Tag: featured

  • ජනවාරියේ සිට ඛනිජතෙල් ආනයනය කිරීම අර්බුදයක – ඇමති ගම්මන්පිල

    ජනවාරියේ සිට ඛනිජතෙල් ආනයනය කිරීම අර්බුදයක – ඇමති ගම්මන්පිල

    ඉන්ධන ආනයනය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින ගැටලුවලට මුදල් අමාත්‍යංශයෙන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරියේ සිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමට නොහැකි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

    මෙහිදී බලශක්ති අමත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත යෝජනා කර ඇත්තේ ඛනිජ තෙල් මත පනවා ඇති ආනයන බදු අඩු කිරීම හෝ තෙල් මිල ඉහළ දැමීම යන විකල්ප දෙකෙන් එකක් ගත යුතු බවයි. එසේම IOC පිරවුම් හල්වල ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් සඳහා වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඇදී ඒම නිසා තව දුරටත් සංස්ථාවේ පාඩුව ඉහළ යනු ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

    ගතවූ මාස නමය තුළ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 8300ක් බවත් මේ වසර අවසන් වනවිට එය කෝටි 12,000 ක් වනු ඇතැයි ගණන් බලා ඇති බවත් ගම්මන්පිල මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබෙන ඇමතිවරයා ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම සමග ඉන්ධන ඉල්ලුම තව දුරටත් ඉහළ යනු ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

    මේ අතර ඉන්ධන මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අද (18) නැවත ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසුවා.

    ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව ද වැඩි වීම නිසා එම ඉල්ලීම නැවත කළ බව කී සභාපතිවරයා රජය වර්තමාන තත්වය පිළිබඳව අවධානය යොමු කර මිල ඉහළ දැමීමකට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16 ක ද, ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක ද, පාඩුවක් ලබන බවත් ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල ඉදිරියේදී තව දුරටත් ඉහළ යෑම මත පාඩුව වැඩි වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කීය.

  • යූරියා වෙනුවට ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර‘

    යූරියා වෙනුවට ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර‘

    මෙරට වගාවන්ට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

    ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂිකර්ම හා ගොවිජන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගිවී තිබේ.

    එහිදී තීරණය කර ඇත්තේ ඉන්දියාවේ සමූපකාර සේවයට අයත් ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම නිෂ්පාදනය කරන නයිට්‍රජන් නැනෝ යූරියා දියර පොහොර මෙරටට ආනයනය කිරීමටය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා, ‘‘මේ දක්වා මෙරට වගාවට අවශ්‍ය නයිට්‍රජන් ලබාදීමට යොදාගත්තේ යූරියා පොහොර. නමුත් අපි ඒ වෙනුවට තුන්වන හා හතරවන පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නවා. මේ පොහොර යෙදීමෙන් පසට හා ජලයට මුසුවන අහිතකර ද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. නැනෝ යූරියා දියර පොහොර නිෂ්පාදනයේ පේට්න්ට් බලපත්‍රය හිමි ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම හෙවත් ඉෆ්කෝ සමාගමටයි. සාම්ප්‍රදායික යූරියාවල අසමතුලිතතාවය සහ අධික ලෙස භාවිතය වැළැක්වීම සඳහා නැනෝ තාක්‍ෂණය පදනම් කරගත නැනෝ යූරියා දියර පොහොර සංවර්ධනය කර තිබෙනවා. ඔවුන් මේ දියර පොහොර වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය ජුනි මාසයේදී යි‘‘

  • ’25 වැනිදා සේවය වාර්තා කරනවා’ – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය

    ’25 වැනිදා සේවය වාර්තා කරනවා’ – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය

    ලබන 24 වැනි සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු – විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද (18) නිවේදනය කළේය.

    මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ , 21 හා 22 ඒකාබද්ධ ගුරු සංගම් වැඩ වර්ජනයක නිරත වන බවයි.

    මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ , කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ සිය සංගමය අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.

  • ‘කුමන බාධා පැමිණියත් 21දා පාසල් ආරම්භ කරනවා‘- අධ්‍යාපන ඇමති

    ‘කුමන බාධා පැමිණියත් 21දා පාසල් ආරම්භ කරනවා‘- අධ්‍යාපන ඇමති

    කුමන බාධා පැමිණියත් ලබන 21 දින වෙනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට අඳහස් දක්වමින් මේ බව පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති ඉදිරියේ පැහැදිළි තීරණය ප්‍රකාශ කළ බවත් එය අවසාන තීරණය බවත් ලබාදීමට හැකි මුදල් ප්‍රමාණය අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    පාසලට නොපැමිණෙන ගුරුවරු ඇති නොවේවා..!” යැයි තමන් ප්‍රාර්ථනා කරන බව කී අමාත්‍යවරයා,නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර අයිතිය දරුවන්ට තිබෙන බවත් මේ අධ්‍යාපනය කිසිවෙකුට නොදී සිටිය නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
    දැනටමත් අභ්‍යාසලාභී ගුරුවරු 20,000ක් පුහුණුව ලබන බවත් ඒ සියලු දෙනාට පැමිණීමට ඉඩකඩ ඇති කර තිබේ. දැනට පාසල් පවිත්‍රකරණ කටයුතු ආරම්භ කර තිබෙන බවද  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

  • NMRA වංචා හොයන්න ආ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් බවට චෝදනා

    NMRA වංචා හොයන්න ආ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් බවට චෝදනා

    NMRA වංචා හොයන්න ආපු විශේෂඥ කමිටුව, වංචාවේම අතකොළුවක් වෙමින් තිබෙනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    ‘‘ඖෂධ නියමන අධිකාරීයේ දත්ත වංචාව නිවැරදී කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් කරගෙන
    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරාධමය කාරණයක් වන බවත්, එය ඖෂධ මාෆියාවේ කොටසක් විය හැකි බවත් නීතිපති වරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඒ පිළිබදව සිදු කල අපරාධ පරීක්ෂණයෙන් චූදිතයින් පිළිබදව තොරතුරු වාර්තා කරන්නට විය. එතෙක් එවැනි වරදක් සිදු නොවූ බවට හඩ නගමින් සිටි රාජ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රධානීන් කලබලයට පත්ව, විශේෂඥයැයි කමිටුවක් පත් කරන්නේ ඒ අතර වාරයේදීය.

    කෙසේ නමුත් ඖෂධ මාෆියාව පිළිබදව චෝදනා ලබමින් සිටින රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් විසින්ම එම විශේෂඥ කමිටුව පත් කරන කිරීම මඟින්, එම කමිටුව ස්වාධීන එකක් නොවන බවට දිගින් දිගටම චෝදනා ලැබුවද, එහි වෙනසක් සිදු කිරීමට අදාල බලධාරීන් කටයුතු නොකළේය.

    කෙසේ නමුත් එම තත්වය තහවුරු කරමින්, රාජ්‍ය අමාත්‍යවරයාගේ බලය තවදුරටත් තහවුරු කරමින්, කැබිනට් අමාත්‍ය වරයා ඖෂධ නියාමන හා අනෙකුත් ඖෂධ පිළිබද කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට එම විශේෂඥ කමිටුව විසින් නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය වාර්ථා කර තිබේ.

    එම වාර්ථාවන්ට අනූව දත්ත වංචාව සහ ඖෂධ පිළිබද අක්‍රමිකතා සෙවීමට පත් කල විශේෂඥ කමිටුව, සම්පූර්ණයෙන්ම ඖෂධ මාෆියාවේ ම අතකොළුවක් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඖෂධ පිළිබද සියළු වංචාවන් සිදු වන්නේ ඖෂධ ගෙන්වීමේදී, බෙදා හැරීමේදී හා නිෂ්පාදනයේදී වන බැවින් හා දත්ත වංචාවට මුල සිටම චෝදනා ලබන පාර්ශව අතට සියළු බලතල ලබා දීම මගින් අපට සිදු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමටය.

    එසේම මෙය අමාත්‍ය මණ්ඩලයේ බලතල හෑල්ලු කිරීමක් වන අතර, කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාව රූකඩයක් බවට පත් කිරීමකි.

    ස්වයං විවේචනයක් මඟින් නිවැරදි වීමට අවශ්‍ය බව වටහාගෙන ඇති, ජනාධිපතිවරයාගේ කීර්තියට කැලැලක් වන ප්‍රධාන ගැටලුවක් ලෙස මෙය හඳුන්වා දිය හැකි අතර, මෙලෙස අමාත්‍යාංශ තුල බල සම්පන්නව ඇති “කල්ලි ක්‍රියාකාරම්” වලට ඉඩ නොතබමින්, මෙම තත්වය වහා නිවැරදි කරමින් අදාල විශේෂඥ කමිටුව වහා අහෝසිකොට, ජනාධිපතිවරයා යටතේ විමර්ෂණ කමිටුවක් පිහිටුවන ලෙසත්, ඖෂධ නියාමනය ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම හා නිෂ්පාදනය සදහා සම්බන්ධවන පාර්ශවයන්ගේ අතකොලුවක් නොකරමින්, එය කැබිනට් ඇමතිවරයාගේ යටතට පත් කල නොහැකිනම්, ජනාධිපතිවරයාගේ යටතට හෝ පත් කරමින් මහ ජනතාව ඖෂධ මාෆියාවෙන් ගලවා ගන්නා ලෙසත් අප ඉල්ලා සිටිමු.

  • විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි

    විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි

    අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  සඳහන් කරයි.

    අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් ⁣කළේය.

    මොණරාගල , හම්බන්තොට හා රජරට ප්‍රදේශවල මුං අස්වැන්න මේ දිනවල නෙලමින් පවතින අතර මෙවර අස්වැන්න වෙනදාට වඩා සරු බවද වාර්තා වේ.

  • යොහානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

    යොහානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

    යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද (16) වාර්තාවක් තැබුවාය.

    ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය.

    මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය  වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලයි.

    ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය  ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැ⁣බෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් ලක්ෂ තුන පසු කීරීමට සමත් වී ඇත.

    එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී  ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.

    ඉන්දියාවේ ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇය ලෝකයේ වැඩිම යූ ටියුබ් අනුගාමිකයන් සහිත ඉන්දියාවේ ටී සීරිස් ආයතන සමගද සංගීත කටයුතු සදහා ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඇය සිය පලමු බොලිවුඩ් ගීත ගායනයටද ඉකුත් 04 පිවිසියාය.”ෂිද්දත්” නැමති බොලිවුඩ් චිත්‍රපටයේ පසුබිම් ගීතයේ කාන්තා අනුවාදන ගීය වූ එය ද මේ වන විට කෝටියක් නරඹා අවසානය.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි

  • ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

    ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි

    නගරාධිපතිවරයා  වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් සිදු කරනු ලැබූයේ  නගරාධිපතිවරයා  ජංගම දුරකථනයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ  සම්බන්ධ කරගෙන වීම  විශේෂත්වයකි.

    නිවාඩු දිනයක් නිසා නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් නොමැති වීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂ  රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගිය  අවස්ථාවක මෙම ජාවාරම සිදු කර ගෙන යන බවට තොරතුරු ලැබී තිබීම ද විශේෂත්වයක් බව නගරාධිපත් ජාලිය ඕපාත මහතා පැවසීය.

    පසුව සොයා බැලීමේදී ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා දෙකක පාකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙම අහාරයට නුසුදුසු ලොකු ලූනු තොග කාන්තාවන් යොදා ගෙන සුද්ධ කරන ආකාරය දැකගත හැකි විය. එම කාන්තාවන් විසින් සිදු කළේ පැළ වී ඇති ළූණු ගෙඩි වල පත්‍ර සහ කිරි මුල් කපා  ඉවත් කිරීමයි.

    මෙම කාන්තාවන් පිරිස ගෙන් ලැබුණු  තොරතුරු මත ලොකු ලූනු කන්ටේනර් ගෙනා තිබූ ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේ දී කි ඔහුයා සිටියේ කන්ටේනර් රථයකින් මෙම ලූනු ගෙනැවිත් තම ගබඩා වලට ලබා දී එම කන්ටේනර් රථය නැවත ගිය බවය.

    එම ලූණු සහිත කන්ටේනර් රථය කොහේ ගියාද යන්න නොදන්නා බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාර වලට සම්බන්ධ ලූණු ගෙන්වූ ව්‍යාපාරිකයාගේ ගෝලයින්  නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දුන්නේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිට ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටි ගබඩාවක කාන්තාවන් පිරිසක් ලොකු ලූණු සුද්ද  කරන සිටින ආකාරය දැක එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීම්ට නගර සභා සේවකයින් කිහිප දෙනකු උත්සාහ කරද්දී එම  ව්‍යාපාරිකයන් කාන්තාවන් ගබඩා කාමරයට දමා දොරවල් වසා එළියේ රැඳී සිට ඇත.

    පසුව නගර සභා නිලධාරීන් තම රාජකාරී හැඳුනුම්පත එම ව්‍යාපාරිකයින්ට පෙන්වා දොර විවෘත කරන ලෙස ඉල්ලීම් කළද ඊට එම වෙළෙඳුන් අවනත නොවූහ. විනාඩි 30ක පමණ කාලයක් දොර වසා දමා තිබීමින් පසුව නැවත තවත් ව්‍යාපාරිකයෙකුගේ හිතවතෙක් පැමිණ මෙම ලොකු ලූනුළූණු තොගය ඉවත් කිරීම සඳහා සූදානම් කරන බව පවසා දොර විවෘත කළේය. එම ගබඩාව  විවෘත කරන අවස්ථාවේදී ද පැළ වුණු ලොකු  ලූනු විශාල වශයෙන් කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරන අයුරු දැක ගැනීමට හැකි වූ අතර කාන්තාවන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබිණි.

    මෙම නරක් වූ ලොකු ලුණු සහිත කන්ටේනර් රථය 16 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ස්ථාන කීපයකම ගබඩාවලට මේවා ලබා දෙමින් සිටින බව නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරු වල සඳහන්ව තිබුණු නිසා නගර සභා නිලධාරීන් තවත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ඇතිව දඹුල්ල නගරයේ ස්ථාන රැසක මෙම ලොකු ලුණු  කන්ටේනර් රථය  සොයන්නට වූහ.‍

    එහිදී නිලධාරී කණ්ඩායමකට  ලැබුණු තොරතුරක  සදහන්  වුයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරකින් පිහිටි  දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ මෙම කන්ටේනර් රථය ධාවනය වෙමින් පවතින බවය. ඒ අනුව නගර සභා නිලධාරීන් වහාම යතුරුපැදි වල ගොස්  කන්දලම  පාර  සිසිරවත්ත ප්‍රදේශයේ දී මෙම කන්ටේනර් රථය නවතා ගෙන පරීක්ෂාවට ලක් කරන්නට වූහ.

    එහිදී කන්ටේනර් රියදුරු කියා සිටියේ මෙම කන්ටේනර් රථයේ ලොකු ළූණු කිලෝ 10,000ක් පමණ ඉතිරිව ඇති බවත් අර්තාපල් තොගයක් ද  පවතින බවය. වරායෙන් නිකුත් කරන කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් එම කන්ටේනර් රථය විවෘත කිරීම් සඳහා නගර සභා සේවකයින් උපදෙස් ලබා දුන්නද විනාඩි 45ක පමණ කාලයක් එය විවෘත කිරීමකින් තොරව යතුර නැති බව පවසමින් ඔවුන් නිලධාරින් රස්තියාදු කරන්නට විය.

    එම ස්ථානයට පැමිණි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වන ලද මෙම ලොකු ලූනු තොගය විනාශ කිරීමට කැමැත්ත පළ කරන බව ය. මෙම ලොකු ලුණු වරායෙන් නිදහස් කර ගැනීමේ ප්‍රමාදය නිසා පැළවී ඇති බව ද ඔහු කීවේය.

    ඒ අනුව  අදාළ ලොකු ලූණු තොගය දඹුල්ල මහ නගර සභාව භාරයට ගැනීමට පියවර ගනු ලැබිණි.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

    පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

    මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (16) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා, ‘පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු ඉන්නවා. සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබ්බා. මේ තත්ත්වය උදාවෙලා තිබ්බේ අපේ යාන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩුකම් නිසා. අපේ අමාත්‍යංශ ලේකම්තුමයි, පොලිස්පතිතුමයි දැන් මේ පිළිබඳ විශ්ලේෂණය කරගෙන යනවා. මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත එම චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

  • මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

    මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

    ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

    කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රෝකට් ගත වීමට මුදල් අච්චු ගැසීම හේතුවී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි.  ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබූ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇත.

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි.

    පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාව වට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

    1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු  කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.

    2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වරෛී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

  • නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි

    නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි

    පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා – 2021 Global Hunger Index හෙළිකරයි

    ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා – 2021 Global Hunger Index හෙළිකරයි

    ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්.

    මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව පසු වුණේ 64 වැනි ස්ථානයේයි.

    මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාගිනි දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වෙනවා.

    බෙරූස්, බොස්නියා සහ හර්ෂගොවේනියා, බ්‍රසීලය, චීනය, චිලි, ක්වේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5කට අඩුවෙන් ලබා ගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් ලෙස පළමු ස්ථාන අතර පත්ව තිබීම විශේෂත්වයක්.

    ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර ලකුණු 27.5ක් ලබා ගනිමින් ඉන්දියාව අවදානම් මට්ටමේ පසුවන අතර ඉන්දියාව ගිය වසරේ පැවතියේ මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේය. ලකුණු 24.7ක් ගත් පාකිස්ථානය 92 වැනි ස්ථානයේ පසු වෙනවා.

    ලකුණු 50.8කට හිමිකම් කියමින් සෝමාලියාව 116 වැනි ස්ථානයේ පසුවන අතර යෙමනය 115 වැනි ස්ථානයේ පසු වෙනවා.

    ඔබ මෙම වාර්තාව පහත යොමුව ඔස්සේ බාගත කරගත හැකියි.

    https://www.globalhungerindex.org/pdf/en/2021.pdf

  • දේශීය කිරිපිටි මිලත් ඉහළට

    දේශීය කිරිපිටි මිලත් ඉහළට

    හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා. නව මිල ඉහළ යාම සමග හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170ක් වෙනවා.

    පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබන පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර එහි ග්‍රෑම් 400ක පැකැට්ටුව මිල ඉහළ යාම රුපියල් 80ක්. නව මිල සංශෝධනය අනුව පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කිරීමට නියමිතයි.

    ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය වුණා.

    මේ අතර පාරිභෝගිකයින් පවසන්නේ ඩොලර් ගැටලු හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම අසාධාරණයක් බවයි.

  • පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

    පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

    දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

    ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ආරක්ෂක අංශ වලට නියෝග කළේය.

    අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කෙරිණ.

    අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරේ.

    පාසල් ළමුන් එන්නත් කිරීමෙන්  පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇත. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

    කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොවිඩ් කමිටුව හමුවේ අනාවරණය කෙරිණ.

  • ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

    ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

    පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය තුළ “ළමුන් තුළ බහු-පද්ධති දැවිල්ල ඇතිවීමේ සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන රෝගීන්ගේ පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූ බව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර උපදේශක, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය.

    ළමුන් 6 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙ හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එවැනි දරුවන් 78 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ රැකවරණ යටතේ තබා ඇති බව ද කිතුල්වත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.

    “මේ වන විටත් ළමුන් 150 ක් පමණ බහු-පද්ධතිමය ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය (Multi-system Inflammatory Syndrome)  සමඟ රිජ්වේ ආර්යා ළමා රෝහලඨ ඇතුළත් කර තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ රැකවරණය යටතේ සිටි එවැනි දරුවන් දෙදෙනෙකු පසුගිය දින පහ තුළ මෙම රෝගයට ගොදුරු වුණා‘ යැයි ද ඔහු පැවසීය.

    ආචාර්ය කිතුල්වත්ත පැවසුවේ කොවිඩ් -19 ආසාදනය වූ දරුවන්ට කොවිඩ් සුව වී සති දෙකත් හයත් ගත වූ පසු මෙම බහු-පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය ආසාදනය විය හැකි බවයි.

    දරුවන්ට උණ, උදර වේදනාව, බෙල්ලේ වේදනාව, තෙහෙට්ටුව දැනීම, වමනය, පාචනය සහ ලේ ගැලීම වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම රෝහලකට ඇතුළත් කළ යුතු බව ඔහු පැවසීය.

    මෙම නව සින්ඩ්‍රෝමය රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ළමයින්ට නිර්දේශිත එන්නතක් ලබා දීම වැදගත් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

  • කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි

    කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

    මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබිණි.

    වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

    රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර  පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.

    රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

    2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ.

    මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.