Tag: featured

  • ඉන්දීය සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං…!

    ඉන්දීය සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං…!

    ඉන්දීය සුපිරි ගායන ශිල්පී හරිහරින් ඇතුළු ගායික ගායිකාවන් එකොලොස් දෙනකු සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණි අවස්ථාවක යාපනයේ අතරමං වී ඇති බව වාර්තා වෙයි.

    එළැඹෙන 21 වන දා යාපනය මුරාවේලිහිදී පැවැත්වීමට නියමිත තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට මෙම කණ්ඩායම පැමිණ ඇත.

    නමුත් උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග අයහපත් කාලගුණය මත එම ප්‍රසංගය ආවලංගු කිරීමට සංවිධාකයන් තීරණය කර තිබේ.

    එනිසා හරිහරන් ඇතුළු කණ්ඩායම ඉන්දියාවට ආපසු යැවීමට තීරණය කර තිබිණි.

    නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය හා ඉන්දියාව අතර ගුවන් ගමන් ද සීමා කර ඇති නිසා එම කලාකරුවන් පිරිස දැඩි ගැටලුවකට මුහුණපා සිටින බවද වාර්තා වෙයි.

  • රටේ ආර් ථිකය කඩා වැටුනොත් ජනතාවට සිදුවන දේ ගැන ජනපති රනිල්ගෙන් විශේෂ අනාවරනයක්..!

    රටේ ආර් ථිකය කඩා වැටුනොත් ජනතාවට සිදුවන දේ ගැන ජනපති රනිල්ගෙන් විශේෂ අනාවරනයක්..!

    මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

    ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

    කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කීරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වු අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරී නිලධාරිනියන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් ඉතිහාසයකට උරුම්කම් කියන දක්ෂ හමුදාවක් බවත් එහි අභිමානය රැක ගනිමින් කටයුතු කීරීම ඊට එක්වන සියලු දෙනාගේ වගකීම බවත්ය.

    තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස මෙහිදී විසිරි යන නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් පැවසීය.

    මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    දියතලාව යුද හමුදා විද්‍යා පීඨය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් ආයතනයක්. එවන් කීර්තිමත් ආයතනයකයි ඔබ පුහුණුව අවසන් කර තිබෙන්නේ. ඔබ සියලු දෙනාම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙනවා.

    ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක්. 1948 සිට අප ස්වෛරි රටක් ලෙස කටයුතු කරනවා. එම ස්වෛරි රටේ පරමාධිපත්‍ය ජනතාවට හිමියි. ආණ්ඩු තෝරාපත් කරගන්නේ සර්ව ජන ඡන්දයෙන්. ඒවගේම මේ රට ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගනිමින්. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි.

    ඒ වගේම රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවාගත යුතුයි. රටක ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන්නේ කුමක්ද කියා අප පසුගිය සමයේ අත්වින්දා. එවිට රටේ ස්වෛරීභාවය සීමා වෙනවා. රටේ ජනතාවට එක හා සමානව සැලකීමට නම් සමාජයීය දියුණුවක්ද තිබිය යුතුයි. ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් එහිදී ඉතා වැදගත් වෙනවා. මෙම රාමුව තුළ අප ක්‍රියා කළයුතුයි. මෙම රාමුව ආරක්ෂා කිරීමට එක් එක් කණ්ඩායම්වලට වගකීම් පැවරෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළට එම වගකීම විහිද යනවා.

    රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හමුදාවට විශාල වගකීමක් පැවරෙනවා. ඊට කිසිවෙකුට අත තැබීමටවත්, සීමා කිරීමටවත් අපට ඉඩ දෙන්න බැහැ. ඒ සමගම ජනතා පරිමාධිපත්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. කිසිවෙකු එම අනන්‍යතාව බිඳ දැමීමට උත්සහ කරනවා නම් හෝ වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙනම කටයුතු කිරීමට උත්සාහ කරනවා නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වන හානියක්.

    ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ආසියාවේ නවීන යුද්ධ හමුදා ආරම්භ කරන අවස්ථාවේ හතර වන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවට. 1881 ලංකා පාබල හමුදාව ආරම්භ කිරීමෙන් අප එම ස්ථානයට පත් වුණා. ඒ වගේම අපේ ආරක්ෂක හමුදාව ඉතිහාසයේ පැවති සෑම ප්‍රධාන යුද්ධයකටම සහභාගී වී තිබෙනවා.

    මෙම අභිමානවත් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබ තේරී පත්වී සිටින්නේ නායකත්වය ලබාදීම සඳහා. තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව එම නායකත්වය ලබා දෙන්න. තමන්ගේ වගකීම් පැහැර හරින්න එපා. විශේෂයෙන් අසීරු අවස්ථාවලදී තමයි නායකත්වය ඉදිරියට ගත යුත්තේ. එම වගකීම මතක තබා ගෙන රට වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර මහලේකම් යන මහත්වරුන් ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය ඒකකය

  • උතුරට මහ වැසි…! ජල ගැලීම්වලින් විශාල පිරිසක් විපතේ..! යුද හමුදාවේන් දිවා රාත්‍රී මෙහෙයුම්..!

    උතුරට මහ වැසි…! ජල ගැලීම්වලින් විශාල පිරිසක් විපතේ..! යුද හමුදාවේන් දිවා රාත්‍රී මෙහෙයුම්..!

    අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරු පලාතේ පිහිටි ප්‍රධාන ජලාශ වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් උතුරු පලාතේ පවුල් 1500 කට අධික පුද්ගලයින් 5000 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදාකලමනාකරන ඒ්කකයන් විසින් පෙන්වා දෙයි.

    කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහත් බිම් රැසක ජනතාවට දැඩි ගංවතුර තත්වයක් ඇතිව තිබෙයි.

    ඒමෙන්ම මුලතිව්හි විශාලතම වැව් වූ තණ්නිමුරිප්පු වැව ඇතුලු සියලු වැව් වාන් දැමීම හේතුවෙන් උතුරු පලාතේ වැඩිම පිරිසක් ගංවතුරින් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයෙනි.

    මේ අනුව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කණ්ඩාවලෙයි සහ කරච්චි ප්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් පවුල් 730 කට අයත් පුද්ගලයින් 2357 දෙනෙකු විපතට පත්ව ඇතැයි කිලිනොච්චිය ආපදාකලමනාකරන ඒ්කකය පෙන්වා දෙයි.

    ඒමෙන්ම මුලතිව් මැරටියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි, තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයන්හි පවුල් 790 කට අයත් පුද්ගලයින් 2710 ක් පුද්ගයින් විපතට පත්ව ඇතැයිද මුලතිව් දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒ්කකය විසින් පෙන්වා දෙයි.

    මේ අතර පවතින වර්ෂාව තවමත් ඇදැහැලෙමින් පැවතීමත් වාන් ජලය වැඩිවීම හේතුවෙන් විපතට පත් ජනතාව දිනෙන් දින වැඩිවන බවටද විපතට පත් ජනතාව වෙනුවෙන් දිවා රාත්‍රී සහය වීම සඳහා යුදහමුදාවේ සහන සේවා කණ්ඩායම්ද කිහිපයක් යොදවා ඇතැයිද යුදහමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

  • ඉතිහාසයේ පළමු වරට අපේ කෙල්ලක් ඉන්දියාව හොල්ලමින් සී ටැමිල් රියැලටි තරගාවලිය දිනයි..!

    ඉතිහාසයේ පළමු වරට අපේ කෙල්ලක් ඉන්දියාව හොල්ලමින් සී ටැමිල් රියැලටි තරගාවලිය දිනයි..!

    ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.

    එම නාලිකාව සංවිධානය කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේ පැවැත්විණි.

    එහිදී තරගාවලියෙන් ජයගැනීමට සමත් වී ඇත්තේ යාපනයේ සිට වැඩසටහනට සහභාගි වූ කිල්මිෂා යාෂිසා විසිනි.

    ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ දහයක ත්‍යාග මුදලක් ද හිමිවෙයි.

    ඉන්දීය රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟාවලියක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.

  • සජිත් නිවාස ඇමති කාලෙ නිවාස මගඩියක් ගැන පරීක්‍ෂණ…!

    සජිත් නිවාස ඇමති කාලෙ නිවාස මගඩියක් ගැන පරීක්‍ෂණ…!

    වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.

    සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසර තුලදි දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙනි. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි.

    මෙම තත්ත්වය හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම නිසවෙන් බවටද තොරතුරු අණාවරණය වී තිබේ. තමන්ගේ කාලයේදී ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදාගම්මාන ගම්මාන 8 නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගැණින. රජයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් එම ගම්මානවල වැඩ අවසන් කෙරිණ. නමුත් කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හා රට මුහුණ දුන් ආර්ථික අර්බුධ හා අරගල හේතුවෙන් එම වැඩ පිළිවෙලද අතරමඟ නතර කිරීමට සිදුවිය.

    මෙම තත්ත්වය සැළකිල්ලට ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා අධිකාරියට උපදෙස් දී ඇත්තේ එම ගම්මානවල වැඩ අවසන් කෙරෙනතුරු නව ගම්මාන ඉදිනොකරන ලෙසයි.

    මේ අතර විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

    ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට සුදුසු වැඩ පිළිවෙලක් කඩිනමින් සකස්කර තමන්වෙත ඉදිරිපත් කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

    එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට රිසිසේ අන්තනෝමතික ලෙස නිවාස ආධාර හා ණය ලබාදී ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට එලෙස වැඩි වශයෙන් නිවාස අධාර හා ණය ලබාදී ඇති බවද අණාවරණය වී ඇති බවයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    එම පරීක්ෂණ මගින් අණාවරණයවන තොරතුරු අනුව නුසුදුසු ප්‍රතිලාභීන්ගේ ඉදිරි නිවාස ණය හා ආධාර වාරික ලබානොදීමටත්, මෙතෙක් ලබාදී ඇති වාරික යළි ඔවුන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

    – ප්‍රදීප් අනුර කුමාර

  • මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාව වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාව වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම  විවෘත ආර්ථිකයේ  ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන්  හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව ජනාධිපතිවරයා කීය.

    හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්  සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research )  ලලිත් අැතුලත්මුදලි නමින් නම් කරන බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  මහපොළ 2023 ප්‍රදර්ශනයේ  දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා   එක්වෙමිනි.

    වෙළෙඳ  වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය  වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.

  • ක්‍රිකට් බේරගන්න ජනපතිවරණයට මං එනවා…! මන්ත්‍රි රොෂාන් රණසිංහ..!

    ක්‍රිකට් බේරගන්න ජනපතිවරණයට මං එනවා…! මන්ත්‍රි රොෂාන් රණසිංහ..!

    ඉදිරි ජනාධිපති වරණයේදී කවුරුහරි ආරාධනා කලොත් පොදු අපේක්ෂකයා වෙන්න මම ඒ ගැන සලකා බලනවා..යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කීය.

    ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මුණ ගැසීම සදහා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයට පැමිණ ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

    වැඩිදුරටත් හිටපු අමාත්‍ය වරයා කියා සිටියේ, තව දුරටත් තමන් ස්වාධීනව සිටින බවත් කිසියම් කෙනෙකු හොද යෝජනාවක් කරන්නේ නම් ඉදිරි දේශපාලනය වෙනුවෙන් ඒ ගැන සිතා බලන බවයි.

    මන්ත්‍රී කමේ සිට තමන් ජනතාව වෙනුවෙන් හොරකකම් වලට විරුද්ධව තව දුරටත් කටයුතු කරන බවද කීය.

    මෙහිදී ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ පසුගිය කාලයේ මේ රට විණාශ වෙන්නට පො‍හොට්ටුව එක්ක වැඩ කල රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාද වගකිව යුතු බවත් කෙසේ හෝ එයින් මිදී එලියට පැමිනීම ඉතාමත් හොද කරුනක් බවද කීය. තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, ප්‍රතිපත්ති මත යන ගමනකට ඉදිරියේදී කටයුතු කල යුතු බවයි.

  • ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන්න ජනපති නියෝගයෙන් හෙලිකොප්ටරයෙන් ශ්‍රි පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ගෙනයයි..!

    ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන්න ජනපති නියෝගයෙන් හෙලිකොප්ටරයෙන් ශ්‍රි පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ගෙනයයි..!

    නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලම සහ ඉදිකටු පහණ ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම (15)දින නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනාගේ ඉල්ලිම පරිදි මෙම ද්‍රව්‍ය ගුවන් හමුදාව විසින් රැගෙන යන අතර, එය ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මගතාගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදාවේ වින්කමාන්ඩ රසාංග විජේවර්ධණ මහතාගේ මෙහෙයවිම යටතේ මෙම මෙහෙයුම දියත් කරනු ලබයි.

    මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවේ විශාල නිලධාරින් සහ භට පිරිසක් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුලු විශාල සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුමට සහයොගය දක්වයි.

    ශ්‍රි පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමදින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගගුලේ සිට ශ්‍රි  පාද උඩ මලුව දක්වා කිලෝමිටර් 5ක් දුරට වන්දනා කරුවන්ට සහ ශ්‍රි පාද උඩ මලුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබා දිමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම  සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුලු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය එම්.අයි 17 හෙලිකොප්ටරය මගින් රැගෙන යැමට නියමිත අතර මෙම මෙහෙයුම (15) දින සිට දින කිහිපයක් සිදු කිරිමට නියමිතය.

    ශ්‍රි පාද නල්ලතන්නි මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබා දිම තුලින් ශ්‍රි පාද වන්දනා කරුවන් රැගෙන යන ප්‍රාලාස්ටක් වතුර බොතල් අවම කිරිම මෙම ජල යොජනා ක්‍රමට මගින් තුලින් අපෙක්ෂා කෙරේ.

  • තරංගා කැළඹෙයි..! කාලගුණය වෙනස් වෙයි..!

    තරංගා කැළඹෙයි..! කාලගුණය වෙනස් වෙයි..!

    තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක.

    යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ.

    සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන්ය.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

    සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

    ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක්  ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

    මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි. මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වේ.

    කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී ඇතැයි ද සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම  අනිවාර්ය බවද අමාත්‍යාංශය පවසයි.

  • ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

    ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

    එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.

  • ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

    ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

    එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වලදී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ජයග්‍රහණ හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් 165 දෙනෙකු සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී සිදු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “එළඹෙන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට ලඟා විය යුතුයි. පුද්ගලිකකරණයෙන් තොරව ආයතනයක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා එම ඉලක්කයට ළඟා වීම අත්‍යවශ්‍යයි. සේවකයින් 23000ක්‌ සේවය කරන තැපැල් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශ විෂය පථය යටතේ ක්‍රියාත්මක වනවා. රජයේ ප්‍රතිපත්ති ඒ අයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් විසින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් මේ අවස්ථාවේ එය සිදුකිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු අමතර මුදලක් ඉතිරි වන්නේ නැහැ. රජයේ අනෙකුත් සියලු කටයුතු සිදු කර තිබෙන්නේ විදේශීය සහ දේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.

    ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට තවත් ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැහැ. මීට පෙර පැවති රජයන් සිදුකළ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමේ නීතිමය හැකියාවක්ද මේ වන විට නැහැ.

    එම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයද තම ආයතනය උපයා ගන්නා ආදායමෙන් වැටුප් ගෙවීමේ තත්ත්වයට පත්වීම මූලික අවශ්‍යතාවයක්. නව සභාපතිවරයා පත්වීමට පෙර ලංකාවේ ඩිපෝ 107ක්‌ අතරින් තිස් නවයකට වැටුප් ගෙවා ගැනීමට හැකියාවක් පැවතුණේ නැහැ.

    මේ වන විට එම ඩිපෝ ප්‍රමාණය නවයක් දක්වා අවම වී තිබෙනවා. ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරමින් හොඳින් ලාභ ලබන ඩිපෝ විශාල ප්‍රමාණයක් පවතිනවා. පොදු ප්‍රවාහන සේවාවන් සැපයීම තුළින් පුද්ගලික අංශයට ලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා නම් රාජ්‍ය අනුග්‍රහයක් සහිතව ක්‍රියාත්මක වන ආයතනවලටද ලාභ ලැබීමට හැකියාවක් පවතිනවා.

    රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ඇතැම් පිරිස් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා වළක්වා ගත හැකිනම් ආයතනයේ ආදායම තවත් 50%කින් පමණ ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා එළඹෙන වසරේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා.QR ක්‍රමවේදයකට අනුව හෝ කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් මුදල් භාවිතයකින් තොරව අවශ්‍ය ගනුදෙනු කිරීම තුළින් බොහෝ අක්‍රමිකතා වැළැක්විය හැකියි.

    පවතින ක්‍රමයට පොසිල ඉන්ධන භාවිතය වෙනුවට එළඹෙන වසරේදී විදුලි බස් රථ ලංගම මගින් ධාවනයට එක් කිරීමට අප කටයුතු කරනවා. චීනය කොරියාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ වනවිටත් විදුලි බස් රථ ධාවනය සිදුකරනවා.2030 වන විට සමස්ත ලෝකයේම පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා එළඹෙන වසර ලංකා ගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයද කැපවී කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා.

    මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන බවත් එම නිසා කැබිනට් මණ්ඩලය විසින් උපදෙස් ලබා දුන් පරිදි විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කටයුතු තැපැල් කාර්යාල මගින් සිදු කිරීම වෙනුවට කෙලින්ම ගිණුමට බැර කරන තාක්ෂනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ධාවන )පණ්ඩුක ස්වර්ණ හංස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වර්ණ ලාභීන් ඇතුළු ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    – Media unit

  • ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

    ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

    සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

    අද උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

    මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

    සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියහ.

    ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර , ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

    ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

    මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබේ.

    ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

    මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් සැරයන් 38220 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

    – ADA

  • උසස් පෙල ජනවාරිය පුරාම..!

    උසස් පෙල ජනවාරිය පුරාම..!

    අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කල බවද විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ සඳහන් කරයි.

    ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නොලද අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ w.w.w.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමට හැකිබවද ප්‍රවේශපත්වල සංශෝධන සිදුකර ගැනීම සඳහා මෙම දෙසැම්බර් මස 19 දා රාත්‍රි 12.00 දක්වා එක් වරක් පමනක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස සිදුකර ගත හැකිබවද විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දන්වා සිටී.

    එමෙන්ම රජයේ පාසලක ඉගෙනුම ලබමින් සිටින සිසුන් පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීම විභාග නීති රීති අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    – ජයරත්න ඉඳුරුවගේ

  • මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

    මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම රජයක් යටතේ නැවත සාකච්ඡා කර තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි ඇතුලත් කර නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය විවාදයේ අවසන් දිනයේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

  • දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

    දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

    දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

    ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 11,442කි.

    රුසියාවෙන් සංචාරකයින් 8,004 දෙනෙකු ද බ්‍රිතාන්‍යයෙන් 5,991 දෙනෙකු ද ජර්මනියෙන් 5,336 දෙනෙකු ද චීනයෙන් 2,894 දෙනෙකු ද දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

    ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.