ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 සඳහා තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. පසුගිය කාලය තුළ කාන්තා ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරි තරු තවත් මාස කිහිපයකින් බංග්ලාදේශයේදී අපට යළි හමුවෙන තෙක් අපි පසුගිය දා නිමාවට පත් වූ කාන්තා ආසියානු කුසලානයේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගත් විශිෂ්ට දස්කම් කිහිපයක් දෙස බලමු.
පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර එහි අවසන් මහා තරඟයෙන් ඉන්දියාව කඩුළු 8කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව සිය පළමු ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් කිහිපයක් ප්‍රදර්ශනය කරන ලද අතර, ඔවුන් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත.
දැන් අපි පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේදී වඩාත් අවධානය දිනාගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනකු දෙස අවධානය යොමු කරමු.
චමරි අතපත්තු – ශ්‍රී ලංකා නායිකා
තරඟ – 5, ලකුණු – 304, සාමාන්‍යය – 101.3, පන්දුවට පහරදීමේ වේගය – 146.85, 100s – 1, 50s – 2
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරඟාවලිය පුරා විශිෂ්ඨ සාර්ථකත්වයක් ලබාගත් අතර මැලේසියාවට එරෙහිව පැවති දෙවන තරඟයේදී පන්දු 69කින් ලකුණු 114ක් රැස් කළ අතර කණ්ඩායම් අදියරේදී තායිලන්තයට එරෙහිව තවත් ප්‍රබල පිතිකරණයක නිරත වූවාය. ඇය පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා සිය උපරිමය ලබාගත් අතර, පාකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී පන්දු 48කින් ලකුණු 63ක් සහ ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයේදී පන්දු 43කින් ලකුණු 61ක් ලබා ගත්තාය.
ඇය තරග 17කදී ලකුණු 675ක් රැස්කරගෙන, සාමාන්‍ය 48.21ක් සහ ප්‍රහාරක වේග සාමාන්‍ය 134.19ක් රඳවා ගෙන සිටී. 2024දී කාන්තා විස්සයි20 තරගවල වැඩිම ලකුණු ලාභිනිය ඇය වේ. ඇය කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ද දැවැන්ත බලපෑමක් කළ අතර එහිදී ලකුණු 226ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූවාය. ඇය බංග්ලාදේශයේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බැවින් සියලු දෙනාගේ අවධානය ඇය වෙත යොමු වනු ඇත.
ෂෆාලි වර්මා / Shafali Verma / ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු
තරඟ – 5, ලකුණු – 200, සාමාන්‍යය – 50.0, පන්දුවට පහරදීමේ වේගය – 140.84, 50s – 1
ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ෂෆාලි වර්මා අවසන් මහා තරගය වනතුරුම හොඳ තරගාවලියක් පවත්වා ලකුණු 40, 37, 81 සහ 26* ලෙසින් ලකුණු රැස් කළාය. ඇය 140ට වැඩි ප්‍රහාරක වේගයකින් ලකුණු 200ක් ලබා ගනිමින් ඉන්දියාවේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය නිමා කළාය.
ෂෆාලිගේ ඉහළම ස්ථාවරත්වය අවසන් තරගය දක්වා ඉන්දීය පිලේ අපරාජිත ධාවනයේ තීරණාත්මක බව ඔප්පු විය. නේපාලයට එරෙහිව ඇයගේ හොඳම පිතිකරණය වාර්තා කළ අතර එහිදී ඇය පන්දු 48කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 81ක් රැස් කළාය.
විස්සයි 20 ලෝක කුසලානය එළඹෙන විට, ඉන්දියාව ඔවුන්ට විශිෂ්ට ආරම්භයක් ලබා දීම සඳහා ස්ථාවර, නමුත් ආක්‍රමණශීලී, ෂෆාලි වෙත යොමු වනු ඇත.
දීප්ති ෂර්මා / Deepti Sharma / ඉන්දියාව
තරඟ – 5, කඩුලු – 10, සාමාන්‍යය – 10.0, හොඳම – 3/13
දීප්ති ෂර්මා 10.0 ක සාමාන්‍යයක් සහිතව කඩුලු 10ක් දවාගත් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩිකාව ලෙස තරගාවලිය නිමා කළ අතර 5.0ක ආකර්ෂණීය වේගයකින් පන්දු යැවීය.
