අද රාත්‍රී 10.00 සිට 30 දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

අද රාත්‍රී 10.00 සිට 30 දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවයි
Spread the love
  • නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි
    සියලුදෙනාට එන්නත
  • නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස්
  • අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව

අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙම තීරණයට එළැඹි අතර, සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට  ජනාධිපති උපදෙස් දුන්නේය.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුය. එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ. මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය කෙරිණ.

කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති මේ බව පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් සහ ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හා ගුවන් තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය. මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස  ජනාධිපති දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