Tag: featured

  • වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

    වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

    මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.

    හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ.

    සෙසු සාමාජිකයන් වන්නේ,

    • ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් –  එස්.ඩි.ඒ.බී. බොරලැස්ස මහතා,
    • විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් –  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා,
    • අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – සුරේෂ් ද මෙල් මහතා,
    • රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – සී. වැලිගමගේ මහත්මිය
    • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ – ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා,
    • සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා,
    • ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා,
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ මහතා,
    • සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – 
      රංජිත් ගුණතිලක මහතා,
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා –  රේණුකා වීරකෝන් මහත්මිය
    • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික -ජෙරාඩ් ඔන්ඩට්ච්චි මහතා,
    • නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, අධ්‍යක්ෂ (විධායක නොවන) – අර්ජුන් ප්‍රනාන්දු මහතා
    • සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය –  එස්.පී. ලියනාරච්චි මහතා,
    • ම්ලෙස්නා තේ, කළමනාකරණ අධ්‍යක්ෂ – ඇන්සලම් පෙරේරා මහතා
    • කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී –  නිශ්ශංක විජේරත්න මහතා
    • තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සභාපති, අධ්‍යක්ෂ ජනරාල්  – චන්ද්‍රා වික්‍රමසිංහ මහතා

    කොමිෂමට පැවරී ඇති කාර්යභාරය :

    • ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාලව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම,
    • විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම,
    • වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම,
    • දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා  අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම,
    • දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම,
    • ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කෙට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම,

    මේ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂමට දින 90ක කාලයක් ලබා දී ඇත. සිය කාර්ය භාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස්  දීමේ බලය කොමිෂම සතු වේ.

  • කෘෂිකර්මාන්තයට වළ කපන ‘සුපිරි මාෆියා පහක් ගැන’ ඇමති මහින්දානන්ද කළ හෙළිදරව්ව

    කෘෂිකර්මාන්තයට වළ කපන ‘සුපිරි මාෆියා පහක් ගැන’ ඇමති මහින්දානන්ද කළ හෙළිදරව්ව

    ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පසුගිය 04 වැනිදා බතලේගොඩ වී පර්යේණ ආයතනයේ පැවති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවේදීය.

    වසර ගණනක් සිදුනොවුණු නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කරන දීපව්‍යාප්ත පුහුණු වැඩමුළු මාලාව ස්ථාන 05කදී පසුගිය 04 වැනිදා ආරම්භ විය.

    බතලේගොඩ , අඟුණුකොළපැළැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම, බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වලදී පුහුණු වැඩමුළු ආරම්භ කෙරිණි.

    එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන්  250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි 1000ක් පළමු අදියර යටතේ පුහුණු කෙරේ. ගොවිජන සේවා නිලධාරීන් 600ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000ක් තවත් අදියර ‍දෙකකින් මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එක් කණ්ඩායමකට දින 25ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    නවීන තාක්ෂණය යොදා ගෙන  ගොඩවගාව, වී වගාව, පළතුරු වගාව ඇතුළු වගා ක්‍රම, නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ.

    මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්‍රමුඛ අරමුණයි.

    පුහුණු වැඩමුළුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සදහන් කළේය. 

    “ සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අරමුණ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් හදලා ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම. 40% ක් සෘජුව මෙරට කෘෂිකර්මයේ නිරතවෙනවා. 30%ක් වක්‍රව කෘෂිකර්මයේ නිරතවෙනවා. කොවිඩ් තත්ත්වය එක්ක අද රටේ සෘජුව හා වක්‍රව 75%ක් කෘෂිකර්මයේ නිරතබව වාර්තා වෙනවා. ඒ නිසයි තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වෙලා තියෙන්නේ.

    මෙරටට කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ එංගලන්තයට සමාන මට්ටමේ තියෙනවා. ඒත් ගොවියා තාමත් ඉන්නේ වසර 100ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ. දැනුම තාක්ෂණය ගමට යන්නේ නෑ. කෘෂිකර්ම උපදේශකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඩක් නැහැ. කෘෂිකර්ම උපදේශක, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතුවෙලා වැඩකරන්නේ නෑ. ගොවියාට දැනුම යන්නේ නෑ. ඒ නිසා අපි මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, අනෙකුත් ආයතන සියල්ලඑකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවසන්. මේ පුහුණුවෙන් කරන්නෙත් ඒක.

    මේ රටේ කෘෂිකර්මය ඇතුලේ මාෆියාවන් 05ක් ක්‍රියාත්මක වෙනවා. කිරි ගෙන්වීමේදී නවසීලන්තයේ දෙවැනි ගැනුම්කරුවා ලංකාව. කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර ආනයනයේදී කොමිස් ලැබෙනවා වැඩියි. රටේ බීජවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා තාමත්. 100% ක් වියළි මිරිස් ගේන්නේ පිටරටින්. ඒ තුළින් කොමිස් වැඩි නිසා නිෂ්පාදනයට වඩා ආනයනයට ගොඩක් අය කැමතියි.

    යූරියා භාවිතය වැඩි වෙලා නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා. මාසයකට ඇස් නොපෙනෙන දරුවෝ 30ක් උපදිනවා කියලා වෛද්‍යවරු කියනවා. වකුගඩු , පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. ඒත් රසායනික පොහොර ගෙන්වනවා.

    පසුගිය වසරේ පරීක්ෂණාගාර වාර්තා 55ක් වෙනස්කරලා බිලියන 1.5ක් බාල පොහොර ගෙන්වලා තියෙනවා. ඒක විගණකාධිපති වාර්තාවෙන් හෙලිවෙලා තියෙනවා. ඊට සම්බන්ධ 7ක්ම මම ගෙදර යැව්වා ඒ වාර්තා වෙනස් කරපු. හිටපු පොහොර සභාපතිට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

    වසවිස කන්න දීලා දැන දැන මිනිස්සු මරනණ රටක් වෙලා මේක. ඒ නිසා මේ වසරේ පොහොර දෙන්නේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි. ඒ සඳහා පස් පරීක්ෂා කිරීමේ කට්ටල සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම ගොවියෙකුටම තමන්ගේ ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්තාව අපි දෙනවා.

    දෙන්න පුළුවන් සියලු දැනුම, පහසුකම්, ප්‍රතිපාදන දෙනවා. ගමට තාක්ෂණය ගෙනියන්න නිලධාරීවාදය, කඹ ඇදිල්ල, ජාතිභේද, තරාතිරම පැත්තකට දාල ගොවියා දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න  එකම පවුලක් ලෙස සියලුදෙනා වැඩ කරන්න”යනුවෙන් අමාත්‍යවරයා පුහුණු වැඩමුළුවට එක්වු කෘෂිකර්ම උපදේක නිලධාරීන් අමතමින්  ප්‍රකාශ කළේය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීර‍කෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළ ‘ට්‍රම්ප්ගේ කැරැල්ල’

    ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළ ‘ට්‍රම්ප්ගේ කැරැල්ල’

    වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.

    ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.

    කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය.

    කාන්තාවක් මිය යයි

    කැපිටල් ගොඩනැගිල්ල

    මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය.

    විදේශ නායකයෝ හෙලා දකිති

    මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය.

    ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව “දැඩි කම්පනයට පත් වූ” බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය “ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්” බවය.

    ජෝ බයිඩන්

    ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් “පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු,” බව පැවසීය.

    ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” බවය. රූපවාහිනිය හමුවට ගොස් “මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න” යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය.

    “ඔබ දැන් ගෙදර යා යුතුයි”

    ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, “මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා,” යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය “සොරකම් කරලා” යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි.

    “හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි.” යනුවෙන් කී ට්‍රම්ප් “මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි” ද කියා සිටියේය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය.

    ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි.

    විරෝධතාකරුවෝ
    විරෝධතාකරුවෝ

    ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි.

    කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.

    අත්අඩංගුවට පත්වීම

    “අපට ඕනෑ ට්‍රම්ප්” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ.

    කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින්
    විරෝධතාකරුවෝ

    ප්‍රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය.

    විරෝධතාකරුවෝ
    විරෝධතාකරුවෙක්
    විරෝධතාකරුවෙක්

    සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ “පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න” යනුවෙනි.

    “ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි,” යැයි ලියූ ට්‍රම්ප් “සාමකාමී වන්න” යැයි කියා සිටියේය.

    ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය “කොල්ල කෑ” බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ.

    ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් “ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින” බවය.

    බෙදා හැරීම අවහිර කෙරුණු ට්විටර් පණිවුඩය

    කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

    ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි.

    බී.බී.සී සන්දේශයෙන් උපුටා ගන්නා ලදි. – ශීර්ඝ පාඨය වෙනස් කර ඇත.

  • දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

    ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 35 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් සමත්වීම මත තෙවැනි දිනය අවසන් වීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ (05 දා) සමත්වූහ.

    පන්දු යැවීමෙන් කැපී පෙනුණු ලුංගි න්ගිඩි, ලුතෝ සිපම්ලා සහ ඇන්රිච් නෝර්චේ තෙවැනි දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 67 ක් පමණක් ලබා දීමට වග බලා ගත්හ. එහිදී කැපී පෙනුණු න්ගිඩි කඩුලු 4 ක්, සිපම්ලා කඩුලු 3 ක් සහ නෝර්චේ කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 211 කට සීමා කළහ. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිල 14 වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ලකුණු සම්පූර්ණ කර ගන්නා අවස්ථාවේදී කඩුලු 10 ම ඔවුන් අත ඉතිරිව පැවැතිණ. පූර්ණ දින 2 ක් ඉතිරිව තිබියදීම මෙම තරගයේ ජය වාර්තා කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වීමත් සමඟ තරගාවලියද 2-0 ක් ලෙස සත්කාරකයින් ජය ගනු ලැබීය.

    තෙවැනි දිනයේ යවන ලද තෙවැනි පන්දුවාරයේදී පිට පිට එල්ල කරන ලද හතරේ පහර 2 ත් සමග දකුණු අප්‍රිකානු දේශයේදී පළමු වරට ශතකයක් වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත්විය. එය වොන්ඩරස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින්ද සටහන් විය. මුහුණ දුන් 123 වැනි පන්දුවේදී සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය සම්පූර්ණ කළ වමත් හැඩකාරයා 2017 වසරෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් පිටතදී ශතකයක් වාර්තා කරගත්තේය. දිමුත් වාර්තා කරන ලද මෙම ශතකය වසර 13 කට පසු ආසියානු රටක් නියෝජනය කරනු ලැබූ ‘ආරම්භක’ පිතිකරුවකු විසින් වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින්ද සටහන් විය. මීට පෙර ආසියාව නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ 2007 වසරේදී ඉන්දීය පිල නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවට පැමිණි වසීම් ජෆර් වේ.

    දිමුත්ගේ ශතකය වාර්තාවීම හැරුණු විට තෙවැනි දිනය තුළ සිදුවූ සියල්ල ශ්‍රී ලංකා පිලේ අවාසනාවට හිටියේය. සියල්ල වෙනස් වූයේ ඇන්රිච් නෝර්චේ විසින් දිමුත්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟය. ලකුණු 150 කට කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී දිනය ඇරැඹි කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල තවත් ලකුණු 26 ක් ලකුණු පුවරුවට එක් කරන අතර වාරයේ පන්දු යැවූ ඇන්රිච් නෝර්චේ විසින් පිට ඉන්නේ පතිත කොට දිමුත්ගේ පපුව ප්‍රදේශයට දෝලනය වන සේ පන්දු කීපයක්ම යොමු කළේය. පළමු පන්දු 2 ට අසීරුවෙන් ආරක්ෂිත පිළිවෙතක් අනුගමනය කළ දිමුත් නෝර්චේ විසින් එවන ලද තෙවැනි පන්දුවට පාදය ඔසවා පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත්තද එය වැරදී යෑම මත වටිනා කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිවිය.

