Tag: featured

  • ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කොරෝන මර්දන යෝජනා – 2

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කොරෝන මර්දන යෝජනා – 2

    ‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී  ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රට තුල ඇති වී ඇති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වලටද අනුගතව, ‘මුළු ආණ්ඩුව’ සහ ‘මුළු  ප්‍රජාවම’ යන ප්‍රවේශයන් භාවිතයෙන් දැනට ගෙන යනු ලබන විද්‍යාව සහ නීතිය පදනම් කරගත් ක්‍රියාමාර්ග  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අනුමත කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතියේ සියලු තානාන්තර හරහා රාජකාරි ඉටු කරන, එනම් මුලික මට්ටමේ මහජනතාව සමඟ ගැවසෙමින් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සිට ඉහලම මට්ටමේ තාක්ෂණික දැනුම සහිත ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පරිපාලකයින් ඇතුළු මුළු මහත් සියල්ලන්ම විවිධ විෂයාංශ හරහා විවිධ මට්ටමින් සපයනු ලබන සක්‍රිය සහ අද්විතීය සේවාවන් දැනට රට තුල ඇති වී ඇති මෙම වසංගත තත්ත්වය මේ අන්දමින් පාලනය කිරීම සඳහා ඉමහත් ලෙස ඉවහල් වී ඇති බව අප සංගමය පෙන්වා දීමට අදහස් කරන්නෙමු. එමෙන්ම අතරින් පතර ස්වල්ප වශයෙන් වාර්තා වූ වගකීම් විරහිත හැසිරීම් කිහිපයක් හැරුණු කොට, කොවිඩ්-19  වසංගතය මැඩපැවැත්වීමට දියත් කරන ලද සමාජ දුරස්ථකරණය ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා මහජනතාවගෙන් ලැබුණු සහයෝගය ද  ප්‍රශස්ත මට්ටමක පැවතුනි. මෙම තත්ත්වය තව දුරටත් යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා දැනට ගෙනයනු ලබන  මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මෙම ගම්‍යතාවයෙන්ම පවත්වා ගැනීම අවශ්‍ය වේ.  

    රූපය1:  ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව

    2020 අප්‍රේල් 8 වන දින වනවිට ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 185ක් ලෙසත් මරණ 7 ක් ලෙසත් වාර්තා වුනි (රූපය 1). මේ වනවිට අප රට, පවුල් (family clusters) හෝ ග්‍රාමීය (village clusters) පොකුරු රෝගීන්  වාර්තා වන වසංගතයේ තෙවන අදියරේ සිටී. මීළඟ වසංගත අවධියට එළඹී පසු රට තුල කොවිඩ්-19 වසංගතය පාලනය සහ රෝගීන් ඇතිවීම වලක්වාගැනීම ඉතා අපහසු කාර්යයක් වන බැවින්, ශ්‍රී ලංකාව සිව්වන අවධිය හෙවත් සමාජගත සම්ප්‍රේෂණය (community transmission) වෙත එළඹීම වැලැක්වීම සඳහා ගතහැකි ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් සියලු ප්‍රයත්නයන් දරා ඇත.

    සමහරක් ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාවේ රෝගීන් වාර්තා වීම රූපය 2 හි දක්වා ඇත.

    රූපය2:  තෝරාගත් ආසියාතික රටවල එකතු කල තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව

    වසංගත වක්‍රය පැතලි කිරීම සදහා ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනේ. එහෙත් රටක වසංගතය මැඩලීමේ සාර්ථකත්වය වඩාත් නිවැරදිව නිර්ණය කළ හැකි වන්නේ රටේ ස්වභාවය සහ විශේෂිත වූ තත්ත්වයන් සහ ජනගහණයේ මිලියනයකට සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණ ගණන වැනි නිර්ණායක සමග සැසදීමෙනි. මේ සදහා කොවිඩ් 19 වසංගත තත්වය පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමත් කාලීනව ප්‍රගතිය සමාලෝචනය කිරීමත් අත්‍යවශ්‍යවේ.

    ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය  උන්නතිය පිළිබදව ප්‍රමුඛතම වෳත්තික සංවිධානය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කොවිඩ් 19 වසංගතය පාලනය සදහා පහත සදහන් යෝජනා / ක්‍රමඋපායයන් නිර්දේශ කෙරේ.

     1. ජාතික මට්ටමින්  සහ පළාත් මට්ටමින්  වසංගත ප්‍රතිචාරය  සමායෝජනය කිරීම

    ජාතික මට්ටම සහ බිම් මට්ටම අතර එලදායී සම්බන්ධීකරණය වසංගතය පාලනය කිරීම සදහා මුලික අවශ්‍යතාවයකි. විවිධ විශේෂඥ කණ්ඩායම් සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල මේ සදහා දායකත්වය සපයන බැවින් මෙම ක්‍රියාදාමයේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය හැක. දැනට යෝජනා කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ජාතික සහ පළාත් මට්ටමේ ගැටළු සහගත තත්වයන් අප නිරීක්ෂණය කර ඇත. ඇතැම් විට ඉහළ  මට්ටමේ පාර්ශ්වකරුවන් මෙම ක්‍රියාදාමයට නිසි පරිදි අනුගත වීමක් නොපෙන්වන අතර බිම් මට්ටමේදී ද අදාළ මාර්ගෝපදේශයන් නිලධාරීන් විසින් අනුගමනය නොකරන විවිධ අවස්ථා වාර්තා වී ඇත.

    එබැවින් ජාතික මට්ටමේ සහ බිම් මට්ටමේ කණ්ඩායම් අතරත්, රෝග ප්‍රතිකාර සහ නිවාරණ කාර්ය මණ්ඩල අතරත්, මේ එක් එක් කාණ්ඩයේ අනු කාණ්ඩ අතරත් වඩාත් එලදායි සම්බන්ධීකරණයක් ඇති කිරීම සදහා නැවත පසු විපරමක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.

    2. පරික්ෂා කරනුපරීක්ෂා කරනුපරීක්ෂා කරනු (සැමවිටම පරීක්ෂා කරනු) – යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමෝපාය අනුගමනය කරන්න.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි යම් රටක් විසින්; රෝගය ඇතැයි සැක සහිත පුද්ගලයන් සොයා ගැනීම, පරීක්ෂණ මගින් රෝගය ඇත්දැයි තහවුරු කර ගැනීම, නිසි ලෙස ප්‍රතිකාර කිරීම, අන් අයට රෝගය බෝ නොවන පරිදි වෙන්කර තැබීම, ඔවුන් ඇසුරු කළ අය සොයා නිරෝධායනය කිරීම, රෝගය පාලනය සඳහා නිවැරදි ප්‍රතිචාර දැක්වීමට ප්‍රජාව යොමුකරවීම යන ක්‍රියාවලියන් නිසි පරිදි සිදු කරන්නේ නම්, එම ආසාදිත පුද්ගල රෝගීන් පොකුරු ඇති වීමත්, එම රෝගීන් පොකුරු හරහා ප්‍රජාව තුළ රෝගය සම්ප්‍රේෂණය වීමත් වළකාගත හැකිය.

    කොවිඩ් – 19 වෛරස පරීක්ෂණ කිරීමේ එක් මූලික අරමුණක් වනුයේ රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් රෝගය අන් අයට බෝ කළ හැකි ආසාදිත රෝග වාහකයන් හඳුනාගෙන, ඔවුන් වෙන් කොට තැබීම මගින් නොදැනුවත්වම ඔවුන් හරහා අන් අයට රෝගය බෝ වීම වැළැක්වීමයි. සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවලින් ලබා ගත හැකි සාක්ෂි හා අත්දැකීම් වලට අනුව ඉතා දැඩි එසේත් නැතිනම් “ආක්‍රමණශීලී” ලෙස රෝගය සඳහා පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් වසංගත වක්‍රය පැතලි කරගත හැකි බව එනම් රෝගය පැතිර යෑමේ වේගය අඩාල කර ගත හැකි බව පෙනීයයි. ශ්‍රී ලංකාව ට අදාලව තත්ත්වය සලකා බැලීමේදී ඉහත කී පරිදි රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් මෙන්ම රෝග ලක්ෂණ රහිත වාහකයක් හඳුනා ගතහොත්, ඇඳිරිනීතිය පැනවීම, ගමනාගමනය සීමා කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවීමේ අවශ්‍යතාවය අවම කර ගත හැක.

    වසංගතය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මුල් අවධියේදී  කොවිඩ් 19 පරීක්ෂණයට යොමු විය යුත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳව වඩාත් සීමාකාරී එසේත් නැත්නම් දැඩි නිර්නායකයන් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලැබිණි.  නමුත් වසංගත තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන අවස්ථාවක මෙම මන්දගාමී පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය සහ පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව සීමාසහිත වීම නිසා, වසංගතය පාලනය කිරීමට සිදු කෙරෙන ක්‍රියාවලියට බාධා පැමිණවිය හැකිය. අපට පෙනී යන පරිදි මෙසේ රීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය වඩා තීව්‍ර ලෙස කිරීමට බාධාවන් වී ඇත්තේ විවිධ යටිතල පහසුකම්,  සැපයුම් හා සේවාවන් ගේ ඇති ගැටලුය. FDA ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරීක්ෂණ කට්ටල සපයා ගත හැකිනම්, මෙම රෝගය සඳහා සඳහා සිදුකරන RT PCR පරීක්ෂණය සිදුකළ හැකි GeneXepert නැමැති යන්ත්‍රය සහිත පර්යේෂණාගාර බොහෝ ගණනක් දිවයින පුරා පැවතිය ද දැනට එම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ මධ්‍යස්ථාන හතක පමණි (වෛද්‍ය පර්යේෂණායතනය, මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, ජාතික බෝවන රෝග ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය).

