Tag: featured

  • සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක් – සුපිරි හෙළිදරව්ව

    සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක් – සුපිරි හෙළිදරව්ව

    පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී.

    මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම සිදු කරමින් තිබේ. ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ, ගොඩකවෙල, කුරුප්පු ජයරත්න හා කහවත්ත, කොටකෙතන පන්සලේ නායක ස්වාමීන්වහන්සේ විසින් මෙම වනාන්තර විනාශය සිදු කරමින් පවතී.

    මීට අමතර ව කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත.

    මෙලෙස එළිපෙහෙළි කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි. කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

    දැනට මාස දෙකක පමණ කාලයක සිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතාගේ අනුග‍්‍රහය යටතේ සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නග් සයිඩ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම සිදු කරමින් පවතී.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග‍්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන් විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප‍්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත‍්‍ර භාවිත කර වනාන්තර එළි කිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරමින් පවතී.

    අනෙක් හෝටලය ඉදි කරන්නේ බෝටියතැන්න අලි මංකඬේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි.

    සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප‍්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේ‍පොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.   

    සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එළි කිරීම, තේ වගාව ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් සිදු කරමින් පවතී.

    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

    සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම

    “ගම සමඟ පිළිසදරක්” වැඩසටහන මගින් අතිගරු ජනාධිපතිතුමන් විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීම හා රක්ෂිත වල මායිම් සංශෝධනය කර නීති විරෝධී හා අනවසර වගා බිම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් සිංහරාජය වටා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත.

    එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (tA) වගන්ති ප‍්‍රකාරව පසුව වන්දි ගෙවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දෙශ ලබා දෙන ලෙස ය.

    ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

    සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීම

    සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4 ක නැතහොත් අක්කර 6200 ක නොයිඳුල් වනාන්තර විශාල ප‍්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ.

    එම වනාන්තර රත්නපුර දිස්ති‍්‍රක්කයට අයත් මුරකැළේ වත්ත (50.4 ha) ෆැබ් වත්ත (181.3 ha), ඉළුබකන්ද වත්ත (567 ha), මෝර්නිග්සයිඞ් වත්ත (55.4 ha), කැන්ටර් වත්ත (130 ha), ගේස් වත්ත (137.5 ha) ගොන්හෙළ වත්ත (137.9 ha), ඇබරොස් වත්ත (35.4 ha), බැක්වෙයා වත්ත (109.9 ha), කෝදුරුගල වත්ත (99ha) හා දඹහේන වත්ත (8.6 ha), මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත (436 ha), කුරුගල වත්ත (188 ha), බෙවර්ලි වත්ත (28 ha) හා හේමගිරි වත්ත (40 ha), ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත (304 ha) යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16 ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදි කිරීම සිදු කරනු ලැබේ. 

    Sinharaja Forest - Sri Lanka - YouTube

    සිංහරාජයේ ජෛව විවිධත්වය

    ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි. එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය ලෙස හා සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේණික විශේෂ සිංහරාජ රක්ෂිත භූමි වලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප‍්‍රදේශ වලින් වාර්තා වේ. මේ නිසා සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

    මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුලූවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ.

    ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් හිමි වන නිරිතදිග මෝසම් සුළං මගින් ගෙන එන වළාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත‍්‍රනය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය ඒ අවට ජනතාවගේ ජල අවශ්‍යතාවන් හා පහතරට සුළු පරිමාණ තේ වගාවට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයයි.

    ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වන කළු ගෙඟ් හා ගිං ගෙඟ් ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවන් ප‍්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව ලබා දේ.

    සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලූ දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.

    ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ.

    දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita), ගිනි හොට (Cyathea spp), වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyi ශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ.

    ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia),  මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), ජටාමකුට (Flickingeria macraei), වෙසක් මල් (Dendrobium maccarthiae) ඇතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය.

    ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus),  තුඩරෑන (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.

    සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri    දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.

    සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවැනි තත්ත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 455 ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 144 ක් නැතහොත් 32% ක් ලංකාවට ආවේණික වෙයි.

    ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් නවයක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ 11 ක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් (කුණු හික් මීයා – Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ තුනක් (Ceylonthelphusa savitriae, Perbrinckia quaratus හා Perbrinckia rosae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 25 ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂි අතුරෙන් එකකි.

    සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba)” කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කරුණාරත්නගේ මුව පටු මැඩියා (Microhyla karunaratnei) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය.

    සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11 ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus), එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල්දණ්ඩා (Dendrelaphis sinharajensis),  සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඞ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඞ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus), සිහින් මහකැළෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිගිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිගිති හිකනලා (Lanakascincus sameerai)  යන විශේෂ වේ. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කඳුවැටියට ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළු අඟ කටුස්සා (Ceratophora aspera) සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමුව කඳු වැටියේ අනෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතර ව සිංහරාජ අඩවියට ආවේණික Rhinophis ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලූතින් සොයා ගෙන ඇති අතර මෑතක දීම එම විශේෂ නාමකරණයට ලක් කළ පර්යේෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    මෙරටට ආවේණික මේ සියලූ දුර්ලභ ජීවීන්ගේ හා ජලපෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගාබිම් වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලූ වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු ය. සිංහරාජ වන රක්ෂිතය වටා ඉඩම් වලට විශාල වාණිජ වටිනාකමක් ලැබෙමින් පවතින නිසා එම වනාන්තර ඉඩම් රක්ෂිත බවට පත් කර ගැනීමට දැවැන්ත අරගලයක් කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා සියලූ ජනතාවගේ සහයෝගය මේ වන විට අවශ්‍යය.

    සජීව චාමිකර

  • ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

    ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

    ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති වර්ණ ප්‍රදානය කරයි.

    දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී.

    ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

    “සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් දශක 07ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපතිවරයා අතින් වර්ණ ප්‍රදානය කෙරිණ.

    සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා ඇත.

    මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුලින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව ජනපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

    ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කළ ජනාධිපතිවරයා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත්  සඳහන් කළේය.

    වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

    ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

    “ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය” තේමා කොට ගෙන  එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපති වෙත පිළිගන්වනු ලැබීය.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිතුමා  ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීය.

    ( ඡායාරූප : ජිවන්  චන්දිමාල්, සුමින්ද කීර්ති, ඩී. සමරකෝන්, ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය )

  • ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් COPA හමුවට

    ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් COPA හමුවට

    බදු සහ දඩමුදල්  රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැදවා තිබේ.

    පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී  විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසත් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    ඒඅනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම්බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වනු ඇත.

    මීට අමතරව මාර්තු 09 වන දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැදවා ඇති අතර මාර්තු 23 වන දින  කලා විෂයයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.

    එසේම මාර්තු 24 වන දින  වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර මාර්තු 25 වන දින  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැදවා ඇත.

  • ‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

    ‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

    තමන් 2025 ජනාධිපතිවරණය යළි ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

    පසුගියදා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා දුරකතන සංවාදයක් පවත්වා ඇති ජනාධිපතිවරයා උන්වහන්සේට පවසා ඇත්තේද තමන් නැවත ජනාධිපතිවරණයකට තරඟ නොකරන බවයි.

    මේ අතර පසුගිය දා ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ 10ක් සමඟ පැවැති සාකච්ඡාවේදි ද ජනාධිපතිවරයා තම තීරණය යළි අවධාරණය කර තිබෙනවා.

    මෙහිදී ආණ්ඩුව වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක්වන බවත් ඊට බලපා ඇති හේතුත් සුළු පක්ෂ විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තම යෝජනා ද ඉදිරිපත් කර තිබෙනවා.

    එහිදි ඔවුන් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ පක්ෂ සන්ධානයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ විසින් බාරගත යුතු බවත් නිරන්තරයෙන් සුළු පක්ෂ නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වමින් 2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක යාන්ත්‍රණයකට දැන් සිටම එළඹිය යුතු බවත්ය.

    ‘ ඔබතුමා ඔසවා තැබීමේ වගකීම අපට කළ හැකියි‘ මෙහිදී ඔවුන් අවධාරණය කර තිබෙනවා.

    එහෙත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

    ‘ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ සුළුජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයාට අවශ්‍ය සිංහල ඡන්ද ටික මට එකතු කර දිය හැකියි‘ ජනපතිවරයා පවසා තිබෙනවා.

    මේ වන විට ජනාධිපතිවරයා සියලුම අංශ වලින් අසමත් වී ඇති බවට පොදු මතයක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. බඩුමිල ඉහළ යාම, කොවිඩ් පාලනයෙන් ගිලිහීම මෙන්ම ජනපතිවරයා විසින් මහත් විශ්වාසයෙන් පත් කළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ‘අසමත්වීම‘ මේ අතර කැපී පෙනවා.

    විශේෂයෙන් ජනපතිවරයා සිදුකරන ‘ගම සමග පිළිසදර‘ මේ වන විට ජනතාව අතර හාස්‍යයට ලක්ව තිබෙනවා.

  • ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට එක්වීමට ‘තවත් එන්නත් රැසක් පෝලිමේ’

    ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට එක්වීමට ‘තවත් එන්නත් රැසක් පෝලිමේ’

    ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්-වී’ එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (මාර්තු 4) පැවසීය.

    ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන බව ද වාර්තා වේ.

    එන්නත්කරණය

    “ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අවසර ලබාදුන්නා, මේක ගේන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්, මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා රුසියාවේ ගමාලියා පර්යේෂණ ආයතනයත් එක්ක කොච්චර ප්‍රමාණයක් කොයි දවසේ කුමන මිලකට ගන්න පුළුවන්ද කියලා” යැයි අමාත්‍ය චන්න ජයසුමන පැවසීය.

    ඔහු පැවසුවේ චීන රජය සතු සමාගමක් විසින් නිපදවන සීනෝෆාම් එන්නත භාවිතයට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත මේ වනවිට ඇගයීමට ලක්වෙමින් පවතින බවයි.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන තවදුරටත් පැවසුවේ ලංකාවේ එන්නත් ක්‍රියාවලිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ෆයිසර් – බයෝ එන්ටෙක් ආයතන විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් මාත්‍රා මිලියන 4 හෝ 5ක් ශ්‍රී ලංකාවට සැපයීමට එම සමාගම එකඟ වී ඇති බවය.

    ඔහු පෙන්වා දෙන පරිදි, එන්නත්කරණය ක්‍රියාත්මක කෙරෙන අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙතම, අවශ්‍ය කෙරෙන උෂ්ණත්ව පාලනය පවත්වා ගනිමින් එන්නත් සැපයීමට අදාළ සමාගම එකඟවීම විශේෂත්වයකි.

    මේ අතර ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය ද ඔවුන්ගේ එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලබා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    රජය පසුගිය මාසයේදී පැවසුවේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10 ක් ඩොලර් මිලියන 52.5 ක මුදලකට සීරම් ආයතනයෙන් මිලදී ගන්නා බවය. එම එන්නතේම තවත් මාත්‍රා මිලියන 3.5ක් බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනයෙන් ලබාගැනීමට ගිවිසුමකට එළඹීමට තීරණය කළ බව ද සඳහන් කර තිබිණි.

    ජනවාරි 29 වදා සිට එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ කෙරුණේ ඉදිරිපෙළේ සෞඛ්‍ය අංශ නිලධාරීන් එන්නත් කරමිනි. ඉන් අනතුරුව වයස අවුරුදු 30-60 ත් අතර පසුවන නිදන්ගත රෝග සහිත අවදානම් ගණයේ ලා සැලකිය හැකි පුද්ගලයන් වෙත එන්නත ලබාදීමට පියවර ගැනිණි.

    කෙසේ නමුත්, මේ වනවිට ක්‍රියාත්මක එන්නත්කරන වැඩපිළිවෙල තුළ විධිමත් සැලසුමක් නැති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. 

    ඉන් එක් චෝදනාවකින් කියවෙන්නේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ නෑ හිතවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින් වෙනුවෙන් ‘ප්‍රභූ එන්නත් මධ්‍යස්ථාන’ පවත්වාගෙන යන බවකි. එහෙත්, මෙම බොහෝ චෝදනා පදනම් විරහිත බව ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබිණි.

    එන්නත්කරණය

    මාර්තු තුන්වෙනිදා අවසන් වන විට පුද්ගලයන් 600,724 දෙනෙකු එන්නත් කර ඇති බව කෝවිඩ්-19 වසංගතය වැළක්වීම පිළිබඳ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.

    බී.බී.සී ඇසුරිණි

  • දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?

    දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?

    ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි.

    මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක.

    අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි.

    මේ අනුව අප අවදියෙන් සිටින කාලය ඇතුළත දිනකට දල වශයෙන් පිරිමියෙකු ලිංගික කාර්යය ගැන සිතන වාර ගණන 7200 ක් පමණ වේ.

    ඇත්ත වශයෙන්ම ඔබට දවසක් පුරා පහළ වන සිතුවිලි තවත් කෙනෙකුට ගණනය කළ හැකි දෙයක්ද?

    එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් මෙය සිදු කළේ මේ ආකාරයටයි.

    තෝරා ගත් සිසුන් 283 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදා වෙන් කර කුඩා උපකරණයක් ඔවුන් හැම කෙනෙකුට ම ලබා දුන්ණේය.

    මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.

    මෙම සමීක්ෂණයට සහභාගී වූ ශිෂ්‍යයන්ට ලිංගික කාර්යය පිළිබඳව සිතුවිලි පහළ වී ඇත්තේ දිනකට දහනම වතාවකි. (සාමාන්‍ය අගය)

    නමුත් ශිෂ්‍යාවන් ඒ පිළිබඳව සිතා ඇත්තේ දිනකට දස වතාවක් පමණි.

    එමෙන්ම ආහාර සහ නින්ද ගැනද වැඩියෙන් ම සිතා ඇත්තේ පිරිමි පාර්ශවය යි.

