Tag: featured

  • ණය සහ ලීසිං සහනවලට සීමා පැනවේ

    ණය සහ ලීසිං සහනවලට සීමා පැනවේ

    රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී සදහන් කළේය.

    ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ට මෙම සහනය හිමිවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කිරීමට ද අනුමැතිය හිමි වූ බවයි.

    මෙහිදී තවත් සහනයක් ගැන සදහන් කළ ඇමැතිවරයා ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමි වූ බව ද සදහන් කළේය.

  • කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට

    කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට

    අද (26) දින සවස් කාලයේදී කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය අද සවස නිවේදනය කළේය.

    ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දින ද සවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළ අතර මේ වන විට මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 98 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේය.

  • මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

    අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.

    මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.

    මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.

  • සියළුම නිදහස් වෙළද කලාප නැවත  දැනුම් දෙන තුරු වසා දමයි

    සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දමයි

    දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන්නේය.

    කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    හෙට පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දැනට බෝඩිං වල රැදී සිටින සේවක සේවිකාවන්ට අද රාත්‍රී අහාරය ලබා දෙන ලෙසත් ඊට අමතරව හෙට ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට උදෑසන හා දිවා අහාරය ලබා දීමටත් මෙහිදී තීරණය කෙරිනි. ඊට අමතරව සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය විය.

    දිවයින පුරා ක්‍රියාත්මක නිදහස් වෙළද කළාප වලින් පිටස්තර  ප්‍රදේශ වලින් පැමිණ එම කළාප ආශ්‍රිතව  නවාතැන්ගෙන සේවය කරන සේවක සේවිකාවන් බහුලව සිටින්නේ කටුනායක, බියගම සහ වතුපිටිවල යන නිදහස් වෙළද කළාප තුලයි. කටුනායක නිදහස් වෙළද කළාපයේ බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා ඇතැයි ආයෝජන මණ්ඩලයේ නිදහස් වෙළද කලාප පිළිබද විධායක අධ්‍යක්ෂක එන්.කේ.ඩී ලෝරන්ස් මහතා මෙහිදි කියා සිටියේ.

    නිදහස් වෙළද කළාප ආශ්‍රිතව සිටි සේවක සේවිකාවන් බහුතරයක් මේ වන විට නිවෙස් වලට ගොස් ඇති බවත් තවමත් නවා තැන් ‍පොලවල් වල රැදී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බවත් අධ්‍යක්ෂකවරයා මෙහිදී කියා සිටියේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අණාවරණය කලේ සංඛ්‍යාව සුළු වුවවත් ඔවුන් වහා නිවෙස් වලට යැවීමට කටයුකු කල යුතු බවයි.

    අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සකස් කරණ ආයතන කිහිපයක් වෙළද කළාප තුල ඇති බවත් ඉතා සුළු පිරිසක් සහභාගී කරගෙන එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් අධ්‍යක්ෂවරයා ඇමතිවරයාට පෙන්වා දුන්නේය. එවැනි අත්‍යවශ්‍ය කර්මානත ශාලා ඇත්නම් ඒවායේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ව ආහාර පාන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල සමාගම් වගකීම දැරිය යුතු බව ඇමතිවරයාගේ අදහස විය. ඒ මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවතින තත්ත්වය පැහැදිලි කරල අතර තවමත් නවාතැන් පොල වල රැදී සිටින සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් බිම් බලා යැවීම සදහා ආරක්ෂක අංශවල සහය ලබා දෙන ලෙස  ඉල්ලා සිටියේය. ඊට ජනාධිපති වරයාගේ එකගත්වය පල විය.

    ප්‍රදේශයේ පොලිසිය මගින් සේවක සේවිකාවන්ට ගම් බිම් බලා යාමට අදාල බස්රථ පිටත්වන වේලාවන් නිවේදනය කරන ලෙසත් ඒ අනුව ආරක්ෂා කාරී ලෙස ඔවුන් ගම්බිම් වලට පිටත් කර හරින ලෙසත් ඇමති වරයා මෙහිදී වැඩිදුරටත් ආයෝජන මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. දැනට කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළේය.

    සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි. කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් 20000ක් පමණ නවාතැන් පොල වල සිරවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් මෙහිදී ඇමතිවරයාගෙන් ප්‍රශ්න කලේය.

    ඊට ප්‍රතිඡාර දැක්වූ ඇමතිවරයා සදහන් කළේ එපමණ සංඛ්‍යාවක් කටුනායක රැදී සිටියේනම් නගරයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අසීරුවනු ඇතැයි කීවේය. ආයෝජන මණ්ඩල නිළධාරීන්ගේ සංඛ්‍යා ලේකණ අනුව එලෙස රැදී සිටින සංඛ්‍යාව සුළු පිරිසක් වන බවත් ඔවුන්ට හෙට ගම් බිම් බලා යාමට සියළු පහසුකම් සලසන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

  • ඇදිරි නීති සමයේ බෙදා හරින අත්‍යවශ්‍ය භාණ්ඩවල ප‍්‍රමිතිය ගැන රජයේ දැඩි අවධානය – ඇමැති ප‍්‍රසන්න

    ඇදිරි නීති සමයේ බෙදා හරින අත්‍යවශ්‍ය භාණ්ඩවල ප‍්‍රමිතිය ගැන රජයේ දැඩි අවධානය – ඇමැති ප‍්‍රසන්න

    ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෑම ප්‍රාදේශිය ලේකම්වරයෙකුටම ඊට අදාල උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි.

    ඇදිරි නීතිය පවතින කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. සමූපකාර, සතොස, ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතරම පෞද්ගලික අංශයේ වෙළද සැල් පවත්වාගෙන යනු ලබන ආයතනද ඊට එක්ව තිබේ. ඊට අමතරව මාලු , එළවළු ව්‍යාපාරිකයන්ද මේ සදහා දායක වී ඇත.

    ඇදිර නීතිය ක්‍රියාත්මක වුවද සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීම මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර තිබේ. ඊට අමතරව ග්‍රාම සේවා වසම් මට්ටමින් හදුනාගත් අඩු ආදායම් ලාභී පුද්ගලයන්ටද නොමිලේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනක්  ක්‍රියාත්මකයි. රජයේ හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් එය ක්‍රියාත්මක වේ. ජනතාවට අවශ්‍ය ‍ඖෂධ  ලාබ ගැනීම සදහා වෙලද සැල් විවෘත්තව පවතියි.

    මීට අමතරව කඩින් කඩ ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ වල තදබදයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය  භාණ්ඩ  මිලදී ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. ඇදිරි නීතිය ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා නගරවලට හා වෙළද සැල් වලට රොක් වන ජනතාව අවම කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇදිරි නීති කාලය තුල නිවස් වලට යැවීමේ වැඩ සටහන ආරම්භ කල බව රණතුංග මහතා පෙන්වා දෙයි.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා ජනතාව ඒක රාශී වීම නතර කළ යුතු බවත් රටේම ජනතාව නිවෙස්වලම ස්වයං නිරෝධානයකට  ලක් කිරීම සදහා ඇදිරි නීතිය පනවන බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතා සහාය ලැබෙන්නේ නම් මෙම වසංගතය පැතිරීම පාලනය කිරීමට හැකි බවද පෙන්වා දෙයි.

    මේ නිසා සෞඛ්‍ය අංශ වල හා ආරක්ෂක අංශ වල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසත් මේ මොහොතේ  පක්ෂ පාට බේද නොසලකා රජයට සහාය පල කරන ලෙසත් රණතුංග මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි මහ බැංකුවෙන් නියෝග

    වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි මහ බැංකුවෙන් නියෝග

    ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ.

    එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව  ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී ජයසුන්දර මහතා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දුන්නේය.

    ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්, ප්‍රධාන කාර්යය මණ්ඩලය හා ජනාධිපති කාර්යාලය සෑම දිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවද ආචාර්ය ජයසුන්දර මහතා සිය ලිපියෙන් කියා සිටී.

  • ලෝකයම අත් සෝදද්දී අතට ගන්න වතුර ටිකක් නැති ‘සනීපාරක්ෂක කම්කරුවෝ’

    ලෝකයම අත් සෝදද්දී අතට ගන්න වතුර ටිකක් නැති ‘සනීපාරක්ෂක කම්කරුවෝ’

    “සනීපාරක්ෂාව ? ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම මිනිස් අපද්‍රව්‍ය මගේ අත් දෙකෙන් ඉවත් කරනවා. මම වතුරෙන් අත් සෝදා ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු මට එහෙම කරන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැ, ඒ නිසා මට කොහේ හරි වතුර හොයාගන්න වෙනවා“

    කොරෝන වෛරස් භීතියෙන් මුළු ලෝකයම දොරගුළු ලා තිබියදී අප කවුරුත් කතා නොකරන ලෝකය පුරා සනීපාරක්ෂක සේවකයින් ද තම ජීවිත අවදානම ගැන අල්ප හෝ බියකින් තොරව තම සේවා ඉටු කරති. කිසි දිනක සිය සේවය වෙනුවෙන් ඇගයීමක් නොලද මොවුන් ගැන ‘අල් ජසීරා“ කළ හෙළිදරව්වකි මේ.

    පයිප්ප වසා දැමීමට සහ මලාපවහන පියන ඔසවා තැබීමට භාවිතා කරන ලෝහ පොල්ල හඩ නැගෙන සේ ඇදගෙන යමින් ඉක්බාල් මාසි දකුණු පකිස්ථාන නගරයක් වන කරච්චිහි කාර්යබහුල අසල්වැසි ප්‍රදේශයක පටු වීදියක ඇවිද යයි. ඔහු හිතාමතාම සැරයටිය ඇදගෙන යාමෙන් අදහස් කරන්නේ තමා පැමිණෙමින් සිටින බව නිවැසියන්ට දැනුම් දීමයි.

    වසර 30 කට වැඩි කාලයක් සනීපාරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කරන මාෂි පැවසුවේ “මම දන්නා එකම වෘත්තිය මෙයයි. එය අවදානම්, සෞඛ්‍යාරක්ෂිත නොවන බවත් මිනිසුන් අපව පහත් කොට සලකන බවත් මම දන්නවා. නමුත් යමෙකු එය කළ යුතුයි. මම මෙය නොකරන්නේ නම් මම කිසිවක් නොකරමි. එය වඩාත් නරක යි” යනුවෙන් 51 හැවිරිදි ඔහු අල් ජසීරාට පැවසීය.

    ඔහු සිගරැට්ටුවෙන් ඇස් ඉවතට යොමුකර කිසිවෙකු ඔවුන්ගේ නිවසින් පිටතට පැමිණ ඇත්දැයි බැලීමට වටපිට බැලීය.

    සනීපාරක්ෂක සේවකයින් යනු වැසිකිළි පිරිසිදු කිරීම, වලවල් සහ සෙප්ටික් ටැංකි හිස් කිරීම, මලාපවහන හා මෑන්හෝල් පිරිසිදු කිරීම සහ මෙහෙයුම් පොම්පාගාර සහ පවිත්‍රාගාර ඇතුළත් කළ හැකි රැකියාවන් ය. 

    ලෝකයේ බොහෝ රටවල, ඔවුන් බොහෝ විට අත්වැසුම් හෝ වෙනත් ආරක්ෂිත ආම්පන්න නොමැතිව මලාපවහනවලට බැස යන්නේ ඉතා සුළු මුදලක් ලබා සඳහා ය. මෙම කාර්යය සාමාන්‍යයෙන් අවදානම් වන අතර සමහර ඒවා ජීවිතයට තර්ජනයක් වේ.

    කොරෝන වෛරස් වසංගතය මධ්‍යයේ පිරිසිදුකම සහ මූලික සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් සහ සංවිධාන අමතර පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින මොහොතක ලොව පුරා දෛනිකව මෙම අවදානම් සහගත රැකියාව සිදුකරන දහස් ගණනින් එක් අයෙකි මාසි.

    කොරෝනා වයිරසය වැළඳීමෙන් පුද්ගලයින් 18,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ආසාදන ගෝලීය වශයෙන් 400,000 සීමාව ඉක්මවා ගොස් ඇත. නව කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂිත පියවරක් ලෙස නිතිපතා සබන් යොදා අත් සේදීම හෝ සනීපාරක්ෂක යන්ත්‍රයක් භාවිතා කිරීම විශේෂඥයෝ නිර්දේශ කරති. නමුත් මාෂි ඇතුළු ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට එය විකල්පයක් නොවේ.

    “සනීපාරක්ෂාව ? ඒ මොකක්ද කියලා මමත් දන්නේ නැහැ. මම මිනිස් අපද්‍රව්‍ය මගේ අත් දෙකෙන් ඉවත් කරනවා. මම වතුරෙන් අත් සෝදා ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු මට එහෙම කරන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැ, ඒ නිසා මට කොහේ හරි වතුර හොයාගන්න වෙනවා“.

    ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පසුගිය වසරේ නොවැම්බරයේදී නිකුත් කරන ලද සනීපාරක්ෂක සේවකයින්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ ගෞරවය යන ඒකාබද්ධ වාර්තාවකට අනුව ගෝලීය වශයෙන් සනීපාරක්ෂක ශ්‍රම බලකායේ ප්‍රමාණය නොදන්නා කරුණකි.

    “සනීපාරක්ෂක සේවකයින් සමාජයේ වඩාත්ම නොපෙනෙන හා නොසලකා හරින ලද අය අතර වේ” යනුවෙන් එම වාර්තාව පවසයි. 

    “මෙම කම්කරුවන් නිසි උපකරණ, රැකවරණය හෝ නෛතික අයිතිවාසිකම් නොමැතිව සිය රැකියාවන් සිදුකරන සමාජයේ සාමාජිකයන් අතර වඩාත්ම ආන්තික, දුප්පත් හා වෙනස් කොට සැලකීම් ලැබන පිරිසයි. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබෙනවා. ඔවුන්න්ගේ මෙම සේවය අසාර්ථක වූ විට පමණක්, වළවල්, වීදි, ගංගා සහ වෙරළ තීරයන්හි අපද්‍රව්‍යවලට මුහුණ දෙන විට හෝ සනීපාරක්ෂක සේවකයන්ගේ මරණ පිළිබඳ ඉඳහිට මාධ්‍ය වාර්තා කරන විට පමණක් සනීපාරක්ෂක සේවකයින්ගේ දෛනික භාවිතයන් හා දුක්ඛිත තත්වය අනාවරණය වෙනවා. ඒත් එපමණයි. එයින් එහා කිසිවක් සිදුවන්නේ නැහැ“

    සිය දෑතින් මළ ඉවත් කළ සනීපාරක්ෂක කම්කරුවෙක්ස‍ෙ

    සනීපාරක්ෂක සේවකයින්ට වැඩි වැටුපක් නොලැබේ. (බොහෝ දිනවල මාසිහ් මෙම අවදානම් සහිත කාර්යය කිරීම මගින් රුපියල් 1,000ක් පමණ උපයා ගනී)

    මිනිස් මළ මූත්‍රා, ඉඳිකටු, බ්ලේඩ් සහ කැඩුණු වීදුරු වලට අමතරව ශාරීරික හානියක් විය හැකි ලෙස කාණු තුළට වෙනත් තියුණු වස්තූන් විසි කරන බව කරච්චිහි සනීපාරක්ෂක සේවකයෙකු වන රාජ් කුමාර් පවසයි  .

    “මේ කාණු තුළ බොහෝ විෂ රසායනික ද්‍රව්‍ය ඇති බැවින් මෙම කාර්යය කරමින් සිිටි බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඔවුන් කාණු තුළට විසි කරන්නේ කුමක් දැයි මිනිසුන්ට වැටහෙන්නේ නෑ. අවසානයේදී යමෙකු එය ඉවත් කළ යුතුයි. එය කරන්නේ සනීපාරක්ෂක කම්කරුවන් විසින්” රාජ් කුමාර් පවසයි.

    බුර්කිනා ෆාසෝ හි 45 හැවිරිදි සනීපාරක්ෂක කම්මකරුවෙකු වන වෙන්ඩ්ගුන්ඩි සැවඩෝගෝ වළක් හිස් කරමින් සිටියදී ඔහුගේ හිසට ගලක් කඩා වැටීමෙන් තුවාල ලැබීය. ඔහු ද රැකියාවේ අන්තරායන් ගැන හොඳින් දන්නා නමුත් එය කළ යුතුව ඇත.

    “මෙම කාර්යය කරන විට අප මුහුණ දෙන අවදානම් සහ සෞඛ්‍ය ගැටලු තිබෙනවා. සමහර විට මිනිසුන් සිරින්ජ හෝ වීදුරු බෝතල් කැබලි මේ කාණුවලට, වළවල්වලට දානවා. ඒ නිසා අපට විවිධාකාර ලෙඩ හැදෙනවා. ඒවාට ප්‍රතිකාර කළ යුතුයි. නමුත් අපට මුදල් නැහැ. අපි කුමක් ද කරන්නේ ? සැවඩෝ ඇසූ බව වාර්තාවේ සඳහන් කර ඇත.

    “සමහරු මිය ගියා. මා සිතන පරිදි මම වාසනාවන්තයි.”

    මෙම සේවකයින් අවිධිමත් හා ලේඛනගත නොවන බැවින්, රැකියාවෙහි යෙදී සිටියදී කොපමණ සංඛ්‍යාවක් මිය යනවාද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැත.

    සනීපාරක්ෂක කම්කරුවන් කිහිප දෙනෙක්

    ආරක්ෂිත රැකවරණයක් පවා නොමැත

    ආපසු කරච්චි නුවරට පැමිණි විට ප්‍රකාශ් අල් ජසීරාට පැවසුවේ අපජල නළයකින් බිමට වැටී තම කකුල කැඩී ගිය ආකාරයයි. දැන් මාස ගණනාවක් තිස්සේ ඔහු තවත් පුද්ගලයෙකුගේ වාරුවෙන් ගමන කරන අතර ඔහු මෙතෙක් දන්නා එකම රැකියාව කිරීමට ඔහුට නොහැකි වී තිබේ.

    සනීපාරක්ෂක සේවකයින් සඳහා කිසිදු පවුල් ආධාරයක්, සෞඛ්‍ය රක්ෂණයක් හෝ වෛද්‍ය ආධාරයක් නොමැති නිසා ඔහුගේ කැඩුණු උකුල් ඇටයට තවමත් ප්‍රතිකාර කර නොමැත. ඔහු දැන් කරච්චිහි වඩාත් ධනවත් අසල්වැසි නගරයක වීදිවල හිඟමනේ යෙදෙන්නේය.

    පාකිස්තානයේ සනීපාරක්ෂක කටයුතු පිරිනමනු ලබන්නේ මුස්ලිම් නොවන අයට පමණි. බුර්කිනා ෆාසෝ හි සනීපාරක්ෂක කටයුතු ප්‍රධාන වශයෙන් අවිධිමත් බව සනීපාරක්ෂක සේවකයින් පිළිබඳ වාර්තාව හෙළි කළ අතර කෙන්යාවේ “අවිධිමත් ක්‍රියාකරුවන් සහ විධිමත් කුඩා ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් සේවය කළ බව එම වාර්තාවේ සදහන් වේ.

    ඉන්දියාවේ බොහෝ අවස්ථාවල කම්කරුවන්ට මුදල්වලට වඩා ආහාර වලින් ගෙවා ඇති බව වාර්තා කළ බවත්; සෙනෙගල් සහ හයිටියේ අඩු ආදායම්ලාභී නිවැසියන් වැඩ නිම වූ පසු එකඟ වූ ගාස්තුව ගෙවීමට අපොහොසත් වූ බවත් එම වාර්තාවේ සදහන් වේ.

    “සනීපාරක්ෂක සේවකයින් ඕනෑම සමාජයක වැදගත්ම කාර්යභාරයන් ඉටු කරයි. ඔවුන්ගේ සෞඛ්‍යයට හා ජීවිතයට තර්ජනයක් වන තත්වයන් යටතේ වැඩ කිරීමට ඔවුන්ට බල කිරීම සිදුවන අතර ප්‍රමාණවත් උපකරණ හා පිළිගැනීම ඔවුන්ට හිමි නොවේ. ඒ වෙනුවට අපකීර්තියට හා ආන්තිකකරණයට මුහුණ දිය යුතු”යැයි වෝටර් ඒඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් වයින්ව්රයිට් පැවසීය.

    ‘ඔබ දැඩි සෞඛ්‍ය අනතුරක් අභිසය සිටී’

    පර්යේෂකයන් අනතුරු අගවා ඇත්තේ “මීතේන් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි හානිකර වායූන් වලට නිරාවරණය වීම, හෘද රෝග සහ අඝාතය, ඔස්ටියෝ ආතරයිටික වෙනස්කම් සහ අන්තර් අන්තරාල තැටි හර්නියාකරණය වැනි මාංශ පේශි ආබාධ, හෙපටයිටිස්, ලෙප්ටොස්පයිරෝසිස් සහ හෙලිකොබැක්ටර් වැනි ආසාදන, සමේ ගැටළු, ශ්වසන පද්ධති ගැටළු සහ තවත් නිමක් නැති සෞඛ්‍ය ගැටලුවලට මෙම කම්කරුවන් නිරන්තරයෙන් ගොදුරු වන බවයි.

    අනතුරු ඇඟවීම් සහ ඒ ආශ්‍රිත අවදානම් තිබියදීත්, මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් තම එදිනෙදා කටයුතුවල නිරත වන අතර, එයින් සිදුවන අන්තරායන් ඔවුහු හොඳින් දනිති.

    “මෙය මගේ වෘත්තිය බව පෙන්වීමට මට කඩදාසි / සහතිකයක් නැතැ”යි අවුරුදු 15 ක් තිස්සේ සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස සේවය කළ සැවඩෝගෝ පැවසීය.

    “ඔබ මැරෙන විට, ඔබේ අතීතය සහ ඔබ කළ සියල්ල ඔබ සමග මිය යයි. ඔබ කොතැනකවත් හෝඩුවාවක් හෝ තබා නැත. ඔබ එවැනි රැකියාවක් කර ඇති බව ඔබේ දරුවන්ට පෙන්වන ලේඛනයක් හෝ නොතකා ඔබේ බාල්දිය සහ උදැල්ල සමඟ මිය යන්න. මම ඒ ගැන සිතන විට මට කණගාටුයි. මම කරන වැඩ මගේ දරුවන්ගෙන් කිසිවෙකු කරනවාට මම කැමති නැහැ“ ඉක්බාල් මාසි පවසයි.

    2020 මාර්තු 26 වැනිදා පළ වූ අල් ජසීරා වාර්තාවක පරිවර්තනයකි. සැකසුම – තුෂාධවි

  • 1940 / 2020 අහිමි වූ ටෝකියෝ ඔලිම්පික් වටා පුදුමාකාර සමානකම්

    1940 / 2020 අහිමි වූ ටෝකියෝ ඔලිම්පික් වටා පුදුමාකාර සමානකම්

    1940 සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලවල් නතර කිරීම අතර අහඹු සමානතා රැසක්

    ජපානයේ තෝකියෝ නුවර පැවැත්වීමට සැලසුම්කර තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එය ජපානයට දැඩි කම්පනයක් ඇති කළ බව නොරහසක්. ඒත් මේ සමග තවත් අපූරු කතාවක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා සමාජගත වුණා. ඒ ජපානයට මෙවැනිම අමිහිරි සිදුවීමකට අදින් වසර 80කට පෙර, එනම් 1940දී ද මුහුණ දීමට සිදු වූ බවයි.

    ඒත් 1964 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අවස්ථාවට ජපානයේ ටෝකියෝ නුවරට හිමි වුණා.

    1940දී ඔලිම්පික් උළෙළ පැවැත්වීමට නියමිතව තිබුණේ ජපානයේ ටෝකියෝ නුවර. එම අවස්ථාව ජපානයට ලබා ගැනීම සදහා එවකට ජපන් අධිරාජ්‍යයට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වුණ අතර අනපේක්ෂිත සිදුවීම් ජාලයක ප්‍රතිඵලයක් ලෙස එය ජපානයට හිමි වුණා. ඒත්… එදා ජපානයට එම අවස්ථාව අහිමි වුණා. ඒ ජපානය ද සම්බන්ධ වූ දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා 1940 සහ 1944 (එංගලන්තයේ ලන්ඩන්) ඔලිම්පික් උළෙලවල් නොපැවැත්වීමට සිදු වූ නිසයි.

    මීට පෙර 1916 දී ද ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල නවතා දමනු ලැබුවා. ඒ ජරමනිය විසින් ආරම්භ කළ පළමු වැනි ලෝක යුද්ධය නිසයි. (ඒත් ජර්මනිය 1936 බර්ලින්, 1972 ජර්මනියේ මියුනික් වලදී ඔලිම්පික් උළෙල පැවැත් වූවා)

    ජපානයේ එළඹෙන 1940 ඔලිම්පික් උළෙල සැමරීම සඳහා ටෝකියෝ හි 1943 පැවැති නත්තල් සාදයක ​​දකුණු පසින් 1940 XII ඔලිම්පියාඩ් ටෝකියෝ නමින් සදහන් විශාල කේක් එකක් තිබේ.

    1940 ටෝකියෝ ඔලිම්පික් උළෙල

    1940දී ජපානයේ ටෝකියෝ නුවරදී ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අවස්ථාව දිනා ගැනීමට ජපානයට දැවැන්ත දේශපාලන හා බල අරගලයක යෙදීමට සිදු වුණා. ඒ අතර ජපානය තුළින්ම එල්ල වූ අභියෝග මෙන්ම ජාත්‍යන්තර අභියෝග රැසක් තිබුණා.

    1940 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අයිතිය දිනා ගැනීම සදහා ජපානය උත්සාහ කරන විට ජපානය දැවැන්ත භූමිකම්පාවකින් දැඩිව පීඩාවට පත්ව තිබුණා. එය 2020 ට සමාන කරන්නේ නම් අදින් වසර 09කට පෙර ජපානය ‘පූජියාමා භූමිකම්පාවෙන් දැඩිව බැට කා තිබුණා. එවැනි තත්ත්වයක් හමුවේත් ජපන් අභිමානය හා ආර්ථික හැකියාව ලොවට ප්‍රදර්ශනය කිරීමට එවකට පැවැති ජපන් අධිරාජ්‍යයාට වුවමනා වුණා.

    මේ සමග තවත් වැදගත් කරුණක් ද තිබුණා. ඒ යුරෝපා මහ ජාතීන්ගෙන් බාහිරව ආසියානු රටක ඔලිම්පික් උළෙලක් පැවැත් වෙන ප්‍රථම අවස්ථාවත් 1940 ටෝකියෝ ඔලිම්පික් උළෙලයි. එය ජපානයට පමණක් නොව ආසියාවටත් අභිමානයක් වුණා.

    ‘‘මීට වසර කිහිපයකට පෙර ටෝකියෝ නගරය විනාශ කළ භූමිකම්පාවෙන් ටෝකියෝව ජය ගත් බව ලොවට පෙන්වන දර්ශනයක් වන යුරෝපයට හා උතුරු ඇමරිකාවෙන් ඔබ්බට පැවැත්වූ පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙය විය“ පසු කලක ඔලිම්පික් ඉතිහාසය ලියූ ලේඛකයින් සදහන් කළා.

    1940 – 2020 අත්භූත සිදුවීම් හා සමානකම්

    2020 ඔලිම්පික් උළෙල කල් දැමීම ගැන විමර්ශනය කරන පිරිස් මේ සිදුවීම සහ 1940 සිදුවීම අතර අපූරු සමානකම් දකිනවා.

    1932 දී ලොස් ඇන්ජලීස් හි පැවති ඔලිම්පික් උළෙලේදී ජපානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වය සහ 1931 දී මැන්චූරියාව ආක්‍රමණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර විවේචන, ජපාන අධිරාජ්‍යය දිගින් දිගටම චීනය දක්වා ව්‍යාප්ත වීම ආදි කාරණා ඔලිම්පික් උළෙල ජපානයට දිනා ගැනීමට එරට රජය පොළඹවා ගැනීමට එය ඉවහල් විය.

    මීට පෙර ඔලිම්පික් උළෙල පවත්වා තිබුණේ බටහිර රටවල ප්‍රභූ නගර වල පමණි. එය ඔවුන්ගේ අභිමානය හා බලය පෙන්වන දෙයක් ලෙස සැලකුණි. එහෙත් ජපන් පිහිනුම් ක්‍රීඩකයින් 1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී සිය ආධිපත්‍ය පැතිරවීය. මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ජපානයේ යසුජි මියාසාකි Yasuji Myiazaki සමත් විය.

    ඩේවිඩ් ගෝල්ඩ්බ්ලැට් සිය “ගේම්ස්” නම් පොතේ  David Goldblatt writes in his book “The Games” මෙසේ ලියයි: “ජාත්‍යන්තර කීර්තිය සහ ඔලිම්පික් ජයග්‍රහණයන් අතර සහසම්බන්ධය … ජපන් ඔලිම්පික් උළෙල පිළිබඳ අදහස පළමුවෙන් පිළිගත හැකි, පසුව ප්‍රියජනක සහ අවසාන වශයෙන් විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයකි‘‘

    1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් ජපානයේ යසුජි මියාසාකි එම ඉසව්ව නිම කරමින් සිටින අයුරු. 15 හැවිරිදි ඔහු අවසන් පූර්ව වටයේදී තත්පර 58.0 ක නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීය.

    2011 වසරේදී සිදු වූ පුජියාමා ව්‍යසනයෙන් (භූමිකම්පාවෙන්) වසර 09කට පසු 2020 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව සිටි ඔලිම්පික් උළෙල “ප්‍රතිසාධන ඔලිම්පික් “Recovery Olympics ” ලෙස නම් කරනු  ලැබුවාක් මෙන්, ටෝකියෝ නගරාධිපති නාගටා හයිඩ්ජිරෝ විසින් 1930 දී ප්‍රථම වරට 1940 ඔලිම්පික් උළෙලක් ප්‍රකාශයට පත් කරන ලදී.

    1923 භූමිකම්පාවෙන් ටෝකියේ අගනගරයේ බොහෝ ප්‍රදේශ විනාශ කර දැමූ නමුත් ඒ වන විට, වසර 10කට ආසන්න කාලයකදී ටෝකියෝව යළි ගොඩනැගීමට හැකියාව ලැබී තිබුණි. (මෙය ද 2020ට සමානවේ)

    එපමණක් ද නොවේ 1940 ටෝකියෝ නුවර පැවත් වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙළ ද ජිම්මු අධිරාජ්‍යයාගේ මිථ්‍යාදෘෂ්ටික පිවිසුමේ 2,600 වන සංවත්සරය හා ජාතියේ අත්තිවාරම සමඟ සමපාත වේ Emperor Jimmu’s mythical accession and the foundation of the nation. ගෝල්ඩ්බ්ලැට් එය විස්තර කළේ “වැඩි වැඩියෙන් ජාතිකවාදී සංස්කෘතියක් තුළ ජපන් ඔලිම්පික් උළෙල සඳහා සහයෝගය ගොඩනැගීම සඳහා පරිපූර්ණ සංකල්පයක්” ලෙස ය.

    ජපානයේ මලල ක්‍රීඩා නියෝජිත කණ්ඩායම 1912 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ජපානයේ පළමු ඔලිම්පික් සහභාගීත්වය සනිටුහන් කළේය

    උද්ඝෝෂණ ආරම්භ වේ

    1930 ගණන් වලදී ජපානයට ඔලිම්පික් පරම්පරාවක් තිබුණි. 1912 දී එය ඔලිම්පික් උළෙලට සහභාගී වූ පළමු යුරෝපීය හෝ ඇමරිකානු නොවන රට බවට පත්ව සිටි අතර සැලකිය යුතු ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) නියෝජිතයින් ද විය.

    “1930 ගණන්වල මුල් භාගයේදී ජපානය ක්‍රීඩා උළෙල තම රටට ලබා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් උද්ඝෝෂණය කර තිබුණා” යැයි යේල් විශ්ව විද්‍යාලයේ ජපන් අධ්‍යයන පිළිබඳ මහාචාර්ය සුමිටෝමෝ මහාචාර්ය විලියම් කෙලී සීඑන්එන් වෙත පැවසීය.

    ජූඩෝ පුරෝගාමියා සහ  IOC  සාමාජික බාරොන් ජිග්රෝ කැනෝෙ 1932 ඔලිම්පික් උළෙල අවසානයේ දී  IOC  වෙත ප්‍රධාන දේශනයක් කරමින් ජපානයේ ලංසුව සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ බව විශ්වාස කෙරේ.

    එවකට  IOC  නායක බෙල්ජියමේ හෙන්රි ඩි බේලට්-ලැටෝර්ට Henri de Baillet-Latour අනුව කැනෝ කාමරයේ සිටි අයට පැවසුවේ ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් ඔලිම්පික් ව්‍යාපාරයේ නිර්මාතෘ පියරේ ද කූබර්ටින්ගේ Pierre de Coubertin දැක්ම පුළුල් වන බවත්, ඒ සමග නැගෙනහිර – බටහිර අතර පැවති පරතරය පියවන බවත්ය.

    මෙම සන්දර්භය තුළ, 1940 ඔලිම්පික් උළෙල “ඔලිම්පික් ව්‍යාපාරය විශ්වීය යැයි අයිඕසී වාචාලකම නීත්‍යානුකූල කිරීමට ඉවහල් විය” යනුවෙන් ආචාර්ය සැන්ඩ්‍රා කොලින්ස් සිය ‘1940 ටෝකියෝ ක්‍රීඩා උළෙල – අතුරුදන් වූ ඔලිම්පික්“ නම් පොතේ ලිවීය‍.

    ලිබරල්වාදීන්ට ගෝලීය උත්සවයක් පිළිබඳ දර්ශන තිබුණද, ජපාන රජය ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වාසි වෙනස් ලෙස දුටුවේ බටහිර ආධිපත්‍යය දරන ලෝකයකට බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස ය. සියවසේ මුල් භාගයේදී රට කලාපයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වා ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට කැපවී සිටි අතර මහා අවපාත සමයේදී ජපානය සිය ආර්ථික ගැටලු මිලිටරි ජයග්‍රහණ මගින් විසඳනු ඇතැයි යන විශ්වාසය වර්ධනය විය.

    නමුත් 1940 දී ටෝකියෝව සත්කාරකත්වය දැරීමේ තරඟය ජයග්‍රහණය කිරීම සහතික නොවීය. රෝමය සහ හෙල්සින්කි ප්‍රධාන ප්‍රතිවාදීන් වූ අතර ඉතාලි අගනුවර ජනප්‍රියම ස්ථානය ලෙස සැලකුණේය. එබැවින් 1935 දී ජපානයේ අයිඕසී සාමාජික සුගිමුරා යතාරෝ ඉතාලියට ගොස් ෆැසිස්ට් ආඥාදායක බෙනිටෝ මුසොලිනි හමුවී ඔහුගෙන් ඉල්ලා සිටියේ එහි ලංසුව ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

    “ජාත්‍යන්තර ක්‍රීඩා දේශපාලනයේ සම්මතයක් බවට පත්ව ඇත“

    මුසෝලිනී සුපුරුදු ලෙස අවංකව ප්‍රකාශ කළේ, 1944 දී රෝමයට ඔලිම්පික් උළෙල ලබා ගැනීම සදහා වන තම උත්සාහයට ජපානය සහාය දෙන්නේ නම්, 1940දී ජපානයට ඔලිම්පික් උළෙල ලබා ගැනීම සදහා සිය සහාය දෙන බවත්, තම ලන්සුව ඉල්ලා අස්සකර ගන්නා බවත්ය”ගෝල්ඩ්බ්ලැට් ලිව්වේය.


    ජපානයට පොරොන්දු වූ ආකාරයෙන්ම මුසොලිනි 1940 ඔලිම්පික් උළෙල සඳහා රෝමයේ ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේය.

    බෙනිටෝ මුසොලිනි 1940 ඔලිම්පික් උළෙල සඳහා රෝමයේ ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේය.

    1936 බර්ලින් නාසි බලය හමුවේ

    1936 දී ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් උළෙල පැවැත් වූ අතර එය හිට්ලර් සිය නාසි බලය ලොවට ප්‍රදර්ශනය කිරීම සදහා අවස්ථාවක් කරගත් බවට දැඩි විවේචන එල්ල විය. ඒ සමග බටහිර ජාතීන් තුළ කණස්සල්ලක් ඇතිකර තිබූ ජපන් අධිරාජ්‍යවාදය ද 1940 ඔලිම්පික් උළෙල සදහා ඉදිරිපත්වීම ඉතා උණුසුම් තත්ත්වයක් නිර්මාණය කළේය.

    වමේ සිට දකුණට – ඇමරිකාවේ රිදී පදක්කම්ලාභී ජැක් මෙඩිකා, ජපානයේ රන් පදක්කම්ලාභී නොබොරු ටෙරාඩා සහ ලෝකඩ පදක්කම්ලාභී ජපානයේ ෂම්පෙයි උටෝ පදක්කම් ලබා ගැනීමට පැමිණ සිටියදී – 1936 බර්ලින් ඔලිම්පික් උළෙල

    මේ සමග 1940 ඔලිම්පික් උළෙල සදහා ස්කැනේඩියානු රාජ්‍යයක් වූ පින්ලන්තයේ හෙල්සින්කි නුවර ද තරග කළ අතර ඔවුන්ට එම අවස්ථාව හිමි විය.

    ‍මේ අතර 1938 දී, ජපානය චීනය ආක්‍රමණය කර වසරකට පසුව, අයිඕසී විසින් 1940 දී ශීත ඍතු ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දැරීම සදහා ජපාන නගරයක් වන සප්පෝරෝ වෙත ප්‍රදානය කරන ලදී.

    ජපානය චීනය ආක්‍රමණය කරමින් චීන නගර විනාශ කිරීම පිළිබදව ඇමරිකානු සහ යුරෝපීය පුවත්පත්වල වාර්තා වීමත් සමඟ එම වසරේම ප්‍රධාන රටවල් වර්ජනය කරන බවට තර්ජනය කිරීමත් සමඟ ජපාන රජය ගිම්හාන සහ ශීතඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අයිතිය අහිමි කළේය.

    චීනය සමඟ යුද්ධයක පැටලී ගෝලීය ගැටුමක් ක්ෂිතිජයේ පවතින බව දැනගත් හමුදා රජය ජාතික බලමුලු ගැන්වීමේ පනත සම්මත කළේය.

    “මාස තුනකට පසු, ජපානයේ ජපන් ජාතිකයින් අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වශයෙන් බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය ඉල්ලා සිටි අතර 1940 ක්‍රීඩා අත්හැරියේය” යනුවෙන් ගෝල්ඩ්බ්ලැට් ලියයි.

    “අත්හිටුවීම 1936 ඔලිම්පික් උළෙලින් වෙන් කළ නොහැක” යනුවෙන් කෙලී පවසයි. 

    “ඇමරිකානුවන්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය 1940 ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම ගැන කතා කිරීමට පටන් ගත්තේ හිට්ලර් විසින් මෙම දැවැන්ත ප්‍රචාරක ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඔවුන් නරක ලෙස භාවිතා කර ඇති බව ඔවුන්ට හැඟුණු බැවිනි. එබැවින් එය ඇත්ත වශයෙන්ම බර්ලින් ඔලිම්පික් බලපෑම නිසා ජපාන රජය සිය ලංසුව ඉල්ලා අස්කර ගැනීමට හේතු විය. ප්‍රධාන බලවතුන් නොමැතිව ඔලිම්පික් උළෙල පැවැත්වීම වඩාත් නරක බව ජපානය දැන සිටියේය.

    නාඕටෝ ටජීමා (ජපානය) 1936 දී බර්ලිනයේ ත්‍රිත්ව පැනීම ඉසව්ව නියෝජනය කරමින්

    ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව විසින් 1940 ඔලිම්පික් උළෙල හෙල්සින්කි වෙත ප්‍රදානය කිරීමට කටයුතු කළ නමුත් 1939 නොවැම්බරයේ සෝවියට් සංගමය ෆින්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග 2020 දී මෙන් එම වසරේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීමේ බලාපොරොත්තුව අවසන් විය.

    අවලංගු කිරීමේ පිරිවැය

    ප්‍රවාහනය, සනීපාරක්ෂාව සහ හෝටල් ඉදිකිරීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආර්ථික ආයෝජනයක් සිදු කරමින් 1940 ඔලිම්පික් උළෙල සඳහා ටෝකියෝව සූදානම් වීම “සෑහෙන තරම් සැලකිය යුතු” බව කෙලී පවසයි.

    “ක්‍රීඩා සඳහා භාණ්ඩ හා සේවා සැපයීමේදී පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹවූ දේශීය ව්‍යාපාර අනාගත ගනුදෙනුකාර පදනමක් නොමැතිව සිටින බව පෙනී ගියේය. එබැවින් ව්‍යාපාරික ප්‍රජාව ටෝකියෝවේ කලබලයට පත්වූ නමුත් මෙය ඔබට සැබවින්ම ප්‍රකාශ කිරීමට නොහැකි වූ අවස්ථාවකි.

    කෙලී පැහැදිලි කරන්නේ 1940 දී ආර්ථික වශයෙන් වඩා රට දේශපාලනික වශයෙන් පීඩා විඳි බවයි.

    “ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ රටක්ද යන්න සෙසු ලෝකයට පෙන්වීම සඳහා ලෝකයේ විශාලතම මෙගා ඉසව්ව භාවිතා කිරීමට ඔබට හැකියාවක් නැත,” ඔහු තවදුරටත් පවසයි.

    1940 ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටු රැස්වීමක්. 1938 ජූලි 16 වන දින ජපානයේ ටෝකියෝ නුවර මැන්ටෙට්සු කයිකන් හිදී

    ටෝකියෝ 2020 කල් දැමීමේ බලපෑම ගණනය කර ඇති පරිදි, 1920 සහ 1930 ගණන්වල ඔලිම්පික් උළෙල අද අප දන්නා හුරුපුරුදු ඩොලර් බිලියනයක ව්‍යාපාරයට වෙනස් එකක් බව මතක තබා ගැනීම වටී.

    ඔලිම්පික් ඉතිහාසඥයින්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපති ඩේවිඩ් වොලචින්ස්කි සීඑන්එන් ස්පෝර්ට් වෙත මෙසේ පවසයි:

    “එදා මේ තරම් විශාල අවධාරණයක් නොතිබුණි. 1948 දී ක්‍රීඩා උළෙල වසර 12 කට පසු නැවත පැමිණි විට මිනිසුන් එය කිසිසේත් සිදු නොවීම ගැන සතුටු විය. ඇත්ත වශයෙන්ම, රූපවාහිනිය හඳුන්වාදීම, මිනිසුන්ට එය සජීවීව නැරඹිය හැකි හෝ අවම වශයෙන් දිනපතා වාර්තාවක් කියවිය හැකි වීම සමග එය ගෝලීය අවධානය දිනා ගත් නමුත් 1940 දශකයේදී එවැනි උණුසුම් තත්ත්වයක් නොවීය. නමුත් විද්‍යුත් මාධ්‍ය බිහිවීම සමග 1960 දශකය වන විට එය සමස්ත ගනුදෙනුවක් විය.“

    අනාගතය

    ඔලිම්පික් උළෙලක් පවත්වන සෑම අවස්ථාවකම අර්බුදයක් ඇති බව පෙනේ. 2012 දී ආරක්ෂක ගැටළු ඇති අතර, 2016 දී එය සිකා වෛරසය විය. දැන් 2020 දී එය කොරෝනා නමින් නැවත පැමිණියේය.

    පසුගිය සතියේ ජපානයේ නියෝජ්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු කමිටුවකට පවා කියා සිටියේ ටෝකියෝ 2020 ශාපයකට ලක්ව ඇති බවයි. සෑම වසර 40 කට වරක්ම අසාමාන්‍ය ලෝක සිදුවීම් හේතුවෙන් ඔලිම්පික් උළෙල නතර වන බවට ඔහු තර්ක කළේය.

    2020 මාර්තු 24 වන දින ගන්නා ලද ඡායාරූපයකි. මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ෆුකුෂිමා හි ප්‍රදර්ශනය කර ඇත

    ඔලිම්පික් උළෙල බොහෝ දුරට නොනැසී පවතී. 1972 ජර්මනියේ මියුනික් ඛේදවාචකය, 1984 මොස්කව් ඔලිම්පික් උළෙල බටහිර රටවල් විසින් වර්ජනය කිරීම, 1996 ඛේදවාචකය සිදුවිය. නමුත් පසුගිය වසර 100 තුළ ලෝකය කොරෝනා වසංගතය වැනි දෙයක් අත්විඳ නොමැත.

    “අපි [මාධ්‍ය], ඔලිම්පික් උළෙල දක්වා සෑම විටම ඍණාත්මක දේ සොයන්නේ එය හොඳ කතාවක් නිසා” යැයි වොලෙචින්ස්කි පවසයි.

    “ලන්ඩනයේ සෑම දෙයක්ම හොඳ අතට හැරෙන බව 2012 දී මිනිසුන්ට පැවසීම හොඳ කතාවක් නොවේ. 2000 දී සිඩ්නි වැනි හොඳම සංවිධානාත්මක ඔලිම්පික් උළෙලවල්වලට පවා සෑම විටම මෙම නිෂේධාත්මක කථා කල්තියාම ඇති අතර කමිටු සංවිධානය කිරීමේදී මම මිනිසුන් සමඟ කතා කළ සෑම අවස්ථාවකම මම අපි ඔවුන්ට මේ ගැන අනතුරු ඇඟවූවා. ( ඒ ඔබ නොවේ, ඒ අපි) නමුත් සමහර විට මෙම අනතුරු ඇඟවීම් සැබෑ ඒවා වන අතර මේ අවස්ථාවේ දී ද ඒවා එසේ ය”

    සී.එන්.එන්. හි 2020 මාර්තු 26 වැනි දින පළ වූ වාර්තාවකි. සැකසුම – තුෂාධවි

  • ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

    ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.

    පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට, මාර්තු 27 සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

    මේ දිස්ත්‍රික්කවල එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කෙරේ.

    අද උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව මේ නිවේදනයේ සඳහන් වේලාවන් නැවත දැනුම් දෙන තුරු වලංගුව පවතී.

  • කොරෝනා ආසාදනය වුණොත් ඇත්තටම මැරෙන සම්භාවිතාව කීයද?

    කොරෝනා ආසාදනය වුණොත් ඇත්තටම මැරෙන සම්භාවිතාව කීයද?

    එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය.

    මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වනදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ ප්‍රතිශතය 5%ක් විය.

    මීට හේතුව එක්සත් රාජධානිය තුළ සියලු ආසාදිතයන් පරීක්ෂාවට ලක් කොට තහවුරු නොකිරීමය.

    පරීක්ෂාවට ලක් කළ යුත්තේ කවුරුන්ද යන වග තීරණය කිරීමට එක් එක් රටවල් තමන්ගේ නිගමනයන් අනුව කටයුතු කරති. එම නිසා ඒ ඒ රටවලින් වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රතිශතය සංසන්දනය කිරීමේදී වැරදි මගපෙන්වීමක් ලබා දිය හැකිය.

    Getty Image

    මරණ අනුපාතිකය රඳා පවතින තවත් සාධක කිහිපයක් පවතී. ඔබේ වයස, ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය සහ ඔබට ලැබෙන සෞඛ්‍ය සේවා පහසුකම්වල තත්වය ඉන් කිහිපයකි.

    ඔබට පවතින අවදානම කෙතරම් ද?

    වයස්ගත සහ අසනීපයෙන් පසුවන පුද්ගලයන්ට නව කොරෝනාවෛරසය වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති සම්භාවිතාව වැඩිය.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුව වයස අවුරුදු 80ට වැඩි උදවියට පවතින මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩු අවදානමකි.

    වයස්ගත පුද්ගලයන්ට පවතින අවදානම ඉතා ඉහළ වුවත් “වයස්ගත උදවියගෙන් අති විශාල පිරිසකට අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග තත්වයන් පෙන්නුම් කරනු ඇති,” බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, මහාචාර්ය ක්‍රිස් විටි පවසයි.

    නමුත් මෙය තරුණයන් විසින් නොතකා හරිනු ලැබිය යුතු සුළු ආසාදනයක් ලෙස නොසිතිය යුතු යයි ඔහු අනතුරු අඟවන්නේ ඇතැම් තරුණයන්ට පවා අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව අවධානයට ලක් කරවමිනි.

    ඒ අනුව බලන කල මෙම ආසාදනයේ අවදානම තීරණය වන්නේ වයස මත පමණක් ම නොවේ.

    චීනයෙන් වාර්තා වූ පළමු ආසාදිතයන් 44,000කගේ තත්වය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද හෝ ශ්වසන රෝග පවතින උදවියට පවතින අවදානම සාමාන්ය මට්ටම මෙන් අඩු වශයෙන් පස්ගුණයකින් වත් ඉහළ බවය.

    මේ සියලුම සාධකයන් මත මෙහි මරණ අනුපාතිකය රඳා පවතින බැවින් එක් එක් රටවලින් වාර්තාවන ආසාදිතයන් හෝ සියලු කාණ්ඩවලට අයත් ආසාදිතයන් කෙරෙහි පවතින මරණ අවදානම පිළිබඳව පූර්ණ නිගමනයකට ඒමට හැකියාවක් නැත.

    ආසාදිතයන්ගෙන් වාර්තාවන මරණවල රටාව අනුව වැඩිම අවදානමක් පවතින්නේ කාටද යන්න පැවසිය හැකි නමුත් එය නියත වශයෙන් ම අගයක් ලෙස පැවසිය නොහැකිය.

    දැනට තහවුරු වූ ආසාදිතයන්ගෙන් මරණයට පත් වූ සංඛ්‍යාව ගණනය කොට ලබා ගන්නා අගය සැබෑ මරණ අනුපාතිකය ලෙස සැලකිය නොහැක.

    සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බොහෝ පුද්ගලයන් වෛද්යවරයෙකු වෙත යොමු නොවන බැවින් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ලේඛනගත නොවේ.

    මාර්තු 17 වනදා වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබුනේ ආසාදිතයන් 2000ක් පමණි. නමුත් එම අවස්ථාවේ දී එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්රික් වැලන්ස් ගේ තක්සේරුව වූයේ රට තුළ ආසාදිතයන් 55,000ක් පමණ සිටින බවය.

    මරණයට පත් වූ සංඛ්‍යාව 55,000න් බෙදූ විට ලැබෙන මරණ අනුපාතිකයට වඩා අතිශයින් වැඩි අගයක් එම මරණ සංඛ්‍යාව 2000න් බෙදූ විට ලැබේ.

    සැබෑ මරණ අනුපාතිකය තීරණය කිරීමේ දී මෙම ඇස්තමේන්තු කෙතරම් වැරදි සහගත අගයන් ලබා දෙන්නේද යන්න තහවුරු වන්නේ ලේඛනගත නොවන ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටීම හේතුවෙනි.

    රටින් රටට මරණ අනුපාතය වෙනස් වන්නේ අයි?

    ආසාදිතයන් සොයා ගැනීම සඳහා එක් එක් රටවල් යොදා ගන්නා ක්‍රමවේදයන් හි පවතින කාර්යක්ෂමතාවය මත එය රඳා පවතින බව ඉම්පීරියල් කොලේජ් සිදු කළ සමීක්ෂණ වර්තාවක දැක වේ.

    වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාව රටින් රටට වෙනස් වේ. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පනවන නීති රටින් රටට වෙනස් ය. මෙම සාධක ද කාලයත් සමඟ වෙනස් වේ.

    Text by BBC

  • ලංකාව ඉතාලියක් වනවා දකින්න තමා කැමැති නැති බව ජනපති කියයි

    ලංකාව ඉතාලියක් වනවා දකින්න තමා කැමැති නැති බව ජනපති කියයි

    ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25)පැවති කැබිනට් මණඩල රැස්වීමේදී පවසා තිබෙනවා.

    එහිදී රට තුළ පවතින වත්මන් තත්තවය ගැන පැහැදිලි කරමින් ජනපතිවරයා පවසා ඇත්තේ එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවයි.

    අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බව පැවසු ජනපතිවරයා ලංකාව ඉතාලියක් වනු දැකීමට තමා අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබෙනවා.

  • කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ ඇඳිරි නීතිය දිගටම

    කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ ඇඳිරි නීතිය දිගටම

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇත.

    පුත්තලම, වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

    ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.

    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව  පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි

  • අද දින කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

    අද දින කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

    අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 102කි.

  • චාල්ස් කුමරුටත් කොරෝනා

    චාල්ස් කුමරුටත් කොරෝනා

    බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය.

    71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම “හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන” බව ප්‍රකාශකයකු පැවසීය.

    චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර් ද පරීක්ෂාවට ලක් කෙරුණත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැත.

    චාල්ස් කුමරු හා කැමිලා යන දෙදෙනා මේ වන විට බැල්මොරල් මන්දිරයේ ස්වයං හුදෙකලා වී ඇති බව ද ක්ලැරන්ස් මන්දිරය පැවසීය. “ගෙවුණු දින කිහිපය පුරා චාල්ස් කුමරු නිවසේ සිට වැඩ කළ,” බව ද කියවිණි.

    “ආණ්ඩුවේ වෛද්‍ය උපදෙස් පරිදි කුමරු හා ආදිපාදවරිය ස්කොට්ලන්තයේ පිහිටි නිවාස තුළ ස්වයං හුදකලා වී සිටිති,” යනුවෙන් නිල නිවේදනයේ දැක්විණි.

    “පසුගිය සති කිහිපය පුරා කුමරු ප්‍රසිද්ධ අවස්ථා රැසකට එක්වූ බැවින් කවරකුගෙන් වෛරසය එන්නට ඇත්දැයි පැවසීම අසීරු” යැයි ද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

  • පොදු ගැටළු ඇත්නම් පොලිසියේ මේ අංක අමතන්න !

    පොදු ගැටළු ඇත්නම් පොලිසියේ මේ අංක අමතන්න !

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන මේ කාල වකවානුව තුළ මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක 03ක් නිකුත් කර ඇත.

    ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 

    0112444480 

    0112444481 

    යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම්දීමට මහජනතාවට අවස්ථාව හිමිවෙයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසන්නේ සෞඛ්‍ය ගැටළු , විදුලිය විසංදිවීම , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව සහ අවශ්‍ය සහය ඉල්ලා සිටිය හැකි බවය.

  • චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

    චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

    චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි.

    මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව තිබූ බවයි.

    චීනයේ තොරතුරු සහ ජනමාධ්‍ය නිදහස තිබුණි නම් මෙසේ සිදුවිය හැකිව තිබුණි.

    දෙසැම්බර් 20: වුහාන් නගර බලධාරීන්ට වෛරසය පිළිබඳව මාධ්‍යවේදීන්ට දැනුම් දීමට අයිතිය තිබෙන්නට ඉඩ තිබුණි.

    පළමු ලේඛනගත රෝගියාගෙන් මසකට පසු, වුහාන් නගරයේ ඒ වනවිටත් නොදන්නා සාර්ස් වැනි නියුමෝනියාව සහිත රෝගීන් 60 ක් සිටි අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ම හුවාන් මත්ස්‍ය වෙළඳපොළට නිතර පැමිණි අයවලුන් වූහ. තත්වය එසේ තිබියදීත්, බලධාරීන් මෙම තොරතුරු මාධ්‍යයට දැනුම් දීමට තීරණය කළේ නැත.

    ඉතා ජනප්‍රිය වෙළඳපලකට සම්බන්ධ වසංගත රෝගයක් පවතින බවට බලධාරීන් මාධ්‍යයෙන් සඟවා නොතිබුණි නම්, ජනවාරි 1 වන දින නිල වශයෙන් නගරය වසා දැමීමට කලකට පෙර මහජනතාව මෙම ස්ථානයට පැමිණීම නතර කරන්නට ඉඩ තිබුණි. නමුත් ජනයා දිගටම එහි ගියෝ ය. එමගින් රෝගය දසත පැතුරුණි.

    දෙසැම්බර් 25: වෛද්‍ය ලූ ෂියාහෝං මාධ්‍යයට මෙම රෝගයෙහි බියජනක තත්වය ප්‍රකාශ කරන්නට ඉඩ තිබුණි.

    අංක 5 වුහාන් සිටි රෝහලේ ආමාශ ආශ්‍රිත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය ලු ෂියාහෝං දෙසැම්බර් 25 වන දින වෛද්‍ය කාර්ය මණ්ඩලයට බලපාන නව ආසාදනය පිළිබඳ රෝගීන් විභාග කිරීම ආරම්භ කරන ලද අතර එය ජනවාරි පළමු සතියේ සිට මිනිසුන් අතර සම්ප්‍රේෂණය වෙමින් ඇති බවට බවට සැක කළේ ය.

    චීනයේ ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදෙන මූලාශ්‍රවලට වෘත්තීයමය දඩුවම් පැමිණවීමේ සිට දැඩි සිර දඩුවම් දක්වා දඩුවම් පැණවීමක් නොතිබුණි නම්, මාධ්‍යට නව කොරොන වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීමේ වගකීම වෛද්‍ය ලූ ෂියාහෝං විසින් භාරගන්නට තිබුණි. එසේ වී නම් මාධ්‍ය විසින් මේ තත්වය හෙළිදරව්කරන්නටත් එමගින් පියවර ගැනීමට ආණ්ඩුවට බලපෑම් කරන්නටත් ඉඩ තිබුණි. නමුත් ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තේ ඉන් සති තුනකට පසු ය.

    දෙසැම්බර් 30: රහස් හෙළි කරන්නන්ගේ පූර්ව අනතුරු ඇඟවීම මාධ්‍ය වෙත ලැබෙන්නනට තිබුණි.

    වුහාන් මධ්‍යම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂ අයි ෆෙන් ඇතුලු වෛද්‍යවරුන් කණ්ඩායමක් සාර්ස් වැනි කෙරොන වෛරසයක්” පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේ ය. පසුව එම අසනීපයෙන්ම මියගිය වෛද්‍ය ලී වෙන්ලියන්ග් ඇතුළු අට දෙනෙකු “බොරු කටකතා” ප්‍රචාරය කරන්නේ යැයි කියා නිසා වුහාන් පොලිසිය විසින් ජනවාරි 3 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

    රහස් තොරතුරු හෙළි කරන්නන් විසින් ලබා දෙන ලද තොරතුරු දෙසැම්බර් 30 වන දින නිදහසේ බෙදා හැරීමට කිරීමට පුවත්පත් සහ සමාජ මාධ්‍යවලට හැකි වූයේ නම්, මහජනතාවට අනතුර අවබෝධ වී වෛරසය ව්‍යාප්ත වීම සීමා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට බලපෑම් කරනන්නට තිබුණි.

    දෙසැම්බර් 31: සමාජ මාධ්‍ය විසින් චීනයේ නිල අනතුරු ඇඟවීම ප්‍රසිද්ධ කරන්නට ඉඩ තිබුණි.

    චීනය දෙසැම්බර් 31 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අනතුරු මෙම වෛරසය ගැන අනතුරු ඇඟවීය. නමුත් ඒ සමඟම වසංගතය ගැන සඳහන් කැරෙන වචන විශාල සංඛ්‍යාවක් වාරණය කිරීමට WeChat නම් චීන අන්තර් ජාල සාකච්ජා වේදිකාවට බල කළේ ය.

    වාරණයක් නොතිබුණි නම් චීනයේ බිලියනයක් ක්‍රියාකාරී පරිශීලකයින් සිටින සමාජ ජාලයක් වන WeChat හරහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන නීතිරීති වඩා හොඳින් පිළිපැදීමට හැකිවනසේ උපදෙස් සහිත වාර්තා සහ පූර්වාරක්‍ෂක උපදෙස් විකාශනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකි වන්නට තිබුණි.

    ජනවාරි 5: විද්‍යා ජනමාධ්‍ය කල්තියා කොරෝනා වයිරස් ජෙනෝමය බෙදා හරින්නට ඉඩ තිබුණි.

    ෂැංහයි මහජන සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානයේ මහාචාර්ය ෂැං යොංෂෙන්ගේ කණ්ඩායම ජනවාරි 5 වන දින වෛරසයේ ජානමය අනුක්‍රමය සොයා ගත්තේ ය. නමුත් බලධාරීන් එම ජානමය ප්‍රසිද්ධියට පත් කිරීමට මැලිකමක් විය. චීනයෙහි වෛරසයෙන් පළමු වරට අයකු මියගිය බව සනාථ වූ ජනවාරි 11 වන දින පර්යේෂකයන් විසින් විවෘත අන්තර්ඩජාල මූලාශ්‍ර වේදිකාවට ජානමය අනුක්‍රමය පිළිබඳ තොරතුරු මුදා හැරියේ ය. ඊට දඩුවමක් වශයෙන් බලධාරීන් විසින් ඔවුන්ගේ රසායනාගාරය වසා දමන ලදී.

    චීන බලධාරීන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළේ නම්, වහාම කොරොන වයිරස් ජානමය අනුපිළිවෙල එරට විද්‍යා මාධ්‍ය වෙත සන්නිවේදනය කරන්නටත් එය ලොව පුරා බෙදා හැරීම මගින් එමගින් එන්නතක් සංවර්ධනය කිරීම සඳහා කරන ලද පර්යේෂණ වලදී ජාත්‍යන්තර ප්‍රජාවගේ වටිනා කාලය ඉතිරි කර ගන්නට තිබුණි.

    ජනවාරි 13: වසංගතයක් ඇතිවීමේ අවදානම ජාත්‍යන්තර ප්‍රජාවතේරුම් ගන්නට ඉඩ තිබුණි.

    වුහාන්හි සිට පැමිණි සංචාරකයෙකු චීනයෙන් පිටත නව කොරොන වයිරස් ආසාදනය වී තිබීමේ පළමු සිද්ධිය තායිලන්තයේ වාර්තා වුයේ එදින ය.

    ජනවාරි 13 වන දිනට පෙර චීන බලධාරීන් විසින් දැන සිටි වසංගතයේ පරිමාණය පිළිබඳ තොරතුරු කරා ප්‍රවේශවීමට ජාත්‍යන්තර මාධ්‍යවලට හැකියාවක් තිබුනේ නම්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම අර්බුදය පිළිබඳ කල්තියා තොරතුරු ලබාගෙන රෝගයේ පැතිරීම දැනුවත්ව ආරක්ෂාකාරීව අපේක්‍ෂා කරමින් වසංගතයේ අවදානම අඩු කරන්නට තිබුණි. සමහර විට එය චීනයෙන් පිටතට පැතිරීම බාල කොට ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වීම වළක්වා ගන්නට ද ඉඩ තිබුණි.

    2019 ආර්එස්එෆ් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ චීනය සිටින්නේ 180 න් 177 වන ස්ථානයේ ය.

    (දළ පරිවර්ථනය  ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.)
    කාලීන අවශ්‍යතාව සලකා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන අප විසින් ද පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක)