Tag: featured

  • කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර අවධාරණය කරයි

    කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර අවධාරණය කරයි

    ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදු වීමට ඉඩ නොදෙන බවත් තම ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා. ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

    ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”

    දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

  • ඔප්පු කරන්න සහතික නෑ – කතානායක ඉල්ලා අස්වෙයි

    ඔප්පු කරන්න සහතික නෑ – කතානායක ඉල්ලා අස්වෙයි

    කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති මතභේද මධ්‍යයේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කළේ ජපානයේ Waseda විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධිය පිළිබඳ ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීමට තමාට දැනට නොහැකි බවයි.

    කෙසේ වෙතත් පර්යේෂණ ආයතනය එම සහතිකය තමා වෙත එවූ පසු එම ලේඛන සාක්ෂි නිකුත් කරන බවද ඔහු අවධාරණය කළේය.

    රජය අපහසුතාවයට පත් කිරීමට හෝ රජය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • ඉන්ධන හිඟය ගැන තෙල් සංස්ථා සභාපති දුන් ‘සුපිරි’ සහතිකය

    ඉන්ධන හිඟය ගැන තෙල් සංස්ථා සභාපති දුන් ‘සුපිරි’ සහතිකය

    කිසිඳු පිරවුම් හලක හෝ ඉන්ධන හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණයෙන් පැවසුවේය.

    අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

    ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් එම වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාව භාර ගන්නා බවත්, ජනක රාජකරුණා මහතා පැවසුවේ ය.

    රටට කිසිඳු ගැටලුවකින් තොරව බලශක්ති අවශ්‍යතාවය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවත්, දැනට තෙල් තොග සංචිත අවසන් වූ වහාම United Petroleum සතු ශෙඩ් 64ක ප්‍රමාණය සඳහා තෙල් සංස්ථාවෙන් තෙල් නිකුත් කිරීමට අමාත්‍යංශයේ ලේකම්වරයා, united Petroleum සහ තෙල් සංස්ථාව එක්ව මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

  • වගා හානි වූ ගොවීන්ට ලැබෙන ‘සුපිරි වන්දිය’ මෙන්න

    වගා හානි වූ ගොවීන්ට ලැබෙන ‘සුපිරි වන්දිය’ මෙන්න

    පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

    වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

    වගාබිම් සකස් කිරිමේදී පවතින චක්‍රලේඛ පිළිබඳව නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • රට පුරා තිබෙන ජනපති හා අගමැති නිල නිවාස ගැන ආණ්ඩුව ගත් අලුත් ම තීන්දුව

    රට පුරා තිබෙන ජනපති හා අගමැති නිල නිවාස ගැන ආණ්ඩුව ගත් අලුත් ම තීන්දුව

    හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනයට, යෝජනා ගෙන ඒමට කමිටුවක්

    ජනපති සහ රාජ්‍ය පරිපාලන ඇමති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල රජයේ බංගලා නිවාස 50ක් සහ ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර ද පිහිටා ඇත. එයින් නිරන්තර භාවිතයට ගැනෙන කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිරයන් හැර අනෙකුත් ජනාධිපති මන්දිර ද, මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02හි පිහිටා ඇති විසුම්පාය, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවතින නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවස සහ ඉහත කී රජයේ බංගලා නිවාස මෙසේ ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට නියමිතය.

    එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදල් වැය කර ඇති නමුත් මේ වන විට ඌන උපයෝජන තත්ත්වයක පවතී.

  • ආහාර සුරක්ෂිතතාවයට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    ආහාර සුරක්ෂිතතාවයට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව,
    • රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම
    • අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම
    • රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම
    • ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම
    යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීමද මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යයන් වේ. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයක් තුළින් ප්‍රතිපත්තිමය මග පෙන්වීම ලබා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යවරයාගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සම සභාපතීත්වයෙන් යුතුව අග්‍රාමාත්‍ය ලේකම් ඇ
  • පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පැතිර යන ‘උණයක්’ ගැන අනතුරු ඇඟවීම්

    පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පැතිර යන ‘උණයක්’ ගැන අනතුරු ඇඟවීම්

    පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිර යන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත

    ඉන්ෆ්ලුවෙන්සා / influenza වැනි රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ වත්මන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මස්පිඩු හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම බව යි.

    මෙය සෘතුමය රෝගයක් වන අතර කාලයත් සමග සමනය වන බව විජයවර්ධන මහතා පැවසුවේ. මීට මාස කිහිපයකට පෙර ආසාදිතයින්ගේ වර්ධනයක් සිදු වූ නමුත් වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ මුහුණු ආවරණයක් පැළඳීම, නිතිපතා අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග මඟින් මෙම  රෝගය වළක්වා ගැනීමට බොහෝ දුරට හැකියාව ඇති බව යි.

    “පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන  ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා,” විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ද මෙවැනි උණ රෝගයක් පැතිර යන බවයි.

    “ශ්‍රී ලංකාවේ අප දකින්නේ සාමාන්‍ය උණ වර්ගයක්. නමුත් කොංගෝවේ, හුදකලා ප්‍රදේශවල රෝගය පැතිර යන බැවින් තත්ත්වය වඩාත් සංකීර්ණ වන අතර නිශ්චිත හේතුව තවමත් හඳුනාගෙන නැහැ. කොංගෝවේ පැතිර යන රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩු යි.අපි තත්වය පිළිබඳව හොඳින් විමසිල්ලෙන් සිටිය යුතුයි, නමුත් දැනට කලබල වීමට හේතුවක් නැහැ” ඔහු තවදුරටත් පැවසීය.

  • කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියලු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වේ.

    එම අමාත්‍යාංශයට අදාළ මෙතෙක් නොවිසදුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී ජනතාවට අවස්ථාව සැලසෙන අතර සුදුසු විසඳුම් ලබාදීමට අමාත්‍යාංශය බලධාරින් කටයුතු යොදා ඇත.

  • ජන සංගණනය – ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක්

    ජන සංගණනය – ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක්

    ජන සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසයි.

    ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජන සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23වැනි දිනෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

    2024 ජන සංගණන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

    “ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරයේ කටයුතු 2024 වසරේ ඔක්තොබර් මාසයේ 07 වෙනිදා ආරම්භ වුණා. 2023 වසරේ ඔක්තොබර් මාසේ ආරම්භ කළා සෑම නිවසකට, ගොඩනැගිල්ලකටම රතුපාට ලේබලයක් අලවන්න. ඒ ලේබලය පදනම් කර ගනිමින් තමයි නිවාසවල ජීවත් වෙන පුද්ගලයන්ගේ සහ ඒ නිවාසවල තොරතරු රැස්කිරීම අපි සිදුකළේ. මෙම තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව. කිසිසේත්ම සැකයත් ඇති කරගන්න එපා කිසිදු ආකාරයකින් පුද්ගලික මට්ටමේ තීන්දු තීරණ ගැනීමට මෙම තොරතරු ගැනීමට මෙම තොරතුරු භාවිතා වෙන්නේ නැහැ. රටේ ඉදිරි අනාගතයට, ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු තමයි මේ සංගණනයෙන් ලබාදෙන්නේ. මෙම ගණන් ගැනීමේ අදියරයේ කටයුතු දෙසැම්බර් 23 වනදායින් අවසන් වෙන්න සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා. දෙසැම්බර් 19 දිනය සංගණන දියන විදිහට ප්‍රකාශයට පත්කරලා ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කරලා තියෙනවා. ඒ අනුව ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස සියලුදෙනාම දැනුවත් කරනවා.”

  • SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට වෙළදපොළ ජයගත නොහැක්කේ ඇයි ?

    SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට වෙළදපොළ ජයගත නොහැක්කේ ඇයි ?

    රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත.

    එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශණීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරාතිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට දැකිය හැකිය. මේ හේතුව මත ඔවුන් අරඹයා කෘෂි බෝග ඇසුරෙන් නිපදවන ආහාර සැපයීමට සැපයුම්කරුවන්ද බිහිවෙමින් සිටිති. මොවූහු බොහෝවිට සුළු පරිමාණ / Small- Scale නිෂ්පාදකයෝ වෙති.

    කෘෂි බෝග ඇසුරුකරගත් බහුවිධි ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් Agri-Base Food Product Entrepreneurs හට වෙළදපොළට අවතීර්ණවීමේදී නිරතුරුවම විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදූවේ. සාමාන්‍යයෙන් බහුතරයක් වූ මෙම පිරිස ස්වකීය ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී සාපේක්‍ෂ වශයෙන් මූල්‍යමය ගැටලු මත අසරණභාවයට පත්වීම දැකිය හැකිය. එහෙයින් නිෂ්පාදන කාර්යයන් සඳහා ආයෝජනය කරනුයේ සුළු මුදලකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ පහළ මට්ටමේ නිෂ්පාදකත්වයක් / Low productivity සමඟ වූ අඩු නිෂ්පාදන / Low production යයි.

    කෘෂි බෝග ඇසුරු කරගත් විවිධ ආහාර නිෂ්පාදනයේ නිරත වන සුළු පරිමාණ ව්‍යවසායකයින් බහුතරයක් ස්ථාපනය වී ඇත්තේ නාගරික ප්‍රදේශ වලින් බැහැර වූව ද ඔවුන්ගේ අභිලාශය නාගරික වෙළදපොළ වෙත ප්‍රවිශ්ඨවීම තුළින් සිය නිෂ්පාදන අළෙවිකර ගැනීම ය. ඇතැම් සුළු පිරිසක් ප්‍රසිද්ධ සිද්ධස්ථාන හෝ කාලීනව සංචාරකයින් සැරිසරන ප්‍රදේශ සිය අලෙවි කළාප ලෙස තෝරාගෙන ඇති ආකාරය ද හඳුනාගත හැකිය. එයට ප්‍රබල හේතු කාරකයවී ඇත්තේ සිය කර්මාන්තය උදෙසා පහසුවෙන් කෘෂි බෝග අස්වනු මිලදී ගැනීමට ඇති හැකියාව යි. එයම පාදක කරගෙන ගූණාත්මය පසෙකලා ප්‍රමාණාත්මකව අපිරිසිඳු අස්වනු ඔවුන් වෙත සැපයීම සඳහා ගොවීන් පෙළඹෙන අතර ඒ උදෙසා අඩු ලන්සු වටිනාකමක් තීරණය කිරීමට ගැණුම් ව්‍යවසායකයින් යොමුවන හෙයින් කණගාටුදායක චක්‍රිය ක්‍රියාදාමක් ඔවුන් වටා ගොඩනැගීම නොවැළැක්විය හැකි වේ.

    එසේ ම කෘෂි යෙදවුම් ණය පදනම මත සපයා බෝග නිෂ්පාදන ප්‍රතිරැස්කිරීමේදී ඒ සඳහා පහළ අගයන් තීරණය කර මිලදී ගැනීම මත කෘෂි බෝග නිෂ්පාදකයින්, සීමාකාරී සාධක තුළ රඳවා තබා ගැනීම නිසා බාහිර ගැණුම්කරුවන් හට එකී නිෂ්පාදන ම්ලදී ගැනීමට ඇති ඉඩකඩ අහුරා තිබීම ද මේ සඳහා බලපා ඇත. මෙයට හේතු කාරකව ඇත්තේ තවමත් ඈත ගම්දනව් වල කෘෂි බෝග නිෂ්පාදකයින් වෙත වෙළඳපොළ විභවය හෝ පාරිබෝගික ඉල්ලීම් විචල්‍යවන ආකාරය පිළිබද වැටහීමක් හෝ ඒ පිළිබඳව අදාළ තොරතුරු සබෑ ලෙස සංනිවේදනය වීම දූර්වල මට්ටමක පැවතීමයි. ඒ උදෙසා බලපා ඇති අනෙක් ප්‍රබල හේතු සාධකයක් වී ඇත්තේ නිෂ්පාදනයන් හඳූනාගත් එක් පුද්ගලයෙකුට පමණක් තොග වශයෙන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කිරීම වේ. මෙකී හේතුකාරක මත සුන්‍දා පරිමාණ ආහාර සැකසුමිකරුවන් තම නිෂ්පාදන සදහා අවශ්‍ය යෙදවුමි ම්ලදී සපයා ගැනීමට විශාල වියපැහැදමක් දැරිය යුතු වේ.

    අනෙක් අතට කෘෂි බෝග නිෂ්පාදකයින් මේ උදෙසා පෙළඹී ඇත්තේ මක්නිසා ද යන්න විමසා බැලීම අපගේ යුතුකම විය යුතුය. ඈත ගම්දනව් වල පහළ මට්ටමේ යටිතල පහසුකම් මත වූ දූර්වල ප්‍රවාහන පද්ධති / Poor Transport Infrastructure යටතේ නිෂ්පාදනය කරනු ලබන කෘෂි අස්වනු සඳහා ආර්ථික වටිනාකමක් නොලැබෙනු ඇත. බහුතරයක් වූ නිෂ්පාදන ප්‍රදේශ සෘජුවම ප්‍රසිද්ධ වෙළඳපොළ හෝ අලෙවි මධ්‍යස්ථාන සමග සෘජු ලෙස සම්බන්ධ නොවන හෙයින් මෙම තත්වය තවත් තීව්‍රර වී ඇත. රජය විසින් ගෙන ඇති පුළුළ් මාර්ග සංවර්ධන ක්‍රියාදාමය මෙම තත්වය ඉදිරි වසර පහ තුළ දී මුළුමනින්ම වෙනස් කරලීමට ඉවහල්වනු ඇතැයි සිතිය හැකිය.

    දේශගුණ විපර්යාස / Climate change  සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදකත්වය අවම හෝ ශූන්‍ය කිරීම කෙරෙහි මෙන්ම හා ස්වකීය ආත්ම අභිලාශයන් පහත හෙලීමටද හේතුකාරක වනු ඇත. විශේෂයෙන්ම වර්ෂාපතනය මත ක්‍ෂේත්‍ර කටයුතු වල නිරතවීම හා වැව් හා ජලාශයන්හි  ජල පරිමාවන් නොසලකා වගා වපසරිය නිගමනය කිරීම මෙම තත්වයන් තව තවත් තීව්‍රර කිරීමට සමත්වී ඇත.

    කෘෂි බෝග මත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සැකසීමේ කර්මාන්තයන්හි නිරත බහුතරයක් වූ සුළු පරිමාණ ව්‍යවසායකයින් සෘජුවම සුළු පරිමාණ සැපයුම්කරුවන් කෙරෙහි වූ බලාපොරොත්තු ඉවතලන්නේ ඔවුන්ගේ සැපයුම් ක්‍රමවේදය වරින්වර අසාර්ථකවන හෙයිනි. එහෙයින් මේ සදහා වඩා සාර්ථක පිළියම වන්නේ සුළු පරිමාණ බෝග නිෂ්පාදක ගොවීන්ගේ අස්වනු එක්රැස්කර අඛණ්ඩව හඳූනාගත් ව්‍යවසායකයින් වෙත සැපයීම සදහා හොඳ සංවිධානාත්මක සැපයුම් ක්‍රමවේදයක්   (විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලින් බැහැරවූ) ගොවීන් විසින්ම පිහිටුවා ගැනීමයි. එසේම ඒ සඳහා දිගු කාලීන අනෝන්‍ය අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීම දෙපාර්ශ්වය අතර හොඳ ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීමට හේතුකාරක වනු ඇත.

    කෘෂි තාක්ක්‍ෂණික තොරතුරු /Information of Agro-technology, අලෙවිකිරීමේ විනිවිදභාවය / Transparency of Sales හා ගණනය කිරීමට ඇති හැකියාව / Accountability මෙම ක්‍රමවේදයේ ප්‍රධාන සාධක වනු ඇත. ගැනුම්කරුවන්, අලෙවිකරුවන්, සැකසුම්කරුවන් හා නිපැයුම්කරුවන් අතර පුළුළ් වේදිකාවක් ජාතික මට්ටමිින් ගොඩනැඟීම සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමෙහි ලා විශාල පිටුබලයක් වනු ඇත. අනෙක් අතට ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය තරම් කෘෂි නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය නොකිරීමද එම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට බාධා පැමිණ වීමට එක් හේතු සාධකයකි. සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයින් විසිරී සිටීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් ද පහළ පරිමාවක පැවතීම මෙම තත්වය වඩාත් බැරූරුම් කිරීමට හේතු සාදක වී ඇත. ප්‍රාදේශීය විශේෂතා පදනම් කරගෙන ඉතා හොඳින් සංවිධානාත්මකව වාණිජ මට්ටමින් ගොවිතැන් කිරීමට ගොවීන් යොමුවන්නේ නම් දෙපාර්ශ්චයේම ආර්ථිකය පුළුළ් පරාසයකට විහිදී ශක්තිමත් වීමට එයම හේතු කාරක වනු ඇත. ඒ තුළින් ඉහත දූෂ්කරතා යම් තරමකට හෝ ජයගත හැකි වේ.

    එසේ නොවුණහොත් වෙළඳපොළ අවශ්‍යතාවයන් හා පාරිබෝගික ඉල්ලුම පිළිබඳව අනවබෝධය හේතුවෙන් බොහෝ කෘෂි නිෂ්පාදන අලෙවිකරගත නො හැකි වන අතර ම අතිරික්ත නිෂ්පාදනයන් අකමැත්තෙන් හා අවේගශීලීව විනාශකර දැමීම කෙරෙහි යොමු වීමට ගොවීනට සිදූවනු ඇත. මෙම ප්‍රවණතාවයන් අවම කරගැනීම සඳහා දේශපාලන ගැත්තන් නොවී ගොවීන් සංවිධානශීලී නිර්මාපකයින් බවට පත්විය යුතුවේ. සුළු පරිමාණ සැකසුම්කරුවන් තම ආසන්නතම කෘෂි බෝග නිෂ්පාදකයින්ගේම නිපැයුම් මිලදී ගැනීම කෙරෙහි උත්සුකවිය යුතු අතර ඒ සදහා ඔවුන් තුළ විශ්වාශයක් ද ජනිත කළ යුතුවේ. ඒ උදෙසා වෙළදපොළ තුළ දැනට පවතින හා අනාගත ප්‍රවණතා පිළිබඳව අනෝන්‍ය අවබෝධයක් ගොඩනඟා ගැනීමට හා තොරතුරු හුවමාරුකර ගැනීම කෙරෙහි ඔවුන් යොමුවිය යුතුම ය.

    රාජ්‍ය අංශයේ විවිධ ආයතන රැසක් කෘෂිකර්මාන්තය, කෘෂි නිෂ්පාදන සැකසීම හා නව ව්‍යවසායකත්ව හඳුන්වාදීම සඳහා ස්ථාපිතකර තිබුණ ද නාගරික ප්‍රදේශවලින් බැහැර වූ පුද්ගලයින්හට එවැනි ආයතන වෙතම පැමිණ අදාළ පුහුණුවීම් සදහා ඇති හැකියාව සීමා සහිත වේ. එහෙයින් මේ සඳහා දැනටමත් වෙළඳපොළ වෙත අවතීර්ණවී ඇති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් හා පුළුළ් පදනමක පිහිටා නව ව්‍යවසායකයින්හට මාර්ගෝපදේශකත්වය ලබාදීම සඳහා ඉඩ ප්‍රස්ථා විවරකරදීමට කාලය එළඹ ඇත. සැබෑ ජාතික හැඟීමකින් කටයුතු කිරීමට බොහෝ නිලධාරීන් නොපෙළඹීමට යල්පීනූ විවිධ රෙගුලාසි හා අණ පනත් බලපා ඇතැයි අනුමාන කළ හැකිය.