    මේ සම්බන්ධයෙන් අප ගේ යෝජනා වනුයේ:

    1.  තාක්ෂණික විශේෂඥ මණ්ඩලයක් මගින් රෝගය ඇති බවට සැක සහිත පුද්ගලයන් හා ඇසුරු කළ අය වඩාත් වැඩි ගණනක් පරීක්ෂණයට ලක්කල හැකි පරිදි පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් වඩා පුළුල් කළ යුතුය. එලෙසම පරීක්ෂණයට ලක්කළ යුතු පුද්ගලයින්ගේ පැහැදිලි ප්‍රමුඛතා ක්‍රමවේදයක් සහිතව සංශෝධනය කළ යුතුය.
    2.  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අනෙකුත් රෝහල් වල සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා RT PCR පරීක්ෂණය පිළිබඳ අත්දැකීම් ඇති, GeneXepert යන්ත්‍ර සහිත රසායනාගාර  වල සේවයේ නියුතු විද්‍යාඥයන් ගේ සේවය ලබාගැනීම.
    3.  ඉහත කී GeneXepert යන්ත්‍ර යොදාගෙන වෛද්‍ය පර්යේෂණායතනය තුළ වඩා විශාල රසායනාගාරයක් පිහිටුවා එහි සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා ඉහත කී විද්‍යාඥයන් යෙදවීම.
    4.  එකවර පරීක්ෂාකල හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ දැමිය හැකි ක්‍රමවේදයක් වන නියැදි එකට දමා පරික්ෂා කිරීමේ ක්‍රමවේදය (Pooled sampling) PCR පරීක්ෂණය සඳහා යොදා ගැනීම.
    5.  ප්‍රතිදේහජනක (Antigen) හා ප්‍රතිදේහ (Antibody) ක්ෂණික පරීක්ෂාවන් යොදා ගැනීමේ විද්‍යාත්මක භාවය හා ශක්‍යතාවය පිළිබඳ සොයා බැලීම

    යෝජිත සංශෝධන මඟින් පරීක්ෂණ නිර්නායකයන් ලිහිල් කිරීමත් සමග ඉහළ යා හැකි පරීක්ෂණ සංඛ්‍යාව හා සමගාමීව පරීක්ෂාවට ලක්වන කණ්ඩායම් වල ප්‍රමුඛතාවය තීරණය කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය. තවද පරීක්ෂණය මගින් හඳුනා ගැනෙන රෝගීන්ගෙන් රෝහල් පිරී යෑම වැළැක්වීම සඳහා වෙනත් විකල්පයන් සලකා බැලිය යුතුය. මෙසේ හඳුනා ගැනෙන රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් හා සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සඳහා ස්වයං නිරෝධායනය හෝ වෙනම නිරෝධායන මධ්‍යස්ථානයන් ඇති කිරීම සලකා බැලිය හැක.

    3. වසංගතයේ විකාශනය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථන

    මෙම වසංගතය සඳහා දක්වන ප්‍රතිචාරයේදී මූලික අවශ්‍යතාවයක් වනුයේ වසංගතයේ ඉදිරි හැසිරීම පිලිබද හැකිතාක් දුරට නිවැරදි පුරෝකතනයක් එසේත් නැතිනම් අනාවැකි ලබාදිය හැකි, ශ්‍රී ලංකාවට ආවේණික වූ තත්ත්වයන් හා දත්ත මත පදනම් වූ මොඩලයකි. එමගින් ජනතාව තුළ පවතින දැවෙන ප්‍රශ්නයක් වන “මෙම වසංගතය කවදා කෙලෙසක අවසන් වේද?” යන පැනයට පිළිතුරක් ලබාදිය හැක. වසංගතයට මුහුණදීමේ කාර්යයේ ප්‍රධාන කොටස් කරුවකු හැටියට ශ්‍රීලංකාවට ආවේණික වූ දත්ත මත පදනම් වූ මොඩලයක් ආධාරයෙන් වසංගතයේ ඉදිරි හැසිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමේ වගකීම ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වෙත පැවරේ. මේ සම්බන්ධයෙන් අපගේ නිර්දේශය වනුයේ, විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥතාවයක් සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකට මෙම කාර්යය භාර කොට ශ්‍රී ලංකාවේ නිවැරදි දත්ත යොදා ගනිමින් එවැනි මොඩලයක නිරවද්‍යතාවය තහවුරු කලයුතු බවයි. ඉන්පසු එම මොඩලය අදාළ වෘත්තීයවේදී කණ්ඩායම් මගින් තවදුරටත් දියුණු කොට වසංගත ප්‍රතිචාර ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී යොදා ගත යුතු බව අප සංගමය තව දුරටත් යෝජනා කරයි.

    දැනට පවතින වාතාවරණය අනුව මෙම වසංගතය සම්බන්ධ දත්ත, ඒවා අර්ථවත්ව භාවිතා කිරීමට හැකිවන පරිදි පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් නොමැත. වසංගතය අවසාන වූ පසු දත්ත නිකුත් කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගැනීමට නොහැකි වනු ඇත. වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණදෙන යථා තත්ත්වය නිවැරැදිව තේරුම් ගැනීම සඳහා පරිපූර්ණ වසංගතවේදී පරීක්ෂණයක් ආරම්භ කිරීම වැදගත් වේ.

    ජාතික තලයේ එක් රැස් කරන දත්ත, ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයේ බෝවීමේ ප්‍රවණතාව, රෝගය ඉස්මතු විය හැකි විවිධ ආකාර, රෝගයේ සායනික චර්යාව, රෝගය සඳහා කරන පරීක්ෂණවල ප්‍රතිඵල, වැනි මෙතෙක් හරිහැටි හඳුනා නොගැනුණු, රෝගයේ විවිධ පැතිකඩයන් නිර්ණය කර ගැනීමට යොදා ගැනීම තුලින් එම දත්ත වසංගත ප්‍රතිචාර ක්‍රියාවන් සඳහා යොදාගත යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තරයේ විශ්වාස කරයි.

    එලෙස ගණනය කරනු ලබන වසංගතයේ විවිධ අවධීන් සඳහා අදාළ R0 සහ  Rt වැනි නිර්නායකයන් ඇතුළු අනෙකුත් අර්ථ නිරුපනයන් මගින්, කොවිඩ් 19 ට අදාළ  රෝගී භාවය නිර්වචනය සංශෝධනය කිරීම,  පරීක්ෂණ සඳහා නිර්නායකයන් තීරණය කිරීම සහ ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කාර්යයන් සඳහා මග පෙන්විය හැක. දත්ත විශ්ලේෂණය, පුරෝකථනයන් ලබාදීම හා රෝග නිවාරණ ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා රෝගය සම්බන්ධ නිවැරදි හා සම්පූර්ණ පුද්ගල මට්ටමේ දත්ත,  තාක්ෂණික විශේෂඥයන් වෙත ලබාදිය යුතු බව අවධාරණය කරමු. පරිපුර්ණ සම්පත් දායකයින්ගෙන් සමන්විත විද්වත් සංගමයක් ලෙස දත්ත විශ්ලේෂණය, අවශ්‍ය පරිදි සාක්ෂි ගොඩනැගීම වැනි කාරණා සඳහා අපගේ විශේෂඥතාවය නිල වශයෙන් ලබාදීම මගින්,  දේශීය වශයෙන් පැනනැගී ඇති තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට හා ගැටළුකාරී අවස්ථා නිරාකරණය කරගැනීම ආධාර කිරීම හා සාක්ෂි මත පදනම් වූ උපදෙස් ලබාදීම මගින් විශේෂ කාර්යසාධක බලකාය වෙත අපගේ සහාය ලබාදීමට අපට හැකියාව ඇති බව ප්‍රකාශ කරමු.

    4. අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් ප්‍රවේශය 

    මෙමගින් අදහස් කෙරෙන්නේ වසංගතය සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි විවිධ තත්ත්වයන්ට අනුරූපව එයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය තීරණය කිරීමයි. අප සංගමයේ නිරීක්ෂණය වන්නේ ගැටළු එනතුරු සිට ක්ෂණිකව කළමණාකරණ කිරීමේ ක්‍රමවේදයක් මගින් පමණක් දිගුකාලීන වශයෙන් මෙම අර්බුදයට සාර්ථක විසඳුමක් ලබාගත නොහැකි බවයි. ඒ වෙනුවට අප ඉහත සඳහන් කළ ආකාරයේ අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් මොඩලයක් ආධාරයෙන් ලබාගත හැකි පුරෝකථන මත පදනම් වෙමින් ඇතිවිය හැකි, වසංගතයේ විවිධ අවස්ථාවන්ට අනුරූප වන පියවරයන් අනුගමනය කළ යුතුය. අනාගතයේ ඇති වීමට වඩාත් සම්භාවිතාවයක් ඇති තත්ත්වයන් විද්‍යානුකූලව නිර්ණය කොට කල්තබා ඒ සඳහා මුහුණ දෙන ක්‍රමවේදයන් ඇති කළ යුතුය.

    අවස්ථාව 1   -ප්‍රජාව තුළ රෝගය සම්ප්‍රේෂණය වෙමින් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ යෑම හා රෝග වැළැක්වීමේ  ක්‍රමවේදයන් ගේ පාලනයේ සීමා ඉක්ම යෑම (ඇතිවිය හැකි නරකම තත්ත්වය මෙයයි)

    අවස්ථාව 2   -දැන් පවත්නා පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියට බරක් නොවෙමින් අතරින් පතර රෝගීන් වාර්තා වීම.

    අවස්ථාව 3   -සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වල අය රෝගී වීම හා සැපයුම් පහත වැටීම නිසා සෞඛ්‍යය පද්ධතියේ හැකියාව එසේත් නැතිනම් ධාරිතාව පහත වැටීම

    අවස්ථාව 4   -වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වීම

    5.  මුඛ ආවරණ පැළඳීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශකත්වය

    මෙම වෛරසය ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන / හෝ රෝග ලක්ෂණ ඇතිවීමට පෙර  පුද්ගලයින් සමඟ ලඟින් ඇසුරු කිරීම මගින්ද පැතිරිය හැකිබව දැන් සොයාගෙන ඇත. මුඛ ආවරණ පැළඳීම හරහා සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි බව සමහර රටවල් පෙන්වා දී ඇතිමුත්, රෝගය බෝවීම වැළැක්වීමේ ක්‍රමවේදයක් වශයෙන් මුහුණු ආවරණ පැළඳීම සමස්ත ප්‍රජාවටම නිර්දේශ කිරීම පිළිබඳව විවාද පවතී. සමස්ත ජනතාවට ම මුඛ ආවරණ සැපයීමේ ඇති ගැටලු හා මුඛ ආවරණ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවකයන් සඳහා ඒවා හිගවීමට ඇති හැකියාවද මෙම විවාදයන්ට පාදක වී තිබේ. මුඛ ආවරණ පැළඳීම තමුන්ගේ අභිමතය පරිදි සිදුකල යුතු අතර  එය අමතර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස පමණක් අවධාරණය කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අදහසයි.

    තවද ශ්‍රී ලංකාව තුළ ඇති තත්ත්වයන්ට ගැළපෙන පරිදි මුඛ ආවරණ පැළඳීම පිළිබඳව නිර්දේශ සැපයීම, අදාල විශේෂඥ සංගම් හා ආයතන මගින් දැනට ඇති දත්තයන් හා මාර්ගෝපදේශයන්  සාමූහිකව සමාලෝචනය කිරීමෙන් අනතුරුව සිදු කළ යුතුය.

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක නොසිට වඩා නිශ්චිතව පණිවිඩ මහජනයා වෙත ලබාදීම සඳහා,  විශේෂයෙන්ම ශල්‍ය නොවන සාමාන්‍ය මුඛ ආවරණ (ගෙදරදී සාදාගත් රෙදි  මුඛ ආවරණ ඇතුළු)  භාවිතය පිළිබඳව ඇති සාක්ෂි සලකා බලා එවැනි මුඛ ආවරණ සෞඛ්‍යාරක්ෂිත ලෙස භාවිතා කළ හැකි අන්දම මෙම සමාලෝචනයේදී හඳුනාගත යුතුය.

