Tag: featured

  • දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    පහුගිය ඉරිදා 31 වැනි දා  ඇමති  ප්‍රසන්න රණතුංග උඩුගම්පළ සිය නිවසේ විශේෂ කටයුත්තක යෙදී සිටියේ ය. ඒ එදිනට යෙදී තිබුණු සිය පියාගේ 12 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කරමිනි. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රසන්න සිය පියා වූ රෙජී රණතුංගගේ උපන්දින සැමරුම හා ගුණ සැමරුම නොවරදවාම සිදු කරනු ලබයි.

    පිංකමෙන් එකක් අගමැති මහින්ද ගෙන්වා සිදු කිරීම ප්‍රසන්න පුරුද්දක් ලෙස කරගෙන ගියේ ය. එහෙත් මෙවර කොවිඩ් ප්‍රශ්නය නිසා අප්‍රේල් 22 වන දිනට යෙදී තිබුණ රෙජීගේ උපන්දින සැමරුම හෝ 31 වන දිනට යෙදී තිබුණ ගුණ සැමරුම ඔහු කිසිවෙකුට මතක් කළේ නැත.

    සිය පවුලේ අය සමග පිංකමේ කටයුතු සංවිධානය කරමින් සිටි ප්‍රසන්නට උදෑසන දුරකථන ඇමතුමක් ලැබුණේ අගමැති මහින්දගෙනි.

    “ ප්‍රසන්න අද තාත්තාගේ පිංකම නේද? “මහින්ද ඇසුවේය.

    “ ඔව් සර්. අද කර්ෆිව් නිසා අපි පවුලේ අය විතරක් එකතු වෙලා කරනවා. සර්ට මතක් කළේ නැත්තේ ඒකයි.”

    “ ඒකට කමක් නෑ ප්‍රසන්න. මට මතක් වෙලයි කථා කළේ. රෙජීව කොහොම අමතක කරන්නද? ඒකයි මම කථා කළේ… “ මහින්ද කිවේය.

    ප්‍රසන්න එදින පවුලේ උදවිය සමග සිය පියා සිහිපත් කරමින් ඔහුගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ ය. මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ. ඊට සහභාගී වු ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ අනුශාසනාවක් කළහ.

    අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න – ඉදුරාගාරේ හිමියෝ

    “ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න. පාර්ලමේන්තුව කියන්නේ ප්‍රතිපත්ති හදන තැනක් මිසක් බලය පෙන්වන තැනක් නෙමෙයි. ඒක මේ ඉන්න සමහරුන්ට නොතේරෙන එකතමයි ප්‍රශ්නේ.” ඉදුරාගාරේ හිමියෝ අනුශාසනා කරමින් කීහ.

    මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් සමගිජන බලවේගය ඇතුළු කණ්ඩායම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබු පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද ව තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණේ පහුගිය අගහරුවාදාය. අගහරුවාදා සවස 03.00 ට පමණ ඇමති ප්‍රසන්න එහි ගියේ තීන්දුව දැනගැනීමටය. ඔහු සමග නිමල් ලාන්සා හිටපු රාජ්‍ය ඇමතිවරයා ද වුයේය. ඇමති සුසිල් ද එහි විය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා තිබු පෙත්සම් 07 ම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේ ය.

    තීන්දුව ප්‍රකාශයට පත් කීරීමෙන් පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විදුලි සෝපානය අසළ දී ප්‍රසන්නලාට සමගි ජනබල වේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හමුවිය.

    “ ලේකම්තුමා…. දැන් මොකද කරන්නේ ඡන්දයට ලෑස්ති ද? “ . ඇසුවේ නිමල් ලාන්සා ය.

    “ ඔව් ඉතිං වෙන මොනවා කරන්න ද? දැන් ඡන්දය ලෑස්ති වෙන්න එපෑයැ…අපි නම් ලෑස්තියි”. මද්දුමබණ්ඩාර කීවේය.

    “ මොකද තීන්දුව ගැන හිතන්නේ..?”’. ප්‍රසන්න කථාවට මැදිහත් වුයේ ය.

    “ මේක අපිට ඕන වුණේ ජුනි 20 ඡන්ද තියන එක කල් දාගන්න. මොකද කොරෝනා අස්සේ ඡන්දය කරන්න බැරි නිසා. එහෙම ගත්තාම මේත අපේ ජයග්‍රහණයක්…” කියු මද්දුමබණ්ඩාර කඩිනමින් එතනින් ඉවත් වූයේය.

    අධිකරණයෙන් එළියට පැමිණ මද්දුමබණ්ඩාර මාධ්‍ය වෙත කීවේ ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ජයග්‍රහණයක් බවයි.

    “ මේක මාර කථාවක්නේ… ඡන්දේ කල් දාන්න කියලා පෙත්සම් ඉදිරිපත් කරලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරපුවාම කියනවා ඒක ඒ ගොල්ලන්ගේ ජයග්‍රහණයක්ලු… මොන හතර බීරී කථාවක් ද ඒක..” ලාන්සා කීවේ ළග සිටි ප්‍රසන්නටය.

    මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි – ප්‍රසන්න

    මේ ගේම ගැහුවේ ජනතාවට ආදරයට නෙමෙයි

    “ මේක මේ රටේ මිනිස්සු ගැන හිතලා සද්භාවයෙන් කරපු වැඩක් නෙමෙයි.” ප්‍රසන්න පැහැදිලි කළේය.

    “ මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි.” ප්‍රසන්න කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සවස ප්‍රසන්න ගම්පහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැදවූයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීමටය. දිස්ත්‍රික්කයේ ආයතන 19 යේ ම පොහොට්ටු ප්‍රධානී හු ඊට එක් ව සිටියහ. ප්‍රසන්න එහි දී ඔවුන්ට ඉලක්කයක් දුන්නේය.

    මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    මහින්ද අතහැර නොයන 13ක් ගම්පහින් දියවන්නා යවන්න ප්‍රසන්න සැලසුම් කරයි

    “ පහුගිය ජනාධිපතිවරණයේ දී අපි ගම්පහ ඉහළින් ම දිනෙව්වා. ගම්පහ ජයග්‍රහණය සමස්ථ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් වුණා. මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    පහුගිය සතියේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හමු වූ ගම්පහ විදුහල්පතිවරු, ගුරුවරු හා උපකාරක පංති ගුරුවරුන් විශේෂ ඉල්ලීමක් කළහ. පාසල් හා උපකාරක පංති ඉක්මණින් ආරම්භ කිරීම එම ඉල්ලීමයි.

    ඇමති ප්‍රසන්න ඒ මොහොතේම දුරකථනයෙන් අධ්‍යාපන ඇමති ඩලස්ට මේ ඉල්ලීම ගැන කීවේය.

    “ අපි මේ ගැන කටයුතු කරගෙන යනවා මල්ලී. ඉක්මණින් පාසල් පටන් ගන්න අපිත් කැමතියි. ඒත් අපි ඉස්කෝල පටන් ගන්නේ එන හැම ළමයෙකුගේ ම ආරක්ෂාව ගැන සහතිකයක් ලැබුණට  පස්සේයි. ඉස්කෝල පටන් ගත්තාට පස්සේ වියුෂන් පංති පටන් ගන්න පුළුවන්.” ඩලස් කීවේය.

    “මම ඉන්නෙත් ඔය මතේම තමයි. සෞඛ්‍ය ඇමතිතුමිය එක්කත් මම කථා කළා. හැබැයි හැමෝම කියන්නේ ඉස්කෝල පුද්ගලික පංති ඉක්මණට පටන් ගත්තොක් හොදයි කියලායි.” ප්‍රසන්න කීවේය.

    මේ අතර පහුගිය බදාදා ප්‍රසන්න අගමැති මහින්දට ද පාසල් හා පුද්ගලික පංති ආරම්භ කරන ලෙස ඇති ඉල්ලීම ගැන කීවේය. මේ පිළිබද ව ඉක්මණින් පියවරක් ගන්නා බවට මහින්ද ද ප්‍රසන්නට  සහතික වුයේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • අමිතාබ් – ජය 46 වැනි විවාහ සංවත්සරය සමග දුර්ලභ ඡායාරූප එකතුවක් එළියට !

    අමිතාබ් – ජය 46 වැනි විවාහ සංවත්සරය සමග දුර්ලභ ඡායාරූප එකතුවක් එළියට !

    ව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්‍.

    මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා බලන විට අමිතාබ්-ජයා විවාහය කියන්නේ බොලිවුඩ් සිනමාපටයක් වාගේම සුන්දර ආශ්චර්යයක්.

    අමිතාබ් – ජායා අති සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බව, කළ බව කියන ජීවමාන සාක්ෂි වන්නේ ඔවුන්ගේ දරුවන්. අපි කවුරුත් දන්නා පරිදි අමිතාබ්-ජායා යුවළට අභිෂේක් බච්චන් සහ ෂ්වේටා බච්චන් නන්ද යන දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ වගේම අද අමිතාබ් – මුනුබුරු – මිනිබිරියන් දකින්න වාසනාවන්ත වී සිටිනවා. ඒ මුණුබුරන් තිදෙනා වන නව්‍ය නවේලි නන්දා, අගස්ති නන්දා සහ ආරධ්‍යා බච්චන් නිසයි. 

    ජය සහ අමිතාබ් යන දෙදෙනාම සැමවිටම කියා සිටියේ පවුල ඔවුන් වෙනුවෙන් පළමු තැනට පත්වන බවයි. විවාහ වීමට තීරණය කරන විට අමිතාබ්ගේ බොලිවුඩයේ සුපිරි තරුවක් බවට පත්ව සිටි අතර ජය ද හදවත් කිහිපයක් පාලනය කළාය.

    නමුත් අමිතාබ් සමග විවාහයෙන් පසු ජයා සිනමාවෙන් ඈත් වූ අතර අමිතාබ් බොලිවුඩයේ කිරුළ දිනා ගත්තේය. 

    ඉතිං මේ සියලු සිදුවීම් මැද අපි ඔබ වෙනුවෙන් අමිතාබ්-ජයා ආදාර කතාවේ දශක 5ක පමණ ගමන් මගක ජීවමාන සාක්ෂි ඉදිරිපත් කරන අතර එමගින් ඔබට මේ අසිරිමත් ප්‍රේමනීය යුවළ ගැන බොහෝ දේ වටහා ගැනීමට හැකිවනු ඇති බව ද සහතික කරමු.

    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි

    සියලුම ඡායාරූප ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම තුෂාධවි

  • වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ මෙතෙක් ඔබ නුදුටු උණුසුම්ම විලාසිතා එකතුව මෙන්න !

    වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ මෙතෙක් ඔබ නුදුටු උණුසුම්ම විලාසිතා එකතුව මෙන්න !

    වීදි විලාසිතා (Street-Style) ලංකාවේ තාම එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ, විශේෂයෙන් බටහිර රටවල නම් අතිෂය ජනප්‍රිය විලාසිතා සංකල්පයක්. නිදහස් බව, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය හා විප්ලවකාරී බව මෙන්ම කාලයට ඉදිරියෙන් සිටීමත් වීදි විලාසිතා තරුණ පරපුර අතර ප්‍රචලිත වීමට ප්‍රබල උත්තේජනයක් වී තිබෙනවා.

    අනෙක් අතට විදුලි බුබුළුවලින් අලංකාර කළ දැවැන්ත වේදිකාවල සිට ඉදිරිපත් කරන විලාසිතාවලට වඩා වීදියේ ඉදිරිපත් කිරීම් තුළ සරල හා පහසු බවක්, නිදහස්කාමී බවක් තිබෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

    ‘මෙය ස්වභාවික ආලෝකය මැද සිදුවන දෙයක්. හරිම නිදහස්. වඩාත් පහසුවෙන් වටහා ගත හැකියි‘

    වීදි විලාසිතා කර්මාන්තයේ ඉහළින්ම සිටින සුපිරි නිරූපිනියන් (Supermodel) අතර කෙන්ඩල් ජෙනර් Kendall Jenner වඩාත්ම රැඩිකල් නිරූපිකාව වශයෙන් සැලකෙනවා. ඇයගේ නිර්මාණකරු වන මාක් ජේකබ්ස් Marc Jacobs ඇයට මහත් ශක්තියක් ලබා දෙනවා.

    ජාත්‍යන්තර විලාසිතා විචාරකයින් කියන ආකාරයට කෙන්ඩල් 2014දී තම ආගමනය සමග බොහෝ දේ වෙනස් කර තිබෙනවා. ඔවුන් කියන්නේ කෙන්ඩල් ජෙනර් 2014 දී නිර්මාණකරු මාක් ජේකබ්ස් වෙනුවෙන් ජාත්‍යන්තර ධාවන පථයේ ඇවිදිමින් අන්තර්ජාලය උණුසුම් කළ බවයි.

    ‘ ඇගේ මංගල දර්ශනය වෙනත් කිසිදු මාදිලියකට වඩා වෙනස් විය. ඇයගේ නිර්භීත ශෛලිය සඳහා ප්‍රකාශයක් වීමට එයට හැකියාව ලැබුණා. එය ධාවන පථයේ හෝ ඉන් පිටත වේවා, කෙන්ඩල් යනු ආදර්ශ නිර්මාණකරුවන් ඔවුන්ගේ සිහිනයක්‘ ප්‍රකට විලාසිතා විචාරක ජේමිස් මර්ක්ස් කියනවා.

    කෙන්ඩල්ගේ විලාසිතා ලෝකයට සීමාවක් නැහැ. තනපටය නොමැති විලාසිතාවල සිට ජීන්ස් දක්වාත්, රයිනෙස්ටෝන් බූට් සපත්තු දක්වා ඇගේ විලාසිතා ලෝකය පුළුල් වෙනවා.


    ‘ඇගේ විලාසිතාව අනපේක්ෂිත, ස්වභාවික සහ කාලයට වඩා ඉදිරියෙන් සිටී. ඇය නිසා ඇගේ සමකාලීනයන් කාර්යබහුල වී ඇති අතර ඇයට තරගයක් දීමට නොහැකිව පසු බා සිටී. එහෙත් ඇගේ විලාසිතා තරුණ – තරුණියන්ගේ උන්මාදයක් බවට පත්ව ඇති අතර වැඩිහිටියන්ගේ දෑස් ඉහළට එසවීමට සමත් වී තිබෙනවා‘මාර්ක්ස් වැඩි දුරටත් ඇය ගැන කියනවා.

    මේ සියලු ප්‍රශංසා මැද අපි කෙන්ඩල්ගේ උණුසුම් විලාසිතා එකතුවක් ඔබට වෙනුවෙන් තෝරා ගත්තා.

    විලාසිතා
    Strappy nude dress with blind detailed at the hem.
    විලාසිතා
    Bright yellow sporty-chic dress, styled with strappy heels and a sling bag.
    විලාසිතා
    Retro zebra printed, monochromatic blouse, paired with leather pants.
    විලාසිතා
    Oversized peach satin blazer teamed with matching pumps and statement earrings.
    විලාසිතා
    Oversized leather jacket styled with a belt and a pair of ankle-length boots.
    විලාසිතා
    White summer dress with frill and crisscross detail, styled with a tiny bag and ivory boots.
    විලාසිතා
    Butter yellow bodysuit, worn with loose-fitted, pocket detailed denim.
    විලාසිතා
    Olive green wrap skirt paired with a white cropped top.
    විලාසිතා
    Stripped short playsuit teamed with a pair of white sneakers and tiny sunglasses.
    විලාසිතා
    Gold velvet wrap dress, paired with thigh-high black boots and hoops.
    විලාසිතා
    Oversized t-shirt, fringed leather skirt, full-length parka and statement hoops.
    විලාසිතා
    Grey t-shirt layered with a golden parka and printed scarf, worn with leather leggings and boots.

    Text and pictures by Femina.in – සැකසුම – තුෂාධවි

  • Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ සැලසුමක් ගැන හෙළිදරව් වෙයි

    Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ සැලසුමක් ගැන හෙළිදරව් වෙයි

    මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් පිළිබදව හෙළිදරව් වී ඇතැයි අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.

    එහි කැදවුම්කරු – හේමාල් ශ්‍රී මහතා විසින් අද (6) දින මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය

    එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අප අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමයට හෙළිදරව් වී ඇත. 

    විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී  Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු ඇතැයි අප සංවිධානය විශ්වාස කරමු. බොහෝ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම ඔස්සේ දැනට Paypal ගිණුම් පවත්වාගෙනු යනු ලබන අතර මහමැතිවරණ අපේක්ෂකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් එම ක්‍රම වලට Paypal ගිණුම් පවත්වාගෙන යාම දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ.

    විශේෂයෙන්ම තරුණ ජනතාව නොමග යැවීම සදහා Paypal සමාගමෙන් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස සකස් කරන ලද ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වෙමින් පවතින අතර මෙවැනි ව්‍යාජ ලේඛන වලට නොරැවටී තමන්ගේ වටිනා චන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප තරුණ ජනතාවට අවධාරණය කරමු.

  • අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට  අලුයම 4.00 දක්වා පමණයි

    අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    අද දින, (ජූනි 06 සෙනසුරාදා) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි.

    රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව  ද එම නිවේදනයේ සදහන්.

  • උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට පියවර

    උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට පියවර

    මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටළු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි.

    උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 02 වන අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල මූලික රෝහල් 08 කින් යුක්ත වේ. එම රෝහල් අතුරින් හිඟුරක්ගොඩ, පදවිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය යන රෝහල්වල වකුගඩු රෝගීන් සදහා වන රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති වල ගැටළු මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් විය. එහිදී සමහරක් රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති බවත්, සමහරක් රෝහල් වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති අකර්මණ්‍ය වී ඇති බවටත්, එම ජල පද්ධති කඩිනමින්  ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් නිළධාරීන් හා වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටි අතර, රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති රෝහල් සදහා කඩිනමින් එම ජල පද්ධති ස්ථාපිත කිරිමට හා අකර්මණ්‍ය වී ඇති ජල පද්ධති කඩිනමින් යථාවත් කිරීම සදහා අදාල නිලධාරින්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය උපදෙස් ලබාදෙන ලදි.

    එමෙන්ම උතුරු මැද පළාතේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන 06 ක් වන අතර එම මධ්‍යස්ථාන 06 සදහා වෙනම වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු  කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සදහන් කරන ලදි.

    උතුරු මැද පළාත තුල පවතින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සේවා පුරප්පාඩු ඉදිරියේ දී බදවා ගන්නා සෞඛ්‍ය කර්ය මණ්ඩලවලින් පිරවීමට පියවර ගැනීම පිළිබදවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළත් දියත් කිරීම  පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි. 

    එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් උතුරු මැද පළාත තුල නොමැති බැවින්  ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදීමට කටයුතු කරන බවත්, උතුරු මැද පළාතේ රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයතු කඩිනමින් නිම කිරීම සදහා උපදෙස් අදාල නිලධාරීන් වෙත ලබාදීමට ද මෙහිදී පියවර ගන්නා ලදි. 

    මෙම අවස්ථාවට  උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ඩී බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩ.එම් පාලිත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එම් වික්‍රමසිංහ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරියරත්න, සබරගමු පළාත් සභාවේ සභාපති ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක්  එක්ව සිටියහ.

  • 2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි.

    රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය හරහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතු`එ රාජ්‍ය නිලධාරින් හමුදාපතිවරු යටතට පත්කොට ඇති බවත් පැහැදිලිවම මෙමගින් රාජ්‍ය සේවය මිලිටරිකරණයට පත්කොට ඇතැයි ඒ මහතා ප‍්‍රකාශ කළේය.

    මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

    අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරලා තිබෙනවා. ඒ දොලොස් දෙනාම හමුදා නිලධාරින්. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත්කරලා තිබෙනවා. ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරින් දොලොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත‍්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සිය`එ දෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග කි‍්‍රයාත්මක කරන්න ඕන. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජේ්‍යෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ මේක කණපිට පෙරළලා. සිය`එ රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත් තිබෙනවා. ඔවුන් දෙන නියෝග කි‍්‍රයාත්මක කළේ නැත්නම් ජනාධිපතිට මේ බව ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේක භයානක තත්වයක්. රට මිලිටරිකරණයට ක‍්‍රමක‍්‍රමයෙන් රැගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් හදුන්වන්න පු`එවන්.

    මේ කාර්ය සාධක බලකායේ සිටිනවා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වශයෙන් 13දෙනෙකු යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක කරන්න ඕන. එසේ කි‍්‍රයාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම්දෙන්නත් බලය දීලා තිබෙනවා.

    මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද ? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට එය වරදක් නැහැ. ඒ වගේම සිරගෙවල් තුළ ඇතිවන යම් යම් සිද්ධීන් පිළිබදව සොයාබැලීමට, භයානකම දේ තමයි සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දීලා තිිබෙනවා. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ ? ඒ ගැන පැහැදිලි අර්ථනිරූපණයක් දීලා නැහැ.

    මේකෙන් පළමුව ඉලක්ක කරන්නේ මාධ්‍ය. සිවිල් සමාජය. ඒ වගේම ආගමික නායකයන් සහ ප‍්‍රකාශන සමාගම්. ඉතින් මේක අතිභයානක තත්වයක්. මේ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් රාජ්‍ය සේවය හමුදා පාලනයට යටත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්න දවසේ රාති‍්‍රයේ. මේක අපේ රටේ ව්‍යවස්ථාව කණපිට පෙරළීමක්.

    තමුන්නාන්සේලාට මතක ඇති පසුගිය කාලයේ මේ අය සටන් පාඨයක් හැදුවා. විශේෂයෙන් වියත්මගේ අය සම්බන්ධ වෙලා එකම රටක් එකම නීතියක් කියලා. ඒක දැන් රටේ තියෙනවද ? දැන් තිබෙන්නේ එකම රටක් නීති දෙකක්. පසුගිය කාලයේ සිදුවු සිද්ධි දෙස බැලූවාම නිරෝධායන නීති අමුඅමුවේ උල්ලංඝණය වුණා. එදායින් පසුව කොරෝනා නැති කරන්න පත්කරපු කාර්ය සාධන බලකායේ කිසිවෙක් දැක්කේ නැහැ ඒ අය හැංගිලා. අපේ රටේ අහිංසක පුරවැසියන් පනස්දහසක් පමණ අත්තඩංගුවට ගත්තා නිරෝධායන නීති කැඩුවා කියා. නමුත් අපි දුටුවා පසුගිය දවස් වල දහස් ගණන් ජනතාව හා රජයේ ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝණය කරනවා. ඉතිං එකම රටක් එකම නීතියක් තියෙනවාද කියන ප‍්‍රශ්ණය මතුවෙනවා. පාලකයාට එක නීතියක් සාමාන්‍ය ජනතාවට තව නීතියක් තමා අද දකින්න තියෙන්නේ.

    මෙහිදි පැමිණ සිටි මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණ හා පිළිතුරු මෙසේය.

    ප‍්‍රශ්ණය – මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිලිබද ඔබතුමාගේ අදහස ?

    පිළිතුර – අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. විශේෂයෙන් අපි අධිකරණයට ගියේ ජුනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධව. අනෙක් කාරණා අපි අධිකරණයට ගිය නිසා ඉල්ලූවා. නමුත් අදටත් මගේ පෞද්ගලික විස්වාසය රටකට මාස 06ක් පාර්ලිමේන්තුව නැතුව යන්න පු`එවන්ද ? ඒකයි මම අහන්නේ.

    ප‍්‍රශ්ණය – විපක්ෂය විසින් ති‍්‍රවිධ හමුදාව, සෞඛ්‍ය අංශ ඇතු`එ රාජ්‍ය යාන්ත‍්‍රණය දේශපාලන අවුලකට ඇදදමනවා යැයි චෝදනාවක් තිබෙනවා.

    පිළිතුර – අපිද ආණ්ඩුව කරන්නේ ? එහෙම අවුලක් තිබෙනවා නම් ආණ්ඩුව වගකියන්න ඕන. විපක්ෂයේ කාර්යභාරය ගැන තේරුම්ගන්න ඕන. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. අඩුපාඩුකම් පෙන්වීම තමයි අපේ වගකීම. ඔබතුමාලම කියන්නකෝ දැන් පසුගිය කාලයේ නිරෝධායන නීති අමඅමුවේ උල්ලංඝනය කළා. ඒක හරිද ? ඒ සිය`එදෙනාටම නීතිය කි‍්‍රයාත්මක කරන්න ඕන. මම දැක්කා යුරෝපීය රටක අගමැතිවරයෙකුට දඩ නියම කළා සිපවැළද ගැනීමක් සම්බන්ධයෙන්. රණවිරුවෙක් අසනීප වෙලා මියගියාම එක දවසින් අවසන් කටයුතු කළා. මේ වගේ දවස් 05ක් තියාගන්න පු`එවන්ද ? ඒකයි අපි කියන්නේ එකම රටක් එක නීතියක් තියෙනවද ? මාධ්‍යයේ වගකීම තමයි හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්. ඒත් ඔය අය වැරදි දේට හරි කියා අහගන්න තමයි අපෙන් ප‍්‍රශ්ණ අහන්නෙත් උත්තර බලාපොරොත්තු වන්නෙත්.

    ප‍්‍රශ්ණය – හිරගෙවල්වල අක‍්‍රමිකතා සෙවීම ගැනද මෙහි සඳහන් වන්නේ ?

    පිළිතුර – වගකීම් ගණනාවක් දීලා තිබෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය ගැන හොයන්න. ඒකේ වරදක් නැහැ. හිරගෙවල් වල ඇතුලත හා පිටත දේවල් හොයන්න කාර්ය සාධන බලකායක් අවශ්‍ය නැහැ. එක කාලයක හිරගෙදර සියයක් විතර මැරුවනේ. ඒක නීතිපති ඉදිරියේ තියෙන්නේ. මේ විකාර. පළමුව ඒක හොයන්නයි ඕන.

    ප‍්‍රශ්ණය – ඔබතුමාලා මෙයට විරුද්ධව පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවාද ?

    පිළිතුර – අපි නීතිමය පියවර ගැන කල්පනා කරනවා. මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමාලා මෙය අනුමත කරනවාද ? එහෙම වෙන්න බැහැ. රාජ්‍ය සේවය ස්වාධීනයි.

    – Media unit

  • කොවිඩ්වලිනුත් ගසා කෑමක්

    කොවිඩ්වලිනුත් ගසා කෑමක්

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල රුපියල් 350ක් වැනි මිලකට නිපදවමින් සිටියදී වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බවත් මේ ගැන තම සංගමයට බලවත් සැකයක් පවතින බවත් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එහි සභාපති රවී කුමුදේශ් මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල නිපදවීම මේ වන විට සිදු කරමින් පවතී. 

    සෞඛ්‍ය අමාත්‍යාංශය මින් පෙර මෙකී වෛරස ප්‍රවාහන මාධ්‍ය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල මිලදී ගනු ලැබුවේ රු. 600ක පමණ මිලකට වන අතර, එය රු 350ක වැනි පිරිවැයකින් නිපදවීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට හැකියාව ලැබී ඇත්තේ අදාල කට්ටලය නිපදවීමට අවශ්‍ය මාන්තුව (Swab) මිලදී ගැනීම සඳහා රු 250ක පමණ මුදලක් වැය කරමින් තිබියදීය.

    එසේම දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ දෛනිකව එකී කට්ටල 2000ක පමණ නිෂ්පාදන ධාරිතාවක් පවතින අතර අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ප්‍රමාණය වැඩි කිරීම මඟින් එකී නිෂ්පාදනය අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවද පවතී. 

    කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව එම හැකියාව පැවතියදී එම නිෂ්පාදනය විධිමත් පරිදි කළමණාකරණය සිදු නොකර ගනිමින් වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බව අප සංගමය වෙත වාර්තා වී ඇත.

    එසේම වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු සමහර රෝහල් එම කට්ටල වල අවශ්‍යතාවය පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුවත් නොකරමින් මෙකී කට්ටල මිලදී ගැනීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇත.

    තවද වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මෙම නිෂ්පාදන හැකියාව නිශ්චිත වශයෙන් රටේ සේවා අවශ්‍යතාවය සැළකිල්ල ගනිමින් කළමනාකරනය කර ගැනීම හා ඒ පිළිබඳව නිවැරදි තොරතුරු සන්නිවේදනය කර ගැනීමේ දුර්වලතාවයක්ද පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම අත්‍යාවශ්‍යව ඇත. 

    උක්ත තත්වයන් සැළකිල්ලට ගෙන අනවශ්‍ය මූල්‍ය නාස්තිය සහ අක්‍රමිකතාවයන් වලක්වමින් මූලික පිරිවැයක් දරමින් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල ස්ථාපිත කරන ලද “වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත RT-PCR නිදර්ශක එකතු කිරීමේ කට්ටල” නිපදවීමේ වැඩසටහනේ සැබෑ වාසිය රටට සහ මහජනතාවට ලබා දීම සඳහා ඔබගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරමි.

    ස්තුතියමෙයට, විශ්වාසීරවී කුමුදේශ් – සභාපති වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

  • එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු  නිරෝධායනයට

    එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට

    සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව …ගුවන් තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් …අදාළ රටේදීම PCR පරීක්ෂණ හැකියාව විමසුමට …

    විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා පවසයි.

    කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

    එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

    PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා  එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.

    මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි රාජපක්ෂ මහතා කීය.

    මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මිහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • චීනයෙන් ණය ගත් රටවල් 23ක් නන්නත්තාරයි – ලංකාවත් ඒ අතර !

    චීනයේ ” අඳුරු ණයදීම” හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට  ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි.

    ගෝලීය යටිතල පහසුකම් සහ සම්බන්ධතා වැඩ සටහන (BRI ) යටතේ චීනය විසින් සිදු කරණු ලබන ”  අඳුරු ණයදීම ” හේතුවෙන් වැඩිම ණය අවදානමකට ගොදුරු වී ඇත්තේ උප සහරා අප්‍රිකාවයි.

    චීන ජාතිකයන්ගේම වාර්තා වලට අනුව BRI හී විෂය පථයට අයත් රටවල් 68 ක් හඳුනාගෙන තිබේ. මෙම රටවල් කලාප අනුව කාණ්ඩ 4 කට වෙන් කර ඇත.

    නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපය යටතට රටවල් 14 ක් ද , මධ්‍යම හා දකුණු ආසියානු කලාපය යටතට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 13 ක් ද, මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය යටතට රටවල් 17 ක් සහ යුරෝපා සහ යුරේසියානු කලාපය යටතට රටවල් 24 ක් ද ලෙස කාණ්ඩ කොට තිබේ.

    මෙම රටවල් හැට අටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 25 ක් ලෙස ගණන් බලා තිබේ.

    චීනයේ මෙම ” අඳුරු ණයදීම” හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට  ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි.
    නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වන්නේ කාම්බෝජය, මොන්ගෝලියාව සහ ලාඕසය ය. මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයට අයත් වන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, පකිස්ථානය, මාලදිවයින, භූතානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය වේ.

    මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ පිහිටි ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, කෙන්යාව , ඉතියෝපියාව සහ ජිබ්‍රට් යන රටවල් ද මීට ඇතුලත්ය.

    යුරෝපා සහ යුරෙසියානු කලාපයේ රටවල් වන්නේ, ඇල්බේනියාව, ආර්මේනියාව, බෙලාරුස්, බොස්නියාව, හර්සගොවිනා, මොන්ටිනිග්‍රෝ සහ යුක්‍රේනය ය.

    චීනයේ මතය වන්නේ BRI යටතේ , යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන පිටුබලය හේතුවෙන් , වඩා හොඳ ගෝලීය පාලනයකට තමන් සහයෝගය දක්වනවා යන්නය. ඒ සඳහා විවිධ තර්ක ඉදිරිපත් කිරීමට ද චීනය උත්සාහයක යෙදී සිටියි

    එහෙත් බටහිර හා ආසියාවේ ඇතැමුන් දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයකි. ඔවුන් පවසන්නේ , චීනය සිය ණය දීමේ ප්‍රතිපත්තියෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ආර්ථික හා භූ දේශපාලන උත්තේජනයක් තමන්ට ලබා ගැනීමට චීනය උත්සාහ කර ඇති බවය.

    ලතින් ඇමරිකාව ,අප්‍රිකාව සහ ආසියාව තුළ චීනය සිදු කරමින් සිටින්නේ කොල්ලකාරී ණය දීමක් බව එක්සත් ජනපදයේ නිළධාරීන්ගේ මතය වී තිබේ. එසේම සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ක්‍රියාකාරීන්, රජයේ නිළධාරීන් සහ පර්යේෂකයින්, චීන ණය දීම පිළිබඳව දරන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. 

    චීනය විසින් මෙහෙයවනු ලබන බොහෝ වාණිජ ව්‍යාපෘතිවල මූල්‍ය, පාරිසරික, සමාජීය සහ දේශපාලන තිරසාර භාවය ගැන මොව්හු කනස්සල්ලට පත් වී සිටිති. ඇතැම් අවස්ථාවල දී චීනය, මෙවැනි විවේචනයන්ට සවන් දෙන නමුත්,  ඒ සඳහා සැබවින්ම කැපවීමක් හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවීමක් හෝ මෙතෙක් සිදු කොට නොමැත.

    ඒ වෙනුවට ඔවුන් සිදු කරමින් සිටින්නේ BRI ලේබලය යටතේ, යටිතල පහසුකම් සහ සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස කැපී පෙනීමට ක්‍රියා කිරීම පමණය.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා බටහිර සහ චීන ප්‍රවේශයන් අතර ඇත්තේ විශාල වෙනසක් සහ පරතරයකි. කවරෙකුගේ ආකෘතිය වඩා හොඳින් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව ගැටීමේ ප්‍රභවයක් මේ වන විට මතුවී තිබේ.

    බහු පාර්ශවීය ආයතනවල සංවර්ධන න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමට චීනය උත්සාහ දරන අතර, යම් අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වැනි ඉහළ අරමුණුවල ස්වරය සහ අන්තර්ගතය හැඩගැස්වීමට පවා චීනය උත්සාහ දරයි.

    තාක්ෂණය හා නවෝත්පාදනයන් හී ගෝලීය නායකයෙකු වීමේ අභිලාෂය මෙන්ම, ජාත්‍යන්තර ආර්ථික හා ආරක්ෂක ආයතනවලට අභියෝග කිරීමට ද චීනය වැඩි කැමැත්තක් දක්වයි.
    චීනයේ සංවර්ධන ආකෘතිය සහ එහි බලපෑම පිළිබඳ විවාදයක් ඇතිවී ඇති අතර, එම විවාදය නැඹුරු වී ඇත්තේ, විදේශ ආර්ථික ප්‍රතිපත්තිය සඳහා චීන රජය විසින් මෙහෙයවනු ලබන, ධනවාදී ප්‍රවේශය පිළිබඳවය.

    චීන රජයේ සියළු තීරණ ගනු ලබන්නේ, පුද්ගලික ව්‍යවසායකයන් සහ බැංකු නොවන ව්‍යාපාර මගිනි. නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ ද ඔවුන් විසිනි. මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා චීනයේ ප්‍රවේශය පිළිබඳව මේ වන විට ගැටලු රාශියක් උත්සන්න වී තිබේ. ඒ නිසාම චීනය සහ හවුල්කාර රටවල් නැවත සාකච්ඡා කිරීමට සහ ඉගෙනීමට තීරණාත්මක ලෙස අවතීර්ණවීමේ කාලපරිච්ඡේදය උදාවී තිබේ. ඒ අනුව ණය කොන්දේසි සහ ඉඳිකිරීම් කාල නියමයන් පිළිබඳව නැවතත් සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.

    චීනයේ ජාත්‍යන්තර සංවර්ධන අභිලාසයන් සමඟ සම්බධ වී සිටින අාණ්ඩු, ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පර්යේෂකයන් සියල්ලෝම එකිනෙකා සමඟ ,චීනයේ මෙම ප්‍රවේශය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරිමට අවශ්‍ය පරිසරය මේ වන විට ගොඩ නඟමින් සිටිති.

    වර්ධනය වෙමින් පවතින චීන ගෝලීය භූමිකාව, දේශීය හා විදේශීය වශයෙන් දැඩි ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන විට , ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ආණ්ඩු , සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ වයාප්ත වන චීනයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගෙන තිබේ.

    චීන කොමියුනිස්ට් පක්ෂය, සිය ඒකාධිපති ආකෘතිය ප්‍රචලිත කිරීමට සහ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට හිතාමතාම හෝ වක්‍රව හෝ හානි කිරීමට දරන උත්සාහයේ ස්වභාවය පිළිබඳව ද දැඩි විවාදයක් මතුවී තිබේ.

    ඉන්දු – පැසිෆික් උපාය මාර්ගය යටතේ වර්ධනය වන චීන බලපෑමට මුහුණ දෙන, සංවර්ධනය වෙමින් පවතින කලාපීය රටවල, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීමට තමන් මැදිහත්වන බව ඇමරිකාව පසුගිය නොවැම්බරයේ දී ප්‍රකාශ කර තිබුණි.

    මෙවැනි රටවලට චීනය විසින් කරන බලපෑම විසඳිය හැකි හොඳම ආකාරය පිළිබඳව වොෂින්ටනය සලකා බලමින් සිටින බව ඇමරිකාව ප්‍රකාශ කොට තිබේ. චීනයේ විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී භාවය මුළුමනින්ම පැවරී ඇත්තේ ෂී ජින්පින් වෙතය. අන් කවරදාකවත් නොවූ ආකාරයේ ඒක පුද්ගල පාලනයකට චීනය සමීප කිරීම ඔහු විසින් සිදු කර තිබේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ චීනයේ බලපෑම වේගවත් කිරීම සඳහා ෂී ජින්පින් තම බලය,  විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ ඉහළින්ම භාවිතා කර ඇත. අනෙක් අතට චීන කොමියුනිස්ට් පක්ෂය,  නිදහස් වෙළඳපොල ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තම රට තුළ දිගටම පවත්වාගෙන යන අතර, රට ස්ථාවරව තබා ගන්නා තාක් කල් චීනයේ, නව ධනවාදී මධයම පංතිය, වත්මන් පාලන තන්ත්‍රය සමඟ දිගටම ඉදිරියට යෑමට සූදානම් යන්න පෙන්වා  තිබේ.

    ඇතැම් ප්‍රවීනයන් පෙන්වා දී ඇත්තේ , 2025 වන විට චීනය ලෝකයේ විශාලතම මධ්‍යම පංතිය සහිත රට බවට පත්වනු ඇති බවය. එහෙත් කොරෝනා වෛරසයත් සමඟ ඇති වුණු අනපේක්ෂිත ගෝලීය බලපෑම හමුවේ, සැබැවින්ම චීනයට එම ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ ද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මේ වන විට පවතින බවට කරුණු දිගහැරෙමින් තිබේ. ඒවා මොනවා ද යන්න වෙනම විමසිය යුතු වේ.

    සුනිල් ගාමිණී

  • ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය

    ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ඉන්දීය මහකොමසාරිස් මේ බව සදහන් කළේය. මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පත්වීමෙන් පසු හමු වූ පළමු කැබිනට් ඇමතිවරයා වන්නේ ද ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

    කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබද ව සිය ප්‍රසාදය පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෝකයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වීමත් සමගම ශ්‍රී ලංකාවට ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව කීවේය.

    ඉන්දියානු ව්‍යාපාරිකයන් මෙරට නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසූ ඉන්දීය මහා කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය හා ඉන්ධන පිරිපහදුව සදහා මෙරට ආයෝජනයන්ට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව ද කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ව දෙරට අතර ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරයා  එකගතාවය පළ කළේය. උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයන් සවි බල ගැන්වීමට නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදි කීරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දී තිබේ. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත මෙම මධ්‍යස්ථානය පිළිබදව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැණින. එහි කටයුතු කඩිනමින් අවසන් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කිවේය.

    ඉන්දියානු ජාතිකයන් සිය විවාහ මංගල්‍යය උත්සව ශ්‍රී ලංකාවේ දී ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසු ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රි ලාංකිකයන් බෞද්ධ ආගමික සිද්ධස්ථාන නැරඹීමට ඉන්දියාවට යන්නාක් මෙන් ඉන්දියානුවන් රාමායණයට සම්බන්ධ ස්ථාන නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණීමට  කැමැත්තෙන් සිටින බව ද කීවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ මේ සම්බන්ධයෙන් සංචාරක අධිකාරිය සිය අවධානය යොමු කර ඇති බවයි. මඩු වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මඩු ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කීරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය. ඒ සදහා ද ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දි තිබේ. නිවාස 144 ක් මේ අනුව ඉදිකිරීමට නියමිතයි.

    යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණ. පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව රුපියල් මිලියන 300 ක් ලබා දී තිබේ. ඊට අදාළ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබිමට ද මෙම සාකච්ඡාවේ දී ඉන්දියානු මහකොමසාරිස්වරයා හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එකගතාවය පළ කළහ.

    ඉන්දීයානු මහකොමසාරිස්වරයාට මෙහි දී  කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම සහ සංචාරකයන්ගේ පැමීණීම සම්බන්ධයෙන් ද ඇමතිවරයාගෙන් විමසීමක් කළේය. අගෝස්තු 01 වෙනිදාට පෙර සංචාරකයන් සදහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී විශ්වාසය පළ කළේය. අගෝස්තු 01 වෙනිදා ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරිමට සැලසුම් කර ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා  ගැනීමේ කටයුතු ඊට පෙර අවසන් වුවහොත් අගෝස්තු 01 වෙනිදාට පෙර කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි බව ද ඇමතිවරයා කීවේය.

    මෙම සාකච්ඡාවට කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද සහභාගී වූහ.

  • කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    Ibuprofen නමැති ඖෂධය කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

    ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවල කණ්ඩායමක් විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි බවටය.

    මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවය.

    මෙහිදී අත්හදා බැලීම සඳහා රෝගීන්ගෙන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ibuprofen ඖෂධය ලබා දෙනු ඇත.

    මෙම අත්හදා බැලීමේදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති ibuprofen වෙනුවට විශේෂ මාත්‍රාවක් භාවිත කිරීමට නියමිතය. ඇතැම් පුද්ගලයෝ මේ වන විටත් ආර්තරයිටිස් වැනි රෝග වෙනුවෙන් මෙම ලිපිඩ අඩංගු ඖෂධය භාවිත කරති.

    මේ වන විට සත්ත්වයින් ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයන් අනුව ශ්වසන අපහසුතාවන්ට මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට යෝජනා වී තිබේ. ශ්වසන අපහසුතා යනු බරපතළ කොරෝනාවෛරස් රෝගී තත්ත්වයකදී ඇති වන තත්ත්වයකි.

    මෙම අත්හදා බැලීම සිදු කරන King’s College විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිතුල් මේතා පැවසුවේ, “ඉහත ලැබී ඇති සාක්ෂි සත්‍ය වශයෙන් ම අපේක්ෂිත මට්ටමට ගැලපෙන්නේ ද යන්න සොයා බැලීමට අපට අවශ්‍යයි,” යනුවෙනි.

    කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී ඇතැමුන් පැවසුවේ, විශේෂයෙන්ම සුලු රෝග ලක්ෂණ සහිත රෝගීන්ට ibuprofen යහපත් නොවිය හැකි බවය.

    මෙම අදහස වඩාත් ඉස්මතු වූයේ, ibuprofen වැනි වේදනා නාශක භාවිතයෙන් ආසාදිත තත්ත්වය උග්‍ර විය හැකි බවට ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවර් වෙරන් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඔහු උපදෙස් දුන්නේ, ibuprofen වෙනුවට පැරසිටමෝල් භාවිත කරන ලෙසය.

    කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ මානව වෛද්‍ය කොමිසම සිදුකළ අධ්‍යයනයකින් එම අදහස ප්‍රතික්ෂේප කෙරුණු අතර, එම කොමිසම පැවසුවේ, ibuprofen සහ පැරසිටමෝල් යන දෙවර්ගය ම ශරීර උෂ්ණත්වය පහළ දැමීමට සමත් වන බවය.

    බ්‍රිතාන්‍යයේ NHS ජාතික සෞඛ්‍ය සේවාව නිර්දේශ කරනුයේ, ibuprofen ඖෂධයට සාපේක්ෂව පැරසිටමෝල් ඖෂධයේ අතුරු ආබාධ අඩු හෙයින් පළමුවෙන් පැරසිටමෝල් භාවිතය සුදුසු බවය. උදාහරණයක් ලෙස උදරයේ තුවාළ සහිත පුද්ගලයින් ibuprofen භාවිත නොකළ යුතු බව ද එම නිර්දේශ අතර වේ.

    TEXT BY BBC SANDESAYA

  • චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

    චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

    ඔබ සිනමා ලෝලියකු නම්, බොහෝ චිත්‍රපට නරඹා ඇත්නම්, ඇතැම්විට කඳුළින් යුතුව නරඹන ලද සිනමා හෝ ටෙලි නිර්මාණ ගැන මතකයේ රැඳී තිබීමට ඉඩ ඇත.

    නරඹනු ලැබීමෙන් පසු ‘ඔබ වැඩියෙන් ම දුකට පත් සිනමා නිර්මාණය කුමක්දැයි’ කෙනෙකු ප්‍රශ්නයක් ඇසූ විට, යම්කිසි සිනමා නිර්මාණයක් ඔබගේ මතකයට ඒමට ද ඉඩකඩ පවතී.

    සිනමා ශාලාවන් තුළ චිත්‍රපට නරඹන අතරතුරදීම ඇතැම් සිනමා ලෝලීන් සෙමෙන් ඉකිබිඳිමින් හඬනු සෙසු ප්‍රේක්ෂකයන්ට ඇසෙන අවස්ථා ඇත.

    දැන් අප යොමුවන්නේ සිනමා සහෘද හදවත් ප්‍රකම්පනය කොට ඔවුන් වැඩියෙන් ම ‘හැඬවූ’ ජාත්‍යන්තර චිත්‍රපට මොනවා ද? යන්න පිළිබඳව විමසා බැලීමේ උත්සාහයකදී ලද අලුත් ම තොරතුරු ඉදිරිපත් කිරීමටය.

    මෙම විපරම් කිරීම වාර්තා කරන BBC මාධ්‍යවේදී ඉයන් යංග්ස් (Ian Youngs) සිය ලිපිය ආරම්භ කරන්නේ මෙවැනි උපදේශයක් ද සහිතවය.

    “ඔබ සංවේදී සිනමා වෘත්තාන්තයක් නරඹද්දී, නිහඬවම හෝ උස් හඬින් ඉකිබිඳ හඬන කෙනෙකු නම්, මෙම ලිපියෙහි දැක්වෙන චිත්‍රපට නැරඹීමට යනවිට කඳුළු පිසදැමීම සඳහා අමතර කඩදාසි ලේන්සු පෙට්ටියකුත් අරගෙන යන්න.”

    කෙවින්ගේ ඉල්ලීම

    ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට විචාරකයකු වන කෙවින් ලී (Kevin Lee) සිනමා ලෝලීන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කළේය.

    “ඔබේ ජීවිත කාලය තුළ ඔබ බෙහෙවින් ම සසල කළ සිනමා වෘත්තාන්තය හෝ ටෙලි නිර්මාණය කුමක් දැයි මට කියන්න.”

    කෙවින් පසුගිය සතියේ ‘ට්විටර්’ ජාලයේ පළකළ එම දැන්වීම සම්බන්ධයෙන් ලද දැවැන්ත ප්‍රතිචාරය ඔහුට සිතාගත නොහැකි තරම් විශාල මට්ටමක විය.

    “දැන්වීම පළකරනු ලැබීමෙන් පළමු පැය හයක කාලය ඇතුළත ලද ප්‍රතිචාරය මින්පෙර මා කිසිදාක නොලද මට්ටමේ එකක්,” කෙවින් පවසයි.

    “ඒ ගැන ඇත්ත තත්වය ඔබට ප්‍රකාශ කිරීමත් තරමක් බියක් ඇතිකරනසුලුයි.”

    සිනමා රසිකයන් කෙවින්ට දහස් ගණනින් පිළිතුරු යොමුකර තිබුනේ ‘ඔවුන් “කඳුළු සාගරයක” ගිල්වන ලද සිනමාපටවල නම්ගම් සිරස්තල සහිතවය.

    කෙවින් වඩාත් විශ්මයට පත් වුනේ, ඇතැම් රසිකයන් සමහර චිත්‍රපට ඔවුන්ට වඩාත් සංවේදී වූයේ කුමක් නිසාද? යන්න පැහැදිලි කිරීම සඳහා ස්වීය පෞද්ගලික ජීවිතයේ කතන්දර ද ඔවුන්ගේ පිළිතුරට එක්කොට යොමුකර තිබෙනු දැකීමෙනි.

    “ලැබුන ප්‍රතිචාරය හරිම සතුටුදායකයි.ඒවා එකින් එකට බොහෝ වෙනස් අදහස්,” කෙවින් පැවසීය.

    Owen Wilson and Jennifer Aniston in Marley and Me
    Marley and Me චිත්‍රපටය

    කෙවින් ලද පිළිතුරු අතරින් 35,000ක් BBCය විසින් විශ්ලේෂණය කරනු ලැබුණි. ඒ අනුව ‘වැඩියෙන්ම කඳුළු කඩා වැටීමට’ හේතු වූ චිත්‍රපට අතරින් පළමු නිර්මාණ දෙකම දීර්ඝ වෘත්තාන්ත හෝ ගැඹුරු දෘශ්‍යමය නිර්මාණ නොවුනි. ඒවා අයත් වන්නේ සිතෙහි මත්වෙන මහත් ආදරය කුළුගන්වන සුළු, එම ගුණය නිසාම පවුලේ ආකර්ෂණය ලබන නිර්මාණ ගණයටය.

    සිනමාලෝලීන්ගේ ප්‍රතිචාරය අනුව ඉහළම ස්ථානය ලැබ සිටින්නේ 2017 වසරේ ඔස්කාර් සම්මානලාභී ‘කෝකෝ’ (Coco) චිත්‍රපටයයි. එය ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණයකි. ‘animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ප්‍රබල වෘත්තාන්තයක් පසුබිම් කරගත් ‘කොකෝ’ චිත්‍රපටය මගින් නිරූපණය කෙරෙන්නේ මෙක්සිකෝ දරුවකුගේ ජීවිත අන්දරයකි. මළවුන්ගේ දේශය (Land of the Dead) තරණය කරන පිරිමි ළමයා, සංගීතඥයකු වීමේ සිය සිහිනය සැබෑ කර ගැනීමේ ප්‍රයත්නය ලුහු බඳින අතරවාරයේ තම පව්ලේ රහස් ද අනාවරණය කර ගැනීමට සමත් වෙයි.

    Coco චිත්‍රපටය
    ,Coco චිත්‍රපටය

    කෝකෝ (Coco) ළඟට ඇති ඊළඟ සිනමා නිර්මාණය 2008 වසරේ තිරයට ආ ‘Marley and Me’ චිත්‍රපටයයි.ඔවින් විල්සන්(Owen Wilson) සහ ජෙනිෆර් ඇනිස්ටන් (Jennifer Aniston) අඹු සැමියන් ලෙස රංගන එම වෘත්තාන්තයට ඔවුන්ගේ පවුල් ජීවිතය පුරා එකට සිටින නොහික්මුණ ‘ලබ්‍රඩෝ'(Labrador) සුනඛයකුත් එක්වෙයි. ඇමෙරිකානු ප්‍රහසනයක් වන ‘Marley and Me’ ඩේවිඩ් ෆ්රැන් කෙල්ගේ අධ්‍යක්ෂණයකි.

    ඉහත කී චිත්‍රපට දෙක කවරාකාරයකින් හෝ සෙසු චිත්‍රපට අභිබවා සිටියි.සැබැවින්ම මෙය විද්‍යාත්මක විධික්‍රම මත සිදු කරන ලද සමීක්ෂණයක් නොවේ. කෙසේවුවද, කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ලද පිළිතුරු අනුව, රසිකයන්ගේ තෝරාගැනීම මෙලෙස පෙළගැස්විය හැකිය.

    1. කෝකෝ (Coco) 2017

    2. මාර්ලි ඇන්ඩ් මී (Marley and Me) 2008

    3. ෂින්ඩ්ලර්’ස් ලිස්ට් (Schindler’s List) 1993

    4. අප් (Up) 2009

    5. ටර්ම්ස් ඔෆ් එන්ඩියර්මන්ට් (Terms of Endearment) 1983

    6. ටෝයි ස්ටෝරි ත්‍රී (Toy Story 3) 2010

    7. ඇවන්ගර්ස් : එන්ඩ්ගේම් (Avengers: Endgame) 2019

    8. ද ග්‍රීන් මයිල් (The Green Mile) 1999

    9. ද නෝට්බුක් (The Notebook) 2004

    10. බීච්ස් (Beaches) 1988

    ‘කෝකෝ’ (Coco) ඉහත කී ලැයිස්තුවේ පළමු තැන හිමිකර ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපට විචාරක කෙවින් ලී (Kevin Lee) පුදුම නොවීය.

    ”මම එම චිත්‍රපටයට වශී වුනා. හැම දර්ශන වාරයකදීම එය වැඩි වැඩියෙන් රස විඳින්න හැකිවුනා,” කෙවින් BBC News වැඩසටහනට පැවසීය.

    ‘ඔබේ සිහිනය ලුහු බඳින්න’ යන හුරුපුරුදු පණිවුඩය ‘Coco’ චිත්‍රපටයෙන් දෙනවා. ඒවගේම, ඔබ සතු උරුමය තේරුම් ගන්න – එය ඔබේ ජීවිතයේ සැකැස්ම කෙරෙහි බලපාන්නේ කොහොමද?- එය තවදුරටත් ගතික සහ ප්‍රගතිශීලී වන අතරවාරයේ සංස්කෘතික පරිණාමය සහ එහි ගෞරවයට හේතුවෙන ආකාරයත් එමගින් පෙන්නුම් කෙරෙනවා.

    “ඒ වගේම මේ කතාව හරිම සංවේදීයි. චරිත සමග යම්කිසි නෑකමක් දැනෙනවා. මට හිතෙන හැටියට ඒ කරුණු තමයි මේ චිත්‍රපටය රසිකයන් බොහෝ දෙනෙකුගේ සිත් ඇදගැනීමට හේතුව,” එය කෙවින්ගේ නිගමනයයි.

    නතාලි නම් සිනමා රසිකාව කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ප්‍රතිචාරය දක්වමින් මෙසේ ලියා එව්වාය.

    “ඇත්තෙන්ම මගේ තේරීම ‘Coco’. මම සිනමා ශාලාවට ගොස් පස් වතාවක්ම එය බැලුවා. කවුද දන්නේ – කී සැරයක් රූපවාහිනියෙන් බලල ඇද්ද කියල. ‘Coco’ මගේ හදවතට සහ ඔළුවට කතා කරන චිත්‍රපටයක්.”

    එහෙත් Ya – Ya – Yaesa ගේ තේරීම වෙනත් සිනමා සිත්තමකි.

    “මගේ තේරීම Marley and me’ ළමයෙක් හැටියට මට සෙල්ලමින් ඉන්න බල්ලෙක් ඉන්න චිත්‍රපටයක් ඕන කළා. ඒක නරඹලා මට ඇඬුනා.”

    ‘Animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණ තුනක් ඉහත කී වඩාත් ‘හැඟුම්බර’ චිත්‍රපට දහය අතර වෙති.’Toy Story 3′ සිනමා කෘතිය ‘අපේ පරම්පරාවේ වඩාත් දුක දැනෙන චිත්‍රපට වලින් එකක් හැටියට නම් කෙරෙද්දී, ‘අප්’ (Up) පරම්පරා කීපයක්ම මුසපත් කරන නිර්මාණයක් වී ඇත.

    සමස්තයක් ලෙස ගත්විට, දෙයාකාරයක සංවේදී කතා වස්තූන් රසිකයන්ගේ පිළිතුරු මගින් ඉස්මතු කෙරෙන බවත් කෙවින් පෙන්වා දෙයි.

    ඉන් එකක් වන්නේ, චරිතයක අභාවයක් මුල්කර ගනිමින් වැලපීමයි. එක්කෝ ඔවුන් එම චරිතයට දැඩි හැඟුම්බරව ආසක්තව වැඩුන හෙයින් එය හද කකියන සිදුවීමක් වීම හෝ එසේ නැත්නම්, තමන් බැඳුන චරිතයක් අහිමිවීමක් පිළිබඳ පෞද්ගලික කතන්දරයක් ඔවුන් අන්‍යයන් සමඟ බෙදාහදා ගැනීමක් විය හැක,” කෙවින් පවසයි.

    සිය මිත්තනිය මෑතදී මියගිය පසුව ‘කෝකෝ'(Coco) චිත්‍රපටය තමාට විශේෂයෙන් ම බල පෑ බව එක් රසිකයෙක් කෙවින්ට දැනුම් දී ඇත. ‘කෝකෝ'(Coco) චිත්‍රපටයේ මිත්තනිය එහි කේන්ද්‍රීය චරිතයක් වන අතර චිත්‍රපටයේ අතිශය සංවේදී භූමිකාවයි.

    දුක් කඳුළු සහ සතුටු කඳුළු

    “මම දැකපු අනිත් පොදු විශේෂ ලක්ෂණය සත්‍යය ඉතිහාසය පදනම් කර ගනිමින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ විශේෂයෙන්ම මානව ඉතිහාසයේ අන්ධකාර පරිච්ඡේද පසුබිම් කරගත් කතා මහජනයා විසින් වැලඳ ගනු ලැබීම,” කෙවින් ලී පවසයි.

    “මානව ඉතිහාසයේ අඳුරුම කාලවලට පිවිසුනාම මනුෂ්‍යත්වයේ අති පරිහානිය වගේම මනුෂ්‍යත්වයේ උත්තරීතර ගුණාංගත් අපට එකවර දකින්න ලැබෙනවා. ඉතින් අපට හරියටම සහතික නැහැ- අපි හෙළන්නේ දුක් කඳුළුද? සතුටු කඳුළුද? කියල.”

    රසිකයන් විසින් වැඩියෙන්ම තෝරාගනු ලැබ ඇති සෙසු චිත්‍රපට අතරට 1980 දශකයේ නිර්මාණ වන කාන්තා චරිත මුල්කරගත් ‘Terms of Endearment’, ‘Beaches’ සහ ‘Steel Magnolias’ පටන් 2019 Avengers: Endgame ඇතුළත් වෙයි.

    Terms of Endearment
    ,Terms of Endearment චිත්‍රපටය

    කොරෝනාවෛරසය නිසා දැනට බල පැවැත්වෙන ‘ලොක්ඩවුන්’ කිරීම තමා විසින් පළ කරන ලද ‘ට්විටර්’ පණිවුඩය ඉහත සඳහන් කරන ලද තරම් සමාජගත වීමට එක්තරා හේතුවක් වන්නට ඇත යන්න කෙවින්ගේ විශ්වාසයයි.

    ඔහු මෙසේ ප්‍රතිචාරය පළ කරයි.

    ”මගේ එකම න්‍යාය වන්නේ,මේ මොහොතේ කාගේත් නිශ්චිත හැඟීම කුමක්ද කියන කාරණය විමසා බැලීම.”

    ”ඔක්කෝම වගේ දැන් ජීවත්වන්නේ දැඩි හුදෙකලා තත්වයක.’ලොක්ඩවුන්’ වෙලා තනිව සිටින විට නොයෙක් කතන්දර එලියට එනවා.”

    කෙවින් මෙසේ පවසයි.

    ”සමහර විට මේ ‘හුයට ‘ (thread)අන් අය සමඟ සහ සම්බන්ධතාවක් ඇතිකර ගන්න අවශ්‍ය පුද්ගලයන් එක්වෙන්න ඉඩකඩ තියෙනව.දැන් පවතින තත්වය මගින් මහජනයාට ඔවුන්ගේ ඉතා ම පෞද්ගලික තොරතුරු විවෘත ලෙස හෙළිදරව් කරන්න පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.”

    Text copied by bbc sandesaya

  • රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය.

    ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත.

    ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා උණ සම්බන්ධ හීනමාන ද ඒ තුළ අඩු නැතුව පවතී.

    පසුබිම එසේ නිසා බැරිම, ගැලවීමක් නැතිම තැන මිස කණගාටුව පළකර සටහනක් තැබීම ඉතා කළාතුරකින් සිදුවන්නකි. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයකුට අදාළව කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

    නමුත් සිදුවූ වරදක් ගැන කණගාටුව ප්‍රකාශ කිරීම මාධ්‍ය ආචාර ධර්ම අනූව උසස් ක්‍රියාවක් බවත් මාධ්‍ය මහත්වරුන්ට මිස මහත්හොරුන්ට එසේ කිරීමට නොහැකි බවත් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

    කෙසේ වුවත් මේ සිදුව ඇත්තේ එවැන්නකි. ලංකාවේ ප්‍රධාන ධාරවේ මාධ්‍යක් හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත තම පුවත සම්බන්ධව කණගාටුවට පළකර ඇත. පුවත පළවී ඇත්තේ 2020 පෙබරවාරි 28 ය. වඩාත් වැදගත් කරුණ වන්නේ පුවතට අදාළ සිදුවීමය. එය 2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධවය. එහිද ලංකාවේ සිටි අපකීර්තිමත් ජනාධිපති සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කර ගනිමින් ය.

    රවීට ගහන්නේ ඇයි ?

    රවී කරුණානායක කියන්නේ ලේසි පහසු දේශපාලනඥයෙක් නොවේය. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එජාපය ගේමක් ගැහුවා නම් ඒ පසුපස අනිවාර්යයෙන් රවී සිටියේය.

    සැබවින්ම රවී කියන්නේ ලලිත් – ගාමිණි සුසංයෝගය ආභාෂයෙන් හැදුණු වත්මන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන‍‍‍‍‍‍යේ ඔස්තාර් කෙනෙකි. ආර්ථිකය ගැන ඕලාරික කතා කියන පිස්සු ආචාරියන්ට වඩා කාටත් තේරෙන සරල බසින් ආර්ථික කරුණු පැහැදිලි කිරීමේ නිපුනයෙකි. ප්‍රායෝගික දේශපාලන ජීවිතය සහ ජනතාව සංවේදී ආර්ථික පැතිතල ගැන රවී කරුණානායක සමග හැරෙන්නත් අමාරුය. එපමණක් නොව බොහෝ දේශපාලනඥයින්ට නැති , අහිමිකරගත් දෙයක් රවී සතුව සුරක්ෂිත ලෙස ඇත. ඒ ආදරණීය පවුල් ජීවිතයක් ය.

    කවුරුත් නොදන්නවාට රවීගේ දේශපාලන හතුරන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් පෙළෙන්නේ ඒ ගැනය. මඩේ ඔබා ගලේ ගසා මැඩිය නොහැකි ප්‍රායෝගික දේශපාලනඥයෙක්, ආර්ථිකය සම්බන්ධව ප්‍රාමාණිකයෙක්, ආදරණීය සැමියෙක්, දරුවන්ට කට හැර තාත්තේ කිව හැකි චරිතවත් පියෙක්..ගැන පිසාචයන්, පිංපියන්, බඩගෝස්තරවාදීන්, බඩුකාරයන් අවුල්වීම සාධාරණය. මෙහි අසාධාරණයත් රවීට ය. ඒ ඔහු දෙස බලා අවුල් වූ අය අවුලේ සැබෑව සඟවා බොරු කෝටි ගනන් පැවසීමය.

    කොළඹ රවී !

    අනෙක් අතට රවී කරුණානායක දේශපාලනය කරන්නේ කොළඹය. කොළඹ දේශපාලනය කරන අති බහුතරයට පාතාලය නැතුව බැරිය. නමුත් රවීට කොළඹ දේශපාලනය කරන්න පාතාලය අවශ්‍ය නැත. ඒ රවී සතු අද්භූත බලයක් නිසා නොව ඔහුගේ ඇති මනුෂ්‍යත්වය නිසාය. කොටින්ම රවීගේ PR එක සමග හැරෙන්න හැකි දේශපාලනඥයකු වර්තමානයේ නැත. අන්න ඒ නිසා රවීට පාතාල අනවශ්‍ය අතර කොළඹ ඕන වැඩකට ඕන තරම් මිනිස්සු රවීට ඇත.

    රවී සද්ද නැතුව වැඩ !

    ඊට ආසන්න සාක්ෂිය කොවිඩ් 19 ඇඳිරි නීතිය අවස්ථාවේ රවී කළ නිහඬ සේවයය. ඇත්තටම කොළඹට පමණක් නොව දිස්ත්‍රික්ක ගණනාවක දුප්පත් ජනතාව වෙත වියළි සලාක සහ එළවළු මළු කීයක් බෙදුවාද රවී දන්නෙත් නැත. මේ බෙදන්නේ දියනියන් තිදෙනකු වෙත උරුම කරන්න ඇති දේපොළ බව රවී හිතන්නෙත් නැත. රවීට අවශ්‍ය අවස්ථාවේ හැටියට නැති කෙනාට හිත පිරෙන්න සැලකීමය. එහෙම බෙදුවා කියා රවී හිඳෙන්නේද නැත. ඒ “දෙන්නාට වැඩි වැඩියෙන් ලැබෙන” ලෝක නියාමය අනුවය. එහෙම රවීට පාතාලන් මොකටද ? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රවීගේ ඒ කැරැක්ටර් එක පැහැදිලිය. කිළුටු නැත. කොටින්ම රවී කොළඹ වතු ජනතාවගේ දුප්පත්කම දඩමීමා කරගෙන සොත්ථි උපාලිලා හදලා නැත. පාතාලයන් , මැරයන් අවශ්‍ය මිනිස්සු හම්බු නොකළ අයටය.

    කොළඹ දේශපාලනය කරන බහුතරයක් දේශපාලනඥයින් රවී සමග උඩින් මෙන්ම යටින් ඔරොප්පු සහ ඊර්ෂ්‍යාව ඒ නිසා බව දතයුතුය.

    රවීගේ සල්ලි !

    යමෙකුට මෙය රවීගේ සල්ලි කියා හිත හදාගන්න පුළුවන. නමුත් එය සියයට සියයක් නිවැරැදි නැත. රවී කියන්නේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකුය. ඒ හරහා රවී ඇති වෙන්න සල්ලි හම්බකර ඇත. ඒවා නීත්‍යානුකූල ඉපයීම් ය. ඒ හරහා ඇතිවෙන්න මුදල් හම්බකළ රවීට දේශපාලනයෙන් සල්ලි හොයන්න අවශ්‍ය නැත. එහෙත් රවීට අද ගහන්නේ දේශපාලනයෙන් සල්ලි හෙව්වා කියාය.

    එහෙත් ඇත්ත එය නොවේය. එය ඉතා පැහැදිලිව රවීගේ දේශපාලන ජීවිතය නැති කරන්න ගහපු මාස්ටර් ගේමක්ය. කෙටියෙන් කිවහොත් දේශපාලනඥයින් කරළියෙන් ඉවත් කරන වැඩ කිහිපයක් ඇත. එයින් ප්‍රධාන ශාරීරිකව ඉවත් කිරීම සහ ප්‍රතිරූපය විනාශ කිරීමය. මෙයින් රවීට එල්ලවූයේ සහ අදටත් එල්ලවෙමින් ඇත්තේ ප්‍රතිරූපය නැසීමය. ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන්න හැකි අතර ඒ ගැන වෙනම ලිවිය යුතුව ඇත.

    සිරිසේන සහ පුත්‍රයෝ !

    සැබවින්ම අතිබහුතරයක් දේශපාලනඥයින් පොහොසත් වන්නේ දේශපාලන බලය උපයෝගි කරගෙනය. එහෙත් රවී සල්ලි හම්බකළේ ව්‍යාපාර හරහා ය. සැබවින්ම රවී දේශපාලනයෙන් සල්ලි හම්බකරා නම් සිරිසේන පාලන සමයේ ඔහු බන්ධනාගාරයේ ය.

    ඒ තරමට හිටපු ජනාධිපති සිරිසේන රවී ගැන සෙව්වේය. ඔත්තු නිලධාරීන් යෙදවීය. අවස්ථා කිහිපයකම අත්අඩංගුවට ගැනීමට කුරුමානම් ඇල්ලීය. කොටින්ම කියනවා නම් 2015 දී ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයකු ලෙස පැමිණි හිටපු ජනාධිපති සිරිසේන අවසානයේ දැක්කත් හිනායන, අඩියක් තිබ්බත් අතක් ඉස්සුවත් උපහාසයට ලක්වෙන තරම් පිස්සෙක් මෙන් වූයේ රනිල්, රවී සහ කිහිපදෙනකුගේ ප්‍රායෝගික දේශපාලනයේ රහස හොයන්න ගිහින්ය.

    සැබවින්ම 2015 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර 2019 ජනාධිපතිවරණය හමුවේ බිඳ වැටුණු ආකාරය ගැන විමසන සූක්ෂම විමර්ශනයකදී මේ කියන සියල්ල සත්‍ය බව තහවුරු වනු ඇත.

    එක් පසෙකින් රනිල්ලා, රවීලා කන බොන හඳින පළඳින කතා කරන ආකාරය දිරවා ගන්න හිටපු ජනාධිපති සිරිසේන ගේ උග්‍ර සහ අන්ත ග්‍රාම්‍ය හීනමානය ඉඩ දුන්නේ නැත. අනෙක් පසින් සිරිසේන වටේ සිටි සිරිකොතට ගල් ගැසූ පව්කාරයන්ගේ එජාප එරියස් එකය. සැබෑවට සිදුවූයේ උග්‍ර හීනමානයක් ඇති සිරිසේනගේ බලය ඉතා සූක්ෂම ලෙස එජාප බලය ඇල්ලීම වෙනුවෙන් සිරිකොතට ගල් ගැසූ පව්කාරයන් භාවිතා කිරීමය. ඒ තුළ රවීගේ දේශපාලන ප්‍රතිරූපය නැසීම පක්ෂ නායක රනිල් දේශපාලනයෙන් ඉවත් කිරීම තරම්ම එකට සිදුවිය යුතු බව ඉලක්ක වූ බව පැහැදිලිය.

    පට්ට කෙබර නිව්ස් වුණේ ඒ අනූවය. රවී කරුණානායක ගැන ගැසූ කෙබර නිව්ස් තරමට නඩු ගියා නම් තව ගොඩක් අයට Sorry කියන්න වෙන ඉඩ වැඩිය.

    එහෙත් අදටත් රවී මඩකරියන්ගේ ඉලක්කයක් වී ඇතුවා නොවේද ? විශේෂයෙන් අන් කවරදාකටත් වඩා එජාප පාක්ෂික හෘද සාක්ෂිය අවධි කළයුතු මොහොතක් ලෙස මේ මොහොත හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇත.

    රවී විශේෂ වන්නේ ඇයි?

    අපි සරල ප්‍රශ්නයක් අහන්නම්. රෙද්දේ තුත්තිරි පිරිච්ච දේශපාලන පත්තිනි අම්මලා රවීට කියන කතා , කරන චෝදනා පසෙක තියන්න. පාක්ෂික ඔබ ඉල්ලා සිටි මොන වැඩේද රවී නොකළේ කියන්න ? බලය ඇති කළ ඇමැති කෙනෙක් හමුවෙන්න කොච්චර අමාරුද ? ඒත් රවී ඇමතිතුමා හමුවෙන්න අමාරු වුණේ නෑ නේද ? දහසක් බාධා මැද රස්සාවක් දෙන විට ආසනය හෙව්වේ නෑ නේද ? කැරැක්ටර් එකට ගහලා වට්ටන්න යන්නේ එහෙම PR එකක් තියෙන , බලය ඇති විට වගේම නැති විටත් පාක්ෂිකයන්ට සමීපව සිටින මනුස්සයට නේද ? පක්ෂය, නායකයා සහ පාක්ෂිකයන් දුෂ්කරතාවකට මුහුණදී සිටින සෑම අවස්ථාවකම එයින් ගොඩයන උපාය උපක්‍රම සැකසූ ඒ වෙනුවෙන් වෙහෙසුනු රවී රැකගැනීම පවක් ද ? නැත්නම් පව වන්නේ පක්ෂයත් පාක්ෂිකයත් නන්නත්තාර කරමින් බාහිර පිල්ළි හරහා පක්ෂය නටවන තැනට වැඩ කිරීමද ?


  • ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින්ට යළිත් පුහුණුවීම්වලට අනුගත වීම තරමක් අසීරු කරුණක් වන බව පවසන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සෞඛ්‍ය පුරුදු සමඟ කටයුතු කිරීමේදී එය වෙනදාටත් වඩා අසීරුවනු ඇති බව සඳහන් කර සිටියි.

    කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට සිදුවන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන හොඳ අඩිතාලමක් වන බවද සඳහන් කර සිටියි.

    දැඩි සෞඛ්‍ය නීති රීති සහ කොන්දේසි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශන මැද ශ්‍රී ලංකා කණ්ඩාය සති 2 ක නේවාසික පුහුණු කඳවුරට අද (ජුනි 01) සහභාගිවිය. මේ සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් පිරිසක් සහභාගිවී සිටිති. සමාජ දුරස්ථ භාවය ඇතුළු ක්‍රීඩාව කරගෙන යෑමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යෘංශ නිලධාරී නිලධාරිණියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු දැනුවත් කිරීමකින් පසු මෙම පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු අතර සවස් යාමයේ කණ්ඩායම නේවාසිකව සිටින හෝටලයේදී ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වීමට නියමිතව තිබිණ. 

    “ඇත්තටම අපි අද දවසේදී සෞඛ්‍ය අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක්ම පිළිබඳව දැනුවත් වුණා. ඒ වැඩසටහන මෙහෙයවපු පිරිස ඉතා හොඳින් අපිට ඒ දේවල් කියලා දුන්නා. ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි. විශේෂයෙන්ම සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රීඩාව කරගෙන යෑමේදී. නමුත් අපිට ඉදිරියට ක්‍රීඩාව කරගෙන යන්න වෙන්නේ මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක. ඒකට මේ වැඩසටහන හොඳ අඩිතාලමක් වෙනවා. ඒ නිසා එවැනි වැඩසටහනකට අපිව නැඹුරු කරවපු එක ගැන ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා”යි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.

    “මේ පුරුදු අතර මීටරේ පරතරය වැදගත්. නමුත් කණ්ඩායම් ක්‍රීඩාවකදි ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ වටත් හරියන විදියට පියවර කීපයක් තියෙනවා. ඊට අමතරව, විෂබීජය පැතිරෙන්න පුලුවන් විදිහවල්, ඒ වලින් බේරෙන්න කොහොමද කියන එක තමයි ගොඩක්ම එයාලා කියලා දුන්නේ. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇඳුම්, තුවාය වගේම පන්දුව පරිහරණය කරන විදියට, ක්‍රීඩා උපකරණ, හෝටලේදී කොහොමද පිට්ටනියෙද් කොහොමද ඉන්න ඕන, උණ පරීක්ෂා කරන එක. වගේම පී. සී. ආර්. පරික්ෂාව ගැනත් එයාලා මේ වැඩසටහනේදී අපිව දැනුවත් කළා. ඒ වගේම පිහිණුම් තටාකය පාවිච්චි කරන විදය වගේම ජිම් එකේ කොහොමද කළ යුත්තේ ගැනත් කිව්වා. ඒ දේවල් ටිකක් අමාරු වෙයි මුලින්. නමුත් කණ්ඩායමේ අය ඒවට ඉක්මනින්ම පුරුදු වෙයි”. 

    ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම මාර්තු 13 වැනිදා තරගාවලිය අතහැර දමා සිය රට වෙත යන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වූ නමුත් අනතුරුව අද වන තෙක්ම සිය පුහුණු සැසි සියල්ලම නවතා දැමීමට සිදුවිය. එහෙත් ක්‍රීඩකයෝ සිය පෞද්ගලික මට්ටමින් සිය ක්‍රියාකාරකම් තම නිවෙස් වල සිට සිදු කළහ. 

    එම කාලය පිළිබඳවද දිමුත් අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ඒ කාලෙදි අපි එදිනෙදා සිදුකරගෙන යන පුහුණු කටයුතු වලට අමතරව එක එක දේවල් වලට නැඹ්රු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෝ විදියට අපිට ගෙදර වෙලා ඉන්න තියෙන කාලය ගොඩක් අඩුයි. විශේෂයෙන්ම අම්මලා තාත්තාලා එක්ක සතුටින් ජීවත් වෙන්න, එකට කෑමක් වේලක් ගන්න. ඔවුන්ගේ අඩුපාඩු සොයලා බලන්න. ඒ වගේම මගේ සුරතලත් එක්ක ඉන්න. පෞද්ගලිකවම මම ගත්තොත් ගොඩක් වෙලාවට ගෙදර තීන්ත ගෑවා. පැල සිටෙව්වා. ඒ වගේම අනිත් අයත් විවිධ වෙන්න ඇති” යනුවෙනි. 

    මෙම අදහස් දැක්වීම අතතුරදී දිමුත් තවත් විශේෂ දෙයක් සඳහන් කර සිටියේය. “අපි විතරක් නොවෙයි. ලෝකේ හැම කණ්ඩායමක්ම මේ තත්ත්වයට මුහුණ පාල ඉන්නවා. හැමෝම දැන් ඉන්නේ බිංදුවේ. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔවුන් සමඟම නැගිටින්න. බැලුවොත් වෛරස් එකට කළින්,  හිටපු තැනත් එක්ක බලද්දී අපි රටවක් කීපයක් අතුරින් පහළ හිටියේ. නමුත් මේ අවස්ථාවේදී අපේ ශාරීරික යෝග්‍යතාවය ඇතුළු සියළුම අංශ පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් කරන්න උත්සාහ ගත්තොත් අපිට පුලුවන් අනිත් කණ්ඩායම් වලට වඩා ගොඩක් උඩින් ඉන්න. මං හිතනවා මේක හොද අවස්ථාවක් නැවතත් කණ්ඩායමක් විදියට ගොඩනැඟෙන්න. අපි ඒකයි ගොඩක් මහන්සි වෙන්නේ. මිකී ආතර්ටත් ඕන ඒකයි. අපි මේ පුහුණු සැසියෙදි සීයට සීයක් නොවෙයි සීයට දෙසීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”යි සඳහන් කළේය. 

  • බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ජූනි මස 04 වැනි බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.