    ඉන් පෙනී යන්නේ පිරිමින්ට එවැනි සිතිවිලි වැඩියෙන් පහළ වීම විය හැක. එසේ නොමැති නම් අපැහැදිලි සිතුවිල්ලක් පවා වාර්තා කිරීමට පිරිමින් පෙළඹුනා විය හැකිය.

    රාගික අදහසක් පහල වූ බවට අඩුම වාර ගණන වාර්තා වී ඇත්තේ දිනකට එක් වතාවක් වන අතර වැඩිම වාර ගණන ලෙස 388 වතාවක් බොත්තම එබූ පුද්ගලයා ලැයිස්තුවේ ඉහළින්ම සිටියි. මොහු සෑම විනාඩි දෙකකටම වරක් ඒ ගැන සිතා ඇත.

    තවත් කණ්ඩායමක් මෙම සමීක්ෂණය ම සිදු කර ඇත්තේ අහඹු අවස්ථාවන් වලදී තම ජංගම දුරකථනයට දත්ත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමෙන්.

    එහි දී ලැබුණු ප්‍රතිඵලයන් හි සාමාන්‍ය අගය වූයේ පුද්ගලයෙකු ලිංගික කාර්යය පිළිබඳව දිනකට හත් වතාවක් හිතන බවයි.

    නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.

    එම නිසා සෑම තත්පර හතකට ම වරක් ලිංගිකත්වය හා බැඳි සිතුවිල්ලක් පහළ වන බවට පැවසෙන වාර්තා බැහැර කළ හැකි වෙයි.

    එමෙන්ම, සත්‍ය වශයෙන්ම සිතිවිලි මැන බැලීමට නිවැරදි ක්‍රම වේදයක් නොමැති බවද ඉහත කී සමීක්ෂණ කණ්ඩායම් පවසති.

  • කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

    කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

    ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය.

    “අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා,” පිළියන්දල පදිංචි කාන්ති ජයවර්ධන සිය අත්දැකීම පැහැදිලි කරන අතරේ එසේ පැවසුවාය.

    “53 දී විතර මගේ ඔසප්වීම නතර වුණා. නමුත් මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වෙනදා වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියා. නමුත් මම දන්න බොහෝ දෙනෙකුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා” කිරිබත්ගොඩ පදිංචි රමණි නානායක්කාර සඳහන් කළාය.

    කාන්තාවකගේ ඔසප් වීම නතර වීම (ආර්තවහරණය) සහ තවදුරටත් ස්වභාවික ලෙස දරුවන් වැදීම කළ නොහැකි වීම ‘ආර්තවහරණය’ (Menopause) යනුවෙන් හැඳින්වේ.

    එය වයස්ගත වීමත් සමග කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කම්වලින් එකකි. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ.

    ශ්‍රී ලංකාව තුළ ආර්තවහරණය සිදුවන වයස දළ වශයෙන් 51ක් බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසීය.

    ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණය එකවර සිදු විය හැකි නමුත්, බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම ක්‍රමයෙන් අවම වී අවසානයේ දී නතර වීමය.

    ආර්තවහරණයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන ‘ඊස්ට්‍රජන්’ නිෂ්පාදනයේ අඩු වීමය

    බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් දස දෙනෙකුගෙන් ආර්තවහරණය ගැන විමසූ විට ඉන් හත්දෙනෙකු ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් බව පැවසූ අතර, තිදෙනෙක් කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බව පැවසූහ.

    වෙනත් හේතු

    වයස්ගතවීමට අමතරව ආර්තවහරණයට වෙනත් හේතු ඇති අතර, එබැවින් ඇතැම් කාන්තාවන් අදාළ වයස් සීමාවට පෙර ආර්තවහරණයට මුහුණ දෙන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    එයට පහත සඳහන් හේතු බලපෑ හැකිය:

    • ගර්භාෂ විච්ඡේදනය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සැත්කමකට මුහුණ දීම
    • ජානමය තත්ත්ව
    • ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වීම හෝ හානි වීම
    • ප්‍රතිශක්තිය අඩු වීම
    • පාරිසරික බලපෑම්

    මේ වෙනස සිදුවන්නේ ඇයි?

    මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන ‘ඊස්ට්‍රජන්’ නිෂ්පාදනයේ අඩු වීමය.

    වයස්ගතවීමත් සමග ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ නිපදවීම නතර වන බැවින් ඔසප් වීම සහ දරු පළ හටගැනීම නතර වේ.

    ඒ සමගම ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ද ක්‍රමයෙන් අඩු වෙයි.

    නමුත් මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවේ.

    මෙම වැදගත් හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, අවසානයේ දී එය සම්පූර්ණයෙන් නතර වේ.

    ඊස්ට්‍රජන් වැදගත් ඇයි?

    “ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණවලට බලපාන හෝමෝනයයි. දැරියක් කාන්තාවක් ලෙස විකසිත වෙන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වන්නේ ඩිම්බ කෝෂවලින්.”

    “ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා”

    දැරියක් වැඩි වියට පත් වීමෙන් පසු ඩිම්බ කෝෂ වර්ධනය වී ඊස්ට්‍රජන් ශරීරයට ඇතුළු වී ආර්තව චක්‍රයේ ආරම්භය සිදුවන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැහැදිලි කළේය.

    “ඉන් පසු මේ ඊස්ට්‍රජන්වල කාර්යය තමයි ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා.”

    “කාන්තා ශරීරයේ අනෙක් පද්ධතිවල සුමට ක්‍රියාකාරිත්වයටත් ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් වෙනවා. මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා,” වෛද්‍යවරයා පැවසුවේය.

    ආර්තවහරණයේ ලක්ෂණ කිහිපයක්

    • ඔසප් වීම අක්‍රමවත් වීම
    • අධික ලෙස දහදිය දැමීම.
    • ශරීර උෂ්ණත්වය දැඩි ලෙස දැනීම
    • ශරීරයේ යම් කොටස්වල දැවිල්ලක් ඇති වීම
    • ශරීරයේ බර වැඩිවීම
    • ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම
    • යෝනි මාර්ගයේ වියලි බවක් ඇතිවීම
    • නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
    • සම තුනී වීම
    • අලස ගතිය
    • ඉක්මනින් කේන්ති යෑම ඇතුළු මානසික ව්‍යාකූලතා
    • අත් පා හිරිවැටීම
    • සන්ධි සහ අස්ථි වේදනාකාරී වීම
    • අස්ථි දුර්වල වීම (osteoporosis)
    • හෝමෝනවල බලපෑම් නිසා වැඩිපුර හිසකෙස් හැලී යාම
    “මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා”

    “මට තරුණ කාලයේ දී ගර්භාෂයේ ගෙඩි හටගත්ත නිසා සැත්කමක් සිදු කරන්න වුණා. ඒක නිසා වයස 47 පහු වෙද්දීම ආර්තවහරණයට මුහුණ දෙන්න වුණා. මගේ මුළු ඇඟම රිදෙන්න ගත්තා. අත පය හිරිවැටෙන ගතියක් තිබුණා. උදේ නැගිටිනකොට දහදියෙන් තෙමිලා,” යැයි නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය.

    පවුල් ජීවිතය

    ඕනෑම කාන්තාවක් සිය දිවිගමනේ වැඩිහිටි වියට පත් වීමේ දී ආර්තවහරණයට මුහුණ දේ. මෙය තවත් එක් ස්වාභාවික සිද්ධියක් වුවත්, සමහර අවස්ථාවල දී ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ.

    “මට අවුරුදු 51 වෙනකොට පීරියඩ්ස් හැදෙන එක නතර වුණා. හැබැයි මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා. කිසිම කෙනෙක් නොරුස්සන ස්වභාවයක් ආවා. හැබැයි මට මේ වෙන්නේ මොකක්ද කියලා මට හෝ මගේ පවුලේ අයට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පවුල් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා,” වැලිවේරියේ පදිංචි ජයන්තා කුලසූරිය පැවසුවාය.

    බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාන්තාවන් දස දෙනාගෙන් හය දෙනෙකුට ආර්තවහරණය ගැන නිවැරදි අවබෝධයක් නොතිබිණි

    “මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා”

    එමෙන්ම, පුරුෂයන් බොහෝ දෙනෙකුට ද ආර්තවහරණය සිදු වන්නේ කෙසේ ද යැයි අදහසක් නොතිබිණි.

    ආර්තවහරණය යන්න තේරුම් ගෙන එම කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින්, කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවට නොයෙකුත් ගැටලු ඇති වීමේ තත්වයක් මෙම නොදැනුවත්කම නිසා ඇති වී තිබේ.

    “55දී මට මේ තත්වයට මුහුණ දෙන්න වුණා. සමහර වෙලාවට ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම දැඩි මානසික ආතතියක් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට ගෙදරින් එළියට දුවන්න වගේ හිතෙන හැගීමක් ආවා. අවසානයේ වෛද්‍යවරයෙක් හමුවෙලා මානසික ව්‍යාකූලතාවට බෙහෙත් ගත්තා,” එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක් වන මාලිනි විතාරණ පැවසුවාය.

    මේ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු පැවසුවේ සිය සැමියන්ට ආර්තවහරණය ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු නිසා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. නමුත් සිය සැමියා ද කැටුව වෛද්‍යවරයෙකු හමුවීමට යාමෙන් තත්වය පැහැදිලි කරගත් බව ඔවුහු පැවසූහ.

    ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ

    “මට වයස 48යි. දැන් පීරියඩ්ස් හැදෙන්නේම නැති තරම්. ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනවා වගේම ඉස්සර වගේ මනස එක දෙයකට යොමු කරගෙන ඉන්න අපහසු බවක් දැනෙනවා,” නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසුවාය.

    ආර්තවහරණයට ප්‍රතිකාර ගත යුතු ද?

    “ආර්තවහරණය කියන්නේ ලොකු ක්‍රියාවලියක එක් කොටසක් පමණයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියේ වෙනස්කම් මෙයට බලපාන මූලිකම කාරණයයි. මේ නිසා ශරීරයේ වෙනත් පද්ධතිවලට ඇතිවන බලපෑමට තමයි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ,” යැයි වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

    මින් වසර දහයකට පමණ පෙර ආර්තවහරණය හේතුවෙන් මතුවන සංකූලතාවලට ‘හෝමෝන නැවත තැන්පත් කිරීමේ (HRT)’ ක්‍රමයක් අනුගමනය කර තිබේ. සමහර කාන්තාවන් තරුණ බව රැකගැනීමේ ක්‍රමයක් ලෙස ද මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී තිබිණි.

    නමුත්, වෛද්‍ය විද්‍යාවේ නවතම සොයාගැනීම් අනුව, HRT ක්‍රමය දීර්ඝ කාලයක් අනුගමනය කිරීම තුළින් හදවත් රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී.

    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

    මේ හේතුවෙන්, වර්තමානයේ දී ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට සිදු කරන පළමු ප්‍රතිකර්මය HRT නොවන අතර, සිය ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටීමට හැකි බව වෛද්‍යවරයා පැවසුවේය.

    ජීවන රටාවේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

    • තමන් දිවිගෙවන පරිසරය ප්‍රියජනක ලෙස සකසා ගැනීම
    • පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම
    • ව්‍යායාමවල නිරත වීම
    • මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එළිමහනේ ව්‍යායාමවල නිරත වීම
    • තමන් දිවිගෙවන නිවසේ වාතාශ්‍රය වැඩිකර ගැනීම
    • කෝපි වැනි ‘කැෆේන්’ අඩංගු පාන වර්ග අවම කිරීම
    • උණුසුම් දියර වර්ග පානය කිරීම අවම කිරීම
    • මත්පැන්, දුම්වැටි භාවිතය අවම කිරීම
    • ශරීරය සිසිල් වීම සහ වාතාශ්‍රය ලැබීම සඳහා එළිමහන් ක්‍රියාකාරකම්වල වැඩිපුර නිරත වීම

    ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබාගත හැකි විවිධ පෙතිවර්ග සහ හෝමෝන වඩවන ශාකවර්ග ද ආහාරයට ගත හැකි බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටිය හැකිය

    “නමුත් තමන්ට දැනෙන සියලු අපහසුතා ආර්තවහරණය නිසා සිදුවන බව නොසිතා ශරීරයේ වෙනත් පද්ධතිවල ඇති වෙනස්කම් ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. උදාහරණයක් ලෙස, තයිරොක්සීන් වැඩි කෙනෙක්ට වැඩිපුර දහදිය දමන ගතියක් එන්න පුළුවන්.”

    “මේ ක්‍රමවලට අමතරව, මාස තුනකට හෝ හයකට තාවකාලිකව ශරීරයට අවශ්‍ය හෝමෝන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන අත්‍යවශ්‍ය අවස්ථාවල දී තමන්ට තිබෙන අවදානම තේරුම් අරගෙන එය ලබා ගත්තාට කමක් නැහැ,” වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

    මෙම සම්පූර්ණ ලිපියම BBC සන්දේශය අන්තර්ජාල අඩිවයේ 2019 ජූලි 26 වැනි දින පළ වූ ලිපියක් බව සලකන්න. සිංහල භාෂීය පාඨක කාන්තාවන්ගේ හා තරුණියන්ගේ සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා මෙම ලිපිය උපුටා ගෙන lankaepress හි පළ කිරීමට තීරණය කළෙමු. ප‍්‍රධාන සංස්කාරක

  • පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11.00 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කළ බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙදින සිදුවන බව මහලේකම්වරයා පැවැසුවේය.

    පාර්ලිමේන්තුව මාර්තු 09 වැනි දින ප.ව 3.30ට කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරනු ලබන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳව ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගනු ඇත. එම විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

    මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

    ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය.

    මාර්තු 12 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් නොවේ

  • ‘සනත් ජයසූරියට Covid එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් ගෙදර යවයි

    ‘සනත් ජයසූරියට Covid එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් ගෙදර යවයි

    ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (3) සිට එම තනතුරින් ඉවත් කර එම තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත.

    ලේකම්වරයා මේ ආකාරයෙන් හදිසියේ ඉවත් කිරීමට හේතු වශයෙන් සඳහන් වන්නේ සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම බවයි වාර්තා වන්නේ.

    ඊයේ (03) මාධ්‍ය හමුවකදී ද මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. එහිදී වත්මන් රජයට බලයට පත් කිරීමට දැඩි වෙහෙසක් දැරූ බලවත් භික්ෂුවක වන අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදාළ සිදුවීම හා අමාත්‍යාංශ ලේකම්වරයා දැඩිව විවේචනය කළා.

    හිමියෝ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට අවුල්ජාලාවක් වී ඇති බවයි.

    මේ අතර බී.බී.සී සන්දේශය අන්තර්ජාල අඩවිය ද වත්මන් කොවිඞ් එන්නත්කරණ වැඩසටහනේ අවුල් සහගත තත්ත්වය ගැන අද (4) විශේෂ වාර්තාවක් පළ කළා. එහි සඳහන් වුණේ VIPලාට කොවිඞ් එන්නත ලබා දෙන බවයි.

  • අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී අර්වින් ලුවිස් දවා ගත් අකිල ඊළඟ පන්දුවේදී ක්‍රිස් ගේල්වද තෙවැනි පන්දුවේදී කොදෙව් පිලේ උප නායක නිකොලොස් පූරාන්වද දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

    ඒ අනුව මෙය විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු සිව්වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය. අකිලට ප්‍රථම ලසිත් මාලිංග අවස්ථා 2 කදී සහ තිසර පෙරේරා එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව දවාගැනීමට සමත්ව සිටිති. ලොව විස්සයි-20 තරග අංශය යටතේ කඩුලු ත්‍රිත්වයක් වාර්තාවුණු 14 වැනි වතාව ලෙසින් අකිලගේ දක්ෂාතව සටහන් විය.

  • කොවිඩ් එන්නත්කරණය අයාලේ –  VIPලාට වැඩි සැලකිලි – ඇත්ත කතාව දැන ගන්න

    කොවිඩ් එන්නත්කරණය අයාලේ – VIPලාට වැඩි සැලකිලි – ඇත්ත කතාව දැන ගන්න

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන ‘සැලැස්මකට’ අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් චෝදනා එල්ල වන ආකාරය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පෙනෙන්නට විය.

    එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායිහි ‘සීරම් ඉන්ස්ටිටියුට්’ ආයතනය නිෂ්පාදනය කර තිබෙන අතර, එයින් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ද ලැබිණි. තවත් එන්නත් තොගයක් පෙබරවාරි මස ගෙන්වීය.

    නමුත් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ගැන රජයේ නිවේදන විටින් විට වෙනස් වී ඇති අතර, සමහර ස්ථානවල සිදුවූ අක්‍රමිකතාවලට එරෙහිව විරෝධතා ද පැවැත්විණි.

    නාරාහේන්පිට ප්‍රදේශයේ එන්නත් ලබා දීමේ අවස්ථාවක දී එය නිසි සැලැස්මකට අනුව සිදු නොවන බව එම මධ්‍යස්ථානයේ රැස්ව සිටි පිරිස චෝදනා කළ අතර, එහි නොසන්සුන්තාවක් ද ඇතිවිය.

    “මම එළවළු ගන්න පිටකොටුවට ගියා. ඒ හරියේ එන්නත් දෙන මධ්‍යස්ථානයක් තිබුණා. ඒ සෙනඟ පෝලිමට මමත් එකතුවෙලා ගිහින් එන්නත විදගත්තා. නැත්නම් පිළිවෙලකට ඕක හැමෝටම ලැබෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ,” 75 හැවිදිරි පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. සිය නම හෙළිනොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

    ජනවාරි මස එන්නත ශ්‍රී ලංකාවට ලැබුණු විට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත ලබා දීමට ක්‍රියා කරන බවය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොළඹ: එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට පෝලිමේ සිටින පුද්ගලයන්

    එය එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු නිවේදනය විණි.

    ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ජනවාරි 29 වෙනි දින ආරම්භ විය.

    නමුත්, කෙටි කාලයක් ඇතුළත දේශපාලනඥයන්, ක්‍රීඩකයන් ඇතුළු විවිධ පුද්ගලයන් එන්නත ලබා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යජාලවල සංසරණය විය.

    මින්පසු පෙබරවාරි මස සෞඛ්‍ය අමාත්‍යාංශය නැවතත් පැවසුවේ, වයස 30ත් 60ත් අතර සියලුම පුද්ගලයන්ට එන්නත ලබා දෙන බවය. නමුත් එය 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත ලබා දෙන බව නැවතත් නිවේදනය කළේය.

    ‘VIP සෙන්ටර්’

    මේ අතර, කොළඹ ස්ථාන කීපයක ප්‍රභූන් (VIP) සඳහා වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන තොරතුරු ද බීබීසී සිංහල සේවයට ලැබිණි.

    “මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා.”

    “මේක ඇත්තටම ලොකු අසාධාරණයක්,” යැයි ‘ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක’ සේවය කරන හෙදියක පැවසුවාය. ඇය ද සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.

    දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක දී පැවසීය.

    ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වන නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව එම සංගමය පැවසීය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කරන ස්ථානයක්

    එන්නත්කරණය ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

    “හැටට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදෙනවා ආණ්ඩුව මුලින් කිව්වා. ඊට ටික කාලයකට පස්සේ 30-60ත් අතර අයටයි එන්නත දෙන්නේ කියලා පුවතක් ගියා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ කීපදෙනෙකුට එන්නත දුන්නා. හැබැයි මේ අස්සේ වරායේ, මහජන පුස්තකාලයේ VIP මධ්‍යස්ථාන පිහිටුවලා දේශපාලඥයන් සහ හිතවතුන්ට එන්නත ලබා දෙනවා.

    මහජන පුස්තකාලයේ, වරායේ සේවකයන් අපිට කතා කරලා කියනවා ඔවුන්ට එන්නත ලැබෙන්නේ නැහැ, හැබැයි VIP අයට ලැබෙනවා කියලා.

    සමාජයෙන් එන විරෝධය වළක්වා ගන්න කොළඹ, මට්ටක්කුලිය, ගම්පහ, නාරාහෙන්පිට වගේ ප්‍රදේශවල එන්නත් දීගෙන යනවා. නමුත් පිළිවෙලකට ලිස්ට් එකකට නෙමෙයි. සෑහෙන දෙනෙක් හොර පාරෙන් එන්නත විදගන්නවා.

    කොරෝනා පාලනය කරන්න නම් එන්නත් ලක්ෂ 140ක් ලංකාවට අවශ්‍ය වෙනවා. ඒ වගේම, නිසි ක්‍රියාදාමයකට එන්නත්කරණය සිදු කළ යුතු වෙනවා,” මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    ‘දරුවන්ට නැහැ, ඒත් ගත්තා’

    කිරිබත්ගොඩ පදිංචි 28 හැවිදිරි කාන්තාවක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, දරුවන්ට එන්නත ලබා දීමට රජයෙන් තවමත් වැඩපිළිවෙලක් නොමැති නමුත් තමන් මෙන්ම දෙහැවිදිරි දරුවා ද එන්නත ලබා ගත් බවය.

    “මම දන්නවා මේක වැරැද්දක් කියලා. නමුත් මම අසනීපවලින් පෙළෙන කෙනෙක්. මගේ එකම දරුවා ගැන තිබුණේ ලොකු බයක්. ඉතින් මම දන්න කෙනෙකු හරහා කොහොමහරි වැක්සීන් ගත්තා.

    වැක්සීන් දෙන පැහැදිලි ක්‍රමවේදයක් ගැන ආණ්ඩුවෙන් කියන්නේ නැහැ. එක එක දවසට හිතුන දේවල් කියනවා මාධ්‍ය හරහා. අපි කොහොම ද මේ රට ගැන විශ්වාසයක් තියෙන්නේ.

    දේශපාලඥයෝ සියල්ල ඩැහැගෙන ගියාම, අපි වගේ මිනිස්සුන්ට අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරමයි. දියුණු රටවල වගේ වයසක සහ අසනීප අයට පිළිවෙලට වැක්සීන් එක දුන්නා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැහැ. නමුත් දේශපාලඥයන්ගේ ලැයිස්තු ටික කවර් කරන්න ඕන නිසා වැඩසටහන හිතේ හැටියට අවුල් කරලා,” ඇය තවදුරටත් පැවසුවාය.

    මෙසේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙය ඇතැම් හුදෙකලා සිද්ධි මත පදනම් වූ ප්‍රකාශ විය හැකි බවය.

    “මට කියන්න පුළුවන් මම ගැන. මම එන්නත ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන අවස්ථාවේදී. ඒත් මගේ පවුලේ කිසිකෙනෙකුට එය ලබාදීලා නෑ. ඒ වාරය එනකන් ඒ අය ඉන්නවා ඔය කියන දේ isolated incidents, තනිවේච්ච එක සිදුවීමක් හෝ දෙකක් අරගෙන generalise (සාමාන්‍යකරණය) කරන්න යනවද දන්නේ නෑ” යැයි අමාත්‍යවරයා කීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, “එන්නත් කරණය දේශපාලනිකරණය වෙලා කියලා නොයෙකුත් අය චෝදනා නගනවා අපි දක්කා. ක්‍රීඩකයෙකුත් එන්නත්කරණය කළා කියලා චෝදනා කළා. ලෝකයේ අපි දැක්ක විවිධ ප්‍රසිද්ධ චරිත මේ එන්නත භාවිතය කිරීමට සුදුසුයි කියන එක කියන්න නැතිනම් මිනිස්සු බය වෙන එක නැති කරන්න එන්නත් කරනගෙන පෙන්නලා තියෙනවා.” යනුවෙනි.

    ‘අවුරුදු තිහට වැඩි හැමෝටම’

    පෙබරවාරි 24 වෙනි දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ වයස අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

    Vaccine rollout in Sri Lanka

    එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහායද ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

    “අපි තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්න. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමඟ සම්බන්ධවෙලා සෑම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් තිහට වැඩි අය හඳුනාගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කර තිබෙනවා. සල්ලි තිබුණත් අද එන්නත මිලදී ගැනීමේ ලොකු තරගකාරීත්වයක් ඇතිවී තිබෙනවා,” අමාත්‍යවරිය පැවසුවාය.

    විවිධ කණ්ඩායම් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්ව උද්ගත වූ නමුත්, මේ වන විට එය වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට ද ලබාදීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය.

    එන්නත්කරණය සිදු වන්නේ කෙසේද?

    එන්නත ලබා ගැනීමෙන් පසු කාඩ්පතක් ලැබෙන අතර, එය සුරැකිව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දෙවෙනි එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේදී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් ද මෙම කාඩ්පත අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත ලබා ගැනීමෙන් පසු ලැබෙන කාඩ්පත

    මෙම එන්නතත ලබා ගැනීමෙන් පසු මද උණ ගතියක්, ශරීරයේ වේදනාව වැනි සුළු සංකූලතා ඇති විය හැකිය. මේ හේතුවෙන්, ආසාත්මිකතා ඇති පුද්ගලයින් එන්නත ලබාගැනීමෙන් පසු අදාළ මධ්‍යස්ථානය තුළ පැය භාගයක කාලයක් රඳවා තබාගෙන නිරීක්ෂණය කරන ලෙසට සෞඛ්‍ය අංශවලට උපදෙස් ලැබී තිබේ.

    එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය.

    “පුද්ගලයෙකුට මෙම එන්නතෙන් මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති හතරකට පසු දෙවෙනි මාත්‍රාව ලබාදෙනවා,” වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

    Vaccine rollout in Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය

    එන්නත වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට, ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ දැඩි ආසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්ට ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාව සලකා බැලීමෙන් පසුවයි සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එන්නත ලබා දෙන්නේ.

    එන්නත ලබාදීමට පෙර ආසාදිතයෙක්ද යන්න පරීක්ෂා කිරීමක් සිදුකරන්නේ නැහැ. රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත්කරණය සඳහා බාධාවක් නෙමෙයි. මෙම එන්නත්කරණය සෞඛ්‍ය අංශ විසින් ඉතාම සද්භාවයෙන් යුතුව විද්‍යානුකූලව සිදුකරන දෙයක්,” වෛද්‍යවරයා පැවසීය.

    බී.බී.සී. සන්දේශය වාර්තාවකි – වඩාත් වැඩි පුළුල් මහජන අවධානයක් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ප‍්‍රධාන සංස්කාරක

  • ප්ලාස්ටික් ආනයනය – භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

    ප්ලාස්ටික් ආනයනය – භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය  කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර් ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර් තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන 08ක් කමිටුව හමුවට කැඳවා තිබේ.

    මාර් තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර මාර්තු 24 වන දින නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මාර්තු 26 වන දින විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යි.

    අප්‍රේල් 06 වන දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කෝප් කමිටුවට කැඳවා ඇති අතර අප්‍රේල් 07 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතය. අප්‍රේල් 20 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර් ශනය කරනු ඇත.

     මෙයට අමතරව අප්‍රේල් 21 සහ 23 යන දින වලදී පිළිවෙලින් මහජන බැංකුව සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව තිබේ

  • WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

    WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

    කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේබව සදහන් කලේ හලාවත මහ රෝහලෙහි පැවැති උත්සවයකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කළේ ලංකාව ඇතුලුව ගෝලීය වශයෙන් කොවිඩ් පැතිරයාමේ යම් අඩුවීමක් පවතින බවත් ලෝකයේ එන්නත්කරණය ආරම්භ කල පලමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේවන විට ලෝකය පුරා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඉන් 75%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබාදීමට නොහැකිව සිටින බව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

    ලංකාවේ එන්නත්කරණය ආරම්භ කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එතුමාගේ සුවිශේෂී මැදිහත්වීම මත ජනවාරි මාසයේදී එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

  • කල්දෙරම් බත්වල රස බලන ‘ප්‍රංශයේ හිටපු ජනපති’

    කල්දෙරම් බත්වල රස බලන ‘ප්‍රංශයේ හිටපු ජනපති’

    ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය.

    බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත.

    ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට පත්වීමෙන් අනතුරුව 2014දී විනිසකරුවකුට අල්ලස් දීමට තැත් කිරීමක් සම්බන්ධයෙනි. වෙනත් නඩුවකට අදාළ තොරතුරු ලබාදීමට හිලව් වශයෙන් එම විනිසකරුට කීර්තිය සහ ප්‍රතිලාභ සහිත රැකියාවක් සහතික කිරීමට තමාට හැකිබව සර්කෝෂි පවසා ඇත.

    මෙම නඩුවේ දී සර්කෝෂිට අමතරව තවත් චූදිතයන් දෙදෙනෙක් වූහ. ඉන් එක් තැනැත්තෙක් ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) වූ අතර දෙවැන්නා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) ය. ඔවුන් තිදෙනාම අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරුවන් ලෙස තීන්දුකරනු ලැබුණි.

    මෙම නඩුව කේන්ද්‍රගත වූයේ සර්කෝෂි සහ හර්ෂොග් අතර 2014 වසරේ සිදුව ඇති දුරකථන සංවාදයක් පදනම් කරගෙනය. ප්‍රංශ පොලිසිය විසින් එම දුරකථන සංවාදය රහසින් පටිගත කරනු ලැබ තිබුණි.

    එම අවධිය වන විට ප්‍රංශ රහස් පරීක්ෂකයෝ සර්කෝෂිට අදාළ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටියහ. සර්කෝෂි 2017 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවධියේ ‘L’Oreal’ නම් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියන් බෙටන්කෝට් ගෙන් (Liliane Bettencourt) නීතිවිරෝධී මට්ටමින් මුදල් ලබාගත් බව එම චෝදනා මගින් කියැවුණි.

    එම පරීක්ෂණවල තොරතුරු ලබාදෙන්නේනම්, ඊට හිලව් වශයෙන් විනිසුරු අශිබර්ට් සඳහා ‘මොනාකෝ’හි කීර්තිමත් මෙන්ම මූල්‍ය ප්‍රතිලාභ සහිත රැකියාවක් ලබාදීමට කටයුතු කරන බවට සර්කෝෂි සහ හර්ෂොග් කතාකරගත් බව අධිකරණයට ඒත්තු ගැන්වීමට නඩුවේ පැමිණිලි පාර්ශ්වය සමත් විය.

    සර්කෝෂි
    ප්‍රංශ පොලිසිය විසින් සර්කෝෂි 2014 වසරේ තාවකාලිකව රඳවාගත් අවස්ථාව

    බී.බී.සී. සන්දේශය

    හිටපු ජනාධිපතිවරයා සිය නීතිවේදී හර්ෂොග් අමතමින් කළ ප්‍රකාශය ප්‍රංශ මාධ්‍ය විසින් වාර්තාකරණ ලද්දේ මෙපරිද්දෙනි.

    ”මම ඔහුට උසස්වීමක් ලබා දෙනවා. මම ඔහුට උදව් කරනවා”

    සර්කෝෂි හැරුනුවිට සෙසු චූදිතයන් දෙදෙනාට ද අධිකරණය විසින් වසර තුන බැගින් සිරදඬුවම් නියමකරන ලද නමුත් එම දඬුවම් අත්හිටවනු ලැබුණි.

    එම නඩු තීන්දුවට එරෙහිව සිය සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත්කරනු ඇතැයි සර්කෝෂිගේ නීතිවේදියා පවසයි. එහෙත් එම අභියාචනය ප්‍රතික්‍ෂේප කෙරුණහොත් හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරගත නොකරමින් ඔහුගේ එක් පාදයක විද්‍යුත් බලය සහිත වළල්ලක් සවිකොට නිවාස අඩස්සියේ තබනු ඇත. එම විද්‍යුත් වළල්ල මගින් ප්‍රංශ පොලිසියට ඔහු සිටින ස්ථානය සහ නිවසින් පිටවුවහොත් එම ගමන්බිමන් සියල්ල අධීක්‍ෂණය කළ හැකිය.ෙ

    සර්කෝෂි ගේ බිරිඳ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni), සිය සැමියාට එරෙහි නඩු තීන්දුව බැහැර කරන්නීය. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඇය මෙසේ ප්‍රකාශ කළාය.

    ”මෙය තේරුමක් නැති පීඩා කිරීමක්. අපේ සටන නතරවෙන්නේ නැහැ. අන්තිමේ දී සත්‍යය ජයගනීවී”

    සර්කෝෂි ප්‍රංශයේ අධිකරණ ක්‍ෂේත්‍රයට ආගන්තුකයෙන් නොවේ. ජනාධිපති පදවිය අහිමිව යාමෙන් පසු නඩුකර ගණනාවකට මාතෘකාවක් විය. එය දුසිම් භාගයක් තරම් නඩු සංඛ්‍යාවකි. එහෙත් මෙම නඩු තීන්දුව තෙක් ඔහුගේ වාර්තාව පිරිසිදු තත්ත්වයක පැවතුණි. මඩ ගෑවුණු තැන් රාශියක් ඇති නමුත් ඔහු ඒ කිසිවක සිරනොවීමට මෙතෙක් සමත්ව සිටියේය. .

    එහෙත් ප්‍රංශයේ අධිකරණ මන්දිරයේ (Palais de Justice-Palace of Justice) විනිසුරු ක්‍රිස්තීන් මී (Judge Christine Mée)සිය නඩු තීන්දුව මගින් එකී සියල්ල වෙනස් කළාය.

    විනිසුරුවරිය ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කිසිවකුට සැඟවිය නොහැකි බව දැක්වෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළාය. සර්කෝෂි, ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) යන තිදෙනාම ඔවුන් සිදුකරමින් සිටි දෙය කුමක්ද යන්න පැහැදිළිව දැනසිට ඇතැයි විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

    චූදිතයන් ඔවුන්ගේ වෘත්තීය ලාභය සඳහා රහස්‍ය තොරතුරු විකුණමින් කටයුතු කරමින් ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය එය ඕනෑම මට්ටමක අර්ථ විග්‍රහයක් අනුව ”දූෂණ අපරාධයක්” බවත් සඳහන් කළාය.

    මෙය මෙම ක්‍රියාදාමයේ අවසානය නොවනු ඇත. සර්කෝෂිගේ අභියාචනය පිළිගනු ලැබුවහොත් එය තවත් වසර ගණනාවක් දිග්ගැස්සෙන නඩු විභාගයකි. ඔහුගේ නීතිවේදී මඩුල්ල මෙය සාවද්‍ය චෝදනා අනුව ගොනු කරන ලද නඩුවක් යැයි තර්ක කරනු ඇත. මිනිසකු ඔහුගේ නීතිවේදියා සමඟ සිදුකළ රහස්‍ය දුරකථන සංවාදයකට රහසින් සවන්දී නිර්මාණය කරන ලද දුර්වල නඩුකරයකැයි විත්තියේ නීතිවේදීහු තර්ක කරනු ඇත.

    එහෙත් මේවනවිට, ප්‍රංශයේ හිටපු ජනාධිපති සර්කෝෂි පසුගිය සඳුදා (මාර්තු 01) පටන් වෙනත් රූපකායකි. දැන් ඔහු වැරදිකරුවකු ලෙස අධිකරණය විසින් තීන්දුකරනු ලැබ ඇත.

    සර්කෝෂි කාර්ලා බ්රුනි සමග
    පළමු කසාදයෙන් දික්කසාද වී ඉතාලි ජාතික කාර්ලා බෘනි (Carla Bruni)සමඟ විවාහවීමෙන් පසු සර්කෝෂි මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් විය.

    බී.බී.සී වාර්තාවකි

  • ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

    ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

    ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති.

    අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

    සාමාන්‍යයෙන් එච්අයිවී ශරීරගතව ඇති පුද්ගලයින්ගෙන් 1% ට අඩු පිරිසකට මෙම හැකියාව ලැබී ඇත.

    මෙය, ඒඩ්ස් රෝග කාරක වෛරසය කරගැනීම සඳහා අලුත් ප්‍රතිකාර හෝ එන්නතක් නිර්මාණය කිරීමේ ඉදිරි පර්යේෂණවලට පිටිවහලක් සපයන බව පර්යේෂකයෝ පවසති.

    “අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත මුලින් දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා,” යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    “මෙහි තේරුම, මෙය සැබවින්ම අපට සුව කළ හැක්කක් යන්නයි,” ඇය කීවාය.

    ‘ලාන්සෙට්’ නම් වෛද්‍යමය සඟරා පවුලේ ම කොටසක් වන ‘ඊබයෝමෙඩිසින්’ (eBioMedicine) හි පළකරන ලද තොරතුරු අනුව, 1987 සහ 2019 අතර කාලය තුළ එච්අයිවී සමග දිවි ගෙවූ පුද්ගලයන්ගෙන් ගන්නා ලද නියැදි පරීක්ෂාවට ලක් කර තිබිණි.

    ඇබට් (Abbott) නම් වූ ඖෂධ සමාගම, කොංගෝ හි Université Protestante au Congo විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය මෙන්ම ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ පිහිටි මිසූරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුළත් වූහ.

    අචාර්ය මේරි රොජර්ස්
    ආචාර්ය මේරි රොජර්ස්

    ඇබට් සමාගමේ ගෝලීය වෛරස ආවේක්ෂණ වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය රොජර්ස් පැවසූ පරිදි, කොංගෝ ජනරජයෙන් හමුවී තිබෙන 2.7% ක් සහ 4.3% ක් අතර පුද්ගලයින් ප්‍රමාණය එක් රටක් තුළින් හමුවූ විශාලතම ජන කණ්ඩායම වේ. තවත් එච්අයිවී සහිත 1% ක පිරිසක් කැමරූන් හි හමුවී ඇති අතර ඔවුන් ද ඖෂධ භාවිතයකින් තොරව වෛරසය ඉතා හොඳින් පාලනය කරගෙන ඇති බව හඳුනාගෙන තිබේ.

    “සාමාන්‍යයෙන් එච්අයිවී සමග ජීවත්වන සියලු ජනතාව අතරින් 1% ට අඩු ප්‍රමාණයකට ස්වභාවිකව ම වෛරසය මැඩ පවත්වාගන්න හැකියි, ඒත් මේක කවදාවත් අප දැක තිබුණේ නැහැ.”

    Waiting For An HIV Diagnosis In The Democratic Republic Of The Congo

    මේ වනවිට, එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් හට වෛරසය මැඩපැවැත්වීම සඳහා මෙන්ම වෛරස ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ප්‍රති වෛරස ඖෂධ දෛනිකව භාවිත කිරීමට සිදුවී තිබේ.

    ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් හමුවූ “ඉහළ තලයේ පාලකයින්” ලෙස නම් කෙරී ඇති මෙම පිරිසට සිය එච්අයිවී ආසාදනය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න තවමත් නොදනී.

    මෙම කණ්ඩායමට, අඩු නොඑසේනම් හඳුනාගත නොහැකි තරමේ වෛරස ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම වෛරසය පාලනය සඳහා ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය රොජර්ස් සඳහන් කළාය.

    කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව ඇය අවධාරණය කළේ, රෝගය වැඩි වර්ධනය වෙද්දී මෙම ජනතාවගේ ආරක්ෂාව අඩු වී යාමේ විභවතාවක් ඇති බව මීට පෙර කළ අධ්‍යයන මගින් කෙරුණු අනාවරණයන් ද පෙන්වා දෙමිනි.

    එච්අයිවී මුලින්ම ලෝක අවධානයට ලක්වූයේ 1980 ගණන්වලදී ය. එතැන් සිට මේ දක්වා මිලියන 76 ක පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට මිලියන 38 ක පිරිසක් වෛරසය ශරීරගතව දිවි ගෙවන බව ඇබට් සමාගම පවසයි.

    දැන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ලෙස හැඳින්වෙන භූමිය තුළ, මින් සියවසකට ඉහතදී එය පැන නගින්නට ඇති බව විශ්වාස කෙරෙන අතර අද වනවිට උප සහරානු අප්‍රිකාව තුළ කාන්තාවන්ට විෂම ලෙස එච්අයිවී බලපා තිබේ.

    Text by bbc sandesaya

  • ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද  සීඝ්‍ර ලෙස පැතිරෙයි

    ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද සීඝ්‍ර ලෙස පැතිරෙයි

    උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් ඇති වන සමේ රෝගයක් ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසයි.

    Atypical extensive tinea corporis caused by Trichophyton tonsurans -  International Journal of Infectious Diseases

    Tinea corporis යනු අත් සහ පාද, හිස්කබල, මුහුණ හැර ශරීරයේ ඕනෑම කොටසකට බලපාන සමේ මතුපිට දිලීර ආසාදනයකි

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හේමා වීරකෝන් මහත්මිය මෙසේද පැවසීය.

    “දිලීර රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්‍රාව, නියමිත කාලය තුළ ලබාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. යම් හෙයකින් නියමිත මාත්‍රාවට, නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලීර රෝගය සුව නොවීමට පුළුවන්. නිසි කළට නිසි ලෙස ප්‍රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවනවා.

    මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකියි. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව ඇතිවේ. එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලීර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුළ භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරවීම අවම කිරීමට දායක විය හැකියි.

    මේ වනවිට ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතී. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රජාව විසින් වෛද්‍ය අවවාදවලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි.
    බොහෝ විට රෝගීන් තම හිතූ මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල්වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එමගින් දිලීර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිර යමින් පවතී. දිලීර රෝග සදහා නියමිත දිලීර නාශක ඖෂධය සති 06කට ආසන්න කාලයක් භාවිතා කළ යුතුයි.

    අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මාසයකට ආසන්න කාලයක දී මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්‍රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි. තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්‍රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුටම දිලීරය ආසාදනය වි තිබූ අවස්ථාද බහුලයි.” යනුවෙනි.

    මෙම පුවත ගැන වඩාත් පුළුල් අවධානයක් අවශ්‍ය හෙයින් lankatruth.com ඇසුරින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක