අලුත් වාහනයක් ගැන සිහින දකින්න 2022දීත් බෑ – බැසිල් කියයි

අලුත් වාහනයක් ගැන සිහින දකින්න 2022දීත් බෑ – බැසිල් කියයි
Spread the love

වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන අතර රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ෙ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමතිවරයා, ‘‘සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් සිටිනවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොතරම් සේවකයන් සිටිනවාදැයි කියනවා නම් සමහරුන්ට ඒවායේ ඉඳගැනීමට පුටු පවා නැහැ. ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ධීවර ක්ෂේත්‍රයෙන් මෙන්ම පශු සම්පත්වලින් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. විදේශයෙන් කිරිපිටි ආනයනය කිරීම නවත්වා ගැනීමට හැකිනම් එය ආර්ථිකයට ලොකු උදව්වක්.

ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකියි. එසේ සාගතය කියන වචනයවත් කියන්නේ නැතුව රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වගේම අමාත්‍යාංශවලට වසරේ අතරමැද කාලයේදී මුදල් ලබා ගැනීම සඳහා වැය ශීර්ෂ ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්නේ නැහැ. විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුණු මුදල් අහිමි වුණා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදල ද මේ වසරේදී අඩු වුණා. කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත්. ආහාර සුරක්ෂිතතාව නැති වුවහොත් රටේ ස්ථාවරත්වය විනාශවීමෙන් ලොකු ප්‍රශ්නයක් මතුවිය හැකියි.