Tag: featured

  • ව්‍යාපාරිකයින්ට ජනපති දුන් ‘කොරෝනා සහන පැකේජය’ මෙන්න

    ව්‍යාපාරිකයින්ට ජනපති දුන් ‘කොරෝනා සහන පැකේජය’ මෙන්න

    රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ​ද (17) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සදහන් කළේය.

  • ජනපති ජනතාවට දුන් කොරෝනා සහන පැකේජය මෙන්න…

    ජනපති ජනතාවට දුන් කොරෝනා සහන පැකේජය මෙන්න…

    සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණිමටත් සැමන් ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරන බවත් ජනතාවට සහන ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

    කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ​ද (17) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සදහන් කළේය.

    එහිදී ජනපතිවරයා කියා සිටියේ රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4‍්‍රක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය.

  • ජනාධිපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම මෙන්න…

    ජනාධිපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම මෙන්න…

    කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ​ද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය.

    “අතිපූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි

    කිතුණු, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන්ද අවසරයි මවුවරුනි, පියවරුනි, දූ දරුවනි අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය  සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය පිළිබඳව  ඔබ දැනුවත් කිරීමටයි.

    මේ වසරේ ජනවාරී මාසයේදී  කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වනවිට කිසිදු  කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුණත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි  ජනවාරි මස 26 වැනිදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.

    ජනවාරි මස 27 වැනිදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

    විශේෂ ගුවන් යානයකින්  ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කළ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා.  ඔවුන් කඳවුර තුළ දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොළෙන් ලංකාවට පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන්  ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත්, ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් කටයුතු සලසා තිබුණා.

    වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනා ගැනීමෙන් පසු මාසයක් පමණ කාලයක් තුළ අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා  ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක්කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුණා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි ඇතැම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර, නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුණා.

    මාර්තු මස 11දා අපට කොරෝනා ආසාදිත පළමු වැනි ශ්‍රී  ලාංකිකයා වාර්තා වුණා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණවලින් තවතවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර, මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. 

    මාර්තු 13දා සිට මෙයට  ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුණා. මේ වනවිට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව, කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

    අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි  සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ  ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක්කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර, ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    වෙනත් රටවලින් පැමිණිශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිත කිරීමට නම් ගමන්බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාදවලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබාදී ඇති උපදෙස් පිළිපැදීමත් මත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් පාලනය කරන්නට අපට පුළුවන්.

    රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි. රටේ සමහර පළාත්වල මේ වනවිට නියඟයක් පවතිනවා. ඒ පළාත්වල ජනතාවට අපි පානීය ජලය ලබාදිය යුතුයි. සමහර පළාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබාදිය යුතුයි. තවත් පළාත්වල අස්වැන්න නෙළන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු  වෙලාවට මිලදී ගත්තේ නැත්නම් එළවළු ගොවියන් අසීරුවට පත්වෙනවා. ඒ වගේම එළවළු අඛණ්ඩව වෙළෙඳ පොළට ගෙන ඒමත්  අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කළ යුතුයි

    රාජ්‍ය නිලධාරීන් රාජකාරිවල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වැනිදා  අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුළුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකින්.  බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුණේ නැහැ. පොහොර සඳහා, බෙහෙත් සඳහා, ආහාර සැපයුම්කරුවන් සඳහා, ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලැබුණේ නැහැ. මේ තත්ත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. සුළුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නට බැහැ.

    ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව  අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම  ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත්  අපට හැකි වුණේ ඒ නිසායි.

    නමුත්  මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි.

    ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

    මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි.

    අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුළු වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බළකායට ලබාදී තිබෙනවා.

    අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා.  අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

    මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක්  රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන  ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

    රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4%ක පොළියකට ලබාදීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබේත් මගෙත් රට අද සුරක්ෂිතයි.”

  • සිරිසේන ‘චිට් එක වැඩිකර ගන්න’ බැසිල්ට කන්කෙදිරි ගාලා

    සිරිසේන ‘චිට් එක වැඩිකර ගන්න’ බැසිල්ට කන්කෙදිරි ගාලා

    කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි.

    ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් අමතා මෙම ඉල්ලීම කළ බවයි.

    සිරිසේන මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් පිළිතුරක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහාතා එහිදී දැනුම් දුන් බවත් ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයා ප‍්‍රකාශ කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා කියා සිටියේ කලින් තීරණය කළ පරිදි කලුතර, නුවරඑළිය, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවයි.

    දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවට දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එම රැස්වීමේදී පෙන්වා දුන් බවත් ඒ අවස්ථාවේදී හිටපු ජනපතිවරයා දුරකථනයේ බැසිල් රාජපක්ෂ මහතාට අමතා කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සදහන් කළේය.

    මේ අතර ශ‍්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක ද ‘අත’ ලකුණ යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට වෙනම අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවයි.

    මේ තත්ත්වය තුළ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලට ද මහින්ද අමරවීර හම්බන්තොටට ද ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත්වීම සඳහා මේවනවිටත් නාමයෝජනා අත්සන් කර තිබීම විශේෂත්වයකි.

  • අදත් කොරෝනා ආසාදිතයින් 09ක් හදුනා ගනී

    අදත් කොරෝනා ආසාදිතයින් 09ක් හදුනා ගනී

    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනකු හදුනා ගෙන ඇති බව ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය’ උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින ප.ව 7.15ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මේ අනුව අද දින (17) වන විට ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා වෛරසය අසාදිත ශ‍්‍රී ලාංකිකයින් ගණන 43 දෙනකු වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • කොරෝනා අවධානම ගැන යුද්ධ හමුදාපතිගෙන් හෙළිදරව්වක්

    කොරෝනා අවධානම ගැන යුද්ධ හමුදාපතිගෙන් හෙළිදරව්වක්

    මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බවත් එසේම මාර්තු 01 දා සිට 09 දා තෙක් ලංකාවට පැමිණි පුද්ගලයන් 1500-2000ක් පමණ නිරෝධානයට භාජන වී නොමැති බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලෙස අද (17* දින රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී යුද්ධ හමුදාපතිවරයා මේ බව හෙළි කළේය.

    මෙසේ නිරෝධානයට ලක්ව නැති පුද්ගලයින් අතරින් 800 දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින කී යුද්ධ හමුදාපතිවරයා කොරෝනා වෛරසය පැතිරීමට වැඩිම අවධානමක් ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ බවත් තවදුරටත් ඔවුන් නිරෝධානයට ලක් නොවන්නේ නම් පුත්තලම දිස්ත්‍රික්කයම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කළේය.

    දඹදිව වන්දනාවේ ගොස් ඇති වන්දනාකරුවන්ගේ තත්ත්වය ගැන පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා මේ වන විට පුද්ගලයන් 800ක් පමණ දඹදිව වන්දනාවට ගොස් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් පැවසීය.

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට රටට ඇතුළුවීම තහනම් කරන බව ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී සදහන් කළේය.

    අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවතින තත්ත්වය අනුව රටේ ජනතාව අවදියෙන් හා සුපරික්ෂාකාරිව සිටිනම් මෙය හැකි ඉකිමනින් විසඳිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මෙරට කොරෝනා ආසාදිතයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව පැවසීය.

  • දඹදිව ගිය වන්දනාකරුවන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

    දඹදිව ගිය වන්දනාකරුවන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

    දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් නැවත සියරට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සාධනීය ලෙස සම්බන්ධීකරණ කටයුතු හා පහසුකම් සැලසීම සිදුකරයි. වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 වෛරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

    නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව වන්දනා නඩ විසිදෙකකට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවෝ එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටිති. මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය 2020 මාර්තු 09 වැනි දින දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පෙරය. කෙසේවුවද, ඉන්දියාවේ පිහිටි    ශ්‍රී ලාංකික බෞද්ධ විහාර සහ වන්දනා නඩ සම්බන්ධ කරගැනීමෙන් ගණනය කරනු ලැබූ මෙම සංඛ්‍යා ලේඛනවල ඇතැම් අවස්ථාවලදී ද්විත්වකරණයක් තිබීමට පුළුවන. ඊට හේතුව මෙයින් ඇතැම් වන්දනා නඩ මේ අවස්ථාව වන විට සංචාරයේ යෙදී සිටීමයි. 

    ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල උතුරු ඉන්දියාවේ පිහිටි බෞද්ධ වන්දනා සිද්ධස්ථානවල වැඩවසන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ වන්දනා නඩ සමඟ සමීප ලෙස සබඳතා පවත්වයි. වර්ධනය වමින් පවතින තත්ත්වය සැලැකිල්ලට ගනිමින් පෙරළා සියරට යෑමේ කටයුතු කඩිනම් කරන ලෙසට වන්දනා නඩවලින් ඉල්ලීමක් කොට ඇත.

    මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ගුවන් ප්‍රවේශපත්‍ර වෙනස් කරවාගැනීම පිණිස අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව ඔවුන් පෙරළා සියරට පිටත්කිරීමේ කටයුතුවලට රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල පහසුකම් සපයමින් සිටියි.    

  • කොරෝනා වෛරසය මර්මධනයට පළමු එන්නත අත්හදා බලයි

    කොරෝනා වෛරසය මර්මධනයට පළමු එන්නත අත්හදා බලයි

    වසංගයක් බවට පත්වී ඇති කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම ඇමෙරිකාවේදී ආරම්භ වී තිබේ.

    වොෂිංටන් ප්‍රාන්තයේ, සියැටල්හි කෙයිසර් පර්මනන්ට් පර්යේෂණ මධ්‍යස්ථානයේ රෝගීන් සිව් දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

    අදාළ එන්නතට කොවිඩ් – 19 රෝගයට හේතු වන වෛරසයෙන් පිටපත් කර ගත් හානිදායක නොවන ජාන කේතයක් අඩංගු වේ.

    විශේෂඥයින් පවසන්නේ, මෙම එන්නත සාර්ථකව ක්‍රියා කරන්නේ ද යන්න දැන ගැනීම සදහා මාස ගණනාවක් ගත වනු ඇති බවය.

    සදුදා (මාර්තු 17) මෙම එන්නත පළමු වරට ලබා ගත් පුද්ගලයා වූයේ, සියැටල්හි පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි.

    Coronavirus
    කොරෝනාවෛරසය නිසා පෙනහලුවලට විය හැකි බලපෑම

    “මේ වෙනුවෙන් යමක් කරන්න මට ලැබුණු පුදුමාකාර අවස්ථාවක් මේක,” ජෙනිෆර් හෝලර් ඒපී පුවත් සේවයට පැවසීය.

    ලොව පුරා විද්‍යාඥයින් මේ වන විට කොවිඩ් – 19 සම්බන්ධව කඩිනම් පර්යේෂණවල නිරතව සිටිති.

    ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් අරමුදල් සපයනු ලබන මෙම පළමු එන්නත් අත්හදාබැලීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන – එන්නත් මගින් සතුන් තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකි බවට නිගමනය කෙරෙන පරීක්ෂණවලට වඩා වෙනස්ය.

    මෙම එන්නත නිෂ්පාදනය කළ මොඩර්නා තෙරපියුටික්ස් නමැති ජෛවතාක්ෂණික ආයතනය පවසන්නේ, එන්නත පරීක්ෂණ සහ අත්හදාබැලීම් ඔස්සේ සකස් කළ බවය.

    එක්සත් රාජධානියේ ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි බෝවන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජෝන් ට්‍රෙගනිං පැවසුවේ, “මෙම එන්නත පෙර පැවති තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති,” බවය.

    “ඒක නිෂ්පාදන කරල තියෙන්නේ ඉතා ම උසස් තත්ත්වයෙන්, මිනිසුන්ට ආරක්ෂිත දේවල් යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේ අත්හදාබැලීමට සහභාගි වන පුද්ගලයින් ඉතා සමීපව පරීක්ෂණයට ලක් වෙනවා.”

    “මේක ඉතා ම වේගයෙන් කළ දෙයක්. ඒත් මේක අනෙක් විද්‍යාඥයින්ට එරෙහිව කරපු තරගයක් නෙවෙයි, වෛරසයට එරෙහිව කරපු තරගයක්. මේක මනුෂ්‍යත්වයේ ප්‍රතිලාභ උදෙසා කළ නිෂ්පාදනයක්.”

    සරම්ප වැනි රෝග වෙනුවෙන් නිෂ්පාදිත සාමාන්‍ය එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ, දුර්වල කරන ලද හෝ විනාශ කරන ලද වෛරස්වලිනි.

    එහෙත්, mRNA-1273 එන්නත කොවිඩ් – 19 රෝගයට මුල්වූ වෛරසයෙන් නිපදවූ එකක් නොවේ.

    එයට වෛරසයෙන් පිටපත් කර ගත් කෙටි ජානමය කේතයක් අන්තර්ගත කර තිබේ.

    මෙය සැබෑ ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රමුඛත්වය දෙමින් සකස් කරන ලද්දකි.

    ස්වේඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ට එම පරීක්ෂණ එන්නත විවිධ මාත්‍රාවලින් ලබා දී ඇත.

    ඔවුන්ට දින 28ක කාල පරතරයක් තුළ අතේ ඉහළ කොටසට දෙවරක් එන්නත ලබා දෙනු ඇත.

    මෙම මූලික ආරක්ෂිත පරීක්ෂණ සාර්ථක වුව ද, එය පොදු ජනතාවට විවෘත වීම සදහා මාස 18ක් දක්වා කාලයක් ගත වනු ඇත.

    Full text copied by BBC Sandesaya

  • මේ ගෝලීය ගමනේ අවසානය ද –  ධම්ම දිසානායක

    මේ ගෝලීය ගමනේ අවසානය ද – ධම්ම දිසානායක

    ලොවම මුහුණ දී සිටින මහා අනතුරකි. පිළියම් නොමැති වසංගතයකි. රෝ බියකි. ආර්ථික  දියුණුව මගින් ජයගත නො හැකි අභියෝගයකි. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණික දියුණුව නිරුත්තරව අසරණය. න්‍යායවාදී විවරනවලට වඩා ප්‍රයෝගික විසඳුම් ඉල්ලා සිටින ජනයා ඉදිරිපිට හැම න්‍යායවාදියෙක්ම අසරණය.

    විද්‍යාවෙන් පීලි පැන අදේශපාලකයින් අතට පත් වී ඇති දේශපාලනයත්, ජාවාරම්කාරයින් අතට පත් වී ඇති වෙළදපොල ආර්ථිකයත්, අශිෂ්ටයින් අතට පත් වී ඇති මානව ශිෂ්ටාචාරයත්, සොබාදහම ජයගත්තා යැයි කියා ඊටම පරාජය වූ කාර්මික-තාක්ෂණික ‘දියුණුවත්’ ප්‍රතික්ෂේප කිරීමට හේතුවන ප්‍රශ්නාර්ථයක් අභියස ගෝලීය ගමන නවතින ලකුණු පහළ වී ඇත. ගෝලීයකරණයේ කාලබෝම්බය විසින් මානව වර්ගයාගේ සුරක්ෂිතතාව නැමති පවුර විශ්මය ජනක ලෙස සුනුවිසුණු කරමින් සිටින මොහොතක අප කලයුත්තේ කුමක්ද යන්න, ප්‍රශ්නයකට වඩා උභතෝකෝටිකයක් බවට වර්ධනය වී ඇත. මේ මොහොතේ මානව වර්ගයාගේ පැවැත්මේ සාරය බවට පත් වී ඇත්තේ බිය ය. ඉල්ලා සිටින්නේ හුදු ජීවත් වීමේ අයිතිය, රැකවරණය සහ නිදහස පමණක්මය.

    පවත්නා සමාජ-ආර්ථික ක්‍රමය වන ධනවාදය එහි උපතේ සිටම ක්‍රියා කළේ මානව සාමුහිකත්වයට එරෙහිව ය. ක්‍රමයේ දැති රෝදයක්වත් නොව රෝදයක දැත්තක් බවට මිනිසා පත්කිරීමට ගත් ධනේශ්වර උත්සාහය අති සාර්ථක විය. මේ මොහොතේ කොරෝනා ගෝලීයකරණය විසින් ජාත්‍යන්තර පද්ධතිය තුළ රටවල් අතර පරතරය වැඩිකොට ඇත. රටවල් හුදකලාකොට ඇත. රටවල් තුළ නගර, ගම් හුදකලාකොට ඇත. පවුල් සහ පවුල් අතර සබඳතා සුනුවිසුණු කොට ඇත. පවුල් තුළ පුද්ගල සබඳතා මීටරයකින් එහාට තල්ලුකොට ඇත. පුද්ගලයාගේ සීමාව අන් හැම දෙයකින්ම අන් හැම කෙනෙකුගෙන්ම  ඈත්කොට ඇත. ඇල්ලීම, අතට අත දීම, සිප වැලඳ ගැනීම, බදා ගැනීම, සහ තවත් බොහෝ දේ තහනම් ය.  මානව වර්ගයාගේ බෝවීම ද නවතින ලකුණු පහළ වී ඇත. මේ එළඹ ඇත්තේ මිහිමත මානව වර්ගයාගේ සමාප්ත කාලය ද? නැතහොත් ධනේශ්වර ලෝක පර්යායේ අවසානයද? නැතහොත් ස්වදේශික රාජ්‍යවාදයක ඇරඹුම ද? 

    මේ අත් විඳින්නේ මහලොකු ධනේශ්වර දියුණුවේ, ගෝලීයකරණයේ  භයානක පලවිපාකයෝ ය. ධනය සහ බලය සඳහා වූ නග්න සහ නින්දිත පොර වැදීම සහ කා කොටා ගැනීම, ඒ ඒ ධන-බලවත් දාමරික පාලක කල්ලි අතර ලෝකය බෙදා ඉරි ඇඳ ගැනීමෙන් නැවතුනේ නැත. ඒ අඳින ලද ඉරිවලින් එහාට මෙහාට පනිමින් මුළු ලෝකයම තම ධනයේ සහ බලයේ අණසකට යටත් කර ගැනීමේ අශීලාචාර ක්‍රියාදාමය නම් කෙරුණේ ලෝකයම තනියායක් ය එය විශ්ව ගම්මානයක් ය යන කාව්‍යමය අලංකාරවලිනි. ඒ අලංකාරවලින් වහං කළේ අද අප අත් විඳින මහා ඛේදවාචකය ය. අර ධන-බලවතුන්ගේ අඥාන කමේ මහිමය නොව විශාලත්වයය. චීනය කොරෝනා තොරතුරු වසන් කරන්නේ අර නග්න ධන-බල පොරයේ ජාතික උපායමාර්ගයක් ලෙස ය. දැන් සිදුවී ඇත්තේ හැමෝටම එක වලේ සැතපීම නම් ඒ ධනේශ්වර බලවතුන් දිනාගත් ලෝකය කුමක් ද? එය ඇත්තේ කොහේද?

    ලෝකයේ මහා බලවතුන් යැයි කියාගත් ඩොනල්ඩ් ට්‍රම්ෆ්, ෂි ජින්පිං, ව්ලැදිමීර් පුටින්, බෝරිස් ජොන්සන්, ඇන්ජෙලා මර්කෙල් සහ එම්මානුවෙල් මැක්රෝන් ඇතුළු මහා නායකයින් හැමෝටම සිදුවී ඇත්තේ මුහුණු ආවරණයකින් ගෝලීයකරණයේ සමස්ථ හෙළුව නොව මුහුණ පමණක් වසා ගැනීමටය. එපමණකින් නොනැවතී ඔවුන් සහ ඔවුන්ට ආවැඩූ අය කලයුත්තේ තම පුර්වගාමින් සහ තමන්ලා අනුගමනය කළ සහ කරන මිහිකත විනාශ කිරීමේ මහා මෙහෙයුමෙන් ඉවත් වී ලෝකවාසීන්ගෙන් සහ මහපොලොවෙන් සමාව ඉල්ලා සිටීමය. ගිය මඟ වැරදි බව ලෝකයට කියා පෑම ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඛේදවාචකයේ පසුවදන ලියා අවසන්ය. මේ ව්‍යසනය “අපේ කාලයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය” ලෙස නම් කොට, ඊට ගොදුරුවී ඇතැයි සැකකරන සියලු අය පරීක්ෂාවට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ වසංගතයට වෛද්‍ය ප්‍රතිකාර තවමත් නොමැති බවය. එසේම රටවල් තම තමන්ගේ වෛද්‍ය ක්‍රම අත්හදා බැලීම යෝග්‍ය බවය. ඉන් පෙනී යන්නේ හෝ ඇඟවෙන්නේ ගෝලීය රෝගයට ඇත්තේ ජාතික ප්‍රතිකාර බවය.  අරුමය වන්නේ මෙවැනි පසුබිමකත් ස්වදේශික ජාතිකවාදයට ගරහන ගෝලීයකරණයම ඉල්ලා සිටින මහා රැඩිකල්වාදීන් ලෝකයේත් සිටීම ය, අපේ රටෙත් සිටීම ය.      

    ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇත. මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ක්‍රමය ලෝකය පුරා දිවීමක් ය කියා කීවේ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ය. ගෝලීයකරණය වන්නේ මානව හිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය. එසේම ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය, යනුවෙන් කීවේ  ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ය. ඇත්තටම කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුන පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය. කට්ටඬියන්ගෙන් මිදුන යකෙක් ය. හිතන්න ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි. තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද?  

    ජාත්‍යන්තර පද්ධතියට කැමැත්තෙන් සහ අකමැත්තෙන් ඇලී සිටි රාජ්‍යයන් ජාතික සීමා දක්වා තල්ලු වීමේ අවශ්‍යතාව කොරෝනා විසින් අවධාරණය කරන ඉතා වැදගත් කාරණයකි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කිරීම නොව එය අහසේ තබා ස්වදේශික ජාතිකවාදය පොළොවට ගෙන ඒමේ අවශ්‍යතාවද ඒ මගින් අවධාරණය වේ. ස්වදේශික ජාතිකවාදයක් සහ ජාතික රාජ්‍යයක්, ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්, සහ මානව සහ පරිසර හිතවාදී වෙළඳපොළක් පිලිබඳ කොරෝනා විසින් කරන අවධාරණය අප පමණක් නොව සෙසු රටවල් ද නොසලකා හැරියොත් ඇතිවන තත්ත්වය වනාහි මිහිමත මානවයාගේ පණ නල  අහිමිවී යාමය. කොරෝනා පෙන්වා දෙන්නේ මානව සහ සොබාදහම් වාදී ස්වයංපෝෂිත රාජ්‍යයන්ගෙන් සමන්විත අලුත් ලෝක පිළිවෙලක අවශ්‍යතාවය ය. මේ එවැනි ප්‍රගතිශීලී ස්වදේශික ජාතිකවාදයක් ඇරඹීම අවැසිම මොහොතක් ය. එනම් ස්වදේශික ජාතිකවාදී මොහොතය. කැමැත්තෝ සිතත්වා.

    ධම්ම දිසානායක

  • කොරෝනා මර්දනයට රජය ගත්ත නව තීරණ මෙන්න

    කොරෝනා මර්දනයට රජය ගත්ත නව තීරණ මෙන්න

    කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. තීරණය හෙට (18) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

    සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද එතුමා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබීය.

    ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළයුතු වුවද රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකියැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. නිවැරදි තීන්දු ගැනීමට තමා සූදානම් බව කී එතුමා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    සාකච්ඡාව ආරම්භ කරමින් කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිළි කළ ජනාධිපතිතුමා කාර්ය සාධක බලකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බව සඳහන් කළේය. ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර තිබුණේ නැත. චීනයේ වූහාන් නගරයේ සහ සෙසු නගරවල සිටී සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගනු ලැබූහ. සිය රට එන අය නිරෝධායනය සඳහා ස්ථාන රැසක් විවෘත කරන ලදී. සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ වෛරසය ව්‍යාප්තිය මර්දනය තවත් පහසු කිරීමේ අරමුණ ඇතිවය. දැන් තවත් දින 03ක් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු අංශවලට නිවාඩු දී ඇත.

    වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 300ක් පමණ දෙනා ස්ථාන කිහිපයක රැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. ඔවුන් එක් තැනකට රැස් කොට යළි දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

    කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමත් සමග වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට ඉවහල් වන සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන  ලෙසත් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

    “උද්ගතව ඇති ප්‍රශ්නය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නැත. පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී. මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය තිබේ” ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සුහද හමු, විවිධ උත්සව සහ මහජන ඒකරාශීවීම් හැකි උපරිම අයුරින් සීමා කිරීමේ වැදගත්කම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.

    වෛරසයේ ව්‍යාප්තිය මුල් කොට ගෙන ජනතාව බියපත් කිරීමේ අරමුණ ඇතිව කට කථා සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද රැස්වීමේ දී අවධාරණය කරනු ලැබීය.

    ආර්ථිකය සහ ජන ජීවිතය අඩාල වන අයුරින් නිවාඩු දීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කොරෝනා උණුසුම් දේශීය පුවත් සියල්ල

    කොරෝනා උණුසුම් දේශීය පුවත් සියල්ල

    සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම කල්යයි

    2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කළ බව උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය අද (17) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    එම නිවේදනයේ සදහන්ඒ වන්නේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් දින දෙකක කාලයක් මෙලෙස දිර්ඝ කර ඇති බවයි.

    අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය ලෙස නම් කළ තිබුණේ මේ මස 26 වන දිනය වුවත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙලෙස දිර්ඝ කිරිමට සිදු වු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

    කටාර්, බහරේන්, කැනඩා සිට එන අයට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

    කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

    නාම යෝජනා දීමේදී දෙදෙනෙක් පමණක් එන්න – පොලීසිය

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජන භාරදීමේදී නාම යෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙක් පමණක් නාම යෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් එය අගය කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. එසේම නාමයෝජනා ශාලාව අවට දේශපාලන පක්ෂවල ආධාරකරුවන් රැස් කරවීමෙන්, කැඳවීමෙන් හා පෙළපාලි යෑමෙන් වළකින ලෙසත් පොලීසිය දන්වා සිටියි.

    අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

    නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ ලබන සිකුරාදා (20)දක්වා, සංක්‍රමණ නොවන වීසා සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව කොළඹ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය පවසයි. 

    නව දින ලබාගෙන වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසට තානාපති කාර්යාලය දැනුම් දීමක් ද කරනු ලැබේ. අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවද සඳහන් වේ.

    තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමට කල් දෙයි

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් බවට ප්‍රකාශ කර තිබුණ ද 17, 18, 19 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඉදිරි දිනවලදී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු අයදුම්පත් ලෙස සලකා කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.   

    කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරනු ලබන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

    පොදු ප්‍රවාහන සේවාවල මගීන්ගේ ආරක්ෂාව වැඩපිළිවෙළ රැසක්

    නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දි තිබේ.

    මගී ජනතාවගේ ආරක්ෂාව උදෙසා ප්‍රවාහන  කළමනාකරණ අමාත්‍යාංශය විසින් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ද බලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා තමා ඒ ගැන පුද්ගලිකව නිරික්ෂණය කරන බව අවධාරණය කර තිබේ.

    අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දැනට ආසන ගණනට පමණක් මගීන් ඇතුළත් කර ගැනීම මෙන්ම දුම්රියේ මගීන් ගමන් කරන විට මීටරයක් පමණ දුරක් තබාගෙන එකිනෙකා ගමන් කිරීම හා සියලුම දුම්රිය හා බස් රථ නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් ස්ථාපිත කිරීම වැනි පියවර රැසක් ගෙන තිබේ.   මේ හැර කොරෝනා වෛරසය පිළිබඳ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත.

    පුත්තලම මුලික රෝහලේ කොරෝනා සඳහා වෙනම ඒකකයක්

    කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් පුත්තලම මුලික රෝහල තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කල බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්නායක මහතා (17) පැවසිය.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ  පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා බවට යම් ලෙසකින් තහවුරු වුවහොත් ඔවුන් මෙම ඒකකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇති රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

    මෙම ඒකකය සදහා විශේෂිත කාර්ය මණ්ඩලයක්  මේ වන විට පුහුණු කර ඇති බවත් අදාළ ඒකකය තුළ කටයුතු කිරිමට පහසුකම් හැකි අයුරින් සලසා දි ඇති බවත් සදහන් කළ රෝහල් අධ්‍යක්ෂවරයා පුත්තලම මුලික රෝහලට පැමිණෙන සැක සහිත රෝගින් සෙසු රෝගින්ට වෙත යාමට නොදි  බාහිර රෝගි අංශයේ සිටම වෙන් කර ආරක්ෂිත ලෙස අදාළ  ඒකකයට යොමු කිරිමටද කටයුතු අරඹා ඇති බව ද සදහන් කළා.

    ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

    රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන්ඉ ල්ලා සිටියි. එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මගපෙන්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, විදේශීය සංචාරකයින් එවැනි පුරාවිද්‍යා ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින ලෙසය.

  • රුපියල මස්ත බාල්දු වෙයි

    රුපියල මස්ත බාල්දු වෙයි

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මධ්‍යයේ මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (17) දින වාර්තා වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුග 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුග 186.66 ක් ලෙසි සටහන් විය.

    ඩොලරයක ගැණුම් මිල රුපියල් 182 සීමාව සහ විකුණුම් මිල රුග 186 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි මූල්‍ය විශේෂඥයෝ සදහන් කරන්නේ. සංචාරක ව්‍යපාරයේ බිද වැටීම, විදේශ ශ‍්‍රමිකයින්ගේ සමපේක්ෂණ අඩුවීම වැනි තත්ත්වයන් තුළ තත්ත්වය තව දුරටත් සංකීර්ණ විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙත් දිගින් දිගටම අඩු වෙමින් පවතින ඛණිජ තෙල් මිල රුපියල දැඩිව බිද වැටීමට එරෙහිව ක‍්‍රියා කරනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් සදහන කළා.

  • වගකීමෙන් වැඩ කරනවා නම් කොරෝනා පාලනය කළ හැකියි – ජනපති

    වගකීමෙන් වැඩ කරනවා නම් කොරෝනා පාලනය කළ හැකියි – ජනපති

    කොරෝන ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද සදහන් කළා.

    “මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා. සියලු දෙනෙක්ම රටට ඇතුළු විම නැවැත්වුවා. අපි කොච්චර වැහුවත් වැඩක් තියෙනවද? විදේශ අමාත්‍යංශයේ සේවිකාවගේ ස්වාමිපුරුෂයා මැණික් බිස්නස් කරපු කෙනෙක්. මේක දැනගත්ත ගමන් මම කිව්වා එයාගේ පාට්නර් අල්ලන්න කියලා. එයා පැනලා ගිහිල්ලා.එයා ඉස්පිරිතාල තුනකට ගිහිල්ලා බුද්ධිමත් කෙනෙක් වගකීමක් නැතිව කටයුතු කරනවා. මම කිව්වා නඩු දාන්න කියලා.

    ගාල්ලේ හැදුණ පුද්ගලයා ඉන්නේ කුලියාපිටියේ. අපි කුලියාපිටියට ගිහින් කිව්වා පවුලම නිරෝධායනය වෙන්න කියලා. එයා නිකම්වත් කිව්වේ නෑ තාත්තා ඉන්නේ ගාල්ලේ කියලා. තාත්තට හැදුනා. මේ වගකීමෙන් තොරව කටයුතු කරනවා. හැදුණ අයට විශාල ලෙස පැතිරිලා නෑ. මේක අපිට පාලනය කර ගන්න පුළුවන්“ යැයි ජනපතිවරයා සදහන් කළේය.

  • කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

    කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත.

    මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය.

    මධ්‍යස්ථානය යටතට ගැනෙන සේවා සම්බන්ධීකරණයට සේවා අවශ්‍යතා ප්‍රමුඛතාව මත සියලුම නිලධාරීන් සහභාගී කරගන්නා අතර ඒ සඳහා ඔවුන් සැම විටම සූදානමින් සිටිය යුතු බව රජය දැනුම් දෙයි.

  • වැලේ වැල් නැති ‘සිරිසේනගේ ශ්‍රීලනිපෙ’ පෙණේ පුප්පන්න දත කයි

    වැලේ වැල් නැති ‘සිරිසේනගේ ශ්‍රීලනිපෙ’ පෙණේ පුප්පන්න දත කයි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මහ මැතිවරණයට තරග කිරීමේදි අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17) දහවල් පැවැත්වෙන ශ‍්‍රීලනිප දේශපාලන මණ්ඩල රැුස්වීමේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

    ශ‍්‍රීලනිපය දැනටමත් මහනුවර,කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තර​ඟ කිරීමට තීරණය කර ඇති බවත් අද දහවල් ගන්නා වූ තීන්දුවෙන් පසු බොහෝ දුරට දිස්ත‍්‍රික්ක 22ටම තනිව තරග කිරීම සදහා තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවත් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

    අද දහවල් ගනු ලබන තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම සියලුම දිස්ත්‍රික්වලට තරග කිරීමට තීරණය කළහොත් ශ්‍රි ලංකා පොදජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවක් යම් අර්බුදයකට ලක්වන බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා,

    ‘මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අපේක්‍ෂකත්වය ලබාදීමේදී සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රීයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එතුමාගේ කොළඹ, මහගම සේකර මාවතේ නිල නිවසේදී පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පැය දෙකහමාරකට අධික කාලයක් පුරා අපි දීර්ඝව සාකච්ඡා කළා. නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් අපට ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන වෙමින් තිබෙනවා. එය අපිට වටහා ගත හැකි තත්ත්වයක්’

    මෙහිදී ඊයේ (16) ශ‍්‍රීලපොපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී ඇති වූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා පැහැදිලි කළේය.

    ‘මහ මැතිවරණය සද’හා නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ තිබෙනවා. ඒ වගේම වීරකුමාර දිසානායක හිටපු මන්ත‍්‍රීතුමත් නාම යෝජනා අත්සන් කර නැහැ’

    ‘මෙහිදී ඉතාම පැහැදිව පෙනි යන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේදී ඇති කරගත් සම්මූතීන් නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී බිඳ දමා ඇති බවයි. මේ කොන්දේසි බිද දැමීම හා තම පක්‍ෂයට අවම අවස්ථාවන් දීම සම්බන්ධවත් දුමින්ද දිසානායක මහතා එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් කරුණු විමසා තිබෙනවා. ඒත් ඒ ගැන තාම පැහැදිලි පිළිතුරක් නැහැ. ඒ අනුව තමයි අපි අද දහවල් විශේෂ රැුස්වීමක් කැදවා තිබෙන්නේ. එහිදී දැඩි තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවයි මේ වන විට ආසන සංවිධායකයින්ගෙන් සහ පාක්ෂිකයින්ගෙන් එල්ල වෙන පීඩනය අනුව අපට කිව හැකි වන්නේ’

    මේ අතර හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේ සහ මහින්ද අමරවීර පසුගිය දා නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තබා තිබිණි. නාම යෝජනා අත්සන් කිරීමට පැමිණි සිරිසේන හිටපුු ජනාධිපතිවරයාට නිසි පිළිගැනීමක් නොවුණ බවත් ඔහු දැඩි කම්පනයකින් අදාළ ස්ථානයේ සිටි බවත් මේ අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන් කිහිප දෙනකු පැවසුවේය.

  • ජනපති අද රෑ 8.00ට ජාතිය අමතයි

    ජනපති අද රෑ 8.00ට ජාතිය අමතයි

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.