Tag: featured

  • Body Bags 1000ක් ඉල්ලුම් කළේ ඇයි ? – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

    Body Bags 1000ක් ඉල්ලුම් කළේ ඇයි ? – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

    මෘත ශරීර බහාලන බෑග් (Body Bags) 1000  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන්  (ICRC) ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  සිදු කල ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරයි.

    මෘත ශරීර බහාලන බෑග් 1000 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් -19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිලිවෙල අනුව එබඳු අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම  ඇතිවිය නොහැකිය. ශ්‍රී  ලංකාවේ, කොවිඩ් -19 නිසා සිදුවන මරණ අනුපාතය ඉතාම අඩුය. රෝගීන් ප්‍රමාණයද අඩුය. මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල මතුවූ කොවිඩ් -19 පොකුරු වලින් තවදුරටත් රෝගය ව්‍යාප්ත නොවීමට අවශ්‍ය සාර්ථක ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    එහෙත් මෘත ශරීර බහාලන බෑග් පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය  විසින් ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ තොග යම් නිශ්චිත ප්‍රමාණයකින් පවත්වාගෙන යයි. එය තාක්ෂණික  අවශ්‍යතාවකි.

    මේ අතර එම තොග තත්වය අඩු නොවී පවත්වා ගැනීමට අනගි අවස්ථාවක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ  සම්බන්ධීකරණයෙන් අපවෙත ලැබී තිබේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම පමණක් මෙහිදී සිදුව තිබේ.

    එසේම කොවිඩ් -19 නිසා සිදුවන මරණවලදී  පමණක් නොව විවිධ විශේෂිත තත්ව  හා ආපදා අවස්ථා වලදී මෘත ශරීර සම්බන්ධ අවසන් කටයුතු කිරීම දක්වාම විශේෂිත  බෑග් වල  බහා තැබීම අලුත් කරුණක් නොවේ. උදාහරණ ලෙස පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහද මෙසේ තැන්පත් කර තිබිණි. මෙය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන විශේෂිත ක්‍රමවේදයකි.

    කරුණු මෙසේ වනහෙයින් මෙම සිදුවීමට අදාලව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි

  • ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස

    හැඳින්වීම

    ලෙනින්

    කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” යැයි ව්ලැඩිමීර් ලෙනින් ප්‍රකාශ කළේ 1905 වසරේ රුසියාව තුළ පැන නැගුණු විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමිනි; එම ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කොතරම් වේගවත් වන්නේද යත් සිදුවීම් විශ්ලේෂණ අබිබවා යයි. මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණයක් ඉතාම ඉක්මනින් ඉපැරණි සහ අදාළ නොවන එකක් බවට පරිවර්තනය වේ. 

    රුසියාවේ විප්ලවීය වසරවලදී ලෙනින් ලියූ දේ කියවන විට පෙනී යන්නේ සිදුවීම්වල වේගවත් බව පසුපස හඹා ගිය වේගවත් මනසක ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්නයි. 

    ලෙනින් සමග සැසඳිය හැකි තරමේ වේගවත් සහ ක්‍රියාකාරී චින්තකයෙකු අපගේ යුගයේ සිටීද? මේ පැනය සමඟ සිතට එන එකම චින්තකයා ඇතැම්විට සමකාලීන රැඩිකල් දාර්ශනිකයෙකු වන ස්ලේවෝයී ශිෂෙක්ය. ඔහු අපගේ යුගයේ එකදු වැදගත් ඓතිහාසික සිද්ධියකට හෝ සංකල්පගත නොකර යන්නට හරින්නේ නැත. 

    කොරෝනා වසංගතයෙන් අප මෙතෙක් කල් දැන සිටි සාමාන්‍ය තත්ත්වය ප්‍රචණ්ඩ වෙනසකට ලක් වීමත් සමග ශිෂෙක්ගේ වෙහෙස නොහඳුනන වේගවත් මනස සිදුවීම් හඹා යාම ඇරඹීය. යුරෝපයට කොරෝනා වසංගතය ඇතුළු වී දින සියයක් තුළදී ඒ පිළිබඳව ලියැවුණු ඔහුගේ කෘතිය, Pandemic: Covid 19 Shakes the World (2020), ප්‍රකාශයට පත් විය. මෙම කෘතියෙන් ඔහුට හිමි වන කතෘ භාගය “දේශ සීමා නොතකන වෛද්‍යවරු” නමැති සංවිධානයට ප්‍රදානය කෙරෙනු ඇත. 

    පහත පළ වන්නේ දැනට සති තුනකට පමණ පෙර නිකුත් වූ කොරෝනා වසංගතය අළලා ලියැවුණු එම ප්‍රථම න්‍යායික ග්‍රන්ථයේ හැඳින්වීමේ දළ පරිවර්තනයකි. මේ ශිෂෙක්ගේ Pandemic කෘතියේ එක් එක් පරිච්ජේදය බැගින් සරල සිංහලෙන් පැහැදිළි කෙරෙන ලිපි මාලාවක පළමුවැන්නයි.

    ******************************************

    “මාව අල්ලන්න එපා!” 

    මළවුන්ගෙන් නැගී සිටි ජේසුස් ඔහුව හඳුනාගත් මරියා මග්දලේනා හට පැවසූ පළමු වැකිය වූයේ එයයි.

    ශිෂෙක් තම කෘතිය අරඹන්නේ එම වැකිය පුනරුච්ජාරණය කරමිනි. ඉන්පසුව ඔහු විමසන්නේ “ක්‍රිස්තියානි අදේවවාදියෙකු” වන තමන් එම වැකිය වටහා ගන්නේ කෙසේද යන්නයි. එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මෙපරිදිය;

    ‘ජේසුස් සැබවින්ම මරණයෙන් අවදි වූවා යැයි තමන් දැන ගන්නේ කෙසේදැයි ඔහුගේ අනුගාමිකයන් ඔහුගෙන් විමසීය. එයට ජේසුස්ගේ පිළිතුර වූයේ ඔහුව විශ්වාස කරන්නන් අතර ආදරය පවතින්නේ කවර මොහොතකදීද එවිට ඔහු එතැන සිටින බවයි’. ඔහු සිටින්නේ අතින් ඇල්ලිය හැකි පුද්ගලයෙකු ලෙස නොවේ. නමුත්, මිනිසුන් අතර ආදරයේ සහ සහයෝගීතාවයේ බැඳීම ලෙසය.

