Tag: featured

  • ජනාධිපති අනුරට ලෝක බැංකුවේ සහාය

    ජනාධිපති අනුරට ලෝක බැංකුවේ සහාය

    මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත.

    මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.

    රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

  • ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

    ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

    • මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක්
    • ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක්

    2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වනු ඇත. මෙම සහනාධාරය ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මකය.

    කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරේ.

    නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇත.

    මේ අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ගරු ජනාධිපතිතුමා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරේ. මෙම සහනාධාරය ද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරනු ඇත.

    ධීවර කර්මාන්තය තිරසාර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය හා කළමනාකරණය කිරීමටත්, ඒ තුළින් මත්ස්‍ය නිෂ්පාදනය සුලභ කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා ගත හැකි තත්ත්වයකට පත් කිරීමත් කර්මාන්තයේ නියැලෙන්න්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් පිළිබඳ නව රජයේ ප්‍රතිත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

    ඒ අනුව දැනට දැඩි පසු බෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරනු ඇත.

  • විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනපතිට සහතියක්

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනපතිට සහතියක්

    පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය.

    ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය. මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදීය.

    විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිතුමා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.

    මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් වීම – අගමැතිනියගෙන් දැඩි නියෝගයක්

    ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් වීම – අගමැතිනියගෙන් දැඩි නියෝගයක්

    ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.

    අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,

    “පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිඵල ලබාදීම කඩිනම් කරන්න.

    ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි උනත් පාසල් වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලු වලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල්වල තියෙන ප්‍රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටලු මේ පරපුරේ තියෙනවා.

    පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්‍රමවත් සහ පිළිගත් ක්‍රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතු බවත්, මහජන නියෝජිතයින් පාසල් වලට ගෙන්වා ගැනීම නතර කරන්න”

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

    මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

    2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

  • බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට නොදෙන බේකරි ගැන තීන්දුවක්

    බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට නොදෙන බේකරි ගැන තීන්දුවක්

    වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් පවසයි. පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.

  • පියයුරු පිළිකා ගැන මෙරට කතුන් දැනගත යුතුම පුවතක්

    පියයුරු පිළිකා ගැන මෙරට කතුන් දැනගත යුතුම පුවතක්

    ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

    පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

    “ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා  ලංකාවට සාපේක්ෂව ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් හඳුනාගැනීම වැදගත් කියන එකයි කියන්න ඕනේ වුණේ. ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500ක් පමණ හඳුනා ගන්නවා. එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වෙනවා. කාන්තාවක් වීම කියන සාධකයම පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙන්න හේතුවක්.”

    පියයුරු පිළිකා තත්ත්වයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වු වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය මෙසේ ද පැවසුවාය. “පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්, වළ ගැසීමක්, එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්, සම ඝන වීමක්, තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්, තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්, මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.”

     

  • ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය

    ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි,

    දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.

    අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.

    මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.

    මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.

    සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.

    අප අපෙක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගතහැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.

    අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.

    දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත්, රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා.

    සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම “අප ශ්‍රී ලාංකික පුරවැසියන්” කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.

    තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

    මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නෙවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා, පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.

    නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙනවා.

    අප රට ගොඩ නැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් සථාපිත කිරීම වෙනුවෙන් අපේ කැප වෙනවා.

    මේ රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අප ක්‍රියාවලට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.

    මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසැලක්, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.

    ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල , මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල් වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කර ගන්න පුලුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ අකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩ නැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.

    මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රීලාංකිකයෙක්’ කියලා අභිමානයෙන් කියන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . “මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!” කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.

    සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා.

    දැනුම කුසලතාවය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරි ගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විහ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා.

    අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියළු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍යධූරයට කාන්තාවක් පත් කර තිබෙනවා.

    මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.

    අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.

    මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා.

    අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබ වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.

    ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්. ඒ අනුව මා, ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යාවස්තානුකුලව රට ගෙන යාම සදහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද පත් කර ගත්තා.

    අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා.

    ඒ අදට වඩා හොද හෙටක්!

    එහෙත්,

    දශක ගනනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත්, මමත් දන්නා කරුණක්.

    අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා..!

    එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.

    ස්තුතියි

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • ඉරුවාරදයෙන් සහනයක් ලබා ගැනීමට සරල යෝග අභ්‍යාසයක් කරමුද ?

    ඉරුවාරදයෙන් සහනයක් ලබා ගැනීමට සරල යෝග අභ්‍යාසයක් කරමුද ?

    ආහාර ගැනීම ආමාශය, හදවත සහ මොළය සමඟ සම්බන්ධ වේ. සුළු කැළඹීමක් ඔබට හිසරදය සමඟ රෝග කිහිපයක් ලබා දිය හැකිය. ඔබත් ඉරුවාරදය/  migraine, නිසා පීඩා විඳිනවා නම් එයින් මිදෙන ආකාරය ඉගෙන ගන්න

    ලෝකයේ රටවල් 195ක් ඇතත් ඒ සියල්ලන්ගේම භාෂාවේ සහ ආහාර පුරුදුවල විශාල වෙනසක් ඇත. අපේ රටේ රත්තරන් ලෝකයේ වෙනත් කොනක තිබෙන මඩ තරම් වටිනවා විය හැකියි. දැන් කිරි, මීකිරි, බටර්, ගිතෙල් උදාහරණ ගනිමු. මේවා අපේ සංස්කෘතියේ සහ ආහාරවල වසර ගණනාවක් තිස්සේ පවතී. නමුත් ජපානය කියන්නේ මේ දේවල් වල වටිනාකමක් නැති රටක්. ඔවුන් කිරි නිෂ්පාදන වලින් ඈත්ව සිටින නමුත් එසේ තිබියදීත් එහි ආයු අපේක්ෂාව ඉහළම වේ.

    අපේ රටේ කිරි, මෝරු, මීකිරි සහ ගිතෙල් සෞඛ්‍යයට හිතකර ආහාර වන අතර එය නොමැතිව මුළුතැන්ගෙය අසම්පූර්ණයි. බොහෝ ඉන්දියානුවන්ගේ ආහාර වේලෙහි කිරි සහ මීකිරි ඇති නමුත් සත්‍යය නම් රටේ මිනිසුන්ගෙන් 70% කට ලැක්ටෝස් දිරවීමට නොහැකි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මලබද්ධය සහ බඩ පිපීම වැනි ගැටලු වලින් පීඩා විඳිති.

    ලැක්ටෝස් නොඉවසීම මත, මිනිසුන්ගේ පිඟන් වලින් පලතුරු සහ එළවළු ද අඩු වෙමින් පවතී. එයින් අදහස් කරන්නේ විටමින්, ඛනිජ සහ තන්තු ප්‍රභවය ද අඩු වී ඇති බවයි. එළවළු සහ පලතුරු වලින් ලබා ගන්නා තන්තු ආහාර ජීර්ණය මනාව තබා ගන්නා බවයි. එය බඩවැල්වල සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා ප්‍රමාණය වැඩි කරයි.

    සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි, මෙමගින් බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානමද අඩු වන අතර තරබාරුකම, හෘදයාබාධ, දියවැඩියාව සහ අක්මාවේ මේද අවදානම අඩු කරයි. කෙසේ වෙතත්, ආහාර වේලෙහි පෝෂණය නොමැතිකම සහ ලැක්ටෝස් නොඉවසීම හේතුවෙන්, අජීර්ණ ද හිසරදයට හේතුව බවට පත්වේ. බඩ පිපීම ස්නායු පද්ධතියට පීඩනය වැඩි කරන අතර ඉරුවාරදය අවුලුවයි. ඒ කියන්නේ ආහාර ආමාශයට, හදවතට, මොළයට සම්බන්ධ බවයි. සුළු කැළඹීමක් ඔබට බොහෝ රෝග සමඟ හිසරදයක් ඇති කරයි. ඒ නිසා ආහාර දිරවීම නිවැරදි නම් සෞඛ්‍යය පරිපූර්ණයි කියා කියනු ලැබේ.

    ලෝකයේ සෑම පුද්ගලයින් හත් දෙනකුගෙන් එක් අයෙක් (1/7) ඉරුවාරදයෙන් පෙළෙන අතර, කාන්තාවන්ගෙන් සියයට 17ක් ඉරුවාරදය රෝගයෙන් පෙළෙන අතර පිරිමින්ගෙන් සියයට 8.6ක් එහි ගොදුරක් වී ඇත.. ඉන්දියාවේ සාමාන්‍යයෙන් කෝටි 21ක ජනතාවක් දරුණු හිසරදයෙන් පෙළෙන අතර ඉන් සියයට 60ක් කාන්තාවන් ය.

    හිසරදය ඇතිවීමට හේතු

    • නින්ද නොමැතිකම
    • අඩුවෙන් වතුර පානය කිරීම
    • වැඩි තිර කාලය
    • දුර්වල ජීර්ණය
    • පෝෂණය නොමැතිකම
    • හෝමෝන ගැටලු
    • ආතතිය
    • කාංසාව
    • දුර්වල ස්නායු පද්ධතිය

    යෝග මගින් හිසරදය සුව කරන්න

    යෝග අභ්‍යාස කිරීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ඇත. ඉරුවාරදය ප්‍රශ්නවලින් මිදීම සඳහා කෙනෙකුට යෝග අභ්‍යාස කළ හැක්කේ අප යෝගා කරන විට එන්ඩොර්ෆින් හෝමෝනය / endorphin hormone නිකුත් වන අතර එය ශරීරයට ස්වාභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බැවිනි. එය මානසික ආතතිය අඩු කර හොඳ නින්දක් ලබා දෙයි.

    හිසරදයෙන් මිදෙන්නේ කෙසේද?

    අවධානය යොමු කරන්න, වතුර ගොඩක් බොන්න, ඔබේ ඇස් ගැන සැලකිලිමත් වන්න, ඔබේ බෙල්ල, හිස සහ උරහිස් සම්බාහනය කරන්න.

    හිසරදය වළක්වා ගන්නේ කෙසේද ?

    ශරීරයේ වායුව සෑදීමට ඉඩ නොදෙන්න, එසේම, ඔබ ආම්ලිකතාවය පාලනය කළ යුතුය.

    හිසරදය සුව කරන ආකාරය

    • තිරිඟු තණකොළ සහ කෝමාරිකා ගන්න. ශරීරයේ කෆා සමතුලිත කරන්න.
    • නහයට atomic oil දමන්න.
    • දිනපතා Anulom Vilom Pranayama කරන්න.
    • පැළ කළ ධාන්‍ය වර්ග සහ කොළ පැහැති එළවළු, විශේෂයෙන් කරවිල ආහාරයට ගන්න.
    • කිරි වලට ආමන්ඩ් තෙල් එකතු කර පානය කරන්න.
    • ඔබේ නාසයට ආමන්ඩ් තෙල් දමන්න.

    හිසරදය සඳහා සරල පිළියම්

    ස්වාමි රාම්දේව් පවසන පරිදි පොල්තෙල් ග්‍රෑම් 10ක් සහ කරාබු තෙල් ග්‍රෑම් 02ක් ගෙන එම තෙල් දෙකම මිශ්‍ර කර හිසේ ආලේප කිරීමෙන් වේදනාවට සහනයක් ලැබේ.

    Femina ඇසුරිණි

  • Duolingo භාෂා ඉගෙන ගන්නන් සඳහා AI බලයෙන් ක්‍රියා කරන ඇමතුම් සහ adventures දියත් කරයි

    Duolingo භාෂා ඉගෙන ගන්නන් සඳහා AI බලයෙන් ක්‍රියා කරන ඇමතුම් සහ adventures දියත් කරයි

    Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී වේදිකාවට නව විශේෂාංග එක් කළේය. උසස් AI මගින් බල ගැන්වෙන වීඩියෝ ඇමතුම් සහ වික්‍රමාන්විතයන් භාෂා ඉගෙනීම වැඩිදියුණු කරන බව එහි පවසා ඇත.

    ප්‍රමුඛ පෙළේ භාෂා ඉගෙනීමේ යෙදුම වන Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී ආකර්ෂණීය නව විශේෂාංග ප්‍රකාශයට පත් කර ඇත.

    පරිශීලකයින් භාෂා ඉගෙන ගන්නා ආකාරය වැඩිදියුණු කිරීම සඳහා උසස් AI තාක්ෂණය / advanced AI technology භාවිතා කරමින් සමාගම වීඩියෝ ඇමතුම් සහ adventures එහි වේදිකාවට එක් කර ඇත. මෙම නව මෙවලම් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සඳහා ඉගෙනීම වඩාත් අන්තර්ක්‍රියාකාරී සහ විනෝදජනක කිරීමට අරමුණු කරයි.

    Duolingo තාක්ෂණය සහ සංගීත අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරයි

    මෙම උත්සවයේදී, Duolingo සංගීත අධ්‍යාපනය සඳහා එහි නව සැලසුම් ද බෙදාහදා ගත්තේය. සමාගම ජනප්‍රිය අතේ ගෙන යා හැකි උපකරණ නිෂ්පාදකයෙකු වන Loog සමඟ හවුල් වී ඇති අතර සංගීතය, භාෂාව සහ සංස්කෘතිය අතර සම්බන්ධය ඉස්මතු කිරීම සඳහා ග්‍රැමී ජයග්‍රාහක ජෝන් බැටිස්ට් සමඟ ආකර්ශනීය සංවාදයක් පැවැත්වීය.

    Duolingo හි ප්‍රධාන විධායක නිලධාරී Luis von Ahn සමාගමේ දැක්ම බෙදා ගත්තේ, “අපට සෑම කෙනෙකුටම හොඳම අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය වන අතර එය සිදු කිරීමට තාක්‍ෂණය ප්‍රධාන වේ.” නව AI බලයෙන් ක්‍රියාත්මක වන විශේෂාංග සමඟින්, මිනිසුන්ට භාෂා ප්‍රගුණ කිරීමට සහ සැබෑ ජීවිතයේ වඩාත් විශ්වාසයෙන් සිටීමට විනෝදජනක සහ Lily යන ක්‍රම නිර්මාණය කිරීමට Duolingo බලාපොරොත්තු වේ.

    නව වීඩියෝ ඇමතුම් විශේෂාංගය Duolingo Max පරිශීලකයින්ට Duolingo හි ජනප්‍රිය චරිතයක් වන Lily සමඟ සජීවී සංවාද කිරීමට ඉඩ සලසයි. මෙම AI බලයෙන් ක්‍රියාත්මක වන මෙවලම පරිශීලකයින්ට අඩු පීඩන පසුබිමක ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හෝ ප්‍රංශ භාෂාවෙන් කථා කිරීමට උදවු කරයි. සංවාද සැලසුම් කර ඇත්තේ ස්වාභාවික හැඟීමක් සහ ඉගෙන ගන්නන්ගේ කුසලතා මට්ටමට අනුවර්තනය වන පරිදි, ආරම්භකයින්ට විශ්වාසය ගොඩනඟා ගැනීම පහසු කරවයි.

    මෙම තත්‍ය කාලීන අන්තර්ක්‍රියාව පිරිනැමීමෙන්, වීඩියෝ ඇමතුම සැබෑ ලෝක සංවාද සඳහා ඉගෙන ගන්නන් සූදානම් කරයි, භාෂා භාවිතය වඩාත් ඵලදායී සහ විනෝදජනක කරයි.

    Duolingo හි නව Adventures විශේෂාංගය ඉගෙන ගන්නන්ට අතථ්‍ය Duolingo ලෝකයක් ගවේෂණය කළ හැකි විනෝදජනක, ක්‍රීඩාවක් වැනි අත්දැකීමකි. ඇඩ්වෙන්චර්ස් හි, පරිශීලකයින් ඔස්කාර් සහ ලිලී වැනි චරිත සමඟ අන්තර් ක්‍රියා කරන අතරම කෝපි ඇණවුම් කිරීම හෝ විදේශ ගමන් බලපත්‍රයක් පරීක්ෂා කර ගැනීම වැනි සැබෑ ජීවිතයේ අවස්ථා සඳහා ඔවුන්ගේ භාෂා කුසලතා යොදා ගනී. මෙම අන්තර්ක්‍රියාකාරී විශේෂාංගය ඉගෙනීම වඩාත් ආකර්ශනීය කරවන අතර පරිශීලකයින්ට ඔවුන් ඉගෙන ගත් දේ ප්‍රායෝගික ආකාරයෙන් යෙදීමට උදවු කරයි.

    Android සහ iOS යන දෙඅංශයෙන්ම ලබා ගත හැකි, ඇඩ්වෙන්චර්ස් නිර්මාණය කර ඇත්තේ අධ්‍යාපනය සමඟ විනෝදාස්වාදය මුසු කිරීමට, භාෂා ඉගෙනීම සෑම තරාතිරමකම පරිශීලකයින්ට ප්‍රියජනක කරවීමටය.

    භාෂා ඉගෙනීමට අමතරව, Duolingo එහි සංගීත පාඨමාලාව පුළුල් කරයි. සංගීත ඉගෙන ගන්නන් සඳහා විශේෂ විදුලි පියානෝවක් නිර්මාණය කිරීමට සමාගම Loog සමඟ හවුල් වී ඇත. මෙම සංයුක්ත අෂ්ටක තුනේ පියානෝව $250ට පෙර-ඇණවුම සඳහා ලබා ගත හැකි අතර Duolingo ගේ සංගීත පාඩම් සමඟ හොඳින් ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇත.

    Sony Music සමඟ ඇති හවුල්කාරිත්වයට ස්තූතිවන්ත වන්නට, ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ පාඩම්වලට විනෝදජනක, සංගීතමය පෙරළියක් එක් කරමින් ප්‍රසිද්ධ කලාකරුවන්ගේ ජනප්‍රිය ගීත සමඟින් වාදනය කළ හැකිය.

    Duocon 2024 හිදී, Grammy සම්මානලාභී කලාකරු Jon Batiste සංගීතය, භාෂාව සහ සංස්කෘතිය අතර සම්බන්ධතා පිළිබඳ ඔහුගේ අදහස් බෙදා ගත්තේය. Duolingo ගේ ප්‍රවේශය ලොව පුරා සිටින පුද්ගලයින්ට මෙම නිර්මාණාත්මක අලෙවිසැල් හරහා සම්බන්ධ වීමට උපකාර වන ආකාරය ඔහු ඉස්මතු කළේය.

  • පළාත් 09ටම නව ආණ්ඩුකාරවරුන් – නම් ලැයිස්තුව මෙන්න

    පළාත් 09ටම නව ආණ්ඩුකාරවරුන් – නම් ලැයිස්තුව මෙන්න

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරන ලද  නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

    අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    1. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
    2. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
    3. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
    4. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
    5. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
    6. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
    7. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
    8. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
    9. කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

  • IMF ප්‍රධානියා ජනපති අනුරට දුන් සහතිකය

    IMF ප්‍රධානියා ජනපති අනුරට දුන් සහතිකය

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා / Kristalina Georgieva ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යවමින්, අනාගත සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක ජය ගැනීම සහා ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම් බව යළිත් අවධාරණය කළාය.

    “අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් විශිෂ්ට සම්බන්ධතාව IMF හි අපි ඉතා අගය කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි ස්ථිර හවුල්කරුවෙකු ලෙස සිටින බවත්, ඒ සඳහා සහාය වීමට සූදානම් බවත් ඔබට සහතික වීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ගොඩනැගීම සඳහා ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”

  • ජනපති අනුරට IMF සුබ පැතුම්

    ජනපති අනුරට IMF සුබ පැතුම්

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

    එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව ද ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

  • පාර්ලිමේන්තුව විසුරුවා හරී – මහ මැතිවරණය නොවැමබර් 14 වැනිදා

    පාර්ලිමේන්තුව විසුරුවා හරී – මහ මැතිවරණය නොවැමබර් 14 වැනිදා

    අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

  • නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

    නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

    නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි.

    අග්‍රාමාත්‍යවරිය යටතට පහත දැක්වෙන අමාත්‍යාංශ එක්කර ඇත.

    අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය

  • මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

    මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    එසේම නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.