අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’ සහ කුණු නොවී ඉදවන හැටි

අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’ සහ කුණු නොවී ඉදවන හැටි
Spread the love

කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක්

අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න ඇතැම්විට මාස 6 ක් විතර යනවා. ඉතින් වෙළෙන්දෝ මේවා කඩාගෙන එනකොට නොමේරූ ගෙඩි එකතුවීමේ සම්භාව්‍යතාවය වැඩියි. පළමුව කියන්න තියෙන්නේ දිලිසෙන ගෙඩි ගන්න එපා.

අමිල ගුණ සපිරි පලතුරක් පමණක් නොව විදේශ විනියම උල්පතක්

මේ දිනවල පාර දෙපැත්තේ ගොඩගසාගෙන විකුණන පලතුරු අතර අලිගැටපේර වරදින්නේ නැත. ගෙදර ගෙනගියත් ඉන් කුමන ප්‍රමාණයක් නරක් නොවී ඉතිරිවේදැයි පාරිභෝගිකයාට නම් ඇත්තේ දෙගිඩියාවකි. මන්දයත් නොපැසුණු ගෙඩි පවා තොග වශයෙන් වෙළඳපොළට එන නිසාය.

වසර තුන් හාරසියයක පමණ ඈත අතීතයේ සිට උඩරට හා මැදරට ගෙවතු ආශ්‍රිතව පැවතෙන පළතුරක් වුවත්, මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ නිසි අවධානය නියම ආකාරයෙන් යොමු නොවීම ගැන පුදුමයට කරුණකි.

නිසි පරිදි ප්‍රභේදය තෝරාගෙන වගා කරන්නේ නම්, අලිගැටපේර වනාහී රට සල්ලි උල්පතකි. ලෝකයේ ප්‍රධානතම අලිගැටපේර නිෂ්පාදකයා වන මෙක්සිකෝව 2104 වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් නිපදවමින් උපයාගත් ධනස්කන්ධය මීට හොඳ උදාහරණයක් වේ.

ආසියාවේ රටවල් අතරින් මෙම සම්පත යහමින් නෙලා ගන්නේ ඉන්දුනීසියාව පමණක් වන අතර ඔවුන් අලිගැටපේර නිපදවන පළමු රටවල් 10 අතර හතරවෙනි තැන අත්කරගෙන තිබෙනවා පමණක් නොව ඒ අතර සිටින එකම ආසියාතිකයාද වේ.

මෙම රටවල් දහයෙන් වැඩි ප්‍රමාණයක් අයත්වන්නේ අලිගැටපේර නිජබිම සේ සැලකෙන මධ්‍යම ඇමරිකානු කලාපයටයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2014 දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ අලිපේර නිෂ්පාදනයේ 29 වෙනියා ලෙසයි. ඒ මෙට්‍රික් ටොන් 15,620 ක වාර්ෂික නිෂ්පාදනයක් සහිතවය.

උද්භිද විද්‍යාත්මකව ලොරේසේ Lauraceae නමැති කුලයට අයත් අලිගැටපේර වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ  පර්සියා ඇමෙරිකානා (Persea americana) වේ. එහි ඇමෙරිකානු සම්භවය නාමකරනයෙන්ම තහවුරු වී තිබේ.

“ඒක අසන්තෘප්ත මේද අම්ල සහිත තෙල් වර්ග ඔබගේ රුධිරයේ හානිකර කොලෙස්ටරෝල් (LDL) ප්‍රමාණය පහල හෙලන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි තත්වයන් ඒ මගින් අඩු කරනු ලබයි. එම තෙල් දේහ සෛල සෑදීමට අවශ්‍ය පෝෂණයද සපයයි. විටමින් ඊ වලින් පොහොසත් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද තිබේ.කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක්” අලිගැටපේර තෙල්වල ඇති මිනිස් සිරුරට හිතකරභාවය ගැන එසේ පවසන්නේ ඇමරිකානු හෘද සංගමයයි.