    6. ස්වයං නිරෝධායනය සහ මධ්‍යස්ථානයන්හි  නිරෝධායනය

    ඇතැම් අවස්ථාවල, ස්වයං නිරෝධායනය සිදුකිරීමේදී, ඒසඳහා ඇති උපදෙස් පිලිබඳ ප්‍රජාව අනුගත නොවීම විශාල අභියෝගයක් වන අතර එමගින් ඍණාත්මක ප්‍රථිපල ලබා දෙයි. එවැනි අවස්ථාවලදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන පරීක්ෂකවරයා විසින් වගකීමෙන් කටයුතු නොකරනු ඇතැයි නිගමනය කරනු ලබන්නන්  නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කිරීම සලකා බැලිය යුතුය.

    තවද, වෛරසයට නිරාවරණය වූ පුද්ගලයා ජිවත්වන නිවස ස්වයං නිරෝධායනයට ප්‍රමාණවත් නොවන ඉතා කුඩා වපසරියකින් යුතු නිවසක් නම් අදාල පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සියලුම දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්කළ යුතුය. මේ අවස්ථාවේදී තනි පුද්ගලයෙකු හෝ සුළු පිරිසකගේ පුද්ගලික නිදහස ගැන නොව  සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ සුබසිධිය  ගැන සිතා කටයුතු  කළ යුතුබව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශ්වාසයයි. පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රජා සෞඛ්‍ය  විශේෂඥයන් අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් විය යුතුය. 

    7.කොවිඩ් 19 රෝගීන් සඳහා සත්කාරය

    කොවිඩ් 19 රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේදී ඉහළම මට්ටමේ තීරණ ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂිත කණ්ඩායම් (උදා. මාතෘ සහ නව ජන්ම සහ  වයෝවෘද්ධ පුද්ගල) සඳහා සත්කාරය පිලිබඳව ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදිය යුතු අතර ඒසඳහා අවශ්‍ය උපකරණ සහ  අනෙකුත් ද්‍රව්‍යයන් නොඅඩුව ලබාදිය යුතුය.

    එසේම, රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයන්  සහ වාර්තා වී ඇති මරණ පිළිබඳව රෝගීන් ගේ සවිස්තර වාර්තා ගොඩනැගීම මගින් හා නිරන්තර සමාලෝචනය කිරීමෙන්  බෙහෝ දෑ ඉගෙනීමට සහ අවබෝධ කරගැනීමට හැකිවන අතර,  එම උගත් පාඩම් ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් කිරීමට, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිපත්ති සැකසීම සඳහාත් උපකාරීවේ.

    8. කොවිඩ් 19 නොවන අනෙකුත්රෝගීන් සඳහා සත්කාරය

    කොවිඩ්19 වසංගත තත්ත්වය හේතු කොටගෙන ඇතිවන සෘජු මරණ මෙන්ම,  ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන් හේතු කොටගෙන ඇතිවන වක්‍ර මරණ වැළැක්වීම යන දෙකම එක සමාන වැදගත් කමක් දරයි.  මෙරට වසරකට දළ වශයෙන් නේවාසික රෝගීහු  මිලියන 7 ක් (දිනකට 19200) සහ බාහිර රෝගීහු  මිලියන 56 ක් (දිනකට 153,400) රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගනිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පරිදි පරිදි කොවිඩ්19 අර්බුදය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සියලු රජයන් සහ රෝහලවල අඛණ්ඩව ලබා  දිය යුතු වේ. වසංගත තත්වය හේතු කොටගෙන, තෘතීයික සත්කාරක ආයතන ඇතුළු බොහෝ රෝහල් වල වෛද්‍ය සේවාවන් කොවිඩ්19 රෝගීන්ට සේවා සැපයීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම නිසා අනෙකුත් රෝගීන්හට තමන්ට අවශ්‍ය  සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ප්‍රවේශ වීමට සහ සේවාවන් ලබාගැනීමේ  හැකියාව අහිමි වී තිබේ. සෞඛ්‍ය සේවාවන් සඳහා යොමුවීමට ජනතාවගේ ඇති බිය නිසා එක් අතකින් සාමාන්‍ය රෝගී තත්වයන් හදිසි රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකි අතර අනිත් අතට සේවාවන් සඳහා යොමුවුවත් , සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සෘණාත්මක ප්‍රතිචාර එනම් රෝහලට ඇතුලත් කිරීම ප්‍රතික්ෂේප කිරීම / සේවා සැපයීම ප්‍රමාදකිරීම වැනි කාරණා හේතු කොට ගෙන, පහසුවෙන් වලක්වා ගත හැකි රෝගාබාධ මගින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහල යා හැකිය.

    අත්‍යාවශ්‍ය සේවාවන් හදිසි ප්‍රතිකාර සේවාවන් ලෙස  වැරදි ලෙස අර්ථකථනයක් ලබා දීම නිසා සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් බිඳවැටීමට ලක්වී ඇත. වර්තමානයේ දී වසංගත  තත්වයට  මුහුණ දීමට මුළුමහත් සෞඛ්‍ය පද්ධතියම යොමුවී ඇත්තේ ප්‍රථමික සෞඛ්‍ය සේවා, සායනසේවා, ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවා (ළමා / ප්‍රතිශක්තිකරණ /මවු සායන  / පවුල් සැලසුම්), ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් දෛනික වෛද්‍ය කටයුතු අතපසු කරලීමෙනි. මෙලෙස මුළු මහත් සෞඛ්‍ය පද්ධතියම අකර්මන්‍ය කිරීම අනවශ්‍ය බව අපගේ හැඟීමයි. මෙම උපාය මාර්ගයේ ප්‍රතිවිපාක දිගුකාලීන ව්‍යසනයකින් අවසන් වනු ඇත. කොවිඩ්19 රෝගීන් වාර්තාවීමේ සීග්‍ර වැඩිවීමක් හෝ සෞඛ්‍ය සේවකයන් ආසාදනයට ලක්වීම් වාර්තා වීම නිසා උපායමාර්ගික වෙනස් කිරීමට අවශ්‍ය වන තෙක්,  කොවිඩ්19 රෝගීන් සාපේක්ෂව අඩු රටක් ලෙස අප සාමාන්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වේ.

    සියළු තෘතියික සහ දිස්ත්‍රික් ප්‍රධාන රෝහල් නියමිත පුර්වාරක්ෂාවන් සහිතව උපරීම ධාරිතාවයෙන් සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය පසුබිම සෞඛ්‍ය පරිපාලනය මගින් සැලසිය යුතු වේ.  උණ රෝග ලක්ෂණ ඇති රෝගීන් හඳුනාගත් රෝහල් වලට පමණක් ඇතුළු කර ගැනීම සහ තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සහ ප්‍රතිකාර සේවා සැපයීම් සිදු කල යුතුය. 

    නිෂ්පාදන රටවලට ඇති දැඩි ඉල්ලුම මෙන්ම සීමිත සැපයුම් හේතුවෙන් ආනයන ක්‍රියාවලිය අභියෝගයකට ලක්වී ඇති අවස්ථාවක් වන මෙහිදී ඖෂධ සහ අනෙකුත් අවශ්‍ය සැපයුම් දිගටම ලබා ගැනීම පුර්ණ  බලැති කණ්ඩායමක් මගින් සිදු විය යුතුය. 

    9. අගුළු දැමීමෙන් පිටවීමේ මග

    වෙනස්කරන ලද අගුලු දැමීමේ ක්‍රමවේදය උපයෝගී කරගනු ලැබුවේ වසංගත වක්‍රය පැතලි කිරීමට සහ වසංගත ප්‍රතිචාරය සඳහා සෞඛ්‍ය පද්ධතියට කාලය ලබා ගැනීමටත් ය.  මෙම උපාය මාර්ගය පමණක් ප්‍රමාණවත් නොවන  හෙයින් ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීම, රෝගීන් සමග සම්බන්ධිත පුද්ගලයින් සෙවීම, හුදකලා කිරීම/නිරෝධායනයට ලක් කිරීමද ඊට සමාන්තරව සිදු කල යුතුවේ. මෙම ක්‍රමවේදයන් තුලින් බලාපොරොත්තු වන්නේ, වෛරසය ගුණනය වීම අඩාල කිරීමෙන්, වෛරසය සම්ප්‍රේෂණය වීම දළ වශයෙන් එක් ආසාධිත පුද්ගලයෙකුගෙන්, තවත් එක් පුද්ගලයෙකුට වඩා අඩු ගණනක පමණක් තබා ගැනීමටය.  ශ්‍රී ලංකාව මෙම තත්ත්වය ලඟා කර ඇතිදැයි සමාලෝචනය කිරීම වැදගත්ය. ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ සඳහා සහභාගිවීමට හා අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීමටද කැමති බව දන්වා සිටිමු.  

    ඇඳිරිනීතිය නියමිත කාලයට පෙර ඉවත් කල හොත් නැවතත් වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති අතර, එය දිගටම පවත්වා ගෙන යාමෙන් රටේ ආර්ථිකය සහ මහජනයාගේ චිත්ත ධෛර්යය කඩා වැටීමේ අවධානමක්ද පවතී. මෙමගින් සමහර රටවල මෙන් මනුෂ්‍ය ඛේදවාචකයක් ඇති නොවිය යුතුය. ඒ සඳහා වසංගතයේ සියලු පැතිකඩ සහ ප්‍රජාවේ මූලික අවශ්‍යතා  සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී එක්ව තීරණ ගැනීම ඉතා වැදගත්ය. රෝගීන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කල පුද්ගලයින් වැඩියෙන්ම වාසය කරන දිස්ත්‍රික්ක විශ්ලේෂණය කර, අනෙකුත් දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ලිහිල් කිරීම සහ දිස්ත්‍රික්ක අතර සංචරණ තහනම තවදුරටත් පැවැත්වීමත් වඩා ඉලක්ක කරගත් ප්‍රතිචාර ක්‍රමෝපායන් වේ.  

    වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසල්, සිල්ලර වෙළඳසල්, බැංකු සහ ඖෂධ වෙළඳසැල් සෑම දිනකම විවෘතව තැබීමට සහ ඒවා වෙත පැමිණෙන ජනතාව නිසි ලෙස කායික දුරස්තතාවය පැවැත්වීමට බල ගැන්වීමත් වැදගත්ය. ප්‍රාදේශීය කර්මාන්ත වේලාසන විවෘත කිරීම වැදගත්ය. ඒ සඳහා ගමනාගමන පහසුකම් සැලසීම සිදුවිය යුතු නමුත්, එහිදී කායික දුරස්ථතාවය පවත්වා ගනිමින් 50% ආසන ධාරිතාවයකින් පමණක් ගමනා ගමන පහසුකම් සැලසීම කළයුතුය.

    10.රෝගීන් හංවඩු ගැසීම / කොන් කිරීම (Disease Stigma)

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මාධ්‍ය වෙත කොවිඩ්19 වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශයක් සම්පාදනය කිරීමෙන් පසුවද, ජනයා අතර රෝගීන් හංවඩු ගැසීම පිලිබඳ භියක් පවතී. මෙය ආසාධිතයින් සහ ඔවුන්ගේ සමීපයින් හඳුනා ගැනීම සඳහා දැඩි අභියෝගයක් වී ඇත.  මෙය වැළැක්වීමට සෞඛ්‍ය කාර්යමණ්ඩලය විසින් මහජනයා විවිධ ආකාරයෙන් දැනුවත් කිරීම කළයුතු වේ. විවිධ වූ සෞඛ්‍ය නිලධාරීන් මගින් රෝගීන්ගේ සහ ඔවුන්ගේ සමීපයින්ගේ පුද්ගලික තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වහාම නැවතිය යුතුය. අධික අවදානම් දිස්ත්‍රික්ක වල සේවයේ නියුතු සියලු සේවකයින් හා සෞඛ්‍ය සේවකයින් හංවඩු ගැසීම / කොන් කිරීම පත්වීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු ය.

    ජනයා තදබදවීම සහ රොක්වීම වැනි ඍනාත්මක හැසිරීම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සඳහා පාලනයක් අවශ්‍ය වේ. ඒ වෙනුවට ධනාත්මක ක්‍රියාවන් වන සමාජ දුරස්ථභාවය පවත්වන අයුරු දිස්වෙන රූප රාමු නිරුපනය කිරීමත් ප්‍රවර්ධනය කිරීමත් සිදු විය යුතුය. කොවිඩ්19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ ආදාහනය සිදුකිරීම මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම නැවැත්විය යුතුය.  එමෙන්ම ප්‍රදේශ තුල ස්වයං නිරෝධායනය සිදුකරන පුද්ගලයින් කොන් කිරීම සිදු

    නොකළයුතු බව මහජනතාව දැනුවත් කිරීමද ඉතා වැදගත්ය.

    11. මහජනතාව දැනුවත් කිරීම

    මහජනතාවට කිසිදු ක්‍රියාකාරී සම්බන්ධයක් නොමැති විෂය ක්ෂේත්‍රයන් පිලිබඳව අපැහැදිලි පණිවුඩ සැපයීම මගින් ඔවුන් ව්‍යාකූල වීම වැළැක්වීමට, මාධ්‍යයට පැමිණ කරුණු දක්වන විවිධ පුද්ගලයින් වෙත පැහැදිලි රෙගුලාසි නිකුත් කිරීම අවශ්‍ය බව අප සංගමයේ නිර්දේශයයි.  පෞද්ගලික මත මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ප්‍රකාශ වීම වැළැක්වීමට මෙය හොඳ ක්‍රමවේදයක් වනු ඇත. ජාතික කාර්ය සාධක බලකායෙහි අනුමැතියෙන් තොරව නිල නොලත් පුද්ගලයින් අනවශ්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පලකිරීම පිළිබඳව දැඩි නීති පැනවිය යුතුය. මේ වගකීම නිලවශයෙන් හඳුනාගත් එක් පුද්ගලයෙකුට පමණක් පැවරීම සුදුසුය.

    12. අනෙකුත් රටවල සාර්ථක හෝ අසාර්ථක වූ ක්‍රමවේදයන් තුලින් ඉගෙන ගැනීම

    දකුණු කොරියාවේ ප්‍රධාන ක්‍රියාමාර්ගය වුයේ වෙනසකින් තොරව මහා පරිමාණ ලෙස රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කිරීම සහ ආසාධිතයින් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් දැඩි ලෙස සෙවීමත්, ඔවුන් නිරෝධායනය කිරීමත්ය. චීනය දැඩි නීති සහ විද්යානුකූල දත්ත මත ගොඩ නැගුනු ක්‍රමවේදයන් අනුගමනය කළේය. මෙවැනි පරමාදර්ශී ක්‍රමවේද  නිවැරදි ලෙස විශ්ලේෂණය සිදු කර, අප රටෙහි තත්ත්වයට අදාලව ප්‍රායෝගිකව යොදා ගැනීම

    වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශය වේ.  

    අප රට තුල ප්‍රජා සෞඛ්‍ය සේවාවන් වෙත නිසි ආයෝජනය සිදු කර තිබීමේ ධනාත්මක ප්‍රතිඵල දැන් අප නෙලමින් සිටී. අඩු සහ මාධ්‍ය ආදායමැති රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම ගෝලීය වසංගත තත්ත්වය පාලනයට කාලීනව සිදු කරනු ලබන ඵලදායී ප්‍රතිචාර මුළු ලොවටම ආදාර්ශයක් වනු ඇත.

    ශ්‍රී ලංකාව තුල මෙම වසංගතය පාලන ප්‍රතිචාරයේ දී කැපවුණු ඉහළම දේශපාලනමය නායකත්වයටත්, රාජ්‍ය ධූරාවලියේ සියළු නිලධාරීන්ටත්, සෞඛ්‍ය සේවකයින්ටත් විශේෂයෙන්ම සියලු දේ දරාගෙන සිටින මහජනතාවටත් ස්තුතිය පල කිරීමට මෙය අවස්ථාව කර ගනිමු.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

  • වැඩිහිටි පිරිමියෙක් නම් කොරෝනා අවධානම වැඩියි – ඒත් ඒ ඇයි ?

    වැඩිහිටි පිරිමියෙක් නම් කොරෝනා අවධානම වැඩියි – ඒත් ඒ ඇයි ?

    ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය.

    55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඔහුට ඔක්සිජන් සපයා ඇත. නමුත් ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාසය සඳහා ශ්වසන ආධාරකයක් (Ventilator) අවශ්‍ය නොවීය.

    රෝගී විය හැකි පුද්ගලයන් කවුරුන්ද?

    ඇතැම් පුද්ගලයන්ට රෝගී තත්ත්වය උත්සන්න වී සංකූලතා ඇතිවීමේ අවදානම වැඩිය.

    පෙර රෝගී තත්ත්වයන් තිබුනත් නැතත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සියලු දෙනා එම ලැයිස්තුවට ඇතුළත් වෙති.

    එමෙන්ම හෘද රෝග වැනි පෙර රෝගී තත්ත්වයන් පවතින සියලු දෙනා ද වයස් භේදයකින් තොරව එම ලැයිස්තුවට අයත් වෙති.

    පිළිකා රෝගයකට ගොදුරු වී ඒ සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරය ලබන පුද්ගලයන් ද එම කාණ්ඩයට ඇතුළත් කොට ඇත. නව කොරෝනාවෛරසයෙන් බේරී සිටීම සඳහා, නිවසින් බැහැරව නොයන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබේ.

    කොවිඩ්-19 වෛරසයෙන් රෝගී වීමට වැඩි අවදානමක් සහිත ගණයට ඇතුළත් කර නොමැති වුවත්, වයස අවුරුදු 50 ත් 60 ත් අතර සිටින පිරිමින්ට එය තදින් බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙය සර්ව පැහැදිලි නිගමනයක් නොවේ. මෙම සහසම්බන්ධතාව නියත හේතුවක් නොවේ.

    වයසින් වැඩි පුද්ගලයන්ට මෙහෙම වෙන්නේ ඇයි?

    රෝග ලක්ෂණ

    විද්‍යාඥයන්ට තවමත් එය පැහැදිලි නැත.

    එක්සත් රාජධානියේ රෝහල් හි දැඩි සත්කාර ඒකක ගෙන හැර දක්වන වාර්තා අනුව බරපතල ලෙස රෝගාතුර වන්නන්ගේ දල වයස අවුරුදු 60 කි. මින් බහුතරය පිරිමින් ය. එමෙන්ම ස්ථුලභාවය සහ හෘද රෝග වැනි තත්ත්වයන් හේතු කොට ගෙන බොහෝ දෙනා වැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්වී ඇත.

    කෙසේ වෙතත් වයසත් සමඟම මරණ අනුපාතිකය ද ඉහළ යන බවත් එහිදී පිරිමි පුද්ගලයන්ට වැඩි අවදානමක් පවතින බවත් පෙනී ගොස් ඇත.

    නව කොරෝනාවෛරසය ආරම්භ වූ චීනයේ දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේ දී පවා පෙනී යන්නේ ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට මෙහි අවදානම වැඩි බවය.

    නමුත් එය ස්ත්‍රී – පුරුෂභාවය මත පමණක් යැපෙන දෙයක් නොවන බව විශේෂඥ මතයයි. ඊට දුම්පානය වැනි චර්යා ද බලපෑ හැකි බව ඔවුහු පවසති. දුම්පානය සහ පිරිමින් අතර සම්බන්ධතාවය ඉන් පැහැදිලි විය හැකිය.

    “පිරිමි වීම නිසාම මෙහි අවදානම වැඩියි කියන නිගමනයට එන්නට මම පෙළඹිලා නැහැ. ඒ සඳහා මෙතෙක් හඳුනා නොගත් තවත් සාධකයක් තිබිය හැකි බවයි පෙනෙන්නට තියෙන්නේ.” යනුවෙන් නොටිංහැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් හෝල් පැවසීය.

    ගැහැනුන්ට වඩා පිරිමින්ට හෘද රෝග, දියවැඩියාව සහ පෙනහළු රෝග ඇතිවීමේ ප්‍රවනතාව ඉහළය.

    ඇතැමුන් පවසන්නේ ඊට ජාන සහ ලිංගික හෝමෝන ද බලපෑ හැකි බවය.

    ස්ත්‍රීන්ගේ ප්‍රතිශක්තිය වැඩිද?

    උපදෙස්

    “පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රතිශක්තිය අතර සැලකිය යුතු වෙනසක් පවතින බවට එන්න එන්නම තහවුරු වෙමින් පවතිනවා. එය බෝවන රෝගවලදී ලැබෙන අවසන් ප්‍රතිඵලයට විශාල බලපෑමක් ඇති කරවනවා.” යනුවෙන් ප්‍රතිශක්තිය පිලිබඳ විශේෂඥ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය පිලිප් ගොල්ඩර් ප්‍රකාශ කළේය.

    “පිරිමින් හා සංසන්දනය කිරීමේදී, එන්නතකට හෝ ආසාදනයක දී ස්ත්‍රීන් ගේ ප්‍රතිශක්තිය වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.

    ස්ත්‍රීන් ගේ ජාන X ක්රෝමසෝම දෙකකින් සමන්විත වීම සහ පුරුෂ ජාන එක් X ක්රෝමසෝමයකින් සහ Y ක්රෝමසෝමයකින් සමන්විත වීම මීට හේතුව විය හැකිය.

