Tag: featured

  • පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා

    පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා

    රටේ වර්තමාන කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ‘සන්ඩේ ටයිමිස්‘ වෙබ් අඩවිය අද (20) සවස වාර්තා කළා. කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් අද (20) පැවති විශේෂ රැස්වීමකදී මැතිවරණය කල් දැමීමට තීරණය වූ බවය සන්ඩේ ටයිමිස් වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • Covid-19 ‘එක් වරකට වඩා ආසාදනය විය හැකියි’- මහාචාර්ය සේරා ගිල්බට්

    Covid-19 ‘එක් වරකට වඩා ආසාදනය විය හැකියි’- මහාචාර්ය සේරා ගිල්බට්

    නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි.

    රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

    කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම පිණිස පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය ඒ බව කියා සිටියේ බීබීසී රූපවාහිනියේ The Andrew Marr Show වැඩසටහන සමඟ අදහස් දක්වමිනි.

    මේ අතර ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලන්ඩන් නුවර වෙසෙන අනුර කළුබෝවිල පවසන්නේ තමන්ට දෙවෙනි වරටත් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට හෝ සති තුනකට ආසන්න කාලයක් රෝගය සිරුර තුළ පවතින බව පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බවය.

    Anura Kalubowila's profile photo, Image may contain: 1 person
    Anura Kalubowila
    on Saturday

    මෙය මගේ පෞද්ගලික කාරනාවක් වුවත් මින් ඔබට යම් සෙතක් හෝ යමෙකුගේ ජීවිතය බේරීමට උපකාරයක් වේ යයි සිතන නිසාම පමණක් ඔබත් සමග එය බෙදා ගැනීමට තීරණය කලෙමි. මගේ බිරිඳට Covid Positive වී දැනට සති තුනකට ආසන්නය, පුතාට ටිකක් අඩුවෙන් රෝග ලක්ෂණ ආවත් මාහට බිරිඳටත් වඩා තදින් ලක්ෂණ මතුවිය (Loss of Taste & Smell, Headache, Fever, Severe Body Ache & Persistent Dry Cough). කෙසේ වෙතත් මා පසුගිය දින දෙක තුනෙහි ඉතා සතුටින් සිටියේ මගේ රෝගලක්ෂණ පහවී යනබව දැනුනු නිසාවෙනි. මීට දින කිහිපයකට පෙර අලුතින් පිහිටවූ NHS Key Worker Testing Scheme එක හරහා මා පෙරදින එනම් 16/04/2020 දින Chessington Covid Testing Centre එක තුලදී නැවත test එකකට භාජනය විය. ඊට හේතුවුයේ මාදැන් සුව නිසාත් මාහට නැවත රැකියාවට යාමට උවමනා නිසාත් මා දැන් සුව බව සහ තවදුරටත් අසාදිතයකු නොවේ යයි තහවුරු කරගැනීමත් උදෙසාය.

    මා හට 17/04/2020 දින ලැබුණු පණිවිඩය අදහා ගැනීමට නොහැකි විය. ඉන් කියවුයේ මා නැවතත් Covid Positive රෝගියකු බවය. මින් පෙනීයන්නේ රෝගලක්ෂණ වැලන්දී අසන්න වශයෙන් සති 3 කට පසුවත් වයිරසය ශරීර ගතවී පවතින බව හෝ නැවතත් මා අලුතින් ආසාදීත වී ඇතිබවයි. NHS Guidelines වලට අනුව රෝගලක්ෂණ වලින් දින 7 කට පසු 8 වන දින නැවත වැඩට යායුතුය. මා සති දෙකක නීරෝදායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේනම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩතිබුනි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනුලබන ක්රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?

    මෙය මා පළකරන්නේ ඔබට කියවා දැනුවත්වීමට පමණි. මෙය හිතට ගන්න – කවුරු මොනවා කීවත් Covid නැවත අසාදනය වීමට හෝ වෛරසය දවස් 14 කට වඩා ශරීරයේ රැදී සිටීමට බොහෝ ඉඩකඩ ඇතිබවට මාගේ උදාහරණය ප්රමාණවත් යයි හොඳින් පෙනේ. එමනිසා ලොව පවතින Covid Management Strategies ගැන වගකිවයුත්තන් කල් නොමරා නැවත සිතාබැලිය යුතුය… ලොව නැවතත් ආරක්ෂාකාරී සහ සාමකාමී වනතුරු Fun ගැනිල්ල පැත්තක තබා වෙනදේ ගැන විමසිල්ලෙන් & පරිස්සමින් ඉන්න කියා ඉල්ලමි… ඔබ වෛරසයේ ගොදුරක් නොවේයැයි කිසිවිටෙකත් නොසිතන්න. ඔබ මෙම වෛරසයෙන් මියගියදාට Fun ගන්න කිසිවෙක් ඔබේ පවුලට පිළිසරණට නොපැමිණෙනු ඇත. එනිසා වගකීමෙන් ක්රියා කරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි. මෙය කියවුවාට ස්තුතිය. සැමට බුදුසරණයි – මම අනුර කළුබෝවිල.

    සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ රෝග ලක්ෂණ පළකරන සියලු දෙනා පරීක්ෂාවට ලක් නොකෙරුණද, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ රැකියාවේ නිරතව සිටින බැවින් දෙවතාවක්ම පරීක්ෂාවට ලක්වීමට ඔහුට අවස්ථාව හිමි වී තිබේ.

    “මා සති දෙකක නීරෝධායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේ නම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩ තිබිණි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනු ලබන ක්‍රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?,” යනුවෙන් ද අනුර කළුබෝවිල සිය සටහනේ දක්වා තිබේ.

    කෝවිඩ් 19 රෝගය එක් වරක් වැළඳීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් ද පවසා තිබුණි.

    එන්නතක් ‘සැප්තැම්බරයේ’

    නව කොරෝනාවෛරසයට එන්නතක් නිපදවීම පිණිස ලොව පුරා රටවල් ගණනාවක විශේෂඥයින් පරීක්ෂණ පවත්වමින් සිටින අතර මහාචාර්ය සේරා ගිල්බට් පවසන්නේ දැනට පවතින තත්ත්වය යටතේ, නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවය.

    රෝග ලක්ෂණ

    කෙසේ වුවත් එන්නත අත්හදා බැලීම පිණිස ඉදිරිපත්වන වයස අවුරුදු 18-55 ත් අතර පිරිස යොදාගෙන විවිධ ක්‍රමවේද ඔස්සේ එය අත්හදා බැලීම පිණිස දීර්ඝ කාලයක් ගතවන බව මහාචාර්යවරිය සවිස්තරව පැහැදිලි කළාය.

    ඇය පවසන පරිදි, රෝගය පැතිරීම අඩුවීම මෙන්ම ප්‍රමාණවත් එන්නත් නිපදවීමට අපොහොසත්වීම එහිදී මතුවිය හැකි ප්‍රධාන බාධකයන්ය.

    සිය කණ්ඩායම මේ වනතුරු එන්නතක් අත්හදා බලා නොමැති වුවත්, මේ සතිය අග වනවිට එන්නත අත්හදා බැලීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද මහාචාර්යවරිය විශ්වාසය පළකරන්නීය.

    “අපි දැන් ඒ සඳහා එන්නත සෞඛ්‍යාරක්ෂිතද කියන අවසාන පරීක්ෂණය කෙරෙන තුරු සහ අවසාන අනුමැතිය ලැබෙන තුරු බලා ඉන්නවා. ඒ අතරේ ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙන අය බඳවා ගන්න අපිට අනුමැතිය ලැබිල තියෙනවා.”

    කෙසේ වුවත් රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කළ හැකි බවට සහතික විය හැකි දැයි Andrew Marr කළ විමසීමට පිළිතුරු දුන් මහාචාර්යවරියගේ ප්‍රතිචාරය වූයේ, “නෑ කාටවත් එහෙම සහතිකයක් දෙන්න බැහැ. ඒ නිසයි අපි අත්හදා බැලීම් කරන්නේ, උත්සහ කරන්නේ. මම හිතන්නේ ඒක වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම එන්නතක් ලැබේවි කියල කියන්න බෑ,” යනුවෙනි.

