Tag: breaking post

  • අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක

    අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක

    රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

    මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

    අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තල රාජ්‍ය සේවයේ එම් දෙක (M2) වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද අදාළ දුම්රිය වෘත්තීය සමිති ඉහත ඉල්ලීම මුල්කර ගනිමින් දින 7 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

    ඉන්පසු කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ ඉහත ඉල්ලීම විසඳීම සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එම කමිටුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කරමින් ඉහත දුම්රිය සේවකයන්ගේ වැටුප් තල වෙනස් කිරීමට එකඟතාව පළකර තිබුණි. එම ‍පොරොන්දුව මත දුම්රිය සේවකයන් දින 7 ක අඛණ්ඩ වර්ජනය අතහැර දැමීය.

    කෙසේ වෙතත් අදාළ අනුකමිටුව දුම්රිය සේවකයන් වෙත ලබාදුන් එකඟතාව මාස 8 ක කාලයක් ගතව ඇතත් මතෛක් ඉටුකර නොමැති අතර  මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර නොමැති බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

    ආණ්ඩුව අදාළ එකඟතාව මතෛක් ඉටු නොකිරීමට එරෙහිව සහ සිය වැටුප් තලය ලබාගැනීම වෙනුවෙන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය

  • දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

    දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

    බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

    තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

    මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.

    පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ අධිකාරි තිස්‌ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

  • උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි.
    අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ.ඒ, සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි.
    මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළයුතු වේ.
    අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326කි.
  • එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්

    එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්

    එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක (අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා) පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 
    වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායි හි ඇති කොන්සල්ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.
    ශ්‍රී ලාංකිකයින් 125,000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට සේවය කරමින් සිටී.
    වාර්ෂිකව එක්සත් අරාබී එමීර් රාජයේ සේවය සදහා 30,000කට ආසන්න පිරිසක් මෙරටින් පිටත්ව යන බව ද එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.
  • නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි

    නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි

    ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී.

    ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ හදුනාගත් කලපු ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක කඩොලාන පැල 1000 කට වැඩි  ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා උතුරුනාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.  

     

    තවද, වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා භරණ ආයතනයේ බළ ප්‍රදේශයට අයත් මෝදර ගම් ආරුව ප්‍රදේශයේ කඩොලාන පැල රෝපණය කරන ලද අතර, ඒ සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා,  ශ්‍රි ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නාවික පුද්ගලයින්, මුල්ලිකුලම් රෝමානු කතෝලික පාසලේ ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රදේශ වාසි ධීවර ජනතාව සහ සංචාරක විදේශිකයින් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වුහ. තවද, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණ මුලස්ථානය, ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපණ්නී ආයතනය, ශ්‍රි ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ ශ්‍රි ලංකා නාවික නෞකා විජය යන ආයතන වලදී ලෝක කඩොලාන දිනයට සමගාමිව කඩොලාන පැල සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, වයඹ නාවික විධානය තුල කඩොලාන පැල 2170 ක ප්‍රමාණයක් රෝපණය කරන ලදී .

    ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල ලක්ෂයකට අධික ප්‍රමාණයක් රෝපණය කර ඇත.

  • රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට

    රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට

    දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ සිරිලක පාලන ව්‍යුහයට කනකොක් සුද පෙනෙන්නට ගන්නේ, කිතු වසින් 1505 න් පසුව සිට ය. එතැන් පටන් ලොව ප්‍රබල අධිරාජ්‍යවාදී රාජ්‍ය තන්ත්‍රයන් තුනකට යටත්ව සිටිය ද, එක හෙළා කනපිට හරවන්නට අසමත් වූ හෙළ ජන සංස්කෘතිය අසම්මතව වෙනස් කරන්නේ, ඒ අධිරාජ්‍යයන්ගේ දඬු අඬුවෙන් ගිලිහුණු පසු වීම ද විශේෂිත ය.

