Tag: breaking post

  • ඤාණසාර හිමිට සමාව ඉල්ලා බුද්ධ ශාසන ඇමැති ජනපති හමුවට

    ඤාණසාර හිමිට සමාව ඉල්ලා බුද්ධ ශාසන ඇමැති ජනපති හමුවට

    බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට ‍පොදු සමාවක් ලබාදීමට හැකියාව ඇතිදැයි  විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඊයේ (26) පැවැසීය.

    නඩු දෙකකට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ වනවිට රෝගාතුරව රෝහල්ගත කර සිටිති. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් සිය මතය ජනාධිපතිවරයා වෙත  මීට පෙර ලිඛිතව දන්වා තිබූ අතර තවත් නිකාය කිහිපයකින්ම උන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවම  පිළිබඳව ජනාධිපතිවරයාට වාචිකව දැනුම්දීම් කර ඇති බව වාර්තාවේ.

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ රටට ඉතා අත්‍යවශ්‍ය භික්ෂුන් වහන්සේ නමක් බවත් ඒ  නිසා එලඹෙන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමග තමා මේ පිළිබඳව කතා  කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවැසීය.

  • ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි

    ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නියෝග කළේය. 

    තංගල්ල වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.

    තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්‌මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යෑයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක්‌ සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක්‌ සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්‌ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්‌ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි භද්‍රd උදුලාවතී කමලදාස ඇතුළු හත් දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කොට තිබුණි.

  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබුවා. ඒ, මැදමුලන ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 81.3ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් 06දෙනෙකුට මෙම චෝදනාව යටතේ නීතිපතිවරයා අද නඩු පැවරූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
    මෙය මහා පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩුකටයුතු විභාග කිරීමට ඉකුත් දා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් වූ දෙවන නඩුව වනවා. එම නඩුව සැප්තැම්බර් මස 10වන දින යළි කැඳවීමට නියමිතයි. 
    එදින විත්තිකරුට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීමට නියමිතයි. 
  • ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි

    ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි

    ජපානය ගතවූ මාස 3 තුළ තල්මසුන් 177 ක්‌ දඩයම් කර ඇත.
     
     මාස තුනක්‌ තිස්‌සේ ශාන්තිකර සාගරයේ වයඹදිග මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නැව් දෙකක්‌ මෙම තල්මසුන් අල්ලාගෙන තිබේ.
     
     ජපානය විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන් ගතවූ වසර කීපය තුළ තල්මසුන් විශාල සංඛ්‍යාවක්‌ අල්ලාගෙන ඇත. මෙම තල්මසුන්ගේ මස්‌ ජපානයේ අවන්හල් තුළ අලෙවි කෙරේ. ජපානයේ මේ ක්‍රියාව සත්ව අවිහිංසාවාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌ වී ඇත.
     
     මෙයට පෙර ගැබිනි තල්මසුන් රැසක්‌ මරා දැමූ බවට ජපානයට චෝදනා එල්ල විය. මේ අතර ජාත්‍යන්තර තල්මසුන් පිළිබඳ කොමිසම පැවසුවේ ජපානය නිශ්චිත ලෙස තල්මසුන් කොපමණ සංඛ්‍යාවක්‌ අල්ලා ගත්තේ ද යන්න ගැන විමර්ශනයක්‌ කරන බවයි.

  • නව මහාධිකරණයේ පළමු නඩුව කැඳවමින් දුන් නියෝග

    නව මහාධිකරණයේ පළමු නඩුව කැඳවමින් දුන් නියෝග

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට අද (24) මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙනු ලැබුවා. 
    ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද නියෝග කළා.
    ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.
    ඒ අනුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයේ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඩුල්ල නියෝග කළා.
    විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
    විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද අධිකරණ පොලිස් නිළධාරීන්ට නියෝග කළා. පැමිණිලි පාර්ශ්වයේ ලේඛන සතියක් ඇතුළත විත්ති පාර්ශ්වය වෙත භාර දීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන පරිශීලනය කොට දෙපාර්ශ්වයේ සැලකිරීම් සඳහා නඩුව සැප්තැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට මහාධිකරණය අද නියෝග කළා. 
    විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත , මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරැදි සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබෙනවා.
    විත්තිකරුවන් විසින් මෙම අපරාධය 2014 වර්ෂයේ පෙබරවාරි මස 01 වැනි දා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දා අතර කාලය තුළ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා

    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීතිරීති කිසිඳු
    පැකිළීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
    යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සාහයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
    ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම්වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12ක ප්‍රමාණයද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසීය.
    තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට  අයත් ඉඩම් ඉදිරි සති 2 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවටද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
    සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමූ මි‍ලේච්ඡ ත්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බවද කියා සිටියේය.
    පශ්චාත් යුද සමයේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනාවලින් ද රට නිදහස්කර ගැනීමට වත්මන් රජය ඉකුත් වසර 3 තුළ කැපවීමෙන් කටයුතු කළේ රටට ලැබුණු නිදහස සැබෑ නිදහසක් කර ගැනීමට බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර අඩපණ වූ සංවර්ධනය යථාවත් කරමින් එම ජනතාවගේ සංවර්ධන අයිතිවාසිකම් දිනාදීමටද රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
    ඒ වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කර තිබෙන අතර එය නිරන්තරයෙන් රැස් වෙමින් ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කිසිදු ජනාධිපතිවරයෙක් තමන් තරම් උතුරේ සංචාරය කර නොමැති බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමට බව කියා සිටියේය.
    උතුරු ඇතුළු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාරගතව සිටියදීද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකලීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
    සමරු ඵලකය නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
    මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පුද කරමින් සමරු තිළිණියක් පිළිගැන්වීමද සිදුකෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතාබහකද නිරත විය.
    අමාත්‍ය විජිත් විජතමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා ඩී. සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ

  • ඇමැති නාවින්නගේ විෂයක් ජනපති පවරා ගනී

    ඇමැති නාවින්නගේ විෂයක් ජනපති පවරා ගනී

    රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත.මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහතා දරන ඇමැති ධුරය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැවැරෙනු ඇත.

  • කසිප්පු අල්ලන්න යද්දී ජාවාරම්කරුගේ බිරිඳ කොස්‌තාපල්ට පහරදීලා

    කසිප්පු අල්ලන්න යද්දී ජාවාරම්කරුගේ බිරිඳ කොස්‌තාපල්ට පහරදීලා

    මරදන්කඩවල ගනේවල්පොළ කටුවැව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (22) සවස එහි ගිය කැකිරාව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් සැකකරු නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන කොස්‌තාපල්වරයකු භාරයට පත් කොට තවදුරටත් නීති විරෝධී මත්පැන් ඇත්ද යන්න සෙසු පොලිස්‌ නිලධාරීන් පිරිස සොයමින් සිටියදී මත්පැන් ජාවාරම්කරුගේ බිරිඳ විසින් කොස්‌තාපල්වරයාට සාපරාධී බලහත්කාරය පා සැකකරු මුදා ගැනීමෙන් පසු සැකකරු ඉරන ලද කොටයක පිට පලු ලෑල්ලකින් පහරදී පළා යැමට උත්සාහ කිරීමේදී සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
     
     එම අවස්‌ථාවේ මත්පැන් ජාවාරම්කරු එල්ල කළ පිට පලු ලෑලි ප්‍රහාරයෙන් පොලිස්‌ කොස්‌තාපල් නාමල් මහතාගේ ( 56584) අතක මැණික්‌ කටුව ප්‍රදේශයේ ඇති වූ තුවාල හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කොට ඇත.
     
     පෙරේදා (22) සවස 3.40 ට පමණ කැකිරාව පොලිස්‌ ස්‌ථානයේ උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු ඇතුළු නිලධාරීන් මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ මෙම සිද්ධිය වී තිබේ.
     
     මත්පැන් ජාවාරම්කරු විසින් නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පා පහරදීම යන චෝදනාව යටතේ සහ ඔහුගේ බිරිඳ රාජ්‍ය නිලධාරියකු හට සාපරාධී බලහත්කාරය පා පොලිස්‌ නිලධාරියකු භාරයේ නිත්‍යානුකූලව අත්අඩංගුවේ සිටි සැකකරුවකු අත්අඩංගුවෙන් මුදා ගෙන සැකකරුට පළා යැමට ආධාර කිරීම යන චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
     
     

  • තණකොළ කපන මැෂිමට කැපුණු පිඹුරාට සැත්කමක්‌

    තණකොළ කපන මැෂිමට කැපුණු පිඹුරාට සැත්කමක්‌

    ගාල්ල බටපොළ ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයකට හසුවීමෙන් බරපතළ ලෙස කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත. සැත්කමින් පසු මෙම පිඹුරා හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටියි.
     
     තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇති අතර පිඹුරාගේ උදරයට ඉහළින් කැපුම් තුවාල තුනක්‌ තිබූ බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි. 
     
     මෙම මස 08 වැනි දින පිඹුරා ගාල්ල වනජීවී කාර්යාලය මගින් හියාරේ සත්ව රෝහලට රැගෙනවිත් භාරදී තිබිණි. සත්ව රෝහල වනජීවී සංරක්‌ෂණ සංගමය මගින් පාලනය වන අතර බරපතළ කැපුම් තුවාල ලැබූ පිඹුරා පංශු වෛද්‍ය නිලධාරියකු ලවා සැත්කමකට භාජනය කිරීමට කටයුතු කරනු ලැබීය. පිඹුරාට විනාඩි 45 ක පමණ සැත්කමක්‌ පංශු වෛද්‍ය නිලධාරිවරයා විසින් කළ බැව් වනජීවී සංරක්‌ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරි සිසිර ජයසිංහ මහතා පවසයි.

  • 2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට

    2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට

    පසුගිය 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    ඒ අනුව සිසුන් අට දහසක්‌ පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය. සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැසට්‌ නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ.

    දැනට පවතින ගුරු අවශ්‍යතාව සහ උසස්‌ පෙළ විභාගයෙන් පසු විද්‍යාපීඨවලට ඇතුළත් වීම සඳහා දීර්ඝ කාලයක්‌ ගතවීම යන කරුණු සලකා බලා කණ්‌ඩායම් දෙකම එකවර ගැනීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

    සිසුන් අට දහසකට අධ්‍යයන කටයුතු කිරීම සඳහා විද්‍යාපීඨවල අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    අධ්‍යාපන විද්‍යාපීඨ නව කථිකාචාර්ය තනතුරු 314 ක්‌ සඳහා අමාත්‍යාංශ පත්වීම් ලබාදුන් අතර තවත් ඉතිරිව පවතින කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

  • කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක්‌ දිසාපතිට භාරදෙයි

    කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක්‌ දිසාපතිට භාරදෙයි

    යාපනයේ කන්කසන්තුරේ අධි ආරක්‍ෂිත කලාපයට හසුව තිබූ ඉඩම් අක්‌කර 4.2 ක ප්‍රමාණයක්‌ 21 වැනිදා නිදහස්‌ කොට යුද හමුදාව විසින් දිසාපතිවරයා වෙත භාරදී තිබේ.

    යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී ඉඩම් සම්බන්ධයෙන් වූ නිල ලියවිලි භාරදීම සිදුකෙරිණි.

    යුද්ධය හේතුවෙන් අවතැන් කඳවුරු තුළ හා වෙනත් ස්‌ථානයක වසර 30 කට වැඩි කාලයක්‌ පදිංචිව සිටි ජනතාවට අයත් ඡේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම සිදුකෙරිණි.

    යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතා විසින් යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබීය.

    මෙම වැඩසටහන් අවස්‌ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා සමග අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. මුරලිදරන් මහතා එස්‌. ශ්‍රීවාශ්‍රී මහතා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

  • මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ඇරැඹෙයි

    මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ඇරැඹෙයි

    මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්‌ථානයෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්‌ථානයේ කැණීම් කටයුතු නැවත 21 වැනිදා ආරම්භ කළ බව පරීක්‍ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්‌. රාජපක්‍ෂ මහතා පැවැසීය.

    සමූහ මිනීවළ කැණීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර 56 වැනි දිනට 21 වැනිදා නැවත කැණීම් කටයුතු සිදුකෙරිණි.

    අදාළ සමූහ මිනීවළ කැණීම තුළින් මේ දක්‌වා මිනිස්‌ සිරුරු 66 කට අදාළ අස්‌ථි කොටස්‌ හමුවී ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්‌. රාජපක්‍ෂ මහතා පැවැසීය.

    ඔහු පැවැසුවේ සොයාගත් අස්‌ථි කොටස්‌වලින් මිනිස්‌ සිරුරු 40 කට අදාළ කොටස්‌ කැණීම් මගින් ඉවත්කර ගැනීමට හැකිවී ඇති බවයි.

    කැණීම් මගින් ඉවත් කළ සිරුරු කොටස්‌ මුද්‍රd තබා මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    මුලින් පස්‌ ඉවත් කළ කොටසේ අස්‌ථි සෙවීමේ කටයුතු මේ වන විට මතුකරගෙන පවතින අතර අදාළ ස්‌ථානයට එපිටින් වන අනෙකුත් ස්‌ථාන කැණීම් පරීක්‍ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවැසීය. මන්නාරාම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස්‌ රැගෙන ගොස්‌ තිබිණි. ඒ අනුව මන්නාරාම එමිල් නගර් ප්‍රදේශයේ පස්‌ ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්‌ථි කොටස්‌ තොගයක්‌ හමුවීමෙන් අනතුරුව අදාළ ස්‌ථානය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුණි.

    මන්නාරම පොලිසිය අදාළ ස්‌ථානය සම්බන්ධයෙන් මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ජී. ඇලෙක්‌ස්‌රාජාගේ නියෝග යටතේ අදාළ ස්‌ථානයේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

    පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 56 ක කාලයක්‌ අදාළ ස්‌ථානයේ මේ වන විට පරීක්‍ෂණ පවත්වා ඇති අතර එහිදී මිනිස්‌ සිරුරු 66 කට අදාළ හිස්‌ කබල් කොටස්‌ හා තවත් අස්‌ථි කොටස්‌ සොයාගෙන ඇති බව මන්නාරාම පොලිස්‌ නිලධාරීහු පැවැසූහ. කැලණිය විශ්විවද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාඡ් සෝමදේව මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවැති ස්‌ථානයෙන් හමුවූ මිනිස්‌ අස්‌ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක්‌ මෙතෙක්‌ සිදුකොට නොමැති බවයි.

    අදාළ අස්‌ථි කොටස්‌ හමුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමේදී එක්‌ කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්‌ථි කොටස්‌ පවතින බවත් තවත් ස්‌ථානයක හමුවූ අස්‌ථි කොටස්‌ අක්‍රමවත් ආකාරයට තිබෙන බව නිරීක්‍ෂණයවූ බවත් හෙතෙම සඳහන් කළේය.

  • උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන සිසුවියට අතවර කල මන්තී‍්‍ර සහ මිතුරකු අත්අඩංගුවට

    උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන සිසුවියට අතවර කල මන්තී‍්‍ර සහ මිතුරකු අත්අඩංගුවට

    මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට නිවසට යමින් සිටි මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක පැහැර ගෙන ගොස් අතවර කළ බව කියන උතුරු පළාතේ යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සහ ඔහුගේ මිතුරකු පුදුකුඩිඉරිප්පු පොලිසිය මගින් ඊයේ (22 ) අත්අඩංගුවට ගෙන ඇත. මෙම යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සිසුවිය පැහැර ගෙන ගොස් ඇත්තේ පලෙයි පිහිටි ඔහුගේ නිවසටය.

    සැකකරු කාලයක්‌ මෙම සිසුවිය සමග පෙම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර පසුව සිසුවිය ඔහු අත්හැර ඇති බව පොලිසිය කියයි. ප්‍රේමය බිඳ වැටීමේ පලිය ගැනීමට තරුණයා මෙසේ සිසුවියට අතවර කර ඇති බවට පොලිසිය සැක කරයි.

    දැරිය පැහැරගෙන යැමට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඔහුගේ මිතුරන් හය දෙනකු පමණ සහාය දී ඇතැයිද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

  • ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි

    ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි

    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා අවම වයස් සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (21) පවසා තිබේ. සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පවසා තිබේ. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන්ට අවම වයස අවුරුදු 35 ක්, උපරිම වයස අවුරුදු 70 ක් බව සඳහන් කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මීට පෙර ගැසට් නිවේදනයක් පළකර තිබුණි.

    අදාළ නීතිය බලාත්මක කරන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දිනයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

    මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවයි.

    මේ අතර ත්‍රිරෝද රථ නියාමනය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

  • යුද හමුදාව සතුව තිබූ කන්කසන්තුරේ ඉඩම් 30 වසරකට පසු මුදා හරී…

    යුද හමුදාව සතුව තිබූ කන්කසන්තුරේ ඉඩම් 30 වසරකට පසු මුදා හරී…

    යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් ඊයේ (21) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.

    යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු වූවේ යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙතට භාර දීම සිදු විය.

    කන්කසන්තුරෙ ජේ.234 ග්‍රාමසේවා වසමට අයත් ඉඩම් ප්‍රමාණය මෙසේ මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.

    යුද්දය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාල ඉඩම් කන්කසන්තුරෙයි අධිආරක්ෂිත කලාපයතක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය.

    ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ අවස්ථාවට යාපනය  අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස් .මුරලිදරන්, එස්.ශ්‍රීවශ්‍රී ඇතුලු සාමාන්‍ය වැසියන් පිරිසක් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

  • ශ්‍රී ලංකන්-මිහින් ලංකා කොමිසමට ගෝඨා , සජින්, නිශාන්ත සහ කපිලට නොතීසි

    ශ්‍රී ලංකන්-මිහින් ලංකා කොමිසමට ගෝඨා , සජින්, නිශාන්ත සහ කපිලට නොතීසි

    ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
     
     මේ අනුව එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි මිහින් ලංකා ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගෝස්‌තු 29 දින කොමිසම හමුවට කැඳවා ඇත.
     
     සජින් වාස්‌ ගුණවර්ධන මහතා අගෝස්‌තු 24 දිනද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් අගෝස්‌තු 23 දිනද කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස කොමිසම විසින් දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.
     
     ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාද මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු විය. එම දෙදෙනාට අමතරව ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා (හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්) සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුද මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඇතුළත් විය.
     
     සමාගම් රෙජිස්‌ට්‍රාර් ජනරාල් නිහාල් රන්ජන් සිරිවර්ධන මහතා ඉකුත් ජුනි 12 දින කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ සහ සජින් ද වාස්‌ ගුණවර්ධන යන මහත්වරුන් මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේය. එසේම එම මුල් අධ්‍යක්‍ෂවරු පත් කිරීම සඳහා රජයේ අනුමත ලේඛනයක්‌ සමාගම් රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ඉදිරිපත්ව නොතිබූ බවද සමාගම් රෙජිස්‌ට්‍රාර්වරයා කොමිසම හමුවේ පිළිගත්තේය.
     
     ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පත් කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද කොමිසමේ අවධානයට ලක්‌ විය.
     
     එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ගණනාවකගේම සාක්‍ෂි මගින් එම සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ නම් කොමිසම හමුවේ සාක්‍ෂි මඟින් හෙළිදරව් විය.