මම දේශපාලනයට එනවා – විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා

මම දේශපාලනයට එනවා – විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා
Spread the love

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

කාන්තාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේ දී දේශපාලන කටයුතු වලට ද දායකත්වය දක්වන බව ද ඇය වැඩි වැඩි දුරටත් සදහන් කළාය.

මේ අතර අදාළ සිදුවීම ගැන තම ෆෙස්බුක් ගිනුමේ සටහනක් තබමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙසේ සදහන් කළාය.

පුෂ්පිකා ද සිල්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇත:

“මම දික්කසාද ගැහැණියක් නොවෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.”

“මේ තරගාවලිය ආරම්භයේදීම මා ඊට නුසුදුසු නම්, මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරග ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නොවේ.”

“මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුළ පැලඳුවෙමි. ඒ මොහොතේම මම ලංකාවේත් ලෝකයේත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.”

“ඉතින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.”

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි!!!”

“කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ,” 

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.

ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත කිරුළ පැළද වූ බව කී චන්දිමාල් ජයසිංහ මහතා ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් සදහන් කළේය.

ප‍්‍රධාන සංවිධායක ලෙස කිසිදු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබදව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මහතා කීය.