Tag: features

  • ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

    ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

    2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත.

    2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

    පහත සඳහන් ක්ෂේත්‍රයන් මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙනු ඇත.

    • E-commerce Services
    • Cloud Computing
    • Software as a service (SaaS)
    • Cybersecurity Services
    • Digital Marketing & Advertising
    • IT support & Managed Services
    • Streaming Services
    • Fin Tech
    • Subscription & Membership Website
    • E-commerce Platforms
    • Social Media Platforms
    • On Demand Service Platforms
    • Content Sharing Platforms
    • Cloud Collaboration Platforms
    • Market Place Platforms
    • Gaming Platforms
    • Blockchain & NFT Platforms
    • Apps for hotel bookings and ticket reservations

    මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වනු ඇත.

     

  • ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

    ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි.

    44%ක නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

    අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    එසේම අමෙරිකානු රජය සමග සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරීම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

    පක්ෂ නායකයන් සමග පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කරගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී  තීරණය කර තිබේ.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එස්. රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් සහභාගි වූ ඒ. අර්චුනා යන මහත්වරුද අදහස් දක්වා තිබේ.