Tag: featured

  • පෞද්ගලික රෝහල් නියාමනය රජයේ ස්ථාවරය කුමක් ද ?

    පෞද්ගලික රෝහල් නියාමනය රජයේ ස්ථාවරය කුමක් ද ?

    පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    පෞද්ගලික රෝහල් හිමිකරුවන් වැනි අදාළ පාර්ශ්ව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා හෙළි කළේය.

    පෞද්ගලික රෝහල් නියාමනය සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බවත් ඇතැම් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජයට බලය ඇති බවත්, පෞද්ගලික රෝහල් පමණක් නොව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ද නියාමනය කිරීමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

  • ඊශ්‍රායල් රැකියා ගැන තොරතුරු දැනගන්න නව වෙබ් ද්වාරයක්

    ඊශ්‍රායල් රැකියා ගැන තොරතුරු දැනගන්න නව වෙබ් ද්වාරයක්

    ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර රැකියාව සදහා අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම, අයැදුම්කරුටම ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසා දී තිබේ.

    www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත්

  • අනුර දිසානායක -හැරවුමට වේලාව පැමිණ තිබේ !

    අනුර දිසානායක -හැරවුමට වේලාව පැමිණ තිබේ !

    වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හතක් ගැන කතා කරනවා.

    කලාම් ඉපදුනේ 1931. ඔහු අවුරුදු 30 දී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට් තාක්ෂණික ඉංජිනේරු තනතුර පත්වීම, 1982 දී, ඉන්දියාවේ මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක්වීම, වසය 61 දී ආරක්ෂක අමාත්‍යවරයාගේ විද්‍යා කටයුතු උපදේශක සහ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් හැටියට පත්වීම පළමු හැරවීම් ලක්ෂ තුනයි.

    ආසියානු දේශපාලන චිත්‍රය වෙනස් කරපු 1998 ඉන්දීය න්‍යෂ්ටික පර්යේෂණය, කැබිනට් අමාත්‍ය ධූරයකට ආරධනා ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා අග්නි මිසයිලය සකස් කරමින් ඉන්දියාව සුපිරි ආසියානු බලවතෙක් බවට පත් කිරීම, රජයේ ප්‍රධාන විද්‍යා කටයුතු උපදේශක වශයෙන් (අවු. 68) දී කැබිනට් අමාත්‍යවරයෙකුට සම තත්වයට, රජයේ ප්‍රධාන විද්‍යා කටයුතු උපදේශක ධූරයෙන් ඉවත් වෙලා නැවත අධ්‍යාපන කටයුතුවලට (උගන්වන්න) යාම අනෙක් හැරවුම් ලක්ෂ වෙනවා.

    ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රටේ රාජ්‍ය නායකයා (ජනාධිපති) බවට පත්වන කලාම් ජනපති ධූරයේ දෙවන ඉනිමට ‘බෑ කියනවා’.  ජනාධිපතිවරයා ලෙස දෙවන වාරයක් ඉන්න බෑ කියලා ‘අධ්‍යාපනික හා පර්යේෂණ වල නිරතවිය හැකි රැකියාවකට කලාම් ආපහු යනවා.

    කලාම් තමන්ගේ අති විශිෂ්ඨත්වය සටහන් කරන්නේ අත්හැරීම් හා හැරවුම් තුල යි.

    කලාම් වගේම මමත්,  එක දිගට කිසිම දවසක එකම රස්සාව කරන්නේ නෑ. ජීවිතයේ තමන්ට උරමත පටවන වගකීම්වලට කර ගහනවා.  හැම මිනිහෙකුටම නියමිත වයසේ දී වගකීම් දරන්නට අවස්ථාව ලැබෙන්නට ඕනි. පුද්ගලිකව මම ඒ අසිමිත වරප්‍රසාදය ලැබුණු කෙනෙක්. වෘත්තිය ජීවිතය පුරාම හිතාගන්නවත් බැරි වගකීම් ලෝක සම්මත කාලයට වඩා ඉක්මනට මට දරන්නට ලැබුණා. එයින් බහුතරයක් දේවල් සොදුරුයි. සමහර දේවල්, විශේෂයෙන්ම වයස අවු. 7 සහ 9 ක දරුවෝ දෙන්නෙකුට අම්මත් තාත්තත් දෙන්නම වෙන එක වගේ අභියෝග වචනයෙන් විග්‍රහ කරන්න බෑ.

    පුද්ගලිකව, මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ සියල්ලම මා කලාම්ගේ චරිතාපදානයේ කියන විදිහටම, අතහැර දැමීම නිසා මිසක්, හිමිකර ගැනීමට උත්සහ දැරීම නිසා නොවේ. 1993 ඉඩම් හා දේපල අත්හැරියේ නැතිනම් අධ්‍යාපනය හෝ සමාජ ජීවිතයක් ලැබෙන්නේ නෑ. 2010 රාජ්‍ය සේවකයෙක් විදිහට කට වහගෙන ඉන්න ගියා නම්, රටම මාව හදුණා ගන්නේ නෑ. 2012 රස්සාව රැකගන්නට ගියානම් රටත් – ලෝකයත් දිනන්නට ලැබෙන්නේ නෑ. 2015 පසුපස දොරින් පාර්ලිමේන්තු යන්නට හිතුනා නම්, ගියානම් අඩුම වයසින් ආණ්ඩුකාරවරයෙක් වෙන්නෙත් නෑ.

    2022 විදුලිය, ඉන්ධන, ගෑස් නැති බංකොලොත් රටක කිසිම කෙනෙක් වගකීමක් බාරගන්න දහ දොලොස් සැරයක් හිතන යුගයක ජනාධිපති කාර්යාලයේ රස්සාවකට යාම මම ජීවිතයේ වැඩිම වෙළාවක් කල්පනා කරලා ගත්ත අපහසුම තීරණයයි. අද ලංකාව ලෝකයේ අඩුම කාලයකින් බංකොලොත් බවින් මිදුණු රාජ්‍යය බවට පත් ලෝකෙටම කොඩිය දාලා තියෙනවා.

    නැවත අපේ ජීවිත කාලයේ කිසිම දවසක ‘බංකොලොත් රාජ්‍යයක් බංකොලොත් බවින් මුදා ගැනීමේ’ රාජ්‍ය පරිපාලන අත්දැකීම ලබා ගන්නට පුරවැසියෙක්, පරිපාලන නිලධාරීයෙක්, දේශපාලනඥයෙක් ලෙස අවස්ථාව ලැබෙන එකක් නෑ.

    ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපන පද්ධතිය තුල  ‘දෙක – තුන වසරේ දී’ නිර්භීත මිනිසුන්ට වාසනාව අතවනවා! කියලා පාඩමක් උගන්වනවා. හැබැයි කොච්චර දෙනෙක් ඒ පාඩම ජීවිතයට අදාළ කර ගන්නවා දැයි මම දන්නේ නෑ.

    පසුගිය දවස් පහ තුල ‘ආණ්ඩුකරණය’ ගැන බොහෝ දේවල් අසන්නට ලැබුණා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසාය සහ බදුකරණය කියන අතිශයින් සංවේදී කරුණු ගැන. අනුර කුමාර දිසානායක ඉන්නේ ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද තිදෙනාටම නොතිබුණු අතිශයින්ම පිතිකරණයට වාසිදායක විකට්ටුවක. සැලසුමක් නැතිව ටිප් කැච් එකක් එකක් එනකල් කඩුල්ල පිටිපස්සේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විපක්ෂයක් අනෙක් පැත්තේ ඉන්නවා.

    අද, ජනපති අනුර ඉන්නේ අබ්දුල් කලාම්ට වගේම, අනිවාර්ය වූ හැරවුම් ලක්ෂයක!

    පසුගිය සතියේ ජනපති අනුර කුමාර තමන්ගේ හැරවුම් ලක්ෂය තේරුම් ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ දී ත්, දිසාපති සමුළුවේ දී ත්, පැහැදිලිවම පෙන්වනු ලැබූවා.  ජනපති අනුර දේශපාලනඥයෙකුගේ සිට ජනාධිපතිවරයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස තම හැරවුම් ලක්ෂය ට පැමිණ තිබෙනවා.

    ජනපති අනුර ඉන්නේ, කලාම් වගේම හැරවුම් ලක්ෂය ජයග්‍රාහීව පසුකරන්න අවශ්‍ය තැනක!

    ‘ඉතිහාසය නිර්මාණය කරන්නේ ධෛර්යය සහ ප්‍රඥාව සහිත මිනිසුන්ය.  බියගුල්ලන්ට කිසිදා ඉතිහාසයක් නිර්මාණය කර නොමැති බව අනුර ජීවිතයෙන් අවබෝධ කර ගෙන ඇතිවාට සැක නැත.

    අනුරගේ හැරවුම් ලක්ෂය රාජ්‍ය සේවය, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යවසාය, බදු ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තියේ තෝරාගැනීම මත තීරණය වෙනවා.

    දේශපාලනඥයෙකු ලෙස කල කී දෑ බිම තබා, රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස හැරවුම් ලක්ෂය පහසු නෑ. හැබැයි, මෑත යුගයේ කලාම් වගේම මන්මෝහං සිං මේ මාවතේ විශිෂ්ඨත්වය ලඟාවුණා.

    2025 දී අපේ රටේ ඉරණම තීරණය වෙන්නේ, අනුර මේ හැරවුම් ලක්ෂය කොයි තරම් දක්ෂ ලෙස කළමනාකරණය කරනවා දැයි යන්න මතයි.

    චන්ද්‍රිකා (පශ්චාත් සුනාමි), මහින්ද (යුද්ධ අවසන් කිරීම) ඉතිහාසය විසින් ලබාදූන් අනගිභවනීය වූ  හැරවුම් අවස්ථා මඟහැරගත් නායකයින් ලෙස ඉතිහාසයට එක්වී අවසන්ය.   චන්ද්‍රිකා – මහින්ද ගේ එම ලැයිස්තුවට අනුර කුමාර එකතු විය යුතු නැත.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවර

  • නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කරයි

    නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කරයි

    නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ.

    චරිත් අසලංක – නායක‍
    පැතුම් නිස්සංක
    අවිශ්ක ප්‍රනාන්දු
    නිෂාන් මදුශ්ක
    කුසල් මෙන්ඩිස්
    කමිඳු මෙන්ඩිස්
    ජනිත් ලියනගේ
    නුවනිදු ප්‍රනාන්දු
    දුනිත් වෙල්ලාලගේ
    වනිඳු හසරංග
    මහීෂ් තීක්ෂණ
    ජෙෆ්රි වැන්ඩසේ
    චමිදු වික්‍රමසිංහ
    අසිත ප්‍රනාන්දු
    මොහොමඩ් ෂිරාස්
    ළහිරු කුමාර
    එෂාන් මාලිංග

  • මුදල් විශුද්ධිකරණය ම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ සාකච්ඡාවක්

    මුදල් විශුද්ධිකරණය ම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ සාකච්ඡාවක්

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ.

    අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කරන ලදී.

    මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සකස් කරන ලද නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ, ධාරිතා ගොඩනැඟීම, වැඩිදියුණු කළ අන්තර් නියෝජිතායතන සහයෝගීතාව සහ විස්තීරණ සංඛ්‍යා ලේඛන පවත්වා ගෙන යාම සඳහා මෙම ක්‍රියාකාරී සැලසුම තුළ ප්‍රමුඛතාව ලබා දෙයි.

    මෙම සැලසුම් සමඟ පූර්ණ අනුකූලතාව සහතික කිරීම සඳහා කැපවූ කණ්ඩායම් පත් කරන ලෙසත් එහි ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මූල්‍ය බුද්ධි ඒකකය, අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එසේම මෙම කාර්ය පිළිබඳව සහයෝගයෙන් යුතුව කැපවන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය සුරක්ෂිත කරමින් සහ රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය රැක ගැනීමටත් ඒ හරහා හිතකර ඇගයීම් ප්‍රතිඵලයක් අත්කර ගැනීමටත් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • රාජකීය – දේවි ඇතුළු කොළඹ සුපිරි පාසල් රැසක විදුහල්පතිවරු නෑ – සම්පූර්ණ වාර්තාව මෙන්න

    රාජකීය – දේවි ඇතුළු කොළඹ සුපිරි පාසල් රැසක විදුහල්පතිවරු නෑ – සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොළඹ රාජකීය ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රධාන පාසල් හතක් මේ වන විට විදුහල්පතිවරුන් නොමැතිව පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    මෙම පාසල් අතර දේවි බාලිකා, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත පාවුළු විද්‍යාලය, හින්දු විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලුම්බිණිය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විදුහල්පතිවරුන් නොමැති කොළඹ සහ ඒ අවට ඇති පාසල් කිහිපයකි.

