Tag: featured

  • 2024 ජනපතිවරණ සමයේ තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න

    2024 ජනපතිවරණ සමයේ තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න

    වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.

    එමෙන්ම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව හා නීතිමය කටයුතු සිදු කරන ලෙස ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

    මෙසේ නිර්දේශ නිකුත් කර ඇත්තේ, 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේද තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම යන තේමාව යටතේ සිදු කරන ලද වැඩසටහන් 6ක විධිමත්භාවය, ඵලදායීත්වය, සභාවේ ප්‍රමුඛ අරමුණුවලට අනුකූලතාව පිළිබඳව සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන්ය.

    2024 පූර්ව ජනාධිපති මැතිවරණ කාලපරිච්ඡේදය වූ 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලය තුළදී තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම සඳහා (Smart Youth) ස්මාට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උලෙළ, ජාතික තුරුණු පොසොන් කලාපය, තරුණ හමුව, 31 නයිට් යූත් සෙලිබ්‍රේටස් ( 31st Night Youth Celebration) හා ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා තිබුණි.

    මේ වෙනුවෙන් රුපියල් මිලියන 538.79ක් වැය කර තිබූ අතර, එයින් රුපියල් මිලියන 45.29ක් තවදුරටත් ගෙවිය යුතු මුදලක් ලෙස පැවත තිබේ.

    එම වැඩසටහන් කිසිවක් සභාවේ ප්‍රමුඛතා කාර්යයන්ට අදාළ වැඩසටහන් වී නොතිබුණු අතර, ඒවා වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මේ ද ඇතුළත්ව නොතිබුණු බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    මෙම වැඩසටහන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදීමට අනුමත කර තිබූ රුපියල් මිලියන 496.25කින් රුපියල් මිලියන 74.20ක් පමණක් සභාව වෙත ලැබී ඇත. මේ නිසා ඉතිරි වියදම වූ රුපියල් මිලියන 464.59ක් සභාවේ වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් වැය කර ඇත.

    ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන ඇතුළත් සංගීත ප්‍රසංග 03ක් හා සංගීත ප්‍රසංග 11ක් පැවැත්වීම සඳහා රුපියල් මිලියන 323.39ක මුදලක්, එනම්, මුළු වියදමෙන් 60%ක් වැය කර ඇත.

    ස්මාට් යූත් වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග 03ක් ද ඇතුළුව තවත් සංගීත ප්‍රසංග 05ක් පවත්වා රුපියල් මිලියන 259.83ක් වැය කර තිබේ.

    2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණයේ නාමයෝජනා ඉදිරිපත්ව තිබීම නිසා මෙම ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග නොපවත්වන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබියදීත් එය නොසලකා පැවැත්වූ මෙම වැඩසටහන්වලට අදාළ එක් ලිපිගොනුවක් අස්ථානගතව ඇතැයි ද විගණනය පවසයි.

    ස්මාට් යූත් ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පටිගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක වියදමක් දරා ඇතත් එම වීඩියෝපට සභාවේ ඉන්වෙන්ට්‍රි ලේඛනයට ඇතුළත් කර නොමැත. ඒවා 2025 පෙබරවාරි 28 දින තෙක් විගණනය වෙත ඉදිරිපත් කිරීමට ද අපොහොසත්ව තිබේ.

    සමස්තයක් ලෙස මෙම වැඩසටහන් 06 ක්‍රියාත්මක කිරීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති බව ද විගණනය පවසයි.

    ඒ අනුව සභාවේ ලියාපදිංචි වී නොතිබුණු නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන ලද ආයතනවලින් පමණක් ප්‍රසම්පාදන සිදු කර තිබූ ටී – ෂර්ට් හා ස්කිනීස්, රූකඩ සංදර්ශන, තොරණ සැකිලි, කොඩි කණු වැනි දෑ ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවකුගෙන් මිලදීගෙන තිබිණි. සභාවේ පරිපාලිත සමාගමක් වූ යූත් සර්විසස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයට කොන්ත්‍රාත් පිරිනමා උප කොන්ත්‍රාත් ලබාදීම මඟින් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම් ද නිරීක්ෂණය වී ඇත.

    තවද, සභාවේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂා කිරීමේදී සැපයුම් සිදු කරන ලද ආයතන නොතිබූ බව සනාථ කර තිබිණි. ගෙවීම් සිදුකර තිබීම මෙන්ම, එකම කාර්යයට දෙවරක් හා අමතර ගෙවීම් කළ අවස්ථාවක් මෙන්ම නොකළ කාර්යයන් සඳහා ගෙවීම් කළ අවස්ථාවක් ද නිරීක්ෂණය වී ඇත. සභාවේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගම, සභාවට ද්‍රව්‍ය සැපයීමේදී 10%ක ලාභාන්තිකයක් ද සමඟ මිල ගණන් ඉදිරිපත් කර තිබීමෙන් සභාවට එම ද්‍රව්‍ය හා සේවා ඍජුව සපයා ගැනීම මඟින් ලබාගත හැකිව තිබූ ලාභය අහිමි කරගෙන තිබිණි.

    මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රජාව අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික හා කලාත්මක කුසලතා වර්ධනය කිරීමට අවස්ථා ලබාදීම සහ මානසික ව්‍යාකූලත්වය ඇතිවීම වැළැක්වීමයි.

    තරුණයන්ගේ උපරිම සහභාගිත්වය ඇතිව වැඩසටහන් පැවැත්වීම වුව ද ඒ වෙනුවට තරුණයන්ගේ දායකත්වය ලබාගැනීමට තිබූ අවස්ථා ද මඟහරිමින් බාහිර පාර්ශ්වයන්ගෙන් භෞතික හා මානව සම්පත් ලබාගනිමින් වැඩසටහන් මෙහෙයවා ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    යාපනය හා අම්පාර නගරවල එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “තරුණ හමුව නමින් අරමුණක් නිශ්චය කර නොගත් වැඩසටහන් දෙකක් පැවැත්වීමට රුපියල් මිලියන 29.31ක් වැය කර ඇත.

    ඒ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් සිදු කර නොමැති බව ද එහි දැක්වේ. ඊට අමතරව අම්පාර පොසොන් කලාප වැඩසටහන යටතේ බාහිර පාර්ශ්වයක් විසින් සංවිධානය කළ වැඩසටහනක් සඳහා සභාව රුපියල් මිලියන 14.91ක් ද වැය කර ඇත.

    31 නයිට් යූත් සෙලිබ්‍රේෂන් (31st Night Youth Celebration) වැඩසටහන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 10.29ක් සභාව විසින් වැය කර තිබේ.

    ඒ වෙනුවෙන් වියදම් දැරීමට රුපියල් මිලියන 5.0ක මුදලක් ආපසු ගෙවීමේ පදනම මත යෞවන සමාජ සම්මේලනයට ලබාදී තිබිණි. එහි ටිකට් පත් අලෙවියෙන් ලද රුපියල් මිලියන 6.86ක ආදායම සහ බියර් අලෙවිසල් 02ක් පවත්වා ලද ආදායම හා වැඩසටහනට ලැබුණු අනුග්‍රහ මඟින් ලද මුදල් ද සභාවට ලැබී නැත.

    ජාතික වෙසක් උලෙළ නමින් ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබියදී ජාතික තරුණ මානසික සුවතා වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 61ක් උපයෝජනය කර එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

    මූලාශ්‍රය –

  • බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

    බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

    පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත.

    මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

    ඒ අනුව, බලපෑමට ලක් වූ ණය ගනුදෙණුකරුවන්හට පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවදුරටත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර, 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාලසීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.

    ඉහත චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යලි පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුදෙණුකරුවන්හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකිය.

  • වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

    වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

    වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

    ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

  • බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය.

    අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

    රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනය.

    එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

  • CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණයේ දී හෙළි වුණේ කුමක් ද?

    CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණයේ දී හෙළි වුණේ කුමක් ද?

    අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජූනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (ජූනි 9) නියෝග කළේ ය.

    මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මෝහාන් කරුණාරත්න යන අයයි.

    සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට වන කූඨ ලේඛනයක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ අත්සනින් යුතුව අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එකී ලිපිය සලකා බලා අදාළ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් මුදා හැර ඇති බවත් පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවයි.

    එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ද සඳහන් කළේය.

    අනුරාධපුර මහාධිකරණයේ පැවති එච් සී 69/2018 අංක දරණ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලිඛිතව අනුරාධපුර මහාධිකරණයට දැනුම් දී තිබුණ ද ප්‍රශ්නගත නඩුවේ විත්තිකාර විජයකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට ජනාධිපතිවරයා ඉකුත් වෙසක් පෝය දිනයේ පොදු සමාව ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අවධාරණය කළේ ය.

    ඒ අනුව අදාළ විත්තිකරුට ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට සිය අත්සනින් යුතුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිය කූඨ ලෙස සකසන ලද එකක් බවට සැක කරන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ය.

    මෙම ක්‍රියාව සැලසුම්සහගතව චේතනාන්විතව ම සිදු කළ එකක් බවට බැලූ බැල්මට පෙනී යන බවත් ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බවට සැක කරන්නේ යැයි ද කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසීය.

    දිවයිනේ වෙනත් බන්ධනාගාරවල ද මෙවැනි අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැන්වීය.

    සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

    සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල පැවසුවේ, අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච් සී/69/2018 අංක දරන නඩුවේ විත්තිකරු ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැර ඇති බවට සිය සේවා දායකයා ලිඛිතව අධිකරණයට දැනුම් දුන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නීතීවලට අනුකූලව විධිමත් ආකාරයෙන් බවයි.

    තම සේවා දායකයා කිසිදු අනීතික ක්‍රියාවක් සිදුකොට නැති බව අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සිය සේවා දායකයා නීත්‍යනුකූලව රාජකාරී ඉටුකර ඇති පසුබිමක ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නේ නම් එය අයුක්තිසහගත බව ද කියා සිටියේ ය.

    කූඨ ලේඛන සකස් කළ බවට සිය සේවා දායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සිය සේවාදායකයාගේ නිර්දෝෂී බව ඉදිරියේදී තහවුරු කරන බව ද සඳහන් කළේය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතීන්ට අනුව සිදුකළ රාජකාරියක් වැරදි එකක් බවට හුවා දක්වන්නේ නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යල් පැනගිය නීති අණ පනත් සංශෝධනය කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක් කළ සඳහන් කළේ ය.

    තම සේවා දායකයා ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

    දෙපාර්ශවයේ ම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජූනි 11 දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේ ය.

    පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පෙනී සිටි අතර සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කළ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර සහ නීතිඥ චතුර ධනංජය රණතුංග ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

    සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජූනි 8 දින රාත්‍රියේදී ය.

    surce: bbc.com/sinhala

  • 2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්

    2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් කළේය.

  • අධි රුධිර පීඩනය සහ හෘද සෞඛ්‍යය: නිරීක්ෂණය වැදගත් වන්නේ මන්දැයි දැනගන්න

    අධි රුධිර පීඩනය සහ හෘද සෞඛ්‍යය: නිරීක්ෂණය වැදගත් වන්නේ මන්දැයි දැනගන්න

    අධි රුධිර පීඩනය ඉතා සුලභ තත්ත්වයක් වන අතර මෙම තත්ත්වයට නිසි රෝග ලක්ෂණ නොමැති නිසා බොහෝ අය එය හඳුනා නොගනිති. මෙය නිසි වේලාවට ප්‍රතිකාර නොකළහොත් එය ඉතා භයානක විය හැකිය.

    රුධිරය ධමනි හරහා වැඩි වේගයකින් ගමන් කරන විට මෙම තත්ත්වය ඇතිවේ. මෙයින් අදහස් කරන්නේ ඔබේ හදවත වඩාත් බලහත්කාරයෙන් රුධිරය පොම්ප කළ යුතු බවයි, එය රුධිර නාල වලට හානි කළ හැකි අතර මොළය හා අක්ෂි ගැටලු සහ වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. අධි රුධිර පීඩනය හේතුවෙන්, වකුගඩු වල රුධිර නාල තුනී හෝ දුර්වල විය හැකි අතර එමඟින් ඇස්වල රුධිර නාල ඉරී යා හැකි අතර සිහින් ධමනි නිසා මොළයට රුධිර ප්‍රවාහය සීමා විය හැකිය.

    චෙන්නායි හි ඇපලෝ ස්පෙක්ට්‍රා රෝහලේ අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය මධුමිධා පැහැදිලි කරන්නේ අධි රුධිර පීඩනය හෘද සෞඛ්‍යය සමඟ ඉතා සමීප සම්බන්ධයක් ඇති බවයි. දිගු කාලයක් අධි රුධිර පීඩනය පැවතීම හෘදයාබාධ, ආඝාතය වැනි හෘද වාහිනී රෝග වලට හේතු විය හැකිය. ධමනි බිත්ති මත ඇති අධික පීඩනය රුධිර වාහිනී සහ අවයව වලට හානි කළ හැකිය.

    රුධිර පීඩනය ඉහළ මට්ටමක පැවතුනහොත් සහ පාලනයකින් තොරව සිදුවුවහොත් එය විශාල හානියක් සිදු කළ හැකිය. මෙය රුධිරය පොම්ප කිරීමේදී ආතතියක් ඇති කරන අතර හෘදයේ පොම්ප කුටිය ඝන වීමට හේතු වන අතර එය වම් කශේරුකා අධි රුධිර පීඩනය ලෙස හැඳින්වේ. මෙය ශරීරයේ අවශ්‍යතා අනුව රුධිරය පොම්ප කිරීමේදී හදවතට අපහසුතාවයක් ඇති කළ හැකි අතර එය හෘදයාබාධ ඇතිවීමට හේතු වේ.

    ඒවාට වෙනත් අවදානම් සාධක ද ​​ඇතුළත් වේ:

    පවුල් ඉතිහාසය : පවුල තුළ අධි රුධිර පීඩනය පවතී නම්, එම රෝගය ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ය.

    තරබාරුකම හෝ අධික බර: අධික බර හෝ තරබාරුකම රුධිර වාහිනී, වකුගඩු සහ ශරීර අවයවවල වෙනස්කම් ඇති කළ හැකි අතර, මෙය අධි රුධිර පීඩනයට හේතු විය හැකිය.

    දුම්පානය: මෙය වහාම රුධිර පීඩනය ඉහළ නංවයි. දුම්පානය රුධිර වාහිනී වලට හානි කරන අතර ධමනි දැඩි වීම වැඩි කළ හැකිය.

    අධි රුධිර පීඩනය සඳහා රෝග ලක්ෂණ ඉතා ස්වල්පයක් ඇති අතර, බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වීමට පටන් ගන්නා තෙක් කෙනෙකුට එය වැටහෙන්නේ නැත, එබැවින් ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම බොහෝ විට ඉතා වැදගත් වේ.

    රුධිර පීඩනය මනිනු ලබන අතර ඒවා අතර කප්පාදුවක් සහිතව වෙනස් සංඛ්‍යා දෙකක් ලෙස ලියා ඇත. මිනිස් සිරුරක සාමාන්‍ය රුධිර පීඩන මිනුම 120/80 mm Hg වේ. පළමු මිනුම් අංකය සිස්ටලික් රුධිර පීඩනයයි / systolic blood pressure. මෙය හදවතින් පිටතට පොම්ප කරන විට රුධිරය ගලා යන බලයේ ප්‍රමාණයයි.

    දෙවන අංකය ඩයස්ටොලික් රුධිර පීඩනය / diastolic blood pressure වන අතර එය එක් එක් හෘද ස්පන්දනය අතර විවේකයක් ඇති විට මනිනු ලැබේ. සාමාන්‍ය රුධිර පීඩනයක් පවත්වා ගැනීම පහසු නොවන අතර ඉතා අසාමාන්‍ය ය; කෙනෙකුගේ රුධිර පීඩනය ඔවුන් දිනපතා කරන ක්‍රියාකාරකම් අනුව වෙනස් විය හැකිය.

    නිගමනය

    ඔබේ කාලය වැඩිපුර ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම සඳහා යොදවන්න. ඔබේ ආහාර චක්‍රයට පලතුරු, එළවළු සහ අඩු මේද සහිත කිරි නිෂ්පාදන එකතු කිරීම ආරම්භ කරන්න. වැඩිපුර පොටෑසියම් ඇතුළත් කර සෝඩියම් වළක්වා ගන්න.

    දෙවැන්න ආහාර නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදවලට විශාල වශයෙන් ලුණු එක්කරයි. එනිසා ලුණු පාරිභෝජනය සීමා කරන්න.

    මත්පැන් පරිභෝජනය අඩු කර දුම්පානයෙන් වළකින්න.

    මෙම වෙනස්කම් වලට අනුවර්තනය වීමට සුළු කාලයක් ගත විය හැකි අතර ආරම්භක අවධියේදී සාර්ථක නොවනු ඇත. එබැවින් ඔබට එය අවශ්‍ය යැයි හැඟේ නම් වෘත්තීය සහාය ලබා ගන්න, තව ද මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබේ සමීපතමයන්ගෙන් සහාය ලබා ගන්න.

  • ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

    ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

    ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියාය.

    එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විමත් සමග ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.

    72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් විය.

    ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි. කෙසේ වුවද 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ලොව පුරා මහත් බලාපොරොත්තු තැබූ ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාටද සිය කිරුළේ බලාපොරොත්තුව අහිමි විය.

  • බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    ජනාධිපති අනුර කුමාර දසානායක මහතා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි.

    “ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු විය.

    වත්මන් රජය විසින් භාර ගනු ලැබුවේ නතර වූ රටක් බවත්, එම රට යළි පණ ගැන්වීම උදෙසා බදු යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එමෙන්ම රටක් ලෙස අපි පරිවාසයට ලක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුම මෙරට ඒ ආකාරයේ අවසන් වැඩසටහන බවට පත් කර ගනිමින් ස්වෛරී ආර්ථිකයක් ගොඩනැගීමට එක් වන ලෙසද සියලු ජනතාවට ආරාධනා කළේය.

    ජනතාව තුළ බදු ගෙවීමට ඇති අසුබවාදී ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරීමත්, විනිවිදභාවය සහ වගවීමෙන් යුතු නව බදු සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් බදු ශක්ති ජාතික බදු සතිය ක්‍රියාත්මක කෙරේ. අද (02) සිට එළැඹෙන 07 වන දා දක්වා වූ සතිය තුළ හඳුන්වාදෙන නව බදු ගෙවීමේ වේදිකා සම්බන්ධයෙන් සහ බදු මුදල් රටේ සංවර්ධනයට දායක වන අන්දම මෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    2024 තක්සේරු වර්ෂයේ පුද්ගල ආදායම් බදු වාර්තාව භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත වේදිකාව විවෘත කිරීමද මෙහිදී සිදු වූ අතර 2024/25 තක්සේරු වර්ෂයේ ලබා දෙන පළමු බදු වාර්තාව ලෙස ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික ආදායම් බදු වාර්තාව අන්තර්ජාලය වෙත එක් කිරීම සිදු විය.

    එමෙන්ම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ASYHUB පද්ධතිය දියත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. ජර්මන් රජය සහ UNCTAD ආයතනයේ සහයෝගයෙන් නවීකරණය කරන ලද මෙම පද්ධතිය මගින් ආනයනකරුවන්ට භාණ්ඩ මෙරටට ළගා වීමට පෙර බදු කටයුතු කර ගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ තුළින් සහ රේගුව ක්‍රියාත්මක කරනු ලබන අවදානම් කළමනාකරණ මෘදුකාංගය තුළින් අවදානම් රහිත බහළුම සෘජුවම නැවෙන් බෑමෙන් පසු අදාළ ආනයනකරුවන්ගේ ගබඩා තෙක් රැගෙන යාමට පහසුකම් සැලසේ.

    මේ අතර නීත්‍යනුකූල නිෂ්පාදිත මත්පැන් බෝතල් ආරක්ෂිත සලකුණු පද්ධතිය හරහා හඳුනා ගැනීම සඳහා වන ජංගම යෙදුම සුරාබදු නිලධාරින් වෙත හඳුන්වා දීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර බදු සතිය වැඩසටහනේ අභිප්‍රාය වන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ජනතාවගේ බදු ගෙවීමේ අනුකූලතාවය වර්ධනය කිරීම සහ රටේ බදු පදනම ශක්තිමත් කිරීම බව කියා සිටියේය.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදහස් දක්වමින් බදු ගෙවීම යනු රට වෙනුවෙන් සද්භාවයෙන් කරන ආයෝජනයක් බව සඳහන් කළේය.

    “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාද මෙහිදී අදහස් දැක්වු අතර බදු ගෙවීම තුළින් ගොඩනැඟෙන සුපිළිපන්නභාවය ආචාරධාර්මික සංවර්ධනයක් සහිත රටක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් බව සඳහන් කළේය.

    මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

    අපේ රට තුළ බදු පිළිබඳ තිබෙන ආකල්පය සුබවාදී නැහැ. බදු නාස්ති වන බවටත්, බදු මඟහරින බවටත්, බදු ගෙවීමේ ව්‍යාකූලත්වයක් පිළිබඳවත් සංවාදයක් තිබෙනවා. ඒ වගේම බදු මඟහැරීම සඳහා වූ උපදෙස් ලබා දීමට ආයතන ගොඩනැඟී තිබෙනවා. මේ සියල්ල ඇති වී තිබෙන්නේ අපේ රටේ බදු එකතු කිරීම සඳහා පවතින පරිපාලන යාන්ත්‍රණයත්, බදුවලට සිදු වූ විනාශයන් පිළිබඳ තිබෙන සමාජ අවබෝධයත් නිසයි. එම නිසා බදු ගෙවීම සහ ඒ සඳහා වන යාන්ත්‍රණය සහ පොදු ජනතාව තුළ තිබෙන ආකල්පය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කළ යුතුව තිබෙනවා.

    අප සතුව තිබෙන ඇතැම් දත්ත දෙස බැලූ විට එය සුබවාදී තත්ත්වයක් නොවෙයි. අපේ සමාගම් ලියාපදිංචි කර තිබෙන අයගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ 43%යි. ඒ වගේම 2023-2024 වසරවල පුද්ගල ආදයම් බදුවලින් වාර්තා ලබා දී තිබෙන්නේ 23%යි. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දී තිබෙන්නේ 46%යි. ඒ වගේම PAYE Tax ගෙවන අයගේ වාර්තා ලබා දී තිබෙන්නේ 18%යි. මේ කිසිදු දත්තයක් 50% ඉක්මවා යන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයයි.

    මෙයට හේතු වී තිබෙන්නේ පැවති දේශපාලන අධිකාරිය විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචනයයි. ඒ නිසා පළමුව කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවන බවට වන සහතිකය ජනතාවට ලබා දීමයි. එය මටත්, අපේ දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා. ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබා දෙනවා.

    ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහ ජනතාවගේ බදු මුදල්වලින්, අණ පනත්වලින් යම් වරප්‍රසාද ලබා දි තිබෙනවා, ගැසට් නිවේදනවලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. එහෙත් අපි එම වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අතහැර තිබෙනවා.

    මහජනයාගේ සෑම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයකින්ම මා විසින් කප්පාදු කර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුත් එහෙමයි. ඒ නිසා අපි තිර අධිෂ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය එතැනින් ලබා දෙනවා.

    ඒ වගේම අපි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟිය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියා අතර තිබෙන සම්බන්ධය ඉතා වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියක් කරා ගෙන යාමට අපි විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන වංචා දුෂණ වැළැක්විය යුතුයි. ඔබ දන්නවා ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුට තමන්ගේ ඡායාරූපයක් සහ තමන්ම ගොස් ඇගිලි සලකුණු ලබා දිය යුතුයි. එහෙත් පාතාල කණ්ඩායම් නායකයන්ට ඇගිලි සලකුණු වර්ග තුනකට, ඡායාරූප වර්ග කිහිපයකට ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබෙනවා. අපේ නීතිමය රාමුව ආරක්ෂා කර ගැනීමට තිබෙන ආයතන විසින්ම එම රාමුව බිඳ දමා තිබෙනවා.

    ඒ වගේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ ලොකර් එකේ තිබි ඔහුට වසර තුනකින්වත් ඉපැයිය නොහැකි මුදලක් ලැබෙනවා. කස්ටම් එක ගැන විශාල චෝදනා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළත් එම තත්ත්වය තිබෙනවා. ඒ නිසා අපේ රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. මෑතකදී රේගුවේ බහාලුම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධි ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා. එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍යද සිටිනවා.

    අපි ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවාද අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා නම්? මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද? ඒ හැම දේටම දඩුවම් ලබා දෙනවා. ඒ නිසා බදු මුදල් පිළිබද ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු මුදල් එකතු කිරීම අතර තිබෙන ප්‍රශ්නයක් නොවෙයි.

    එතැනින් එහා ගිය ජාලගත ප්‍රශ්නයක්. විවිධ ආයතනවලට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. මෙය එකිනෙකට සම්බන්ධ වූ ජාලයක්. ඒ නිසි අපි රාජ්‍ය යාන්ත්‍රණයක් ලෙස මීට සූදානම් විය යුතුයි. ඊට සූදානම් නැති ඕනෑම අයෙකුට ඉවත්ව යා හැකියි. මෙම යාන්ත්‍රණය බිඳ දැමූවේ නැත්නම් මේ රට මෙතැනින් අගලක්වත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.

    ව්‍යාපාරිකයන් ඉතා සාධාරණ ලෙස ව්‍යාපාර කර ඔවුන් සාධාරණ බදු මුදලක් ආණ්ඩුවට ගෙවනවා. එය ආරක්ෂා කර ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. ඒ වගේම වෙහෙස මහන්සියෙන් උපයන ධනයෙන් යම් ප්‍රමාණයක් රජයට ගෙවීම වාගේම, එය ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. ඒ නිසා බදු මුදල් ගෙවන හැම කෙනාටම මම ආරාධනා කරනවා ඔබ ගෙවන්න. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා කියලා. එක රුපියලක් වංචා කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් මැදිහත් වන බවට සහතික වෙනවා.

    එහිදී බලය හෝ සමාජ පසුබිම කිසිසේත් අදාළ කර ගන්නේ නැහැ. එම සමස්ත කළු සමාජය ශුද්ධ කිරීමෙන් පමණයි අපි අපේක්ෂා කරන බදු ඉලක්ක ළඟා කර ගත හැකි වන්නේ. ඒ නිසා බදු සතියේ අපේ අපේක්ෂාව මේ පිළිබඳව සමාජයට පණිවිඩයක් ලබා දීමයි. ඒ වෙනුවෙන් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතුයි.

    අපි සාමාන්‍ය ජනතාවගේ පතුලෙම ජීවිතයට ගොස් බැලුවොත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප අසමත් වී තිබෙනවා. බොහෝ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන පළමු ප්‍රශ්නය බදු පිළිබඳ ප්‍රශ්නයයි. ඒ නිසා සෑම විටම වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙන්නේ මේ ආර්ථිකයේ චලනයට මේ බදු බාධකයක් ලෙසයි. ආර්ථික චලනයට බදු බාධකයක් නොවෙයි. මම සෑම ව්‍යාපාරිකයකුටම, කර්මාන්තකරුවකුට කියන්න සූදානම් ඔබ ඔබගේ කර්මාන්තයට තෙකලා විදුලිය නැත්නම් කියන්න, අපි විදුලිය ලබා දෙන්නම්. ඔබේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්න සුදුසු ඉඩමක් නැත්නම් අපි ඉඩමක් අරන් දෙන්නම්. ජල පහසුකම් නැත්නම් එය ලබා දෙන්නම්. ඊට සරිලන පාරවල් නැත්නම් පාරවල් හදලා දෙන්නම්. හැබැයි, බදු ගෙවන්න. කිසිවෙක් තමන්ගේ කර්මාන්තය හෝ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් බදු සංශෝධන ඉල්ලන්න එපා. අනෙක් සියල්ල, යටිතල පහසුකම්, නීති රාමු සකස් කර දෙන්නම්. කාර්යක්ෂමතාව මදි නම් සකස් කර දෙන්නම්. ඔබ සාධාරණ බද්ද ගෙවිය යුතුයි.

    අපි කඩා වැටුණු ආර්ථිකයක ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කරමින් සිටිනවා. අපිට අභියෝගයක් තිබෙනවා. මා මෙය වැඩිය කියන්න අකැමැති වුවත් කිව යුතුයි. අපිට ලැබෙන්නේ නතර වූ රටක්. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවකදී දේශපාලනය මාරු වුණාට දුවමින් තිබෙන රටක් බොහෝ අයට හිමි වුණා. එහෙත් අපට හමුවෙලා තිබෙන්නේ නතර වූ රටක්. ආයෝජන, ව්‍යාපෘති, විදේශීය ණය ලබා දීම් ආදී සියල්ල නතර වූ රටක්. දැන් අපට පැවරී තිබෙන්නේ කුමක්ද? මේ සියලු පැතිවලින් නතර වී තිබෙන රට කොහොමද යළි අප පණ ගන්වන්නේ. පළමු අභියෝගය එයයි. ඒ නිසා තමයි විදෙස් ආයෝජන නතර වීම නිසා නැවතුන ව්‍යාපෘති නැවත පණ ගන්වන්න උත්සාහ කරන්නේ. මේ මාස දෙකතුනක් ඇතුළත ඒ නතර වූ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපට නැවත ආරම්භ කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා.

    ඒ නිසා අපට තිබෙන්නේ නතර වූ රටක් පණ ගන්වන්නයි. දුවමින් තිබෙන රටක් අල්ලා ගෙන යන්න පුළුවන්. හැබැයි, අපට තිබෙනවා රටක් පණ ගන්වන්න. අන්න ඒ පණ ගැන්වීමේදී අපි පළමුව තේරුම් ගත යුතුව තිබෙනවා මෙවැනි බිඳ වැටීමකට අපේ රට පාත්‍ර වෙන්න හේතු වූ සාධක මොනවාද? මෙවැනි අර්බුදයකිනුත් දේශපාලන අධිකාරිය ලෙස අප, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ, සහ මෙරටේ පොදු ජනයා මෙවැනි කඩා වැටීම්වලිනුත් අත්දැකීම් ගන්නේ නැත්නම් අපි මිනිස්සු නොවෙයි. ඒ කඩා වැටීමට හේතුසාධක ඇතැම් අවස්ථාවල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්නුම් කර දී තිබෙනවා.

    මෑතකදී වංචා දූෂණයේ යෙදුන අයට දඬුවම් දීමේදී ඒ විනිසුරුතුමන්ලා විසින් මේ කඩා වැටීමේ හේතු සාධක පෙන්වා දී තිබෙනවා. අපි අපේ ජීවන අත්දැකීම් තුළින් මේ කඩා වැටීමේ සාධක අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා අපට පැවරී තිබෙන කාරණය තමයි කඩා වැටුණු හේතු සාධක ඉතා හොඳින් හඳුනා ගෙන ඒවා නැවත සිදු වීම වැළැක්වීම.

    කඩා වැටීමේ ප්‍රධාන කරුණක් තමයි, අපට නිසි පරිදි අපේ බදු ප්‍රතිසංස්කරණ සිදු කර ඉතාමත් සාධාරණ බදු ප්‍රම‌ාණයක් එකතු කර ගැනීමට අසමත් වීම. එය අප විසින්ම නිර්මාණය කරන ලද අර්බුදයක්. මට මතක විදිහට 1996 වගේ කාලයක ජාතික නිෂ්පාදනයෙන් 23%ක බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට ලැබුණා. එය 7.3% දක්වා අඩු වීම ආර්ථික අර්බුදය පුපුරා යෑමට එක් හේතුවක්. එ‘නිසා නිසි ලෙස බදු එක්රැස් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ අප විසින්ම ඇති කර ගත් අර්බුදයක්. එනම්, බදු නිසි ලෙස එක් රැස් කර ගැනීමට අසමත් වීම මත ඇති වූ අර්බුදයක්. විවිධ කාලවකවානුවල, විවිධ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ආර්ථිකමය මූලධර්ම නොවන දේශපාලනමය මූලධර්ම මත බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් ඇති වූ අර්බුදයක්. අප සියලු ආර්ථික තීරණ ගන්නේ ආර්ථිකමය මූලධර්ම මතයි. දේශපාලන ආර්ථික තීන්දු තීරණ ගැනීම රට පතුලටම කඩා වැටීමට එක් හේතුවක් වුණා.

    අපට මේ අර්බුදයෙන් ගොඩඒමට බැරි නිසා බාහිර පාර්ශ්වයක බැඳීමකට යටත් වීමට සිදුව තිබෙනවා. උඩින් සිට අපිව හසුරුවනවා. අපි උපයා ගත් ආදායම් ඉලක්කවලටම අද අපට ඉලක්ක ලබා දී තිබෙනවා. මේ වසරේ ජාතික නිෂ්පාදිත ආදායම ප්‍රතිශතයක් ලෙස 15.1% දක්වා වර්ධනය කර ගත යුතුයි. එයින් 2.3%ක් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස පවත්වා ගත යුතුයි. අපට වියදම් සීමා පිළිබඳව, ආදායම් ඉලක්ක පිළිබඳව අපට බාහිර පාර්ශ්වයන්ගේ එකඟතාවලට අනුව ආර්ථිකය හසුරුවන්න සිදුව තිබෙනවා. ඇයි? අපි නරක ළමයෙක්. දැන් අප දඩුවමට ලක් කරලා, පරිවාස භාරයේ ඉන්නේ. අපේ ආර්ථිකය, පරිවාස භාරයේ ඉන්නේ. අපි හැමදාම පරිවාස භාරයේ ඉන්න ආර්ථිකයක් බවට පත් විය යුතුද? නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා සමඟ කළ සාකච්ඡාවකදී අදහසකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයකට ඇතුළු වන අවසන් අවස්ථාව බවට මෙය පත් කරගත යුතු බවට වූ ස්ථාවරයකට ආවා. අපි අපේම නිර්ණායක, ඉලක්ක සකස් කර ගත යුතු ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට විය යුතුයි. එහෙත් අප කොයි මොහොතක හෝ අපේ ආර්ථිකය පොදු ජනයාගේ වුවමනාවන්, සමාජ අපේක්ෂා සමඟ ආර්ථික ඉලක්ක සකස් කරගත යුතුයි. එහෙත් අපි යම් ප්‍රමාණයකට, පරිවාසයකට යටත් වී සිටින ආර්ථිකයක් මෙහෙයවමින් තිබෙනවා. එනිසා අපේ උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට යන අවසන් අවස්ථාව බවට මෙය පත් කර ගත යුතුයි කියන දැඩි අධිෂ්ඨානයක අප සිටිනවා.

    ඒ අධිෂ්ඨානයට යෑමට නම් අපේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත යුතුයි. ඒ රාජ්‍ය ආදායමේදී විශාල පංගුවක් බදු මත වැටී තිබෙනවා. ඒ බදු එක්රැස් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒ නිසා බදු ගෙවන්නන්, බදු අය කර ගැනීමේ යාන්ත්‍රණය, ඒ බදු මුදල් පරිපාලනය කරන්නන් හැටියට අපි එකට මේ ව්‍යායාමය සාර්ථක කර ගමු. පරිවාස භාරයේ තිබෙන ආර්ථිකය අපේ ස්වාධිපත්‍යය සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට වෙහෙස වෙමු.

    කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, තානාපතිවරු හා පුද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

    COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

    ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    එමගින් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව මෙම වසරේ පෙබරවාරී මාසයේ සිට කොවිඩ් වෛරසය ඇති කරන SARS-CoV-2  වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවය.

    SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාසවලට භාජනය වීම සාමාන්‍ය තත්වයක් බවත් දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදී ද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම නිවේදනය මගින් සඳහන් කර ඇති අතර එම ප්‍රභේදය ශ්‍රි ලංකාවේද 2024 වර්ෂයේදී නිරීක්ෂණය වූ බවත් සඳහන් කර ඇත.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය. 

    ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇත. 

    2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලැබීය.

    SARS-CoV-2 වෛරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයකි. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ශ්‍රි ලංකාවේද  2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර ඇත.

    2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැත.

    ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක් විය. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරයි.

    ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ  ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක  පවතී.

    පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී  පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර  අවධානයෙන් පසුවේ. එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැත. 

    උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී. නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍ය වේ. 

    කෙසේ වුවද මෙම COVID – 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් වේ.  

    කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීම හෝ විෂබීජනාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම, අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ. 

    එමෙන්ම යම් අයෙක් ශ්වසන රෝගයකින් පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම  වැනි දේ යෝග්‍ය වේ.  

    රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ, යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ය.   

  • ‘ජාතික ණය සුරැකුම් ආයතනය’ නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

    ‘ජාතික ණය සුරැකුම් ආයතනය’ නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

    මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ විය.

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරිත ණය සඳහා දේපළ ඇපකර මතයැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක් සහිත ව්‍යාපෘතීන් හඳුනාගනිමින් ආයතනයේ කොටස් හිමි බැංකු හා මූල්‍ය ආයතන වලට ඇප ආවරණයක් ලබා දෙමින්, ඒකී ආයතන ණය ලබා දීම සඳහා දිරිමත් කිරීම සිදු කරයි.

    ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා ජාතික තලය තුළ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    සමාරම්භක උළෙල මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් Leah Gutierrez මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ: ඔබ දැනගත යුතු රෝග ලක්ෂණ

    විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ: ඔබ දැනගත යුතු රෝග ලක්ෂණ

    විටමින් සහ ඛනිජ ලවණ අතිශයින් වැදගත් ක්ෂුද්‍ර පෝෂක වන අතර ශරීරයේ විවිධ කාර්යයන් ඉටු කිරීමට ශරීරයට ඒවා අවශ්‍ය වේ. ශරීරයට ඉතා වැදගත් විටමිනයක් වන්නේ විටමින් B12 ය. විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව මෙය ඔබේ ශරීරය ඔබේ ස්නායු සෛල සහ රුධිර සෛල නිරෝගීව තබා ගැනීමට උපකාරී වන විටමින් වර්ගයකි. එය ඔබේ ශරීරයේ සියලුම සෛලවල ජානමය ද්‍රව්‍යය වන DNA සෑදීමට ද උපකාරී වේ.

    ශරීරය විටමින් B12 නිපදවන්නේ නැති අතර, එය ලබා ගැනීම සඳහා ඔබට විටමින් B12 අඩංගු ආහාර සහ පාන වර්ග පරිභෝජනය කිරීමට සිදුවනු ඇත. ශරීරය ප්‍රමාණවත් තරම් විටමින් B12 ලබා නොගන්නා විට හෝ ඔවුන් ගන්නා ආහාර වලින් ප්‍රමාණවත් තරම් විටමින් B12 අවශෝෂණය නොකරන විට පුද්ගලයෙකු විටමින් B12 ඌනතාවයෙන් පෙළෙනවා. ඔබේ විටමින් B12 ඌනතාවයට ප්‍රතිකාර නොකළහොත්, එය ශාරීරික, ස්නායු හා මානසික ගැටලු වලට තුඩු දිය හැකිය.

    විටමින් B12 ඌනතාවයට ප්‍රතිකාර කිරීමේ එක් ක්‍රමයක් නම් පළමුව රෝග ලක්ෂණ හඳුනා ගැනීමයි. ඔබ දැනගත යුතු විටමින් B12 ඌනතාවයේ සලකුණු කිහිපයක් මෙන්න.

    තෙහෙට්ටුව සහ දුර්වලතාවයරතු රුධිර සෛල නිෂ්පාදනය සඳහා විටමින් B12 වැදගත් වන අතර එය ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යාමට උපකාරී වේ. මෙහි ඌනතාවය නිරෝගී රතු රුධිර සෛල අඩුවීමට හේතු විය හැකි අතර එමඟින් රක්තහීනතාවය ඇති වේ. මෙය අවසානයේ තෙහෙට්ටුව, දුර්වලතාවය සහ ශක්තිය නොමැතිකමට හේතු විය හැකිය.

    සුදුමැලි සමඅඩු B12 මට්ටම් රතු රුධිර සෛල සෑදීමට බලපාන අතර එමඟින් ඒවා වඩාත් පහසුවෙන් බිඳ වැටීමට හේතු වේ. මෙම බිඳවැටීම බිලිරුබින් මුදාහරින අතර එමඟින් සමට සහ ඇස්වල සුදු පැහැයට සුදුමැලි හෝ තරමක් කහ පැහැයක් ලබා දෙන අතර එය සාමාන්‍යයෙන් සෙංගමාලය තුළ දක්නට ලැබේ.

    හිරිවැටීම –  B12 ඔබේ ස්නායු වලට වැදගත් වේ. ඌනතාවයක් ස්නායු හානිවලට හේතු විය හැකි අතර, එය අත්, කකුල් හෝ පාදවල හිරි වැටීමක් හෝ හිරිවැටීමක් ලෙස පෙනෙන්නට පුළුවන. මෙය සිදුවන්නේ ස්නායු වල ආරක්ෂිත ආවරණය (මයිලින්) කඩාකප්පල් වීම නිසාය.

    මුඛ වණවිටමින් B12 ඌනතාවය දිවේ දැවිල්ල (ග්ලොසයිටිස්) ඇති කළ හැකි අතර එය රතු පැහැයට, ඉදිමීමට සහ වේදනාකාරී වීමට හේතු විය හැකිය. මුඛයේ වණ හෝ දැවෙන සංවේදනයක් ද ඔබට දැකිය හැකිය.

    හුස්ම හිරවීම සහ කරකැවිල්ලරතු රුධිර සෛල සංඛ්‍යාව අඩු වීම ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යාමේ හැකියාවට බලපායි. එමනිසා, ශරීරය ශ්වසනය වැඩි කිරීමෙන් වන්දි ලබා දෙන අතර, විශේෂයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වලදී හුස්ම හිරවීම සහ හිසරදය ඇති කරයි.

  • චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති

    චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති

    චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් පවතින දත්ත පදනම් කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද, රෝගයේ යම් වර්ධනයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද පැවසුවේය. පසුගිය කාලයේ  පැවති ආකාරයේ අනතුරකට තවමත් තොරතුරු ලැබී නැතැයිද රජය මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොලේ සිටම අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් කටයුතු කරන අතරම ඒ පිළිබඳව සෞඛ්‍ය  ලේකම්වරයා පසුගිය දිනක වාර්තාවක් නිකුත් කළ බවද සඳහන් කළේය.

  • 2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

    2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

    2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරයි.

    2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,292.63ක් ලෙස සටහන්වී ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 8.74%ක වාර්ෂික වර්ධනයකි.

    අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසූවේ:”මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරඟකාරීත්වය වර්ධනය කරමින් වෙළඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බවයි. අප අපනයකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බව  ද පෙන්වා දී ඇත.”

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත අනුව, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් භාණ්ඩ අපනයනය වාර්ෂිකව 12.05%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 983.33ක් දක්වා ළඟා වී ඇත. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වූ දත්තද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ භාණ්ඩ අපනයන මුළුමනින්ම ඇමරිකානු ඩොලර් මිලියන 4,334.22ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 6.86%ක වර්ධනයකි.

    සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වසරේ පළමු මාස හතර තුළ සේවා අපනයන ආදායම 7.06%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,189.63ක් දක්වා ළඟා වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එය කරන දායකත්වයත් පැහැදිලිව පෙන්වයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport & Logistics) යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්තිය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි.

    වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

    භාණ්ඩ සහ සේවා අපනයනය ජන–   අප්‍රේල්

    2024

    ජන–   අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    අප්‍රේල් 2024 අප්‍රේල් 2025 % වර්ධනය

    (24-25)

    ඇඟලුම් සහ රෙදිපිළි 1,566.39 1,747.91 11.59 321.06 364.47 13.52
    තේ 450.23 478.29 6.23 95.46 107.34 12.45
    රබර්  ආශ්‍රිත නිෂ්පාදන 335.00 312.43 -6.74 66.58 61.15 -8.16
    පොල් ආශ්‍රිත නිෂ්පාදන 264.40 331.30 25.30 60.76 73.85 21.54
    දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 142.70 120.13 -15.82 29.76 27.91 -6.19
    ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 137.93 129.26 -6.29 30.78 30.75 -0.10
    කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 87.48 142.98 63.44 18.03 23.95 32.83
    සැකසූ ආහාර පාන වර්ග 158.72 181.98 14.65 32.35 43.52 34.53
    මුහුදු ආහාර 90.68 74.96 -17.34 26.79 26.70 -0.34
    විසිතුරු මසුන් 8.52 7.16 -15.96 2.77 3.11 12.27
    එළවළු 9.68 10.12 4.55 3.59 4.63 28.97
    පළතුරු 13.25 13.94 5.21 3.25 4.89 50.46
    වෙනත් අපනයන බෝග 23.28 20.05 -13.87 5.35 7.39 38.13
    මල් සහ ශාක පත්‍ර 4.94 4.70 -4.86 1.69 1.75 3.55
    බෝට්ටු නිෂ්පාදන 11.06 20.73 87.43 0.10 15.05 14950.00
    ඛනිජ තෙල් නිෂ්පාදන 369.75 342.10 -7.48 90.58 83.09 -8.27
    වෙනත් 382.05 396.19 3.70 88.68 103.78 17.03
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05
    තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 469.65 492.71 4.91 151.47 144.04 -4.91
    ඉදිකිරීම් 80.20 42.08 -47.53 19.84 15.71 -20.79
    මූල්‍යමය සේවා 23.81 6.12 -74.30 8.76 1.89 -78.40
    ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 537.51 648.71 20.69 131.06 147.65 12.66
    සම්පූර්ණ සේවා අපනයන 1,111.17 1,189.63 7.06 311.14 309.30 -0.59
    මුළු අපනයන 5,167.23 5,523.85 6.90 1,188.72 1,292.63 8.74

     

    වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    රට ජන-අප්‍රේල් 2024 ජන-අප්‍රේල් 2025 % වර්ධනය

    (24-25)

    අප්‍රේල්

    2024

    අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    1 එක්සත් ජනපදය 894.94 965.97 7.94 183.37 190.38 3.82
    2 ඉන්දියාව 239.39 334.40 39.69 56.93 77.76 36.59
    3 එක්සත් රාජධානිය 305.16 323.91 6.14 66.14 73.57 11.23
    4 ඉතාලිය 198.59 205.72 3.59 40.77 52.92 29.80
    5 ජර්මනිය 205.01 227.44 10.94 41.07 45.91 11.78
    6 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 114.74 102.89 -10.33 22.27 20.78 -6.69
    7 නෙදර්ලන්තය 114.08 142.50 24.91 26.26 29.30 11.58
    8 ප්‍රංශය 84.94 84.81 -0.15 24.32 19.67 -19.12
    9 කැනඩාව 103.57 101.13 -2.36 19.31 23.17 19.99
    10 චීනය 83.10 88.78 6.84 21.24 19.66 -7.44
    11 ඕස්ට්‍රේලියාව 78.35 80.44 2.67 17.40 16.25 -6.61
    12 බෙල්ජියම 72.06 77.19 7.12 16.64 18.00 8.17
    13 තුර්කිය 42.40 35.97 -15.17 9.48 7.13 -24.79
    14 ජපානය 56.83 58.21 2.43 12.57 14.12 12.33
    15 ස්විට්සර්ලන්තය 55.58 65.41 17.69 12.45 21.83 75.34
      වෙනත් වෙළඳපොළ 1407.32 1439.45 2.28 307.36 352.88 14.81
    එකතුව 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05

    වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    කලාපය ජන-අප්‍රේල්

    2024

    ජන-අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    අප්‍රේල්

    2024

    අප්‍රේල්

    2025

    % වර්ධනය

    (24-25)

    උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම

    (NAFTA)

     

    1,057.98 1,118.71 5.74 213.95 222.92 4.19
    යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 864.96 949.51 9.78 193.50 214.50 10.85
    දකුණු ආසියාව 366.91 441.22 20.25 86.00 104.24 21.21
    මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 329.00 334.21 1.58 60.39 74.64 23.60
    අප්‍රිකානු රටවල් 93.85 124.86 33.04 28.52 32.80 15.01
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 109.98 113.65 3.34 23.50 24.78 5.45
    CIS කලාපීය රටවල් 87.47 86.45 -1.17 22.20 16.07 -27.61
    වෙනත් 1,145.91 1,165.61 1.72 249.52 293.38 17.58
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 3,178.48 3,325.09 4.61 1,148.48 1,215.90 5.87

    ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

  • එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි? ඇය කවුද?

    එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි? ඇය කවුද?

    එංගලන්ත රූ රැජිණ මීලා මැගී 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ, ඇය එම තරගාවලියෙන් ඉවත් වීමට හේතු ලෙස ඉන්දීය මාධ්‍ය මෙන් ම, බ්‍රිතාන්‍ය මාධ්‍ය ද පළ කර ඇති වාර්තා නිසා ය.

    මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කරමින් අනුදි ගුණසේකර ඊට සහභාහී වී ඇති බැවින් එම තරගාවලිය කෙරෙහි ශ්‍රී ලංකාවේ ද වැඩි අවධානයක් යොමු වී තිබේ.

    “පෞද්ගලික හේතු මත” 24 හැවිරිදි මීලා මැගී තරගාවලියෙන් ඉවත් වූ බවට මුලදී වාර්තා වුව ද දැන් එම තීරණය පිටුපස ඇති “සත්‍යය” හෙළිදරව් වෙමින් පවතින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබේ. මැයි 7 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වේ. තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    මීලා මැගී එල්ල කළ බව කියන චෝදනා මොනවා ද?

    Milla Magee

    “මම එහේ ගියේ වෙනසක් කරන්න, නමුත් අපට සිද්ධ වුණේ රඟපෑම් කරන වඳුරෝ වගේ වාඩි වෙලා ඉන්න.”

    රූ රැජිණ තරග ඉතිහාසයේ ඉන් ඉවත් වූ පළමු එංගලන්ත රූ රැජිණ බව සැලකෙන මීලා මැගී එසේ පැවසූ බව බ්‍රිතාන්‍යයේ The Sun වෙබ් අඩවිය මෙන් ම ඉන්දියාවේ ද මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි. බීබීසී තෙළිඟු සේවය ද මේ පිළිබඳව වාර්තා කර තිබිණි.

    “මේ තරගය තියෙන්නේ අතීතයේ හිරවෙලා. සදාචාරාත්මකව මට ඒකේ කොටසක් වෙන්න බෑ,” ඇය සඳහන් කළ බවට වාර්තා පළ වී තිබේ.

    තරගාවලිය අතරතුර තමන් “ගණිකාවක් මෙන්” තමාට දැනුණු බවත්, එහි සංවිධායකයින් තමන් “අන් අය සතුටු කිරීම සඳහා යොදා ගත් බවත්,” ඇය චෝදනා කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    ධනවත් පිරිමි අනුග්‍රාහකයන් ඉදිරියේ ගමන් කරවීමට සැලැස්වීමෙන් පසු තරගයෙන් ඉවත් වීමට තමා තීරණය කළ බව මීලා පවසා තිබේ.

    ඇය මෙම තරගාවලිය “යල් පැන ගිය” එකක් ලෙස හැඳින්වූ බවත් එහි අවසන් තරගකරුවන් 109 දෙනාගෙන් සමහරෙකු “නීරස ස්වභාවයක්” පෙන්වීම නිසා දෝෂාරෝපණයට ලක්වූ බවත් මාධ්‍ය වාර්තා පළ අර තිබේ.

    “ලෝකයේ තියෙන කිරුළු සහ ගරු නාම ඔබ ඕබේ කටහඬ භාවිත කර ලෝකය තුළ වෙනසක් ඇති කිරීම තරම් වටින්නේ නැහැ,” ඇය පැවසූ බව සඳහන් වේ.

    තරගාවලියේදී තමන් මුහුණ දුන් බව කියන “අමිහිරි” අත්දැකීම් ගැන ඇය තවදුරටත් මෙලෙස ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    “අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකට ම ගැහැනු ළමයි දෙදෙනෙක් හිටියා.”

    “අපෙන් බලාපොරොත්තු වුණේ මුළු හවස්වරුව ම එයාල එක්ක වාඩි වෙලා ඉඳන් එයාලට කෘතගුණ සැලකීමක් විදිහට එයාලව සතුටු කරන්න.”

    “මට ඒක විශ්වාස කරන්න බැරි දෙයක් කියලා හිතුණා. ‘මේක හරි ම වැරදියි’ කියලා, මම හිතුවා. මම මෙහෙට ආවේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා අතින් අතට යන්න නෙවෙයි. ලෝක රූ රැජිණ තරගයටත් ඒ වගේ වටිනාකම් තියෙන්න ඕනේ. ඒත් ඒක යල් පැන ගියපු අතීතයේ හිර වෙලා තියෙන්නේ. ඔවුන් මාව ගණිකාවක් ලෙස දැනෙන්න සැලැස්වූවා.”

    මීලා තවදුරටත් මෙලෙස පැවසූ බව ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ ඇත: “එක් අවස්ථාවක මම වැදගත්කමක් තියෙන දේවල් ගැන කතා කරන්න උත්සහ කළත් මේසයේ සිටි පිරිමින් උනන්දුවක් දැක්වූවේ නැහැ කියලා පැහැදිලි වුණා. ඒ වෙනුවට එතන වුණේ, මට අපහසුතාවක් දැනුණු අමුතු පොඩි පොඩි කතා.

    මීට අමතරව, තරගාවලිය සම්බන්ධයෙන් මීලා තවත් චෝදනා නගා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

    ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති ප්‍රතිචාර දක්වයි

    ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම මස මුලදී, මීලා මැගී ඇගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට ඉල්ලා සිටි බව ය.

    ඒ අනුව, ඇගේ සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගේ යහපැවැත්මට මුල් තැන දෙමින් වහා ම ඇයව එංගලන්තයට නැවත යැවීමට අවශ්‍ය කටයුතු සලසා දුන් බව ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

    ඇයගේ නික්ම යාමෙන් පසු, එංගලන්ත රූ රැජිණ තරගයේ පළමු අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට්, තම රට නියෝජනය කිරීමට ඉදිරිපත් වූ බව ඇය පවසයි. ඒ අනුව, ඇය ඉන්දියාවට පැමිණ තිබිණි.

    එම නිවේදනයේ මෙලෙස ද සඳහන් වෙයි: “අවාසනාවකට මෙන්, ඉන්දියාවේදී ඇයට ලැබුණු අත්දැකීම් සම්බන්ධයෙන් මීලා මැගී විසින් කරන ලදැයි කියන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කරනු ඇති බව අපගේ අවධානයට ලක්ව තිබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම පදනම් විරහිත වන අතර ඇය අප සමග ගත කළ කාලයේ සිදු වූ සැබෑ සිදුවීම් සමග එය නොගැලපේ.”

    ඊට ප්‍රතිචාර වශයෙන්, ලෝක රූ රැජිණ සංවිධානය, මීලා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ පටිගත කරන ලද සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මීලා මැගී යනු කවුද?

    Milla Magee

    24 වන වියේ පසුවන මීලා මැගී ඉකුත් වසරේ Miss World England කිරුළ දිනා ගත්තා ය.

    මුලින් ලන්ඩනයේ මෝර් හවුස්හි අධ්‍යාපනය ලැබූ ඇය, අධ්‍යයන කටයුතුවල දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර අවසානයේ කෝන්වෝල් වෙත ගියා ය. ඇය කෝන්වෝල්හි නිව්කේහි ජීවත් වූ නමුත් හැදී වැඩුණේ ලන්ඩනයේ ය.

    කෝන්වෝල්හිදී ඇය රළ මත ලිස්සා යාම ඉගෙන ගනිමින් වෙරළ ජීවිතාරක්ෂකයෙකු බවට පත් වූවා ය.

    සාම්ප්‍රදායික සිහින් සිරුරක් නොව ප්‍රමාණයෙන් තරමක් විශාල සිරුරක් (plus-size / size 16) ඇතිව එංගලන්ත රූ රැජිණ බවට පත් වූ තරුණිය ද ඇය යි. තම අධික බර හේතුවෙන් ඇය පාසලේදී විවිධ හිංසාවලට ලක් වූ අයෙකි.

    ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය ඉකුත් වසරේ බීබීසීය වෙත ප්‍රකාශ කළේ, “මේ ඊනියා රූ රැජිණ තරග පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමේ කර්තව්‍යයේ කොටසක් වීමට මට අවශ්‍ය වුණා,” යනුවෙනි.

    රට පුරා පාසල්වලට CPR පුහුණුව අනිවාර්ය කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන GoFarwithCPR සඳහා ඇය නායකත්වය දෙයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික හේතු වන්නේ, ඇගේ ජීවිතයේ අත්විඳින්නට වූ ඛේදවාචකයකි. මීලාගේ මුත්තණුවන් දෙදෙනා ම මියගොස් ඇත්තේ හෘදයාබාධවලිනි.

    source: bbc.com/sinhala

  • මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

    මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

    මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි.

    මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි.

    මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙළින් 9.7%ක් සහ 8.7% ක් වාර්තා වන අතර, එමඟින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවිධිමත් ණය ප්‍රභවයන් බහුලව පවතින බව ද පෙන්නුම් කෙරේ.

    තවද, සමෘද්ධි බැංකු හරහා ලබා ගන්නා ණය 7.1%ක්, සිය රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ණය 5.2%ක් සහ ක්‍රෙඩිට් කාඩ් හරහා ලබා ගන්නා ණය 1.8%ක් ලෙස කුඩා පරිමාණයෙන් ණය ගැනීමේ ද මීට ඇතුළත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.