියට පිවිසි කෙමාර් රෝච් ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා සමඟ එක්ව ලකුණු 26 කින් ඉනිම පෝෂණය කළේය. කෙමාර් රෝච්ගේ කඩුල්ල දවා ගත් දුෂ්මන්ත චමීර ඊළඟ පන්දුවාරයේදී යළිත් බ්‍රැත්වයිට්ව දවා ගනිමින් කොදෙව් පළමු ඉනිමේ ලකුණු දඩයම නිමා කර දැමුවේය. පිට ඉන්නට මඳක් පිටතින් පිතව කඩුල්ල තුළට ආ පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වැදී යෑම නිසා පිටියෙන් ඉවත්විය. ඒ සැණකින්ම දිවා භෝජනය සඳහා තරගය නතර කර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

    ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ලකුණු 94 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 69 ක් ඇතුළත කඩුලු 3 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

    text by sri lanka cricket
  • පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලිලා

    පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලිලා

    අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජ‍යේ බොහෝ දෙනකුට එය ආගන්තුක නොවේ.

    බොහෝ දෙනකු එදිනෙදා අතමාරුවට අවිධිමත් අයුරින් පොලී අනුපාත පිළිබඳ ද නොවිමසමින් මුදල් ණයට ගනිති. ගම්බදව පමණක් නොව නාගරිකව ද එය දක්නට පුළුවන. එහෙත් අවසානයේදී කන, කර ආභරණ, ගේ දොර ඉඩකඩම් පමණක් නොව ඇතැම් විට ජීවිතවලින්ද වන්දි ගෙවීමට ඒ ක්ෂණික ගනුදෙනුව හේතු වනු ඇතැයි බොහෝ දෙනකු සිතන්නට පෙලඹෙන්නේ නැත.

    ජාතික වශයෙන් එහි බලපෑම දැඩි වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මහජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලුවලට ස්ථිර පිළියම් යෙදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය භාර අධ්‍යක්ෂ එස්. ඒ. එස් වික්‍රමසිංහ මහතා සමඟ කළ කතාබහකි මේ.

    බොහෝ දෙනකු මෑතක සිට වැඩි පොලියක් දෙනවායැයි කියන සමාගම් සමඟ ගනුදෙනු කිරීමට පෙලඹී සිටිනවා. ඒ ඇයි?

    ලෙඩකට හෝ දුකකට ඉක්මන් මුදල් අවශ්‍යතාවක් ඇතිවූ විට බොහෝ දෙනා පොලිය ගැන විමසන්නේ නැතිව පහසුම කෙනාගෙන් ණයක් ලබා ගන්නයි පෙලඹෙන්නේ. දවස් ණය, සති ණය, මාස් ණය වශයෙන් සරලව හැඳින් වුවත් ඒ තුළ සැඟවුණු පොලිය පිළිබඳ හුඟ දෙනකුට හරි වැටහීමක් නැති වග පෙනෙනවා. පොලිය දවසට 1%ක් බවට හඳුන්වා දුන්නත් අවුරුද්දකට එය 365%ක්. ඒ වුණත් රැයක් දහවලක් කියා වෙනසක් නැතිව මොන විදියකින් හරි මුදල් හදිසිය ඉක්මනින් විසඳා ගන්නයි හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ. ඒ වග එදිනෙදා ණයට අනුන්ට මුදල් දීමට පෙලඹුණු තැනැත්තන් හා එම ආයතන හොඳින් වටහාගෙන සිටිනවා.

    ඒ අයුරින් ජනතාවට 40% සිට 330%ටත් වඩා වැඩි පොලියට මුදල් ණයට දීමේ ක්‍රියාවලියක් ඇතැම් පුද්ගලයන් හා ආයතන හරහා මෙරටින් හඳුනා ගැනීමට පුළුවන්. තනි පුද්ගලයන් පමණක් නොව එතරම් ඉහළ පොලී අනුපාත අයකරන ඇතැම් මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් හෙළිවී තිබෙනවා. ඒවා නිසා අගතියට පත්වූ තැනැත්තන් බොහොමයක් පිළිබඳ නිතර අසන්නට ලැබෙනවා. රට පුරා පවුල් 50,000ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී ඇතැයි අප මේ වන විට හෙළිකරගෙන තිබෙනවා. නැඟෙනහිර පළාතේ මඩකළපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල වැඩි පිරිසක් මේ නිසා විවිධ අර්බුදවලට මුහුණ දෙන බවත් අපට දැනගන්නට ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි. පුත්තලම, පොළොන්නරුව, මහනුවර, මාතලේ දිස්ත්‍රික්වලත් සැලකිය යුතු පිරිසක් ඉහළ පොලියට ණය ලබා ගෙන ඒවා ගෙවාගත නොහැකිව අසරණව සිටින අයුරුත් අපට පෙනී ගියා. උතුරු පළාතෙනුත් මේ හා සම්බන්ධ සිද්ධි මාධ්‍ය හරහා දක්නට ලැබෙනවා.