    විදුහල්පතිවරුන් නොමැති මුළු පාසල් සංඛ්‍යාව 46ක් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ගම්පහ බණ්ඩාරනායක, සංඝමිත්තා විද්‍යාලය, ධර්මාශෝක, දේවානන්ද විද්‍යාලය, හලාවත ශාන්ත තෝමස්, ජෝශප් වාස් විද්‍යාලය, වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ තවත් කීපයකට ද විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙම පුරප්පාඩු පිරවීම සඳහා 2024 දෙසැම්බර් 31 දිනට පෙර අදාළ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බව ද වාර්තා වේ.

  • දහම් පාසල් රැකගන්න ආණ්ඩුව ගත් ‘සුපිරි’ තීන්දුව

    දහම් පාසල් රැකගන්න ආණ්ඩුව ගත් ‘සුපිරි’ තීන්දුව

    දහම් පාසල් කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ.

    ‘පාසල් සිසුන්ට දහම්පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් මහතා නිකුත් කළ ලිපියක සඳහන් වේ.

    දහම් පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

    පාසල් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම්, එම වැඩසටහන් දහම් පාසල් වේලාවන් සමඟ නොගැටෙන  ලෙස සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

    ඉරිදා දිනවල වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද මෙම ලිපිය මඟින් පාසල්වලට උපදෙස් දී ඇත.

  • SMEs Guide SL : බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම

    SMEs Guide SL : බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම

    2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2024.12.19 දින බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

    එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

  • ඔබ සින්ක් එකේ අපිරිසිදු භාජන තබා ගන්නවාද ?

    ඔබ සින්ක් එකේ අපිරිසිදු භාජන තබා ගන්නවාද ?

    එය මෙම භයානක රෝග ඇති කළ හැකි බව විශේෂඥ අනතුරු අඟවයි

    අපිරිසිදු උපකරණ ඔබේ මුළුතැන්ගෙයෙහි තබා ගැනීම භයානක රෝග ඇති කළ හැකි බැවින් ප්‍රවේශම් වන්න ! අපිරිසිදු භාජන දිගු වේලාවක් නොසෝදා තැබීමෙන් භාජනවල බැක්ටීරියා නිපදවන අතර ඒවා සේදීමෙන් පසුව පවා පිරිසිදු නොවේ.

    දන්නවාද ? ‘අපිරිසිදු භාජන’ මාරාන්තික රෝග අවදානම වැඩි කරනවා. රාත්‍රියේ දී විවේචකයක් නො ලද නිසා හෝ කම්මැලිකම නිසා ඔබේ නිවසේ උදේට සෝදන්නේ අපිරිසිදු භාජනද? ඔව් නම්, පරිස්සම් වන්න! සැල්මොනෙල්ලා, ලිස්ටීරියා සහ ඊ-කෝලි බැක්ටීරියාවන් උපදින්නේ බොහෝ වේලාවක් මුළුතැන්ගෙයෙහි තබා ඇති අපිරිසිදු භාජන මත වන අතර ඒවා භාජන පිරිසිදු කිරීමෙන් පසුව ද මෙම බැක්ටීරියා ඉවත් නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ එවැනි භාජනවල ආහාර සපයන විට මෙම බැක්ටීරියා ද ආහාර හරහා ආමාශයට ඇතුළු වීමයි.

    මෙම බැක්ටීරියාවල නම් කෙතරම් අමුතු වුවත්, ඔවුන්ගේ වැඩ කටයුතු නම් භයානක ය. දැනටමත් රෝගාතුරව සිටින, ප්‍රතිශක්තිය දුර්වල වූ හෝ මව්වරුන් වීමට සිටින කාන්තාවන් මෙම බැක්ටීරියා ප්‍රහාරය හේතුවෙන් රෝගාතුර වේ. වමනය, බඩේ කැක්කුම, පාචනය සහ අජීර්ණ මේ සියල්ල මෙම බැක්ටීරියා නිසා ඇති වන රෝග අතර වේ. තත්ත්වය බරපතළ නම් ගබ්සා වීමේ හා වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම ද ඉහළ ය.

    කාරණය බරපතලයි, එබැවින් කම්මැලිකම අත්හැර පරිස්සම් වන්න ! මුළුතැන්ගෙයි උපකරණ සහ  විශේෂයෙන් සින්ක් පිරිසිදුව තබා ගැනීමට කම්මැලි නොවන්න.

    මෙය පමණක් නෙවෙයි මෙයත් තේරුම් ගන්න. දිගු කලක් ශීතකරණයේ තබා ඇති ආහාර ද්‍රව්‍ය ද රෝග රැසකට මූලික හේතුවයි. අපි මුළුතැන් ගෙය සහ වකුගඩු ගැන කතා කරන්නේ නම්, ආහාර ගබඩා කිරීමේ මාර්ගය පමණක් නොව,  වැරදි ආහාර පුරුදු ද අපව අසනීප කරයි. අතිරික්ත ලුණු සහ අතිරික්ත සීනි ද වකුගඩු රෝගී කරයි. මෙය අධි රුධිර පීඩනය සහ සීනි පිළිබඳ ගැටලුව අවුලුවයි. රුධිර පීඩනය වැඩි නම් වකුගඩුව අසනීප වේ, රුධිරයේ ග්ලූකෝස් වැඩි නම්, වකුගඩුවේ සියුම් පෙරහන් ක්‍රියා විරහිත වීමට පටන් ගනී. එහි ප්‍රතිඵලය වන්නේ වකුගඩු අකර්මණ්‍ය වීමයි. එවැනි තත්ත්වයක් තුළ වකුගඩුව නිරෝගීව තබා ගන්නේ කෙසේදැයි දැන් නිවැරදිව දැන ගන්න.

    බැක්ටීරියා වල අන්තරාය

    • දුර්වල ප්‍රතිශක්තිය
    • වමනය සහ බඩේ වේදනාව
    • පාචනය
    • වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම
    • ගර්භනී කාන්තාවන් ගබ්සා වීමේ අවදානම

    වකුගඩු වලට සිදුවන බලපෑම්

    • ඉහළ ක්‍රියේටිනින් මට්ටම
    • වකුගඩු ගල්
    • UTI ආසාදනය
    • බහු අවයවික වකුගඩු
    • ප්‍රෝටීන් කාන්දු වීම

    වකුගඩු වල සතුරන් දෙදෙනෙක්

    ලුණු වකුගඩු සඳහා විෂ වේ. අතිරික්ත ලුණු ශරීරයේ සෝඩියම් සමතුලිතතාවයට බාධා කරන අතර එය අවසානයේ වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපායි. සීනි යනු වකුගඩු වල බිහිසුණු හතුරෙක් විෂ වන අතර, රුධිරයේ ඇති අධික ග්ලූකෝස්, වකුගඩු පෙරහන් ක්‍රියා විරහිත වීමට හේතු වන අතර එය වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම වැඩි කරයි.

    වකුගඩු ආබාධයේ රෝග ලක්ෂණ

    • මුත්‍රා වල රුධිරය
    • ආහාර රුචිය නැති වීම
    • පිටුපස වේදනාව

    ඔබේ වකුගඩු නිරෝගී කරන්න

    ඔබේ බර පාලනය කරන්න, ඔබේ බර වැඩි වුවහොත් වකුගඩු අකර්මණ්‍ය වීමේ සම්භාවිතාව 7 ගුණයකින් වැඩි වේ. ආතතිය ද අධි රුධිර පීඩනය ඇති කරන අතර එය වකුගඩු වලට බලපායි. කනස්සල්ලෙන් පෙළෙන රෝගීන් අතර වකුගඩු රෝගය බහුලව දක්නට ලැබේ. දියවැඩියා රෝගීන්ගෙන් 70%කට වකුගඩු රෝගය ඇති බැවින් සීනි මට්ටම ද පාලනය කළ යුතුය.

    වකුගඩු ආබාධ වළක්වා ගන්නේ කෙසේද?

    • ව්‍යායාමය
    • ඔබේ බර පාලනය කරන්න
    • දුම් පානය නොකරන්න
    • ඕනෑ තරම් ජලය පානය කරන්න
    • ක්ෂණික හෝ සැකසූ කෑම ගන්න එපා
    • වේදනා නාශක වැඩිපුර ගන්න එපා

    පිත්තාශයේ ගල් ඇතිවීමට හේතුව

    • අඩුවෙන් ජලය පානය කිරීම,
    • ලුණු සහ රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීම.
    • වැඩිපුර නිර්මාංශ නොවන ආහාර අනුභව කිරීම,
    • කැල්සියම් සහ ප්‍රෝටීන් අසමතුලිතතාවය
    • ජානමය සාධක.

    වකුගඩු ගල් සඳහා ප්‍රයෝජනවත් වන ආහාර

    • ඇඹුල් බටර්
    • රාබු කොළ
    • බාර්ලි පිටි

    Femina.in ඇසුරිනි.

  • සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

    සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

    පිළිකාව බොහෝ විට සුව කළ නොහැකි රෝගයක් වන අතර ජනතාව එයට බිය වෙති. එහෙත් රුසියාව පසුගිය දා කළ විශේෂ ප්‍රකාශය පිළිකාවට තිත තබයි ද ? රුසියාව ප්‍රකාශ කර ඇත්තේ සියලුම වර්ගයේ පිළිකා වැළැක්වීමට හැකි පිළිකා එන්නතක් තමන් විසින් සොයා ගෙන ඇති බවයි.

    රුසියාවේ නිවේදනයට අනුව, මෙම එන්නත පිළිකා මර්දනය කිරීමට සාර්ථක බව පූර්ව සායනික අත්හදා බැලීම් වලදී ඔප්පු වී ඇත. මෙම එන්නත ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙතරම් ශක්තිමත් කරයි ද යත් ඕනෑම සෛලයක් පිළිකා සෛලයක් බවට පත්වීමට පටන් ගත් වහාම ශරීරයේ ප්‍රතිශක්තිය මඟින් එම සෛලය විනාශ කරයි.

    කලකට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පිළිකා එන්නත් සහ නව පරම්පරාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට රුසියාව සමීපව සිටින බවයි.

    දීර්ඝ කාලයක් පුරා ඇමරිකානු සහ යුරෝපීය රටවල පිළිකා එන්නතක් සොයා ගැනීමේ දැඩි තරඟයක් පවතින අතර සෑම දිනකම එහි යම් වර්ධනයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. Moderna සහ Merck සමාගමේ පිළිකා එන්නතෙහි තුන්වන සාර්ථක අත්හදා බැලීම ද සිදු කර ඇත. නමුත් මෙම එන්නත පැමිණීමට 2030 දක්වා කාලය ගතවනු ඇත. එවන් තත්වයක් තුළ රුසියාවේ මෙම නිවේදනයෙන් සියලු දෙනා පුදුමයට පත් වී ඇත.

    මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මුම්බායි හි සයිෆී රෝහලේ ශල්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ටහර් මිති සමඟ අප කතා කළ විට ඔහු මෙසේ පැවසුවේ ය, “රුසියානු මාධ්‍ය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ අත්හදා බැලීම් පූර්ව සායනික අත්හදා බැලීම් ලෙස සඳහන් කර තිබෙනවා. එයින් අදහස් කරන්නේ එය විශාල වශයෙන් පරීක්‍ෂා කර නොමැති බවයි. කෙසේ වෙතත් එය සිත් ඇදගන්නා සුළු වන අතර වැඩිදුර දත්ත සහ පරීක්ෂණ මගින් ප්‍රතිකාර කෙරෙහි එහි සමස්ත බලපෑම තක්සේරු කළ හැකියි”.

    රුසියානු මාධ්‍යවල සඳහන් වන ආකාරයට වත්මන් එන්නත ප්‍රතිකාර අරමුණු සඳහා නිෂ්පාදනය කරනු ඇත.

    ගැබ්ගෙල පිළිකා ඇති කළ හැකි HPV වෛරසයට එරෙහි එන්නත හෝ සිරෝසිස් සහ අක්මා පිළිකා ඇති කළ හැකි HBV එන්නත වැනි එන්නත් දැනටමත් වෙළඳපොළේ ඇති අතර සුදුසු නම් මෙම එන්නත් ලබා ගත යුතුය.

    අනෙකුත් අවයව වලට පැතිරීමට පෙර හඳුනා ගන්නේ නම් සියලුම පිළිකා සම්පූර්ණයෙන්ම සුව කිරීමට අවස්ථාවක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය මතයයි.

    ඉහත සඳහන් කළ එන්නත් වලට අමතරව පිළිකාව වළක්වා ගැනීමේ වෙනත් සාධනීය පියවර වන්නේ දුම්කොළ, මධ්‍යසාර භාවිතය සහ තරබාරුකම වැළැක්වීමයි.

    යෝජිත එන්නත පුද්ගලාරෝපිත ඖෂධයක් වනු ඇති අතර එවැනි බොහෝ ඖෂධ සහ ප්‍රතිකාර අද වන විට (අවම වශයෙන් ඒවායේ පේටන්ට් බලපත්‍රය අවසන් වන තුරු) ඉතා විශාල මිලකට අලෙවි වේ.

