Tag: featured

  • සෞඛ්‍ය අමාත්‍යවරයා හා GMOA අතර හමුවක්

    සෞඛ්‍ය අමාත්‍යවරයා හා GMOA අතර හමුවක්

    වයස අවුරුදු 60 ඉක්මවූ  සියලු පුරවැසියන්  එන්නත්කරණයට ලක් කිරීම  ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එම වයස ඉක්මවූ සෑම අයකුගේම  දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක්  දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා  ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (27) සවස පැවති සාකච්ඡාවකදී හෙතෙම  මේ බව කීය.

    අමාත්‍යවරයා  පත්වීමෙන් පසු  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පළමු වරට මෙලෙස සාකච්ඡාවක් සඳහා එක්විය.

    මෙරට එන්නත්කරණ  ක්‍රියාවලිය  මේ වන විට ජාත්‍යන්තරික පැසසුමට  ලක්ව ඇතැයි,ද  ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමු වෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

    මෙම ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවත් එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බවත් හෙතෙම පැවසීය.

    කොරෝනා මර්දනයෙහි  තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත්  එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ වන විට  සිදු වන කොවිඩ්  මරණ සංඛ්‍යාව  අවම කිරීම සඳහා  අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට  පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය  බවත්   වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය

  • අදත් කොවිඩ් මරණ 200 පසු කරයි

    අදත් කොවිඩ් මරණ 200 පසු කරයි

    ඊයේ (26) දින මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ 214ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය අයගෙන් 120 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 94ක් වේ. වසය අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් 151ක්, වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 58ක් සහ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 05ක් මියගිය අය අතර සිටී.

  • ජනතාව කටයි නහයයි වසා නොගත්තොත් වසංගත පාලනය වතුරේ !

    ජනතාව කටයි නහයයි වසා නොගත්තොත් වසංගත පාලනය වතුරේ !

    රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය.

    ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි.

    අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය, ‘”ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඒ නිසා මම කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න‘‘

  • Full story:  කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු

    Full story: කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු

    දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

    එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ  මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව  සඳහන් කෙරිණ.

    එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට  ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

    වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු  මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

    නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය  අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය.

    දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය.

    මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය.

    නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

  • ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

    ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

    ඉන්දියාවේ පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත

    ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 50%ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාන්දවියා (Mansukh Mandaviya) ඊයේ (26) සවස ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය.

    එය “පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” ලෙස ඇමතිවරයා විස්තර කළේය.

    “ඉන්දියාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගනී! සුදුසුකම් ලත් ජනගහනයෙන් 50 % ක් #COVID19 එන්නතෙහි පළමු මාත්‍රාවෙන් එන්නත ලබා දී ඇත, එය පවත්වා ගෙන යන්න, අපි කොරෝනා සමඟ සටන් කරමු” යනුවෙන් ඔහු ට්විටර් වෙබ් අඩවියේ පැවසීය.

    ඉන්දියාවේ, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් කොවිඩ් -19 එන්නත සඳහා සුදුසුකම් ලබයි.

    ඉන්දියාවේ කොවිඩ් -19 එන්නත ආවරණය මේ වන විට කෝටි 61 ඉක්මවා ඇත (මිලියන 61 සීමාව) ඊයේ නිකුත් වූ තාවකාලික වාර්තාවකට අනුව එම අගය 61,10,43,573 ක් වූ බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ (27) සවස 7 දක්වා එන්නත් මාත්‍රාවන් 68 ලක්ෂයකට (67,87,305) ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති අතර නවතම දත්ත වලට අනුව, පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත. එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින්ගේ එකතුව 13,91,43,053 කි.

    ලොව විශාලතම එන්නත් කිරීමේ ව්‍යාපාරය ලෙස හැඳින්වෙන ඉන්දියාවේ කොවිඩ් එන්නත්කරණය මේ වසරේ ජනවාරි 16 දා ආරම්භ කළ අතර එය සෞඛ්‍ය සේවකයින්ගෙන් ආරම්භ වී ඉක්මනින්ම පෙරටුගාමී සේවකයින් ද ආවරණය කළේය.

    කොවිඩ් එන්නත්කරණය පසුව වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය සඳහා විවෘත කරන ලද අතර ඉන් පසුව වයස අවුරුදු 45 ට වැඩි අය ද එන්නත්කරණයට ලක් කළහ. එතැන් සිට එය අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් දක්වා පුළුල් කර ඇත.

    indianewsnetwork.com ඇසුරිණි

  • ‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්

    ‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්

    සාගින්නෙන් මිදීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්කයක සපුරා ගැනීමට ඉන්දියාව අදිටන් කරගෙන සිටින බව මධ්‍යම කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය

    දැඩි කොවිඩ් -19 වසංගතය තුළදී පවා ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හොඳින් ක්‍රියාත්මක වූ අතර ආහාර නිෂ්පාදනය සහ අපනයනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙමගින් ඉන්දියාව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට දායක වූ බවත් ඉන්දීය මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමති නරේන්ද්‍ර සිං තෝමර් මහතා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization – SCO) සාමාජික රටවල කෘෂිකර්ම ඇමතිවරුන්ගේ 6 වන රැස්වීමට සහභාගී වෙමිනි.

    පසුගිය 12 වැනිදා ටජිකිස්තානයේ දුෂාන්බේ හිදී මෙම හමුව සංවිධානය කරන ලදී.

    ‘සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය ලබා ගැනීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්කයක් සපුරා ගැනීමට ඉන්දීය රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු සඳහන් කළ බව රජයේ නිල මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    ඉන්දියාව සඳහා මෙන්ම ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සදහා ද ඉන්දිය කෘෂිකර්මාන්තය සැම විටම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ටෝමර් මහතා සඳහන් කළේය. ගෝලීය කොවිඩ් වසංගතය ආහාර සුරක්‍ෂිතතාවය සහ සැපයුම් දාමයන් කෙරෙහි බලපෑම් කිරීම හේතුවෙන් මෙම අංශය කෙරෙහි ඉන්දීය රජය දැඩි අවධානයක් යොමු කළ බව ද ඔහු පැවසීය.

    මෙම සන්දර්භය තුළ, ආහාර සැපයුම් දාමයන් ක්‍රියාකාරීව පවත්වා ගැනීමට සහ ගොවීන්ගේ ජීවනෝපායන් ආරක්‍ෂා කර ගැනීමට රටවල් අතර සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක හා දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

    ඉන්දියාව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලබා ඇති අතිවිශාල වර්ධන මාවත සමඟ ද්විපාර්ශවීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ද අඛණ්ඩව හොඳම භාවිතාවන් හුවමාරු කර ගනිමින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල හැකියාවන් ගොඩනඟා ගනු ඇත. ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව එමඟින් ඔවුන්ට ස්වයංපෝෂිත වීමට සහ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට ද හැකි වේ.

    2022 වන විට ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයට අනුකූලව ඉන්දීය රජය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව, ජල සම්පත් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම, වාරිමාර්ග සඳහා නව යටිතල පහසුකම් ඇති කිරීම, සමබර පොහොර භාවිතය සමඟ පාංශු සාරවත් බව රැක ගැනීම, කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය, ගොවිපොළෙන් වෙළඳපොළට සම්බන්ධතාවය සැපයීම, යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ යෝජනා මේවාට ඇතුළත් ය.

    ග්‍රාමීය තරුණයින්, ගොවීන් සහ ගොවි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නව තාක්‍ෂණයන් දියුණු කිරීමට සහ ඒවා විද්‍යාගාරය තුළ සිට ගොවිබිම් දක්වා ව්‍යාප්ත කිරීමට ඉන්දීය රජය පියවර කිහිපයක් ගෙන ඇති බව ඔහු පැවසීය.

    කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ඉන්දියාව සන්ධිස්ථාන කිහිපයක් සපුරා ඇති බව ද කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

    ‘‘ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැක්ම, අපේ කෘෂිකාර්මික විද්‍යාඥයින්ගේ දක්‍ෂතාව සහ අපේ ගොවීන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාව ස්වයංපෝෂිත වීම පමණක් නොව රට තුළ ආහාර හා ධාන්‍ය අතිරික්තයක් වීමයි. ඒ අනුව අද ඉන්දියාව ධාන්‍ය, පලතුරු, එලවළු, කිරි, බිත්තර සහ මාළු වැනි ආහාර නිෂ්පාදන කිහිපයක ප්‍රමුඛ නිෂ්පාදකයෙකු වන බවට පත්ව සිටිනවා‘ යැයි ද අමාත්‍යවරයා කීවේය.

    තජිකිස්තානයේ කෘෂිකර්ම අමාත්‍ය සියොසෝඩා සුලෙයිමන් රිසෝයි, මහජන චීන සමූහාණ්ඩුවේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් නොරොව් ව්ලැදිමීර් ඉමමොවිච්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍වොංයුයු, තජිකිස්තානයේ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපති ෆයිසුල්ලොසෝදා මුහම්මද් සෙයිද් උබයිදුල්ලෝ සහ අනෙකුත් සාමාජිකයින් මෙම හමුවට පැමිණ සිටියහ.

    indianewsnetwork.com ඇසුරිනි.

  • ආයතන ප්‍රධානීන්ගෙන් යුද හමුදාපති කළ ඉල්ලීම

    ආයතන ප්‍රධානීන්ගෙන් යුද හමුදාපති කළ ඉල්ලීම

    අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගය පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුධ හමුදාපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය තවදුරටත් එලෙසම පවතින බව ද පැවසුවේය.

  • රට වසා දැමීම තව දුරටත්

    රට වසා දැමීම තව දුරටත්

    කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත

  • කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

    ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇත

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දක්වමින් ඉන්දියාව විසින් ලබාදුන් දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් අද (26) කොළඹට වරායට පැමිණියේය. මෙය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන තෙවන ඔක්සිජන් තොගය වන අතර සතියක් තුළදී ටොන් 280ක් ලබාදී ඇත.

    මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට සපයනු ලබන ඔක්සිජන් සැපයුම වැඩි කරන බවයි.

    “සැපයුම දිගටම පවතී !!! අද #හල්දියා සිට ඔක්සිජන් ටොන් 100ක් පැමිණීමත් සමඟ, සතියක් ඇතුළත ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ටොන් 280 ක් ලැබුණි. ඉදිරි දින සහ සති වලදී තවත් බලාපොරොත්තු විය හැකි බව‘ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

    https://twitter.com/IndiainSL/status/1430501192845594637?s=20

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහයෝගය දැක්වීම සඳහා ඉන්දියාවේ කැපවීමේ කොටසක් ලෙස පසුගිය 22 වැනිදා ඉන්දියානු නාවික හමුදාවේ අයිඑන්එස් ශක්ති නෞකාව මගින් විශාඛපට්නම් සිට දියර ඔක්සිජන් ටොන් 100ක් රැගෙන පැමිණියේය.

    අහම්බයකට මෙන්, ඉන්දියාවෙන් ලබාගත් දියර ඔක්සිජන් ටොන් 40ක් සහිත ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද පසුගිය අගෝස්තු 19 වන දින චෙන්නායි සිට කොළඹ බලා ගමන් ආරම්භ කළේය.

    පසුගිය සදුදා නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, සමුද්‍ර සේතු-II මෙහෙයුමේ කොටසක් ලෙස ඔක්සිජන් ලබා දීම සඳහා ඉන්දියානු නාවික යාත්‍රාව යෙදවීමට පියවර ගත් බවයි.

    ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව මෙම විශාල තොගය කඩිනමින් බෙදා හැරීමට පහසුකම් සැලසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙම සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය සතියේ සාකච්ඡා කර ඇති බවයි.

    ඉන්දියානු නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැඩි සහයෝගයක් ලබා දුන් බව අවධාරණය කළ ශ්‍රී ලංකා වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

    විධිමත් සැපයුම් දාමය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර හදිසි අවස්ථාවකදී මිත්‍රශීලී විදේශ රටවලට අත්‍යවශ්‍ය ඔක්සිජන් නැව්ගත කිරීම වේගවත් කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ‘මිෂන් සාගර්’ ආරම්භය පුරෝගාමී ප්‍රයත්නයක් වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

    දියර ඔක්සිජන් තොග වැඩි වශයෙන් මෙරටට පැමිණීමට නියමිත බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සහතික කිරීම සඳහා අයිඑන්එස් ශක්ති නෞකාව හිස් ඔක්සිජන් කන්ටේනර් විශාකාපට්නම් වෙත ගෙන යන බවයි.

    indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද

  • සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි

    සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

    බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර වලට යොමුව ඇති වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඒ සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

    කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86 % පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත් , ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇතැයිද , මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්,ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

    ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇතැයිද ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කීය.සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

     

  • නොවැම්බර් අවසානයට පෙර  අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

    නොවැම්බර් අවසානයට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

    ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද(26) පෙරවරුවේ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා මේ බව කීය.සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර, නව සෞඛ්‍ය අමාත්‍යවරයාට තානාපතිවරයා මෙහිදී සුභ පතනු ලැබීය.

    මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියුබානු තානාපතිවරයාට පැවසීය.

    ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්,දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරු වැඩසටහනක් සදහාද අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා මේ වසර අවසාන වනවිට කියුබානු සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කීය.මේ වන විට එරට 100% ක් භාවිතයට ගෙන ඇත්තේ කියුබානු නිෂ්පාදිත එන්නත් බවත් , ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් අනතුරුව වෙනත් රටවලටද කියුබානු එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා පැවසීය.

    එරට විදේශ විනිමය අතුරින් වෛද්‍ය උපකරණ,සෞඛ්‍ය සේවාවන් ඉහළ විනිමයක් ලබා දෙන බවද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අතර එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි බවත් ඒ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් වලින් කියැවිණි.

  • ‘සීනි කිලෝව 210යි – විෂයභාර ඇමති කියන තිත්ත කතාව

    ‘සීනි කිලෝව 210යි – විෂයභාර ඇමති කියන තිත්ත කතාව

    මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගියත් එය පාලනය කිරීමට රජයට හැකියාවක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.

    අමාත්‍යවරයා සදහන් කළේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.

    සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමක මෙවැනි අති විශාල මිලකින් සීනි මිල ඉහළ යාම පිළිබදව පාරිභෝගිකයින් අතර බලවත් අප්‍රසාදයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් කළ නොහැකි යැයි පාරිභෝගික ආරක්ෂණ ඇමැතිවරයාම ප්‍රකාශ කිරීම ජනතාවගේ හාස්‍යයට මෙන්ම කෝපයට ද හේතු වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අද (26) මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා, සීනි අද තොග මිල රුපියල් 210 දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේක සම්පූර්ණ අසාධාරණ මිල වැඩි කිරීමක්. කූඨ වෙළෙන්දන් විසින් මේක කරන්නේ කියලා අපි හඳුනගෙන තියෙනවා. වර්තමානයේ මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණත් වසර 17ක පස්සේ අපි දැන් මේ පනත සංශෝධනය කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අනුව රුපියල් 10,000ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කරනවා. ඒ අනුව වැඩි මිලට අලෙවි කරන සෑම ව්‍යාපාරිකයෙකුටම ඒ නව දඩ මුදල අයකරන්න පුළුවන් වෙනවා.”

    මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වසරේ ඉහළම උද්ධමන අනුපාතය ද පසුගිය ජූලි මස වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

  • 2021 වසරේ ඉහළම උද්ධමනය වාර්තා වෙයි

    2021 වසරේ ඉහළම උද්ධමනය වාර්තා වෙයි

    පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8% දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මෙම අගය 2021 වර්ෂයේ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වීම විශේෂත්වයකි.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය.

    තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

    2021 ජූලි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.63ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සදහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.37ක් සහ සියයට 0.27ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර, පොල් සහ පොල්තෙල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. එමෙන්ම, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 ජූලි මාසයේ දී වාර්තා විය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජූලි මාසයේ දී සියයට 4.4හි නොවෙනස්ව පැවතුණි.

  • කොවිඩ් මර්දන එන්නත් තුනක ‘ඵලදායීතාවය ගැන‘ සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ් මර්දන එන්නත් තුනක ‘ඵලදායීතාවය ගැන‘ සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන සයිනෝපාම්, ෆයිසර් බයෝඑන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් යන එන්නත් වල ඵලදායීතාවය සම්බන්ධයෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද (26) කරුණු රැසක් අනාවරණය කළාය.

    තමා මෙම තොරතුරු අනාවරණය කරන්නේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන බව ද ඇය පැවසුවාය.

    1. චීනයේ නිෂ්පාදිත සහ මෙරට තුළ බහුලවම භාවිතා කෙරෙන සයිනොපාම් එන්නත ගත් පුද්ගලයකුගේ කොවිඩ් මරණ අනුපාතය 0.46%කි
    2. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය 0.15%කි.
    3. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට 0.03%කි

    සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයින් බවට පත්වන 350 දෙනෙකු අතරින් මියයෑමේ ප්‍රවණතාව එක් පුද්ගලයෙකු ලෙස අනාවරණ වී ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.

    ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වන්නේ 136 දෙනෙකු පමණක් බවත් එහිදී එම 136 දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව සියයට 0.02 ක් බවත් බහරේන් පරීක්ෂණය මඟින් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

  • ‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට

    ‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට

    පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට කැපවී සිටින බව ඉන්දියාව පැවසීය

    ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පුනර්ජනනීය බලශක්ති (clean energy) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද දේශගුණ විපර්යාස සඳහා වූ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

    ලබන නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සාකච්ඡා (UN Climate Change negotiations – COP 26)  ආරම්භයට පෙර සිදුවන කෙරීගේ මෙම සංචාරය අතිෂය වැදගත් වන්නේ ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් විසින් දේශගුණික විපර්යාස සදහා වූ තම විශේෂ නියෝජිතයා ලෙස ජෝන් කෙරී පත් කිරීමෙන් පසු සිදු කෙරෙන දෙවන සංචාරය නිසාය.

    ඊයේ (අඟහරුවාදා) මධ්‍යම පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ ඇමති බුපේන්දර් යාදව් මහතා සහ ජෝන් කෙරී අතර දුරකථන සංවාදයක් සිදු වූ අතර ඉන් පසු ඉන්දීය රජය සැප්තැම්බර් මාසයේදී කෙරීගේ සංචාරය ගැන නි වශයෙන් නිවේදනය කළේය.

    මෙම සාකච්ඡාවේදී, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ සාධනීය මැදිහත් වීම ඉහළ නැංවීමට එකඟ වූහ.

    නිල ප්‍රකාශයකට අනුව යාදෙව් කියා සිටියේ පිරිසිදු බලශක්ති සඳහා එක්සත් ජනපදය සමග කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි.

    2030 ඉන්දියාව සහ දේශගුණික හා පිරිසිදු බලශක්ති න්‍යාය පත්‍රය යටතේ ඇති දේශගුණික ක්‍රියාකාරී හා මූල්‍ය බලමුලු ගැන්වීමේ කතිකාව Climate Action and Finance Mobilization Dialogue (CAFMD)  සහ වෙනත් අදාළ කරුණු පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ.

    ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම හවුල්කාරිත්වය යටතේ සාධනීය මැදිහත් වීම් වැඩි කරන බව දෙපාර්ශවයම එකඟ වූහ.

    නිල නිවේදනයකට අනුව, පරිසර ඇමතිවරයා දේශගුණික ක්‍රියාදාමයන් සඳහා එකට කටයුතු කිරීමට මෙම වේදිකා මඟින් වැඩි අවස්ථාවන් ලබා දෙන බව පැවසූ අතර පුනර්ජනනීය බලශක්ති සඳහා ඇමරිකාව සමඟ කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව අවධාරණය කළේය.

    වර්තමාන දශකය තුළ පැරීස් ගිවිසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දියා-එක්සත් ජනපද දේශගුණික හා පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රයේ හවුල්කාරිත්වයේ කොටසක් ලෙස දේශගුණික ක්‍රියාකාරී හා මූල්‍ය බලමුලු ගැන්වීමේ සංවාදය ආරම්භ කිරීම ගැන කෙරී සඳහන් කළේය.

    indianewsnetwork.com වෙබ් අඩවිය ඇසුරිණි

  • ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්

    ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්

    ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තය ආසියාන් රටවල් වේ

    මධ්‍යම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති අනුප්‍රියා පටෙල්

    2021-22 දී ඩොලර් බිලියන 46ක අපනයන ඉලක්කයක් ඇති ආසියාන් රටවල් ඉන්දියාවට වැදගත් අපනයන කලාපයක් වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් (Union Minister of State for Commerce & Industry Anupriya Patel) පැවසුවාය.

    මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ ඩොලර් බිලියන 400ක ගෝලීය අපනයන ඉලක්කය සපුරාලීමට උපකාරී වන බව ඇය ඊයේ (25) පැවසුවාය.

    රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ ඉන්දියාව සහ ආසියාන් සංවිධානයේ රාජ්‍ය අතර සිදුවන වෙළඳාම දෙපාර්ශ්වයටම අතිෂයින් වැදගත් වන බවයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ඉංජිනේරු අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් සංවිධානය කරන ලද “ඉන්දියා-ආසියාන් ඉංජිනේරු හවුල්කාරිත්ව සමුළුව (India-ASEAN Engineering Partnership Summit) විවෘත කිරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය. ඉංජිනේරු අංශයේ සහයෝගීතාවයන් පිළිබඳව සමුළුවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

    ඉංජිනේරු අපනයන වෙළඳ අපනයන වලින් 25%ක් වන අතර සියලු අපනයන අංශ අතර වැඩිම විදේශ විනිමය උපයන්නේ එමගිනි. ඉංජිනේරු අපනයන වල කාර්ය සාධනය පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    ඉන්දියාවේ ගෝලීය ඉංජිනේරු නිෂ්පාදන අපනයනයෙන් සියයට 15% කටත් වැඩි පංගුවකට ආසියාන් රටවල් හිමිකම් කියයි. මෙම අංශයේ 2021-22 සඳහා ඩොලර් බිලියන 16ක අපනයන ඉලක්ක කර ගනිමින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කලාපයක් වනු ඇත.

    ඉන්දියාව සහ ආසියාන් කලාපීය රටවලට ගෝලීය පුහුණු ජනගහනයෙන්, ශක්තිමත් සේවා හා නිෂ්පාදන අංශ වලින් විශාල කොටසක් හිමි වන අතර වැඩි සහයෝගීතාවයක් සඳහා අනුපූරක අංශ සහ නිෂ්පාදන රාශියක් පවතින බව අමාත්‍යවරිය පැවසුවාය.

    ඉන්දියාව සහ ආසියාන් අතර වෙළෙඳ හා ආයෝඡන හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ සැලකිය යුතු ශක්‍යතාවක් පවතින බවත් ඉන්දියාව ඍජු විදේශ ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා රජය බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අනුප්‍රියා පටෙල් පැවසුවාය.

    වාණිජ කටයුතු අමාත්‍යාංශයට අනුව, ආසියාන් කලාපය යුරෝපා සංගමය සහ උතුරු ඇමරිකාවට පසුව ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තයයි.

    ආසියාන් සාමාජික රටවල් අතර සිංගප්පූරුව සහ මැලේසියාව ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන සඳහා ප්‍රධාන අපනයන ගමනාන්ත වේ.

    indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද