Tag: featured
-

නව අග්රාමාත්ය ලේකම්, අමාත්ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අග්රාමාත්ය ලේකම්, අමාත්ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ.01. ජී.පී සපුතන්ත්රී මහතා – අග්රාමාත්ය ලේකම්02. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්රනාන්දු මහතා – අමාත්ය මණ්ඩල ලේකම්03. ජ්යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය04. කේ. එම්. එම් සිරිවර්ධන මහතා – මුදල් ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය05. ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය – කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය06. ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය07. බී. කේ ප්රභාත් චන්ද්රකීර්ති මහතා – වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය08. එච්. එස්.එස් තුයියකොන්තා මහතා – ආරක්ෂක අමාත්යාංශය09. ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශය10. යූ. ජී රංජිත් ආරියරත්න මහතා – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්යාංශය11. මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා – බලශක්ති අමාත්යාංශය12. එස්. ආලෝක බණ්ඩාර මහතා – රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය13. එස්. එම් පියතිස්ස මහතා – කම්කරු අමාත්යාංශය14. ඒ. විමලේන්තිරරාජා මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යාංශය15. ඩී. පී වික්රමසිංහ මහතා – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්යාංශය16. කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා – අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය17. ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා – තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය18. අරුණි රණරාජා මහත්මිය – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය -

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි
සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර
IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය.
තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් තහවුරු කරනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළහ.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.
ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.
මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කෙරිණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. -

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතුයි – අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි
- ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා
- මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ
- ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි
- මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා
- අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත වන වගකීමේ බරද ඒ හා සමානයි
- ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු !
- අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත පවරා ඇති වගකීමේ බර ඒ හා සමාන බවද ඒ වෙනුවෙන් අපි එකට වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාතික ජනබලවේගය රජයේ අභිනව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (18) පෙරවරුවේ පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
අපි කවුරුත් දන්නවා ලංකාවේ දේශපාලනයේ ඉතාමත් තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වනදා සිදු වුණා. දීර්ඝ කාලයක් අප රට ගමන් කරමින් තිබු මාවත තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා තීන්දුවක් ගනු ලැබුවා. ඉන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සැප්තැම්බර් 21 වනදා ගනු ලැබූ තීන්දුව තවත් ශක්තිමත් කරමින් අප කෙරෙහි මේ රටේ පොදු ජනතාව විශ්වාස තබා තිබෙනවා.මෙම නව පරිවර්තනය සඳහා අපේ රටේ ජනතාව උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සහභාගී වූ බව අපි කවුරුත් දන්නවා. ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම නිරන්තරයෙන් වෙලී තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයත් ලෙසයි. එසේ නැත්නම් එක් එක් ජන කණ්ඩායම් අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරන දේශපාලනයක්. නමුත් මෙම මැතිවරණයෙන් මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වලංගු නොවන බවයි.
උතුරෙත්, දකුණෙත් නැගෙනහිරත්, බටහිරත් පොදු ජනතාවගේ අභිලාශයන් එකම කේන්ද්‍රයකට ගොනු කර ගැනීම සඳහා මෙවර මහ මැතිවරණය සමත්වී තිබෙනවා.
ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ ඒ සියලු ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපට ඡන්දය ලබා නොදුන්නත්, වෙනත් දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ලබා දුන්නත් අප අපේක්ෂා කරන මේ කාර්යයන් සහ අරමුණු ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැකයි. ලංකාවේ කිසිදු පුරවැසියෙකු බේදීමේ දේශපාලනය විශ්වාස කරනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ කිසිදු දේශපාලනඥයෙක් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම විශ්වාසය කරයි කියා මම සිතන්නේ නැහැ. මේ ආදි යහපත් දේ සෑම පුරවැසියෙකු තුළම ගැබ් වී තිබෙනවා. ඒ නිසා අපට ඡන්දය දුන් අය ඒ යහපත් දේ ඡන්දය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඡන්දය නොදුන් ජනතාව තුළත් අප මේ අපේක්ෂා කරන අරමුණ තිබෙන බව අප දැඩි ලෙස විශ්වාස කරනවා.
ඒ නිසා මේ මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් මේ රටේ නැහැ. ජාතික ජන බලවේගය විසින් මේ රටේ අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේ දී මේ සියලු ජනතාවගේ සහායත් විශ්වාසයත් අපට අවශ්‍යයි. ඒ නිසා අප ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීව ස්ථාපිත කරන්නේ කොහොමද, අනෙකාගේ දේශපාලන අයිතියට ගෞරව කරන්නේ කොහොමද කියන එක අප මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව පෙන්වනු ලැබුවා.
මම හිතනවා එය මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක්. නමුත් අප විශ්වාස කරනවා එම අත්දැකීම අපේ රටේ සෑම පුරවැසියෙක්ම අපේක්ෂා කළ අත්දැකීමක් කියලා. ඒ වගේම මහ මැතිවරණයෙන් පසුවත්, මැතිවරණ කාල පරිච්ඡේදය තුළත් ලංකා ඉතිහාසයේ සිදු වූ සාමකාමීම මැතිවරණය පැවැත්වීමට අපේ පාලනය අවස්ථාව ලබා දුන්නා. එය ඔවුන්ගේ අයිතියක්. ඒ වගේම මේ මැතිවරණය ඓතිහාසික මැතිවරණයක්, මෙම මැතිවරණයේ සුවිශේෂීතා ගණනාවක් තිබෙනවා. ප්‍රමාණාත්මකව ගතහොත් ලංකා ඉතිහාසයේ මහ මැතිවරණයකදී ලබා ගන්නා ලද වැඩිම ජයග්‍රහණය, දේශපාලන ව්‍යපාරයක් ලෙස ගතහොත් මැතිවරණ ඉතිහාසයේ ආණ්ඩුවක් ලබාගත් පළමු ජයග්‍රහණය, අනිත් පැත්තෙන් ගතහොත් ජනතාවට සතුටු විය හැකි ජයග්‍රහණයක්. එවැනි ජයග්‍රහණයක් අප සහ අපේ පුරවැසියන්ට හිමි වූයේ කෙසේද, එම වෙනස්කම් අපේ රටට අවශ්‍යයි.
අප දැක තිබෙනවා අපේ රටට විවිධ ආකාරයේ ජයග්‍රහණය ලැබුණු සෑම විටම අපේ පොදු ස්වභාවය බවට පත්ව තිබුණේ පරාජිතයාට, එසේ නැත්නම් අනෙක් පාර්ශ්වයට හිත රිදවන, පීඩාවට පත් කරන ඉතිහාසයක්. නමුත් අප මෙම මැතිවරණයෙන් පසුව ස්ථීර ලෙසම අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුව අප එහි අඛණ්ඩතාව ආරක්ෂා කර තිබෙනවා.
සිදුවීම් සිදු විය හැකියි. එක් අවස්ථාවක සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකියි. තවත් අවස්ථාවක ගැටුම්කාරී අවස්ථා පැවතිය හැකියි. නමුත් ඒවා ස්ථාවර වන්නේ නැවත නැවත ඒවා සිදුවීමෙන් පමණයි. ඒ නිසා මෙම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අප විවෘත කරන දොරකවුළු, පුරවැසියන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ආරක්ෂා කර ගැනීම සඳහා වන අපේ බැඳීම ඒවා හුදු සිදුවීම් බවට පත්වෙනවා අවස්ථාවක්, දෙකකට පමණක් සිමාව වුවහොත්. නමුත් සෑම විටම එහි අඛණ්ඩතාව අප ආරක්ෂා කර ගතහොත් ඒවා හුදු සිදුවීම් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියාගේ අයිතින් අඛණ්ඩව ආරක්ෂා කරමින්, තව
තවත් ගුණාත්මක තලයකට ගෙන ඒම අප වෙත පැවරී ඇති වගකීම වෙනවා. එය ආණ්ඩුවේ වැදගත් වගකීමක් කියා මා කල්පනා කරනවා.
විශේෂයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල උද්යෝගයක්, ධෛර්යයක් අප වෙත ලබා දෙනු ලැබුවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස මැතිවරණයක් පිළිබඳ උනන්දුවක් දැක්වූ එක් අවස්ථාවක් මීට පෙර මැතිවරණ ඉතිහාසයේ තිබෙනවා. මම හිතනවා එම අවස්ථාවද අභිබවා යන ආකාරයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීමක්, දායකත්වයක් සහ ක්‍රියාකාරිත්වයක් මෙම මැතිවරණයේ දී ලබා දුන්නා.
ඔවුන් ලංකාවෙන් පිටත සිටියත් මෙම මැතිවරණයේ ප්‍රතිඵල ඔවුන් ඉතාමත් සතුටින්, උද්යෝගයෙන් යුතුව සැමරූ බව අප දන්නවා. අප ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
අපි දන්නවා සාමාන්‍යයෙන් මැතිවරණයකදී දේශපාලනයේ තිබෙන වැදගත්ම කොටස වන්නේ අපි දරණ මතය සහ අප දරණ අදහස් සමාජය වෙත ගෙන යාමයි. එම සමාජය වෙත ගෙන යාමේදී අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස යම් කාර්යයක් සිදු කළා වගේම ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුළ එම වගකීම කරට ගත් නව පරම්පරාවක් සිටියා. එම තරුණ පරපුරේ විශේෂ අපේක්ෂාවන් අප තේරුම්ගත යුතුයි. හුදු ඔට්ටුවක්, තරගයක්, ජයග්‍රාහකයා පරාජිතයා බෙදා ගැනීම සඳහා පොරයක් නොවෙයි සමාජ මාධ්‍ය තුළ පෙන්නුම් කළේ. ඒ තුළ පෙන්නුම් කළේ අලුත් තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සහ අරමුණුයි. ඒ නිසා අපි එයට බැඳි සිටිය යුතුයි. එය වැදගත් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාට අප මෙම අවස්ථාවේ දී ස්තූතිවන්ත වෙනවා.
නමුත් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. විශාල බලාපොරොත්තුවක් සහිතව මෙම ජනතාවගේ නැගී සිටීමේ රහස කුමක්ද, දීර්ඝ කාලයක් අපේ රටේ පුරවැසියන් විවිධාකාරයේ පීඩාවන්ට මුහුණ දෙමින් සිටියා. නීතිය ඉදිරියේ අපේ රටේ පුරවැසියන් අසරණභාවයට, පීඩාවට පත්වූ අවස්ථා සුලබ දසුනක්. ඒ වගේම ආර්ථිකයේදී නොසළකා හරින ලද ජන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ආර්ථිකය තුළ මිනිස් දූවිලි බවට පත්ව තිබෙනවා. නිසි පරිදි ආහාර වේලක් නැති, නිසි පරිදි නිවසක් නැති, නිසි පරිදි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථාවක් නොමැති ආර්ථික පීඩාවට ලක් වු ජන කණ්ඩායම් සිටිනවා.
ඒ වගේම තමන් නියැළෙන වෘත්තිය තුළ තමන්ගේ දැනුම සහ හැකියාව නිදහසේ යෙදවිය හැකිද? ඒ නිසා වෘත්තීවේදීන් තම වෘත්තිමය ක්ෂේත්‍රයේ තමන්ගේ කාර්යභාරයන් ඉටු කර ගැනීමේ දී මුහුණ දුන් පීඩාවන් ගැබ්වී තිබෙනවා. ඒ වගේම තමන් කතා කරන භාෂාව අනුව, තමන් අදහන ආගම අනුව සංස්කෘතීන් අනුව කොන් වූ පීඩාවට පත්වූ ජන කණ්ඩායමක් සිටියා. ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරනවා ශ්‍රී ලංකාව තුළ ඔවුන් හුදකලාවට ලක් වූ අය. ශ්‍රී ලංකාව තුළ ඔවුන් කොන් වූ අය, ශ්‍රී ලංකාව තුළ සම අයිතින් නියෝජනය කරනවා වෙනුවට කප්පාදු කරන ලද අයිතින් උරුම ජන කණ්ඩායමක් බව ඔවුන් කල්පනා කරනවා. ඒ නිසා එවැනි පීඩාවක් තිබුණා.
සෑම ක්ෂේත්‍රයකම ජන කණ්ඩායම් බැලුවොත් ඔවුන්ටම ආවේණික, ඔවුන්ටම අනන්‍ය වු පීඩාවන් රැසකට අපේ පොදු ජනතාව මුහුණ දුන්නා. මම දන්නවා නීතිය ඉටු කිරීම සඳහා උත්සාහ කරන රාජ්‍ය නිලධාරීන් මේ පීඩාවේ ගොදුර බවට පත්ව සිටියා. එයයි සත්‍ය තත්ත්වය. ඒ නිසා මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණා මේ නිදහස. මේ විවිධාකාරයෙන් එල්ල වූ තිබු පීඩාවන්ගෙන් මිදීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබුණා. ඒ නිදහසේ අවශ්‍යතාව ආමන්ත්‍රණය වන්නේ මේ ඡන්ද ප්‍රතිඵලයෙන්. එසේ නම් අපට කිසිදු අයිතියක් නැහැ එම පුරවැසියන්ට කප්පාදු කිරීමේ නිදහසක් ලබා දීමට. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස අප තහවුරු කළ යුතුයි.
වෘත්තීයවේදීන් ලෙස තමන්ගේ දැනුම අනුව තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අප ලබාදෙන නිදහස, නීතිය සහ සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ලබා දෙන නිදහස, ආර්ථිකයේ සාධාරණ පංගුවකට උරුමකම් කීම සඳහා අප දෙන නිදහස, තමන්ගේ ආගම, භාෂාව සංස්කෘතීන් අනුව පුරවැසියන්ට නිදහසේ ජීවත්වීම සඳහා තිබෙන අයිතිය මේ ආදී සියල්ල අප යළි තහවුරු කළ යුතුයි. ඒ නිසයි අප කියන්නේ පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන යා යුතුයි කියලා.
මේ රටේ ජනතාවට මීට වඩා නිදහස් වාතාවරණයක් අප නිර්මාණය කළ යුතුයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමේ දී පොදු ජනයාගේ විශාල මැදිහත්වීමක් තිබු බව අප දන්නවා. අපේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සම්බන්ධ නොවු, අප මුණ නොගැසුණු, අපත් සමග කථා බහ නොකළ නම්, ගම, තැන් නොදන්න විශාල පිරිසක් අප වෙනුවෙන් වැඩ කළා. ඔවුන් බස් රියේදී, දුම්රියේදී, වැඩපළේදී, උත්සව අවස්ථාවකදී මේ සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම මතක තබා ගත යුතුයි අප මෙම ජයග්‍රහණය සඳහා දීර්ඝ කාලයක් පොර බැදුවා. දශක ගණනාවක් පොර බැදුවා.
මා දන්නවා මෙහි සිටින බොහෝ පිරිසක් තමාගේ තරුණ කාලයේ සිට මෙම සිහිනය සඳහා පොර බැදුවා. මෙම පොර බැදීමේදී තමන්ගේ කාලය, ශ්‍රමය පමණක් නොවෙයි, තමන්ගේ ජිවිතය පවා මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප කළා. ඒ විතරක් නොවෙයි ආරම්භයේ ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට අපි මැදිහත්ව සිටියා. ඇතැම් අය අතරමැද දමා ගියා. එසේ වුවත් අපට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආරම්භයේදී, අතරමැදදි, ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපට සහාය ලබා දී තිබෙනවා. එයත් මෙම ජයග්‍රහණයට විශාල පිටිවහලක් වී තිබෙනවා.
ඒ නිසා අපට ආකාර දෙකක වගකීමක් තිබෙනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීම. බලය කියන්නේ ඉතා විශේෂ දෙයක් කියා අප විශ්වාස කරනවා. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා. හැබැයි ඉතිහාසයේ දැක තිබෙනවා, ඒ වගේම ඇතැම් අය ප්‍රකාශ කරනවා බලය දූෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි කියලා. ඇත්ත. බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඒ බව ඔප්පු කර තිබෙනවා. අපේ රටේ අවස්ථාවන් කිහිපයක් මෙවැනි බලයන් නිර්මාණය වී තිබුණා. හැබැයි එම බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. ඒ බලයන් හැමවිටම රටට, ජනතාවට අහිතකර ලෙස යෙදවුවා. ඇතැම් අය සිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. එම අසීමිත බලය අප කොතනට තල්ලු කරයිද කියන සැකය සමාජය නිර්මාණය වී තිබුණා.
කුඩා හෝ සැකයක් තියෙන හැම දෙනාටම මම කියන්නේ අපිට බලය තියෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායිම් සහ මේ බලය විසින් අපිට සෙල්ලම් කරන්න අපිට මේ බලය විසින් අපට හසුරවන්න ලබාදී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා. අපි හැම දෙනාම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි ඒ බලයේ සීමා මායිම් අපට තිබෙනවා. ඒ වගේම ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දෙන ලද යහපත් අරමුණු, අපේක්ෂා ඉටු කිරීම ඒ බලයට පැවැරී තිබෙනවා.
ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද? එක් පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. ඒ නිසා මම හිතනවා අනපනත්වලින් ව්‍යවස්ථාවලින් භාවිතාවෙන් කුමන ආකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් මේ බලය අප හැසිරවීමේදී අපි වගවීමට ලක්විය යුතුයි. එක පැත්තකින් පුරවැසියන්ට අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබ වන්න බැරි වෙන්නේ. අපට වගවීමක් තියනවා .බැඳීමක් තිබෙනවා .ඒ නිසා මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල වගකීමක් තියෙනවා කියලා.ඔබ හැමදෙනාම තේරුම් ගන්න. මම අළුතින් කියන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ සීමා මායිම් තිබෙනවා. ඔබට වගවීමක් තියෙනවා. ඔබට බැඳීමක් තිබෙනවා. එය ආරක්ෂා කරයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් තවත් සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.මෙතන කැබිනට් මණ්ඩලයට විතරක් නොවෙයි බොහෝ දෙනා පාර්ලිමේන්තුවටත් අලුත්. හැබැයි අපි දීර්ඝ කාලයක් අපි විවිධ අරමුණු වෙනුවෙන් විවිධ තලවල වැඩකළා. ඔබ වෘත්තිය වේගයෙන් හැටියට වැඩ කර තිබෙනවා. දේශපාලන ක්‍රියාධරයන් විදියට වැඩ කර තිබෙනවා. ඒනිසා ඔබ හැම දෙනාම කැබිනට් එකට අලුත්, පාර්ලිමේන්තුවට අළුත්, හැබැයි දේශපාලන අලුත් නැහැ. වැඩ කරන්න අලුත් නැහැ.
එනිසා අපි හිතනවා ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක් මේ කැබිනට් මණ්ඩලයට අරන් දෙන්න පුළුවන් කියලා. ඒ වගේම රට අපේක්ෂා කරන ජයග්‍රහණයන් වල නියමුකාර්ය මේ තෝරාපත් කර ගනු ලැබූ කැබිනට් මණ්ඩලයට, ඔබට පුළුවන් බව මා විශ්වාස කරනවා. අපි ඉතා හොඳින් මෙහෙයවා වැඩ කටයුතු කළොත්, ඒ හැකියාව ඔබට තිබෙනවා, ඒ උවමනාව ඔබට තිබෙනවා, අපි පෞද්ගලිකව දන්නවා ඔබ අදූෂිතයි, ඔබ අවංකයි, ඔබට මේ කාර්යභාරය ඉටු කර ගැනීමට ධෛර්යයක් තිබෙනවා.
එනිසා ඔබ මේ කාර්යය අවංකව කරයි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඒ විශ්වාසයෙන් යුතුව තමයි අප කටයුතු කරන්නේ. ඒ වගේම දේශපාලනේ දී ගත්තොත් අපට එක වෙලාවකදී තිබුණේ දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාපාරය ගොඩ නගන්න ව්‍යාපාර ආමන්ත්‍රණය කරන්නයි. අපට යහපත් අරමුණු සමුදායක් තිබුණා. එම අරමුණු සමුදාය සාර්ථක කර ගැනීම සඳහා බලය අත්පත් කර ගැනීම සඳහා අප වැඩ කළා. එතකොට අපේ වැඩ රටාව.අපේ සටන් පාඨ, අපේ ක්‍රියාකාරකම්, ඒ ඔක්කොම තියෙන්නේ බලය අත්පත් කර ගැනීමේ සඳහා පොර බදන තලයේයි. අපි පොර බදලා, පොර බදලා, පොර බදලා මේ අවශ්‍යතාවය මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගන්වලා තිබෙනවා. ඒක තමයි ප්‍රතිඵලය. දේශපාලනය ජයග්‍රහණය කරලා තිබෙනවා. තවදුරටත් අපි මනින්නේ දේශපාලන සටන් පාඨයෙන් පමණක් නොවේ.
සැප්තැම්බර් 21 ට පෙර , නොවැම්බර් 14ට පෙර අපව මණිනු ලැබුවේ අපේ සටන් පාඨ අපේ මතවාදයන්ගේ තිබෙන මතවාද මතයි. හැබැයි නොවැම්බර් මාසයේ 14 වෙනිදායින් පසුව එය සිදු වන්නේ ආණ්ඩුකරණයේදී අප යහපත්ද නැද්ද කියන සාධකයෙන්. මීට පෙර අප මණිනු ලැබුවේ අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය හොඳද නරකද කියන එක. මෙතන සිට අපි මණින්නේ අපේ ආණ්ඩුකරණය යහපත්ද අයහපත්ද කියන සාධකයෙන්.ඒ නිසා අපි දීර්ඝ කාලයක් දරණ ලද වෙහෙස , ජනතාවගේ අපේක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන අරමුණු මේ සියල්ල සාර්ථක කර ගැනීමේදී අපේ ඉලක්ක සඳහා මෙහෙයවීම සඳහා යහපත් ආණ්ඩුකරණය අවශ්‍යයි. තව දුරටත් අපව මැණෙන්නේ සටන් පාඨ, මතවාදවල නෙවෙයි. අපි අද සිට මැණෙන්නේ අපේ සටන් පාඨවලට කොතරම් පණ පොවන්න සමත් පාලනයක්ද ලෙසයි.
ඒ නිසා ජයග්‍රහණය විශාල වගේම මේ ජයග්‍රහණය විසින් අප වෙත පවරා තිබෙන වගකීම ඒ හා සමාන ලෙසම බරයි. සමහර අවස්ථාවල කිව්වා අපි ජයග්‍රහණය සඳහා පොර බදමු, ජයග්‍රහණයෙන් පසුව ඊට අදාළ ශක්‍යතාව , හැකියාව තිබෙන කණ්ඩායම් ඉදිරි පියවර ගෙන යයි කියලා. හැබැයි හොඳට හෝ නරකට ජයග්‍රහණය සඳහා පොර බඳන්නත් අපට සිදු වුණා. ජයග්‍රහණයෙන් පසුව ඒ කාර්යය සාර්ථක කර ගැනීමේ නියමුවරුන් බවට අප පත් වී තිබෙනවා.
ඒ නිසා ඔබ මත තමයි මේ සියල්ල තිබෙන්නේ. ඔබ තමයි කේන්ද්‍රය. ඔබ මොන තරම් ඔබගේ ක්ෂේත්‍ර ප්‍රතිඵලදායක ලෙස මෙහෙයවීමට, ඔබට පවරා තිබෙන වගකීම ඉටු කිරීමට සමත් ද? ඔබ මොන තරම් ඔබගේ පුද්ගලික චර්යාවන් බැඳීම්, ඉටු කරන්න සමත්ද? මේ මත තමයි අපේ ඊළඟ සමත් අසමත්භාවය තීරණය කරන්නේ.
සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 අපි අදියර දෙකකින් සමත් වීමක් තිබෙනවා. ඊළඟට අපි සමත් වෙනවද නැද්ද කියා තීරණය කිරීමේදී ඔබගේ පංගුව විශාලයි. ඒ අපට මෙය සාර්ථකත්වයෙන් කෙළවර කළ හැකි වෙන්නේ ඔබ යහපත් ආණ්ඩුකරණය සඳහා දක්වන වගවීම සහ බැඳීමෙන් තමයි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එක්ව හඬ නඟමු.
-

ළමුන් අතර උණ, වෛරස් ආසාදන, ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
ළමුන් අතර උණ, වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
වෛද්‍ය පෙරේරා පැහැදිළි කළේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත කැක්කුම සහ ඉඳහිට වමනය ඇතුළු වෛරස් උණ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පීඩාවට පත් ළමුන් තුළ දක්නට ලැබෙන බවයි.
විශේෂයෙන් උණ දින තුනකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, තම දරුවන්ගේ රෝග ලක්ෂණ සමීපව නිරීක්ෂණය කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔහු දෙමාපියන්ට උපදෙස් දුන්නේ ය.
මේ අතර පාසල් සිසුන් අතර අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot and Mouth Disease – HFMD) වැඩිවීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
දරුවන්ගේ අත්ල සහ යටිපතුල්වල කුඩා, ඕවලාකාර, සුදු පැහැති බිබිලි ඇතිවීම වැනි රෝග ලක්ෂණ මෙන්ම මුඛයේ දුඹුරු පැහැති හෝ රතු පැහැති සමක් තිබේ නම් හෝ ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වෛද්‍ය දීපාල් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝග ලක්ෂණ සමහරක් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සමඟ අතිච්ඡාදනය වන අතර, උණ දිගටම පැවතුනහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා රුධිර පරීක්‍ෂා කිරීමට ද ඔහු නිර්දේශ කළේය. වෛද්‍ය දීපාල් පෙරේරා අනතුරු ඇඟවූයේ තම දරුවන්ට ඩෙංගු ආසාදනය වී ඇතැයි සැක කරන්නේ නම් වහාම පිළිගත් වෛද්‍යවරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රධාන පියවරක් ලෙස අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
-

ලබන 22 දා තුන්වන වාර පාසල් නිවාඩුව සිකුරාදා ආරම්භ වෙයි
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියරේ පළමු නිවාඩුව නොවැම්බර් 22 සිකුරාදා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙදින සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර ආරම්භ වන්නේ 2025 ජනවාරි 02 වැනිදාය.
-

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි
සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් කිහිප දෙනෙකු සිය දෙමාපියන් සමඟ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
-

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි
යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින තරගමාලා ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.
ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 46 වැනි පන්දුවායේ අවසන් පන්දුවේදී ජය වාර්තා කරගන්නා විට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය නිමා වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා සිටිද්දී තරගය අවසන් කිරීමට ඔහුට අනගි සහායක් ලබා දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27 ක් රැස් කරගෙන සිටියේය. මොවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 47 ක් විය.
මේ වසර පුරාවටම ලකුණු අතර සිටින පිතිකරුවා බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් පළමු තරගයේ ලද ශතකයට අමතරව අද දිනයේ රැස් කර ගන්නා ලද ලකුණු 74 ත් සමඟ 2024 වසරේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටින්නේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භය අසාර්ථක වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම දැවී යෑම හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල බිද වැටෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65 ක් වශයෙනි. අනතුරුව සිය ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් පළමුව සදීර සමරවික්‍රම සමග ලකුණු 28 ක්ද අනතුරුව ජනිත් ලියනගේ සමග ලකුණු 39 ක්ද එක් කරමින් ජයග්‍රහණයට අදාළ අඩිතාලම එක් කිරීමට සමත්වූහ. මෙම තරගයේදී කුසල් පන්දුවට පහර දුන්නේ ආබාධයක් සහිතව වුවත්, කණ්ඩායමේ ජයග්‍රහණය ගැන සිතා ඔහු වේදනාව අමතක කර දමමින් පන්දුවට පහර දීම කැපී පෙනුණි.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 111 ක් පමණක් වුවත් අනතුරුව යවන ලද පන්දුවාර 6 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 62 ක් උදුරා ගැනීමට සමත්වූහ. මෙහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් මාක් චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනාා ගොඩනංවන ලද ලකුණු 75 සම්බන්ධතාව ඇතුළතම එම ලකුණු සංඛ්‍යාව වාර්තාවීම කැපී පෙනිණ.
එහෙත් 5 වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමත් සමඟ නවසීලන්ත ඉනිමට කණ කොකා හැඬවීය. ඒ ඉතිරි කඩුලු 6 ම ලකුණු 36 ක් ැතුළත බිඳ වැටීම හේතුවෙනි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 3 බැගින් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ දැමූහ.
නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව වූ ලකුණු 75 විය. ලකුණු 93 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්වූ මෙම පිතිකරුවන් ඒ සඳහා පන්දු 78 ක් වැය කර තිබුණහ. වැඩිම ලකුණු ලාභියා වූ චැප්මන්ගේ ලකුණු 76 පන්දු 81 කින් සමන්විත විය. ඒ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් වීමෙනි. කඩුලු රකින්නා වන මිචෙල් හේ අද දිනයේදී තම මංගල අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 49 ක් ලබා සිටියදීය.
අසීරු උඩපන්දු අවස්ථා 2 ක් ගිලිහී යෑම හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පන්දු රැකීම අද දිනයේ අති විශිෂ්ඨ මට්ටමේ පැවැතිණ. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දු තුනත් ලෝන් ඕන් සිට මිඩ් ඔෆ් දෙසට දිව විත් පැතුම් නිස්සංක රැක ගත් උඩ පන්දුව කලකට අමතක නොවන මට්ටමේ උඩ පන්දු වූහ. මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවන්ට සිදුවුණා පමණක් නොව තරගය එක් පිලකට පන්දුවාර 47 කට සීමා කරමින් පැවැත්වීමට ද සිදුවිය.
ලකුණු පුවරුව නවසීලන්තය ලකුණු පන්දු විල් යංග් ස්ට.කුසල් මෙන්ඩිස් ප.ජෙෆ්රි වැන්ඩර්සේ 26 40 ටොම් රොබින්සන් ප.දුනිත් වෙල්ලාලගේ 4 4 හෙන්රි නිකොල්ස් ප.මහීෂ් තීක්ෂණ 8 23 මාක් චැප්මන් ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.අසිත ප්‍රනාන්දු 76 81 ග්ලෙන් පිලිප්ස් ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.චරිත් අසලංක 15 22 මිචෙල් හේ ඇ.කුසල් මෙන්ඩිස් ප.මහීෂ් තීක්ෂණ 49 62 මයිකල් බ්‍රේස්වෙල් ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.අසිත ප්‍රනාන්දු 0 4 මිචෙල් සැන්ට්නර් ඇ.පැතුම් නිස්සංක ප.ජෙෆ්රි වැන්ඩර්සේ 6 15 නේතන් ස්මිත් කඩුල්ල මුවා කළා ප.ජෙෆ්රි වැන්ඩර්සේ 0 1 ඉෂ් සෝධි ස්ට. කුසල් මෙන්ඩිස් ප.මහීෂ් තීක්ෂණ 9 12 ජේකබ් ඩෆී නොදැවී 4 7 අතිරේක 12 එකතුව පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 209 කඩුලු වැටීම / 1-09 (රොබින්සන් 1.4), 2-31 (නිකොල්ස් 7.6), 3-69 (යංග් 16.5), 4-98 (පිලිප්ස් 23.1), 5-173 (චැප්මන් 36.1), 6-173 (බ්‍රේස්වෙල් 36.5), 7-185 (සැන්ට්නර් 40.1), 8-185 (ස්මිත් 40.2), 9-199 (සෝධි 43.2) පන්දු යැවීම අසිත ප්‍රනාන්දු 7-0-37-2 දුනිත් වෙල්ලාලගේ 8-0-46-1 මහීෂ් තීක්ෂණ 9.1-0-31-3 ජනිත් ලියනගේ 3-0-18-0 ජෙෆ්රි වැන්ඩර්සේ 10-0-46-3 චරිත් අසලංක 8-0-29-1 ශ්‍රී ලංකාව පැතුම් නිස්සංක ඇ.මාක් චැප්මන් ප.මයිකල් බ්‍රේස්වෙල් 28 33 අවිශ්ක ප්‍රනාන්දු ඇ.හෙන්රි නිකොල්ස් ප.මිචෙල් සැන්ට්නර් 5 9 කුසල් මෙන්ඩිස් නොදැවී 74 102 කමිදු මෙන්ඩිස් ඇ.මිචෙල් හේ ප.මයිකල් බ්‍රේස්වෙල් 0 3 චරිත් අසලංක ඇ.ඉෂ් සෝධි ප.මයිකල් බ්‍රේස්වෙල් 13 12 සදීර සමරවික්‍රම ඇ.මිචෙල් හේ ප.ග්ලෙන් පිලිප්ස් 8 17 ජනිත් ලියනගේ ඇ.මිචෙල් හේ ප.නේතන් ස්මිත් 22 39 දුනිත් වෙල්ලාලගේ ඇ.ඉෂ් සෝධි ප.මයිකල් බ්‍රේස්වෙල් 18 17 මහීෂ් තීක්ෂණ නොදැවී 27 44 අතිරේක 15 එකතුව පන්දුවාර 46 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 210 කඩුලු වැටීම / 1-23 (අවිශ්ක 4.3), 2-41 (නිස්සංක 9.5), 3-කමිදු 11.2), 4-65 (අසලංක 15.3), 5-93 (සදීර 21.2), 6-132 (ලියනගේ 36.1), 7-163 (වෙල්ලාලගේ 36.1) පන්දු යැවීම මිචෙල් සැන්ට්නර් 10-1-33-1 ජෙකොබ් ඩෆී 5-0-36-0 මයිකල් බ්‍රේස්වෙල් 10-0-36-4 ඉෂ් සෝධි 9-0-37-0 ග්ලෙන් පිලිප්ස් 9-0-41-1 නේතන් ස්මිත් 3-0-21-1 මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්
-

Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ
වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ අතර, පළමු අනුශූරිය ලෙස නයිජීරියාවේ නීති ශිෂ්‍යාවක වන චිඩිම්මා අඩෙස්ෂිනා ද, දෙවැනි අනුශූරිය ලෙස මෙක්සිකෝවේ මරියා ෆර්නැන්ඩා ද ජයග්‍රහණ අත්කරගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙවර තරගයේ අවසන් වටයට මෝල්ටාවේ 40 හැවිරිදි බියට්‍රිස් එන්ජොයා ද එක්වූ අතර, ඇය විශ්ව රූ රැජන තරග ඉතිහාසයේ අවසන් වටයට පිවිසි වයස්ගතම තරුණිය ලෙස වාර්තාපොතට එක්වූවාය.
-

උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ – විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා ආරම්භ කෙරෙන අතර එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වේ. විභාගය සඳහා සිසුන් 3,33185ක් ලියාපදිංචි වී ඇති අතර එයින් 253390ක් පාසල් අයදුම්කරුවන් වන අතර 79795ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙයි.
-

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි, නව අගමැතිනිය හරිනි අමරසූරිය
ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධ්පති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) දින පෙරවරුවේදී සිදුවිය. ජනාධිපතිවරයා මීට පෙර ද ප්‍රකාශ කර තිබූ ආකාරයට කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 22කට සීමාකර තිබූ අතර ජනාධිපති අනුර දිසානායක මහතා ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍ය තමා යටතේ තබා ගෙන ඇත.
නව රජයේ අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දුන්නාය. අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය මෙසේ ය.
- අනුර කුමාර දිසානායක – ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍ය
- ආචාර්ය හරිනි අමරසූරිය – අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
- විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
- මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
- නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
- සරෝජා පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
- කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
- අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
- රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
- ආචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
- සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
- ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
- බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය
- මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
- සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්‍ය
- සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
- වසන්ත සමරසිංහ – වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
- මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
- පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
- වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය
-

රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවේශයක්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාල වලින්
නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.
ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබේ.
ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික පමණක් නිකුත් කිරීම සිදු කරනු ඇත.
මෙම සහතික 1960.01.01 දිනට පසු ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකිය.
-

සුපිරි නළුවාගේ අභිරහස් මරණයෙන් දකුණු කොරියාව කැළඹෙයි !
දකුණු කොරියානු සුපිරි නළු සොන්ග් ජේ ලිම් ( Song Jae Lim) හදිසියේම මියගිය බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිය යන විට ඔහු 39 වැනි වියේ පසු වූ බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ.
K-drama The Moon Embracing the Sun චිත්‍රපටයේ රංගනයට දායක වීමෙන් ප්‍රසිද්ධියට පත් වූ ලිම්ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා සෝල් හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයා ගෙන තිබෙනවා. මෙම මහල් නිවාසයේ තිබී ලිම්ට අයත් සටහනක් සොයාගත් බව වාර්තා වන අතර, මරණය සැක සහිත බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද පොලිසිය පවසනවා.
ලිම්ගේ මරණය දකුණු කොරියාවේ විනෝදාස්වාද කර්මාන්තයේ සිටින අය මුහුණ දෙන දැවැන්ත පීඩනය පිළිබඳ කනස්සල්ල යළි අලුත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔහුගේ අභාවය පිළිබඳ පුවතෙන් පසු දකුණු කොරියානු තරු ඔහුට උපහාර දක්වා තිබෙනවා.
2016 දී Our Gap Soon කතා මාලාවේ ලිම් සමග කටයුතු කළ Yoo Sun ඔවුන් එකට සිටින ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පළ කරමින් මෙසේ පවසා තිබෙනවා, “එය ඉතා කණගාටුදායකයි, එය බොහෝ රිදෙනවා… ඔබට සාමය සහ විවේකය ලැබේවා”
තවත් නළුවෙකු වන Park Ho San ඉන්ස්ටග්‍රෑම් සටහනක මෙසේ පැවසීය: “ඔබ සැමවිටම සතුටු සිතින් සිටි නිසා මෙම පුවත විශ්වාස කිරීමට අපහසුය.”
Yonhap ප්‍රවෘත්ති වෙබ් අඩවියට අනුව, ලිම්ගේ පවුලේ අය පැවසුවේ පවුලේ සාමාජිකයින් පමණක් සම්බන්ධ කර කුඩා අවමංගල්‍යයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
දකුණු කොරියාවේ විනෝදාස්වාද කර්මාන්තය එහි අධි පීඩන පරිසරය සඳහා ප්‍රසිද්ධය. එහිදී ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ පෙනුම සහ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රමිතීන්ට යටත් වේ. Lee Sun-kyun, K-pop තරුවක් වන Moonbin, Goo Hara සහ Sulli ඇතුළු ඉහළ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මෑත කාලීන මරණ එවැනි පීඩනයන් ගෙන ඇති සංඛ්‍යාව පිළිබඳව කනස්සල්ල මතු කර ඇත.
මූලාශ්‍රය: bbc.com
-

14 දා මේ රාජ්‍ය ආයතනවල සේවාවන් ක්‍රියාත්මක නොවේ
2024 නොවැම්බර් 14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එදින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
-

ළමුන් අතර ‘අත්, පාද සහ මුඛ රෝග වල’ ඉහළ වර්ධනයක්
පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot, and Mouth Disease – HFMD) රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ පාසල් සිසුන් අතර HFMD රෝගීන් ඉහළ ගොස් ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් යන සීතල මාසවල වෛරස් ආසාදන, (විශේෂයෙන් HFMD) බහුලව පැතිර යන බව ද ඔහු පැහැදිලි කළේය.
අත්වල, පාදවල හෝ මුඛයේ කුඩා රතු හෝ සුදු පැහැති බිබිලි, දුඹුරු පැහැ කොරපොතු සහිත රතු ලප, හෝ අත්වල පිටේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් දින 3-4ක් නිවසේ තබා ගන්නා ලෙස වෛද්‍ය පෙරේරා දෙමාපියන්ට උපදෙස් දුන්නේය.
මේ අතර ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසයට සම්බන්ධ ඩෙංගු රෝගීන් සහ අනෙකුත් රෝගාබාධවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ද වෛද්‍ය දීපාල් වැඩි දුරටත් හෙළි කළේය.
-

ඉරාකයෙන් ගැහැණු ළමයින්ගේ විවාහ වයස අවුරුදු 9 දක්වා අඩු කළේ ඇයි ?
ඉරාකය සිය රටේ පිරිමින්ට කුඩා දැරියන් විවාහ කර දීමට ඉඩ සලසන නීතිමය වයස අවුරුදු 18 සිට නවය දක්වා අඩු කිරීමට සූදානම් වේ. යෝජිත නීතිය මගින් දික්කසාදය, ළමා භාරකාරත්වය සහ උරුමය ඇතුළු අත්‍යවශ්‍ය අයිතිවාසිකම් කාන්තාවන්ට අහිමි කරනු ඇති බවට මානව හිමිකම් සංවිධාන බිය පළ කර ඇත.
ඉරාක නීතිය බොහෝ අවස්ථාවලදී විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ලෙස නියම කරයි. එහෙත්, ඉරාක පාර්ලිමේන්තුව, පවුල් නීති කාරණා සම්බන්ධයෙන් ආගමික බලධාරීන්ට වැඩි බලයක් ලබා දෙන මතභේදාත්මක නීතිමය වෙනස්කම් සලකා බලමින් සිටින අතර යෝජිත නීතිය අනුව වයස අවුරුදු 9 දී ගැහැණු ළමයින්ගේ විවාහයට දොර විවර කළ හැකිය.
The Telegraph හි වාර්තාවකට අනුව, (පාලක සභාගය පවසන පරිදි) මෙම පියවර ඉස්ලාමීය නීතියේ දැඩි අර්ථකථනයක් සමඟ සමපාත වන අතර තරුණ ගැහැණු ළමයින් “අසභ්‍ය සබඳතා” වලින් ආරක්ෂා කිරීමට එමගින් අවස්ථාව සැලසෙයි.
වෙනස්කම් සඳහා බලපෑම් ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ‘ඉරාකය මත තම සංස්කෘතික සම්මතයන් පටවන බටහිර‘ ලෙස ඔවුන් විස්තර කරන දෙයට එරෙහිව වඩ වඩාත් උද්ඝෝෂණය කර ඇති ආගමික නායකයින්ගේ පිටුබලය ලබන බලවත් ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් මගිනි. එහි බලපෑම් හමුවේ ඉරාක පාර්ලිමේන්තුව පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව දැඩි LGBTQ+ විරෝධී නීතියක් සම්මත කළේය.
ඉරාක විවාහ නීති
යෝජිත සංශෝධන මගින් දැනට සිවිල් උසාවිවල එකම වසම වන විවාහය ඇතුළු පවුල් නීතියේ ගැටලු සම්බන්ධයෙන් ආගමික උසාවි වෙත හැරීමට ඉරාක වැසියන්ට ඉඩ සැලසේ. එය ජාතික නීතිවලට පටහැනිව, ෂරියා හෝ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුව පූජකයන්ට පාලනය කිරීමට ඉඩ සලසයි. සමහර පූජකයන් ඉරාකයේ බොහෝ ෂියා ආගමික බලධාරීන් විසින් අනුගමනය කරන ඉස්ලාමීය නීතියේ ජෆාරි පාසල (Jaafari school of Islamic) යටතේ නව යොවුන් වියේ හෝ වයස අවුරුදු 9 ට අඩු ගැහැණු ළමයින් විවාහ කර දීමට ෂරියා නීතිය අර්ථකථනය කරයි.
1959 දී සම්මත කරන ලද ඉරාකයේ පුද්ගලික තත්ත්‍ව නීතිය (personal status law) බොහෝ දුරට කාන්තා සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන ශක්තිමත් පදනමක් ලෙස පුළුල් ලෙස සැලකේ. එය නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 18ක් ලෙස නියම කර ඇතත්, එය අවුරුදු 15ක් තරම් කුඩා ගැහැණු ළමයෙකුට දෙමාපියන්ගේ කැමැත්ත සහ දැරිය වැඩිවියට පත්වී ඇති බවට සහ ඔසප් වීම සිදුවී ඇති බවට වෛද්‍ය සාක්ෂි සහිතව විවාහ වීමට ඉඩ සලසයි. රාජ්‍ය අධිකරණයෙන් පිටත විවාහ තහනම් විය. තවමත්, බලාත්මක කිරීම ලිහිල් ය. දූෂණය නිසා හෝ විවාහය දැනටමත් අවිධිමත් ලෙස සිදු වී ඇති නිසා තනි තනි විනිසුරුවන් සමහර විට බාල විවාහ අනුමත කරයි.
යෝජිත සංශෝධන ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී Raed al-Maliki කියා සිටියේ රාජ්‍යය තවමත් ආරක්ෂාව සපයන බවත් අවම විවාහ වයස් සීමාවක් පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙන බවත්ය. වයස “වත්මන් නීතියට ඉතා සමීප වනු ඇත,” අල්-මලිකි AP පුවත් ඒජන්සියට පැවසීය.
ඉරාක කාන්තාවන්ගෙන් දැවැන්ත විරෝධයක්
බොහෝ ඉරාක කාන්තාවන් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා පවත්වමින් සහ සමාජ මාධ්‍යවල වෙනස්කම් වලට එරෙහිව ප්‍රචාරක කටයුතුවල නියැලී ඇත. “වසර 1,500ක් රට නැවත ගෙන එන නීතියක් නීතිගත කිරීම ලැජ්ජා සහගත කාරණයකි … අවසන් හුස්ම තෙක් අපි එය ප්‍රතික්ෂේප කරන්නෙමු,” අගෝස්තු මාසයේ පැවති විරෝධතාවකදී දුසිම් ගණනක් අතර ක්‍රියාකාරිනියක වන Heba al-Dabbouni ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවාය.
“ඉරාක පාර්ලිමේන්තුවේ කාර්යය වන්නේ සමාජයේ සම්මතයන් ඉහළ නංවන නීති සම්මත කිරීමයි.” ඇය පෙන්වා දුන්නාය.
කොන්සර්වේටිව් නීති සම්පාදකයින් පවසන්නේ මෙම වෙනස්කම් මිනිසුන්ට සිවිල් හෝ ආගමික නීතිය භාවිතා කරන්නේද යන්න තේරීමක් ලබා දෙන අතර ඔවුන් ලෞකික, බටහිර බලපෑම්වලින් පවුල් ආරක්ෂා කරන බවට තර්ක කරන බවයි. හියුමන් රයිට්ස් වොච් ඉරාක පර්යේෂක සාරා සන්බාර් පැවසුවේ මෙම වෙනස්කම් සැමියාගේ මනාපයට ප්‍රමුඛත්වය දෙන බවයි. “ඉතින්, ඔව්, එය තේරීමක් ලබා දෙයි, නමුත් එය පළමුව සහ ප්‍රධාන වශයෙන් පිරිමින්ට තේරීමක් ලබා දෙයි.”
පළමු වතාව නොවේ
පසුගිය දශකය තුළ එවැනි සංශෝධන යෝජනා කළ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් දැන් ෂියා පක්ෂ ඔවුන් පිටුපසින් වඩාත් ඒකාබද්ධ වී ඇත. Carnegie Middle East Center හි සගයෙකු වන හරිත් හසන් පවසන්නේ පසුගිය දශක දෙක තුළ රට තුළ ඇති වූ බොහෝ ගැටුම් කෙරෙහි අවධානය යොමු කළ ෂියා පක්ෂවලට මීට පෙර විවිධ ප්‍රමුඛතා තිබූ බවයි. සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර “දැන් යම් ආකාරයක සම්මුතියක් ඇත”, ඔහු පැවසුවේ නව සංශෝධන ඉරාකයේ “ආයතනික නිකායවාදය” ඇති කරන බවත් සිවිල් උසාවි දුර්වල කළ හැකි බවත්ය.
“විවාහය, උරුමය, දික්කසාදය හැසිරවීම ආගමික නිලධාරීන්ට ඇති අයිතිය බවත්, අධිකරණයට මෙය අභියෝගයට ලක් කළ නොහැකි බවත් ඔවුන් පවසන විට, ඔබ සමාන්තර අධිකාරී දෙකක් නිර්මාණය කරයි. මෙය රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කරයි.” ඔහු පැවසුවේය.
දැන් ඉරාකයේ අර්ධ ස්වයං පාලන කුර්දි කලාපයේ IrbiI හි ජීවත් වන Saadoun, ඉරාකයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ගැන ඇය බිය වන බව පැවසුවාය. “පුද්ගලික තත්ව නීතියේ නව සංශෝධන බොහෝ කුඩා ගැහැණු ළමයින්ගේ සහ පරම්පරා ගණනාවක අනාගතය විනාශ කරනු ඇත,” ඇය පැවසුවාය.
-

අමු කරපිංචා කොළ හපන එක ඔබේ සමට සහ සෞඛ්‍යයට හිතකරද ?
අමු කරපිංචා කනවාද නැද්ද කියා ඔබ කල්පනා කරන්නේ නම් අපට පිළිතුරක් තිබේ!
අමු කරපිංචා කොළ හැපීම සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් හිසකෙස් සෞඛ්‍යය සම්බන්ධයෙන් එය වැදගත් වේ. නමුත් එවැනි පුරුදු සඳහා විද්‍යාත්මක තහවුරු කිරීම් තවමත් ඉතා අල්ප බව මතක තබා ගත යුතුය.
මෙම පත්‍ර හිසකෙස් වර්ධනයට අවශ්‍ය විටමින් වලින් පිරී ඇති අතර එමඟින් හිසකෙස් නිරෝගීව තබා ගැනීමට සහ ඔබේ හිස්කබල නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. මෙම විටමින් අතර විටමින් A, B, C, සහ E ඇතුළත් වේ. ඒවායේ ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කරන ප්‍රතිඔක්සිකාරක, හිසකෙස් ගැලවී යාමට සහ අකලට සුදු වීමට ප්‍රධාන දායක වේ. ඇත්ත වශයෙන්ම, සමහර අය විශ්වාස කරන්නේ කරපිංචා කොළ වලට මෙලනින් නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ හැකි බවයි. නමුත් අමු කරපිංචා කොළ හැපීම හිස කෙස් සුදුවීම පාලනය කරන බවට මේ දක්වා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මගින් තහවුරු කර නැති බව ද සිහියේ තබා ගැනීම වැදගත් ය.
සම සහ හිසකෙස් සෞඛ්‍යය සඳහා වන ප්‍රතිලාභ
මුම්බායි හි MBBS-DORL, Studio Aesthetique හි රූපලාවණ්‍ය විශේෂඥ වෛද්‍ය මධු චොප්රා සමඟ අප කතා කළ විට ඇය පැවසුවේ ස්වභාවික වෛද්‍ය විද්‍යාවේ සහ ආයුර්වේදයේ කරපිංචා කොළ දීර්ඝතම කාලයක් භාවිත කර ඇති බවයි. හිසකෙස් සහ සම සඳහා එහි ප්‍රතිල නිසැකව ම විශිෂ්ට බව ඇය පැවසුවාය.
“ඔබ අමු කරපිංචා කොළ හපනවාද ? නැති නම් එය ආහාරයට මුසු කරනවාද කියන එක වැදගත් නැහැ. ඔබ අමු කරංපිචා කොළ ආහාරයට ගන්නා ක්‍රමය කුමක් වුවත්. කිසිදු සෞඛ්‍ය අතිරේකයක් එහි සෞඛ්‍ය ප්‍රතිලාභවලට සමීප වන්නේ නැහැ“ ඇය අවධාරණය කළාය.
කරපිංචා කොළ වල ඇති පෝෂ්‍ය පදාර්ථ මගින් කෙස් කළඹ දැඩි කිරීමට සහ හිස කෙස් තුනී වීම වැළැක්විය හැකි රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට උපකාරී වන නිසා හිසකෙස් වල නිරෝගී බව සහතික කිරීමේ හැකියාවක් කරපිංචා වලට ඇති බව පැවසේ. බොහෝ දුරට, මේවා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූවා වෙනුවට හිසකෙස් වැටීම නැවැත්වීමේ හෝ නව හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ හෝ වෙනත් ආකාරයකින් කාර්යක්ෂමතාව පිළිබඳ පුරසාරම් දොඩයි.
ඔක්සිකාරක ආතතිය වළක්වන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා කරපිංචා කොළ හිසේ කැක්කුම සහ සමේ රෝග නියාමනය කිරීමට ප්‍රයෝජනවත් විය හැකි නමුත් මෙය තවමත් පර්යේෂණ කළ යුතු දෙයකි.
සටහන් කළ යුතු කරුණු
බොහෝ මිනිසුන්ට කරපිංචා කොළ ආරක්ෂිතව භාවිතා කළ හැකි නමුත්, ඔබට අසාත්මික ප්‍රතික්‍රියාවක් හෝ සංවේදීතාවයක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා ඒවා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හොඳ අදහසකි. ඔවුන් ප්‍රතිලාභ ලබා දෙන අතර කැසීම වැනි අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය වේ.
ඇත්ත වශයෙන්ම, අමු කරපිංචා කොළ හැපීම හෝ ඔබේ ආහාර වේලට සෞඛ්‍ය සම්පන්නව එකතු කිරීම මගින් හිසකෙස් සහ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකිය. නමුත් එය නිසැකවම සෑම ගැටලුවකටම පිළිතුරක් වන්නේ නැත. පෝෂණය සහ හිසකෙස් හොඳින් රැකබලා ගැනීම ඒකාබද්ධ කරන සමබර ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත හැකිය.
Femina.in ඇසුරිනි