    වෛද්‍ය ශ්‍යාම් අගර්වාල් පැවසුවේ රුසියානු එන්නත සම්බන්ධ මානව අත්හදා බැලීම් පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බැවින් මෙම එන්නත කොපමණ මාත්‍රාවක් තිබේද සහ කුමන වර්ගයේ රෝගීන් සඳහා එය භාවිතා කරන්නේද යන්න තේරුම් ගත යුතු බවයි. මෙම එන්නත නිවැරදිව තේරුම් ගත හැක්කේ මිනිසුන් පිළිබඳ අත්හදා බැලීම් වල දත්ත පැමිණි විට පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එවැනි දේ කිරීමට බොහෝ කාලයක් ගතවන බව ද සත්‍යයකි. න්‍යායාත්මකව, එය මේ මොහොතේ නිවැරදි බව පෙනේ. රුසියානු විද්‍යාඥයින් මෙහිදී සාර්ථකත්වය ලබා ගන්නේ නම්, ඔවුන්ට නොබෙල් ත්‍යාගය පවා හිමි විය හැකිය.

    රුසියාවේ ඉල්ලීම කුමක්ද?

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ Andrey Kaprin පැවසුවේ පිළිකාවට එරෙහිව රුසියාව mRNA එන්නත නිපදවා ඇති අතර එය රෝගීන්ට නොමිලේ බෙදා හරින බවයි. වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසා ඇත්තේ මෙම එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම අතිශයින් සාර්ථක වී ඇති අතර එය පිළිකා සෛලවල වර්ධනය සහ එහි පරිවෘත්තීය අවධිය මර්දනය කරන බවයි. මෙම එන්නත නිෂ්පාදනය කිරීමේ දී කෘත්‍රිම ස්නායුක ජාලවල සහාය ලබා

    මූලාශ්‍රය: indiantvnews.com

  • නවසීලන්තයට යන විස්සයි-20 කණ්ඩායම නම් කරයි

    නවසීලන්තයට යන විස්සයි-20 කණ්ඩායම නම් කරයි

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි

    ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පමණක් මෙම කණ්ඩායමට නම් නොකර තිබීම කැපී පෙනෙයි. වෙල්ලාලගේ මංගල විස්සයි-20 තරගාවලිය බවට පත්වුණු එම තරගාවලිය 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.කෙසේ වෙතත් නම් කරන ලද අනෙක් සියලුම ක්‍රීඩකයින් එම තරග සංචාරයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වීම විශේෂත්වයක් වේ.

    මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව යනු ලබන අතර එහි එක් කාණ්ඩයක් මේ දෙසැම්බර් මස 20 වැනිදාද දෙවැනි කාණ්ඩය දෙසැම්බර් මස 21 වැනිදා රාත්‍රියේදීද පිටත්ව යෑමට නියමිතය. විස්සයි-20 තරග 3 ට අමතරව මෙම තරගාවලිය යටතේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. තරගාවලිය ජනවාරි මස 12 වැනිදා අවසන් වනු ඇත.

    පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලියේ පළමු තරග දෙක දෙසැම්බර් මස 28 සහ 30 වැනි දිනයන්හිදී ටෟරංගාහි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සැක්ස්ටන් ඕවල්හිදී පැවැත්වෙනු ඇත.

    එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී ආරම්භ වේ. එහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 08 වැනිදා සහ 11 වැනිදා හැමිල්ටන් සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කුසල් පෙරේරා.

  • ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය එපා – වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි

    ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය එපා – වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි

    සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ නීති විරෝධී ප්‍රකාශයත් සමඟ සමාජය තුළ වගා හානි කරන වන සතුන් පිළිබඳ ව විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ අතරතුර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින සියලූ ම අලි – ඇතුන් හමුදා මෙහෙයුමකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ගෙන ගොස් ගාල් කරන බව ය. ඒ සඳහා වන සැලැසුම් මේ වන විට සකස් කරමින් පවතී. මේ සියලු කරුණු දෙස බැලූ වීට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විද්‍යාත්මක, පුළුල් ප්‍රතිපත්තිමය හා තිරසර, ප්‍රායෝගික විසදුම් ලබා දිය යුතු ඉතා ම සංවේදී ගැටළුවලට අවිද්‍යාත්මක හා අමනෝඥ විසදුම් ලබා දීමට ක්‍රියා කරමින් සිටින බව ය.

    වන සතුන් ගෙන් සිදු වන වගා හානි පාලනය කිරීම, වන සතුන් බහුල ව වගා බිම්වලට පිවිසීමට බලපෑ හේතු සාධකවලට පිළියම් සෙවීම පමණක් නොව සමස්ත කෘෂිකර්ම අර්බුදයට ම විසදුම් සෙවිය යුතු බව අප දනිමු. මේ නිසා පසුගිය ඉතිහාසය පුරා ම අප මේ පිළිබඳ ව අඛණ්ඩ ව අරගල කළෙමු. පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කරන ලද වැරදි සංවර්ධන ව්‍යාපෘති, වැරදි ආයෝජන ක්‍රියාවලීන් සහ ඒ සඳහා වන වැරදි ප්‍රතිපත්ති හා අනපණත් සංශෝධනය කිරීම ඇතුළු බෝහෝ හානි කර ක්‍රියා සඳහා අප ගොවි ජනතාව සමඟ එක් ව ඊට එරෙහිව නැගී සිටියේ මේ සියල්ලේ ම අවසාන ප්‍රතිඵලය ගොවිතැන හා ගොවියා  අර්බුදයකට මුහුණ දීම බව ඉතා ම හොඳින් දන්නා නිසා ය. නමුත් වගකීම් විරහිත ව හා ගැටළු ව නිවැරදිව තේරුම් නොගැනීම මත ව්‍යවස්ථාදායකය තුළ මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හා අමාත්‍යවරු සතු බලය වැරදි ලෙස භාවිත කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීමේ පරමාදර්ශය ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොව රටේ පවතින ගැටළු සඳහා ජනතාව සමඟ සාකච්ඡා කර, විද්‍යාත්මක පදනමක් මත, සැබෑ තිරසර විසදුම් ලබා දෙන පාලන ව්‍යුහයක් ගොඩනැගීමට ය.

    වන සතුන් වගා බිම්වලට පැමිණීමට හේතු

    වන සතුන් වගා හානි කරන තත්ත්වයට පරිවර්ථනය වූයේ අප ගේ වැරදි ක්‍රියා මාර්ග හේතුවෙන් බව අප පිළිගත යුතු ය. ස්වාභාවික පරිසර පද්ධති විනාශය හා ඒවා ඛණ්ඩනය කරමින් ජනාවාස, වාණිජ වගා බිම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සතුන් ගේ වාසස්ථාන හෝ ආහාර නොවන ඇකේසියා, පයිනස්, යුකැලිප්ටස්, තේක්ක වැනි වන වගාවන් ඇති කිරීම මෙන් ම ඒක භෝග වාණිජ වගාවන් ලෙස තේ, රබර්, කටුපොල්, උක් හා බඩඉරිගු වැනි වගාවන් ව්‍යාප්ත කිරීම සහ වන සතුන් ගේ වාසස්ථාන තුළ එම සතුන්ට වාසස්ථාන හා ආහාර නොවන ආක්‍රමණික ශාක ලෙස යෝධ නිදිකුම්බා, ගඳපාන, ගිනිතණ, කටුපතොක්, කහදියපර, කලපු අන්දර, කටු උණ වැනි ශාක ව්‍යාප්ත වීම වැනි තත්ත්වයන් රිලවුන්, දඩුලේනන්, ඉත්තෑවන්, වල් ඌරන් හා මොනරුන් ගේ වාසස්ථාන හා ගොදුරු බිම් අහිමි වී වගා බිම්වලට පැමිණ වගා හානි සිදු කරන තත්ත්වයට පත් වීමට හේතු සාදක වී ඇත. මීට අමතර ව ස්වාභාවික වාසස්ථාන සීමා වීම හා ඛණ්ඩනය වීම නිසා මෙම සතුන් ගේ ස්වාභාවික විලෝපිකයන් සීමා වීමෙන් මෙම සතුන් ගේ ගහනයන් වර්ධනය වීම ද සිදු වේ. එපමණක් නොව වන සතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත ව කසළ රැඳවීම මෙන් ම සංචාරක හා ආගමික වන්දනා ක්‍රියාවලීන්වල දී ස්වාභාවික පරිසරයේ ජීවත් වන, වන සතුන්ට බාහිරින් ආහාර ලබා දීම ඇතුළු ක්‍රියා නිසා ස්වාභාවික පරිසරයෙන් පිටතට පැමිණෙන මෙම සතුන් වගා බිම්වලට පිවිසීම වර්ධනය වීම සිදු  වී ඇත. මෙම සාදක සියල්ල ම වගා හානි කරන වන සතුන් ඇති වීමට හා ගොවි බිම්වල ඵලදායීතාව බිඳ වැටීමට හේතු වී තිබේ. එබැවින් විසදුම් සෙවිය යුත්තේ මේ සියල්ලට ම ය.

    වන විනාශය හා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන සතුන් වගා බිම්වලට පැමිණීම වර්ධනය වීම

    ලිඛිත සාධකවලට අනුව යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් විය. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබුණි. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ වනාන්තර එළි කිරීමයි.

    ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 – 1961 වසර වල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක් නැතහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසර වල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගැනින. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. 1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර හෙක්ටයාර 9,47,370 ක් එළිපෙහෙලි කර තිබේ.

    ඉන් පසු ව ගෙවී ගිය අද දක්වා වසර 14 ක කාල සීමාව තුළ දී එළිපෙහෙලි කර ඇති වනාන්තර ප්‍රමාණය ඉතා විශාල ය. ඒ සඳහා ප්‍රධාන පදනම සකස් වී ඇත්තේ ජාතික භෞතික සැලැසුම මත ය. මෙම සැලැසුම ක්‍රියාත්මක කරන මේ කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 15000 ක වනාන්තර, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා අක්කර 25000 ක වනාන්තර, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25000 කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබේ. මීට අමතර ව 2010 වසරේ උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් අනතුරු ව නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන භාවිතයන්, සංචාරක ව්‍යාපෘති හා දැඩි ආරක්ෂක කලාප පවත්වාගෙන යාම සඳහා භාවිත කිරීම හේතුවෙන් අලුතින් ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා වනාන්තර අක්කර 17800 ක් පමණ එළි පෙහෙළි කිරීම සිදු විය. මීට අමතර ව අද වන විට ක්‍රියාත්මක කරන පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 10000 ක වනාන්තර එළිපෙහෙලි කරමින් තිබේ.

    මීට අමතර ව මහවැලි අධිකාරිය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර මහ පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන්ට පැවරීම සහ ඒවා නිරන්තරයෙන් එළිපෙහෙළි කිරීම යන මේ සියල්ල ම වන සතුන් ගේ වාසස්ථාන අහිමි වීමෙන් එම සතුන් අවතැන් වී වගා බිම්වලට පිවිසීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

    මහ පරිමාණ වාණිජ වගාවන් හේතුවෙන් සුළු ගොවීන් ගේ වගා බිම් වන සතුන්ට ගොදුරු වීම

    අප රට දේශීය නොවන වාණිජ වගාවන් ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්‍රතාන්‍යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්‍රතාන්‍යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබේ. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.

    මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

    ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරින. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපනය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්ටයාර 133,668 ක් පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොලේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතයන් සඳහා යොදා ගැනීම තීන්දු වේ.

    යටත්විජිත යුගයේ දී බි්‍රතාන්‍යයන් විසින් ලංකාවේ ස්ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක් වගාව පිළිබඳ ව ද ඔවුන් ගේ අවධානයට ලක් ව තිබේ. උක් වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ය. නමුත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක් ලෙස උක් වගාව ව්‍යාප්ත කර නොතිබුණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම ඇරැඹිනි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක් වගාව මහ පරිමාණයෙන් ව්‍යාප්ත කෙරින. මේ වනවිට පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන ප්‍රදේශවල හෙක්ටයාර 30,530 ක භූමි ප්‍රමාණයක උක් වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මෙම වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක් තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාවය බිඳ වැටෙන අවස්ථා වල දී සමාගම් උත්සාහ දරන්නේ අලුතින් වගා බිම් ස්ථාපිත කර ඵලදායීතාව වැඩි කර ගැනීමට ය.

    අද වන විට වාණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක්‍රමණය කරමින් තිබේ. මිශ්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්ටයාර 12,957 ක් ව පැවති බඩඉරිඟු වගා බිම් ප්‍රමාණය අද වන විට හෙක්ටයාර 72,390 ක් දක්වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපද වූ හා යල කන්නයේ දී වන සතුන් ගේ ආහාර බිම් වන හේන් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරයක් ලෙස ඒක බෝග වගාවක් ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලුම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීන් ප්‍රවිෂ්ඨ වෙමින් සිටී.