    “ඉතා වැදගත් ප්‍රතිශක්ති ජාන කිහිපයක්ම ස්ථාන ගත වෙලා තියෙන්නේ X ක්රෝමසෝමය තුළ.” මහාචාර්ය පිලිප් ගොල්ඩර් පැවසීය.

    ඔබ ප්‍රවේශම් විය යුත්තේ කෙසේද?

    • සමබර ආහාර වේලක් ගනිමින් සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා හොඳින් ව්‍යායාමවල යෙදිය යුතුය.
    • ඔබ දුම්පානය කරන්නේනම් එය නතර කිරීමට මෙය හොඳ අවස්ථාවකි.
    • ස්ත්‍රීන්ට වඩා පුරුෂයන් පහත සඳහන් චර්යාවන්ට හුරු වී ඇත.
    • දුම්පානය හා වැඩි ප්‍රමාණයක් දුම්පානය කිරීම.
    • පමණට වඩා ලුණු ආහාරයට ගැනීම.
    • පමණට වඩා රතු පැහැති මාංශ සහ පිළියෙළ කරන ලද මාංශ (processed meat) පරිභෝජනය.
    • අවශ්‍ය පමණට පලතුරු සහ එළවලු ආහාරයට නොගැනීම.
    • මත්පැන් පානය සහ අවදානම් මට්ටමට මත්පැන් පානය.

    (බීබීසී පුවත් සේවයේ සෞඛ්‍යය පිළිබඳ සංස්කාරකමිෂෙල් රොබට්ස් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) – කාලීන භාවය මත මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • කොරෝනා වෛරසය බළලුන්ගෙන් මිනිසාට ආසාදනය වෙනවාද ?

    කොරෝනා වෛරසය බළලුන්ගෙන් මිනිසාට ආසාදනය වෙනවාද ?

    රෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති.

    එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ “සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති” බවය.

    හොංකොංහි ‘සිටි’ (City) සරසවියේ වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel Almendros) බීබීසියට ප්‍රකාශයක් කරමින්, “සුරතල් බල්ලෙකු හෝ බළලෙකුගෙන් මිනිසෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීමක් පිළිබඳව එකම සිද්ධියක් හෝ මෙතෙක් වාර්තා වී නැතැයි” සඳහන් කළේය.

    මේ අතර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, බළලුන්ගෙන් තවත් බළලුන්ට වෛරසය පැතිරයාමේ හැකියාවක් පැවතිය හැකි බවය.

    කෙසේවුවද, වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කාලයක – ආරක්‍ෂිත පියවරක් වශයෙන් – කළ හැකි නම්, බළලුන් ගේ තුළ රඳවා තබා ගැනීම යෝග්‍ය බව වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් පෙන්වා දෙයි.

    Cat on a fence (c) Jason Palmer
    Image caption”සුරතල් සතුන් ඇති කරන සියලු දෙනාම සනීපාරක්‍ෂාව සඳහා දෑත් පිරිසිදු කර ගැනීම පුරුද්දක් ලෙස පවත්වා ගත යුතුයි”

    එම උපදේශය සමඟ තමා එකඟ වන බව බ්‍රිතාන්‍ය පශුවෛද්‍ය සංගමයේ (BVA) සභාපතිනි ඩැනියෙලා ඩොස් සැන්ටෝස් බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළාය.

    “එහෙත් සුරතල් සතුන් ගේ තුළම රඳවා තැබෙන පූර්ව ආරක්ෂක පියවර ගතයුතු යයි සුරතල් සතුන් හිමියන්ට නිර්දේශ කෙරෙන්නේ, සුරතල් සතෙකු ජීවත්වෙන නිවසක වෙසෙන කවුරුන් හෝ රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කළහොත් පමණක්” යයි බ්‍රිතාන්‍ය පශුවෛද්‍ය සංගමය ආරම්භයේදී ම පැහැදිළි කරනු ලැබ ඇතැයි ද ඇය සඳහන් කළාය.

    “නමුත් සුරතල් සතුන් ඇති කරන සියලු දෙනාම සනීපාරක්‍ෂාව සඳහා දෑත් පිරිසිදු කර ගැනීම පුරුද්දක් ලෙස පවත්වා ගත යුතුයි” වෛද්‍යවරිය කියා සිටින්නීය.

    “සතෙක් වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයකු සමඟ ගැවසුනොත්, එම සතාගේ ඇඟේ ලොම් මගින් වෛරසය හුවමාරු වීමේ ඉඩක් තිබෙනවා”

    මෑතදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස්, හොංකොං හි කොවිඩ්-19 ආසාදනය විනැයි විනිශ්චය කෙරුණු සුරතල් බල්ලෙකු පිළිබඳ සිදුවීමක් ගැන සඳහන් කරයි.

    සුනඛයාට එම වෛරසය අසාදනය වී තිබුණේ ,එම සුරතල් සතාගේ හාම්පුතාගෙන් යයි පෙනී ගිය බවත් වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් සඳහන් කරයි.

    “එම සුනඛයාට වෛරසය ආසාදනය වූ බව පරීක්ෂණයේ ප්‍රතිඵලය වූ නමුත් එමගින් සතුන් රෝගීභාවයට පත්වෙන්නේ නැහැ”

    “2003 අවුරුද්දේ සාර්ස් (Sars-Cov) වෛරසය හොංකොං හි පැතිරයමින් තියෙද්දී සතුන් ගණනාවකට වෛරසය ආසාදනය වුණා. එහෙත් එම සතුන් රෝගී තත්ත්වයට පත් වුණේ නැහැ. බල්ලන් හෝ බළලුන් රෝගී වූ බවට සහ එම සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වූ බවට සාක්ෂි නැහැ” ඔහු පැහැදිළි කළාය.

    මිනිසාගෙන් සතුන්ට වෛරස් ගමන් කිරීම

    මිනිසාගෙන් සතුන්ට වෛරසය ගමන් ගන්නේ කෙසේද? යන්න සැලකිල්ලට ගත යුතුව ඇති කරුණකි.

    මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් පිට කරනු ලැබීම සහ ප්‍රශ්වාස කරනු ලබන විට වාතයට එක්වන වෛරස් අංශු බළලුන්ට ආසාදනය විය හැකි බවක් දක්නට ලැබෙයි.

    බෙල්ජියමෙන් ලැබුණ වාර්තාවකට අනුව බළලෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් සතියකට පසු එම සුරතලාගේ අයිතිකරු තුළත් රෝග ලක්ෂණ පහළ විය.

    එම සිදුවීමෙන් පසු චීනයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂණවලින්, බළලෙකුගෙන් තවත් බළලුන්ට වෛරසය බෝවිය හැකි බවට සාක්ෂි ලැබුණි.

    A Malayan tiger cub in its enclosure at the Bronx Zoo on 27 April 2017
    බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයෙහි රඳවා සිටින ව්‍යාඝ්‍රයෙක්

    “නිව්යෝර්ක්හි ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයෙහි (Bronx Zoo) ව්‍යාඝ්‍රයකුට වෛරසය ආසාදනය වූ බව පැහැදිළිවී තිබෙන අතරවාරයේ බළලුන්ද ආසාදනය වීමට හැකි බවට පාර්යේෂණාත්මක සාක්ෂි ලැබීම සැලකිල්ලට ගතයුතු කරුණක්” එක්සත් රාජධානියේ ‘පිර්බ්‍රයිට්’ ආයතනයේ (Pirbright Institute) අධ්‍යක්ෂ මහාචාර්ය බ්‍රයන් චාර්ල්ස්ටන් (Prof Bryan Charleston) පවසයි.

    එම ආයතනය වෛරස් මගින් බෝවෙන ව්‍යාධීන් සම්බන්ධයෙන් සුවුශේෂී හැදෑරීම් කරන විද්‍යාස්ථානයකි.

    “මිනිසුන්ගෙන් සතුන් කරා වෛරස් බෝවීම් පිළිබඳව සාක්ෂි ශක්තිමත් වෙමින් පවතින” බවත් මහාචාර්ය චාර්ල්ස්ටන් පවසයි.

    මිනිසුන්ගේ ආශ්වාස- ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියේ දී වාතයට එක්වෙන වෛරස් අංශු ගොරිල්ලන්, චිම්පන්සින් සහ ඔරන්උටන් වැනි දියුණු වානර කුලයේ ජීවීන්ට ආසාදනය විය හැකි බවට සාක්ෂි ඇත.

    ගොරිල්ලන් ඇතුළු වේගයෙන් වඳ වෙමින් පවතින ජීවීන් රැකගැනීම සඳහා වෙහෙසෙන පරිසරවේදීහු කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමඟ එම සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති.

    Sleeping cat

    මෙම සියලු සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, වෛරසය ආසාදිත මිනිසුන් සත්ව වර්ගයාට තර්ජනයක් එල්ල කරන බවය.

    “මේ කොරෝනා අර්බුදය ආරම්භයේ දී අපි දැනගත්තා, මේ වෛරසය සතෙකුගෙන් මිනිසුන් මත කඩා පාත් වූ බව” වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් බීබීසියට ප්‍රකාශ කළේය.

    එය මිනිසුන්ගේ මාංශ භක්ෂණයත් සමඟ සම්බන්ධ ආසාදනයක් වන බව දක්නට ලැබෙන බවත් වෛද්‍යවරයා පැහැදිළි කරයි.

    ගෘහාශ්‍රිත සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් ඇති බවට සාක්ෂි නැත.

    “ගෙදර ජීවත්වෙන සෙසු අයට වගේම සුරතල් සතුන්ටත් හොඳින් සලකන්න. යම්හෙයකින්, ඔබට අසනීප ගතියක් දැනුනොත් එය සතුන් මත පටවන්න එපා” එය වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් දෙන උපදේශයයි.

    සුරතල් සතුන් අයිතිකාරයන් තොරතුරු සහ නිවැරැදි උපදෙස් ලබා ගනිමින්, හොඳ සුව පහසු නින්දක් ලබනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” වෛද්‍යවරයා බලාපොරොත්තු පළ කරයි.

    “එක මේ දවස්වල පහසු නැහැ. ඒක මම දන්නවා” වෛද්‍යවරයා අවසන් වශයෙන් පැවසීය.

    කාලීනභාවය සලකා මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ප්‍රධාන ඡායාරූපය සහ ශීර්ෂපාඨය පමණක් වෙනස්කර ඇත. ප්‍රධාන සංස්කාරක – (බීබීසී පුවත් සේවයේ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකාරිනී වික්ටෝරියා ගිල් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි )

  • එළවළු රජය විසින් මිලට ගැනීම හෙට සිට ආරම්භ වෙයි

    එළවළු රජය විසින් මිලට ගැනීම හෙට සිට ආරම්භ වෙයි

    කූඨ අතරමැදියන්ගෙන් එළවළු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් හෙට (11) දින සිට විශේෂ මිලක් යටතේ ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදී ගැනීම සිදුකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    අද (10* පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. එහිදී අදාළ වැඩපිළිවෙළ ගැන වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

    ‘දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11) දින සිට විශේෂ මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කරලා තිබෙනවා. මේ කටයුතු සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි.

    ඒ අනුව දඹුල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරනවා.

    ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම කළ යුතුුයි. ඒ වගේම විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීමත් කළ යුතුයි. මේ කටයුතු දෙකම ඉටුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරලයි අපි මේ තීරණය ගත්තේ.

    මේ එළවළු තොග අවශ්‍ය ප‍්‍රදේශවලට බෙදා හැරීම සිදුවන්නේ ද එළවළු ආවශ්‍ය ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. ඒ අනුව එළවළු අවශ්‍ය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මේවා බෙදා හැරීම සිදු කරනවා.

    මේ හරහා අපිට එළවළු ගොවියා ආරක්ෂා කිරීමට වගේම පාර්භෝගික ජනතාව ආරක්ෂා කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා සියලු පාර්ශ්වවල උපරිම සහාය අපි අපේක්ෂා කරනවා.

  • සහල්වලට උපරිම සිල්ලර මිලක්

    සහල්වලට උපරිම සිල්ලර මිලක්

    අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00 ක් ද කැකුළු සුදු/ රතු කිලෝවක මිල 85.00ක් ද නාඩු සහල් කිලෝවක මිල රුපියල්. 90.00ක් සහ සම්බා රතු /සුදු සහල් කිලෝවක් රුපියල් 90.00ක් වේ.

  • මිනුවන්ගොඩ මූලික රෝහල Covid-19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

    මිනුවන්ගොඩ මූලික රෝහල Covid-19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

    මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මිනුවන්ගොඩ රෝහල් ඉදිකිරීම අද (10) ඇමතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය විසින් මෙහි නවීකරණ කටයුතු ද සිදුකරනු ලබයි. රෝහලේ විශේෂ විෂබීජානුහරණ කුටියක්ද ඉදිකර තිබේ. එයද ඇමතිවරයාගේ පරීක්ෂවට ලක්විය.

    රෝහල නීරීක්ෂණයෙන් පසු මාධ්‍ය ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ කෝවිඩ් 19 හෙවත්  කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහා රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි. මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරනුයේ එහි පියවරක් ලෙස බවද ඔහු පෙන්වා දුන්නේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කලේ ඉදිරි සති 02 කාලය තුල ජනතාව සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කළොත් මෙම වසංගතය පැතිරයාම පාලනය කිරීමට හැකි බවට සෞඛ්‍ය අංශ අදහස් බල කරන බවයි.

    මේ නිසා රජය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටද විශේෂ ක්‍රමවේදයක්  සකසා ඇති බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය. කුමන ගැටලු මතුවූවත් කොරෝනා වසංගතවට එරෙහිව සටන ජනතා සහාය ඇතිව ජයග්‍රහණය කල හැකිබව පෙන්වා දුන් ඇමතිවරයා අවශ්‍යවන්නේ ඒ සදහා කැපවීම හා අධිෂ්ඨාණය බවද කිවේය.

  • ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමේ තීරණයක්

    ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමේ තීරණයක්

    අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි 15000ක පමණ පිරිසක් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝඩිං ආශ්‍රිතව සිටින බවයි. නිදහස් වෙළද කළාප  වලට බාහිරව වෙනත් කර්මාන්ත ශාලා , වැඩ බිම් හා මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් මෙලෙස දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව මෙහිදී හෙලි විය.

    කටුනායක හා සීදූව බල ප්‍රදේශ වල පමණක් 5000 කට අධික පිරිසක් සිටින බව පොලිසිය මෙහිදී අනාවරණය කළේය. සෞඛ්‍ය අංශ අවධාරණය කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමටනම් අත්‍යවශ්‍ය හේතුන් හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුදගලයන් වෙනත් දිස්ත්‍රික්ක වලට යැවිම හා වෙනත් දිස්ත්‍රික්කවලින් ගම්පහට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ පිරිසට සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන්ට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකස් විය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල එකගතාවය ලැබුණ වහාම ඔවුන් ගම්බිම් වලට පිටත් කර හැරීමටත් එතෙක් ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩ පිළිවෙල සදහා ලබා දී ඇති ඇදිරි නීති බල පත්‍ර අවභාවිතා කිරීමේ සිද්ධින් පිළිබදව ද කමිටුවේ විශේෂ අවධානය යොමු විය. පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත් 7191ක් ලබා දී ඇති බවයි.

    ඇදිරි නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 2718 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 349ක් හා යතුරු පැදි 410ක් පොලිස් භාරයට ගත් බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කලේය. මෙම ඇදිරි නීති බල පත්‍ර නැවත විමර්ෂණය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදි පෙන්වා දුන්නේය.

    ඒ අනුව දිස්ත්‍රික් කමිටුව තීරණය කලේ දැනට අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දී ඇති ඇදිරි නීති බලපත්‍ර යලි විමර්ෂණයකට ලක් කිරීමටයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පත් කර ඇති ප්‍රාදේශිය කමිටුව මගින් මෙම ඇදිරි නීති බලපත්‍ර විමර්ෂණය කිරීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි  කරන බවට හා එම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට තහවුරු වන අයගේ බලපත්‍ර අහෝසි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

  • සියලුම වී මෝල් Covid-19  නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් බවට නම් කරයි

    සියලුම වී මෝල් Covid-19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් බවට නම් කරයි

    අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.

    දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළයුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.

     මේ වන විට මෙට්ට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතී. එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටී.

    එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස් වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.

    ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

  • කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා මෙන්න

    කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා මෙන්න

    ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක්

    මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී  ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කුලී රථ රියදුරන් හය දෙනෙකු වෛද්‍ය සේවකයින්ට රාත්‍රියේදී තම නිවෙස් කරා ආපසු යා හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි මේ වැඩපිළිවෙළ ආරම්භ වී තිබෙන්නේ. එතැන් පටන් ඔවුන්ගේ උත්සාහය ස්වේච්ඡා සේවකයන් 200 ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඔවුන්ගේ සේවය ස්පාඤ්ඤ මාධ්‍යවල පවා දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා.

    107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි

    ‍කො‍රෝන වෛරසය ආසාදනය වූ 107 හැවිරිදි ඕලන්ද ජාතික කාන්තාවක් සුවය ලබා ඇති අතර, වසංගතයෙන් දිවි ගලවා ගත් වයස්ගතම තැනැත්තා ඇය විය හැකි බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

    කොර්නෙලියා රාස් ඇගේ 107 වන උපන්දිනයට පසු දින එනම් මාර්තු 17 වන දින රෝගාතුර වූ බව නෙදර්ලන්ත පුවත්පත වාර්තා කරයි. ඒ නිරිතදිගින් පිහිටි දූපතක් වන ගොයරි-ඕවර්ෆ්ලැක්කි හි පිහිටි ඇගේ සාත්තු නිවාසයේ පදිංචිකරුවන් සමඟ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් පසුව බවයි වාර්තා කියන්නේ.

    කොරොනා ඇමේසන් හුදෙකලා වූ යනාමාමි ගෝත්‍රයට ළඟා වෙයි

    ඇමසන් ආදිවාසී කණ්ඩායමක් වන යනාමාමි ජනතාව අතර බ්‍රසීලය ප්‍රථම කොරෝන වෛරස්  ආසාදිතයා වාර්තා වී තිබෙනවා. 15 හැවිරිදි පිරිමි ළමයෙකු වන මෙම රෝගියා උතුරු ප්‍රාන්තයේ රොරයිමා අගනුවර වන බෝවා විස්ටා හි රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව බලධාරීහු පවසති.

    චීනයේ නව රෝගීන් අතර ආසාදිත අලුත උපන් දරුවන් හතර දෙනෙක්

    ගර්භාෂයේ සිටින තම නූපන් ළදරුවන්ට මවගෙන් කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව චීනයෙන් ලැබෙන නව සාක්ෂි වලින් පෙනී යන බව නව අධ්‍යයන වාර්තාවක් සදහන් කරනවා.

    වුහාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් කියැවෙන්නේ මාර්තු මැද භාගය වන විට චීනයේ තහවුරු වූ කොරොන රෝගීන් 81,000 අතර ආසාදිත අලුත උපන් දරුවන් 4 දෙනෙකු සිටින බවයි.

    මෙම අවස්ථා හතරේදීම මව්වරුන්ට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර අවස්ථා තුනකදීම දරු ප්‍රසූතියට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ළදරුවන්ට පෙන්නුම් කළේ මෘදු රෝග ලක්ෂණ පමණක් වන අතර දැඩි සත්කාර සඳහා ඔක්සිජන් ලබාදීම හෝ ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව එම වාර්තාව වැඩි දුරටත් කියන්නේ.

  • Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් පමණක් අද (9) දින වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ වෙබ් අඩවියේ අද දින පස්වරු 18.04 සිදු කළ යාවත්කාලීන කිරීම සදහන් කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි. ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 242කි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 49 දෙනෙකි.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ අද දින (9) යාවත්කාලීන කිරීම්් අනුව (ප.ව 18.04) ගෝලීය වශයෙන්තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව 1,519,571 දෙනෙක් වන අතර මරණ සංඛ්‍යාව 88,550කි. අද දින නව ආසාදිතයින් 84,385ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 331,311කි.

    එක්සත් ජනපදය – රෝගීන් 432,438 ක්, මරණ 14,808 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 148,220 ක් ,  මරණ 14,792 ක්
    ඉතාලිය – රෝගීන් 139,422 ක්, මරණ 17,669 ක්
    ප්‍රංශය – රෝගීන් 83,080 ක්, මරණ 10,887 ක් 
    ජර්මනිය – රෝගීන් 113,296 ක්, මරණ 2,349 ක්
    චීනය –   රෝගීන්  82,883 ක්,  මරණ 3,339 ක් 
    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 64,586 ක්, මරණ 3,993 ක් 
    එක්සත් රාජධානිය –  නඩු 61 , 487 , මරණ 7,111
    තුර්කිය – රෝගීන් 38,226 ක්, මරණ 812 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 23,404 ක්  , මරණ 909 ක්
    බෙල්ජියම – රෝගීන් 24,983 ක්, මරණ 2,523 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 20,682 ක්, මරණ 2,255 ක්
    කැනඩාව – රෝගීන් 19,290 ක්, මරණ 436 ක්
    බ්‍රසීලය – රෝගීන් 16,118 ක්, මරණ 820 ක්
    පෘතුගාලය – රෝගීන් 13,141 ක්, මරණ 380 ක් 
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,942 ක්, මරණ 273 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,423 ක්, මරණ 204 ක්
    ඊශ්‍රායලය – රෝගීන් 9,404 ක්, මරණ 73 ක්
    රුසියාව – රෝගීන් 8,672 ක්, මරණ 63 ක් 
    ස්වීඩනය – රෝගීන් 8,419 ක්, මරණ 687 ක්
    නෝර්වේ – රෝගීන් 6,042 ක්, මරණ 101 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,010 ක්, මරණ 50 ක්
    අයර්ලන්තය – රෝගීන් 6,074 ක්, මරණ 235 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 5,581 ක්, මරණ 203 ක්
    ඉන්දියාවේ රෝගීන් 5,916 ක්, මරණ 178 ක් 
    ජපානය – රෝගීන් 4,667 ක්, මරණ 95 ක්
    මැලේසියාව – රෝගීන් 4,119 ක්, මරණ 65 ක්
    පකිස්ථානය – රෝගීන් 4,263 ක්, මරණ 61 ක්
    සෞදි අරාබිය – රෝගීන් 2,932 ක්, මරණ 41 ක්
    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,659 ක්, මරණ 12 ක්
    පැනමාව – රෝගීන් 2,249 ක්, මරණ 59 ක්
    කටාර් – රෝගීන් 2,210 ක්, මරණ 6 ක්
    කුවේට් – රෝගීන් 855, 1 මරණය 
    බහරේනය – රෝගීන් 821 ක්, මරණ 5 ක්

    අල් ජසීරා ඇසුරිණි

  • ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගියොත් වෙන දේ මෙන්න…

    ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගියොත් වෙන දේ මෙන්න…

    ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බවත් එම නීතිය හෙට (10) සිට ක‍්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ අද (9) දින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය.

    මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී – යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

    මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ රජය විසින් අපේ‍්‍රල් 19 වැනිදා දක්වා පනවා ඇති නීති රීතිවලට අවනත වී, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් නිරෝධාන ක‍්‍රියාවලියට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    මෙහිදි යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි. මෙම පුද්ගලයින් සියලූ දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පි.සී.ආර් පරීක්ෂණය දෙවතාවක් සිදුකිරීමෙන් පසුව මෙලෙස පිටත් කර හැරි බවද මේ වන විට පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

    මෙවර සිංහල අලුත් අවුරුද්ද නිවස තුළ, නිවැසියන් සමග පමණක් සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය. ජාසිංහ මහතා කියා සිටියේ චීනය රජය විසින් ද ඔවුන්ගේ අලුත් අවුරුද්ද මේ ආකාරයෙන් නිවස තුළට පමණක් සීමා කළ බවයි.

    මෙම මාධ්‍ය හමුවේ සියලු තොරතුරු පහත පළ වේ.

  • මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

    පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

    1. 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.
    2. එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.
    3. ඉන් අනතුරුව,

    (අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය  
         අභිලාෂය පළ කළහ.,

                (ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු

                       මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට
                     අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්
                     කළහ,    

                (ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

                (ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල්

                     තැන්පත් කරන ලදී.

    අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

    (අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
    (ආ)      මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
    (ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
    (ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

    පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

    2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

    ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

    2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

    එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

    අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

    කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්

  • කොරෝනා මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය සේවකයින් රක්ෂණය කරයි

    කොරෝනා මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය සේවකයින් රක්ෂණය කරයි

    කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින්  “විරු අභිමන්” නමින්  රු.ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.

    මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට  රු.ලක්ෂ 15 ක මුදලක් ද ,දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි.

    මෙමගින් ආවරණය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, උපසථායකයන්, රියදුරන්, සුළු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ඇතුලත්ය.

    මෙරට ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප්‍රථම සහ එකම රක්ෂණ ක්‍රමය මෙයයි.

    මෙම රක්ෂණ වැඩපිළිවෙල යටතේ මුදල් අය කිරීමෙන් තොරව,රක්ෂණ සමාගමේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගෙවීම් සිදු කෙරෙනු ඇත. 

    විරු අභිමන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් සිදු කරන ලදී.

    මෙම අවස්ථාවට  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යන්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

  • කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිතුමා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති.

    වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ. එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය.

    “පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

    විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිතුමා විමසීය.

    දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid-19 World Hot Review: ගෝලීය වශයෙන් කොන්ඩම් හිගයක් ගැන බිය පළ වේ

    Covid-19 World Hot Review: ගෝලීය වශයෙන් කොන්ඩම් හිගයක් ගැන බිය පළ වේ

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි.

    ගෝලීය ප‍්‍රවණතා

    ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ

    කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය  සිදු වූ ඉහළම  පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (අප්‍රේල් 07 ) දිනයේ දී වාර්තා විය.

    ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ සවස ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව, අප්‍රේල් 07 වැනිදා සවසින් ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොරෝනා ආසාධනයෙන් මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය 1, 427 ක් බවට පත් වී ඇත.

    මෙම මරණ 1, 427 න් 620 ක් රෝහල් තුළ සිදු වූ මරණ බවත්, යැපෙන වැඩිහිටියන්ට නවා තැන් පහසුකම් සපයන නිවාස ( Ehpad ) තුළ  මරණ 820 ක් සිදුවී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වන විට ප්‍රංශය තුළ සිටින රෝගීන් සංඛ්‍යාව 1, 09, 069 කි.

    කොරෝනා වෛරසය ආසාධනය වීමෙන්  ප්‍රංශය තුළ මෙතෙක් මිය ගොස් ඇති පුද්ගලයන් ප්‍රමාණය 10, 328 කි.  30, 000 ක් රෝහල්ගතව සිටින අතර, රෝගීන් 7, 131 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල පසු වෙති.

    කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ගෙන් 19,  337 ක් මේ වන විට සුවය ලබා සිටින බව ද ජෙරොම් අනාවරණය කළේය.

    කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව මේ සතිය තුළ සිදු විය හැකි බවත්, දෙපාර්තමේන්තු කිහිපයකින් මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් අපෙක්ෂා කරන බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.
    නිවාස වල රඳවා තැබීමේ නියෝගය අවසන් වන දිනය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි බව පවසන ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ ප්‍රධානී ජොන් ප්‍රොන්සුවා ( Jean – Francois ) පෙන්වා දෙන්නේ , එම කාලය මැයි මස මුල දක්වා දිගටම පවතිනු ඇති බවය.

    BFM රූපවාහිණිය සමඟ පැවැති සකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ, නිවාස තුළ රැඳවීමේ කාලය දීර්ඝ වීම බොහෝ ප්‍රංශ ජාතිකයන්ට දරා ගැනීමට අපහසු බව තමන් හොඳ හැටි දන්නා බවය. 

    මේ අතර අද (අප්‍රේල් 08 ) සිට එළිමහනේ සිට සිදු කරන සියළුම ශාරීරික ව්‍යායාම් සහ ඒ සම්බන්ධ ක්‍රියා කාරකම් උදෑසන 10. 00 සිට රාත්‍රී 7.00 දක්වා සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල බව රජය ප්‍රකාශ කොට ඇත.

    මැයි මස මුල දී නැවත පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද, ජූනි මස පැවැත්වීමට නියමිත විභාග අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන තිබූ තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව ද රජය ප්‍රකාශ කොට ඇත.

    මේ අතර  ප්‍රංශය තුළ කොරෝනා වෛරසයෙන් වඩාත්ම බලපෑමට ලක්ව පවතින ලා කුර්නුව් ( La Courneuve )  යන ප්‍රදේශයෙහි පවතින සෞඛ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරිත්වය සඳහා වූ මධ‍යස්ථානයක්  නිරීක්ෂනය කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන් ( Emmanuel Macron ) ඊයේ සවස ගොස් තිබුණි.

    එම අවස්ථාවේ දී ඔහු සහ ජනයා අතර සමීප සම්බන්ධයක් පැවැති නමුත්, ඔහු කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට පියවර ගෙන නොතිබුණි. 

    මේ පිළිබඳව ප්‍රංශ ජන මාධ්‍ය දැඩි ප්‍රහාරාත්ම විවේචනයක් ජනාධිපතිවරයාට  එරෙහිව එල්ළ කරන අයුරු දකින්නට තිබුණි

    සුනිල් ගමිණී – ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන්

    ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාෙව් සුළු පහළ යාමක්

    පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයේ දෛනික කොරෝන වෛරස් මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 757ක් මිය ගොස් ඇත. නමුත් මරණ අනුපාතය සමානුපාතිකව දිනෙන් දින ඉහළ යාමේ වේගය සුළු වශයෙන් අඩු වූ බව ස්පාඤ්ඤය අමාත්‍යාංශය පවසයි.

    කොරෝන වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදු වූ මරණ සංඛ්‍යාව 14,555 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි. මුළු මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දෛනික වැඩිවීම සියයට 5.5 ක් වූ අතර එය පෙර දින පැවති සියයට 5.7ක අගයට වඩා 0.2ක පහළ යාමකි.

    ඕස්ට්‍රේලියාව දැවැන්ත උත්තේජක පැකේජයක් අනුමත කරයි 

    කොරෝන වෛරස් වසංගතයෙන් ඇති වන ආර්ථික පීඩනයෙන් මිදීම සඳහා ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 130ක දැවැන්ත උත්තේජක පැකේජයක් අනුමත කරයි. ඒ අනුව අවම වශයෙන් ඉදිරි මාස හය සඳහා ඕස්ට්‍රේලියාවේ කොන්සර්වේටිව් රජය මිලියන හයක ජනතාවගේ වැටුප් සඳහා සහනාධාර ලබා දෙනු ඇත. මේ අනුව රැකියාව හෝ ආදායම්ඕ මාර්ග අහිමි වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,500 (ඩොලර් 928) සහනාධාරයක් හිමිවනු ඇති බවයි විදේස් මාධ්‍ය කියන්නේ.

    යුරෝපා සංගමයේ විද්‍යා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

    යුරෝපා පර්යේෂණ කවුන්සිලයේ ප්‍රධානී මවුරෝ ෆෙරාරි ඉල්ලා අස්වී ඇති බව යුරෝපා සංගමය තහවුරු කරයි. පසුගිය ජනවාරියේදී ඊආර්සී හි සභාපති ධුරයට පත්වූ මවුරෝ ෆෙරාරි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ යුරෝපා සංගමය වසංගතයට දැක්වූ ප්‍රතිචාරය ගැන තමා අතිශයින් කලකිරීමට පත්ව ඇති බවයි. 

    යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු වන ඊආර්සී අධීක්‍ෂණය කරන කණ්ඩායමේ විධායක නිලධාරියා ප්‍රකාශයක් කරමින් මවුරෝ ෆෙරාරි පසුගිය අඟහරුවාදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව සනාථ කළේය.

    “මහාචාර්ය ෆෙරාරි ඉල්ලා අස්වීම පිළිබඳව කොමිසම කනගාටු වන අතර, පෙර නොවූ විරූ අර්බුදයකදී යුරෝපා සංගම් පර්යේෂණයේ කාර්යභාරය ප්‍රධාන වේ.”යැයි ඔහු පැවසීය.

    ඉරානය පවසන්නේ කොරෝනා මරණ 4,000 කට ආසන්න බවයි

    ටෙහෙරානයේ කිරීටක වෛරස් රෝගයෙන් පෙළෙන රෝගීන් (COVID-19) ලබා ගැනීම සඳහා වෛද්‍ය ආධාර සේවකයෙකු සාප්පු සංකීර්ණයක ඇඳක් සකස් කර තිබේ.
    ඉරානයේ විශාලතම සාප්පු සංකීර්ණයක් කොරෝන වෛරස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත

    ඉරානයේ නව කොරෝන වෛරස් මරණ සංඛ්‍යාව 3,993 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ තවත් මරණ 121 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් මහතා ඉරාන රාජ්‍ය රූපවාහිනිය වෙත පැවසීය.

    “පසුගිය පැය 24 තුළ අපට නව ආසාදිත රෝගීන් 1,997 ක් පැමිණ තිබේ. ආසාදිත පුද්ගලයින් 3,956 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති” යනුවෙන් කියුනුෂ් ජහාන්පූර් මහතා පැවසීය.

    මේ අතර කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සදහා ස්ථාවර ණය” ඩොලර් බිලියන 5ක් තම රටට ලබා දෙන ලෙස ඉරාන ජනාධිපති හසන් රුහානි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබේ.

    “මම ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ රාජකාරි ඉටු කරන ලෙසයි. අපි ජාමූඅ හි සාමාජිකයෙක්. ණය ලබා දීමේදී කිසිදු වෙනස්කම් කිරීමක් නොකළ යුතුයි” යැයි රුහානි රූපවාහිනී කැබිනට් රැස්වීමකදී පැවසීය.

    මාර්තු 12 වන දින ඉරානය නිවේදනය කළේ එවකට ලෝකයේ මාරාන්තික COVID-19 පුපුරායාමට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ඉල්ලා ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛනවලට අනුව 1960 සිට 1962 දක්වා කාලය තුළ නිකුත් කරන ලද “ස්ථාවර ණය” වලින් ඉරානයට ජාමූඅ වෙතින් ආධාර ලැබී නොමැත.

    ඉරානයට එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක “ආර්ථික හා වෛද්‍ය ත්‍රස්තවාදය” ලෙස රුහානි විවේචනය කළේය.

    ටෝකියෝව දිනපතාම ආසාදන වැඩිවීමක් පෙන්නුම් කරයි

    ජපානයේ ටෝකියෝ නුවර කිරීටක වෛරස් රෝගය පැතිර යාමෙන් පසු අගනුවර හදිසි නීතිය රජය විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාන්‍ය පදිකයින් ෂිබුයා හරස් මාර්ගය තරණය කරයි.
    ටෝකියෝ හි කොරෝන වෛරස් රෝගය පැතිර යාමෙන් පසු රජය විසින් අගනුවර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදි.

    ජපානයේ ටෝකියා් අගනුවර කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 1339 ක් වන අතර රටපුරා ‍කොවිඩ්-19 ආසාදිතයින් 4768 ක් වාර්තා විය. බදාදා උදෑසන වන විට ජපානයේ මරණ 98ක් වාර්තා වූ බව ජපන් රාජ්‍ය ගුවන් විදුලිය පැවසීය.

    බොහෝ යුරෝපීය රටවලට හා එක්සත් ජනපදයට වඩා ජපානයේ ආසාදන සංඛ්‍යාව තවමත් ඉතා කුඩා වන නමුත් සමහර ප්‍රදේශවල ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම නිසා ටෝකියෝ, ඔසාකා සහ තවත් ප්‍රාන්ත පහක හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට අගමැති ෂින්සෝ අබේ පියවර ගත්තේය.

    රුසියාව වාර්තා කරන්නේ නව කොරෝන වෛරස් රෝගීන් දිනකට 1,175 කින් ඉහළ ගොස් ඇති බවයි

    මොස්කව්හි කොරෝනා වයිරස් රෝගීන් වැඩි වේ
    රුසියානු සෞඛ්‍ය නිලධාරීන් කොරොන වයිරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගියෙකු කොම්මුනාර්කා රෝහල වෙත ප්‍රවාහනය කරයි

    දෙවන දිනයටත් රුසියාවේ කොරෝන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1175 කට වඩා වැඩි වී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,672 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රුසියානු රජය අද (8) ප්‍රකාශ කළේය. රුසියාවේ කොරෝන මරණ සංඛ්‍යාව ද 63 දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

    ගෝලීය කොන්ඩම් හිඟයක් ඇතිවිය හැකියි

    කොරොන වෛරස් වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීම සහ සැපයුම් දාමයන් බිද වැටීම නිසා ගෝලීය වශයෙන් කොන්ඩම් හිඟයක් ඇති වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    අග්නිදිග ආසියාවේ ආසාදන ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ ලොව ඉහළම රබර් නිෂ්පාදකයෙකු සහ ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයෙකු වන මැලේසියාව පසුගිය මාසයේ දී රටපුරා අගුලු දැමීය.

    ගෝලීය වශයෙන් සෑම කොන්ඩම් පහෙන් එකක් (සියයට 20ක්නි) පදවන මැලේසියානු කරෙක්ස් සමාගමේ මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් ( මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා) කොන්ඩම් නිෂ්පාදනය මිලියන 200කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    “ලෝකය අනිවාර්යයෙන්ම කොන්ඩම් හිඟයක් දකිනු ඇත,” කරෙක්ස් ප්‍රධාන විධායක ගොහ් මියා කියට් පැවසීය. 

    “එය අභියෝගාත්මක ය, නමුත් අපි දැන් අපට හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කරමු. එය අනිවාර්යයෙන්ම ප්‍රධාන කරුණකි – කොන්ඩම් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණයකි.”ගොහ් මියා කියට් වැඩි දුරටත් පැවසීය. 

    ට්විටර් ඩොලර් බිලියනයක අරමුදලක් සකසයි

    ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි, COVID-19 වසංගතය සඳහා වන ගෝලීය සහන සේවා සඳහා පරිත්‍යාගශීලී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියනයක කොටස් වෙන් කර තිබේ.

    ස්ටෝර්ට් ස්මාල් නමින් නව ව්‍යාපාරය ට්වීට් මාලාවකින් ප්‍රකාශයට පත් කළ ඩෝර්සි, මෙම දායකත්වය ඔහුගේ ධනයෙන් සියයට 28 ක් බව පැවසීය. 

    කුඩා ආරම්භය COVID-19 වැඩ වලට පමණක් සීමා නොවේ. “අපි මෙම වසංගතය නිරායුධ කළ පසු, සංවිධානය සිය අවධානය ගැහැණු ළමයින්ගේ සෞඛ්‍යය හා පර්යේෂණ කෙරෙහි විශ්වීය මූලික ආදායම වෙත යොමු කරනු ඇත, සියලු පුරවැසියන් සඳහා අවම ආදායමක් රජයන් විසින් සහතික කළ යුතුය යන අදහස අපට ඇත‘‘ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි පැවසීය.

    මාස දෙකක වසා දැමීමෙන් පසු වුහාන් ගමන් තහනම ඉවත් කරන ලදි

    පසුගිය වසරේ අගභාගයේදී කොරෝන වෛරසය ප්‍රථම වරට මතුවූ චීන නගරය වන වුහාන් සිට ගමන් තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය. වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා පියවර මාලාවක කොටසක් ලෙස ජනවාරි මස අග සිට නගරය දැඩි නිරෝධායනයක යෙදී සිටී.

    මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් නව කොරෝන වෛරසය පිළිබඳ නව තහවුරු කිරීම් 62ක් වාර්තා කර ඇති අතර, ඒවා සියල්ලම පාහේ විදේශගතව සිටින පුද්ගලයින් බව සදහන් වේ. චීන සෞඛ්‍ය අධිකාරිය අඟහරුවාදා වන විට වාර්තා 1042ක් වන නව ආසාදිතයින් විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ය. මේ දක්වා චීනය තුළ තහවුරු කර ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 81,802 කි.

    චයිනා වුහාන්
    මාස දෙකකට පසු හුවාන් සිට පළමු අධිවේගී දුම්රිය පිටත් වීමට සූදානම්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අගවයි

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ප්‍රතිචාරය විවේචනය කර තිබේ. එහිදී ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන හිතවාදී ප්‍රවේශයක් අනුගමනය කළ බවයි. ඇමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අධාර කපා හරින බවට ද ට්‍රම්ප් අනතුරු ඇගයීය.

    කොරෝන වෛරසය – ගෝලීය ආසාදන සහ මරණ – 2020/04/08 දිනට

    එක්සත් ජනපදය – රෝගීන් 399,929 ක්, මරණ 12,911 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 146,690 ක් , මරණ 14,555  ක්
    ඉතාලිය – රෝගීන් 135,586 ක්, මරණ 17,127 ක්
    ප්‍රංශය – රෝගීන් 110,070 ක්, මරණ 10,343 ක් 
    ජර්මනිය – රෝගීන් 107,663 ක්, මරණ 2,016 ක්
    චීනය –   රෝගීන් 82,809 ක් ,   මරණ 3,337 ක් 
    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 64,586 ක්, මරණ 3,993 ක් 
    එක්සත් රාජධානිය –  රෝගීන්  55,957 , මරණ 6,171
    තුර්කිය – රෝගීන් 34,109 ක්, මරණ 725 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 22,789 ක් , මරණ 858 ක්
    බෙල්ජියම – රෝගීන් 23,403 ක්, මරණ 2,240 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 20,678 ක්, මරණ 2,255 ක්
    කැනඩාව – රෝගීන් 17,897 ක්, මරණ 381 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,852 ක්, මරණ 273 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,384 ක්, මරණ 200 ක්
    රුසියාව – රෝගීන් 8,672 ක්, මරණ 63 ක් 

    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,010 ක්, මරණ 50 ක්

    ඉන්දියාවේ රෝගීන් 5,480 ක්, මරණ 164 ක් 

    ජපානය – රෝගීන් 4,257 ක්, මරණ 93 ක්
    මැලේසියාව – රෝගීන් 4,119 ක්, මරණ 65 ක්
    පකිස්ථානය – රෝගීන් 4,072 ක්, මරණ 58 ක්

    සෞදි අරාබිය – රෝගීන් 2,932 ක්, මරණ 41 ක්

    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,359 ක්, මරණ 12 ක්
    කටාර් – රෝගීන් 2,057 ක්, මරණ 6 ක්

    සිංගප්පූරුව – රෝගීන් 1,623 ක්, මරණ 6 ක්  

    කුවේට් – රෝගීන 855, 1 මරණය 
    බහරේනය – රෝගීන් 821 ක්, මරණ 5 ක්

    ඕමානය – රෝගීන් 419 ක්, මරණ 2 ක්

    අල් ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි