Tag: featured

  • නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය

    නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය

    මහා මැතිවරණ පනත සම්මත වන අවදියේ සමාජ මාධ්‍ය තිබුණේ නැත. මෙරට ක්‍රියාත්මක මැතිවරණ නීති එනම් ඡන්ද වැරදි (පනතේ 66 සිට 76දක්වා), දුෂණ ක්‍රියා (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90දක්වා) යටතට ද සමාජ මාධ්‍ය ගැනෙන්නේ නැත. සමාජ මාධ්‍ය නිදහස් ය.

    මෙටා අද දින දැන්වීම් සඳහා මුදල් බාර ගන්නේ නැත. නමුත්, කලින් මුදල් ගෙවා ගිවිසුම් ගත කිසිදු දැන්වීමක් ඉවත් කිරීමේ බලයක් ද මෙටා – පාරිභෝගික ගිවිසුම නිසා නැත. කලින් මුදල් ගෙවූ දැන්වීම් මේ වන විට ක්‍රියාත්මක ය.

    2019 මැතිවරණ කොමිසම ‘ඒ්ෂියන් ඉන්ටටෙන් කෝලිෂන්’ සමඟ මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයේ අවබෝධතා ගිවිසුමකට පැමිණියේය.  2019 දී නම්, නිහඩ කාල සීමාවේ දී සමාජ මාධ්‍ය දැන්වීම් ඉවත් කිරීමේ වගන්තියක් මැතිවරණ කොමිසම හා ඉහත ආයතනය සමඟ පැවතුණි.  එය සිදු කරනු ලැබූවේ මහින්ද දේශප්‍රිය, සුරංග රණසිංහ විසිනි.  ඔවුන් දැන්වීම් ඉවත් කළේය.  (කොමිසමට වඩා වේගයෙන් ඡන්ද ප්‍රතිඑල සන්නිවේදනය කළ නිසා පැය කිහිපයකට මාගේ පොෆයිල් ඒක බ්ලෝක් කළේය) මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය පිළිබඳ නීති සකස් කිරීමට, නියෝග නිකුත් කිරීම සංවාදයකින් පසු සිදු කළ යුතු කටයුත්තකි.  

    සංකල්පීයව, ලංකාවේ ක්‍රියාත්මක නීතිය/රෙගුලාසි බලපැවැත්වීමට ‘ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන්’  ආයතන බැදී ඇත.  පාලනයට අවශ්‍ය නම්, උපකරණ නැතුවා නොවේ.  

    මැතිවරණ කොමිසමට මාධ්‍ය උපමාන පැනවිය හැක්කේ ගුවන් විදුලි නාලිකා, රූපවාහිනි නාලිකා, පුවත්පත් කතුවරන්ට පමනී. සමාජ මාධ්‍ය ඒ අතරට ගැනෙන්නේ නැත. එබැවින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන මගින් ද, සමාජ මාධ්‍ය ප්‍රචාරය තහනම් නැත.  

    නමුත්, ප්‍රචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ සමාජ මාධ්‍ය ප්‍රචාරය ගැන සඳහන් ය. එවිට මැතිවරණ කොමිසමට, ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන් වෙත කරුණු වාර්තා කළ හැකිය.  මේ වන විට මුදල් ගෙවූ දැන්වීම් 110 ක් පමණ සමාජ මාධ්‍යයේ පවතී. ඒක්කෝ මේ සියල්ල එක විට ඉවත් විය යුතුය. නැතිනම්, බදුල්ලේ මෙසී ගේ අංක 10 ටී ෂර්ට් ගැලවීම වැනි තත්වයක් සමාජ මාධ්‍ය තුල ඇතිවන්නේය.

    නිහඬ සමයේ සමාජ මාධ්‍ය භාවිතය හරියටම පුද්ගලයෙකු පන්සිල් ගැනීම හා සමානය. පන්සිල් රකිනවා නම් හොඳය. රැක්කේ නැතැයි කියා නඩු දැමිය නොහැකිය. (උපමා උපමේය – නීතිඥ ජගත් ලියනාරච්චිගේ ය)

    ඒ අනුව, නිහඬ කාල සීමාව තුල සමාජ මාධ්‍ය ප්‍රචාරණය නීතියෙන් තහනම් නැත. කැමති අපේක්ෂකයින්ට, ආධාරකරුවන්ට, දැන් සමාජ මාධ්‍ය ප්‍රචාරය නවතා දමා නිහඬවිය හැකිය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි

    නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි

    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය.

    තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් නවසීලන්තයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ හෙයින් නවසීලන්ත පිල ඕවර් 19.3කදී ලකුණු 108ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 103කට දැවී ගියහ.

    නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ ඉලක්කය බැලූ බැල්මට පහසු බව පෙනුණද රාත්‍රී කාලයේ දඟ පන්දුවෙන් මතුවූ අභියෝග පරාජයට බලපෑම් කළේය . ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ඉනිමේ ලකුණු පුවරුව 6ක් වන විට දැවී ගිය අතර, එතැන් පටන් ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පසු පස එකා තම කඩුලු නවසීලන්තය වෙත පූජා කළහ.

    ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඉතා ඉවසිලිවන්ත ලෙස සිය ඉනිම දියත් කරමින් පන්දු 51කදී හතරේ 6ක් සමඟ ලකුණු 52ක් වාර්තා කළ අතර, එය ඔහුගේ විස්සයි20 ක්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය වූවේය. පැතුම්ගේ ඉනිම සියලු පිතිකරුවන්ට ආදර්ශයක් ගෙන දුන් එකක් වුවද එහි ප්‍රඵලය ශ්‍රී ලංකාවට අත් නොවුණි.

    ශ්‍රී ලංකා ඉනිමට දායකත්වයක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් ලබාගත් අතර, භානුක රාජපක්ෂ ලකුණු 15ක් ලැබීය. වගකීමෙන් යුතු පන්දු යැවීමක නිරත වූ ෆර්ගියුසන් ලකුණු 7කට කඩුලු 3ක්, ම‍චෙල් බෘස්වෙල් ලකුණු 23කට කඩුලු 2ක් හා ග්‍ලේන් පිලිප්ස් ලකුණු 6කට කඩුලු 2ක් බිඳහෙලා ශ්‍රී ලංකා පිතිකරුවෝ අපහසුතාවට පත් කළහ.

    නවසීලන්ත පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන් ම දවා ගැනීමට නුවන් තුෂාර සමත්වමෙන් ශ්‍රී ලංකා බලපොරොත්තු ඉහළ ගිය අතර, අනතුරුව නවසීලන්තයට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් නොවුණි. නවසීලන්ත ආරම්භක පිතිකරු ටිම් රොබින්සන් ක්‍රීඩාගාරයට යෑමෙන් පසු යළි ක්‍රියාත්මකවූ තුෂාර ඊළඟ ඕවයේදී මාර්ක් චැප්මන්ට එවූ පන්දුවකට කමිඳු මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර, එවිට ලකුණු පුවරුව 6ක් විය. අසරණ වූ නවසීලන්ත මුල් කඩුලු 5 ලකුණු 45ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර, ආරම්භක පිතිකරු විල් යංග් පන්දු 32කදී ලකුණු 30ක් හා ජෝජ් ක්ලාක්සන් පන්දු 25කදී ලකුණු 24ක් ලබා යම් සහනයක් ගෙන දුන්හ.

    වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, මතීෂ පතිරණ ලකුණු 11කට කඩුලු 3ක්, නුවන් තුෂාර ලකුණු 22කට කඩුලු 2ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 16කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වූහ.

    තරගයේ වීරයා සම්මානය ලොකී ෆර්ගියුසන්ට හා තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංග දිනා ගත්හ.

    දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මේ 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ.

    නවසීලන්ත පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි

    විල් යංග් 30, මිචෙල් සැන්ට්නර් 19, ජොෂ් ක්ලාක්සන් 24 වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3, නුවන් තුසාර 22/2, මහීෂ් තීක්ෂණ 16/1

    ශ්‍රී ලංකාව පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 103 යි

    පැතුම් නිස්සංක 52, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14, ලොකී ෆර්ගුයිසන් 07/3, ග්ලෙන් පිලිප්ස් 06/3, මයිකල් බ්‍රේස්වෙල් 23/2, මිචෙල් සැන්ට්නර් 14/1, සැකරි ෆෝල්ක්ස් 23/1

  • සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

    පරාටේ නීතිය (Parate Execution) ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15වන දා කල් ඉකුත් වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

    මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

  • වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්

    වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්

    ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ  ආයතනය

    ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්‍රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කළ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි.  ඔහු වී අලෙවි මණ්ඩලයේ උප සභාපති මෙන්ම සභාපති ලෙසද දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිළධාරියෙකු මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල භාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය ඇතුළු  අධ්‍යක්ෂ මණ්ඩල රැසක සාමාජිකයෙක් වූ මොහු ඔහු දැනට  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කර ඇත. ඒ අනුව ජාතික මට්ටමේ කමිටු රැසක් නියෝජනය කර ඇති ඔහු සතුව ඇති අත්දැකීම් දැනුම් සම්භාරය  ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන ජීවන වියදම සහ ඒ ආශිත අනාගත තත්වයන් වී සහ සහල් වෙළෙඳපොළ මිල පාලනය කිරීමට ඇති හැකියාවන් සහ ක්‍රමවේද පිලිබඳ විශ්ලේෂණාත්මක විවිරණයක යෙදීම මෙම සාකච්චාවේ  අරමුණ වේ.

    පවත්නා වියදම් තත්වයන් පිළිබඳ විශ්ලේෂණය කළහොත්

    අදවන විට  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පාරිභෝගිකයෙකුගේ මාසික ප්‍රද්ගල වියදමින් 35% ක් ආහාර සඳහා වැයකරන විට 65% ක්ම වැයකරනුයේ ආහාර නොවන භාණ්ඩ හා සේවා සඳහායි. මෙය ග්‍රාමීය මෙන්ම වතු අංශයන්හි 50% බැගින් බෙදීයයි. මෙම ආහාර සඳහා වන වියදමින් 14% කට ආසන්න ප්‍රමාණයක් සහල් සඳහා ද, එළවළු සඳහා 10% ක්ද ,සකස්කළ ආහාර සඳහා 12% ක් ද,පොල් සඳහා 6%ක් ද,කිරිපිටි සඳහා 8.% ක් ද, සහ මාළු සඳහා 9.5% ක්ද ලෙස වැය කරයි. වාර්ෂිකව පුද්ගලයෙකු සහල් සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන කි.ග්‍රෑ. 115 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර ඒ තුළ අවම වශයෙන් වසරකට පුද්ගලයෙකුට සහල් සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 25,000 ක පමණ මුදලක් වැයකරයි.

    රටේ ප්‍රධානතම ආහාර භෝගය වන වී වගාව සඳහා වාර්ෂිකව විශාල ආයෝජනයක් රජය විසින් දරනව. එනම් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙ.ටො. ලක්ෂ 24 ක ප්‍රමාණය මහ කන්නයෙන් 65% ක් ලැබෙන විට ඉතිරි 35% ක ප්‍රමාණය යල කන්නයෙන් ලබා ගන්න මහ කන්නයක් තුළ හෙක්ටයාර් ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් සාර්ථක මහ කන්නයක් තුළ වගා කරන විට යල කන්නය තුළ ද හෙක්ටයාර් ලක්ෂ 5 කට ආසන්න භුමි ප්‍රමාණයක් වගාව සඳහා වැය කරයි .රටේ සමස්ථ වී වගා බිම් ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 15% කට ආසන්න වනවිට හෙක්ටයාර් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් මෙම වී වගාවටම පමණක් රටතුළ වෙන්ව පවතී. ඒ වගේම රටේ ගොවි පවුල් ලක්ෂ 16 ක් පමණ වී ගොවිතැනේ නියැලී සිටිනව, මෙම වගා බිම් ප්‍රමාණයෙන් වර්තමානය වනවිට 75% ක් පමණම රතු සහ සුදු නාඩු වී වගාව සිදුවන අතර 25% ක සම්බා ,කීරි සම්බා මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික වී වර්ග වගා කෙරෙති. පාරිභෝජනය ද මේ අයුරින්ම බෙදී යන අතර කීරි සම්බා  සහ සම්බා වැඩිපුරම පාරිභෝජනය බස්නාහිර  පලාත තුළ  සහ අනෙකුත් ප්‍රධාන නගරාශ්‍රිත ප්‍රදේශයන්ගේ සිදුවෙයි.

    වී සඳහා මෙන්ම සහල් සඳහා ද තාර්කික පදනමකින් යුතුව මිලක් පැවතිය යුතු බව සහ එසේ නොවුවහොත් 

    මෙම වී වගාව සඳහා සිදුකරන ආයෝජනයන්හි අපේක්ෂිත ප්‍රතිඵල සමාජයේ සෑම ජනකොටසකටම  ගෙනයාමට නම් මේ තුළින් ලැබෙන අවසන් පාරිභෝගික ද්‍රව්‍ය වන සහල් සඳහා වී නිෂ්පාදනය සිදුකරනු ලබන සෑම කන්නයක්ම ආරම්භවන විට වී සඳහා මෙන්ම සහල් සඳහා ද නිසි පදනමකින් යුතුව මිල තීරණය කළයුතුව ඇත. එනම් රජය ඒ් ඒ් කන්න සඳහා නිෂ්පාදන වියදම පදනම් කර ගනිමින් ඒ ඒ වී වර්ග සඳහා සහතික මිල ගණන් තීරණය කරන අවස්ථාවේදී අවම වශයෙන් එම කන්නයට අදාල වන පරිදිවත් සහල් වර්ග සඳහා ද උපරිම සිල්ලර මිල ගණන් ලබාදිය යුතුමය. මෙම සහල්මිල ගණන් තීරණය කිරීමේදී එක් වර්ගයක් පමණක් ඉලක්කකර නොගෙන වෙළෙඳපොළේ අලෙවි වන සහල් වර්ග අනුව එනම් නාඩු,කැකුළු,සම්බා, කීරි සම්බා වැනි සහල් වර්ග සඳහා නිෂ්පාදන වියදම් පදනම් කරගෙන වෙනවෙනම මිල ගණන් ලබාදිය යුතුය.එසේ නොමැති වුවහොත් එම අතාත්වික මිල ගණන් ඉදිරි කන්නයන්හි නිෂ්පාදන වගා බිම් ප්‍රමාණයන් වෙනස්වීමට සෘජුවම බලපායි. එනම් මෙම වර්ගයන්හි ඒකක අස්වැන්න, නිෂ්පාදන මිල ගණන් වෙනස් බැවින් සහල් වෙළෙපොළ අසමතුළිතතාවයකට සෘපුවම බලපානු ඇත. මන් ද දැනට කන්න කිහිපයකට පෙර රජය විසින් නාඩු වී වර්ගය සඳහා පමණක් මිල නියම කිරීම තුළ ඉන්පසු කන්නයේ වගාවට බලපෑ අතර එය වෙළෙදපොළ සහල් අසමතුලිතතාවයට බලපාන ලදි. එසේම මෙම මිල ගණන් තීරණය කිරීමේදී කැකුළු සහ නාඩු යන වර්ග දෙකට ඒවායේ සහල් කිලෝවකට වැයවන නිෂ්පාදන මිල පදනම්කරගෙන මිල ගණන් සැකසිය යුතුය.

    මන්ද නිෂ්පාදන මිල ගණන් අනුව නිරන්තරයෙන්ම කැකුළු සහල් මිල ගණන් නාඩු මිලට වඩා පහලින් තිබිය යුතුය. එසේ නොමැතිනම් වෙළෙදපොළ මිල ගණන් විකෘතිතාවයක් ඇතිව එක් සහල් වර්ගයක් හිගවනු ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ සහල් මිල තීරණය කිරීමේදී ඇති වු අතපසුවීමකදී තැම්බූ සම්බා සහල් කිලෝවකට පමණක් රුපියල් 230.00 ක මිලක් තීරණය කිරීමේ දී සම්බා කැකුළු සහල් සඳහා මිලක් ලබා නොදීම හේතුවෙන් අද එම සම්බා කැකුළු සහල් විවෘත්ත වෙළෙඳපොළ තුළ විශේෂයෙන් සුපිරි වෙළෙඳපසැල් තුළ කිලෝවක් රුපියල් 260.00 වැනි මිලකට අලෙවි වේ. ඒ සඳහා කිසිදු නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වීඇත. මන්ද එම සහල් වර්ගය සඳහා පාලන මිලක් නොමැත. එම නිසා මෙම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සමස්ථ ආර්ථිකයටම බලපාන සංවේදී කරුණු බැවින් විෂය දැනුම ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහය ඇතිව පර්යේෂණ අත්දැකීම් සහිතව සියළු කරුණු අධ්‍යයනය කර මිල ගණන් සැකසිය යුතුය. වී මිල මෙන් දෙගුණයකින් සහල් වෙළෙදපොළ මිල පවතින්නේ නම් ඒ තුළ අතාත්වික තත්වයක් නොමැති සාධාරන සහල් මිලක් ලෙස දැක්විය හැකිය. නමුත් අස්වනු සමයතුළ ඉතා අඩු මිලකට වී ගබඩාකර අස්වනු රහිත කාලසීමාවන්හි පවතින වී මිල ගණන් සමග සහල් මිල ගැලපීම සාධාරණ නොවේ. එසේම ප්‍රශ්නයක ඇතිවීම කලින් හදුනාගෙන ඒවා විසදීම සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම, නවීන දත්ත පද්ධතියක අවශ්‍යතාවය ජනාධිපතිතුමන් අගමැතිතුමිය ප්‍රමුඛ රජය මේ වන විටත් තේරුම්ගැනීම අතිශය අගයකළ යුතුය. ඩිජිටල්කරණය කෘෂිකර්ම  ක්ෂේත්‍රයේ විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය වර්තමාන සහල් ප්‍රශ්නය තුළ මැනවින් කියාපායි. රටතුළ නිෂ්පාදනය ප්‍රමාණවත් ව පැවතිය ද ඒවා කුමන තැන්වල ගබඩා කර තිබෙන්නේද යන්න රාජ්‍ය අංශයේ ආයතන පද්ධතිය භාවිතාකර ඒකාබද්ධ ප්‍රවේශයකින් කළයුතුව ඇත.

    ඔව් ,පැහැදිලිවම මෙම ආයතනයේ කාර්යභාරය ද අදවනවිට කාලීනව වෙනස්විය යුතුමයි, මොකද වී සහ සහල් වෙළෙදපොළ අදවනකොට පෙරට වඩා වෙනස්, ඒ වෙනසට අනුව අපිත් වෙනස් වෙන්න ඔින, විශේෂයෙන් සඳහන් කරන්න ඔිනෙ මගේ කාලසීමාව තුළ දැවැන්ත නිෂ්පාදනය කඩා වැඩීමක් තිබුන අවස්ථාවක්, ඒ වගේම කොවිඩි වසංගතයෙන් මුළු රටම වෙලාගෙන සිටපු කාල සිමාවක්, අදවනවිට සියල්ල අමකවෙලා හැබැයි තියෙන්නෙ, ඉතා දැවැන්ත අභියෝගාත්මක කාලසීමාවක තමයි මට ඒ වගකීම පැවරිලා තිබුනෙ, නමුත් මෙම කාලසීමාව තුළ සැලකියයුතු වී ප්‍රමාණයක් මිලදීගෙන රටේ සහල් ප්‍රශ්නයට ඉතාමත් සාර්ථක විසදුමක් දෙන්න පුළුවන් වුනා, ඔබ කිව්ව වගේ පසුගිය වසර 10 ක කාලසීමාව තුළ වැඩිම වී ප්‍රමාණයක් එක් කන්නයක් තුලදී මිලදී ගන්න පුළුවන් වුනේ මගේ කාලසීමාවතුළ තමයි, වී මිලදී ගන්න මහා භාණ්ඩාගාරය මැදිහත්වෙලා ලංකා බැංකුවෙන් ලබා දුන්න රුපියල් මිලියන 6,500 ක මුදලින් 98% පමණම මගේ කාලසීමාවතුළදීම ගෙවල අවසන් කරන්න පුළුවන් වුනා, ඒ නිසා දිගුකාලීන පර්යේෂණ සහ අත්දැකීම් සමග විධිමත් සැලසුම් සහිතව තමයි තමයි මා මේ පිළිබඳ කතාකරන්නෙ, සාම්ප්‍රදායික වී මිලදී ගැනීමේ රටාවෙන් බැහැරව මෙතෙක් අසාර්ථක වූ තැන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව වෙනස්ම මානයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරි වසර තුළ ආරම්භ කළයුතුය. විධිමත් අධීක්ෂණය, පර්යේෂණ තොරතුරු මගින් සහ සහල් වෙළෙඳපොළ ප්‍රදේශ පවා හදුනාගෙන වෙඳෙපොළ තුළ අතිරික්ත වී අස්වැන්නක් පවතින රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වී ගබඩා සහල් මෝල්  සීමිත ඉලක්කගත ප්‍රදේශ ලෙස ගොවියාගේ වී මිල පහල යන  ප්‍රදේශයන් හදුනාගතයුතුයි. එම ප්‍රදේශ වී මිලදී ගැනීමේ දී ඉලක්කගත ප්‍රදේශවිය යුතුය. සහල් වෙඳෙපොළ තුළද ප්‍රදේශ, සහල් වර්ග  සහ අවශ්‍යතාවයන් අනුව විශේෂයෙන් නාඩු සහල් බහුලව පරිභෝජනය කරන ප්‍රදේශ ඉලක්කකොට මෙම වැඩසටහන ආරම්භකළයුතුය.  මෙම වී මිලදී ගැනීමේ සිට සහල් වෙඳෙපොළට ලබාදීම දක්වා ක්‍රියාදාමය තුළ රජයට ප්‍රමාණවත් ලොරි රථ මෙන්ම සහල් මෝල් අවශ්‍ය නොවේ.

    මන්ද ඒවා රජය සතුව පැවතිය ද ඒවා කන්නයක් තුල ඇතිවන මාස කිහිපයක අවශ්‍යතාවයට වසරක් නඩත්තු කිරීම ඉතා අධික පිරිවැයක් වන කරුණක් නිසා පෞද්ගලික අංශයෙන් මෙම අවශ්‍ය පහසුකම් රාජ්‍ය අංශයට වඩා ලාභදායී ලෙස භාවිතා කළ හැකිය. පළපුරුදු දක්ෂ ප්‍රාදේශීය නිළධාරීන් කණ්ඩායමක් වී අලෙවි මණ්ඩලය සතු අතර ඔවුන් ද ඉලක්කගත අභිප්‍රේරණරණයකට ලක්කර විධිමත් සැලසුමක් තුළින් උපරිම සේවය මේ සදහා ලබාගත හැකිය. රජය පෙන්වන මිලදී ගතයුතු ඉලක්කගත වී ප්‍රමාණය මහ කන්නයෙන් පමණක් නොව යල කන්නයක් සමග ගලපා මිලදී ගැනීමට සැලසුම්කළ යුතුයි.එනම් අපේක්ෂිත වී මො.ටො. ලක්ෂ තුනක ප්‍රමාණයෙන් කොටසක් යල කන්නයෙන් ද මිලදී ගැනීමට සහ ඒ ඒ කන්නයන්හි  වී මිල පහල අගයක් ගනු ලබන ප්‍රදේශ පදනම් කරගෙන සැලසුම් සැකසිය යුතුයි. මේ සඳහා නව මානයකින් යුතුව විධිමත් අධීක්ෂණයක් සහිතව කාර්යක්ෂම ක්‍රමවේදයක අවශ්‍යතාවය පවතී. මෙම 2024 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ වාර්ෂික පාරිභෝජන අවශ්‍යතාවයටත් වඩා මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් වෙනුවෙන් වී නිෂ්පාදනයක් සිදුකළ ද සෑම වසරකම මෙන් මෙම වසරේද අවසන් මාසයන් තුළ රජය සතුව ආරක්ශිත වී තොගයක් නොමැතිවීම තුළ පාරිභෝගිකයාට සහල් අර්බුධයකට මුහුණ දීමට සිදුව තියෙනව. මෙම සහල් මිල පිළිබඳ ප්‍රශ්නයට ආරක්ෂිත වී තොගයක් පැවතිය යුතුම වන අතර එහි සම්පූර්ණ වැය බර රජය දැරිය යුතු නොවන අතරම ඉදිරියේදී මෙම රාජ්‍ය යාන්ත්‍රනයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පෞද්ගලික අංශයත් සමග ඒකාබද්ධ වී  පෞද්ගලික අංශයේ ආයෝජනද සමග ඉදිරියට යා යුතුව ඇත. මේ සඳහා සුපිරි වෙළෙඳසැල් ජාලය සම්බන්ධකරගෙ වී මිලදී ගැනීමේ සිට සහල් ලබාදීම දක්වා වැඩසටහනක් මණ්ඩලයේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කළයුතු අතර එය කඩිනමින් ආරම්භ කළයුතුවන අතර ඒ තුළ  සුපිරි වෙළෙඳපැල් ජාලයට ද අඛන්ඩ සහල් සැපයුමක් පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයා සඳහා නිශ්චිත මිල ගණන් යටතේ සහල් ලබා දීමට හැකිවනු ඇත. මේ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු කාර්යක්ෂම දෙපාර්ශවයටම වාසිදායක රජයට වැයබරක් නොවන වැඩසටහනක් සිදුකළයුතුයි. මේ සඳහා විධිමත් කළමණාකරණයකින් යුතුව රාජ්‍ය හා පෞද්ගලික  අංශය ඒකාබද්ධ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතුව ඇත.

    ඒසේම වී අලෙවි මණ්ඩලය රාජ්‍ය ධාන්‍යාගාරය ලෙස වී වලට පමණක් සීමා නොවී බඩ ඉරිගු,රටකජු,මුං ඇට,උදු, කව්පි වැනි අනෙකුත් ධාන්‍ය වර්ගයන්හි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමේ ශක්තිමත් මඨ්‍යස්ථානය බවට කාලීනව වෙනස්විය යුතුව ඇත. ඒ තුළ වී ගොවියා මෙන්ම අනෙකුත් අතිරේක ආහාර භෝග නිෂ්පාදනය කරන ගොවියා ද ආරක්ෂා කළහැකිවනු ඇත. අදියර කිහිපයක් යටතේ පවතින ගබඩා පද්ධතිය නවීකරණය කර  ඩිජිටල්කරන ක්‍රියාදාමයත් සමග පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ ව මෙවැනි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කලයුතුව ඇත.  නව ප්‍රවේශයක් සහිතව මෙම ආයතනය කාලීන අවශ්‍යතාවය මත වෙනස්විය යුතුබව පෙන්වා දෙන  අතර තවදුරටත් මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි වී සහ සහල් වෙළෙඳපොළ ක්‍රියාදාමයට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා නව වෙළෙඳපොණ නීතිරීති සමග පෞද්ගලික අංශයේ ශක්තිමත් හදුනාගත් සුපිරි වෙළෙඳසැල් ජාලයත් සමග එක්ව කටයුතු කළයුතුව ඇත. මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් වී මිල තීරණය කිරීමටවත් සහල් මිල තීරණය කිරිමටවත් වී අලෙවි මණ්ඩලයට තීරණයක් ගැනීමට සෘජුවම පවතින අපහසුතාවයයි. ඒ නිසා රජය තීරණය කරන වී සඳහා වන සහතික මිලත් සහල් සඳහා වන උපරිම සිල්ලර මිලත් අතර මිල ගණන් වී සහ සහල් වලට තීරණය කිරීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට පැවතිය යුතුය. වෙනත් භාහිර පාර්ෂවයන් විසින් තීරණය කරන වී මිල ගණන් සහ සහල් මිල ගණන් නිසා වී අලෙවි මණ්ඩලයට නිරන්තරයෙන් අලාභ ලැබීමට සිදුව ඇත. එම නිසා මෙම යල්පැන ගිය ක්‍රමවේදවලින් ඉවත්ව නව වෙළෙදපොළ දැක්මකින් යුතුව විධිමත් ක්‍රමවේදයන් නව තාක්ෂණයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයට ප්‍රවේශවිය යුතුව ඇත. එසේ නොමැතිව මෙතෙක් කලක් සිදුකළ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයම තවදුරටත් සිදුවන්නේ නම් ඉතා විශාල අලාභයකට වී අලෙවි මණ්ඩලයට මුහුණ දීමට සිදුවනු ඇත. මේ සඳහා සිදුකර ඇති පර්යේෂණයන්හි ප්‍රතිපළ අධ්‍යනය කළ යුතුව ඇත.එවැනි ක්‍රමවේදයන් සමග විධිමත් ආරක්ෂණ තොගයක් රුස්කර ගැනීම තුළ මෙම සහල් මිල පිළිබඳ ගැටලුවට විසදුම් ලබා ගත හැකිය. එනම් සෑම වසරකම අවසන් මාස 03 ක කාලයක පමණක් පැන නගින මෙම ගැටලුව පාලනය කර ඒ තුළ සාර්ථක විසදුම් ලබා ගතහැකිවනු ඇත. රාජ්‍ය යාන්ත්‍රනය පාරිභෝගික ආරක්ෂණය වෙනෙුවෙන් ඉලක්ක කරගතයුත්තේ ප්‍රශ්නගත මෙම මාස තුනක කාලය පමණි.

    මෙම ක්ෂේත්‍රයටම අදාල විධිමත් ඩිජිටල්කරණය වූ රටම ආවරණය වන දත්ත පද්ධතියක අවශ්‍යතාවය

    සහල් මෝල්වලට කඩා පැනීම  වැනි ක්‍රියාමාර්ග නූතන ආර්ථික රටාවන් තුළ ට කොහෙත්ම නොගැලපේ. වර්තමාන රජයද මෙවැනි ක්‍රියාමාර්ග අනුමත නොකරනු ඇත.මේ සඳහා තාක්ෂණික මෙවලම් භාවිතා කළයුතු බවට වත්මන් ජනාධිපතිතුමන් ද පෙන්වා දීල තියෙනව, රජයකට කිසිසේත්ම කළ නොහැකි මෙරට සහල් වෙළෙඳපොළතුළට දැවැන්ත තාක්ෂණයක්  ගෙනවිත් නවතම ක්‍රමවේදයන් හරහා ආසියාවේ හොදම තත්වයෙන් යුතු සහල් හදුන්වා දුන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ලගට කඩාවැදී අභියෝග කිරීමෙන් තවදුරටත් පලක් නොමැත. මෙම ක්ෂේත්‍රය තුළ එවැනි ව්‍යාපාරිකයින්ට අභියෝග කරන තත්වයකට රජයක් පත්විය යුතු නොවේ. ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථාවේ පමණක් මහාපරිමාණ මෝල් හිමියන් යැයි තරවටුකරන මෙම මොල් 10 කට අඩු ප්‍රමාණය සතියක් වී මිලදී ගැනීම හෝ සහල් සැකසීම නවතා දැමුවහොත් එම හිඩස පියවීමට රජයට හෝ කිසිදු සුළු හා මධ්‍යපරිමාණ මෝල් සංගමයකටවත් පුළුවන් ද? ඒ නිසා  තරගකාරී පරිසරය තුළ මෙවන් ව්‍යාපාරිකයින් තව තවත් ඇතිවිය යුතුය. එවිට දැනට සහල් සඳහා පවතින කතිපයාධිකාරී වෙළෙඳපොළ පූර්ණ තරගකාරී තත්වයකට දිගුකාලීනව පත්වනු ඇත. මන්ද දැනට සහල් අවශතාවයෙන් 30% ක් පමණ සපයන මෙම   විධිමත්  සංවිධිත කණ්ඩායම සැළකියයුතු කාර්යභාරයක් ආර්ථිකයට සිදුකරමින් සිටී.

    අනෙක් 70% ක සහල් ප්‍රමාණය මෙරට අසංවිධිත සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් කණ්ඩායම සැපයුව ද ඔවුන්ගෙන් බොහොමයක් මෝල් හිමියන්ට වෙළෙඳපොළ තුළින් දෛනිකව වී මිලදී ගැනීමට සිදුව ඇති නිසා වී මිල ඉහළයන අවස්ථාවේ ඒ සඳහා මුහුණදීමට නොහැකිව ඇත. එසේම රටේ සමස්ථ සහල් අවශ්‍යතාවයෙන් 30% ක්ම අවශ්‍ය වනුයේ බස්නාහිර පලාතට වන අතර මෙම පලාත නිෂ්පාදන ප්‍රදේශයක් නොවන  පාරිභෝගික ප්‍රදේශයක් වන ඉහළම ජනගහනයක් වාසය කරන පලාත ලෙස හොද වෙළෙඳපොළක් පවතින බැවින්  අවම වශයෙන් මෙම ප්‍රදේශයන් හි සහල් අවශ්‍යතාවයෙන් කොටසක් හෝ ඉලක්ක කොට රජය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව වී මිලදී ගැනීමේ වැඩසටහනකට යා යුතුව ඇත. ඒ තුළ මෙවන් අසාමාන්‍ය මිල ඉහළ සහ පහළ යාම් පාලනයකර ගොවියාත් පාරිභෝග්කයාත් ආරක්ෂා කර පවත්නා රජයන්ට දේශපාලනික වශයෙන්  ඇතිවන විවේඡනයයන් ද අවමකරගතහැකි වනු ඇත.

  • ලැබූ ලාභයට ප්‍රමාණවත් පරිදි ලංවිම විදුලි බිල අඩුකරන්න සූදානම් නෑ – මහජන උපයෝගීතා කොමිෂම

    ලැබූ ලාභයට ප්‍රමාණවත් පරිදි ලංවිම විදුලි බිල අඩුකරන්න සූදානම් නෑ – මහජන උපයෝගීතා කොමිෂම

    විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසයි.

    ඔහු වැඩි දුරටත් පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දී ඇති බවයි. ඒ අනුව එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව ද ඔහු පැවසුවේය.

    පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබූ අතර එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබුණි. එහෙත් ලංකා විදුලි මණ්ඩලය විසින් මේ වසරේ ගතවු මාස කිහිපය තුළ ලබා ඇති ලාභයට සාපේක්ෂව අඩු කිරීමට යෝජනා කර ඇති ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පාර්ශ්ව විසින් අදහස් පළකර තිබුණි.

    ලංකා විදුලිබල මණ්ඩලය නව යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතියෝජනාවක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථා සභාපති කළ හෙළිදරව්ව

    ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථා සභාපති කළ හෙළිදරව්ව

    ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය, “මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල අඩුකරනවා. ආපහු වෙනස් කරනවා. අවසාන ප්‍රතිඵලය බිලියන 03ක් යනතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රජ්‍ය බංකුවලට ණය තිබුණා. මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා.”

    “ඊට පස්සේ මේ මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ මම හිතන්නේ පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබුණා. මේ වෙනකොට බිලියන 27ක් පෙට්‍රෝලියම් එකට ලාබයක් තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය මැදිහත් වෙලා මේක සාධාරණව ක්‍රියාත්මක නොකිරිම නිසා රටේ මතයක් ඇති වුණා පෙට්‍රෝලියම් එකට මේක කරගෙන යන්න බැහැ කියලා. අන්තිමට ඒ හින්දා වෙන සමාගම් ලංකාවට කැඳව්වා. දැන් ගැටලුව වෙලා තියෙන්නේ අපිට ස්වාධීනව කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට වෙන සමාගම් වෙළෙඳපොළේ ඉන්නවා. ඔවුන් එක්ක ගහපු මේ ගිවිසුම්වල හැටියට මේ මිල සූත්‍රයමයි 2022 ඉඳලා ඒ සමාගමුත් පාවිච්චි කරන්නේ.”

    “අවසානයේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මැදිහත්වෙලා මේ මිල සූත්‍රයට අනුව මිලක් තීරණය කරනවා. ඒකෙන් තමයි මේ මාසේ මිල තීරණය වුණේ. එතකොට 95වල සූපර් ඩීසල්වල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොත් අඩුකරන්න හැකියාවක් තියෙන නිසා අඩුවෙලා තියෙනවා. ස්වාධීනව මේ මිල අපිට වෙන ඒවට දාලා සමහරවිට ඒවට අඩුකරන්නේ නැතුව අනිත් ඒවාගෙන් අඩු කර ගැනීමේ හැකියාව තිබුණා අනිත් සමාගම් නැතිනම්. දැන් තියෙන ගිවිසුම්වල හැටියට වැරදිලාවත් ඒ අයට පාඩුවක් වුණොත් සහ දැන් මේ ෆෝමියුලා එකේ එන මිලට වඩා ඒ අයගේ වියදම වැඩි වුණොත් අනිවාර්යෙන් රජය බැඳිලා ඉන්නවා ඒ අයට පාඩුව ගෙවන්න. එහෙම තමයි ගිවිසුමේ තියෙන්නේ. ඒකට අනුව අමාත්‍යංශයට Claim එවලා තියෙනවා. මාස තුනක් ඇතුළත රජය ඒ මුදල ගෙවන්න ඕනේ. අන්න එහෙම ලොකු ගැට ගැහිල්ලක් එක්ක තියෙන නිසා තමයි. ඇත්තටම අපිට මිල ඕනේ විදිහට වෙනස් කරගෙන යන්න බැරිවෙලා තියෙන්නේ.”

  • ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති හමු වෙයි

    ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති හමු වෙයි

    නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

    ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත විය.

    එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.

     

  • ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

    ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) යන මහත්වරු ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටියි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණයි.

  • රුපියල් බිලියවන 237ක් ඉතිරි කර ගත හැකි පහසු ක්‍රමයක් ADIC හෙළිකරයි

    රුපියල් බිලියවන 237ක් ඉතිරි කර ගත හැකි පහසු ක්‍රමයක් ADIC හෙළිකරයි

    මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre – ADIC) පවසයි.

    එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්පැන් පානය දිනකට පුද්ගලයන් 50 දෙනෙකුගේ මරණ සඳහා වගකිව යුතු බවත්, එය වාර්ෂිකව ජීවිත 15,000ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් වන බවත්ය.

    වාර්ෂිකව මිලියන තුනකට ආසන්න අකල් මරණ සංඛ්‍යාවක් මධ්‍යසාර භාවිතය හේතුවෙන් සිදුවන බවට ගෝලීය ඇස්තමේන්තු අනුව පෙනී යන බව පෙන්වා දුන් ඔහු මෙම මරණ වලින් 10 න් 8 ක්ම වළක්වා ගත හැකි අතර බෝ නොවන රෝග (non-communicable diseases – NCDs) සමඟ සම්බන්ධ වන බව ද පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව තුළ, හෘද රෝග, පිළිකා සහ ශ්වසන රෝග වැනි NCD සඳහා ප්‍රමුඛතම දායකත්වය සපයන්නේ මත්පැන් ය.

    2022 දී රජය මධ්‍යසාර බදුවලින් රුපියල් බිලියන 165ක ආදායමක් උපයා ඇති නමුත් මධ්‍යසාර පරිභෝජනයේ සමස්ත ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් වන අතර ඒය මධ්‍යසාර බදු වශයෙන් උපයා ඇති ආදායම ඉක්මවයි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) වාර්තාවකින් හෙළි වූයේ මත්පැන් භාවිතය හා සම්බන්ධ මූල්‍ය හා සෞඛ්‍ය පිරිවැය ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යයට ඇති පුළුල් බලපෑම පිළිබඳ කනස්සල්ල මතු කරමින් ඕනෑම විභව ආදායමක් යටපත් කරන බවයි.

    මධ්‍යසාර කර්මාන්තය ළමයින් සහ තරුණයින් ඇතුළු සියලුම ජනතාව ඉලක්ක කර ගනිමින් සදාචාර විරෝධී සහ නීති විරෝධී ලෙස තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යන බව පෙන්වා දුන් ද සේරම් මහතා රජය මෙන්ම ජනමාධ්‍ය ඇතුළු බලපෑම් කණ්ඩායම් ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් මැත්පැන් භාවිතයෙන් ජනතාව ගළවා ගැනීමට පියවර ගත යුතු බව ද අවධාරණය කළේය.

  • ජනපතිගේ පළමු නිල විදේශ සංචාරය නිල වශයෙන් තහවුරු කරයි

    ජනපතිගේ පළමු නිල විදේශ සංචාරය නිල වශයෙන් තහවුරු කරයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව වාර්තා වන අතර, ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු ඉන්දිය සංචාරය සිදුවනු ඇතැයි එම වාර්තාව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් අද (04) දින සිදුකරන ලද ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම තීරණය ගෙන ඇත.

    පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ජයිශංකර්ය.

    මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තියට අනුකූලව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේ හවුල් කැපවීම ජයිශංකර්ගේ සංචාරය අවධාරණය කරන බවයි.

    මෙම සංචාරයේදී ජයිශංකර් ශ්‍රී ලංකාවේ ඉන්දීය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

  • IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි

    IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වු මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කෙරිණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කළහ.

    එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ජනාධිපති හමු වෙයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ජනාධිපති හමු වෙයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

    මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිරිනැමීය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් කළ මාර්ක් ඇන්ඩෘ මහතා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඇගයිමට ලක් කළේය.

    මහජන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද මෙහිදී පෙන්වා දුන් නේවාසික සම්බන්ධීකාරකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රයත්නයන්ට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවටද සහතික විය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ප්‍රශංසාව පළ කළ මාර්ක් ඇන්ඩෘ මහතා එම ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.

    එසේම ප්‍රජාව අතර ජාතික සාමය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීම් ද පැසසුමට ලක් කළ නේවාසික සම්බන්ධීකාරකවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම ද අගය කළ අතර රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද පැවසීය.

  • මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි – ගැසට් පත්‍රය නිකුත් කරයි

    මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි – ගැසට් පත්‍රය නිකුත් කරයි

    2024 සැප්තැම්බර් 11 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අවලංගු කරමින් මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අධිපතිවරයා ලෙස පත් කරන ලද අයෙකුට විශ්‍රාම වැටුප් ගෙවීම

    2024.09.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, 11.09.2024. දිනට පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා හිමිකම් නොසලකන බවත්ය.

  • පුංචි ඡන්දය ගැන මැකො සිය ස්ථාවරය හෙළි කරයි

    පුංචි ඡන්දය ගැන මැකො සිය ස්ථාවරය හෙළි කරයි

    2023 පළාත් පාලන මැතිවරණය ඉදිරි මහ මැතිවරණයෙන් කෙටි කලකින් පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි.

    මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය ක්‍රියාමාර්ග සහ මූල්‍ය සාකච්ඡා මාලාවකින් අනතුරුව කොමිසමේ නිවේදනය නිකුත් කර ඇත.

    පළාත් පාලන මැතිවරණය සුමටව පැවැත්වීම සහතික කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ මූලික සාකච්ඡා පැවැත්වූ බව ද කොමිසම ප්‍රකාශ කළේය.

    “අපි අවශ්‍ය මූලික කටයුතු අවසන් කර ඇති අතර මහ මැතිවරණයෙන් පසු වහාම පළාත් පාලන මැතිවරණය ඉදිරියට ගෙන යන්නෙමු” යනුවෙන් කොමිසම නැවත අවධාරණය කළේය.

     

  • කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

    කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

    කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

    ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.

    මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටළු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    එම නිසා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් කියා සිටියේය.

    රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    පුරවැසියා තෘප්තිමත් කිරීම සදහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පලිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බවද සඳහන් කළේය.

    ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කළේය.

    මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාමක් – අලුත්ම දත්ත මෙන්න

    වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාමක් – අලුත්ම දත්ත මෙන්න

    මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී  ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන් 28ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, දුම්රිය අනතුරුවලින් 05ක්, මාර්ග අනතුරුවලින් 06ක්, දියේ ගිලීමෙන් 11ක් සහ වෙනත් අනතුරුවලින් 07 වශයෙනි. අනෙකුත් මරණවලට හේතු වන්නේ ස්වාභාවික හෝ හඳුනා ගැනීමට නොහැකි වූ වෙනත් හේතූන් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම මිය ගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ අලි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2023 දී අලි – මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි – ඇතුන් 488ක් මිය ගොස් ඇති අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184ක් සෘජුවම සිදු විය.

    2011 දී සිදුකළ සමීක්ෂණයකට අනුව ඇස්තමේන්තුගත වන අලි ගහනය 5,878ක් බවත් නව ඇස්තමේන්තු අනුව වනඅලි ගහනය 6,000ත් 7,000 ත් අතර පරාසයක පැවතිය හැකි බවත් මේ සම්බන්ධ විශේෂඥයෝ පවසති.

    මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව විසින් අලි ගහනය පිළිබඳ සමීක්‍ෂණයක් පසුගියදා අවසන් කළ අතර එහි අවසන් ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද වනජීවී දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.