    ශිෂෙක් පවසන්නේ ජේසුස් මග්දලේනා හට පැවසූ වැකිය ජේසුස් තම අනුගාමිකයන්ට දුන් ඉහත පිළිතුර සමග සම්බන්ධ කොට කියැවිය යුතු බවයි. “මාව අල්ලන්න එපා; ආදරයේ ජීවයෙන් සෙසු මිනිසුන්ව ස්පර්ෂ කරන්න; ඔවුන්ව ඇසුරු කරන්න.”

    අද දිනයේ කොරෝනා වසංගතය මැද සෑම දෙසකින්ම අපට ඇසෙන්නේ අනෙකුන්ව ස්පර්ෂ නොකරන ලෙසටත් හුදෙකලාව සිටින ලෙසටත් කරන ඉල්ලීම්ය; ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්නට කෙරෙන ඉල්ලීම්ය.

    මෙසේ “මාව ස්පර්ෂ නොකරන්නැයි” පැවසීමේ අර්ථය කුමක්ද? ශිෂෙක් විමසයි. අනෙක් පුද්ගලයාව ස්පර්ෂ කරන්නට දෑත අසමත්ය. අපට එකිනෙකාට සමීප විය හැක්කේ ඇතුළතින්ය. ඇතුළාන්තයට පිවිසෙන කව්ළුව වන්නේ දෙනෙත්ය. මේ දිනවල ඔබට ඔබගේ සමීපතමයෙකු හෝ අමුත්තෙකු වුවත් මුණ ගැසී එකිනෙකා අතර යම් දුරක් පවත්වාගෙන සිටින විට ඔබ අනෙකාගේ දෑස පත්ලට එබී බැලුවහොත් සමීප ළෙන්ගතුකමකටත් වඩා යමක් ඔබට හෙළිදරව් වනු ඇත. 

    දාර්ශනික හේගල්

    මේ කාව්‍යමය සංකල්පීය ඇරඹුමෙන් පසුව ශිෂෙක් ඔහුට සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම දාර්ශනික හේගල්ව උපුටා දක්වයි. ඔහු උපුටා දක්වන්නේ හේගල් තරුණ වියේදී ලියූ සටහනකි. “ආදරණීයයා අපට එරෙහිව නොපවතී; ඔහු සිටින්නේ අපගේ සත්තාව සමගය; අප අපව දකින්නේ ඔහු තුළ පමණකි. නමුත්, යළිදු ඔහු තවදුරටත් අපම වන්නේද නැත. ඔහු අපට වටහාගත නොහැකි ප්‍රහේළිකාවකි; ආශ්චර්යයකි.”

    ඉන්පසුව ශිෂෙක් අවධාරණය කරන්නේ හේගල්ගේ ඉහත කියා පෑම් දෙක (එනම් ආදරණීයයා අප සමගම සිටීය යන්න සහ ඔහු අපට ප්‍රහේළිකාවක් වන්නේය යන්න) එකිනෙකට ප්‍රතිපාක්ෂික වූ දේ ලෙස නොකියවිය යුතු බවයි. එයින් අදහස් වන්නේ ආදරණීයයා පාර්ශ්වීය වශයෙන් අපගේම, මගේම කොටසක් වන අතර පාර්ශවීය වශයෙන් ප්‍රහේළිකාවක් වන්නේය යන්න නොවේ. ආදරයේ ආශ්චර්යය වනුයේම ඔබ මගේ අනන්‍යතාවයේ කොටසක් වන අතරම ඔබ මට වටහාගත නොහැකි ප්‍රහේළිකාවක් ලෙස පැවතීමම නොවන්නේද? එය ඔබ මට පමණක් නොව ඔබටම ප්‍රහේළිකාවක් වීමකි. 

    ඉනික්බිතිව ශිෂෙක් යළිත් තරුණ හේගල්ව උපුටයි:

    “මානව වර්ගයා වනාහී මේ රාත්‍රියයි; මේ හිස්, කිසිවක් නොවීමයි; එතුළ එහි සරලත්වය තුළ සියල්ලම අන්තර්ගත වේ (එනම් ඔහුට අයිති නැති අනවරත නියෝජනයන්, ප්‍රතිරූප සමුදායක්); නොඑසේනම්, මානව වර්ගයා යනු නොපවතින දෙයයි. යමෙකු මානවයන්ගේ දෑස් දෙස බලන විට යමෙකුට මේ රාත්‍රියේ දසුන නෙත ගැටෙනු ඇත.”

    කිසිදු කොරෝනා වෛරසයකට මෙය අපෙන් උදුරා ගත නොහැකිය. ඉදින්, ශාරීරික දුරස්තභාවය අපට අන් අය සමග ඇති ළබැඳියාව ශක්තිමත් කරනු ඇතැයි පවා අපේක්ෂාව කළ හැකිය. මට සමීප වූවන්ගේ පෙනී සිටීම, ඔවුනගේ වැදගත්කම මට පූර්ණ වශයෙන්ම දැනෙන්නේ මට ඔවුන්ව මුණ නොගැසී සිටින්නට සිදුව ඇති මේ මොහොතේය. 

    ඔහු මෙසේ පවසන විට නරුමවාදීන් ඔහුව සිනාවට ලක් කරන අයුරු ඔහුට ඇසේ යැයි ඒ සමගම ශිෂෙක් පවසයි.

    ඔවුන් මෙසේ විමසනු ඇත: “හොඳයි, සමහරවිට අපට ඒ වගේ අධ්‍යාත්මික සමීප භාවයේ මොහොතවල් උදා වෙන්න පුළුවන්; ඒත්, මේ ව්‍යසනය එක්ක හැප්පෙන්න ඒවායින් ඇති වැඩේ මොකද්ද? අපට ඒවායින් ඉගෙන ගන්න දෙයක් තියෙනවද?”                

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    නමුත්, එක් කාරණයක් පැහැදිළිය (ඔහු පවසයි). එනම්, කොරෝනා වෛරසය අපගේ ජීවිතවල පදනම් සලිත කරනු ඇති බවයි; ඒ අති මහත් ප්‍රමාණයක් දුක් වේදනා ජනිත කිරීමෙන් පමණක් නොවේ; 1929 මහා ආර්ථික අවපාතයටද වඩා දරුණු වූ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීම මගිනි.           

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ

    ස්ලේවෝයී ශිෂෙක්

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ. මේ වසංගතය අවාසනාවන්ත අහඹුවක් ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ; එහි ප්‍රතිවිපාකවලින් මිදී ඇතැම්විට අපගේ සෞඛ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් සිදු කොට පැරණි ආකාරයෙන්ම දේවල් කිරීමේ සුඛනම්‍ය ක්‍රියාකාරීත්වයට ආපසු යාමට එලෙසින් නොහැක. 

