Tag: featured

  • යාපනය ගුවන් තොටුපළ සංවර්ධනයට ඉන්දියාව සමග අවබෝධතා ගිවසුමක්

    යාපනය ගුවන් තොටුපළ සංවර්ධනයට ඉන්දියාව සමග අවබෝධතා ගිවසුමක්

    යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ. ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතයට පෙර මෙම ගිවිසුම අත්සන් කර අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද වසංගතය පැතිර යාම සදහා රට තුළ පැවති තත්ත්වය මත එය ප්‍රමාද විය. දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා කීවේය.

    යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ප්‍රදානයක් ලබා දීමට එකගතාවය පල කර තිබේ. මෙමගින් පැමිණීමේ හා පිටත් වීමේ ගුවන් මගීන්ගෙන් ගුවන් මළු මෙහෙයුම් කටයුතු සදහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථාන ගත කිරීම, පිටත් වීමේ අංශයේ ගුවන් මගී පරීක්ෂාව හා ගුවන් මගීන් බෙදා වෙන් කීරීම ස්ථාන ගත කිරීම, ජල සැපයුම අපහරණ ජල පද්ධතිය අපද්‍රව්‍ය බැහැරුම් පද්ධතිය වැනි පහසුකම් වැඩි දියුණු කිරීමට අපේක්ෂිතය.

    දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාව විසින් ආරම්භ කළ යාපනය පලාලි ගුවන් තොටුපල නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස දකුණු ඉන්දීය ගමනාන්තයන් සදහා ගුවන් ගමන් ක්‍රීයාත්මක විය. කොටි ත්‍රස්ත්‍රවාදය හේතුවෙන් 1980 න් පසු මෙවැනි ගුවන් මෙහෙයුම් නතර වු අතර 2002 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලනයට නැතුව සිදුවූයේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් පමණි. මෙය නැවත ගුවන් ගමන් සදහා විවෘත කෙරුනේ 2019 ඔක්තෝම්බර් 17 වන දිනයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කඩිමුඩියේ මෙම ගුවන් තොටුපළ විවෘත කළ ද එම ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් වලින් සමන්විත නොවීම පිළිබදව වවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වීය.

    ඇමති ප්‍රසන්න රණුතංග මහතා සචහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රට විවෘත වීමත් සමග කටුනායක ගුවන් තොටුපළට අමතරව  මත්තල හා යාපනය, රත්මලාන ගුවන් තොටුපළවල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු ව ඇති බවයි. මෙම ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ගුවන් සමාගම් දිරි ගැන්වීම සදහා විවිධ සහන ලබා දීමට ද රජය කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සදහන් කළේය.

  • මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

    මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

    මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.

    සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    පසුගිය වසර 05 අවසානයේ ආයතනය භාර ගන්නා විට පැවති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් ජනපතිවරයා ඉදිරි වසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව පැවසීය.

    රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමග තරගකළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

    රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුව ඇති ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ.

    ඒ පිළිබඳව සොයා බලා මුදල් අය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්. චන්දන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ආගමික මෙහෙයන් සහ උපකාරක පන්ති ඇරඹීමට ‘සීමාවන්ට සහිත’ අවසර

    ආගමික මෙහෙයන් සහ උපකාරක පන්ති ඇරඹීමට ‘සීමාවන්ට සහිත’ අවසර

    ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 

    නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා වේ. නමුත් සිසුන් සිය දෙදෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් සහභාගී කරවා ගැනීමට අවසර දෙන බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කළ යුතු බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකි බවත් මෙම සියලූම අවසරයක් ලබා දෙනු ලබන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලු පාර්ශවයන් විසින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

  • මහ මැතිවරණය අගෝස්තු 5 වන දා –  අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

    මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි.

    මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය සෙනසුරාදා දිනයන්වල පැවැත්වීමට මැතිවරණ කොමිෂම පියවර ගෙන තිබුණ අතර මෙවර එය බදාදා දිනයක පැවැත්වීම විශේෂත්වයකි.

    මෙම මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවලට චෝදනා කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමන් මීට පෙර පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැම් මාධ්‍යවල පළ කර තිබූ බවට චෝදනා කළේය.

    “මම කිව්වෙ එක ම කොරෝනා රෝගියෙක්වත් නැහැයි කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා කියනව නම් අපිට මාස දෙකක් යන්න කලින් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඒත් සමහර මාධ්‍යවල පළ වුණේ, මහ මැතිවරණය පවත්වන්න එක රෝගියෙකුවත් නැති වෙනකම් මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නව කියලා.”

    මෙහිදී මැතිවරණය දිනය තීරණය කළ ආකාරය ගැන කරුණු පැහැදිලි කරමින් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඡන්ද විමසීම නිසා කොරෝනාවෛරසය ව්‍යාප්තවීමට ඇති අවදානම වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මාස දෙකක පමණ කාලයක් ඒ සදහා ගත විය හැකි බවය.

    ‘අපි මෙවර මහ මැතිවරණය සදහා වැය වන වියදම රු. කෝටි 650ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණා. ඒත් වත්මන් තත්ත්වය යටතේ එම වියදම රුපියල් කෝටි 900 ද ඉක්මවිය හැකි බවට අපි ගණන් බලා තිබෙනවා‘

  • ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී

    ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී

    පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව බී.බී.සී ලෝක සේවය අද (9) වාර්තා කළා. එම වාර්තාවල සදහන් වන්නේ ඔහුගේ මෘත දේහය සඳුදා (අද දින) ඔහුගේ මව මිහිදන් කළ ස්ථානය අසල තැන්පත් කරන බවයි.

    ෆ්ලොයිඩ් පසුගිය මාසයේදී මිනියාපොලිස්හිදී මිය ගියේය. සුදු පොලිස් නිලධාරියෙක් සිය දණහිස ජෝර්ජ්ගේ බෙල්ලේ මිනිත්තු නවයකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි අතර, ඔහුගේ අවසන් මොහොත දුරකථනයෙන් රූගත කරන ලදී.

    ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් සිවු දෙනකු සේවයෙන් පහ කර තිබේ.

    ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් ෆ්ාලායිඩ්ගේ බිරිය සහ ඥාතීන් හමු වී සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

    ෆ්ලොයිඩ්ගේ මරණය “ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ඨතම ඇඟවුම් ලක්ෂ්‍යයක්” යැයි බිඩෙන් පසුව සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සති අන්තයේදී ප්‍රකාශයක් කරමින් ‘ෆ්ලොයිඩ්ගේ මරණය ගැන නින්දිත ප්‍රකාශයක් කරමින් මැතිවරණ වාසි ලබා ගැනීමට ක්‍රියා කළ බවට‘ බිඩේන්ව තියුණු ලෙස විවේචනය කළා.

    අවමංගල්‍ය සැලසුම් මොනවාද?

    සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ, ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවය සදහා ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ දේවගැතිවරුන් 500ක් පමණ සහභාගී වන බවයි.  

    මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් මිනිත්තු අටක් තත්පර 46 ක් නිහඩව සිටීමෙන් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතුවලට ගෞරව කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය පොලිස් නිලධාරියා විසින් ෆ්ලොයිඩ්ගේ ගෙළ සිරකර ගෙන සිටි කාලයයි.

    ජූනි 9, හූස්ටන් හි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටියේ වැලපෙන්නන්
    ශෝකවන්නෝ අවසන් කටයුතුවලට පෙර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටිය නැරඹූහ

    පසුව මිනී පෙට්ටිය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පර්ලන්ඩ් හි සුසාන භූමියකට ගෙන යනු ලැබේ. පෙරහැරේ අවසාන සැතපුම සඳහා එය අශ්ව කරත්තයකින් ගෙන යනු ලැබේ.

    ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටිය, ජූනි 9
    ෆ්ලොයිඩ්ගේ මෘත දේහයට අවසන් ගෞරව දක්වන පිරිස්

    පෙරහැර පසු වන විට මහජනතාවට ආරක්ෂිතව ගෞරව දැක්වීමට ඉඩ සැලසෙන පරිදි මාර්ග බාධක ඉදිකර ඇත.

    පර්ලන්ඩ් සුසාන භූමියේ සොහොන් ගෙය, ජුනි 8
    ෆ්ලොයිඩ් පර්ලන්ඩ් හි සොහොන් ගෙයක තැන්පත් කරනු ඇත

    ඔහුගේ දේහය සඳුදා පැය හයක් පල්ලියේ ප්‍රදර්ශනය කර තිබුණි.

    ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ හිටපු බිරිද සහ දියණිය

    ෆ්ලොයිඩ් උපත ලැබූ මිනියාපොලිස් සහ උතුරු කැරොලිනාවේ ද අනුස්මරණ සේවා පැවැත්විණි.

    ෆ්ලොයිඩ්ගේ පවුල ගැන බිඩෙන් පැවසුවේ කුමක්ද?

    “ඔවුන් ඇදහිය නොහැකි පවුලක්. ඔහුගේ කුඩා දියණිය එහි සිටියා, ‘තාත්තා ලෝකය වෙනස් කිරීමට යනවා’ යැයි ඇය පැවසුවා. මම හිතන්නේ ඇගේ තාත්තා ලෝකය වෙනස් කරයි කියා,” බිඩෙන් සීබීඑස් හි නෝරා ඔ’ඩොනෙල්ට පැවසීය.

    ජෝ බිඩෙන්ට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල හමුවෙයි
    ජෝ බිඩෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල හමුවෙයි

    “මම හිතන්නේ මෙහි සිදුවී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම ඇඟවුම් ලක්ෂ්‍යයකි. ඇත්ත වශයෙන්ම, සිවිල් නිදහස, සිවිල් අයිතිවාසිකම් සහ මිනිසුන්ට ගෞරවයෙන් සැලකීම.”

    ජෝ බිඩෙන්: ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය “ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ඨ ප්‍රේරක ලක්ෂ්‍යයක්”

    අවමංගල්‍ය උත්සවයේ ඡායාරූපයක් ටීටීට් කළ ෆ්ලොයිඩ් පවුලේ ප්‍රකාශක බෙන්ජමින් ක්‍රම්ප් කියා සිටියේ ෆ්ලොයිඩ්ගේ ඥාතීන් බිඩෙන් මහතාගේ අදහස් පිළිගන්නා බවයි.

    හිටපු උප ජනාධිපතිගේ සහායකයින් පැවසුවේ අඟහරුවාදා උත්සවය සඳහා වීඩියෝ පණිවිඩයක් ද පටිගත කරන බවයි.

    විශ්ලේෂණ පෙට්ටිය උතුරු ඇමරිකානු වාර්තාකරු ඇන්තනි සර්චර් විසිනි

    සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ම ඔවුන්ගේ ඉදිරි මැතිවරණය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙම ඝාතනය දක්වයි.  ජෝ බිඩෙන් මුල සිටම කියා සිටියේ ඇමරිකානුවන්ට ඔවුන් කුමන ආකාරයේ ජාතියක් විය යුතුද යන්න නිර්වචනය කිරීමට නොවැම්බර් මාසය අවස්ථාවක් වනු ඇති බවයි.

    ප්‍රවීණ දේශපාලනඥයෙකුගේ සම්මත වාචාල කතා ලෙස බොහෝ දෙනා එය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේවෙතත්, දැන් බිඩන්ගේ ප්‍රතිරූපය ගොඩනැඟෙමින් තිබේ.

    පූර්ව ජනමත සමීක්ෂණවලින් පෙනී යන්නේ ජාතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇමරිකානු අදහස් සති කිහිපයකින් නාටකාකාර ලෙස වෙනස් වී ඇති බවත් සාමාන්‍යයෙන් අඩු ප්‍රමුඛතාවයක් ඇති මෙම ප්‍රශ්නය දැන් ඡන්දදායකයින්ගේ මනසෙහි ඉහළින්ම ඇති බවත්ය.

    මීට වසර හයකට පෙර ඇමරිකානුවන්ගෙන් 33% ක් පමණක් කියා සිටියේ පොලිසිය කළු ජාතිකයින්ට එරෙහිව අධික ලෙස බලය යෙදවීමට වැඩි ඉඩක් ඇති බවයි. දැන් එම සංඛ්‍යාව 57% කි. (සුදු ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 49% ක් ද ඇතුළුව)

    කළු ජාතික ඡන්දදායකයින් තම ඩිමොක්‍රටික් ප්‍රාථමික සහයෝගයේ කොඳු නාරටිය බව සලකන බිඩෙන්, මැතිවරණ ආයෝජනය සඳහා හොඳින් ස්ථානගත විය හැකිය.

    මැතිවරණයට අනපේක්ෂිත සිදුවීම් හා චලනයන් මත රැඳී සිටිය හැකි අතර, සාර්ථක අපේක්ෂකයින් රැල්ල හඳුනාගෙන එය ජයග්‍රහණය කරා ගෙන යයි. මාස පහක් ඇමරිකානු දේශපාලනයේ සදාකාලික වන අතර, බිඩෙන් ඔහුගේ මොහොත සොයාගෙන ඇත.

    බී.බී.සී ලෝක සේවය 2020 ජූනි 09 වැනිදා පළ කළ වාර්තාවක් ඇසුරිණි

  • මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි : අලුත් ගමනකට හැරවුමක් ගනී

    මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි : අලුත් ගමනකට හැරවුමක් ගනී

    වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි.

    එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ තමා ඉදිරියටත් මාතර ජනතාවගේ ආශිවාදය අපේක්ෂා කරන බවද ඔහු පැවසිය. 

    ‘සමගි ජන බලවේගයෙන්’ මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතව සිටි මංගල සමරවීර එබව සඳහන් කර සිටියේ, මාතර පිහිටි ඔහුගේ නිවසේ අද (ජුනි 09) පස්වරුවේ පැවති සාකච්ඡාකදීය. මාතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.

    ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පැවසු මංගල සමරවීර, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දන්වා ඇතැයි මංගල සමරවීර කියා සිටියේය.

    එහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර ප්‍රකාශ කළේය.

    මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය. 

    තිස්වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බව ද  සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළයුතුව ඇති බව ද එහිදී සඳහන් කර සිටියේය.

    කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන,  එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.

    මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි යලි යලිත් අවධාරණය කර සිටි මංගල සමරවීර, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

  • 05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට පත්වෙමින්,  අදියර 4ක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන  තිබේ.

    රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් ද පදනම් කරගනිමින්, අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ද උපදෙස් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය තුළ පළමු අදියර ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාවට නැංවෙන අතර එහි දී සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ  අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට පූර්ව සූදානම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. මේ සඳහා ජුලි මස 03 වැනි දා දක්වා කාලය පළමු අදියර යටතේ වෙන් කර ඇත.

    සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන් ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේ දී වන අතර, ඒ යටතේ ජුලි මස 06 වැනි  සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ.  තුන්වැනි අදියරේ දී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා  ජුලි මස 20 වැනි දා සිට ආරම්භ කෙරේ. සිවුවැනි අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වැනි දා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලැබේ.

    1 සහ 2 ශ්‍රේණිවල සිසුදරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය තවදුරටත් ප්‍රමාද කරන අතර, ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත ය. 

    ගත වූ කාල පරිච්ඡේදය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ නොහැර කරගෙන යාමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඇතුළු වෙනත් පාර්ශව රැසක් විශාල සහයෝගයක් ලබාදුන් බව ද, විශේෂයෙන් ම ජනමාධ්‍ය  ඔස්සේ දරුවන්ට ලබාදුන් සහයෝගය ද මෙහි දී කෘතවේදී ව සිහිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන් ම ගත වූ අභියෝගාත්මක කාලය තුළ ඇඳිරි නීති මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් ලබාදුන් විශිෂ්ට සහයෝගයට  ද ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ ආයතනවල සියලු නිලධාරීන් ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පළ කළේය.

    දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත් සියලු සමාජ ස්තරයන් තුළ නවීන තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවෙන් පැවති උනන්දුව  ගත වූ කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂ ලක්ෂණයක් බව ද, කොරෝනාව මාරයෙක් වුව ද එවැනි කරුණු සම්බන්ධයෙන් වෙස්වළාගත් ආශිර්වාදයක් බවට පත්ව ඇති බව ද, පෙන්වා දුන් අමාත්‍යවරයා, ලක්ෂ 50කට ආසන්න ශ්‍රී ලාංකීය දරුවන්  දින 100කට අධික කාල සීමාවක් තුළ නිවාස අඩස්සියෙහි තැබූ මෙම අභියෝගය හමුවේ දරුවන් තාක්ෂණය සමඟ එක්වීම දෙමව්පියන් විසින් සුබවාදී ව දැකීම ද යහපත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළේය.  පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බව ද, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කළ ‘සුව විරුවන්ට’ තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් !

    Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කළ ‘සුව විරුවන්ට’ තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් !

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල  අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි

    මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.

    පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – මේ වන විට කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා රෝහල් 10 ක් තෝරාගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු බවට නිශ්චිතව තහවුරු වූ පසු මෙම රෝහල් 10 තුලින් එකකට ප්‍රතිකාර සේවාවන් සදහා ඇතුළත් කරනවා. එම රෝගියෙකුට දින 14 හෝ දින 28 යනතුරු රෝහලේ රැදී සිටීමට සිදු වෙනවා. එම කාලය තුල වෙනත් රෝගීන්ට මෙන් තමන්ගේ නිවසින් හෝ පිටතින් ගෙනෙන ආහාර ඇතුලු කිසිම දෙයක් ඔවුන්ට ලබාදීම සුදුසු නැහැ. එම නිසා එම කටයුත්ත සිදු වෙන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම අපේ වගකීමක්. පසුගිය කාලය තුල මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් වලට නොයෙක් ප්‍රදානයන් ලැබුනා.

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයන් රෝහල්වල රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිස් සමග රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තිබෙන තිබෙන ප්‍රශ්ණ මොනවාද කියලා අද දින (09) සාකච්ඡා කළා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමාට මා උදෙස් ලබාදුන්නා කොව්ඩි 19 ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන ලෙස. තම ජිවිත අවධානම ද නොතකා රෝගීන් සමීපයට ගොස් ප්‍රතිකාර සිදුකළ වෛද්‍යහෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ලේකම් තුමාට උපදෙස් දුන්නා.

    එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා කොව්ඩි -19 රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමග දින දෙක තුනක් විනෝද වෙලා එන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සදහා ද අවශ්‍ය  කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම් තුමාට මා උපදෙස් ලබාදුන්නා.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සේඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.

  • ජගත් මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාව යළිත් පැටලෙයි

    ජගත් මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාව යළිත් පැටලෙයි

    මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

    ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් වෙත ලිපියක් යවමින් මහ කොමසාරිස්වරිය විසින් 2020 ජූනි 03 දින COVID-19 කාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සඳහනක් තිබූ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

    විශේෂයෙන්, COVID-19 වසංගත කාලසීමාවේදී, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මත වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට සියලු රටවල් සහ රජයන් පියවර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.මෙම ක්‍රියාමාර්ග 2020 මැයි 18 වන දින ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී (WHA) සම්මත කරන ලද COVID-19 ප්‍රතිචාරය පිළිබඳ සම්මුති යෝජනාවලියට අනුකූල වන අතර, මෙමඟින්, අනෙකුත් දේ අතර, COVID-19 පිළිබඳව  ජනතාවට විශ්වාසදායක හා සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙසත් වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුවලට එරෙහිව පියවර ගන්නා ලෙසත්  සාමාජික රටවලින් ඉල්ලා සිටී.


    2020 අපේ‍්‍රල් 01 වන දින ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නියෝගයේ අන්තර්ගතය පැහැදිලි කරමින්, එම ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ මෙම නියෝගය මගින්  රජයේ සේවකයෙකුට ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමේදී බාධා කිරීම, රජයේ සේවකයෙකුට වැරදි සහගත ලෙස අවහිර කිරීම, රජයේ සේවකයෙකු ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමෙන් වළක්වා ගැනීම සඳහා සාපරාධී බලය යෙදවීම, නිරෝධායන නියෝගයකට අකීකරු වීම සහ පරිගණක තාක්ෂණය භාවිත‍යෙන් මහජන නීතිය හා සාමය හා නිරෝධායන ක්‍රියා පටිපාටිවලට බාධා ඇතිකරන ක්‍රියාවන් සිදුකිරීම්වලට අදාළවන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හැර “හුදෙක් විවේචන හෝ ව්‍යාජ හෝ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම හේතුකොටගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී නොමැති බවයි”.

    මෙවැනි පරිමාණයේ ගෝලීය වසංගතයකට මුහුණ දීමේදී ඇතිවන වෙනත් අභියෝග රාශියක් මධ්‍යයේ ශ්‍රී ලංකා රජය COVID-19 සම්බන්ධයෙන් තම ජනතාවගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කර්තව්‍යයේ මාස ගණනාවක් පුරා නියැලී සිටින බව ද එම ලිපියේ සඳහන් වේ. “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පැසසුමට ලක් කරන ලද රජයේ අඛණ්ඩ ප්‍රයත්නයන්හි සාර්ථකත්වය මගින් මෙම බෝවන රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හා මහජනතාව, විශේෂයෙන් සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට හැකිවූ බව එය නිරීක්ෂණය කළේය. මෙය කිරීමට හැකිවී තිබෙන්නේ බොහෝ දුරට ජාතික වශයෙන් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්  සියලු පාර්ශවකරුවන් දක්වන  සහයෝගිතාවය මෙන්ම නිවැරදි තොරතුරු මහජනයාට සන්නිවේදනය කිරීම හේතුවෙනි”. “රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ නිසි නීති ක්‍රියාවලියට අනුකූලව සහ මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් මෙම වසංගත කාලසීමාවේදී සමාජයේ සියලු කොටස්වලට හානියක් සිදුකොට ඇති හෝ බලපෑම් ඇතිවීමට ඉඩකඩ ඇති අසත්‍යයන් මැඩපැවැත්වීමේ අරමුණින්” බවද මෙම ලිපියේ දැක්වේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළිත් අවධාරණය කරන අතරම, රටවල් මුහුණ දී ඇති පෙර නොවූ විරූ ඉහත අභියෝගයන්ට සංවේදී වන ලෙසත් සහයෝගීතාවයේ නාමයෙන් කටයුතු කරන ලෙසත්  ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

  • පොහොර හිගයට හේතු දක්වමින් නිලධාරීන් ජනපති හමුවේ ‘ජාමේ බේරා ගනී’

    පොහොර හිගයට හේතු දක්වමින් නිලධාරීන් ජනපති හමුවේ ‘ජාමේ බේරා ගනී’

    කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

    පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර  ප්‍රශ්නය පැන නගී. කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

    රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ස්වභාවය විශාල වෙනසකට ලක්ව තිබේ. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීහූ අධික  පොහොර භාවිතයට හුරු වි සිටිති. මේ තත්ත්වයෙන් ක්‍රමානුකූලව මිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    පොහොර සැපයුම හා බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්වය සොයා බැලීමට අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණි.

    යල කන්නයේ වගාව ආරම්භයත් සමග පොහොර පිළිබඳ ගැටළුව නැවතත් පැන නැගී තිබේ. වී සඳහා ඉහළ මිලක් ලැබීම නිසා ගොවීහූ වැඩිපුර වී වගාවට යොමුව සිටිති. කෘෂි ආනයන සීමා කිරීමත්, වතු වගාව සහ එළවළු පළතුරු සහ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණය ඉහළ යාමද පොහොර ප්‍රශ්නයට මුල්වී ඇති බව  නිලධාරීහූ සහ ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

    උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය

    පොහොර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව කෘෂි නිලධාරීන් සහ මාධ්‍ය මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. උතුරේ ගොවීහූ කාබනික පොහොර භාවිතයට නැඹුරුව සිටිති. ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ද ඉහළ බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය කීවාය.

    අතීතයේ මෙන් රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලුවලින් නිදහස් වීමට හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

    කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, කාබනික පොහොර ඉක්මණින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    කාබනික පොහොර යෙදා ගනිමින් අස්වද්දා ඇති වගාබිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම පිණිස අස්වනු මිලදී ගැනීමේ දී වැඩිමිලක් නියම කිරීමටත් ඒ සඳහා  සහන සැලසීමටත් අවධානය යොමු වී තිබේ.

    කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට

    මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට

    මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (9) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.

    ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පෙර නොවූ විරූ මෙම කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ ජාත්‍යන්තර තත්ත්වය තුළ දී ශ්‍රී ලාංකික ජනතාව සහ ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් සහය සහ සහයෝගීතාවය පිළිබඳව එම තානාපතිවරුන් මඟින් එම මැදපෙරදිග රටවල රජයන් වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

    මෙම අවස්ථාවට, සෞදි අරාබියේ තානාපති අබ්දුල්නාසර් එච්. අල් හර්ති මැතිතුමා, කුවේටයේ තානාපති කලාෆ් එම්. බු ධෙයාර් මැතිතුමා, ඊජිප්තුවේ තානාපති හුසේන් එල් සහාර්ටි මැතිතුමා, පලස්තීන රාජ්‍යයේ තානාපති සුහයර් හම්දල්ලා සෙයිද් මැතිතුමා යන තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගී වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හුමයිඩ් අල් තමීමි, කටාර්හි හමාඩ් අල් බුවෙයිනන් හා ඉරාකයේ කුටෙයිබා අහමඩ් අල්කෙරෝ යන වැඩබලන තානාපතිවරු ද ලිබියාවේ අමාත්‍ය අමර් ඒ. එම්. මුෆ්තා මැතිතුමා ද ඒ සමඟ එක්වූහ.

    මැදපෙරදිග ජීවත් වන හා සේවය කරන විශාලතම විදේශගත ප්‍රජාව ලෙස, එම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අගය කිරීමට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මෙහි දී අවස්ථාව සලසා ගත්තේය. එම කලාපයෙන් ආපසු පැමිණෙන අය ක්‍රමානුකූල ආකාරයකට ගෙන ඒම සඳහා රජය සැලසුම් කොට ඇති බව ද ඔහු පැවසීය.

    එක් රජයකින් තවත් රජයක් වෙත ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් තුළින්, මෙම කලාපය සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා තවදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකා තේ සහ පළතුරු හා එළවළු වැනි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ මෙම සමාජ-ආර්ථික හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ඔහු සුබවාදීව අදහස් පළ කළේය.

    නොබැඳි මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දිගටම කටයුතු කරන බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම්වලට සහ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති අයිතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය ලබා දී ඇති බව ඔහු සිහිපත් කළේය. පලස්තීන ජනතාවගේ ආරක්ෂාව හා යහපැවැත්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම අඩු නොවී පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

    මැදපෙරදිග කලාපය විසින් ලබා දී ඇති සෞදි සංවර්ධන අරමුදල, කුවේට් අරමුදල හා අරමුදල් සපයන වෙනත් නියෝජිතායතන වෙතින් පිරිනැමෙන සංවර්ධන ආධාර පිළිබඳව ස්තූතිවන්ත වන අතර, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අනාගතයේ දීද එවැනි සංවර්ධන ආධාර පිළිගන්නා බව පැවසීය. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද, ශ්‍රී ලාංකිකයන් සුමට ලෙස ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කළේය.

    පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති සුහයර් හම්දල්ලා සයිද් මැතිතුමා, මැදපෙරදිග හා ශ්‍රී ලංකාව අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව ද සිහිපත් කළේය.

    මෙම සාකච්ඡාවට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සමඟ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

  • මේ ආණ්ඩුව බදුවලට තෙල් ගහලද? තෙල්වලට බදුගහලද? – සුනිල් හඳුන්නෙත්ති

    මේ ආණ්ඩුව බදුවලට තෙල් ගහලද? තෙල්වලට බදුගහලද? – සුනිල් හඳුන්නෙත්ති

    මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (9) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වුණා.

    ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගැසීම, ජනපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැර කටයුතු කිරීම, මැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා සම්බන්ධ සිදුවීම මෙන්ම මැතිවරණ කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් සහභාගී නොකිරීමේ ජනපති තීරණය ඇතුළු වත්මන් ආර්ථික – දේශපාලන ප්‍රවණතා ගැන මෙහිදී සුනිල් හදුන්නෙත්ති මහතා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කළා.

    අතිෂය දීර්ඝ වූ මෙම ජනමාධ්‍ය හමුවේ ඇති කාලීනභාවය නිසා සම්පූර්ණයෙන් පළ කිරීමට අපි තීරණය කළා.

    කොවිඞ් 19 වසංගතයත් එක්ක රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ආර්ථික කටයුතු නතර වී රාජ්‍ය යාන්ත්‍රණයත් නතර වුණා. යම් ප්‍රමාණයකට දැන් පරිපාලනය සහ ජනජීවිතය යථා තත්වයට පත් වුණත් ජනතාවගේ ආදායම් මට්ටම යථා තත්වයට පත්වෙලා නැහැ. මෙය යථා තත්වයට පත්වෙන්න නම් ආර්ථික කළමනාකරණය, ව්‍යාපාර, පරිපාලනය, යන සියල්ල යථා තත්වයට පත්වෙන්න ඕනෑ.

    නමුත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, මේසන් බාස්වරු, වඩු බාස්වරු, ටයිල් වැඩ කළ අය වගේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියා අහිමි වෙලා. ස්වර්ණාභරණ කර්මාන්තය යථා තත්වයට පත්වෙලා නැහැ. පෙරපාසැල් ගුරුවරියන්ගේ ආදායම් අහිමි වෙලා. නගරයේ කාමර කුලියට දීලා ආදායම් හොයාගත්ත අයගේ ආදායම් අහිමි වෙලා.

    පාසල් අධ්‍යාපනය යම් සීමිත පිරිසකට පහසුකමක් වුණත් බහුතර පිරිසකට ඒ අවස්ථාව ගිලිහිලා. අන්තර්ජාල පහසුකම් ලබාගන්න මුදල් ගෙවන්න බැරි මාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. මේ ආදී වශයෙන් ජන ජීවිතය එදිනෙදා ආදායම් අතට ඇවිල්ලා වියදම් කිරීමේ සාමාන්‍ය තත්වයට පත්වෙලා නැහැ. 

    මේ වගේ තිබියදී ආණ්ඩුව අත්තනෝමතික විදිහට ජනතාවට බඬේ පහර ගහන්න අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩවල බදුමිල වැඩි කරලා. ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනාධාරය සැමන් – පරිප්පුවලින් දෙනවා කී ආණ්ඩුව ඒ ද්‍රව්‍යවලටත් එක්කම විශේෂ වෙළඳභාණ්ඩ බද්ද පැනෙව්වා.

    ලංකාවේ කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්තවලට ආනයනික භාණ්ඩවලින් යම් තර්ජනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් විශේෂ වෙළඳභාණ්ඩ බද්ද ක්‍රියාත්මක කරනවා. දේශීය අල අස්වැන්න නෙළන කාලයට ආනයනික අල අධෛර්යමත් කරන්න, ඒ වගේම ළුෑණු ගලවන කාලයකට විශේෂිත භාණ්ඩ බද්ද පැනවීම උදාහරණක්. හැබැයි ආණ්ඩුව දැන් කරලා තියෙන්නේ අල ළුෑණූ පරිප්පු, සුදුළුණු, හාල් මැස්සන්, කරවල, පොල් තෙල් සීනි වගේ හැම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය්‍යකටම බද්ද ගහන එක.

    ආණ්ඩුව මේ වෙනුවෙන් යොදා ගත්තේ වෙන උපක්‍රමයක්. රජයේ සේවකයින්ගේ පඩි කපන්න කියලා පී.බී. ජයසුන්දර මහත්තයා ගහපු චක්‍රලේඛවලට විරුද්ධ වෙනකොට රටේ සමස්ත ජනතාවටම බලපාන විශේෂ භාණ්ඩ බද්ද ගහලා හැමෝම මත බදු බර පැටෙව්වා, මේක පී.බී. සූත්‍රය. මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි පී.බී. සූත්‍රය.

    ළුෑණු කිලෝ එකකට රු. 50 ගානේ බද්දක් ගැහුවාම රටේ ඉන්න පවුල් ලක්‍ෂ 60ම එක ලූණු කිලෝ එක ගානේ ගෙනිච්චත් ලක්‍ෂ 3,000ක ආදායමක් ලැබෙනවා. අනෙක් සියලුම භාණ්ඩවල තත්වය මේකමයි. ආණ්ඩුව එදා වේල දුවාගන්න ජනතාවගේ එදා වේලෙන් උදුර ගන්නවා. මේ නිසා කඬේ ප්ලේන්ටිය පවා රු. 25ට නගින්න පටන්ගෙන තිබෙනවා. විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දුප්පත් ගමේ මිනිහාට වදින්නේ මෙහෙම.

    ඉස්සරහට යන්න ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා දෛනිකව කන බොන දේට බදු ගහලා ආදායම් උපයනවා. ආණ්ඩුවෙන් දී තිබෙන මේ දඬුවමට පොහොට්ටුවට ඡන්දය දුන් මනුස්සයාටත් මේ දඩය කන්න වෙලා තියෙනවා. 

    මේ වෙලාවේ, කොරෝනා වසංගතය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරන වෙලාවේ වෙන උත්තර නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා කල්පනා කරන අයත් ඉන්නවා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. කොරෝනා නිසාම මාස 3ක් පුරා ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩුවෙලා තියෙනවා. වාහන වියදම්, විදුලි වියදම්, නඩත්තු වියදම්, පරිපාලන වියදම් අඩුවෙලා. විශේෂ ව්‍යාපෘති මේ කාලය තුළ සිද්ධ වුණේ නැහැ. මේ නිසා වෙනදා ගිය වියදම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. අපේ රටෙත් එහෙමයි.

    සමස්තයක් හැටියට ආර්ථිකය හැකිළෙනවා. ඒ නිසාම රජයේ වියදම් අඩුවීමේ ඉතිරියක් තිබෙනවා. මේ ඉතිරිවුණු සල්ලි මොනවාටද යෙදෙව්වේ කියන ප්‍රශ්නය තියෙනවා. කොවිඞ් 19 අරමුදලක් පිහිටුවලා ඒකට ආධාර ලබාගන්නවා. ඒ ආධාර මුදල්වලින් මොනවාද කරන්නේ? ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී රු කෝටි 20,000ක අරමුදලක් ආණ්ඩුව පිහිටෙව්වා. 

    මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා.

    මේ බද්ද එකතුවෙලා තියෙන්නේ රේගු ගාස්තු රු.50යි, එක්සයිස් ඩියුටි රු.27යි. වරාය හා ගුවන්තොටුපොළ ගාස්තුව 7.5%යි. සී.අයි.එෆ්. තක්සේරු ගාස්තුව 2.58%යි. ඊට අමතරව රු.26ක අධිබාරයක් ගහල තියෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් අඩුවෙද්දී රු.26ක අධිබාර බද්ද ගැහුවේ මාර්තු මාසේ 14වැනිදා ඉඳලා බල පැවැත්වෙන පරිදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා.

    මේ බදු ඔක්කොම එකතු කළාම රු.162ක් පෙට්‍රල් ලීටරයකට නියම වෙනවා. ඒ මිල රු.137 දක්වා අඩු කළා කියලා පෙන්වනවා. හැබැයි 137ට දෙන්නේ රු.41ට වරායෙන් ගොඩබාන තෙල් ලීටරයක් බව ජතතාවට හංගනවා. මේක යුක්තිසහගතද? සාධාරණද? තෙල් ලීටරයකට 100%ක බද්දක් ගැහුවත් සාධාරණ නැහැ. එහෙම තියෙද්දී 300%ක බද්දදක් ගහලා.

    කවුරුවත් තෙල් ලංකාවට ගොඩබාන්නේ රු.41ට කියලා ප්‍රවෘත්තිවලින් පෙන්වන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් අහන්නේ මෙහෙම ගන්න සල්ලිවලට මොකද වෙන්නේ කියලා? ජන ජීවිතය හොඳට ගතකරන සාමාන්‍ය තත්වයක් යටතේ දරාගන්න පුළුවන් ආර්ථිකයක් ඇතුළේ නම් සාධාරණ තර්කයක් කාට හරි ගොඩනගන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙවෙයි. ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන වෙලාවක්. 

    ඒ වගේම තෙල් සංස්ථාවට අයත් පිරිපහදුවේ පාඩුව රු. මිලියන 5100ක් බව හෙළිවෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාව මත තෙල් මිල වැඩිවීමට අමතරව පිරිපහදුවේ පාඩුවේ බරත් පටවලා තියෙනවා. ජනතාවට මේ සියලු බර පැටවී තියෙන්නේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පාලනය නොකරන නිසා. ආණ්ඩුව කියන්නේ තෙල් පරිහරණය අඩුවීම නිසා ආදායම් අඩුවී තිබෙන බවයි.

    නමුත් ඒක ඇත්ත නෙවෙයි. තෙල් පරිභෝජනය අඩුවීමෙන් ආණ්ඩුවේ ආදායම් අඩුවීමටත් වඩා වැඩි බදු ප්‍රමාණයකින් ආදායම් ඉහළ දාගෙන තිබෙනවා. පෙට්‍රල්, ඩීසල් සෘජුවම බලපාන්නේ ඉන්ධන පාරිභෝගිකයන්ට වුණත් වක්‍රව මුළු රටේම ප්‍රවාහන පද්ධතියට අදාළව ජීවන වියදම ඉහළ යන්න බලපානවා.

    පහුගිය දවස්වල රු. 90ක සහතික මිලක් හාල්වලට නියම කළා. හැබැයි ඒ ආණ්ඩුවම රු.98 දක්වා වැඩිකළා. හාල් මෝල්වල අයිතිකාරයෝ ඉස්සරහ ආණ්ඩුව දණ ගහලා මිල වැඩිකිරීම කළා. හාල් මාෆියාම ආණ්ඩුවේ බෙල්ල මිරිකන කොට, ආණ්ඩුව එදා වේල ගත කරන්න ජනතාවගේ බෙල්ල මිරිකනවා. තෙල් මාෆියාවෙන් කරන්නෙත් ඒක.

    මේ තත්වයෙන් ගැලවෙන්න ඕනෑ. හැම දේම කොරෝනා පිට තියලා නිහඬව දරා ගන්න කියලා ආණ්ඩුව එල්ල කරමින් තිබෙන පීඩනය කවුරු දරාගන්න ලැහැස්ති වුණත් අපි ඒකට ලැැහස්ති නැහැ. හේතුව ඇත්තටම ජනතාවට සහනයක් දෙන්න පුළුවන් වෙලාවක් මේක. ජනතාවට සහනයක් අවශ්‍ය වෙලාවක් මේක. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන පවා ලබාගන්න අසීරුවෙන් ඉන්න වෙලාවක ප්ලේන්ටියක් රු. 25කට බොන්න සිද්ධ වෙලා නම් අපි ආණ්ඩුවට බල කරනවා තෙල්වල බද්දෙන් ආණ්ඩුව උපයන ආදායම් ජනතාවට දිය යුතුයි කියලා. විශේෂ වෙළඳ  භාණ්ඩ බද්ද වගේ පීඩාකාරි බදු ඉවත් කරලා ජනතාවට සහන ලබාදිය යුතුයි. අපි ජනතාවත් එක්ක ඒ සඳහා හඬ නැගීම් කරනවා. 

    තවත් වැදගත් කාරණයක් මතක් කරන්න තියෙනවා. පුරවැසියෝ හැටියට අපි කවුරුත් මොන විවේචන තිබුණත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. මේ ව්‍යවස්ථාවේ විවිධ වගන්ති යොදාගෙන ආණ්ඩුව ගේම් ගහන්න පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුවකට එහෙම ගේම් ගහන්න බැහැ. පහුගිය මැයි මාසේ 31වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛ III/2020 ඉදිරිපත් කර තිබෙනවා. 2020ට අයවැය ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා නැහැ. හැබැයි අයවැය චක්‍රලේඛයක් කියලා බිලියන 1023ක් ඒකාබද්ධ අරමුදලින් ජූනි 01 ඉඳලා අගෝස්තු 31 දක්වා අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් හදාගෙන තිබෙනවා.

    පාර්ලිමේන්තුව රැස් නොකර මාස 3කට ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය ආයෙත් සැරයක් යොදාගෙන තිබෙනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් බලය ලබාදී තිබෙන බව චක්‍රලේඛයේ සඳහන් වෙනවා. ජනාධිපතිතුමාට මෙහෙය බලයක් ලබාදෙන්න බැහැ.

    150(3) වගන්තියේ ඉතා පැහැදිලිව තිබෙන්නේ අයවැය ඉදිරිපත් කරලා නැති වෙලාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර නැති තත්වයක් තුළ “අභිනව පාර්ලිමේන්තුව රැස්වන දින සිට” මාස 3ක් සඳහා මුදල් වෙන්කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවයි. හැබැයි මේ  වෙලාවේදී අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් නැහැ.

    මේ ගොල්ලෝ ජූනි 01වැනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා රු. බිලියන 1023ක් වෙන්කරගන්න අයවැය චක්‍රලේඛයක් විදිහට වෙන්කර ගැනීම කරලා තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් තුළද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. මෙහෙම දේකට කවුද බලය දීලා තිබෙන්නේ? 

    මේ චක්‍රලේඛයේ එක වගන්තියකිනුත් එහෙම බලයක් නැති බව ඔප්පු වෙනවා. පස්වැනි වගන්තියෙන් කියවෙන්නේ “මෙම කාලය තුළ ගෙවීම් වවුචර්වල සහ ලියකියවිලිවල අදාල අධිකාරිය ලෙස සඳහන් කල යුතු වන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) අනු ව්‍යවස්ථාව යටතේ වන අධිකාරිය  යන්නයි”.

    මේ අනුමත කළ මුදල්වලින් ගෙවනකොට ඒ වවුචර්වල සහ අනෙකුත් ලියකියවිලිවල මේ විදිහයට සඳහන් කිරීමෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ නියමය අනුව ගෙවීම් කළ බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල ගෙවීම් ප්‍රධානියා ජනාධිපතිවරයා නෙවෙයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් බව එතුමා දන්නවා.

    අමාත්‍යාංශ ලේකම් වෙනුවට අර ඡේදය සඳහන් කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා නිදහස් වීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනාධිපතිතුමා පිට තියලා බේරෙන්න උත්සාහයක් මේ කර තියෙන්නේ. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍යාංශවල ගෙවීම් සම්බන්ධ බලය ජනාධිපතිවරයාට නැහැ. මේ නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගෙවීම් සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා පිට තියලා මේක බරපතල වරදක්. ජනාධිපතිවරයාත් අමාරුවේ දාන වැඩක්. ජනාධිපතිතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද කියලා අපිට හිතාගන්න බැහැ.

    ව්‍යවස්ථාව උල්ලංඝනය කර වැඩ කිරීම ඉතා බරපතළ දෙයක්. 150(3) වගන්තිය පාවිච්චි කරලා මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන අත්තනෝමතික බලය ව්‍යවස්ථා විරෝධී වරදක් බව දැන දැන දිගින් දිගටම සිද්ධ කරනවා. මීට ඉස්සර මාර්තු මස 06වැනිදාත් මේ වැඬේ කර තිබෙනවා. දැක් කෙලින්ම අයවැය චක්‍රලේඛ ඉදිරිපත් කරන තත්වයට ගමන්කර තිබෙනවා. 

    මේවා දිහා ඇස් කණ් පියාගෙන බලා ගෙන ඉන්න සුදුහුණු දාග අයට පුළුවන් වුණාට අපට බැහැ. මේ ව්‍යවස්ථාවට අපේ විවේචන තිබෙනවා. තව කෙනෙක් ව්‍යවස්ථාව පිළිගන්නේ නැතිව ඉන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවට කවුරුත් යටත්. ඒ ව්‍යවස්ථාව තමයි දැන් ආණ්ඩුව උල්ලංඝනය කරලා තියෙන්නේ. ආණ්ඩුව ජනතාවට දෙන්න තියෙන සහන කප්පාදු කරලා, ජනතාව පිට බදු බර පටවලා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් ඉන්නවා.

    මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදෙන්න ඕනෑ. මේ වැරැද්ද නිවැරදි කරන තුරු අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම ජනතාවට සහන ලබාදෙන්න කියලා බලපෑම් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ආණ්ඩුව එල්ල කරන බරපතළ උල්ලංඝනය කිරීම් හෙළා දකිනවා. මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ ඇස් අරින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පවතින තත්වය පිළිබඳව ජනතාවටත් අවදියෙන් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    තෙල් සංස්ථාවේ පාඩුව පියවා ගන්න ජනතාව මත බර පටවන්න ඔය පාඩු කළේ ජනතාව නෙවෙයි. තෙල් ටැංකි ටික අයි.ඕ.සී. එකට දුන්නෙ ජනතාවට කියලා නෙවෙයි. ලාභ ලබන ෂෙඞ් ටික තෝරලා අයි.ඕ.සී. එකට දුන්නේ ජනතාවට කියලා නෙවෙයි. තෙල් සංස්ථාවට ලැබුණු ඒකාධිකාරිය දුන්නේ ජනතාවට කියලා නෙවෙයි.

    තෙල් සංස්ථා පිරිපහදුවෙන් තිබුණු ලාභයෙන් විතරක් මහවැලි, තම්මැන්නා, ජන ශක්ති කියලා නැව් 3ක් ලංකාවට මිලදී ගෙන තිබුණා. එහෙම ලාභ ලබන තෙල් පිරිපහදුව මිලියන 5,000ක් පාඩු සිදුකළේ ජනතාව නෙවෙයි. අකාර්යක්‍ෂමතාවය, හොරකම්, දූෂණවලට මුල් වෙලා ඉන්නේ ආණ්ඩුවෙන්ම පත්කරගත්ත ලොක්කො ටික. ඒ නිසා මේ පාඩුව ජනතාව පිට පටවන්න දෙන්න ඕනෑ නැහැ. 

    හූල් මහත්තයා කිව්ව කියන්නේ දූෂිතයින්ට, රැවටිලිකාරයින්ට ඡන්දය දෙන්න එපා කිවු බව නේ. ජී.එල්. පීරිස් මහත්තයා කියන්නෙ ඒ කතාව පොහොට්ටුවේ ඡන්දවලට බලපෑමක් වුණා කියලා. ඕක නිවැරදි කරන්න වෙන්නේ හූල් මහත්තයටම තමයි. මොන භාෂාවෙන් කිව්වත් හූල් මහත්තයට උත්තර දෙන්න තියෙන්නේ රැවටිලිකාරයන්ට, වංචනිකයන්ට ඡන්දය දෙන්න කියලාද? ඒ ප්‍රකාශයත් ජී.එල්. පීරිස් මහතත්යා බාර ගන්නවාද? ඒක එතුමගේ පුද්ගලික අදහස මිසක් මැතිවරණකොමිෂන් සභාවේ අදහසක් නෙවෙයි. අනෙක් අතට මැතිවරණ කොමිෂන් සභාව එහෙම කිව්වත් ඒක වරදක්ද? අනෙක් පැත්තෙන් රැවටිලිකාරයින්ට, දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා කියන එක එල්.ටී.ටී.ඊ. මතයක් කියලා මටනම් පේන්නේ නැහැ. මේක සියලු ජනතාව විසින් කරන්න ඕනෑ ඉල්ලීමක් කියලයි මම කියන්නේ. 

    මූල්‍ය බලය පිළිබඳව 150(3) වගන්තිය යොදා ගැනීම වළක්වන සහනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා තිබුණේ නැහැ. පෙත්සම්වලින් ඉල්ලලා තිබුණේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලයි. ශ්‍රේෂ්ඨාධිකරණයේද මේ ගැන විතරක් සාකච්ඡා වුණු නිසා මූල්‍ය බලය පිළිබඳව ප්‍රශ්නය යට ගියා. ඒ යට යාම විසින් මේ වරද නිවැරදි වෙන්නේ නැහැ. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයකින් සම්මත විය යුතුයි. ඩී.බී, ජයතිලක මහත්තයාගේ කාලයේ ඉඳාලාම අතුරු සම්මත ගිණුම් සම්බන්ධයෙන් මේ තත්වය අනුගමනය කරලා තිබෙනවා. ආණ්ඩුවට මුදල් සම්මත කර ගැනීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසන්න ඕනෑ. 

    ජනාධිපතිතුමා කියලා තිබුණා මැතිවරණ කටයුතුවලට ආයතන ප්‍රධානීන් පත්කර ගන්න එපා කියල. එහෙම කරන තැන්වලදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් දඬුවම් කරන බවත් කියලා තිබුණා. එහෙම නම් එතුමාම පත්කරපු කට්ටිය අයින් කර ගන්න පළවැනි පියවර ගන්න වෙන්නේත් එතුමාටම තමයි. ඒ දේශපාලන පත්වීම් දීලා තියෙන්නේත් එතුමාම තමයි. කාර්ය සාධක බළකායන්ට පත් කරලා තියෙන හුඟක් අය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවේ ඉන්න අපේක්‍ෂකයින්.

    එහෙම නම් මුලින්ම කාර්ය සාධක බලකායෙන් අයින් කරන්න වෙන්නේ බැසිල්  රාජපක්‍ෂ මහත්තයා. පොහොට්ටු පක්‍ෂයේ ප්‍රධාන නිලයක් බැසිල් රාජපක්‍ෂ මහත්තයා දරමින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉන්නවා. ඒ වගේම චරිත හේරත් මහත්තයත් ඉන්නවා. නිලධාරීන් මැතිවරණ කටයුතුවලට දේශපාලනිකව මැදිහත් වෙන්න එපා කියලා තියෙනවා නම් ඒ ප්‍රකාශයට අපි ගරු කරනවා. හැබැයි ඒ ප්‍රකාශය වැඩියෙන්ම අදාළ වෙන්නේ ජනාධිපතිතුමාම පත්කළ අයටයි. නඩුත් හාමුදරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. 

    ඇවන්ගාඞ් චෝදනා සම්බන්ධයෙන් ඇප පිට ඉන්න කෙනෙක් ඉදිරිපත් කරන තර්ක අපි ගණන් ගන්නේ නැහැ. රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව පරීක්‍ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමත් ජනාධිපතිතුමාට තිබෙනවා.

    ඒ හැර හොරෙක් ඇවිල්ලා අභියෝග කළාට අපි බාර ගන්නවාද? ඔය විදිහට ඇලෝෂියස් ඇවිල්ලා ගේම ඉල්ලුවොත් එහෙම අපි බාර ගන්නවාද මේ කියන අනුග්‍රහ අනුව හෙට අනිද්දා එහෙම වෙන්නත් බැරි නැහැ. මොන තරම් පිරිහීමක්ද මේ තියෙන්නේ? මේවා වැඩිපුරම වාර්තා කරන මාධ්‍යය බලන්න ඕනෑ මේ කතා කියන්නේ කවුද කියලා. ඔය චරිත පුම්බන්නේ මොකටද? හිරේ ඉන්න ඕනෑ හාදයෝ රජ පුටුවේ තියන ජාතියේ වැඩනේ දැන් සිද්ධ වෙන්නේ.

  • රනිල්ගේ බෑනා රුවනුයි – අර්ජුනයි ගම්පහ මන්ත්‍රීකමට මරා ගන්නවා !

    රනිල්ගේ බෑනා රුවනුයි – අර්ජුනයි ගම්පහ මන්ත්‍රීකමට මරා ගන්නවා !


    අපිට ආරංචි විදිහට ගම්පහට කඩා පාත් වුණ එක්සත් ජාතික පාක්ෂිකයෙක් පවා නොවන හිටපු ක‍්‍රිකට් ලොක්කා, අර්ජුන රණතුංග මහතා සහ එජාප නායකයාගේ බෑනා වන රුවන් විජේවර්ධන අතර දැවැන්ත සීතල යුද්ධයක් තිබෙනවා. ඔවුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සහ ශාඛා සමිතිවල නායකයින්ට දිගින් දිගටම බලපෑම් කරමින් ඉන්නවා.

    සුදුස්සාට සුදුසු තැන නොදී හිතමිතුරන්ට පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබා දීමට කළ යුතු කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙවර මහ මැතිවරණයේදී මතක සිටින පාඩමක් ඉගෙන ගනු ඇතැයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.

    ඊයේ (7) කිරිල්ලවල රංජිත් ප්‍රේ‍්‍රමතිලක මහතාගේ නිවසේ පැවැති ජනහමුවකදී මේ බව සදහන් කළ යූ. ජෝර්ජ් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේ සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් වන මහර ආසනයෙන් මෙවර සමගි ජනබලවේගය ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යූ.ජෝර්ජ් පෙරේරා මහතා මෙසේද පැවසුවේය.

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පරම්පරා තුනක් නියෝජනය කළ පක්ෂයක්. මගේ සීයා වගේම පියත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැඩි කැපකිරිමක් කළා. මාත් පසුගිය දශක තුනකට ආසන්න කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළා. අපේ ශක්තියෙන්, කැපවීමෙන් තමයි පක්ෂය මෙපමණ කාලයක් ජනබලය රැක ගත්තේ.

    ඒත් එජාපයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය ලබා ගත් දා සිට පක්ෂයට සෙනසුරු අපලය ලැබුවා. පාක්ෂිකයින් සහ මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් දැවැන්ත කැප කිරීම් කරලා ආණ්ඩු බලය ලබා දුන් 2001 දී වගේම 2015දීත් ආණ්ඩු බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. ඒ වගේම පාක්ෂිකයින් වෙනුවෙන් කිසිම සේවයක් ඉටු කළේ නැහැ. පාක්ෂිකයින් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. පක්ෂය ශක්තිමත් කිරීමක් ගැන හිතුවේ නැහැ.

    ඒ වෙනුවට එතුමගේ රාජකීය විදුහලේ මිතුරෝ ළං කරගෙන සියලු තනතුරු සහ වරප‍්‍රසාද දෙමින් පක්ෂය විනාශ කළා. පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් කළා. එහි ප‍්‍රතිඵල තමයි අපි අදත් මේ විදවන්නේ.

    2015දී එක්සත් ජාතික පාක්ෂිකයෝ දැවැන්ත කැප කිරීමක් කරලයි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා දුන්නේ. ඒත් ඒ බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. එතුමගේ රාජකීය මිත‍්‍රයෝ සහ පන්ති සගයෝ ඒ ආණ්ඩුව විනාශ කළා. ඒ නිසා අපිට නියමිත කාලයට පෙර, ආණ්ඩු බලය, ජනාධිපති බලය නැතිව මහ මැතිවරණයට යාමට සිදු වුණා. මේ සියලු දේවලින් පීඩාවට පත් වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ.

    පක්ෂයට, පාක්ෂිකයින්ට අඛණ්ඩව, දිගින් දිගටම සිදුවෙන මේ අගතිය, පීඩනය තව දුරටත් දරා ගන්න නොහැකි නිසයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සහ අපේ නායකයෝ සියලු දෙනා එකතු වෙලා සමගි ජනබලවේගය නිර්මාණය කළේ.

    එදා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. පේ‍්‍රමදාස මහතා දිනා දුන් එක්සත් ජාතික පක්ෂයේ නියම උරුමය, සැබෑ උරුමය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. අද එක්සත් ජාතික පක්ෂයේ සියයට 99ක්ම ඉන්නේ සමගි ජනබලවේගය සමගයි. ඒ නිසා අපි නොබියව කියනවා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජනබලවේගය සැබෑ ජනවරමක් ලබා ගන්නවා. විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වන මහර ආසනයෙන් ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නවා.

    මෙහිදී ඉතාම වැදගත් දෙයක් සදහන් කළ යුතුයි. ඒ තමයි පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තිබුණ ජනතා ආකර්ෂණය අද නැහැ. ජනතාවට දැන් ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි වෙලා තිබෙනවා. ජනතාව දැන් දන්නවා නොවැම්බර් 17 වැනිදා තමන්ව රැවටුණ බව. ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

    ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ තීරණාත්මක ජන කොටස වන මධ්‍යස්ථ ඡන්දදායකයා අද ආණ්ඩුව වෙතින් ඉවත් වෙමින් සිටිනවා. මහ මැතිවරණය ළං වන විට ඒ තත්ත්වය තව දුරටත් වර්ධනය වන බව පැහැදිලියි. ඒ නිසා අපිට ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක් කරන්න හැකියාව තිබෙනවා.

    මෙහිදී මා යළිත් එක්සත් ජාතික පක්ෂය ගැන සදහන් කළ යුතුයි. මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ගම්පහින් එක ආසනයක්වත් දිනා ගැනීමට හැකියාව ලැබෙයිද කියන එක සැකයි. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ විශාල බෙලිකැපීමක් සිද්ධ වෙනවා. ඒ වාසනාවටවත් ගම්පහින් ආසනයක් ලැබුණොත් ඒකට පත් වෙන්නේ කවුද කියලා.

    අපිට ආරංචි විදිහට ගම්පහට කඩා පාත් වුණ එක්සත් ජාතික පාක්ෂිකයෙක් පවා නොවන හිටපු ක‍්‍රිකට් ලොක්කා, අර්ජුන රණතුංග මහතා සහ එජාප නායකයාගේ බෑනා වන රුවන් විජේවර්ධන අතර දැවැන්ත සීතල යුද්ධයක් තිබෙනවා. ඔවුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සහ ශාඛා සමිතිවල නායකයින්ට දිගින් දිගටම බලපෑම් කරමින් ඉන්නවා.

    ඔවුන් අද ආණ්ඩුවට වඩා ඉලක්ක කරන්නේ සමගි ජනබලවේගයයි. සජිත් පේ‍්‍රමදාස මහතායි. ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගෞරවයෙන් මතක් කරනවා අද එජාපය කියන්නේ අලියා ගිල්ල දිවුලක් වාගේ රොඩ්ඩක්. එජාපයේ නියම සාරය, ජීවය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. ඒ නිසා මේ රටේ දැවැන්ත ස්ථාවර ඡුන්ද පදනමට හිමිකම් කියපු එජාපයේ ඡුන්දවලින් සියයට 99ක්ම සමගි ජනබලවේගය වටා එක් වෙමින් තිබෙනවා.

    මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තමා ද ඇතුළු 99 දෙනකු නෙරපීම ගැන අදහස් දක්වමින් ජෝර්ජ් පෙරේරා මහතා කියා සිටියේ එය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීම සඳහා ගෙන යන බිය ගැන්වීමේ වැඩපිළිවෙළක් බවයි.

    ‘‘මම වගකීමෙන් කියන්නේ. ඔය ලියන 99 දෙනා අතර මගේ නම 11 වැනියට තිබෙන්නේ. ඒත් අද වෙනතුරු අපිට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න දිනයක් හෝ චෝදනා ගොනු කිරීමක් කරලා නැහැ. අපි කියන්නේ අපි පක්ෂයේ විනය කැඩුවා නම් අපිට චෝදනා ගොනු කරලා විනය පරීක්ෂණයක් තියන්න. අපිට ඒවා ලිඛිතව දැනුම් දෙන්න. එහෙම නොකර අපිට සහයෝගය දෙන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීමට ඊනියා විනය පරීක්ෂණ ගැන කතා කියන්න එපා. මොකද අද වෙනතුරු අපි කිසිම කෙනෙකුට චෝදනා ගොනු කරලා ලිපියක් භාරදීලා නැහැ. මේ වැඩ නිසා තව තවත් පාක්ෂිකයෝ සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කළකිරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අපි කිසිම අවස්ථාවක මේ කතාවලින් පසුබට වෙලා අපේ ගමන නතර කරන්නේ නෑ’

    මෙහිදී මා ගැනත් යමක් පැවසිය යුතුයි. ඔබ සියලු දෙනාම දන්නවා මම දශක තුනකට ආසන්න කාලයක් ජනතා නියෝජිතයෙක් ලෙස ඔබ සමග, ඔබ වෙනුවෙන් කටයුතු කළා. ඔබගේ දුක – සැප දෙකේදී නොසැලී සිටියා. පක්ෂ- පාට භේදයකින් තොරව ඔබ වෙනුවෙන් සේවය කළා. කොතරම් බලපෑම් එල්ල වුණත්, වරප‍්‍රසාද, වරදාන ලබා දෙනවා කීවත් මම ඔබගේ ඡුන්දය පාවා දුන්නේ නැහැ. එදා සිට අඛණ්ඩව ඔබ වෙනුවෙන් කටයුතු කළා.

    ඔබලා පසුගිය සෑම මැතිවරණයකදීම මට පූර්ණ සහාය ලබා දුන්නා. ඒ නිසා මම අදත් අපරාජිත මන්ත‍්‍රීවරයෙක් ලෙස ඔබ වෙනුවෙන් සේවය කරනවා. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී නත්තල් සීයා වාගේ වෙන්න මට ධන බලයක් නැහැ.

    අල්ලස් – දූෂණය මගින් උපයා ගත් කලු සල්ලි නැහැ. කලු සල්ලිකාරයෝ මා පිටුපස නැහැ. ඒ නිසා ඉතාම සරල, අවම වියදමක් ඇති මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් මට කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා හුදු ප‍්‍රචාරණයට, ප‍්‍රදර්ශනයට වසී වෙලා ඔබගේ වටිනා මනාපය අපයෝජනය කර ගන්න එපා කියලා මම ඔබගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

    මහර ප‍්‍රාදේශීය වාර්තාකරු – සදුන් සමරවීර

  • සජිත් කියන්නේ එජාපෙ අපිට නම් ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර

    සජිත් කියන්නේ එජාපෙ අපිට නම් ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර

    පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

    පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා ප්‍රේමදාස මහතා පරාජය වූ බවයි රංගේ බණ්ඩාර මහතා මෙහිදී සදහන් කළේ

    ‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයි කී පාලිත රංගේ බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද කීවේය.

  • මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

    මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව එතුමා තවදුරටත් කියා සිටී.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිතුමා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැත. ඔවුන් කළයුත්තේ තමන් භාරගත් ආයතනය කාර්යක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායී, විනයගරුක සහ ලාබ උපයන ආයතන බවට දියුණු කිරීමය. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි. එබැවින් ඒවා කිසිදු ලෙසකින් මහජනතාවට බරක් නොවිය යුතුය.

    අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන, උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළැඹෙන මහ මැතිවරණයේ දී කවර පක්ෂයක හෝ දේශපාලන වැඩට භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලැබේ.  

    පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවි සිටි. මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතනවල, ඒවායේ ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය එතුමා අපේක්ෂා කරයි.

  • ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්

    ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්

    අද (8) ප.ව 09.04 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 70,49,649 දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 409,886ක් බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට

    ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී ඉන්දියාවේ ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 260,093ක් වන අතර මරණ සංඛ්‍යාව 7263ක්. සමස්ත කොවිඩ් ආසාදිත රාජ්‍ය අතර ඉන්දියාව 05 වන ස්ථානයේ (එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව සහ මහා බ්‍රිතාන්‍යය) පසු වුවත් මරණ සංඛ්‍යාව අනුව ඉන්දියාව පසුවන්නේ 12 වැනි ස්ථානයේ වීම විශේෂත්වයක්.

    ‘ද හින්දු‘ වාර්තාවල දැක්වෙන ආකාරයට අද දිනය වන විට ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

    ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරු 1.20 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 85,975ක් වූ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් අද දහවල් වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 84,191ක්.

    ද හින්දු වාර්තාවේ සදහන් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ බවත් අද දින වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91ක් බවයි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,060ක් වීම ද විශේෂත්වයක්.