Tag: COPE

  • විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිගේ ‘සුපිරි කෙළි’

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිගේ ‘සුපිරි කෙළි’

    ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය.

    මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවට වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපෙරොත්තු වන බවයි. මෙම අදහස් පල වූයේ විදේශසේවා නියුක්ති කාර්යංශය ඊයේ (18) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි.

    මෙයට අමතරව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් පවත්වාගෙන යන කුවේට් රටේ සේවා නියුක්තිකයන් සඳහා තමා සේවය කරන රටෙන්ම වන්දි ලබා ගැනීමට හැකි ලෙස ආරම්භ කර ඇති නව රක්ෂණ ක්‍රමය මගින් රක්ෂණ ප්‍රතිලාභීන්ට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි වන ප්‍රතිලාභයට වඩා ඉතා වැඩි ආදායමක් අදාල විදේශීය රක්ෂණ ආයතනයට හිමි වන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

    එහිදී එක් රක්ෂණ ලාභියෙක් වෙනුවෙන් ඔහුගේ විදේශ සේවායෝජකයා විසින්  කුවේට් ඩිනාර් 30ක මුදලක් ගෙවිය යුතු අතර ඉන් ඩිනාර් 02ක් පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට ගෙවිය යුත අතර තවත් ඩිනාර් 02ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ගෙවිය යුතුය. ඉතිරි ඩිනාර් 26ම හිමි වන්නේ රක්ෂණ සමාගමටයි. මේ අනුව මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වූ 2015 – 2018 කාග පරිච්ඡේදය තුළ විදේශ සේවායෝජකයින් විසින් සේවකයන් 36,827ක් වෙනුවෙන් රුපියල් 531,137,408ක මුදලක් ‍වාරික වශයෙන් ගෙවා ඇති අතර, පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට රුපියල් කෝටි 53(රුපියල් 35,409,000) ක මුදලක්ද ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට රුපියල් 35,409,000 ක මුදලක්ද ලැබී තිබේ. GIRI (Gulf Insurance and reinsurance) නම් රක්ෂණ ආයතනයට රුපියල් 460,319,408 ක මුදලක් ගෙවා ඇති අතර රක්ෂිතයන් වෙත ලැබී ඇති මුදල වන්නේ රුපියල් රුපියල් 21,802,475 ක මුදලක් පමණි.

    එම රක්ෂණ සමාගම වන GIRI (Gulf Insurance and reinsurance)නම් රක්ෂණ සමාගම තෝරා ගැනීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය පාරදෘෂ්‍ය නොවන බවත් විදේශීය රක්ෂණ සමාගම තෝරා ගැනීමට අදාල ප්‍රසම්පාදන ගොනු විගණනයට ඉදිරිපත් කර නොමැති නිසා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර අවම ලංසුව ඉදිරිපත් කළ රක්ෂණ සමාගම තොරා ගත් බවක් තහවුරු වී නොමැති බව විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. මෙහිදී කෝප් කමිටුවේ ප්‍රශ්න කර සිටියේ ඉදිරිපත් වූ ආයතන අතරින් KHF Takaful වැනි රක්ෂණ ආයතනයකින් කුවේට් ඩිනාර් 18ක් වැනි අඩු මුදලකට රක්ෂණාවරනය මිලදී ගත හැකිව තිබියදී වැඩි මුදලකට මිලදී ගත්තේ කුමන හේතුවක් මතද යන්නයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලබාදෙන වෘත්තීය දීමනා, වාර්ෂික රක්ෂණ දීමනා, ප්‍රසාද දීමනා, විශේෂ ප්‍රසාද දීමනා, ප්‍රවාහන දීමනා, ණය පොලී ප්‍රතිපූර්ණය කිරීම, වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය වැනි දීමනා වලට අමතරව භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව කාර්යංශය විසින් සකස් කරගත් නිර්නායක මත ක්‍රම 06ක් යටතේ කාර්යමණ්ඩල සඳහා දීමනා ගෙවීමට කටයුතු කර තිබීමද කෝප් කමිටුයේ අවධානයට යොමු විය. මේ අනුව එලෙස විධිමත් අනුමැතියකින් තොරව 2018 වර්ෂයේ ගෙවා ඇති මුදල රුපියල් 86,399,621කි.

    එමෙන්ම කුවේට් සහ කටාර් රාජ්‍යන් වෙත ශ්‍රමිකයන් යොමු කිරීමේදී අවශ්‍ය වී තිබූ පොලිස් නිශ්කාශන වාර්තා ව්‍යාජ ලෙස ලෙස ඉදිරිපත් කර තිබූ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී රත්නපුර පොලිස් ස්ථානයෙන් අස්ථානගත වී ඇති බවට වාර්තා වී තිබූ පොලිස් වාර්තා පොතකින් නිකුත් කරන ලද ව්‍යාජ පොලිස් නිෂ්කාශන සහතික 35ක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සහතික කොට විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර තිබීමද කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී.

    මෙම රැස්වීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයන් වන අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, ඩී,වී, චානක, රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගම යන ආයතන වල නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබිණි.

  • AIR BUSගනුදෙනුව ‘හොර පාරෙන්’ – COPE කමිටුවෙන් අනාවරණයක්

    AIR BUSගනුදෙනුව ‘හොර පාරෙන්’ – COPE කමිටුවෙන් අනාවරණයක්

    ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  (19)  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

    ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා ගිවිසුම  අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

    මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන්  ගුවන් සේවා සමාගම  ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම  අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු   ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව  සිය අප්‍රසාදය පළ කළේය.

    අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු  ඩොලර් මිලියන 375න්  ලංකා ඛණිජ  තෙල් සංස්ථාවේ ණය  පියවීම සඳහා ඩොලර් මිලියන 355.5ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බව  කමිටුවේදී අනාවරණය විය. ඒ අනුව,  ඇමරිකානු  එකසත් ජනපද ඩොලර් මිලියන 19.5 ආයතනය සතුව තිබියදී තිබියදී ඩොලර් බිලියන 2.8 වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීර්ණ වුයේ ඇයිද යන්න කමිටුව විසින් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

    අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම්  වෙනස් වීම් සිදු වුවද, මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට බැහැරව කටයුතු කල නොහැකි බව කමිටුව මෙහිදී අවධාරණය කල අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයා හට උපදෙස් ලබා දෙන ලදී.

    මෙම රැස්වීම සඳහා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී.පෙරේරා, අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

  • COPA – COPE කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්

    COPA – COPE කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්

    රජයේ ගිණුම් කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන  ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    අටවැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සැසිවාරය සදහා  පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එතුමා මේබව පැවසීය.මෙම වාර්තාවේ මහජන බැංකුව ,ලංකා විදුලිබල මණ්ඩලය,රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව , මහබැංකුව,සමාජ ආරක්ෂණ අරමුදල ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන දහයක කරුණු අන්තර්ගත වී තිබේ.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ කථානායකතුමාගේ මූලිකත්වයෙන් සියලු දෙනාගේ එකගත්වයෙන් කෝප් සහ  කෝපා වැනි කමිටු ජනමාධ්‍යයට විවෘත කිරීම පාරලිමේන්තුව ජනතාව අතර  ඇගයීමට ලක්වු ඉතා සාධනීය පියවරක් වන බවත් ඉන් නොනැවති එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම කමිටු තුළින් අනාවරණය වන කරුණු ඔස්සේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය.

    මෙම කමිටුවලට නීතිමය බලතල නොමැති වුවද නීති නිලධාරින්ගේ නිරීක්ෂණ මගින් මෙම කරුණු ඇසින් දුටු සාක්ෂි බවට පත්කර ගැනීමට හැකියාව ඇති බව එතුමා සදහන් කළේය.එබැවින් නීති නිළධාරින් මෙම කාරක සභා නිරීක්ෂණයට කැදවීම තුළින් නෛතික පියවර ගැනීම පහසු වන බවත් මේ පිළිබදව ජාත්‍යන්තර ආදර්ශ ලබා ගත හැකි බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.