මෙම තෙල්වල බහුලව ඇත්තේ ඔලෙයික් අම්ලයයි. ඊට අමතරව පාමිටික් හා ලිනොලෙයික් අම්ලයද සුළු වශයෙන් තිබේ. කෙසේ වෙතත් ශරීරයට අගුනයයි සැලකෙන සංතෘප්ත මේද අම්ල ඇත්තේ 14% ක් වැනි සුළු ප්‍රමාණයකි.

උද්‍යාන බෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සුභ හීන්කෙන්ද මහතා ලංකාවේ අලිගැටපේර වගාව ගැන ඉදිරිපත් කෙරුවේ මෙවන් අදහසකි.

“ලංකාවේ තිබෙන සියලුම අලිපේර වගා වැඩිපුරම බිහිවෙලා තියෙන්නේ ඉවත දමන ලද ඇට වලින් හැදුන ගස් වලින්. පර පරාගනය හේතුවෙන් ලක්ෂණ මිශ්‍ර වෙනවනේ. ඉතින් මේ ඇට වලින් හැදෙන පැල, ගති ලක්ෂණ අතින් එකිනෙකට වෙනස්. ඉතා විශාල විවිධත්වයක් මේවා අතර තිබෙනවා. වෙළඳපොළට එන අලිගැටපේර තොගයක තිබෙන ගෙඩිවල ලක්ෂණ එකිනෙකට වෙනස්. මේ නිසාම තමයි නිශ්චිතව ගති ලක්ෂණ ලේඛන ගතකරලා මේවා අපනයනය කරන්න බැරි. හරියට හොයනවානම් තෙල් හිඳින්නට සුදුසු, පළතුරක් ලෙස ඉදවා කෑමට උචිත, ආදී වශයෙන් විවිධ මාදිලි දැනටමත් අප අතර සැඟවිලා තියෙනවා. කරනවානම් හොඳ පර්යේෂණ නිමිත්තක්!”

80 දශකයේදීලෝක සෞඛ්‍යය සංවිධානය මගින් ආසියාවේ මන්දපෝෂණය දුරලීමට හේතුවෙන ප්‍රධාන පළතුරක් ලෙසද අලිගැටපේර නම්කරනු ලැබීය. ඒ අනුව පෝෂණයේ වටිනාකම ගැන විවාදයක් නැත. වෙළඳපොලෙන් හොඳ ගෙඩියක් තෝරාගැනීමේදී බොහෝ දෙනෙකුට ඇති ගැටලුව ගැනද ආචාර්ය හීන්කෙන්ද අදහස් දක්වයි.

“අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න ඇතැම්විට මාස 6 ක් විතර යනවා. ඉතින් වෙළෙන්දෝ මේවා කඩාගෙන එනකොට නොමේරූ ගෙඩි එකතුවීමේ සම්භාව්‍යතාවය වැඩියි. පළමුව කියන්න තියෙන්නේ දිලිසෙන ගෙඩි ගන්න එපා. ගෙඩිය මෝරනකොර දිස්නය අඩුවෙනවා. ඒ වගේම ගෙඩිය හොඳට පැහෙනකොට පුංචි අල්පෙනිත්ති තුඩවල් වගේ ගෙඩිය පුරා තිබෙන තෙල් ග්‍රන්ථි සුදුපාටට පෙනෙන්න ගන්නවා. සමහර වර්ග වල පැසුණු ගෙඩිය සොලවද්දී ඇටේ සෙලවෙන බවත් දැනෙනවා.”

අලිගැටපේර ගෙඩි ඉදීම කෙරෙහි නටුවේ බලපෑම ගැනද වටිනා විස්තරයක් හෙතෙම සඳහන් කලේය. වෙළෙන්දන් විසින් ප්‍රවාහනයේ සහ ගබඩාකිරීමේ පහසුව තකා ගෙඩියේ නටුව සවිවෙන ස්ථානයෙන්ම ඉවත් කලද, ඒ හේතුවෙන් තුවාලය හරහා රෝගකාරකයන් අසාදනය වී ගෙඩිය කුණුවී යාමෙන් අස්වැන්නෙන් 40%-50% ක ප්‍රමාණයක් අපතේ යන බව එම සඳහනයි. සෙන්ටිමීටර භාගයක්වත් දිගට නටුව ඉතිරිකර අලෙවිකිරීමට සමාජය පුරුදු කලයුතු බව හෙතෙම අවධාරණය කරයි.

“මේ නටුවේ තිබෙනවා විශේෂ ලක්ෂණයක්. නටුව ගෙඩිය සමග තිබෙන විට ගෙඩිය ඉදෙන්නේ නෑ. එතන ඉදීමට විරුද්ධ නිෂේධන ක්‍රියාවක් තිබෙනවා. ඒක තමයි අලිගැටපේර ගහේදි ඉදෙන්නේ නැත්තේ. වගාකරුවා උනන්දු වෙනවනම් මේ ගතිගුණය අලෙවියේදීත් යොදාගන්න පුළුවන්. වෙළඳපොලේ හොඳ මිලක් එනතුරු මාසයක් හමාරක් අස්වැන්න ගබඩාකිරීමට අලිගැටපේර ශාකයම භාවිතා කිරීමයි මේ ක්‍රමය. ගහේ තිබෙනතුරු ඉදෙන්නේ නෑ. නටුව යන්තමට ඉතුරුකරලා කැඩුවහම, එතැනින් සිදුවෙන අසාදනත් නැවතිලා, ඒ පැත්තේ සිටම ගෙඩිය ඉදෙන්න පටන් ගන්නවා. දූරියන් වල වගේ නෙවෙයි අලිගැටපේර ඉදෙන්නේ නටුව පැත්තේ සිට.”

නිතර දෙවේලේ පෙනෙන කුකුලාගේ කරමලත් සුදට පෙනෙන්නා සේ, ලොවපුරා ජනතාවක් හඹායන පලතුරක අගය නිසියාකාරව අපට අවබෝධවී නැතිදැයි සිතෙන තරම්ය. අපේ අලිගැටපේර වාරය මාස 9 ක් පමණ ඈතට විහිදේ. ඇතැම් රටවල එය මාස 3-4 කට සීමා වන්නේය.

ආචාර්ය හීන්කෙන්ද තම අත්දැකීමක් මතකයට නගමින් සඳහන් කෙරුවේ දැනට මාස කීපයකට උඩදී ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැලක ‘හෑස්’ (Hass) වර්ගයට අයත් අලිගැටපේර ගෙඩියක් ඕස්ට්‍රේලියානු ඩොලර් 5 කට (රුපියල් 635) අලෙවි කරනු තමා දුටු බවයි. ලොව වඩාත්ම ජනප්‍රිය අලිපේර වර්ගය මෙයයි. බැලූ බැල්මට කිඹුල් හමක් වැනි රළු පොත්තක් ඇති බවක් පෙනෙනා මෙය ‘ඇලිගේටර් පෙයාර්’ (Alligator Pear) යන නමින්ද විදෙස් රටවල හැඳින්වේ.

‘හෑස්’ අනාවරණය කරගෙන ඇත්තේ 1924 දී රඩොල්ෆ් හෑස් නම් කැලිෆෝනියාවේ විසූ වෘත්තියෙන් ලියුම් බෙදන්නෙක් විසිනි. ඔහු උද්‍යාන විද්‍යාවට නම් ආධුනිකයෙකි. එහෙත් අද වනවිට අමෙරිකාවේ විකිනෙන අලිගැටපේර 80% ක්ම හෑස් ය. නවසීලන්තයේ වැඩිපුරම වගාකරන්නේද හෑස් ය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ආධාර සැපයූ ව්‍යාපෘතියක් හරහා හෑස් ඇතුළු ලොව ජනප්‍රිය අලිගැටපේර ප්‍රභේද ගණනාවක් 1987 දී මෙරටට ගෙනවිත් යෝග්‍යතාවය උදෙසා පර්යේෂණ පවත්වා ඇත්තේද එවකට පර්යේෂකයෙකුව සිටි හීන්කෙන්ද මහතාගේ මූලිකත්වයෙනි. සාර්ථක ප්‍රතිපල හෑස් මගින් ලබාදුන් නිසා 2005 වසරේදී එම ප්‍රභේදය නිල වශයෙන් මෙරටදී නිර්දේශ කෙරින.

තම සේවා කාලය තුලදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමග එකතුවී ගම්පොල ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතවත්, පලතුරු ගම්මාන ව්‍යාපෘතිය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ වලත් ‘හෑස්’ ව්‍යාප්ත කල බව ඔහු සඳහන් කලත්, වෙළඳපොලෙහි නම් මේ වනවිට හෑස් දකින්නට නැත. ඔහුගේ විශ්‍රාම යාමත් සමග හෑස් ද විශ්‍රාම සුවයේ විය හැකිය!

“හෑස් ගෙඩිය අවලස්සනයි. දකින කෙනෙක් ගන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් ලෝකේ පුරා මිනිස්සු මේ ප්‍රභේදයේ වටිනාකම දන්නවා. හෑස් ගහක් අවුරුදු දෙක හමාරකින් පලදරනවා. ‘ශ්‍රී ලංකා හෑස්’ කියල මෙය සීමා රහිතව අපනයනය කරන්න පුළුවන්. අපේ රටේ අපනයන විභවය තිබෙන පලතුරු බොහොමයක් තිබෙනවා තමයි. බෙලි, දිවුල්, කටු අනෝදා වගේ දේවල්. හැබැයි ඒවාට මුදල් ආයෝජනය කරලා විදෙස් වෙළඳපොළවල් හදාගන්න ඕනෑ. හෑස් කියන්නේ වෙළඳපොල හදන්න කිසිම මූලික පිරිවැයක් අවශ්‍ය නැති බෝගයක්. මුළු ලෝකෙම හෑස් හඳුනනවා.”

ඉවත දැමූ ඇටයක් පැලවී අවුරුද්දේ මාස 9 ක් පමණ තිස්සේ පල දරනා අපට ආවේනික අලිගැටපේර, කිඹුල් හමක් වැනි පොත්තක් ඇති අවලස්සන හෑස් හමුවේ අවතක්සේරු කිරීමක් වශයෙන් මෙය නොසිතන්න. ඇමරිකාවෙන් ගෙනාවත් දැන් හෑස් යනු අපේ නිර්දේශිත ප්‍රභේදයකි. දිලිසෙන පොත්ත දෙස බලා සතුටින් ගෙදර ගෙනගොස් ඉදෙන තෙක් බලාහිඳ, හැකිලී වියලී ගියපසු ‘අපරාදේ සල්ලි’ කියමින් ඉවතලනවාට වඩා දෙයක් මෙම විස්මිත බෝගය වෙනුවෙන් අප වෙතින් ඉටුවිය යුතුව තිබේ. ඉතා පහසුවෙන් බද්ධ පැල නිෂ්පාදනයටත් යා හැකි නිසා ‘හෑස්’ ගැන  පෞද්ගලිකව ගෙවතු වගාකරුවනුත්, පලතුරු අපනයනයට යොමුවී සිටින වාණිජ වගාකරුවනුත් මීට වඩා අවධානය යොමුකරන්නේ නම්, එය දේශීය පලතුරු විප්ලවයේ නොමැකෙන සන්ධිස්ථානයක් වනු ඇත.

සනත් එම්. බණ්ඩාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය