Tag: featured

  • දිවයිනේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි යළි විවෘත කිරීම ගැන නිල තීන්දුව

    දිවයිනේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි යළි විවෘත කිරීම ගැන නිල තීන්දුව

    මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (24) දින පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    දැනට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ම පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණි. නමුත් දැන් අපි විශ්වාස කරනවා අනෙකුත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලා. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශය මේ වනවිට අපට ලැබී තිබෙනවා.

    දිවයිනේ සෙසු සියලු ම ප්‍රදේශවල සියලු ම පන්තිවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් මේ වනවිටත් විවෘතකොට තිබෙනවා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ලොකු උවමනාවක් තිබෙනවා පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධ ව. ඒකට හේතුව තමයි දරුවන් විශාල ආතතියකට පත්වෙලා තිබෙනවා නිවෙස්වලට සිර වී සිටීමට සිදුවීම නිසා. ඒවගේ ම අධ්‍යයන කටයුතු මඟහැරීම නිසා. මේ තත්ත්වය නිමා කරලා පාසල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. ඒ නිසා ‍මාර්තු 29වන දින මුළු රටේ ම පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනවා. යනුවෙන් ද පැවසී ය.

  • පුරන් කුඹුරු අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

    පුරන් කුඹුරු අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

    කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් ‍හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. 

    අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් හෙට දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

    මේ අනූව ජාතික උත්සවය යටතේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුවෙල ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. 

    සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදෙන බවද ඇමතිවරයා පැවසීය. 

    මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට ඇත. 

    පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බවද, ඉන්පසු 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පැවසුවේය.

    මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු කියන එක කෘෂිකර්මාන්තයේ ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට මෙන්ම සියලුම කුඹුරු ගොවීන් විසින් අස්වැද්දීමේ වැඩසටහනකට යාමට බලාපොරොත්තු වන බවද කියා ඇමතිවරයා සිටියේය. 

    උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය.
  • ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට

    ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට

    ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

    දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවයක් එක් කළ ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දුගේ වටිනා සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 153 ක් පෙරමුණට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත ඉතිරි කරගෙනය.

    පෙර දිනයේදී කඩුලු 8 කට ලකුණු 268 ක් ලබා සිටි කොදෙව් පළමු ඉනිමේ ඉතිරි කඩුලු 2 ලකුණු 03 ක් ඇතුළත දවා ගනිමින් තෙවැනි දිනයේදී විශිෂ්ඨ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.  එම කඩුලු 2 ම විශ්ව ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් සටහන් වද්දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 102 ක අභියෝගයක් හිමිව තිබිණ.

    පළමු ඉනිමේදී අසාර්ථක වූ නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීද ලකුණු අතරට ඒමට අපොහොසත් වූවේය. කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රැකි ජෝන් කැම්බල් අතට උඩ පන්දුවක් දී දිමුත් දැවී යන විට ලකුණු 03 ක් පමණක් රැස් කරගෙන සිටියේය. දිමුත් දැවී යන විටත් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 94 ක් ලබා ගත යුතුව තිබිණ.

    අනතුරුව පිටියට එක් වුණු ඕෂද ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න එක්ව ඉතාමත් සැලසුම් සහගතව පන්දුවට පහර දීමට පෙළැඹීම නිසා පළමු දින දෙක ඇතුළත ගිලිහී ගොස් තිබූ තරගයේ ගෞරවය යළිත් ශ්‍රී ලංකා පිල වෙත ලබාගැනීමට අවකාශ විවර විය.

    මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම යම් කිසි ස්ථාවරත්වයක් ගොඩ නඟා ගෙන සිටීනම් එහි වැඩි ගෞරවයක් තිරිමාන්න සහ ඕෂද දෙපළට හිමිවිය යුතුය. අතිශය ඉවසිලිවන්ත වූ පිතිකරණ සංදර්ශනයකදී සියළු අවදානම් මඟ හරිමින් කොදෙව් පන්දු යවන්නන්ට මුහුණ දුන් වමත් – දකුණත් පිතිකරු යුගලය තේ පානය වන විට දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දුවාර 45 කදී ලකුණු 140 ක් ලෙසින් ඉහළ දැමූහ.

    කෙසේ වෙතත් තේ පානයත් දිනය අවසානයත් අතර වූ සැසියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අභිබවා ඉදිරියට පැමිණීමට කොදෙව් පන්දු යවන්නන් ඒ අතරතුරදී  ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම දවා ගැනීමට සමත්විය. එහි පළමු වෙඩිමුරය බවට පත් වූයේ කයිල් මේයර්ස් විසින් ඕෂද ප්‍රනාන්දුව දවා ගැනීමය. සිය දෙවැනි ටෙස්ට් ශතකයට ලකුණු 9 ක් තිබියදී එතෙක් වෙලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද කඩුලු රැකි ජොෂුවා ද සිල්වාට උඩ පන්දුවක් දී දැවී ගියේ මුහුණ දුන් 149 වැනි පන්දුවේදීය. වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ටද කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් ඕෂදගේ ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා වුණු ඉනිම හතරේ පහර 11 ක් වර්ණවත් කර ගනිමිනි.

    7 වැනි පන්දු යවන්නා ලෙසින් කොදෙව් නායකයා යොදා ගත්කයිල් මේයර්ස් මෙතෙක් ශ්‍රී ලංකා ඉනිමට වැඩිම හානියක් සිදුකරන ලද පන්දු යවන්නා බවට පත්විය. ඔහු ඕෂධගේ කඩුල්ලට අමතරව දිනේෂ් චන්දිමාල්වද ලකුණු 4 කට දවා ගත්තේය.

    ළහිරු තිරිමාන්නද කෙමර් රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්‍ලේ වැදීම නිසා ලකුණු 76 කදී පිටියෙන් ඉවත් විය. ඉනිමේ නැංගුරම ලෙසින් හැඳන්විය හැකි පන්දු 201 කින් සමන්විත වුණු තිරිමාන්නගේ මෙම සුවිශේෂී ඉනිමට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් ව තිබිණ. තිරිමාන්නගේ ටෙස්ට් තරග දිවියේ පිට පිට ඉනිම දෙකකදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය.

    ඉදිරි පෙළ පිතිකරුවන් සියල්ල ලකුණු 189 ක් ඇතුළත නරඹන්නන් බවට පත් වද්දී තිරිමාන්න – ප්‍රනාන්දු දෙදෙනා සකස් කර දුන් සාර්ථක පිතිකරණ වේදිකාව තමන්ට රිසි පරිදි සකසා ගත් ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිනය අවසන් වන විට 255 ක් දක්වා ඉහළ දමන ලද්දේ සිව්වැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමිනි.

    මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 135 කදී ලකුණු 66 ක් විය. තෙවැනි දිනට තරගය නිමා කරන විට ධනංජය ද සිල්වා පන්දු 74 කදී ලකුණු 46 ක්ද පැතුම් නිස්සංක පන්දු 74 කදී ලකුණු 21 ක්ද ලබා සිටියහ. මාර්තු 24 වැනිදා තරගයේ සිව්වැනි දිනයයි.

    Text by – sl cricket

  • ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න

    ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය.

    එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව 24/11ක් ලෙස බහුතර ඡන්දයෙන් සම්මත වූ අතර ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 11ක් ඡන්ද දීමෙන් වැළකී සිටියේය.

    එහිදි අදහස් දැක්වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

    “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු බව ඉන්දීය රජයේ ස්ථාවරයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ඇතුළත් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ඵලදායී ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතාව පවත්වා ගැනීම සෑම රාජ්‍යයකම මූලික වගකීම යැයි ඉන්දියාව විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වාසියෙක්. ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබා දී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ද ඉන්දීය, ශ්‍රී ලංකාවට සහාය ලබා දී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබාදීමේ දී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා‘

    මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමේදී ඉන්දියාවේ සහාය ලංකාවට හිමිවන බවට ආණ්ඩුව විශ්වාස පළ කළත් බහුතරයකගේ අදහස වූයේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ආසන්න තත්ත්වයක් තුළ එය සිදු නොවනු ඇති බවයි.

  • දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

    දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

    පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

    ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

    ‘‘ මේ ආකාරයෙන් PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බවයි බලධාරීන් කියන්නේ. නමුත් රටේ පවතින තත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවයි අපේ ස්ථාවරය වෙන්නේ‘ රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

    ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

    පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    කෝන්වෙල්ගේ මංගල අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 169 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම දෙවැනි දිනට නිමා කර දමන විට කඩුලු 8 කට ලකුණු 268 ක් වශයෙන් සටහන් විය.

    පන්දුවට පහර දීමට පැමිණි විගස තරමක් විමසිලිමත් වුණු කෝන්වෙල් පන්දු 15 කට පසු දිනයේ හොඳම පන්දු යවන්නා වුණු සුරංග ලක්මාල්ට එරෙහිව පළමු හතරේ පහර එල්ල කළේය. මේ අතර තුරදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි නව පන්දුව ලබා ගැනීමට තීරණය කළද ඒ සියල්ල කෝන්වෙල්ගේ වාසියට හිටියේය එහිදී සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දිගින් දිගටම පවත්වාගෙන ගිය කෝන්වෙල් මුහුණ දුන් 62 වැනි පන්දුවේදී මංගල අර්ධ ශතකය වාර්තා කර ගත්තේ ලකුණු 48 ක්ම හයේ පහර සහ හතරේ පහර වලින් ලබා ගනිමිනි.  

    ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 2 ක් පමණක් වැඩිව තිබියදී පිටියට පිවිසි දකුණත් සද්දන්තයා ජොෂුවා ද සිල්වා සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ලකුණු 90 ක්ද එක් කරන ලද්දේ ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාවයටදහිමිකම් කියමිනි. පන්දු 143 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවයේදී කෝන්වෙල් දායකත්වය දක්වන ලද ලකුණු 60 ලබා ගැනීම සඳහා පන්දු 79 කට පමුණක් මුහුණ දුන්නේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වුණු කෝන්වෙල්ගේ ඉනිම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම කොදෙව් කණ්ඩායම වෙත දෝලනය වුණු ඉනිම ලෙසින් සඳහන් කළ හැක.

    එම සම්බන්ධතාවයේදී ලකුණු 29 කින් දායක වුණු ජොෂුවා දිනය අවසන් වීමට පන්දු වාර 3 ක් පමණ ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දැවී ගියේය. ඒ වන විටත් ඔහු පන්දු 124 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් රැස්කරගෙන සිටියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගනිමින් සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. පන්දු වාර 24 ක් ක්‍රියාත්මක කළ දකුණත් වේග පන්දු යවන්නා නිලකුණු පන්දුවාර 9 ක්ද යවමින් ලකුණු 45 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවා ලබා දී තිබිණ. ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණු දුෂ්මන්ත චමීර ද කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුගේ පන්දු හමුවේ කොදෙව් පිතිකරුවන් තරමක් ප්‍රහාරයකට ලක් කළේය.

    දිනය ආරම්භයේදීම නායක ක්‍රෙග් බ්‍රැත්වයිට් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් ලක්මාල් සිය කඩුලු දඩයම ආරම්භ කළේය. දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් බ්‍රැත්වයිට් දැවී යන විට ලකුණු 3 ක් ලබා සිටියේය. ඇඹුල්දෙණිය විසින් බොනර් (31)ව දවා ගැනීමට සමත්වීමත්සමඟ දිවා ආහාරයට තරගය නිමා කරන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් විය. 23 වැනිදා තරගයේ තෙවැනි දිනයයි.

    Text by sl cricket

  • ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !

    ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !

    වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ”එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්” වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි.

    ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පසුගියදා ‘ඇට්ලන්ටා’ ප්‍රාන්තයේ දී ඇමෙරිකානු – ආසියානු ප්‍රමුඛයන් මුණගැසුනු අවස්ථාවේය. පසුගිය සතියේ අඟහරුවාදා ‘ඇට්ලන්ටා’හි සම්බාහන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල වූ අතර එයින් ඇති වූ බිහිසුණු තත්ත්වය මැද එම හමුව සිදුවිය.

    අඟහරුවාදා ප්‍රහාර මගින් කාන්තාවන් අටදෙනකු මරාදමනු ලැබුණි. ඔවුන්ගෙන් හයදෙනකුම ආසියානු කාන්තාවන්ය.

    එම ප්‍රහාරය වර්ගවාදී පසුබිමක් සහිත ක්‍රියාවක් ලෙස ඇමෙරිකානු පොලිසිය විසින් විග්‍රහකරනු ලැබ නැතත් එය එල්ල කෙරුණේ ආසියානු විරෝධී මතවාදය සහ ප්‍රහාර රැල්ලක් පැතිරයමින් පවතින සමාජ පරිසරයකය.

    කොරෝනා වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ ඇමෙරිකානු සමාජයේ ජීවත්වන නැගෙනහිර ආසියානුවන්ට එරෙහි අපරාධ වැඩිවෙමින් තිබුණි.

    ”ජාතිවාදය අපගේ ඇමෙරිකානු සමාජයේ දිගුකලක් හොල්මන් කරමින් තිබුන විකාරරූපී විසක්. එය නැතිකර දැමීම සඳහා ඇමෙරිකානුවන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා” ජනාධිපති බයිඩන් කියා සිටියේය.

    ජනාධිපති ජෝ බයිඩන්

    ජෝ බයිඩන්ගේ අදහස්

    ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත ව්‍යවස්ථා සම්පාදකයන් දෙදෙනකු විසින් කොරෝනා වෛරස් වසංගතය සමඟ බැඳුණු වෛරී අපරාධවලට අදාළව පසුගිය මාසය මුලදී හඳුන්වාදෙන ලද පනත් කෙටුම්පතක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කළේය.

    ‘කොවිඩ්-19 වෛරී අපරාධ පනත’ එවැනි අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව දරන ප්‍රයත්නයට පහසු පරිසරයක් නිර්මාණය කරනු ඇත.

    ”එම පනත් කෙටුම්පත නිසා වසංගත සමයෙහි වැඩිවෙමින් පවතින වෛරී සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රතිචාරය කඩිනම් කෙරෙන අතර, වෛරී අපරාධ වාර්තාකරනු ලැබීම සාර්ථකව සිදුකිරීමට ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවලට ආධාරවීමක් සහ ආසියානු-ඇමෙරිකානු ප්‍රජාවන්ට වෛරී අපරාධ පිළිබඳ තොරතුරු ලබාගැනීම සහතික කිරීමක් ද සිදුවෙන” බව ධවල මන්දිරය පවසයි.

    කොවිඩ්-19 වසංගතය ආරම්භයේ පටන් ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ට එල්ලකෙරෙන ප්‍රහාරයන්හි වේගවත් වැඩිවීමක් පෙන්නුම් කළේය. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ආසියානුවන්ට දෝෂාරෝපණය කරනු ලැබීමක් දක්නට ලැබුණි.

    කෙසේවුවද, ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේ ”නීතියට සිදුකළ හැකි සියලු යහපත් දේ සඳහා අපගේ හදවත් වෙනස්කර ගැනීමට සිදුවන” බවය.

    ”වෛරය සඳහා ඇමෙරිකාවේ ක්‍ෂේම භූමියක් නැහැ. එය තුරන්කළ යුතුයි” ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ”එය තුරන්කර දැමීම අප සියලු දෙනාගේම කාර්යයක්. අපි එකමුතුව ඉටුකළ යුතු කාර්යයක්”

    ඇට්ලන්ටා ප්‍රහාරයට ගොදුරු වූ ආසියානු සම්බාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට සමරුවක්
    ඇට්ලන්ටා ප්‍රහාරයට ගොදුරු වූ ආසියානු සම්බාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට සමරුවක්

    ඇට්ලන්ටා හි ආසියානු සම්බාහන මධ්‍යස්ථාන තුනකට එල්ල කෙරුණු ප්‍රහාරයන්හිදී මරණයට පත් කාන්තාවන් අටදෙනකුගේ නම් පසුගිය සතියේ සිකුරාදා ප්‍රකාශයට පත්කරනු ලැබුණි. ප්‍රහාරයට ගොදුරු වූ නවවැන්නා බරපතල තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ ඇත.

    ආසියානුවන් ඉලක්ක කරගනිමින් මින් පෙරත් එල්ල කෙරුණු ප්‍රහාර රාශියකි.

    එක් අවස්ථාවක තායි ජාතික සංක්‍රමණිකයකු පොළොවට තල්ලුකරනු ලැබීම නිසා මරණයට පත්ව ඇති බව මාර්තු මාසය මුලදී බීබීසී වාර්තා කළේය. කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් කපන ආයුධයකින් පිලිපීන-අමෙරිකානුවෙකුගේ මුහුණ කපා තිබුණි. චීන කාන්තාවකට කම්මුල් පහර එල්ලකර අනතුරුව ගිනිතබා තිබූ බවත් එම බීබීසී වාර්තාවේ දැක්වෙයි.

    මෙයින් අවුරුද්දකට පමණ කාලයකට පෙර කොවිඩ් වසංගතය පැතිරයාම ආරම්භයේ පටන් එවැනි ප්‍රහාර රැල්ලක් වාර්තා වූ අතර ඉහත සඳහන් කරන ලද්දේ ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාර සම්බන්ධයෙන් නිදසුන් කීපයක් පමණි.

    වචනයෙන් නින්දා පරිභව කිරීම්වල පටන් ශාරීරික මට්ටමින් පහරදීම් තෙක් ආසියානුවන් මුහුණදෙන හිරිහැර ගැන පසුගිය මාසවල වාර්තාවුණේ දහස් ගණනිනි.

    නීතිවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් ඉහත කී ආකාරයේ ක්‍රියා වෛරී අපරාධ ලෙස විග්‍රහකරන අතර එම අපරාධ සහ කොවිඩ්-19 වෛරසය පැතිරයාමට ආසියානුවන් වගකිව යුතුය යන දුර්මතය අතර සම්බන්ධයක් ඇතැයි පෙන්වා දෙති.

    ආසියානු ජනයාගෙන් පැවත එන ජනතාවට එරෙහි වෛරී අපරාධ රැල්ලක් ව්‍යාප්ත වියහැකි බවට ඇමෙරිකානු ෆෙඩරල් ඔත්තු අංශය කොවිඩ්-19 වසංගතය පැතිරයාම ආරම්භයේදීම අනතුරු අඟවා තිබුණි.

    ෆෙඩරල් පාලනය 2020 වසරේ වෛරී අපරාධ ක්‍රියාවන්ට අදාළ දත්ත තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබ නැත. එහෙත් 2019 දී දශකයකට අධික කාලයක් ඇතුළත වෛරී සාපරාධී ක්‍රියාවන්හි වැඩිමේ මට්ටම වාර්තා කළේය.

    වාර්ගික ආකල්ප මත ආසියානු-ඇමෙරිකානුවන්ට එරෙහිව සිදුකරන ලද වෛරී ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාර ”අනතුරුදායක මට්ටමකින්” වැඩිවෙමින් ඇතිබව පෙන්වාදෙන සවිස්තරාත්මක වාර්තාවක් 2020 වසර අවසන් භාගයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබුණි.

    පසුගිය වසරේ සෘජුව ම ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගත් 2,800කට අධික වෛරී ක්‍රියාවන් පිළිබඳව වාර්තා වූ බව ”Stop AAPI Hate” නම් උපදේශන සේවාව පවසයි. කොවිඩ්-19 වසංගතය ආරම්භයේ දී එම උපදේශන සේවාව එවැනි අපරාධ පිළිබඳව ස්වයං මට්ටමින් වාර්තාකරනු ලැබීම සඳහා පහසුකම් සලසා තිබුණි.

    එවැනි සාපරාධී ක්‍රියා ගැන තොරතුරු සමාජ මාධ්‍ය ජාලය තුළ වේගයෙන් හුවමාරුවෙන්නට පටන් ගැනීමත් සමඟ සමාජයේ නමක් සහිත කීර්තිමත් චරිත සහ බලපෑම් සහගත පුද්ගලයන් පවා මේ ප්‍රශ්නය ගැන අදහස් පළකරනු ලැබ ඇත.

    අලුත්ම ජනගහන වාර්තා අනුව කැලිෆෝනියාවේ පමණක් ආසියානු ප්‍රභවයක් සහිත ජනගහනය මිලියන හැටකටත් අධික ය. එය ආසියානුවන් වැඩිම ඇමෙරිකානු ප්‍රාන්තයයි. එය ප්‍රාන්ත ජනගහනයෙන් 15% ඉක්මවයි.

    ආසියානු-ශාන්තිකර ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය මගින් නිකුත්කරනු ලැබ ඇති වාර්තාවක් පවසන පරිදි 2020 මාර්තු මාසයේ පටන් මැයි මාසය තෙක් පමණක් කැලිෆෝනියාවේ ප්‍රාදේශීය ‘කවුන්ටි’වලින් කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ වෛරී හැසිරීම් 800කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

    ප්‍රහාරවලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතු වුණාද?

    මෙහිදී ඇතැමෙක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද චීන විරෝධී අදහස් සම්බන්ධයෙන් සෘජුව චෝදනා කරති. ජනාධිපති ට්‍රම්ප් විසින් කොවිඩ් -19 වසංගතය දිගින් දිගටම හඳුන්වනු ලබමින් සිටියේ ”චීන වෛරසය”(“China virus”) එසේත් නැත්නම්,”කුන්ග් ෆ්ලු”( “kung flu”)යනුවෙනි..

    එහෙත් බලයට පත්ව සතියක් ඇතුළත ඉදිරි පියවරක් ගත් ජනාධිපති ජෝ බයිඩන් ”ෆෙඩරල් පාලනය තුළ එවැනි භාෂාවක් භාවිත කරනු ලැබීම විශේෂයෙන්ම තහනම් කෙරෙන” විධායක ආඥාවකට අත්සන් කළේය.

    ඇට්ලන්ටා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග කරන ජෝර්ජියා ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයාගේ කාර්යාලය පසුගියදා තවත් පියවරක් ගෙන තිබුණි. එනම්, එම කාර්යාලයේ ප්‍රකාශකයා එම නඩු විභාගයෙන් ඉවත්කරනු ලැබීමය. ඊට හේතු වූයේ එම ප්‍රකාශක කපිතාන් ජේ.බේකර් (Jay Baker) කොවිඩ්-19 වසංගතය චීනයෙන් ආනයනය කරන ලද්දක්ය යන අදහස දැක්වෙන “imported virus from CHY-NA” උද්ධෘතය ඇතුළත් ටී-ෂර්ටයක් ප්‍රචාරය කිරීමට මැදිහත්වන බවක් සමාජ මාධ්‍ය ජාලයේ පළවීමත් සමඟය.

    ආසියානු විරෝධී ප්‍රහාරයකදී දිවි බේරාගනිමින් සටන් වැදුන චීන කාන්තාවක්
    ඡායාරූප ශීර්ෂ වැකිය,ආසියානු විරෝධී ප්‍රහාරයකදී දිවි බේරාගනිමින් සටන් වැදුන චීන කාන්තාවක්

    Text by – bbc

  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.

    සාමාජික රටවල් චන්දය පාවිච්චි කළ ආකාරය
    සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය

    2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

    වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ” යැයි පෙන්වා දී ඇත.

    වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි” යනුවෙනි.

    එය තවදුරටත් පවසන්නේ, “දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා” තිබූ බවය.

    ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ “හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්” ක්‍රියා කරන බවය.

    කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය “මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා” එල්ල කරන බවත්, “විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට” කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය.

    ඔහු මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

    “ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා.” යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.

    බී.බී.සී ඇසුරිණි

  • කොදෙව් පන්දු යවන්නෝ අති සාර්ථක වෙයි –  ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

    කොදෙව් පන්දු යවන්නෝ අති සාර්ථක වෙයි – ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

    ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියි.

    පිතිකරුවන් තිදෙනකු පමණක් ද්විත්ව ඉලක්කම් සහිතව ලකුණු ලබා ගැනීමට සමත්වද්දී වැඩිම ලකුණු ලාභියා බවට ළහිරු තිරිමාන්න සමත්විය. කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම මත සිය සහෝදර පිතිකරුවන් පිටියෙන් ඉවත්ව යද්දී තම අන්තය ආරක්ෂා කර ගත් තිරිමාන්න පන්දු 180 කට මුහුණ දෙමින් කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීය.

    ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් තිරිමාන් දැවී යන විට ලකුණු 70 ක් රැස්කරගෙන සිටියේය. හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් වුණු තිරිමාන්නගේ ඉනිමට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු 76 කදී ලකුණු 32 ක් රැස් කළේය. 7 වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යැවීම කෙරෙහි බලාපොරොත්තු තැබූ  කොදෙව් නායකයාගේ බලාපොරොත්තු සඵල කළ කෝර්න්වෙල් 11 වැනි පන්දුවාරයේදී නායක දිමුත් කරුණාරත්ව (12) දවා ගත්තේය.

    එතැන් පටන් දඩයම ඇරැඹූ කොදෙව් කණ්ඩායම දිවා භෝජනය වන විට කඩුලු 3 ක් දවා ගනිමින් පළමු දිනට සාර්ථක ප්‍රවේෂයක් එක් කර ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 5 කම හිමිකරුවා බවට පත් වුණු ජේසන් හෝල්ඩර් 8 වැනි වතාවටත් ටෙස්ට් තරගයකදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත්යේ. ඔහු දවා ගත් කඩුලු අතර ඉනිමේ වැඩිම කඩුලු සම්බන්ධතාවය වශයෙන් සනිටුහන් වුණු 6 වැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු 58 ක් එක් කළ ළහිරු තිරිමාන්නගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු ද ඇතුළත් විය. ඔහුට හොඳ සහායක් ලබා දුන් කෙමාර් රෝච් ලකුණු 47 කදී ඉතිරි කඩුලු 5 න් 3 ක් දවා ගත්තේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් 155 වැනි ක්‍රීඩකයා ලෙසින් මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් පැතුම් නිස්සංකටද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට කෙමාර් රෝච් හරස් විය. මුහුණ දුන් 12 වැනි පන්දුවේදී හෝල්ඩර් උඩ පන්දුවක් රැක ගනිමින් පැතුම් පිටියෙන් ඉවතට යන විට ලකුණු 9 ක් ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම විස්සයි-20 තරග අංශයෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම්, මෙම තරගාවලිය යටතේ එක්දින සහ ටෙස්ට් තරග වරම් දිනා ගැනීම කැපී පෙනෙයි.

    SL CRICKET
  • මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

    මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

    2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි.

    මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත කරන ලද වැරදි තොරතුරුවල ප්‍රතිඵලයක් බවට සැකයක් නැත. ඔවුන් විසින් මෙම ක්‍රියාවලීන් සදාකාලික බිල්ලන් බවට පත්කරන ලදි. 2009 දී යුද්ධයේ අවසානය අධීක්‍ෂණය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමා යුද අපරාධ අධිකරණයකට ගෙන ගොස් විදුලි පුටුවක් මත මරා දැමීම සිදු කළ හැකි බවයි.

    2021 දී පවා මෙවැනි වැරදි තොරතුරු දිගින් දිගටම ව්‍යාප්ත කිරීමට හැකිවීම, එවන් තොරතුරු ව්‍යාපාරවල සහ කූටෝපායන්වල විස්මයජනක හැකියාව සහ සාර්ථකත්වය මනාව පිළිබිඹු කරයි. රට තුළ සැලකිය යුතු තාක්‍ෂණික දියුණුවක්, අන්තර්ජාල භාවිතය පිළිබඳ වැඩි දැනුම් ව්‍යාප්තියක් සහ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය මූලික ඩිජිටල් දැනුමින් සන්නද්ධ නව පරම්පරාවක් සිටිද්දීත් මෙවැනි දේ සිදු වීම කනගාටුවට කරුණකි.

    පසුගිය සති කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය පිළිබඳව ඉතා නිර්මාණාත්මක සටහන් බොහොමයක් මා දැක ඇත. මින් බහුතරයක් ඉතා නොමඟ යවනසුලු අතර අනෙක්වා බොහෝ විට පැහැදිලි මිථ්‍යාවන් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වටා ඇති සමහර පොදු මිථ්‍යාවන් බිඳ දැමීමෙන් ඒ පිළිබඳව ඇති බිය දුරු කිරීමට මට ඉඩ දෙන්න.

    1 වන මිථ්‍යාව: බටහිර රටවල් පමණක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරයි – සාවද්‍යයි: 

    වසර තුනක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තෝරා පත්කරගත් සාමාජික රටවල් 47කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමන්විත වන අතර, අඛණ්ඩව දෙවරක් කවුන්සිලයේ සිටීමෙන් පසු ඒත් සමඟම නැවත තේරී පත්වීමට එම රටවලට නොහැකිය. කවුන්සිලයේ සාමාජිකත්වය සම භූගෝලීය ව්‍යාප්තියක් මත පදනම් වේ. ඒ අනුව, අප්‍රිකානු රාජ්‍යයන්ට ආසන 13ක්, ආසියා-පැසිෆික් රාජ්‍යයන්ට ආසන 13ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8ක්, බටහිර යුරෝපයට සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7ක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ට ආසන 6ක් එහිදී හිමිව ඇත. එපමණක් නොව, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට නායකත්වය දෙන රාජ්‍යයන්, අප්‍රිකාව (මලාවි), බටහිර සහ නැගෙනහිර යුරෝපය (ජර්මනිය, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව) සහ උතුරු ඇමරිකාව (කැනඩාව) යන කණ්ඩායම්වලින් සමන්විත වේ.

    2 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාවට එරෙහිව වෙළඳ සම්බාධක පැනවෙනු ඇත. සාවද්‍යයි: 

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සාමාජික රටවලට නිර්දේශ කර ඇත්තේ “බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබූ අපරාධකරුවන්ට එරෙහිව වත්කම් ඇවිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක” කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. මෙම නිර්දේශය වෙළඳ සම්බාධකවලට බොහෝ දුරස්ථ වන අතර, එවැනි වෙළඳ සම්බාධක සාමාන්‍යයෙන් පිළිගනු ලබන්නේ ජාතික ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ජීවනෝපායන්ට අසමාන ප්‍රතිවිපාක එල්ල කරන ක්‍රියාවලීන් ලෙසයි.

    3 වන මිථ්‍යාව: එල්ටීටීඊය විසින් සිදුකරන ලද ක්‍රෑරකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මග හැරී ඇත. සාවද්‍යයි: 

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශන මත පදනම් වූ සෑම එක්සත් ජාතීන්ගේ වාර්තාවක්ම, ගැටුමට සම්බන්ධ සියලු‍ පාර්ශ්වයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර තිබේ. දේශීයව දරුස්මාන් වාර්තාව ලෙස හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවෙන් (2011) යුද්ධයේ අවසාන අදියරේදී එල්ටීටීඊය විසින් සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ හයක් සොයා ගන්නා ලදි. ඒවා නම්;

    1. සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම;
    2. එල්ටීටීඊ පාලනයෙන් පලා යාමට උත්සාහ කරන සිවිල් වැසියන් ඝාතනය කිරීම;
    3. සිවිල් වැසියන් ආසන්නයේ යුද උපකරණ භාවිත කිරීම;
    4. ළමයින් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම; 5. බලහත්කාරයෙන් ශ්‍රමය භාවිත කිරීම සහ
    5. මරාගෙන මැරෙන ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම වේ.

    එමෙන්ම, ශ්‍රී ලංකා රජයේ හමුදා සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ පහක් කමිටුව විසින් සොයා ගන්නා ලදි. එනම්;

    1. පුළුල් ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම;
    2. රෝහල් සහ මානුෂීය වස්තූන් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම;
    3. මානුෂීය ආධාර ප්‍රතික්‍ෂේප කිරීම;
    4. අභ්‍යන්තරව අවතැන්වූවන් සහ එල්ටීටීඊ සාමාජිකයන් යැයි සැක කෙරෙන අයවලුන් ඇතුළුව ගැටුම්වලින් විපතට පත්වූවන් සහ දිවි ගලවා ගත් අය මුහුණ දුන් මානව හිමිකම් උල්ලංඝනයන් සහ

    ජනමාධ්‍ය සහ රජයේ අනෙකුත් විවේචකයන්ට එරෙහිව ගැටුම් කලාපයෙන් පිටත සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ 2015 විමර්ශනය මගින්, විමර්ශනය කරන ලද කාල පරිච්ඡේදය තුළ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර අපරාධ සිදු කිරීම වී ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව සොයා ගන්නා ලදි. මෙම චෝදනා සියල්ලම කඩිනමින්, තරයේ හා ස්වාධීනව විමර්ශනය කළ යුතු බවත්, සෘජුව, අණ දෙන නිලධාරීන් ලෙස හෝ ඉහළ නිලධාරීන් ලෙස ඊට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් එමගින් ඉල්ලා සිටින ලදි. එබැවින්, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ සෑම යෝජනාවක් හරහාම ගැටුමේ දෙපාර්ශ්වයේම වැරදිකරුවන්ගේ වගවීම ඉල්ලා සිටින ලදි.

    4 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වගවීම ඉල්ලා සිටින්නේ දෙමළ ඩයස්පෝරාව පමණි. සාවද්‍යයි: 

    ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූ සිංහල, මුස්ලිම් සහ දෙමළ යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තමන් අත්විඳ ඇති දේ සඳහා දේශීය යාන්ත්‍රණයන් විසින් සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීමට අඛණ්ඩව අපොහොසත් වීම හේතුවෙන් වගවීම ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට සහාය පළ කර තිබේ. රටේ සියලු ප්‍රජාවන් සහ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන අතුරුදහන්වූවන්ගේ පවුල්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු වී ඇත්තේ සත්‍යය සොයා ගැනීමටත්, ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ළඟා කර ගැනීමත් සඳහාය.

    5 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව පවතින්නකි. සාවද්‍යයි:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. යුද්ධය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනවලින් බැට කෑ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාවට මෙම ක්‍රියාවලියෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම ක්‍රියාවලිය මනුෂ්‍යවාදී වනවාක් මෙන්ම මානව හිමිකම්වලට ගැති වන අතර එබැවින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී වේ. සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සමව ප්‍රවර්ධනය කිරීමට හා ආරක්‍ෂා කිරීමට අඛණ්ඩව පත්වූ ශ්‍රී ලංකා රජයන් අපොහොසත් වීමත්, ඒ හේතුව නිසාම සමාජයේ සමහර කොටස්වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඔවුන්ගේ ගැටලු මතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමත් සැබවින්ම ලැජ්ජාවට කරුණකි.

    6 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව කටකතා හා විවෘත මූලාශ්‍ර පරීක්‍ෂණ මත පදනම් වී ඇත. සාවද්‍යයි: 

    මෙම වාර්තාව, පොදුවේ ලබා ගත හැකි තොරතුරු සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් රජයේ නියෝජිතයන් ද ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන ලද පර්යේෂණ සහ උපදේශන මත පදනම්ව සකසා ඇත. එම වාර්තාවෙහි එහි ක්‍රමවේදය දක්වා ඇති අතර, එය සකස් කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2020 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා රජයට සවිස්තරාත්මක ප්‍රශ්න ලැයිස්තුවක් යවා ඇති බවත්, 2020 දෙසැම්බර් 28 වන දින ඊට ලිඛිත පිළිතුරු ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් බවත් පැහැදිලිව සටහන් කර ඇත.

    2021 ජනවාරි 7 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ ඵලදායී මෙන්ම ඉතා වැදගත් රැස්වීමක් ද පවත්වන ලදි. රජය විසින් මෙම වාර්තාව පිළිබඳව සිය අදහස් දක්වන ලද අතර ඉන් සමහරක් අවසාන වාර්තාවෙහි පිළිබිඹුව ඇති බව ද සඳහන් වී ඇත. ජාතික මානව හිමිකම් ආයතනය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතැම් මානව හිමිකම් ගැටලු‍ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අවධානය යොමු කර ඇති අතර ඒවා ද මෙම වාර්තාවෙන් පිළිබිඹු වේ.

    මීට අමතරව වින්දිතයන්ගෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සෘජු සන්නිවේදනයන් ලැබී තිබේ. නිදසුනක් ලෙස, 2020 දෙසැම්බර් වන විට සිවිල් සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් තමන් මුහුණ දුන් හිරිහැර කිරීම් හා සුපරීක්‍ෂණයන් පිළිබඳව මෙන්ම, එම සංවිධානවල පරිපාලන තොරතුරු, ක්‍රියාකාරකම්, කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පුද්ගලික සම්බන්ධතා තොරතුරු, පරිත්‍යාගශීලීන් සහ අරමුදල් ප්‍රභවයන් පිළිබඳව නැවත නැවත සෝදිසි කිරීම් සිදු කළ ආරක්‍ෂක සේවාවන් රාශියක් පිළිබඳව තොරතුරු වාර්තාවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දී ඇත.

    එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි නිලධාරීන්ගේ සොයාගැනීම් සහ නිර්දේශයන් මත පදනම්වද මෙම වාර්තාව ගොඩනංවා ඇත. එම බලධාරීන් විසින් තමන්ට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සන්නිවේදනයන් යවා ඇතත්, රජය විසින් පසුගිය වසරේ දී ප්‍රතිචාර දක්වා ඇත්තේ එහි අටෙන් දෙකකට පමණි. එම පැමිණිලිවලට හෝ වාර්තාවේ ඉදිරිපත් කර ඇති ප්‍රකාශයන්ට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමටත්, පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට සහ/හෝ විකල්ප දෘෂ්ටිකෝණයක් සැපයීමටත් රජයට ඕනෑ තරම් කාලය තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කිරීමට පෙර රජයට යවා තිබේ.

    7 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව චීනය විසින් නිෂේධ කරනු ඇත. සාවද්‍යයි: 

    චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ සාමාජිකයෙකු වන නමුදු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ මෙන් නිෂේධ බලයක් මෙහිදී ඔවුන් සතුව නැත. එමෙන්ම ආරක්‍ෂක කවුන්සිලයේ මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෝ නොමැත. එබැවින්, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට ඡන්ද විමසීමක් කැඳවීම හෝ එවැනි යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු කළ හැකි වුවද, වෙනත් සාමාජික රටක් විසින් සභාවට ගෙන එන කිසිදු යෝජනාවක් නිෂේධ කිරීමට චීනයට නොහැකි වනු ඇත. මෙම කවුන්සිලයේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා එහි සාමාජික රටවලින් සරල බහුතරයකගේ සහාය පමණක් සෑහේ.

    8 වන මිථ්‍යාව: ඉදිරියේදී සිදුවීමට නියමිත මානව හිමිකම් ව්‍යසන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැත. සාවද්‍යයි: 

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2007දී 60/251 දරන යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කරන ලද අතර එහි බලතල සියල්ලක්ම එම යෝජනාවෙහි පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට “බරපතළ හා ක්‍රමානුකූල උල්ලංඝනයන් ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තත්වයන් ආමන්ත්‍රණය කිරීමට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට” බලය ඇති අතර, “මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීමට මෙන්ම හදිසි මානව හිමිකම් ව්‍යසන අවස්ථාවන්ට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමට” ප්‍රතිපාදන ඉන් සලසා ඇත. ■

    ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධ පර්යේෂිකා –  ත්‍යාගි රුවන්පතිරණ


    (මෙම ලිපිය 2021 මාර්තු 9 වන දින ‘ඩේලි එෆ්ටී’ පුවත්පතේ ඉංග්‍රීසි බසින් පළවූ අතර මෙම උපුටා ගැනීම අනිද්දා ඊ පුවත්පතිනි
  • MCC රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට

    MCC රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට

    ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 

    MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද (22) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බවත් එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත්කර ඇති බවත් ඇමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැන්වූවාය.

  • උද්ධමනය ඉහළට

    උද්ධමනය ඉහළට

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය.

    ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

    තවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

  • චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට

    චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට

    දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර් ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ.

    2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මහබැංකු දෙකෙහි අධිපතිවරුන් වන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර් ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ  චීන මහජන බැංකු අධිපති, ආචාර් ය යී  ගැන්ග් මහතා, මෙම ගිවිසුමෙහි අත්සන් දායකයන් වේ.

    මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇත. මෙම ගිවිසුම වසර තුන ක (3) කාල සීමාවක් සඳහා වලංගු වේ.

  • නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ?

    නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ?

    නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි.

    “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය.

    සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, “නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන දෙයක් කියලා තමයි මගේ පෞද්ගලික හැගීම,” යනුවෙනි.

    “නීතිය දන්නේ නැහැ. නමුත් අර්ථය වැටහෙනවා. ඒ වගේම මෑතක දී මේ තරම් හෑල්ලුවට ලක්වෙච්ච් වචන දෙකක් තවත් නැතුව ඇති. වචන දෙක නිව්ස්වල දකිද්දිත් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ රට සහ නීතිය ගැන,” පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අංජන පැවසුවේය.

    ‘නිදොස් කොට නිදහස් කිරීම’ යන්නේ සාමාන්‍යය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය.

    ජූරි සභාවක් හෝ විනිශ්චයකාරවරයකුට විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් ලබා දිය හැකිය.

    යම් පුද්ගලයෙකු වරදකරු කිරීම සඳහා හෝ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙම තීන්දුව ගැනීමට හේතු වේ.

    විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති සියලු වරද ඉවත් කරනු ලබයි.

    ජූරි සභාවකින් යම් විත්තිකරුවෙකු නිදොස් කිරීමක් සිදුවන්නේ එම සභාව අදාළ පුද්ගලයා වැරදිකරු නොවන බව සොයා ගත් විටය. නීතියෙන් නිදොස් කිරීමක් සිදුවන්නේ හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස නඩුවේ මූලය නිදොස් වූ විට එයට හවුල්කාර පාර්ශවය ද නිදොස් වේ.

    පසුගිය දිනවල නිදොස් කොට නිදහස් කිරීම් සම්බන්ධ පුවත් නිතර ඇසෙන්නට විය. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දේශපාලන වේදිකාවල ද විවිධ මත ඇසෙන්නට විය.

    මෑතක දී නිදොස් කොට නිදහස් වූවෝ

    රෝහිත අබේගුණවර්ධන

    Rohitha Abeygunawardena released from bribery case

    2014 සිට 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ දී අයථා ලෙස රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.

    මෙම නඩුව පැවැරීමේ දී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් නිසා එය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ අද (මාර්තු 19) නියෝග කළේ ය.

    සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්

    Acquitted and released

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකුට නඩු පවරා තිබිණි.

    මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ බී 1357/05 දරණ බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ඩී එස් සූසෙයිදාසන් ක්‍රියා කළේය.

    ජෝසෆ් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වෙනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි.

    වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය.

    මහරගම ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර එක හමාරක් කූඨ ලේඛන සකස් කර අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට නඩු පවරා තිබිණ.

    ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේදී වන අතර, නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

    ඒ අනුව, නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත් අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ බිරිඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 මාර්තු 15 වෙනිදා නියෝග කළේය.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    Acquitted and released

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කළේ, විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.

    ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 පෙබරවාරි 25 වෙනි දින නියෝග කළේය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේය.

    එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    Acquitted and released

    සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග ක‍ළේය.

    එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ය.

    නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් මුදා හරින බව විනිසුරුවරිය නියෝගය නිකුත් කරමින් පැවසීය.

    පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූණි.

    ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ ලක් සතොස ආයතනයෙන් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මුදල් නොගෙවා ලබා ගැනීම සම්බන්ධයෙනි.

    සජින් වාස්

    Acquitted and released

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව ගොනුකර තිබුණු නඩුවේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කරගැනීමට පැමිණිලිකාර අල්ලස් කොමිසම ක්‍රියා කළේය.

    මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කළ අවධියේ එම සමාගමට භාණ්ඩ මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 883ක අලාභයක් සිදු කර, අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අල්ලස් කොමිසම සජින් වාස්ට එරෙහිව නඩු පවරා තිබිණි.

    කෙසේනමුත්, මෙම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා අත්සන් කර නොමැති හෙයින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ තාක්ෂණික දෝෂයක් මතුව තිබිණි. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තියට අනුව, අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

    ඒ අනුව සැකකරු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල 2021 මාර්තු 16 වෙනිදා නියෝග කළේය.

    බැසිල් රාජපක්‍ෂ

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමේ දී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නඩු පවරා තිබිණි.

    නමුත්, 2020 වසරේ දී බැසිල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    දේශපාලනයට හා පරිපාලනයට සම්බන්ධ තවත් බොහෝ දෙනෙකු පසුගිය වසර දෙක ඇතුළත නිදොස් කොට නිදහස් කෙරිණි.

    දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම

    මේ අතර, 2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වෙනි දින කාලය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළේය.

    2020 ජනවාරි 9 වෙනිදා විශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසම පත්කළේය.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ.

    මෙම ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර, පැමිණිලි 305ක් ලැබී තිබෙන බව කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍යට කියා සිටියේය.

    දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පවතින නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම නිර්දේශ විවේචනය කර තිබිණි.

    නීතිය කුමක් ද?

    “හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනා ඔප්පු කරන්න මාර්ගෝපදේශ සපයා තියෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලිය සඳහන් කර තිබෙනවා,” නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය.

    “සාක්ෂි ආඥාපනතේ තුන්වෙනි වගන්තියේ ‘ඔප්පු කිරීම’ යටතේ ‘සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය’ අනුව යමින් නඩුවට අදාළ සාක්ෂි නැත්නම් අනුකූල කරුණක් ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ විනිසුරුවෙකුට.”

    “අපරාධ නඩුවක ආවේශ්‍ය කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නීති සාක්ෂි ආඥාපනතේ සඳහන් වෙනවා. සාක්ෂිවල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් විනිසුරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා.

    “සාක්ෂි නොමැති වීම, සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හෝ විවිධ තාක්ෂණික ගැටලු මත නඩු ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදු කරන්න පුළුවන්,” නීතීඥවරිය පැවසුවාය.

    අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ පැමිණිලි පාර්ශවය වෙතය.

    Acquitted and released

    අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයෙකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ.

    විත්තිකරුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.

    “නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලනිකව සිදුවන දේ ගැන හුඟක් අයට සෑහෙන විවේචන තියෙනවා. නමුත් නීතිමය ක්‍රියාදාමය සිදුවන්නේ සාක්ෂි, අණ පනත්වලට අනුව. රටේ සාමාන්‍ය දේශපාලනික ක්‍රියාකලාපය ගැන අපි හැමෝටම මතයක් තිබෙනවා, ඉතින් ඒ අනුව මේ සිද්ධීන් ගැන තේරුම් ගැනීම තම තමන්ගේ බුද්ධියට බාරයි,” දිගින් දිගටම සිදුවන නිදොස් කොට නිදහස් කිරීම් ගැන සිය මතය ඉදිරිපත් කළ නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය.

    ජනතාව දැනුවත් කළ යුතු කාලීන ලිපියක් බැවින් බී.බී.සී සන්දේශය වෙතින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය වෙනස්කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට

    රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට

    ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.

    අප සමග අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම අපනයනකරුවන්ට යම් වාසියක් වුවත් ආනයන වියදම් ඉහළ යාම නිසා පාරිභෝගිකයින්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ආයෝජකයින්ටත් අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

    ‘ ඩොලරය රුපියල් දෙසීය ඉක්මවීමෙන් අපනයනකරුවන්ට යම් කිසි වාසියක් තිබුණත්, සමස්තයක් හැටියට පාරිභෝගිකයන්ට විශාල අවසියකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ විදෙස් ආයෝජකයන්ද රුපියලේ අගය පහළ වැටෙන විට මුදල් ඉවත් කර ගැනීමේ ඉඩක් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය රුපියල් දෙසීයට අඩුවෙන් තබා ගැනීමට ආණ්ඩුව උපරිම උත්සාහයක් ගන්නවා. ඒත් මේ වන විට රට තුළ ඩොලර් සංචිත නොමැති වීම නිසා රුපියලේ අගය දෙසීය ඉක්මවීම වැළැක්විය නොහැකියි. වෙළඳපළේ ඩොලරයේ අගය දෙසීය ඉක්මවීම පාලනය කිරීමට අසීරු තත්වයක් බව පැහැදිලියි‘‘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

    කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

    කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  සලකා බැලේ.

    අනිද්දා(24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ  (RAMIS) වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ. 

    මාර්තු මස 10 වැනි දින අවසන් වරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලේ.

    එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා දින (25) වනජීවි දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා ඇත.

    මෙම කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.