WeChat තහනමට ‘ඇමෙරිකානු අධිකරණයෙන් තහංචියක්

WeChat තහනමට ‘ඇමෙරිකානු අධිකරණයෙන් තහංචියක්
Spread the love

චීන පණිවිඩ යැවීම සහ ගෙවීම් යෙදුම වන WeChat තහනම් කිරීමට එක්සත් ජනපද රජය ගත් උත්සාහයක් එක්සත් ජනපද මහේස්ත්‍රාත් විනිසුරු ලෝරල් බීලර් (Laurel Beeler) විසින් අවහිර කර ඇත. විනිසුරු ලෝරල් බීලර් කියා සිටියේ මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට අදාළව බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි.

වාණිජ දෙපාර්තමේන්තුව ඉරිදා (20) සිට එක්සත් ජනපද යෙදුම් වෙළඳසැල්වල WeChat දර්ශනය වීම තහනම් කර ඇත. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි. ඔහු පවසන්නේ යෙදුමට පරිශීලක දත්ත චීන රජයට යැවිය හැකි බවයි.

WeChat සහ චීන රජය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. WeChat හි හිමිකාරීත්වය දරන ටෙන්සෙන්ට් (Tencent) සමාගම ‘එක්සත් ජනපද තහනම “අවාසනාවන්ත” යැයි මීට පෙර විස්තර කර තිබුණි.

මෙම තීන්දුව ලැබෙන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝගයේ නම් කර ඇති ටික්ටොක් එක්සත් ජනපද සමාගම් වන ඔරකල් සහ වෝල්මාර්ට් සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුවය.

උසාවියේදී සිදු වූයේ කුමක්ද?

එක්සත් ජනපද WeChat භාවිතා කරන්නන් පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අභියෝග කිරීමෙන් අනතුරුව මෙම නඩුව උසාවියට ​​පැමිණ තිබේ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කළේ විධායක නියෝගය අවහිර කිරීම “ජාතික ආරක්ෂාවට ඇති තර්ජනවලට මුහුණ දිය හැකි හොඳම ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය කළකිරීමට හා විස්ථාපනය කිරීමට මෙම පියවර මගින් හේතු නිර්මාණය වන බවයි”

කෙසේ වෙතත්, සැන් ෆ්රැන්සිස්කෝ හි විනිසුරු බීලර් සඳහන් කළේ, “චීනය හා සම්බන්ධ ජාතික ආරක්ෂාවට (තාක්ෂණය හා ජංගම තාක්‍ෂණය සම්බන්ධයෙන්) ඇති පොදු සාක්ෂි සැලකිය යුතු වුවත්, WeChat පිළිබඳ නිශ්චිත සාක්ෂි පැහැදිලි නැති බව’යි.

යෙදුම් තහනම් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය ඇයි?

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ ලේකම් විල්බර් රොස් කියා සිටියේ මෙම යෙදුම අවහිර කිරීමට තීරණය කර ඇත්තේ ‘චීනයේ ඇමරිකානු පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එක්රැස් කිරීමට එරෙහිව’ බවයි.

දෙපාර්තමේන්තුව පැවසුවේ WeChat “ජාල ක්‍රියාකාරකම්, ස්ථාන දත්ත, සහ ගවේෂණ හා සෙවුම් ඉතිහාසය ඇතුළුව පරිශීලකයින්ගෙන් විශාල දත්ත ප්‍රමාණයක් රැස් කර ගත්” බවයි.

‘අපි චීනය ගැන සතුටු නැහැ’ – එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

වාණිජ දෙපාර්තමේන්තුවේ සිකුරාදා ප්‍රකාශය වූයේ පාලක චීන කොමියුනිස්ට් පක්ෂය “ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය සහ එක්සත් ජනපදයේ ආර්ථිකයට තර්ජනයක් වන පරිදි මෙම යෙදුම් භාවිතා කිරීමේ මාධ්‍යයන් සහ අභිප්‍රායන් පෙන්නුම් කර ඇති” බවයි.

WeChat හි හිමිකාරීත්වය දරන ටෙන්සෙන්ට් පවසා ඇත්තේ ‘එහි යෙදුමේ පණිවිඩ පුද්ගලික’ බවයි.

යෙදුමකට වඩා

WeChat භාවිතා කරන්නේ එක්සත් ජනපදයේ මිලියන 20 කට ආසන්න ජනතාවක් වන අතර එය බොහෝ දුරට චීන හා ගිනිකොනදිග ආසියානු ඩයස්පෝරාව විසින් භාවිතා කරනු ලැබේ.

මිනිසුන්ගේ ජීවිතවල එය කෙතරම් වැදගත් ද යන්න විස්තර කිරීම දුෂ්කර ය. එය හුදෙක් යෙදුමක් පමණක් නොවේ, බොහෝ දෙනෙකුට WeChat ඔවුන්ගේ ජංගම දුරකථනය වේ. එය ඇමේසන්, ෆේස්බුක්, වට්ස්ඇප්, ටින්ඩර් සහ තවත් බොහෝ දේ එකකට පෙරළී ඇත.

එක් මැලේසියානු විදේශිකයෙක් BBC සමග පැවසුවේ යෙදුම අවහිර වුවහොත් ‘තමා අඬන’ බවයි.

ඇය වැඩි දුරටත් කියා සිටියේ ඇගේ පවුලේ අය තම මහලු මවට කතා කිරීම සදහා WeChat භාවිතා කරන බවයි. තහනම බලාත්මක වුවහොත් ඇය සමඟ සන්නිවේදනය කිරීමට නොහැකි වනු ඇති බවත්’ය.

සිත්ගන්නා කරුණ නම්, WeChat හි හිමිකරුවන්ගෙන් අප බොහෝ දේ අසා නැති වීමයි. ‘ටෙන්සෙන්ට්’ යනු ලොව විශාලතම ක්‍රීඩා සමාගම් වලින් එකක් වන අතර ඇමරිකාවේ විශාල වෙළඳපලක් ඇත. 

WeChat යනු කුමක්ද?

WeChat 2011 දී පිහිටුවන ලදි. එය පරිශීලකයින්ට පණිවිඩ යැවීමට, ජංගම ගෙවීම් කිරීමට සහ දේශීය සේවාවන් භාවිතා කිරීමට ඉඩ සලසන බහුකාර්ය යෙදුමකි. එය චීනයේ “සියල්ල සඳහා යෙදුමක් – app for everything ” ලෙස විස්තර කර ඇති අතර මාසිකව බිලියනයකට වඩා භාවිතා කරන්නන් සිටී.

සියලුම චීන සමාජ මාධ්‍ය වේදිකා මෙන්ම, WeChat විසින් රජය නීති විරෝධී යැයි සිතන අන්තර්ගතය වාරණය කළ යුතුය. මාර්තු මාසයේ දී නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ජනවාරි 1 වනදා සිට WeChat විසින් කොවිඞ් වෛරසය පැතිරීම පිළිබඳ ප්‍රධාන වචන වාරණය කරන බවයි.

නමුත් WeChat අවධාරණය කරන්නේ අන් අයට ඔබේ පණිවිඩ “සෝදිසි කර බැලීමට” නොහැකි බවත්, පෙළ, ශ්‍රව්‍ය සහ රූප වැනි අන්තර්ගතයන් එහි සේවාදායකයන්හි ගබඩා නොවන බවත්ය. (අපේක්ෂිත සියලුම ලබන්නන් ඒවා කියවූ පසු මකා දමනු ඇත)

2020 සැප්තැම්බර් 21 වැනි දින බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි

සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