අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් වෙලා – PHI සංගමයේ සභාපති

අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් වෙලා – PHI සංගමයේ සභාපති
Spread the love

”කොළඹ හතේ වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදන කොවිඩ්-19 මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඊයේ (03) නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් උපුල් රෝහණ මහතා අවධාරණය කළේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් මතුවන බවයි.

උපුල් රෝහණ මහතා මෙසේද ප්‍රකාශ කළේය,

“කොවිඩ් – 19 තත්වය ගැන කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති, කොළඹ 07 වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදපු මාර්ගගෝපදේශයක් ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළා. මේ වාගේ වැඩ නිසා අද ජනතාව අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් බවට පත් වෙලා තිබෙනවා.

‘‘ මේ මාර්ගගෝපදේශය ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ගැන. ඒ වගේම ආධාරකරුවන් රහිත ජලය පාලනය කිරීමට බෝතල් රහිත බයිසිකල් ධාවන තරඟ පැවැත්වීම වැනි ජනතාවට විහිළු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද මෙහි සඳහන් වෙනවා. මේ කිසිවක් ප්‍රායෝගිකව මේක බිමේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වගේම මේකේ සඳහන්වෙන 100ක සීමා කිරීම ප්‍රායෝගිකව කිසිසේත් වෙන්නේ නැහැ. අවුරුදු උත්සව පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහජනතාවට අවශ්‍ය වෙන්නේ. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් මේ සියලුම මාර්ගගෝපදේශය උල්ළංඝණය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා. මෙවැනි තත්ත්වයක් තුළ අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් නිර්මාණය විය හැකියි‘