Tag: featured

  • කොරෝනා ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගන්න හිටපු ඇමැති රවී නිසි මග කියා දෙයි

    කොරෝනා ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගන්න හිටපු ඇමැති රවී නිසි මග කියා දෙයි

    කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සහ දේශීය වශයෙන් සිදුවන ආර්ථික අර්බුදය සහ සමාජයීය අර්බුද කළමනාකරණය කර ගැනීමට ගත යුතු උපායමාර්ග සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් යෝජනාවලියක් සම්පාදනය කර ඇත.

    රවී කරුණානායක මහතා මෙම යෝජනාවලිය ‘රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව’ නමින් අද (6) මාධ්‍ය වෙත නිකුත් කළ අතර එය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව ! 

    පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සුබවාදී තත්ත්වයක් කරා අපේ මාතෘ භුමිය යොමු කරවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි අවධාදානය යොමු කිරීම කාලීන වූ අවශ්‍යතාවයකි.

    රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් රට වැසියන්ගේ දෛනික ජීවිතයට බාධා ඇති වී තිබෙන අතර ජීවත්වීමේ ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු වී තිබේ.

    මෙවැනි අර්බුද මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන පිළිබඳව සාකච්ඡා කිරීම අද දවසේ මූලිකම කාරණය බව මම සිතමි. එමෙන්ම මෙම අයහපත් පසුබිම මත මතුව ඇති අධ්‍යාපන සහ  ආර්ථිකමය ගැටලු සාකච්ඡා කිරීම කෙරෙහි දෙවනුව අවධානය යොමු කළ යුතු වේ. 

    සෞඛ්‍ය ක්ෂේත්‍රය ! 

    මෙම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සහ මෙම වෛරස ආසාදිත තත්ත්වය ශ්‍රී ලාංකික ජන සමාජයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කිරීම ප්‍රමුඛතම කාරණය විය යුතුය. මේ වන විට වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග යම් තරමක් යහපත් වුව ද දේශීය සේම ජාත්‍යන්තර වශයෙන් COVID -19  වෛරසය ආසාදිතයන්ගේ දත්ත විමසීමේදී සතුටුදායක මට්ටමක් අත්පත් කර ගැනීමට අපට හැකියාවක් ලැබී නොමැති නමුත් රජය විසින් සෞඛ්‍යය අංශය වෙත දැඩි අවධානයක් මේ අවස්ථාවේදී යොමු කර ඇති බව පෙනේ. 

    එහෙත් තව දුරටත් සෞඛ්‍යය අංශය සඳහා කළ යුතු රාජ්‍ය වියදම් වැඩි කිරිමට අප පසුබට නොවිය යුතුය. මෙලෙස වැඩි කරන වියදම රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම වගේම පර්යේෂණ යන්ත්‍ර, තාක්ෂණික උපකරණ සහ ශ්වසන යන්න්‍ර මිලදී ගැනීමට පමණක් නොව මුව ආවරණ සැපයීම, සෞඛ්‍යය කටයුතු, සනීපාරක්‍ෂක කටයුතු සහ ප්‍රවාහන වියදම් ආදිය ආවරණය කිරීම සදහා ද යොදා ගත යුතුය. එමෙන්ම විශාල පිරිසකට එකවර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට හැකි වන අයුරින් අපගේ සෞඛ්‍යය අංශය සූදානම් කළ යුතුය.

    එපමණක් නොව මෙම වසංගතය හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන රෝග විනිශ්චය කර ගැනීමේ පරීක්ෂාවන් කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා වෛද්‍ය සහ සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ද සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය වේගවත් කළ යුතු වේ. ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙළ සඳහා  කාර්යක්ෂම, සාධාරණ සේම සියලු දෙනාට පිළි ගත හැකි විනිවිධභාවයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් කළ යුතු අතර එම වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතුම වේ. 

    සෞඛ්‍යය අංශයේ විශේෂඥ දැනුමක් ඇති ප්‍රාමාණිකයන්ගේ උපදෙස් අනුවම සමාජ දුරස්ථකරණය වෙනුවෙන් අවශ්‍ය නියමයන් සහ නියෝග ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිමට රජය ක්‍රියා කළ යුතු වේ. ජන සමාජයේ ඉදිරියේදී මතු විය හැකි විවිධාකාර සමාජ ගැටලු සහ මානසික කම්පනයන්ට ද මුහුණ දිමට හැකි අයුරින්  රජය සූදානම් කිරීමේ වගකීම ද අප සතුය.  

    අධ්‍යාපන ක්ෂේත්‍රය ! 

    වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කරන සමාජ දුරස්ථකරණය,ඇඳිරි නීතිය සහ අධ්‍යාපන ආයතන වසා තැබීම ආදී අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ග මත අධ්‍යාපන කටයුතු ද කඩා වැටී ඇත. මේ හේතුවෙන් විශ්ව විද්‍යාල,උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ 5 වසර ඇතුළු සමස්ථ සිසු දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ඔවුන් මානසික ආතතියට, පීඩනයට සේම මානසික අවපාතයකට පත් වීමේ අවදානමක් තිබෙන නිසාය. 

    රූපවහිනිය සහ නවීන තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අදාළ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න රජය ප්‍රධාන අධ්‍යාපන බලධාරීන් උත්සහ කරමින් සිටින අතර එම උත්සාහයන් අගය කළ යුතුය.කෙසේ නමුත් රූපවාහිනියක් තබා විදුලි ආලෝකයවත් නොමැතිව කුප්පි ලාම්පුවෙන් අකුරු කරන අන්ත අසරණ සහ දිළිඳු දරු දැරියන් විශාල ප්‍රමාණයක් අපේ රටේ තවමත් සිටිති.

    මෙම වසංගතය හේතුවෙන් එම දරු දැරියන්ට රුපවාහිනියක් තිබෙන අසල්වැසි නිවසකට හෝ ගොස් එම අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී විය නොහැකිය. එමනිසා සිසු දරු දැරියන්ගේ මානසිකත්වය සේම රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වඩාත්ම ප්‍රායෝගික වන්නේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්වය ඇතුළු විභාග කල් දැමීමය.

    එසේ නොමැතිව උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග, නියමිත පරිදි 2020 අගෝස්තු මාසයේදීම පැවැත් විය යුතු යැයි රජය සහ අධ්‍යාපන බලධාරීන් සිතන්නේ නම් අදාළ විෂය නිර්දේශ මාලාවේ මේ මොහොත වන විට ආවරණය කර ඇති කොටස්වලින් පමණක් එම විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙසට ප්‍රශ්න පත්‍ර සකසන  මණ්ඩලවලට අදාළ බලධාරීන් උපදෙස් දිය යුතුය. 

    ආර්ථික ක්ෂේත්‍රය ! 

    පවතින ආර්ථික තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගනිමින් ආර්ථික අභියෝග ජය ගැනිම සදහා නිර්මාණාත්මක විසදුම් සොයා ගත යුතු වේ. එවැනි ආර්ථික අභියෝග කිහිපයක් පමණක් සිහිපත් කිරිමට ද මේ මොහොත අවස්ථාවක් කර ගනිමි.  

    අප හමුවේ ඇති ආර්ථික අභියෝග ! 

    ජනතාව දුරස්ථ කිරීමේ සහ හුදෙකලා කිරීමේ තත්ත්වය මත ඉල්ලුම අඩුවීම හෙවත් ඉල්ලුම් කම්පන ද, ලොව වටා ඇති සැපයුම් ජාලයන් බිඳ වැටීම හරහා සැපයුම අඩුවීම හෙවත් සැපයුම් කම්පන ද ඇති වී තිබෙන අතර ඊට සමගාමීව ලෝකය හමුවේ මේ වන විට උග්‍ර මූල්‍ය අර්බුදයක් ද ඇති වෙමින් පවති.

    මේ පසුබිම යටතේ උග්‍ර ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීම වැළැක්විය නොහැකි අතර දැනට කර ඇති පුරෝකථනයන්ට අනුව ගෝලීය ආර්ථික වර්ධනය 01%ත් 02%ත් අතර ප්‍රමාණයකින් පහළ වැටීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ වෙළඳ පොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපීය රටවල් සහ චීනය ආදී රටවල ජාතික ආර්ථිකයන් කොරෝනා වසංගතය හමුවේ මේ වන විට විශාල ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටියි.

    2020 වර්ෂයේ මුල් කාර්තුවේ දී චීන ආර්ථිකයේ, ආර්ථික වර්ධනය 05%කින් පමණ පහළ ගොස් ඇති අතර එම තත්ත්වයන් මත අප රටට ද බලපෑම් සිදු විය හැකිය.මේ වන විටත් රටේ සමස්ත නිෂ්පාදනය, බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ වෙළෙඳ ජාලයන් මුළුමනින්ම බිඳ වැටී ඇති අතර බැංකු සහ මුල්‍ය සේවා, රක්ෂණ, හෝටල් ආදී සේවාවන් ද අඩපණ වී ඇති නිසා මෙම වර්ෂයේ මුල් කාර්තුවල ඍණ ආර්ථික වෘද්ධියක් ඇතිවීමේ අවදානමකට ද අප මුහුණ දී සිටියි.   

    ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිමේදී පවතින තත්ත්වය මත අපනයන නිෂ්පාදනයට ඍජු  බලපෑමක් එල්ල විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ඇඟළුම්  ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති අතර එම අංශය ආශ්‍රිතව විරැකියා තත්ත්වයක්ද නිර්මාණය විය හැකිය. එමෙන්ම ඍජු  විදේශ ආයෝජන ගලා ඒම පැහැදිළි ලෙස අඩු වනු ඇත.

    රටේ කොටස් වෙළෙඳ පොළ මේ වන විටත් වසා තැබීම නිසා ඉදිරියටත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක් පැවතිය හැකි අතර ඒ හේතුවෙන් කලඹ  ආයොජන ද සීමා වනු ඇත. එමෙන්ම විදේශ ප්‍රාග්ධන ගලනයක් (ආපසු යාමක්) ද බලාපොරොත්තු විය යුතුය. නව කෙරෝනා වෛරසය හේතුවෙන් මැදි ආදායම් ලබන රටවල් අතරින් දැඩි අවදානම් සහිත මැදි ආදායම් රටක් ලෙස ශ්‍රි ලංකාව මේ වන විටත් හඳුනා ගෙන තිබේ.

    අපගේ සංචාරක කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම් මාර්ග උපයන අංශය වන හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදි අංශ රැසක් මේ වන විටත් අභියෝගයට ලක් වී තිබේ. කෘෂිකාර්මික අංශයේ ඇතැම් ආර්ථික කටයුතු තවමත් සිදු වන නමුත් පවතින තත්ත්වය මත එම ආර්ථික කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි.

    නිමැයුම් කර්මාන්තයේ සහ සිල්ලර වෙළෙදාම් කටයුතු ද දැනට ක්‍රියාත්මක වන්නා වූ සමාජ දුරස්ථකරණ ක්‍රියාදාමය සේම ඇදිරි නීතී තත්ත්වය මත ප්‍රයෝගිකව සිදු කර ගෙන යාම අසීරු වී ඇත. දේශීය සහ විදේශීය වශයෙන් මෙම කර්මාන්ත සදහා අවශ්‍ය වන සැපයුම් ජාල බිද වැටීම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ කාර්යසාධනය ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇත. 

    දුප්පතුන්, දෛනික වැටුප් උපයන්නන්, විරැකියාවෙන් පෙළෙන්නන් සහ අවිධිමත් ආර්ථික ක්‍රියාවන්හි නිරතවන්නන්ගේ ජීවනෝපායන් ඇණහිටීමත් සමඟම පවතින තත්ත්වය තව දුරටත් අසතුටුදායක වනු ඇති අතර සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ද මෙම තත්ත්වය මත බරපතළ  අභියෝගයන්ට ලක් විම වැළක්වීය හැකි නොවේ. 

    ගත යුතු පියවර, උත්තේජනයන් සහ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ! 

    පවතින තත්ත්වයන් සමනය කිරීම සඳහා රජය යම් යම් පියවර ගණනාවක් ගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ද ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය අඩු කිරීමට යොමු වී ඇති අතර මූල්‍ය අංශයේ ආයතන සහ මහජනයා මුහුණ දෙන අර්බුද සමනය කිරීමට උත්සාහ දරමින් සිටියි.

    රජය විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත, සංචාරක කර්මාන්තය වගේම ඒ ආශ්‍රිත අංශ නගා සිටුවීම සඳහා ණය සහනයන් ලබා දීමට ක්‍රියා කර ඇත. එමෙන්ම ස්වයං රැකියාවල නිරතවන්නන් සේම ක්ෂද්‍ර මූල්‍ය ණය අංශයට ද බලපාන ලෙස ණය සහන ප්‍රකාශයටපත් කර ඇත. 

    කෙසේ නමුත් රජය ක්‍රියාවට නංවා තිබෙන මෙම සහන සහ උත්තේජන “පැකේජ” රටක් ජාතියක් ලෙස අප මුහුණ දී ඇති අර්බුදයේ බැරෑරුම් තත්ත්වයට අනුව  ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. 

