‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
Spread the love

ගස් කපා දැමීම නිසා ඔක්ෂිජන් අඩුවන බව පැවසීම අසත්‍යයක් බවත් ගස් කපා දැමීම මගින් ඔක්සිජන් අඩු කළ නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අවධාරණයෙන් සදහන් කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ‘තිරසර සංවර්ධන සංවාදය‘ නම් වැඩසටහනේදීයි. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීම හා වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි ඔහු මේ පැහැදිලි කිරීම කළේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු කොළඹ ඔක්සිජන් අඩු වෙලා යැයි කියන කතාව දේශපාලන කතාවක් මිස විද්‍යාත්මක සත්‍යයක් නොවන බවයි ඔහු සදහන් කළේ.

මෙහිදී තම ස්ථාවර තව දුරටත් පැහැදිලි කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා, ‘‘ගස් කැපුවා කියලා ඔක්සිජන් අඩුවෙන්නේ නැහැ. මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණ කරලා තිබෙනවා. දැනට ලෝකයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය 0.7%කින් අඩු කරන්න පවා වසර මිලියන 8ක් පමණ ගත වෙන බවයි විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙන්නේ. සරල කිව්වොත් ගස් කපන නිසා හුස්ම නැති වෙනවා කියලා එක්තරා සංවිධානයක් කියනවා මම දැක්කා. නමුත් ඒක ඇත්තක් නොවෙයි.

තර්කානුකූලව හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්තශාලා ගණනක් තියෙන්නේ සහරාවල. මැදපෙරදිග රටවල කැලෑ නැහැ. ගස් නැහැ. කලාතුරකින් පාර මැද රටඉදි ගහක් නම් තියෙනවා. ඒ රටවල් වල ගස් නැහැ කියලා ඔක්සිජන් අඩුවෙලා නැහැනේ. ඒ රටවල්වල හොදට ඔක්සිජන් තියෙනවා. ඒ නිසා මේ ගැන තර්කානුකූලව බලන්න ඕනෑ.

මම ජනතාවට කියන්නේ කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවෙලා නැහැ. ලෝකය පුරා තිබෙන ඔක්සිජන් එහෙ මෙහෙ ගමන් කරනවා. ඒක සංකීර්ණ රටාවක්. ජාත්‍යන්තර සංවිධාන අපේ වනාන්තර රැකබලා ගන්න මේ තරම් උනන්දු වෙන්නේ ඒක මුළු ලෝකයටම බලපාන කරුණක් නිසා. ලෝකයේ වැඩියෙන්ම වන විනාශයක් සිදුවෙලා තිබෙන්නේ නයිල් නදිය ආශ්‍රිතව. ඒක නම් මුළු ලෝකයටම බලපානවා‘‘