    අධිරාජ්‍යවාදීන්ගේ තෝන් ලණුව බුරුල්වෙත් ම, කෙවිට අතට ගන්නේ කලු සුද්දන් වීම තේරුම් ගත්තේ, එදා විසූවන්ගෙන් අතළොස්සකි. ඒ කලුසුදු පරම්පරාව ව්‍යසනයක් වන බව ග්‍රහණය කර නොගත් සමාජය ඊට ම නොදෙවෙනි සුදු වේට්ටි හා සුදු සාටක හැව දවටාගත් තවත් පරපුරකට තම උරුමය බන්දේසියක තබා පරිත්‍යාග කරන්නේ ය. බෙලහීන ගැන්වූ වාමවාදී කණ්ඩායමක ශේෂයන් සමඟ අතවැල් බැඳගත් තවත් රදළ නායකයින් පිරිසක් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආටෝපයෙන් එදා සමාජය නිර්වින්දනය කරන්නට සමත් වී ය.

    ලේ නොසොල්වා ලබාගත් නිදහස යැයි මොරදුන් විගඩම් බල පැවැරුමෙන් අනතුරුව, සිරිලක දේශපාලනය, නිරන්තරව ගිනි පුපුරු අළු යට සැඟ වූ දඩ බිමක් බවට පරිවර්තනය වී ය. රාජ නීතිය-රාජ අණ යටතේ, තිරස්චීනව දඬුවම් දුන් ක්‍රමය වෙනුවට, ජන සම්මතවාදයට යටත්තොට විනිවිද භාවයක් පෙන්වා මිනී මරණ අල්තාරයක හා පුදසුනක සිරිලක දේශපාලනය සතපවන්නට ඔවුන් සමත් වී ය. ඊට සාවධානිතව අනුගත වූ පිරිසක් සිරිලක ගම්බිම්වල ද විසූ බවට මෑතක් වනතුරු ම සාක්ෂි තිබුණි. මේ ඇතැමුන් කොතෙක් දුරට ඔවුනට යටහත් පහත්ව සිටියේ ද යත්, මහ රැජිනගේ පින්තූරයක් රාමු කොට ඉතා ගෞරවයෙන් නිවසේ ඉහළින් ම එල්ලා ගන්නට තරම් ඔවුන් නිහතමානී වී සිටියේ ය.

    කෙසේ වෙතත්, 70 දශකය ආරම්භ වෙත්ම, වාම නැඹුරුවකින් යුතු පක්ෂ කිහිපයක් සමඟ දක්ෂිණාංශික, එහෙත් සෙප්පඩවිජ්ජා සහිත පංචශික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගාගත් සමඟි පෙරමුණු රජය සාධනීය පියවර කිහිපයක් තබන්නට සමත් වී ය. රැජිනගේ ආණ්ඩුවට යටත්ව තව දුරටත් සිටීමට වූ නෛතික භාවය අවලංගු කර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම වැදගත් සේ සැලකිය හැකි පියවරකි. ඒ සමඟ ම පෑදි දිය බොර කරන්නට මාන බලමින් සිටි යැංකි ගැති එක්සත් ජාතික පක්ෂයේ එදා නායකත්වයට බල දේශපාලනයේ පිම්මක් පනින්නට උර දෙන දෙවසරක් ද නිර්මාණය කර දෙන්නට සමඟි පෙරමුණු රජය සමත්ව සිටියේ ය. සැබැවින් ම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ආශීර්වාදයක් වූ, සත් වසක සාපයක් ලෙස අරුත් ගැන් වූ පස් වසකට එක් වූ වසර දෙක අදටත් විවාදපන්න ය.