    මේ අර්බුදවලින් ජනතාව බේරා ගන්නේ කොහොම ද?

    මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම එහිදී ඉතා වැදගත්. දැනටමත් අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්කවල පැවැත්වූ සම්මන්ත්‍රණවලදී අපට ඒ දැනුම සරලව ජනතාවට දීමට හැකි වුණා. රට පුරාම ඒ වැඩසටහන් මේ වසර තුළදී පවත්වා හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. සමස්ත සමාජයම මේ උගුලෙන් ගලවා ගත හැකි වන්නේ මේ පිළිබඳ සියලු දෙනා හරිහැටි දැනුවත් වුවහොත් පමණයි. රටක ආර්ථිකයට එරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා වැදගත්. ඉදිරියේදී මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂයයට ඇතුළත් කිරීමට නියමිත වන්නේත් ඒ නිසයි. ඒත් උපයන දේ කළමනාකරණයට තවමත් අපේ රටේ හුඟ දෙනෙක් හුරුවී නොසිටීමයි ගැටලුව. වැඩිපුර මේ උගුලේ පටලැවී සිටින්නේ කාන්තාවන් බවත් කිව යුතුමයි. අප කටයුතු කරන්නේ ඒ සියල්ලන්ටම සහන සැලසීමටයි. දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරු යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    මොකක් ද ඒ අලුත් වැඩපිළිවෙළ?

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන විෂයයන්ට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අප දැනටමත් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට සම්මන්ත්‍රණ පවත්වා හමාර කළ දිස්ත්‍රික්කවලදී ඉතා අඩු පොලියකට ඉක්මනින්ම කුඩා ප්‍රමාණයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට දැන් වැඩිපුර ඉඩ ප්‍රස්ථා ඇතිකර තිබෙනවා. ඒ අනුව 7% වාර්ෂික පොලියට බැංකුවලින් කුඩා ප්‍රමාණයේ ණය සැපයෙනවා. තවදුරටත් වර්ෂයකට 4% තරම් අඩු පොලියට ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම හරහා ස්වශක්තියෙන් නැඟී සිටින්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවට දිරි දීමට සූදානමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ජනතාවට පැහැබර හෙටක් උදා කිරීමේ පරමාර්ථයෙන් සද්භාවයෙන් යුතුවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ කඩිනම් වැඩසටහනට උරදී සිටින්නේ. ඒ අනුව දැනටමත් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතාවලින් 50%ක් පමණ අප සපුරාලනවා.

    මුළු රටේම ඉතුරුම් තැන්පතුවලින් 30%ක් පමණ පවතින්නේ සමෘද්ධි බැංකු පද්ධතියේ. ඒ අයගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙන් ණය ලබා ගැනීම හා ඒවා නැවත ගෙවීමත් ඉතුරුම් ආයෝජනය ආදිය පිළිබඳ දැනුම්වත් කෙරෙනවා. මේ යටතේ එකවර රුපියල් මිලියන 9000ක් පමණ ගමට යෑමෙන් ඒ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටු වෙනවා. මෙරට සමෘද්ධිලාභින් ලක්ෂ 18කට ආසන්න ගණනක් සිටිනවා. ඉන් 80%ක් පමණ කාන්තාවන්. එය සුවිශේෂයි. ඒ පවුලේ සියල්ලන් සමඟ එක්ව එහි දියුණුවට මුල්වී කටයුතු කරන්නී ඇය නිසයි. ඊට අමතරව රටපුරා පිහිටි සමෘද්ධි බැංකු 1073කට මහ බැංකුව හරහා තවත් අරමුදල් ඉදිරියේදී අපට ලැබෙන්නට නියමිතයි. ඒ වගේම, ප්‍රජා මූල සංවිධාන 3211ක් අප සතුයි. මේ වර්ෂය තුළ ඒ සියලු ප්‍රජා මූල සංවිධානවලට තම තමන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා තමන්ටම සම්පූර්ණ කර ගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. එයින් විශේෂ අවධානයක් ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට යොමු කෙරෙනවා.