    ■ ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස වසංගත තත්ත්වය මත පීඩාවට පත් දුප්පතුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, අවිධිමත් රැකියාවන්හී නිරත පිරිස, දෛනික වැටුප් උපයන පිරිස වගේම කෘෂිකර්මයේ සහ ධීවර කර්මාන්තයේ යෙදී සිටින අය ඇතුළු සමස්ත   ප්‍රජාව ආවරණය වන පරිදි සහන ලබා දීම කළ යුතු වේ. 

    සමෘද්ධි ලාභීන් සඳහා (මිලියන 1.8ක් පමණ) රජය රුපියල් 10,000ක් ලබා දෙන බව පැවසුව ද, එම මුදලින් යම් ප්‍රමාණයක් සමෘද්ධි බැංකු මගින් රඳවා ගනු ලබන අතර මේ අවස්ථාවේදී එසේ නොකළ යුතුය. මේ අතර රජය, දුප්පත් එහෙත් සමෘද්ධි නොමැති පුද්ගලයින් සඳහා ( 600 339) රුපියල් 5000ක ණයක් ලබාදීමට තීරණය කර තිබුණ ද එම ණය මුදල ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.  

    ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත  60%ක් (මිලියන 4.7ක්) පමණ වන සිටිති. විශේෂයෙන් මෙහිදී දැඩි ආර්ථික සුනාමියකට,පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී ඇති කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ත්‍රී රෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරැයි අලෙවිකරුවන්, “වඩේ-කඩල-රට කජු” ආදිය අලෙවි කරන්නන්, කෑම පාර්සල් ඇතුළු ආහාරපාන ගෘහස්ථව සකස් කර අලෙවි කරන්නන්, “බුලත් විට-තැඹිලි-පළතුරු” වෙළෙඳුන්, පාසල් මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටින්නන්, බාබර් සාප්පු කරුවන්, ඇඳුම් මසන්නන්, පාවහන් අලුත් වැඩියා කරන්නන්, බස් රථවලට නැගී “පොත්පත්-හඳුන්කූරු-කපුරු බෝල-රස කැවිලි” ආදිය අලෙවි කරන්නන් සේම ගොවීන් සහ ධීවරයින් ආදීහූ වෙති.   

    මෙම සියල්ලන් සදහා පවත්නා ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අඩුම වශයෙන් මසකට රුපියල් 20,000ක් වත් ලබා දිය යුතු යැයි යෝජනා කරමි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වී ඇති ප්‍රමාණයට සාපේක්ෂව රටේ ඉන්ධන මිල අඩු කිරීමක් මෙම වර්ෂයේදී  සිදු නොකරනු ඇති නිසා රට යථා තත්ත්වයට පත් වූ පසු මේ සහන සඳහා වැය වූ මුදලින් කොටසක් සොයා ගැනීමට රජයට  හැකියාව සහ අවස්ථාව තිබේ. 

    එමෙන්ම ග්‍රාමීයව ජීවත් වන දිළිඳු ජනයාගේ එදිනෙදා කෑම බීම ඇතුළු අත්‍යාවශ්‍ය බඩු මුට්ටු සපයා ගැනීම සඳහා සමාජ දුරස්ථකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන ලෙස ග්‍රාමීයව පවතින කුඩා කඩපිල් කිහිපයක්වත් විවෘත්ත කර තැබීමට යෝජනා කරමි. ඒ හරහා සිය හිතවත්කම් මත තාවකාලිකව ණයට හෝ අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ලබා ගැනීමට එම ජනයාට හැකියාවක් ලැබේ. එමගින් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවලදී දැනට මතු වන අනවශ්‍ය ඒකරාශීවීම් සහ ජන තදබදය වළක්වා ගත හැකි අතර ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යාමට ද අවස්ථාව උදා වේ.   

    ■ රාජ්‍ය සේවක සේවිකාවන් සඳහා (1,500,000 පමණ) රජය අප්‍රේල් මස වැටුප ගෙවන අතර එම වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. එමෙන්ම ත්‍රී රෝද රථ, ට්‍රැක්ටර්, පාසල් බස්-වෑන් රථ, මගී ප්‍රවාහන බස් රථ ආදියෙන් ප්‍රවාහන සේවා සපයමින් ස්වයං රැකියාවල යෙදී සිටින (1,500000 පමණ) මෝටර් රථ හිමියන් සිය යාන වාහන වෙනුවෙන් ගෙවීමට ඇති කල් බදු වාරික සඳහා සහන ලබාදීමක් ද සිදු කරයි.

    රටේ ආර්ථිකය යහපත් වී මෙම මෝටර් රථ හිමි ස්වයං රැකියා ලාභීන්ගේ ක්‍රය ශක්තිය තහවුරු වන තෙක් නැවත දැනුම් දෙන තුරු කල් බදු වාරික සඳහා සහනශීලී  කාල පරිච්ඡේදයක් හඳුන්වා දිය යුතු යැයි යෝජනා කරමි. එමන්ම සිය බැංකු ණය පත්වලට අදාළ (Credit Card) ගෙවීම් සිදු කිරීම සඳහා මෙම පිරිස ඇතුළු සියලු ජනයාට, පොදුවේ නිශ්චිත සහන කාල සීමාවක් ලබා දිය යුතු අතර ණය යළි අය කර ගැනීමේදී පොළිය සම්පූර්ණයෙන් කපා හැර මුදල පමණක් අය කර ගත යුතුය.

    මේ සහනය සියලුම බැංකු ණය පත් හිමියන්ට පොදුවේ ලබා දිය යුතු අතර ඒ සඳහා කිසිසේත්ම එම බැංකු ණය පත්වලට අදාළව නිශ්චිත ණය සීමාවක් නියම නොකළ යුතුය. මුළු රටම අගාදයට ඇද වැටී ඇති මේ මොහොතේ සිය බැංකු ණය පත් හිමියන් සඳහා කොන්දේසි විරහිතව මේ සහනය ලබා දීම රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල වගකීමක් වගේම යුතුකමක් වන අතර මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතුය.මෙහිදී බැංකු සහ මුල්‍ය ආයතනවලට යම් ද්‍රවශීලතා ගැටලුවක් මතු වන්නේ නම් එම ආයතන මුදවා ගැනීමේ සැලැස්මක් ද රජයට තිබිය යුතුය.   

    ■  එමෙන්ම පවතින තත්ත්වය මත සියලු ව්‍යාපාරික ආයතන ගෙවිය යුතු ණය සඳහා ද සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු අතර එම සහනය ද යම් කිසි ණය සීමාවකට යටත් නොකර පොදුවේ සියලු ණය ප්‍රමාණයන් සඳහා ලබා දිය යුතුය. 

    ■ උපයෝගිතා සේවාවන් වන විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් කිසිදු කපා හැරිමකින් තොරව මහජනයාට ලබාදිය යුතු අතර මෙවැනි සේවා සපයන  ආයතනයන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ. 

    ■ කෘෂිකාර්මික අංශය නගා සිටුවීම අරමුණු කර ගෙන කෘෂිකාර්මික ප්‍රජාව වගේම පොදු ජනතාව අතර ද, වගා කටයුතු සඳහා අභිප්‍රේරණයක් ඇති කරමින් මුළු රටම ආවරණය වන පරිදි මහ වගා සංග්‍රාමයකට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය. රජය මේ සඳහා බීජ වර්ග සහ පැල ලබාදීමේ වැඩ සටහනක් යෝජනා කළ ද ප්‍රයෝගික තලයේ දී එවැන්නක් දැක ගත නොහැකිය.

    එමෙන්ම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන ලෙස තේ වගා කටයුතු ද, කිරි නිෂ්පාදන සහ සත්ව පාලන ක්ෂේත්‍රය ද අකර්මන්‍ය නොවීමට වග බලා ගත යුතුවේ. සියලුම කෘෂි නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා  සහතික මිලකට මිල දී ගන්නා බවට රජය තහවුරු කළ යුතු අතර එවිට අස්වනු විකුණා ගැනීමේ ප්‍රශ්න සහ අතරමැදි ප්‍රශ්න ඇතුළු අර්බුද මතු නොවන නිසා කෘෂි නිෂ්පාදනය ඉහළ යනු ඇත. මේ වන විට ගොවියා මුහුණ දී ඇති බීජ සහ පොහොර ලබා ගැනීමේ ගැටලුව ඉක්මනින්ම විසඳීමට රජය මැදිහත් විය යුතු වේ. 

    මේ අනුව කෘෂිකාර්මික අංශය ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත බව ආර්ථිකය නඟා සිටුවීම සඳහා ප්‍රබල හේතු සාධකයක් වනු ඇති අතර මේ අනුව අල, ලූණු සහ මිරිස් වැනි කෘෂි භෝග සඳහා රටක් ජාතියක් ලෙස වාර්ෂිකව අපට වැය වන රුපියල් බිලියන 75 ඉක්ම වූ අධික මුදල් සම්භාරය ඉතිරි කර ගත හැකි වේ. 

    මෙම සැලසුම් කාර්යක්ෂම සහ සඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් වසරක් වැනි කාලයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇති අතර මේ ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත තත්ත්වය මත තව දුරටත් ආනයන සීමා කිරීම මගින් දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ ගැටලුව මග හරවා ගැනීමට හැකි අතර තවත් ආර්ථික වාසි රැසක් අත් පත් කර ගැනීමේ අවකාශය ඇත. 

    එමෙන්ම  කෘෂිකාර්මික අංශය සඳහා ලබා දෙන්නා වූ සියලු ණය මුදල් සඳහා පොළිය 03%ත් 04%ත් අතර මට්ටමකට සීමා කළ යුතු අතර ධීවර අංශය නඟා සිටුවීම සඳහා ද ඩීසල් සහනාධාරය ඇතුළු මෙකී සහන ක්‍රියාත්මක කළ යුතුය. 

    ■ රජයේ පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පවතින ආර්ථික සහ සමාජ පසුබිම මත රුපියල ස්ථායි තත්ත්වයේ පවත්වා ගැනීම වැදගත් වේ. අපනයන ඉහළ නංවා ආනයන තව දුරටත් සීමා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. බාහිර ණය සහන ලබා ගැනීමට යොමු වීමේදී “SDR” සංචිතය ලබා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කළ යුතුය.   

    COVID-19 වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සිය හදිසි අරමුදල් ක්‍රමවේද හරහා මැදි ආදායම් සහ පහළ ආදායම් ලබන රටවල් සඳහා අරමුදල් වෙන් කර ඇත. එම අරමුදල් ලබා ගැනීම සඳහා රටක් ලෙස අප විධිමත් සහ අර්ථවත් ක්‍රමවේද සකස් කළ යුතුය. වත්මන් තත්ත්වය මත පවතින සංචිත ප්‍රමාණවත් නොවීම සහ විදේශ සංක්‍රාමයන් නොලැබීම හේතුවෙන් උක්ත ක්‍රියාමාර්ග දූරදර්ශී සහ නිර්මාණාත්මකව ක්‍රියාවට නැංවිය යුතු වන්නේ ය. 

    ■ කොරෝනා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිම යටතේ අපගේ රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු කරුණකි. එම නිසා දැනට ප්‍රකාශ කර ඇති COVID -19 අරමුදල තව දුරටත් ශක්තිමත් කිරිම කළ යුතු වේ.

    2020 වර්ෂයේ දී අපට රුපියල් බිලියන 9000ක පමණ ණය ප්‍රමාණයක් ගෙවිය යුතු අතර මෙහි විදේශ ණය සේවා කරණ ගෙවීම් පමණක් ඩොලර් බිලියන 4.5ක් වේ. එයින් ද ඩොලර් බිලියන 2.8ක් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ගෙවීමට සිදුව තිබේ. එබැවින් බහු පාර්ශවීය සහ අනෙකුත් ආයතනයන්ගේ (IMF සහ China EXIM Bank වැනි ) ණය කොන්දේසි ලිහිල් කර ගැනිම සහ ණය ආපසු ගෙවීම සහනදායි ක්‍රමවේදයකට යළි සකස් කර ගැනිම සම්බන්ධයෙන් එම ආයතන සමග වහාම සාකච්ඡා ආරම්භ කළ යුතුය.

    එමෙන්ම ස්වායත්ත බැදුම්කර හරහා ගෙවීමට පවතින ණය සඳහා යම් සහනදායී වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමට ද ක්‍රියා කළ යුතු වේ.මේ සඳහා මිත්‍රශීලී රටවල සහය ලබා ගැනීමට ද හැකියාවක් ඇත.  

    ■ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී උද්ධමනය නොසලකා හරිමින් මූලික පොළී අනුපාතික අඩු කිරීමට මහ බැංකුවට සිදු වේ. මෙවැනි ක්‍රියා මාර්ගයන් හරහා ණය බර වැඩිවීම පාලනය කිරීමක් කළ හැකිය.

    සමස්ත ප්‍රජාව ආවරණය කරමින් සියලු සහන සහ උත්තේජන “පැකේජ” ක්‍රියාත්මක    කිරීම සඳහා නිශ්චිත අනුමැතීන් ලබා ගත යුතු අතර රාජ්‍ය වියදම් සම්බන්ධ දැනට පවත්නා අනුමැතිය  2020 අප්‍රේල් 30 වැනදා වන තෙක් වලංගු බවට ප්‍රකාශ වේ. එබැවින් පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුම උචිත පරිදි සංශෝධනය කර ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කරවමි. 

    ■ එමෙන්ම අපනයන නිෂ්පාදන ආයතන සුභවාදී මගකට යොමු කිරීම සඳහා බදු ව්‍යූහය ලිහිල් කළ යුතුය. බදු අඩු කිරිම සහ බදු වීරාම ලබා දීමටත් රජය උනන්දු විය යුතුය. මේ හරහා අපනයන නිෂ්පාදන ආයතන පුනරුදයකට ලක් වේ. විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් මෙම ආයතනවලට සහන මිලට ලබා දෙමින් ඔවුන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ. 

    ■ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රගමනයක් ද ඇති කළ යුතුය. ඒ සඳහා බදු අඩු කිරිම සහ බදු විරාම ලබා දිමටත් හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදී අංශ ලබා ගෙන ඇති ණය පියවා ගැනිමටත් රජය සහන සැලසිය යුතු අතර එම ණය සඳහා සහන සැලසීමේදී ද, නිශ්චිත ණය ප්‍රමාණයකට සහ සීමාවකට යටත්ව ක්‍රියා නොකර පොදුවේ සියලු ණය ලාභීන්ට එම සහනය ලබා දිය යුතුය. 

    රටත්  ජනතාවත් මුහුණ දී සිටින මේ බරපතළ ආර්ථික අභියෝගය ජය ගැනිම සදහා දේශපාලන පක්ෂ, පාට,ජාති සහ ආගම් ඇතුළු සියලු භේද පසෙක තැබිය යුතු බව තරයේ අවධාරණය කරමි. මෙවැනි බරපතළ ජාතික ව්‍යසනයකදී පවා අප ඒ ගැන නොතකා එකට එක්ව රටක් ජාතියක් ලෙස වැඩ නොකළහොත් සහ මේ අභියෝගය ජය ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාත්මක නොවුණහොත් අනාගත පරම්පරාව අපට ශාප කරනු නියතය.

    එබැවීන් ඉහතින් අවධාරණය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ සෙයින් වැදගත් වන අතර පොදු ජාතික ආර්ථික සැලැස්මක් මගින් COVID-19 හෙවත් මාරාන්තික නව  කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින අභියෝග රැසක් ජය ගැනිමට අපට හැකි වනු ඇත.

  • ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 178ක් : ලෝකයේ මරණ 69,572ක්

    ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 178ක් : ලෝකයේ මරණ 69,572ක්

    අද (6) දින කොව්ඩ් -19 ආසාදිතයින් දෙදෙනකු (2) වාර්තා වීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

    එහි වාර්තාවලට අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 257කි. මරණ සංඛ්‍යාව 05ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38 දෙනෙකි.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තා සදහන් කරන්නේ අද (6* දින තුළ ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,277,260ක් දක්වා ද මරණ සංඛ්‍යාව 69,572ක් දක්වා ද ඉහළ ගිය බවයි. අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 266,461කි.

    ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාව තව දුරටත් ඉතාලියෙන් වාර්තා වන අතර එහි රෝගීන් 128,948ක් සහ මරණ 15,887ක් වාර්තා වී ඇත. ස්පාඤ්ඤයේ රෝගීන් 131,646,ක් සහ මරණ 13,055ක් වාර්තාවේ.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අද දිනය අවසන් වන විට එහි ආසාදිතයින් සංඛ්‍යාව 337,638 ක් සහ මරණ 9,267ක් වශයෙන් වාර්තා විය. එංගලන්තයේ ආසාදිතයින් 51,608ක් සහ මරණ 5373ක් වාර්තා වී ඇත. ඉන්දියාව තුළ ආසාදිතයින් 4314ක් සහ මරණ 118ක් වාර්තා වී ඇත.

  • කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් කරන යෝජනා 05 මෙන්න

    කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් කරන යෝජනා 05 මෙන්න

    කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහි කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් අද (6) නිකුත් කළ එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    අතිගරු ජනාධිපතිතුමනි,

    වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත තත්වයක් පැන නැගීමට පෙර ලෝකයේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවාද අනුව 2020 වසර නව ලිබරල් ගෝලීය මූල්‍ය සහ ආර්ථික ව්‍යුහයේ බරපතල කඩා වැටීමක් සිදුවන වසරක් ලෙස ප්‍රබල පුරෝකතන ඉදිරිපත් විය. ඒ අනුව මෙම වසංගතයට අදාළ ගැඹුරු දේශපාලන සහ සමාජ ආර්ථික විග්‍රහයන් අනාගතයේදී ඉදිරිපත් වනු ඇත. එම ඉතිහාසය ලිවීමේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙම වසංගතයට මුහුණ දුන් ශක්තිමත් සහ ප්‍රශස්ථ ආකාරය පිළිබඳ විශේෂ සටහනක් ලියැවෙන බවට සැකයක් නැත.

    නමුත් පසුගිය සතියක කාලය තුළ වසංගත පාලන උපායමාර්ග පිළිබඳව පරස්පර විද්වත් මත ප්‍රකාශ වන බවක් දක්නට ඇත. ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වසංගත තත්වයක් තේරුම් ගැනීමේදී සහ විග්‍රහ කිරීමේදී ඊට අදාළ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සහ වසංගත රෝග විද්‍යාත්මක කරුණු මුල් වන බවට විවාදයක් නැත. එහෙත් වසංගත පාලන උපායමාර්ග තේරීමේදී දේශපාලන, සමාජ ආර්ථික, සංස්කෘතික, චර්යාමය සහ මනෝවිද්‍යාත්මක සාධක මුල්වන බව ප්‍රකට කරුණකි. චීනයේ වූහාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මිලියන 60ක ජනතාව “ ලොක්ඩවුන් ” කිරීමේ තීන්දුව විද්‍යාත්මක සාධක මත පදනම් වුවද ලෝකය විශ්මයට පත්කළ එම තින්දුව ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිනි.

    මෙවැනි තත්වයක් තුළ මෙතැන් පටන් මේ වන විට ගනු ලැබූ ප්‍රශස්ථ පියවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුත්තේ කෙසේදැයි මා විසින් පත් කරන ලද දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විමසන ලදී. එම කමිටුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමාගේ අවධානය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මහජනයාගේ දැනගැනීම පිණිස එය ජනමාධ්‍ය වෙත නිකුත් කරන බවද කරුණාවෙන් සැලකුව මැනවි. ඔබතුමාට තෙරුවන් සරණයි.

    මෙතැන් සිට කොරෝනා වසංගත පාලනය සඳහා ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කරන පස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය

    • සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇඳිරිනීතිය පැනවීම, දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමා පැනවීම සහ තෝරාගත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘‘ලොක් ඩවුන් ‘‘ හෙවත් වසා දැමීම ආදී පියවර රෝග පාලනයේ තීරණාත්මක සන්ධිස්ථානය ලඟා කරගන්නා තෙක් ලිහිල් නොකිරීම.
    • උපායමාර්ගිකව තීරණාත්මක සාධකයක් ලෙස සැක කටයුතු සියලු ස්පර්ශකයින් සහ නිරෝධානයට ලක්ව සිටින පිරිස් ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් සමාජය තුළ රෝගය පතුරුවන පිරිස් වහාම හදුනා ගැනීම සහ ප්‍රතිකාර ජාලයට ඇතුළු කර ගැනීම සඳහා ස්ක්‍රීනින් පරීක්ෂණ ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි කිරීම. උදාහරණයක් ලෙස අවම වශයෙන් දිනකට සිදු කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම.
    • ඉහත (02) උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන සමස්ථ ධාරිතාව මධ්‍යගත අධීක්ෂණ යාන්ත්‍රණයකට යටත්කොට අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීම. එම යන්ත්‍ර පද්ධතිය මගින් කිසිදු ගැටළුවක් නැතිව එක් දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි අතර අවශ්‍ය විශේෂඥ පිරිස් බලය වැඩිකර ගැනීම සඳහා එම යන්ත්‍ර භාවිතය පිළිබඳ විශේෂඥ දැනුම සහිත පශ්චාත් උපාධි සිසුන් සහ විශ්‍රාමික විද්වතුන් කැඳවිය හැක. (මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැපයුම් පිළිබඳව විධිමත්ව සොයා බලා ඒවා ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද පිහිටු විය යුතුය.)
    • යම් රෝග ලක්ෂණ පහළවීම නිසා හෝ තමා ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ අය සහ අසල්වැසියෙකු හෝ ඥාතියෙකු ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම 1ක් බැගින් ප්‍රධාන රෝහලක් ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම තව දුරටත් ස්පර්ශකයින් සොයා යාම අවශ්‍යවන අවස්ථාවල එම තොරතුරු මහජන සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය බුද්ධි අංශය වෙත ලබා දීම.

    ( එම මධ්‍යස්ථානය තුළ රෝගියෙකුට කළ යුතු දේ පිළිබඳව සහ රෝගය පිළිබඳ උපදෙස් දීම සහ අවශ්‍ය නම් කැඳවා පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීම, තොරතුරු විධිමත්ව ලේඛනගත කිරීම සහ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම යන වගකීම් ඉටු කිරීම සඳහා වන පහසුකම් නිසි ආරක්ෂණ ක්‍රමවේද සහිතව ලබා දිය යුතුය. )

    • ඉහත 03 උපාය මාර්ගය අනුව R.T RCR යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළුවලට විසඳුමක් ලෙස සහ අවශ්‍යතාව වැඩි වීමේ තත්වයන්ට මුහුණ දීම සඳහා දැනට වාණිජ මට්ටමින් යොදා ගනු ලබන “ Rapid test ” ලෙස හඳුන්වන විනාඩි 5 – 15 ත් අතර කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණ ක්‍රම  (02)ට අදාළ පරීක්ෂණ කට්ටල වහාම ආනයනය කිරීම සහ ඒ සඳහා රාජ්‍යයන් අතර ගනුදෙනුවක් ලෙස චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල්වලින් ඉල්ලීම් කිරීම. එම පරීක්ෂණ වර්ග දෙකෙන් එකක් PCR පරීක්ෂණයට විකල්පයක් වන  “ Antigen ” පරීක්ෂණයක් වන අතර අනෙක “ Antibody ” පරීක්ෂණයක් හෙවත් රුධිරයේ ප්‍රතිදේහ වර්ග දෙකක් පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇඟිල්ලක් විදීම මඟින් රුධිරය ලබා ගැනීම හරහා සිදුකරන මිල අඩු සරල රුධිර පරීක්ෂණයකි.

    ( එම දෙවන පරීක්ෂණය හෙවත් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විෂබීජ ශරීරගත වී දින 5-7 කාලයක් ගතවේ. එම නිසා එම පරීක්ෂණය අතුරු හෝ දෙවන පරීක්ෂණයක් ලෙස භාවිත කිරීමට හැක. )

  • Magnifica ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි

    Magnifica ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි

    ලෝකයේ කිසිදු වරායකින් භාර නොගත් එම්.එස්.සී මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මව් රටේ ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ක්‍රියා කරයි.

    MSC Magnifica නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 2,700ක් වූහ. ජනවාරි 05 වන දින ගමන් ආරම්භ කළ නෞකාව ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා ඕස්ට්‍රේලියාවේදී සංචාරය නතර කළේය. පවතින තත්ත්වය මත නෞකාව භාරගැනීම සියලුම වරාය ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් මව් ශාඛාව පිහිටි ඉතාලිය බලා ගමන් කරමින් සිටි නෞකාව ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට කොළඹ වරායට පැමිණෙමින් තිබිණ. නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ඉතාලියට යාමට පෙර තමා ශ්‍රී ලංකා මුහුදේ දී රටට භාරගන්නා ලෙස මුහුණු පොත මඟින් ඊයේ (05) ඉල්ලීමක් කළේය. එය දුටු ජනාධිපතිතුමා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට තරුණයා මෙරටට භාරගන්නා ලෙස උපදෙස් දුන්නේය.

    ඒ අනුව, ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය අද (06) අලුයම කොළඹ වරායට කිලෝමීටර් 09 ක් ඈතින් මුහුදු තීරයේදී අනුර බණ්ඩාර හේරත් මහතා තම භාරයට ගත්තේය. 75 වියැති ජර්මානු ජාතික කාන්තාවක ද ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා හදිසි ප්‍රතිචාර ඒකකය සහය විය.

    ගොඩබිමට රැගෙන පැමිණි අනුර බණ්ඩාර මහතා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් ජර්මානු ජාතික කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත යැවීමට පියවර ගත් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

  • Curfew Update: නවතම ඇඳිරි නීති නිවේදනය සම්පූර්ණයෙන්

    Curfew Update: නවතම ඇඳිරි නීති නිවේදනය සම්පූර්ණයෙන්

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

    අද, අප්‍රේල් 06 සඳුදා සිට 10, සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය.

    කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමග රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹි බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමේ සිට අත්‍යාවශ්‍ය සේවා බිඳ නොවැටී  දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට  සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ නිසා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකිවිය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වෛරසය ආසාධිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනාගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත  පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ. ඒ මගින් ආසාධිතයන් කල් තියා හඳුනාගැනීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිතුමා කියා සිටි.

    මධ්‍යස්ථාන 40ක නිරෝධායන කටයුතු සිදු කෙරේ. රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව වෛරසය පැතිරයාම වැළැක්වීමට ක්‍රියා කර ඇත. රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. 

    රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සමගි ජන බලවේගය සිය ප්‍රසාදය පළ කළ අතර දේශපාලන සහ වෙනත් බේදයකින් තොරව වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය විය.

    රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා  සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

    බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන එනු ලැබේ.

    සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා පැහැදිළි කළේය. පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    සමෘද්ධිලාභීන්ට අමතරව වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් ඇතුළුව ලක්ෂ 07කට අධික සංඛ්‍යාවකට රුපියල් 5,000/- දීමනාව කිසිදු බේදයකින් තොරව ලබාදීමට ක්‍රියා කර තිබේ. යම් අයෙකුට එය නොලැබී ඇත්නම් ග්‍රාම නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි අවස්ථාව සලසා දි ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳව ද රජයේ සහ සමගි ජන බලවේගයේ අවධානය යොමු කෙරිණ.

    රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු  ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මැදපෙරදිග රටවලට කොරෝනා අවධානමක් නැද්ද ? අලුත්ම සංඛ්‍යා මෙන්න…

    මැදපෙරදිග රටවලට කොරෝනා අවධානමක් නැද්ද ? අලුත්ම සංඛ්‍යා මෙන්න…

    කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා.

    ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන මැදපෙරදිග කලාපයේ කොරෝනා ආසාදන හා මරණ ගැන අපට තිබෙන්නේ අඩු දැනුමක් හා අවධානයක්. ඒත් යම් කිසි ආකාරයකින් මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගත තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකාවට ඍජුව බලපාන බව, විශෙෂයෙන් ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින නිසා මෙරට ග්‍රාමීය දුප්පත් මිනිස්සුන්ට දැවැන්ත බලපෑමක් වන බව අපි අමතක කරනවා.

    විශේෂයෙන් යම් ආකාරයකින් මැදපෙරදිග කොරෝනා අවධානම ඉහළ ගියහොත් එහි වැඩි බරක් දැරීමට සිදුවන්නේ අරාබියේ ගෘහ සේවිකාවන් හා සේවකයින් වශයෙන් සිටින අපේ කාන්තාවන්ට බව අප මතක තබා ගත යුතුයි.

    ඒත් දුප්පතුන් නිසාම හඩක් අහිමි ඔවුන් ගැන අපි දක්වන්නේ අඩු අවධානයක්. ඒ වගේම දෛවෝපගත ලෙස ඉරානයේ හැරුණු විට අනෙක් මැද පෙරදිග රටවල කොරෝන වසංගත තත්ත්වයක් මේ දක්වා දැකිය නොහැකියි.

    ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් මේ දක්වා (06 වන දින මධ්‍යාහනය) වාර්තා වී තිබෙන්නේ කොරෝනා මරණ 34ක් පමණයි. එහි ආසාදිතයින් සංඛ්‍යාව 2402ක් බවයි අල් ජසීරා මාධ්‍ය ආයතනය කියන්නේ. ඒ සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආසාදිතයින් 1799ක් සහ මරණ 10ක්, කටාරයෙන් ආසාදිතයින් 1604ක් සහ මරණ 4ක්, ඉරාකයෙන් ආසාදිතයින් 961ක් සහ මරණ 61ක්, බහරේනයෙන් ආසාදිතයින් 700ක් සහ මරණ 04ක්, ක්වේටයෙන් ආසාදිතයින් 556ක් සහ මරණ 01ක් වාර්තා වී තිබෙනවා.

    ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 

    තුර්කිය – රෝගීන් 27,069 ක්, මරණ 574 ක්

    ඊශ්‍රායලය- රෝගීන් 8,611 ක්, මරණ 51 ක්

    සෞදි අරාබිය – රෝගීන් 2,402 ක්, මරණ 34 ක්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ආසාදිතයින් 1,799 ක්, මරණ 10 ක්

    කටාර් – රෝගීන් 1,604 ක්, මරණ 4 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 1,320 ක්, මරණ 152 ක්

    ඊජිප්තුව – රෝගීන් 1,173 ක්, මරණ 78 ක්

    ඉරාකය – ආසාදිතයින් 961 ක්, මරණ 61 ක්
    මොරොක්කෝව – රෝගීන් 1,021 ක්, මරණ 70 ක්

    බහරේනය – ආසාදිතයින් 700 ක්, මරණ 4 ක්

    කුවේට් – ආසාදිතයින් 556, 1 මරණය

    ලෙබනනය – රෝගීන් 527 ක්, මරණ 18 ක්

    සයිප්‍රසය – රෝගීන් 446 ක්, මරණ 9 ක්

    ජෝර්දානය – නඩු 345 ක්, මරණ 5 ක්

    සිරියාව – රෝගීන් 19 ක්, මරණ 2 ක්

    අල් ජසීරා (06) වාර්තාවක් ඇසුරිණි

  • ජනපතිට ‘කොරෝනා’ යැයි fb post පළ කළ නර්තන ශිල්පිනියට වැඩ වරදී

    ජනපතිට ‘කොරෝනා’ යැයි fb post පළ කළ නර්තන ශිල්පිනියට වැඩ වරදී

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

  • ලෝකයේ Covid-19 නැති රටවල් 19ක්

    ලෝකයේ Covid-19 නැති රටවල් 19ක්

    එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බවත් ඉන් බහුතර ඔෂනියා (ඕස්ට්‍රේලියාව අවට මුහුදේ පිහිට) කලාපයේ රටවල් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    නව කොරෝනා වසංගතයෙන් මේ දක්වා බේරී ඇති රටවල් 19 වන්නේ කොමරෝස්, කිරිබර්ති, ‌ලෙසතෝ, මලාවි, මාර්ෂල් දූපත්, මයික්‍රොනීෂියා, නාවුරු දූපත්, උතුරු ‌කොරියාව, පලාවූ, සැමෝවා, සාවෝ ‌ටෝමේ ඇන්ඩ් ප්‍රින්සිපියා, ‌සොලමන් දූපත්, දකුණු සූඩානය, ටජිකිස්ථාන්, ‌ටොං‌ගෝ, ටර්ක්මෙනිස්තාන්, තුවාලුු, වනවාටු, ‌යේමනය එම රටවල් 19ය.

    උතුරු කොරියාවේ කොරෝනා ආසාදිතයින් නැතැයි වාර්තා වුවත් එරට සම්බන්ධ කිසිදු නිල වාර්තාවක් නොමැත. එහෙත් විශේෂඥයින් අනුමාන කරන්නේ එහි තත්ත්වය බරපතළ විය හැකි බවයි.

  • Covid-19: බි‍්‍රතාන්‍ය අගමැති රෝහල්ගත කරයි: ඉන්දියාවේ මරණ 109යි

    Covid-19: බි‍්‍රතාන්‍ය අගමැති රෝහල්ගත කරයි: ඉන්දියාවේ මරණ 109යි

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි.

    එහි සදහන් වන්නේ කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයේ සිටි අගමැතිවරයා වෛද්‍ය උපදෙස් මත පරීරීක්ෂණ සදහා ඊයේ (5) රාත්‍රියේදී රෝහල් ගත කළ බව අගමැති කාර්යාලය විසින් නිවේදනය කළ බවයි.

    කොරෝන වෛරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන්, හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ විශිෂ්ට සේවය තමන් නිරතුරුව අගයන බවද අගමැති බොරිස් ජොන්ස්න් ප්‍රකාශ කළ බව ද එරට අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පසුගිය27 වැනිදා තහවුරු කර ගත් අතර ඔහු නිල නිවසේ සිට ස්වයං නිරෝධායනයේ නිරත වූ නමුත් නිවසේ සිට රාජකාරි සිදු කිරීමටද අගමැතිවරයා පියවර ගත්තේය.

    ඉන්දියාව අවධානමේ

    කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියදීත් ඉන්දියාවේ කොව්ඩි -19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ මේ වන විට ඉන්දියාව තුළින් ආසාදිතයින් 4067ක් සහ මරණ 109ක් වාර්තා වී තිබෙන බවයි. 690/45ක් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් ද ආසාදිතයින් 571ක් සහ මරණ 05ක් වාර්තා වී තිබෙනවා.

  • සංචාරක ව්‍යාපාරය යළි නංවන්න කෙටි හා දිගුකාලීන සැලසුම් හදනවා – ප්‍රසන්න

    සංචාරක ව්‍යාපාරය යළි නංවන්න කෙටි හා දිගුකාලීන සැලසුම් හදනවා – ප්‍රසන්න

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපරය කඩා වැටී තිබේ. මේ නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුව අතිමහත්ය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ.

    රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහායි. එම මෙහෙයුම සාර්ථක වී වසංගතය මැඩ පැවැත්වූ වහාම මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. එහිදී සංචාරක කර්මාන්තය නැවත නංවාලීම සදහාද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන්ද මෙරට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිනි. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා විශේෂ පියවර රැසක් ගනු ලැබිනි. රටවල් 48 කට ලබා දී තිබූ වීසා නිදහස තවදුරටත් දීර්ඝ කිරීම, සංචාරක සංවර්ධන බද්ද අය කිරීම අත්හිටුවීම, හෝටල් හා වාහන හිමිකරුවන්ට සහන ලබා දීම එම පියවර වලින් කීපයකි. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් රටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනද වත්මන් රජය බලයට පත්වීමේන් පසු එය යථා තත්ත්වයට පත් වෙමින් තිබිනි.

    කෙසේ වෙතත් ලෝකයේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සංචාරක ව්‍යාපාරය නැවතත් කඩා වැටීමකට ලක් වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

    ඇමති ප්‍රසන්න රණතුංග  මහතා පෙන්වා දෙන්නේ රජය ඉතා හොදින් මේ තත්ත්වය වටහාගෙන ඇති බවයි. ඒ නිසා වත්මන් තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුවලට මුහුණපා සිටින අයට රුපියල් 5000 දීමනාවක් ලබා දීමට රජය කටයුතු කලේ ඒ නිසා බවද ඔහු පෙන්වා දෙයි. සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම සදහා ගත යුතු  දිගු කාලීන හා කෙටිකාලීන සැලසුම් හදුනාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ඇමතිවරයා කියා සීටී.

  • Covid-19: ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස

    Covid-19: ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස

    ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

    වික්ටර් අයිවන්

    කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.

    නූතන තාක්ෂණය හිමිකර ගෙන තිබෙන අතිවිශාල දියුණුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කෙරෙහි සේම ඒකාධිපති රටවල් කෙරෙහිද බලපා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මහජන යහපත හා දියුණුව සදහා යොදාගන්නා විට ඒකාධිපති පන්නයේ රටවල් ඊට අතිරේකව මහජනයා මත පවත්වාගෙන යන ඒකාධිපති බලය තරකර ගැනීම සඳහා ද තාක්ෂණික දියුණුව යොදා ගන්නවා.
    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පුරවැසියන්ගේ ආදායම්වලට අදාළ සියලු තොරතුරු එකතු කරන ලබන මුත් පුරවැසියන්ගේ පුද්ගල ජීවිතවලට අදාළ තොරතුරු එකතු කරන්නේ නැහැ.

    එහෙත් ඒකාධිපති රටවල් ඒ වර්ග දෙකටම අයත් තොරතුරු එකතු කරනවා. දුරකතන සංවාද පටිගත කරනවා. සමාජ ජාලා ඔස්සේ පළකරන අදහස් එකතු කරනවා. යන ගමන් බිමන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ සියලු දේවල් සිදුවන්නේ නවීන තාක්ෂණය යොදාගෙන. පුද්ගලයෙකුට අදාළ ඒ සියලු තොරතුරු ඒ පුද්ගලයා සඳහා පවත්වාගෙන යන විද්‍යුත් ගිණුමකට එකතු වෙනවා.

    චීනයට කොරෝනා මර්දනයේදී ආසාදිතයෙකු හමුවූ විට ඔහු සම්බන්ධකම් පැවැත්වූ සියලුදෙනා දැනගැනීමේ හැකියාව චීන බලධාරීන්ට තිබුණා. කොරෝනා මර්දනයේදී චීනයට තිබුණ වාසිය ප්‍රජාතන්ත්‍රවාදී රටවලට තිබුණේ නැහැ. චීනය පවත්වාගෙන ගිය ජනතා විරෝධී සම්ප්‍රදායක් මේ විශේෂ මොහොතේදී ඒ රටේ වාසියට හේතුවුණා. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවත්වාගෙන ගිය ජනතා හිතවාදී සම්ප්‍රදායක්. මේ මොහොතේදී අවාසියට හේතුවුණා. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් හොඳ බව ඉන් සනාථ වන්නේ නැහැ.

    මිනිසුන් මොනතරම් දියුණු වුණත් මිනිසුන්ට වහාම හෝ පසුව පාලනය කළ නොහැකි දේවල් තිබෙනවා. පරිසර පද්ධතියේ මහා වෙනස්කම් මනුෂ්‍ය වර්ගයා පළවීමට පෙර යුගවලත් සිදුවී තිබෙනවා.

    මනුෂ්‍ය වර්ගයා පහළ වී ඔහුගේ මොළය දියුණුවීමත් සමග ස්වභාව ධර්මයට හා පරිසරයට සවිඥානකව අභියෝග කරන එකම සත්ව වර්ගයා වුයේ මනුෂ්‍ය වර්ගයාය. මනුෂ්‍ය වර්ගයා අත්පත් කරගත් දියුණුව කෙරෙහි බලපෑවේද එම අරගලයයි. එය නොකඩවා ගලායන මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට දඬුවම් කරන, දීර්ඝ කාලයක් ඉවසා සිටීමෙන් පසු සමහර විට ශතවර්ෂයකට පමණ පසු.

    ස්වභාව ධර්මය විසින් මනුෂ්‍ය වර්ගයාට පෙරළා දඬුවම් කරන නිම නොවන ගැටුමක් ලෙසද සැලකිය හැකිය. මනුෂ්‍ය වර්ගයා එම අනවරත අරගලයේ ඇතැම් අවස්ථාවලදී පරිසරය හා ස්වභාව ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් කන් කෙඳිරි ගානු ඇතත් සියලුම මනුෂ්‍ය වර්ගයා කෙසේ වෙතත් අඩුම වශයෙන් සියයට දහයක්වත් පරිසරයේ හෝ ස්වභාව ධර්මයේ ආරක්ෂාව සඳහා ගල් යුගය කරා ආපස්සට යනු ඇතැයි සිතිය නොහැකිය.

    මේ මොහොතේ මනුෂය වර්ගයා මුහුණ දී සිටින්නේද ස්වභාව ධර්මය ශත වර්ෂයකට එක් වරක් සමස්ත මනුෂ්‍ය වර්ගයා අභියෝගයට ලක් කළ අවස්ථාවකය. සිය වසකට වරක් සිදුකරන එවැනි අභියෝගයක්දී සියලු සත්ව වර්ගයා අතරින් නිර්භීතම හා උද්ධච්චම සත්ව වර්ගයා ලෙස සැලකිය හැකි මිනිස් වර්ගයා භීතියට හා ත්‍රාසයට පත්වන අතර විශාල මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වනමුත් මනුෂ්‍ය වර්ගයා සමස්තයක් ලෙස විනාශ වන්නේ නැත. සිදුවන මහා විනාශයෙන් ඉතුරු වන අය ස්වභාව ධර්මයේ ආරක්ෂාව සදහා පරණ ගල් යුගයට යන්නේද නැත.

    දැන් ලංකාවේ අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ එම අර්බුදයටය. කොරෝනා අර්බුදයට පෙරත් ලංකාව තිබුණේ ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය. කොරෝනා වසංගත තත්ත්වය නිසා දැන් අප ඉන්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය.

    ලංකාව දේවල් බලන විදියේ අවුලක් පවතී. ලෝකයේ ඕනෑම රටක් රෝහල් ක්‍රමය සකස් කරන්නේ රටක ජනගහනයෙන් විවිධ හේතු මත ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාාව ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන ප්‍රමාණයකටය. කවදා හෝ කිසියම් අවස්ථාවක සමස්ත ජනගහනය හෝ ඉන් බාගයක් හෝ කාලක් රෝහල් ගතකිරීමට සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන රෝහල් පද්ධතියක් හා සුව සේවක පද්ධතියක් ඇති කරන්නේ නැත.

    ධනවාදී ක්‍රමයක් යටතේ ඇති නොකරනවා සේ ම සමාජවාදී හෝ රදළ වැඩවවසම් ක්‍රමයක් යටතේද ඇති කරන්නේ නැත. ඕනෑම රටක (ධනවාදී සමාජවාදී හෝ වෙනත්) දොස්තරවරුන් සිටිය හැක්කේ ජනගහණයේ දාහකට 5ත් දෙකක් අතර ගණනකි. මොනම රටක්වත් මොනම ක්‍රමයක් යටතේවත් ජනගහණයේ 1000කට දොස්තරවරුන් 50ක් හදන්නේ නැත. ICU ඇඳන් තිබෙන්නේද ජනගහණයෙන් ලක්ෂයකට ඇඳන් 30ත් 5ත් අතර ගණනකි.

    ඉතාමත් කලාතුරකින් සමහර ශත වර්ෂයකට වරක් ඇතිවන වසංගත තත්ත්වයක් නිසා පිළිගත් ඇස්තමේන්තු කිහිප ගුණයකින් ඉක්මවා ගිය ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ඇතිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයක් නොව අසාමාන්‍ය තත්ත්වයකි. දැන් අපේ රට සේ ම සියලු රටවල් මුහුණ දී තිබෙන්නේ එවැනි අර්බුදයකටය. එවැනි අර්බුදයක් ක්‍රමයේ අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. කුමන ක්‍රමයක් තුබුණද මෙවැනි අතිවිශේෂ අවස්ථාවකදී අර්බුදයට යන්නේය.

    ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

    වෛරසය සුව කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ ගැනද ලංකාවට තිබෙන්නේ සුරංගනා කතාය. වෛරසය මර්දනය කිරීම සඳහා Avigan පෙති 5000ක් ලංකාවට වහාම ලබා ගැනීමට ජපානය කැමති කරවා ගත් බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව සිදුවන්නක් බවද තවත් තැනක ප්‍රකාශ වී තිබුණි. චීනයට වෛරසය ජයගැනීමට හැකිවූයේ එම ඖෂධය නිසා බව කියන වාර්තාද පළවී තිබුණි.

    ජපන් සමාගමක් විසින් (Fuji Flim joyama Chemicals) 2014 වසරේදී නිපදවා තිබෙන Avigan නැමති ඖෂධ පෙත්ත නිපදවා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග සඳහාය එය කහ උණ හා ඉබෝලා උණ සඳහා පාවිච්චි කර තිබේ.

    එය වෙනත් ඖෂධ සමග කොරෝනාවලට ප්‍රතිකාර කිරීම සඳහා සාර්ථක ලෙස යොදාගත් බව චීනය ප්‍රකාශ කර ඇතත් ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා අසාදිතයින් හැත්තෑවක් පදනම් කරගත් සායන පරීක්ෂණයක් කර ඇතත්, සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැති බවය.

    ලංකාවට පෙර ඉන්දුනීසියාව මෙම ඖෂධය කොරෝනා මර්දනය සඳහා යොදාගෙන ඇතත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හැකිවී නැත.

    කියුබාව නිපදවා තිබෙන Intagarferon Alfa- 2B යන ඖෂධය ගැන සේ ම කියුබාව ඒ මගින් කොරෝනාව ජයගත් බව කියන කතාද නිවැරදි නැත. මෙම ඖෂධ විශේෂ දෙක සමග කොරෝනා සඳහා සොයාගත් ඖෂධ ගණනාවක්ම තිබෙන්නේ සායන පරීක්ෂණවලට ලක්වෙමින් තිබෙන තත්ත්වයකය. තවමත් කොරෝනාවලට ඖෂධයක් සොයාගෙන නැත.

    කියුබාව කොරෝනාව ජය ගත් රටක් ලෙස හැඳින්වීමද වැරදිය. කියුබාවට වසංගතය එන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය. මාර්තු 11 වැනිදා පළමු අසාදිතයා හමුවී තිබෙන අතර මාර්තු 24 වැනිදා වන විට අසාදිතයින්ගේ සංඛ්‍යාව 40 දක්වා වර්ධනය වී තිබෙන අතර පළමු මරණය සිදුවී තිබෙන්නේද එදිනය.

  • නුහුරු නුපුරුදු අයටත් ගොවිතැන් කලයුතු කාලය ඇවිත්

    නුහුරු නුපුරුදු අයටත් ගොවිතැන් කලයුතු කාලය ඇවිත්

    කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු

    දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

    වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින කරන්නක් පමණක්ම නොව ඒ මගින් නව සමාජ හැසිරීම් හා විශ්වාසයන් පවා බිහිකරනා බව ලෝකයේ සිදුවීම් දෙස විමසිලිමත් වෙන අයට මේ වනවිට හොඳාකාරවම පෙනෙන්නට තිබේ.

    කෝවිඩ්-19 වයිරසය හදිසියේම මිනිස් සමාජය ආක්‍රමණයකර ලොවපුරා වෙසෙන බහුතර ජනතාවක් නිවාස තුලට කොටුකර හමාරය. ගෝලීයකරණය ගැන උපරිම විශ්වාසය තබමින් ලාභයට හා පහසුවට ලෝකයේ තිබෙනා තැනකින් තම දෛනික අවශ්‍යතාවයන් සඳහා අවැසි දෑ ගෙන්වාගත් මිනිසා, ජාත්‍යන්තර වෙළඳාම හා ගමනාගමනයට සීමා පැනවෙත්දී කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අතරමංවී සිටී.

    දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ. 

    ඝර්ම කලාපික දේශගුණයක් යටතේ ප්‍රශස්ත හිරුඑලියක් හා වර්ෂාපතනයක් සහිත පරිසරයක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට දේශීය කෘෂිකර්මාන්තයක ප්‍රබෝධය උදෙසා තම සිතිවිලි අවදි කරන්නටද මෙය හොඳ අවස්ථාවකි.

    ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ

    සදළුතලයේ හෝ වගා කරන්න

    ගෙවත්තක් වගා කරන්නට නොහැකිනම් අඩුතරමින් සඳලුතලයට සීමාවෙන බඳුන් වගාවක් තුලින් නිවසට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක්වත් ලබාගන්නට පුරුදුවී තිබුනානම් කෙතරම් අගනේදැයි බොහෝ දෙනෙකුට මේ වනවිට අවබෝධවී තිබේ. එසේනම් නුහුරු නුපුරුදු අයටත් ගැලපෙන ආරම්භයක් ලබාදීමට අප උත්සාහ දරමු. මේ වනවිට ලක්‍ෂ ගණනක් වූ පාසැල් දරුවන් ගෙදරය.

    කෙලිලොලෙන් ගතවෙන සහ නෑ හිතමිත්‍රාදීන් පිරිවරාගත් සිංහල අවුරුද්දක් ඔවුනට උදා නොවන්නා සේ පෙනේ. ගුරුවරුන් සමග රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ලක්‍ෂ සංඛ්‍යාවක්ද නිවෙස් තුලය. මේ අතරින් බහුතරය කෘෂිකාර්මික මූලධර්ම ආශ්‍රිත ගොවිතැන දන්නේ නැත. එහෙත් ඒ සියලු දෙනාම ගොවිතැනේ නියැලෙමින් දේශීය ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටුකළ හැකි පිරිසක් වේ. එවන් මගපෙන්වීමක ආරම්භක පියවර අප මෙසේ ඉදිරිපත් කරමු.

    මූලිකව සැලකිය යුතු කරුණු කීපයක්

    ගොවිතැනට ආධුනික ඔබ මේ මොහොතේදී ගෙවත්තේ හෝ ඉඩකඩ සීමා සහිත සඳළුතලයක හෝ වගාකිරීමට බෝගයක් තෝරා ගන්නාකල මූලිකව සැලකිය යුතු කරුණු කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීම හදිසි අවශ්‍යතාවයක් වී ඇති බැවිනි. දෙවැනි කරුණ විය යුත්තේ පරිසරයට එතරම් සංවේදී නොවන බෝග තෝරාගැනීමට ඔබ උනන්දු වියයුතු වීමයි.

    නිතර රෝගයන්ට පාත්‍රවන, පළිබෝධකයින්ට ගොදුරුවෙන සංවේදී බෝග කරා ගොස්, රෝග හා පළිබෝධකයින් හඳුනාගන්නටත්, පාලනය උදෙසා උපදෙස් සොයන්නටත් සිදුවේනම් එය, ආධුනික ඔබට මේ අවස්ථාවේ අතිරේක කරදරයක් වනු ඇත. ඒ නිසා හැකි පමණ තෝරාගත යුත්තේ, පරිසරය පහසුවෙන් ජයගන්නා බෝග වර්ගයි. එවන් දේශීය මාදිලි අප අතර සුලභව තිබේ.

