Tag: featured

  • 2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි

    2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි

    2022 වර්ෂය සඳහා  විසර්ජන පනත් කෙටුමිපත පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ මුදල්  පිළිබඳ කාරක සභාවේදී  අනුමැතිය හිමිවිණි.

    2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුමිපත 2021.09.29 දින ගැසට් පත්‍රයේ  අතිරේකයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර  එය අයවැය පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි.

    පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා  ඉදිරිපත් වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත්  ඇස්තමේන්තුගත වියදම්  අනුව, සමස්ත වියදම රු.බි. 5134 ක් වන අතර එයින් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වියදම රු.බි. 1521 ක් වන බව සඳහන්ය.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා  පනත් කෙටුම්පත තුළ  වන පුනරාවර්තන  වියදම් කාරක සභික මන්ත්‍රීවරුන් වෙත පැහැදිලි කළ අතර එහි ප්‍රධාන වශයෙන්  රාජ්‍ය සේවක වැටුප්  ගෙවීම පිණිස වූ රු.බි.980.2 ක් අන්තර්ගත වන බවද පෙන්වා දුන්නේය.

    එමෙන්ම, රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස  රු. බි.1001 ක් ද විශ්‍රාම වැටුප්   හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා වන  රු. බි.310 ක් ‍වෛද්‍ය සැපයුම් සඳහා  රු.බි68 ක්  මෙන්ම සහනාධාර වන සමෘද්ධිය  සඳහා  රු. බි.50 ක් , පොහොර සඳහා රු.බි.35 ක් සහ වෙනත් සහනාධාර සඳහා රු.බි.69 ක් ලෙස ප්‍රතිපාදන වෙන් කර ඇති බවද  හෙතෙම තවදුරටත් කාරක සභාව ඉදිරියේ  පැහැදිලි කළේය.

    වරක් මෙරට අමාත්‍යවරයකු සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාව දරුවාගේ ගැබෙහි සිට  සුසානය දක්වා සහනාධාර සලසන රාජ්‍යයක් බව පෙන්වා දුන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙවරද කිසිදු වෙනසකින් තොරව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙහි ඉලක්කගත රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන බව අවධාරණය කළේය. සමහරුන් මතුකරන ආකාරයට, පුනරාවර්තන වියදම් තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ මුදල් අමාත්‍යාංශයේ වැය බර පුළුල්ව  පෙනෙන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයේ වැටුප් ගෙවීම් නිසා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ  වැය බරෙහි ණය මුදල් ගෙවීම් ඇතුළත් නිසා බවද  හෙතෙම විශේෂයෙන් කාරක සභාවේ  අවධානයට ලක් කළේය.

    මෙහිදී සිය අදහස් දක්වමින් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, මෙම පනත් කෙටුම්පත කාරක සභාවේදී අනුමත කර දිය හැකි නමුත් පවත්නා කොවිඩ් තත්ත්වය හමුවෙහි ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම් රටවල්  මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය සුළුපටු නොවන බවයි.

    රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා භාණ්ඩාගාර ලේකම්වරයා ට සඳහන් කර සිටියේ,  රාජ්‍ය අමාත්‍යංශ විසින්  සිදු කරන ව්‍යාපෘති සඳහා  මුදල් සීමා කිරීම මඟින්  පෞද්ගලික ආයෝජකයන්  සමඟ   කටයුතු කිරීම සඳහා  පහසු වටපිටාවක් නිර්මාණය කිරීමට මුදල් අමාත්‍යාංශය ද මැදිහත් වීමක් සිදු කළ යුතු බවය. එය කාරක සභාවේ පක්ෂ – විපක්ෂ සියලු මන්ත්‍රීවරයන්ගේ ඇගයීමට ලක් වූ අතර සෑම  සුළු හෝ ඉතිරි කිරීමක්ම මෙවැනි අවස්ථාවක  වැදගත් බව අවධාරණය කෙරිණි.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී පෙන්වා දුන්නේ, මෑතකදී  රජය විසින් කිරිපිටි, සීනි,සහල් ආදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වලට පැනවූ පාලන මිල ඉවත් කිරීම ඉතා ඉදිරිගාමී පියවරක් බවයි.

    නව ලිබරල්වාදී අර්ථ රටාවක් තුළදී රජයක්  එසේ කටයුතු කිරීමේ වරදක් තමා නොදකින බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා රජය නුදුරේදීම  ස්ථාවර ආර්ථිකයක් සඳහා  නිසි පියවර ගැනීමට 2022 අයවැය හේතු වනු ඇති බව   පෙන්වා දුන්නේය .

    පසුගියදා (21) කලකට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය රංජිත් බණ්ඩාර ,ඉසුරු දොඩංගොඩ , අනුප පැස්කුවල් ආදීහු සම්බන්ධ වූහ.

    මෙම පනත් කෙටුම්පත  සඳහා  ‍රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙහි අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල සහ ආචාර්ය කපිල සේනානායක ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගීව සිටියහ .

  • මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි කරයි

    මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි කරයි

    ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

    මහාචාර්ය මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.

    මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව,  ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින්  රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා  පියවර ගෙන ඇත. මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත.

  • ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

    ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

    මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති.

    වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී “ආගන්තුක” පටකයක් ලෙස හඳුනා නොගැනෙනු පිණිස ජානමය වෙනස්කිරීමකට භාජනය කළ ඌරෙකුගෙනි.

    මෙම ක්‍රියාවලිය තවමත් විද්වතුන් විසින් සමාලෝචනයට ලක් වී හෝ පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පළවී නැතත්, ඒ සඳහා සැලසුම්කර ඇතැ යි කියැවේ. විශේෂඥයින් සඳහන් කරන්නේ මෙය මෙතෙක් එම ක්ෂේත්‍රයේ සිදුවූ දියුණුම අත්හදාබැලීම බව යි.

    මින් පෙර මනුෂ්‍ය නොවන ප්‍රයිමේටාවන් (වානරයන් වැනි සතුන්) යොදාගෙන මේ හා සමාන පර්යේෂණ සිදුකර ඇතිමුත්, මිනිසෙකු යොදාගත් පළමු අවස්ථාව වන්නේ ද මෙය යි.

    අවයව බද්ධයන් සඳහා ඌරන් භාවිතා කිරීම නව්‍ය අදහසක් නොවේ. ඌරන්ගේ හදවත් කපාට දැනටමත් මිනිසුන් වෙත බහුලව බද්ධ කෙරේ.

    ප්‍රමාණය අතින් ගත්කල ද ඌරන්ගේ අවයව මිනිසාට හොඳින්ම ගැලපෙයි.

    නිව් යෝක් විශ්වවිද්‍යාලයයේ ලැන්ගෝන් හෙල්ත් නම් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණු පැය දෙකක සැත්කමක් හරහා ශල්‍ය වෛද්‍යවරුන් ඌරු වකුගඩුව මොළය මියගිය පුද්ගලයාගේ රුධිර නාලවලට සම්බන්ධකර ඇත. එවිට එය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි ද, නැතහොත් සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා එසේ සිදුකළබව කියැවේ.

    ඉන් අනතුරුව දින දෙකහමාරක් තිස්සේ බොහෝ පරීක්ෂණ සහ පරීක්ෂා කිරීම් සිදුකළ ඔවුහු වකුගඩුව සමීපව නිරීක්ෂණ කළහ.

    “සාමාන්‍ය මිනිස් වකුගඩුවක් සිදුකරන සෑම කෘත්‍යයක්ම ඉටුකළ, සෑම ආකාරයෙන්ම [මිනිස් සිරුරට] ගැලපෙන, මිනිස් වකුගඩුවක් බද්ධ කළ විටෙක දී මෙන්ම ක්‍රියා කළ වකුගඩුවක් අපි නිරීක්ෂණය කළා,” යනුවෙන් මෙහි ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රොබර්ට් මොන්ට්ගොමරි BBCය සමග පැවසීය.

    “ඒක සාමාන්‍ය පරිදි ක්‍රියා කළා වගේම, සිරුරෙන් ප්‍රතික්ෂේප වෙනබවක් පෙනෙන්නට තිබුණේත් නැහැ.”

    ශල්‍ය වෛද්‍යවරු ඌරු වකුගඩුව බද්ධ කළ අවස්ථාවේ දී ඌරාගේ තයිමස් ග්‍රන්ථියෙන් කොටසක් ද බද්ධ කළෝ ය. එය, ඌරු පටකයට පහරදීමට ඉඩ ඇති මුක්ත ප්‍රතිශක්තීකරණ සෛල ඉවත් කිරීම මඟින් මිනිස් සිරුරෙන් වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීමට උපකාර වනු ඇතැ යි ඔවුන් සිතයි.

    තමා ද හෘදයවස්තු බද්ධයකට භාජනය වී ඇත්තෙකු වන වෛද්‍ය මොන්ට්ගොමරි පවසන්නේ සිය පර්යේෂණ කටයුතු මතභේදාත්මකයැ යි තමා පිළිගන්නා නමුත්, අවයව බද්ධයක් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සඳහා ඉන්ද්‍රියයන් සෙවීම හදිසි අවශ්‍යතාවක්බව යි.

    “යමෙකුට ජීවත් වීමට නම් තවත් කෙනෙකු මිය යායුතු යි කියන සාම්ප්‍රදායික සම්මතය ඉදිරියේ දී කිසිම අයුරකින් ප්‍රයෝගික වෙන්නේ නැහැ.”

    “මට මේ සම්බන්ධයෙන් පැනනැගිලා තියෙන ගැටලු ඇත්තෙන්ම තේරෙනවා. ඒ ගැන මට කියන්න තියෙන්නේ, වර්තමානයේ දී අවයව බද්ධයක් බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ගෙන් 40%ක් දායක අවයවයක් ලබන්නට පෙර මියයනබව යි.

    “අපි ඌරන්ව ආහාර ප්‍රභවයක් විදියට භාවිතා කරනවා. අපි ඌරන්ව ඖෂධ සහ හදවත් කපාට ලබාගැනීම වැනි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා යොදාගන්නවා. මම හිතන්නේ මේකෙත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ.”

    මෙය තවමත් මූලික මට්ටමේ පවතින පර්යේෂණයක්බව ද, වැඩිදුර අද්‍යයන කටයුතු සිදුකිරීම අත්‍යාවශ්‍ය බව ද පැවසූ වෛද්‍ය මොන්ට්ගොමරි මෙසේ ද සඳහන් කළේ ය: “මම හිතන්නේ, මෙවැනි පර්යේෂණ සායනික මට්ටමට ගෙනියන්නට නව විශ්වාසයක් මෙමඟින් අප තුළ ඇතිකරවනවා.”

    මෙම පර්යේෂණයට භාජනය වූ තැනැත්තා අවයව පරිත්‍යාගශීලියෙකුබවට පත්වීමේ කැමැත්තෙන් සිටි අයෙකු වන අතර, මෙම සැත්කම සිදුකිරීම සඳහා අවසර ලබා දී තිබුණේ එම තැනැත්තාගේ පවුලේ අයයි.

    The team behind the surgery
    සැත්කම සිදුකළ කණ්ඩායම

    එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය මෙවැනි පර්යේෂණ කටයුතු සඳහා ජානමය වෙනස්කිරීම්වලට භාජනය කෙරුණු ඌරන්ගේ අවයව යොදාගැනීමට අවසරය ලබා දී ඇත.

    ඉදිරි දශකය තුළ දී ඌරන්ගේ හදවත්, පෙනහැලි, සහ අක්මා වැනි අනෙකුත් අවයවයන් ද, අවයව බද්ධයන් බලාපොරොත්තුවෙන් හිඳිනා මිනිසුන් සඳහා භාවිතා කළ හැකි වනු ඇතැ යි වෛද්‍ය මොන්ට්ගොමරි විශ්වාස කරයි.

    වකුගඩු සහ දැඩි සත්කාර ඒකක වෛද්‍යවරියක ලෙස එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට (NHS) සේවය කරන වෛද්‍ය මරියම් කෝස්රාවි මේ පිළිබඳව මෙසේ පැවසුවා ය: “සත්ත්ව ඉන්ද්‍රියයක් මිනිසෙකුට බද්ධ කිරීම කියන්නේ අපි දැනට දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරමින් සිටි දෙයක්. මේ කණ්ඩායම එහි ඉදිරි පියවරක් ගන්නවා දැකීම ඇත්තෙන්ම සිත්ගන්නා සුළු කාරණයක්.”

    මෙහි ආචාර ධර්මයන් සම්බන්ධයෙන් ඇය පැවසුවේ මෙවැන්නකි: “අපට යමක් කරන්න පුළුවන් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි එය කළ යුතුම යි කියලා. මම හිතන්නේ මුළු ප්‍රජාවක් වශයෙන් මෙම ගැටලුවලට පිළිතුරු දීම අත්‍යවශ්‍ය යි.”

    NHSහි රුධිර සහ බද්ධ කිරීම් සේවයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙතෙක් ප්‍රමුඛතාව වූයේ [අවයව බද්ධයන් සඳහා] වැඩි වැඩියෙන් මානව පරිත්‍යාගශීලීන් ගලපා ගැනීමබව යි. “මේ ආකාරයේ බද්ධ කිරීම් එදිනෙදා යතාර්ථයක්බවට පත්වෙන්නට පෙර යා යුතු බොහෝ දුරක් තිබෙනවා යනුවෙනි.

    “පර්යේෂකයනුත්, වෛද්‍ය වෘත්තිකයනුත් අවයව බද්ධයක් බලාපොරොත්තු වන රෝගීන් සඳහා තමන්ට කළ හැකි සියලු දේ කරනවා. නමුත් ඒ අතරේ අපිට අවශ්‍යව තිබෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවයව පරිත්‍යාග කිරීම ගැන තීරණයක් ගැනීමත්, අවයව බද්ධයක් සිදුකිරීම ප්‍රයෝගික වුවහොත්, එහිදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන තමන්ගේ පවුල දැනුවත්කර තැබීමත් ය.”

    බී.බී.සී සන්දේශය ඇසුරිනි

  • කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි

    කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි

    කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

    ගෞතම් අදානි මහතා අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර එහි සදහන් වන්නේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

    කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 30 වනදා කොළඹදී අත්සන් තැබී ය. එහිදී වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් මෙම ගිවිසුමට අත්සන් කර තිබිණ.

    වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත අතර ඒ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගමයි.

    මේ අතර ගෞතම් අදානිගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මන්නාරමේ සංචාරයක නිරත වන බව අප වාර්තාකරු පවසයි.

  • Covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරයි

    Covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරයි

    කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව නව සංශෝධන හෙට (26) සිට ක්‍රියාත්මක වන අතර අආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය. එළිමහන් ස්ථානයක නම්, ඇතුළු කර ගතහැකි පුද්ගලයින් සංඛ්‍යාව 100කි.

    මංගල උත්සව සඳහා ශාලා ධාරිතාවෙන් 1/3කට සහභාගී විය හැකි අතර පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා නොයා යුතු ය. එළිමහන් ස්ථානයක නම්, පුද්ගලයින් 150කට අවසර හිමි වේ. විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් ය.

  • සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි

    සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

    පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.

    දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය නයින්වේල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු සුසන්ත පීරිස් මහතා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් පළමුව පිළිගනු ලැබූහ.

    අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යාව සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බලා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

    දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.

    මෙම අවස්ථාවට නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටි බව සඳහන් කරයි.

  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

    සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

    සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය.

    ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ  රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 55,452 ක් වෙන්ව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ මුදල් මේ වසර අවසන්වීමට පෙර ව්‍යාපෘති සඳහා වැය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.

    මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය  බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිලධාරිහු අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

    වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැහැ. අවශ්‍යම අය ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

    අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන්න ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ දැනට දිස්ත්‍රික්ක හයක වැව් 65ක් හඳුනාගනිමින් කරනු ලබන ප්‍රතිසංස්කරණ කටුයුතු පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

    අදාළ වැව් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති බව නිලධාරින් මෙහි දී පෙන්වා දුන්නේය. මෙසේ ප්‍රතිසංස්කරණය කරන වැව්වල නාමාවලියක් සහ අදාළ තෝරාගැනීම් කළ අකාරය සඳහන් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    කාර්යය මණ්ඩල බඳවා ගැනීමේ දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ගැනීමට ද මෙහි දී යෝජනා විය.

    නෞකා මගින් සිදුවන සමුද්‍රයීය දූෂණය වැළැක්වීම සියයට 65ක් පමණ ප්‍රගතිය දක්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය මෙහි දී පැවසුවාය.

    එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට වූ හානිය පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

    මෙම නෞකා අනතුරෙන් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කඩිනමින් ඉදිරිපත් කරන බව ලහඳපුර මහත්මිය පැවසුවාය.

    අදාළ නෞකා අනතුරෙන් වූ පරිසර හානිය ගණනය කරමින් වන්දි ලබා ගැනීමට අනුගතවීම සඳහා ලන්ඩන් සීපාස් ආයතනයට ජල හා ප්ලාස්ටික් සාම්පල් යවා ඇති බවත් ප්‍රංශයේ සෙඩ්රි ආයතනයට ජෛව සාම්පල් යවා ඇති බවත් මෙහි දී හෙළි විය.

    මේ සම්බන්ධයෙන් මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත්කළ 40දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුව මූලික විද්වත් කමිටු වාර්තාව ලබන නොවැම්බර් මාස 30වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ලහඳපුර මහත්මිය හෙළි කළාය.

    මෙයට අමතරව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව 2021 වසරේ ව්‍යාපෘති 40ක් හඳුනාගෙන ඉන් 14ක් නිම කර තිබේ.

    ප්‍රගති සමාලෝචනය අවසානයේ අග්‍රාමාත්‍යවරයා අතින් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු මුල්‍ය වාර්තා ආකෘති පත්‍රය ඒ ඒ ආයතන ප්‍රධානීන්ට ලබා දුන්නේය.

  • දඹුල්ල ආර්ථිකේ දේශීය ලොකු ලූණු ගැනුම් මිල රු. 200 පනී

    දඹුල්ල ආර්ථිකේ දේශීය ලොකු ලූණු ගැනුම් මිල රු. 200 පනී

    අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

    ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය ලොකු ලූණු  මිල පහත  යා හැකි නිසා ඉහළ මිල ගණන් පවතිද්දී තමන් සතු දේශීය ලොකු ලූණු අස්වනු වහාම අලෙවි කර ගන්නැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති.

    මේ දිනවල ලොකු ලූණු වගා කළ ගොවීහූ සිය අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම සිදු කරති.

    ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල්  170 සිට 200 දක්වා ඉහළ මිලක්  ලැබෙන බවත් බහුතරයක් ලොකු ලූනු රුපියල් 190 බැගින් මේ වන විටත් අලෙවි වන බව ගොවීහූ පවසති.

    බොහෝ ගොවීන් කියා සිටියේ කලකට පසු දේශීය ලොකු ලූණු ගොවියාට ලැබෙන මෙම මුදල ප්‍රමාණවත් බවය‍ ඇතැම් ලොකු ලූනු ගොවීන් කියා සිටියේ රුපියල් 200ක මිල තමන්ට ප්‍රමාණවත් නොවන බව ය. කෙසේ වෙතත් මෙවර  මාතලේ  දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීහු වැඩි වශයෙන් දේශීය ලොකු ලූනු වගා කර තිබේ.

    බොහෝ ගොවීන් තම අස්වැන්න අලෙවලෙවි කිරීම සඳහා ගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීම විශේෂත්වයකි. ඇතැම් ගොවීන්ගේ වගා බිම් වලට ගොස් ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසති.

    දේශීය ලොකු ලූනු බීජ වගා කළ ගොවීන්ට ඉහළ අස්වැන්නක් මෙන්ම ඉහළ මිලක් ලැබෙන බවද පෙන්වා දෙන ගොවීන් ඉන්දීය බීජ වගා කළ ගොවීන්ට එතරම් ඉහළ ඉල්ලුමක් සහ මිලක් නොලැබෙන බව ද පෙන්වා දෙති.

    දේශීය බීජ මගින් වගා කළ නිෂ්පාදනය කළ ලොකු ලූණු වලට රුපියල් 200ක මිලක් ලැබෙන බව ඇතැම් ව්‍යාපාරිකයෝ කියා සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ සී. එස්. සිරිවර්ධන මහතා ගොවීන්ගෙන් සිටියේ පාකිස්තානයෙන් ලුණු ලැබෙන්නට පෙර  දේශීය ලොකුළූණු  වෙළඳපළට ගෙනැවිත් අලෙවි කොට අතතමිට සරු කර ගන්නා ලෙසය.

    පසුගිය කන්න කිහිපයකම දේශීය ලොකු ලූනු ගොවියාට වැස්ස සහ විවිධ හඳුනා නොගත් රෝග නිසා ලොකු ලූනු වගාවෙන් පාඩු සිදුවිය. කෙසේ වෙතත් මෙවර සාර්ථක දේශීය ලොකු ලූණු අස්වැන්නක් ලැබී තිබීම විශේෂත්වයකි. ඒ අනුව අස්වැන්නට සාධාරණ මිලක් ලැබීම ද තව තවත් සතුටට කරුණක් බව ගොවීහු කියා සිටිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ජපාන තානාපති ජනපති හමුවෙයි

    ජපාන තානාපති ජනපති හමුවෙයි

    සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා
    (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා සුගියාමා අකිරා මහතා ඇතුළු පිරිස විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිතුමා විසින් එහිදී ඇගයීමට ලක් කෙරිණ.

    දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිතුමා සමග පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ (Katsuki Kotaro)  යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ ගනුදෙනුවක් පසුගිය දා සිදු විය.

    ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සහ WCT සමාගම් අතර ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම (BOT) ගිවිසුම වසර 35 ක බදු කාලයක් සඳහා අත්සන් තබා ලබා දුනි. JKH යනු ඉන්දියාවේ අදානි වරායන්හි සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම (APSEZ) හි දේශීය හවුල්කරුවා වේ. මෙය මෑත කාලයේ සිදු වූ විශාලතම විදේශ ආයෝජන වලින් එකකි. සමස්ථ ව්‍යාපෘති පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් ලෙස අපේක්ෂා කරයි. JKH සමාගමට බටහිර පර්යන්තයේ කොටස් වලින් සියයට 34 ක කොටස් හිමි වන අතර අදානි සමාගමට සියයට 51ක් සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට  සියයට 15ක කොටස් ප‍්‍රමාණයක් හිමි වේ.

    2021 මාර්තු 16 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම ගිවිසුම (BOT) පිළිබඳ ගැටලූ මැයෙන් 2021 සැප්තැම්බර් 17 දාතමින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල විසින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ද පිටපත් යොමු කරමින් වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා අමාන්ත‍්‍රණය කරන ලද ලිපියක් මගින් උක්ත ගනුදෙනුව නිසා සිදුවිය හැකි මුල්‍යමය පාඩු පිළිබදව කරුණු දක්වා ඇත. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටිනුයේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බවයි.

    විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අවධාරණය කර දක්වා ඇත්තේ බටහිර පර්යන්තය විසින් වසර 35 ක් සඳහා යෝජිත මුලූ වාර්ෂික සහතික කරන ලද රාජ්‍යයභාග (Royalty) ගෙවීම CICT වසර 35ක් සඳහා සහතික කළ මුදලට වඩා අඩු බවයි. වසර 21 ක් සඳහා බටහිර පර්යන්තය විසින් යෝජනා කරන ලද අනුපාතයන් ද CICT හි අනුපාතයට වඩා අඩු බවයි.

    සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් 7 ක රාජ්‍යය භාගය (Royalty) එක්සත් ජනපද ඩොලර් 4 දක්වා අඩු කර ඇති බවයි. 2013 දී CICT මෙහෙයුම් ආරම්භ කිරීමත් 2023 දී බටහිර පර්යන්තය ආරම්භ කිරිමටත් සැලසුම් කර තිබීමත්, මෙම කාලය තුළ උද්ධමනය, විනිමය අනුපාතිකයේ අවප‍්‍රමාණය ආදි අනෙකුත් සාධක සැළකිල්ලට ගනිමින්, රාජ්‍යය භාගය (Royalty) CICTට වඩා වැඩි විම අනිවාර්ය තත්ත්වයකි.

    පසුගිය දා ඇතැම් මාධ්‍ය වාර්තා කලේ, 2010 දී CICT ඩොලර් මිලියන 150 ක සහතික කළ මුල්‍ය ප‍්‍රවාහ වල ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දුන් අතර 2021 දී යෝජිත බටහිර පර්යන්තයට ඩොලර් මිලියන 155 ක පමණක් ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දී ඇති බවයි. ඩොලරයේ උච්ඡාවචනයන් සහ රටේ දැනට පවතින සහ අනාගත උද්ධමනීය ප‍්‍රවනතා මෙන්ම WCT හි අතිරේක ඉඩ ප‍්‍රමාණය සැළකිල්ලට ගනිමින් ඉහත වට්ටම් කිරීම සිදුකලේ නම් WCT විසින් ශී‍්‍ර ලංකා රජය / ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වෙත ඩොලර් මිලියන 200 ක ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දිය යුතුව තිබුණ බවයි.

    මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ කලක් උප සභාපති ලෙස කටයුතු කල දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ප‍්‍රසන්න පෙරේරා මහතාගෙන් කල විමසුමකදි ප‍්‍රකාශ කලේ භු දේශපාලනයේ හැසිරිම අනුව ශී‍්‍ර ලංකාව යම් උගුලක හිර වි ඇති බවයි. ඒ අනුව බටහිර පර්යන්තය ඉංදිය සමාගමකට ලබාදිම එම භු දේශපාලනය මගින් විස්තර කල හැකි නමුත් වානිජමය කොන්දේසි වෙනස් විම නම් මේ රටේ මුල් බැස ගිය අත යට ගනුදෙනු නැත්නම් අල්ලස් සහ දුෂණ මගින් විස්තර කිරිමට සිදුවන බවයි.

    (පසුගියදා පැවැති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් සූජීව සෙරනරත් විසින් සකස් කළ ලිපියකි)

  • පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ.  බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත.  ඇත්තේ කුඩා අල ගෙඩිය.

    මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන නිම්නයේ අල ගලවන තැනක දසුන්ය.  ලංකාවේ අල වගාව ස්ථාපනය කල රහංගල ගොවිපලට ආසන්නයේ ය.  නෝමන් ගුණතිලක  ‘අල මහත්තයාගේ‘ ගල් පිළිමය නෙලා ඇති හීන්නාරගොල්ල පන්සල ආසන්නයේ රත්කරව්ව කුඹුරකය.

    මෙවර වගා කන්නයට වල් බෙහෙත් (වල් නාශක) නැත.  කුඹුර වල් වලින් වැසිලාය.  දිලීර නාශක තිබුණේ නැත. බ්ලයිට් රෝගය වගාව විනාශ කර ඇත.  කෘමි හානිය (කුඩුස්සෝ, කලු පනුවෝ) සිදුවන විට දවස් තුනක්ම කෘමි නාශක තිබුණේ නැත. කෘමීන් ගසේ සාරය උරා බී ගස බාල කර ඇත.

    වෙනදා හැදෙන රවුම් බෝල අල ගෙඩි නැත. පදුරකට රඹුටන්, වගේ ගෙඩි 5-6 කි. පුවක් ගෙඩි වගේ තවත් දෙක තුනකි.  වෙනදා වගේ අල ගෙඩි 10-15 නැත. අස්වැන්නක් ඇත්තේම නැත.

    ‘‘වෙනදා මේ කුඹුරෙන් අල ගෝනි 40 ක් ගලවනවා. දැන් යන්තම් 7 -8 ක් ආවොත් පුදුමයි.  අපි විනාශයි මහත්තයෝ‘‘ මේ වැලිමඩ අල ගොවියාගේ පොදු කතාවය.

    වෙනදා කුඹරක අල ගලවනවා කියන්නේ සතුටු සාගරයකි.  කන්න බොන්න, තැබ්බෙන අල හට්ටියකි.  දවල් වෙනකොට හපුතලෙන් ගේන ගල් අරක්කු බෝතලයකි. අද ඒ මොකවත් නැත. මිනිස්සු කුණුහරුපෙන් ආණ්ඩුවට බනිමින් අල ගලවති. මේ ගොවියන්ට යන – එන මං නැත. හෙට අනිද්දාට රටටම එහෙම වනු ඇත.

    මට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. කාබනික වගාව වැලිමඩ – ඌව පරණගම – හපුතලේ – බණ්ඩාරවෙල – හාළි ඇළ ගොවියා විනාශ කර අවසන්ය.

    වැලිමඩ මේ කුඹුර වගා කර ඇත්තේ පොහොර ටිකක් කෘෂි රසායන ටිකක් තිබුණ යුගයකය.  ආණ්ඩුවේ පොහොර තහනම – කෘෂි රසායන තහනම ඉවත් කළේ නැතිනම්, ඊලඟ කන්නයට පොහොර බෙහෙත් දෙකම නැත.

    අල හැදුවොත් ලැබෙන්නේ එළබටු ගෙඩි තරම් අල බව ගොවියා දැන් සහසුද්දයෙන්ම දන්නේය. කැරට් හැදුවොත් අල එරෙන්නේ නැති බව සහසුද්දයෙන්ම දන්නේය.

    ගෙවල්වල, කොන්ක්‍රීට් වහල උඩ, ඔය කැමති කැමති තාලයට කාබනික වගාවක් කර ගන්නවා නම් හොඳය. නැතිනම්, බඩගින්නේ ඉන්න වෙන එක නම් ස්ථීරය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර  ක්‍රියාන්විතය මැතිණිය  විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව  කඩිනමින් නිරාකරණයය විය යුතු බව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක  ආචාර්ය ශාස්ත්‍රපති  පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ 22 දින අවධාරණය කළහ.

    කණ්ඩලම දෙවන දෙවන පියවර ශ්‍රී  සුමංගල ගොවි සංවිධානයේ කන්න රැස්වීම එහි සභාපතීත්වය දරන ආචාර්ය ඉනාමළුවේ  ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද (22) දින දඹුල්ල උයන් වත්ත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ආනන්ද නාහිමි  සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එහිදී වර්තමාන පොහොර ගැටලුව පිළිබඳව රටේ ගොවි සංවිධාන මේ වනවිටත් දැඩි අරගලයක නිරත වන අවස්ථාවක තම ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට නොඑන බව නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට  ගොවියන්   සංවිධානාත්මකව මේ වනවිට අරගලයක නිරත වන බවත් තම ගොවි සංවිධානය එවැනි කිසිදු අරගලයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩසටහන්ට පූර්ණ සහ සහයෝගය ලබා දෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මැතිනියගේ කාලයේ දේශීය  කෘෂිකර්මාන්තය  ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු  සහගත තත්වය  නිසා එය ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය ද එවැනි තත්වයකට  නිර්මාණයය වෙමින් පවතින බව උන් උන්වහන්සේ පෙන්වා දෙමින් කියා සිටියේ තම ගොවි සංවිධානයේ මතය වන්නේ එකවරම කාබනික පොහොර භාවිතයට මහ පොළොව ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවත් ක්‍රමයෙන්  මහපොළොව  රසායනික  තත්ත්වයෙන්  මුදවාගෙන කාබනික තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට රජය යා යුතු  බව ය. එසේ නොවන්නේ නම් වර්තමාන ජනාධිපති වරයාගේ  කාබනික පොහොර වැඩසටහන ද මැතිණියගේ හාල් පොල්ල මෙන් වර්තමාන ජනාධිපති වරයාගේ පොහොර පොල්ලක්  බවට පත්වනු ඇතැයි  නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට බොහෝ ජනතාව විවිධ රෝග පීඩාවන් වලට පත්ව ඇත්තේ මෙම රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍ය නිසාවෙන් බවත් මෙරට ගොවීන් දහඩිය  මහන්සියෙන් උපයන විශාල මුදලක් පොහොර සඳහා පිටරට සමාගම්වලට ලබා දීම හා එහි ආදීනව උන්වහන්සේ ගොවීන් හමුවේ අවධාරණය කරන්නට වූහ. එම නිසා ශ්‍රී සුමංගල ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට හෝ වැඩවර්ජනයකට නොගොස් ඉතා සෙමින් සූක්ෂම ලෙස කාබනික වගාවට යොමු වීම සිදු කළ යුතු යැයි උන්වහන්සේ ගොවීන්ට මෙන්ම ජනපති වරයාටද  අවවාද අනුශාසනා කරන්නට වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝො

    “අපි ගොවි සංවිධානයක් හැටියට උද්ඝෝෂණ කළේ නැහැ, පෙළපාලි කළේ නැහැ. ප්‍රශ්නයක්  ඇති වුණොත්  අපි දන්නවා ඒක විසඳාගන්නා ක්‍රමය කාලයාගේ ඇවෑමෙන්  විසඳෙන ඒවත් තියෙනවා. හැබැයි මිනිස්සු අතරේ කතාවක් තියෙනවා පොහොර ප්‍රශ්නයක් අර මැතිනියගේ කාලේ හාල් පොල්ල වගේ කියලා. දැන් මිනිස්සු  ජනාධිපතිතුමාගේ නමේ කෑල්ලත් ඉස්සරහට දාලා පොහොර පොල්ල කියලා කියනවා “

    “මෙම පොහොර සිද්ධියේදී මම කිසි විටෙක එම ප්‍රතිපත්තිය වැරදියි කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හරි. එදා සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය ගත් තීරණයත් හරි. එතුමිය කළේ අපේ රටේ ආහාර අපේ රටේම  නිෂ්පාදනය කරගන්න, ජනතාව එය  ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ  ක්‍රියාත්මක කිරීමේ තිබුණු ගැටළු සහගත තත්වය නිසා.”

    “මම හිතන්නේ ජනාධිපතිතුමා මේ ගත්තු තීරණය වැරදි නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය තමයි වැරැද්ද තියෙන්නෙ. ඒක වහා නිවැරදි විය යුතුයි. එක වැරම කාබනික පොහොර දාලා මේ මහාපොළොව වෙනස් කරන්න බැහැ. ක්‍රමක් ක්‍රමයෙන් කාලයක් යනකොට තමයි මෙය ක්‍රියාත්මක විය යුත්තේ. රසායනික පොහොර විශාල වශයෙන් අපි  මහපොලොවට දාලා පොළොව මරලා තියෙන්නේ. මිය ගියපු මේ මහ පොළොව එක වැරම කාබනික පොහොර දාලා ශාකයක මූල මණ්ඩලය හදන්න බැහැ. ඒ නිසා  ඉතා පරෙස්සමෙන් මේ මහපොළොව කාබනික පොහොර වලට හුරු කිරීම රජය සිදුකල යුතුයි. එහෙම නැති වුණොත් සිද්ධවෙන්නේ එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ හාල් පොල්ල වගේ වර්තමාන ජනාධිපතිතුමාටත් පොල්ලක් නම පට බැඳෙන එක විතරයි වෙන්නේ .”

    “අපේ රටේ  මුදල් කොපමණ ප්‍රමාණයක් විදේශ රටවලට ලබා දෙනවාද ? අපේ රටේ මිනිස්සුන්ට  හැදිලා තියෙන ලෙඩ රෝග  කොපණමද හැදිලා තියෙන්නේ වකුගඩු රෝගීන්  ප්‍රමාණයක් ඉන්නවා ද ? ඒ සඳහා කොපමණ ඖෂධ ප්‍රමාණයක් ලංකාවට ගෙන්වනවා ද  කොපමණ ප්‍රමාණ යක් හම්බ කරන ධනය  ඖෂධ සඳහා අපේ ගොවීන් වියදම් කරනවද ? මෙන්න මේවා අපේ ගොවීන් වටහා ගත් යුතුයි”

    “ඒ නිසා අපේ ගොවි සංවිධානයේ සියලු ගොවීන් ගෙන් අපි ඉල්ලා සිටිනවා කණ්ඩලම වම් ඉවුර  ගොවි සංවිධානය කිසිම ආකාරයකින් මේ පොහොර සිද්ධියට විරෝධය දාලා පෙලපාලි යන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් කාබනික පැත්තට හැරෙමු. ඒ සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමු විය යුතුයි. කඩිනමින් මේක කරන්න බැහැ. ක්‍රම ක්‍රමයෙන් මහපොළොව සුවපත් කරගෙන මේ  කාබනික පොහොර ක්‍රමය රටේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කාබනික පොහොර හදනවා කියලා ප්‍රමිතියෙන් තොර පොහොර නිෂ්පාදනයට ඉඩ දෙන්න එපා‘‘.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

    2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

    • කෝපා කමිටු වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වැනිදා
    • නොවැම්බර් 08 වැනි සඳුදා සිට දෙසැම්බර් 10 සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වෙයි

    ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ගරු කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒඅනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

    මේ අතර නොවැම්බර් 09 වැනි අඟහරුවාදා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට  මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා පැවසීය. පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තා ත්‍රිත්වයට අදාළව රජය විසින්  ගෙන එන යෝජනාවක් ලෙස මෙම සභාව කල් තැබීමේ විවාදය එදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

    තවද ලබන 08 වැනි සදුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස සම්පූර්ණ දිනයම චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණයවී ඇත. මේ අනුව පැවති කොවිඩ් තත්ත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේදී ඇසීම‍ට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා මෙදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

    මේ අනුව ලබන 08, 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 12 වැනි සිකුරාදා ප.ව 2.00 ට 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) ගරු මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.

    නොවැම්බර් 10 වන බදාදා පෙ.ව 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 11.00 සිට පෙ.ව 4.30 දක්වා  2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ   විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරගැනීමට නියමිතය.

    නොවැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

    නොවැම්බර් 10 සහ 11 යන දෙදිනම ‍ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.

  • ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

    ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

    ලංකාගම ප්‍රදේශයට දේශීය වශයෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වන විට ඇදී එන බවත් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් දේශීය සංචාරකයින් ලංකාගම ප්‍රදේශය නැරඹීමට පැමිණ ඇති බවයි. මේ නිසා ඉදිරියේදී විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇදී ඒමට අවස්ථාව ඇති බැවින් මෙසේ පැමිණෙන සංචාරකයින් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

    එසේම සිංහරාජ වනාන්තරය නැරඔීමට යන විදේශීය සංචාරකයින් ලංකාගම ප්‍රවේශය භාවිත කළ හැකි ආකාරයෙන් අන්තර්ජාල (Google Map) තොරතුරු යාවත්කාලීන විය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. මේ අනුව ඉක්මනින් මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

    තවද මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක කටයුතු වර්ධනය කිරීම සඳහා මහනුවර නගරයේ කේබල් කාර් ව්‍යාපෘතියක් සකස් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

  • දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය  වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

    ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

    පෙරදා කිසිදු දිනක ඉහළ නොගිය පතෝල, වැටකොළු, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක  තොග මිල රුපියල් 150 ත්  180ත්  අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂ කරුණක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

    ඒ අන් අනුව වම්බටු, මෑ කරල්, පතෝල, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, දඹල, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120-220 දක්වා වූ විවිධ මිල පරාසයක්න් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝ එකක තොග මිල  රුපියල් 220කි. බෝංචි කිලෝවක තොග මිල ද රුපියල් 220කි. එමෙන්ම දේශීය ලොකු ලූනු මිල ද ඉහළ ගොස් කිලෝවක්  රුපියල්  170කට  මිලදී ගැනීම සිදු වෙන බව වෙළෙන්දෝ  පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ 21 දින සිට  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ය.

    ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ ඉල්ලීම අනුව සැපයුමක් නොමැති වීමයි. එළවළු ඉතා අඩු ප්‍රමාණයක් වෙළඳපොළට ලැබෙන නිසා ඉල්ලුම සැපයුම න්‍යාය අනුව ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ඉහළ යෑම සිදු වන බවත් පෙන්වා දෙන අතර එළවළු නිෂ්පාදනය අවම වශයෙන් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එම නිසා තමන් නිෂ්පාදනය කළ ඉතා සීමිත එළවළු සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් විශාල එළවළු ප්‍රමාණයක් කෘමි සතුන්ගේ හානිය නිසා ඉවත් වන බව ඔවුහු පෙන්වා දෙති.

    එමෙන්ම ගොවීන් කියා සිටියේ රුපියල් 1500කට අලෙවි වූ රසායනික පොහොර මිටියක් රුපියල් දදහදාහක ඉහළ මිල ගණන් යටතේ මේ වන විට රහසිගතව අලෙවි කිරීම් සිදුවන බවය. එම වැඩි මිලක් ලබා දී වගාවන් සිදු කරමින් යම් මට්ටමකින් එළවළු වෙළෙඳ පොළට රැගෙන එන බව ගොවීන් පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

    ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

    සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

    එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කෙරිණ. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි විය.  එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

    අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය. උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

    පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට  පමණක් පළමු අදියර යටතේ ගමනාගමනයට අවසර දීමට කොවිඩ් කමිටුව නිර්දේශ කළේය. අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු  සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.