    සමෘද්ධි නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු ක්‍රියාත්මකයි. රුපියල් 2000 සිට 10,000 දක්වා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඒ අනුව මසකට 1% පොලියට පිරිමසා ගැනීමට දැන් ජනතාවට පුළුවන්. ඊට තවත් පහසුකම් වැඩි කර තිබෙනවා. ඒ අනුව, කලින් ණයක් ලබා ගැනීමට නම් මාස 3ක් සාමාජිකයකු වශයෙන් සිටිය යුතු වුණා. දැන් ඒ කාලය සති 2ක් දක්වා අඩු කර තිබෙනවා. එකල ආරම්භක ණය වශයෙන් දුන්නේ රුපියල් 50,000යි. එය දැන් 100,000 දක්වා වැඩි කෙරුණා. සමෘද්ධි බැංකු පද්ධතියෙන් 7% පොලියට ප්‍රජා මූල කණ්ඩායම් ඇප මත රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10දක්වා ව්‍යවසායකත්ව ණය දෙනවා.

    එසේම, සමෘද්ධි බැංකු සමිති 331ක් හරහා රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය නිකුත් කෙරෙනවා. දේපළ ආදී ඇප අවශ්‍ය වන්නේ ඊටත් වැඩි නම් පමණයි. මේ යටතේ දවසේ ඕනෑම වේලාවකදී තමන්ගේ ගමේ අසල්වාසි ප්‍රජා මූල සංවිධාන නායකයා හමුවී ඉතා අඩු මාසික පොලියකට අතමාරුවට ණයක් ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. එමෙන්ම, සමෘද්ධිලාභියාට මුදල් ඵලදායීව වියදම් කරන විදියත් අපි කියා දෙනවා. ඒ සඳහාත් අපි ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළු රටපුරා පවත්වනවා. ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ඉදිරි කටයුතු කෙරෙනවා.

    ඒත් ලාභ ලැබීමත් අවශ්‍යයි නේද?

    පැහැදිලිවම. ඒත් ඒ ප්‍රශස්ත ලාභයක් විය යුතුයි. අපේ ප්‍රමුඛ ඉලක්කය ජනතාවට සලසන සේවාවයි. දුප්පත් ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ රජයේ ඉලක්කය ඊට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟවයි අප කටයුතු කරන්නේ. එහිදී මුදල් අමාත්‍යාංශය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැඩි මහජන සුබසිද්ධියක් සැලසෙන ආකාරයටයි අප තීන්දු තීරණ ගන්නේ.

    එහෙමනම් ගිනි පොලීකරුවන් පහුබහියි නේද?

    දැනටමත් ඒ හුඟ දෙනෙක් කලින් අය කළ ගිනි පොලිය 40% තරම් මට්ටමක පවත්වාගෙන යන බව පෙනෙනවා. ඉදිරියේදී එය තවත් අඩු නොවුණොත් මහජනතාව අතර පැවැත්මක් ඒ අයට නැති වෙයි. ඒ වග ඔවුන් හොඳින්ම දන්නවා. අනෙක ඒ අක්‍රමිකතා යළි ඇති නොවන්නට නීති රීති ඇති කිරීමටත් අවධානය යොමු කර තිබෙන වග අපට හඳුනා ගැනීමට ලැබෙනවා.

    නුවන් මහේෂ් ජයවික්‍රම – දිනමිණ ඇසුරිණි

  • කඩොලාන නිසා දේවානි ජයතිලක ගම්පහ රාජ්‍ය ඇමතිවරු සමග යළි යුද්ධයක් අරඹයි !

    කඩොලාන නිසා දේවානි ජයතිලක ගම්පහ රාජ්‍ය ඇමතිවරු සමග යළි යුද්ධයක් අරඹයි !

    මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේශ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර  අද (30) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

    මීගමුව කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් එබැවින් මෙම ව්‍යාපෘතියට අවසර ලබා දෙන ලෙස සම්බන්ධීකරණ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගම්පහ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

    රාජ්‍ය ඇමැති නිමල් ලන්සාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවයි. කලපු ව්‍යාපෘතිය වන අපරාධකුරවකු වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා නොදෙන බව ද ඇය කීවාය.

    මේ සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – මීගමුව කලපුව ශුද්ධ පවිත්‍ර කර ධීවරයන්ට හා රටට අවශ්‍ය ආකාරයෙන් හදන්න ප්‍රමාද වී තිබෙන්නේ වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රමාදවීම නිසා බව ධීවර අමාත්‍යාංශය කියනවා.

    දේවානි ජයතිලක මහත්මිය – මේ කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙක්. අපට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බැහැ.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – රොන් මඩ ඉවත් කරද්දී පසුගිය කාලයේ පොලිතීන් කිලෝ ගණන් ඉවත් කළා. දැන් ඒ ඉවත් කිරීම සම්පූර්ණයෙන් නැවතිලා. ඔබතුමිය අවසර දෙනවාද නැද්ද කියන්න. එහෙනම් ව්‍යාපෘතිය නතර කරන්න කියන්න පුළුවන්. මේ නිසා මිලියන 600ක මුදලක් භාවිතයට නොගෙන තිබෙනවා.

    දේවානි ජයතිලක මහත්මිය – කඩොලාන පද්ධතියට හානි වන සේ දමා ඇති පස් ඉවත් කළොත් මම ඒ සැණින් නිර්දේශය ලබාදෙනවා. ගැටලුව තිබෙන්නේ වන අපරාධකරුවෙකුට මට අවසර දෙන්න බැහැ.

    දේවානි ජයතිලක මහත්මිය – අපරාධකරුවෙක් ඉන්නවා නම් අපිට නිර්දේශයක් දෙන්න බැහැ.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා – කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක්. මීගමුව කලපුවේ පවතින අපද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම තවත් සංවර්ධන කටයුත්තක්. ඒ නිසා ඔබතුමිය මෙතන වලිගෙ පාගාගෙන කතා කරන්න එපා

    දේවානි ජයතිලක මහත්මිය – කාර්යයන් පැවරී තිබෙන්නේ මට නෙවෙයි. ධීවර අමාත්‍යාංශයට හෝ ඒ අදාළ පාර්ශවයටයි. වැරැද්ද කර තිබෙන්නේ ඒ අයයි. ඒ නිසා හැමෝම මට පීඩනයක් එල්ල කිරීම වැරදියි. මෙතනදි වැරදි කළ පාර්ශවයට පීඩනය එල්ල කරන්න. ඒ අයට පස් ඉවත් කරන්න කියන්න. එයාලා අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් මේ වෙද්දිත් ව්‍යාපෘතිය කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ටි්‍රලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා – අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා. මෙහෙම යද්දී තවත් පරිසර හානි සිදුවේවි.

    රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – කලපුව පවිත්‍ර කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීමක් අනුව මේ සංවර්ධනය කරන නිසා ප්‍රශ්න පටලවා ගන්න එපා.

    ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා – රජයේ ව්‍යාපෘතියක් වනඅපරාධකරුවෙක් ලෙස හඳන්වන්ගේ කොහොමද

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා – වනයට පරිසරයට, මමත් ආදරෙයි. එය සුරැකීමට කටයුතු කරනවා.

    ගම්පහ දිස්ත්‍රික් කමිටු සම සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා – මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කලපුව පවිත්‍ර කිරීමට සහ කඩොලාන පස් ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරනවා.

    තොරතුරු මූලාශ්‍රය – ලංකාදීප ඊ පුවත්පත – මෙම සිදුවීම ගැන වඩාත් පුළුල් සමාජ අවධානයක් අවශ්‍ය හෙයින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • පිළිකාකාරක පොල්තෙල් – විෂයභාර ඇමැති ලෙස ජනපති සිය මතය ප්‍රකාශ කළ යුතුයි – ජවිපෙ

    පිළිකාකාරක පොල්තෙල් – විෂයභාර ඇමැති ලෙස ජනපති සිය මතය ප්‍රකාශ කළ යුතුයි – ජවිපෙ

    ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැති බවත් ජනාධිපතිවරයා වහාම මෙම විෂ පොල්තෙල් ගැන රටටත් ජනතාවටක් ප්‍රකාශ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් පල වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

    “ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක විෂ අඩංගු බව හෙළවී තිබෙනවා. පිළිකා කාරක රසායනික, තුන්ගුණයක් පමණ අඩංගු පොල්තෙල් ගෙනත් තිබෙන බව දැන් තහවුරුවී තිබෙනවා. රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර ලබාදීම, රටක ආණ්ඩුවක වගකිමක්. ආහාරවල ප්‍රමිතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සාධාරණ මිලකට ලබාදීම මේ අතරින් ප්‍රමුඛ කාර්යයක්. රජයේ ආයතන තියෙන්නේ ඒ වෙනුවෙන්. ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනය පිහිටුවා තිබෙනවා වගේම විෂයභාර ඇමතිවරුන් පත්කර තිබෙන්නේත් මේ වගකීම ඉටුකිරීමටයි.

    තමන් ලබාගන්නා භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කර බලන්න පාරිභෝගිකයාට අවස්ථාවක් නැහැ. පාරිභෝගිකයා අදාළ තහවුරුව ලබාගන්නේ ප්‍රමිති ආයතනය හෝ අනිකුත් වගකිව යුතු ආයතනන ලබාදී තිබෙන සහතිකයෙන්. මේ වගවීම වරින්වර බරපතළ විදිහට ප්‍රශ්න කෙරෙනවා. යම් ප්‍රශ්නයක් පැනනගින මොහොතේදී ආණ්ඩුව, නිලධාරීන් මැදිහත්වී විවිධ ප්‍රකාශ කරනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ගැන මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ ඊළඟ අවස්ථාවක් එනකම් සියල්ලම යට යනවා. කාලයක් තිස්සේ අපි අත්දකින්නේ මේ තත්වය. කිරිපිටිවල ප්‍රශ්නයක් එක වෙලාවකදී ආවා. දැන් කිරිපිටිවල විෂ කාරක තිබෙනවාද කියලා දන්නෙත් නැතිව මිනිස්සු පරිභෝජනය කරනවා. කල් ඉකුත් වූ සැමන් වෙළඳපොළට ඇවිත් ආසනික් තිබෙනවා කියලා ඊළඟට සොයා ගන්නවා. දැන් පොල්තෙල්. මිනිස්සු ලෙඩවුණාම ගන්න තියෙන බෙහෙතුත් කල් ඉකුත් වූ ඒවා බව හෙළිවී තිබෙනවා. මේවාට වගකියන්නේ කවුද? ප්‍රශ්නය තියෙන්නේ එතනයි.

    පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන ඒමේ වගකිවයුත්තෙක් නැති තත්වයක් මතුවෙලා. මේ විදියට ගියොත් කඩවල්වල “වස විස නැති ආහාර” කියල බෝඩ් දාලා තියෙනවා වගේ හෙට අනිද්දාට “වස විස නැති පොල්තෙල්” කියලත් බෝඩ් දාන්න වෙයි. මිනිසුන්ගේ අතේ තිබෙන ගණන අනුව ගණන් වැඩි පිළිකාකාරක නැති පොල්තෙල් ගන්නවාද, මිල අඩු පිළිකාකාරක තිබෙන පොල්තෙල් ගන්නවාද කියලත් තීරණය කරන්න වෙයි. මේ නිසා ජනතාව වියට පත්වෙලා. මේ තත්වය තුළ ආණ්ඩුව හැසිරෙන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියන ප්‍රතිපත්තිය අනුව. පොල්තෙල් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවුණ නිසා දැන් ඒ ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩුවේ ජාවාරම්කාර ගජමිත්‍රයෝ ටික එකතුවෙලා විස පොල්තෙල් ආනයනය කරලා නිදහසේ ජනතාවට නිකුත් කරන්න ඉඩකඩ හදල දීලා තිබෙනවා.

    පොල්තෙල්වලට රුපියල් 150/-ට තිබුණ බද්ද අවස්ථා කිහිපයකදීම අඩුකරලා මිලියන 175ක විතර බදු වංචා කරන්න එක ව්‍යාපාරිකයෙකුට ඉඩ හදාදීලා තිබුණා. පොල්තෙල් බදු වංචා කරන අතර විෂකාරක ඒවා ගෙනල්ලා ජනතාවට වස කවන තත්වයක් තියෙන්නේ. විෂකාරක පොල්තෙල් වෙළඳපොළට ඇවිල්ලා තිබෙනවාද නැද්ද කියලා පරීක්ෂණවලින් තහවුරු කරන්නත් කලින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ආණ්ඩුව වෙනුවෙන් කියන්නේ මේවා ප්‍රතිඅපනයනය කරනවා කියලා. මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කවුද, වෙළඳපොලට ගිහිල්ලද, හිඩැස තිබෙන්නේ කොතැනද කියලා හොයන්න ඕනෑ. මින් ඉදිරියට මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ජනතාවට සහතිකයක් දෙන්න ඕනෑ. එහෙම නැතිව ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරයක් නෙවෙයි.

    පොල්තෙල් ගෙන්වූ සමාගම්වල ගුදම්වලටම මෙම පොල්තෙල් නිදහස් කළේ ඇයි? පුද්ගලික සම්ගම්වල ගුදම්වලටම නිදහස් කළාට පස්සේ මොකද වෙන්නේ. ඔවුන් හොර රහසේ මේවා වෙළඳපොළට නිදහස් කරන්නේ නැද්ද? මේවා වෙළඳපොළට නොයාවි කියලා රේගු නිලධාරීන්ට සහතික වීමක් නැහැ. පෞද්ගලික ගුදම් රේගු නිලධාරීන්ගේ වගකීමක් යටතේ තියෙන ඒවා නෙවෙයි. තීරු ගාස්තු ගෙවීමෙන් පසුවයි අදාළ සමාගම්වල ගුදම්වලට මේවා නිදහස් කරන්නේ. සීනි බදු වංචාවට සම්බන්ධ නුෂාඩ් පෙරේරා සතොසෙන් අයින්කරල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිකමට පත්කළාට පස්සේ ජාවාරම්කාර චෞර වළල්ලට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. නුෂාඩ් පෙරේරා මේ පුටුවේ වාඩිවුණාට පස්සේ පළවෙනි අවස්ථාව හැටියට පොල්තෙල් විෂ ප්‍රශ්නය ඇවිත් තිබෙනවා. විෂ පොල්තෙල් ගැන එළියට ආවේ ප්‍රමිති ආයතනයෙන් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයෙන්. පෞද්ගලික ගුදම්වලින් එළියට ගිය ඒවා ගැන පරීක්ෂණ කරන්නේ දැන්. සිංහල, හින්දු අලුත් අවුරුද්ද එන කොට ජනතාව කන්නේ මොන පොල්තෙල්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

