Category: සුපිරි Politics

  • පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය.

    ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට (15) එක් වෙමිනි.

    රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළ බව ද කියා සිටියේය.

    තෙල්දෙණිය නගරයේ තිබූ පැරණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වික්ටෝරියා ජලාශයට යට විය. අනතුරව තෙල්දෙණිය කරලියද්ද නව නගරයේ ඉදිකළ තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල ද මීට කලකට පෙර පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා කඩා ඉවත් කෙරිණි. මෙම ස්ථානයේම අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.

    තෙමහල් ගොඩනැඟිල්ලකින් සමන්විත මෙම තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වන අතර එමඟින් තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස් ස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි.

    තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක මෙතෙක් තාවකාලීකව පවත්වාගෙන ගිය අතර එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා පැමිණි මහජනතාවට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදු විය.

    සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    තෙල්දෙණිය නීතිඥ සංගමය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    නීතිඥයන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කර තිබෙනවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනීමට අප පසුගිය දෙවසර තුළ කටයුතු කළා. පැවති ඇතැම් පාර්ලිමේන්තු වසර 04ක්, 05ක් කටයුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමාණයක් සම්මත කරගෙන නැහැ. ආණ්ඩුවක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රීවරුන් ද නීති සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම නීති සම්මත කර ගනිමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා.

    ඒ වගේම නීතියේ ප්‍රමාදය පිළිබඳ අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි. එය අප ඉදිරියේ තිබෙන අභියෝගයක් බවද පැවසිය යුතුයි. නඩු ඇසීම කාර්යක්ෂමව සිදු කළ හැකි නම් තවත් නඩු ඉදිරිපත් වෙනවා.

    රට තුළ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කළයුතුයි. නීතිය අතට ගෙන දේපොළ විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් එතැන නීතියක් නැහැ. රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මතයි. රටක් ලෙස පිළිගැනීමක් ලැබෙන්නේ ද යුක්තිය පසිඳලීම සිදුවන විට පමණයි. එසේ නොමැති නම් රටේ දියුණුවක් සිදු නොවන අතර ආයෝජන ද අපේක්ෂා කළ නොහැකියි. එම නීති පද්ධතිය අප අද රට තුළ ඇති කර තිබෙනවා.

    ඒ වගේම මේ වන විට රට තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් තිබෙනවා. අප අපනයන පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ඇති කරනවා. ඒ වෙනුවෙන් නීති ගණනාවක් ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙනවා. ඉන් පළමු නීතිය වන මහ බැංකුව සඳහා වූ නීතිය මේ වන විට සම්මත වී තිබෙන අතර ඒ යටතේ මහ බැංකුවට ස්වාධීනත්වයක් ලැබී තිබෙනවා.

    ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ පනත අප දැන් ඉදිරිපත් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය දැඩිව අලාභ ලැබීම මෙරට ආර්ථිකය කඩා වැටීමට එක් හේතුවක් වුණා. එසේ නම් කාර්ක්ෂම විදුලිබල මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප පියවර ගත යුතුයි. එයින් රජයේ අයිතියට කිසිඳු හානියක් සිදු නොවන බව ද කිවයුතුයි.

    එසේම තවත් නීති කෙටුම්පත් තුනක් මේ වන විට රජය ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී අනුමත කර ගැනීමට කටයුතු කරනවා. ඒ යටතේ එන ණය පාලනය කිරීම අප මේ වන විටත් සිදු කරගෙන තිබෙනවා. මෙතෙක් ජාතික ණය පාලනයක් සිදු වුණේ නැහැ. අපේ ණය අඩු කර ගැනීමට නම් ණය පාලනය කළ යුතුයි. 2035 – 2040 වන විට 75%ක් දක්වා ණය පාලනයක් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ණය පාලන නීතිය අනුව රජයට කටයුතු කිරීමට සිදු වෙනවා.

    ඒ වගේම රජයේ මුදල් පාලනය සිදු වුණේ මුදල් රෙගුලාසි අනුවයි. මෙම මුදල් රෙගුලාසි උල්ළංඝණය කිරීමට හැකියාව තිබුණා. ඒ වගේම චක්‍ර ලේඛ සංශෝධනය කිරීමට ද හැකියාව තිබුණා. ඒ අනුව මෙතෙක් රටේ මුදල් පාලනයක් සිදු වුණේ නැහැ. අද රජයට අයත් දේපොළ පිළිබඳ කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම වෙනුවෙන් නීති ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම ආරම්භ කළේ නවසිලන්තයයි. ඉන්පසුව එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වගේම ඉන්දියාවත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි නවීනම නීතිය අප දැන් ඉදිරිපත් කර තිබෙනවා.

    අප ආනයන පදනම් කරගත් ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ආර්ථික පරිවර්තන නීති කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වු සියලු කොන්දේසි අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවට මින් පෙර මෙරටට චෝදනා එල්ල වුණා. නමුත් දැන් නීතියකින් එය ක්‍රියාත්මක වන නිසා එසේ කිරීමට හැකියාවක් නැහැ.

    අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. නැත්නම් අප අපේක්ෂා කරන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුනි මස පැවැත්වෙන රැස්වීමෙන් පසු මෙම නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා.‍

    ඒ වගේම ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණය කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා. ඇතැමුන් මෙම සාකච්ඡා අසාර්ථක බව කියනවා.

    ඒ වගේම තවත් අය කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. මෙවන් ප්‍රකාශ සිදු කළ විට ඊළඟ දවසේ කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. එවිට ඔවුන් කොටස් මිලදී ගන්නවා. එවන් තීරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ විට නැවත ඔවුන් වේදිකාවට නැගලා එයම ප්‍රකාශ කරනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.

    ඒ වගේම දුෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් මේ පිළිබඳ අප සමඟ සාකච්ඡා කළා. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඊට සංශෝධන එක් කර, එකඟතාව ප්‍රකාශ කිරීමෙන් පසු දැන් එම නව නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වන ප්‍රධාන නීති 04ක් තිබෙනවා.

    එහි පළමු වැන්න ලෙස අප 21 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඒ අනුව ඊට අදාළ කොමිසම ඇති කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනත 2023 වසරේ ගෙනැවිත් 2024 දී සංශෝධනය කළා.

    ඒ වගේම පරිපාලන කටයුතුවලදී මුදල් වැය කිරීමේ දී සිදුවන දුෂණ නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා නීතියට වඩා දියුණු ක්‍රමවේදයක් අවශ්‍යයි. එම ක්‍රමවේදය සකස් කිරීමට අපට දැනුම නොතිබීම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණද ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කරන ලද යෝජනාව අනුව සංශෝධනවලට යටත්ව රාජ්‍ය පරිපාලන විමර්ශන වාර්තාව සකස් කර තිබෙනවා.

    ඒ වගේම අපරාධයකින් උපයාගත් දේපොළ පනත සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කරගෙන යනවා. ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති දැන් තිබෙන්නේ ශ්‍රි ලංකාවෙයි. මෙමඟින් දේශපාලනයේ වෙනසක් සිදු කරනවා. මෙතෙක් කල් දූෂණය දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබුණා. බලයට ඇවිත් මාස දෙකෙන් හොරු අල්ලනවා කියා කිවුවත් එය සිදු වන්නේ නැහැ.

    ඒ වගේම ඇතැමුන් හොරු ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා නගනවා. ඒ අනුව හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන මේ ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙනවා. මෙම නීති ක්‍රියාත්මක කිරීමට පළපුරුද්දක් තිබිය යුතුයි. ඒ පළපුරුද්ද ලබා දීමට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි. එම වැඩපිළිවෙළ අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩකටයුතු වෙනුවෙන් අපට සහාය වීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා.

    ඒ අනුව මේ ආණ්ඩුව යටතේ පසුගිය දෙවසර තුළ අපි ප්‍රධාන කරුණු 03ක් ඉටු කර තිබෙනවා. යුක්ති පසිඳලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර තිබෙනවා. අනෙක් පසින් අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් නීති සම්මත කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම දුෂණ විරෝධි නීති සම්මත කර ගනිමින් සිටිනවා. මේ කටයුතු වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

  • පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

    පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.

  • පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.

    තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම විශ්‍රාමික පොලිස් නිලධාරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

  • ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

    ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

    අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

    මෙම අර්බුදය හටගෙන ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුද එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා බවද පැවසේ.

    කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන පාර්ශවය විසින් නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සලකමින් ඔහු වැඩ බලන සභාපති ධුරයට පත් කර තිබේ.

    නමුත් ඇති ව තිබෙන තත්ත්වය මත පක්ෂය ඉදිරි කටයුතු කරගෙන යාම අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

  • රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

    රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

    මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද ඊට සමගාමිව ඉහළ දැමීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

    ඩනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

  • යුක්තිය ඇල්ලූ සැකකරුවන් ලක්ෂය පනී…

    යුක්තිය ඇල්ලූ සැකකරුවන් ලක්ෂය පනී…

    යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 111074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    ඔවුන්ගෙන් සැකකරුවන් 4472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටියි.

    මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි…!

    ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි…!

    ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත.

    ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ ඇය එළවා දමා තිබේ.

    ඇය පන්නා දමමින් එහි සිටි පිරිස සඳහන් කරන්නේය අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.

    ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කර ඇත.

  • මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා..! සජිත්ගෙන් ප්‍රකාශයක්

    මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා..! සජිත්ගෙන් ප්‍රකාශයක්

    වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

    දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

  • පොලිස්පති කාර්යාලයේ සිට ඩයනා පොලිස් නිලධාරීන්ට තග දාලා..! ඕෂල හේරත් කියයි..!

    පොලිස්පති කාර්යාලයේ සිට ඩයනා පොලිස් නිලධාරීන්ට තග දාලා..! ඕෂල හේරත් කියයි..!

    ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්  මහතා පවසයි.

    ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් පොලිස්පතිගේ නිල කාර්යාලය වෙත ගෙන්වා ගනිමින් ඇය මෙලෙස බැණ වැදී ඇතැයිද ඔහු කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.

    ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම ඉදිරිපත් කලේද ඕෂල  හේරත් මහතාය.

  • ගුවන් තොටේ කෑ ගැසූ තරුණයාට එරෙහිව පියවර ගන්නවා..! ඇමති ටිරාන්

    ගුවන් තොටේ කෑ ගැසූ තරුණයාට එරෙහිව පියවර ගන්නවා..! ඇමති ටිරාන්

    පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇතිකළ පුද්ගලයා සම්බන්ධයෙන් හා එම සිදුවීම් පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

    අදාළ ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බවද පැවසූ අමාත්‍යවරයා වැඩි කොටස් ජර්මන් සමාගමක් සතු ජාත්‍යන්තර ආයතනයක් බවත් පැවසීය.

    අදාළ අවස්ථාවේ වීසා කවුන්ටරයේ සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු බවත් ඔවුන්ගේ නම් ගම් ද තමා සතුව ඇති බවත් අමාත්‍යවරයා කීය.

    මෙම නව ආයතනයට වීසා නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පියවර ගත නොහැකි බවත් ඊට පියවර ගනු ලබන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණක්ම බවත් එහිදී කියා සිටියේය.

    පසුගිය සතියේ මෙම සමාගම සම්බන්ධයෙන් විරෝධතා මතු වුවත් එම සමාගම ගුවන්තොටු‍පොළේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ අපේ‍්‍රල් 17 වැනිදා බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

  • මා වෙනුවෙන් සියළු දේශපාලන පක්‍ෂ පෙනී සිටින්න..- ගුවන් තොටේ කලහකල තරුණයා..

    මා වෙනුවෙන් සියළු දේශපාලන පක්‍ෂ පෙනී සිටින්න..- ගුවන් තොටේ කලහකල තරුණයා..

    තමන් වෙනුවෙන් පෙනී සිටින්නයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව කටුනායක ගුවන්තොටුපළේදී වීසා ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරි ලෙස හැසිරුණු සඳරු කුමාරසිංහ මහතා ඉල්ලා සිටී.

    එදින සිදුවීම ගැන කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    තම විවාහ අපේක්ෂිත තරුණිය රුසියානු ජාතික තරුණියක් බවත් ඇයගේ විසා ලබා ගැනීම සඳහා සිදුවූ ප්‍රමාදය ගැන විමසීමේදී ඇති වූ ආවේගය මත තමන් එම අදහස් පළ කළ බවද ඔහු පැවසීය.

  • හැට නව ලක්‍ෂය මටයි.. ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන්නෑ…- දිලිත්

    හැට නව ලක්‍ෂය මටයි.. ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන්නෑ…- දිලිත්

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.

    හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසයි.

    හැට නම ලක්ෂයක ඡන්ද පදනම කොල්ලකෑමට මුදලාලි කෙනෙකුට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ මතුගම නගරයේදී පැවති එම පක්ෂයේ ජන රැලියක් අමතමිනි.

  • විරෝධතා ගොනු කිරීමට ඇති කාලය අද අවසන්…! මැකෝගෙන් විශේෂ නිවේදනයක්

    විරෝධතා ගොනු කිරීමට ඇති කාලය අද අවසන්…! මැකෝගෙන් විශේෂ නිවේදනයක්

    2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය අද (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

    එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බව සභාපතිවරයා පැවසීය.

    ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ද ඒ සඳහා අයැදුම් කළ හැකිය.

    මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා (07) රැස්වීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.

    එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

  • ගෙවල් ගිනි තියන්න සල්ලි දුන්නේ රනිල්..! සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

    ගෙවල් ගිනි තියන්න සල්ලි දුන්නේ රනිල්..! සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

    ගෙවල් ගිනි තැබීම සඳහා මුදල් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

    එදා එළියට බහින්න බැරිව සිටි අයට නැවත එළියට බැසීමට හැකි තත්ත්වය ද උදා කළේ ජනාධිපතිවරයා විසින් බව බවද හෙතෙම පැවසීය.

    සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

  • පොහොට්ටුව අතහරී.. ලොහාන් ජනපති සමග එක්වේ..

    පොහොට්ටුව අතහරී.. ලොහාන් ජනපති සමග එක්වේ..

    ඉදිරි ජනාධිපතිවරණයකදී තම උපරිම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයාද සහභාගි වූ උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.

    ‘මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා.

    නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

    වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා.

    අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ.

    ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි’

  • ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි…

    ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි…

    ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

    එම වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14.4ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇති අතර, ඉකුත් මාර්තු මාසයේදී පමණක් ආනයනය කරන ලද පෞද්ගලික රථවාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.9කි.

    වාහනවලට අමතරව ජනවාරි සිට මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 102.6ක වටිනාකමකින් යුතු එළවළු (පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු) ආනයනය කර තිබේ.

    එමෙන්ම එම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8ක කුළුබඩු ආනයනය කර තිබේ.