    එන්නතක් සොයා ගනු ලැබුවද දස ලක්ෂ සංඛ්‍යාත එන්නත් නිපදවීම පිණිස මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ පහසුකම් නොමැති බැවින් ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයේ මෙන්ම ඖෂධ කර්මාන්තයේ ද සහය පැතීමට සිදුවනු ඇති බව ඇය තවදුරටත් සඳහන් කළාය.

    Full text copied by BBC Sandesaya – 20/04/2020

  • ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL

    ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL

    Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත.

    මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

  • කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

    කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

    මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට සිය ප්‍රසාදය පළ කළේය. කොරෝනා වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති පියවර සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දිසාපතිවරුන් දැනුවත් කළේය.

    දෛනිකව වෛරසය ආසාදිත බවට හඳුනා ගැනෙන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් හෝ වීම මර්දනයට ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵලයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට  රජය පියවර ගනිමින් සිටී.  ආර්ථික වශයෙන් ශක්තිමත්වීම රජයේ අරමුණයි.  ඒ සඳහා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.  එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ දේශීයත්වයට ආවේණික කර්මාන්ත මෙන්ම සෙසු නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු අතර ඔවුන්ට පුර්ණ සහාය රජයක් ලෙස ලබාදිය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ධීවර සංස්ථාව මෙන් කෘෂි අස්වනු මිලදී ගැනීමට එළවළු සංස්ථාවක් වැනි ආයතනයක අවශ්‍යතාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. පසු අස්වනු තාක්ෂණ ආයතනය සිදු කරන පර්යේෂණවල නිර්දේශ ජනතාව සහ ගොවීන් අතර ප්‍රචලිත කොට ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු බවට එකඟත්වය පළ විය.

    පවතින වාතාවරණයත් සමග බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂි භෝග ඝෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ යෙදී සිටිති. එහි වාසි දායක බව පෙන්වා දුන් දිසාපතිවරු මෙමගින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසී ඇති බව කීහ. එය ශක්තිමත් කරමින් ඉදිරියට කරගෙන යාමට නීතිමය ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම ද ඔව්හු  අවධාරණය කළහ.

    දිස්ත්‍රික් මට්ටමින් ශිතාගාර සහ ගබඩා ස්ථාපනය සහ දේශීය බීජ නිෂ්පාදනය සිදු විය යුතු බව දිසාපතිවරු සඳහන් කළහ.

    මුඩුබිම් වගා කිරීම, වගා නොකළ බිම් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් අස්වැද්දීම, යටි භෝග වගාව කෙරෙහි මෙන්ම කුඹුරු නියර ආශ්‍රිත වගාවන්ට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණ.

    රබර් නිෂ්පාදන, කොසු, ඉදල් පේෂකර්ම ඇතුළු දේශීය කර්මාන්ත නගා සිටුවීම, දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීම ඇතුළු කෘෂි සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර, මුදල් ලේකම් එස්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිසිපති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ඉන්දියානු සහ පාකිස්ථාන සරසවිවල සිර වී සිටි 100ක් හෙට රැගෙන එයි

    ඉන්දියානු සහ පාකිස්ථාන සරසවිවල සිර වී සිටි 100ක් හෙට රැගෙන එයි

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්ව විද්‍යාල වල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙන එන බවයි.

    මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL1208 විශේෂ ගුවන් යානය හෙට කරච්චි ගුවන්තොටුපොල බලා පිටත්ව යන බවත් කරච්චි ගුවන්තොටුපොලින් එම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් නංවාගනෙ අනතුරුව ලානෝර් ගුවන් තොටුපොලට ගොස් එහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද රැගෙන කොළඹට පැමිණෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ තොරතුරු හෙළිකලේ අද (20) කටුනායක ගුවන් තොටුපොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුවය. විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණිම හා ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන සදහා යොමු කිරීම දක්වා වූ ක්‍රියාවලියේ සූදානම මෙහිදී ඇමතිවරයාගේ පරික්ෂාවට ලක් විය.

    පැමිණෙන සෑම අයෙකුම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ගුවන්යානයෙන් බැස ගුවන්තොටුපොලට රැගෙන ඒම, නැවත නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රැගෙන යන කාල සීමාව තුල මෙම අය රදවා තබා ගැනීම හා ඔවුන්ට පහසුකම් සැලසීම යන කරුණු කෙරෙහි ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ඇමතිවරයා ගුවන්තොටුපොල බළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් G.A චන්ද්‍රසිරි මහතා මෙහිදී කීවේ හෙට සිට කණ්ඩායම් ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමට රජය කටයුතු යොදා ඇති බවයි. ගුවන්තොටුපොලට පැමිණෙන මෙම පිරිසේ ශරීර උෂ්ණත්වය මුලින්ම මැන බලන බවත් පසුව ඔවුන් ගුවන් තොටුපොල තුළට රැගෙන විත් ආගමන විගමන කටයුතුද අවසන් කර නිරෝධායන මධස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ වෙත භාර දෙන බවත් සභාපතිවරයා කීවේය.

    මෙලෙස දිවයිනට පැමිණෙන කිසිවෙකු බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ගුවන්තොටුපොලේදී ඉඩ නොලැබෙන බැවින් පිටස්තර කිසිවෙකුට ගුවන්තොටුපොලට පැමිණීමට අවසර නොමැති බව අවධාරණය කල සභාපතිවරයා දිවයිනට පැමිණෙන සිය ඥාතීන් බැලීමට ගුවන්තොටුපොලට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කීවේය.

    ගුවන්තොටුපොල කළමණාකරු එච්.එස් හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන් වීම හා ඊට අදාල කටයුතු ගුවන්තොටුපොල තුල සිදුවන්නේ සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අංශ උපදෙස් මත බවයි. මෙම ගුවන් මගීන්ට අවශ්‍ය ආහාර පාන පහසුකම් සැලසීමටද ගුවන්තොටුපොල බළධාරීන් පහසුකම් සැලසීමටද ගුවන්තොටුපොල බළධාරීන් කටයුකු යොදා ඇති බව ඔහු කීවේය.

    මෙම කටයුත්ත භාරව සිටින වෛද්‍ය හේමත්න හේරත් මහතා සදහන් කළේ පැමිණෙන සියලු දෙනාගේ පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු ද යොදා ඇති බවයි. රෝගය වැලදීමේ අවධානම සහිත අයෙකු හදුනාගතහොත් ඔහු හෝ ඇයව කෙලින්ම රෝහල් ගත කිරීමටද අවශ්‍ය පිවයර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැමිණෙන සියළු දෙනා ඉතා ඉක්මනින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සෞඛ්‍ය අංශවල අපේක්ෂාව බවද කීවේය.

  • උපසම්පදාව පවා කල් දැමුවානම් මහ මැතිවරණය බැරි ඇයි ? – සාධාරණ සමාජයෙන් මැකොට ප්‍රශ්නයක්

    උපසම්පදාව පවා කල් දැමුවානම් මහ මැතිවරණය බැරි ඇයි ? – සාධාරණ සමාජයෙන් මැකොට ප්‍රශ්නයක්

    සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කළා. භික්ෂූන් වහන්සේලා 25 නමකගේ අත්සනින් යුතු එම ලිපිය මගින් අවධාරණය කරන්නේ කොරෝනා ගෝලීය  වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ මහා මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස බවයි.

    උන් වහන්සේලා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ කොරෝන වසංගත තත්ත්වය හමුවේ අස්ගිරි මල්වතු විහාර පාර්ශවවල  උපසම්පදා  පුණ්‍ය කර්ම පවා කල් තබා ඇති බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • ඉන්දියාව වසා දැමීමෙන් පසු යනඑන මං නැති වුණ ‘ගණිකාවන්’ ගැන කතාව

    ඉන්දියාව වසා දැමීමෙන් පසු යනඑන මං නැති වුණ ‘ගණිකාවන්’ ගැන කතාව

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (20) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා.

    මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම තිබෙන්නේ ‘රතු එළියක්‘ විශේෂයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අවම, සාක්ෂරතාව දුර්වල ඉන්දියාව ගැන තිබෙන බිය තව දුරටත් පහව ගිහින් නැහැ. ඊට හේතුව ඉන්දියාව කොරෝනා ආසාදිතයින් 16,365ක් සහ මරණ 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කිරීමයි.