    මේ සාම්පල් පරීක්ෂාව ප්‍රමිති ආයතනයෙන් සිදුකරන්නේ මොන තත්වයන් යටතේද කියලා විශේෂයෙන් දැනගන්න ඕනෑ. සාම්පල් පරීක්ෂාවේ වාර්තා එන්න කලින් පෞද්ගලික ගුදම්වලට ගියේ කොහොමද? ආණ්ඩුව කියන විදිහට ලංකාවට ගෙන්වන අනෙකුත් ආහාර ද්‍රව්‍යවලත් මේ ප්‍රශ්නය තිබෙනවා. ජනතාව කල්පනා කරන්නේ රජයේ වගකීමක් තිබෙන ආයතනයක ප්‍රමිති සහතිකය සහිතව භාණ්ඩ ගත්තා කියලා. තමන් පරිහරණය කරන පොල්තෙල් ඇතුළු ආහාරවල තත්වය මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. රටේ ආණ්ඩුවක් ජනතාවට වගකියන්නේ නැතිවුණාට පස්සේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරු හොරු රැළ එක්ක හිටගත්තාට පස්සේ බදු සහන දෙන්නෙත් ඒ ගොල්ලන්ට. මේ නිසා සාම්ප්‍රදායික ලෙස පොල්තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ටත් බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ප්‍රමිති ආයතනය භාරව ඉන්න ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා තාමත් විෂ පොල්තෙල් ගැන මොකුත්ම කීවේ නැහැ. ජනාධිපතිතුමා ෆේස්බුක්වල යන පුංචි පුංචි දේවල්වලටත් ප්‍රතිචාර දක්වන කෙනෙක්. නමුත් තාක්ෂණ අමාත්‍යාංශය හදලා ප්‍රමිති ආයතනය ඒ යටතට ගත්තාට පස්සේ වෙන වෙන ඇමතිවරු විවිධ ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා මේ දක්වා කිසිම දෙයක් කීව්වේ නැහැ.

    මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ජනතාවට කියන්න ඕනෑ. අපි විශ්වාස කරන විදිහට ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරය නොවෙයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කවුද කියලා නීත්‍යානුකූලව රට දැනගන්න ඕනෑ. පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙනඒමේ ක්‍රියාවලිය ගැන ආණ්ඩුවක් හැටියට වගකියන්නේ මොන ආකාරයටද. ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වන්න ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ක්‍රියාමාර්ග කොයිතරම් දුරට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියලා තහවුරු වෙන්නේ දැන් ගන්න ක්‍රියාමාර්ග අනුවයි. ප්‍රශ්නය මෙතැනින් එහාට ගෙනියන්නේ නැතිව ප්‍රතිඅපනයනයෙන් බේරෙන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. මීට කලිනුත් පිළිකාකාරක පොල්තෙල් ගෙනල්ලා ලංකාව තුළින් ලබාගන්නා හොඳ මට්ටමේ පොල්තෙල් පිටරට යවලා තියෙනවා කියලා හෙළිවෙනවා. ලංකාවේ ජනතාවට විතරක් නෙවෙයි කිසිම රටක ජනතාවකට පරිහරණය නොකර මේවා විනාශ කළ යුතුයි. රේගුවේ වගකීමක් වෙන්නේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසන එක. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳව වගකීමකුත් තිබෙනවා.

    මේ නිසා අපේ රටේ දේශසීමාව ඇතුළට එන මත්ද්‍රව්‍ය, අවි ආයුධ මර්දනය ගැන විතරක් නොවෙයි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම නිලධාරීන්ගේ අතේ විතරක් නෙවෙයි ආණ්ඩුවටත් තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගණනාවක්ම ආරක්ෂාව දුන්නේ ජනතාවට නෙවෙයි. තමන්ගේ ගජමිතුරන්ට, තමන් වටේ ඉන්න හොරු රැළට ආරක්ෂාව සහ පහසුකම් දීමයි. පොල්තෙල් ජාවාරමෙන් තහවුරු වෙන්නෙත් ඒක. ඒ නිසා පවතින බරපතළකම ජනතාවට තේරුම් ගන්න කියලා අපි අවධාරණය කරනවා. ළඟ එන අවුරුදු සමයේ රටේ සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා. පසුගිය අවුරුද්දේ කොරෝනා තත්වය නිසා අවුරුදු සමරන්න බැරි වුණා. මේ අවුරුද්දේ කොරෝනා ව්‍යාසනය විතරක් නෙවෙයි, ජීවන බරත් එක්ක පොල්තෙල් ටිකත් විෂ වුණාට පස්සේ ඇතිවී තිබෙන්නේ බරපතළ තත්වයක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් ඉටුකළ යුතු බරපතළ වගකීම ගැන අපි අවධාරණය කරනවා.”

    වාචාල කතාවලින් පොල්තෙල්වල විෂ මකන්න බැහැ – වෛද්‍ය නලින්ද ජයතිස්ස

    “බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර වැනි ඇමතිවරු ලවා ආණ්ඩුව වාචාල කතා කියලා සුපුරුදු පරිදි පොල්තෙල්වල අඩංගු රසායනයේ විෂ මකන්න, ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරන්න උත්සහයක් දරනවා. පොල් තෙල්වල අඩංගු ඇෆ්ලටොක්සීන් කියන්නේ පිළිකාකාරක විෂ රසායනයක්. එය නිපදවෙන්නේ ඇස්පර්ජිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ජිලස් පැරසිටිකස් කියන දිලීර මගින්. බී1, බී2, ජී1, ජී2 කියලා ඇෆ්ලටොක්සීන් වර්ග කීපයක් තිබෙනවා. බී1 කියන වර්ගය තමයි වඩා විෂ සහිත වන්නේ. මෙය අධික මාත්‍රාවක් ශරීරගත වුවහොත් ක්ෂණික මරණයක් පවා ඇතිවිය හැකියි. ආහාර ද්‍රව්‍ය මගින් කාලයක් තිස්සේ මෙම විෂ ශරීරගත වෙන්න පුළුවන්කම තමයි භයානක තත්වය. ඇෆ්ලටොක්සීන් කියන්නේ අක්මාවේ පිළිකා ඇතිකරන්න පුළුවන් රසායනයක්. තවත් පැත්තකින් එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ වගේම දරුවන්ට ශරීරගත වුවහොත් ඔවුන්ගේ වර්ධනයටත් බලපානවා.

    මෙම ඇෆ්ලටොක්සීන් පොල්තෙල්වල පමණක් නෙවෙයි තවත් ආහාර වර්ග කිහිපයක අන්තර්ගත වෙන්න පුළුවන්. රටකජු, ඉඩඉරිඟු වගේ ආහාරවලට වඩා පොල්තෙල්වල තිබෙන විට දීර්ඝකාලීනව ශරීරගතවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම පොල්තෙල්වල මෙම විෂ තිබෙන්නේ 85%ක් ද්‍රාව්‍ය තත්වයේ. බන්දුල ගුණවර්ධන කියලා තිබුණා ජනතාව විෂ පොල්තෙල් ගැන පැමිණිලි කරලා නැහැ කියලා. වෙන්න පුළුවන්; මොකද ජනතාවට මේක පොල්තෙල්වල තිබෙන විට හඳුනාගන්න ක්‍රමයක් නැහැ. රටකජුවල අන්තර්ගත වෙනකොට ඒවායේ වර්ණය වෙනස්වීම් වෙනවා. නමුත් පොල්තෙල්වල හඳුනාගන්න බැහැ. ඒ වගේම ඇෆ්ලටොක්සීන් රත්කිරීමෙන් විනාශ වෙන්නේ නැහැ. තාපයට ප්‍රතිවිරෝධීයි.

    ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙවැනි විෂ සහිත ආහාර ආනයනය පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් එකතුවෙලා අප වැනි රටවලට මෙවැනි විෂ ආහාර එවනවා. එයට හේතුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නීති ලිහිල් වීමයි.

    මෙම ඇෆ්ලටොක්සීන් පිළිබඳ මුලින්ම හෙළිදරව් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකයයි. එම ආයතනය කියන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්සීන් මයික්‍රෝ ග්‍රෑම් 30කට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය විෂ සහිත ආහාර ද්‍රව්‍ය බවයි. ප්‍රමිති ආයතනයේ නිර්ණායකය වන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්සීන් මයික්‍රෝග්‍රෑම් 10ක්. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය කියන තුරු ප්‍රමිති ආයතනයට මෙම පොල් තෙල් විෂ සහිත බව කියාගන්න බැරි වුනා. එතන ගැටලුවක් තිබෙනවා. දැන් තමයි ප්‍රමිති ආයතනය මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ. දැන් ප්‍රමිති ආයතනය රටට කියන්න ඕනෑ පසුගිය කාලයේ ආනයනය කළ පොල් තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කළාද? ඇතැම් ආයතනවලින් ගෙන්වන ලද පොල් තෙල් පරීක්ෂා නොකරම නිදහස් කළාද? සෞඛ්‍ය අමාත්‍යංශය මේ පොල්තෙල් විෂ සහිතයි කියලා කියද්දී ප්‍රමිති ආයතනයට ඒ බව කියන්න බැරි වුනේ ඇයි? කියලා. මෙතන ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා.