    පස්වසකට බලයට පැමිණ, ජනරජයේ සිට ගණන් බලා හෝ අරුත් ගන්වා හෝ සත්වසක් දක්වා ගෙවූ සමඟි පෙරමුණු රජයේ සමඟිය ඊට පෙර ම දෙදරා ගොස් තිබුණි. එක්සත් ජාතික පක්ෂය පරදා, 1970දී බලයට එන්නට ගොඩනගාගත් හා සාධනීය පියවර රැසක් රටට දැයට උරුම කර දුන්, වාමාංශික නැඹුරුවට හා සහයෝගීතාවට ඒ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පයින් ගසා තිබුණි. මේ සියල්ලේ වාසිය, කෛරාටික දේශපාලන නායකයෙක් වූ, ජූනියස් රිචඩ් ජයවර්ධන විසින් මනාව කළමනාකරණය කරගෙන තිබුණි. 21 වන සියවසේ 2018 වසරේ අප මේ ගෙවන කාල පරාසයේ, අහන්නට දකින්නට ලැබෙන දේශපාලන පළිගැනීම් හා මඩ ප්‍රචාරයන් ද මීට සමානව ම සිදු වී ය.

    මෙසේ වර්ධිත දේශපාලන මතය ඔස්සේ, ජේ. ආර්. ජයවර්ධන බලය ලබාගත් ආකාරය ඉතා සරලව මීට පෙර ලිපියකින් (කොලපාට සමාජයේ ගිය නුවණ ඇතුන් ලවා ඇද්දවිය හැකි නම්…) අපි සාකච්ඡා කළෙමු. එතරම් සටකපට වූ එක්සත් ජාතික පක්ෂය පසු කලෙක, තමන් විසින් ම කිරි පොවා ඇති දැඩි කළවුන්ගෙන් ම පරිභව හා දඬුවම් ලබමින් පරාජයන් රැසකට උරුම හරුමකම් කීවේ ය. අදටත් එහි වෙනසක් නැත. අවසානයේ අද වන විට ආනයනික පොදු අපේක්ෂක පිරුවටයෙන් ඔතා මිස, තමන්ට අගමැති හෝ ඇමති ධුරයක් ලබාගන්නට නොහැකි තැනකට ඇද වැටී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයට කරුමය මෙසේ පලදෙද්දී, පක්ෂය අභ්‍යන්තරයෙන් ම යළිත් කුණාටු කිහිපයකට මුහුණ දෙන්නට වන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. අසීරු හා දුෂ්ට ප්‍රතිවිපාකයන්ට මුහුණ දෙන අවස්ථාවක දී එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යම ශක්තිය දුන් ප්‍රබලයින් ඉවත්ව යෑමේ හා ඉවත්වන තැනට වැඩ සැලසීමේ අසම්මත ක්‍රමවේදයකින් ද එක්සත් ජාතික පක්ෂය මේ වන විට පීඩා විඳිමින් සිටී. පොදු අපේක්ෂක භූමිකාව දෙවන වර රඟදැක්වීමත් සමඟ ම, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පක්ෂය හැර යන තැනට වැඩ සිදු වී ය. කෙසේ හෝ බලය ඩැහැගැනීමෙන් අනතුරුව, දෙවසරක් එළැඹෙත් ම, ප්‍රබල ම අමාත්‍ය ධුරය වන මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක නිහඬ කොට තැබීමට සිදු වී ය.

    තිස්ස අත්තනායක ඉවත්ව යෑමෙන් ඇති වූ හිඩැස පුරවා ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. ඒ බව මේ ගෙවුණු වසර තුන තුල පක්ෂය අභ්‍යන්තරයේ වූ වෙනස්කම් සාධනීය නොවූ බව ප්‍රකට වීමෙන් ම පෙනී යයි.

    රවී කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයට තවමත් ඉතිරිව ඇති හොඳම අනාගත ආයෝජනයයි. ලිබරල් මතධාරීන්ට තෝතැන්නක් වන එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සංවර්ධනයට, ඊට ම සරිලන වෝහාරික සුදුසුකම් සපුරාලිය හැකි පුද්ගලයා වූ යේ ද රවී කරුණානායක ය. විශේෂයෙන් අග නගරය කේන්ද්‍ර කරගත්, ඉහල හා මධ්‍යම පාන්තික නියෝජනය ශක්තිමත් කළ හැකි යාන්ත්‍රණයක් සැකසීමේ හැකියාව පවතින පුද්ගලයා වූයේ ද රවී කරුණානායක ය.