    මේ අතර ලෝකයේ බොහෝ පිරිසක් ඉන්දියාවේ මුඩුක්කු ජනතාව, දිළිදු ජනතාව ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. ඔවුන් බිය පළ කරන්නේ කෝටි සංඛ්‍යාත පිරිසක් ජීවත් වන මුඩුක්කු තුළ කොරෝනා වසංගතය පැතිර ගියහොත් උද්ගත විය හැකි බිහිසුණු තත්ත්වය ගැනයි.

    මේ අතර තවත් පිරිසක් ඉන්දියාවේ මිලියන ගණනක් වන, කිසිදු ආකාරයක සමාජ පිළිගැනීමක් හා රැකවරණයක් අහිමි ලිංගික ශ්‍රමිකයින් ගැනත් අවධානය යොමු කරනවා.

    ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින්ගේ තත්ත්වය

    කොරෝනා ආසාදනය පාලනය කිරීම සදහා ඉන්දියාව වසා දැමීම සමග නගරවල සේවය කළ කෝටි සංඛ්‍යාත ශ්‍රමිකයින් පිරිසක් තම ග්‍රාමීය ගම්බිම්වලට සංක්‍රමණය වුණා. ඒත් ඒ ආකාරයෙන් ගම්බිම්වලට සංක්‍රමණය විය නොහැකි තවත් මිලියන සංඛ්‍යාත පිරිසක් ඉන්දියාවේ මහා නගරවල සේම ලොකු කුඩා නගරවල ජීවත් වෙනවා. ඒ ලිංගික ශ්‍රමිකයින්. ඉන්දියාව වසා දැමීම නිසා වඩාත් ඛේදනීය තත්ත්වයකට ඍජුව මුහුණ දීලා තිබෙන්නේ ඔවුන් බවයි සහන සේවා ආයතන කියන්නේ.

    ‘නමුත් ඉන්දියාව පුරා නගරවල වෙසෙන ලිංගික ශ්‍රමිකයින් දහස් ගණනකට යන්නට තැනක් නැහැ. ඔවුන්ගේ සියලුම ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. ඔවුන් ළග කිසිවක්ම නැහැ. ඔවුන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිනවා‘ ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ‘ක්‍රාන්ති‘ Kranti නම් රාජ්‍ය නොවන සංවිධානයේ බානි දාස් පැවසුවා.

    පසුගිය දා බානි දාස් පොලිසියෙන් අවසර පත්‍රයක් ලබා ගෙන ඉන්දියාවේ පැරණිතම හා විශාලතම ලිංගික ශ්‍රමිකයින් ජීවත් වන ප්‍රදේශයක් වන දකුණු මුම්බායිහි කමතිපුරය වෙත ගියාය.

    ඇය කුලී රථයෙන් බැස යන විට කාන්තාවන් තම නිවෙස්වලින් එළියට පැමිණ ඇය වටා රොක් වූවාය. 

    “මගේ හදවත දැවී ගියා. මා සතුව තිබුණේ සලාක පැකට් 100 ක් පමණයි. නමුත් කාන්තාවන් දහස් ගණනක් මා වෙත ආවා‘ ඇය අල් ජසීරාට පැවසුවාය.

    පොලිසිය දිගින් දිගටම නිවේදන නිකුත් කරමින් ලිංගික ශ්‍රමිකයින්ගෙන් දුරස්ථව සිටින ලෙස ඉල්ලා සිටියද ඇයට එය කළ නොහැකි විය. මිනිත්තු කිහිපයකට පසුව ඇය සතු සලාකය අවසන් විය.

    පසුගිය අප්‍රියෙල් 8 වන දින ගෝලීය ලිංගික වැඩ ව්‍යාපෘති ජාලය The Global Network of Sex Work Projects  සහ UNAIDS විසින් ලිංගික ශ්‍රමිකයින් මුහුණ දෙන දුෂ්කරතා සහ වෙනස් කොට සැලකීම් ඉස්මතු කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම හා ඒවා ඉටු කිරීම සහතික කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටියේය.

    එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය: “… හැකි සෑම අවස්ථාවකදීම, ලිංගික ශ්‍රමිකයන් ආණ්ඩු වල ඇමතුම්වලට ප්‍රතිචාර වශයෙන් වගකීමෙන් ස්වයං-හුදෙකලා වේ. කෙසේ වෙතත්, ඔවුන් COVID-19 සමාජ ආරක්ෂණ ප්‍රතිචාර වලින් බැහැර කරන විට, ලිංගික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආරක්ෂාව සැපයීමට මුහුණ දීමට සිදුවේ. දිවි ගලවා ගැනීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ ජීවිත වැඩි අවදානමක් ඇත …

    ‘අවිධිමත් ආර්ථිකය අවිධිමත්’

    ඉන්දීය දුප්පතුන් සඳහා ඩොලර් බිලියන 22.5 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළ නමුත් එය ලිංගික ශ්‍රමිකයින්ට ප්‍රයෝජනවත් වේද යන්න පැහැදිලි නැත.

    දැනට, පිසින ලද ආහාර සහ සලාක ස්වරූපයෙන් ආධාර බොහෝ දුරට සපයනු ලබන්නේ පළාත් පාලන ආයතනවල සහ පොලිසියේ සහාය ඇතිව ප්‍රාදේශීය ලාභ නොලබන සංවිධාන සහ පුද්ගලයින් විසිනි.

    “ලිංගික ශ්‍රමය සැපයීම අවිධිමත් ආර්ථිකයේ අවිධිමත් අංශයක්. ඔවුන්ට කිසිම ආකාරයක පිළිගැනීමක් හෝ ගරුත්වයක් නැහැ. මේ වන විට ඔවුන් සඳහා කිසිවක් නැහැ. ඔවුන්ගේ යහපත උදෙසා රජය තවත් බොහෝ දේ කළ යුතුව තිබේ” යැයි ක්‍රාන්ති සම නිර්මාතෘ ට්‍රිනා තලූක්ඩාර් Trina Talukdar පැවසුවාය..

    ඉන්දියාවේ ලිංගික ශ්‍රමිකයින් පාලනය කරනු ලබන්නේ 1956 දුරාචාර ගමනාගමන (වැළැක්වීමේ) පනත මගිනි. ප්‍රසිද්ධියේ ලිංගික සේවා අලෙවිය, ඉල්ලා සිටීම සහ වාණිජ ලිංගිකත්වය සංවිධානය කිරීම එම පනත අනුව නීති විරෝධී ය.

    ලොව අන් සෑම තැනක සේම ඉන්දියාවේද ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ නිල සංඛ්‍යා ලේඛන නැති අතර නිල නොවන ගණනය කිරීම් අනුව ඉන්දියාව තුළ ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් / පිරිමින් සංඛ්‍යාව ලක්ෂ 12-30 අතර විය හැකිය. එහෙත් සමාජ ක්‍රියාකාරීන් විශ්වාස කරන්නේ මෙය ගතානුගතික තක්සේරුවක් බවයි.

    මේ අතර ලිංගික ශ්‍රමිකයින්ගේ ඉපවීම් සම්බන්ධයෙන් ද නිල දත්ත හෝ වැටහීමක් නැත. ඔවුන් සමග කටයුතු කරන සහන සංවිධාන ක්‍රියාකාරීන් පවසන්නේ ලිංගික ශ්‍රමිකයින් සෑම සේවාදායකයෙකුගෙන්ම රුපියල් 100 ත් 800 ත් අතර මුදලක් (ඩොලර් 1.3-10.5) උපයන බවයි.

    ඔවුන්ගේ මූලික සේවාදායකයින් වන්නේ සම්ප්‍රදායිකව සංක්‍රමණික සේවකයින්, ට්‍රක් රථ රියදුරන් සහ ඔවුන්ගේ පවුල් වලින් ඈත්ව සිටින අනෙකුත් පිරිමින් ය. මෙම කණ්ඩායම ද අගුලු දැමීමේ භයානක ආර්ථික බලපෑම සමඟ පොරබදමින් සිටින හෙයින්, ලිංගික ශ්‍රමිකයන් (දෛනික වැටුප් උපයන්නන්) ව්‍යාපාර නොමැතිව මාස ගණනක් බලා සිටිති.