    අප මූලික ප්‍රශ්නය විමසිය යුතුය: “අපට මෙවැන්නක් පිළිබඳව විද්‍යාඥයින් වසර ගණනාවක් මුළුල්ලේ අනතුරු හඟවා තිබියදීත් අප මේ ව්‍යසනයට සූදානමකින් තොරව හසු වූයේ අපගේ ක්‍රමයේ කුමන වරදක් නිසාද?”

    (මෙම කෘතියේ ඉදිරි පරිච්ජේද කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත) 

    සුමිත් චාමින්ද    

  • Covid-19: අදත් නව ආසාදිතයින් 63ක් – මුළු ගණන 523යි

    Covid-19: අදත් නව ආසාදිතයින් 63ක් – මුළු ගණන 523යි

    අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි.

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද දින ප.ව 22.04ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273ක් බවත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 378ක් බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 120ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

  • Covid-19 Hot World: මරණ  203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    Covid-19 Hot World: මරණ 203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ.

    ආසාදිතයින් සංඛ්‍යාව 20,000ට වැඩි රටවල්

    223,759 Spain, 195,351 Italy, 161,665 France, 157,026 Germany, 149,569 United Kingdom, 107,773 Turkey, 90,481 Iran, 83,909 China, 80,949 Russia, 59,479 Brazil, 46,134 Belgium, 45,521 Canada, 38,039 Netherlands, 29,061 Switzerland, 26,917 India, 25,331 Peru, 23,864 Portugal, 22,719 Ecuador

    මරණ සංඛ්‍යාව ඉහළම රටවල්

    26,384  Italy, 22,902 Spain, 22,614  France, 20,319  United Kingdom, 7,094  Belgium, 5,880 Germany, 5,710 Iran, 4,512 Hubei China, 4,475 Netherlands, 4,062, Brazil 2,706 Turkey, 2,194 Sweden, 1,607 Switzerland

    ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 826ක් බව ජෝන්ස් හොප්ස්කින් නිල වෙබ් අඩවියේ දැක්වේ.

  • ආගමික වෛරය හෝ ජාතීන් අතර විසංවාදය ඇති කළොත් වැඩ වරදී – DIG අජිත් රෝහණ

    ආගමික වෛරය හෝ ජාතීන් අතර විසංවාදය ඇති කළොත් වැඩ වරදී – DIG අජිත් රෝහණ

    අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය.

    නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී විය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් මෙසෙද පැවසුවේය,

    දැනට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට අළුයම 0500 ඉවත්වනු ඇත. එසේ වූවත් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කළ නොහැක.

    එසේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල එනම්, අළුයම 0500 සිට රාත්‍රි 0800 දක්වා කාළය තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සේවක සංඛ්‍යාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීමට ආයතන ප්‍රධානින් ක්‍රියාකළ යුතුයි.

    විශේෂයෙන්ම ඇදිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුළ ඔබගේ ජාතික හැදුනුම්පතෙහි අංක අනුව සතියේ දින පහ තුළ රාජකාරීන් සිදු කරනු ලබන ආකාරය සැබැදිව යම් ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒ සඳහා බලපානුයේ හැදුනුම්පතෙහි අවසන් අංකය වන අතර , එහි 1 හෝ 2 වනුයේනම් සදුදා දිනයෙත්, 3 හෝ 4 වනුයේනම් අගහරුවාද දිනයෙත්. 5 හෝ 6, බදාදාත්, 7 හෝ 8,  බ්‍රහස්පතින්දාත් හා 9 හෝ  වෙන් අවසන් වේනම් සිකුරාදා වශයෙනුත් තම රාජකාරීන් සිදු කිරිම සඳහා මාර්ගයේ ගමන් කිරිමට අවසර ලැබෙනු ඇත.

    කෙසේවෙතත් එම ක්‍රමවේදය තුළ කෘෂිකර්මාන්තය, රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාම, කුලි රැකියා හා දෛනික සාමාන්‍ය රාජකාරීන් සිදු කරනු ලබන පුද්ගලයින් සඳහා මෙය කිසිසේත්ම බල නොපවත්වයි.

    එසේම, ඇදිරි නීතිය ලිහිල් කරන ලද කාලය තුළ සාද පැවැත්වීම, විනෝද චාරිකා, කණ්ඩායම් වශයෙන් එක්ව සිදුකරනු ලබන ක්‍රියාකාරකම්, විවිධ ආගමික උත්සව පැවැත්වීම, ක්‍රිඩා කටයුතු සිදුකිරිම හා සංගීත රාත්‍රින් යන ක්‍රියාකාරකම් සිදු කිරිම තහනම් වන අතර, එවැනි             ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවන පුද්ගලයින් නීරික්‍ෂණයට ලක්වූවහොත් නීරෝධායන රීතීන්ට අනුව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසීය ක්‍රියාකරනු ලබයි.   

    ඇදිරි නීතිය ලිහිල්වන ප්‍රදේශයන්හී යම් පුද්ගලයෙක් හෝ නිවසක් ස්වයං නිරෝධායනයට ලක්කර සිටීනම් ඔවුන්ට එම ස්වයං නිරෝධායන කටයුත්තෙන් පරිබාහිරව කටයුතු කිරිමට අවස්ථාවක් නොලැබෙන අතර, නිරෝධායන ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාකල යුතුයි.     

    එසේම, විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් මගින් ආගමික වෛරය, ජාතීන් අතර විසංවාදය ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශණ සමාජ ජාලා මධ්‍ය හරහා ප්‍රචාරණය කරන බැව් නිරීක්‍ෂණය වී ඇත. එවැනි පුද්ගලයින් සඳහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ අවුරුදු 07 ක සිර දඩුවමක් ලබා දිය හැකි වරදක් වේ. එවැනි සිද්ධින් 9 ක්       සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂක දෙපාර්තුමේන්තුව මගින් විමර්ශණ ආරම්භ කර ඇත.

    තවද, අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇත.

  • වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති

    වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති

    වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පවුල්  සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇති  බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී විය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,

    ඉන්දියාවේ කොයිම්බතූර් (COIMBATORA) සිට පැමිණි UL-1194 දරණ ශ්‍රී ලන්කන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 113 දෙනෙකු අද (26) දින දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් අතර, නාවික හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත්ව සිටියි.

    එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම් කරන ලදී.

    තවද, ඉදිරි දිනයන්වලදී ද විදේශ රටවල උසස් අධ්‍යාපනය හැදැරීමට ගිය කණ්ඩායම් රජය විසින් සැලසුම් කරන පරිදි මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇත.