    මෙරට පළමු වරට වාණිජ බෝගයක් වන කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන ජෙරී වොලස් විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. වර්තමානය වන විට හෙක්ටයාර 8781 ක පමණ කටුපොල් වගා බිම් ස්ථාපිත කර තිබේ.

    මේ වන විට වාණිජ වගාවක් ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වියළි කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදී ප්‍රදේශ ගණනාවක අක්කර 7000 ක් පමණ මේ වන විට කැවැන්ඩිස් කෙසෙල් වගාව සඳහා යොදා ගෙන ඇත. මෙම වාණිජ වගා බිම් සියල්ල ම වන සතුන්ට අහිමි වූ එම සතුන් ගේ වාසස්ථාන වෙති.

    ගොවිතැනේ සැබෑ අභියෝග වන සතුන් පෙන්වා මඟහැරීම

    පසුගිය කාලය පුරා ම සුළු පරිමාණ ගොවි ජනතාව වගා බිම්වලින් සූක්ෂම ව ඉවත් කර මහ පරිමාණ වාණිජ වගාවන් ස්ථාපිත කිරීමට උත්සාහ ගැනින. මේ නිසා ගොවීන්ට වගා කටයුතුවල දී ප්‍රධාන අභියෝග ගණානවකට මුහුණ දීමට සිදු විය. එම අභියෝග අතර කෘෂි රසායනික හා බීජ නිෂ්පාදන සමාගම්වල ග්‍රහණයට නතු වීම, ජල අර්බුද, ගොවියා වගා බිම්වලින් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවි බිම් මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවන් සඳහා සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, ගොවි බිම් වෙනත් ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, මහවැලි ව්‍යාපෘතිය ඇතුළු වාරි ව්‍යාපෘති මගින් ජලය සපයන වගා බිම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, පසු අස්වනු විනාශය, අස්වැන්න අලෙවි කර ගැනීමේ අභියෝග, අස්වැන්නේ මිල තීන්දු කිරීමේ දී වෙළෙදපොළ මාෆියාවට ගොදුරු වීම, අනවශ්‍ය පරිදි ආහාර ආනයනය කර ගොවීන් අතර වෙළෙදපොළ තරගයක් ඇති කිරීම මෙන් ම වන සතුන් ගෙන් සිදු වන වගා හානි යන සියල්ල ම පවතින බව අප දනිමු. මේ සියල්ල අවබෝධ කර නොගතහොත් සමස්ත ගොවිතැනට ඇති සැබෑ අභියෝග සියල්ලට පිළියම් සෙවීම වෙනුවට වන සතුන් පාලනය කිරීමෙන් පමණක් ගොවිතැනේ අභියෝගවලට පිළියම් සෙවිය හැකි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇත. එමගින් බොහෝ දෑ මඟහැරී යනු ඇත. මේ නිසා ගොවිතැන ගොඩනැගීමට හා ගොවියා ගේ පැවැත්ම සුරක්ෂිත කර වගා බිම්වල හා වගා අස්වැන්නේ සුරක්ෂිතතාව ඇති කිරීමට පළමු ව කළ යුතු වන්නේ වගා හානි සිදු කරන වන සතුන් විනාශ කිරීම නොවන බව අපි පිළිගනිමු. එපමණක් නොව මෙම වන සතුන් පරිසර පද්ධතියේ තුළිත පැවැත්ම පවත්වාගෙන යාමට දායකත්වයන් බොහොමයක් ලබා දෙන බව ද අප තේරුම් ගත යුතු ය. මේ නිසා අප ගොවිතැන දෙස බැලිය යුත්තේ මානව කේන්ද්‍රීයව නොව ජෛව කේන්ද්‍රීයව ය

    වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

    භූමියේ මෙම යතාර්ථයන් සියල්ල පවතින අතර තුර ගොවීන් ගේ හා වන සතුන් ගේ රැකවරණය වෙනුවෙන් නීති සම්පාදනය කර තිබේ. 2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 53අ උප වගන්තියට අනුව වන සතෙකු මැරීම හෝ මත් කිරීම සඳහා වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය භාවිත කිරීම නීති විරෝධී වේ. පනතේ 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකය භාවිත කර වන සතෙකු ගේ පෙනීම මුලා කිරීමෙන් හෝ සතා ඇද ගැනීමට සැලැස්වීමෙන් හෝ අල්ලා ගැනීමට පහසු කිරීම සඳහා ක්‍රියා කිරීම ද නීති විරෝධී වෙයි. එපමණක් නොව පනතේ 52ආ උප වගන්තියට අනුව සතෙකු අල්ලා ගැනීම සඳහා පෙළැඹවීම හා ආකර්ෂණය කර ගැනීමට ආහාර වර්ග, සුවඳ වර්ග, වර්ණයන් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිතා කිරීම ද නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 53ආ උප වගන්තියට අනුව වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය මගින් මරණු ලැබූ හෝ අල්ලාගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවකු වන අයෙකු පනතේ 58 වගන්තියට අනුව රුපියල් 15,000 ත් 30,000 ත් අතර දඩයකට හෝ වසර 1 ත් 2 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව විශේෂිත කරුණක් වන්නේ පනතේ 59 වන වගන්තියට අනුව මෙවන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් සිදු කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම සිදු කරන අතර එම දඩුවමට ම ලක් කළ හැකි වීම ය.

    ඒ අනුව ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පෞද්ගලික වගා බිමකට පැමිණෙන වන සතුන් ව වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් ම පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගතහොත් හෝ එසේ මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගත හොත් සිදු වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව දඩුවම් ලැබීමට ය. මේ නිසා මෙම අමාත්‍යවරයා ගොවීන් නීති විරෝධී ක්‍රියාවලට පෙළැඹවීම ද සිදු කර ඇත. මේ නිසා වන සත්ත්ව හා වෘත්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 59 වන වගන්තියට අනුව ලාල්කාන්ත අමාත්‍යවරයාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බවට ඇති නීතියේ ආප්ත ලාල්කාන්ත අමාත්‍යවරයාට ද අදාළ බව අවධාරණය කළ යුතු ය. එපමණක් නොව අමාත්‍යවරයා ගොවීන්ට වැරදි මඟ පෙන්වීම තුළින් සිදු කර ඇත්තේ විශාල අසාධාරණයකි.

    ආරක්ෂිත නොවන වන සතුන්

    වගා හානි ඇති කරන වන සතුන් ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීමට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තියට අනුව පළමු වන උප ලේඛනයේ සහ 31 වන වගන්තියට අනුව තුන් වන උප ලේඛනය යටතේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් හා ආරක්ෂිත නොවන පක්ෂීන් නම් කර ඇත. පළමු උප ලේඛණය යටතේ ක්ෂීරපායී සතුන් පස්දෙනෙකු ආරක්ෂිත නොවන සතුන් ලෙස නම් කර ඇත. ඊට හේතු ව මෙම සතුන් වගා හානි කරන සතුන් ලෙස සැලැකීම ය. රිලවා, අළු වදුරා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ආරක්ෂිත නොවන ක්ෂිරපායී සතුන් වේ. තුන්වන උප ලේඛණයට අනුව ආරක්ෂිත නොවන පක්ෂීන් වන්නේ රෑන ගිරවා, කොළඹ කපුටා, ගං කපුටා, තිත් වී කුරුල්ලා සහ පිට සුදු වී කුරුල්ලා ය.

    මෙම ආරක්ෂිත නොවන සතුන් අනාරක්ෂිත වන්නේ පෞද්ගලික වගා බිමක දී පමණි. නමුත් එම සතුන් වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් කිසිදු උපකරණයක් හෝ රසායනික හෝ විදුලි සැර යොදා හෝ මදු තැබීමෙන් හෝ පාලනය කළ නොහැකි ය. නීතියට අනුව එම සතුන් පාලනය කළ හැකි වන්නේ බලපත්‍ර සහිත ගිනි අවියකින් පමණි.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කර ආරක්ෂිත නොවන ක්ෂීරපායී ලේඛණයේ ඇතුළත් වගා හානි සිදු කිරීමට වැඩි දායකත්වයක් ලබා නොදෙන අළු වදුරා හා හාවා ඉවත් කර ඒ වෙනුවට දඩුලේනා සහ අනාරක්ෂිත පක්ෂි ලේඛණයේ කොළඹ කපුටා, ගං කපුටා හා පිට සුදු වී කුරුල්ලා ඉවත් කර ඒ වෙනුවට මොණරා ඇතුළත් කිරීමට පියවර ගත යුතු වන්නේ වගා හානි සිදු කිරීමට දායක වන සතුන් පමණක් එම ලේඛණවලට ඇතුළත් වීම ප්‍රමාණවත් වන නිසා ය.

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි නොකිරීමට නම්,

    වත්මන් ආණ්ඩුවේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක්, සදාහරිත ජීවිතයක් කොටසෙහි සඳහන් කර ඇත්තේ සියලූ ම ජීවීන් ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොට ගෙන ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වන බව ය. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන් ම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත, ඔබ, අප, මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්” වන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධතික ප්‍රවේශය, පාරිසරික යහපාලනය යන මූලධර්ම මත ක්‍රියාත්මක වන බව ය. ඒ අනුව ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන මංකඩවල් ස්ථාපිත කිරීම, සියලු වන සතුන් ගේ ආහාර හා ජල අවශ්‍යතාව සැපිරීමට අදාළ පාරිසරික පද්ධති සුපෝෂණය කිරීම, ආක්‍රමණික ශාක ඉවත් කිරීම, අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව අධ්‍යයනය කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණය භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මොනරුන්, රිලවුන්, දඩුලේනන් වැනි වගාවන්ට හානි පමුණුවන වන සතුන් ගේ වර්ධනය පිළිබඳ ව නිවැරදි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහනය පාලනය කිරීමට පියවර ගන්නා බව ය. නමුත් ලාල්කාන්ත හා විජේපාල අමාත්‍යවරුන් ගේ ප්‍රකාශ සමඟ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මීට ප්‍රථම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට සිදු වූ ආකාරයෙන් ම ලේඛණවලට පමණක් සීමා වන බව පෙනෙන්නට තිබේ. එය පෙර පැවති ආණ්ඩු මෙන් ම වත්මන් ආණ්ඩුව ද බලය ලබා ගත් පසු ව ජනවරමට පිටතින් කටයුතු කිරීමකි. එවන් තත්ත්වයක් ඇති වුවහොත් සිදු වන්නේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” බලාපොරොත්තු වූ බහුතර ජනතාවට එය අහිමි වීම ය.

    මේ නිසා වගා බිම් වන සතුන් ගෙන් ආරක්ෂා කිරීමට හා අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට කළ යුතු ක්‍රියාමාර්ග බොහොමයක් වේ. ඒ අතර ප්‍රධාන වන්නේ වන සතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම හා ඒවා ජාල ගත කිරීම ය. වන සතුන් ගේ වාසස්ථාන වන මහවැලි අධිකාරිය යටතේ පවතින වනාන්තර හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර සියල්ල ආරක්ෂිත තත්ත්වයට පත් කළ යුතු ය. වන වගාවන් තුළ වන සතුන් ගේ ආහාර වන දේශීය ශාක වර්ධනය වීමට අවස්ථාව ඇති කළ යුතු ය. ඒක බෝග වාණිජ වගා බිම් වෙනුවට ශාක ස්ථර ලෙස සකස් වූ බහු බෝග වගා බිම් ඇති කළ යුතු වේ. එපමණක් නොව ආක්‍රමණික ශාක ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල එම ශාක ක්‍රමාණුකූල ව ඉවත් කර ස්වාභාවික පද්ධති ඇති වීමට අවස්ථාව ලබා දිය යුතු ය. වනජීවී වාසස්ථාන ආශ්‍රිත සියලූ ම කසළ රැඳවුම් ඉවත් කර ඒ වෙනුවට රට තුළ කසළ කළමනාකරණ ව්‍යුහයක් ඇති කළ යුතු ය. වනජීවී වාසස්ථාන තුළ පිහිටි සියලූ ම සංචාරක හා ආගම්ක ස්ථානවල මිනිසුන් පරිභා්ජනය කරන ආහාර රැඳවීම සම්පූර්ණයෙන් ම පාලනය කළ යුතු ය. ඒ අතරතුර වගා බිම්වලට වන සතුන් පැමිණීම වැළැක්වීමේ උපායමාර්ග සඳහා ගොවීන්ට පහසුකම් ලබා දිය යුතු වේ. එය සමාගම්වලට වාසිදායක තත්ත්වයට පරිවර්තනය කිරීම ද වැළැක්විය යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ නැවත වරක් ගොවීන් වන සතුන් පාලනයට ද සමාගම්වල ග්‍රහණයට නතු වීම ය. මේ සියල්ල අතරතුර ජනතාව ගේ අදහස් මත ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සහ තිරසර සංවර්ධන ප්‍රවේශයක් ඇති කර දැනට ක්‍රියාත්මක කරන වැරදි ජාතික භෞතික සැලැසුම ද සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු ය. එසේ නොවුනහොත් ගොවියා, ගොවිතැන හා පොදු ජනතාව මුහුණදෙන කිසිදු ගැටළුවකට විසදුම් සෙවීමට නොහැකි වනු ඇත.

  • උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය

    උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය

    මෙම ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක් ලෙස කොටස් දෙකකින් යුතුය.  අද බදු පැනවීම ගැන ඉලක්කම් විද්‍යාව මෙහි ඇත. දෙවන කොටස එහි බලපෑම ගැන උපහාසාත්මක කතාවකි.  කැමති විදිහකට පළ කලාට කම් නැත.  ඇමුණුමේ ඇත්තේ පසුගිය රජය විසින් උපයන විට ගෙවන බද්ධ රු. 150,000 ට අප්‍රේල් මස සිට අඩු කිරීමට ගත් කැබිනට් තීරණය යි.  

    රජය බදු සහන කිහිපයක් නිවේදනය කර ඇත. උපයන විට ගෙවීමේ බද්ද නැත්තම් PayE tax  (බද්ද) අවම සීමාව රු. ලක්ෂයේ සිට රු. 150,000 දක්වා අඩු කර ඇත. සරළව වැටුප රු. 150,000 ට අඩු නම් බදු නැත.

    රු. ලක්ෂ 2 කට අඩු අයෙකුට බදුද 71% කින් ද, ලක්ෂ තුන හමාරක වැටුපට බද්ද 25.5% කින් ද ඒ අනුව නිදහස් වේ.  ඡන්ද වේදිකාවේ පැවසූ ලෙස PayE tax  රු. ලක්ෂ 2 දක්වා අඩු පහත දමා, නැතත් එය යහපත් කාර්යයකි. ජයවේවා!

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතා සීමාවන් අනුව රජය මේ බද්ද පනවන විට එයින් අපේක්ෂිත බදු මුදල රු. බිලියන 160 ක් විය.  අද වන විට එමගින් රු. බිලියන 190 ක් ලැබේ. නව බදු අඩු කිරීම තුල රජයට අහිමි වන මුදල රු. බිලියන 40 කි.  එනම්, බදු ආදායම ලෙස රජයට ඉතිරිවන්නේ රු. බිලියන 150 කි.

    කෙටියෙන්ම, බද්ද පනවන විට බලාපොරොත්තු වූ ආදායම රු. බිලියන 160 වෙනුවට රු. බිලියන 150 ක් සංශෝධනය අවසානයේ දී ද හිමිවේ. 

    දැන් මේ අහිමි වන මුදල රජය ලබා ගන්නේ කෙසේද? යන්න ඊලඟ ප්‍රශ්නයයි.

    බදු සංශෝධනයේ දී 5% ක් වූ රැඳවුම් බද්ද ‘Withholding tax’ 10%  දක්වා වැඩි කර ඇත.  සරළව ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදලට රු. ලක්ෂයක පොලියක් ලැබෙන්නේ යැයි සිතන්න. ඊයේ වන තුරු එයින් රු. පන්දහසක බද්දක් රජයට ලැබුණි.  එම බද්ද දැන් රු. 10,000 දක්වා වැඩි වන්නේය. මෙය බැංකු පොලිය එකතු කරන මොහොතේම කපා ගෙන රජයේ ගිණුමට බැර වන්නේය.

    PayE tax අඩුවීම නිසා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින්ට  සහනයක් ලැබේ.  අනෙක් අතට, විශ්‍රාමිකයින් බහුතරය එනම් අර්ථසාධක අරමුදල බැංකුවේ දමාගෙන පොලියෙන් ජීවත් වන පිරිසට එදා ලැබුණු 15% ක පොලිය අද 7.5% දක්වා පහත වැටී ඇත. එදාට සාපේක්ෂව දැන් ලැබෙන සොච්චම් පොලියට ගැසූ 5% ක බද්ද 10% දක්වා වැඩිවී ඇත. මේ බදු වෙනස නිසා බද්ද පනවන විට අපේකෂා කල මුදලට වඩා රු. බිලියන 5 ක් පමණ රජයට අහිමි වන්නේය.

    සීයා තරුණයින්ට බදු ගසා, වයසක උදවියට සහන දුන් අතර, ඩබල් පොකට් තරුණයා වැඩිහිටියන්ගෙන් කපාගෙන, වැඩකරන වයසේ අයට සහන දී ඇත. දෙකම හොඳය. 

    විශ්‍රාමිකයින් බහුතරය ඉල්ලා සිටින්නේ තමන්ට දිගු කාලයක් ලැබුණු ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉහළ පොලී අනුපාතය’ ලබා දී තම ජීවිත සුඛිත මුදිත කරන ලෙසය. දැන් ඔවුනට ලැබෙන පොලියට අඩු වි ඇත.

    ———————————– Part 11——————–
     
    මිත්‍රවරුණි, පමාවී දිව්‍යලෝකයේ ගිය බිරිඳ හා සැමියාගේ කතාව ඔබ දන්නවාද?

    ස්වාමියා අසනීප වී රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් කීවේ ලුණු, මිරිස් අඩුවෙන්, කිරි නැතුව, මස්, මාළු, අරක්කු සිගරට් නැතිව ජීවත් නොවන්නේ නම් තව සතියකට වඩා ජීවත් නොවන බවය. වෛද්‍ය උපදෙස් පළිපැදි  බැවින් පුරුෂයාගේ ආයු දික් විය. වසර 10 ක් ජීවත් වී මිය ගිය විට යහපත් කල් ක්‍රියාව නිසා දිව්‍ය ලෝකයේ ඉපදුණි.

    දැන් දිව්‍ය ලෝකයේ දිවා ආහාර වේළාවයි. බිරිඳ, ස්වාමියා වෙනුවෙන් ඇණවුම් කරන්නේ ලුණු, මිරිස්, තෙල්, කිරි, මධ්‍යසාර නැති භෝජනයකි.

    වේටර් කියන්නේ, දිව්‍ය ලෝකයේ කුමන ආහාරය ගත්තත් ලෙඩ නොවන බවත්, දීර්ඝායු ලැබෙන බවත් ය.

    ස්වාමියා, බිරිඳ දෙස බලා අමු තිත්ත කුණුහරුපයෙන් ඇය අමතන්නී, ‘මේ ගෑණු නොවුණා නම් මම දැන් අවුරුදු 10 ක් දිව්‍ය ලෝකයේ මේ රසමසවුළු රස විදිනවා යැයි කියමිනි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • SMEs Guide SL:  ව්‍යවසායකයකු වන්න කැමති නම් ‘පලතුරු බීම නිෂ්පාදන කර්මාන්තයක්’ ආරම්භ කරන්න

    SMEs Guide SL: ව්‍යවසායකයකු වන්න කැමති නම් ‘පලතුරු බීම නිෂ්පාදන කර්මාන්තයක්’ ආරම්භ කරන්න

    වර්තමානය වනවිට කෘත්‍රිම රසකාරක අඩු හා ස්වභාවික පලතුරු බිම වර්ග උදෙසාවන ඉල්ලුමේ ඉහල ප්‍රවණතාවයක් ගොඩනැගී ඇත්තේ එහෙයිනි. ශක්තිජනක බීම Energy Drinks, කාබනික බීම Organic Drinks සහ මිශ්‍ර බීම Smoothies යන කාණ්ඩ අතර පලතුරු යුෂ නිෂ්පාදන සැලකිය යුතු වෙළඳපොලක් අත්පත්කර ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව පලතුරු බීම නිෂ්පාදන හොඳ ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බවට ද පත්වී ඇත. මේ සඳහා පුළුල් වෙළඳපලක් අපේ රට තුළද ගොඩනැගෙමින් පවතී. ඒ උදෙසා දේශීයව සපයා ගතහැකි පලතුරු වර්ග බොහොමයක් අප සතුව ඇත. කෙසේ වුවද ව්‍යවසායකයකු වශයෙන් පලතුරු බීම නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණවීමට පෙරාතුව ඒ පිළිබඳව යම් තරමක හෝ පූර්ව දැනුමක් ලබා තිබීම ද ඉතා වැදගත් බව පැවසිය හැකිය.

    ඒ සඳහා අවශ්‍ය වෘත්තීයමය දැනුම ලබා ගැනීමට හා කුසලතාව වැඩි දියුණුකර ගැනීමට ඔබගේ පදිංචියට ආසන්නව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන වෙතින් විමසා බැලීම වඩා උචිත වේ. එමෙන්ම ඒ උදෙසා අවශ්‍ය කරන අනුකූලතා සහතික මොනවාද යන්න ඔබ දැන සිටීම ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරය අරඹන ස්ථානය අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් පාලන ආයතනය වෙතින් ඒ පිළිබඳව කරුණු විමසා දැන ගැනීමට හැකියාව තිබේ. ඉන් බැහැරව පලතුරු යුෂ හෝ බීම නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳ දේශීය නීතිරීති ගැන අධ්‍යයනය කරන්න. මේවා හඳුන්වාදී ඇත්තේ ඔබගේ උත්සාහය අකර්මණ්‍ය කිරීමට නොවන බවත් අවධාරණය කරමු.

    ඒ අනුව පලතුරු බෝග වගා කිරීමේ සිට පලතුරු යුෂ ඇසුරුම්කර විකිණීම දක්වා වූ ව්‍යාපාර දාමයේ කොතැනක වුවද ඔබට නිරතවීමට හැකියාව තිබේ. එමෙන්ම නැවුම් පලතුරු යුෂ Fresh Fruit Juice, සාන්ද්‍ර යුෂ FC-From concentrate juice, සාන්ද්‍ර නොකල යුෂ NFC – Not from concentrate Juice (100% පලතුරු යුෂ) සහ සෙ.අංශක 10 කට වඩා අඩු උෂ්ණත්වයකදී පීඩනය යටතේ නිස්සාරණය කරගන්නා යුෂ Cold Press Juice හා සීනි මිශ්‍රිත පලතුරු බීම Fruity Drinks ආකාරයෙන් කැමති ස්වරූපයක පලතුරු යුෂ නිෂ්පාදන කිරීමට යොමුවිය හැකි වේ. කෙසේ වුවද සමහර ආයතන පලතුරු මිලදී ගෙන ඒවා සාන්ද්‍ර පලතුරු යුෂ බවට පත් කර, පසුව තොග වශයෙන් ඇසුරුම්කර බීම නිෂ්පාදකයින් වෙත විකුණන ආකාරය දක්නට ලැබේ.

    පලතුරු යුෂ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක්, කුඩා ව්‍යාපාරයක්, සුළු කර්මාන්තයක් හෝ විශාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම එතරම් සංකීර්ණ කටයුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ ඔබගේ නිෂ්පාදනය කෙරෙහි දෙවන හා තෙවන පාර්ශවයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමයි. ව්‍යාපාරයේ පරිමාණය කුමක් වුවද පලතුරු යුෂ බීම ජනප්‍රියවීම කෙරෙහි බලපාන්නේ ඒවායෙහි නිෂ්පාදන පිළිවෙත, ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව යැයි අවධාරණය කරමු. මෙවැනි කර්මාන්තය ඇරඹීම උදෙසා ගෘහස්ථ පරිශ්‍රයේ ඉඩකඩ නොමැති නම්, ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට හෝ ගත හැකි වේ. අමුද්‍රව්‍ය ගබඩා කිරීමට, යුෂ නිෂ්පාදනය උදෙසා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් කිරීමට සහ කාර්ය මණ්ඩලයට නිදහසේ වැඩ කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ එහි තිබිය යුතු ය.

    කෙසේ වුවද නිෂ්පාදනය කරන පලතුරු යුෂ වර්ගය කුමක් වුවත් ඒ සඳහා සම්මත නිෂ්පාදන ක්‍රියාදාමයක් පවතින බව පෙන්වා දිය හැකිවේ. පලතුරු අස්වැන්න නෙලාගන්නා ක්ෂේත්‍රයේ සිට අලෙවිකරණ ස්ථානය තෙක්වන ගමන් මගකින් එය යුක්ත වේ. ඒ අනුව හොඳින් පැසුණු පලතුරු තේරීම, සේදීම, බාහිර ආවරණ ඉවත් කිරීම, අභ්‍යන්තරයේ වූ බීජ ඉවත් කිරීම, ඇඹරීම, නිස්සාරණය කිරීම, පෙරීම සහ බඳුන්වලට පිරවීම, මුද්‍රා  තැබීම, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම සහ වෙළඳසැල් වෙත යොමු කිරීම මෙන්ම පාරිභෝගිකයින් දැනුවත් කිරීම දක්වා එය විහිදී යයි. මෙහි සඳහන් කළ එක් එක් නිෂ්පාදන පියවර සඳහා ගෘහස්ථව භාවිත කළ හැකි සරල උපකරණවල සිට විශාල පරිමාණයේ තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර සූත්‍ර බොහොමයක් දැන් වෙළඳපොල වෙතින් සපයා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.

    මෙවැනි යන්ත්‍ර සූත්‍ර ඇසුරෙන් වෙනත් අමුද්‍රව්‍ය එකතු නොකර පිරිසිදු ලෙස පලතුරු බීම නිෂ්පාදනය කළහැකි අතර සමහර නිෂ්පාදන සීනි සිරප් සමඟ තනුක කර සකසා නිපදවීම ද කෙරේ. එමෙන්ම පලතුරු වලින් සාදන බීම ‘ඇසුරුම විවෘතකල සැණින් බීමට ගතහැකි Ready- To- Drink ’ මෙන්ම භාවිත කරන අතරම ගබඩා කර තබා ‘ටිකෙන් ටික නැවත භාවිතයට ගත හැකි බීම Highly Concentrated Juice’ වශයෙන් නිපදවා වෙළඳපොලට යොමු කළහැකි වේ. පෙර සඳහන් කළ ආකාරයට ඇසුරුම් කරන්නේ නම් එවැනි නිෂ්පාදන සඳහා කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් මිශ්‍ර නොකළ යුතුය. දෙවනුව සඳහන් කළ නිෂ්පාදන උදෙසා අනුමැතිය ලත්, කල් තබා ගැනීමට උපකාරීවන රසායනික ද්‍රව්‍ය නිර්දේශිත ප්‍රමාණයක් මිශ්‍ර කළ හැකි වේ.

    බීම නිෂ්පාදනයේදී, ආරම්භක පියවර වන්නේ පූර්ව තේරීම Pre-sorting ය. ඒ අනුව, නුසුදුසු වූ සහ හඳුනාගත් ප්‍රමිතියට නොමැති පලතුරු ඉවත් කරන්න. ගුණාත්මක නිෂ්පාදන සැකසීමේ මුල්ම පියවර එමගින් සහතික කරයි. අපවිත්‍රවීමේ අවදානමක් නොමැති බව සහතික කිරීම සඳහා යුෂ නිෂ්පාදනය කරන පරිශ්‍රයේ සීමාවෙන් පිටත මෙම ක්‍රියාවලිය සිදුකිරීමට වග බලා ගන්න. ඒ සඳහා යොමුවන පුද්ගලයා (පිරිස) ද සනීපාරක්ෂක රෙගුලාසි වලට අනුකූලව නිර්දේශිත ඇවතුම් පැවතුම් ඒ උදෙසා අනුගමනය කළයුතු අතර ඔවුන් වෙතින් හරස් දූෂණය Cross Contamination නොවන බවට සහතික කරගත යුතු ය.

    දෙවන ක්‍රියාපටිපාටිය වන්නේ පලතුරු පිරිසිදු කිරීම Cleaning ය. සියලුම බාහිර අපද්‍රව්‍ය සහ දූෂ්‍ය  ද්‍රව්‍ය  ඉවත් කිරීම සඳහා පලතුරු සේදීම කරන්න. මෙය සාමාන්‍යයෙන් නිෂ්පාදන පරිශ්‍රයේ සීමාව තුළ ඉටුකරගැනීමට කටයුතු කරන්න. මේ සඳහා ඔබට සෝදන ඒකකයක් හෝ යන්ත්‍රයක් Surfing Washing Machine අවශ්‍ය කෙරේ. ඒ අනුව මළ නොකන ලෝහ හෝ පොලිමර් ටැංකියක් වෙත ඉහළ පීඩනයකින් යුත් පොම්පයකින් ජලය යොමුකරමින් අදාල පලතුරු, පෙරළ පෙරළා පිරිසිදු කරගත හැකිවේ. බොහෝවිට ආහාර ශ්‍රේණියේ සනීපාරක්ෂක රසායනික ද්‍රව්‍ය Food Grade Sanitizing Chemicals විෂබීජ නාශක ලෙස ජලය සමග නිර්දේශිත අනුපාතයෙන් මිශ්‍රකර මේ උදෙසා භාවිත කරන්න. එම ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම මෙහිදී කොහු කෙඳි හෝ පොලිමර් බුරුසු ආධාරයෙන් පලතුරුවල බාහිර පෘෂ්ඨය පිසදැමීම මගින් පහසුවෙන් ඒවායෙහි තැවරී රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත්කර ගත හැකි වේ.

    අනතුරුව, අභ්‍යන්තරයේ අපවිත්‍ර ද්‍රව්‍ය හෝ ජීවීන් (උදා. පණුවන්)  නොමැති බව සහතික කර ගැනීමට ඒවා විවරකර හෝ කපා බලන්න. මෙම කටයුත්ත නිෂ්පාදන පරිශ්‍රය තුළ වුවද සිදු කළ හැකිවේ. සමහර පලතුරු (උදා. අඹ, පීච්, පැපොල්, අන්නාසි සහ අලිගැට පේර ) ඇඹරීමට පෙර ඒවායෙහි බාහිර ආවරණය සහ බීජ ඉවත් කිරීම කළ යුතු ය. විශේෂයෙන්ම පැඟිරි කුලයේ ඵල ඇසුරෙන් යූෂ නිෂ්පාදනයේදී ඒවායේ පොත්තෙහි අන්තර්ගත තෙල් Limonene මඟින් එහි යුෂයට කටුක රසයක් ගෙනදීම පෙන්වා දිය හැකි ය.) ගෘහ කර්මාන්තයකදී නම් මිනිස් ශ්‍රමය ඇසුරෙන් මෙම ක්‍රියාව ඉටුකර ගැනීම ලාභදායී වේ. යන්ත්‍රයක් භාවිතයේදී එහි වූ කැපුම්තල මගින් පැඟිරි කුලයේ පලතුරුවල බාහිර ආවරණය කපා බැහැරට යොමු කරනු ලැබේ. ඉන්පසුව, යුෂ නිස්සාරණය Extraction කිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයට යොමු කළහැකි වේ.

    පලතුරු යුෂ නිස්සාරක ඇඹරුම් යන්ත්‍ර මෝස්තර රඳා පවතින්නේ ඒ උදෙසා කුමන ආකාරයේ පලතුරු භාවිත කරන්නේද යන්න සහ අවසාන නිෂ්පාදිතයේ ස්වරූපය මත ය. සමහර අවස්ථාවක ඔබට අවශ්‍ය  වන්නේ එක් යන්ත්‍රයක් පමණක් වුවද තවත් කෙනෙකුහට ඒ උදෙසා යන්ත්‍ර වර්ග කිහිපයක් භාවිතයට ගැනීමට සිදුවේ. ඇඹරුම් යන්ත්‍ර විවිධ ධාරිතාවන්ගෙන් යුතුව මිලදී ගැනීමට හැකියාව පවතියි. සපයාගතහැකි අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ අපේක්ෂිත බිම නිෂ්පාදිතයේ වයනය හා ප්‍රමාණය මත අදාළ යන්ත්‍ර තෝරා ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. එමෙන්ම එය ක්‍රියාකරවන බලශක්තිය හා බලශක්ති අවශ්‍යතාවය (උදා: විදුලිය නම්, මෝටරයේ ධාරිතාවය, ඇම්පියර් ගණන හා වොල්ටියතාවය)   ගැන සලකා බලන්න.

    එලෙසින් ඇඹරුම් යන්ත්‍රයෙන් එක්රැස් කරගන්නා උකු ද්‍රවය (පොම්පයක් ඇසුරෙන්) ඊළඟ නිෂ්පාදන අදියර වෙත මාරු කළ හැකි වේ. පලතුරු යුෂ සැකසීමේ වැදගත් ඒකකයක් වන්නේ මිශ්‍ර  කිරීමේ ටැංකියයි. සාන්ද්‍රණය, පලතුරු පල්ප්, කල් තබා ගන්නා ද්‍රව්‍ය, ජලය, රසකාරක, වර්ණකාරක සහ තවත් බොහෝ දේ මිශ්‍ර කිරීම සඳහා මෙවැන්නක් උපකාරී වේ. විවිධ ප්‍රමාණවලින් මළ නොකන ලෝහ ද්‍රව්‍ය  ඇසුරෙන් සකසා ඇති මෙම ටැංකි විවිධ මිල ගණන් යටතේ විවෘත වෙළඳපොල වෙතින් සපයා ගතහැකි වේ.

    මෙලෙසින් නිපදවාගත් පලතුරු යුෂ පෙරහන් ක්‍රමයක් Filtration System භාවිත කර අන්තර්ගතයේ ස්වරූපය අනුව පෙරා වෙන්කර ගැනිමට හැකිවේ. ඒ සඳහා  පීඩන පෙරීමේ තාක්ෂණය සහිත උපකරණ භාවිතා කරයි. මේවායේ සෑම කොටසක්ම මළ නොබැඳෙන වානේ වලින් නිපදවා තිබේ. ඒ තුළ ඇති මළ නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් ලෝහ මගින් නිපදවා ඇති පෙරහන් දැල ආධාරයෙන් 1μ ට වඩා වැඩි අංශු බැහැර කිරීමට හැකියාව තිබේ. එමෙන්ම ඒකාබද්ධ යුෂ පෙරහන යන්ත්‍ර මොස්තර වලට ඉහළ පෙරීමේ වේගයක් සමග විශාල වශයෙන් අවශේෂ රඳවා ගැනීමේ ධාරිතාවයක් පවතී. මෙවැනි යන්ත්‍රයක සුමට සංසරණ ක්‍රියාදාමයක් පවතින අතර භාවිතය පහසු වේ.

    පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලියේදී පැස්ටරීකරණය Pasteurizing ඉතා වැදගත් අදියරකි. මෙය අත්‍යවශ්‍ය දෙයකි. බැක්ටීරියා රඳා නොසිටින හා විඛාදනය නොවන උසස් ප්‍රමිතියෙන් යුතු ලෝහ ද්‍රව්‍ය භාවිතකර නිපදවන පැස්ටරීකරණ උපකරණ මේ උදෙසා භාවිත කිරීමට සැලකිලිමත් වන්න. පලතුරු මිශ්‍රකර බීම නිෂ්පාදනයේදී වුවද බෝතල් තුළට පිරවීමට පෙර එම ද්‍රව්‍ය පැස්ටරීකරණය කළ යුතු වේ. ( පැඟිරි කුලයේ පලතුරු මිශ්‍ර කිරීමෙන් වළකින්න.) මෙම ක්‍රියාවලිය පලතුරු යුෂ ඉක්මනින් සිසිල් කිරීමට පෙර නියමිත වේලාවට නිශ්චය කරගත් උෂ්ණත්වයකට රත් කරගත යුතුවේ. නවීන පිරවුම් යන්ත්‍ර බොහොමයක් පැස්ටරීකරණ පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකිවේ.

    පැස්ටරීකරණයේදී පලතුරු බීමවල පෝෂණ ගුණයන් ආරක්ෂා කරමින්, හානිකර බැක්ටීරියා විනාශ කර දමයි. විටමින් සංරක්ෂණය කරදෙයි. නිෂ්පාදනයේ ආයු කාලය දිගු කරවයි. ඒවායේ කාබනික ගුණාංග ද ආරක්ෂා කරන අතර ඇසුරුම් තුල කල්පවත්වා ගැනීම සඳහා  ද උපකාරී වේ. අනතුරුව  නිෂ්පාදිතය ඉක්මන් සිසිලනය කිරීම වැදගත් වේ. එසේ නොමැති නම්, නිෂ්පාදනයට පිළිස්සුණු රසයක් ගෙන එයි. වර්ණය තද දුඹුරු බවට පත්වේ.

    මෙලෙස සැකසූ පලතුරු බීම, පිරවුම් යන්ත්‍රයක් Filling Machine ආධාරයෙන් බෝතල් කිරීමෙන් පසු එයට අදාළ මූඩිය හෙවත් වැස්ම සවිකර ගැනීම කළ යුතුවේ. අවම මිනිස් ශ්‍රමයක් යටතේ ක්‍රියාකරවිය හැකි සරළ උපකරණ මේ උදෙසා භාවිතය ලාභදායී වුවද පරිමාණයෙන් ඉහල නිෂ්පාදන ආයතනයක් නම් සකස්කරගත් පලතුරු බීම අපතේයාම සිදුනොවීමට බෝතලයට යොමුකරන දියර ප්‍රමාණය සහ පිරවීමේ වේගය නියාමනය කළ හැකි යන්ත්‍ර භාවිත කිරීම වාසිදායක වේ. ඒ අනුව වාහක පටි මතින් රැගෙනයන බෝතල යන්ත්‍රයේ නැසිනි Nozzles වෙතට යොමුකිරීමෙන් පසුව පරිමාමිතික තාක්ෂණය Volumetric Technology භාවිතයෙන් බෝතල තුළට යොමු කරයි. බහාලුම්වල ප්‍රමාණය, ඒවායෙහි හැඩය සහ ඇසුරුම් ද්‍රව්‍ය අනුව ද නිමි නිෂ්පාදන ක්‍රියා පිළිවෙත විවිධ මුහුණුවර උසුලයි.

    කෙසේ වුවද පලතුරු බීම ඇසුරුම් කිරීමට පෙර අදාල ඇසුරුම් බෝතල පරීක්ෂා කිරීම විශ්වසනීය පිරවීමේ මෙහෙයුමක අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ අනුව බෝතලයේ නිෂ්පාදිත දෝෂ, අපද්‍රව්‍ය හෝ අවශේෂ ද්‍රවයක් තිබේදැයි පරීක්ෂා කළ හැකිවේ. පිරවීමෙන් පසුවද අපේක්ෂිත පිරවුම් මට්ටම හා කාන්දුවීම් නොමැති බව සහතික කරගැනීම සඳහා ඒවා නැවත පරීක්ෂා කළ යුතු වේ. කුඩා ව්‍යාපාරයක නම් කල්ගත වුවද එය මිනිස් ශ්‍රමයෙන් ඉටුකර ගැනීම ලාභදායී වේ.  කර්මාන්තශාලා තුළ සාමාන්‍යයෙන් වාහක පටි ඔස්සේ බෝතල් ගමන් කිරීමේදී ඒවා සමග ස්පර්ශ නොවන දෘශ්‍ය  පරීක්‍ෂණයක් යටතේ බෝතලයේ ස්වරූපය හා අන්තර්ගත දියර ප්‍රමාණය නිරීක්ෂණය කළහැකි වේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය වන අතර ඒ සඳහා බෝතල් පරිලෝකන තාක්ෂණය භාවිතා කරයි. තත්ත්ව පාලන ක්‍රියා පටිපාටිවලට අනුකූලවීම මෙන්ම සත්‍යාපනය Verification කිරීම සඳහා බෝතල් පරීක්‍ෂණ උපකරණ වර්තමානයේදී පලතුරු බීම කර්මාන්තයේ බහුලව භාවිතා වේ.

    අවසාන පියවර වන්නේ ඔබගේ පලතුරු බීම බෝතල ලේබල් කිරීම සහ ඇසුරුම් කිරීම Labeling and Packaging යි. මෙය සුවිශේෂී කටයුත්තකි. පෙර සකසාගත් ලේබලය මත නිෂ්පාදන නාමය, ව්‍යාපාරික නම සහ ලිපිනය, නිෂ්පාදනය කරන ලද දිනය, කල් ඉකුත්වන දිනය, භාවිත අමුද්‍රව්‍ය, අන්තර්ගත කල් තබා ගන්නා ද්‍රව්‍ය, නිෂ්පාදිතයේ ප්‍රමාණය, කාණ්ඩ අංකය, පෝෂණ විශ්ලේෂණය, ප්‍රමිතිකරණ සලකුණ , තීරු කේත (ප්‍රධාන ප්‍රවාහ වෙළඳපල සඳහා) සහ ගබඩා කල යුතු ආකාරය සඳහන් කිරීම රීතියකි. එමෙන්ම නිෂ්පාදියේ වැසුමේ/ මූඩියේ මුද්‍රා තැබීම සහතික කිරීම සඳහා මෙන්ම ලේබල වලට සිදුවන හානි වළකාගැනීම සඳහා උණුසුමට ලක්කළ වාතය හෝ ජලය ඇසුරෙන් පොලිතීන් හැකිලීමට සලස්වා ආවරණය Shrink wrapping කිරීම නිෂ්පාදිතයට ඉහළ වටිනාකමක් එකතු කරදෙයි. මෙවැනි කටයුත්තකට Heat gun dryer ආකාරයේ අත් යන්ත්‍රයක් කුඩා ව්‍යවසායත්වයකට යෝග්‍ය වේ.  කුඩා ව්‍යවසායෙකු හට ආරම්භයේදී මුද්‍රිත ලේබල ඇලවීමට, ඇසුරුම් කිරීමට හා ඇසුරුම මත ලේබල යෙදීමට මෙන්ම ඒවා මුද්‍රා  කිරීමට ද සේවක ශ්‍රමය යොදා ගතහැකි වේ. ව්‍යාපාරය පුළුල්වනවිටදී ඒ උදෙසා බහුකාර්ය යන්ත්‍ර ඔබගේ ආයතනය තුළ ස්ථාපිත කර ගන්න.

    එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉතිරිකර වැඩි ලාභයක් ලබාගැනීම සඳහා සෑම දෙයකටම අදාලව ඉන්වෙන්ටරි පාලන ක්‍රමවේදයක් සකස්කර ගන්න. ඒ අනුව ආරම්භයේ සිටම නිෂ්පාදන පිරිවැය, ශ්‍රම පිරිවැය, කළමනාකරණ පිරිවැය, අපේක්ෂිත ලාභය ඇතුළත් තොරතුරු රැස්කර වරින්වර සමාලෝචනය කරන්න. අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ බෙදා හැරීමේ නියෝජිතයින් ලැයිස්තුගත කරන්න. සමකාලීන තරඟකරුවන්, පාරිභෝගිකයින් පිළිබදව සහ පවතින නිෂ්පාදන පිළිබදව වෙළදපොල විශ්ලේෂණය කරන්න. නිෂ්පාදන අලෙවිකරණය සහ කළමනාකරණය සංවිධානය කරන්න. සෑම දෙයකටම නිශ්චිත කාර්යයන් සහ ඉලක්ක තබන්න. ආරම්භයේදී සිටම අසීරුවෙන් වුවද ඔබගේ  බීම නිෂ්පාදන පිළිවෙතේ තත්ත්ව කළමනාකරණ, සුරක්ෂිතතා කළමනාකරණ, යහපත් නිෂ්පාදන පිළිවෙත්, පාරිසරික කළමනාකරණ, වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂක හා බලශක්ති කළමනාකරණ උදෙසාවන සහතිකකරණ වැඩසටහන් වෙත නැඹුරුවන්න. මේ උදෙසා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් විමසා දැනගැනීමට උනන්දු වන්න.

    ඔබ හෝ ඔබගේ ආයතනය විසින් නිෂ්පාදන කරන ලද ද්‍රව්‍ය ග්‍රාමිය වෙළඳසැල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, ජංගම වෙළදසැල් හා උද්‍යාන වෙළඳසැල් ආදිය වෙත යොමු කරන්න. තවද ඔබට ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම සහ විකුණුම් කටයුතු සිදුකරන නියෝජිතායතන මේ සඳහා සහායකරගත හැකිවේ. ඒ උදෙසා ඔවුන් සමග දිගුකාලීන සහයෝගීතාවයක් ඇතිකර ගැනීම වඩා වැදගත්වේ. ආරම්භයේ සිටම ඔබගේ නිෂ්පාදන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දැන්වීම් හෝ කෙටි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරන්න. වෙළඳ ප්‍රදර්ශන හරහා ඔබේ නිෂ්පාදන සන්නාමය පතුරුවා හරින්න. වසරින් වසර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ආකර්ෂණීය ඇසුරුම් ක්‍රම නිර්මාණය කර භාවිත කරන්න.

    එමෙන්ම ඔබගේ නිෂ්පාදන පරිශ්‍රයේ සනීපාරක්ෂාව කෙරෙහි ද අවධානය යොමු කරන්න. සැම දිනකදීම පිරිසිදු කිරීමේ උපකරණ ආධාරයෙන් ගබඩා ප්‍රදේශය, භාවිත උපකරණ හා මෙවලම්, වැඩ පෘෂ්ඨයන් හා ආයතනික පරිශ්‍රය සේදීම හා විෂබීජහරණය කළයුතු වේ. එහෙයින් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පිරිසිදු කිරීමේ උපකරණ භාවිතයට ගන්න.

    ලොව පුරාම පලතුරු බීම ජනප්‍රිය වීමත් සමඟම නව උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් ක්‍රම අඛණ්ඩව බිහිවෙමින් තිබේ. එහෙයින් පරිමාණයෙන් කුඩා වුවත්, විශාල වුවත් පලතුරු බීම සකසා ඇසුරුම්කර වෙළඳපොලට යොමුකිරීමට බලාපොරොත්තු වන්නේනම් ඔබගේ ව්‍යාපාරය උදෙසා  භාවිතා කරන උපකරණ පිළිබඳව පළමුව සැලකිළිමත් වන්න. යෝග්‍ය උපකරණ හා අණපනත් පිළිබඳව දැනුවත්වීමෙන් පසුව නිෂ්පාදන කටයුතු ඇරඹිම ඔබගේ සාර්ථකත්වයට හේතුවන බව සිතන්න.

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    සටහන: මෙම ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස  සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  සහ වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)

  • Full Story : යළි කිසිඳු දිනෙක 2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ‍

    Full Story : යළි කිසිඳු දිනෙක 2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ‍

    ජනපති පාර්ලිමේන්තුව අමතමින් පවසයි

    ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදු වෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න.

    මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ.

    අපේ අපේක්ෂාව තමයි, 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.

    ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත් එයට ගෙවන්න සිදු වී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය කළා. මෙම ඩොලර් බිලියන 12.5න් ඩොලර් බිලියන 11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකළොත්භාවයට පත් වන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේයි. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථනයන්, එකඟතාවන් ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැන වීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

    සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ද මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ. නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවයකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි
    කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.

    2025 වසරේ අප්‍රේල් මාසය වන විට සරල කරන ලද එකතු කිරීමේ අගය මත බද්ද, සෙස් වැට් එක ඉවත් කිරීමටත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම (Refund) සඳහා දුෂ්කර කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ සෙස් වැට් එක හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන කෑෂ් ෆ්ලෝ (Cash flow) එක පවත්වා ගෙන යාමේ හැකියාව තිබුණා. නමුත් ඒ ඉවත් කිරීමට යෝජනා සකස් කර තිබුණා.

    උපයන විට ගෙවන බදු පැනවීමේ සීමාව ඉහළට

    අපි තුන්වන සමාලෝචනය පටන් ගැනීමේදී අපේ රටේ වෘත්තීයවේදීන් මත පනවා තිබුණු උපයන විට ගෙවන බදු ප්‍රමාණය (PAYE Tax) යම් ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළා. මේ උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තියවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබුණා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් තුළ මේ පිළිබඳව කනස්සල්ලක් තිබුණා.

    එම නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කර උපයන විට බදු පැන වීමේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුණා. 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ අනුව ලක්ෂ එක හමාරක මාසෙක වැටුපක් ගන්න කෙනෙකු සීයට සීයක් බදු නිදහස්. ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙක්ගෙ බද්ද 71%කින් නිදහස්. ලක්‍ෂ දෙකමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%න් නිදහස්. ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකක්ද?

    වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්න අයට වැඩි සහනයකුත් ලබා දීමට මේ සමාලෝචනයේදී අප සමත්ව තිබෙනවා .

    යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස්

    අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා යෝගට් සහ කිරි නිෂ්පාදන සඳහා එකතු කළ අගය මත බද්ද නිදහස් කරන්න තීරණය කළා. පසුගිය රජය පනවා තිබුණු සේවා අපනයනය සඳහා 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා.

    රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා වැඩි කිරීමට එකඟතාවකට ආවා. සාමාන්‍ය වැඩිහිටි අය, විශ්‍රාමිකයින්, යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් මාසයක පොලිය වැටුණොත් ඒ අය බද්දට හසු වෙන්නේ. ඕනෑම පුරවැසියෙකුට මේ බද්දට තමන් ඇතුළත් නොවේ යැ’යි කියා උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තමන් ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්. ඒ සදහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා. තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. මෙහි අපේක්ෂාව තිබෙන්නේ විශ්‍රාමිකයන් සහ, මුදල් රඳවා ගැනීමෙන්
    ආදායම් ලබන පුද්ගලයින්ට සහන ලබා දීමටයි. මේ නිසා කිසිවෙකුට අගතියක් ඇති වන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් අපි අපේක්ෂා කරන්නෙ බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමටයි.

    වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කිරීමට අවධානය

    අපේ රටේ වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක්ද ව්‍යවසායකයන්ද සිටිනවා. එනිසා මෙම වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. එම නිසා කාණ්ඩ තුනකින් වාහන ආනයන වෙළඳපොළ විවෘත කරනවා. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වන දා ආනයනය කිරීමට විවෘත කළා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරියේ සිට සිදු කරනවා. මේ නිසා ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියා කවුරුත් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුව සමග අප දීර්ඝ සාකච්ඡාවක් කර මේ වාහන ආයනයනය සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියා අපි සොයා බලා තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය යළිත් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි.

    පරාටේ නීති සහනය දීර්ඝ කෙරේ

    පරාටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමටට තිබෙනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී එළිදරව් වුණේ ණය ගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බව. එනිසා අප සැලැස්මක් සකස් කළා. පරාටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.

    තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වෙනි දා දක්වා කාලසීමාවක් ලබා දී තිබෙනවා.

    හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාල සීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

    එළඹෙන අයවැය ලේඛනයේදී මේ අයට යම් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අයවැය ‍ලේඛනය යෝජනා ලබන අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සමහර ඒවාට නීති සම්පාදනය කිරීම අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දුන් දීමනාව
    අප ඔක්තෝම්බර් මාසයේ සිට රු 3000කින් වැඩි කළා. පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. එම පොහොර සහනාධාරය කිසිදු ප්‍රමාදයකින් යුතුව ගොවි ජනතාවට ලබා දීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

    අගහිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක්

    මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

    අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

    අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසෙ තිස් එක් වන දා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසර දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

    අපේ රටේ අස්වැසුම ලබා දීමට තීරණය කළේ බැංකු හරහායි. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැදුනුම්පතක් අවශ්‍ය වෙනවා. හැඳුනුම්පතක් ලබා ගන්න නම් උප්පැන්න සහතිකය අවශ්‍යයි. උප්පැන්න සහතිකය නොමැති, අස්වැසුම ලැබිය යුතු වුවත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොලැබීම හේතු කර ගෙන වසර එකහමාරක් තිස්සේ අස්වැසුම නොලැබුණු පවුල් 67,000ක් සිටිනවා. මේවා පාලකයන් ඉතා සමීපව සොයා බලා විසඳන්න ඕන ප්‍රශ්න නොවෙයිද? එම අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය ලබා දීමට අප තීරණය කර තිබෙනවා. හැඳුනුම්පත ලබා ගන්නා දවසේ සිට නොව, ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය හිමි දවසේ සිටම හිඟ මුදල සමඟ අදාළ දීමනාව ලබා දීමට අප කටයුතු කරනවා. අපේ අයවැය විවාදය නිම වෙන්න තිබෙන්නේ මාර්තු මාසේ 21 වන දිනයේයි. අස්වැසුම පනතේ සංශෝධන ගණනාවක් තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා.

  • ආණ්ඩුවට ‘සදාචාරාත්මක උස්බව moral high ground අහිමි කළ ව්‍යාජ උපාධි සහතික

    ආණ්ඩුවට ‘සදාචාරාත්මක උස්බව moral high ground අහිමි කළ ව්‍යාජ උපාධි සහතික

    කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

    ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාකිස්ථානය වැනි සීමිත රටවල් කිහිපයක් හැර, ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

    නමුත්, මනාප ඡන්ද ක්‍රමයේ දී මනාප ලබා ගැනීමට අපේකෂකයින් තම අධ්‍යාපන සුදුසුකම අලෙවි කරන්නට පටන් ගත්තේය. එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. අධ්‍යාපනය අත්තටු බවට පත් වූ වේ ද, ඡන්ද ආකර්ෂණ මැෂිමක් බවට පත් වූවේ ද, ඒ අනුවය.

    ජාතික ජනබලවේගය 2022 අරගලයෙන් පසුව තමන් වෙත ජනතාව අද්දවා ගැනීමට උගත් – බුද්ධිමත් ලේබලය තීරණාත්මක ලෙස යොදාගැනීමට තීරණය කළේ මේ සමයේ දී ය.  අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ජවිපෙට සැලකිය යුතු උපාධිධාරීන් පිරිසක් සිටී. මේ උපාධිධාරීන්ටත් වඩා ‘සුපිරි බඩු ටිකක්’ අපිට සිටින බව පෙන්වීමට ජවිපෙට අවශ්‍ය විය. ආචාර්ය – මහාචාර්ය පට්ටම් සහිත පිරිසකට ද, වෛද්‍ය, ඉංජිනේරු පිරිසකට ද ජජාබ මැතිවරණ වේදිකාවේ දොරටු ඇරෙන්නේ ඒ් අනුවය. ජවිපෙට පිටතින් පැමිණි හරිනි ඇතුළු කණ්ඩායම තම අධ්‍යාපන සුදුසුකම් මත බැබලෙන විට ජවිපෙ ද සිට පැරණි කාඩර්වරුන්ට විවිධ අධ්‍යාපන සුදුසුකම් නමට ඉදිරියෙන් පිටුපසින් එල්ලනු ලැබීය.

    සපුගස්කන්දේ අශෝක රන්වල බියගම ජවිපෙ සංවිධායකවරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. සයිටම් විරෝධී සටනේ දී හිටපු ගමන් සපුගස්කන්දේ අශෝක – මහාචාර්ය අශෝක බවට පත් විය. ඒ සීමිත සමාජිකයින් අතුරින් සයිටම් විරෝධී සටනේ නායකයෙකු කළ හැකි අත් දිග කමිසය අදින නිසාය. දිගින් දිගටම මේ මහාචාර්ය පට්ටම පවත්වා ගැනීමට අශෝකට කෙසේ වෙතත් පක්ෂයේ පැවැත්මට වැදගත් විය.  මහා මැතිවරණයේ හැම පෝස්ටරයකටම, දැන්වීමකට ආචාර්ය අශෝක වූයේ ඒ නිසාය. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් මුහුණ දැන නොතිබුනත්,  ගම්පහ ජනතාව ටෙලි නාට්‍ය නිලි පබා තරමටම ආචාර්ය අශෝකට මනාප විය.  ඒ ගෝඨාභය ගේ කාබනික යුගයේ ඇඹිලිපිටියේ කාබනික පොහොර හැදු ආචාර්ය අශෝක, රසායන විද්‍යා කේෂ්ත්‍රයේ මහ මොළයක් යැයි සිතූ නිසාය.  අවසානයේ ජීවිත කාලයම දේශපාලනය කළ පක්ෂය දැවැන්ත අර්බුදයකට යවමින් ඔහුට රටේ ධූරාවලියේ ඉහළම තනතුරට සමුදෙන්නට සිදුවිය.

    කැලණිය ගණිත අධ්‍යයන අංශයේ අනුර කරුණාතිලක ට දර්ශන විශාරද උපාධියක් නැති බව විශ්විද්‍යාලය වෙබ් අඩවියම පමණක්ම සාක්ෂි දරයි.  විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය මේ කතාව හොදින් දනී.  ජවිපෙ වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය නමින් මැතිවරණ නිරීක්ෂණ ජාලයක් සකස් කළේය. 2014 තරම් ඈත ක දී ද එහි ලේකම් හා ආචාර්ය අනුර කරුණාතිලක ය.  ඒ වන විට ඔහු ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටියේ වත් නැත. ‘විද්වත්’ කෑල්ල අලෙවි කළ හැක්කේ ‘ආචාර්ය පට්ටමක්’ සමඟය. එදා ත්, අදත් එය වෙනස් නොවීය. 2014 සිට අනුර කරුණාතිලක සෑම මාධ්‍ය අවකාශයකම, ලිපියක, ප්‍රවෘත්තියක පෙනී සිටියේ ‘ආචාර්ය අනුර‘ ලෙසය.  නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වන විට ඔහු ‘මහාචාර්ය අනුර‘ වීය. දැන් එය ගැලවී නිකම්ම ‘අනුර‘ වී ඇත.

    විද්‍යාවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත්, උපාධිය අවසන් නොකල බව කියන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ලේබල් කරන්නේ ද, මේ ‘විද්වත්’ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ම ය.

    තවත් දේශපාලනඥයෙකුට 2002 වර්ෂයේ යුරෝපයේ හා ආසියාවේ ඉහළම පිළිගැනීම් සහිත විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි ඇතැයි කියනු ලැබේ.

    විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

    මේ සියල්ලටම වඩා බරපතල විය හැක්කේ, ජාත්‍යන්තර සංවිධාන වෙත නිරවද්‍ය නොවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇත්තම් එයයි.   2017 දී වොෂින්ටන් හි ලෝක බැංකු කාර්යාලයේ  Global Forum on Asset Recovery (GfAR ) වැඩසටහනකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. එවකට නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා, සිවිල් සංවිධානය නියෝජිතයින් පිරිසක් ද මා සමඟ එයට එක් විය.  ලෝක බැංකුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන තමන්ගේම විමර්ශන ඒකක පවත්වාගෙන යමින් ලොව පුරා රාජ්‍යයන් හි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ ජීව දත්ත විමර්ශනය කරන ආකාරය පැහැදිලි කරනු ලැබූවේ ඒ සඳහා යොදාගත හැකි පරිගණක පද්ධති හා උපක්‍රම ද සහිතවය. මේ දත්ත ජාත්‍යන්ත වශයෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින්නේය.  එබැවින් මෙය ජාතික ප්‍රශ්නයක් නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස ද බලපෑම් කළ හැකිය.  ආර්ථිකය ගැන දේශන පවත්වන 2010 – 2015 කුප්‍රකට ‘ පම්පිම් – ඩම්පින්‘ මෙහෙයුමේ බර අවියක් වූ අයෙකුගේ ‘ආචාර්ය උපාධිය‘ කුමන විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතිදැයි අංජනම් එළි බැලිය යුතුව ඇත.

    ජවිපෙ ට සම්බන්ධ බහුතරයක් දෙනා රෝහණ විජේවීර මෙන්ම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කළ අය වෙති.  ඔවුහු කිසි විටෙකත් උපාධිය මහ දෙයක් ලෙස සැලකුවේ නැත. අවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ ද නැත.  ජවිපෙ හෝ වෙනත් පක්ෂයක නායකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බොහෝ දෙනා වද වෙන්නේ ද නැත. අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරාගෙන උපාධි අහිමි කර ගත් බිමල් රත්නායක වැනි මිනිසුන් පිළිබඳ සමාජ ගෞරවයක් ඇත. සීමාවාසික පුහුණුව නිමා නොකර දේශපාලනය තෝරාගත් අයට ඒ අතර ඇත. එවැනි තෝරාගැනීම් නිසාම මරණයට පත් වූ, ජීවිතයට මහ මගට වැටුණු පිරිසක් ද වෙති.  මේ ඔවුන්ගේ අති මහත් කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස  ගොඩනැගු ආණ්ඩුවයි.

    අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කරලියේ කොඩි දාන තැනට පැමිණියේ 2020 න් පසුව ය. ඒ ‘වියත්බව’ මැතිවරණ ප්‍රචාරක කාර්යයෙහි අලෙවි කිරීම උදෙසාමය. ජවිපෙ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිර්ධය විවේචනයට ලක් කළේය.  චාමර සම්පත්  නූගතෙකු යන්න බදුල්ලේ නොකියූ රැස්වීමක් නැත. චාමර තමාට නැති අධ්‍යාපනයක් ගැන කිසිදා කීවේ නැත. නාමල් – චිචී ගේ අධ්‍යාපන සහතික  ගැන වැඩියෙන්ම කතා කළේ ජවිපෙ යි.

    අද මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජජාබ මන්ත්‍රීවරුන්ගේ උපාධි සහතිකය නොවේ.  ඔවුන්ගේ අවංක භාවයයි!

    උපාධි සහතික ප්‍රශ්නය නිසා, ජනතා විමුක්ති පෙරමුණට තිබූ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) අහිමි වෙමින් ඇත.  1956, 1970, 1999 ආණ්ඩු තුනම අඩු වැඩි වශයෙන් ‘සදාචාරාත්මක උස්බව’ අහිමි වීම නිසා දැවැන්ත අර්බුදයට ලක්වූවේය. දක්ෂිණාංශික ආණ්ඩුවකට වටා වාමාංශික වටිනාකම් මත මැතිවරණ ව්‍යාපාරයක් ජයගන්නා කණ්ඩායම් වෙතින් ඔවුන් අලෙවි කළ ප්‍රතිපත්ති රාමුවට වටිනාකමක් ජනතාව බලාපොරොත්තු වේ.

    අනෙක් අතට, මාලිමාව පැත්තෙන් ගත් කළ කතානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් විසදෙන ප්‍රශ්නයක් නොවේ.  එය තවත් බොහෝ දෙනෙකු හා බැඳුණු, අනන්‍යතා අර්බුදයකි.  ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය ලෙස ‘වියත් – බුද්ධිමතුන්’ය. අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය විමසන විට, වසන්ත සමරසිංහ හැප්පිලා බලන්න කතා කරන්නේ ඒ නිසාය.  සැබවින්ම, සිරිපාල අමරසිංහ හෝ අනුරුද්ධ පොල්ගම්පල ඉවත් කළ ආකාරයට බොරු උපාධි දමා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිනාවා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ලේසි හෝ පහසු හෝ නැත.

    2015 යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ පළමු බිඳවැටීම ‘බැඳුම්කර ගණුදෙනුව’ යි. එය කිසිදු අයුරකින් නැවත පුරුද්දාගත නොහැකි විය. ව්‍යාජ අධ්‍යාපන සහතික අර්බුදය ද, මුළුමනින්ම පිළියම් යොදන්නේ නැතිනම්,  එවන් තැනටක ගමන් කර අවසන්ය. එය නැවත පිරියම් කළ නොහැකි කැළලක් දැනටමත් තබා ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්