    බොහෝ අවස්ථාවන්හිදී කෘෂි බෝග මත පදනම්වූ සුළු පරිමාණ සැකසුම් කර්මාන්ත ස්ථාපනය සඳහා අදාළ දැනුම තිබුණ ද ඒ උදෙසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටතුලින් සපයා ගැනීමට නො හැකි අවස්ථා විරල නොවේ. එවන් අවස්ථාවන් හි දී ආසන්නතම විදේශ වෙළඳපොළ වෙත ප්‍රවිශ්ඨව මිල දී ගත හැකි වුව ද ආනයන බදු වර්ග හා ප්‍රවාහන වියපැහැදම ඉහළ මට්ටමක පැවතීම නව ව්‍යවසායකයින් අධෛර්යමත් කිරීමට බලපා ඇත. එමෙන්ම සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම් ඒකක ස්ථාපනයකර ගැනීමට අදාළ වූ පහසුකම් සම්පාදනය සඳහා අරමුදල් සපයා ගැනීමට අසීරු වීම ඒ සඳහා උනන්දූවක් ඇති පුද්ගලයින්ගේ අභිලාශයන් හීන කිරීමට ඉවහල් වන ප්‍රබල සාධකයකි. එහෙයින් කෘෂි බෝග ආශ්‍රීත ආහාර නිෂ්පාදන සැකසීමේ කර්මාන්ත ස්ථාපනය කර ගැනීම උදෙසා ම අරමුදල් සම්පාදනය කරනු ලබන මූල්‍ය ආයතන (වාණිජ බැංකු නොවන) රජය විසින් පිහිටුවීමට කටයුතු කිරීම මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයකට හේතුකාරක වනු ඇත.

    යම් යම් වකවානු වල දී රජයයන් විසින් සහනාධාර ක්‍රියාත්මක කරනුයේ තෝරාගත් බෝග සඳහා වුව ද එය සෑම බෝගයකටම අදාළ වන පරිදි එහි වගා වපසරිය පිළිබඳව සලකා බලා ඒ සදහා සමානුපාතික සහනාධාර ක්‍රමයක් (ඉතා උසස් රෝපණ ද්‍රව්‍ය සපයාදීම, පොහොර සම්පාදනය හෝ නිෂ්පාදන මිලදී ගැනීම) ක්‍රියාත්මක කිරීම කාලෝචිත වේ. එසේම කාලීනව කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳව සත්‍යවාදී වූ ද නිරවද්‍ය වූ ද ඇස්තමේන්තු සකසා එළිදරව් කිරීම විශ්වාසවන්ත නිෂ්පාදනයක් කෙරෙහි වූ හොඳ විභවයක් ගොඩනැඟීමට හේතු සාධකවන අතර එය කෘෂි ආර්ථිකය සැලසුම්කරන ඉහළ ම ක්‍ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට වඩාත් යෝග්‍ය කාලීන වූ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් කිරීමට මෙන් ම නිෂ්පාදන කටයුතුවල නිරතවන ගොවීන්ට ඒ අනුව නිෂ්පාදන ඉලක්ක තෝරා ගැනීම සඳහා ද ඉතා වැදගත් හේතු සාධකයක් වනු ඇත.

    (මෙම ලිපි පෙළ මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය DevPro ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන SMEs කාන්තා ව්‍යවසායිකාවන් ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ සහ එහි සන්නවේදන ක්‍රියාකාරකමක් වන SMEs Guide SL වෙබ් අඩවිය සහ SMEs Guide SL සඟරාවේ අනුග්‍රහයෙනි. මෙහි අන්තර්ගතයට අදාළ ආයතන වග නොකියන අතර අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම අදාළ ලේඛකයා සතුවේ – සංස්කාරක)

    සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

     

  • මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද?

    මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද?

    අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි.  අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත.  බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය.

    රාජ්‍යය යනු, ජනතාව වෙනුවෙන්, ජනතා නියෝජිතයින් විසින් පවත්වාගෙන යනු පාලන යන්ත්‍රයකි.  එහි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ මන්ත්‍රීවරුන් විසිනි. ආණ්ඩුව හා විපක්ෂය යන මේ දෙපිරිසටම රජයේ ඒකාබද්ධ අරමුදලෙන් වැටුප්, දීමනා, පහසුකම්, කාර්යාල සහ විශ්‍රාම වැටුප් ලබා දෙන්නේය. ඒ රාජ්‍යය යන සංවරණ හා තුලන ක්‍රියාවලිය ආණ්ඩු – විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සිදු කරන නිසාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයෙකුට නිල පිළිගැනීම ලැබෙන්නේ 1937 තරම් ආසන්නයේ වුනත්, එයට 1737 දක්වා අතීතයක් ඇත. විපක්ෂ නායකවරයෙකුට මන්ත්‍රී වැටුපට අමතරව වැටුපක් ලැබෙන්නේ ද ඒ නිසාය.   අප මේ නඩත්තු කරන්නේ රාජ්‍යය මිස දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් නොවේ.

    මන්ත්‍රී විශ්‍රාම වැටුප

    මන්ත්‍රී විශ්‍රාම වැටුප තරම් ජනතා කෝපයට බදුන් කළ වෙනත් මන්ත්‍රී සේවාවක් නැත.  2024 ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් ලැබූ හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 430 කි.  පසුගිය මැතිවරණයට තරඟ නොකළ හා පරාජයට පත්වූ තවත් 105 ක් ජනවාරි මස සිට විශ්‍රාම වැටුපට හිමිකම් ලබති.

    1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව මන්ත්‍රීවරුන්ට ලැබෙන මුදල තීරණය වේ.  වසර 5 ක ධූර කාලයක් නිමා කරන විට වැටුපෙන් 1/3 ක් ද, වසර 15 ට වැඩි ධූර කාලයකට වැටුපෙන් 2/3 ක් ද, විශ්‍රාමිකයින්ට ලැබෙන ජීවන වියදම් දීමනාව ද එයට එක් වේ. මන්ත්‍රී වැටුප ගැන සුරංගනා කතා රැසක් ඇතත් මුලික වැටුප රු. 54,285 කි. එයින් තුනෙන් පංගුව රු.18,095 කි.  විශ්‍රාම හැමෝටම ලැබෙන ජීවන වියදම් දීමනාව රු.37,175.00 කි.  අද ගෙවන අවම විශ්‍රාම වැටුප රු.55,270 කි.  උපරිම වැටුප රු. 80,000 කට මදක් වැඩිය.  ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වැන්දඹු හා යැපෙන්නන් ආවරණය වේ.  වැන්දඹු දීමනා ලබන මන්ත්‍රී සංඛ්‍යාව 168 දෙනෙකි.

    අතීත කතාව

    සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර නිදහස් අධ්‍යාපනයේ පියා විරුදාවලි ලබන්නේ නිර්ප්‍රභූ පන්තියට අධ්‍යාපනයේ දොරටු රජයේ වියදමින් විවර කළ නිසාය.  මැතිවරණයෙන් පරාජයට පත් වන ඔහු විදේශ සේවයේ සිට ලංකාවට පැමිණ තමන් සතු ස්වල්ප ධනයෙන් ජීවත්වන්නේය. බෙහෙත් ටිකක් ගන්නට මුදලක් පවා නැති වූ විට ‘සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ’ නිලධාරීන් වූ බර්ටි ගලහිටියාව සහ විපුල ධර්මප්‍රිය (බතික්) විසින් නිදහස් අධ්‍යාපනයේ පියාට රු. 100 බැගින් මාස කිහිපයක් ලබාදී ඇත. පසුව, තමන්ට ජීවත්වීමට රු. 500 ක ‘කරුණාසහගත දීමනාවක් ලබා දෙන ලෙස‘ කන්නංගර විසින් කතානායකට යැවූ ලිපිය ලියා ඇත්තේ ද විපුලම ය.  මේ ලිපියෙන් පර්ලිමේන්තුවට ද, රට ද කම්පනයට පත් වන්නේය.  කන්නංගරට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ‘පිං පඩියක්‘ ලැබෙන්නේය.  මන්ත්‍රී විශ්‍රාම වැටුපේ ආරම්භක ශෝක කතාව එයයි.

    මෙවැනිම අහේනියකට පත් වන මතුගම දයා පැස්කුවල් සිය පන්මල්ල අරගෙන බස්රියෙන් බෙහෙත් ගන්නට ගිය හැටි ගැන මාධ්‍ය වාර්තා ඇත.  කවිකොළකාරයෙකු වූ දඹුල්ලේ ටී.බී.තෙන්නකෝන් ද නිර්ප්‍රභු දිළින්දෙකි.  කවිසේන හේරත් හෝ මුදියන්සේ තෙන්නකෝන් හෝ ඒ දෙදෙනාටම හෝ (වරදක් ඇතොත් සමාවන්න) ‘කරුණාසහගත දීමනාව’ ගෙවා ඇත. ඔවුන් මේ දීමනාව ලබාගන්නට පරණ පාර්ලිමේන්තුවට පැමිණ ගෝල්ෆේස් පිටියේ රැදී සිටි ආකාරය පැරණි පාර්ලිමේන්තුවේ සේවකයෙකුගෙන් අසා දැනගතිමි. මුල්ම යුගයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ බිරිඳට හා දිසාපති බිරිඳකට ඒකම දිනක දී මෙවැනිම විශේෂ දිමනාවක් ලබාදී ඇත. විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්නේ නම්, නැවත වරක් මෙවැනි අවස්ථාවන් ඇති වීම නොවැලැක්විය හැකි වනු ඇත.

    1956 සහ 1960 ජූලි ආර්ථික වශයෙන් ශක්තිමත් නැති නිර්ප්‍රභු පන්තියක් මහජන නියෝජිතයින් වට පත්විය. ඔවුන්ගෙන් බහුතරය 1965 ඡන්දයෙන් පරාජයට පත් වූ පසුව ගෙවූවේ අන්ත දිළිඳු දිවියකි.  සමගි පෙරමුණු රජය මේ පිරිස ගැන සලකා 1970 දෙසැම්බර් 29 දා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමයකට අනුමැතිය ලබා දෙනු ලැබීය.  එදා රු. දහසක් වූ මන්ත්‍රී වැටුපට අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප රු. 333.33 කි. (එදා ගුරුවරයෙකුගේ වැටුප ආරම්භක වැටුප රු. 250 කි.)

    එතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රභූ සමාජය නැතත්, බුලත් කන, සරම අදින, බස් එකේ යන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වෙලා නීති හදන්නට පැමිණි පිරිසකට එමගින් රැකවරණය ලැබුණි.  වැඩිහිටියන් රැක බලා ගැනීම ශිෂ්ඨ සමාජ වගකීමකි. ලංකා රාජ්‍යය 2024 ආරම්භයේ දී විශ්‍රාමිකයින් ලක්ෂ 7 කට වැටුප් ගෙවන්නේය. රටේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 430 කි.

    වත්මන් දසවන පාර්ලිමේන්තුවේ විවිධ තරාතිරම්වල පුද්ගලියන් සිටින අතර රාජ්‍ය සේවයෙන් ඉවත්වී පැමිණි අය ද, කිරි ගොවියන් හෙවත් හරක් බලන්නන් ද, ජීවිතයේ කිසිම දවසක රස්සාවක් කර නැති අය ද සිටී. අනාගතයේ දවසක ඔවුන්ට ‘කරුණා සහගත දීමනාව‘ හෙවත් පිං පඩිය ඉල්ලා ලිපි ලියන්නට සිදු නොවේවා යන්න මගේ පැතුමය.  විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව සම්මත කරන්නේ නම්, මෙයට පක්ෂව ඡන්දය දෙන කිසිවෙකුට අනාගතයේ කිසිම දවසක ‘කරුණා සහගත දීමනාවක් ඉල්ලලා‘ ලියුම් එව්වාට ‘පිං පඩි නොලැබිය යුතුයි‘ කියලා වගන්තියක් ඇතුලත් කළ යුතුය.  ජනප්‍රිය සටන් පාඨ නීති බවට පත් කිරීමේ පාපයට කරගසන්නන්ම එහි පීඩාව ද විදිය යුතුය.

    අනෙක් අතට, දැනට තිබෙන කුමන හෝ විශ්‍රාම දීමනාවක් කිසිවෙකුට අහිමි කිරීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත හෝ ශිෂ්ඨ ක්‍රියාවක් නොවේ.

    ජවිපෙ නියෝජනය කළ නමුත් පක්ෂය හැර ගිය නන්දන ගුණතිලක, විමල් ඇතුළු පිරිසකට විශ්‍රාම වැටුප අහිමි කිරීම මේ යෝජනාවේ සැඟවුණු රහස යැයි පවතින අදහස ද බැහැර නොකළ යුතුය.

    අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලවල පුද්ගලික, මාධ්‍ය, සම්බන්ධීකරණ ලේකම්වරුන් සේවය කළ 200 කට ආසන්න පිරිසකට ද විශ්‍රාම වැටුප් ලැබේ. එයින් බහුතරයට ලැබෙන මුදල රු. 25,000 කට අඩු ය. මන්ත්‍රී විශ්‍රාමය සමඟ මොවුන්ගේ වැටුප අහිමි කරන්නේ ද යන්න පැහැදිලි නැත.  එසේ කරන්නේ නම්, වෙනත් ආදායම් මාර්ග නොමැති අයට සමෘද්ධි, අස්වැසුම හෝ වෙනත් ‘පිං පඩියක්‘ ලබාදීමේ ශිෂ්ඨ වගකීමක් රාජ්‍ය සතුව පවතී.

    මාදිවල මන්ත්‍රී මන්දර

    ලින්ක් සමාගම විසින් මාදිවල ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරයෙන් ලබාගෙන මධ්‍ය පාන්තික නිවාස ව්‍යාපෘතියක ඇරඹීය.  ආචාර්ය නුගවෙල, ඉංජිනේරුවරුන්වන ජයවර්ධන හා නිශ්ශංක විජේරත්න ඒ ඉදිකිරීමේ හිමිකරුවන්ය.  නිවාස ඉදිකිරීම අවසන් අදියරට පැමිණි විට අලෙවිය සඳහා අත්පත්‍රිකාවක් ද මුද්‍රණය විය. වහා මැදිහත් වූ ජනපති ප්‍රේමදාස පාර්ලිමේන්තුව හරහා නිවාස මිල දී ගෙන උත්සවශ්‍රීයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේය.  වැඩේ ක්‍රියාත්මක කළේ කතානායක එම්.එච්. මොහොමඩ් සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් සාලි (ආණ්ඩුකාරවර අසාත් සාලි නොවේ) ය.

    මන්ත්‍රීවරුන්, අපේක්ෂකයින් පාක්ෂිකයින් රැසක් ඝාතනය වූ 1989 භීෂණ සමයේ මන්ත්‍රීවරුන්ට ගම රට යාමට ක්‍රමයක් නොවීය. ආණ්ඩු පක්ෂයට කැප්පෙටිපොල මාවතේ සමුළු නිවාස ලැබුණි. ශ්‍රාවස්තියේ ද පිරිසක් සිටියහ. විපක්ෂයේ බහුතරයකට නවතින්නට තැනක් නොවීය.  එයට විරෝධය පා  යසරත්න තෙන්නකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, එඩ්වින් වික්‍රමරත්න ඇතුළු පිරිසක් වරක් පාර්ලිමේන්තුවේ කොට්ට පැදුරු රැගෙන විත් නිදාගත්තේය. පසුව පිරිසකට මන්ත්‍රී ආරක්ෂාව පතා තැප්‍රොබේන් හෝටලයේ කාමර ලැබුණි. පාර්ලිමේන්තුව ආසන්නයේ මන්ත්‍රීවරුන්ට නිවාස අවශ්‍ය වූවේ මරණ බය නිසාය.

    අදටත් මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ විදුලිය, ජලය බිල් මන්ත්‍රීවරුන් විසින් ගෙවිය යුතුය. සියලුම ගෘහ භාණ්ඩ ඔවුන් විසින්ම සපයා ගත යුතුය. ෆෑන් දෙකක් ඇතත් වායු සමීකරණ අවශ්‍ය නම් සවිකර ගැනීම මන්ත්‍රීවරුන්ගේ වියදමින් සිදු කළ යුතුය.

    උඩ තට්ටුවේ දහයයි – දහය ප්‍රමාණයේ කාමර දෙකක්, බඩු කාමරයක්, නාන කාමරයක් ඇත. යට තට්ටුවේ පුටු දෙක තුනකට, දෙන්නෙකුට වාඩිවිය හැකි කෑම මේසයකට ප්‍රමාණවත් ඉඩක් ද, එක් අයෙකුට වැඩ කර ගත හැකි කුස්සියක් ද, එළියේ ස්කොටින් පෑන් වැසිකිලියක් ද බැගින් ඇත.

    මන්ත්‍රී ඉන්ධන දීමනාව

    මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත් වූ දිස්ත්‍රික්කය අනුව, ලීටර් 283 (කොළඹ) සිට ලීටර් 639 (යාපනය, මඩකලපුව, අම්පාර) දක්වා ඉන්ධන ලැබේ. මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල සඳහා ලීටර් 568 කි. පාවිච්චි කරන වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව කුමක් වුව රජය වැය කරන වෙනස් වන්නේ නැත. මේ මුදල සාක්කුවට දමා ගැනීමට ඇති හැකියාවක් නැති තරම්ය.

    මෙයට අමතරව ලැබෙන සහන වන්නේ නිදහස් තැපැල් දීමනාව (ලිපි යැවීමට), කාර්යාල උපකරණ දීමනාව (ෆොටෝ කොපි කොළ පැකට් 5, රෝනියෝ කොළ පැකට් කිහිපයක්, ෆයිල් කවර, අමුණුම් කටු, ක්ලිප්), හා කාර්යාල දීමනාව (මසකට රු ලක්ෂයකි) මෙයට අමතරව ලැබේ.

    මන්ත්‍රී වැටුප රු. රු. 54,285 කි.  රාජ්‍ය සේවයෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් ලෙස පත් වූ බහුතරයක් ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්ගේ මුලික වැටුප පූර්ණ මන්ත්‍රී වැටුපට වඩා වැඩිය. ඔබගේ නිර්ප්‍රභූ මන්ත්‍රී සඟයින්ගේ උපන්දින තෑගි, විවාහ මංගල තෑගි, අවමංගල්‍යයට තබා දන්සන් ආධාර හෝ අපේක්ෂා නොකළ යුතු වන්නේ මේ නිසාය.

    පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රමාණය සමාන්තර විගණකාධිපති, අධිකරණ සේවයට වඩා බෙහෙවින් අඩුය.  මහ ලේකම් වැටුප රු. ලක්ෂයකි. දීමනා සියල්ල සමඟ රු. ලක්ෂ දෙක හමාරකට ආසන්නය. සමාන සුදුසුකම් සහිත අධිකරණ සේවයේ එමෙන් තුන් ගුණයක වැටුපක් ලැබේ.   ලිපිකරුවෙකුට රු. 60,000 ක් සමඟ උපරිමය රු. 125,000 කි. කම්කරුවෙකුට හා කම්කරුවෙකුට ආසන්නව රු. 80,000 ක් ලැබේ. (නමුත් අතිකාල දීමනා ඇත්තේම නැත) පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවෙකුගේ වැටුප විදුලිබල, ඛනිජ තෙල් සංස්ථාවක වැටුපෙන් තුනෙන් පංගුවකි. පරිගණක, කාර්මික ශිල්පී වැටුප පුද්ගලික අංශයේ වැටුපෙන් අඩකටත් අඩුය. අටසිය පනහක් වන පාර්ලමේන්තු කාර්ය මණ්ඩලයේ දක්ෂයින්ගේ 30 -40 ක් සෑම වසරකට ඉල්ලා අස්වී වෙනත් රැකියාවලට යන්නේය. ඉතා මෑතක දී අධිකරණ සේවයේ සිට පාර්ලිමේන්තුවේ සේවයට පැමිණි අයෙකු (ආසන්න වැටුප රු. ලක්ෂ 2.5යි) නැවත අධිකරණ සේවයට එක් වූ විට රු. ලක්ෂ 4.5 කට ආසන්න වැටුපක් ලබයි.  පාර්ලිමේන්තුවේ වැටුප් විශමතාව හා 8/2006 චක්‍ර ලේඛනය හා බැඳුණු නඩුවක් මේ වන විට විභාග වෙමින් ඇත.  දැනටම රජය නිලධාරීන්ට වැටුප් විශමතාවයක් ඇති බවත්, වැටුප් වැඩි විය යුතු බවත් පිළිගෙන ඇත.

    මේ පාර්ලිමේන්තුවේ  අඩුම මුලික වැටුප රු. 54,286 ලබන්නේ මහජන මන්ත්‍රීවරු ය!  දැන් එකත් නැති කලාම මේ මිනිස්සු, පවුලේ අය කන්න අදින්නේ කෙසේද යන්න ද පැහැදිලි කළ යුතුය.

    ඇමති සැප

    සැබවින්ම පාර්ලිමේන්තුවේ සැප විදින්නේ ඇමති හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණී.  ඔවුන්ට මන්ත්‍රී වැටුපට වැඩි මුදල් (රු. 85,000 කට ආසන්නය) ලැබේ.  අමාත්‍ය ධූරයට වාහන හා ඉන්ධන වෙනම ලැබේ. නිල නිවාසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලි ජල බිල පවා අමාත්‍යාංශයෙන් ගෙවනු ලැබේ.  එයට අමතරව ඉහතින් දැක්වූ පාර්ලිමේන්තුවේ ඉන්ධන දීමනාව වෙනම ලැබේ. අමාත්‍යාංශය ඇති නිසා කාර්යාලයකට ලැබෙන මුදල ද ඉතිරිය. දිස්ත්‍රික්කයේ ද රාජ්‍ය ආයතනයකම තම කාර්යාලය විවෘත කර ඒ මුදල ඉතිරි කර ගනී.  සැබවින්ම, කපා දැමිය යුත්තේ ඇමති ඉන්ධන දීමනාව, කාර්යාල දීමනාව යි. කිසිවෙකු කතා නොකරන්නේ ද, සමාජය නොදන්නේ ද එයම ය.

    ඇමති නිවාස

    අමාත්‍ය හා නියෝජ්‍ය අමත්‍ය ධූර දරණ අයට අමාත්‍යාංශය වැය ශිර්ෂ යටතේ නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ආදිය සපයා දී ඇත.  ජනමාධ්‍ය මගින් එළිදක්වා ඇති, එවැනි නිවාස 40 ක් පමණ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇත. දෙසැම්බර් 5 දින සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කිවේ, තම අමාත්‍යවරුන් නිල නිවාස ලබා නොගන්නා බවකි.  මම පසුගිය දිනෙක ජනධිපති මන්දිරය අසලින් රාත්‍රීයේ ගමන් කළෙමි.  එළියට එකම විදුලි බුබුලක් හෝ නැත. මේ සම්පත් භාවිත නොකර ඉතිරිවන මුදල අනාගතයේ දිනෙක අලුත්වැඩියාවට පමණක් වැය විය හැකිය.

    සමුළු නිවාස රැසක් ද ඔවුන් යටතේ ඇත. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක කාර්යාලයන් හි ද, අමාත්‍යාංශවල ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, පවත්නා රජයේ නිවාස අයඳුම්කර ලබාගත හැකිය. මාදිවලට මන්ත්‍රී නිවාසවලට වඩා යහපත් නිල නිවාස දැන් රාජ්‍ය නිලධාරීන් භාවිත කරති. මේ මොන විකාරයක් දැයි දන්නේ රැල්ලට මේ සටන් පාඨ ලියූ උදවියමය.

    වාහන සෙල්ලම

    අගමැති, සභානායක, ප්‍රධාන සංවිධායක, ඇමති, විපක්ෂ නායක, නියෝජ්‍ය ඇමති, කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා සභාපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට වාහන හිමිය. ඊට අමතරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය තැබූ වාහන සංචිතයෙන් වාහන නිදහස් කෙරේ. එවිට වාහන නැතිව ඉතිරි වන්නේ විපක්ෂයේ සියලු දෙනා සහ ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු පමණී.

    මේ දක්වා පැවති ව්‍යවහාරය මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහනයක් ලබාදීමය. එවිට ඒවාට තෙල් ගසා, නඩත්තු  කර, අලුත්වැඩියා කර ගැනීම පුද්ගලික වගකීමකි.  දැන් රජය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දී, රියදුරන්, අතිකාල සංයුක්ත දීමනා ගෙවා, අලුත්වැඩියාව, නඩත්තුව පමණක් නොව අතිරේක ඉන්ධන ද ලබාදීමට යයි.

    රජයට වැඩිම වියදමක් දරන්නට සිදු වන්නේ ආණ්ඩුවෙන් වාහන නඩත්තු කරන විට ඔබ පැහැදිලිය. අනෙක් අතට, ආණ්ඩුව ද විපක්ෂය ද පාර්ලිමේන්තු යාන්ත්‍රණයේ එක හා සමානය. මන්ත්‍රීවරුන් පිරිසකට පමණක් ලොකු හැන්දකින් බෙදා, විපක්ෂයට මුලික අවශ්‍යතාවත් ලබා නොදීම ‘යුක්තිය – සමානාත්මතාවය’ නොවේ.

    ආර්ථික අර්බුදය රට බංකොලොත්වීමත් සමඟ රටේ ජනතාවගේ වෛරය ක්‍රෝධය එල්ලවූවේ මහජන නියෝජිතවරුන් 225 ට ය. එය ඉලක්ක ගත යොමු කිරීමකි.  අතිරේක ආදයම් මාර්ග නොමැති, මහජන නියෝජිතයින් ද, ඔවුන්ගේ දරු පවුල් ද ජීවත් වන්නට ක්‍රමයක් තිබිය යුතුය. නැතිනම්, නීති විරෝධී මාර්ග වලින් මුදල් ඉපයිය යුතුය.

    රාජ්‍ය තාන්ත්‍රිකයින් තීරණ ගන්නේ ආවේග හෝ හැඟීම්මත පිහිටා නොවේ. අනාගතය තුන් කල දකිමිනි.  මෙයින් බොහෝ කලකට පෙර ලලිත් ඇතුලත්මුදලි නම් තරුණයෙකුට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය විසින් අධ්‍යාපනය සඳහා විශේෂ දීමනාවක් ලබා දුන්නේය.  ඒ ලලිත් තරුණයා දේශපාලනඥයෙකු වී වෙළඳ ඇමතිවරයා ලෙස මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කර අද වන විට මිලියනයකට ආසන්න පිරිසකට උසස් අධ්‍යාපනයට මුල්‍ය සහාය ලබාදී තමාට රාජ්‍යය දැරූ පිරිවැයට කෘතගුණ සැලසීය.  රටකට අවශ්‍ය තුන් කල් දකින එවැනි රාජ්‍ය තාන්ත්‍රිකයින් මිස වෛරයෙන් අන්ධ වූ, අසත්‍ය යෙන් මුලා වූ පුංචි මිනිසුන් නොවේ.

    බලය ලබා ගැනීමට ජජාබය ලබාදුන් ඉහත පොරොන්දු හෝ බලාපොරොත්තු හතරම ඉටු නොකළ යුතුය. වැටුප්, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන ඉවත් කර මන්ත්‍රීවරුන් අබ්බාගත කරනවාට වඩා, යථාර්තවාදීව ප්‍රශ්න සත්‍යයට මුහණදීම අනාගත ගැටළු රැසක් වලක්වා ගැනීමේ මාවතයි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • ජනපති සහ ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

    ජනපති සහ ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.

    සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

  • නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

    නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

    මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.

    1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත.

    මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබේ.

    මුර්දු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වේ.

    මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබේ.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක් විය.

  • ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?

    ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?

    “අවංක වීමට මට ඇත්තටම බියක් දැනුුුනා” Snapchat හි සිදුවීමක් විස්තර කරමින් ජෙම්ස් පවසයි. එම සිදුවීම ඔහු පාසලට යාම ආරක්ෂිත දැයි ප්‍රශ්න කිරීමට හේතු විය.

    ජේම්ස් 12 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු මිතුරෙකු සමඟ මතභේදයක් ඇති කර ගත් අතර, එක් දිනක රාත්‍රියේ නින්දට යාමට පෙර මතභේදය ඇතිකර ගත් මිතුරා ඔහුව වැඩිහිටි යෞවනයන් දෙදෙනෙකු සමඟ සමූහ කතාබහකට එක් කළේය. ක්ෂණිකව වාගේ ඔහුගේ දුරකථනය ප්‍රචණ්ඩ පණිවිඩ වැලක් සමඟ “පිපිරෙන්නට විය”.

    “ඔවුන්ගෙන් එක් කෙනෙකුුටවයස අවුරුදු 17ක් විය හැකියි. ඔහු මට ඔහුගෙ වීඩියෝ එව්වා පිහියකින්… ඔහු එය වටේට අතගාමින් සිටියා. ඊට පස්සේ මාව අල්ලලා පිහියෙන් අනින්න යනවා කියලා කටහඬ පණිවිඩ ආවා.” ජේම්ස් පවසයි.

    ජේම්ස් (මේ ඔහුගේ සැබෑ නම නොවේ) ඔහුට වයස අවුරුදු 10 දී Snapchat වෙත මුලින්ම සම්බන්ධ විය.ඒ ඔහුගේ පන්තියේ මිතුරෙකු ඔවුන්ගේ මිත්‍රත්ව කණ්ඩායමේ සියලු දෙනාට යෙදුම ලබා ගැනීමට යෝජනා කළ පසුවය. නමුත් අවසානයේ ඔහුගේ පාසල විසින් ඔහුගේ සයිබර් හිරිහැර කිරීමේ අත්දැකීම ගැන ඔහුගේ දෙමාපියන්ට පැවසීමෙන් පසුව, ජේම්ස් ඔහුගේ ගිණුම මකා දැමීය.

    ඔස්ට්‍රේලියානු රජය විසින් වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා යෝජිත සමාජ මාධ්‍ය තහනම අවශ්‍ය වන්නේ මන්දැයි පෙන්නුම් කරන ඔහුගේ අත්දැකීම අනතුරු ඇඟවීමේ කතාවකි. අන්වර්ථ නාමයක් ද භාවිතා කරන ඔහුගේ මව එමා පවසයි.

    අද (21) ඔ්ස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාගත කරන ලද නීති, අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් “ලෝකයේ ප්‍රමුඛ නීතියක්” ලෙස හුවා දක්වා ඇත.

    බොහෝ දෙමව්පියන් මෙම පියවර අගය කර ඇති නමුත් සමහර ප්‍රවීණයන් ප්‍රශ්න කර ඇත්තේ ළමයින්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තහනම් කළ යුතුද ? හෝ කළ හැකිද ? යන්න සහ එසේ කිරීමෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් මොනවාද යන්නයි.

    ඕස්ට්‍රේලියාව යෝජනා කරන්නේ කුමක්ද?

    ඇල්බනීස් පවසන්නේ මෙම තහනම X, TikTok, Facebook සහ Instagram වැනි වේදිකා ආවරණය වන පරිදි සමාජ මාධ්‍යවල “හානිවලින්” ළමයින් ආරක්ෂා කිරීමයි.

    “මෙය ගෝලීය ගැටලුවක් වන අතර අපට අවශ්‍ය වන්නේ තරුණ ඕස්ට්‍රේලියානුවන්ට සාමකාමී ළමා කාලයක් තිබීමයි. අපට අවශ්‍ය වන්නේ දෙමාපියන්ට මනසේ සාමය තිබීමයි, ”ඔහු පැවසීය.

    නව නීති සම්පාදනය තහනම සඳහා “රාමුවක්” සපයයි. නමුත් ලබන සතියේ සෙනෙට් සභාවට යාමට අපේක්ෂා කරන පිටු 17 කින් යුත් ලේඛනය විස්තරාත්මකව විරල ය. ඒ වෙනුවට, නීති සම්පාදනය කිරීමෙන් පසු අවම වශයෙන් මාස 12ක් වත් ක්‍රියාත්මක නොවන නීති ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ බලාත්මක කරන්නේ කෙසේද යන්න හෙළි කිරීම ජාතියේ අන්තර්ජාල නියාමකයා – eSafety කොමසාරිස් වෙත පැවරේ.

    පනත් කෙටුම්පතට අනුව, තහනම අවුරුදු 16 ට අඩු සියලුම දරුවන්ට අදාළ වන අතර දැනට සිටින පරිශීලකයින්ට හෝ දෙමාපියන්ගේ කැමැත්ත ඇති අයට නිදහස් කිරීම් නොමැත.

    තාක්ෂණික සමාගම් අනුකූල නොවන්නේ නම් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා දඩයකට මුහුණ දෙනු ඇත. නමුත් ළමයින් සඳහා සුදුසු යැයි සැලකෙන “අඩු අවදානම් සේවා” නිර්මාණය කිරීමට හැකි වේදිකා සඳහා නිදහස් කිරීම් තිබේ. මෙම සීමාව සඳහා නිර්ණායක තවම සකසා නැත.

    කෙසේ වෙතත්, පණිවිඩ සේවා සහ ක්‍රීඩා අඩවි සීමා නොකරනු ඇත. YouTube වැනි ගිණුමකින් තොරව ප්‍රවේශ විය හැකි සමහර වෙබ් අඩවි මෙන්ම, නියාමකයින් සමාජ මාධ්‍ය වේදිකාවක් යනු කුමක්ද සහ නොවන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න ඇති කර තිබේ.

    ඕස්ට්‍රේලියාවේ Meta, Snapchat සහ X වැනි තාක්ෂණික සමාගම්වල අවශ්‍යතා නියෝජනය කරන කණ්ඩායමක් තහනම “21 වැනි සියවසේ අභියෝගවලට 20 වැනි සියවසේ ප්‍රතිචාරයක්” ලෙස බැහැර කර ඇත. එවැනි නීති මගින් ළමයින් “අන්තර්ජාලයේ අන්තරායකර, නියාමනය නොකළ කොටස්” වෙත තල්ලු කළ හැකි බව Digital Industry Group Inc පවසයි. සමහර ප්‍රවීණයන් විසින් ද ප්‍රකාශ කරන ලද බියකි.

    EPA අගමැති Anthony Albanese
    ඇන්තනි ඇල්බනීස් පවසන්නේ මෙම තහනම ඕස්ට්‍රේලියානු පවුල්වලට තම රජයට “ඔවුන්ගේ පිටුපස ඇති” බව පෙන්වීමට බවයි

    eSafety කොමසාරිස් Julie Inman Grant විසින් තහනම ක්‍රියාත්මක කිරීමේදී තම කාර්යාලය මුහුණ දෙන අතිවිශිෂ්ට කර්තව්‍යය පිළිගෙන ඇත, “තාක්ෂණ වෙනස් වීම සැමවිටම ප්‍රතිපත්තිය අභිබවා යයි. එය සෑම විටම තරල වනු ඇත. මේ නිසා eSafety වැනි නියාමකයින් වේගවත් විය යුතුය,” ඇය BBC Radio 5 Live වෙත පැවසුවාය.

    නමුත් ඉන්මන් ග්‍රාන්ට් මහත්මිය රජයේ ප්‍රතිපත්තිය පිටුපස ඇති කේන්ද්‍රීය අදහස ගැන ද කනස්සල්ලක් මතු කර ඇත.

    LGBTQ+ හෝ First Nations යෞවනයන් වැනි වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කිහිපයක් “ඔවුන්ට වඩා ඔන්ලයින් තමන්ට වඩා වැඩි බවක් දැනෙන බව ඇයගේම කාර්යාලයෙන් කරන ලද පර්යේෂණයක් පෙන්වා දෙමින්, සාක්ෂි පදනම කිසිසේත්ම විසඳී නැති බව ප්‍රකාශ කළාය.

    මෙය පිරිමි ළමයින්ට නිය ආලේපන අලෙවි කරන අන්තර්ජාල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 15 හැවිරිදි ලූකස් ලේන් විසින් ප්‍රතිරාවය කරන ලද හැඟීමකි. “මෙය [තහනම්] විනාශ කරයි… මගේ මිත්‍රත්වය සහ මිනිසුන්ට පෙනෙන බව දැනීමේ හැකියාව” ඔහු පවසයි.

    ඉන්මන් ග්‍රාන්ට් මහත්මිය තාක්‍ෂණ සමාගම් ඔවුන්ගේ වේදිකා පිරිසිදු කිරීම මෙන්ම තරුණයින්ට සබැඳිව ආරක්ෂිතව සිටීමට උපකාර කිරීම සඳහා අධ්‍යාපන මෙවලම් සඳහා වැඩි ආයෝජනයක් දැකීමට කැමතිය. ඇය දරුවන්ට ජලය තහනම් කරනවාට වඩා පිහිනීමට ඉගැන්වීමේ උපමාව භාවිතා කරයි.

    “අපි සාගරයට වැටක් බඳින්නේ නැහැ… නමුත් අපි ආරක්ෂිත පිහිනුම් පරිසරයක් නිර්මාණය කරනවා … ආරක්ෂාව සපයන සහ කුඩා කාලයේ සිට වැදගත් පාඩම් උගන්වනවා” ඇය මේ වසර මුලදී පාර්ලිමේන්තුවට පැවසුවාය.

    Matthew Abbott ඕස්ට්‍රේලියාවේ eSafty කොමසාරිස් Julie Inman Grant
    ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල නියාමකයාට නායකත්වය දෙන Julie Inman Grant ට තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව කටයුතු කිරීමේ වගකීම පැවරෙනු ඇත.

    නමුත් එමා වැනි දෙමාපියන් එය දකින්නේ වෙනස් ආකාරයකටය.

    “තාක්ෂණික සමාගම්වලට ඒවා නිතරම අවශ්‍ය වන විට මෙම දුෂ්කර පද්ධතිවල සැරිසැරීමට දරුවන්ට උපකාර කිරීමට උත්සාහ කරමින් අප සැබවින්ම අපගේ කාලය නාස්ති කළ යුතුද? නැත්නම් අපි ඔවුන්ට ළමයින් වීමට ඉඩ දී එකිනෙකා සමඟ පිටත සමාජශීලී වන්නේ කෙසේදැයි ඉගෙන ගෙන පසුව මෙම සාකච්ඡා ආරම්භ කළ යුතුද?” ඇය ප්‍රශ්න කරයි.

    Wait Mate ව්‍යාපාරයේ තිදරු මවක් වන Amy Friedlander – තම දරුවන්ට ස්මාර්ට් ෆෝන් ලබා දීම ප්‍රමාද කිරීමට දෙමාපියන් දිරිමත් කරයි.

    “තාක්‍ෂණය අපේ ජීවිතවලට ගෙනා සියලු ධනාත්මක කරුණු අපට නොසලකා හැරිය නොහැකිිියි. නමුත් අප සැබවින්ම සලකා බැලුවේ නැති දෙය නම් එයට සූදානම් නැති මොළයට එය ඇති කරන බලපෑමයි”

    ‘ඕනෑවට වඩා මොට උපකරණයක්’

    ඕස්ට්‍රේලියානු විද්වතුන් 100 කට අධික සංඛ්‍යාවක් තහනම “බොහෝ මොට මෙවලමක්” ලෙස විවේචනය කර ඇති අතර එය තරුණයින්ට ඩිජිටල් පරිසරයන්ට “ආරක්ෂිත ප්‍රවේශය” ඇති බව සහතික කරන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ උපදෙස්වලට පටහැනි බව තර්ක කළහ.

    නව යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍යවල බලපෑම පරීක්ෂා කරමින් සිටින ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු කමිටුවක පිටුබලය දිනා ගැනීමට ද එය අසමත් වී ඇත. ඒ වෙනුවට, කමිටුව නිර්දේශ කළේ තාක්ෂණික දැවැන්තයින් දැඩි රෙගුලාසිවලට මුහුණ දෙන ලෙසයි.

    එම ගැටළු වලින් සමහරක් විසඳීම සඳහා, රජය පවසන්නේ එය අවසානයේ “digital duty of care”” නීති හඳුන්වා දෙන අතර එමඟින් තාක්‍ෂණ සමාගම් පරිශීලක ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීම නීතිමය බැඳීමක් බවට පත් කරන බවයි.

    ඩිජිටල් හැසිරීම් පිළිබඳ පර්යේෂකයෙකු වන ජොආන් ඔර්ලැන්ඩෝ තර්ක කරන්නේ තහනමක් “උපායයක කොටසක් විය හැකි නමුත් එය සම්පූර්ණ උපාය මාර්ගය විය නොහැකි” බවයි.

    ඇය පවසන්නේ “ප්‍රහේලිකාවේ ලොකුම කොටස” දරුවන්ට ඔවුන්ගේ සංග්‍රහවල දකින අන්තර්ගතය සහ ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය ගැන විවේචනාත්මකව සිතීමට ඔවුන්ව දැනුවත් කිරීම බවයි.

    එය උත්සාහ කිරීමට සහ එය කිරීමට නොමිලේ “ඩිජිටල් සාක්ෂරතා මෙවලම්” සංවර්ධනය කිරීමට රජය දැනටමත් 2022 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 6ක් වියදම් කර ඇත. කෙසේ වෙතත්, බොහෝ තරුණ ඕස්ට්රේලියානුවන්ට නිතිපතා පාඩම් නොලැබෙන බව පර්යේෂණවලින් පෙනී යයි.

    ඔර්ලන්ඩෝ මහත්මිය සහ අනෙකුත් ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ තහනම බලාත්මක කිරීමට අවශ්‍ය වයස් සත්‍යාපනය කිරීමේ තාක්‍ෂණය ඵලදායී සහ ආරක්ෂිත බවට පත් කිරීමට සැලකිය යුතු බාධා ඇති බවත්, සෑම ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේම හඳුනාගැනීමේ ලේඛන අන්තර්ජාලය හරහා ගබඩා කිරීම හා සම්බන්ධ “විශාල අවදානම්” සැලකිල්ලට ගත යුතු බවත්ය.

    වයස සත්‍යාපනය කිරීමේ අත්හදා බැලීම් හරහා එම අභියෝගය විසඳීමට අපේක්ෂා කරන බව රජය පවසා ඇති අතර ලබන වසරේ මැද භාගය වන විට වාර්තාවක් සභාගත කිරීමට බලාපොරොත්තු වේ. රහස්‍යතා ගැටළු ඉදිරිපස සහ මධ්‍යස්ථ වනු ඇති බවට එය පොරොන්දු වී ඇි නමුත් ඇත්ත වශයෙන්ම පරීක්ෂා කරනු ලබන්නේ කුමන ආකාරයේ තාක්‍ෂණයද යන්න පිළිබඳ කුඩා විස්තරයක් ඉදිරිපත් කර ඇත. එහි උපදෙසෙහි, eSafety කොමසාරිස් විසින් පරිශීලක හැඳුනුම්පත ඕනෑම වයස් සත්‍යාපන වෙබ් අඩවියකට ලබා දීමට පෙර, ඔවුන්ගේ පෞද්ගලිකත්වය “සුරක්ෂා කිරීමට” තෙවන පාර්ශවීය සේවාවක් භාවිතා කිරීමේ අදහස ඉදිරිපත් කර ඇත.

    කෙසේ වෙතත්, ඔර්ලන්ඩෝ මහත්මිය තවමත් සැක සහිතය. “මෙය ඉවත් කළ හැකි කිසිදු තාක්‍ෂණයක් ගැන මට සිතාගත නොහැක,” ඇය පවසයි.

    ඕස්ට්‍රේලියාව සාර්ථක වෙයිද?

    යෞවනයන් අන්තර්ජාලය හරහා ඇතැම් වෙබ් අඩවි හෝ වේදිකා වෙත පිවිසෙන ආකාරය සීමා කිරීමට උත්සාහ කරන පළමු රට ඕස්ට්‍රේලියාව නොවේ. 2011 දී, දකුණු කොරියාව සිය “වසා දැමීමේ නීතිය / shutdown law” සම්මත කළ අතර එමඟින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් 22:30 සහ 6:00 අතර අන්තර්ජාල ක්‍රීඩා කිරීම වළක්වන ලදී. නමුත් පසුබෑමට ලක් වූ නීති – “තරුණයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අවශ්‍යතාවය” සඳහන් කරමින් පසුව ඉවත් කරන ලදී.

    වඩාත් මෑතක දී ප්‍රංශය විසින් සමාජ මාධ්‍ය වේදිකා මගින් දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට ප්‍රවේශය අවහිර කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලදී. සරල VPN භාවිතයෙන් තහනම මගහරවා ගැනීමට පරිශීලකයින්ගෙන් අඩකට ආසන්න පිරිසක් සමත් වූ බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

    එක්සත් ජනපදයේ Utah ප්‍රාන්තයේ නීතියක් (ඕස්ට්‍රේලියාවට සමාන වූ) වෙනත් ගැටලුවකට මුහුණ පෑවේය: එය ව්‍යවස්ථා විරෝධී යැයි සැලකූ ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් එය අවහිර කරන ලදී.

    ඕස්ට්‍රේලියාවේ යෝජනාව අමනෝඥ නොවන බව ඇල්බනීස් පිළිගෙන ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය සමාලෝචනයකට යටත් වනු ඇත.

    “තාක්ෂණය වේගයෙන් ගමන් කරන බව අපි කවුරුත් දනිමු, සමහර අය මෙම නව නීති වටා මාර්ග සොයා ගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් එය අපට ඇති වගකීම නොසලකා හැරීමට හේතුවක් නොවේ,” ඔහු නීති සම්පාදකයින්ට පැවසීය.

    නමුත් වෙනස්කම් සඳහා බලපෑම් කළ එමා සහ ෆ්‍රීඩ්ලැන්ඩර් වැනි දෙමාපියන්ට තහනමට වඩාත් වැදගත් වන පණිවිඩය එයයි.

    “බොහෝ කලක සිට දෙමාපියන්ට තම දරුවාට ඇබ්බැහි කරවන උපකරණයක් ලබා දීම හෝ තම දරුවා හුදකලා වී සිටිනු දැකීම සහ සමාජයෙන් ඈත් වී ඇති බවක් දැනීම අතර මෙම කළ නොහැකි තේරීමක් කර ඇත. කිසිවෙකුට කොටසක් වීමට අවශ්‍ය නැති සම්මතයකට අපි කොටු වී සිටිමු.”ෆ්‍රීඩ්ලැන්ඩර් මහත්මිය පවසයි.

    ජේම්ස් පවසන්නේ ස්නැප්චැට් වෙතින් ඉවත් වූ දා සිට ඔහු මිතුරන් සමඟ වැඩිපුර කාලය ගත කරන බවයි.

    ඔහු බලාපොරොත්තු වන්නේ නව නීති මගින් ඔහු වැනි තවත් ළමයින්ට සබැඳිව සිටීමට පීඩනයක් දැනෙනවා වෙනුවට “පිටවී ගොස් ඔවුන් ආදරය කරන දේවල් කිරීමට” හැකි වනු ඇති බවයි.

    මූලාශ්‍රය – රය bbc.com

  • ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

    ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    මෙරට මුල් බැසගත් දේශපාලන රාජාවලියේ වෙනසක් හා පරිවර්තනයක් දැකීමට ශ්‍රී  ලාංකිකයෝ කලක සිට බලා සිටිය හ. ඒ උදෙසා අවස්ථා කිහිපයකදීම තරුණ ප්‍රජාව ගත් උත්සාහයන් අතිබිහිසුණු ලෙස මර්දනයට පත් කළ බව නොරහසකි. එය කෙතරම් භයංකාරවී ද යත් එවැනි එක් අවස්ථාවක මම රැකියාවට ගොස් සිටියෙමි. එදවස මා වෙත සෝවියට් සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්යාලය හරහා ‘සමාජවාදී න්‍යාය හා ව්‍යවහාරය සඟරාව’ අඛණ්ඩව ලැබුණි. මා සතුව පැවති එම සඟරා ගොන්න මගේ අම්මා විසින් ගිනිතබා විනාශකර තිබුණි. ඈ පැවසුවේ, ‘පරිස්සම් වෙලා හිටපන්’ යන්නයි. දේශපාලන නරුමයින් විසින්ම ජනිත කළ ගෝනි බිල්ලන්ගෙන් සමාජය වෙලා ගැනීමට වැඩිකල් නොගියේ ය. තවත් දිනක මරණ ලැයිස්තුවේ පළමු තැනට සිටි ඒ වනවිටත් තන්ගුස් කඹයකින් වදකාගාරයේ එල්ලා සිටි මගේ බාල සහෝදරයාගේ පෙර පිණකට වදකයා විසින් ඔහුව නිදහස්කර තිබුණි. මා සේවයට ආ ගිය මග ටයර් සෑයේ වේදනාවෙන් දැවී ගියේ මගේම සමවයසේ සහෝදරයින් පිරිසකි. කෙළෙස අර්ථනිරූපනය කෙරුවද සිරිමාවෝගේ කාලයේ මෙන්ම ප්‍රේමදාස යුගයේදී ද ඝාතනයට ලක් වූයේ මෙරට තරුණ පරපුරය.

    දේශපාලන අවශ්‍යතාමත හසුරවන එවැනි මර්දනකාරී තුවක්කු සංස්කෘතියක් හමුවේ ජනහිතකාමී දේශපාලන ව්‍යාපාරයකට හෝ විප්ලවවාදියෙකුට සැබෑ මුහුණුවරින් පෙනි සිටිය නොහැකිය. එමෙන්ම පාවාදීම් ඔස්සේ සිදුවන අමානුෂික ඝාතන ඔස්සේ එවැනි විප්ලවිය දැක්මක් පරාජයට පත් කළ නොහැකි බව ඔවුන් වටහා ගත්තේද නැත. වඩාත් පැහැදිලිව පවසන්නේනම් එක් එක් පුද්ගලයා දෙවියන් දකින්නේ තමාගේ දෘෂ්ඨි විතානය මත ගොඩනැගෙන ප්‍රතිරූපය අනුව ය. එය ආස්වාදය කිරීම ඒ ඒ පුද්ගලයාගේ බුද්ධිය මත සිදුවන්නකි. එහෙත් ඒ සෑම කෙනෙකුගේම පැතුම දෙවියන් දැකීම ය. පුරවැසියන් ලෙස ලාංකිකයින් සැවොම අද උදාකරගෙන ඇත්තේ එවැනි පැතුමකි.

    ඒ පැතුමේ ආශ්වාදය අප භුක්ති විඳිය යුත්තේ කෙසේද? යන්න ඔබ අප හමුවේ ඇති ගැටළුවකි. නිදහසින් පසු එදා මෙදා තුර ගොඩනැගුණ දේශපාලනික අධිමානසිකත්වය විසින්  රට තුල පැවති සංස්කෘතික හර පද්ධතියේ වටිනාකම් පසෙක ලා වාර්ගික හා ආගමික වශයෙන් ජනතාව බෙදා හදා ගත්තේ ය. ඒ සමඟින් රිසි සේ වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර අලවමින් බලය ආශ්වාදය කළ ඔවූහු ගොඩනැගූ ආර්ථික අර්බුද මධ්‍යයේ වෙනසක් පැතූ තරුණ ප්‍රජාව නොනිමි අරගලයක නිරත වූයේ දිවා කල ගැලූ දහඩිය මත රාත්‍රියේ හමා එන ලවණ මුසු සුළගින් විඩාව සන්තර්පනය කරමිනි. දෙවසරකට පෙර ඉස්මතු වූ ගොල්ෆේස් අරගලයේ මුල්කාලීන සංදර්භය තුල පැවති අව්‍යාජ වූ ඒ පැතුම බොඳකර හැරිමට කූප්‍රකට ඊනියා විප්ලවවාදීන් ගත් තැත පරාජය කරමින් ජනතා අභිලාෂයන් ‘ජාතික ජන බලවේගය’ දක්වා විතැන්වීමට පටන් ගැනුණි. ‘ජනතා විමුක්ති පෙරමුණ’ වෙතින් ව්‍යුත්පන්න වූ නව සංවිධාන විසින් ජනවිඥාණය තුලට යොමුකළ ආර්ථික පුනර්ජීවනය උදෙසා දූෂණය හා මහජනතාවට උරුම සම්පත් නාස්තිකාර ලෙස භුක්ති විඳීම නවතාලීමේ දැක්ම තහවුරු වූයේ,  මන්ත්‍රී  ආසන තුනේ සිට එකසිය පනස්නවය දක්වා ඉහල නංවමින් ‘ජාතික ජන බලවේගය’ වෙත ලබා දුන් අති විශේෂ බලයයි. එය කියුබානු, රුසියානු, චීන හෝ වියට්නාම් සංදර්භයක් නොව අප අතහැර ගිය අධිරාජ්‍යවාදීන් විසින් ම දායාද කළ ප්‍රජාතන්ත්‍රවාදය තුළින්ම ව්‍යුත්පන්න වූ ලාංකික හැඩතලයකි. එය ලෝකයටම පෙන්වාදුන් දර්ශනීය ගෝල පහරකි.

    ඒ ඒ පාලන සමයේ දී ජාතිය ගොඩනගන්නන් ලෙස ඇතැමුන් විසින් හඳුන්වා දුන් ප්‍රභූ දේශපාලකයෝ අධිකාරීවාදය, ඥාති සංග්‍රහය සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව කෙළපැමිණියෝ වෙති. ඔවුන්ගේ සංස්කෘතිය විවේචනය කළ පාසල් , විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුවාගේ සිට පූජක පක්ෂය, කලාකරුවන්, ලේඛකයින්, වෛද්‍යවරුන්  හා නීතීඥවරුන් දක්වා අතුරුදහන් විය. එමෙන්ම එදා මෙදා තුර දේශපාලන කරලියේ අත්තනෝමතික ලෙස බලය ප්‍රදර්ශනය කළ පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකු අතර රාජ්‍ය  ව්‍යවසායයන් කුණු කොල්ලයට බෙදාහදා ගත් බව ද නොරහසකි. සහල් කූපනය, ඇට අට, ජනසවිය, සමුර්ද්ධිය හා අස්වැසුම වැනි ඊනියා සමාජ සංරක්ෂණ තුලින් සිය පාක්ෂිකයින් අතරම දුගී දුප්පත්බව ප්‍රවර්ධනය කිරීම හැර මහජනතාවට සිදුවූ යහපතක් නොමැති විය. ඔවුන්ගේ බල පරාක්‍රමය කෙතරම් වර්ධනය වූයේද යත් ඇතැම් අමාත්‍යාංශ හා ආයතන ඔස්සේ සිදුකළ වංචා හා දූෂණ වලට පරිබාහිරව බැංකු ණය ගෙවීම් මගහැරීම, විදුලිය හා දුරකථන බිල්පත් ගෙවීම පැහැර හැරීම්, ස්වකිය ව්‍යාපාර මත වු බදු ගෙවීම පැහැර හැරීම මෙන්ම රේගු අණපනත් උල්ලංඝනය කරමින් රථවාහන ආනයනය ඔස්සේ සමස්ත රාජ්‍ය තන්ත්‍රයම පරිහානියට තල්ලු කළ ආකාරය නුදුටු පාසල් දරුවකු පවා නොමැති තරම් ය. ඒ කාලකණ්ණි සමාජ ව්‍යුහය මහජනතාව වෙත කාන්දු වූයේ, තම නිවාස සැළසුම අනුමතකර ගැනීමට, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට, දරුවෙකු පාසලකට ඇතුලත්කර ගැනීමට, විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමට, හෝ වළං තැනීමට පස් ටිකක් කපා ගැනීමට මෙන්ම බස් රථයකට මගී බලපත්‍රයක් ගැනීමට, අල්ලසක් හෝ ශාරීරික අල්ලසක් ඉල්ලා සිටින නිළධාරීන් ගැවසි සමාජයක් නිර්මාණය කිරීමෙනි. මෙම බැරෑරුම් තත්වය ජනතාව අවබෝධකර ගත්තේ ‘ජාතික ජන බලවේගය’ හරහා ය. එම තත්වයේ බැරූරුම්කම කෙතෙක්දයත් විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම ඇතැම් අවස්ථා වලදී අධිකරණය කෙරෙහි මෙන්ම ඉන් ඔබ්බට පොලීසිය කෙරෙහිද ජනතා විශ්වාශය පළුදු විය.

    එවැනි පසු බිමක් තුළ දැඩි මාක්ස්වාදී ස්ථාවරයෙන් යම්තරමකට හෝ විතැන්ව තත්කාලීන වාමාංශික ව්‍යපාරයක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජිය සංවර්ධනය ඉහළ නැංවීම කෙරෙහි ‘ජාතික ජනබලවේගය’ ඉස්මතුකළ නව දැක්ම කෙරෙහි  ජනතාව බලාපොරොත්තු තැබුවේ පසුගිය සැප්තැම්බර් මස 21 දිනයි. බොහෝ දෙනෙකුට, වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පුදුමයට කරුණක් වූයේ නැත. මක්නිසාදයත් දශක ගනනාවක සිට පැවති අල්ලස, දූෂණය, වංචාව, හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව කලකිරුණු ලාංකික ප්‍රජාව පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ‘ජාතික ජන බලවේගයේ’ දැක්ම වැළඳ ගත්තේ එක මිටට ය. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ප්‍රභූ දේශපාලනයට අභියෝග කළ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ‘අනුර කුමාර දිසානායක’ නම් ගැමි  චරිතය ඉස්මතු විය. ස්වකීය පංතියේ සුඛ විහරණයම අපේක්ෂා කළ අරාජික දේශපාලන පැලැන්තිය එදින පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය හමුවේ තැති ගත් හ.

    සමස්ත ලාංකික ජාතියම ගිලගත් අර්බුද හමුවේ පීඩාවට පත් වූ ජනතාවට ආමන්ත්‍රණය කරමින් වේදිකාව මත ප්‍රකාශිත දූෂණ විරෝධී සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටුකර ගැනීම උදෙසා මෙම ජයග්‍රහණය සාධනීය බලපෑමක් උදාකර දී ඇත. ඒ උදෙසා ‘ජාතික ජන බලවේගයේ’ අභිලාෂකාමී ප්‍රතිපත්ති සහිත න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට සහ මහජන අවශ්‍යතා වඩාත් පිළිබිඹු කරනු වස් සුපිරිසිදු පාර්ලිමේන්තුවක අවශ්‍යතාව වෙනුවෙන් ලාංකික ජනතාව නොවැම්බර් මස 14 දින තීරණාත්මක කතිරය ඔස්සේ තම සහාය අවිහිංසාවාදීව පළ කළේ ය.

    එයින් ගම්‍ය වන්නේ කුමක්ද? මෙරට දේශපාලන භූ දර්ශනයේ සම්ප්‍රදායික දේශපාලන නායකයින් මෙතෙක් ඔසවාගෙන පැමිණි සිංහල, දෙමළ හා මුස්ලිම් වාර්ගික බේදය මෙන්ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමික බේදය අභියෝගයට ලක්කරමින් උතුරු හා නැගෙනහිර පළාත් හි බහුතරයක් ජනතාව ‘ජාතික ජන බලවේගය’ කෙරෙහි විශ්වාසය තබා තිබේ. එමගින් පිළිබිඹු වන්නේ කුමන ආකාරයක හෝ වාර්ගික සීමාවෙන් ඔබ්බට ගිය ආර්ථික හා ප්‍රාදේශීය සංවර්ධනයක් සමග සමාජීය සංහිඳියාවක පුළුල් අවශ්‍යතාවයක් පොදු ජනතාව අපේක්ෂාවෙන් සිටි බවකි.  එමෙන්ම ප්‍රභූ පංතිය විසින් ගොඩනගා තිබූ ගැඹුරු වාර්ගික බෙදීම ප්‍රතික්ෂේප කිරීමට තරුණ පුරවැසියන් ගත් වෑයමට වැඩිහිටි පුරවැසියන් ද දායකවී ඇති ආකාරය ද මෙම මැතිවරණ ප්‍රතිඵල වලින් තවදුරටත් පැහැදිළි වුණි.

    කෙසේ වෙතත්, ආර්ථික සංවර්ධනය උදෙසා යැයි පවසමින් ණය වශයෙන් ලබාගත් විදෙස් ධනය සාපරාධී ලෙස භුක්තිවිදීම මත ලංකා මාතාව වේදනාකාරී මූල්‍ය අර්බුදයකට තල්ලුකළ මෙතෙක් බලයේ සිටි නිල් හා කොළ පක්ෂ නායක නායිකාවන් මෙන්ම ඒවාට දෑත් ශක්තිමත් කළ සෑම තරාතිරකම දේශපාලඥයින් පරාජය කිරීම තුළින් පමණක් ජනතාව සතුටුටට පත්වනු ඇතැයි නව රජය වටහා නොගත යුතුවේ. ඒ සමගම විශේෂයෙන්ම ආදායම් බදු අඩු කිරීමට සහ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විකුණුම් බදු කපා හැරීමට අවශ්‍ය අරමුදල් ප්‍රතිපූරණය උදෙසා කාලකණ්ණි දේශපාලඥයින් විසින් අටවාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ගැටළුව සෙමෙන් ලිහා ගත යුතුව තිබේ. එමෙන්ම බැඳුම්කර හිමියන්ගේ ගිවිසුම් වටා ඇති දේශපාලන සහයෝගය මුළුමනින්ම නිශේධනය කිරීමට ද අපි යොමුවිය යුත්තෙමු.

    නව රාජ්‍ය නායකත්වය දිනාගත් ප්‍රතිඵල නුදුරු අනාගතයේ දී කලාපීය වශයෙන් ප්‍රතිරාව නංවනු ඇත. ඒ උදෙසා යළි ගොඩනැගෙන විදේශ ප්‍රතිපත්තිය හේතුකාරක වනු ඇත. එය සාමාන්‍යයෙන් ඉන්දියාව හෝ චීනය ඉස්මතුකරවන හෝ අන් කවර රාජ්‍යයකට සුවිශේෂීත්වයක් උදානොකරන එහෙත් ඈත පෙරදිග ඕස්ට්‍රේලියාවේ සිට කැනඩාව දක්වා සෑම රටකට ම අදාළවන පොදු උපාය මාර්ගික ප්‍රතිපත්තියක් මතවීම  ජනතා අභිලාෂය මුදුන්පත්වීමකි. විශේෂයෙන් එය ඉන්දියාව සහ චීනය සමඟ පවතින සබඳතා සමතුලිත කිරීමට ගන්නා උත්සාහයක් විය යුතුය. මෙරට ජනතාව අපේක්ෂාකරන දේශපාලන පරිවර්තනයේ තීරණාත්මක පසුබිමක් මධ්‍යයේ වුවද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම සහ තිරසාර ආයෝජන කෙරෙහි නව රජය අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කල හැකිවේ. ඒ උදෙසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වාර්ගිකත්වයෙන් බැහැරව සක්‍රීය ලෙස සහයෝගය ලබාදීම කාලීන අවශ්‍යතාවයකි. මක්නිසාදයත් රාජ්‍යයන් අතර ද්විපාර්ශ්වික සබඳතාවල විශ්වසනීයත්වය කෙරෙහි වාර්ගික ගැටළු සමනය කරගැනීමේ ක්‍රියාදාමය සාධකයක් වන බැවිනි. ඒ ඔස්සේ නව විදෙස් ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට විශාල විභවයක් උදා කෙරෙනු ඇත. ‘ජාතික ජන බලවේගයේ’ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය, මෙරට සංවර්ධනය කෙරෙහි තීරණාත්මක සාධකයකි. මක්නිසාදයත් නව සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා අභ්‍යන්තර ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා ජාත්‍යන්තර හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බැවිනි.

    වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගය ප්‍රකාශ වුණි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සිය සුබ පැතුම් පිරිනැමූ ප්‍රධාන ලෝක නායකයින් අතර විය. එය සාමාන්‍ය රාජතාන්ත්‍රික සංසිද්ධි දාමයකි. එහෙත් ඔවුන්ගේ දෘෂ්ඨිය අප කියවිය යුත්තේ ඉතා ගැඹුරෙනි. මක්නිසාදයත් උපායමාර්ගික වැදගත්කමක් උසුලන කලාපයක් වන ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ඔවුන් අපේක්ෂා කිරීමයි. එහෙත් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා ඔවුන් කෙතරම් ප්‍රමාණයක දායකත්වයක් දරන්නේද යන්න රඳා පවතින්නේ අප ගොඩනඟන  විදේශ ප්‍රතිපත්තිය හා මෙරට ආයෝජන උදෙසා ස්වකීය ජාතිකත්වය  වෙත උදාකර දෙන ඉඩප්‍රස්ථා මතබව අප අමතක නොකළ යුතු ය.

    කෙසේ වුවද අපගේ අනන්‍යතාවයට ගරුකරන අසල්වැසි පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය මෙන්ම චීනය ද  දුරාතීතයේ සිටම සුමිතුරු රාජ්‍යයෝ වෙති. ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට සහ වෙළදාම ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දෙන ඉන්දියාව තම “අසල්වැසියා ප්‍රථම” ප්‍රතිපත්තියේ සහ දැක්ම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම අති විශාල ආර්ථික ප්‍රසාරණයක් හමුවේ චීනය තම “එක් තීරයක්-එක් මාවතක්”  දැක්ම ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ ශුභවාදී ආකල්පයක් අපේක්ෂා කරයි. කලාපීය බලවතුන්ගේ මෙම ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික විභවය මත වූ තීරණාත්මක සාධකයකි. එහි නායකත්වයට ඉන්දියාව ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයත්, චීනය ඔස්සේ රුසියාවත් සිය දුරදක්නයන් යොමුකරවනු ඇත. මෙම තත්ත්වයන් සියල්ලම මෙරට ආර්ථික සංවර්ධනයේ ගති ලක්ෂණ හැසිරවීමෙහි ලා තීර්ණාත්මක  හා අවසාන නිර්ණායක කර නොගැනීමට අපි උත්සුක විය යුත්තෙමු.

    විශේෂයෙන්ම භූ දේශපාලනික වශයෙන්, ඉන්දියන් සාගරය ඔස්සේ වන වැදගත් මුහුදු මාර්ග සම්බන්ධ කරමින් ගෝලීය සමුද්‍ර වෙළඳාමේ ප්‍රධාන කේද්‍රස්ථානය ශ්‍රී ලංකාව බව අවිවාදාත්මකය. ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය හා රුසියාව භූ දේශපාලනික අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන එහෙයිනි. එවැනි වටපිටාවක් යටතේ බහු ධ්‍රැවීය නම්‍යශීලී විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව රට හමුවේ පවතී. මෙහිදී සංහිදියාව අගයන කලාපීය ආරක්ෂාව මෙන්ම ආර්ථික සබඳතා ඇතුළු බහුවිධ කරුණු සම්බන්ධයෙන් සමානාත්මතාවයෙන් කටයුතු කරන රටක් ලෙසින් අසීරුවෙන් වුවද උපායශීලීව අප නැගී සිටිය යුතුවේ.

    ඒ උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනටමත් අඩිතාලම දමා ඇති සැලැස්ම අතික්‍රමණය කළහැකි දේශීය නිෂ්පාදන සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අභිමුඛ අපනයන නිෂ්පාදන මෙන්ම බුද්ධිමය දැණුම අලෙවියට ඉඩකඩ විවරකරන ආර්ථිකයක් ව්‍යුහයක් බිහිකර ගැනීමට අපි යොමුවිය යුත්තෙමු. එමෙන් ම දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැගීම සඳහා ක්ෂණික අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් පෙන්වා දිය හැකිවේ. විශේෂයෙන්ම බල ශක්ති ක්ෂේත්‍රය උදෙසා සුළං හා සූර්ය බල ශක්ති ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම, පොසිල ඉන්ධන මත යැපීම වෙනුවට විද්‍යුත් රථවාහන වෙත විතැන්විම, උතුරු පළාත හා නැගෙනහිර පළාත සම්බන්ධ කරන අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැගීම ඒ කෙරෙහි වඩාත් සාධනීය ලක්ෂණ පිළිබිඹු කරනු ඇත.

    මේ උදෙසා ජනාධිපතිවරයා ප්‍රමූඛ ‘ජාතික ජන බලවේගය’ ට අභියෝගය ඇත්තේ මෙම සබඳතා සමබර කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් උපාය මාර්ගික ප්‍රතිලාභ  අත්පත්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට කලාපීය සහ ගෝලීය බලවතුන් සමඟ සම්බන්ධ වන ආකාරයයි. එහෙයින්ම ඉදිරියේදී ගොඩනගන විදේශ ප්‍රතිපත්තියට දැඩි මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය වනු ඇත.  මේ උදෙසා ජාතික අවශ්‍යතාවලට හානියක් නොවන පරිදි අන්තර් කලාපීය සහයෝගීතාවයක් සඳහා නව රජයට ඉතා හොඳ දැක්මක් පවතින බව නම් පැහැදිලි වේ.

    2024 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම එරෙහිව ජනතා අභිලාෂයනට අමතරව වැඩි යමක් මෙරට ජනතාව ලෝකයාට පෙන්වා දී ඇත. එය නොවැම්බර් මස 14 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජාතික ජන බලවේගය බලයට පත්වීම වැළැක්වීමට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා විදේශීය බලවේග ගත් සියලු යාන්ත්‍රණයන් අඩපණ කොට යටපත් කිරීමට ලාංකික පුරවැසියන්ගේ දේශපාලන විඥානය සූක්ෂම වි ඇත.

    දේශපාලන ප්‍රභූන් සාමාන්‍යයෙන් බලය හා නායකත්වය නැතිවීම වළකාගැනීම සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කරයි. එයින් වඩාත් අපට සමීප වූයේ ව්‍යාජ ආඛ්‍යාන පතුරුවා හරිමින් නවකයෙකු ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ නායකත්වයට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වැළැක්වීම සඳහා සන්ධානගත වීමයි. මෙම උපක්‍රමය මෙරට දේශපාලන වේදිකා මත අඩුවැඩි වශයෙන් භාවිතා කරන ලදී. එහෙත් මෙම ප්‍රචාර සමාජීය හා දේශපාලනික වශයෙන් ‘ජාතික ජන බලවේගය’ ප්‍රජාව වෙතින් වෙන්කර දැමීමට තරම් ශක්තිමත් නොවුණි. මක්නිසාදයත් ප්‍රතිපත්තිගරුක දේශපාලන දැක්ම හා  දූෂණ විරෝධී ව්‍යාපාරය ජනවිඥානය උත්තේජනය කරමින් තේ දළු නෙළන කාන්තාවගේ සිට අගවිනිසුරු ධුරය දක්වාම පැතිරයාමට සමත්විය. ඒ අතර පළාත් පාලන මැතිවරණය නැවත නැවතත් කල්දැමීම සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සහ බලවත් මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස නැගී සිටීමට අනුර කුමාර දිසානායක වෙත කාලය ලබා දුන්නේ ය.

    එමෙන්ම ‘ජනතා විමුක්ති පෙරමුණේ’ විප්ලවවාදී කැරලිකාර මාවතෙන් බැහැරව ජනතාවගේ සාමුහික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් ‘ජාතික ජන බලවේගය’ ලෙස  දේශීය හා ගෝලීය හැඩගැසීම් වලට අනුවර්තනය වෙමින්  ලාංකික දේශපාලන භූමියේ විසල් වෘක්ෂයක් බවට පත්වීමයි. වඩාත් පැහැදිළි ප්‍රවේශයක් අනුගමනය කිරීම හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිංහල නොවන ජන කණ්ඩායම් තුළ පවතින ගැඹුරු අවිශ්වාසය ජය ගැනීමට ‘ජාතික ජන බලවේගය’ට හැකිවීම ශ්‍රී ලාංකිකයින් ලැබූ ජයග්‍රහණයකි. ඒ ඔස්සේ විදේශීය කුමණ්ත්‍රණකරුවන්ගේ හා ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ගේ කූප්‍රකට උත්සාහයන් සහමුලින්ම ව්‍යර්ථ වී තිබේ. එසේ වුවද ලබාගත් පුළුල් සහයෝගය වාර්ගික සහ ආගමික සහයෝගීතාවය නොබිඳෙන ලෙස රැකගැනීමට ජනතාව තවදුරටත් පෙළගැස්සවීම උදෙසා රජය ප්‍රතිපත්මය සංකල්ප මත පිහිටා කටයුතු කළයුතු වේ.

    එපමණකින් නොනැවතී බිඳවැටෙමින් පවතින ආර්ථික ප්‍රකෘතිමත් කිරිමට අවැසි ජාත්‍යන්තර සහාය දිනාගැනීමට විදෙස් දූත මණ්ඩල සේවයේ නිරතවන්නන්ගේ ආකෘතිය හා ආකල්ප වෙනස් කිරීමට, රාජ්‍ය ව්‍යාවසායයන් තුළ පවතින මගඩි මුලිනුපුටා දැමීමට මෙන්ම මහජනතාව ප්‍රසාදයට ලක්කරන රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ බරපතල වගවීමක් රටේ නව ජනාධිපතිවරයා ඉදිරියේ පවතිනු ඇත. එහිදී ගමේ මංසන්ධියේ සිට ගුවන් තොටුපල පර්යන්තය දක්වා සෑම අස්සක් මුල්ලක් නෑරම පිරිහී ගොස් ඇති පුද්ගල විනය ගොඩනැගීම ප්‍රමූඛතම කාර්යභාරය වනු ඇත.  එලෙසම ජාතීන් අතර සංහිදියාව අරභයා පසමිතුරුකම් බැහැරකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ දේශපාලන කෝන්තර මත සිරගතව ඇති සෑම කෙනෙකු වෙතම සානුකම්පිත අවධානයක් යොමුකිරීමට උචිතම අවස්ථාව මෙය බවද පැවසිය හැකිවේ. මේ අරභයා 2024 නොවැම්බර් 14 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක් ඉක්මවා ගිය සුවිශේශී ජයග්‍රහණයක් ගත් ‘ජාතික ජන බලවේගය’ ට අවැසි නෛතික රාමු ගොඩනැගීමට ජනතාව දැන් ඉඩකඩ විවරකර දී තිබේ. ඒ අනුව මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දරිද්‍රතාවයට තල්ලුකර ඇති ආර්ථික අර්බුදයට ආමන්ත්‍රණය කරන, වාර්ගික සමගිය තහවුරු කරන තිරසාර සංවර්ධනය උදෙසා අඩිතාලම දැමීමට නොවැම්බර් මස 21 දින සිට ජනාධිපතිවරයාට අවස්ථාව උදාවනු ඇත.

    කෙසේ වෙතත්, ආර්ථික පුනරුදය උදෙසා වූ ප්‍රචාරක පොරොන්දු මාස කිහිපයකින් ඉටු කිරීමට අපහසු බව අපි තේරුම්ගත යුත්තෙමු. එහෙත් දේශීය වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ නොනැසී ශේෂව පවතින දූෂණය මැඩලීමට, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට හා සම්පත් භාවිතය කළමනාකරණය කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවන් දැන් විවරවි තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව වඩාත් සාධාරණ කිරීමට සහ දුප්පත්ම පුරවැසියන් මත බදු බර ලිහිල් කිරීම තුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය ලාංකික ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න සමීපව විමසා බලමු. ඒ උදෙසා නව ජනාධිපතිවරයා ප්‍රමූඛ රජයට ශ්‍රී  ලාංකිකයින් සැවොම කාලය ලබා දිය යුතු නොවේද?.-

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

  • දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති සිදු කළ සම්පූර්ණ කථාව

    දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති සිදු කළ සම්පූර්ණ කථාව

    දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත පළ වේ.

    අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. එම ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අප රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මේ ජනවරම ලබාදී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. මේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මේ ජනවරම තුළ තිබෙනවා. ඒ දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ආදී සියලු පළාත්, සියලු ජන කණ්ඩායම් මෙම ජන වරමට දායක වී තිබෙනවා.

    ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ

    දීර්ඝ කාලයක් අප රටේ දේශපාලන ව්‍යුහය, දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණේ ඇතැම් විට පළාත් ලෙස දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණා. සමහර අවස්ථාවල ජාතිකත්වය අනුව, අදහන ආගම් අනුව දේශපාලන කඳවුරු ගොඩනැඟී තිබුණා. එනිසා එවැනි දේශපාලන බල කඳවුරුවල අවසන් ප්‍රතිඵලය වන්නේ, ජනතාව එකිනෙකා අතරින් දුරස්වීම, එකිනෙකා අතර සැකය, අවිශ්වාසය වර්ධනය වීමයි.

    ජාතිවාදය යම් දේශපාලන කඳවුරක න්‍යාය පත්‍රයක් බවට පත් වෙනවා නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එයට එරෙහිව නැවත අනිත් පාර්ශ්වයෙන් ජාතිවාදයක් පෝෂණය වීම. ජාතිවාදය එක තැනක පවතින්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදයක් පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් තිස්සේ අප රටේ දේශපාලනයේත්, සමාජයේත් අප අත්විඳ තිබෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම්, සියලු පළාත්වල වෙසෙන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබාගෙන අපට බලය ලබා දී තිබෙනවා. ඒ විශ්වාසය තැබූ ජනතාවට පළමුව අපගේ ගෞරවය, ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතැබුවත්, වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තැබූ ජන කණ්ඩායම් සිටිනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවයයි. තනි පක්ෂයක් වටා, තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශී කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.

    බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කරනවා

    ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විවිධ මතවාද දරන දේශපාලන කඳවුරු පැවැත්මයි. විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරුවල පැවතීමයි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අප අපේක්ෂා කරන්නේ නැහැ. බහු පක්ෂ දේශපාලනයේ ප්‍රතිපත්තිය අප පිළිගනු ලබනවා.
    අපට ඡන්දය ලබා නොදුන් විශාල ජනතාවක් සිටින බව අප දන්නවා. එනිසා අපට ඡන්දය ලබාදුන් සහ නොදුන් සෑම ජන කණ්ඩායමක්ම මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ වුවමනාවන්, බලාපොරොත්තු ඉටු කිරීම අපගේ වගකීමක් වෙනවා. මා ඇතුළු රජය ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමට බැඳී සිටිනවා සහ වගවෙනවා.

    ජනතාව සහ අප අතර මැතිවරණයේදී බැඳීමක් ඇති වෙනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සහ අපේ අදහස් හරහා රටේ අනාගතය කෙසේ විය යුතුද කියා කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපට ඡන්දය ලබා දී තිබෙනවා. ජනතාව ඔවුන්ගේ වගකීම ඉටු කර තිබෙනවා. ඔවුන් අපට බලය ලබාදී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ජනතාවගේ පංගුව ඉටු කිරීමටයි. එනිසා මා ඇතුළු රජය ජනතාව සමඟ තිබෙන බැඳීම කිසිසේත්ම උල්ලංඝණය වීමට ඉඩ නොදී, මේ පාලනය පවත්වාගෙන යෑමට බැඳී සිටිනවා. ඒ වගේම අප පළාත් වශයෙන් දුරින් සිටියත්, සංස්කෘතික වශයෙන් වෙනත් අනන්‍යතාවයන් තිබුණත්, භාෂාව වශයෙන් වෙනත් භාෂාවන් කතා කළත්, ආගම් වශයෙන් වෙනත් ආගම් ඇදහුවත් අප සියලු දෙනා එක අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණු බව මේ මැතිවරණයේදී පෙන්නුම් කර තිබෙනවා.

    ජාතික සමගිය ගොඩ නඟනවා

    දීර්ඝ කාලයක් ජනතාවගේ ප්‍රාර්ථනයක් බවට පත්වුණු ජාතික සමගිය ගොඩනැඟීමේ ඉතා ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබෙනවා. අපට විවිධ දේශපාලන මත දරන්න පුළුවන්. නමුත් යළි අප රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ද ඉඩ දෙන්නේ නැහැ. අප ඇති තරම් ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වී තිබෙනවා. ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහපොළොව තෙත් වී තිබෙනවා. ගංඟා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. එනිසා අපගේ අනාගත දරු පරම්පරාවට යළිත් එවැනි රාජ්‍යයක් බිහි නොකිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා‍.
    දේශපාලනය කිරීමට අපට ඕනෑ තරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. නමුත් කිසිවෙකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා.

    පාර්ලිමේන්තුවේ ගෞරවය නැවත ඇති කරනවා

    අප රටේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැඟුණු අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මට වුවමනාව තිබුණා. 2000 වසරේ සිට මා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. වසර 24ක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මේ පාර්ලිමේන්තුව පිරිහීමට භාජනය වූ ආකාරය, ජනතාව තුළ මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය බිඳවැටුණු ආකාරය පිළිබඳව අප ප්‍රායෝගිකව අත්විඳ තිබෙනවා. මේ සභා ගර්භය තුළත්, සභා ගර්භයෙන් පිට පොදු ජනතාව තුළත් පාර්ලිමේන්තුව කෙරෙහි තිබූ ගෞරවය ක්‍රමානුකූලව කඩාවැටුණු ආකාරය අප අත්විඳ තිබෙනවා. එය උත්තරීතර, ගරු කළ යුතු තැනක සිට, ජනතාවට සතුරු, ජනතාව පලවා හැරිය යුතු, ජනතාවගේ ක්‍රෝධයට, වෛරයට, අවඥාවට පත්වූ තත්ත්වයට පාර්ලිමේන්තුව පත්වී තිබෙනවා. එවැනි පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසු යැයි මා සිතන්නේ නැහැ. එවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් අපේ රටේ ජනතාවට නායකත්වය දීමට, ජනතාවගේ මූල්‍ය බලය හැසිරවීමට සුදුසු නැහැ. ජනතාවගේ මූල්‍ය බලයේ හැරවුම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ජනතාව වෙනුවෙන් නීතිය සම්පාදනය කිරීමේ ප්‍රධාන අයිතිය තිබෙන්නේත් පාර්ලිමේන්තුවටයි. එනිසා තවදුරටත් ජනතාවගෙන් ඈත් වූ පාර්ලිමේන්තුවක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. මේ ජනවරම තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය, ගෞරවය ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. නවක මන්ත්‍රීවරු විශාල පිරිසකගෙන් අද මේ පාර්ලිමේන්තුව සමන්විත වී තිබෙනවා. එනිසා යහපත් පුරුදු සහිත පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම වත්මන් කථානායකතුමත්, කාර්ය මණ්ඩලයත්, තේරී පත්වූ ඔබ සියලුම දෙනාත් යළි මේ පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සහාය ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

    තවදුරටත් මහජනතාවට සැඟවුණු මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත් වන්නේ නැහැ. පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අප තවදුරටත් උත්සාහ කරනවා. අප සෑම දෙනාම මහජනතාවගේ නියෝජිතයන් නම් නිරතුරුවම අප කතා කරන දේ, හැසිරෙන ආකාරය මෙන්ම අපගේ අදහස් දැක්වීම් ඇතුළු සියල්ලම මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙනවා කියන ස්ථාවරයක අප සිටිය යුතුයි.
    අපට බලය ලබා දුන්නාට පසුව එය අවසානයි කියලා අප කවුරුන් හෝ කල්පනා කරනවා නම්, එය අවසානය නෙමෙයි. ඊළඟ බල හුවමාරු වන තෙක්, ඊළඟ ජන වරමක් උරගා බලන තෙක් අපිව පරීක්ෂා කිරීමේ බලයක් මහජනතාවට තිබෙනවා. එනිසා ඉදිරි වසර කිහිපය ඇතුළත මහජනයාගේ පරීක්ෂාවෙන් සමත් වන පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි මා හිතනවා. ඒ සඳහා කතානායකතුමා ඇතුළු ඔබ සියලුම දෙනාගේ සහාය මා බලාපොරොත්තු වෙනවා.

    තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කරනවා

    මෙම මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණ්ඩුවක් වෙත ඡන්දය ලබාදුන් මැතිවරණයක් බව අප කවුරුත් දන්නවා. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවය කෙරෙහි යම් අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. රාජ්‍ය සේවයේ නිරත වන අය දෙස බැලීමේදී තම රාජකාරී ජීවිතය තුළ තෘප්තියක් නැහැ. ජනතාව සතුටට පත් නොවන සහ තෘප්තිමත් නොවන රාජ්‍ය සේවයක් අප සතුව තිබෙනවා. තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශ්වයටම ඇති කිරීමට අපට වගකීමක් තිබෙනවා. යහපත් රාජ්‍ය සේවයක් සඳහා අප ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ ප්‍රතිසංස්කරණවලට ඔවුන්ගේ පක්ෂපාතීත්වය මේ ජනවරමින් පෙන්නුම් කර තිබෙනවා.

    ශක්තිමත්, යහපත් රාජ්‍ය සේවයකින් තොරව අපට ඉදිරියට යන්න බැහැ. ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදී දේශපාලන නායකත්වයේ මඟපෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙනවා. දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණයේ ඉලක්ක සහ අපේක්ෂාවන් තිබුණත්, ඒ අපේක්ෂාවන් සහ ඉලක්ක මෙහෙයවිය හැකි වන්නේ ඊට සරිලන වන, අනුගත වන රාජ්‍ය සේවයක් නිර්මාණය කර ගැනීමට සමත් වුවහොත් පමණයි. එනිසා මහජනතාවගේ හිතසුව පිණිස වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යළි මේ රටේ ස්ථාපිත කළ යුතු බව මා විශ්වාස කරනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනඟනවා

    ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසට අනුව සෑම පුරවැසියෙකුටම තමන් අදහන ආගම, භාෂාව සහ තම සංස්කෘතීන් හුදකලාවීමට ලක්විය යුතු නැහැ. තමන් අදහන ආගම, සංස්කෘතිය, නියෝජනය කරන දේශපාලනය තමන්ට අතිරේක පීඩාවක් ගෙන එන බවට හැඟීමක් ඇති විය යුතු නැහැ. දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් නිදහස සෑම දෙනාටම පොදු දෙයක් විය යුතුයි. සෑම කෙනෙකුටම බියෙන්, සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් බිහි කිරීම අපගේ වගකීමක්. ඒ වගකීම අප ඉටු කරන බව අප ඔබට සහතික වෙනවා.

    නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා

    නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන නීති තුළින් පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව තුළ විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා සහ දීර්ඝ විවාද තුළින් ඉතාමත් ප්‍රගතිශීලි ශක්තිමත් නීති අප සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්පාදනය කිරීම ප්‍රමාණවත් නැහැ. එම නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම ඇති විය යුතුව තිබෙනවා.

    නමුත් පසුගිය කාලය පුර අපේ රටේ සිදුව තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම. තමන්ට යම් අසාධාරණයක් සිදු වූ විට නීතිය ඉදිරියට ගොස් සාධාරණය ඉටුකරගත හැකියි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදු වුවහොත් එම අයුක්තිය විසදා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකියි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා පොදු ජනතාව තුළ නීතියේ ආධිපත්‍ය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි අප කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍යයක් ගොඩනගනවා නම් එහි ප්‍රධාන සාධකය බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි.
    ඒ නිසා ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් අප මේ නිතියට යටත්. කිසිදු දේශපාලඥයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ. හැමදෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳ ජනතාවගේ බිඳ වැටුණු විශ්වාසය නැවතත් තහවුරු කළ යුතුයි. මෙහිදි කිසිවෙකුගෙන් පළි ගැනීමේ, කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමේ වුවමනාවක් අපට නැහැ. හැම දෙනාටම නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය අප තහවුරු කරනවා.
    වින්දිතයන්ට සාධාරණය සහ අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙනවා. නමුත් ලංකාවේ ආන්දෝලනයට තුඩු දී ඇති අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත්වී අවසන් වනු ඇතැයි කියා එය නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක්.

    නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශණය කොට වින්දිතයන්ට සාධරණත්වයත්, අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. විවිධ අවස්ථාවල මේ රටේ සිදුව තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ සටන් පාඨ බවට පත් කරගත්තා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යයක් ඒ පිළිබඳ සාධාරණය ඉටු කිරීමට අසමත් වී තිබෙනවා.

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධවලට සම්බන්ධ වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙන ගොස් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවටත් අප ඔබට සහතික වෙනවා. නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉටු වන රාජ්‍යයක් අපට අවශ්‍යයි. මේ ලැබී තිබෙන ජනවරම තුළවත් එම රාජ්‍ය ස්ථාපිත කිරීමට අප අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යයක් පිළිබඳ අප සිහින දැකීමෙන්වත් ඵලක් නැහැ.

    මේ ජනවරමේ වුවමනාව ඒ සඳහා තිබෙනවා. එම හඬ සහ අඳෝනාව තිබෙනවා. තමන්ගේ ඥාතීන් මිය යාමේ ප්‍රකාශන මේ ජනවරම තුළ තිබෙනවා. ඝාතනයට ලක් වූවන්ගේ මිතුරන්ගේ අඳෝනාව මෙම ජනවරම තුළ තිබෙනවා. ඒ සඳහා අප යුක්තිය ඉටු කරන්නේ නැත්නම් කවුද එය ඉටු කරන්නේ, කාටද එය භාර දෙන්නේ. අප විසින් මේ දේ ඉටු කරන්නේ නැත්නම් යුක්තිය, සාධාරණය පිළිබඳ මේ රටේ සිහින මැරෙනවා. ඒ නිසා යුක්තිය සහ සාධාරණත්වය යළි මේ රට තුළ ස්ථාපිත කළ යුතුයි. අපරාධ හා තුඩු දී තිබෙන වංචා දුෂණ පිළිබඳ අප නීතිය ඉටු කොට නීතියේ විධානයේ ආධිපත්‍යත්, නීතිය පිළිබඳ ජනතාවගේ තිබෙන විශ්වාසයත් යළිත් තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.

    ආර්ථිකය ස්ථාවර කරනවා

    අපි දන්නවා මේ ආණ්ඩුව භාරගන්නා විට අප විපක්ෂයේ දේශපාලනයේ යෙදෙමින් සිටියත් අපේ ආර්ථිකයේ තිබෙන ගැඹුරේ ප්‍රමාණය අප දැන සිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිර වී තිබෙන ආර්ථිකයක්. ඉතාමත් සියුම් හූයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපට තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව බවට පත්වූණේ ආර්ථික ස්ථාවරත්වය සහ ඊට අදාළ කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රමාණය මත අපේ කුඩා හෝ අත්වැරදීමක් මහත් ප්‍රතිවිපාක ගෙන දෙනවා. කුඩා හෝ කම්පනයක් මේ ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩ නොතබා සෑම තීරණයක්ම සෑම අවස්ථාවකදීම පැති ගණනාවකින් කල්පනා කර ගත යුතු අවස්ථාවකට අප එළැඹ සිටිනවා. වැරදි කිරීමේ අවස්ථාවක් හෝ අත්වැරැද්දක් කිරීමේ අවස්ථාවක් මේ ආර්ථිකය තුළ අපට උරුම කර දී නැහැ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කර සංවාදයට ලක් කර තීන්දුගත යුතුයි.

    අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව. ඒ අනුව අප දැනට ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වන සමාලෝචනය අප ආරම්භ කළයුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය හේතුකොට ගෙන තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපට කාලයක් ගත වුණා.

    මහමැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වෙනිදා ලංකාවට පැමිණියා. අප ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වනදා එළැඹීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව කටයුතු කරනවා

    ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟවූ වැඩසටහන් ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැට ගැසී තිබුණා. අප බලය ගන්නා විටත් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ එකඟතාවකට පැමිණ තිබුණා. ඒ වාගේම වාණිජ වෙළෙඳපොළේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබුණා. එම සාකච්ඡා ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අවසන් වූ බව මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ නිසා අපිට යළි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවලට ඉඩ කඩක් විවෘත වී තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් සාකච්ඡා සඳහා බදුන් වී තිබුණා. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද සාකච්ඡා ආරම්භ වුවහොත් දීර්ඝ කාලයක් ගත වෙනවා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කර ගැනීමෙන් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පැවති සාකච්ඡාවල අවසන් අදියර තමයි අප බලයට පැමිණෙන විට තිබුණේ. ඒ නිසා එම යෝජනා හොඳද, නරකද, වාසිද, අවාසිද කියන එක දැන් විවාද කිරීමෙන් ඵලක් නැහැ. එය තමයි අප හමුවේ තිබෙන යතාර්ථය. ඒ අනුව ද්විපාර්ශ්විය ණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. අප ඉක්මණින්ම එක් එක් රටවල් සමඟ වෙනම ගිවිසුම්වලට එළැඹීමට සූදානම් වී සිටිනවා.

    අනිත් පැත්තෙන් ගතහොත් වාණිජ්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ණය පිළිබඳව දැන් මූලික ගිවිසුමට අප එළැඹ තිබෙනවා. දෙසැම්බර් මාසය අවසන්වන විට එම කාර්යය අවසන් කරගතහැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැට ගැසී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන මේ වසර අවසන් වන විට අපට සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වනු ඇති. ඒ වගේම තුන්වන සාමාලෝචනයේ කාර්ය මණ්ඩල එකඟතාව මේ සතියේ අපට ලබාගැනීමට හැකි වනු ඇති. අපේ ආර්ථිකය යම් ප්‍රමාණයකින් විශ්වාසනීය ලෙස ගොඩනැගීම සඳහා එය පිටිවහලක් වේවි.
    හැබැයි අපි ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වේවි.

    නව ආර්ථික උපායමාර්ග 03 ක්.

    අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන කඩාවැටීම පියමං කිරීම සඳහා නව ආර්ථික උපායමාර්ගයන්ට අප අවතීරණ විය යුතුයි. එම නව ආර්ථික උපායමාර්ග ප්‍රධාන ලක්ෂණ 03කින් සමන්විත වෙනවා.

    පළමුකොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක් ඇතිකරගත යුතුයි. බොහෝ විට අපේ ආර්ථික වර්ධනයන් විශාල වශයෙන් ගෙන දෙන්නේ බස්නාහිර පළාත තුළින්. ඒ නිසා අනෙක් පළාත් දක්වා ආර්ථිකය ප්‍රසාරණය විය යුතුයි. ඒ නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා වේගවත් ප්‍රසාරණයක් ඇති කර ගැනීම අපේ ආර්ථිකයේ ප්‍රධාන සැලැස්මයි.

    ඊළඟ ලක්ෂණය වන්නේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට ඵලක් නැහැ. ජනතාව දූවිලි බවට පත්කරන ලද ආර්ථිකයකින් අපට ඵලක් නැහැ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයකදීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් වන්නේ නැතිව ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ප්‍රයත්නය බවට පත්වන්නේ අපි හදන ආර්ථික ගමන් මගේ අපි කොහොමද ජනතාව පංගුකරුවන් බවට පත්කර ගන්නේ යන්නයි.

    අපේ ආර්ථික උපායමාර්ගවල තුන්වන ලක්ෂණය වන්නේ අප මොනතරම් රටේ ජාතික ධනය නිෂ්පාදනය කළත් එම ජාතික ධනය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රනය වනවා නම් ඒ රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන්නේ නැහැ. සියලු ජනතාව එක් වී ආර්ථිකයේ මහා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය නිෂ්පාදනය කිරීමට උපයෝගි කර ගන්නවා. අප සියලුදෙනා එක්වී මහා ජාතික ධනයක් එකතු කරගෙන එය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රය වනවා නම් රටේ ආර්ථිකය මෙන්ම සමාජය ද ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය වන්නේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව ජනතාව වෙත ගලා යා යුතුයි. කිහිප දෙනෙකු අතේ සංකේන්ද්‍රනය වීම නිසා විශාල අර්බුද ගණනාවක් නිර්මාණ වූ ඉතිහාසයක් අප දැක තිබෙනවා. ඒ නිසා අපි ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව වෙත සාධාරණව ගලා යා යුතුය යන ස්ථාවරයේ සිට අප ආර්ථිකය හසුරවනවා.

    වෙළෙඳපොළ හැසිරීම කළමනාකරණය කර භාණ්ඩ හා සේවා අඛණ්ඩව ගුණාත්මකව හා සාධාරණ මිලට ජනතාවට ලබා දෙනවා. ඒ වගේම වෙළෙඳපොළ හැසිරවීම පිළිබඳ අපට ප්‍රතිපත්තියක් තිබෙනවා. අප දන්නවා අපේ රට විශාල වෙළෙඳපොළක් තිබෙන රටක් නොවෙයි. එම වෙළෙඳපොළ තුළ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. අපි සහල් පිළිබඳ ගතහොත් අපේ දෛනික සහල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 6,500යි. ආසන්න වශයෙන් ගතහොත් අපට වසරකට අවශ්‍ය වන්නේ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 23ක් පමණ.

    එය ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කර බලන විට කුඩා වෙළෙඳපොළක හැඩ රුව පෙන්නුම් කරනවා. කුඩා වෙළෙඳපොළක තිබෙන අනතුර වන්නේ එම වෙළෙඳපොළ තුළ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. ඒ නිසා ආර්ථිකයේ තිබෙන දත්ත සහ චලනයන් මත නොවෙයි වෙළෙඳපොළ හැසිරෙන්නේ. එය අප අත්විඳිමින් තිබෙනවා. ආර්ථිකයේ සාධක මත අපේ වෙළෙඳපොළ හැසිරෙන්නේ නැහැ. අද අපේ රටේ වෙළෙඳපොළ හැසිරෙන්නේ ඒකාධිකාරින් මත. භාණ්ඩ මිල උච්ඡාවනය කිරීමට සහ තීන්දු කිරීමට ඔවුන්ට පුළුවන්. වී මිලදී ගැනීමේ මිල ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. සහල් මිලත් ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කිසිවක් තීරණ වන්නේ වෙළෙඳපොළ සාධක මත නොවෙයි. ඔවුන් වෙළෙඳපොළේ අත්පත් කරගෙන තිබෙන අධිකාරි බලය මත. ඒ නිසා වෙළෙඳපොළ ඒකාධිකාරිත්වයක් නිර්මාණය කිරීම තුළ ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට විශාල වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ නිසා අපි යළි අපේ රටේ වෙළෙඳපොළ හැසිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍යයක් ලෙස අපේ අරමුණ වන්නේ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අඛණ්ඩව, ගුණාත්මකව හා සධාරණ මිලකට ලබා දීම. එය තමයි මහජනයා කෙරෙහි රජය සතුව තිබෙන වගකීම. එම වගකීම රජයට අතහරින්න බැහැ. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් අප යාන්ත්‍රණ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තරගය විසින් අඛණ්ඩතාව සහ ගුණාත්මකභාවය නිර්මාණය කිරීමට පුළුවන් වගේම මිල තීරණය කළ හැකියි. ඒ නිසා ඇතැම් ක්ෂේත්‍රවල තරගකාරිත්වය හරහා ඉහත කී අරමුණු ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇතැම් ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳපොළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපොළ යම් නියාමන අධිකාරින් විසින් නියාමනය කිරීම හරහා එම නියාමනය ඇති කළ හැකියි. දැනටමත් ඒ සඳහා වූ නියාමන ආයතන අප ගොඩනගා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරින් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇති වී තිබෙන විකෘතින් වෙනස් කිරීම සඳහා එම නියාමන අධිකාරි හා නීති ප්‍රමාණවත් වී තිබෙනවාද යන්න අප නැවත සමාලෝචනය කළ යුතුයි.
    වෙළෙඳපොළ හැසිරවීම පිණිස තරගකාරිත්වයට රාජ්‍ය මැදිහත්වීම සිදු කරනවා

    වෙළෙපොළේ ඇතිවෙන නිදහස් තරගය විසින් යට කී අරමුණු ඇති කරගන්න පුළුවන්. හැබැයි සමහර ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳ පොළේ නිදහස් තරගයම නෙවෙයි, වෙළෙඳපොළට යම් නියාමන අධිකාරීන් විසින් නියාමනය කිරීම හරහා වෙළෙඳපළ හැසිරවිය හැකියි. දැනටමත් ඒ සඳහා නියාමන ආයතන අප ගොඩ නඟා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරීන් සඳහා නීති සම්පාදනය කොට තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇතිවී තිබෙන විකෘතින් වෙනස් කිරීම සඳහා ඒ නියාමන අධිකාරීන් ප්‍රමාණවත් වී තිබෙනවා ද ඒ නියාමන නීති ප්‍රමාණවත් වී තිබෙනවා ද යන්න නැවත සමාලෝචනය කළ යුතුයි. ඒ නිසා වෙළෙපොළ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති සහ ගොඩෙනඟන අධිකාරීන් හරහා ඒ නියාමනය හරහා සමහර ක්ෂේත්‍ර අපට මෙහෙය විය යුතුයි.

    අපිට තව ක්ෂේත්‍ර තිබෙනවා.ඒ ක්ෂේත්‍ර ආර්ථිකයට ඉතාමත් වැදගත් සංවේදී ක්ෂේත්‍ර. ඒ ක්ෂේත්‍ර හුදු වෙළෙඳපොළේ තරගකාරීත්වය මත නෙවෙයි,රාජ්‍ය ඒ වෙළළෙඳපොළේ පංගුවක් නියෝජනය කිරීම හරහා වෙළෙඳපළ හැසිරවිය යුතුයි. එහිදී අපි විශේෂයෙන්ම කල්පනා කරනවා බලශක්ති වෙළෙඳපොළ. නිදහස් බලශක්ති වෙළෙඳපොළ නිදහස් තරඟය විසින්ම තීරණය විය යුතු නැහැ. බලශක්ති වෙළෙඳපළ හැසිරවීමේදී රාජ්‍ය පංගුවක් බලශක්ති වෙළෙඳපළ නියෝජනය විය යුතුයි. එය ආර්ථිකයේ ඉතාමත් සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළෙඳපොළේ ඇතිවෙන කුඩා උච්ඡාවචනයක් ආර්ථිකයට මාරාන්තික ලෙඩ ගෙනත් දෙනවා.ඒ නිසා එවැනි ක්ෂේත්‍රවල යම් රාජ්‍ය පංගුවක් වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒවගේම මූල්‍ය වෙළෙඳපළ. මූල්‍ය වෙළෙඳපළ නිදහසේම හැසිරෙන්න පටන් ගත්තොත් එය කුමන තත්ත්වයකට පත්වෙයිද? මහ බැංකුව එය නියාමන අධිකාරියක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඒ වගේම අපි හිතනවා මූල්‍ය වෙළෙඳපොළෙත් රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි. ඒ නිසා වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය ස්ථාන කීපයක් අපි කල්පනා කරනවා රාජ්‍ය පංගුවක් හරහා හැසිරවිය යුතුයි. රාජ්‍ය ආම් එකක් හැටියට කටයුතු කළ යුතුයි, කියන ස්ථාවරයක අපි ඉන්නවා වෙළෙඳපළ තහවුරු කිරීමේ දී.

    හතරවනුව වෙළෙඳපළ විසිරිලා තිබෙන වෙළෙඳපළක් වෙනුවට අපට පුළුවන්කම තිබෙනවා වෙළෙඳපොළ සංවිධානාත්මක කරන්න. ඒ නිසා අපි දන්නවා අපේ රටේත් ලෝකයේත් වෙළෙඳපොළ හැසිරවීමේදී විශාල දායකත්වයක් මේ සමූපකාර ජාලය සංවිධානය කරනවා. ඒ නිසා යළි සමූපකාර ජාලය ශක්තිමත් ලෙස සංවිධානය කරලා වෙළෙඳපොළේ ශක්තිමත් තරගකරුවෙක් හැටියට අපි වෙළෙඳපොළට අවතීරණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයත් වෙළෙඳපොළත් හැසිරවීමේ ප්‍රතිපත්තිය සෘජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න. හැබැයි මේ පදනමේ පිහිටා. මේක තමයි අපේ පදනම.

    සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වේගයෙන් සංවර්ධනය කරනවා

    ඒ මත පදනම්ව අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා කෙටි කාලීනව අත්පත් කරගත් ස්ථාන කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. කෙටිකාලීනව අපට වේගවත් පිම්මක් ලබාගත හැකියි සංචාරක කර්මාන්තයෙන්. අපි සංචාරක කර්මාන්තය සැලසුම් සකස් කොට තිබෙනවා මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීමටත්, ඩොලර් බිලියන අටක ආර්ථිකයක් සංචාරක කර්මාන්තය හරහා අවුරුදු තුන හතරක් වැනි කාලයක් ඇතුළත මේ රට තුළ දිනා ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා. අපේ රටේ වැඩිම සංචාරකයන් ආවේ 2018 වසරේ. මිලියන දෙකයි දශම තුනක වගේ සංචාරකයන් ආවා. ඩොලර් බිලියන හතරයි දශම තුනක වගේ ආර්ථිකයක් අපට එයින් හිමි වී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීම සහ ඩොලර් මිලියන අටක ආර්ථිකයක් උත්පාදනය කර ගැනීමයි. එය අපට වේගයෙන් පිම්මක් ගන්න පුළුවන් තැනක් කියා අප කල්පනා කරනවා.

    මීළඟ විශේෂම අයි ටී ක්ෂේත්‍රය. කවුරුත් දන්නව ලෝකයේ වේගයෙන් අයි ටී ක්ෂේත්‍රයේ වෙළෙඳපොළවල් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා අයි ටී නිපුණතාවය සහිත, සාක්රෂරතාවය සහිත වෘත්තීයවේදීන් අපට අවශ්‍යයි. අද අපේ රටේ අයි ටී ක්ෂේත්‍රයට අදාළ වෘත්තියවේදීන් ඉන්නේ අසූපන් දහසයි. අපි අවුරුදු පහක් ඇතුළත අයි ටී ක්ෂේත්‍රයේ අදාළ වෘත්තියවේදීන් ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්න අපි අපේක්ෂා කරනවා.

    දැනට අයි ටී ක්ෂේත්‍රයේ අපේ අපනයන ආදායම තිබෙන්නේ ඩොලර් බිලියන එකයි දශම දෙකක වගේ කුඩා අපනයන ආදායමක්. අයි ටී ක්ෂේත්‍රයේ අපනයන ආදායම අපි ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් ඉලක්ක කොටගෙන අයි ටී ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීමට අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අධ්‍යාපනය විශේෂයෙන්ම භාෂාව පිළිබඳව අපි අවධානය යොමු කොට තිබෙනවා.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකය විශාල පිම්මක් ලබාගත හැකි තැනක් හැටියට අපි කල්පනා කරනවා.

    පිහිටීමේ වාසිය ලබා ගනිමින් අපේ රට නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීමට පියවර ගන්නවා

    ඒ වගේම අපි දන්නව අපේ රටේ පිහිටීමත් එක්ක වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඉතාමත් හොඳ විභවතාවයක් අපට තිබෙනවා. අදත් කොළඹ වරාය ලෝකයේ වරායවල් අතර ප්‍රමුඛස්ථානය උසුලනවා. හැබැයි අපි කාර්යක්ෂමතාවය කැඳවලා තිබෙනවා. වේගවත් කළමනාකරණයක් අපි කැඳවලා තිබෙනවා. අපේ වරායේ භාණ්ඩ හා සේවා සැපයුම ලබා ගන්නා කණ්ඩායම් වරායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෑහීමකට පත්වෙනවද? නෑ එය අකාර්යක්ෂමතාවයට පත්වී තිබෙනවා. ඒ නිසා අපේ රට ලෝකයේ ඉතාමත් ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා අපට ස්වභාවයෙන්ම ලැබී තිබෙන පිහිටීමේ දායාදය තිබෙනවා. මේ පිහිටීමේ දායාදය අපි සම්පූර්ණ කළ යුතුයි. ‍ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් අප සකස් කොට තිබෙනවා. එය වේගයෙන් ආර්ථික පිම්මක් ලබාගත හැකි තැනක් ලෙස අපි කල්පනා කරනවා.

    කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා

    ඒ වගේම කෘෂිකර්මාන්තය. අපි දන්නවා අපට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් යෝග්‍ය පරිසරයක් තිබෙනවා.මහපොළොවත් එක්ක හැප්පෙන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ ණයගැති භාවයට පත්වුණු ගොවි ජනතාවක්. තමන්ගේ කනකර පවා බැංකුවට උකස් තියන්න සිදුවුණු ගොවි ජනතාවක්. වතුර මෝටරය උකස් කියන්න සිදුවුණු ගොවි ජනතාවක්. අපි දීර්ඝ ලෙස කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි බැලුවොත් වාරි කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල ආයෝජනයක් ඇතිකර තිබෙනවා. වර්තමානයේ මා දන්නවා වාරි ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජනයන් අපි සිදුකරමින් තිබෙනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණයන් සඳහා අපි විශාල වැය බරක් සිදුකර තිබෙනවා.හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ගොවියා ණය බරිත ගොවියෙක් බවට පත්වී තිබෙනවා. ණය බරිතභාවය ඔවුන් සමාජයේ කොන් වූ පුරවැසියෙක් බවට පත්කරනවා. සෞඛ්‍ය අනාරක්ෂිතතාවය ඇතිකර තිබෙනවා.

    දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වට්ටවා තිබෙනවා. පහසුකමක් ඇති නිවාසත් නැති තත්ත්වයට පත් කර තිබෙනවා.කෘෂි ජීවිතයත් සමඟ ගැට ගැහුණු ගොවියාගේ දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා.ඒ නිසා අපි කෘෂිකර්මාන්තයේ නව නැවුම් පිම්මක් ගැනීම අපේ අපේක්ෂාවයි. , විශේෂයෙන්ම අපි යළිත් අපේ බීජ පර්යේෂණාගාර දියුණු කළ යුතුයි. බීජ ගොවිපළවල් දියුණු කළ යුතුයි. යළි ශක්තිමත් කෘෂි ව්‍යාප්ති සේවාවක් අපි ආරම්භ කළ යුතුයි. අපේ ලංකාව තුළ අවශ්‍ය වන කෘෂි නිෂ්පාදනයන් පමණක් නොවෙයි අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර කෘෂි නිෂ්පාදනයන්ට අපි අවතීර්ණ විය යුතුයි.
    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවෝදයක් අපි අත්පත් කරගන්නේ නැතුව ගොවී ජනතාවගේ ජීවිතය ඉදිරියට ගත හැකියි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකට වේගයෙන් පිම්මක් ගත හැකි ස්ථානයක් ලෙස අපි කල්පනා කරනවා. නිසාම අපි කෘෂි කර්මාන්තයට ආරම්භයේදීම හෙක්ටයාරයක් සඳහා රුපියල් පහළොස්දහසක් ලබා දුන් පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. තවත් සහනාධාර ලබාදිය යුතු ස්ථාන තිබෙනවා නම් අපි සහනාධාර ලබාදෙන්න ලෑස්තියි. මොකද කෘෂිකර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කළ යුතුයි.

    ඒ වගේම අපි කල්පනා කරනවා ධීවර කර්මාන්තය ගැන. අපිට අපේ රට වගේ අට ගුණයක මහා මුහුදක් තිබෙනවා. හැබැයි අපි ඒ මහ මුහුදෙන් නෙළා ගන්නා ඒ මහා සම්පතෙන් උපයෝගී කරගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ධීවර කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට විශාල පිම්මක් ගත හැකියි. පහුගිය කාලේ ඉන්ධන හා භාණ්ඩ වල මිල ඉහළ යාම හේතු කොටගෙන විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යනවා වෙනුවට වැල්ලේ ගැටගසා තිබුණා.

    බෝට්ටු වැල්ලේ ගැට ගසා තිබීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය බවට පත්වුණේ වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු නැවත මහ මුහුදට දියත් කිරීමයි. ඒ නිසා තමයි අපි ආරම්භයේදීම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කළේ. අපිට දැනට ලැබෙන තොරතුරු අනුව වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු සියල්ල ම නැවත දියඹට දියත් කරලා තිබෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ආර්ථිකය පිම්මක් ගත යුතු තැන්.

    පුද්ගලික අංශයේ ද සහාය ඇතිව ඛනිජ සම්පත්වලින් ඉහළ උපයෝගීතාවක් ලබා ගැනීම වෙනුවෙන් අගය එකතු කිරීමට පියවර

    ඒ වගේම අපිට දිගුකාලීනව ආර්ථිකයේදී අපි හිතනවා අපේ රටේ තිබෙන ස්වභාවික සම්පත් විශේෂයෙන්ම ඛනිජ සම්පත් මත අපිට ආර්ථිකයේ විශාල විභවයක් නිර්මාණය වී තිබෙනවා. මේ ඛණිජ සම්පත් අපි දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය වන වටිනාකම්, අගයන් එකතු කරන්නේ නැතුව අපට අවශ්‍ය වටිනාකම් උකහගැනීමට අප අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍යයන් පෞද්ගලික අංශයත් ඒකාබද්ධතාවයෙන් යුතුව ෙමේ ඛනිජ සම්පත් යළි වඩාත් උපයෝගී සහිත සම්පත් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අගය එකතු කරන ලද කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා. දැනටමත් අපි අපේ රටේ දේශීය කර්මාන්ත කරුවන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා. අපි හිතන්නෙ නෑ ඒව මුළුමනින්ම රාජ්‍ය විසින් පමණක් කළ හැකි දෙයක් කියලා. සමහර ඒවාට අපිට තාක්ෂණය අවශ්‍යයි. සමහර තැන් වලට අපට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ නිසා ඒ අවශ්‍යතාවය මත අපි පෞද්ගලික ව්‍යවසායකයන්ද ඒ කර්මාන්ත පද්ධතිය දියුණු කර ගැනීම සඳහා උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා. එය අපේ ආර්ථිකයේ අලුත් හැරවුමක් වේවි කියල අපි විශ්වාස කරනවා.

    මීළඟට අපි හිතනවා අපේ ආර්ථිකයට අලුත් හැරවුමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රය. ලෝකයේ අපි දියුණු යැයි සම්මත රාජ්‍යයන් දෙස බැලුවොත් ඒ හැම රාජ්‍යයක්ම තමන්ගේ වාර්ෂික අයවැය ‍ලේඛනයේ විශාල පංගුවක් නව පර්යේෂණ සඳහා උපයෝගී කර තිබෙනවා. වෙළෙඳපොළ ඉස්සරහට යන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා සැපයීමෙන් නෙවෙයි. වෙළෙඳපළ නිරන්තරයෙන් අලුත් වෙනවා. වෙළෙඳපොළ නිරන්තරයෙන් අලුත් වෙන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පසෙකලා නව නිමැවුම් භාණ්ඩ හා සේවාවේ නිෂ්පාදනය වෙනුවෙන් තමයි අලුත් වෙළෙඳපළක් නිර්මාණය වෙන්නෙ. ඒ අලුත් වෙළෙඳපළ අත්පත් කරගන්න පහුගිය කාලයේ මේ ආසියානු කලාපයේ රාජ්‍යයන් ගණනාවක් සමත් වී තිබෙනවා. හැබැයි අපි ලෝකයේ ඇතිවී තිබෙන නව වෙළෙඳපොලේ පංගු කරුවෙක් බවට පත්වෙන්න අසමත් වී තිබෙනවා. අපි ගතානුගතික සාම්ප්‍රදායික භාණ්ඩ හා සේවා සපයන රාජ්‍යක පංගුකරුවෙක් බවට පත්වී තිබෙනවා.

    අපේ අපේක්ෂාව එහෙනම් විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ අපි අලුත් පිම්මකට අදියර ගෙන යා යුතුයි. ඒ නිසා තමයි විද්‍යා හා තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයක් අපි ගොඩ නගන්නත් ඒ සඳහා ඒ ක්ෂේත්‍රය පිළිබඳ විශාල අත්දැකීමක් තිබෙන රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය ක්‍රිෂාන්ත එහි අමාත්‍යවරයා හැටියට පත් කරන්නත් ඒ වගේම මේ වන විටත් ඒ ක්‍ෂේත්‍රයේ එක්සත් ජනපදයේ විශාල පර්යේෂණ ගණනාවක් කරලා ලංකාවට කීර්තියක් හිමිකරදී තිබෙන ගෝමික වැනි අය ජනාධිපතිවරයාගේ හා තාක්ෂණය පිළිබඳව උපදේශකවරයා හැටියට පත් කරන්නත් අපි කටයුතු කර තිබෙනවා. අපි විශාල හැරවුමක් මේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති කරන පරිවර්තනයෙන් ගැනීමට අපේක්ෂා කරනවා.

    ඊළඟ ප්‍රධාන ස්ථානය තමයි ඩිජිටල්කරණය. ඩිජිටල් ආර්ථිකයක්. සාමාන්‍යයෙන් අපි හිතනවා ඩිජිටල් ඉකොනොමි එක ඩොලර් බිලියන පහළොවක ඉකොනොමි එකකට අපිට යන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි වෙනම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍යාංශයක් ගොඩනඟා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ ක්ෂේත්‍රය පිළිබඳ විශාල දැනුමක් හා අත්දැකීමක් තිබෙන හාන්ස් විජේසූරිය තුමන් ජාත්‍යන්තරව වැඩ කරපු විශාල සමාගමකින් ඉවත් වෙලා එහි තමන් දැරූ ප්‍රධානම වෘත්තියෙන් ඉවත් වෙලා ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය සපයන්න ඔහු සූදානම් වී තිබෙනවා.
    මා ඔහු එම අමාත්‍යාංශයේ ලේකම්වරයා බවටත් ICT ආයතනයේ සභාපතිවරයා බවටත් ඒ වගේම ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමටත් මා සූදානම්. මේක එක තැනක සිට මෙහෙයවිය යුතුයි. මේ ඉලක්කය අපි සම්පූර්ණ කර ගත යුතුයි. විශේෂයෙන්ම පුරවැසියන්ට සේවාවන් සැපයීමේදී ආර්ථිකය අලුත් අදියරයකට තල්ලුවීමේදී ඩිජිටල්කරණය අතිශය වැදගත්.

    අපේ රට මේ තිබෙන තලයේ සිට අලුත් තලයකට ඔසවා තබනවානම් ඒ තලයේ තිබෙන විශේෂම ලක්ෂණය තමයි ඩිජිටල් ශ්‍රී ලංකාවක්. අපේ ආණ්ඩුව එය ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා. එය සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් උපරිම මැදිහත් වීම කරනවා. එය සාර්ථකව ජයග්‍රහණය කළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා.

    ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය

    ඊළඟට අපි ක්ලීන් ශ්‍රී ලංකා නමින් ප්‍රධානම වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන්නට මා බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම ක්ලීනින් ශ්‍රී ලංකා කියන එකේ අර්ථය තිබෙන්නේ පරිසර පද්ධතිය විතරක් නෙවෙයි. අපේ මේ ජනතාවට දේශපාලන අධිකාරියේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපට යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේදී පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි. පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයකින් තොරව උඩින් දේශපාලන අධිකාරියේ පමණක් සිදුවන පරිවර්තනයකදී අපට මේ ජයග්‍රහණ සාර්ථකව ලබාගත හැකි වන්නේ නැහැ. ඒ නිසා අපි විශාල වෙහෙසක් දරනවා යහපත් පුරවැසියන්, යහපත් ආකල්ප, යහපත් ක්‍රියාකාරකම්, යහපත් හැසිරීම් සහිත ජනතාවක් නිර්මාණය කරගත යුතුයි.
    එය තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ අභිමතාර්ථයන් බවට පත්වන්නේ. විශේෂයෙන්ම මේ වගේ ජාතික සභාවක කතා නොකළ යුතු වුවත් ‍ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්නයක් වුවත් ඔබ අහන්න අපේ රටේ කාන්තාවන්ගෙන් මේ රට තුළ තමන්ට වැසිකිළි යාමට පිරිසිදු වැසිකිලි පද්ධතියක් තිබෙනවාද? මා දන්නා සමහර දුර පළාත් වලින් කොළඹ එන කාන්තාවන් කොළඹ ඇවිල්ලා නිවසට යනතෙක් වතුර බොන්නේ නැහැ. ඇයි ?ඇයට පිරිසිදු වැසිකිලි පද්ධතියක් නැහැ.තියෙන වැසිකිලි පද්ධතියක් දෙස බැලුවත් එය පිරිසිදුභාවයෙන් ආරක්ෂා කරගන්න බැරිවී තිබෙනවා .

    වැසිකිලි පද්ධතියක් ගොඩනැඟී තිබුණත් සමාජ ආකල්පය ගොඩනැගී තිබෙන්නේ කොතනද? එය පොදු පුරවැසියන්ගේ පොදු ස්ථානයක් වෙනුවට එය විනාශකාරී ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ මොකක්ද? අපේ රටේ පුරවැසියන්ගේ යම් පුරවැසි කණ්ඩායමක් තුළ තිබෙන ආකල්පමය ස්වභාවයයි. ඒ නිසා මේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් එවැනි ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. පොදු දේපොළ ආරක්ෂා කරගන්නේ කොහොමද? පොදු සමාජයට වගකියන පුරවැසියෙක් බවට පත්වෙන්නේ කොහොමද? අපේ රටේ තිබෙන සම්පත් මේ වෙලාවෙ ජීවත් වෙන අපට පමණක් නෙවෙයි හිමි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රටේ සම්පත් ආරක්ෂා කර දෙන්නේ කොහොමද? අපි රියදුරෙක් ලෙස පාරේ වාහනයක් පදවාගෙන යන්නේ කොහොමද? අපි පාර මාරු වෙන්නෙ කොහොමද? අපි අනෙකාට ගරු කරන්නේ කොහොමද? තැනකට ප්‍රවිෂ්ට උනාම ආචාර සමාචාර ලෙස පිළිගන්නේ කොහොමද?

    මෙවැනි සමාජයක් අපට අවශ්‍ය නැද්ද? දැන් තියෙන්නේ ඛේදවාචකයකින් පිරුණු සමාජයක්. එකිනෙකාට නොරුස්සනා සමාජයක්. එකිනෙකා අතර ගැටුම්කාරී සමාජයක් තිබෙන්නේ. කුඩා හෝ සිදුවීමක් හැම වෙලාවේම පොළඹ වන්නේ ගැටුමකට. ඉවසීමකට නොවේ. අනෙකාට සමාව දීමට නොවේ. අනෙකා කෙරෙහි ළයාන්විත බැල්මකින් බැලීමට නොවේ. මුළු සමාජයම මහා කේඩෑරී වියළුණු සමාජයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ සමාජයට තෙතමනය අවශ්‍යයි. වියලුණු මුහුණු, දර කෝටු වගේ මුහුණු, එහෙම සමාජයකට ඉස්සරහට යන්න පුලුවන්ද? හිනාවක් තියෙන සමාජයක් අපට අවශ්‍යයි. අනෙකා කෙරෙහි ලෙන්ගතුභාවයෙන් බලන සමාජයක් අපට අවශ්‍යයි. මානවවාදී ගුණාංගවලින් පිරුණු සමාජයක් අවශ්‍යයි. අනෙකාගේ දුක පිළිබඳව සහකම්හපයක් සහිත සමාජයක් අපට අවශ්‍යයි. විශේෂයෙන්ම අප රටේ අධ්‍යාපන, සාහිත්‍ය, නීති කේෂ්ත්‍රය මෙන්ම ආකල්පමය වශයෙනුත් විශාල පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තිබෙන සමාජය ඉතා දියුණු, ගුණාත්මක සමාජයක් බිහි කිරීමේ ක්‍රියාන්විතයක් ජාතික ජනබලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා.

    දිළිදුබව තුරන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික සහාය

    දුප්පත්භාවය තුරන් කිරීමට අවශ්‍යයි. සෑම පුරවැසියකුටම සාධාරණ ආහාර වේලක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, ඉන්න නිවසක්, හොඳ ආදායම් මාර්ගයක් සහ මානසික නිදහසක් අවශ්‍ය නැද්ද? විශේෂයෙන්ම ග්‍රාමීය වශයෙන් සහ නාගරික වශයෙන් වූ දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රධාන මෙහෙයුම බවට පත්වී තිබෙනවා. දුප්පත්භාවය තුරන් කිරීමේ ආරම්භයක් ලෙස දැනට ලබා දෙන අස්වැසුම එළැඹෙන අයවැයෙන් සාධාරණ ලෙස වැඩි කිරීමට කටයුතු කරනවා. දුෂ්කරතාවයෙන් පෙළෙන පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. විශ්‍රාමිකයන්ගේ දීමනාව ඔක්තෝබර් සිට වැඩි කරනවා. එළැඹෙන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා.
    සෑම පුරවැසියෙකුම බලා ගන්නවා

    ළදරු මන්දපෝෂණය ඉදිරි සමාජ ව්‍යසනයක් බවට පත් වීමට ඉඩ දෙන්නේ නැහැ. ළදරු මන්දපෝෂණය තුරන් කිරීමට ඒ පවුල්වලට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. ගැබිණි මවුවරුන් ආරක්ෂා කිරීමට අව්‍ශය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කරනවා. දැනට තිබෙන දුප්පත්භාවය නිසා ලබාගත නොහැකි භාණ්ඩ හා සේවා ලබා දීමට අප කටයුතු කරනවා. නමුත් එය දිගුකාලීනව රජයට කළහැකි දෙයක් නොවෙයි. ඕනෑම රටක ඕනෑම වේලාවක ආර්ථිකයෙන් විතැන් කරන ලද ජන ප්‍රජාවක් සිටිනවා. ආර්ථිකයට සම්බන්ධ නොවන ජන ප්‍රජාවක් සිටිනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්ගේද එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. ඒ නිසා හැමවිටම එම ජන ප්‍රජාව බලා ගැනීම රජයේ වගකීමක්. අප එය අතහරින්නේ නැහැ.

    විශේෂයෙන් අපේ රටේ ආබාධිත ප්‍රජාව සිටිනවා. ඔබ දන්නවා ආබාධිත දරුවෙකු සිටින නිවසක එම නිවසම විශාල වියවුලක් බවට පත්ව තිබෙනවා. සංස්කෘතික ජීවිතයක් ඔහුට අහිමිවී තිබෙනවා. ඒ දරුවාගේ ආබාධිත භාවය මත දෙමාපියන්ගේ සහෝදරයන්ගේ මුළු ජීවිතයම ගෙවිලා යනවා. එය ආබාධිත දරුවන් සිටින පවුලකට උරුම විය යුතු නැහැ. ඒ නිසා ආබාධිත පුද්ගලයන් බලා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබාදීමට අප කටයුතු කරනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා ආණ්ඩුවක්, සියලු පුරවැසියන් අත්නොහරින ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි. එය සෑම ආණ්ඩුවකටම පැවරී තිබෙන වගකීමක් සහ බැදීමක්. අප එම බැඳීම ඉටු කරනවා. එම වගකීමට අනුව අප කටයුතු කිරීමට සූදානම්.

    ඒ වගේම හැමදාමත් සහන සහ දීමනා ලබාදීම තුළින් දුප්පත්භාවය තුරන් කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. දුප්පත්භාවය තුරන් කිරීමට නම් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන ආර්ථික ප්‍රභවයන්වල නිරත විය යුතුයි. දැනට දුප්පත්භාවයේ පෙළෙන බොහෝ අයගේ ආර්ථික ප්‍රභවය වන්නේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තය ලාබදායී ව්‍යාපාරයක් බවට පත් නොකර ඔවුන් දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ධීවර කර්මාන්තය ලාබදායක කර්මාන්තයක් බවට පරිවර්තනය නොකර ධීවර ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළමු ප්‍රයත්නය වන්නේ ඔවුන් දැනට නියැළෙන ආර්ථික ප්‍රභවයන් සාර්ථක ලාභදායක ආර්ථික ප්‍රභවයන් බවට වර්ධනය කිරීමයි. හැබැයි අපි දන්නවා ගමකට මේ ආර්ථික ප්‍රභවයන් පමණක් ප්‍රමාණවත් නැහැ. අලුත් ආර්ථික ප්‍රභවයන් සහ අවස්ථා ගම තුළ නිර්මාණය කළ යුතුයි.

    අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රට අතහැර යාමේ උන්මාදයක් තිබෙනවා. එම රට අතහැර යාමේ උන්මාදය වෙනුවට රට තුළ සිටිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වීමේ උන්මාදයක් මේ රට තුළ නිර්මාණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළ සොයා දීම රාජ්‍යයේ වගකීමක් ලෙස අප සලකනවා. අප සිතනවා අපේ රටේ වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ. සාමාන්‍යයෙන් අපේ ‍දෛනික වෙළෙඳපොළ තුළ ලක්ෂ 38ක් වැනි ප්‍රමාණයක් සිටින්නේ. මෙය කුඩා වෙළෙඳපොළක්. කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් මේ කුඩා වෙළෙඳපොළ තුළ පමණක් ව්‍යාපාර කරමින් ආර්ථිකයට මැදිහත් වෙමින් ශක්තිමත් ප්‍රජාවක් බවට පරිවර්තනය කරන්න බැහැ. ඒ නිසා මෙම කර්මාන්තකරුවන්, ව්‍යාවසායකයන් රටෙන් පිටතට යා යුතුයි. නව වෙළෙඳපොළ සෙවිය යුතුයි.
    තානාපති සේවය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ අනුව අපේ තානාපති සේවය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වගකීමක් සහ බැඳීමක් තිබෙනවා. නමුත් අල්ප වෙළෙඳපොළක් මෙම ශ්‍රී ලාංකිය කර්මාන්තකරුවන්ට සොයා දෙන්නේ කොහෙමද යන්න පිළිබඳ එය ඉක්මවා යන බැඳීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාල මෙහෙයවීම සදහා අප කටයුතු කරනවා.

    අපි දන්නවා ඉතාමත් තාක්ෂණික හැකියාවන් සහ විභවතාවන් තිබෙන ඉදිකිරීම් කර්මාන්තයක් අපේ රටේ තිබෙනවා. මෙම ඉදිකිරීම් කර්මාන්තයත් ලංකාවෙන් එළියට ගෙන යාමට අප සැලසුම් කළයුතුව තිබෙනවා. ඒ වගේම අපට පමණක් ආවේණික අනන්‍ය යම් යම් නිෂ්පාදනයන් තිබෙනවා. එම නිෂ්පාදනවලට තවත් වටිනාකම් සහ අගය එකතු කර අලුත් කර්මාන්ත පද්ධතියක් ගොඩනගා රටින් එළියට ගෙනයාමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමන්ගේ කැමැත්ත මත තමන්ගේ තීන්දු තීරණ මත හැසිරෙන අයෙකු නොවෙයි. රජයේ වුවමනාව මත, ආණ්ඩුවේ වුවමනාව මත මේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ වර්ධනයත් අප අත්පත් කරගත යුතුයි. ඒ සඳහා අප සැලසුම් සකස් කර තිබෙනවා.

    මාර්තු මැද වන විට අලුත් අයවැය සම්මත කරනවා

    අප මේ පිළිබඳව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රකාශය තුළ සවිස්තරාත්මකව කරුණු ඇතුළත් කර තිබෙනවා. අපේ අමාත්‍යවරු දැනට ඒ වැඩපිළිවෙල තුළ තමන්ගේ අමාත්‍යාංශවලට පැවරී ඇති කොටස් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. අපට ඉක්මණින් අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 04ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අය වැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා.
    ඒ නිසා මෙම වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම අය වැය ලේඛනය තුළ ගැබී වී තිබෙනවා. දැනට සංකල්පීය ලෙස අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අදහස් මත පදනම්ව අය වැය ලේඛනයක් සකස් කර මාර්තු මාසයේ මැද භාගය වන විට එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

    නව යුගය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා

    අපේ රටේ ආර්ථිකයේ, සමාජයේ ජීවිතයන් නව පරිවර්තන යුගයක් ආරම්භ වී තිබෙනවා. මෙම නව පරිවර්තන යුගය සාර්ථක කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා සහාය දක්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අප විවිධ දේශපාලන කඳවුරුවල වැඩ කරන්න ඇති. අපි ප්‍රතිවිරුද්ධ මතවාදවල ඉන්න ඇති, අපි එකිනෙකා අතර යම් වාග් සංග්‍රාමයන්, බරපතළ විවේචනයන් සිදුව ඇති, නමුත් අද අප සියලුදෙනා එක් පොදු අරමුණක ගැට ගැසී සිටිනවා. ජනතාවගේ නියෝජිතයන් ලෙස මීට වඩා යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම අපට තිබෙනවා. එම වගකීම වෙනුවෙන් මමත්, අපේ ආණ්ඩුවත් බැඳී සිටිනවා. විපක්ෂයේ සියලු පක්ෂවල නායකයන් ඒ වගේම මන්ත්‍රීවරු ඒ සදහා සහාය වනු ඇතිය මම බලාපොරොත්තු වෙනවා.

    අවසන් වශයෙන් මට කීමට ඇත්තේ, මාර්ටින් ලූතර් කිං වරෙක පැවසුවා “අඳුරට අන්ධකාරය පළවා හැරිය නොහැක. එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැක. එය කළ හැක්කේ ආදරයට පමණි.