    පසුගිය කාලයේ අමාත්‍යංශ ගැසට් කරනකොට ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා විසින් පවරාගත්තා. සීනි බදු වංචාව වෙන වෙලාවෙදී සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නුෂාඩ් පෙරේරා පසුව ප්‍රමිති ආයතනයේ සභාපති බවට පත්කළා. මුදල් අමාත්‍යංශය පවා පිළිගත් රුපියල් කෝටි 1590ක වංචාවක් සිදුවුනු සීනී බදු වංචාවේ කොටස්කාරයෙක් කියලා චෝදනා එල්ල වුණු නුෂාඩ් ජනාධිපතිවරයා විසින් ප්‍රමිති ආයතනයට පත්කළා. පොල් කෑල්ල කාපු බළලට උම්මලකඩ කෑල්ලෙන් ගැහුව්වා වගේ වැඩක් ජනාධිපති සිදුකළේ. අද විෂ පොල් තෙල් ගේන්න අනුමැතිය ලබාදෙන තත්වයක් ඇතිකරලා තිබෙනවා.

    පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් කියනවා පොල්තෙල්වල විෂ හොයාගත්තේ ආණ්ඩුව මිසක විපක්ෂය නෙවෙයි කියලා. ඒක ඇත්ත. මොකද ආහාර සම්බන්ධයෙන් ප්‍රමිතියට වගකිව යුතු ආයතන තිබෙන්නේ ආණ්ඩුව යටතේ. එතකොට ආහාර පරීක්ෂා කිරීම සිදුකළ හැක්කේ ආණ්ඩුවට මිසක විපක්ෂයට නොවේ. ඒ නිසා මෙම විෂ පොල් තෙල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. මොකද මීට පෙර හාල් මිල ඉහළ ගියාම, වී මිලදීම ගැන අදාල ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරනවා. ඒ නිසා ප්‍රමිති ආයතනය භාර ජනාධිපතිවරයාට නිසා මීළඟ ගම සමඟ පිළිසඳරට පෙර මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පර්යේෂණ ඒකකයක් තිබෙනවා. එහි ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඇෆ්ලටොක්සීන් පිළිබඳ මීට පෙර ඔවුන් පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. ඔවුන්ගේ සහය ලබාගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඔවුන්ගෙන් සහය ගන්නවා අපි දැක්කේ නැහැ.

    කන බොන සියල්ලේ මිල වැඩිවෙලා කනබොන එක සීමා වෙලා තිබියදී කන්න තියෙන දේත් විෂ සහිතනම් මොකද කරන්නේ කියලා ජනතාව නැවත වරක් කල්පනා කරන්න ඕනෑ. ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. වාචාලකම්වලින් ඇෆ්ලටොක්සීන්වල විෂ මකන්න බැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මකවත් කෘෂි විද්‍යාත්මකවයි මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

    ඇෆ්ලටොක්සීන් වැනි විෂ සහිත ආහාර විනාශ කිරීමට ලෝකය පිළිගත් ක්‍රමවේදයන් තිබෙනවා. එම විෂ පසට, ජලයට, වායුගෝලයට මිශ්‍ර නොවෙන ලෙස, ශරීරගත නොවෙන ලෙස විනාශ කරන්න ක්‍රමවේදයන් සොයගෙන තිබෙනවා. මේක ප්‍රතිඅපනයනය කිරීම උත්තරය නොවෙයි. අපි මනුෂ්‍යයෝ විදියට මේ විෂ පොල්තෙල් කොහෝ හෝ රටකට ගිහින් දාන්න කියන්න බැහැ. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. ලෝකය තිබෙන පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ විෂ පොල්තෙල් විනාශ කරන්න පුළුවන්.”

  • උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ස්ථාවරය අධිකරණයට කියයි

    උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ස්ථාවරය අධිකරණයට කියයි

    දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට අද (30) ප්‍රකාශ කළේය.

    ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ තවදුරටත් සලකා බලන ලෙස නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ දෙවැනි කොමිසමට උපදෙස් ලබාදී ඇති බවයි.

    ජවිපෙ නායක අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා අවස්ථාව අද ලබාදී තිබූ නමුත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට දැනුම් දීම නිසා නැවත දිනයක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව නඩුවේ එම කරුණු දැක්වීම මැයි මස 12 වැනිදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

    මේ අතර ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ පසුගිය ජනවාරි මස 02 වැනිදා පත් කළ දෙවැනි කොමිසම අප්‍රේල් මස 29 වෙනි දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත නමුත් මේ දක්වා දෙවැනි කොමිසම රැස්වී නොමැති බවයි.