    එක්සත් ජාතික පක්ෂය වැනි යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීමට සැපිරිය යුතු සියලු සුදුසුකම් රවී කරුණානායක සතු ය. එමෙන් ම ඔහු පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ද, අද දක්වා ද ඒ සියල්ල ජයගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත්, පක්ෂ අභ්‍යන්තරයේ ම වන බල අරගලය හමුවේ, කුමන්ත්‍රණකාරී වාතාවරණය සමහන් කරගැනීමට රවී කරුණානායක අසමත්වීම ඔහුගේ සතුරන්ට ජයක් අත්කර දී ඇත. එක්සත් ජාතික පක්ෂය පැත්තේ සිට බලන විට කනගාටුවට කරුණ නම්, දෙවැනි පෙළ නායකත්වයක් ද ප්‍රකට නොකරන ආස්ථානයක දී, දුෂ්කර අවස්ථාවක බර කරට ගත හැකි රවී වැන්නෙක් නිර්වින්දනය කොට තිබීම පක්ෂයට අභාග්‍යයක් බව ය.

    රවී කරුණානායක සහ තිස්ස අත්තනායක යන දෙදෙනාගේ ම වත්මන් භූමිකා දිනෙන් දින අලුත් වෙමින් තිබේ. දේශපාලනයේ ඇතුලාන්තය ට එබිකම් කරන්නන්ට මේ දෙදෙනා ගන්නට සූදානම් වන පියවර රහසක් නොවේ. එහෙත් දෙදෙනා ම ප්‍රකට කරන එක් ගුණයක් තිබේ. එනම් ඉවසීමයි. රවී ගේ ඉවසීම ඕනෑවටත් වඩා ය. තිස්සගේ රතු කට්ට පැන ගොස් පියවරක් ගෙන ඊළග පියවරට සූදානම් වෙමින් සිටී. මේ දෙදෙනාට ම පොදු තවත් ප්‍රබල සාධකයක් ද තිබේ. එනම් මේ දෙදෙනා ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ගජ මිතුරු කල්ලියේ සතුරන් වීම ඒ මහා පොදු සාධකයයි.

    වෙනස්වන ශ්‍රී ලාංකේය වත්මන් දේශපාලනයේ රවීගේ සුදුසුකම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ළං විය හැකි වීම ය. තිස්සගේ සුදුසුකම එක්සත් ජාතික පක්ෂයට රිදෙන්න යමක් කළ හැකි වීම ය. මේ දෙදෙනාගේ ම මේ අංශයේ පොදු සුදුසුකම ඉවසීම ඉක්මවා ගිය තැනක දී එක්සත් ජාතික පක්ෂයේ පළුවක් ගලවා දැමිය හැකි වීම ය.

    පවතින තත්ත්වය තුල මේ දෙදෙනා ම වැදගත් භූමිකාවකට හිමිකම් කීමට ඇති ඉඩ ප්‍රස්ථා බහුල ය. අපගේ ආරංචි මාර්ග වලට අනුව, තිස්ස අත්තනායක ඊ ලග පියවර තැබීමට සූදානම් ය. රවී කරුණානායක තවමත් “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන්න විශ්වාස කරමින් සිටින බවක් හැඟේ. එහෙත් මේ තත්ත්වයනට මුහුණ දීමේ අභියෝගය නිතැතින් ම ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය තුල ය. වත්මන් නායකත්වය තුල ය.

    සිවු වතාවක් අධිකරණය මගහැර සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තිස්සට සාධාරණයක් ඉටු කරනවා ද, සහ චෝදනාවක් එල්ල වූ පමණින් ඇමතිධුරයෙන් ඉවත්වන තැනට වැඩ සැලසූ රවී කරුණානායක යළි ඇමති ධුරයක පිහිටවනවා ද යන පැන ද්විත්වයට ම පිළිතුරු ඇත්තේ රනිල් වික්‍රමසිංහ අත ය. මේ අනුව, මේ දෙදෙනාගේ ම අනාගත ක්‍රියා මාර්ග වලින් එක්සත් ජාතික පක්ෂයට වන හානිය වලක්වා ගැනීමේ හැකියාව පවතින්නේ ද රනිල් වික්‍රමසිංහ අත ය. තව ද, යුක්තිගරුකව කළගුණ දත්තාගේ ප්‍රතිරුව ප්‍රකට කිරීමේ වගකීම ඇත්තේ ද රනිල් අත ය. ඒ අනුව, තීරණාත්මක පැයේ දී යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට අගාධය හිමිවීම වලක්වාලීමේ තීරකයා වන්නේ රනිල් ය.

    මේ අනුව, අතීතයේ ජේ. ආර්. මාමාගෙන් ලද පාඩම් උකසට ගෙනවත් කටයුතු කරනු ඇතිය යන විශ්වාසය සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයා පෙළන කාරණා අතර ඉහළින් ම තැබෙන්නේ, පෙර අප සඳහන් කළ දේශපාලන ඉතිහාසයේ සරදම් ද යළි ගලපා ගැනීමෙන් අනතුරුව ය. සාම්ප්‍රදායික යූඇන්පීකාරයා යනු එවැන්නෙකි. ඔහුට අවැසි පක්ෂ මිස වෙනකක් නොවේ ය.

    # සටහන : ජනිත් විපුලගුණ

  • මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

    මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

    මන්නාරමේ සතොස තොග ගබඩා සංකීර්ණයේ පිහිටි සමූහ මිනී වළේ කැණීම් කරගෙන යන පිරිස පෙරේදා (25) සවස වන විට මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ මතුකරගෙන තිබේ.
     
     මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කැණීම් කටයුතු භාරව සිටින අධිකරණ වෛද්‍ය නිලධාරි සමීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කියා සිටියේ දැනට හමුවූ මිනිස්‌ සිරුරු 53 කට අයත් අස්‌ථි කොටස්‌වලින් සිරුරු 34 කට අයත් සැකිලි ගොඩගෙන ඇති බවයි.
     
     සමූහ මිනී වළෙන් ගොඩ ගන්නා ලද මිනිස්‌ අස්‌ථි කොටස්‌ මුද්‍රා තබා මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාරදී ඇති අතර මතු කරගෙන ඇති අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් තවදුරටත් කැණීම් කටයුතු කරගෙන යයි. මුලින්ම මන්නාරම සතොස තොග ගබඩා සංකීර්ණයෙන් මිනිස්‌ අස්‌ථි කොටස්‌ හමුවූයේ පසුගිය මාර්තු 26 වැනිදාය.
     
     ඊට දින තුනකට පෙර මේ ස්‌ථානයෙන් පස්‌ රැගෙන ගොස්‌ මන්නාරමේ එමිල් නගරයේ ස්‌ථානයක ගොඩබාන ලද අවස්‌ථාවේ එම පස්‌ සමඟ මිනිස්‌ ඇට සැකිළිවල කොටස්‌ කීපයක්‌ හමුවී ඇත.
     
     එවකට මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ඒ. ජී. ඇලෙක්‌ස්‌ රාජා මහතාගේ නියෝගයකට අනුව සතොස ගබඩා සංකීර්ණය තුළ කැණීම් කටයුතු සිදුකෙරිණි.
     
     මන්නාරමට අලුතින් පැමිණි මහෙස්‌ත්‍රාත් ටී. ජී. ප්‍රභාකරන් මහතාගේ නියෝගය මත මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු පිළිබඳ මහාචාර්ය රා- සෝමදේව, අධිකරණ වෛද්‍ය නිලධාරී සමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම පොලිසියේ නිලධාරීන්ගේද රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සිදුකෙරේ.

  • පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා

    පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා

    මධ්‍යම සහ ඌව හැර සෙසු පළාත් සභා හතේ මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට හැකියාව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී පවසා ඇත.

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාද නැත්නම් නව ක්‍රමයට පවත්වනවාද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ලබන බදාදා (01) යළි පක්‍ෂ නායකයන් රැස්‌විය යුතු බවද අගමැතිවරයා මෙහිදී පක්‍ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

    කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

    ඉදිරි ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කුමන ක්‍රමයක්‌ යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

    උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ, උතුරු පළාත් සභාවන්හි නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසර මුල අවසන්වේ.

    එබැවින් එම පළාත් සභා හතෙහිම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතී.

    මධ්‍යම සහ ඌව පළාත් සභා දෙක හැර අනෙක්‌ පළාත් සභාවල ඡන්දය ලබන ජනවාරියේ පැවැත්වීමට හැකි බවද අගමැතිවරයා මෙහිදී පක්‍ෂ නායකයන්ට දන්වා ඇත.

    එම නිසා මේ සම්බන්ධව පක්‍ෂ නායකයන් තීරණයක්‌ ගත යුතු බවත් ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සහ පවත්වන කාලය සම්බන්ධව තීරණය කිරීමට ලබන බදාදා නැවත රැස්‌විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

    මෙම පක්‍ෂ නායක හමුවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි වී ඇති අතර, අනුර කුමාර දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්‌තාපා, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ඩග්ලස්‌ දේවානන්ද, රවුෆ් හකීම් යන මැති ඇමැතිවරුන්ද සහභාගි වී තිබේ.
     

  • 2017 සා/පෙ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන්ව ජනපති අගයයි

    2017 සා/පෙ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන්ව ජනපති අගයයි

    2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි.

    ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමළ ජනතාව වෙත තම සහෝදර භාෂා ප‍්‍රවිණතාව ලබාදීමෙන් සන්නිවේදන පරතරය අවම කරගැනීමත්, අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කරනු පිණිස “දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන් විදුලි වැඩසටහන ජනාධිපතිතුමා, ජනාධිපති පදවියට පත්ව වසර දෙකක් සම්පූර්ණවීමට සමගාමීව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි පළමුවැනිදා සිට ශ‍්‍රී ලාංකික ගුවන් විදුලි සේවා 09 ක් ඔස්සේ ප‍්‍රචාරය කිරීම අරඹන ලදී.

    “දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන් විදුලි වැඩසටහන, විශේෂයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස විෂය (සිංහල/දෙමළ) හදාරන සිසුන් ඉලක්ක කොට ගෙන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩසටනකි.

    ඉහත වැඩසටහන ප‍්‍රචාරය කිරීම ආරම්භ කිරීමෙන් පසුව අමාත්‍යාංශය මගින් සියලූම පාසල්වල විදුහල්පතිවරුන් හරහා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් එම වැඩසටහන ශ‍්‍රවණය කරන පාසල් 400ක් හදුනා ගැනීම සිදු කරන ලද අතර, එම පාසල් සිසු දරුවන් සඳහා අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස (සිංහල/දෙමළ) විෂය ඉලක්ක කොට ගෙන සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීම සිදු කරන ලදී.

    “දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න” ගුවන්විදුලි වැඩසටහන හා ඊට සමගාමීව පැවැත්වූ සම්මන්ත‍්‍රණ මාලාව ප‍්‍රයෝජනයට ගනිමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනි සිට ඒ හා බී සමාර්ථ ලබා ගත් සිසුන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳ දත්ත එක් රැුස් කිරීමක් සිදුකරන ලද අතර එහිදී අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනී සිට ඒ හා බී සමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් පාසල් 256 ක් හඳුනා ගන්නා ලදී.

    එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් ඇගයීම මෙහිදී සිදු කෙරිණි.

    සිසුන් 4000 කට සම්මාන පිරිනැමීම සංකේතවත් කරමින් දිවයිනම ආවරණය වන පරිදි සිසුන් දහ දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    විදුහල්පතිවරුන්, ගුරවරුන් සහ ,දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න, ගුවන්විදුලි වැඩසටහන නිර්මාණය කළ පිරිස් ද ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් කෙරිණි.

    අමාත්‍ය මනෝ ගනේෂන්, අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සෙයිද් අලි සාහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඊ. සර්වනභවන්, මූඛර්ජ් රහුමාන්, වේලූකුමාර් යන මහත්වරුන් සහ ජාතික ඒකබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ගුවන් යානයේ අසුන්ගෙන සිටි උඩුවේ හිමියන්ව යානයෙන් ඉවත් කරයි

    ගුවන් යානයේ අසුන්ගෙන සිටි උඩුවේ හිමියන්ව යානයෙන් ඉවත් කරයි

    උඩුවේ ධම්මාලෝක හිමියන්  ‘මස්කට් නුවර හරහා ලන්ඩන්  බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.
     
    උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , විදෙස්ගත වීම සඳහා සියලු පරීක්ෂණ නිමවා උදෑසන 9.40 ට මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 376 දරණ ගුවන් යානයට වැඩමවා අසුන් ගෙන සිටියේය .
     
    නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට  එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බැවින්  ආගමන – විගමන පාලක නිහාල් රණසිංහ මහතාගේ නියෝගයක් මත  එලෙස  ගුවන් යානායෙන් බැස්සවීමට සිදු වු බව ආගමන විගමන නිලධාරීන් සඳහන් කළේය.
     

    උඩුවේ හිමියන්ට එරෙහිව  පවතින ගුවන් ගමන් තහනම  මෙම අගොස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද , එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය

  • ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…

    ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…

    රාජපක්‌ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
     
     මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.
     
     රාජපක්‌ෂ පවුලේ අයගේ නම්වලින් ඩුබායි බැංකු ගිණුම් තුනක ඩොලර් මිලියන 1086 ක්‌ හා තවත් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක්‌ ඇති බවද ඔවුන්ට හිතවත් හිටපු ලේකම්වරයකුගේ හා සභාපතිවරයකුගේ හවුල් ගිණුමක ඩොලර් මිලියන 1800 ක්‌ ඇති බවට සියලු තොරතුරු ලැබී ඇතැයිද සේනාරත්න මහතා කීය.
     
     එමෙන්ම ඔවුන්ගේ හොංකොං හා සිංගප්පූරු බැංකු ගිණුම්වල තොරතුරු ද ලබාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය. 
     
     එම මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු කටයුත්තක්‌ වන නමුත් එම මෙහෙයුම දැනට ක්‍රියාත්මක කර ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

  • ජනපති මැදිහත් වේ.. අධ්‍යාපනයේ වැඩ වර්ජනය නවතයි…

    ජනපති මැදිහත් වේ.. අධ්‍යාපනයේ වැඩ වර්ජනය නවතයි…

    දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූවා යෑයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබාදීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළේය.
     
     මෙම තීරණයත් සමඟම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද  පැවැත්වීමට සැලසුම් කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අත්හිටුවීමට එම වෘත්තීය සමිති නායකයෝ තීරණය කළහ.

  • අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර  ගැනීම විශාල ප්‍රශ්නයක්

    අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම විශාල ප්‍රශ්නයක්

    අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර  ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 

    ශ්‍රී ලංකාවේ  බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකාව ප‍්‍රශ්නවලට මුහුණ පා ඇති බවත් ඒ ඒ රටවල ආගමන නීති මෙන්ම වීසා නීති හා නේවාසික නීති ද මෙහි දී විශේෂයෙන් බලපාන බවත් මෙකී දූෂිතයින් සොයා ගැනීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් නොහැකිවීම  නිසා රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරිවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.  