    මුහුණ දුන් 128 පන්දුවේදී දිමුත්ගේ ඉනිම නිමා වන විට ඔහු තම ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත් කර ගනිමින් ලකුණු 103 ක් ලබා සිටියේය. දිමුත්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 35 ක් එකතු වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමද හමාර වීම මෙතරම් ඉක්මනින් තරගය පරාජයට හේතු බවට පත්විය.

    පෙර දිනයේ සිට දිමුත්ට අනගි සහායක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ලද ඊළඟ පන්දුවාරයේදී දවා ගැනීමට න්ගිඩි සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ එකා පිට එකා දැවී යෑම ආරම්භ විය. දික්වැල්ල පන්දු 68 කට මුහුණ දෙමින් ලකුණු 36 ක් ලබා සිටියදී න්ගිඩිගේ සිව්වැනි ගොදුර ලෙසින් පිටියෙන් ඉවත් විය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ ග්‍රහණයට ශ්‍රී ලංකා පිතිකරුවන් අසුවද්දී ධෛර්යවන්තව පන්දුවට පහර දුන් වනිඳු හසරංග පසු පෙළින් ලකුණු 16 ක් ශ්‍රී ලංකා පිලට දායාද කිරීමට සමත්වූවේය.

    ලකුණු 67 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඒඩියන් මාක්‍රම් පන්දු 53 කදී ලකුණුඅ 36 ක්ද ඩීන් එල්ගාර් පන්දු 27 කදී ලකුණු 31 ක්ද ලබා දකුණු අප්‍රිකානු ජයග්‍රහණය 14 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී සනාථ කළහ.

    පළමු ඉනිමේදී ලද ලකුණු 127 ඉනිමත් සමඟ සමස්ථ තරගාවලියේ ඉනිම 3 කදී ලකුණු 253 ක් ලැබූ දකුණු අප්‍රිකානු පිලේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. එල්ගාර්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 126.50 ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය වන අතර එහි පළමු වැන්න ලබන 14 වැනිදා ද දෙවැන්න 22 වැනිදාද ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි
  • ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය ගැන ඇන්ඩර්සන්ගේ සුපිරි හෙළිදරවව්

    ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය ගැන ඇන්ඩර්සන්ගේ සුපිරි හෙළිදරවව්

    තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත් වුවද ලබන 14 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ‘සුළු වාසියක්’ තිබිය හැකි බව එංගලන්ත කණ්ඩායම සතු පරිණතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් සඳහන් කර සිටියි.

    ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම සිය පළමු පුහුණු සැසිය සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (06 දා) සහභාගිවූ අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් ඊට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ඩර්සන් ඉහත අදහස් දක්වා සිටියේය.

    එංගලන්ත කණ්ඩායම ඉකුත් අගෝස්තු මාසයේ සිට රතු පන්දුව භාවිතයෙන් කෙරෙන එකම තරගයකට හෝ ක්‍රීඩා නොකළ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර තිබීම එකී සිළු වාසියට හේතුවී තිබෙන බව ඇන්ඩර්සන් පෙන්වා දෙයි. ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිය කණ්ඩායමේ සූදානම එතරම්ම සුදුසු නොවන බවයි.

    “මේ තියෙන තත්ත්වය අපිට එතරම්ම සුදුසු නෑ. අපිට මේ තරගාවලිය සඳහා දීර්ඝ කාලීන සූදානමක් නොමැති නිසා පළමු තරගයට පිවිසෙන්නේ වැඩි පුහුණුවක් නොමැතිවය. එය තරමක් අසාමාන්‍ය තත්ත්වයක්” යැයි ඇන්ඩර්සන් සඳහන් කර සිටියි.

    “අපි නීරෝධායන කාල සීමාව අවසන් කරලා ක්‍රීඩාංගණයට යනවා කියන්නේ එහි උපරිම ප්‍රයෝජනය ලබාගත යුතුයි. නමුත් එය එතරම්ම ප්‍රමාණවත් නෑ. අපි කොහොමත් දන්නවා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කරලා තියෙන නිසා එහිදී ඔවුන්ට සුළු වාසියක්තියෙන බව. ඒ නිසා මේ තරගාවලියේදී අපි අපේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කළ යුතුයි” යැයි දකුණතින් මඳ වේග පන්දු යවන ඇන්ඩර්සන් වැඩිදුරටත් අදහස් දක්වයි.

    ඇන්ඩර්සන් එසේ සඳහන් කර සිටියද දකුණු අප්‍රිකානු තරග සංචාරය හැරුණු විට ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගවල සහභාගීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සැබැවින්ම වාසියක් ශ්‍රී ලංකා පිල සතුද යන්න විවාදයට තුඩුදිය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී ගිය 2020 වසරේදී ටෙස්ට් තරග 3 කටද 2021 වසරේ එක් ටෙස්ට් තරගයකටද ක්‍රීඩා කර තිබේ. 2019 අගෝස්තු මස පැවැති නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසු එකම ටෙස්ට් තරගයක් හෝ ශ්‍රී ලංකා පිල සිය මව්බිමේදී තරග වැදී නොමැත.

    “ඇත්තටම ගත්තොත් මේ තරගාවලිය වේග පන්දු යවන්නන්ට ටිකක් දුෂ්කර තරගාවලියක්. එය වෙනස්ම අභියෝගයක්. නමුත් පසුපස දෝලනය, නව පන්දුවේ දෝලනය භාවිතයෙන් ඔභට කඩුලු ලබා ගැනීමේ හැකියාව පවතිනවා” යි ශ්‍රී ලංකාවේදී තරග වැදීම පිළිබඳව අදහස් දක්වන ඇන්ඩර්සන්, “ගාල්ල තණතීරුව ගත්තහම වේග පන්දු යවන්නන්ට හිතම තරම්ම නරක නැහැ. මොකද මම මෙහි සාර්ථකව පන්දු යවලා තියෙන නිසා. මම වගේම අනිත් පන්දු යවන්නන් ගාල්ලේදී සාර්ථක වෙලා තියෙනවා” යි සඳහන් කර සිටියි.

  • රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක් – මුළු මරණ 215 යි

    රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක් – මුළු මරණ 215 යි

    Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 41,498 දක්වා ඉහළ ගොස් ඇත.

    අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 261 ක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 16 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.

  • ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට කොරෝනා

    ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට කොරෝනා

    ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී Moeen ali කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව වාර්තා ෙව්.

    නිරෝධායනය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නීති රෙගුලාසි වලට අනුව මේ වන විට අලී දින 10ක ස්වයං නිරෝධායන කාලයකට යොමුකර ඇත. පසුගිය දිනවලදී අලී ඉතා සමීපව ඇසුරු කළ ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක නිරෝධායන කාල සීමාවක් නියම කර ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

    මෙම සිදුවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සහ නිලධාරීන් හෙට (5 වැනිදා) දෙවැනි වරටත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතය.

    ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම අනිද්දා (6 වැනිදා) සිය පළමු පුහුණු සැසිය ආරම්භ කිරීමට සූදානමින් සිටියේය

  • ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

    ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ.

    කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස  06, 08, 19, 21 සහ 22 යන දිනයන්හිදී රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ අනුව ජනවාරි 06 දින  ස්වාධීන රූපවාහිනී සේවයේ  නිලධාරීන් කෝප් කමිටුව හමුවට  කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. එසේම ජනවාරි 08 දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 19 දින ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්,  ජනවාරි 21 දින පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳවත්, ජනවාරි 22 දින විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත් ‍කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

  • නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

    නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

    නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු කළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ. 

    ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක්  විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත 03 ක් විවාදයට ගැනේ. 

    මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

    මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි  බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

  • බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීම ගැන තීන්දුවක්

    බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීම ගැන තීන්දුවක්

    බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

  • කෝවිඩ් -19 මෘතදේහ භූමදානය ගැන විශේෂඥ කමිටුවේ නිර්දේශ රජයට

    කෝවිඩ් -19 මෘතදේහ භූමදානය ගැන විශේෂඥ කමිටුවේ නිර්දේශ රජයට

    වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ.

    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා
    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා – කමිටු සභාපති

    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් පසුගිය සතියේදී අදාළ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී.

    කෝවිඩ් -19 යනු SARS-CoV-2 මගින් ඇතිවන උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හදුන්වා දී කමිටුව, එය ප්‍රධාන වශයෙන් පෙනහළු හා ශ්වසන මාර්ගයට බලපාන බවට පෙන්වා දී ඇත.

    SARS CoV-2 වෛරසය ආවරණය කරන ලද වෛරසයක් වන අතර එය ආවරණය නොකරන ලද වෛරසයක් සමඟ සසඳන විට අහිතකර පාරිසරික තත්ත්වයන් මගින් වඩා වේගයෙන් විනාශ වේ යැයි ද කමිටුව පවසයි.

    හුස්ම ගැනීම, කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශ්වසන ස්‍රාවයන් මගින් බිඳිති බැහැර කරන විට ජීවත්වන, ආසාදිත පුද්ගලයින් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබේ යනුවෙන් කමිටුව සකස් කළ වාර්තාවේ දැක්වේ.

    ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එහි සඳහන් ය.

    ඇතැම් ආසාදිත පුද්ගලයින්ගේ මළ මූත්‍ර වලින් ද ආසාදනය විය හැකි බව ඉන් කියැවේ.

    විශේෂඥ කමිටු වාර්ථාව
    විශේෂඥ කමිටු නිර්දේශවලින් කොටසක්
    විශේෂඥ කමිටු වාර්ථාව
    විශේෂඥ කමිටුවේ සාමාජිකයින්

    සමහර රෝගීන්ගේ ප්ලාස්මා සහ සේරමය (plasma and serum) තුළ අඩු වෛරස ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවා ආසාදනය විය හැකි බව පෙන්නුම් කෙරෙන්නේ යැයිද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

    “වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.

    මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය.

    “තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ.”

    “එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.”

    “කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය.” යැයි එහි කියැවේ.

    එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ SARS-CoV-2 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුර ආසාදනයට ඉඩ තැබිය හැකි බැවින් එම මෘත ශරීරය සමඟ සමීප සම්බන්ධතා ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ දේහය බැහැර කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් ය.

    මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය
    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය

    පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ්-19 වෛරසය ශරීරගත වී ඇති බවට කියවුනද දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

    ඒවා නම්, කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ.

    පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව අතර කොවිඩ්-19 ආසාදිතයින්ගේ මළ මූත්‍ර ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බවත් ඉන් පෙන්වා දෙයි.

    වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනයවීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටී.

    ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද පවසන වෛද්‍ය සංගමය, ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බවද සඳහන් කරයි.

    මෙම විශේෂඥයන්ගේ නිර්දේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසීමට බීබීසී සිංහල සේවය ගත උත්සාහය සාර්ථක නොවීය. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසා බීබීසී සිංහල සේවයට පසුව දැන්ම්දෙන බවකි.

    මේ අතර අදාළ විශේෂඥ මතය විවේචනය කරමින් භික්ෂුන් වහන්සේ කිහිපනමක් මාධ්‍ය වෙත නිවේදන නිකුත්කර තිබුණි.

    Text by bbc sandesaya

  • තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට

    තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට

    දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා සිටියේය.

    දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් පන්දු 119 කදී හතරේ පහර 16 ක් සමඟින් ලකුණු 92 ක්ද වැන්ඩර් ඩුසේන් පන්දු 82 කදී ලකුණු 40 ක්ද ලබා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුල්ලේ රැඳී සිටිති. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා වූ ඒඩ්‍රියම් මාක්‍රම්ගේ කඩුල්ල තම මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු දවා ගත්තේය.

    පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගෙන් සිව් දෙනෙකු රහිතව අද තරගයට පැමිණි ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහිදී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වෙනුවට ළහිරු තිරිමාන්න සහ මිනෝද් භානුකව කැඳවමින්ද වේගපන්දු යවන කසුන් රාජිත සහ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ විය. මෙහිදී මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයේදී ටෙස්ට් වරම් දිනා ගන්නා ලද්දේ එම ඉතිහාසයේ 152 වැනි සහ 153 වැනි ක්‍රීඩකයින් ලෙසිනි.

    වේග පන්දු යවන ඇන්රිච් නෝයේ සහ වියාන් මල්ඩර්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම තේ පානයට පැය භාගයකට පමණ කළින් ලකුණු 157 කට හමාර වූයේ 41 වැනි පන්දුවාරය සම්පූර්ණවීමටද මත්තෙනි.

    දිවා ආහාරයට පන්දුවාර හතරකට පමණ පෙර කඩුල්ලක් අහිමිව ලකුණු 70ක් ලබා කිසියම් ස්ථාවරත්වයකට පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ, ආරම්භක පිතිකරු කුසල් පෙරේරා දැවී යෑමත් සමඟ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ලකුණු 84 කට කඩුලු 5 ක් අහිමිකර ගත්තේය.

    නායක දිමුත් කරුණාරත්න ලකුණු 2 ක් ලබා ඉනිමේ පළමි පිතිකරුවා ලෙසින් දැවී යද්දී කුසල් ජනිත්ට එක්වූ  ළහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 ක් එක් කළහ. එය ඉනිමේ සාර්ථකම සම්බන්ධතාවය බවට පත්විය. ඒ වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ කුසල් පෙරේරා පන්දු 67 කදී හතරේ පහර 11 ක් සමඟ ලකුණු 60 ක් ලබා ගෙන සිටියදී වියාන් මල්ඩර්ගේ ගොදුරක් ලෙසින් උඩ පන්දුවක් දී දැවී ගියේය. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්නටද අද දිනයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.

    කුසල් පෙරේරා දැවී ගිය පන්දුවාරයේදීම අනෙක් කුසල් වූ මෙන්ඩිස් ද දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ඒ අනුව 2021 වසර ආරම්භයේදී ලකුණු නොලබා දැවී ගිය පළමු පිතිකරුවා බවටද මෙන්ඩිස් පත්විය. කුසල් පෙරේරාට අමතරව පිතිකරුවන් අතරින් සාර්ථකම මුහුණ දුන් එකම පිතිකරුවා වූයේ වනිඳු හසරංගය.

    ඉනිමේ මැද පෙළ නියෝජනය කරමින් ටෙස්ට් වරම් දිනාගත් මිනෝද් භානුක ලකුණු 05 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල (07) සහ දසුන් ශානක ද (04) දැවී යෑම ශ්‍රී ලංකා පළමු ඉනිම මෙතරම් අඩු සංඛ්‍යාවකට සීමා වීමට ප්‍රධාන හේතු බවට පත්විය.

    දිවා ආහාරයෙන් පසු මුළු ලකුණු සංඛ්‍යාව 100 ට ළඟා වද්දී කඩුලු හතක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී වනිඳු හසරංගගේ සහ දුෂ්මන්ත චමීරගේ ලකුණු 49ක සබඳතා ලංකා කණ්ඩායමට මඳ අස්වැසිල්ලක් විය. ප්‍රථම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම පිතිකරුවකු ලෙසද දස්කම් දැක්වු වනිඳු හසරංග මෙදිනද දක්ෂ අයුරින් පන්දුවට පහරදෙමින් ලකුණු 29ක් ලබාගත්තේ පන්දු 27කට මුහුණදී හතරේ පහරක්ද එල්ල කරමිනි.

    දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාර්ථකම පන්දු  යවන්නා වු ඇන්රිච් නෝයේ ලකුණු 56කට කඩුලු හයක් දවාලු අතර මෙය ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වේ. මීට අමතරව වියාන් මල්ඩර් ලකුණු 25කට කඩුලු තුනක් දවාලීමට සමත්විය.

    Text by sri lanka cricket

  • ලංකාවට පැමිණි එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ඇන්ටිජන් පරීක්ෂණයකට

    ලංකාවට පැමිණි එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ඇන්ටිජන් පරීක්ෂණයකට

    ශ්‍රී ලංකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (03) දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පුද්ගලයින් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

    මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා ඍණාත්මක බවයි.

    එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙරට අතර පළමු තරගය ජනවාරි 14 වැනිදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරගාවලියකට සහභාගී වෙමින් සිටිනවා.

  • විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

    ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොකරන අතර, 05 වැනි දින දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

  • හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින් දැක්වේ.

    මෝදර පොලිස් වසම

    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම
    • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
    • මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)

    ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින්.

    පෑලියගොඩ පොලිස් වසමේ,

    • පැලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
    • මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
    • පට්ටිය උතුර ග්‍රාමනිලධාරි වසමේ රෝහණ විහාර මාවත
    • පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu waththa)

    කිරිබත්ගොඩ පොලිස් වසමේ,

    • විලේගොඩ උතුර ග්‍රාමනිලධරි වසමේ ශ්‍රී ජයන්ති මාවත

    මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

  • විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. 

    විදේශයන්හි අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 68000 ක් පමණ පොරොත්තු ලේඛනගතව සිටින බවද කොළඹගේ මහතා පෙන්වා දෙයි. 

    2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්‍රිකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 60,470 කි. විදේශ අමාත්‍යංශය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මොවුන් ගෙන්වා ගෙන ඇත්තේ රටවල් 137 ක සිටය.

    ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගන්නා ලදී. විදේශයන්හි තත්ත්වයන් පිරිහී යාමත්, සේවයෙන් ඉවත් කිරීම් සහ වෙනත් අකාරවලින් රැකියා අහිමි වීමත් හේතුවෙන් නැවත සියරට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දැනට විවිධ කලාපවල සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් 68,000 ක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පොරොත්තු ලේඛනගත කර ඇත.

    2021 ජනවාරි 02 සිට 09 දක්වා කාලය තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

    වඩාත් වැදගත් ලෙස, අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල 67 විසින් මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ප්‍රාදේශීය සංවිධාන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන අතර, රජය විශාල අරමුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් වළක්වා ගනිමින්, ජාතික කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල, රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ කට්ටල, පරීක්ෂණ යන්ත්‍ර, ජීවිතාරක්ෂක ඖෂධ, වෙන්ටිලේටර් උපකරණ, ආර්ද්‍රතාකාරක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් ප්‍රදාන සහ පරිත්‍යාග ලෙස ලබා ගෙන ඇත. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ද, එන්නත් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් සමීපව අනුගමනය කරමින්, විදේශීය රජයන්ගෙන් එන්නත ලබා ගැනීමේ ශක්‍යතාවයන් පිළිබඳ අත්‍යවශ්‍ය හා කාලෝචිත තොරතුරු සපයන මාර්ගයක් ලෙස කටයුතු කරයි.

    ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ අතර, විදේශයන්හි අපගේ ප්‍රජාවන්ගේ සුබසාධනය උදෙසා මේ වන විට රුපියල් මිලියන 80 ක් පමණ වැය කොට ඇත. මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ සමහර අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මෙම අරමුදල්වල අරමුණ විය.