Tag: featured

  • ‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘

    ‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘

    පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දඹුල්ල මහ නගර සභාව මගින් පෞද්ගලික ව්‍යාපාරිකයන් ගේ  සහයෝගය මත දඹුල්ල බස් නැවතුම්පොළ  ඉදිරිපිට අංග සම්පූර්ණ දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ඉදි කොට තිබිණි. එමෙන්ම දඹුල්ල මහනගර සභාවේ  අරමුදල් වලින් සහ මධ්‍යම පළාත් සභාවේ අරමුදල්වලින් බස් නැවතුම් පොළ භූමිය කාපට් අතුරා පිරවිසුම් මාර්ග සංවර්ධනය කොට තිබිණි.

    අමාත්‍යවරයා මුලින්ම ප්‍රධාන බස් නැවතුම්පළ පිවිසුම් මාර්ගය නාමල් උයන මාවත නමින් විවෘත කොට දෙවනුව දෙමහල් වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සඳහා එක්වීය.

    පසුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් වීමසා සිසා සිටියේ  රාජ්‍ය ආයතන වල කොවිඩ් මර්ධන කටයුතු සදහා නිලධාරියෙකු පත් කරන යෝජනාව පිළිබඳවය. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකරන බවත් එම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බව ය.

    එමෙන්ම ඉදිරියේදී ඉදිරිපත් වීමට යෝජිත අයවැය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මෑත යුගයේ ලැබෙන ඉතා හොඳම අයවැය මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව බවය.

    ඉදිරිපත් කරන අය වැය ගැන රහස්  හෙළි  කිරීමට නොහැකි වුවද ජනතාව පුදුමයට පත් කරවන අය-වැයක් සැකසී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කිරිපිටි ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය අයවැයෙන් පසුව ඇති නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

    මෙරට රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවය පිළිබඳව තෘප්තිමත්භාවය ඇත්දැයි යන්න මාධ්‍යවේදීන් මේ දී අමාත්‍යවරයාගෙන් විමසන ලදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ  ඉතිහාසයේ සිටම රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව කෙරේ එතරම් තෘප්තිමත් භාවයක් නොමැති බවය.

    ජනතාව තෘප්තිමත් රාජ්‍ය සේවයක් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවකයන්ට තම පවුල් වලින් ම ජනතාව කෙරේ විශ්වාස දනවන  වැඩ කිරීමේ හැකියාව තිබිය යුතු බවද පෙන්වා දුන්නේය.

    ජනතාව සියලු දෙනා එක්තු වී මෙම රටේ සංවර්ධන පරිවර්තනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා සිතුම් පැතුම් ආදී සියල්ල වෙනස් කොට ජනතාවාදී රටක් බිහි කිරීමේ වැඩසටහනක් රජය සැලසුම් කර තිබෙන බවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය ළඟදි පැවැත්වෙනවා ද යන්න මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ මැතිවරණයක් ළඟදි පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවය තිබෙන බවත් එසේ අවශ්‍ය නම් ඔහුට පළාත් සභා මැතිවරණය පවත්වා ගෙන යා හැකි බවද ඒ මහතා සඳහන් කළේය

    රාජ්‍ය සේවය සදහා බදවා ගත උපාධිධාරීන් හට රැකියා ස්ථිර කිරීමද ඉදිරියේදී සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • කණ්ඩලම වැවේ දූපත්වල කොකුන් මරා මස්කරන ජාවාරම ගැන ‘සුපිරි හෙළිදරව්ව‘

    කණ්ඩලම වැවේ දූපත්වල කොකුන් මරා මස්කරන ජාවාරම ගැන ‘සුපිරි හෙළිදරව්ව‘

    කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමකදී ඉන් එක් දූපත්ක ඉපැරණි  දාගැබක් හෝ විශාල ගොඩ ගොඩනැගිල්ලක නටඹුන් මතුවී තිබෙන අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් 02 දින පස්වරුවේ එළිදරව් කර ගැනීමට මහවැලි  නිලධාරීහු සමත් වෙති.

    මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදු වන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් 02 දින පස්වරුවේ කණ්ඩලම වැවේ  පිහිටි දූපත් දෙක නිරීක්ෂණයකට පිටත්  වූහ. එහිදී පළමු දූපතේ ඉහළ කොටසේ විශාල ගොඩ ගොඩනැගිල්ලක හෝ දාගැබ්ක නට්ඹුන් මතු වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මහවැලි  නිලධාරීහු පවසති.

    ඉපැරණි ගඩොල් කැබලි

    ඉහළ කොටසේ ගල් තලාවක් මත ඉපැරැණි ගඩොල් පස් සහ වෙනත් ඉදිකිරීම් සිදු කළ බවට තහවුරු වන සලකුණු රැසක් පවතින බවත් එය කුමන කාලයකට අයත් ස්ථානයක් ද  යන්න  අනාවරණය වී නැති බව මහවැලි නිලධාරීහු පවසති.

    මෙම ස්ථානයට ගිය විට එක් පසෙකින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය අනෙක් පසින් ඓතිහාසික සීගිරි පව්ව පිදුරංගල පව්ව එඩේර ගල, ආදී ඓතිහාසික වැදගත්කම්කින් යුත් ස්ථාන දර්ශනය වන අතර ඉතා අලංකාර දසුන් ද වෙයි.

    මෙම දූපතේ අක්කර 26ක පමණ ප්‍රමාණයක් පවතින බවත් විවිධ කණ්ඩායම් උපයෝගී කරගෙන එමෙන්ම ජලය සිදුනු අවස්ථාවන්හිදී මෙම දූපතට පැමිණ එම දූපතේ  සුන්දරත්වය විනාශ කරන බව මහවැලි  නිලධාරීන් පවසති.

    කන්ඩලම ජලාශය මැද ඇති දූපත් ඉහළ කොටසේ  ඉපැරණි ගොඩනැගිල්ල හෝ දාගැබ මතු වී ඇති ආකාරය

    පසුව කන්ඩලම වැව මැද පිහිටා ඇති බොහෝ දෙනෙකු කුරුලු දූපත ලෙසින් හඳුන්වන කුඩා දූුපතට යන අවස්ථාවේදී එහි  පක්ෂීන් මරා මස් රැගෙන යෑම සංවිධානාත්මක ක්‍රියාවලියක දසුන්  දැකගැනීමට හමුවූ බව මහවැලි  නිළධාරීන් පවසති.

    පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ගමන් කරන විටත් සුදු කොකුන් රැසක් මරා ඔවුන්ගේ හිස් සහ කකුල් කපා එම දූපතේ ම  දමා මස් රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකි විය. එමෙන්ම මස් කිරීමට  නොහැකි වූ මියගිය  කොකුන් දෙදෙනෙකුගේ සිරුරු ද සොයා ගැනීමට මහවැලි  නිලධාරීන්ට   හැකි විය.

    දූපතේ  කොක්කු මරා ඔවුන්ගේ පාද සහ හිස් දූපත තුලම ගොඩගසා තිබූ අයුරු සහ මරා දමා තිබූ කොකුන් ගේ සිරුරු

    මෙම දූපත් දෙකට දැඩි ආරක්ෂාවක් ඉදිරියේදී ලබා දෙන බව ද ඔවුහු පවසති. මෙම ස්ථාන අපවිත්‍ර කිරීම් සහ සතුන් දඩයම් කිරීම සිදු නොකරන්නැයි මහවැලි නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    කන්ඩලම ජලාශය  සුන්දරත්වය රැදී පවතින්නේ  මෙම වැව මැද පිහිටා ඇති දූපත් හේතුවෙනි. ලොව පුරා සංචාරකයන් මෙන්ම මෙරට බොහෝ ජනතාවක් කන්දලමේ සුන්දරත්වය දැක බලා විද ගැනීම සදහා පැමිණෙති. මෙරට බොහෝ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රුගත කිරීම් සදහා යොදා ගනිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ඉන්දීය විදේශ ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

    ඉන්දීය විදේශ ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

    මෙම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ.

    ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා (Harsh Vardhan Shringla) ඔක්තෝබර් මස 2-5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කළේය. මෙය විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය ය. ඔහුගේ මෙම සංචාරයේදී අන්‍යෝන්‍ය රැඳියාව සහ අසල්වැසි රාජ්‍යයේ පුරවැසියන් කෙරෙහි නවදිල්ලියේ ප්‍රමුඛතාවය ‘අසල්වැසි පළමු ප්‍රතිපත්තිය’ මගින් පිළිබිඹු වේ.

    ‘පළමුව අසල්වැසි ප්‍රදේශය ’ ඉන්දිය ප්‍රතිපත්තිය

    මාර්තු මාසයේ පැවති සම්මන්ත්‍රණයකදී ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංලා ප්‍රකාශ කොට තිබුනේ ඉන්දියාවේ ඉරණම එහි අසල්වැසි රාජ්‍ය සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවයි. ඔහු තර්‍ක කර තිබුණේ අසල්වැසි රාජ්‍යයන් නවදිල්ලියේ ප්‍රාථමික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය ලෙස පවතින අතර එහි විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයන් අතර එය පළමුවෙන්ම විය යුතු බවයි.

    මේ අනුව, ඔහුගේ සිව්දින ශ්‍රී ලංකා නිල සංචාරය නවදිල්ලියේ ‘අසල්වැසි ප්‍රදේශය’ යන දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතු බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි

    ඔහුගේ සංචාරය තුළිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය, ද්වීපාර්ශ්වික ව්‍යාපෘති වල ප්‍රගතිය සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා අඛණ්ඩ සෞඛ්‍ය සහයෝගීතාව යන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිත බැව් පැවසේ .

    පසුගිය කාලය මුළුල්ලේම දෙරට අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යන අතර රටවල් දෙකෙහිම අග්‍රාමාත්‍යවරුන් දෙපළගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමයට 2020 දී පැවැත්වූ සමුළුව දෙරටේ ද්විපාර්ශික සබඳතා වල මුවහත් භාවයේ ඉහළම සලකුණකි.

    ද්විපාර්ශ්වික සමුළුවේදී නායකයින් දෙදෙනාම ව්‍යාපාර සහයෝගීතාව සහ ඉන්දියාව විසින් මූල්‍යකරණය කරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

    සාර්ක්, බිම්ස්ටෙක්, අයෝරා(IORA) සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය ඇතුළුව අන්‍යෝන්‍ය මැදිහත් වීමේ කලාපීය හා ජාත්‍යන්තර ගැටලු කෙරෙහි අවධානය යොමුකොට තිබුණි.

    ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබේ.

    කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීත්වය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ජයිශංකර් ප්‍රකාශ කළේය.

    ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයිශංකර් පවසා තිබුණේ ‘අසල්වැසියා පළමුව’ යන්නට අනුකූලව යමින්, ‘වෛද්‍ය ආධාර’ මඟින් මාරාන්තික වෛරසය මර්දනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඉන්දියාව සහයෝගය දුන් බවයි.

    ජයශංකර් දිවයිනට පැමිණීමෙන් පසු මාස කිහිපයක් තුළදී ඉන්දියාව විසින් නව දිල්ලියේ ‘එන්නත් මයිත්‍රි’ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය.

    අවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකාව සමග සිටි අසල්වැසියා ලෙස ඉන්දියාව, කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වෛද්‍ය ඔක්සිජන් සැපයුම් ශ්‍රී ලංකාවට සැපයිය.

    කලාපයේ පළමු ප්‍රතිචාර දැක්වීමේ සම්ප්‍රදායට අනුකූලව, මැයි මාසයේදී ඉන්දියාව එම්වී එක්ස්ප්රෙස් පර්ල්(MV Xpress Pearl.) හි ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ ගිනි නිවීමේ හා සමුද්‍ර දූෂණ පාලන කටයුතු සිදු කළේය.

    සූර්ය බලශක්ති ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව විසින් ඩොලර් මිලියන 100 ක සහන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත සපයා තිබුණි. ශ්‍රී ලංකාවේ සූර්‍ය බලශක්ති ක්‍ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට මෙම ණය සහනය උපකාරී වේ.

    අසල්වැසියන් දෙදෙනා අතර පවතින දැඩි සබඳතා පිළිබිඹු කරමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයිශංකර් පසුගිය මාසයේ නිව්යෝර්ක්හිදී ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල් පීරිස් හමුවී දෙරට අතර සමීප සබඳතා පුළුල් ගැනීම පිළිබඳව සාකච්ඡාවක් කළේය.

    ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයේ බලාපොරොත්තු.

    සිව් දින නිල සංචාරය තුළදී විදේශ ලේකම් ෂ්‍රිංලා ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමට නියමිතය.

    ඔහුගේ වැඩ සටහනට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ ඇමති පීරිස් සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ හමුවක් ද ඇතුළත් ය.

    ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වේ යයි ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

    ඉන්දියාවේ ඩොලර් බිලියන 3.5 ක සමස්ත උපකාර තුළින්, ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන ද්විපාර්ශ්වික ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.

    යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සහ වතුකරයේ වතු කම්කරුවන් ඉන්දියාවේ ඩොලර් මිලියන 270 ක ප්‍රදානයකින් ඉදිකරන නිවාස 50,000 ක ඉදිකිරීම් පරික්ෂා කිරීමට ඉන්දීය විදේශ ලේකම්වරයා බලාපොරොත්තු වේ. මෙම නිවාස ව්‍යාපෘතියේ කොටසක් වන ගාල්ල වලහන්දූව වත්ත අයත් වේ.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2017 දී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වල තත්වය සහ මහනුවර හා ත්‍රිකුණාමලයේ වෙනත් ව්‍යාපෘති පිළිබඳව ඔහු දිවයිනේ පළාත්වල කරන සංචාරයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

    සමස්තයක් වශයෙන් ගත් කල, ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රින්ග්ලාගේ සංචාරය මඟින් ව්‍යාපෘති අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා සවි බල ගැන්වීම සඳහා අඩිතාලම දමනු ඇත. නුදුරු අනාගතයේ දී තවත් ද්විපාර්ශ්වික සමුළුවක් සඳහා ද එය මඟ පාදනු ඇති අතර එමඟින් දේශපාලන සබඳතා නව උච්චතම අවස්ථාවකට ගෙන යනු ඇත.

    ඉහළ ඡායාරූපය –  ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය කිරීමට පැමිණ තිබේ.

    indianewsnetwork

  • කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි ‘භයානක’ රෝගය කුමක් ද?

    කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි ‘භයානක’ රෝගය කුමක් ද?

    කොවිඩ් 19 හා සෘජුව සම්බන්ධ රෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් ගණනාවක් රෝහල්ගත කර තිබේ. බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome – MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා ඇති කළ හැකි අතර සමහර අයට දැඩි සත්කාර අවශ්‍ය වේ. මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙනි.

    මෙය ‘කවාසාකි රෝගය’ ලෙස මුලින්ම හැඳින්වීය.

    නමුත් මෙය කවසාකි රෝගය නොවන අතර, කොරෝනා වෛරසය වැළඳීමෙන් කලකට පසු හටගන්නා තත්ත්වයක් බව මේ වන විට හඳුනාගෙන තිබේ. විවිධ වයස්වල පසුවන දරුවන් මෙයින් බරපතළ ලෙස රෝගාතුර වී තිබේ.

    ශ්‍රී ලංකාවේ රෝහල්වලින් මේ වන විට රෝගී දරුවන් 100ක් පමණ වාර්තා වන අතර මරණ කීපයක් ද සිදුව තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ බීබීසී සිංහල සේවයට පැවසීය. මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිල දත්ත වාර්තා වී නොමැත.

    කෙසේවෙතත්, මෙම රෝගය සහිත දරුවන් වාර්තා වීම තවදුරටත් වැඩි වී ඇතැයි වෛද්‍යවරයා පැවසුවේය.

    බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය යනු කුමක් ද?

    “සරලව කියනවනම්, මේ රෝගය හැදෙන්නේ කොවිඩ් හැදිලා තියෙන, අළුත උපන් බිළිඳුන්ට, දරුවන්ට සහ නව යොවුන් අයට,” වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.

    කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු එම වෛරසයට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිදේහ නිර්මාණය වේ. එම ප්‍රතිදේහවලට විරුද්ධව ශරීරය තුළින් නැඟෙන අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් සහ එයින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇතිවන සංකූලතා හේතුවෙන් මෙම රෝග තත්ත්වය හට ගනී.

    “මේ අසාමාන්‍යය ප්‍රතික්‍රියාව නිසා මේ රෝග තත්ත්වය හට ගන්නවා. කොවිඩ් හැදිලා සති 2-6ත් අතර ළමයින්ට නැවත තද උණක් හටගන්න පුළුවන්. උණ දින තුනක් පමණ තියෙන්න පුළුවන්. මෙහි දී ශරීරයේ අනෙක් පද්ධතිවලට බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම ලංකාවේ මේ රෝග තත්ත්වය හටගන්නා දරුවන්ගෙන් 80%-90%ත් අතර ප්‍රමාණයක් තුළ දකින්න හැකි වන්නේ වමනය, පාචනය සහ බඩේ අමාරුවක් වැනි රෝග ලක්ෂණ,” වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    දරුවන් තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි රෝග ලක්ෂණ මොනවා ද?

    • උණ
    • ශරීරයේ දද
    • ඇස් රතු වීම
    • වමනය
    • පාචනය
    • උදරයේ වේදනා
    • මාංශපේශී ඉදිමීම් සහ වේදනා
    • හුස්ම ගැනීමේ අපහසුතා

    “සමහර දරුවන් පැමිණියා, වෙනත් ලක්ෂණ නැති නමුත් ඇස් පමණක් රතු වී තිබුණු අය. මේ අය හැමෝටම වගේ දැඩි මහන්සියක් නැත්නම් අප්‍රාණික බවක් තිබෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙතන භයානකම තත්ත්වය තමයි සමහර දරුවන්ගේ රුධිර පීඩනය අඩු වීම. එහෙම වෙලා කම්පන තත්ත්වයට පත් වුණ දරුවන් පවා රෝහලට ඇතුළත් කර තිබෙනවා,” වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.

    ප්‍රතිකාර මොනවා ද?

    බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (MIS-C ) රෝගය මුල් අවස්ථාවේ දී හඳුනාගැනීම තුළින් ඉක්මන් ප්‍රතිකාර ලබා දිය හැකිය. කෙටි කාලයකට පෙර කොවිඩ් වෛරසය වැළඳුණු දරුවෙක් ඉහත සඳහන් රෝග ලක්ෂණ සමඟ රෝහලට පැමිණි විට විශේෂ පරීක්ෂණ මඟින් මෙම රෝගය දැයි තහවුරු කරගැනීමට වෛද්‍යවරු කටයුතු කරති.

    “MIS-C රෝගය කියලා තහවුරු වුණාම අපි ඒ ළමයින්ව විශේෂ ප්‍රතිකාර ඒකකයකට නැත්නම් ICU එකට අරගෙන සමීපව නිරීක්ෂණය කරනවා. තද උණ අඩු කරන්න සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යය ප්‍රතික්‍රියාව පාලනය කරන්න අපි ඖෂධයක් රෝහල්වල භාවිත කරනවා.”

    “එය ඉතා මිල අධික බෙහෙතක්. නමුත් එලදායිතාව බොහොම වැඩියි. මීට අමතරව තවත් බෙහෙත් අප ලබා දෙනවා. නමුත් මේ අසනීපය තියෙන හැමෝටම මේ බෙහෙත් වර්ග දෙක අවශ්‍යය වන්නේ නැහැ. මෙහිදී රෝගීන්ට තියෙන්නේ උග්‍ර, මධ්‍යම සහ මෘදු ලක්ෂණ ද කියලා හඳුනා ගන්නවා.”

    “උග්‍ර ලක්ෂණ තිබෙන දරුවන් තමයි බොහෝ විට මිය යන්න ඉඩ තියෙන්නේ. එහෙම නැතුව, සාමාන්‍යය ලක්ෂණ තියෙන දරුවන්ගේ අපි ලේ පරීක්ෂා කර බලා, ඒවායේ තිබෙන වෙනස්කම් මත ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා,” වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසුවේය.

    මෙම රෝගය විනිශ්චය කර ගැනීමේ දී ගැටළු මතුවිය හැකිය.

    “බඩේ අමාරුව වගේ රෝග ලක්ෂණයක් මතු වුණාම, සමහර විට ඇපෙන්ඩිසයිට්ස් වගේ රෝගයක් කියලා හිතලා වෙනත් වාට්ටුවකට දමනවා. නැත්නම් ඩෙංගු කියලා හිතනවා. මේ වගේ වෙනත් ලෙඩ ඔස්සේ යනවා. ඒක නිසා දරුවාගේ රෝග ඉතිහාසය දැනගැනීම මෙහි දී ඉතා වැදගත්.”

    MIS - C

    දරුවන්ට මේ රෝගය ඇත්දැයි හඳුනාගන්නේ කෙසේ ද?

    කොවිඩ් 19 රෝගීන්ගේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට වෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.

    මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.

    රෝග ලක්ෂණ මතු නොවීමත් සමඟ, සමහර දරුවන්ට කොවිඩ් ආසාදනය වී තිබුණි දැයි දෙමාපියන් නොදන්නා විට, පසුව ඇතිවන MIS-C රෝග ලක්ෂණ හඳුනාගැනීම අපහසු වී තිබේ.

    “මේ රෝගයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා වීමක් සිදු කරන්න බැහැ. එකම දේ දරුවාට කොවිඩ් හැදුනට පස්සේ, ඊළඟ මාස එකාමාර හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් තද උණක් එක්ක බඩේ අමාරුවක්, පාචනය, ඇස් රතු වෙලා තියෙනවානම්, දරුවා අපහසුතාවෙන් ඉන්නවනම්, හුස්ම ගන්න අමාරුයි කියනවනම් වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම ඉතා වැදගත්.

    MIS - C

    “මේ වන විට මේ රෝගය ගැන අපි විශේෂඥ වෛද්‍යවරු දැනුවත් කරලා තියෙනවා. ඔවුන් මේ රෝගය ගැන දන්නවා. ඒක නිසා දෙමාපියන්ට බිය විය යුතු නැහැ. මේ හා සමාන ලක්ෂණ තියෙන වෙනත් රෝගත් තියෙනවා. නමුත් දක්ෂ වෛද්‍යවරයෙකුට පුළුවන් MIS-C රෝගය විනිශ්චය කරන්න,” වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.

    රෝගය වැළඳුණු දරුවෙකුගේ දෙමාපියන් යුවළක් පැවසුවේ ඔවුන්ගේ වයස අවුරුදු හතරක දරුවාට කොවිඩ් අසාදනය වී සුව වී තිබුණ ද, සති කීපයකට පසු නැවතත් තද උණ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇති වූ බවය. ඔවුන් ඉක්මණින් ළමා රෝග විශේෂඥයෙකු හමුවීමත් සමඟ දරුවාට ඇත්තේ MIS-C රෝග තත්ත්වය බව දැන ගැනීමට හැකි වී තිබේ.

    “ඉක්මන් ප්‍රතිකාර ලැබුණු නිසා දැන් මගේ දරුවා හොඳින් ඉන්නවා. හැබැයි අපි තව දුරටත් එයා ගැන බොහොම අවදානයෙන් ඉන්නවා,” ඔවුහු පැවසූහ.

    දැනට තිබෙන දත්ත අනුව කොවිඩ් 19 වැළඳුණු දරුවන් 5,000කින් එක් කෙනෙකුගේ පමණ MIS-C රෝග ලක්ෂණ වාර්තා වී තිබේ.

    “මෙහිදී මූලිකම කාරණය තමයි තමන්ගේ දරුවාට කොවිඩ් තිබුණාද නැද්ද කියන එක දැන ගැනීම. මේ දවස්වල දරුවන්ට උණක් වැළඳෙනවානම් වහාම පරීක්ෂණයක් කරගන්න. ගොඩක් දෙනෙක් පරීක්ෂා කරගන්නේ නැහැ. එහෙම හරියටම දැනගෙන හිටියාම අපට පුළුවන් MIS-C රෝග ලක්ෂණ තිබේදැයි ඉතිරි මාස එකාමාර දරුවාව සමීපව නිරීක්ෂණය කරන්න,” වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

    බී.බී.සී සන්දේශය ඇසුරින් උපුටා ගන්නා ලද ලිපියකි

  • කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් ‘සියලු පාර්ශ්වවලට‘ විශේෂ ඉල්ලීමක්

    කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් ‘සියලු පාර්ශ්වවලට‘ විශේෂ ඉල්ලීමක්

    රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

    නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති.

    අද (01) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ඔවුහු මේ බව සඳහන් කළහ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතුය. අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර තිබේ. තවද මගී අවශ්‍යතාව මත බස්රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් 95%කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබේ. අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතී. එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළේය.

    සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මගින් ජනතාව වෙත අඛණ්ඩව ලබාදීමට තීරණය විය

  • සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.3%කින් පහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය.

    මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.3හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.

    2021 සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.47ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තව ද, ආහාර සහ ආහාර නො වන කාණ්ඩවල අයිතමවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.09ක් සහ සියයට 0.38ක් ලෙස වාර්තා විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ පරිප්පු, පාන් සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගිය අතර, සහල් සහ එළවළු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය (පවුලේ වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන ගෙවීම්) සහ අධ්‍යාපන (ජාත්‍යන්තර පාසල් ගාස්තු: ප්‍රාථමික සහ ද්විතීයික) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, සැප්තැම්බර් මාසය තුළ දී වාර්තා විය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. තව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

  • රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි – චක්‍ර ලේඛය මෙන්න !

    රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි – චක්‍ර ලේඛය මෙන්න !

    නිරෝධාන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත්  අත්‍යාවශ්‍ය  සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට  චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

    රාජ සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අද (1) දිනයේය.

    සේවකයන් අවශ්‍යතා අනුව ආයතනවලට කැඳවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ ආයතන ප්‍රධානීන්ට පවරන බවද එම චක්‍රලේඛයේ සඳහන්වේ. කෙසේ වෙතත් නිල වාහන හිමි හෝ ප්‍රවාහන දීමනා ලබා ගන්නා හෝ සංචිත වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ලබන හෝ මාණ්ඩලික නිලධාරින් සඳහා  ඉහත විධිවිධාන අදාළ නොවන බවත් එම නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු බවත්  එහි සඳහන් වේ.

    රාජ්‍ය ආයතනවල අනෙකුත් නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරි කටයුතුවලට  යොදාගත යුතු අතර ගර්භණී  නිලධාරිනියන්, කිරි දෙන මවුවරුන්, විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරින් සේවයට නොකැඳවිය යුතු වන අතර  අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැඳවීමට අවස්ථාව පවතී.

  • ඉන්දියාවෙන් පාකිස්ථානයට දැඩි අවවාද

    ඉන්දියාවෙන් පාකිස්ථානයට දැඩි අවවාද

    ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය අවසන් කිරීමට සහ සිය පාලනය යටතේ පවතින සියළු ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමට විශ්වාසදායක හා ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටින ලෙසයි.

    ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී නවදිල්ලියට එරෙහිව පදනම් විරහිත චෝදනා කිරීමට පාකිස්ථානය ගත් උත්සාහයට, සිය පිළිතුරු දීමේ අයිතිය ක්‍රියාත්මක කරමින් “ජම්මු සහ කාශ්මීරයට එරෙහිව ඉස්ලාමාබාද් කළ කෑගැසීම එහි බලාපොරොත්තු සුන්වීම හා ව්‍යාකූල මානසික තත්වය පිළිබිඹු කිරීමක්” යැයි ඉන්දියාව පැවසීය.

    “පාකිස්තානය විසින් අත්පත් කරගෙන ඇති භූමි ප්‍රදේශ ඇතුළුව මුළු ජම්මු සහ කාශ්මීරයේ භූමි භාගය තවමත් ඉන්දියාවේ අනිවාර්ය අංගයක් වී ඇත,” යනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම හා සංස්කෘතිය කුමක් වුවත් පාකිස්තානය වැනි රැඩිකලීකරනය වූ සහ අසාර්ථක රාජ්‍යයක් ඉන්දියාව වැනි විශාල හා ශක්තිමත් රාජ්‍යයකට ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කිරීමට එඩිතර වීම හාස්‍ය ජනක ය, ” යනුවෙන් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසීය.

    පාකිස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දක්වන ත්‍රස්තවාදයට දැඩි ලෙස පහර දෙමින් ඉන්දියාවේ නියෝජිතයා පැවසුවේ, “ලෝකයේ ත්‍රස්තවාදයේ කෙන්ද්‍රය සහ ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රචලිත කරන අපනයනකරු ලෙස පකිස්ථානය සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යන” බවයි.

    ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මතය තවදුරටත් බිඳ හෙළමින් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසුවේ “පාකිස්ථානය යනු හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් විසින් පාකිස්ථානයේ රාජ්‍ය යාන්ත්‍රණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් ත්‍රස්තවාදී සංවිධාන අතර සහයෝගය සහ අන්තර්-මෙහෙයුම් සබඳතා විවෘතව පිළිගත් රටක්” බවයි.

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී මිනීමැරුම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, රජයේ ආරක්ෂක ආයතන විසින් සිදු කරන ලද, සංස්ථාපිතයට එරෙහිව කථා කිරීමට උත්සාහ කරන අයව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීම වැනි දඬුවම් පමුණුවමින් ක්‍රියාකරන රාජ්‍යයක් බවයි. පාකිස්තානයේ මානව හිමිකම් වාර්තාවට ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත.

    පසුගිය සතියේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කාරක සභාව අමතමින් ඇමීනා මැසෝඩ්(Amina Massod) පාකිස්තාන බලධාරීන් විසින් තමාට සහ තවත් පවුල් කිහිපයකට සිදු වූ ශෝකය හා වේදනාව බෙදා ගත්තා යැයි පකිස්ථානයේ මානව අයිතිය පිළිබඳ සැබෑ තත්ත්‍වය ලෝකයට ඉදිරිපත් කළාය.

    ඇය පැවසුවේ වසර 16 ක් ගත වී ඇති අතර 2005 දී පකිස්ථානු හමුදාව විසින් අල්ලා ගත් තම සැමියා ඇය තවමත් සොයන බවයි.

    “පාකිස්තානය,මානව හිමිකම් කවුන්සිලයේ කාලය නාස්ති කරනවා වෙනුවට පාකිස්ථානයේ බරපතල මානව හිමිකම් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් ඉන්දීය පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

  • ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

    ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

    ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් 2021 ඔක්තෝබර් 2-5 දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත. ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, විදේශ ලේකම් ෂ්‍රින්ග්ලා මහතාගේ වැඩ සටහනට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ද හමුවීමට නියමිතය.

    මෙහි පැමිණෙන විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරයි.

    ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.

  • මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මැ.කොට

    මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මැ.කොට

    මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

    එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම එහිදී කීවේය.

    මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම, විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

    වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ජන්ද විමසීමේ පනත යටතේ පවතින අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

    ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළේය. දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා  දුන්හ.

    නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කීවේය.

    විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම එකම පුද්ගලයෙකුට ස්ථාන 02 කදී ජන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිය ලබා දී ඇති අවස්ථා වාර්තා වන බව කාරක සභා සාමාජිකයෝ මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දුන්හ.

    මැතිවරණ කාල සීමාව තුළ සිදුවන වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බාධාවක් බව කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

    යම් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට අතුරු මැතිවරණයක් පවත්වා එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම්  ලබන 07 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

  • ‘ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරායේ සිරවී ඇති කිරිපිටි තොග වෙන රටකට විකුණනවා‘

    ‘ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරායේ සිරවී ඇති කිරිපිටි තොග වෙන රටකට විකුණනවා‘

    කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000ක් නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි.

    කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

    වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කළ බව ප්‍රකාශ කළ නමුත් ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

    වාණිජ බැංකු සමඟ අද (30) පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව වීරසූරිය මහතා පැවසුවේය.

    ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසුවේය

    මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්  ජනතාවට පසුගිය දින කිහිපය පුඑාම කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නය ලැබුණි.

  • ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට

    ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට

    ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි.

    මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අදානි සමාගමටත්, මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34% ක් සහ වරාය අධිකාරිය 15% ක් ගිවිසුම අනුව හිමිවනු ඇත.

  • රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කරනු ලැබීය.

    ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී  පැවති මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.

    එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වේ. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16  සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ දැක්වේ.

    මෙම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වේ.[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/09/රට-විවෘත-කිරීම-සඳහා-වන-මාර්ගෝපදේශ-මාලාව.pdf” ]

  • නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (29) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය.

    මහාචාර්ය පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස් ඇපල්ටන්, දෙරට අතර හවුල්කාරිත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා අනාගතයේ දී එතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී නවසීලන්තය ශ්‍රී ලංකාව සමඟ හවුල් වී ඇති බවත්, මිත්‍රත්වයේ හැඟීමෙන් යුතුව සහයෝගිතාවයේ නව අංශ හඳුනා ගැනීම සඳහා දෙරටටම දැන් කාලය එළඹ ඇති බවත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය සිහිපත් කරමින්, මහාචාර්ය පීරිස් කොළඹ නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා අතිමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකාව වැඩිහිටි සර්වජන ඡන්ද බලය භුක්ති විඳින පැරණිතම රටක් ලෙස සඳහන් කළ මහාචාර්ය පීරිස්  පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ව්‍යවස්ථාදායක සභාවල ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙමින් පවතින මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කළේය.

    නවසීලන්තයේ වත්මන් මැතිවරණ ක්‍රමයේ ධනාත්මක ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින්, නවසීලන්තයේ මැතිවරණ ක්‍රමය තුළින් ඉගෙන ගැනීමට සහ දේශීය ක්‍රමය සඳහා යොදා ගැනීමට හැකියාව ඇති අංග උපුටා ගැනීමට ශ්‍රී ලංකාව කැමති බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    රටේ ගොවි ජනතාව සහ පාරිභෝගිකයින් සඳහා එහි පවතින පුළුල් බලපෑම සැලකිල්ලට ගෙන, දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජය දැඩි උනන්දුවක් දක්වන බවත්, මේ සඳහා නවසීලන්ත පාර්ශ්වය සමඟ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය පීරිස් වැඩිදුරටත් පැවසීය. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම, වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    නේවාසික දූත මණ්ඩල පිහිටුවීම සඳහා දෙරට අතර ඇති කරගත් එකඟතාවයෙන් අනතුරුව, නවසීලන්තය ශ්‍රී ලංකාවේ සිය නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය 2021 අගෝස්තු මාසයේ දී විවෘත කළ අතර, මයිකල් ඇපල්ටන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම නේවාසික නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරයි.

  • 2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව  ලබන සතියේ දින 05ක් රැස්වෙයි

    ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ

    2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අතර පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට 08  වන සිකුරාදා දක්වා දින 05 ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.

    මේ අනුව ඔක්තෝබර් 04 වැනි සඳුදා  සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස වෙන් කර ඇත. විවිධ හේතු මත මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකිවූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක්  සදහා එදින පෙ.ව 10.00 සිට  ප.ව 4.30 දක්වා කාලය වෙන්කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ  මුදල් පනත යටතේ නියෝගයක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 06 වැනි බදාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) විවාදයට ගැනීමේන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම), සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද  විවාදයට ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 08 වැනි සිකුරාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව විවාදයට ගැනේ.

    මේ අතර අගහරුවාදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    තවද අගහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ආණ්ඩු පක්ෂය ද බදාදා විපක්ෂය ද ගෙන එන යෝජනාව අනුව  සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

  • චීන අසූචි කාබනික පොහොර ගැන සුපිරි කතාවක්

    චීන අසූචි කාබනික පොහොර ගැන සුපිරි කතාවක්

    චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. 

    ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර  57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා – රස්සාවට වඩා රටට ආදරය කළ ගැහැණිය ගේ කතාව ලෝකයම කියවිය යුතුය.

    1963-64 ආසන්නයේ ආචාර්ය ඩඩ්ලි සීසර් නම් ජර්මන් (හෝ නෙදර්ලන්ත) කෘෂි විද්‍යාඥයා ලංකාවේ අඩි 5000 ට අඩු කලාපයේ (එනම් වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, හපුතලේ අල (අර්තාපල්) හදන්නට බැරි බව රජයට වාර්තා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි (Subject matter officer – SMO)  නෝමන් ගුණතිලක (අල මහත්තයා) ලංකාවේ අඩි 5000ට අඩු ප්‍රදේශවලත් අල හැදිය හැකි යැයි ස්ථීර මතයක විය.  අල මහත්තයා ගමේ මිනිස්සුත් එක්ක වගාව කරගෙන ගියේය. (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ විෂයානුබද්ධ නිලධාරි යනු කෘෂිකර්ම නිලධාරි (AI මහත්තයාට) උඩ තනතුරයි.  ගැටුම කෘෂි විද්‍යාඥයායෙකු සමඟය.

    Lanka NewsWeek - සී පී ද සිල්වා වූ සිය දෙවැනි නායකයාගේ නම මකා දැමු  ශ්‍රීලනිපයේ ගුණමකුකම
    සී.පී ද සිල්වා

    1964 හෝ ඒ ආසන්නයේ දිනක සී.පී. ද සිල්වා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරි පිරිවරා රහංගල අල වගාව බලන්නට ආවේය.  (එදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රනාන්දු හෝ ජිනේන්ද්‍රදාස වැනි නමක් තිබූ අයෙකි)

    නිලධාරි කියන්නේ අඩි 5000 ට අඩු රහංගල අල හදන්නට බෑ කියාය. ගොවිපල කම්කරුවෝ, ගොවි සංවිධාන නියෝජිතයෝ කියන්නේ අල හැදෙන බව ය.

    ඇලිස්නෝනා ගොවිපලේ කම්කරු කාන්තාවකි.

    ‘සර්.. එන්න මේ පැත්තත් බලන්න. ඇලිස්නෝනා කියයි.

    ඇලිස්නෝනා ඇමතිතුමා ලිඳක් ලඟට කැදවා ගෙන යයි. ගොවිපල කළමනාකරු එක වලක්වන්නට හදයි.

    ඇලිස්නෝනා සී.පී. ද සිල්වා ඇමතිතුමාට ලිඳ ත්, එහි පාවෙන කුණු අර්තාපල් ද පෙන්නයි.

    සර්………  මේ කුණු වෙච්ච අල තියෙන වතුර අරගෙන හිටවන්න තියෙන බීජ අලවලට (බීජ අර්තාපල්) ගහන්න (ස්ප්‍රේ කරන්න) කියලා මේ සර් අපිට කිව්වා.

    සර් ……….. ඒ වතුර ගහන අල තමයි ගොවීන්ට වගා කරන්න දෙන්නේ.  ඒවා හැදෙන්නේ නෑ. මැරිලා යනවා.

    සර්………. මේ කුණු වෙච්ච අල වල තියෙන විෂ නිසා අල ගස් කුණු වෙනවා.

    කම්කරු ගැහැණිය ඇමතිට සිද්ධිය විස්තර කර දෙයි.

    සී.පී.ද සිල්වා ට අර්තාපල් ආනයනයෙන් කොමිස් ගන්නට අදහසක් තියෙන්නට නැත.  ගජ මිතුරන් අර්තාපල් බිස්නස් කරන්නට ද නැතිව ඇත.  ඇමති සී.පී. ද සිල්වා එදා කොළඹ ඇවිත් පළමුවෙන්ම කළේ රහංගල ගොවිපළේ කලමනාකරු ඇතුළු පිරිසකගේ වැඩ තහනම් කිරීමය.  අල හදන්න බෑ කියූ රොත්තක්ම ඒ අතර විය.  ආචාර්ය ඩඩ්ලි සීසර් ගේ අර්වීනියා වසංගතයෙන් එදා ලංකාව බේරාගත්තේ කම්කරු ගැහැණිය යි.

    ඇලිස්නෝනා ගේ ස්වාමියා බොරලන්ද කිරියාදෝවේ  වීරසේකර මාමා ය.  මේ කතාව, හොඩියේ නැත්තම් දෙකේ දී, උදේ රැස්වීමේ මම මුලින්ම ඇසුවෙමි.  දවස, ලංකාදීප ඇතුළු පත්තර තුනක් මේ කතාව පල කර තිබුණි.

    අල වගාවේ සියළු වගකීම කෘෂිකර්මයේ කණිෂ්ඨ නිලධාරියෙකු වූ නෝමන් ගුණතිලක ට පැවරුනේය.  එදා පටන් රහංගල අල වගාව, සංස්කෘතියකි.  කටු මැටි ගැසූ ගෙවල්වල මිනිස්සු ගොවි මහත්වරු වූහ.  මිනිස්සු ‘අල මහත්තයාගේ ‘ ගල් පිළිරුවක් හීන්නාරංගොල්ල පන්සලේ පිහිටුවීය.  බුදුන්ට පුදන මල් සුවඳ, දෙවියන්ට පුදන දුම් සුවඳ විදිමින් අල මහත්තයා නිවන් දකිනා තුරු සැනසෙන්නේය.

    1965 එජාපය ආණ්ඩු පිහිටවූ පසුව කෘෂිකර් ඇමතිවරයා වූවේ එම්.ඩී. බණ්ඩා ය.  අගමැති ඩඩ්ලි සේනානායක ය.  වැලිමඩ මන්ත්‍රී පර්සි සමරවීය ය.  මගේ සීයා, ටී.ඇම්.මැණික්රාල, උඩුකිඳ ගම්සභාවේ සභාපති හෝ උපසභාපති ය.   ඩඩ්ලිත්, කෘෂිකර්ම ඇමති එම්.ඩී.බණ්ඩාත් අල ගලවන කාලයක උඩුකිඳ අල වගාව බලන්නට රහංගල ආවේය.

    Laying of the foundation stone for the construction of the bridge and  embankment of the Achchuveli Udavikkulam Pillayar Kovil in Jaffna - Nation  Online

    රහංගල දී මල් මාලයක් දමා අගමැති පිළිගත්තේ ගොවි සමිතියේ සභාපති ඇලිස්නෝනා ය.  අල වගාව ඇගේ පවුලට ඉසුරු ගෙනවිත් තිබුණි.  වාහනයක යා නොහැකි ගොවිබිම්වල අගමැති-ඇමති පයින් ගියේය. වගා කරන්න ගොවියෝ පාරක් ඉල්ලුවේය.  අගමැති තම්බපු අල සහ එළවළු කන ගමන්  ‘ඔව් ඔව් පාරක් ඕනි. මට හිතාගන්න බෑ ඔහෙලා බර උස්සාගෙන කොහොම යනවා ද කියලා.  මට මගේ ඇඟ උස්සාගෙනවත් එන්න බැරි වුනා‘ ඩඩ්ලි කියූ බව එදා එහි සිටි තරුණයෙක් කිවේය.

    හැම තැනම ඇවිදලා ඩඩ්ලි කන්දේපුහුල්පල ගමේ KMS ලොරි ව්‍යාපාරයේ  ගරාජය ලඟ කුඹුරකට සරුසාර අල වගාවට ලගාවූවේය.  ගොවියා අප්පුහාමි ය. ශූර කැරට් ගොවියෙකු වූ අප්පුහාමි ට ගමේ මිනිස්සු කිව්වේ ‘කැරට් අප්පුහාමි‘ කියා ය.  මේ කතාව මට කිව්වේ ඒ කැරට් අප්පුහාමි ම ය.

    අගමැතිතුමා  අල ගහක් පෙන්නලා මගෙන් ඇහුවා මේකේ ගෙඩි කීයක් ඇද්ද? කියලා.  මම කිව්වා මේකේ හැටියට නම් අල ගෙඩි 26 ක් වත් තියෙන්න ඕනි කියලා.  අගමැතිතුමා කැමරාව අරගෙන කුඹුරට බැහැලි ඡායාරූප ගත්තා.   මම අල පදුර ගැලෙව්වා.  ඒකේ ගෙඩි 27 ක් තිබ්බා.  අගමැතිතුමා අලත්, අපිත් එතුමාගේ කැමරාවෙන් පොටෝ ගත්තා.

    අගමැතිතුමා හයියෙන් හිනාවෙලා කිව්වා, තමුසේ හරියටම ගාන කිව්වේ මට හොරෙන් ගලවලා බලලා නේද කියලා.‘‘ කැරට් අප්පුහාමි ගේ හිනාව මට තවමත් මතකය.

    චීන අශුචි ආනයන කතාවට කෘෂිකර්ම ලේකම් මහාචාර්ය ජයසිංහ මගේ දේශපාලනය ඈදා තිබුණි.  ගොවියාගේ දේශපාලනය තමන්ගේ දරු පවුල රැකීමය.  කැරට් අප්පුහාමි කවදාවත් එජාපයට ඡන්දය නොදුන් ගමේ හිටි හොඳම ශ්‍රී ලංකා කාරයා ය. සී.පී. නවත්තපු තැනින් ඇම්.ඩී. බණ්ඩා ද, ඩඩ්ලි ද, වැලිමඩ රාජරත්න ද අල වගාව ඉස්සරහට ගෙන ගියා මිස කොමිස් පිටුපස යන්නට ගියේ නැත. එජාපයට විරුද්ධව රාජරත්නගේ ඡන්දපොල නියෝජිතයා වුනේ ඇලිස්නෝනා ගේ ස්වාමියා ය.

    A potato farmer in Meepitima, Nuwara Eliya collecting the potato harvest (Susantha Wijegunasekera; Sunday Observer)

    මේ සිද්ධිය ලංකාවේ අල වගාවේ සුවිශේෂතම කඩඉම ය.  කොළඹ ගිය අගමැති ඩඩ්ලි-කෘෂි ඇමති බණ්ඩා ලංකාවට කෑම අල ගෙනඒම තහනම් කළේය.  ලංකාව අර්තාපල්වලින් ස්වයං පෝෂිත වූවේය. කැරට් අප්පුහාමි ලා – ඇලිස්නෝන ලා ධනවත් ගොවියෝ වූහ.

    ගොවිතැන නගන්නට එදා දේශපාලනඥයින්ට උනන්දුවක් පමණක් නොව දැක්මක් ද තිබුණි. එදා ආණ්ඩුව ගොවියාට බීජ අල  හොන්ඩරයක්  රු. 28 ට දුන්නේය.  අද නම් අදහන්නටත් බැරිය. ආණ්ඩුව ගොවියාගේ අල අස්වැන්න (කන අල) හොන්ඩරය රු. 32 ගානේ මිලදී ගත්තේය. බීජ අල හොන්ඩරයකින් එක හොන්ඩරයක අස්වැන්නක් තිබුණත් රු. 4 ක් ගොවියාට ලාබය ය.  උඩුකිඳ අල ගොවියා ලංකාවේ වැඩිම ආදායම ලබන ගොවියා බවට පත්වූවේ එහෙමය.

    අද බීජ අල හොන්ඩරයක් රු. 20,000 කි. අස්වැන්න (කන අල) හොන්ඩරයක් රු. 6000 කි.  මේ ආණ්ඩුව ඔක්තෝබර් කඳු කන්නට පොහොර නොදී, දිලීර, කෘමිනාශක නොදී විනාශ කරන්නට හදන්නේ මෙහෙම ගොඩ නැගු අල වගාවයි.

    අද එයින් වසර 57 කට පසුව, දෙවරක් නොව තුන්වරක් පර්යේෂනාගාර පරීක්ෂණ අසමත් වූ නිසා අද චීන අශුචි ගෙන්වීම නතර විය.

    ආචාර්ය ඩඩ්ලි සීසර් ලා අදත් එක එක වේශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටී.  2021 මැයි 10 දින පෙ.ව. 9.30 ට කොළඹ කච්චේරියේ නිල මැදුර ශ්‍රවණාගාරයේ රැස්වූ සීසර් ලා ගේ පළමු නාඩගම අද අවසන් විය.  වාසනාවකට ඇලිස්නෝන ලා ද තවමත් අඩු නැතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ත්, කෘෂිකර්ම කේෂ්ත්‍රෙය්ත් ඇත. මේ සටහන එදා – මෙදා ලංකාවේ කෘෂිකර්මාන්තය සීසර් ලාගෙන් රැකගත් ඒ උතුම් මිනිසුන් වෙනුවෙනි.

    රජිත් කීර්ති තෙන්නකෝන්