    ජාතික වශයෙන් අල්ලසට දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කරන අතරම අන්තර් ජාතික නීතිරීති ද ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කී අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ අද (25) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ වූ ජකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 

    සහයෝගය නොලැබීම නිසා අපිට අපේ රටේ දුෂණයට විරුද්ධව ගෙන යන සටනේ දී අපි සැමවිටම ජාතික වශයෙන් ඒ කටයුතු ශක්තිමත් කරවනවා වගේම අන්තර් ජාතික වශයෙන් මේ සටනට එකතු වී සිටින රටවල් සමඟ එකට බැදී කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දකිනවා. 

    දූෂණ විරෝධී සටනේ දී අන්තර් ජාතික නීතිරීතිවල අඩුපාඩු රාශියක් අපි දකිනවා. බරපතල දුෂිතයින්, අපරාධකරුවන් සොයා ගැනීමේ දී ඒවා බලපා තිබෙනවා. අපේ රටෙන් උදාහරණ ගත්තොත් බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටිනවා. අපේ අපරාධ පරික්ෂණ අංශ මේ අය අත්අඩංගුවට ගැනීමේ දී අපි බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල්වල සහය නොලැබීම නිසා මේ රටවල්වල සහයෝගය නොලැබීමේ දී ආගමන නීති වීසා නීති නේවාසික පුරවැසියන් ගැන නීති අපට බොහෝ අභියෝග වී තිබෙනවා. 

  • ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි…

    ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි…

    ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
    මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.
    මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වේ.
  • දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    ගාල්ල, අක්මීමන, නරාවල ප්‍රදේශයේ දී දින 28 පමණ වයසති ගව පැටවෙකු සමඟ ලිංගිකව හැසිරුනු පුද්ගලයෙකු පිළිබදව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

    නරාවල ප්‍රදේශයේ පදිංචි ගව හිමියකු විසින් ඊයේ (23) දිනයේදී මෙම පැමිණිල්ල සිදුකර ඇති ඇති අතර පසුගිය 16 දින සවස ගවයන් බැදීම සදහා ගව හිමියා ⁣ගොස් ඇති වටදී ගව පැටවෙකු නොමැති බව දැනගත් ඔහු කළ සොයා බැලීමේදී සත්වයා සමඟ සැකකරු ලිංගිකව හැසිරෙන අයුරු තමන් දුටු බවට ගව හිමියා පොලීසය හමුවේ පවසා ඇත.

    අනතුරුව ගව පට්ටි හිමිකරු සිදුකළ ⁣කෑගැසීමත් සමඟ සැකකරු දිව ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව ගව පට්ටි හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලේ සදහන් වන අතර සැකකාර පුද්ගලයා මීට පෙරද ගව පැටවුන් සමඟ මෙලෙස ලිංගිකව එක්ව ඇති බවයි වාර්තා වේ. 

    සැකකාර පුද්ගලයා නරාවල පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

  • ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

    ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

    කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 පිහිටි ලිපිනයේ මෙම සිතුවම් දෙක තිබී ඇති අතර එම වකවානුවේ එම ගොඩනැගිල්ලේ සිදුකළ  සංවර්ධන කටයුතු  හේතුවෙන්   එහි තිබූ භාණ්ඩ  තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී  මෙම සොරකම සිදුකර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.

    ‘‘මදර් ඇන් චයිල්‘‘   සිතුවම 1953 වසරේ  නිර්මාණය කර ඇති අතර  ‘‘වසන්ති‘‘ නැමති සිතුවම 1950  වසරේ දී සිතුවම් කර ඇත.

    සොරාගත් එම සිතුවම් දෙක පහත ඡායාරූපයෙන් දැක්වෙන අතර ඒ පිළිබඳ  සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වාණිජ විමර්ශන අංශයේ   011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.