Tag: featured

  • 20 පසු රට ගැන විජේදාස රාජපක්ෂ කරන ‘බිහිසුණු හෙළිදරව්ව’

    20 පසු රට ගැන විජේදාස රාජපක්ෂ කරන ‘බිහිසුණු හෙළිදරව්ව’

    රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.

    මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා.

    “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“  

    මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මෙවැනි ආන්දෝලනාත්මක කතාවක් මේ තරම් ඉක්මනින් ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද කියායි.

    ඊට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, රට පිළිබඳ සිය ස්ථාවරය මොන ආණ්ඩුවක සිටියත්, මොන නායකයෙක් සිටියත් කවදාවත් වෙනස් නොවන බවත් තමා ඇමැතිකම් හෝ වරප්‍රසාද ලබා ගැනීමට කිසිදා බලය ඇති පැත්තට නොගිය බවයි.

    මෙහිදී මාධ්‍ය වේදීන් යළි ප්‍රශ්න කළේ බලවත් කැබිනට් අමාත්‍යධුරයක් නොලැබීම ගැන ඇති වුණ කණස්සල්ල නිසා මෙවැනි ප්‍රකාශ කරන්නේ ද කියායි.

    එම ප්‍රශ්නය පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ අවස්ථාවේ පොඩි කණස්සල්ලක් තිබුණත් දැන් ඇමැතිකමක් භාර නොගත්ත එක ගැන අතිෂය සතුටට පත්ව සිටින බවයි.

    ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩිව අපහසුතාවට පත්වන මෙවැනි ආන්දොලනාත්මක ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ අසුන් ගැනීමට දැයි මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමේදී විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි අදහසක් නැති බවයි.

  • මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

    මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ.

    2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරිණි. විශාල පිරිසක් පරික්ෂාවට ලක්කෙරුණු බැවින් සාමාජික-සාමාජිකාවන් හට යම් කාලයක් රැඳී සිටීමට සිදු විය. දැනට කාර්යමණ්ඩල සාමාජිකයන් 567 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

    අපට මුහුණදීමට සිදුවූ ප්‍රධානත ම අභියෝගයක් වූයේ, ආසාදිතයින් අතරින් වැඩි පිරිසකගෙන් රෝගී ලක්ෂණ පෙන්නුම් නොවීමය.

    අදාළ බලධාරීන් හට උපරිම සහයෝගය ලබාදෙමින් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු. කාර්යමණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට ලක්වන කාලය තුළ ඔවුන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ද අපි කටයුතු කරන්නෙමු.

    අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ප්‍රජාවගේත්, අපගේ රටේත් සුබසිද්ධිය අපගේ ප්‍රමුඛතාවයි. එමෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මේ මොහොතේ අප වෙත ලබාදුන් සහයෝගය සහ මගපෙන්වීම වෙනුවෙන් ඔවුන්ට ද අපගේ කෘතඥතාව පළකර සිටිමු.

  • සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

    සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

    ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

    රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

  • රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා ක්ෂණිකව කෝපා කමිටුවට දැනුම්දීම සදහා ක්‍රමවේදයක්

    රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා ක්ෂණිකව කෝපා කමිටුවට දැනුම්දීම සදහා ක්‍රමවේදයක්

    රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව ක්ෂණිකව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා)  දැනුම්දීම සදහා ක්‍රමවේදයක් සැකසීමට එම කාරක සභාවේ අවධානය යොමු විය. කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (06) එය රැස්වූ අවස්ථාවේ මේ පිළිබදව සාකච්ජා විය.

    කෝපා කමිටුව පිළිබඳව එහි සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැති මෙම කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන රැස්වීම් මාධ්‍යට විවෘත කරන බව යි.

    විගණන වාර්තාවල පෙන්නුම් කරන ගැටලු වලට බලපාන ලද නියම හේතු සාධක සෙවීම පිළිබදව කාරක සභාවේ විශේෂ අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවට සහ කාරක සභාවට පවතින බලතල ප්‍රකාරව රාජ්‍ය ආයතන තුළ පවතින ගැටලු විසදීම සදහා කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව මගින් ලබා දෙන මුදල් නිසි අයුරින් වියදම් කරන්නේද සහ එහි කාර්‍ය සාධනය කවරේද යන්න පිළිබදව අවධානය යොමු කළ යුතු බවත් හෙතම පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා පැවසුවේ මූල්‍ය විගණනය මෙන්ම ආයතනවල කාර්‍ය සාධනය පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි. කාරක සභා ජනමාධ්‍යට විවෘත කිරීම මගින් කාරක සභාවේ කටයුතු පහසුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    කාරක සභාවේ හිටපු සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ අටවන පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ බවයි. රාජ්‍ය ආයතන 844 ක් ඇගයීම සඳහා නිසි වැඩපිළිවෙලක් සැකසු බවත් , එය ඉදිරියට පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් හිටපු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. අදායම් ලබන ආයතන කඩිනමින් කාරක සභාවට ගෙන්වා පරීක්ෂා කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නොවැම්බර් 03/04 සහ 05 යන දින 03 තුළ කාරක සභාවට කැදවීමට ද තීරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසුවේ පාර්ලිමේන්තුව සහ කාරක සභාව අතර සබඳතාවය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බවයි. තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා කාරක සභාවේ අවධානය යොමුවිය යුතු බව ද ජයතිලක මහතා පැවසීය.

    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , නිරෝෂන් පෙරේරා, ෆයිසාල් කාසීම් , අශෝක් අබේසිංහ , බුද්ධික පතිරණ , කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය  යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද කාරක සභාවට සභභාගී වූහ.

  • ප‍්‍රධාන මාර්ගයේ ‘දුම්රිය නොනවත්වන’ ස්ථාන මෙන්න

    ප‍්‍රධාන මාර්ගයේ ‘දුම්රිය නොනවත්වන’ ස්ථාන මෙන්න

    ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.    

    ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය. කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

  • මිනුවන්ගොඩ Brandix  සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

    මිනුවන්ගොඩ Brandix සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

    මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දුන් බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන බවත් ඒ සඳහා සියලූම දෙනා සුදානම් විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

  • මිනුවන්ගොඩ Covid-19 පොකුර:  තවත් 246ක් හඳුනා ගනී

    මිනුවන්ගොඩ Covid-19 පොකුර: තවත් 246ක් හඳුනා ගනී

    කොවිඩ්-19 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • ගම්පහට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

    ගම්පහට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට යළි දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

  • දිවුලපිටිය කොරෝනා පොකුර: අද පෙරවරුව වන විට අලුතින් 220ක්

    දිවුලපිටිය කොරෝනා පොකුර: අද පෙරවරුව වන විට අලුතින් 220ක්

    අද (06) දින පෙරවරු 09.00 වන විට දිවුලපිටිය කොවිඞ්-19 පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 321ක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    මෙම ආසාදිතයින් අතරින් 220 දෙනකු අද (06) දින වාර්තා වී තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ආසාදිතයින් සියලූ දෙනාම බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන් බවයි. ඔවුන් සියලූ දෙනාම නිරෝධායනයට ලක්කර ඇති බව ද අදාළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

  • Brandix කොරෝනා පොකුර: වසංගත රෝග විද්‍යා අංශයේ ‘නිල ප්‍රකාශය’

    Brandix කොරෝනා පොකුර: වසංගත රෝග විද්‍යා අංශයේ ‘නිල ප්‍රකාශය’

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය  පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම හා සමගාමීව ඇතිවූ කොවිඩ් 19 වෛරසය  සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව අද දින (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම හා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කරුණු පැහැදිළි කරන ලදී.

    එහිදී, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.

    කොවිඩ් 19 වසංගතයේ යථා ස්වභාවය ඔබ හැම දකින්නට ඇති. අප සටන් කරන්නේ වෛරසයක් සමග. එම වෛරසය අප මනාව පාලනය කළත් ඕනෑම මොහොතක සමාජයට එය කාන්දු විය හැකියි. මේ දක්වා මේ රටේ කොවිඩ් 19 රෝගීන් හමුවුණේ පොකුරු වශයෙන්. සුදුවැල්ල සහ බණ්ඩාරනායක මාවතේ කුඩා පොකුරු අප දුටුවා. ඒ වගේම විදේශගත වී පැමිණෙන අය සිටින ස්ථානවලත් හමුවුණා. විශාලම පොකුරු අප දුටුවේ වැලිසර නාවුක හමුදා කඳවුරේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ. එතැන අපට තිබුණු වාසිදායක තත්ත්වය තමයි, ඔවුන් සියල්ලෝම සිටියේ සංවෘත පරිසරයක වීම. එතැනදී බාහිර පරිසරය සමග තිබුණු ගනුදෙනු ඉතාම අවමයි. ඒ නිසා සමාජයට පැතිරීමට තිබුණු හැකියාව බොහොම අඩුයි. එසේ තිබියදීත් අප දුටුවා වැලිසර හමුදා කඳවුරේ පිරිස් නිවෙස් වලට ගොස් පවුල් වලත් යම් පිරිසක් ආසාදනය වී තිබුණා. එහෙත් අපට එය පාලනය කරගත හැකි වූවා.

    ඒ හා සමාන තත්ත්වයක් තමයි මෙතැනදීත් සිදු වී තිබෙන්නේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව  මෙතැන පොකුරක් සෑදී තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණ කළ පිරිසගෙන් සාමාන්‍යයෙන් 100 දෙනෙකු පමණ පරීක්ෂා කරන විට, 69 දෙනෙකු ආසාදිත බව තහවුරු වුණා. පළමු රෝගියාත් ඇයගේ දියණියත් ගත් විට මෙතැන රෝගීන් 71 දෙනෙකු සිටිනවා. මෙතැන ප්‍රධාන කාරණයක් තිබෙනවා රෝගියා හඳුනාගැනීම සම්බන්ධව. මේ ලෙස රෝගියා හඳුනාගන්නේ අප දියත් කර තිබුණු ක්‍රමවේදයත් සමග. අප ක්‍රමවේදයක් සකස් කර තිබුණා රටේ හඳුනාගත් ප්‍රධාන රෝහල් සියල්ලකම බාහිර රෝගී අංශයට පැමිණෙන කොවිඩ් රෝගයට සමාන ශ්වසන රෝග වලින් පෙළෙන රෝගීන්ගෙන් නියැදියක් ලබා ගෙන PCR පරීක්ෂණ කිරීමට. ඒ අයුරින් දිගින් දිගටම සිදුකරනු ලැබුවා. ඒ අයුරින් තමයි මේ කාන්තාව 28 වනදා රෝග තත්ත්වයක් ඇති වී 30 වනදා ගම්පහ රෝහලට පැමිණෙන්නේ. එහිදී ඇයට සිදු කළ PCR පරීක්ෂණ වලින් තමයි ඇය ආසාදිත බව දැනගන්නේ. ඒ අනුව අප විසින් එළා තිබුණු දැල නිසා තමයි මේ තත්ත්වය හඳුනාගන්නේ. එය සාධනීය තත්ත්වයක්.

    මෙතැන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ගත්විට එතැනත් එක් කාණ්ඩයක් තමයි සිටින්නේ. නමුත් එතැන අනිත් පොකුරු වලට වඩා තිබෙන වෙනස තමයි, මෙතැන නිවෙස්වල සිට පැමිණෙන පිරිසක් සිටිනවා. ඔවුන් තවත් නිවෙස්වලට යන එනවා. මෙය සිදුවන්නේ ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් තිබෙන දිස්ත්‍රික්කවලින් එකක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ. මෙවැනි තැනක කෙනෙකු සමාජයට යන විට ඒ තැනැත්තා හා සමාජය ගැටෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩියි. එතැන එම ගැටලුව තිබෙනවා.අනෙක් ගැටලුව තමයි, පසුගියදා දිගු නිවාඩුවක් තිබුණා. ඇඟලුම් කම්හලේ සේවය කළ ඇතැම් අය ගම් කරා ගොස් තිබෙනවා. එවිට එම නිවෙස්වල ආසාදිත වූවන් සිටිය හැකියි.

    අනෙක් කරුණ තමයි අප තවම දන්නේ නැහැ මෙම කර්මාන්ත ශාලාවට කොවිඩ් 19 රෝගය ආවේ කෙසේද යන්න පිළිබඳව. අප තවමත් මේ ගැන විමර්ශනය කරන මට්ටමේ සිටින්නේ. මෙහිදී සමාජයට පැතිරීමට  ඇති අවදානම වැඩියි. ඒ නිසා අපට ක්‍රියාත්මක වෙන්න ඇති ප්‍රමාණය වැඩියි. අප මේ රෝගීන් 69 දෙනාව හඳුනාගත්තාට පසු ඒ අයගේ ආශ්‍රිතයින්ද හඳුනාගන්නට සිදු වෙනවා. ඒ අයවත් නිරෝධායනය කරන්නට සහ PCR පරීක්ෂණ සිදු කරන්නට සිදු වෙනවා. ඒ තත්වයත් සමග තමයි අපට ඉදිරියේදී තීරණය කරන්න සිදුවන්නේ කොයිතරම් දුරටක ව්‍යාප්ත වීමක් තිබේද කියා.

    අපි මෙහිදී කරුණු දෙකක් කියනවා. එකක් තමයි මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ එහි සේවය කළ කෙනෙකු හෝ ආගිය කෙනෙකු කොහේ හෝ සිටිනවා නම් අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා කොහේවත් සංචාරය නොකොට නිවෙසට වී සිටින ලෙස හා  තමාගේ බ්‍රැන්ඩික්ස් ආයතනය හා තිබුණු සම්බන්ධතාවය කුමක්ද කියා  සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස. එවිට එම නිලධාරීන්ට ඔවුන් PCR පරීක්ෂණයට ලක් කළ යුතු නිරෝධායනය කළ යුතු අයෙකුද කියා තීරණය කළ හැකියි. එය මේ රෝගය පාලනයට වැදගත් වෙනවා. ලංකාවේ කොහේ සිටියත් ඔවුන් හඳුනා ගැනීමට හැකි වෙනවා.

    ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම එවැනි කෙනෙකුට ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි ඒ සඳහා රෝහලකට යන විට හොඳින් දෑත් සබන් යොදා සෝදා මුඛ ආවරණයක් පැළඳ ගෙන යායුතුයි. රෝහලට යන විට පොදු ප්‍රවාහන සේවා පරිහරණය නොකළ යුතු අතර පෞද්ගලික ප්‍රවාහන පහසුකම් නොමැති නම් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට දැන්විය යුතුයි. එවිට ඔවුන් එම පහසුකම් සලසනු ඇති. මේ අවස්ථාවේදී කිසිම ලෙසකින් සමාජයට එන්න එපා කියා අප ඔවුන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.

    අප තවම මේ රෝගයේ ව්‍යාප්තිය ගැන දන්නේ නැහැ. අප තවම ඉන්නේ හඳුනා ගැනීමේ මුල් අවධියේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගමන් බිමන් සීමා කරන්න. තම නිවෙස් වල රැඳී සිටින්න. අප දැනටමත් පොලිස් බල ප්‍රදේශ තුනක නිරෝධායන ඇඳිරි නීතිය පණවා තිබෙනවා. නමුත් අනෙක් ප්‍රදේශ වල අයත් තම ගමන් බිමන් සීමා කරන්න. විශේෂයෙන්ම කෙනෙකුට උණ, කැස්ස, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේ නම් කරුණාකර පෙර කී ආකාරයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. නැතිනම් නිවෙස් වල සිට අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු සලසා ගත හැකියි. අප කරන කටයුතු මගින් මෙම පොකුර පාලනය කර රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගත හැකියි.

    මෙහිදී, කොවිඩ් 19 සමාජගත වී ඇතිද යන්න තවත් කරුණක්.  රෝගය සමාජගත වෙනවා යනු රෝගීන් එක් එක් ස්ථාන වලින් වාර්තා වීම හා ඔවුන්ගේ සම්බන්ධයක් හඳුනා ගත නොහැකි වීම. අප නොදැනුවත්ම එය පැතිරීම. දැනට ඇති සාධක අනුව එසේ කියන්න සාධකයක් නැහැ. අප 71 කණ්ඩායමක් හඳුනා ගත්තා. එය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ඇසුරේ ඇති පොකුරක්. එය සමාජගත වෙනවාද යන්න තීරණය වන්නේ ඉදිරියේදී අප කරන PCR පරීක්ෂණ වලින් ලබාගන්නා සාධකත් මේ පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගෙන්  ලබා දෙන දායකත්වයත් මත යන්න පැහැදිළි කළ යුතුයි.

  • Covid-19: මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික් පොකුරේ’ ආසාදිතයින් 101දක්වා ඉහළට

    Covid-19: මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික් පොකුරේ’ ආසාදිතයින් 101දක්වා ඉහළට

    මිනුවන්ගොඩ බ්‍රැක්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරින් අද (05) දින පස්වරු 21.40 වන විට ආසාදිතයින් 101 දෙනකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වෙනවා. එම නිවේදනය මෙසේයි.

  • ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට – අධ්‍යාපන ඇමති

    ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට – අධ්‍යාපන ඇමති

    දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් සහ තවත් ආසාදිතයින් 80 දෙනකු හමුවීම සමග රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද (05) හෝ හෙට (06)  තුළ අවසන් තීන්දුවකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (05) දින පැවැති මාධ්‍ය හමුකදී සදහන් කළා

    “5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැතවීමටත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භවීමටත් නියමිත පසුබිමක උද්ගතව ඇති තත්ත්වය හමුවේ විභාග පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය අද හෝ හෙට ගන්නවා“ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

  • Covid-19: ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද?

    Covid-19: ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද?

    කොරෝනාවෛරසය නැවත රට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත. මේ තත්ත්වය තුළ කොවිඩ්-19 වළක්වා ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව නැවත සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් වර්ධනය වී ඇත. වඩාත් විශේෂඥ සහ නිවැරදි උපදෙස් අඩංගු මෙම ලිපිය ඔබ වෙනුවෙනි.

    ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ.

    මා ආරක්ෂා විය යුත්තේ කෙසේද?

    hand washing
    සබන් යොදා නිතර අත් සේදීම නිර්දේශ කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය.

    • නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතුය. මෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ කරයි.
    • ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.

    අප මෙය පැතිරීම නවත්වන්නේ කෙසේද?

    A teenager coughing into her elbow
    කැස්ස හෝ කිවිසුම් ඇති වන විට ඔබේ මුව ආවරණය කර ගන්න.
    • ඔබට කිවිසුම් යන විට හෝ කැස්ස ඇති වූ විට ටිෂූ කදාසියකින් ආවරණය කළ යුතු අතර, එසේ නොමැතිනම් වැලමිට නවා ආවරණය කර ගත යුතුය.
    • භාවිත කළ ටිෂූ කඩදාසිය වහාම නිසි ලෙස බැහැර කරන්න. වෛරසය අඩංගු බිඳිති ටිෂූ කඩදාසියේ රැදී තිබිය හැකි හෙයින් එය බැහැර කිරීමෙන් වෙනත් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගත හැකිය.
    • පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර් 2ක දුරක් තබා ගත යුතු යැයි උපදෙස් ලබා දී ඇත්තේ ද මෙම හේතුවට වන අතර, මෙයින් අදහස් වන්නේ දළ වශයෙන් එකිනෙකා අතර අත් දෙකක දුරක් පවත්වා ගත යුතුයි යන්නය.
    • බොහෝ ස්ථානවල සියලුදෙනාට නිවසේ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටතට යන ලෙසත් උපදෙස් දී ඇත්තේ කැස්ස සහ කිවිසුම් යන පුද්ගලයන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමේ උත්සහයක් ලෙසිනි.
    • බැහැර සිටින විට අන් අයට අතට අත දී ආචාර කිරීම වෙනුවට “ආරක්ෂිත සුබ පැතුම්” ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උදාහරණ ලෙස අත වැනීම, හිස සෙලවීම හෝ හිස නමා ආචාර කිරීම කළ හැකිය.

    මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳීමෙන් වෛරසයෙන් ආරක්ෂා විය හැකිද?

    Masks and gloves offer limited protection and don't replace basic hygiene measures

    ඔබ සුපිරි වෙළෙඳසලින් මිල දී ගන්නා සරල මුහුණු ආවරණවලින් වෛරසය ආසාදනය වීම වැළකෙන්නේ නැත. එවැනි මුහුණු ආවරණවල ඇති ලිහිල්බව, දෑස් ආවරණය කර ගැනීමට නොහැකි වීම සහ දිගු කලක් පැළඳිය නොහැකි වීමය මෙයට හේතු වේ.

    කෙසේනමුත්, ආසාදිත පුද්ගලයින්ගේ බිඳිති අන් අය වෙත ළඟා වීම මෙම මුහුණු ආවරණවලින් වළක්වා ගත හැකිය

    සාර්ස්-කොව්-2 (Sars-CoV-2) වෛරසය ඇති බොහෝ පුද්ගලයින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව ඔබේ මතකයේ ඇත. එබැවින් වෙනත් පුද්ගලයින් වටා සිටිය දී මුහුණු ආවරණ භාවිත කිරීම යෝග්‍යය වේ.

    ඔබේ දෙඅත් නිතර සබන් සහ ජලයෙන් සේදීමෙන්, අත්වැසුම් භාවිත කරනවාට වඩා කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මට කොවිඩ් -19 ආසාදනය වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?

    Woman coughing
    වියළි කැස්ස එක් රෝග ලක්ෂණයකි.

    කොරෝනාවෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස වන අතර මේවා පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුය.

    උගුරේ අමාරුව, හිසරදය සහ පාචනය ද සමහර අවස්ථාවල වාර්තා වී ඇති අතර, සමහර පුද්ගලයන්ට රස සහ සුවඳ නොදැනීම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරන බවටද අනුමාන තොරතුරු වාර්තාවී තිබේ.

    මට එම රෝග ලක්ෂණ ඇත්නම් කුමක් කළ යුතුද?

    NHS 111 centre in Scotland

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හිසරදය සහ නාසයෙන් හොටු දියර ගැලීම වැනි සුළු රෝග ලක්ෂණ සහිත අසනීප තත්ත්වයක් වුව හැඟෙන්නේ නම් ඔබ නිවසේ රැඳී සිටිය යුතුය.

    කොවිඩ් -19 ආසාදිතයන් 80% ක් පෙන්වා සිටින්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බව මතකයේ තබා ගත යුතුය. නමුත් ඔබ අන් අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.

    කෙසේවෙතත්, උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත්, ඔබට ශ්වසන ආසාදනයක් හෝ වෙනත් බරපතල රෝගී තත්ත්වයක් තිබිය හැකි බැවින් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    කොවිඩ් -19 කොතරම් භයානකද?

    A woman in London wearing mask

    ‘The Lancet Infectious Diseases’ වෛද්‍ය සඟරාවේ පළ කර තිබුණු නව පර්යේෂණයක දත්ත අනුව, මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 0.66% ක් පමණ මිය යන බව ඇස්තමේන්තු කර තිබේ.

    සෘතු ආශ්‍රීත සාමාන්‍ය උණ රෝගයෙන් මිය යන පුද්ගලයින් 0.1% ට වඩා මෙය බෙහෙවින් වැඩි නමුත් පෙර ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩු ය.

    නමුත්, කොපමණ රෝගීන් ප්‍රමාණයක් ඇත්දැයි දැන ගන්නා තුරු කොවිඩ් -19 මරණ අනුපාතය නිශ්චිතව කිව නොහැක.

    වසංගතයක් තුළ සිදුවන මරණ අනුපාතය ගණනය කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. මන්ද යත්, යම් පුද්ගලයෙකුට රෝගය වැළදී එයින් මියයන කාලය අතර පරතරයක් ඇති බැවිනි.

    ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි වර්තමාන ඇස්තමේන්තුවට අනුව වයස 80 ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 10 ගුණයක් වැඩි අතර 40ට අඩු පුද්ගලයන් අතර බෙහෙවින් අවම අගයක් ගනී.

    චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින් අතර මරණ අවම වශයෙන් පස් ගුණයකින් වැඩි බවය.

    ප්‍රතිකාරයක් තිබේද?

    A person conducting medical research

    නව වෛරසය සඳහා නිශ්චිත ඖෂධයක් හෝ එන්නත් නොමැති අතර ප්‍රතිජීවක ඖෂධවලින් බලපෑමක් ඇති නොකරයි. (ප්‍රතිජීවක ඖෂධ සටන් කරන්නේ බැක්ටීරියාවලට එරෙහිව මිස වෛරස්වලට එරෙහිව නොවේ).

    ප්‍රතිකාරවලට විකල්ප පවතින නමුත්, බොහෝ පුද්ගලයන් ඔවුන් විසින්ම සුව අතට හරවනු ලබයි.

    ලොව පුරා විද්‍යාඥයින් එන්නතක් නිපදවීම සඳහා වෙහෙසෙන නමුත්, පළමුව එය අත්හදා බැලීමේ පරීක්ෂණ කළ යුතුය. එබැවින් එන්නතක් සූදානම් කිරීමට පෙර යම් කාලයක් ගතවනු ඇත.

    මෙම වසංගතය අතරතුර මගේ මානසික සෞඛ්‍යය රැකබලා ගන්නේ කෙසේද?

    People can feel isolated and anxious during the pandemic (stock photo)

    අප ගෙවමින් සිටින්නේ අපහසු කාලපරිච්ඡේදයක් බවට සැක නැත.

    ඒ නිසා ඔබට බොහෝ විට කනස්සල්ල, ආතතිය, දුක, කම්මැලිකම, තනිකම සහ කලකිරීමක් දැනීමට ඉඩ ඇත.

    මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය.

    • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
    • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
    • දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
    • තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
    • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
    • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
    • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
    • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
    • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
    • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
    • අන් අයට පිහිට වන්න.

    කාලීන අවශ්‍යතාව සලකා බී.බී.සී. සන්දේශය වෙතින් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක

  • ‘LANKAQR’ අද සිට රට පුරාම

    ‘LANKAQR’ අද සිට රට පුරාම

    ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍ර ලාභී මුල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මුල්‍ය අන්තර්ගත භාවය අවම කිරීම අරමුණු කොටගෙන LANKAQR හඳුන්වාදීමට කටයුතු කරන ලදි. පාරිභෝගිකයින්ට LANKAQR කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මුල්‍ය ආයතන වල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර ව්‍යාපාර වලට සහ සේවා සපයන ආයතන වලට ගෙවීම් කිරීමේ පහසුව සලසා දී ඇත.

    වෙ‍ෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් “රටපුරාම LANKAQR“  ජාතික සමාරම්භක අවස්ථාව 2020 ඔක්තෝම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී. 

    මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු ද මෙම සමාරම්භක උළෙලට සහභාගී විය. 

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ද සහභාගී විය. 

    රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, බැංකු, ගෙවීම් සැපයුම් සේවා, වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍ර ලාභී මුල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මුල්‍ය අන්තර්ගත භාවය අවම කිරීම අරමුණු කොටගෙන LANKAQR හඳුන්වාදීමට කටයුතු කරන ලදි. පාරිභෝගිකයින්ට LANKAQR කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මුල්‍ය ආයතන වල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර ව්‍යාපාර වලට සහ සේවා සපයන ආයතන වලට ගෙවීම් කිරීමේ පහසුව සලසා දී ඇත.

    මෙය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වේ. LANKAQR මුද්‍රිත ලේබලය LANKAQR සාමාජික ආයතන විසින් ව්‍යාපාරිකයන් වෙත තම ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට නොමිලේ ලබා දෙනු ලැබේ.  ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළම වෙළඳ වට්ටම් අනුපාතය (වෙළෙඳුන් විසින් LANKAQR කේතය නිකුත් කරන බැංකුවට ගෙවන මුදල) 2020 වර්ෂය තුල  0.5% ලෙස නියම කොට ඇත. 

    LANKAQR භාවිතා කොට ගනුදෙනු කරන පාරිභෝගිකයින් වෙතින් කිසිඳු අයකිරීමක් නොකරනු ඇති අතර මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා කරනු ලබන සියළු ගෙවීම් සඳහා ද නොමිලේ පහසුකම් සලසනු ලැබේ.  මෙම ක්‍රමවේදය තුළින් ආර්ථිකයට අත්වන ප්‍රයෝජන සලකා බලා 2020 වර්ෂය අවසාන වන විට ව්‍යාපාර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් LANKAQR ගෙවීමේ පහසුකම බැංකු ආයතනවිසින් ලබා දීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. සිරිවර්ධන මහතා රැස්ව සිටි පිරිස පිළිගත් අතර, මෙම කර්තව්‍ය මුල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීමට සහ වාණිජ්‍ය කටයුතු ශක්තිමත් කිරීමටත් ඒ තුළින් ආර්ථිකය සෞභාග්‍ය කරා ගෙනයාමටත් ඉවහල් වන බව සඳහන් කළේය.  

    ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතා, පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට LANKAQR භාවිතා කිරීමෙන් අත්වන විශේෂ ප්‍රයෝජන පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවේ LANKAQR පදනම් කරගත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වු මෙම කර්තව්‍යය කිසිඳු විදේශ සහායක් නොමැතිව සාමුහික ක්‍රිියාකාරීත්වය තුළින් උදාකරගත් ප්‍රතිඵලයක් බවත් එය රටට විශාල ඉතිරියක් බවත් සඳහන් කළේය.  

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ  සහ රාජ්‍ය  ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා රටක් වශයෙන් නව තාක්ෂණයන් භාවිතයට නැඹුරු වීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, 2000 වසරේ සිට ආරක්ෂිත සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීමට මහ බැංකුව දරන උත්සාහය ඉදිරියට ගෙන යමින් රටෙහි වාණිජ කටයුතු ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයට සුභ පැතුම් එක් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී.  ලක්ෂ්මන් මහතා, මුදල් කළමනාකරණ පිරිවැය අඩු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ඉහල නැංවීම  ඇතුළු ආර්ථිකයට ඩිජිටල් ගෙවීම්වලින් අත්වන ප්‍රතිලාභ පෙන්වා දුන්නේය. LANKAQR මුලාරම්භයට ශක්තිමත්ව හා උද්යෝගයෙන් සම්බන්ධ වී එය මහජනයා අතර ප්‍රවර්ධනය කිරීමට මූල්‍ය ආයතන දරන උත්සාහය අධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් විය.

    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වු, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, LANKAQR හඳුන්වාදීම පිළිබඳව  මහ බැංකුවට සහ මූල්‍ය ආයතනවලට සුභ පැතූ අතර සාමාන්‍ය ජනතාවට ඉතා අඩු වියදමකින් ඩිජිටල් ගෙවීම්වල ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වන පරිදි LANKAQR භාවිතයට ගැනීමට සියලු ව්‍යාපාර හා රාජ්‍ය සේවාවන් දිරිමත් කළේය. තවද, රු. 100ට අඩු ගනුදෙනු සඳහා කිසිඳු අය කිරීමක් නොකරන ලෙස මුල්‍ය ආයතන වලින් අමාත්‍යවාරයා ඉල්ලීමක් කළේය. එසේම, මාධ්‍ය ආයතන සහ අනෙකුත් ව්‍යාපාර වල සම්පුර්ණ සහය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දෙන ලෙසද එතුමා ඉල්ලීමක් කළේය.  උත්සවය අතරතුර වෙළෙඳ අමාත්‍යවරයා නිල වශයෙන් LANKAQR ලාංඡනය දියත් කළ අතර LANKAQR සක්‍රීය ගෙවීම් යෙදුමක් භාවිතා කරමින් “ඉටුකම“ COVID අරමුදල සඳහා මූල්‍ය ආධාරයක්  සිදු කළේය.

     “රටපුරාම LANKAQR“ මුලාරම්භය සනිටුහන් කරමින් සියළු  LANKAQR සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා සැපයුම් කරුවන්, නව ව්‍යාපාරිකයන් LANKAQR භාවිතයට සම්බන්ඳ කර ගැනීම සඳහා 2020 ඔක්තෝම්බර් 10 දින තම රටපුරාම LANKAQR වැඩසටහන දියත් කිරීමට කටයුතු සැලසුම්කර ඇත. මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවට සහභාගී වී LANKAQR භාවිතය ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලා සිටී.  

    LANKAQR අනුකූල QR කේත මේ වන විට ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හැටන් නැෂනල් බැංකුව,  නේෂන්ස් ට්‍රස්ට් බැංකුව , එන්.ඩී.බී. බැංකුව, මහජන බැංකුව, පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම,  සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව, එල්.බී. ෆිනෑන්ස් සමාගම, එල්.ඕ.එල්.සී.   ෆිනෑන්ස් සමාගම , ඩයලොග් ආසියාටා සමාගම  සහ මොබිටෙල් (පුද්) සමාගම මගින් නිකුත් කර ඇත. LANKAQR සක්‍රීය යෙදුම් වන්නේ BOC SmartPay, DirectPay, Onepay, OrelPay, ComBank Q +, Flash, DFCC Pay, FriMi, NDB NEOS, WePay, UPay, CIM, iPay, Dialog eZ Cash සහ Mobitel mCash. 

  • ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

    ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න ලෙස ජනාධිපති මධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    අද (05) දින පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.

    හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • කොරෝනා මර්දන නීති රීති ගැසට් කිරීමට අවධානය

    කොරෝනා මර්දන නීති රීති ගැසට් කිරීමට අවධානය

    හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

    අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

    කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය  වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර තිබිණ. එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

    පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇති බව ජනාධිපතිතුමා කීය. මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීම පිළිබඳව පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය සිහිපත් කළ ජනාධිපතිතුමා නැවත එම වැඩපිළිවෙළ ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම අවධාරණය කළේය.

    රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර යාම වැළැක්වීමට දැනටමත් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂාවට යොමු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බව පොලිසිය සඳහන් කළේය. පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ප්‍රතිශක්තීකරණය වර්ධනයට සහ රෝගය වැළඳුණු පිරිස ඉක්මනින් සුවපත් කිරීමට දේශීය ඖෂධවලට ඇති හැකියාව සාකච්ඡාවට ලක් විය.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ කොවිඩි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.