ඇය පකිස්ථානයට එරෙහිව තරඟාවලියේ ආරම්භක තරඟයේදී ක්‍රීඩා කළ අතර, පන්දුවාර හතරකදී ලකුණු 20කට කඩුළු 03ක් දවා ගනිමින් ‘තරඟයේ ක්‍රීඩිකාව සම්මානය / Player of the Match award‘ දිනා ගැනීමට සමත් වූවාය. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 23කට කඩුළු 02ක් දවා ගත් අතර මීළඟ තරගයේදී ද දිගටම බලපෑමක් කළාය. ඇයගේ හොඳම තරඟාවලිය නේපාලයට එරෙහිව වාර්තා කළ අතර ලකුණු 13කට කඩුළු 03ක් දවා ගනිමින් ඇය නේපාල කණ්ඩායම දුර්මුඛ කළාය.
අවසන් මහා තරගයේදී ඇය ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුගේ කඩුල්ල දවා ගත්තේ තරගය ඉන්දීය ග්‍රහණයෙන් ගිලිහී යමින් තිබියදීය. විස්සයි 20 කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන බංග්ලාදේශයේ තණතිලි දඟ පන්දු යවන්නන්ට හිතකර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දීප්ති ඉන්දියාවේ ප්‍රධාන චරිතයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කවිෂා දිල්හාරි / Kavisha Dilhari
තරඟ – 5, කඩුලු – 9, සාමාන්‍යය – 12.33, හොඳම – 2/4
කවිෂා දිල්හාරි ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අවසන් මහා තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දවාලීමට සමත් වූවාය. ඇය අවසන් මහා තරගයේදී අංක 4 සිට පිත්තෙන් ද ඉදිරියට පැමිණි අතර, ශ්‍රී ලංකාවට පළමු ශූරතාව දිනා ගැනීමට උපකාර කිරීම සඳහා ඉතා වැදගත් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත්තාය.
දිල්හාරි තරග පහකදී කඩුලු 9ක් දවාලීමට සමත් වූවාය. ඇය පකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ද 2/30 ක් දවාගත් අතර එයට සිද්‍රා අමීන් සහ නීඩා ඩාර්ගේ කඩුලු ද ඇතුළත් විය.
පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව එක් කඩුල්ලක් දවාගත් ඇය තරගාවලියේ අවසන් තරග හතරේදීම කඩුලු දෙක බැගින් දවා ගත්තාය. විස්සයි 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට යන විට ඇයගේ තුන් ඉරියව් භූමිකාව ඉතා වැදගත් වනු ඇත.
මුර්ෂිදා ඛාතුන් / Murshida Khatun / බංග්ලාදේශ ආරම්භක පිතිකරු
තරඟ – 3, ලකුණු – 134, සාමාන්‍යය – 44.66, පන්දුවට පහරදීමේ වේගය – 108.94, 50 – 2
තරඟ තුනකදී අර්ධ ශතක දෙකක් සමඟින්, බංග්ලාදේශ ආරම්භක පිතිකරු මුර්ෂිඩා ඛාටූන් තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමෙන් පසුව කණ්ඩායමට විශිෂ්ට එකතු කිරීමක් විය. 25 හැවිරිදි වමත් පිතිකාරිය තායිලන්තයට එරෙහිව පන්දු 55කදී ලකුණු 50ක් ලබා ගනිමින් කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි තරගයේ ජය වාර්තා කළාය.
මීළඟ තරගයේදී මැලේසියාවට එරෙහිව ඇය පන්දු 59කදී ලකුණු 80ක් රැස්කරමින් කණ්ඩායමට ලකුණු 191/2ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට උපකාර කළාය. බංගලාදේශය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා මුර්ෂිඩාගේ දක්ෂතාවය ඉතා වැදගත් වනු ඇත.
සාදියා ඉක්බාල් / Sadia Iqbal / පාකිස්ථානය
තරඟ – 4, කඩුලු – 8, සාමාන්‍යය – 8.37, හොඳම – 4/16
සාඩියා ඉක්බාල් තරගාවලියේදී පාකිස්තානය වෙනුවෙන් ඇගේ හොඳම දස්කම් දැක්වූ අතර සාමාන්‍ය 8.37ක් සහ 4.72ක දීප්තිමත් වේගයක් සමඟ කඩුලු 8ක් දවා ගත්තාය. වමතින් දඟ පන්දු යවන්නිය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ත්‍රාසජනක අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය නැවත තරගයට ඇද දමමින් ඇයගේ ඕවර හතරේදී ලකුණු 16කට කඩුළු 04ක් දවා ගත්තාය. කෙසේ වෙතත්, ඇයගේ උත්සාහය නොතකා පාකිස්තානය අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ තරගාවලියෙන් ඉවත් විය.
ඉක්බාල් නේපාලයට (2/19) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (2/11) එරෙහිව ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය. ඇයගේ වමත් දඟ සහ නව පන්දුව ලබා ගැනීමේ හැකියාව පාකිස්තානයට මේ වසරේ අගභාගයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේදී වැදගත් වනු ඇත.
https://www.icc-cricket.com ඇසුරිණි