    ඉන්දියාවේ මුම්බායි හි මූල්‍ය කේන්ද්‍රස්ථානයට උතුරින් පිහිටා ඇත්තේ ගාර්ස්ටින් බැස්ටියන් Garstin Bastion Road, පාරයි. එය ජනප්‍රිය ජීබී පාර ලෙස හැඳින්වේ. ගණිකා නිවාස 78 ක් මෙහි ඇති අතර කාන්තාවන් 2,225 ක් නවාතැන් ගෙන සිටින බව ලිංගික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ කටයුතු කරන කැට්-කත නම් රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

    රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පවසන්නේ කාන්තාවන් 1200 ක් පමණ තවමත් ගණිකා නිවාසවල සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම නිවෙස් බලා පිටත්ව ගියේ ව්‍යාපාර කටයුතු වසා දැමීමෙන් පසුව බවයි. නිවාස නොමැති පුද්ගලයින් නවාතැන් ගෙන සිටින නමුත් ලිංගික ශ්‍රමිකයින්ගේ පැවැත්ම කිසිවෙකු පිළිගන්නේ නැති බව ඔවුන් පවසයි.

    සාමාන්‍ය සවස් වරුවේ සුනීතා (45) (පෞද්ගලිකත්වය සඳහා නම වෙනස් කර ඇත) ඉතා කාර්යබහුලයි. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. ඇය දැන සවසට නවාතැනෙන් එළියට පවා යන්නේ නැත.

    ඇය අල් ජසීරාට පැවසුවේ “මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. දැන් හවස් වරුවේ අපි රූපවාහිනිය නරඹනවා, ලූඩෝ සෙල්ලම් කරනවා‘

    කොරෝනා වෛරස් වසංගතය වැළැක්වීමේ යතුර වන සමාජීය හෝ භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම සුනීතා වැනි කතුන්ට සුඛෝපභෝගී කටයුත්තක් වන අතර ඇය වෙනත් ගණිකා නිවාසයක් තවත් කාන්තාවන් 15 දෙනෙකු හා දරුවන් 10 දෙනෙකු සමඟ බෙදා ගනී.

    “මගේ ප්‍රමුඛතාවය වන්නේ ආරක්ෂිතව සිටීමයි. අපට ලැබෙන ඕනෑම ආහාරයක් සමඟ අපි ආහාරයට ගන්නවා. මට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙම තත්වයෙන් මිදීමටයි. මගේ දියණියගේ අධ්‍යාපනයට මුදල් සොයා ගෙන ඇයව විවාහ කර ගැනීමට මට අවශ්‍යයි. ඇයට සිහින තිබෙනවා ”ඇය කීවාය.

    බොහෝ විට ලිංගික ශ්‍රමිකයින්ට ඉතිරිකිරීමක් නොමැති නිසා මූල්‍ය තත්වය වඩාත් නරක අතට හැරේ. දැන් කිසිම ආදායමක් නොපැමිණීම නිසා, ඔවුන්ට නිවාස කුලිය ගෙවීමට නොහැකි වේ යැයි බියක් ද තිබේ. එසේ වුවහොත් ඔවුන්ට පාරට බැසීමට සිදුවේ.

    ඔවුන්ගෙන් සමහරක් දෙනා ගණිකා නිවාස හිමිකරුවන්ට දිනපතා කුලිය ගෙවන අතර තවත් සමහරු ගනුදෙනුකරුවෙකු මගින් අදාළ ස්ථානය ලබා ගනී.

    නැගෙනහිර කොල්කටාහි, රටේ වෙනත් තැන්වල මෙන්, අවම වශයෙන් මාස තුනක්වත් ලිංගික ශ්‍රමිකයින් සඳහා වන කුලිය ලිහිල් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

    “මෙම තත්වයන් යටතේ ඔවුන්ට ගෙවීමට හැකියාවක් නැහැ. නමුත් ලිංගික ශ්‍රමිකයින්ගේ පැවැත්ම කිසිවෙකු පිළිගන්නේ නැත” යනුවෙන් නිව් ලයිට් කොල්කටා New Light Kolkata හි නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ උර්මි බාසු Urmi Basu, පැවසුවාය.

    කොල්කටා යනු සොනගාචි සහ කාලිගාට් ඇතුළු රටේ විශාලතම ලිංගික ශ්‍රමික කලාපයකි.

    කාන්තාවන්ට බලපාන ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම සම්බන්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන ජාතික කාන්තා කොමිසම The National Commission for Women ලිංගික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නය පිළිබඳව සොයා බැලීමට තීරණය කර තිබේ.

    “අගුලු දැමීම නිසා ඔවුන්ට සලාක නොලැබෙන බව අපි අසා ඇත්තෙමු. අපි අදාළ නිලධාරීන් සමඟ ප්‍රශ්නය මතු කර උපාය මාර්ගයක් සකස් කරන්නෙමු. මෙයට සංවේදීතාව ද ඇතුළත් වනු ඇත” යනුවෙන් එන්සීඩබ්ලිව් සභාපති රේඛා ෂර්මා NCW chairperson Rekha Sharma අල් ජසීරාට පැවසුවාය.

    සනීපාරක්ෂාව සහ මානසික සෞඛ්‍යය

    නාගරික මධ්‍යස්ථානවල පිහිටි බොහෝ රතු ප්‍රදේශවල (ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් බහුලව ජීවත් වන හෝ ගැවසෙන ප්‍රදේශ ‘රතු කලාප ලෙස පොදුවේ සැලකේ) කාන්තාවන් මීටර් 3×3.7 (අඩි 10×12) කුඩා කාමරවල එකට වාසය කරති. අබලන් වූ ගණිකා නිවාස, සමාජ දුරස්ථභාවය අනුගමනය කළ නොහැකි පටු වීදිවලින් යුක්තය.

    කමතිපුරයේ හැදී වැඩුණු ලිංගික ශ්‍රමිකයෙකුගේ දියණිය වන 23 හැවිරිදි සන්ධ්‍යා නයාර් පැවසුවේ “එක් පොදු නාන කාමරයක් 50 ක් භාවිතා කරන බව ඔබට සිතාගත හැකිද? ඒත් බොහෝ විට ජලය නැහැ. ඔබ අවකාශය තබාගෙන අවශ්‍ය සනීපාරක්ෂාව පවත්වා ගන්නේ කෙසේද?” නවදිල්ලියේ අධ්‍යාපනය ලබන නමුත් දැනට මුම්බායි හි නවාතැන්පලක පදිංචිව සිටින නයාර් පැවසුවාය.

    සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයින්

    සමාජයේ ඊටත් වඩා ආන්තික වූ කොටසක් වන සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් ගැන කිසිවෙකු කරදර වන්නේ දැයි ඇය කල්පනා කළාය. “ලිංගික ශ්‍රමිකයන් මූලික අවශ්‍යතා සපුරාලිය යුතු මනුෂ්‍යයන් ලෙස දකින්නේ කවදාද?” නයාර් ඇසුවාය.

    කොරෝනා වෛරස් බිය නිසා සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වඩ වඩාත් දුෂ්කර වී ඇත. බොහෝ ලිංගික ශ්‍රමිකයින්ට රෝග තිබේ. එච්.අයි.වී ආසාදිත හා ක්ෂය රෝගයෙන් පෙළෙන අය විශේෂයෙන් ඉහළ ය.

    “පසුගිය සතියේ, කමතිපුරයේ එක් කාන්තාවක් රුධිර ගැලීමකට ලක් වුණා. කිසිදු රෝහලක් ඇය බැලීමට කැමති වුණේ නැහැ. අවසානයේදී ප්‍රාදේශීය වෛද්‍යවරියක් ඇයට ඖෂධ ලබා දුන්නා. නමුත් ඇයට තවත් පරීක්ෂණ සිදු කළ යුතුයි” යනුවෙන් නයාර් පැවසුවාය.

    කොල්කටා හි එන්ජීඕ සංවිධානය කොල්කටා හි පවුල් 500 කට සලාක හා ආහාර බෙදා දෙයි.  [අනුග්‍රහය නිව් ලයිට් කොල්කටා]
    නිව් ලයිට් කොල්කටා රාජ්‍ය නොවන සංවිධානය කොල්කටා හි පවුල් 500 කට සලාක හා ආහාර බෙදා දෙයි [නිව් ලයිට් කොල්කටා අනුග්‍රහයෙන්] 

    අල් ජසීරා මුම්බායි හි ක්ෂය රෝග නිලධාරී වෛද්‍ය දක්ෂා ෂා Dr Daksha Shah,සහ මුම්බායි දිස්ත්‍රික් ඒඩ්ස් මර්දන සංගමයේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීකාල ආචාර්යා Dr Shrikala Acharya සමඟ කතා කළේය.

    දෙදෙනාම කියා සිටියේ වෙනස් කොට සැලකීම නොඉවසන බවයි. “රෝගියෙක් කියන්නේ රෝගියෙක්. බෙහෙත්ශාලා සහ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සෑම කෙනෙකුටම විවෘතයි” ෂා පැවසීය.

    ආචාර්යා පැවසුවේ MDACS විසින් ප්‍රති-වයිරස ප්‍රතිකාර අවශ්‍ය සියලු දෙනාටම ලබා ගත නොහැකි නම් ඒවා ලබා ගැනීමට වගබලා ගන්නා බවයි. 

    “එච්.අයි.වී ආසාදිත රෝගීන්ට ඖෂධ ලබා ගැනීම පහසු කිරීම සඳහා අපි උපකාරක සේවාවක් ද දියත් කර තිබෙනවා” යැයි ආචාර්යා පැවසීය.

    මෙම ගණිකා නිවාසවල සීමිත අවකාශයන් තුළ විශාල ආතතියක් හා සටනක් පවතින බව ‘කට්-කත‘ නිර්මාතෘ ගීතාංජලී බබ්බාර් පැවසුවාය.

    “ඊට ඉහළින්, ආහාර හිඟකම හා රැකියා විරහිතභාවය පිළිබඳ හැඟීමක් පවතී. ඉදිරි සතිවලදී අපට ඔවුන්ගේ මානසික ගැටලු විසඳීමට සිදුවනු ඇත.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    කුසල් පෙරේරා 

    මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට පෙන්වන්නකි.

    චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් තිබුණු හෙයිනි. එබැවින් දිස්ත්‍රික් මට්ටමින් ඇඳිරි නීතිය පනවා සමාජ ආර්ථික ජීවිතය සීමා කෙරුනු පාලනයක් පවත්වා ගැනීමට පමණක් ආණ්ඩුව පියවර ගත්තේය.

    දැන් ක්‍රියාත්මක යැයි නිවේදනය කෙරෙන්නේ කෝවිඞ්-19 වසංගත පාලනයෙන් “ඉවත්වීමේ මූලෝපායක්” නොවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ආණ්ඩුවේ “ඉවත්වීමේ මූලෝපායක්” ගැන කතා කළද, එවැනි යෙදුම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදන සතුව නැත. නිවේදනය කරනු ලැබූයේ ඇඳිරි නීතිය කලමනාකරණය කිරීමේ පිළිවෙතකි.    

    ඕනෑම සමාජයක ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ අණපනත් වලංගු වන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටින තාක් කල් පමණි. ජනතාව අනුමත කරන්නේත් පෙනී සිටින්නේත්, අවනත වන්නේත් කවර නියෝග හා විධානයන්ටද, එය හැර වෙනත් නීතියක් රටක වලංගු වන්නේ නැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂක පනත ආදිය උපුටා දක්වමින් ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූල හා වලංගු බව ගැන තර්ක කළද, සමස්ථ සමාජය ඇඳිරි නීතියට අනුගතවන හෙයින් තර්ක කරනවුන්ට පවා ඇඳිරි නීතියට අවනත වන්නට සිදුව ඇත. එවිට එහි නිත්‍යානුකූල බව හා වලංගු බව ඔවුන් විසින්ම සකසා හමාර කරනු ලැබේ. අද ඇඳිරි නීතිය පැනවීම හා ඉවත් කිරීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදන ගැන විමසීමකින් තොරව ජනතාව විසින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදන මගින් කෙරෙන නියෝග හා විධාන පිළිපදිනු ලබන්නේ ඒ අනුවය.  

    පාර්ලිමේන්තුවක් නැතිව, හදිසි නීති නැතිව, හමුදාව පාරට ගෙනැවිත් ඇඳිරි නීති ජනාධිපති මාධ්‍ය ඒකකය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩ බලන තාවකාලික ආණ්ඩුවේ මැදිහත්වීම් සමාජය හමුවේ සුජාත මැදිහත්වීම්ය. එබැවින් ඇමති නියෝගය මත ආඥා පනත් සංශෝධනය කර, මෘත ශරීර ආදාහනය කිරීමට බලය අතට ගත් ආණ්ඩුවකට අභියෝග කරන්නට තරම් මේ සමාජයේ විපක්ෂයක් නොසිටි බව අමතක නොකළ යුත්තකි. මැතිවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න තීන්දු වනු ඇත්තේද එළෙසින්ම යැයි මම විශ්වාස කරමි. අවසන් වශයෙන් මැතිවරණය තීන්දු වනු ඇත්තේ කොරෝනා වයිරසයේ පැතිරීම අනුව හා ඒ මත ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරන මැන බැලීම් අනුවය. 

    එහෙත් ඒවාට එකඟවන නොවන හැමට ඉතිරිවන ප්‍රශ්නය වනුයේ බලයක් සහිත සුපරීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයක් ප්‍රාදේශීය මට්ටම දක්වා ස්ථාපිත නොවුනු පසුබිමක මෙලෙසින් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සමාජ අවකාශයන් ලබාදීමෙන් දෙවන කොරෝනා රැල්ලකට පාර කැපීමේ බරපතල අවදානමය. එය වඩාත් භයානක විය හැක්කේ මැතිවරණ කටයුතුද ඊට එකතු වුවහොතින්ය. 

    වයිරසයකොරෝනා වයිරසය තුරන් කළ හැක්කේ ඊට එරෙහි එන්නතක් මගින් පමණක් යැයි දැන් වෛද්‍ය හා විද්‍යා ලෝකයේ ඇති පිළිගැනුම ය. ලොව සියල්ලන්ට ලබා ගත හැකි ලෙස එවැනි සක්‍රීය එන්නතක් වාණිජමය මට්ටමින් නිෂ්පාදනය කරන්නට තව සැළකිය යුතු කාලයක් ගතවන බවද ඔවුන්ගේ නිගමනය වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එතෙක් ප්‍රජා ව්‍යාප්තියකින් තොර, අවම මට්ටමකින් කොරෝනාව පාලනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය කිරීම ය.   එබැවින් දැන් කතා කළ යුත්තේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සමග ඇතිවිය හැකි තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නය.

    කොරෝනා වයිරසය පැතිරීම පුද්ගල මට්ටමින් නතරකර තබා ගන්නේ කෙසේදැයි කතා කිරීමය. ඇත්තම කතාව නම්, ඇඳිරි නීතිය යටතේ මෙන් නොව, ඇඳිරි නීතිය ඉවත් කළ පසු සැළකිය යුතු සමාජ හා ආර්ථික ක්‍රියාකාරිත්වයක් තුල කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණකි. ඒ සඳහා ඉල්ලා සිටින සමාජ සංයමයක් අපට නැත.   

    ඉවත්වීම ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ගැන පැහැදිලි නිශ්චිත සැළසුමක් ආණ්ඩුවද ඉදිරිපත්කර නැත. නිවේදනයට අනුව ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන දින වනවිට සියලු දිස්ත්‍රික්කවල ලිහිල් කරනු ලැබේ. එහෙත් කොරෝනාව පැතිර ඇති රටාව අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයට අනුව, දිස්ත්‍රික්ක 25 න් 18 ක මුළු දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේය. අනෙක් දිස්ත්‍රික්ක 07 න් 03 ක එක් පොලිස් බල ප්‍රදේශය බැගින් ඇඳිරි නීතියට යටත්කර ඇත. ඉතිරි දිස්ත්‍රික්ක 04 හි පොලිස් බල ප්‍රදේශ 21 ක ඇඳිරි නීතිය පැවැත්වෙන්නේය. ඉන් පොලිස් බල ප්‍රදේශ 11 ක් කොළඹ දිස්ත්‍රික්කයේ ය. කෙටියෙන් කිවහොත් රට පුරා පොලිස් බල ප්‍රදේශ 432 කින් 24 ක නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය අඛණ්ඩව පැවැත්වෙනු ඇත.  

    මෙය කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේදී තරමක බරපතල තත්ත්වයකි. මෙතැනින් එහාට බොහෝ දේ සිදුවනු ඇත්තේ සමාජයේ පුද්ගල වගකීම් හා හැසිරීම් අනුවය. එතෙක් පවත්වා ගත් දැඩි පාලනයෙන් ඉවත්වීමේ මූලෝපායන් සමග සාමාන්‍ය තත්ත්වයට යළි පිවිසීමේ පියවර ගත් රටවල පවා දෙවන රැල්ලක් මතුව ඇත. සිංගප්පූරුව, තායිවානය, හොංකොං ඉතා මැනවින් කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කරගත් රටවල් ලෙස සඳහන් වුනි.

    චීනය, දකුණු කොරියාව සහ ජපානය පළමු රැල්ලෙන් පසු සාර්ථකව කොරෝනා වයිරසය පාලනය කර ගත්තේ යැයි වාර්තා විය. ඒ හැම රටක්ම දැන් දෙවන රැල්ලකට හසුව ඇත. නැවත නිරෝධායන පිළිවෙත් හා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි පියවර ගැනීමට ඔවුහු තීන්දු කරති. 

    එබැවින් අපද ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ මේ තීන්දුව සමග මැතිවරණ ක්‍රියාකාරිත්වයක්ද අමුණා ගතහොත් දෙවන කොරෝනා රැල්ලකට ගොදුරු විය හැක. එසේ නොවනු ඇතැයි කිසිවකුට සහතික දිය හැක්කේද නොවේ. එබැවින් අනෙක් රටවල අත් දැකීම් සමග ඇඳිරි නීතිය සමග පනවා ඇති ඉතාම සීමිත පාලනය වඩා විධිමත්, කාර්යක්ෂම සහ තියුණු ක්‍රියාකාරිත්වයක් සහිත සුපරීක්ෂණ හා නියාමන ප්‍රාදේශීය පාලනයකට මාරුකර ගැනීමේ අත්‍යාවශ්‍ය ඉල්ලුමක් ඇත.   

    ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ “කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමෙන් ඉවත්වීමේ මූලෝපාය” ලෙස ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ජනාධිපතිට හා සෙසු ප්‍රධානීන්ට ලබා දී තිබුණි. ඒ යෝජනාවල වැදගත් අදහස් අඩංගුව තිබිණ. වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෙරුණු යෝජනා මාලාව එතරම්ම ප්‍රයෝජනයක් නොවනවාට අමතරව, ඔවුන්ගේ සුපුරුදු මුස්ලිම් විරෝධයත් ඊට මුහුකර තිබීමෙන් එය ඉවත දැමිය යුතුව ඇත.
    වගකීම ජනාධිපති සහ ආණ්ඩුව විසින් මේ යෝජනා දෙකම ඉවත දැමූ බවක් දැකිය හැකිය.

    එහෙත් ඒවා යෝජනා කෙරුණු පසුබිම සමග ආණ්ඩු පාලනයට හා සමාජයට පැවරෙන ප්‍රධානම හා ඉවත දැමිය නොහැකි වගකීම වනුයේ කොරෝනා දෙවන රැල්ලකට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කිරීමේ වගකීමය. ඒ සඳහාවන මූලික පියවර ගණනාවක් මෙසේ මෙහි සඳහන් කරමි. ඒවා මා දිගින් දිගටම යෝජනා කළ සහ පසුගිය මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ යෝජනා යළි අලුත් කර මෙහි සටහන් කිරීමකි. 

    සුපරීක්ෂණ හා නියාමන පියවර රටපුරා ක්‍රියාත්මක කිරීමේදී, 

    1. ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන පොලිස් බල ප්‍රදේශ 24 අදාල දිස්ත්‍රික්කයන්හි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්කර වසා තැබීම එළෙසින්ම පවත්වා ගැනීම

    2. දිස්ත්‍රික් අතර ගමනා ගමනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවම මට්ටමින් පවත්වා ගැනීම

    3. සියලු පාසල් හා විශ්ව විද්‍යාල මැයි මස අවසානය දක්වා විවෘත නොකිරීම සහ නැවත විවෘත කිරීම මැයි මස දෙවන සතියෙන් පසු සළකා බැලීම 

    4. සිනමා ශාලා, මහජන පුස්තකාල. නෘත්‍යාගාර හා සම්මන්ත්‍රණ ශාලා මැයි අවසානය තෙක් වසා තැබීම

    5. ආගමික කටයුතු පෞද්ගලික වතාවන් ලෙස පමණක් තබා ගැනීම

    6. සියලු උත්සව සහ රැස්වීම්. මංගල සහ අවමංගල්‍ය කටයුතුද ඇතුලුව උපරිම 10 කුට සීමා කිරීම

    7. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් තහනම් කිරීම 

    8. රාජ්‍ය හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා දිස්ත්‍රික්ක වලට සීමා කෙරුණු සේවා ලෙස පමණක් පවත්වා ගැනීම 

    9. රජයේ හා පෞද්ගලික සේවා ආයතන පවත්වා ගැනීම. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අංක 62 දරණ 2020 අප්‍රේල් 18 වන දින ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව පවත්වා ගැනීම 

    10. පෞද්ගලික අංශයේ නිෂ්පාදන කම්හල් යළි ආරම්භ කිරීම. වෘත්තීය සමිති. හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය අතර සාකච්ඡාකර එළැඹෙන එකඟතා මත පමණක් ආරම්භ කිරීම  

    ඉහත පියවර කොරෝනාව පැතිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිත්වය සීමා කර ගැනීමේ හා පාලනය කර ගැනීමේ පියවර වන අතර. කොරෝනාව පැතිරීම ප්‍රාදේශීය මට්ටමින් නියාමනය කිරීම හා ජනතාව නිරන්තරව දැනුවත් කිරීමේ කාර්යන් සඳහා ජාතික මට්ටමින් ජාලගත කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේය.

    එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවිය යුතු යැයි මම කලෙක සිට අවධාරණය කෙරුවකි. එවැනි කාර්යාල රට පුරා 350 ට වැඩිය ඇත. ඒවායේ සේව කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2.700 ක් පමණද. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 4.300 ක් පමණද ඇත. ඔවුන් සැවොම ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳව පුහුණුවක් ලැබූ නිලධාරීන්ය.   

    ඒ අනුව

    .01. කොරෝනා වයිරසය පාලනය කිරීමේ හා නියාමනය කිරීමේ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යැයි නිල වශයෙන් නම් කළ යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට විශේෂ අංකයක් සහිත දුරකතන පහසුකමක් වහා ලබාදිය යුතු අතර ඒ වෙනුවෙන් විශේෂ තොරතුරු නිලධාරියකු හෝ නිලධාරිනියක යෙදවිය යුතුය. 

    02. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුලු ඒවායේ සේවය කරන සියලු දෙනට කොරෝනා වයිරසය සම්බන්ධවත් එය පාලනය කර ගැනීම සම්බන්ධවත් විධිමත් හා කඩිනම් දින 02 ක දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත් විය යුතුය. ඒ සඳහා විවෘත නොකර ඇති වෛද්‍ය පීඨ ඇදුරන් යොදා ගත හැකිය.

    03. ග්‍රාම සේවා නිලධාරීන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා සම්බන්ධ කාර්යන්ට නිල වශයෙන් අන්‍යුක්ත කළ යුතු අතර, ඔවුන්ද ඉහත පුහුණු වැඩ සටහනට ඇතුලු කළ යුතුය.

    04. සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කොරෝනා වයිරස තොරතුරු හා දත්ත ඒකකයක් පිහිටුවිය යුතුය.

    05. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානීන් සියලු දෙන වෛද්‍යවරුන් වන හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ආසාදනයවීම් පරීක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතු අතර, සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් නොඅඩුව, නොපමාව ලබාදිය යුතුය. 

    06. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආසාදිතයින් ස්වයං නිරෝධායනට යටත් කිරීමෙන් පසු ඔවුන්ව හා ඔවුන්ගේ නිවසේ සෙසු සාමාජිකයින් දෛනිකව නිරීක්ෂණය කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පැවරෙන වගකීමක් වන්නේය. ඒ පිළිබඳ දෛනික කෙටි වාර්තාවක් ඔවුන් තොරතුරු හා දත්ත ඒකකයට ලබා දිය යුතුය. 