    නියං වැටකොළු, ඇත්දළ බණ්ඩක්කා, කැකිරි වර්ග, ආලංගා වැනි පාරිසරික තත්වයන්ට හොඳට හැඩගැසුණු ගමේ ගොඩේ බෝග වර්ග රාශියක් ඔබ අවට වටාපිටාවෙන්ම සොයාගැනීමේ අපහසුවක් නැත. තුන්වෙනුව සැලකිය යුත්තේ මෙරට ඇති විෂම දේශගුණික තත්වයන්ට හැකිතාක් දුරට ගැලපෙන බෝග මාදිලි වෙතටයාමයි.

    ශ්‍රී ලංකාව වනාහී කෙටි දුරක් තුල ඉතා පැහැදිලිව දේශගුණය වෙනස් කලාපයන් හමුවෙන රටකි. මේ හැම තැනකම එකසේ වගාකළ හැකි පොදු බෝග නොමැති තරම්ය. එහෙත් පුළුල් පරාසයකට ගැලපෙන බෝග මෙහි විරල නැත. අවසාන වශයෙන් ඔබ තවදුරටත් උනන්දු නම්, තෝරාගන්නා බෝගයේ පෝෂණ අගයද තක්සේරුකර, වැයකරන ශ්‍රමයට උපරිම ප්‍රතිලාභයක් තහවුරු කරගැනීමට උත්සාහ කරන්න.

    රනිල බෝගවල පෝෂණ ගුණය වැඩිය. දඹල, බුෂිටා වැනි බෝග වර්ග කෙටි කාලීන වෙනවා මෙන්ම, රෝග පලිබෝධ අවදානමද අඩුය. තම්පලා වැනි පලා වර්ග ඇතැම්විට වල් පැලෑටි ලෙස පවා වැවේ. ඉතා පසුවෙන් වැවිය හැකි පලා වර්ගයක් ලෙසට එය තෝරා ගත හැකිය.

    තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත

    මෙරට ගොවිතැනේ වගා කන්නයන් දෙක වන යල හා මහ අතරින් අප මේ වනවිට සිටින්නේ යල කන්නයේ අබියසයි. එය අප්‍රේල් සිට සැප්තැම්බරය පමණ දක්වා පවතී. ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශයන්ට මෙම වගා කන්නයේදී ජලය සීමාකාරී වුවත්, නිරිත දිග මෝසම් වැසි ලැබෙන නිසා තෙත් කලාපයේ ගොවිතැනට එතරම් අපහසුතාවයක් නැත.

    ගෙවතුවල සිටුවන බෝග ඇතැම් ඒවා බීජ වෙනම තවාන් දමා පසුව භූමියේ සිටුවන ඒවා වන අතර බටු, මිරිස්, තක්කාලි වැනි දෑ ඊට උදාහරන වේ. අනෙක් බෝග කොටසේ, බීජ හෝ දඬු කැබලි තවාන් නොදමා කෙලින්ම භූමියේ සිටුවයි. බණ්ඩක්කා, බතල දඬු, කැකිරි, වට්ටක්කා වැනි බෝග එම කොටසට නිදසුන්ය. අද දිනය වනවිට වර්ෂාව හොඳාකාරවම රට තුල ස්ථාපනය වී නොමැති නිසාත්, තවාන් පිළියෙළ කිරීම ආදී තාක්ෂණික පියවරයන් කරා නුහුරු නුපුරුදු ඔබව මේ මොහොතේ කැඳවාගෙන යා යුතු නැති නිසාත්, මා යෝජනා කරන්නේ ඉහත දැක්වූ බෝග කාණ්ඩ දෙකෙන් කුමක් වුවද කුඩා බඳුන් තුල සිටුවමින් ඔබට ආරම්භයක් ගතහැකි බවයි.

    මේ හරහා ගොවිතැනට නුපුරුදු ඔබ, කෙලින්ම භූමියේ  බීජ සිටුවීමට ගොස් මුහුණදෙන අවදානමින් යම් තරමට ආරක්ෂා වනු ඇත. කුමන බෝගය වුවත් බඳුනක පැලකර, ඉන් ගලවා නැවත සිටුවීමේදී බඳුනේ පස් කුට්ටියත් සමගම සිටුවන නිසා ඔබගේ අවදානම තවදුරටත් අවම වනු ඇත. ඉවතලන යෝගට් කෝප්ප, නිවසේ ගලවා ඉවත්කරන ලද වැහි පිහිල්ලක්, වැනි කුමක් හෝ බඳුනක් මේ සඳහා යොදාගත හැකිය. එකම අවශ්‍යතාවය වන්නේ වැඩිපුර ජලය ඉවත්වීමට එහි සිදුරු තිබිය යුතු වීමත්, කොම්පෝස්ට් හා වැලි මිශ්‍ර බුරුල් පසකින් එය පුරවා ගැනීමත් පමණි.

    තවාන් ක්‍රම සහ තවත් වැදගත් දේ

    තවානක් සැකසීමට තරම් දැනුමක් හා ශ්‍රමය අවශ්‍ය නොවීමත්, සම්පූර්ණ තවානක පස තෙමනවා වැනි ජල සම්පාදනයක් නොකර ජලය පිරිමැසීමටත් මේ හරහා හැකි වෙනවා ඇත. හිරුඑළිය ලැබෙනා සුදුසු තැනක මෙම ‘බඳුන් තවාන’ මේ දිනවලම පිළියෙළ කරගන්නා ඔබට සිංහල අවුරුදු දින ලංවෙන විට, බෝග සිටුවීම සඳහා ගෙවත්තේ සුදුසු තැනක් පිළියෙළ කරගැනීමටත් කාලය ඉතිරිව තිබේ. හැකි පමණින් අවුරුදු චාරිත්‍රද හමාර කරන අවධිය එළඹෙත්දී ඔබගේ බඳුන් තවානේ පැල, භූමියේ සිටුවෙන මට්ටමක් දක්වා පැමිණෙමින් තිබේවි.

     ‘බඳුන් තවාන’ අවසන් කල ඔබ දැන් අවධානය යොමුකළ යුත්තේ ගෙවත්තේ කුමන ස්ථානයක් වගාව සඳහා තෝරා ගන්නේද යන්නයි. හොඳින් ජලවහනය සිදුවෙන, හිරුඑළිය ප්‍රමාණවත්ව වැටෙන ස්ථානයක් මේ සඳහා තෝරාගන්න. ඉහලින් ඇති ශාක අත්තක් දෙකක් කපා ඉවත්කර හෝ ඔබගේ වගා බිමට හොඳ සූර්යාලෝකයක් ලබාගැනීමට කටයුතු කල යුතුවේ.

    ගෙවත්තේ හෝ මිදුලේ අතුගා ඉවත්  කෙරෙන කොලරොඩු ගිනිතබා විනාශ නොකොට දැන් සිටම එක් ස්ථානයකට ගොඩගසා තබන්න. එය ඉදිරියේදී ඔබගේ කොම්පෝස්ට් මිශ්‍රණය වනු ඇත. ඔබ තෝරාගත් භූමිය මීට පෙර  කිසිවක් සිටුවා නොතිබූ තැනක් නම්, පොලොව කොටා පස බුරුල් කර කැට පොඩිකර ගැනීමද අවශ්‍ය වේවි. වියලි ගොම හෝ කොම්පෝස්ට් ටිකක් මේ අවස්ථාවේදී පසට කලවම් කර ගැනීමට හැකියාව ඇත්නම් ඉතාමත් යෝග්‍යයය.

    අවශ්‍යතාව හා ප්‍රමාණය ගැනත් සිතන්න

    කරවිල, දඹල වැනි බෝගයක් ඔබ තෝරාගෙන ඇත්නම්, එහි වැල් යැවීම සඳහා අධාරක ලෙස භාවිතා කල හැකි, අතු බෙදුණු ශාක අතු කීපයක් ඉපල් ලෙස භාවිතා කිරීම සඳහා කපා තබන්න. බෝග සිටුවන කාලය එත්දී ඒවාහි කොළ හැලී, පදමට වේලී සුදානම්ව තිබේවි. ස්ථානයේ ඉඩකඩ ඇත්නම් කොහුලණු වැනි යමක් ඔස්සේ වුවද මේ වැල් යැවිය හැකිය. ගෙදර පරිභෝජනයට පමණක් සෑහෙන වගාවක් අරමුණු කරන්නේ නම්, ඉපල් දෙක තුනකට යැවෙන වැල් කීපයක් සෑහේ.

    බීරළු රාබු පහතරට තෙත් කලාපයේ පහසුවෙන් වැවෙන කෙටි කාලීන බෝගයකි. ලෙඩ රෝගද අඩුය. මෙය නම් බඳුන්වල සිටුවා පසුව භූමියට නොගත යුතුය. පාත්තියක් සාදා පේලියට බීජ දැමීම සාමාන්‍ය ක්‍රමයයි. වැඩි පැල ඉවත්කිරීමේදී ගලවා දමන පැලද ආහාරයට ගතහැකිවීම අතිරේක වාසියකි. වෙළඳපොලෙන් ඉවතලන බතල අල වැනි දෙයක් ඔබට ලබාගත හැකිනම්, මේ අවස්ථාවේදී ඒවාද යම්තැනක සිටුවා දමන්න. ඉන් ලියලා එන දඬු, ඔබගේ ඉදිරි ගෙවතු වගාවේ රෝපණ ද්‍රව්‍යයක් වේවි.

    ගොවිතැන නුහුරු නුපුරුදු ඔබ සාරවත් ගෙවත්තක හිමිකරුවෙකු වීමේ මුලික පියවර ගෙන දැන් අවසානයි. ඉහල ගුනාත්මයකින් යුත් බෝගයක් ගෙවත්තෙන්ම නිපදවීමත්, එය පවුලේ ආහාරයට එකතුකර ගැනීමත් හරහා ලබනා තෘප්තිය හමුවේ, නිවසට සිරවී හිඳිමින් වසංගතයක වේදනාකාරී පුවත් ඇසීම නැරඹීම නිසා ඇතිවෙන මානසික පසුබෑමද සැලකිය යුතු තරමින් පහව යනු ඇති බව අප විශ්වාස කරමු.

    (මෙම ලිපිය සදහා උපුටා ගත් ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් තිදෙනක් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරායි. ඔවුහු මේ දිනවල සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිය. මෙහිදී සිදුවන්නේ එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති – ප්‍රධාන සංස්කාරක)

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • Covid-19 බිහි කරන දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

    Covid-19 බිහි කරන දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

     සුමිත් චාමින්ද

    වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී.

    ‘ගෝලීය දේශප්‍රේමයක්’

    ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය ‘වූහාන් වෛරසය’ නැතහෙත් ‘චීන වෛරසය’ ලෙස හැඳින්වූ එක්සත් ජනපද ජනාධිපතිවරයාහට පසුව ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිමල්ලවයා වන චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකතන සංවාදයක නිරත වන්නට සිදුවිය.

    සාක් නායකයන්ද, යුරෝපා සංගමයේ නායකයන්ද, ජී – 07 නායකයන්ද කොරෝනා වෛරසයට එරෙහි පොදු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ. පණිවුඩය ඉතා පැහැදිලිය. මේ අභියෝගයට ජාතික – රාජ්‍යමය විසඳුම් හෝ ඊනියා ස්වදේශිකවාදී විසඳුම් නොමැත. ඇත්තේ ගෝලීය සහයෝගීතාවන් ඔස්සේ ගොඩ නගා ගන්නා වූත් විසඳුම්ය. ඒ අනුව, අද අවශ්‍යව ඇත්තේ ප්‍රදේශමය, ජාතිකමය, කලාපීය සහ ජාත්‍යන්තර යනාදී තලයන් ගණනාවකින් යුතුව සංවිධානය කෙරෙන ගෝලීය සාමූහික අධිෂ්ඨානයකි. අවශ්‍ය නම් එයට ‘ගෝලීය දේශප්‍රේමයක්’ කියාද කිව හැකිය.

    දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කොරෝනා විරෝධී කාර්ය සාධක බලකාය මෙම ගෝලීය යථාර්ථය ප්‍රායෝගිකව පිළිගෙන ඇත. මේ අනුව, රටවල ගුවන් තොටුපොළවල්, වරායවල් වසා දැමීමෙන්වත් රටවල් ‘ලොක් ඩවුන්’ කිරීමෙන්වත් කිසිසේත්ම ගෝලීය සහයෝගීතාවයෙන් බැහැරවීමක් අදහස්වන්නේ නැත.

    විසඳුම ඇත්තේ තම තමන්ගේ ස්වදේශික හුදකලාවාදයන් තුළ යැයි අදහස් වන්නේද නැත. හරියට පුද්ගලයන් අතර මීටරයක දුර පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ අන්‍යොන්‍ය සහයෝගීතාව අහෝසිවීමක් අදහස් නොවන්නාක් සේ මය.

    මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

    සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය

    ස්වොයි ශිෂෙක් පවසන පරිදි මේ යුගයේ සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය. මන්දයත් අප අපගේ අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් අසල්වැසියා වෙත මෙම දුෂ්ට වෛරසය රැගෙන යාමෙන් වැළකිය යුතුය. මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

    ගෝලීය වශයෙන් ගත්තද තත්ත්වය එබඳුය. ඇතැම්විට ජාතිකමය වශයෙන් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විදේශිකයන් රට තුළට පැමිණීම පාලනය කරන්නට සිදුවේ; අධීක්ෂණය කරන්නට සිදුවේ. නමුත් එය කිසිසේත්ම ස්වදේශිකත්වයේ හුදෙකලා දෘෂ්ටිවාදී ගුහාවලට රිංගීමක් ලෙස නොගත යුතුය.

    දෘෂ්‍යමානයට පෙනෙන්නට දෙය සැබෑවක් නොවේය යන්නට මෙය කදිම නිදර්ශනයකි. කෙසේ වුවත්, කොරෝනා අර්බුදය පිළිබඳ වඩා පුළුල් ප්‍රවේශයක් ගොඩ නගා ගන්නට නම්, අප පළමුවෙන් මේ දිනවල නව ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් තිබෙන ස්වදේශිකවාදී සහ ජාතිකවාදී අගතීන් බැහැර කළ යුතුව තිබේ. එම අගතීන් යුක්තිසහගත කෙරෙමින් පවතින්නේ තවත් මූලික දුර්මතයකිනි. එනම් ගෝලීයකරණය පිළිබඳ දුර්මතයයි. අපි ප්‍රථමයෙන් එහි ව්‍යාජත්වය පරීක්ෂා කර බලමු.

    මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ.

    ගෝලීයකරණ පිළිබඳ දුර්මත

    මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ. ක්‍රි.ව. 1346 සිට 1353 කාලපරිච්ඡේදය තුළ පැතිර ගිය ‘කළු මරණ’ (Black Death) වසංගතයෙන් චීනය, පර්සියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු ලොව බොහෝ ප්‍රදේශවල ජනයා පීඩාවට පත් විය. එය කොතරම් විනාශකාරී වූයේද කිවහොත් යුරෝපීය ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මරුමුවට පත් කරන්නට සමත් විය. එම වසංගතයද ආරම්භ වූයේ යැයි සැලකෙන්නේ වත්මන් චීනය පිහිටි ප්‍රදේශයෙනි. එයින් ද බරපතළම ව්‍යසනයකට ලක්වූයේ වත්මන් ඉතාලිය සහ ස්පාඤ්ඤය පිහිටි ප්‍රදේශවල ජනයාය.

    පළමු ලෝක යුද්ධයේ නිමාවත් සමග පැතිර ගිය ඉන්ෆ්ලුවැන්සා වසංගතය නොහොත් ඊනියා ස්පාඤ්ඤ උණ රෝගයෙන් මිලියන 500ක පමණ ජනයා මරුමුවට පත්වී යැයි සැලකේ. ඉහත කී වසංගත ලොව පුරා ව්‍යාප්තවීමට අන්තර්-මහාද්වීපික වෙළෙඳාම, සේද මාවත සහ ජාතීන් අතර යුද්ධය යනාදිය බලපෑ බව සත්‍යයකි. නමුත්, ඒවා ඇතිවී, ලෝකය පුරා පැතිරී ඉමහත් විනාශයක් ඇති කළේ අප සමකාලීනව ගෝලීයකරණය යනුවෙන් හඳුන්වන සංසිද්ධියට බොහෝ පෙර බව අමුතුවෙන් කිව යුතු නැත.

    කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය.

    දේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට

    වඩා වැදගත් කාරණය වන්නේ එම වසංගතවලට මුහුණ දුන් සමාජ ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස වඩ වඩාත් ස්වදේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට සැබැවින්ම එම ගතානුගතිකවාදී ආකෘතිවලින් පිටතට පැමිණියේය යන්නයි.

    කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය. නිදසුනක් ලෙස ප්‍රවේණිදාසයන්ගේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය. ප්‍රභූ ආධිපත්‍යයේ සහ පල්ලියේ ආධිපත්‍ය දුර්වල විය. ඉන්පසුව උදාවූ දෙවන සියවස තුළ අන්තර් මහාද්වීපික වෙළෙඳාම සහ යටත්විජිතකරණය වේගයෙන් වර්ධනය විය. අර්බුදයෙන් පිටතට ආ සමාජයන් හැරුණේ ඇතුළතට වඩා පිටතටය.

    ස්පාඤ්ඤ උණ වසංගතයෙන් පසුව, පළමුව යුරෝපීය රටවල්ද පසුව (සැබැවින්ම දෙවන ලෝක යුද්ධයෙන්ද පසුව) ලොව සියලු මහාද්වීපවල රටවල්ද නව ජාත්‍යන්තර පර්යායකට ඇතුල් විය. කොරෝනා වසංගතය ඉහත කී පැරණි වසංගත තරම් විශාල එකක් නොවූව ද එයින් සමකාලීන ජාත්‍යන්තර පර්යයා විශාල සෙලවීමකට ලක් කරනු ලැබ තිබේ.

    යානීස් වරුෆතීස් ප්‍රකාශ කරන පරිදි දැනටමත් එයින් ගෝලීය ධනවාදී පර්යායට සිදු කොට තිබෙන බලපෑම අති විශාලය. නිසැකවම එය 2006 යුරෝපීය සහ එක්සත් ජනපද මූල්‍ය අර්බුදයට වඩා ප්‍රබලය. එය බොහෝ විට 1929 මහා ආර්ථික අවපාතයටද වඩා සුවිශාල අර්බුදයක් ජනිත කරන්නටද ඉඩ ඇත.

    1929 මහා අවපාතයට පසුව නාසිවාදය හිස එසවූයේ යම් සේද, 2008 අර්බුදයෙන් පසුව අන්ත – දක්ෂිණාංශික ජාතිකවාදය හිස එසවීය. (මේ ක්‍රියාවලියේ සාධනීය පාර්ශ්වය වූයේ 1929න් පසුව ස්කැන්ඩිනේවියානු රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හිසඑසවීමත්, 2008න් පසු යුරෝපා සංගමයේ පරිවාරයේ පිහිටි රටවල වාමාංශික ජනතාවාදය හිස එසවීමත්ය.) පවත්නා දේශපාලන-ආර්ථික පර්යාය සුවිශාල අර්බුදයකට ලක් කෙරෙන තත්ත්වයකදී දේශපාලන අවකාශය ග්‍රහණයට ගන්නට මාන බලන ආගමිකවාදී, ජාතිකවාදී සහ ස්වදේශිකවාදී ප්‍රවණතා ගැන අප සැලකිලිමත්ව සිටිය යුත්තේ මේ නිසාය.

    ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය.

    ‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා


    ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය. නමුත්, එම තත්ත්වය ගෝලීය සහයෝගීතාව අන්තර් සම්බන්ධය සහ සාමූහික – අධිෂ්ඨානය සහිත ‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා දිශානත වූවක් බවට පත් කරන්නේ කෙසේද? මේ මොහොතේ ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ගේ අරගලය දිශානත විය යුතු එක් නිෂ්ඨාවක් වන්නේ එයයි.

    මෙම විකල්ප ගෝලීයකරණයන් පිළිබඳ අදහස ක්‍රම ක්‍රමයෙන් වැඩී වර්ධනය වූයේ පසුගිය දශක කිහිපය තුළදී හිස එසවූ නව – ලිබරල් ගෝලීයකරණයට එරෙහි ගෝලීය සමාජ ව්‍යාපාර තුළින්මය. ධනවාදී ගෝලීයකරණයේ ප්‍රමුඛ විවේචකයකු වන සමීර් අමීන් 2019 පෙබරවාරි 15 වැනිදා “‘Socialist Economist” සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ වත්මනෙහි වාමාංශය ‘නව – ජාත්‍යන්තරවාදයක්’ කරා ගමන් කළ යුතුව ඇති බවයි.

    තමන් ධනවාදී ගෝලීයකරණයෙන් විසන්ධි වීම (de-link) පිළිබඳ අදහස ඉදිරිපත් කළේ සටන් පාඨයක් ලෙසින් බවද, ප්‍රායෝගික විකල්පය ඇත්තේ ජාත්‍යන්තරවාදය තුළ බවද ඔහු ඉතාම පැහැදිලිව අවධාරණය කරයි. විකල්ප ගෝලීයකරණයක් නොහොත් ගෝලීය විකල්පයක් හඟවමින් ශිෂෙක් පවසන්නේ කොරෝනා අර්බුදය හමුවේ ගෝලීය මහජන සෞඛ්‍යය උදෙසා වූ යාන්ත්‍රණයක් ගොඩ නැගිය යුතුව ඇති බවයි.

    අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

    සාකල්‍ය ප්‍රවේශ්‍ය සහ මහජන සහභාගිත්වය

    කොරෝනා අර්බුදය ගෝලීය එකක් වන තරමටම සාකල්‍ය (holistic) වූවක් ද වේ. එහි අදහස එය හුදෙක් මහජන සෞඛ්‍ය පිළිබඳ සුවිශේෂී ක්ෂේත්‍රයට පමණක් සීමා වී නොපවතින බවයි. එය ආර්ථිකමය-සමාජමය, දේශපාලනික සහ සංස්කෘතිකමය මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක යනාදී පැතිමාන ගණනාවකින් යුක්ත අර්බුදයකි.

    එහෙයින්, එම අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

    මීට සති දෙකකට පමණ පෙර මා ලියූ ‘කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය’ නමැති ලිපියෙන් වෙනත් වචනවලින් අවධාරණය කරනු ලැබුවේද එවන් සාකල්‍යවාදී ප්‍රවේශයක අවශ්‍යතාවයි. එහිදී මගේ ප්‍රධාන අවධාරණයක් වූයේ වසංගතයට පිළියමක් ලෙස ‘ලොක් ඩවුන්’ කිරීමක් ඉල්ලා සිටි බොහෝ දෙනකු එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුතු ජනයාගේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.

    වසංගතය පාලනය කිරීමට ඇතැම්විට දැඩි පියවර ගන්නට සිදුවිය හැකිය. නමුත් ඒ කවරක් වුවද අවිධිමත් අංශයේ සිටින සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනයා සඳහා ඉදිරිපත් කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සමග අතිනත ගෙන යා යුතුය. කෙසේ වුවත්, මෙරට පාලනාධිකාරය ගත්තේ වෙනස් මගකි. එනම්, පළමුව ඇඳිරි නීතියේ ආවරණය යටතේ ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් අප්‍රකාශිතව ක්‍රියාත්මක කිරීමත් ඉන්පසුව නොවැළැක්විය හැකි ලෙසම උදාවූ සමාජ ආර්ථික අර්බුදය සඳහා තරමක් ප්‍රමාද වී විසඳුම් ඉදිරිපත් කිරීමත්ය.

    අර්බුදයක් ඇතිවන්නට ඉඩදී එයට විසඳුම් සෙවීම එතරම් ප්‍රඥාගෝචර ප්‍රවේශයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත්, මොඩිගේ ඉන්දියාවට වඩා නම් මේ කාරණයේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකින් තොර ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් සඳහා හොඳම නිදසුන ඉන්දියාව විය යුතුය.

    මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත.

    සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක්

    මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත. නමුත්, ජනතාවට අවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සැපයීම, අසරණභාවයට පත් පිරිස්වලට සහාය ලබාදීම යනාදී නොයෙකුත් කටයුතු සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන පොහොසත් සමාජ ක්‍රියාකාරී ස්ථරයක් මෙරට සිටී.

    අනෙකාගේ දුකේදී පිහිට වන උසස් ‘ජාතික සම්ප්‍රදායක්’ අප සමාජය සතුය. මේ දිනවලද විවිධ දුෂ්කරතා මධ්‍යයේ එවන් කටයුතුවල යෙදෙන විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී. ජවිපෙ හා රතු තරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සර්වෝදය, දේශෝදය යනාදී කණ්ඩායම් ඒ අතුරින් ප්‍රමුඛය. නමුත්, ආණ්ඩුවේ ප්‍රවේශය වී ඇති බව පෙනෙන්නේ සමාජ ආරක්ෂණය පිළිබඳ ක්ෂේත්‍රය සහමුලින්ම තම ආධිපත්‍යය යටතේ තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම බව පෙනේ.

    සන්නද්ධ හමුදා සිවිල් සේවයට කැඳවූ තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය එවන් ප්‍රවේශයකට වාසිසහගත වාතාවරණය සකසයි. මගේ අදහස නම් ආණ්ඩුව මහජන සහභාගිත්ව ප්‍රවේශය පෙරට ගත්තේ නම්, තත්ත්වය වඩා සාර්ථකව පාලනය කරගන්නටද හැකියාව තිබුණේය යන්නයි. නිදසුනක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ගොවි සංගම්, කුඩා වෙළෙඳුන්ගේ සංගම් සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් ඒකාබද්ධ කළ වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? එවිට එම ක්ෂේත්‍රවල පිරිස්වලට යම් ආදායම් මාර්ගයක් ලැබේ. ඔවුන් රජයේ සහනාධාර මත යැපෙන තත්ත්වයකට වඩා එය ආර්ථිකමය ලෙස ඵලදායකය.

    පසුගියදා වාර්තා වූ පරිදි දැන් දඹුල්ලේ එළවළු අලෙවි කරගත නොහැකිව ඒවායෙහි මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබේ. එසේ වන්නේ රට පුරාම එළවළු සඳහා විශාල ඉල්ලුමක් පැවතියදීමය. වෙළෙඳපොළ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේදී නාගරික එළවළු අවශ්‍යතාවක් ග්‍රාමීය නිෂ්පාදනයත් අතර සම්බන්ධය ගොඩ නගන යාන්ත්‍රණය නැවත සකස් කරන්නේ කෙසේද? මේ සියල්ල තම පක්ෂ යාන්ත්‍රණය යටතටත්, රාජ්‍ය යාන්ත්‍රණය යටතටත් නතුකර ගන්නට ප්‍රයත්න දැරීමෙන් සිදුවන්නේ සමාජ-ආර්ථික අර්බුදය ඔඩුදිවීමය.

    අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

    දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

    අනෙක් අතින් මහජන සහභාගිත්වය පිළිබඳ කාරණය නොතකා හැරීමෙන් ඇතිවිය හැකි දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත. ඉදිරියේදී අප කරා එන්නේ දිගුකාලීන අර්බුදයකි. එසේම එය ඔහු බහුවිධ අර්බුදයකි. අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

    නිදසුනක් ලෙස මේ දිනවල මුහුණු පොතේ පළවන ජනප්‍රිය විහිළුවක් නම් ‘ගෙදරට වී නිකම් සිටීම දැන් ජාතික මෙහෙවරක් බවට පත්ව ඇති” බවය. කෙසේ වුවත්, සැබෑ තතු ඉන් බොහෝ වෙනස්ය. ඉදිරියේදී පැමිණිය හැකි ආර්ථික අර්බුදයක ප්‍රධාන අංගයක් විය හැක්කේ ආහාර අර්බුදයයි. මේ දිනවල උග්‍රවී ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුමත්, එයට පරස්පරව පවතින නාස්තියක් විසින් මේ අර්බුදය තීව්‍ර කෙරෙන්නට ඉඩ තිබේ.

    දැනටම ආණ්ඩුව මෙම අභියෝගය හඳුනාගෙන ඇති බව පෙනුණද ඒ වෙනුවෙන් ප්‍රබල අවධාරණයක් කරන බවක් නොපෙනේ. දැන් උදාවෙමින් තිබෙන්නේ ඔබ සැබෑ දේශප්‍රේමියකු නම් අඩු තරමින් මල්පෝච්චියක එළවළු පැළයක් හෝ සිටුවිය යුතු යැයි කියන කාලයකි. එසේම මෙම අර්බුදයේ පෘථුලත්වය දෙස බැලූ විට මෙය බුද්ධිමතුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් යනාදී සියලුම සක්‍රීය මහජන අවකාශයේ සාමාජිකයන්ට ඉතාම කාර්ය බහුල සති කිහිපයක් විය යුතු බව මගේ හැඟීමයි.

    නිදසුනක් ලෙස ආර්ථික විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යා සිසුන් කොරෝනා අර්බුදයේ ගෝලීය සහ ජාතිකමය ආර්ථික බලපෑම ගැන මේ මොහොතේදීත් කඩිසරව අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? අප වැනි දේශපාලන විද්‍යා සිසුන් මෙම අර්බුදයේ දේශපාලන ගම්‍යතා සමීපවත්, තියුණු ලෙසත්, ගැඹුරු ලෙසත් අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? මෙය අප මුහුණු පොතේ උදාසීන ක්‍රීඩාවල නිරතවෙමින් සිටිය යුතු කාලපරිච්ඡේදයක් නොව (විනෝදයට එසේ කළාට කම් නැත) අපගේ අධ්‍යයන මේස මත වෙහෙසවෙමින් සිටිය යුතු කාල පරිච්ඡේදයකි.

    අවසන් වශයෙන්, වත්මන් පාලනය කොරෝනා අර්බුදයට මුහුණ දෙන සුවිශේෂී ආකාරයත්, එහි දේශපාලන ගම්‍යාතාත් පිළිබඳව මා ලියන්නට සිතා සිටියද දැනටමත් මේ ලිපිය දීර්ඝ වී ඇති බැවින් එය පසුවට ඉතිරි කර තබමි. දැනට කීමට ඇත්තේ නව පාලනාධිකාරය නමැති ෆ්රැන්කන්ස්ටයින් ඉතාම වේගයෙන් සහ කඩිසරව නිර්මාණය වෙමින් පවතින බවයි. ශීෂෙක් පැවසූ ලෙස කොරෝනා අර්බුදයෙන් පසුව අප අවදි වනු ඇත්තේ නව යථාර්ථයකටය. එම යථාර්ථය දැන් (එහිම ආවේණික ප්‍රතිවිරෝධතාද සහිතව) අපගේ දෑස් ඉදිරිපිටම නිර්මාණය වෙමින් පවතී.

    සුමිත් චාමින්ද, දේශපාලන විද්‍යා අධ්‍යනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

  • පිලිපීන ජනපතිගේ ඝාතන නියෝග ක්‍රියාත්මක වෙයි – පළමු ඝාතනය අද

    පිලිපීන ජනපතිගේ ඝාතන නියෝග ක්‍රියාත්මක වෙයි – පළමු ඝාතනය අද

    පිලිපීනයේ කොරෝන වෛරස් රෝගීන් පරීක්ෂාව සදහා පිහිටුවා ඇති මුරපොළකදී හා 63 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සිදු වූ බව පිලිපීන පොලිසිය පවසයි. 

    අල් ජසීරා වාර්තාවක (5) මේ බව සදහන් වේ.

    ප්‍රාදේශීය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමග අදාළ පුද්ගලයා බහින්බස් වීමක් හා පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිසිය අදාළ පුද්ගලයාට වෙඩි තැබූ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

    දකුණු පළාතේ අගුසාන් ඩෙල් නොර්ටේහි නාසිපිට් නගරයේ මුරපොල මෙහෙයවන ප්‍රාදේශීය නිලධාරීන්ට සහ පොලිසියට තර්ජනය කිරීමෙන් මෙම පුද්ගලයා බීමතින් සිටි බවට විශ්වාස කරනවා.

    “මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම නිසා සැකකරුට ප්‍රාදේශීය සේවකයෙකු විසින් අවවාද කර තිබෙනවා. නමුත් සැකකරු කෝපයට පත් වූ අතර, කුපිත කරවන වචන පවසමින් අවසානයේදී පිරිස්වලට පහර දුන්නේය‘‘ පිලිපීන පොලිසිය පැවසුවා.

    කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා සීමාවන් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලීසිය සිවිල් වැසියෙකුට වෙඩි තැබූ පළමු සිද්ධිය මෙයයි.

    ඩුටර්ටේගේ අනතුරු ඇඟවීම

    ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ පසුගිය බදාදා අනතුරු ඇඟවූයේ කරදර ඇති කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබන ලෙස පොලිසියට හා හමුදාවට නියෝග කරන ලෙසයි. 

    “මේ අවස්ථාවේ දී රජය අනුගමනය කරන්න, මන්ද අපට පිළිවෙලක් තිබීම අතිශයින් වැදගත් ය,” ඔහු රාත්‍රි රූපවාහිනී ජාතික දේශනයක දී පැවසීය.

    “සෞඛ්‍ය සේවකයින්ට, වෛද්‍යවරුන්ට හානියක් නොකරන්න … මන්ද එය බරපතල අපරාධයකි. යමෙකු කරදර ඇති කළහොත් සහ ඔවුන්ගේ ජීවිත අනතුරේ තිබේ නම් පොලිසියට සහ හමුදාවට මා දුන් නියෝග: ඔවුන්ට වෙඩි තියන්න.”

    පිලිපීනයේ ප්‍රධාන දිවයින වන ලුසොන් මාර්තු 16 සිට මාසයක් තිස්සේ අගුලු දමා ඇති අතර, සිල්ලර බඩු හෝ ෆාමසියට අත්‍යවශ්‍ය චාරිකා හැරුණු විට හෝ ඔවුන් පෙරටුගාමී සේවකයින් නම් මිනිසුන්ට තම නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ. 

    ලුසොන් වලින් පිටත බොහෝ පළාත් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තමන්ගේම සීමාවන් පනවා ඇත. 

    සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිලිපීනයේ නව තහවුරු කරන ලද ආසාදන රෝගීන් 76 ක් වාර්තා කර ඇති අතර රටේ මුළු සංඛ්‍යාව 3,094 කි. මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 57 දෙනෙකු සුවය ලබා තිබේ. 

    සිකුරාදා රාත්‍රියේ තවත් රූපවාහිනී විකාශනයක දී ඩුටර්ටේ කරදරකරුවන්ට එරෙහි අනතුරු ඇඟවීම ආරක්ෂා කරමින් කියා සිටියේ ඕනෑම කෙනෙකුට රෝගයෙන් පීඩා විඳිය හැකි බැවින් මෙම තත්වයේ බරපතලකම අවබෝධ කර ගැනීමට මහජනතාවට අවශ්‍ය බවය. 

    “මෙම සීමාවන් නොමැතිව මෙය අවසන් නොවනු ඇත,” ඔහු පැවසීය. “එබැවින් ඔබට අනුගමනය කිරීමට අවශ්‍ය නැතිනම්, මිය යාමට අකමැති අහිංසකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මම ඔබව අවසන් කරමි.”

    ‘නිදහසට පහර දීම’

    ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් චෝදනා කළේ ඩුටර්ටේ වැනි ලොව පුරා ප්‍රබල නායකයින් COVID-19 වසංගතය “විවේචන හා විසම්මුතිය තවදුරටත් මැඩපැවැත්වීම සඳහා” භාවිතා කරන බවයි. 

    “මෙය පෙර නොවූ විරූ සෞඛ්‍ය අර්බුදයක්. නමුත් ජනාධිපති ඩුටර්ටේ අවධානය යොමු කරන්නේ කතා කිරීමේ හා එක්රැස්වීමේ නිදහසට පහර දීමටයි” යනුවෙන් පිලිපීනයේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්ෂ බුච් ඔලානෝ පැවසීය. 

    “වඩා හොඳ සේවාවක් සඳහා වන ජාතියේ ආයාචනය ඔහු අවතක්සේරු කරන්නේ, වෙනස්කම් කිරීමකින් තොරව සියලු පුද්ගලයින්ට සෞඛ්‍යාරක්ෂාව සහ අත්‍යවශ්‍ය සහන සැලසීමේ රජයේ වගකීම ඉටු කිරීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු” යැයි ඔහු පැවසීය. 

    ඩොලර් බිලියන 200 ක (ඩොලර් බිලියන 4) සුව කිරීමේ පැකේජයක් යටතේ අගුලු දැමීමෙන් පීඩාවට පත් දුප්පත් පවුල් සහ කම්කරුවන්ට රජය මුදල් ආධාර බෙදා හැරීමට පටන් ගෙන තිබේ.   එහෙත් ආධාර ලබා දීම ප්‍රමාද වීම පිළිබඳ විශේෂයෙන් පැමිණිලි ලැබී ඇත, විශේෂයෙන් ආහාර ඇසුරුම් සම්බන්ධයෙන් දැඩි විවේචන තිබේ.

  • Covid-19: ගෝලීය ආසාදන 1,201,476ක්  -64,691ක් මරුට

    Covid-19: ගෝලීය ආසාදන 1,201,476ක් -64,691ක් මරුට

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට කොවිඩ් 19 ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 64,691ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246,467ක් බවයි වාර්තා වන්නේ.

    අද දින (5) නිකුත් කළ අල් ජසීරා වාර්තාවක් අනුව ගෝලීය වශයෙන් ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් පහත දැක්වෙනවා.

    එක්සත් ජනපදය – රෝගීන් 312,249 ක්, මරණ 8,503 ක් 
    ස්පාඥ්ඤය – 130,759 ක් ,  මරණ 12,418 ක්
    ඉතාලිය – රෝගීන් 124,632 ක්, මරණ 15,362 ක්
    ජර්මනිය – රෝගීන් 96,108 ක්, මරණ 1,446 ක්
    ප්‍රංශය – රෝගීන් 90,853 ක්, මරණ 7,574 ක් 
    චීනය –   රෝගීන්  82,602 ක්,  මරණ 3,333 ක් 
    මැකාවු හි රෝගීන් 41 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 
    එක්සත් රාජධානිය –   රෝගීන් 42,480 ක් ,  මරණ 4,320 ක්
    තුර්කිය – රෝගීන් 23,934 ක්, මරණ 501 ක්
    ස්විට්සර්ලන්තය –   රෝගීන් 21,100 ක්, මරණ 680 ක්
    බෙල්ජියම – රෝගීන් 19,691 ක්, මරණ 1,447 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 17,953 ක්, මරණ 1,771 ක්

    ඉන්දියාව – රෝගීන් 3,588 ක්, මරණ 99 ක්

    පකිස්ථානය – රෝගීන් 2,897 ක්, මරණ 45 ක්