    අද (26) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, ඊයේ (25) දින ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි හමුදා සාමාජිකයන් සහ සිසුන්, 166 දෙනා යුද්ධ හමුදා සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලියට යොමුකරන ලදී.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3053 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    තවද, අද (26) දින මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැව් හදුනාගෙන ඇත. එයින් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියේ නිරතවූ පුද්ගලයෙක් හා අනෙකුත් පුද්ගලයින් 10 දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් මත සිටි අයවළුන් වේ. මේ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ ආසාදිතයට පත් රෝගීන් ගණන 68  දෙනෙකුත්,  ඒවගේම වැලිසර නාවික හමුදා කදවුරෙන් පිටත නිවාඩු මත සිටින විට ආසාදනයට ලක්වූ 27 දෙනෙකු ඇතුළුව නාවික හමුදාව තුළින් මේවන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගයින් සංඛන්‍යාව 95  දක්වා ඉහල ගොස් ඇත.

    තවද, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලැබු නාවික හමුදා නිලධාරීයෙකු  මී උණරෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින මියගොස් ඇත. මෙම නාවික හමුදා නිලධාරිවරයා මියගොස් ඇත්තේ මී උණ රෝගයෙන් බවට මරණ පරික්‍ෂණයේදී තහවුරු වූ අතර, ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කරනු ලබයි.

    ත්‍රිවිධ හමුදා සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ නිවාඩු අද (26) දින සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇත. තවද, නිවාඩු මත සිටින සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් තම රාජකාරීන් සිදු කරනු ලබන කදවුරු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. මේ අනුව නිවාඩු මත සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ඉදිරි දිනයන්වලදී ඔවුන්ට අයත් සේවා ස්ථානවලට පැමිණිමට ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කරනු ලබයි.

    ඒ වගේම, අද (26) දිනයේත් වැලිසර නාවික හමුදා කදවුර තුළ  PCR පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක් කරනු ලැබු අතර, එහි වාර්ථා අද දින සන්ධ්‍යාවේ ලැබීමට නියමිතව ඇත.

    එසේම වැලිසර නාවික හමුදා කදවුරෙන් අද සහ ඊයේ දිනයේ නිවාඩු මත සිටි වීරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු, විශේෂයෙන් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් සොයාගැනීමත් සමගම, එම ප්‍රදේශවල ජනතාව යම් කුතුහලයකට ලක්වී ඇති බැව් ලැබුණු දුරකථන පණිවිඩ මගින් ද තහවුරු විය.   එසේම, මේ වන තෙක් සිදු කරන ලද ක්‍රමවේදය ලෙස යම් රෝගියෙකු හමුවූ විට ඔහු සමීපව ඇසුරු කරනු ලැබු සියළුම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරිම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර නිරෝධායනය කිරිම සිදු කරන ලදී.

    ඒ වගේම වීරෝධාර නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සියළුම අයවළුන් නිරෝධායනය කිරිම සඳහා නිරෝධායන කදවුරු වෙත ඇතුලත් කරන ලදී. එසේම ඔවුන් සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇත.

  • හෙට රට පුරා ඇඳිරි නීතිය

    හෙට රට පුරා ඇඳිරි නීතිය

    නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි
    හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (26) පස්වරු 7.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය
    28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

  • ත්‍රිවිධ හමුදාවේ සියලු නිවාඩු අවලංගුයි – ආරක්ෂක අමාත්‍යාංශය

    ත්‍රිවිධ හමුදාවේ සියලු නිවාඩු අවලංගුයි – ආරක්ෂක අමාත්‍යාංශය

    සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරින්/සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත පරිදි වේ.

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතුයි.

    එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතුය. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ  නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (අප්‍රේල් 26) දින ගනු ලැබූ බවයි

  • Covid-19 බවට සැක නම් 1999 හෝ 1390 අමතා උපදෙස් ගන්න – සෞ.සේ.අ. ජනරාල්

    Covid-19 බවට සැක නම් 1999 හෝ 1390 අමතා උපදෙස් ගන්න – සෞ.සේ.අ. ජනරාල්

    ඕනෑම පුද්ගලයෙකුට මේ දිනවල තමන්ට කොවිඩ් -19 වැලදී තිබෙන බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේනම්  කෙලින්ම රෝහලකට නොගොස්  1999 හෝ 1390 දුරකතන අංක අමතා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා  යලි ඉල්ලා සිටී.

    මෙම දැනුම්දීමට අනුව බොහෝ දෙනෙක් කටයුතු කලත් සමහර විට එය නොතකා හරින අවස්ථා වාර්තා වන බව පෙනේ. ඊට අමතරව සමහරුන් රෝහල වෙත පැමිණ තමන් පදිංචි ප්‍රදේශය පිලිබඳව පවා කරුණු සඟවා රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදීම කණගාටුවට කරුණකි. මෙසේ වැරදි තොරතුරු ලබා දීමෙන් රෝහල වෙත පැමිණි පුද්ගලයාට ලබා දිය යුතු ප්‍රතිකාර හා සේවා ලබාදීමට පෙර යම්  උත්සහයකින්  කරුණු  රැස්කිරීමට කාර්ය මණ්ඩලයට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් එම පුද්ගලයාටද  ගැටළුවකි. යම් කාල සීමාවකට හෝ පෙර සඳහන් කල ආකාරයේ තොරතුරු වසන් කල පුද්ගලයා රෝහල් කාර්‍ය මණ්ඩලය සහ අනෙක් රෝගීන් සමග අනවශ්‍ය ලෙස සමීප වීම සිදුවුවහොත් විශාල ගැටළුවක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

    ද  සොයිසා රෝහල වෙත පැමිණී මරදාන ප්‍රදේශයේ කාන්තාවක තමන් ජීවත් වන ප්‍රදේශය සඟවා ප්‍රකාශ කිරීමේ සිදුවීමක් වාර්තා විය.සැබැවින්ම ඇය ජීවත් වූයේ මරදාන ඉමාවුල් අරුස් මාවත නමැති ප්‍රදේශයේ වුවත් ඇය රෝහල වෙත වැරදි ලිපිනයක් ලබාදී තිබිනි. රෝහල් කාර්‍ය මණ්ඩලයේ දක්ෂතාව නිසා ඇයගේ නියම ලිපිනය හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවිය. ඊට පෙර දිනයකත් මෙම ප්‍රදෙශයෙන් ආසාදිතයින් වාර්තාවී තිබීම හේතුවෙන් අදාල කාන්තාව කොවිඩ් -19 ආසාදිතයෙකු    විය හැකි බව  මුල සිටම සැකකර නිසි සූදානමකින් , අවශ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කරගෙන  පරීක්ෂාකිරීම සහ PCR පරීක්ෂණ සිදුකිරීම,ඇයව විශේෂයෙන් සූදානම් කොට තිබූ වාට්ටුවකට ඇතුලත් කිරීම ආදිය සිදුවිය.කොවිඩ් -19 ආසාදනය වීම සමාජ අපවාදයකට ලක් වීමට හේතුවක් නොවන බවත් යම් පුද්ගලයෙකු තොරතුරු සඟවා ප්‍රකාශ කිරීම එවැනි අපවාදයකට හේතුවක් විය හැකි වන අතර එය වරදක් බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

  • නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියා මිය ගියේ ‘මී උණ’ රෝගයෙන් ලු !

    නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියා මිය ගියේ ‘මී උණ’ රෝගයෙන් ලු !

    මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.  එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා.

    මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ‍ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

    මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් (ස්වේච්ඡා) දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා වන අතර, ඔහු 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

    මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණවලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි. ඒ අනුව මී උණ රෝගී තත්ත්වය සඳහා ප්‍රථිකාර ලබමින් සිටියදී එම රෝගීතත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත්කර සිටියදී මෙම නිලධාරියා 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය. 

    මෙම මරණය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලදි. ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවිකටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

  • තම මවුබිමට එන්න විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මූලික අයිතියක් තිබෙනවා – සුනිල් හඳුන්නෙත්ති

    තම මවුබිමට එන්න විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මූලික අයිතියක් තිබෙනවා – සුනිල් හඳුන්නෙත්ති

    විදේශ විනිමය උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැතැයි එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට චෝදනා කරයි.

    අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

    අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වන්නේ කොරෝනා වසංගතය නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණදී සිටින ඛේදනීය තත්වය පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරන්නයි. 

    ශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් එකක් තිබෙන, හැඳුනුම්පතක් තිබෙන විදේශගතව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා එවන පුද්ගලයින්, වෘත්තීය පුහුණුවලට, අධ්‍යාපනය ලැබීමට ගිය පුද්ගලයින් විශාල පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. ආණ්ඩු විසින් වරින්වර රට විරුවන් විදිහට හැඳින්වූ විදේශ රැකියා කරන්නන් ඩොලර් බිලියන 07කට වඩා විදේශ විනිමය ප්‍රමාණයක් ආර්ථිකයට එකතු කරනවා. මේ මුදලින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විතරක් ජීවත් වුණා නොවෙයි. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්වුණේ ඔවුන්.

    මේ මොහොතේ රට ඇතුලේ ජීවත්වන අය ගැන සොයා බලනවා වගේම මේ පිරිස ගැනත් සොයා බැලීම රජයේ අත්හළ නොහැකි වගකීමක්. එතෙර අපි සංවිධානය ලෙස ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් හැමදාමත් අපි මැදිහත් වුණා. ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටේ ජීවත්වෙන්න බැරි තත්වයක් ඇතිවී තිබෙනවා නම් ලංකාවට එන්න අයිතියක් තිබෙනවා. විදේශ රටක පුරවැසියන් බවට පත් නොවුණ ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය අවසන්වී තිබෙනවා නම් මේ රටට පැමිණීමට ඔවුන්ට තිබෙන අයිතිය වළක්වන්න කාටවත් බැහැ. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. 

    කොරෝනා වසංගතය නිසා පත්වී තිබෙන තත්වය යටතේ ඒ ඒ රටවල තානාපති කාර්යාලවල විශේෂ වගකීම තමයි ලාංකිකයන් ගැන සොයා බලන්න මැදිහත්වීම. ඔවුන් අපේ රටට අයිති නැති අය හැටියට කවුරු හරි හිතනවා නම්, ඔවුන් මේ රටට පැමිණීම වසංගතය ගෙන ඒමක් කියලා හිතනවා නම් එය අසාධාරණයි. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ, ප්‍රජා සෞඛ්‍ය සේවාවන්, ග්‍රාම නිලධාරීන් පී.එච්.අයි මහත්තයා දක්වා මැදිහත්වෙලා වසංගතය මර්දනය කරන්න විශේෂ වැඩපිලිවෙළවල් ගෙන යනවා. ඒ අතරේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ පාසල් විවෘත කරන දින නියම කරන්න, අධිවේගී මාර්ග විවෘත කරන්න, ඇඳිරි නීතිය ඉවත කරන ආකාරය ප්‍රකාශයට පත් කරන්න වගේම තැබෑරුම් විවෘත කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී යැයි යන හැඟීම හදන්න. විශ්වවිද්‍යාල, රජයේ ආයතන වගේම පෞද්ගලික ආයතන විවෘත කරන්න හැකි බව අඟවමින් ඊට අදාල නිර්ණායක හදලා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇති බව සාකච්ඡාවට ගත්තා.

    මෙතරම් උනන්දුවක් අපේ ආර්ථිකයේ කොඳු නාරටියවූ විදේශ රැකියා කරන්නන් කොරෝනා වසංගතයෙන් අසරණවී ඉන්න මොහොතේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බවක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල්වල පාස්පෝට් නැතිව, වෙනත් ලියකියවිලි නැතිව ඉන්න අයට ඒවා හදලා දීලා, ගුවන් යානා පවා ලබාදීලා ලංකාවට එවන්න සූදානම් බව නිළ වශයෙන් දන්වලා තිබුණා. නමුත් අපේ රටේ දේශපාලන අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ අය ගෙන්වා ගන්න සූදානම් නැහැ. මේ නිසා අපි ආණ්ඩුවෙන් සාධාරණ ප්‍රශ්නයක් අහනවා, ජන ජීවිතය යථාතත්වයට පත්කරන්න සූදානම් බව ප්‍රකාශ කරන්න ආණ්ඩුවේ තිබෙන සූදානමේ තරමට, මැතිවරණය පවත්වන්න උනන්දුවන තරමට අසරණභාවට පත්වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්න විදේශ රටවලින් සහය පළකරන්න සූදානම්ව සිටියදී ආණ්ඩුවේ උනන්දුවක් නැහැ. 

    මුලින්ම අපි අප්‍රේල් මාසයේ 07වැනිදා දිනේෂ් ගුණවර්ධණ විදේශ කටයුතු ඇමතිවරයාට ලිඛිතව යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එහිදී අපි ඉතා පැහැදිලිව සඳහන් කළ එක කාරණයක් වූයේ ලංකාවේ ගුවන්තොටුපොළවලින් රටට පැමිණෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර  නිවාසවලට යවන ප්‍රමාණයට සාපේක්‍ෂව තවත් පිරිසක් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනයට ලක්කර සියලු සෞඛ්‍ය අංශවල නිර්නායකවලට යටත්ව මේ විදේශ රැකියා කළ පිරිස් ගෙන්වාගෙන තමන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සමාජගත වෙන්න ඉඩ දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික කටයුත්තකට හරි රජයේ පුහුණු කටයුත්තකට හරි විදේශගතවෙලා ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්න අය ගැන සංගණනයක් කරලා රට තුළට එන්න අවශ්‍ය ඉඩකඩ හදලා දෙන්න කියලා යෝජනා කළා. ඒ වගේම වීසා කාලය අවසන්වී ලංකාවට එන්න නොහැකි අයට පහසුකම් සලසා දෙන්න කියලත්, විදේශ රැකියා කරන අතර කොරෝනා රෝගයට ගොදුරුවී ඉන්නවා නම් ඔවුන් ගැනත් ඔවුන්ගේ පවුල් ගැනත් මැදිහත් වෙන්න කියලා යෝජනා කළා.

    ඊටත් අමතරව විශේෂ ඉල්ලීමක් කළා, විදේශ රැකියා සඳහා පිටත්ව යන මොහොතේදී රුපියල් 17,000ක් වැනි මුදලක් අයකරගෙන ලබාදුන් රක්‍ෂණාවරණය සහ සෙසු රක්‍ෂණාවරණයන්හි මුදල් ලබාගෙන විදේශගත පුද්ගලයින්ට අවශ්‍ය ආහාරපාන, සෞඛ්‍යාරක්‍ෂාව, නවාතැන් පහසුකම් වෙනුවෙන් යොදවන්න කියලා. නමුත් ආණ්ඩුව මේ දක්වා කිසිම අවධානයක් යොමුකර නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.

    ඔවුන් මුහුණදී සිටින පොදු ගැටලු ගණනාවක් තිබෙනවා. මැදපෙරදිග රටවල් කොරෝනා තත්වය හමුවේ අරගෙන තිබෙන තීරණත් එක්ක කුවේ, කටාර්, සෞදි අරාබි, අබුඩාබි සහ ඩුබායිහි අසරණවූවන් සිටිනවා. කොරියාවට වඩා අර්බුදයක් මැද පෙරදිග ඇතිවී තිබෙනවා. මාලදිවයිනට අයත් දූපත්වල වැඩකරන ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. මාලි නගරයට රැස්වූ විශාල පිරිසක් ඉන්නවා. අපට ඉතාම ආසන්න රටක් වුණත් විශේෂ තත්වයන් ගණනාවක් නිසා වැඩිම පීඩාවට පත්වන පිරිසක් එහි රැඳී ඉන්නවා.

    වර්ග කිලෝමීටරයක 23,000ක පමණ ජන ඝණත්වයක් නිසා වසංගතයෙන් ඔවුන්ට විශාල පීඩාවක් තිබෙනවා. කොරෝනා ආසාධනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා. එහි තිබෙන ලංකා බැංකු ශාඛාව වසා තිබෙනවා. එහි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉතාමත්ම අඩු පහසුකම් සහිත තැනක අනෙකුත් රටවල අයත් සමග නිරෝධානයනයට ලක්කර තිබෙනවා. මුදල් තිබුණත් ආහාර හිඟයක් ඇතිවී තිබෙනවා. ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ඒ රටේ පුරවැසියන්ට. අපේ සහෝදර ජනතාව මේ නිසා ඉතාමත්ම බරපතල තත්වයකට පත්වෙලා. ආහාර හුවමාරුකරත්තත් දැන් ආහාර අවසන් වෙමින් තිබෙනවා. රෝගය ඉතා ඉක්මනින් පැතිරීමේ අනතුරත් නිසා වහාම ලංකාවට ගෙන්වා ගන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. අපි ආණ්ඩුවට බල කරන්නේ ගුවනායානා හෝ මගී නැව් යොදවලා මේ පිරිස ගෙන්වා ගන්න කියලයි. 

    මේ අතර රාජ්‍යතාන්ත්‍රික රාජකාරි අවසන්කළ නිලධාරීන් ඉන්නවා. රුසියාවේ මොස්කව් නගරයට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සිරවී සිටිනවා. ලක්‍ෂ 5කට වඩා වැඩිය මුදලක් ඔවුන්ගෙන් ආපසු එන්න ඉල්ලනවා. ඉන්දියාවේදී කෑමට මුදල් නැති ශිෂ්‍යයන්ගෙන් ටිකට් හදන්න මුදල් ඉල්ලා තිබෙනවා. සාමාන්‍ය ගුවන් බලපත්‍රයකට අයකරන මිලට වඩා කිහිප ගුණයක් වැඩියෙන් ඉල්ලනවා. ලංකාවේ තානාපති සේවා නැති කාම්බෝජය වැනි රටවල්වල ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිරවී ඉන්නවා. තානාපති කාර්යාලවල පොදු අඩුපාඩුකම්, දුර්වලතා නොසලකා මේ වෙලාවේ එතෙර අපි සංවිධානය තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන් ශ්‍රී ලාංකිකයින්ට උදව් කරනවා. මේ ආකාරයට සෑම රටකදීම සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම් බව විදේශ අමාත්‍යාංශයට දන්වා යැව්වා.

    අප්‍රේල් 30 දක්වා කුවේට් රාජ්‍යයෙන් පොදු සමා කාලයක් ලබාදුන් පසු රැඳී සිටි නිවෙස්වලින් ලාංකිකයන් එළියට ආවා. මේ අයගෙන් ඇතුළට ගත්තේ පාස්පෝට් තිබුණ අය විතරයි. වීසා හෝ පාස්පෝට් හෝ වෙනත් ලියකියවිලි නැති අයට තානාපති කාර්යාලයෙන් ලියකියවිලි හදාගෙන එන්න කාලයක් දුන්නා. නමුත් ඒ මොහොතේ තානාපති කාර්යාලය වහලා තිබීම නිසා ඔවුන් ඉතාමත් අසරණ වුණා. බොහෝ පිරිසකට රාත්‍රීය ගතකරන්න තැනක් පවා නැති වුණා. වැඩ කරන තැන්වලින් එළියට ආව අය ඒ හාම්පුතාලා ආපහු ගන්නේ නැහැ.

    තානාපති කාර්යාල මට්ටමෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා ඉක්මනින් මැදිහත්වෙලා හැකි ඉක්මනින් කොටස් වශයෙන් ලංකාවට කැඳවා ගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ලංකාවේ සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුව නීති සියල්ලට යටත්ව කටයුතු කරන්න ශ්‍රී ලාංකිකයන් සූදානම්. 

    එක් එක් රටවල්වල ශ්‍රී ලාංකිකයින් වීඩියෝ දර්ශන එවා තිබෙනවා. වීඩියෝ දර්ශනවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් ලාංකිකයින් වෙනුවෙන් කර නැති බවයි. ලංකාව තුලදී පවා රෝගීන් මහත් අසරණ වෙනවා. ඔවුන් බලන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. අපේ රට තුළත් එහෙම නම් භාෂාව නොතේරෙන, අවශ්‍ය මූලික පහසුකම් අඩුවෙමින් තිබියදී විදේශ රටකදී ලාංකිකයින් කෙතරම් අපහසුතාවයකට පත්වෙනවද? මේ නිසා තමයි ඔවුන් ගෙන්වා ගත යුතු බව මුලදීම අවධාරණය කළේ. අඩුම ගානේ රාජ්‍ය තාන්ත්‍රිකව පුහුණුවලට යවා සිටින නිලධාරීන් ගෙන්වා ගැනීමටත් මේ දක්ව ක්‍රියාකර නැහැ. 

    ඒ නිසා විදේශ රටවල අසරණවී ඉන්න ලාංකිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන අතරම එතෙක් ඒ ඒ රටවල්වල ඔවුන් වෙනුවෙන් සහන කටයුතු සැලසීමට එතෙර අපි සංවිධානය හැටියට ක්‍රියා කරන්න අපි සූදානම්. ඊට අවශ්‍ය පසුබිම හදලා දෙන්න කියලත් ඉල්ලනවා. නමුත් ක්‍ෂණිකව මැදිහත් විය යුතු කටයුතුවලට ආණ්ඩුව ඉක්මනින් අවතීරණ වන ලෙස අපි  බල කරනවා. 

    කොරෝනා වසංගතය මර්දනයට විදේශ රටවල්වලින් ණය ආධාර විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ අරමුදල් තිබෙනවා. අපි දැනගන්න කැමැති එම අරමුදල්වලින් කොතරම් ප්‍රමාණයක් මේ අසරණ වූ විදේශගත පිරිස වෙනුවෙන් වෙන කරලා තියෙනවද කියලා.

    පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැති නිසා මේවා වියදම් කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම ආණ්ඩුවේ සැලසුම් සකස් කරන්නන් එක්ක සහයෝගයෙන් කටයුතු කර මේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපිට කළ හැකි සියලු මැදිහත්වීම් කරන්න සූදානම් බව දැනුම් දෙනවා. ඒ අතර විදේශගතවී සිටින අපේ සහෝදර ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා එතෙර අපි සංවිධානය සම්බන්ධ කරගන්න කියලා. ඒ වෙනුවෙන් ෆේස්බුක් මගින් සම්බන්ධ වෙන්න පුලුවන්. අපි මේ මොහොතේදී ඉටුකළ යුතු වගකීම් වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ වගේම පවතින තත්වයන් ගැන ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර නැවත නැවතත් බලපෑම් කරන්න සූදානමින් ඉන්නවා.

  • එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සීමා කරයි

    එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සීමා කරයි

    ශ්‍රී ලංකාව තුළ  COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම මෙතෙක් සිදුකරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

    අප්‍රේල් 24 වැනි සිකුරාදා සිරස ගුවන්විදුලිය සහ ‘දවස’ රූපවාහිනී වැඩසටහන වෙත අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ වෙනත් මාධ්‍යයන් හරහා මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. මෙම සංඛ්‍යාවට සංක්‍රමණික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වේ.

    වෛද්‍ය මතය අනුව ඔවුන් මුහුණ දී සිටින සුවිශේෂී අවදානම සැලකිල්ලට ගනිමින්, වර්තමාන නැවත සියරට පැමිණවීමේ පෙළගැස්මෙහි දී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියාවට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා  පැවසීය. මෙම නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ් ඒ් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ක්‍රියාත්මක කරනු ලබනුයේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙනි. වෙනත් ස්ථානවල ද වර්ධනය වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙනු ඇත.

    මේ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 කින් යුත් ජාලය අවශ්‍යතා ඇති විදේශගත ශ්‍රී ලාංකික සහාය වෙමින් පහසුකම් සපයයි. එම රටවල පිහිටි ශ්‍රී ලාංකික ප්‍රජා සහ ආගමික සංවිධානවල ද සහාය ඇතිව අවශ්‍ය අවස්ථාවන්හි දී වියළි සලාක සහ ඖෂධ ලබා දීමට අමතරව, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, බැංකු  හරහා මුදල් ගෙන්වා ගැනීම/අරමුදල් මාරු කිරීම, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ සමස්තයක් වශයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා  මෙම දූත මණ්ඩල ක්‍රියා කරයි.

    තව දුරටත් කුවේටයේ සේවය කිරීමට අවස්ථාව අහිමි වූ ශ්‍රමිකයන් 19,000 කට අධික පිරිසකට පොදු සමාවක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාවේ එහි පවතින විශේෂිත තත්ත්වය කෙරෙහි මෙම අමාත්‍යාංශය ප්‍රධාන අවධානයක් යොමු කර ඇති බව ඔහු පැවසීය. මෙම පොදු සමා කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා සහ කුවේට් රජයන් සාකච්ඡා පවත්වමින් සිටින අතර, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ගරු ෂෙයික් සබා කලීඩ් අල්-හමාඩ් අල්-සබා මැතිතුමා අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, මේ සතියේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ කොළඹ සිටින කුවේට් තානාපති ඛාලෆ් එම්.එම්. බූ ධයර් මැතිතුමා අතර පැවති සාකච්ඡාවේ දී, මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව විශේෂ අවධානය යොමුවිය. විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, මෙම සාකච්ඡාවලින්   අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක තීරණයක් අපේක්ෂා කරන බවයි.

    බොහෝ අවස්ථාවල දී, එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමට දූත මණ්ඩලවලට හැකි වූ බව ලේකම් ආර්යසිංහ මහතා සඳහන් කළේය. සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM), කැරිටාස් සහ රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සපයනු ලබන ආධාර දූත මණ්ඩලවල කාර්යයන්  වැඩිදියුණු කිරීමට ඉවහල් වී ඇත. ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සහතික කර ඇති බව ද ඔහු පැවසීය. මෙම තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී. මීට අමතරව, වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය නිසා සිදුවන අවතැන්වීම් හේතුවෙන් ඇතිවිය හැකි රැකියා හිඩැස් පිරවීම සඳහා පවත්නා ඉඩප්‍රස්ථා පිළිබඳව ද එම කාර්යාලය  සොයා බලයි.

    විදේශ සබඳතා අමාත්‍යාංශය- කොළඹ –

  • ඇගලුම් ‘අර්බුදය ගැන’ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා – ඇමති ප්‍රසන්න

    ඇගලුම් ‘අර්බුදය ගැන’ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා – ඇමති ප්‍රසන්න

    කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් අපනයනකරුවෝ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවත් මේ නිසා ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන ලබන අයගේ රැකියා අවදානමක් පවතින බවත් පසුගිය දා වාර්තවා විය.

    මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොරෝනා රෝගය හේතුවෙන් පත් කෙරුණ කාර්යය සාධක බලකාය දැනටමත් මේ පිළිබදව අවධානය යොමු කර ඇති බවයි. කාර්යය සාධාක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගලුම් අපනයනකරුවන් හා විදේශ රටවල් තානාපතිවරුන් අතර සාකච්ඡා පැවති බවත් එහිදී මේ පවතින තත්ත්වය පිළිබදව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බවත් ඇමතිවරයා කියා සිටී.

    ඇගලුම් කර්මාන්තය මේ මුහුණ දෙන තත්ත්වය ලෝකයටම පොදු තත්වයකි. මෙරට ඇගලුම් නිෂ්පාදන බහුල වශයෙන් අපනයන  කෙරුවේ යුරෝපා රටවලටය. යුරෝපා රටවල කොරෝනා වසංගතය පැතිර යාමත් සමග එම කර්මාන්තය අනතුරට ලක්වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

     ඉදිරියේදී මෙම ඇගලුම් කර්මාන්ත ශාලා  පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය සහන සැලසීමත් ඇගලුම් ක්ෂේත්‍රයේ නිරත අයගේ රැකියා සුරක්ෂිතභාවයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    මේ මොහොතේ රජය සිය පූර්ණ අවධානය යොමු කර ඇත්තේ කොරෝනා වසංගතය මෙරට අවධානය යොමු කර ඇත්තේ කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි. ඒ නිසා තත්ත්වය පාලනය වූ වහාම ඇගලුම් කර්මාන්තයට අදාල ඉදිරි සැලසුම් ක්‍රියාවට නැංවීමට රජය අපේක්ෂා වෙන් සිටින බවද රණතුංග මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

  • ටයිගර් ෂ්රොෆ් සියළුම ‘ස්ටන්ට්මන්වරුන්ට අභියෝග’ කළ වීඩියෝව

    ටයිගර් ෂ්රොෆ් සියළුම ‘ස්ටන්ට්මන්වරුන්ට අභියෝග’ කළ වීඩියෝව

    සුපිරි බොලිවුඩ් නළුවෙක් වන ටයිගර් ෂ්රොෆ්ගේ Tiger Shroff බොහෝ බොලිවුඩ් තරු වගේ මේ දිනවල තමන්ගේ රසිකයින් සමග සම්බන්ධ වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් වලින්. ඔහු වටා මිලියන ගණනක් රසිකයින් ඉන්න නිසා කිසිම අපහසුවකින් තොරව බොහෝ දේ බෙදා ගන්න ටයිගර්ට හැකිවා ලැබී තිබෙනවා.

    ඉතිං ඉන්දියාව අගුළු දාලා තියෙන නිසා නිවසට වී බොහෝ දේ කරමින්, විශේෂයෙන් ව්‍යායාම කරමින් ඉන්න ටයිගර් ෂ්රොෆ් පසුගිය දා තමන්ගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සහ සිය ක්‍රියාදාම චිත්‍රපටයක් වන බාගී Baaghi චිත්‍රපටයේ තිරයෙන් පිටුපස වීඩියෝවක් රසිකයින් සමග බෙදා ගත්තා. එය මුදා හැරිය දවසෙම මිලියන 21.7ක රසිකයෝ මේ වීඩියෝව බලලා තිබෙනවා. ඉතිං හිතා ගන්න පුළුවන්නේ ඔහුගේ තත්ත්වය.

    ටයිගර් ෂ්රොෆ්

    ඔහු වීඩියෝව කැප්ෂනය කරමින් මෙසේ සදහන් කළා. “මම ඉගෙන ගත් එක් දෙයක් තිබේ. එනම්, ක්‍රියාදාම වීරයෙකු ලෙස ලොව පුරා ක්‍රියාදාම චිත්‍රපටවල වැඩ කරන සියලුම සටන්කරුවන්ට සහ ස්ටන්ට්මන්වරුන්ට ඉහළම ගෞරවය දැක්විය යුතුයි. ඒත් මං ගැන සදහන් කළහොත්, යාලුවනේ මගේ පහර වලට ප්‍රතිචාර දැක්වීමට ඔබ සමත් නම් ඔබලා නියම වීරයින්” 

    ඉතිං බොලිවුඩ් රසිකයින් මිලියන 21.7ක් නැරඹු ඒ අපූරු වීඩියෝව ඔබ මෙතැනින් බලන්න පුළුවන්. https://www.instagram.com/tigerjackieshroff/?utm_source=ig_embed

    https://www.instagram.com/p/B_PUQidnple/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again
  • Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා – DIG අජිත් රෝහණ

    Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා – DIG අජිත් රෝහණ

    Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික මාධ්‍ය හමුව අද (25) දින එහි ප්‍රධාන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එත්ව සිටියා.

    එහිදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘සියලු නිල‘ තොරතුරු පහත පළ වෙනවා.

  • අදත් Covid-19 නව ආසාදිතයින් 32ක් – මුළු ආසාදිතයින් 452ක්

    අදත් Covid-19 නව ආසාදිතයින් 32ක් – මුළු ආසාදිතයින් 452ක්

    Covid-19 ආසාදිත නව රෝගීන් 32 දෙනකු පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය විසින් අද (25) දින ප.ව 21.04ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙනවා.

    ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452ක් බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ. එම වාර්තාව අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 247ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 327ක්. සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 118ක් වෙනවා. මරණ සංඛ්‍යාව මේ දක්වා 07ක අගයක පවතිනවා.