    07. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත ඒකක සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු හා දත්ත ඒකකය හා ජාලගත කළ යුතුය. ඒ අනුව ඔවුන් දෛනිකව ජාතික මට්ටමින් තත්ත්ව වාර්තාවක් නිකුත් කළ යුතුය

    08. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශයෙන් බැහැර කටයුත්තක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය විටෙක, ඒ සඳහා එම දිස්ත්‍රික්කයට සීමා කෙරුණු සහ අවශ්‍ය කාරණාවට අදාලව එක් දිනකට වලංගු විශේෂ අවසර පතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිවසේ එක් අයෙකුට පමණක් ලබා දිය යුතුය.    

    09. දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද, දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරිවරයාද, රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ පොලිස් අධිකාරිවරයා, සෑම සතියකම නිශ්චිත එක් දිනක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කොරෝනා වයිරස නියාමන කමිටුව ලෙස රැස්විය යුතුය.

    ඔවුන්ගේ වගකීම වනුයේ, 

    අ.  දිස්ත්‍රික්කයේ පොදු සේවා සහ පහසුකම් පවත්වා ගැනීම සහ ඒවායේ සෞඛ්‍ය ප්‍රමිතීන් රැක ගැනීම

    ආ. ආර්ථික ක්‍රියාවලියෙහි තත්ත්වය මැන බැලීම හා වර්ධනය සඳහා ගත යුතු පියවර තීන්දු කිරීම

    ඇ. දිස්ත්‍රික්කයේ පූර්ණ ලෙස ආවරණය කෙරුණු පොලිස් බල ප්‍රදේශ ඇතොත් ඒවායේ සති පතා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම හා එම බල ප්‍රදේශ සම්බන්ධයෙන් ගත යුතු ඊළග පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම

    ඇ. දිස්ත්‍රික් මායිම් නිසියාකාරව පාලනය කිරීම  10. මැතිවරණය පැවැත්වීමට අවශ්‍යම නම්, ආසන්න දින දෙකක් නියම කර ග්‍රාම සේවා නිලධාරි මගින් තැපැල් ඡන්ද පැවැත්විය හැකිය.

    ග්‍රා.සේ.නි කාර්යාලයට ඇතුළු වන්නට පෙර අවශ්‍ය සමාජ දුරස්ථභාවය රකිමින් ඡන්ද නියාමනය සඳහා පක්ෂ මැතිවරණ නියෝජිතයින්ට ඉඩ දිය හැකිය.   

    මෙය තව වර්ධනය කළ හැකි යැයි සිතමි. ඒ වෙනුවෙන් මෙය සමාජ මාධ්‍ය ජාලියන්හි පළ කිරීමට අදහස් කරනු ලැබූයේ මේ විරාමය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කලමනාකරණය කර නොගතහොත් අප දෙවැනි රැල්ලකට ගොදුරු විය හැකි හෙයින් සහ එවැන්නක් පළමු ව්‍යාප්තියට වඩා බරපතල් විය හැකි හෙයිනි.

    කුසල් පෙරේරා     

  • Curfew Update: ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

    Curfew Update: ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

    කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ.

    සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී.

    ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම  ක්‍රියාත්මක කෙරේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.

    මෙය 2020-04-20 දින පෙ.ව10.55ට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනයකි.

  • කොළඹින් කොවිඩ්-19 ආසාදිතයින් 24ක් හමුවෙයි – මුළු ගණන 295යි

    කොළඹින් කොවිඩ්-19 ආසාදිතයින් 24ක් හමුවෙයි – මුළු ගණන 295යි

    කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් 24 දෙනකු හදුනා ගැනීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (20) දින පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තා වේ සදහන් වේ.

  • රාජ්‍ය ආයතන විවෘත කිරීම  ගැන උපදෙස්

    රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්

    අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.

    අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතුය.

    අප්‍රේල් 22,23 සහ 24 දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවල ප්‍රධානීන් තම නියෝජ්‍ය ප්‍රධානීන් ඇතුළු සෙසු මුල් පෙළේ නිලධාරීන් රැස් කොට ඒ ඒ ආයතනයේ සේවයට කැඳවන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව, සේවයට කැඳවන්නේ කුමන නිලධාරීන් ද සහ ඔවුන්ට පැවරෙන වැඩකොටස ආදිය තීරණය කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ.

    මේ රැස්වීම්වලදී එළඹගන්නා තීරණ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කොට අප්‍රේල් 27 සඳුදා සිට එය ක්‍රියාත්මක කළයුතුය.

    සැලැස්ම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා දැනුවත් කරන ලෙස ද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (19) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනයකි.

  • මෝටර් රථ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය මාස 03කට තහනම්

    මෝටර් රථ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය මාස 03කට තහනම්

    මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින්  රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    ආනයන තහනම් කරමින් ආනයන – අපනයන පාලන පනත යටතේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය පිටු 78කින් සමන්විත බව ද ඇමතිවරයා කීවේය.

    ආනයන පාලන නව නීති අනුව මෝටර් රථ, ශීතකරණ, අධි ශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි එළවළු, පලතුරු, ගම්මිරිස් ආදිය, මෙන්ම අනවශ්‍ය පිරිවැයක් බව සිතෙන සියලූ භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කළ බව කී අමාත්‍යවරයා ආනයනය සීමා කිරීම මගින් රටින් පිටට ගලායන මුදල් ප‍්‍රමාණය අඩු කර හා රට තුළට ගලාඑන මුදල් ප‍්‍රමාණය වැඩිකිරීම මගින් රුපියලේ අගය ශක්තිමත්ව පවත්වා ගැනීම සදහා මෙම පියවර ගත් බව ද සදහන් කළේය.

    මෙම ගැසට් පත‍්‍රය හේතුවෙන් ආනයනකරුවන්ට හෝ කිසියම් පාර්ශවයකට ගැටලූවක් මතුවන්නේ නම් ඒ ගැන අභියාචනයක් මගින් තමාට දැනුම් දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දීමක් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ සමහර භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සදහා පනවා තිබූ බදු ප‍්‍රතිශතයන් ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇති බවකී අමාත්‍යවරයා එසේ වුවත් රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත‍්‍ර සූත‍්‍ර, අමතර කොටස් ආදිය තවදුරටත් ආනයනය කළ හැකි බව ද සදහන් කළේය.

  • Covid-19: ප්‍රතිලාභ හිමි නොවූ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම 20-21 දිනවල

    Covid-19: ප්‍රතිලාභ හිමි නොවූ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම 20-21 දිනවල

    රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ  වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය පියවර ගෙන ඇත.

    මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම අප්‍රේල් 20 / 21 දෙදින තුළ දිවයින පුරා සිදු කිරීමට නියමිතය. ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත.

    නමුත් යම් ප්‍රායෝගික තත්වයන් හේතුවෙන් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයේ පොදු ස්ථාන හෝ කාර්යාල යොදා ගන්නේ නම් ඒ සියලු අවස්ථාවන්හිදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බව රජය අදාළ සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙයි.

    එනම්, එම ස්ථානයන්හි ජනතාව එක්රැස් නොවීමට සහ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමට කටයුතු කළයුතුය. ඒ අනුව පොදු ස්ථානයන්ට ජනතාව කැඳවන්නේ නම් කුඩා කණ්ඩායම් සඳහා වෙන් වෙන් වූ නිශ්චිත වේලාවන් ලබාදී කැඳවීම වැනි යම් සංවිධානාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස රජය අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, එම ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කරන ලෙස අදාළ ප්‍රතිලාභ අපේක්ෂිත මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

    එසේම,කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී සහන ලැබිය යුතු සියලුම කණ්ඩායම් වලට අදාළ ප්‍රතිලාභ හිමිකරදීම රජයේ අරමුණයි. ඒ අනුව, දැනට ප්‍රතිලාභ වලට හිමිකම් ලැබිය යුතුයැයි හඳුනාගෙන ඇති කණ්ඩායම් වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් 20 හා 21 දෙදින තුළ හඳුනාගන්නා ජීවනෝපාය අහිමි වී සිටින අනෙකුත් කණ්ඩායම් සඳහාද  අප්‍රේල් මස 22 දින වනවිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය.

    එසේම අප්‍රේල් 20 හා 21  යන දෙදින තුළ සහනාධාර ලබාදීමෙන් පසු, තවදුරටත් සහනාධාර ලැබිය යුතුයැයි අභියාචනා ඉදිරිපත් කර ඇති අයවලුන්ටද සුදුසුකම් සපුරන්නේ නම් අප්‍රේල් 22 දින එම දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත.

    එහෙයින් අනවශ්‍ය කලබල වීමකින් තොරව සහ පීඩනයකට පත්වීමකින් තොරව, සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදාළ නිලධාරීන් සමග සහයෝගයෙන් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරනලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • SPC නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරයි

    SPC නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරයි

    COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.

    මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන පැරසිටමෝල් 500mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වැඩිකොට රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරිම සදහා සෘජු දායකත්වයක් ලබාදෙන ලද අතර, ඊට සමගාමීව අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් පාලනය කෙරෙන ඖෂධ නිෂ්පාදනය වැඩි කිරිම තුලින් පවතින වසංගත තත්ත්වය හමුවේ ඇතිවන අනෙකුත් සංකූලතා මැඩපැවැත්වීම සදහා ද අඛණ්ඩ සැපයුමක් ලබාදෙනු ලැබීය.

    රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ඊයේ (18) පස්වරුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැමිණියේ COVID-19 වෛරසය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිදු කළ සේවයට ස්තුතිය පළ කිරිම සඳහායි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නිරීක්ෂණයට ලක් කරන ලද අතර මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    රට තුල දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 20 ක් පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, මෙය සියයට 60-75 දක්වා ඉහළ නැංවිම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බලාපොරොත්තුවයි. ඖෂධ ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රට තුල ඉතිරි කර ගනිමින් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාදීමට හැකිවීමත්, රැකියා අවස්ථා වැඩිවීමත්, රට තුල ඖෂධ නිෂ්පාදනයේ පවතින තාක්ෂණික දැනුම ද ඉහළ යාම මගින් රටේ සංවර්ධනයට එය ඉමහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් පෙන්වා දෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තත්ත්වයෙන් උසස් ඖෂධ සදහා වන වට්ටෝරු සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් බව ද පෙන්වා දෙයි.

  • අද පස්වරුව වන විට කොළඹින් නව Covid-19 ආසාදිතයින් 15ක්

    අද පස්වරුව වන විට කොළඹින් නව Covid-19 ආසාදිතයින් 15ක්

    අද (19) දිනය තුළ (ප.ව. 17.04) වන විට කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ තහවුරු කර ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ යන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 171 දෙනෙකි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 91කි.

    මේ අතර අද (19) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ අද දින හදුනා ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනාම කොවිඩ්-19 ආසාදිතයි ළගින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් කරමින් සිටි පිරිසක් බවයි.

  • අපනයනකරුවන් වෙත ‘අපනයන සංවර්ධන මණ්ඩලයෙන්’ විශේෂ ඉල්ලීමක්

    අපනයනකරුවන් වෙත ‘අපනයන සංවර්ධන මණ්ඩලයෙන්’ විශේෂ ඉල්ලීමක්

    අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත.

    පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී යන මේ අවස්ථාවේ, ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය සාර්ථක ලෙස ජයගැනීමට නම්, ශ්‍රී ලංකාවට රටේ අපනයන අංශයේ ප්‍රගමනය ඉතා වැදගත් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අපි ඉතා හොඳින් වටහාගෙන ඇත්තෙමු.

    අසාමාන්‍ය තත්වයන් පවතින මෙම කාලවකවානුවේදී, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය සහ රටේ සමස්ත ආර්ථිකය යන ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් සිදු වී ඇත. එබැවින් මෙම කාලය තුළ, අපනයන අංශයේ ඇති වැදගත්කම සලකා එය දිරිමත් කිරීම සදහා සහයෝගය ලබා දෙන ලෙස අපි වෙනත් රාජ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටිමු. සියලුම අපනයනකරුවන් සඳහා, උපරිම   සහයෝගය දීමට නොපමාව පියවර ගත යුතුව ඇත. අප දරනු ලබන මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපනයන අංශය මගින් රට තුලට ගෙන එන විදේශ විනිමය, ජාතියක් වශයෙන් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සහ අප ඉදිරියේ ඇති අභියෝගයන් ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය වී ඇත.

    ඉහත කාරණා  ප්‍රමුඛතාවයේ සලකා ඊට ප්‍රතිචාර දක්වමින් රජය විසින් අපනයන ක්ෂේත්‍රයේ පැවති සීමා ලිහිල් කර මේ සඳහා මහඟු සහයක් ලබාදී ඇත. ඒ අනුව සියලුම කර්මාන්තශාලා නැවත සක්‍රීය කර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවට අප සියලුම අපනයන කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

    අපනයන සංවර්ධන මණ්ඩලය මේ සම්බන්ධව  මූලිකත්වය ගෙන කටයුතු කරන අතර සියලුම අපනයනකරුවන්ට ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අප සූදානමින් සිටිමු. ඒ අනුව, අපනයනකරුවන් වන ඔබ වෙත අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් හෝ සහායක් අවශ්‍ය වේ නම්, අපගේ උපකාරක කවුළුව හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත. සෑම අපනයනකරුවකුගේම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ වන බැවින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වුවද ඒ සඳහා ඔබට අවශ්‍ය සහය ලබාදීමට අපි සූදානම්ව සිටිමු.

    සියලුම අපනයන සමාගම් වෙතින් අප කරන කාරුණික ඉල්ලීම නම්, පුරවැසියෙකු ලෙස ඔබට පැවරී ඇති සමාජ හා ජාතික වගකීම හදුනාගනිමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකික ජාතියට ඔබෙන් ඉටු විය යුතු කොටස මනාව ඉටු කරන ලෙසයි. අප රටේ අපනයන අංශය සක්‍රීය කිරීම සඳහා ඔබ සෑම කෙනෙකුම වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර හැකි උපරිම විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලට ගෙන ඒම මේ වකවානුවේ අතිශයින්ම වැදගත්වේ.

    නමුත් යම් යම් ව්‍යාපාර සඳහා මෙම ක්‍රියාවලිය අනෙක් ව්‍යාපාර ක්ෂේත්‍ර වලට වඩා අභියෝගාත්මක වනු ඇත. ඒ අනුව ඔබ ව්‍යාපාරයේ ගැටළු හඳුනා ගනිමින්, මෙම අර්බුදයෙන් ගොඩඒමට වඩාත් උචිත දිගු කාලීන සැලසුම් හා ක්‍රමවේද අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඒහිදී නව අවස්ථා සහ නව වෙළඳපල හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.

    ඔබේ ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම හා වේගවත් කිරීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු. මීට අමතරව, නව නිෂ්පාදන සඳහා ඇති හැකියාව සොයාබැලීමද අත්‍යවශ්‍ය කරුණකි. මෙම කාලය තුළ නිෂ්පාදන විවිධාංගීකරණය අතිශයින්ම වැදගත් වන අතර නව නිෂ්පාදන, නව වෙළඳපල සහ නව අවස්ථා සොයා ගැනීමේදී ඔබට සහාය දීමට අපනයන සංවර්ධන මණ්ඩලයද කැමැත්තෙන් සිටී. තවද මේ අවස්ථාවේ, මෙම අර්බුදයෙන් බරපතල ලෙස බලපෑමක් එල්ල නොවන ව්‍යාපාර, සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියට ගොස් ඔබේ අපනයන ඇණවුම් සාර්ථකව සම්පුර්ණ කිරීම වඩා ඵලදායි වනු ඇත.

    අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත. තවද අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ක්‍රියාදාමයේ නායකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් අතර අපගේ සහෝදර ආයතනයක් වන ආයෝජන මණ්ඩලය සමඟ එක්ව සියලුම අපනයනකරුවන් වෙත අවැසි උපරිම සහාය ලබාදීමට කටයුතු කරන්නෙමු. සියළු සමාගම් නැවත ව්‍යාපාර ආරම්භ කරනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි. අපි එක්ව නැගිටිමු.

    වැඩිදුර තොරතුරු සදහා,

    අපනයන උපකාරක කවුළුව

    ඉන්ද්‍රකීර්ති එස් ආර් පී  මහතා අධ්‍යක්ෂ, වෙළඳ පහසුකම් – 071 440 6119

    නිර්මලා ගජනායක මෙනෙවිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 071 822 0953

    ප්‍රියදර්ශනී හේවාවසම් මිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 077 249 4807

    විද්‍යුත් තැපෑල: helpdesk@edb.gov.lk